Sunday, November 26, 2017

කණ්ඩායම් සංගීතයේ නෙවිල් ප්‍රනාන්දු ලකුණ සහ ලොස් කැබලෙරොස්



අද ලියන්නට තිබෙන්නේ මීට ටික කලකට ඉහත මාවිසින් ලියන්නට යෙදුණු කතාවක දිගුවක් සහ ඌණ පූර්ණයකි.  ඒ කතාව මා මගේ අනෙක් බ්ලොගයේ  රසබර මොහොතක මතකයන්. යනුවෙන් ලීවෙමි.  ඊට පසුව මේ මෑතකදී මට කියවන්නට ලැබුණු පොතක් හේතුවෙන් එම පෝස්ටුව නැවත සිහිවී එයටම දිගුවක් ලෙස මෙය ලියන්නට සිත්විය.   මා කියැවූ පොත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියන ලද  ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය නම් ග්‍රන්ථයයි.    මා මෑතකදී කියවුවත් පොත පළකර ඇත්තේ 2002 වර්ෂයේදීය.  මගේ කතාවට උක්ත වන්නේ  එම ග්‍රන්ථයේ තෙවැනි උල්ලාසය හෙවත් කණ්ඩායම් සංගීතයේ සමාරම්භය, ස්පාඤ්ඤ සංගීතය සහ කැලිප්සෝ මිථ්‍යාව නම් පරිච්ඡේදයෙන් උපුටා ගත් කොටසකි.     එම කොටස මා මින් ඉදිරියට උපුටා පළකරන අතර ඊට පෙර කියන්නට යමක් ඇත.    එනම් කර්තෘ ගේ හා ප්‍රකාශකයින්ගේ හිමිකම් ගැන උනන්දු වන හිතවතුන්ටය.    පොතේ හැඳින්වීමේදී වෙනත් තැනක උපුටා පළකිරීම තහනම් වන්නේ උප ග්‍රන්ථයේ සඳහන් වන ගීත ප්‍රබන්ධ සහ ස්වර ප්‍රස්තාර පමණක් බව කතුවරයා සඳහන් කර ඇති බැවින් හිමිකම් සම්බන්ධයෙන් අදහස් දැක්වීම නිෂ්ඵල බව සඳහන් කරනු කැමැත්තෙමි.

"ඉංග්‍රීසි ගී ගයන වෘත්තීය මට්ටමේ සංගීත කණ්ඩායම් කිහිපයක් 60 දශකය වන විට මෙරට සිටියහ.   'ජෙට්ලයිනර්ස් ' 'ලයිලි ගොඩ්රිජ් ඇන්ඩ් ඉටැලියාස් '  'ස්පිට්ෆයර්ස් ' 'සැවේජස් ' ඉන් කිහිපයකි.    මොවුහු ඉංග්‍රීසි උගත් සමාජයෙහි සාද සම්භාෂණ වලත් ඉහළ පෙළේ හෝටල්වලත් සිය ගායන වාදන ඉදිරිපත් කළහ.

සිංහල ගී ගයන වෘත්තීය මට්ටමේ සංගීත කණ්ඩායමක් බිහි කළාහු කවරහුද?   මේ පිළිබඳව ඇත්තේ මතභේදයකි.    ඔව්හු 'ලොස් කැබලෙරොස් 'ද?    නැතහොත් 'ලා සිලොනියන්ස් ' ද?   'ලොස් කැබලෙරොස් ' ආරම්භ වුයේ ස්පාඤ්ඤ ගී ගයන සංගීත කණ්ඩායමක් වශයෙනි.   සිංහල ගීවලට තිබුණු ඉල්ලුම නිසා මේ කණ්ඩායම් දෙකම පසුව සිංහල ගී ගයන්ට පටන් ගත්හ.     මෙසේ ගැයූ මුල්ම සිංහල කණ්ඩායම් ගීය, 'ලොස් කැබලෙරොස් ' කණ්ඩායමේ 'මල්බර හිමිදිරියේ' ද? නැතහොත් ලා සිලොනියන්ස් ' කණ්ඩායමේ 'එක්සත්වී බේද නසා ' හෝ ' හෝයියා හෝයියා ' ද?    මේ ප්‍රශ්නයට පිළිතුරු නැත.   එහෙත් එක් කරුණක් නිසැකයෙන් කිව හැකිය.   එනම්, කණ්ඩායම් සංගීතය සහිත සිංහල ගීයක් ගැයූ ප්‍රථම කණ්ඩායම නම්'ලොස් කැබලෙරොස්' බවයි.   ඔවුන් එසේ ගැයුවේ අනුන්ගේ ගීයකි.    විස්තර මතු දැක්වේ.   'ලොස් කැබලෙරොස් ' කණ්ඩායම පිහිටුවා ගත් නෙවිල් ප්‍රනාන්දු නමැති ගිටාර් වාදකයා හලාවත, පිටිපන වීදියේ මිහිඳුකුලසුරිය වෝල්ටර් ප්‍රනාන්දු ගේ පුත්‍රයෙකි.   ඔහු 1938 හලාවත දී උපත ලැබීය.   වයස අවුරුදු 15 වනවිට අති දක්ෂ ගිටාර් වාදකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් නෙවිල් විසින් 1960 දී LOS CABELLEROS නමැති සංගීත කණ්ඩායම පිහිටුවා ගන්නා ලදී.    කණ්ඩායම- නෙවිල් ප්‍රනාන්දු, එමිල් ප්‍රනාන්දු, හැරල්ඩ් පෙරේරා, ලෙස්ටර් ප්‍රනාන්දු යන සාමාජිකයන්ගෙන් සමන්විත විය.

LOS CABELLEROS යනු ස්පාඤ්ඤ දෙපදයකින් සාදාගත් නාමයකි.  LOS යන්න ස්පාඤ්ඤ භාෂාවෙහි 'ලෝස් 'යනුවෙන් උච්චාරණය වේ.   මේ වනාහි ඉංග්‍රීසියෙහි articles ගණයට වැටෙන අව්‍ය පදයකි.    එනයින් ස්පාඤ්ඤ los යන පදය, ඉංග්‍රීසි The යන පදයට සමානවේ.   Cabelleros යන්න ස්පාඤ්ඤ භාෂාවෙහි උච්චාරණය වන්නේ ' කබය්යෙරෝස් ' කියාය.   ඊට හේතුව, ස්පාඤ්ඤ භාෂාවෙහි LL යන අකුරු 'ය් ' යනුවෙන් උච්චාරණය වීමය.  'කබය්යෙරෝස් ' යන්නෙහි අරුත 'අශ්වාරෝහකයෝ ' යනුයි.   එහෙත් පුදුමයට කාරණය නම් අද දක්වාත් මේ නාමය 'ලොස් කැබලෙරොස් ' යනුවෙන් සාවද්‍ය ලෙස උච්චාරණය වීමයි.  එහි නිවැරදි උච්චාරණය පහදා දෙන්ට නෙවිල් ප්‍රනාන්දු හෝ ඉදිරිපත් වී නොතිබීමයි.    'නෘත්‍ය ගීත ' යන පදය දැනුදු 'නුර්ති ගී' යන අපභ්‍රෂ්ට පදයෙන් හැඳින්වෙනුයේ යම්සේද එසේම ප්‍රථම සිංහල කණ්ඩායම් සංගීතකාරයන්ගේ සැබෑ නාමය 'ලොස් කබය්යෙරෝස් ' වුවත් එය 'ලොස් කැබලෙරොස් ' යනුවෙන් උච්චාරණය කරන්නට අපටද සිදුවන බව මෙහිලා සඳහන් කළ යුතුවේ.

නෙවිල් ප්‍රනාන්දු , සිය සංගීත කණ්ඩායම හැඳින්වීම සඳහා ස්පාඤ්ඤ පද භාවිත කළේ මන්ද?   ඔහු ස්පාඤ්ඤ සංගීත රසිකයකු වූ නිසාය.   ස්පාඤ්ඤ ගිටාරය ඔහුගේ ප්‍රියතම වාද්‍ය භාණ්ඩය වූ නිසාය.   සිය කණ්ඩායම සමග ඔහු වැඩි වශයෙන් ගායනා කළේ ස්පාඤ්ඤ ගීත නිසාය.    ඔවුන් සිංහල ගී ගයන්ට උනන්දු වුයේ පසු කලෙකදීය.    'කැබලෙරොස් ' කණ්ඩායම සහභාගිවූ සාද සම්භාෂණ වලදී සිංහල ගී ගයන ලෙස ඔවුන්ට ආරාධනා ලැබිණ.    මේ ආරාධනා වලට ප්‍රතිචාර දැක්වීම සඳහා නෙවිල් ප්‍රනාන්දු විසින් සිංහල ගීයක් තෝරා ගන්නා ලදී.    එනම්, සී.ටී. ප්‍රනාන්දු ගායනා කළ 'මගෙ සුදු මාමේ - නෑ බෑ නොකියා රා පොඩියක් දී මා සනසන්නේ ' නමැති ගීතයයි.   මෙහිදී (1) සී.ටී.ප්‍රනාන්දුගේ ඒකල හඬ වෙනුවට නෙවිල් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුගේ හඬ මේ ගීයට මුසු විය.    (2) සුසංවාද හෙවත් ප්‍රසංවාද (Harmony) නමින් හැඳින්වෙන එකම තනුව හඬ තල කිහිපයකින් එකට ගායනා කිරීමෙහි බටහිර ශිල්පෝපක්‍රමය භාවිත විය.  (3) සී.ටී. ගේ ගීයෙහි වාදනයවූ තබ්ලා, වයලින්, පියානෝ, එකෝඩියන් ආදිය වෙනුවට ස්පාඤ්ඤ ගිටාර්, ගයිරෝ, මරකාස්, කොංගෝ ඩ්‍රම්ස් පමණක් භාවිත විය.

අලුත් අලුත් දෑ මැ සොයන මෙ රට සංගීත ශ්‍රාවකයන් අතර උක්ත වෙනස්කම් සහිතව ඇසුණු 'මගෙ සුදු මාමේ' ගීතය, වහා ජනප්‍රියත්වයට පත්විය.    මෙයින් ප්‍රමුදිත වූ 'ලොස් කැබලෙරොස් ' විසින් තවත් ජනප්‍රිය ගී 2 ක් නව සංගීත සංයෝජන සහිතව ගායනා කරන්ට යෙදුනි.  ඒ පැට්‍රික් දෙනිපිටිය විසින් තනු නිර්මාණය කරනු ලැබ සී. ඩී. ෆොන්සේකා, රසීනා යකීම් යුවළ ගැයූ උඩරට මැණිකේ - මනහර කඳුරට තිලකේ ' නමැති ගීය සහ ධීවරයෝ (1964) චිත්‍රපටය සඳහා ඇම්. කේ. රොක්සාමි විසින් තනු නිර්මාණය කරනු ලැබ සමූහ ගීයක් ලෙස ගැයුණු 'වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා ' යන ගී 2 යි.     මේ ගී යුග්මයද සී.ටී.ප්‍රනාන්දුගේ ගීය තරම් මැ ජනප්‍රිය විය.

ඒ වනාහි 1964 වසරයි.   පූර්වෝක්ත  ගී ගයමින් සිංහල ගීත රසිකයන්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වෙමින් හුන් 'ලොස් කැබලෙරොස් ' කණ්ඩායමෙහි දීප්තිය දල්වන සුලු සිදුවීමක් එම වසරෙහි සිදු විය.     එනම්, රුක්මණී දේවිය 'ලොස් කැබලෙරොස් ' කණ්ඩායමෙහි ගායිකාවක ලෙස ඊට එක්වීමයි.    1947 දී 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයෙන් ප්‍රථම සිංහල චිත්‍රපට නිළිය හා චිත්‍රපට පසුබිම් ගායිකාව බවට පත්වූ රුක්මණී දේවිය, 1964 වනවිටත් ස්වකීය ජනප්‍රියත්වය රැකගෙන සිටියාය.    ඇය ප්‍රධාන චරිතය රඟ පෑ 'මංගලිකා ' 1963 වසරේ බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලු චිත්‍රපටයක් විය.    1964 වසරේ තිරගත වූ 'සැමියා බිරිඳගේ දෙවියාය' චිත්‍රපටය විසින් නිළියක මතු නොව චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසද ඇයගේ ආස්ථානය තවදුරටත් තහවුරු කරන ලදී.     එහි ආ 'මොනව හිතාගෙන මාව කැඳෙව්වද රත්තරනේ මාගේ ' , 'කියන්න රන්කඳ මොන හිතකින් ඔබ කීවාදැයි මට මේවා', 'ලස්සන රත්තරන් බබෝ ' වැනි ගීත අතිශයින් ජනාදරයට පාත්‍ර වී තිබිණ.    'ලොස් කැබලෙරොස් ' ගායක කණ්ඩායමට සම්බන්ධ වුයේ මේ ජනප්‍රිය නිළි ගායිකාවයි.

රුක්මණී දේවිය හා නෙවිල් ප්‍රනාන්දු සම්බන්ධ කරමින් එවක පැතිර ගිය කටකතා ද 'ලොස් කැබලෙරොස් 'කණ්ඩායම කෙරෙහි රසික අවධානය යොමු කරවීමෙහි ලා සමත් විය.     රුක්මණී දේවිය, ජනප්‍රිය සංස්කෘතියෙහි ප්‍රථම දේශීය ප්‍රතිමූර්තිය වුවත් ඇය පෞද්ගලික ජීවිතයෙහි දී දුක් වේදනාවන්ට මැ ගොදුරු වෙමින් සිටියාය.    විවාහ ජීවිතයෙහි අනන්ත හැලහැප්පීම්වලට භාජනය වෙමින් ගල්පරවල ගැටි ගැටී ඇදුණු ඇයගේ ජීවිත යාත්‍රාව, මේ සම්බන්ධතාව හේතු කොටගෙන සොඳුරු වරායකට සේන්දු වූ බව තතු දත් රසිකයෝ කීහ.    ඒ වන විට නෙවිල්ගේ වයස 26 කි.    රුක්මණියගේ වයස 37 කි.   

රුක්මණී සම්බන්ධ වීමෙන් පසුව 'ලොස් කැබලෙරොස් ' ගීතාවලියට තවත් සිංහල ගීයක් එක් වුයේය.     ඒ - 1960 දී පමණ විමලදාස පෙරේරා විසින් සී.ටී.ප්‍රනාන්දු ගේ තනුවකට අනුව රචනා කරන ලදුව සී.ටී. හා රුක්මණී ගැයූ 'පුන්සඳ හිනැහෙන්නේ - වනමල් පිබිදෙන්නේ ' නමැති ගීයයි.    1964 අගෝස්තු 29 වැනිදා නෙස්ලේ සමාගම විසින් සංවිධානය කරන ලද 'ගීතාංජලි ' නමැති සංගීත ප්‍රසංගයේ දී රුක්මණී, නෙවිල් ඇතුළු 'ලොස් කැබලෙරොස් ' කණ්ඩායම විසින් මුල්වරට මේ ගීය ගායනා කරන ලදී.

මේ ගීයද 'මගෙ සුදු මාමේ ' , උඩරට මැණිකේ, 'වැල්ල සිඹින රැල්ල ' යන ගීත මෙන්ම ක්ෂණික ව ජනප්‍රිය වුවත් 'ලොස් කැබලෙරොස් ' කණ්ඩායමෙහි සිංහල ගී 4 න් 2 ක් ම ස්වකීය ගීත වීම, වෘත්තීය සංගීත ශිල්පියකු වූ සී.ටී. ප්‍රනාන්දුට අභියෝගයක් විය.    එබැවින් ඔහු 'ලොස් කැබලෙරොස් ' කණ්ඩායමට සිය විරෝධය ප්‍රකාශ කර සිටියේය.    මෙයින් සිදුවූ ඉෂ්ටාර්ථසිද්ධිය නම් තවදුරටත් අනුන්ගේ ගීත ගායනා කිරීම අත්හිටුවා තමන්ගේම ගීත ගායනා කිරීමට 'ලොස් කැබලෙරොස් ' කණ්ඩායම උත්සුක වීමයි.

නෙවිල් ප්‍රනාන්දුගේ මුල්ම වෑයම වුයේ 'පුන් සඳ හිනැහෙන්නේ ' නමැති යුග ගීයට සාකල්‍යයෙන්ම අනුරූප වූ ගීයක් නිර්මාණය කිරීමයි.    ඔහු ඒ සඳහා 'පුන්සඳ හිනැහෙන්නේ ' ගීයෙහි අදහසට, පද සංඝටනාවට, මාත්‍රා සංඛ්‍යාවට අනුරූප වූ ගී පදමාලාවක් රචනා කරවා ගත් සැටි බලන්න.

                                                         මුල් ගීයෙහි ස්ථායී කොටස

                                              පුන්සඳ හිනැහෙන්නේ - වනමල් පිබිදෙන්නේ 
                                              ලස්සන ඔබෙ මුහුණේ - දැක්කම නොවැ මැණිකේ 

                                                       දෙවැනි ගීයෙහි ස්ථායී කොටස 

                                                මල්බර හිමිදිරියේ - කොයිබද සමනොලියේ 
                                                යන්නේ හිරුඑළියේ - කියන්න සිවුමැලියේ 

                                                 මුල් ගීයෙහි පළමුවැනි අන්තරා කොටස 

                                        වසන්ත සමයෙදි ඔබ ළඟ ඉඳගෙන මිහිරට කවි       කියමී
                                        සමන් කැකුළු මල් පොකුරක් අරගෙන ඔබේ හිසේ   ගසමී 
                                        ඔබ නිදියනතුරු පැළ තුළ ඉඳගෙන නැළවිලි ගී       කියමී 
                                        උදය සවස මම ඔබෙ පා යුග හිමියනි සැමදා             වඳිමී 

                                                 දෙවැනි ගීයෙහි පළමුවැනි අන්තරා කොටස

                                         මල් පෙති අග රැඳී පිණි බිඳු එක්කොට ඔබ මුව      පිරිමදිමී 
                                         ළා හිරු රැස් වැද බැබලෙන ඔබෙ තටු දෙක මම සිප ගනිමී
                                         රන්තරු මුතුවැල් කිරුළක් සාදා ඔබේ හිසේ             තබමී 
                                         රන් විමනක් මැද ඔබ වෙනුවෙන් පෙම් රජ දහනක්   මවමී  

'මල්බර හිමිදිරියේ ගීතය'  'පුන්සඳ  හිනැහෙන්නේ ' ගීතය තරමට මැ ජනප්‍රිය විය.    එයින් උත්තේජනය ලද නෙවිල් ප්‍රනාන්දු සිය කණ්ඩායම සඳහා තවත් ගී රැසක් නිර්මාණය කළේය.    'සඳක් නැගී සඳක් ගිලේ සාගරේ ' 'ගලන ගඟක දොළ පාරක සොයන්නම් ' 'මැණිකේ ඔබේ සිනාවේ ' ඉන් කිහිපයකි.

රුක්මණී දේවිය, මේ ගීත සඳහා ගායනයෙන් සහාය වුවාය.   එමෙන්ම 1975 ජනවාරි 8 වැනිදා 'දීපශිඛා ' පත්‍රයට 'කණ්ඩායම් ගී වලට ආසයි ' යන මැයෙන් ලිපියක් සපයමින් ඇය කියා සිටියේ තමාගේ ප්‍රියතම ගීත අතර කණ්ඩායම් ගී ද ඇති බවයි.

1. ආදරයයි කරුණාවයි ( දෛවයෝගය චිත්‍රපටයේ ගීයකි )

2 . දුෂ්මන්ත අහෝ කිමදෝ (ග්‍රැමපෝන් ගීයකි )

3. කණ්ඩායම් ගී 

ඒ ගීත දහස් ගණනක් ගයා ලංකාවේ ගීත කෝකිලාව ලෙස විරුදාවලි ලත් රුක්මණී දේවියගේ තේරීමයි.   මතු දක්වෙනුයේ ද ඇයගේ වචනයි.   'කවුරු මොනවා කිව්වත් කණ්ඩායම් ගීයක් අහන්න මම ලොකු උනන්දුවක් දක්වනවා.   කණ්ඩායම් ගී අසා මා ලබන්නේ කියන්න බැරි තරම් ආස්වාදයක්, විනෝදයක්.   ඇත්තෙන්ම කණ්ඩායම් ගී ගයන්න මගේ හිත ඇදී ගියෙත් ඒ නිසයි'.

විශිෂ්ට ගණයේ ගිටාර් වාදකයකු ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටි නෙවිල් ප්‍රනාන්දු උක්ත ගී මාලාව නිසා තනු රචකයකු වශයෙන්ද ප්‍රසිද්ධියට පත් වුයේය.    ඒ නිසා ජ්‍යෙෂ්ඨ ගායනා ශිල්පීහු පවා ඔහු ලවා තනු නිර්මාණය කරවා ගත්හ.    සුනිල් ආර් ගමගේ විසින් රචනා කරන ලදුව සුජාතා අත්තනායක ගැයූ 'මංගල කසී සළුෑ - මාලා දෑතේ රන් වළලු ' නමැති ගීය, නෙවිල්ගේ එබඳු තනු නිර්මාණ වලට නිදසුනකි.

'ලොස් කැබලෙරොස් ' ශිල්පීහු චිත්‍රපටවල ගීත ගායනය සඳහා ද චිත්‍රපටවල පෙනී සිටීම සඳහාද කැඳවුම් ලදහ.   ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'දෙලොවක් අතර ' (1966) ඔවුන් එසේ ගයමින් පෙනී සිටි ප්‍රථම චිත්‍රපටයයි.    මෙහිදී ඔවුන්ට ගයන්ට සිදු වුයේ ඔවුන්ගේ ගීයක් නොව අමරදේවයන් තනු නිර්මාණය කළ ගීයකි.    මහගම සේකරගේ රචනයකි.    එහෙත් අමරදේව එම තනුව නිර්මාණය කර තිබුණේ 'ලොස් කැබලෙරොස් ' සංගීත කණ්ඩායමේ අනන්‍යතාවට සරිලන පරිද්දෙනි.    'ලොස් කැබලෙරොස් ' විසින් කරන ලද සංගීත සංයෝජනයේ දී වයලීන් ආදී වාද්‍ය භාණ්ඩ යොදා ගත්තේ වී නමුත් ප්‍රමුඛස්ථානය දී තිබුණේ ගිටාර්, ගයිරෝ, කොංගා වැනි එම සංගීත කණ්ඩායම සතු භාණ්ඩවලටය.      'ගයන ගැයුම් නටන නැටුම් ' නමැති මේ ගීය අමරදේව - නෙවිල් ප්‍රනාන්දු - මහගම සේකර යන ත්‍රිපුද්ගල සුසංයෝගයෙන් නිර්මාණය වූ ඉතා ප්‍රශස්ත ගීයක් ලෙස හැඳින්විය හැකිය.

අමරදේව සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් දෙපොල නෙවිල් ප්‍රනාන්දු ගැන කෙතරම් පැහැදුණාහුද යත් 'රන්සළු '(1967) චිත්‍රපටයෙහි ඒකල ගායනයක් සඳහාද ඔහු යොදා ගත්හ.    බී.ටී. මැන්දිස් ගේ රචනයකට අනුව අමරදේව තනු නිර්මාණය කළ 'බඳුන් පිරී ඉතිරෙන මී ළඳුන ලවන් නුරා ' යනු එම ගීයයි.    

රංජිත් ලාල් අධ්‍යක්ෂණය කළ 'නිම් වළල්ල ' (1970) චිත්‍රපටය සඳහාද නෙවිල් ප්‍රනාන්දු ඇතුළු 'ලොස් කැබලෙරොස් ' කණ්ඩායම ගීයක් ගැයුහ.    රූ ගත කිරීමටද පෙනී සිටියහ.   ඒ ගීයෙහි පද රචනයත් සංගීත රචනයත් රංජිත් ලාල් ගේ ම ය.     

අනන්ත වූ තරු පිපෙන රැයේ 
සරා සඳේ සොමි කැන් පාවී 
යොවුන් මලක රොන් සොයා ඇදේ 
රිදී වලා සළු තුළින් පෙරී 

යනුවෙන් ඇරඹුණු ගීයකි ඒ.    තිස්ස අබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන්නට සැලසුම් කරන ලදුව අතරමග නතරවූ 'කලාමැදිරියෝ ' නමැති චිත්‍රපටයෙහි සංගීත අධ්‍යක්ෂණය භාර වුයේද නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ ලොස් කැබලෙරොස් කණ්ඩායමටයි.     දළුගම සරසවි චිත්‍රාගාරයේ දී ඔවුන් විසින් ඒ සඳහා ගී 3 ක් පටිගත කරන ලදී.     'හිරු දහස් සඳු දහස් නැගුණා - කාල මේකුළු හඹා ඇදුණා - මුරුගසං වරුසාව වැටුණා ' යනුවෙන් ඇරඹෙන ඒ එක් ගීයක් රචනා කරන්ට යෙදුණේ සුනන්ද මහේන්ද්‍ර විසිනි.

'ලොස් කැබලෙරොස් ' කණ්ඩායම ස්වකීය සිනමා කෘති සඳහා තෝරා ගත් ලෙස්ටර් ජේම්ස් පීරිස්, තිස්ස අබේසේකර, රංජිත් ලාල් ආදීන් දෙස බලන කල පැහැදිලිව පෙනී යන කරුණක් නම් එම කණ්ඩායමට ප්‍රිය කළාහු සම්භාව්‍ය සිනමාකරුවෝ බවයි.    නෙවිල් ඇතුළු කණ්ඩායම ගී ගයමින් පෙනී සිටි එකම වාණිජ්‍ය චිත්‍රපටය 'පැංචා'(1969) නම් වේ.     'යාර් පෙෙයන් ' නමැති දෙමළ චිත්‍රපටය අනුසාරයෙන් ඇන්ඩෘ නායගම් මුත්තයියා නිෂ්පාදනය කළ 'පැංචා ' චිත්‍රපටය සඳහා ටී.ඇෆ් ලතීෆ් සංගීතය සම්පාදනය කළත් නෙවිල් ඇතුළු පිරිස ගැයූ ගීයෙහි තනු නිර්මාණය සහ සංගීත සංයෝජනය ඔවුන් සතු විය.    ගීතය රචනා කළේ ඔගස්ටස් විනයාගරත්නම් ය.

ලස්සන ලෝකෙට පා          ඔසවාලා 
හැරමිටි හණමිටි පැත්තක          දාලා 
මිදි උයනේ ඉමු චුට්ටක්           වේලා 
හැඟීමකට පොඩ්ඩක් ඉඩ           දීලා  

යනුවෙන් ඇරඹෙන ගීයකි ඒ. නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ ලොස් කැබලෙරොස් කණ්ඩායම, මිලි මීටර් 16 චිත්‍රපටයකටද සංගීතය සැපයුහ.    ඒ ප්‍රථම සිංහල චිත්‍රපටය කළ බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නගේ ඥාතියෙකු වූ අර්වින් ජයමාන්න අධ්‍යක්ෂණය කළ 'රහස් දූපත' නමැති චිත්‍රපටයයි.    1967 මැයි 19 දා සිට දෙමටගොඩ මානෙල් සිනමා ශාලාවේ තිරගත වූ මේ චිත්‍රපටයෙහි ලොස් කැබලෙරොස් සංගීතයට රුක්මණී දේවි ගැයූ ගීතයක් විය.    එය රචනා කර තිබුණේ ඒ.ජේ.සොයිසා ය.  

ගායනය, වාදනය, තනු නිර්මාණය, සංගීත අධ්‍යක්ෂණය ආදී විවිධාංගවලින් නෙවිල් ප්‍රනාන්දු ලබාගත් ජයග්‍රහණ ඔහුගේ පෞද්ගලික ජයග්‍රහණවලට වඩා කණ්ඩායම් සංගීත කරුවන් විසින් ලබන ලද පොදු ජයග්‍රහණ ලෙස සලකනු වටී.

සිංහල කණ්ඩායම් ගීයෙහි නිර්මාතෘවරයා වූ නෙවිල් ප්‍රනාන්දු ඉතා කෙටි කලක් ආයු වළඳා 1975 අප්‍රේල් 23 වැනිදා අභාවප්‍රාප්ත වීම සිංහල කණ්ඩායම් සංගීතයට සිදුවූ බලවත් පාඩුවක් විය෴

(උපුටා ගැනීම : ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය, මහාචාර්ය සුනිල් ආරියරත්න.  ප්‍රකාශනය :ඇස් .ගොඩගේ සහ සහෝදරයෝ, 2002)

Tuesday, June 20, 2017

වීර දිවයින.


ආර් .එල්. ස්පිටල් පරිවර්තන සාහිත්‍යය ඇසුරු කරන්නන්ට නුපුරුදු නමක් නොවේ.    ඔහු විසින් රචිත සුදු වැද්දා සහ සුදු ගෝනා කෘති ද්වයම වුවද ස්පිටල්ගේ සාහිත්‍යමය හැකියාවට දෙස් දෙයි.   මේ කෘතීන් දෙකෙහි ප්‍රධාන චරිතය වන්නේ හෑන්ස් නම් ඕලන්ද ජාතික යොවුන් තරුණයෙකි.    එඩිතර සිතක් ඇති ඕලන්ද තරුණයෙකුට කිසිවෙකුගේ උපකාරයක් නොමැතිව කැලයේ ජීවත්විය හැකියැයි ස්පිටල් විශ්වාස කළ හෙයින් එසේ හෑන්ස්ගේ චරිතය ගොඩ නැගුණේ සිය මුතුන් මිත්තන්ගේ උපන් බිම වූ ඕලන්දයට ගෞරවයක් වශයෙනි.    ස්පිටල්ගේ මනසෙහි ලියැවෙන මේ කතාව මුලින්ම අසා සිටියේ ඔහුගේ මිණිබිරිය වූ කුඩා ඈන්ය.  ඒ අවස්ථාව ස්පිටල්ගේ ජීවිත කතාව වූ වන වැදුණු දොස්තර කෘතියේ මෙලෙස සඳහන්වේ.

'යුද්ධය එහි අවසානය කරා ලඟා වෙද්දී රිචඩ් ස්පිටල්ගේ සහ ඔහුගේ කුඩා මිනිපිරිය වූ ඈන්ගේත් සමීපතාව කෙමෙන් වැඩි දියුණු වුයේය.    ලංකාව නැමැති දුපතට අහම්බෙන් පාවී අවුත් කැලයෙහි ජීවත් වුණු ලන්දේසි කොල්ලෙකු පිලිබඳ කතන්දරයක් සිය මිනිපිරියට කීමට ඔහු පටන් ගෙන තිබුණු අතර කතන්දරය කීමේ වැඩ සටහන හැම විටම එකම පිළිවෙලකට ආරම්භ වුයේය.

"හෑන්ස් ගේ කතන්දරය කියන්න සීයේ"

"කතන්දරේ මතක් වෙනකං දූ මගේ නළල අත ගාන්න."

මහත් උනන්දුවෙන් පුංචි මිනිපිරිය සිය සීයාගේ රළු නළල් තලය පිරිමදින්නීය.

"ආ! දැන් ඇති,ඔන්න කතන්දරේ මතක් වුණා. දැන් ඔයා අහගෙන ඉන්න!"

භාෂා කීපයකට පරිවර්තනය කැරුණු "සුදු ගෝනා" නමැති කතාව උපත ලැබුවේ එසේය.    එය "ලිස්බට් ඈන්" නමට උපහාර කොට පිදුණේය.'

මා කියන්නට අදහස් කළේ මේ කෘතීන් දෙකෙහි එන චරිතම සමග ආර්. එල්.ස්පිටල් සහ ක්‍රිස්ටීන් විල්සන්ගේ සම කර්තෘත්වයෙන් බිහිවුණු "Brave Island" නම් ඵෙතිහාසික නවකථාව සම්බන්ධයෙනි.(මෙම නවකථාව "වීර දිවයින" නමින් අභය හේවාවසම් අතින්ද "වීර භූමි" නමින් රූ.පෙ. විජේසිංහයන් අතින්ද සිංහලට පරිවර්තනය වී ඇත) වීර දිවයින කෘතිය ගැන එහි පෙරවදනේ කොටසක් මෙසේය.

"කොළඹ පෘතුගීසි බළකොටුවට ලන්දේසින් විසින් 1655 දී පහර දෙනු ලැබීමත් තදනන්තරව පෘතුගීසින් පරදවා දිවයිනේ මුහුදුබඩ පෙදෙස් ලන්දේසි ආධිපත්‍යයට පත්වීමත් පසුබිම් කරගෙන ගැස්පාර් නමැති පෘතුගීසි රණශුරයකුත් එඩ්මන්ට් නමැති ලන්දේසි රණශුරයකුත් ඩේමියන් පියතුමා නමැති පෘතුගීසි පුජකයෙකුත් ඉනෙස් නමැති පෘතුගීසි තරුණියකත් අවසාන භාගයේ ඔවුන්ට එකතු වූ අලහකෝන් හා සරත් නමැති සිංහල චරිත දෙකත් වටා ගෙතී ඇති මේ නවකථාව ලංකාවේ තත්කාලීන සංස්කෘතික,ආර්ථික සාමාජික හා සාමයික කරුණු පිලිබඳ වසර පසළොසක පමණ කාලයක වැදගත් තොරතුරු අනාවරණය කරමින් නිදැල්ලේ විකසනය වෙයි.    සිංහල පෘතුගීසි දෙමුහුන් කබ්රාල් නමැති කම්මල්කරුවාගේ හා ඩ්‍රීස් නමැති ලන්දේසි වෛද්‍යවරයාගේ චරිතත් කතාවේ විකසනය සඳහා බෙහෙවින් බලපා තිබේ"

රූ. පෙ. විජේසිංහයන් සිය "වීර භූමි" පරිවර්තනය මෙසේ හඳුන්වා දෙයි.

'වීර භුමි' ය, දොස්තර ආර්. එල්. ස්පිටල් සහ ඔහුගේ දියණිය වූ ක්‍රිස්ටීන් විල්සන් යන දෙදෙනා විසින් සම්පාදිත 'බ්රේව් අයිලන්ඩ්' නමැති ඉංග්‍රීසි නවකථාවේ පූර්ණ සිංහල පරිවර්තනයයි.

ස්පිටල් යන නම අසන දකින කවර විටෙක වුවද, කැලෑ පොජ්ජේ මංගච්චන වන්නියේ ඇත්තන් හා ඔවුන්ගේ කැකුලන් හා කැකුලියන් ද පිළිබඳ විසිතුරු සිතුවම් පටක් අප මනැසෙහි නිරායාසයෙන්ම ඇඳී යනු නිසැකය.    ඊට හේතුව, "වයිල්ඩ් සිලෝන්, සැවේජ් සැන්ක්චුවරී, වැනිෂ්ඩ් ට්රේයිල්ස්, වයිට් ලිට්ල් බෝයි හා ලීව්ස් ඔෆ් ද ජන්ගල්" ආදී රමණීය ගද්‍ය පද්‍ය රචනයන් මගින් ඔවුන් අපට පුන පුනා කියා ඇත්තේ එවන් රසබර කථාවන් බැවිනි.

එහෙත්, සිය නවතම කෘතිය වන 'බ්රේව් අයිලන්ඩ්' මගින් ඔවුන් අපට පවසනුයේ ඊට ඉඳුරාම වෙනස් කථාවෙකි.   මෙහිදී ඔවුන් තම හුරු පුරුදු මහ වනය වෙනුවට යුද බිමකුත් සිය හුරතලුන් වන වැදි ජනයා වෙනුවට හැඩිදැඩි රණකාමීන් රැසකුත් සමගය අප හමුවට පැමිණෙනුයේ.   මෙහි එන පාත්‍ර වර්ගයා පෘතුගීසි හා ඕලන්ද ජාතිකයන් වන අතර කථාව දිව යනුයේ පෘතුගීසි යුගයේ පශ්චිම භාගයත් ඕලන්ද යුගයේ ආරම්භක සමයත් හා බැඳි දුර්භාග්‍යමත් කාල පරිච්ඡේදය අතරිනි.   එනයින් සලකා බලන විට 'බ්රේව් අයිලන්ඩ්' ඵෙතිහාසික නවකථාවක් ලෙස හැඳින්වුවද වරද නොවේ.   එය කුමක් වුවද මෙය ඔවුන්ගේ අන් සියළුම නවකථාවනට වඩා රසයෙන් අනුනයැයි කීම අතිශයෝක්ති නොවේමය'

දැන් අපි 'බ්රේව් අයිලන්ඩ්' නැමති නවකථාව ලියැවුණු ආකාරය පිළිබඳව ස්පිටල්ගේ ජීවිත කතාවේ ඇති පරිච්ඡේදයට යමු.

'රිචඩ් ස්පිටල් ඔහුගේ අලුත් පොත - ද පෝට්‍රස් ඇන්ඩ් ද ගල්ප් - (බළකොටුව සහ මුදු බොක්ක) සම්බන්ධයෙන් නිමක් නැති ගැටලුවලට මුහුණ පෑවේය.   ඵෙතිහාසික නවකතාවක් වශයෙන් එය ලියන්නට මුලින්ම අදහස් කර ගෙන සිටියේ ක්‍රිස්ටීන් ය.    එහෙත් ඒ වස්තු බීජය ග්‍රහණය කරගත් ස්පිටල් "හහා! මා ඒක ලියනවා!  පෘතුගීසි යුගය ගැන කතාවක් ලියන්න මා හුඟ කලක් තිස්සේ අදහස් කරගෙන හිටියා!" යි පැවැසීය.'

සැබෑම දුෂ්කරතාව ඉස්මතු වුයේ ස්පිටල්ගේ විශිෂ්ට කෘතියක් සේ සැලැකුණු "සුදු ගෝනා" ගේම - දීර්ඝ කාලයකට උඩදී ඔහු ඈන් ට කී කතන්දරය - දෙවැනි කෘතියක් වශයෙන් "බළකොටුව හා මුදු බොක්ක" (The Fortress and the Gulf) ප්‍රකාශයට පත්කරන්නට ඔහු අධිෂ්ඨාන කිරීමෙන් පසුවය.

එය තමාට අයත් වෙනම පොතක් විය යුතුයැ යි ක්‍රිස්ටීන් තරයේ කියා සිටි නමුත් "සුදු ගෝනා" හි එන හෑන්ස් හා ගැස්පර් පිගේරා යනාදී චරිත - අවශ්‍ය වුවහොත් එකිනෙකට සම්බන්ධ කොට - සිය අලුත් පොතෙහිද පණ ගැන්නීමට ස්පිටල් තීරණය කළේය.

පොතක් නිසා හටගත් පිය - දු ගැටුම දිගින් දිගට ඇදී යද්දී ඉතා උපායශීලිව එයින් ඉවත් වීමට දු තීරණය කළාය.    ගෙදර සාමය පවත්වා ගැනීමට නම් "බළකොටුව"(The Fortress) - ඔවුන් එය හැඳින්වුයේ එසේය - පිළිබඳ විෂය පැත්තකට දැමිය යුතු බවත් එසේ නොකළ හොත් ඒ ගැටුම සදාකාලික "මුදු බොක්කකින්"  (Gulf ) කෙළවර විය හැකි බවත් දු තේරුම් ගත්තාය.

ස්පිටල් යළිත් වරක් බරපතල ලෙස රෝගාතුර වුයෙන් ඔහු ලියමින් සිටි පොතේ වැඩ ඇනහිටියේය.

"ක්‍රිස්ටීන් මට උදව්වක් කරන්න පුලුවන්ද?"

"ඔව්, ඕනෑම උදව්වක්"

"මා වෙනුවෙන් මගේ පොතේ වැඩ ටික කරගෙන යන්න"

එය, ඈ කිසිසේත් කරන්නට කැමතිවු දෙයක් නොවේ. ඇගේ මුලික සංකල්පයෙන් බොහෝ දුරට වෙනස්වී තිබුණු හෙයින් එය කෙසේ පටන් ගත යුතුදැ යි ඕ නොදත්තාය.

"කරුණාකර ඒක පටන් ගන්න ක්‍රිස්ටීන්" ස්පිටල් යළිත් ඇවිටිලි කළේය.

"මා කැමති විදියට ලියන්න ඔබ මට නිදහස දෙනවා නම්...?" ක්‍රිස්ටීන් කීයේ සැක සහිතවය.

"ඔව්"

ඒ ප්‍රතිඥාව අනුව පොතේ වැඩ පටන් ගැනීමට ඉටා ගත් ක්‍රිස්ටීන් ඉතිහාසයේ සැබෑ වීරයෙකු වූ ගැස්පර් පිගේරා ගේ චරිතයත් පෘතුගීසි යුගයත් සහමුලින්ම පර්යේෂණාත්මකව හැදෑරුවාය.  ස්පිටල් අතින් අතිශයෝක්තියට නැගී ඇතැයි මුළු පවුලම ඒකමතිකව නිගමනය කළ, ගැස්පර් ගේ චරිත විග්‍රහයේ විශාල කොටසක් ක්‍රිස්ටීන් ගේ පෑනෙන් නිර්දය ලෙස කැපී ගියේය.   සිය කාලයට ගැලපුණු සදාචාරයෙන් යුත් එහෙත් දළදඬු ශක්තිමත් පෘතුගීසි කපිතාන්වරයෙක් - අලුත් ගැස්පර් කෙනෙක් - ක්‍රිස්ටීන් ගේ ඒ පෑනෙන් ම බිහි වුයේය.

රිචඩ් ස්පිටල්, ක්‍රිස්ටීන් විසින් නැවත ලියන ලද අත් පිටපත සොයා සියතට ගත්තේ මේ අතරතුරේදී ය.   ඒ සමගම නිවස තුළ පරිසරය, මෝසම් වැසි සමය ආරම්භ වන්නට ආසන්නව තිබියදී එළැඹෙන ග්‍රීෂ්ම කාලය මෙන් වුයේය.

ක්‍රිස්ටීන් පුස්තකාලයට පැමිණි හැම මොහොතකම රිචඩ් ස්පිටල් "බල කොටුව" ගැනත් ගැස්පර් ගේ චරිතය වෙනස් කර ඇති ආකාරය ගැනත් අවලාද නගමින් ඇය වෙත කඩා පැන්නේය.   ඒ හැම අවස්ථාවකදීම ඇය හනික පුස්තකාලයෙන් පිටවී ගියාය.

නිවැසියන් ගේ කතාබහට ලක්වුණු වෙනත් විෂයයක් නොවූ තරම්ය.   ක්‍රිස්ටීන් නැවත ලියා තිබු කොටස් කපා දැමීමත් ඇය අතින් කැපී ගිය කොටස් යළි ඇතුළත් කිරීමත් සඳහා ස්පිටල් බොහෝ කාලයක් ගත කළේය.   නිවස තුළ ඇතිවුණු තත්ත්වය හැම කෙනෙකුගේම දොම්නසට හේතු විය.

"නුඹ මගේ ගැස්පර් කාමුකයකු බව‍ට පත් කළා!"

එකිනෙකට ප්‍රතිචාර වශයෙන් උණුසුම් බහින් බස් හුවමාරු වුයේය.

"ඔහු සමහර විට එහෙම කෙනෙකුව ඉන්නට ඇති. ඔබ හිතන විදියේ සාන්තුවරයෙක් නොවෙයි! සාන්තුවරයෙකු වශයෙන් හැඳින්වී නැත්තේ ඔහු කිසිම හේතුවක් නැතිව සතුරන්ගේ අතුණු බහන් කොක්කකින් එළියට ඇද්ද නිසායි!"

"නුඹ ඔහු සල්ලාලයකු බවට පත් කළා!"

"සමහර විට එයා එහෙම කෙනෙකුව ඉන්නට ඇති!"

"ඒ චරිතය වෙනස් කරන්නට උඹට කිසිම අයිතියක් තිබුණේ නැහැ"

ක්‍රිස්ටීන් යළිත් රිචඩ් වෙතින් පලා ගියාය.  ටික වේලාවකට පසු එකම වචනයක් සටහන් වුණු කඩදාසි කැබැල්ලක් ක්‍රිස්ටීන් අතට ආයේය.

"කණගාටුයි" එහි සටහන්ව තිබිණ.

දිගු වේලාවක් ඔහු සමග අමනාපව සිටීම කිසිසේත් කළ හැක්කක් නොවීය.

විවිධ අවස්ථා පසු කරමින් එසේ ඉදිරියට පැමිණි "බළකොටුව" එහි අවසන් අදියරට එළැඹියේ එය පටන් ගැනුණු දා සිට අවුරුදු දහයක් ගතවීමෙන් පසුවය.   රිචඩ් ස්පිටල් යළිත් වරක් ලෙඩ ඇඳට වැටුණේය.   පොත අවසන් කරන ලෙස හෙතෙම නැවතත් ක්‍රිස්ටීන් ගෙන් ඉල්ලා සිටි හෙයින් ඕ තවත් වරක් ඒ කටයුත්තට අත ගැසුවාය.

කලින් වාරයේ ක්‍රිස්ටීන් විසින් ඉවත් කරන ලදුව රිචඩ් ස්පිටල් විසින් යළි ඇතුළත් කැරුණු විස්තර නැවතද බැහැර කිරීමට වැඩි දෙයක් මේ වාරයේ නොකිරීමට ක්‍රිස්ටීන් වග බලා ගත්තාය.    එය රිචඩ් ගේම පොතක් බවට පත් කිරීමට මෙන්ම එහි චරිත පිළිබඳ ඔහුගේ සංකල්ප වෙනස් කිරීමෙන් ඔහුගේ සිත නොරිදවීමටත් ඕ පරෙස්සම් වුවාය.

රෝගී වුණු හැම අවස්ථාවකදීම රිචඩ් වඩවඩාත් දුර්වලවූ අතර පොත ඉක්මනින් ප්‍රකාශයට පත්කිරීම ඔහුගේ ප්‍රබල අපේක්ෂාව විය.   ලංකාවේ ප්‍රකාශන ආයතනයක් එය පළ කිරීමේ වගකීම බාරගත් හෙයින් ප්‍රමෝදයට පත් රිචඩ් ස්පිටල්, සම කර්තෘ වශයෙන් ක්‍රිස්ටීන් ගේ නමද පොතට යෙදිය යුතු යැයි කියා සිටියේය.

ඒ පොත වෙනුවෙන් ඇගෙන් හොඳ සේවයක් ඉටු නොවීය.   කාලය හැම විටම "බල කොටුවේ" හතුරෙක් විය.  දස වසරක් තිස්සේ නැවත නැවත ලිවීම නිසා පොතේ ජීව ගුණය බොහෝ දුරට සිඳී ගොස් තිබිණි.   රිචඩ් ස්පිටල් කලින් ලියු පොත මේ කෘතිය කෙරෙහි බලපෑ හෙයින් අලුත් ග්‍රන්ථයෙහි ඊටම විශේෂවූ අනන්‍යතාවක් නොතිබිණි.    ඕනෑම පොතක අවශ්‍යයෙන්ම තිබිය යුතු ඒකීයත්වය මෙහි දක්නට නොලැබෙන්නේ රිචඩ් ස්පිටල්ගේ දු ද ඊට අත ගැසූ හෙයිනි.

එසේ වුවත්, නීල මුසු හරිත වර්ණය පසුබිම් කොටගෙන පෘතුගීසි රුවල් නැව් යාත්‍රා කරන ආකාරය දක්වන පිට කවරයද "බ්‍රේව් අයිලන්ඩ්"(Brave Island) යන අලුත් ග්‍රන්ථ නාමයද ඇතිව සිය නිර්මාණය ප්‍රකාශයට පත්ව තිබෙනු දැකීමෙන් වයෝ වෘද්ධ ආර්.එල්. ස්පිටල් බුක්ති වින්දේ සීමාන්ත ප්‍රමෝදයකි.   එය ඉතා වැදගත් විය.  මේ පොත එළි දැක්වුයේ කොතරම් දේ කැප කිරීමෙන් ද යන වග දන්නෝ ස්පිටල් පවුලේ සාමාජිකයෝ පමණකි.   නිර්මාණයක් වශයෙන් එය සාර්ථක නොවූ නමුත් ඒ සඳහා දරන ලද කටුක ප්‍රයත්නයෙන් ඊට වටිනාකමක් එක්වී තිබේ෴

(වන වැදුණු දොස්තර, ක්‍රිස්ටීන් ස්පිටල් විල්සන්. පරිවර්තනය, ප්‍රේමචන්ද්‍ර අල්විස්, සූරිය ප්‍රකාශකයෝ,1998)

Thursday, June 15, 2017

තිත්ත කෝපි කතාව.


රිචඩ් ස්පිටල් ඉතා හොඳ ශල්‍ය වෛද්‍යවරයෙකු ව සිටින්නට ඇත.   එහෙත් ඔහු ඉතා නරක ව්‍යාපාරිකයෙක් විය.   එසේ වුවද තම ක්ෂේත්‍රයෙන් බැහැර නොයෙක් දේ බොහෝ විට ඉතා අනර්ථකාරී අන්දමින් අතපත ගෑමට හෙතෙම පුරුදු වුයේය.

කාර්ල්ස්බර්ඩ් නැමැති කුඩා පොල්වත්ත වෙනුවෙන් වූ ණය මුදල ගෙවා දමා වැඩි දවසක් යන්නට කලින්ම නාවලපිටි කඳුකරයේ මධ්‍යම ප්‍රමාණයේ තේ වත්තක් මිළට ගැනීමට ස්පිටල් තීරණය කළේය.   ඔහු ඒ වත්ත තෝරා ගත්තේ එය පිහිටි පරිසරයේ අලංකාරය පමණක්ම සලකා මිස ඉඩමෙන් ලද හැකි ආර්ථික වාසියක් ගැන හිතා බලා නොවේ යැයි සැක කළ ක්ලේරි දිනක් ඔහුට මෙසේ කීවාය.

"තේ වත්තක් පාලනය කිරීමේ බර කරට නොගෙන කරන්න තව ඕනෑ තරම් දේවල් ඔයාට තියෙනවා නේද? ඔබ කවදාවත් ව්‍යාපාරිකයෙකුව හිටියේ නැහැ!"

ස්පිටල් ඉතා සන්සුන්ව සිය පයිප්පය උරමින්, වතු අධිකාරිවරයාගේ කුටියේ පියගැට පෙළ මතැ සිටියේය.   වායුවේ සිසිලත් වා රැළි සමග මුසුවී ආ සුවඳත් ඔහුගේ නාසයට දැනිණි.   තේ පඳුරුවල ගෝලාකාර මුදුන් දෙසත් තේ වගාවෙන් ඔබ්බේ රාජාලියන් දුක් මුසු රාවයක් නගමින් සැරූ අහස දෙසත් ඔහු බලා සිටියේය.   තේ කර්මාන්ත ශාලාවේ යන්ත්‍රාගාරයේ හඬ ස්පිටල්ට ඇසුණේ හෘදය වස්තුවක ඒකාකාරී ස්පන්දනය සේය.   යන්ත්‍රාගාරයෙන් නැගුණු දුම් රොටු හෙමිහිට අහසට නැගුණු අන්දම ස්පිටල්ගේ ඇසැ ගැසුණේය.   යන්ත්‍රාගාරය තුළ තේ- ඔහුගේම තේ- දිනපතා ඇඹරෙමින් සැකැසුණේය.

තම දේපලවලින් බැහැර වුණු ඉඩම් හිමියන් කීප දෙනකු ගැන ක්ලේරි මෙහිදී යමක් මිමිණුවාය.

"ජෝජ්!" ස්පිටල් ක්ෂණිකව පැවැසීය.

ඊට ප්‍රතිචාර වශයෙන් ක්ලේරිගෙන් මහත් විස්මයක් පළ විය.   ස්පිටල්ගේ බාල සහෝදරයා ද මිනින්දෝරුවෙකු ද වූ ජෝජ් ස්පිටල් ට වඩා බෙහෙවින් වෙනස් ගති පැවැතුම් ඇත්තෙක් විය.   දෙපාර්ශවයේ අන්‍යොන්‍ය එකඟත්වය මත කිසියම් රහසිගත හේතුවක් නිසා අදාළ ගිවිසුම අවලංගු නොකැරෙන තෙක්ම හෙරොන්ඩේල් වතුයාය ඉතා කාර්යක්ෂම ලෙස පවත්වා ගෙන ගියේ ජෝජ්ය.

තේ පලස අවසන් වුණු තැන සිට නිම්නෝන්නත තණ පලස හරිත සාගරයක් සේ ඈතට විහිදුණේය.   එක් පහත් බිමක දිගු කාලයක් තිස්සේ තිබුණු ගොඩනැගිල්ලක මුදුනෙහි වූ කළු ගැහුණු දුම්කවුළුවක් දිනක් ස්පිටල්ගේත් ක්‍රිස්ටීන්ගේත් ඇසැ ගැසිණි.   ඒ ගොඩනැගිල්ල කුමක්ද?  එහි ජීවත්වුවෝ කවුරුද යන ප්‍රශ්න ඔවුන් හමුවෙහි මතු විය.

වත්තෙහි තේ සකසන්නා (ටී මේකර්) මහලු මිනිසෙකි.   ඔහුගෙන් ඒ ගැන විමසු විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

"මේක ඉස්සර කෝපි වත්තක්.  කෝපි ගස්වල මල් පිපුණාම හරියට සමන් පිච්ච මල් පිපුණා වාගේ.   කෝපි ගස් අතරේ අප ඇවිදින්න ඕනෑ බොහොම පරිස්සමෙන්.   අපේ ඇඟේ ගැටීමෙන් මල් හැලුනොත්, ඒවායින් ලැබෙන්න තියෙන ගෙඩි නොලැබී යන නිසා.   කෝපි මල් පිපෙන කාලෙට ඒවායේ සුවඳ හැතැප්ම ගණනක් ඈතට දැනෙනවා.   කෝපි වසංගතය ඇවිත් මුළු කෝපි වගාවම උදුරා දැමීමට සිදුවන්නට කලින් මෙතැන තිබුණු ගෙයි දුම් කවුළුව තමයි ඔය තියෙන්නෙ."

"ඒ කතාව - කෝපි කාලයේ කතාව - කොයි තරම් හොඳ එකක් වෙයිද?" ස්පිටල් පැවැසීය.

ක්‍රිස්ටීන් කිසියම් දවසක ඒ කතාව කෝපි කතාව ලියතැයි යන වග හෝ හෙරොන්ඩේල් වත්ත හය වසරකට ඇගේ වාස භූමිය වනු ඇතැයි යන්න හෝ ස්පිටල් එදා දැන නොසිටියේය.

(වන වැදුණු දොස්තර, ක්‍රිස්ටීන් ස්පිටල් විල්සන්. පරිවර්තනය:ප්‍රේමචන්ද්‍ර අල්විස්.1998, සූරිය ප්‍රකාශකයෝ )

හෙරන්ඩේල් වත්තෙහි දී මගේ විශේෂ මිතුරා වුයේ කලක් විශාල තේ කර්මාන්ත ශාලාවල තේ සැකසුම් කරුවෙකු වූ වයෝවෘද්ධයෙකි.  ඉතාම ආචාර සම්පන්න එහෙත් ආඩම්බර කාරයෙකු වූ හෙතෙම නිවසින් පිටතදී මෙන්ම ගෙදර සිටියදීද ඔහුගේ සුදුකෙස් සඟවා ගැනීම සඳහා හිස් වැස්මක් පැලැන්දේය.   තේ සකසන්නෙකු කර්මාන්ත ශාලාව පුරා නිතර ඇවිදීමටත් එහි අයෝමය තරප්පු නැගීමට හා බැසීමටත් ශක්තිය ඇත්තෙකු විය යුතු යැයි ඔහු සුපුරුදු මෘදු හඬින් මට කීයේය.   ඔහු බොහෝදේ දත්තේය.   "මට කියන්න" යැයි මා මුල පිරූ විට කතාව පටන්ගත් මගේ මිත්‍රයා කර්මාන්ත ශාලාවෙන් අතුගා එකතු කැරෙන දූවිලි තේ බාර්බටන් ඩේසි නමැති මල් පැලයට ඉතා හොඳ පොහොරක් යැයිද වත්තේ කංකානම එළදෙනක හා කුකුළන් ඇති කරන හෙයින් ඔහුගෙන් කිරි හා බිත්තර ලබා ගත හැකි යැයිද කීයේය.   මට දක්නට ලැබුණු කුරුල්ලෙකු ගැන හෝ පැළෑටියක්  ගසක් ගැන හෝ ඔහුගෙන් කරුණු විමසු හැම විටෙකම ඔහු ඒ හැමෙකකම නම දැන සිටියේය.   ඔහු කනස්සල්ලට පත් වුයේ අපගේ තේ සම්බන්ධයෙන් පමණකි.   එහෙත් ඒ ගැන සාකච්ඡා කිරීමට ඔහු කැමැති නොවීය.  මම ඔහුගේ නිශ්ශබ්දතාව ඉවසුවෙමි.

හිරු රැස් සැඩ වන විට මම, අපගේ වත්ත මැදින් ඇදී පඹගාලේ හා වල් ලූනු පඳුරු සහිත ගොඩැලි මැදින් කන්ද දෙසට විහිදුණු රත් පැහැති ගුරු පාර දිගේ ඇවිද ගෙන ගියෙමි.   තේ වගාව අවසන් වූ තැන සිට පේන තෙක් මානයේ ඈතට විහිදුණු තණ බිම ලක්ෂ සංඛ්‍යාත කූඩැල්ලන්ගෙන් ගැවැසී ගත්තේය.  මා හැම විටම එතැනින් ආපසු හැරුණේ,මා ඇවිදීම ප්‍රිය කළ කෙනෙක් නොවූ හෙයිනි.

දිනක් තේ වගාව වසාගෙන මීදුම පැතිර තිබියදී ඒ පතන් බිම පසුකරගෙන ඔබ්බට ගිය මම තැනින් තැන විසිරුණු ගඩොළු හා ගල් කුට්ටි සහිත එළිමහනකට පිවිසියෙමි.   කෙනෙකුගේ කුතුහලය දනවන අමුතු මෝස්තරයකින් නිර්මිතව කළු ගැහුණු චිමිනියක කොටසක්ද එහිදී මගේ ඇස ගැසිණි.  එහෙත් නිවසක හෝ වෙනත් ගොඩනැගිල්ලක හෝ ලකුණු එහි නොවීය.

එදින සවස් කාලයේ මම මගේ මිත්‍රයා - තේ සකසන්නා - සොයා යන්නට ඉක්මන් වුණෙමි.   ඔහු, ගොඩැල්ල අද්දර පොළොවෙන් උඩට නැගුණු ගල් කුට්ටියක් මතැ වාඩිගෙන සිටියේය.   කාලගුණය විසින් දුර්වර්ණ කරන ලද සිය හිස් වැස්ම නළලෙන් මඳක් පසුපසට වනසේ පැළඳ ගත් හෙතෙම ලිහිල් ලෝම කබාය තුළ පිට කොන්ද වක ගසා ගෙන සිටියේය.   මා ඔහු අසලට පැමිණෙත්ම හිස් වැස්ම අතට ගෙන හිස පසෙකට ඇල කොට අපූර්ව ආචාර ඉරියව්වක් දැක්වූ හෙතෙම හනික නැගී සිටියේය.   

"අර පතන මැද්දෙ තියෙන චිමිනිය මොකක්ද?"මම මිත්‍රයාගෙන් විමසුවෙමි.

ඔහුගේ දෑස දීප්තිමත් විය. "ආ......කෝපි!' ඔහු කීයේය.

"මට කියන්න කරුණාකරලා!" 

"ඒ කාලේ මෙහෙ කෝපි වගාවක් තිබුණා"

"කොයි කාලේද?"

"මගේ වයස අවුරුදු හත,අට කාලේ!"

අවුරුදු හැටකට කලින්! ගල් කුට්ටියක් මත හිඳගත් මම ඔහුට කන් දුන්නෙමි.  ඔහුගෙන් කියැවුණු කරුණු අතුරින් වැඩි කොටසක් පිළිබඳව මම පසු කාලයක පර්යේෂණයක යෙදුණෙමි.

ලංකාවේ මුළු කඳුකරයම කලක් දහස් ගණන් වල් අලින්ගෙන් ගහන ගන වනයෙන් වැසී තිබිණැයි මගේ මිත්‍රයා ඔහුගේ කැඩිච්ච ඉංග්‍රීසියෙන් මට කීයේය.   මේ රටේ ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ පාලන කාලයේදී සමහර විට මෙයින් අවුරුදු දහස් ගණනකට ඉහත ගාල් කරන ලද මේ අලි ඇතුන් දාගැබ් ඉදි කිරීම, වාරි මාර්ග පද්ධති ඉදිකිරීම හා වෙනත් මහා පරිමාණ වැඩ කටයුතුවල යොදා ගත හැකි වනසේ පුහුණු කැරුණු බවද මිත්‍රයා මට කීයේය.  බ්‍රිතාන්‍යයන් මෙරටට පැමිණි කාලයේ මෙහි හොඳ මංමාවත් නොතිබුණු හෙයින් ඒවා ඉදිකිරීම පිණිසද බ්‍රිතාන්‍යයන් අලි ඇතුන් යොදාගත් බවත් මිත්‍රයා පැවැසීය.

ඒ වන විට රටේ විශාල ප්‍රදේශයක් වසා ගෙන විසිරී තිබුණ වන සම්පතත් ඊට යටවී තිබුණ සාරවත් භූමියත් රටේ ඉතාම වැදගත් ආර්ථික සාධකය බවට පත්ව තිබිණි.

කඳුකරය කෝපි වගාවට යෝග්‍ය යැයි පේරාදෙණියේ උද්භිද උද්‍යාන අධිකාරීහු 1825 පමණ රජයට වාර්තා කළහ.   සරු පස සහිත ඉඩම්ද කෝපි පැළ  හා වගාව සඳහා රජයේ අනුග්‍රහයද අවශ්‍ය බවත් ඔවුහු වැඩි දුරටත් රජයට දන්වා සිටියහ.   කඳුකරයේ කැලෑ එළි පෙහෙළි කොට කෝපි පැළ ඉඳුවනු පිණිස ශක්තිමත් බ්‍රිතාන්‍ය තරුණයෝ දහස් ගණනින් මෙහි පැමිණියහ.  ඒ කාර්යය සඳහා තාරුණ්‍යයත් ශක්තියත් මෙන්ම මෙතෙක් මේ දිවයිනෙහි නොදක්නා ලද කැප වීමක්ද අවශ්‍ය විය.

කෝපි වගාවෙන් කඳුකරය වැසී ගිය බවත් කෝපි මල් පිපෙන කාලයේදී මුළු කඳුරට හිම වැටුණාක් මෙන් සුදුමලින් වැසී ගොස් සමන්පිච්ච මල් සුවඳ දසත හැමු බවත් මගේ මිත්‍රයා කීයේය.   මලින් ගැවැසී ගත් කෝපි වගාව යටින් කිසිවෙක් ඇවිද නොගියේ පලදාවට හානියක් වෙතියි බියෙන් බවද කී මිත්‍රයා, තද කොළ පැහැයෙන් හට ගන්නා කෝපි පලය පැහෙන විට කෙමෙන් කහ පාටට හැරී අන්තිමේදී දිළිසෙන රත් පැහැයක් ගත්තේ යැයිද පැවැසීය.   මීදුමෙන් වැසුණු අපගේ ඉඩම දෙස බැලූ මිතුරා හුදකලාවේ වැඩී තිබුණු නිසරු කෝපි ගසකින් කොළයක් කඩා මට පෑයේය.  " මේ බලන්න මිසී! මෙතැනත් කෝපි වැවුණා.  මේ වත්තෙත්! ඒ විතරක් නොවෙයි අර ඔබ දුටු පාළු හරියෙත්!" කී මගේ මිත්‍රයා, ඔහු අතෙහි වූ කෝපි කොළය අනෙක් පැත්ත හරවා ඊට ඇඟිල්ලෙන් තට්ටු කළේය. "බලන්න මිසී!" කෝපි පත මතැ තඹ පැහැති පැල්ලම් විසිරී තිබෙනු මම දැක්කෙමි.

"හෙමීලියා වැස්ටැට්‍රික්ස්"මගේ මිත්‍රයා සිහින් සරින් පැවැසීය.  අපේ කෝපි වගාව විනාශ කළ කොළ රෝගය!"

එක් වත්තක පැතිර ගිය රෝගය ඉන් පසු තවෙකකද ඉන් අනතුරුව තවත් එකකද වශයෙන් ශීඝ්‍රයෙන් පැතිර ගියේය.  අන්තිමේදී හැම වත්තක්ම අත් හැර දමන ලද්දේය.   මට දක්නට ලැබුණු චිමිනිය ඒ කෝපි වත්තෙන් එතෙක් ඉතිරිව තිබුණු එකම කොටසය.   කලකට පෙර ඒ වගාව සරුවට තිබියදී මගේ මිත්‍රයාට එය දක්නට ලැබී ඇත.

ඔහු හදිසියේම කතාව නතර කළේය.

"කවුද ඒ වත්තෙ හිටියෙ?"

මගේ මිත්‍රයා තිගැස්සුණේය. "මිසී කළුවර වැටෙන්න කලින් ගෙදර යන්න.  දැන් වෙලාව හරි!" ඔහු කීයේය.

"ඒ වත්තෙ හිටපු අය කවුද ජොනී! ඔබ ඒ අය දන්නවද?"

"හිටපු අය?.....එක්කෙනයි හිටියෙ.......තනියම! එයා දිවි නසා ගත්තා!" මගේ මිත්‍රයා මොහොතකට නිහඬ විය. 

"මම ඒ කාලෙ ළමයෙක් නෝනා!" ඔහු කීයේ ගරුසරු සහිතවය.  "මම කොහොම දැනගන්නද?"

මිතුරාට ස්තුති කළ මම මඟට බැස්සෙමි.  මඳ දුරක් ගොස් ආපසු හැරී බැලුවෙමි.  ඔහු ගල් කුට්ටිය මත සාඩම්බර ලීලාවෙන් නැගී සිටියේ කෝපි කොළ රෝගයෙන් විනාශවූ වත්ත දෙස බලාගත් වනමය.  ඔහුගේ දෙවැනි නම බ්‍රිතාන්‍ය නමක් බව මට එවිට සිහිපත් විය.

කෝපි වසංගතය දිවයිනේ හැම වත්තකටම පැතිර ගියේය.  කෝපි පලදාව හීන විය.   ගස් මැළවී ගියේය.  ධන හානියට පත් වැවිලි කරුවෝ ලංකාව හැර ගියහ.   ඉන් බොහෝ දෙනෙක් නැගෙනහිර අප්‍රිකාවේ අලුත් බ්‍රිතාන්‍ය විජිතයෙහි කෝපි වගාව ආරම්භ කළහ.   ලංකාවෙහිම තව දුරටත් රැඳුනු පිරිස කුරුඳු වගාවත් ක්වීනින් නිපදවනු සඳහා අවශ්‍ය වූ සින්කෝනා වගාවත් ආරම්භ කොට ඒ නිෂ්පාදනයෙන් වෙළෙඳ පොළ පිරවුහ.   තව දුරටත් මේ රට කෙරෙහිම විශ්වාසය තැබූ ඔවුහු පසුව තේ වගාව පටන් ගත්හ.

ඒ අතරතුර මම මගේ ලේඛන පුවරුව ඇලයකට අල්ලාගෙන හෝ හැකි අවස්ථාවලදී යතුරු ලියනයෙන් හෝ හෙමිහිට පොත ලියාගෙන ගියෙමි.  දීර්ඝ කාලයකට පසු එය අවසන් විය.   ඇලිස්ටෙයාර් හා මා ද සාමාජිකයින්ව සිටි ස්කොට්ස්කර්ක් නම් දේවස්ථානයේ පැවිදි සාමාජිකයෙකුද අපගේ මිතුරෙකු හා උපදේශකයෙකුද වූ පුජකවරයෙකුට මම මගේ අත් පිටපත පළමුවෙන්ම බාර දුන්නෙමි.   එතුමන් එය කියවා ආපසු මට දුන්නේ ප්‍රමෝද ජනක සිනාවක්ද ඇතිවය.

"මොකක්ද මම යෙදිය යුතු නම" මම විමසුවෙමි.

"බිටර්බෙරි" පුජකතුමෝ කීහ.

ආපසු ගෙදරට පැමිණි මම අලුයම හතරට අවදි වෙමි.   සාත්තු නිවාසයේ ආලෝකය මගේ කාමරයේ ජනේලවලට එහා පැත්තේ දිදුළයි.   රාත්‍රී ගවුමට උඩින් දිගු කබායක් ලාගෙන හෙමිහිට මම මගේ කුටියට පිවිසෙමි.   ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ ජිනදාස කලක් වැඩ කළ කාමරය දැන් මගේ ලියන කාමරය බවට පත්ව තිබේ.  

කිසිදු බාධකයකින් තොරව පැය ගණනක් පුරා එහිදී ලේඛන කටයුතුවල යෙදෙන්නට මට පිළිවන් වූ අතර මගේ පොත් බ්‍රිතාන්‍යයෙහිදී ප්‍රකාශයට පත්විය.   හෙරන්ඩේල් කතාව පදනම් කොටගත් "බිටර් බෙරි" ද හෝටන් තැන්න වස්තු බීජය කොට බිහිවුණු " අ යෑම් ද විංග්ස්" හා ඉන්දියාවේ ජම්මුහි සිට කාශ්මීරය තෙක් ඇලිස්ටෙයාර් ද සමග බසයෙන් ගිය ගමන අනුව ලියැවුණු "මවුන්ටන් රෝඩ්" ද ඒ අතර විය. 

මගේ පළමුවෙනි පොත පළ කිරීමට බාර ගත් ප්‍රකාශකයෝ අනෙක් පොත් දෙක පළමුවැනි වරට ප්‍රකාශයට පත්කිරීමේ අයිතියද ඉල්ලා සිටියහ.   ලිවීම ජීවන මාර්ගයක් මෙන්ම ලන්ඩනයට ගොස් ජුනි මාසයේ සීතල තෙතමනය සහිත දවසක් මගේ කශේරු සැත්කම නොකැරෙන තෙක්ම මා නිරන්තරයෙන් වින්ද වේදනාව පලවා හැරීමේ මාර්ගයක්ද විය.   මගේ සැත්කම සිදුවුණු දවසේම එළිසබෙත් රැජිනියගේ රාජාභිෂේකයද සිදුවිය.  ප්‍රකාශකයින් මගේ තිත්ත කෝපි(bitter berry) ප්‍රකාශනය සඳහා බාරගන්නා විට විදේශවලදී පොත් පළකළ ශ්‍රී ලාංකික කාන්තාවෝ  - කිසිවෙක් සිටියෝ නම්- ඒ ඉතාම අල්පයහ.  සැතපුම් හය දහසක පමණ වූ  දුර ශ්‍රී ලාංකික ලේඛකයන් හා එංගලන්ත ප්‍රකාශකයන් අතර පහසු සබඳතාවලට  බලවත් බාධකයක් විය෴

(ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්, ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන්. පරිවර්තනය:ප්‍රේමචන්ද්‍ර අල්විස්, 2008 සූරිය ප්‍රකාශකයෝ)
                         (ක්‍රිස්ටීන් ස්පිටල් විල්සන් .1913 - 2010 )
 තිත්ත කෝපි කතාවේ පරිවර්තනය ගැන පසුගිය දවසක මුහුණු පොතෙහි ඇතිවූ කතාබහ නිසාවෙන් මෙය ලියන්නට සිත්විය. ක්‍රිස්ටීන් විල්සන් විසින් රචිත The Bitter Berry නම් කෘතිය පළමුවෙන් සී.ඒ.විජේසේකර මහතා විසින්ද පසුව අනුල ද සිල්වා මහත්මිය විසින්ද තිත්ත කෝපි යනුවෙන් පරිවර්තනය කර ඇත.  මෙය තිත්ත කෝපි කතාව නොව ඒ කතාව ලියැවුණු ආකාරය මා සතු පොත් ඇසුරෙන් මතක් කර දීමකි.

පරිවර්තන කෘති දෙකක එක් එක් තැන්වලින් කොටස් රැගෙන මෙහි පළකිරීම යම් තරමකට පාඨක ඔබට අපහසුවක් වන්නට හේතුවක් වුවත් මා උපුටා දක්වන්නට යෙදුණේ එම කෘතිවල තිත්ත කෝපි කතාවට අදාළ කොටස් පමණක් නිසා එම අපහසුව විඳ දරා ගෙන කියවන මෙන් ඉල්ලා සිටිමි.

Sunday, May 21, 2017

කෝර්සිකානු සහෝදරයෝ.

කෝර්සිකානු සහෝදරයෝ, නිවුන් සොහොයුරන් දෙදෙනෙකුන් වටා ගෙතුණු අතිශය අද්භූත ජනක ප්‍රේම වෘතාන්තයකි.     කයින් දෙදෙනෙකුන් වුවද සිතින් එක්කෙනෙකුන් වන,එකම අන්දමේ සිතුම් පැතුම් හා ආවේග පහළ වන මේ සොහොයුරන් දෙදෙනාගේ විස්මය ජනක කථාන්තරය ඇලෙක්සන්දර දියුමා ගේ සංකල්පන ශක්තියේ උපරිම අවස්ථාව පිළිබිඹු කරයි.    ප්‍රේම ජවනිකා වලින්ද ද්වන්දව සටන් වලින් ද අනුන අතිශයින් චමත්කාර ජනකවුත් අතිශයින් බිහිසුණු වුත් මේ ප්‍රේම වෘත්තාන්තය විවිධ භාෂාවලට පරිවර්තනය වී චිත්‍රපට රාශියකට වස්තු බීජය සපයා ඇත.

ඇලෙක්සැන්දර දියුමාගේ ශ්‍රේෂ්ඨ නවකතා වන " මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා" හා " තුන් සොල්දාදුවෝ" යන නවකතා දෙක තරමටම අතිශයින් ජනප්‍රිය තවත් නවකතාවක් වෙ නම් එය මේ "කෝර්සිකානු සහෝදරයෝ" ය.    ඉහත සඳහන් කරන ලද නවකතා ඉතා දැවැන්ත නවකතා වන අතර " කෝර්සිකානු සහෝදරයෝ" නවකතාව ඉතා කුඩා නවකථාවක් වෙයි.   එසේ වුවද සාර්ථක නවකථාවක අඩංගු විය යුතු සෑම අංගයක්ම මේ නවකථාවෙහි දක්නට ඇත.   එම නිසා ලෝක සාහිත්‍යයට අයත් ඉතා රසවත් නවකථාවක් ලෙසද ගණන් ගනු ලබන්නකි.

" කෝර්සිකානු සහෝදරයෝ" නවකථාවක් වුවද උසස් දෘශ්‍ය කාව්‍යයක් වශයෙන්ද සැලකිය හැකිය.   නාට්‍ය ලිවීමේ දියුමා සතු ප්‍රතිභා ශක්තිය උපරිම අන්දමින් මෙහි පිළිබිඹු වී ඇති බැවිනි.   මේ නිසාම මේ නවකථාව දෘශ්‍ය කාව්‍යයක් හෙවත් නාට්‍යයක් වශයෙන්ද ප්‍රංශය,එංගලන්තය ආදී බොහෝ රටවල ඉතා සාර්ථක අන්දමින් රඟ දක්වා ඇත.

ආචීර්ණ කල්පික සිරිත් විරිත්වලින් හා සම්ප්‍රදායන්ගෙන් පිරීගිය අද්භූත ජනක දුපතක් ලෙස සැලකෙන කෝර්සිකාවේ නිවුන් සොහොයුරන් දෙදෙනෙකුන් වටා ගෙතුණු මේ විස්මයජනක කථාන්තරය ප්‍රේමයෙන් වෛරයෙන් හා පළි ගැනීමෙන් පාඨකයන් ගේ සිත් සසල කරයි.    ලොමුදැහැගැන්වෙන සුලු සිද්ධීන් ගෙන්ද ද්වන්දව සටන්වලින් හා ප්‍රේම ජවනිකාවලින් ද නොමඳව සැරසී ඇති මේ අමරණීය ප්‍රේම වෘත්තාන්තය ලෝකයේ විවිධ භාෂාවලට පරිවර්තනය වී පාඨකයන්ගේ අතිශය සම්භාවනාවට හා ප්‍රසාදයට පාත්‍ර වී ඇත්තේය.

"වර්ෂ 1841 මාර්තු මාසයේ මුල් භාගයේදී මම කොර්සිකාවේ සංචාරයක යෙදුනෙමි.   කෝර්සිකාවේ සංචාරයක් තරම් අන් කිසිම සංචාරයක් විචිත්‍ර හෝ විනෝදජනක හෝ විය හැකි යැයි මම නොසිතමි.   තුලෝං හිදී නැවට නගින කෙනෙකුට පෑ විස්සකින් අජසියෝවට ලඟාවිය හැකිය.    නැතහොත් පෑ විසිහතරකින් බස්තියාවට ලඟාවිය හැකිය.

එහිදී ඔබට අශ්වයෙකු මිලයට හෝ කුලියට හෝ ගත හැකි වෙයි.    අශ්වයෙකු කුලියට ගැනීමට දිනකට ගෙවිය යුත්තේ ෆ්‍රැන්කු පහකි.   මිලයට ගැනීමට ගෙවිය යුතු මුදල සාමාන්‍යයෙන් ෆ්‍රැන්කු සියයක් පමණ වෙයි.   මේ සුළු මුදල ගැන ඔබ සිනා නොවිය යුතුය.   ඔබ අශ්වයා කුලියට ගතද මිලයට ගතද, නර්ෆ් තුඩුවේ සිට සේන් නදියට පිනු ගැස්කන් ගේ සුප්‍රකට අශ්වයා මෙන් නැතහොත් ගොන්තිලියේ හා ශොම්ප් ද මාර්ස්හි වීරයන් වන ප්‍රොස්පරෝ ගේත් නෝටිලස් ගේත් අශ්වයන් මෙන්, ඔබේ අශ්වයාද නොපැකිළ, නොබියව, වීර වික්‍රමාන්විත ක්‍රියාවන් හි යෙදෙනු ඇත.    බාල්මත්ට පවා යකඩ කොකුවල එල්ලි එල්ලී මිස ගමන් නොකළ හැකි දුර්ග මාර්ගවල ඌ ඉතා හොඳින් ඔබ ගෙනයනු ඇත.    ඔරිඕල්ට ද සමබරතාව රැක ගනු පිණිස පොල්ලක් අවශ්‍ය වන ඒදඬු පාලම් හරහා වුවද ඌ ඉතා ලෙහෙසියෙන් ඔබ රැගෙන යනු ඇත.

සංචාරකයාට කරන්නට තිබෙන්නේ සිය දෑස පියාගෙන, ඕනෑ තැනක තමා ගෙන යාමට අශ්වයාට ඉඩ හැරීම පමණි.    අශ්වයා කෙරෙහි අතුරු අන්තරාවක් ගැන තැති ගැනීමක් හෝ භය ශංකාවක් හෝ කිසිසේත් ඇතිවන්නේ නැත.

එමෙන්ම, අශ්වයාට කවර අන්දමේ ගමනක බිමනක වුවද යෙදිය හැකි බව අප මෙහිදී අමතක නොකළ යුතුය.   කෑමක් හෝ බීමක් නොමැතිව ඌට දිනකට ලීග පසළොසක දුරක් ලෙහෙසියෙන් ගමන් කළ හැකිය.  

වැඩවසම් යුගයේ කිසියම් වීර වික්‍රමාන්විත නායකයකු විසින් ගොඩ නංවන ලද පැරණි බලකොටු මාළිගයක නටබුන් නරඹනු පිණිස හෝ ජිනෝවා ජාතිකයින් විසින් ඉදිකරන ලදුව කාලයාගේ අවෑමෙන් ගරා වැටුණු කිසියම් අටල්ලක රේඛා චිත්‍රයක් සටහන් කරගනු පිණිස හෝ සංචාරකයා වරින්වර නතර වන අවස්ථාවල දී, අශ්වයා තණබිමෙන් තණ කටවල් කීපයක් උලා කෑමෙන් හෝ අසල ගසකින් අතු රිකිලි කීපයක් කඩා කෑමෙන් හෝ එසේත් නැතිනම් පෙඳ පාසි බැඳුනු ගලක් ලෙවකෑමෙන් හෝ පූර්ණ තෘප්තියකට පත් වනු ඇත.

කෝර්සිකාවේ දී සංචාරකයාට රාත්‍රී නවාතැන් පහසුව සලසා ගැනීම ඊටත් වඩා ලෙහෙසි කාර්යයකි.   ගමකට ඇතුළුවී එහි ප්‍රධාන මාර්ගය දිගේ ගමන් ගන්නා සංචාරකයා විසින් කළ යුත්තේ දෙපස ඇති ගෙවලින් තමාගේ සිත් ගන්නා ගෙයක් තෝරා ගෙන, එහි දොරට තට්ටු කිරීම පමණි.   ඒ මොහොතේම දොර ඇර ගෙන එළියට එන ගෘහ ස්වාමියා හෝ ස්වාමි දුව හෝ සංචාරකයාට ආචාර කොට, අසුපිටින් ඔහු බස්වා ගෙන, තම ආහාරවලින් කොටසක් ඔහුට පිරිනමා තමාට ඇත්තේ එකම ඇඳක් වුවත් ඒ ඇඳ ඔහුට පවරනු ඇත.    පසුදින උදයේ පෙරළා ගමන් අරඹන සංචාරකයාට පසු ගමන් යන ගෘහ ස්වාමියා, රාත්‍රී නවාතැන සඳහා තම ගෘහය තෝරා ගැනීමෙන් තමාට කරන ලද ඉමහත් ගෞරවය ගැන සංචාරකයාට මුව නොසෑහෙන සේ ස්තුති ද කරනු ඇත.

මුදල් ගෙවීම සම්බන්ධයෙන් කිව යුත්තේ, එවැන්නක් කිසිම කලෙක කිසිම කෙනෙකු මතක් කරන්නේවත් නැති බවය.   යම් කිසි විදියකින් මුදල් ගෙවීමක් ගැන යන්තමින් හෝ සඳහනක් කළහොත්, ගෘහ ස්වාමියා එය තමාට කරන ලද බලවත් අපහාසයක් සේ සිතයි.   මුදල් ගෙවනු වෙනුවට සංචාරකයාට ඒ හා සමාන අන් දෙයක් කළ හැකිය.   ගෙදර සේවිකාව තරුණ කෙල්ලක නම්, වර්ණවත් සේද ලේන්සුවක් ඇයට ත්‍යාග කිරීමට සංචාරකයාට පුළුවන.    ඇය ඒ ලේන්සුව කල්වියේ හෝ කෝර්තියේ හෝ උත්සව වලට සහභාගී වන අවස්ථා වලදී විචිත්‍ර හිස් වැසුමක් ලෙස පාවිච්චි කරනු ඇත.   ගෙදර සිටින්නේ තරුණ සේවකයෙක් නම්, මනා උල් පිහියක් තුටු පඬුරක් වශයෙන් ඔහුට පිරිනැමීමට පුළුවන.   තම සතුරා මුණ ගැසුණු විට එයින් ඔහු මරා දැමීමට ඔහුට හැකිවන හෙයිනි.

මෙහිදී සංචාරකයා විසින් දැනගත යුතු තවත් එක් කරුණක් තිබේ.   එනම්, මේ සේවිකාව හෝ සේවකයා හෝ බොහෝවිට සිදුවන පරිදි, ආහාර හා පියාස්ටර කීපයක් සඳහා ගෘහ ස්වාමියාට සේවය කරන ඔහුගේ දුප්පත් නෑදෑයෙකු බවය.

ඉතා දුර නෑකම් ඇති බෑනාවරුන් හෝ ඤාති පුත්‍රයන් විසින් හෝ සේවය කරනු ලබන ගෘහ ස්වාමිවරුන් ඔවුන්ට වෙනස්කම් හෝ අඩු සැලකිලි හෝ දක්වතියි මෙහිදී මොහොතකට වත් නොසිතිය යුතුයි.   එවැන්නක් කිසිසේත් සිදු නොවේ.   කොර්සිකාව, ප්‍රංශ රාජ්‍යයට අයත් බව සැබෑය.    එහෙත් එය ප්‍රංශයට වඩා බොහෝ සෙයින් වෙනස්ය.

සොරුන් ගැන කතාවක් කිසිම කලෙක අසන්නට ලැබෙන්නේ නැත.   එහෙත් මං පහරන්නෝ නම්- එසේය ඔවුහු නම් එමට සිටිති.  මේ දෙවර්ගය කලවම් කර නොගත යුතුය.

රනින් පිරුණු පසුම්බියක් සෑදලයේ එල්ලා ගෙන අජසියෝවේ සිට බස්තියාව දක්වා,ඔනෑම කෙනෙකුට කිසිම බයක් සැකක් නොමැතිව ගමන් කළ හැකිය.   එපමණක් නොව, මුළු දිවයින හරහාම වුවද කිසිම අන්දමක අන්තරාවකට මුහුණ නොදී, කෙනෙකුට සංචාරය කළ හැකිය.   එහෙත් ඔබෙන් පළි ගැනීමට ශපථ කළ සතුරෙක් සිටී නම්, ඔකානාවේ සිට ලෙවාකෝවට ඔබ ගමන් නොකළ යුතුය.  මා එසේ කියන්නෙ මයිල හයක් පමණ වන ඒ ගමනේදී ඔබේ ආරක්ෂාව ගැන මට වගකීමට නොහැකි හෙයිනි.

එසේය, මා මුලින් සඳහන් කළ අන්දමින් මම මාර්තු මාසයේ මුල් භාගයේදී කෝර්සිකාවේ සංචාරයක යෙදුනෙමි.   මා ගමන් කළේ තනිවය.    සාදින් එවකට රෝමයේ නතරවී සිටි බැවිනි.

එල්බා දුපතේ සිට පැමිණි මා ගොඩ බැස්සේ බස්තියෝවටය.   කලින් සඳහන් කළ මුදලට මා අශ්වයෙකු මිලයට ගෙන තිබුණේය.

කෝර්තියාවේ හා අජසියෝවේ සංචාරයකින් පසුව, මම සාර්තේන් පළාත ඔස්සේ සැරිසරමින් සිටියෙමි.   මේ කියන දිනයෙහි, මා ගමන් කළේ සාර්තේනයේ සිට සුලකාරෝවටය.   එය කෙටි ගමනක් විය.  සාර්තේනයේ සිට සුලකාරෝවට වූ දුර ප්‍රමාණය - වංගු ගැසෙමින් දිවූ ප්‍රධාන මාර්ගයත් දුපතේ කොඳු නාරටිය වශයෙන් ගණන් ගැනෙන ප්‍රධාන කඳුවැටියේ නෙරුමත් ඇතුළුව- සමහර විට මයිල තිහක් පමණ වන්නට ඇත.   මෙසේ වුවද මාර්ගය වරදිතියි බිය ගත් මම, ඒ ගමන ගියේ මග පෙන්වන්නෙකුද කැටුවය.   අපි දෙදෙන පහට පමණ කඳු මුදුනට ලඟා වීමු.    කඳු මුදුනෙහි සිට පහළ බැලූ අපට, ඔල්මෙතෝව හා සුලකාරෝව මනාව පෙනිණ.

එතැන අපි සුළු වෙලාවක් නතරවී සිටියෙමු.

" තමුන්නාන්සෙ කොහේද නවාතැන් ගන්න බලාපොරොත්තු වෙන්නෙ?" යි මග පෙන්වන්නා මගෙන් ඇසීය.

පහළින් වූ ගම දෙස බැලූ මට, එහි පාළුවට ගියාක් මෙන්වූ වීදි පෙනිණ.  එහි වුයේ ගැහැණුන් කීප දෙනෙකුන් පමණි.   ඔවුහු තියුණු පරීක්ෂ්‍යාකාරී බැලුම් හෙලමින් වහ වහා ගමන් කළහ.

ආගන්තුක සත්කාරය පිළිබඳව මා කලින් සඳහන් කළ නීතිය අනුව, ගමෙහි වූ ගෙවල් සියයකින් නැතහොත් එකසිය විස්සකින් එකක් තෝරා ගැනීමේ වරය මට ලැබී තිබුණේය.   එම නිසා ඉතාම සුව පහසු අන්දමින් කාලය ගෙවිය හැකි ගෙයක් සොයමින් ගමන් ගත් මම, දොරට ඉහළින්ද ජනේල ඉදිරියෙන්ද සිදුරු හා කපොලු තබා,බලකොටුවක් මෙන් ඉදිකළ සතරැස් ගෙයක් ඉදිරිපිට නතරවීමි.

බළකොටුවක අංග ඇතිව, ඉදි කළ පෞද්ගලික ගෙවල් මා දුටු පළමුවන වතාව එය වුයේය.   එසේ වුවද සාර්තේන් පළාත පළි ගැනීම් වලට නම් දැරුවක් බව අප මෙහිදී මතක තබා ගත යුතුය.

"ආ! අන්න හොඳයි!"යි මා ඇඟිල්ල දිගුකර පෙන්වූ ගෙය දෙස බලමින් මග පෙන්වන්නා කීය.   අපි යමු සවීලියා ද ෆ්‍රන්චි මහත්මියගේ ගෙදරට.  ඔව්, තමුන්නාන්සේ ගේ තේරීම නරක නෑ.  තමුන්නාන්සෙට පළපුරුද්දක් නැහැ යි කියල කියන්න පුළුවන් කමක් නෑ."

ප්‍රංශ රජයට යටත් ප්‍රදේශයක් වූ මෙහි සාමාන්‍යයෙන් භාවිත කළේ ඉතාලි භාෂාව බව අමතක නොකළ යුතුය.

" කාන්තාවක ගෙන් ආගන්තුක සත්කාර ඉල්ලීමේ වැරද්දක් හේම තියෙනවාදැ? "යි මම මෙහිදී විමසීමි.  "මට දැන් තේරුම් යන විදියට මේ ගෙදර අයිති කාන්තාවකට වගෙයි මට පේන්නෙ."

"අයියෝ නෑ!" යි පුදුමයට පත්වූ බවක් පෙන්වමින් ඔහු පිළිතුරු දුන්නේය.  "මොන වැරද්දක්ද තියෙන්න පුළුවන්?"

"කාන්තාව තරුණ නම්?" යි පැරිස් විනීතාචාර අනුව කල්පනා කරමින් මම ඇසීමි. "ඇගේ ගෙදර මම රාත්‍රියට නවාතැන් ගැනීම ඇගේ හොඳ නමට සුදුසු වෙන්නෙ නැහැ නේද?"

"හොඳ නමට සුදුසු වෙන්නෙ නැහැ?" යි මා කියූ දේ තේරුම් ගැනීමට උත්සාහ දරමින් ඔහු එයම  උච්චාරණය කළේය.

"සුදුසු නැහැ නොවෙන්නම්" යි මම නොඉවසිල්ලෙන් කීමි.   මේ කාන්තාව වැන්දඹුවක් වෙන්න පුළුවන්?"

"ඒක ඇත්ත, තමුන්නාන්සෙ කියන එක ඇත්ත"

"එතකොට ඈ තමන්ගෙ ගෙදරට තරුණයෙක්ව වැද්ද ගනීවිද?"

1841 දී මගේ වයස අවුරුදු තිස්හය හමාරක් වුයෙන් මම මා තරුණයන්ගේ ගණයේ ලා සැලකීමි.

"ඈ ගෙදරට තරුණයන්ව වැද්ද ගනීවිද?" මග පෙන්වන්නා එයම පුනරුච්චාරණය කළේය. ඒකෙන් මොකක්ද මේකට තියෙන්නෙ? තමුන්නාන්සෙ තරුණ වුනත් නාකි වුනත් මොකක්ද තියෙන්නෙ?"

මේ කරුණ පිළිබඳව මේ අන්දමින් ඔහුගෙන් කොතරම් ප්‍රශ්න අසාගෙන ගියත් පලක් නොවන බව මට මෙහිදී වැටහිණ.

"සවීලියා මහත්මියගෙ වයස කොච්චර ඇද්ද?"යි මම අනතුරුව ඇසීමි.

"හතළිහක් විතර."

"ඕහ්!"යි මම පිළිතුරු දුනිමි. "එහෙනම් කාරියක් නෑ. ඇයට දරුවොත් ඉන්නව ඇති මම හිතන්නෙ?"

"පුත්තු දෙන්නෙක් ඉන්නවා,හොඳ කඩවසම් තරුණයො. "

"මට දැන් දකින්න හම්බ වේවිද?"

"තමුන්නාන්සේට එක්කෙනෙක් නම් දකින්න හම්බ වේවි. ඈත් එක්ක මෙහේ ඉන්න එක්කෙනා."

"එතකොට අනිත් එක්කෙනා ඉන්නෙ?"
"
අනිත් එක්කෙනා ඉන්නෙ පැරීසියෙ."

"වයස කොච්චර ඇද්ද?"

"විසි එකයි."

"දෙන්නාටම?"

"ඔව් දෙන්නාටම, දෙන්නම නිවුන්නු."

"ඉතින් මොකක්ද ඒ ගොල්ලො කරන රස්සාව?"

"පැරිසියෙ ඉන්න එක්කෙනා නීතිඥයෙක් වේවි."

"අනිත් එක්කෙනා?"

"අනිත් එක්කෙනා හොඳ කෝර්සිකානුවෙක් වේවි."

"ආහ්! ආහ්! " යි මේ පිළිතුර රටේ හැටියට මනාව ගැලපෙන බව සිතමින් මම රාවයක් පිටකළෙමි. "බොහොම හොඳයි,එහෙනම් අපි යමු සවීලියා ද ෆ්‍රන්චි මහත්මියගේ ගෙදරට."

ඉක්බිතිව අපි එහි යන්නට වීමු,

විනාඩි දහයක ඇවෑමෙන් අපි ගමට සේන්දු වුනෙමු.ඒ වනවිට මට කඳු මුදුනේදී නොපෙනුණු දෙයක් පෙනී ගියේය. එනම්,සෑම ගෙයක්ම ආරක්ෂා සංවිධාන ඇතිව ඉදි කර තිබුණු බවය.  වත් පොහොසත් කම් ඇති සවීලියා මහත්මියගේ නිවසෙහි මෙන් කොටු පවුරු ඉදිකර කපොලු බැඳ නොතිබුණ නමුදු දොරවලටත් ජනේලවලටත් දැව බාල්ක වලින් කරන ලද ආවරණ හා රයිෆල් තුවක්කු සඳහා කපන ලද කපොලු දක්නට ලැබිණ.   ඇතැම් ජනේල ඉදිරියෙන් ගඩොලින් තාප්ප බැඳ සිදුරු තබා තිබුණේය.

දොර උළුවහුවලටත් ජනේලවලටත් ඉහලින් කපොලු තබා ඇත්තේ මන්දැයි මම මග පෙන්වන්නා ගෙන් විමසීමි.   ඒ සැඟවී සිටිමින් දුනුවලින් විදිනු සඳහා තබා ඇති සිදුරු බව ඔහු කීවේය.   කෝර්සිකාවේ පළි ගැනීම තුවක්කු නිෂ්පාදනයට පෙර සිටම පැවති බව එයින් මට පැහැදිලි වුයේය.

වීථි දිගේ අප ගමන් ගනිත්ම, එහිවූ දොම්නස් සහගත අඳුරු පෙනුම වඩාත් දැඩිවී, පාළු ශෝකාකූල ස්වභාවයක් ඇතිවන බව මට හැඟි ගියේය.   ගෙවල් බොහොමයක් වටලෑම්වලට භාජනය වී ඇති බවත් වෙඩි පහරවලින් ඒවා සිදුරුවී ඇති බවත් මට පෙනිණ.

දොර උළුවහුවලටත් ජනේල වලටත් ඉහලින් තිබුණු කපොලු අස්සෙන් දීප්තිමත් පරීක්ෂ්‍යාකාරී දෙනෙත් අප වෙත යොමුවී තිබෙනු වරින්වර අපි දිටිමු.   ඒ දෙනෙත් පිරිමියෙකුගේද නැතිනම් ගැහැණියකගේද යන්න තීරණය කිරීමට පුළුවන් කමක් අප වෙත නොතිබිණ.

මා ඇඟිල්ල දිගුකර මග පෙන්වන්නාට පෙන්වූ ගෙය වෙතට අනුක්‍රමයෙන් අපි පැමිණියෙමු.   එය ගමේ වූ ගෙවලින් ඉතාම වැදගත් ගෙය විය.

මෙහිදී එක් කරුණක් මගේ සිතට තදින් වැදී ගියේය.   එනම්,මෙහි තිබු ආරක්ෂක ඉදිකිරීම්, කොටු පවුරු හා වෙඩි තැබීමට සකස්කළ කපොලු ඇත්ත ඒවා නොව බොරු ඒවා වීමය.    වෙනින් වචනවලින් කියතහොත් ජනේලවලට දැව කඳන් හරස්කොට තිබුණේ නැත.  දුනුවායන්ට හෝ තුවක්කු කාරයන්ට සැඟවී සිට විදීමට හෝ වෙඩි තැබීමට ගඩොලින් කපොලු බැඳ තිබුණේද නැත.   ඒවායේ තිබුණේ වීදුරු ජනේල පමණකි.   රාත්‍රී කාලයේදී මේවා ආරක්ෂා කිරීම සඳහා දැව පියන්පත් සාදා තිබිණි.    එය එසේ වුවද, පරීක්ෂාකාරී ඇසකට, යටත් පිරිසෙයින් අවුරුදු දහයකටවත් කලින් සිදුවූ වෙඩි තැබීමක සලකුණු මේ දැව පියන්පත්වල තිබෙනු නොපෙනී නොගියේය.

මග පෙන්වන්නා දොරට තට්ටු කළ සැණින් දොර ඇරුණේය.   බියසුලු අන්දමින් පැකිලෙමින් සෙමෙන් සෙමෙන් නොව,එක්වරම මුළුමනින්ම ඇරුණේය.   එකෙණෙහිම බොටලේරුවෙක් එහි පෙනී සිටියේය.

බොටලේරුවෙක් යැයි කීමෙන් මා කළේ වරදකි.   මා කිව යුතු වුයේ මිනිසෙකු එහි පෙනී සිටි බවය.

බොටලේරුවෙකු වන්නේ ඇඳ ගෙන සිටින නිල ඇඳුම නිසාය.   දොර විවෘත කළ තැනැත්තා විල්ලුද ජැකට්ටුවක් ද දණහිස දක්වාවූ විල්ලුද කලිසමක්ද කෙණ්ඩා දක්වාවූ සම් සපත්තු දෙකක්ද ඇඳ පැළඳ ගෙන සිටියේය.

ඉරි වැටුණ සේද පටියකින් කලිසම ඉඟට බැදී තිබුණ අතර ඉඟට ඉහලින් ස්පාඤ්ඤ කිනිස්සක මිට මෑත්වී තිබිණ.

"මගේ මිත්‍රයා,"යි මම ඔහු ඇමතීමි.  " දන්නා හඳුනන කිසි කෙනෙක් සුලකාරෝවේ නැති ආගන්තුකයෙක් ඔබේ ස්වාමි දුවගෙන් නවාතැන් ඉල්ලීම නුසුදුසු වැඩක්ද?"

"නෑ,ඇත්ත වශයෙන්ම නෑ"යි ඔහු පිළිතුරු දුන්නේය.   "ආගන්තුකයා නවාතැන් ගන්නා ගෙදරට කරන්නේ ගෞරවයක්." ඉක්බිතිව, "මාරියා," යි තමා පිටුපසින් පෙනී සිටි මෙහෙකාරියක ඇමතූ ඔහු,"සවීලියා මැතිනියට කියපන් ප්‍රංශ සංචාරකයෙක් නවාතැන් ඉල්ලනවා කියලා." යි පැවසීය.

ඒ මොහොතෙහිම ඉනි මගක පෙති මෙන් තද බෑවුමකින් යුත් පඩි පෙළෙහි පඩි අටක් පහළට බැස දොර ලඟට ආ ඔහු මගේ අශ්වයාගේ කටකලියාවෙන් අල්ලා ගත්තේය.

මම අසු පිටින් බිමට බැස්සෙමි.

"තමුන්නාන්සෙ කරදර වෙන්න ඕන කමක් නෑ." යි ඔහු කීය.   "තමුන්නාන්සෙගෙ බඩු බාහිර ඔක්කොම කාමරයටම ගෙනල්ලා දේවි."

මගේ අලසකම නිසා - සංචාරකයෙකුට ඇසිය හැකි ඉතා ප්‍රසන්න ආරාධනා වලින් එකක් වන - එම ආරාධනාවට මම අතිශයින්ම සන්තෝෂ වීමි......

කලින් සඳහන් කළ පරිදි ඉනි මගක් මෙන් කෙළින්ම ඉහළට නැගී ගිය එම පඩි පෙළ දිගේ සෙමෙන් සෙමෙන් උඩට නැගුණු මම, නිවෙසට ඇතුළු වීමි.

කොරිඩෝරය කෙළවරදී කාල වර්ණ ඇඳුමින් සැරසී ගත් උස් කාන්තාවක් මට මුණ ගැසුණාය.

වයස අවුරුදු තිස් අටක හෝ හතලිහක හෝ පෙනුමෙන් යුතු වුවද රූමත්කම රැකගෙන සිටි මේ කාන්තාව ගෙදර ස්වාමි දුව වන්නට ඇතැයි සිතු මම, ඇය ඉදිරියේ නතර වීමි.

"මැතිනිය," යි හිස නමා ආචාර කරමින් මම පැවසුයෙමි.  "මම නොසිරිත් ගති ඇත්තෙක් ය කියලා ඔබ තුමී සමහර විට හිතනවා ඇති. ඒ ගැන නිදහසට මට කියන්න තියෙන්නෙ මේ රටේ සිරිතුත් විරිතුත් ඔබ තුමීගේ සේවකයාගේ ආරාධනාවත් ඒකට හේතු වුණාය කියලා."

"ඔබ පිළිගන්න ලැබීම ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා." ෆ්‍රන්චි මැතිනිය පිළිතුරු වශයෙන් කීවාය.   "මගේ පුතාත් ඔබව පිළිගන්න ලැබීම ගැන සන්තෝෂ වේවි. මේ මොහොතේ ඉඳන් ඔබට ඕනෑ අන්දමකට මේ ගෙදර ජීවත් වෙන්න පුළුවන්.  මේ ගෙදර ඔබේ ගෙදර හැටියට සලකන්න."

"මම ආවෙ මැතිනිය,එක රාත්‍රියකට විතරක් නවාතැන් ඉල්ලා ගන්න.හෙට උදේ පාන්දරින් ම මම ආපහු යන්න ඕන."

"ඔබට පහසුයි කියල හිතෙන දෙයක් කරන්න ඔබට නිදහස තියෙනවා.  කොහොම වුනත්, ඔබ ඔබේ අදහස වෙනස් කරලා දීර්ඝ කාලයක් අප සමග ඉඳීමෙන් අපට ගෞරව කරාවි යි කියල මම හිතනවා."

මම යළිත් වරක් හිස නමා ආචාර කළෙමි.

"මාරියා,"යි මෙහිදී ෆ්‍රන්චි මැතිනිය හඬ නගා සේවිකාවකට කතා කළාය.   " මේ මහත්මයාව ලුවී ගේ කාමරයට එක්ක ගෙන පලයන්, ඉක්මන් කරලා ලිප මොළවලා වතුර ටිකක් රත් කරලා දීපන්." ඉක්බිතිව සේවිකාව මේ නියෝග පිළිපදින්නට යත්ම,මා වෙත හැරුණු ඈ,   "මට සමාවෙන්න මහත්මයා,මම දන්නවා වෙහෙසින් ඉන්න සංචාරකයෙකුට මුලින්ම වුවමනා කරන්නෙ වතුරයි ගින්දරයි කියලා,කරුණාකරලා ඒ සේවිකාව එක්ක යන්න, ගිහිල්ලා ඔබට වුවමනා කරන දෙයක් ඇගෙන් ඉල්ලා ගන්න. තව පැයකින් අපි කෑම කමු.  එතකොට මගෙ පුතාත් ඇවිල්ල ඉඳීවි. ඔබව දැක ගන්න ලැබීම ගැන ඔහු හුඟාක් සන්තෝෂ වේවි,"යි වැඩි දුරටත් පැවසුවාය.

"මගේ මේ සංචාරක ඇඳුම ගැන ඔබ තුමී මට සමාවෙන්න ඕන."

"ඔව් මහත්මයා,"යි ඈ මදහසක් පාමින් පිළිතුරු දුන්නාය.  "ඔබට මම සමාව දෙන්නෙ එක කොන්දේසියක් උඩ,ඔබත් අපේ මේ පිටිසර ගති සිරිත් වලට සමාව දෙන්න ඕන."

සේවිකාව උඩුමහලට නැගුනාය.  යළිත් වරක් සවීලියා මැතිනියට ආචාර කළ මම,සේවිකාව පසු පස්සෙන් ගමන් කරන්නට වීමි.

කාමරය තිබුණේ පළමුවන මහලේය. නිවසෙහි පස්සා පැත්තට එය මුහුන ලා තිබිණ.  ඔලියන්ඩර් මලින් හා මර්ට්ල් මලින් ගැවසී ගත් සුන්දර උද්‍යානයකට එහි කවුළුව විවෘත වී තිබුණේය. සිත් ගන්නා සුළු කුඩා දොළ පාරක් උද්‍යානය හරහා තවාරෝව බලා ගලා බැස්සේය.

මේ දර්ශනය, වැටක් මෙන් ගන සැරේට හෙවි  වැවී ගිය දේවදාර ගස් පෙළකින් සීමාවී තිබුණේය.   ඉතාලි නිවෙස් බොහොමයක දක්නට ලැබෙන අන්දමින් මෙහිද කාමර සියල්ල සුදු හුණු ගා, ඒ මත දේශ දර්ශන සිත්තම් කිරීමෙන් අලංකාර කර තිබිණ.

මේ කාමරය - ගෙදර නොසිටි පුත්‍රයාගේ මේ කාමරය - ඔවුන් මට නතරවීම සඳහා සුදානම් කර දුන්නේ, එය නිවසෙහි වූ ඉතාම සුව පහසු දනවන කාමරය නිසාවූ බව මම එක්වරම වටහා ගතිමි.   එහෙයින්, මාරියා උදුන දල්වා උණුවතුර මට සුදානම් කරද්දී, මම කාමරය හා එහිවූ දැව භාණ්ඩාදිය පිරික්සමින් එය අයිතිකරුගේ ගති සිරිත් දැන ගන්නට උත්සාහ දැරීමි.

වමේ සිට දකුණට පිරික්සුම් බැලුම් හෙළත්දී මට නා නා විධ දේවල් දක්නට ලැබිණ.

ගෘහ භාණ්ඩ සියල්ල නුතන පන්නයේ වුයේය. ශිෂ්ටාචාරය වැද්ද නුදුන් දිවයිනේ මේ ප්‍රදේශයට,අලුත් විලාසිතාවන් පැමිණීම ධනවත් බවේත් ශ්‍රී සමෘද්ධියේත් අසාමාන්‍ය ලක්ෂණ විය.   ගුදිරි තුනක් හා කොට්ටයක් සහිත යකඩ ඇඳක්ද දිවානයක්ද මට දක්නට ලැබිණ. එයට අමතරව අත්පුටු හතරක් ද පොත් අල්මාරියක්ද ලියන මෙසයක්ද එහි වුයේය.  මැහෝගනි දැවයෙන් තනන ලද මේ සියල්ලම,අජසියෝවේ ප්‍රධාන පෙළේ ගෘහ භාණ්ඩ වෙළෙන්දෙකුගෙන් මිලයට ගන්නා ලද ඒවා විය හැකිය.

දිවානයටත්,අත් පුටුවලටත්,සාමාන්‍ය පුටුවලටත් මල් වැටුණ චීත්ත කවර දමා තිබිණ.   ජනේලවලටද ඇඳ තිර වලටද යොදා තිබුණේත් එම රෙදිමය.

මේ සියල්ල සිතේ තැන්පත් කර ගනිත්ම මාරියා කාමරයෙන් පිටවී ගියෙන් මට මගේ පරීක්ෂණ තව දුරටත් පවත්වා ගෙන යෑමට ඉඩ කඩ ලැබිණ.    පොත් අල්මාරිය ඇර බැලූ මට, පොත් පත් රාශියක් දකින්නට ලැබුණේය.  ඒ සියල්ලම මහා කවීන්ගේ කෘති විය.   කෝර්නෙයි, මොලියේර්, ල ෆොන්තේන්, රොනාද්, වික්ටර් හියුගෝ, ලමාර්තින්, යන කවීහු එහි වුහ.   මොන්තේඤ්, පැස්කල්, ල බ්‍රැයේර් යන දාර්ශනිකයෝද මෙසෙරේ,ශාතොබ්‍රියෝං, ඔගස්තින් තියරි යන අපේ ඉතිහාසඥයෝ ද කියුවියේර්, බෙන්දන්, එලික් ද බෝමෝන් යන අපේ විද්‍යාඥයෝ ද එහි දක්නට සිටියහ.   ඉක්බිතිව නවකථා කීපයක්ද මගේ ඇස ගැසිණ.  එම නවකථා අතර මගේ "සංචාරක සටහන්" නමැති කෘතිය තිබෙනු දැකීම මගේ ආඩම්බරයට හේතුවිය.    

එහි පෙට්ටගමක ලාච්චුවල යතුරු තිබුණෙන් මම එක් ලාච්චුවක් ඇර බැලීමි.   එහි කෝර්සිකාවේ ඉතිහාසය පිළිබඳව ලියන ලද කොළ කීපයක්ද පළි ගැනීම් නතර කරන ලෙස ඉල්ලමින් ලියන ලද අවවාදාත්මක නිබන්ධනයක්ද ප්‍රංශ කවි කීපයක් හා ඉතාලි තුදුස් පද සැහැලි කීපයක් ද වුයේය.    මේ සියල්ලම තිබුණේ අත් පිටපත් වශයෙනි.   මීට වඩා යමක් මට අවශ්‍ය නොවූයේය.   ලුවීද ෆ්‍රන්චි මහතා ගැන අදහසක් ඇති කර ගැනීමට ඒවා මට ප්‍රමාණවත් වූ හෙයිනි.

ඔහු ඉගෙනීමට ආශා ඇති ප්‍රසන්න තරුණයෙකු මෙන්ම, ප්‍රංශ ප්‍රතිසංස්කරණවාදී අදහස් අගයන්නෙකු ද විය යුතුය.  නීතිය හැදෑරීම සඳහා ඔහු ප්‍රංශයට යන්නට ඇත්තේ කුමක් නිසාදැයි මට තේරුම් ගත හැකි විය.    ශිෂ්ටාචාරයේ යහපත් ප්‍රතිපල ගැන ආශාවක් ඔහු තුළ තිබෙන්නට ඇති බව නිසැකය.    මෙසේ සිතමින් මම ඇඳුම් මාරු කරගන්නට වීමි.    

මා ඇඳගෙන සිටි ඇඳුම, ෆ්‍රන්චි මැතිනියට මා කලින් ද පැවසුවා සේ, කෙබඳු මිනුමකින් වුවද විචිත්‍ර නුවුවකැයි කිව නොහැකි වුවද, එය වඩාත් ප්‍රසන්න කර ගැනීමට ඕනෑ තරම් ඉඩ තිබිණ.   එම නිසා මම, ස්පාඤ්ඤ වියමන් අනුව, යටින් ඇඳි ඉරි වැටුණ සේද කමිසය පෙනෙන්නා වුත් දිනයේ උණුසුම් කාල වෙලාවලදී වාතාශ්‍රය ලැබෙනසේ අත් කෙළවර විවෘත කරන ලද්දාවූත්, විල්ලුද ජැකට්ටුවක් ද එයට ගැලපෙන කලිසමක්ද වර්ණවත් සේද රෙද්දෙන් එම්බ්‍රොයිඩර් කරන ලද්දාවූත් එක් පසෙකින් විවෘත කරන ලද්දාවූත් ස්පාඤ්ඤ කෙණ්ඩා ආවරණ යුවළක්ද  ඕනෑම විලාසිතාවකට හැඩ ගසා ගත හැකි පුළුල් වාටියක් සහිත මෘදු ෆෙල්ට් තොප්පියක්ද ඇඳ පැළඳ ගතිමි.

සංචාරකයාට ඉතා සුවපහසු ඇඳුමක් යැයි රෙකමදාරු කළ හැකි මේ ඇඳුම ඇඳ නිම වත්ම, කාමරයේ දොර ඇරිණ.  ඉක්බිතිව කලින් මා හා කථා කළ සේවකයා ම , මා ඉදිරියේ පෙනී සිටියේය.

ඔහු පැමිණ සිටියේ තම තරුණ ස්වාමි පුත්‍රයා වන ලුෂියෙන් ද ෆ්‍රන්චි මහතා පෙරළා නිවෙසට පැමිණ සිටින බවත් මා වෙත අවුත් මා පිළිගැනීමට ඔහු සුදානම්ව සිටින බවත් ඒ සඳහා මගේ අවසරය ලබා ගැනීමට බවත් මට දන්වා සිටීමටය.

ලුෂියෙන් ද ෆ්‍රන්චි මහතා හමුවීමට මා ඉතා ආශාවෙන් සිටින බව දැන්වූ මම, ඔහු මා හමුවීමට එතොත් එය මට පිරිනමන ලොකු ගෞරවයක් බවද පළ කළෙමි.

මොහොතකින්, ඉක්මනින් එන්නෙකුගේ අඩි ශබ්දයක් මට ඇසිණ.   ඒ එක්කම වාගේ මගේ සංග්‍රාහකයා මුහුණට මුහුණ දී මා ඉදිරියේ පෙනී සිටියේය."

( ඇලෙක්සන්දර දියුමා (The Corsican Brothers by Alexandre Dumas) ගේ  කෝර්සිකානු සහෝදරයෝ, පරිවර්තනය, කේ.ජී.කරුණාතිලක. ප්‍රකාශනය, දයාවංශ ජයකොඩි සහ සමාගම 1998.)


මා ඉහතින් දක්වා තිබෙන්නේ කෝර්සිකානු සහෝදරයෝ නවකථාවෙහි හැඳින්වීම සහ පළමුවෙනි සහ දෙවෙනි පරිච්ඡේද දෙකය.   හැඳින්වීමෙහි ඉතා නිවැරදිව සඳහන් කර ඇත්තාක් මෙන් අද්භූත ජනක සිද්ධීන් ගෙන් ගහණ මෙම නවකථාව අවසානය දක්වා මහත් කුතුහලයකින් යුක්තව කියවිය හැක්කකි.   ඩූමා මෙහි සඳහන් කොට ඇති කෝර්සිකානු සංචාරය ඔහුගේ පුද්ගලික අත්දැකීමක් විය හැකි යැයි මට සිතේ.  ඉතිරිය? කෙසේවත් සැබෑ ජීවිතයේ සිදු විය නොහැක්කකැයි මට සිතෙන ඉතිරි කොටස ගැන මා තුළ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි෴

Friday, May 5, 2017

නොපරදින නුවණ.


ඉස්සර කාලේ එක ඈත ගමක රංහාමි කියල ඉලන්දාරියෙක් හිටියා.    බිම් නැගීමේ සිට බැත රාහි කිරීම දක්වා කුඹුරු වැඩවලදීත්, හේන් ගොවිතැනේ දී වල් කෙටීමේ සිට අනෙකුත් කුදු මහත් කාර්යයකදීමත් රංහාමි ඉලන්දාරියා ගමේ කිසිම පිරිමියෙකුට දෙවැනි වුයේ නැත.    එපමණක් නොව ගැමි තරුණයෙකු විසින් දතමනා සෑම දෙයක්ම,සෑම වැඩ පලක්ම මනාව දැනගෙන සිටියේය.

" ඔක්කොම හොඳයි,මුක්කම නරකයි" කීවාසේ, රංහාමිගෙත් ලොකුම අඩුවක් විය.   ඉර බැසයන වේලේ සිට පසුදා නැවත ඉර පායන තුරු, අන්ධයෙකුට මෙන් ඇස් පෙනීම නැතිව යයි.   ඔහුගේ පියා පුතාගේ මේ ආබාධය සුවකර ගැනීම උදෙසා නොකළ දෙයක් නැත.   සෑම දක්ෂ වෛද්‍යවරයෙකුගෙන්ම ප්‍රතිකාර ලබාදෙන ලදී.   බලිතොවිල්, සෙත්ශාන්ති,පිරිත් දේශන, බෝධි පූජා පමණක් නොව බලන ලද අංජනම් ද නිමක් නැත.   අත්පිට හාස්කම් ඇතැයි ආරංචි වූ සෑම දේවාලයක් ද අමතක කළේ නැත.    පෙර කළ කර්මයට කුමක් කළත් වැඩක් නැතැයි සිතා මවත් පියාත් අකමැත්තෙන් හෝ ඉන්පසු පුතාගේ මේ අභාග්‍ය සම්පන්න රෝගය නොසලකා හරින ලදී.

දීග දෙන දුවක් නම්, ඇගේ ඇවතුම් පැවතුම්, වැඩ පලට ඇති දක්ෂ පක්‍ෂකම්, ආදිය ප්‍රදර්ශනය කිරීම සඳහා විවාහ ගිවිසගෙන සිටින අනාගත ස්වාමි පුරුෂයාගේ ගෙදරට ටික කලකට යැවීම පැරණි ගැමි සිරිතකි.  ගෙදරට කැන්දාගෙන එන අනාගත මනමාලියගේ ගෙදර ටික කලක් නැවතී, නැන්දා මාමට බෑනාගේ හැකියාවන් පෙන්වීම ද එවැනි ම සිරිතකි.   මේ කාලය පරිවාස කාලයක් මෙනි.   මේ කාලවකවානුව තුළ තුළ තම පුතාට හෝ දුවට, බෑනා හෝ ලේලිය ගැලපේදැයි ස්ථිර වශයෙන්ම නිගමනය කෙරේ.   එය නොගැළපෙන විවාහයක් නම් දෙපක්ෂයේම අය සාකච්ඡා කොට හොඳ හිතින්ම මුල් බලාපොරොත්තු අත්හැර දැමීමද පැරණි ගැමි සිරිතකි.   එහෙත් එවැනි අවස්ථා උදාවන්නේ ඉතාම කලාතුරකිනි.

රංහාමි විවාහ ගිවිසගෙන සිටි මනාලිය සිටියේ ඔහුගේ ගම්කොටුවට ගම් දෙක තුනකට එහායින් පිහිටි තවත් එවැනිම කැලෑගමකය.   මේ වකවානුව හේන්වල කුරක්කන් වපුරන සමයයි.   මාමා ටික දිනක් වෙව්ලුම් උණ වැළඳී රෝගාතුරවී සිටි නිසා හේනේ කුරක්කන් වැපිරීම අතපසුවී තිබිණ.   අනාගත බෑනාගේ හැකියාවන් උරගා බැලීමට මෙය ඉතාම කදිම අවස්ථාවකැයි සිතූ මාමා අතපසුවී ඇති හේනේ වැඩ ටික අවසාන කර ගැනීමට පැමිණෙන්නැයි බෑනාට පණිවිඩයක් යවන ලදී.   මේ පණිවුඩය ලත් බෑනාට එය " ඉබ්බා දියට දැමීම" බඳු සුබ ආරංචියක් විය.   අම්මා තාත්තා ගෙන් අවසර ලද රංහාමි පසුදිනම මාමාගේ ගම බලා පිටත්විය.

රංහාමි මාමාගේ ගෙදරට ළඟාවන විට තරමක් දවල්වී තිබුණි.   ගෙදර කිසිවකු නැත.   දොර වසා තිබුණ අසල නිවසක කිරිඅම්මා කෙනෙකුගෙන් ගෙදර ඇත්තන් ගැන විමසීමේදී ඔහුට දැන ගැනීමට ලැබුණේ සියලු දෙනාම හේනට ගොස් ඇති බවයි.   හේනට යන මඟ සලකුණු කිරිඅම්මාගෙන් අසා දැනගත් රංහාමි හේන බලා පිටත්විය.   රංහාමි ගේ හදිසි පැමිණීම ගැන නැන්දා මාමටත් වඩා සතුටක් ගෙන දුන්නේ මල් එතනාටයි.   නව යොවුන් ඇයට ඔහුගේ පැමිණීම ඉසේ මලක් පිපුණා බඳු විය.    හේනේ ගොවිතැන් කරන සෑම ගොවියෙකුම ඒ ඒ අවස්ථාවට අවශ්‍ය වන අමතර ආයුධයක් හේනට ගෙන යෑම සාමාන්‍ය සිරිතක් නිසා රංහාමිට උදැල්ලක් ලබා ගැනීමට අසීරු නොවීය.

හේරත් හාමි මාමාත් පුංචි බණ්ඩාත්( හේරත් හාමිගේ පුතා) රංහාමිත් කුරක්කන් වැපුරූ අතර,ටිකිරි මැණිකා( හේරත් හාමිගේ බිරිඳ) ගෙදැල්ල දැමීමේ නිරත වුවාය.  මල් එතනාද( රංහාමි ගේ අනාගත බිරිඳ) නිකම් නොසිටියාය.   මව විසින් ගෙදැල්ල දමා ගොඩ ගසන ලද සරුබ්බේ( උදැල්ලෙන් කැපී ඇති නිදිකුම්බා, පිල, කිල්ලොටා පියන් සහ හිරිකුණු) කුඩයකට දමා ගෙනගොස් හුඹස් මතට දැමීමේ නිරත වුවාය.   ඉර කැලේට පාත්වන  වෙලාව ආසන්න වන විට කුරක්කන් වැපිරීමට වෙන්කර ඇති බිම් ප්‍රමාණයෙන් අඩක්ම නිමවී තිබිණි.    මේ විදියට හෙටත් වපුරා ගැනීමට හැකි වුණොත් හෙට ඉර මුදුන් වීමට පෙර වපුරා අවසාන කළ හැකියැයි හේරත් හාමිට සිතුණත් ඔහු ඒ වගක් වචනයෙන් පිට කළේ නැත.

ඉර හැරුණු වෙලේ සිට රංහාමි මස්සිනා යම්කිසි නොසන්සුන්තාවකින් ඉර දිහා බලන බව පුංචි බණ්ඩාට දැනගත හැකිවිය.   රංහාමිට ආසන්න වූ පුංචි බණ්ඩා " මස්සිනේ මොකද ඔය හැටි ඉර දිහා බලන්නේ, මහන්සිද? කියා විමසුවේ කවට කමට මෙනි.  "නෑ! නෑ!! මහන්සියක් නම් නෑ.මං මේ බැලුවේ තව දෙතුන් හෝරාවක් වපුරාගන්ට තිබුණා නම් වැපිරීම හුඟක් දුරට කෙට්ටෑරි කරගන්ට තිබුණා නේද?" කියලයි.   ඔහු එසේ පැවසුවද ඔහුගේ හිත ඇතුළේ තිබුණේ " අනේ මස්සිනේ මං නිතරම ඉර දිහා බලන්නේ ඉර බැස්සට පස්සෙ මගේ ඇස් පේන්නෙ නෑනෙ." යන්නයි.    එහෙත් ඒ බවක් කෙසේ කියන්නටද?

" දුවේ මල් එතනෝ, උඹයි අම්මයි ගෙදර ගිහිං නාගෙන රෑට කෑමට මොනවා හරි රත් කරපල්ලා.  අපි තුන්දෙනා කුරක්කන් ඇට ඉහලා තියෙන ඉරි කණ්ඩිය කොටලා එන්නම්." හේරත් හාමි අණ දුන්නේය.    " ෂිහ් මේ ඇහැ කන පාටින් මටත් ගෙදර යන්ට කියලා මුන්දෑ කීවේ නෑනෙ." රංහාමිට එසේ නොසිතුණා නොවේ.   " මොනවා කරන්ටද බැඳගත්තු බෙරේ ගහන්ටම එපායැ" යි සිතාගත් රංහාමි බිම බලාගෙන දිගටම වපුරාගෙන ගියේය.

බිම් කරුවල වැටෙන වෙලාව එනවිට ඒ ඉරිකණ්ඩිය වපුරා අවසන් කිරීමට හැකිවිය.   මිනිහා සතා පෙනෙන නොපෙනෙන අඳුරේ ඔවුහු හේනෙන් පිටත්වූහ.   මුලින්ම හේරත් හාමිත්, ඊළඟට පුංච් බණ්ඩාත්, ඉදිරියෙන්ම ගමන්ගත් අතර අන්තිමට මං කඩුල්ලත් වසාගෙන හේනෙන් පිටත්වුයේ රංහාමි ඉලන්දාරියායි.   ඔහු අන්තිමට ගමන් කිරීමට අදහස් කළේ ඉදිරියෙන් යන අයගේ පා හඬ අනුව ගමන් කළ හැකි බැවිනි.    ගල්මුල් වල හැපෙමින් ඉතාම සීරුවෙන් ගමන් කරන රංහාමි ක්‍රමයෙන් අනෙක් දෙදෙනාට තරමක් පසුවිය.    මේ වනවිට ඉදිරියෙන් යන දෙදෙනාගේ පා හඬ පවා රංහාමිට නොඇසී යන්නට විය.    මේ වන මඟේ ඔවුන් යන දිසාවටම ඇදී යන තවත් මඟක් ඇති තුං මං හන්දියක් විය.

පිය පුතු දෙදෙනා නියම පාරෙහි ගමන්කළ අතර වාසනාවට හෝ අවාසනාවට ගමට ආධුනිකයෙකු වූ රංහාමි ගමන් කළේ වැරදි පාරෙහිය.    මෙසේ ටික දුරක් ගිය තාත්තාටත් පුතාටත් බෑනා ඔවුන් සමග නැති බව අවබෝධ විය.   " පුතේ අර ළමයට පාර වැරදුණාවත්ද? පාර හොයා ගන්ට බැරුව ඇළට යන පාරේ ගියාවත්ද? අඬගහල බලාපන්." හේරත් හාමි පුතාට කීවේය.   පුංචි බණ්ඩා පසුපස බැලූ නමුත් රංහාමිගේ ලකුණක් වත් දැන ගැනීමට නොලැබුණු නිසා "මස්සිනේ!මස්සිනේ!!" කියා කීප වරක් අඬගැසූ නමුත් කිසිම ප්‍රතිචාරයක් නොලැබිණ.   පෙරටත් වඩා උස හඬින් "මස්සිනේ! මස්සිනේ!!" රංහාමිට හඬ නැගීය.  දෙවැනි වර හඬ ගැසීම රංහාමිට ඇසිණ.

වැරදි පාරේ ගිය රංහාමිට ඉදිරියට සැතපුම් කාලක් පමණ ගිය විට තමන්ට පාර වැරදී ගිය බව අවබෝධ විය.    ඉදිරියට තව දුරටත් යාමට හැකියාවක් නැත.    එසේම ආපසු යාමද අසීරුය.   ඊටත් වඩා අසීරු කාර්යයක් වුයේ මාමාට හෝ මස්සිනාට අඬගැසීමය.    ඒ අනෙකක් නිසා නොව තමාගේ රෑ කනේ රහස එළිවුවහොත් ඇතිවන ලජ්ජාවටත් වඩා මල් එතනා සහයට ගැනීමට නොලැබේ යයි හිතේ ඇතිවුණු දෙගිඩියාව නිසයි.    මේ සියලු දේ ගැනම මඟ නැවතී මඳ වෙලාවක් කල්පනා කළේය.   මේ වෙලාවේ "අලි මදිවට හරක්" කීවා සේ රංහාමිට තවත් අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය.  

පුංචි බණ්ඩාගේ ගෝරනාඩුවට බියවූ වන සිවුපාවුන් රංචුවක් රංහාමිත් බිම පෙරලාගෙන දුවන්ට වුහ.   බිම පෙරළුණු රංහාමිට අහම්බෙන් මෙන් එක සතෙකුගේ කකුලක් හසු විය.    "කොටියෙක් වලහෙක් උනත් කමක් නෑ.  ඔහෙ කාපුදෙන් එතකොට ඒ දෙන්නා මා උස්සාගෙනවත් ගෙදරට අරගෙන යන්නේ නැතෑ" මෙසේ සිතූ රංහාමි සිවුපා කකුල තව තවත් දැඩිව අල්ලා ගත්තේය.   පුංචි බණ්ඩාගේ දෙවෙනි හූ තැලීම ඇසුණේ මේ අවස්ථාවේදීය.   " ඉක්මනට මෙහෙ වරෙල්ලා" යි රංහාමි සිවුපාවා සමග පොර අල්ලන ගමන් මහ හඬින් කෑ ගසා කීවේය.   රංහාමිගේ ඒ හඬ ඇසුණු පුංචි බණ්ඩා "අප්පච්චි ඉක්මනට යමු.මස්සිනාට මොකක් හරි කරදරයක් වගෙයි" කියා පියා සමග රංහාමි කතා කළ ඉසව්ව බලා කැලේ මැදින් ගමන් කළේය.    ළා සඳ රැස් දහර ගස් ගොම්මනේ තුරු වියන මැදින් බිමට පෙරී තිබුණ නිසා ඔවුන් දෙදෙනාට රංහාමි සොයා ගැනීමට එතරම් අපහසු වුයේ නැත.    " අප්පච්චි මස්සිනා මුව නාම්බෙක්නේ අල්ලගෙන ඉන්නේ" පුතා පියාට කීවේය.  එසේ කියා පියා අතේ තිබු කැත්ත ඉල්ලාගෙන රංහාමි සමග පොරබදන මුව නාම්බාට පහරදී මරා දැමුවේය.

" මේ වගේ බෑනා කෙනෙක් නම් ඉලන්දාරි දාහකින් වත් හොයා ගන්ට බෑ" මාමණ්ඩිට හිතෙන්නට ඇති.   රංහාමි මුවා අල්ලා ගැනීම පුංචි බණ්ඩාට ද සිතාගත නොහැකි පුදුම සහගත දෙයකි.    " මස්සිනේ කොහොමද මේ මුව තඩියා අල්ලා ගත්තේ" යි කියා ඇසුවේ සිතෙහි නළියන සැකය දුරුකර ගැනීමටය.   " අපි තුන්දෙනා යනකොට මගෙ කකුලේ කටුවක් ඇනුනා.  ඒ කටුව ගලවනකොට මුව රංචුවක් මා ඉස්සරහින් පැන්නා. මං උන් පස්සෙ එළවාගෙන ගිහින් පස්සෙන් දුවපු මේ මුව නාම්බා අල්ලා ගත්තා.   ඒ වෙලාවෙ තමයි උඹ මට අඬගහන සද්දේ ඇහුනෙ" රංහාමි ඇත්ත සඟවාගෙන බොරුවක් දෙසා බෑවේය.

මුවා මස්කර කද බැඳගත් පිරිස ගෙදර බලා පිටත් වුහ.    පුංචි බණ්ඩාත් රංහාමිත් මස්කද කරට ගත්හ.   පුංචි බණ්ඩා ඉදිරියෙන් ගමන් කරන නිසා එය රංහාමිට කනවැල ඇල්ලීමක් බඳු විය.   ගෙදර ගිය පිය පුතු දෙදෙන වැවට ගොස් දිය නා ගත්හ.   රංහාමිට නා ගැනීම පිණිස මල් එතනා වතුර උණුකර තැබුවාය.    උණු වතුර තිබුණේ ගේ පිටුපස මැටි වළක් ආසන්නයේය.   මේ මැටිවල මීට දින කීපයකට පෙර හේරත් හාමි සාදන ලද අලුත් කුස්සියේ බිත්ති බැඳීමට පුංචි බණ්ඩා මැටි පාගා ගත් වළක් විය.    පසුව ගෙදර සියලු දෙනාගේ එකඟතාව මත මැටි වළ ලිඳක් වශයෙන් ලොකු කොට බඹ එකහමාරක් පමණ ගැඹුරට හාරන ලද්දේ පුංචි බණ්ඩා සහ මල් එතනා විසිනි.    ලිඳ හෑරීමට පහසුවීම සඳහා එතුළට වතුර ගලායන පරිදි මල් එතනා රංහාමිට නා ගැනීම සඳහා ඒ ආසන්නයේ උණු වතුර තැබුවාය.

" පුතේ ආ ගේ පිටිපස්සෙ පුතාට නාගන්ට උණු වතුර තියල තියනවා. ගිහිං නාගත්තා නම්" මල් එතනාගේ මව කීවාය.   " මට පෙනෙන්නේ නෑ කුප්පි ලාම්පුවක් වත් දෙන්ට"කියා එළියක් ඉල්ලා ගැනීමත් රංහාමිට මදිකමකි.  ඔහු හිත දෙගිඩියාවෙන් ගේ පිටුපසට ගියේය.    අහෝ! අවාසනාවකි.  රංහාමි මැටිවලට වැටුණේය.කොතෙක් උත්සාහ කළත් වලෙන් ගොඩ ඒමට නොහැකි විය.   වල ඇතුළේ එහාට මෙහාට හක්කලං කරන විට එතුල තිබුණු උදැල්ලක් අතට හසුවිය.   උදැල්ල අතට ගත් ඔහු ළිඳ හෑරීමට පටන් ගත්තේය.    උදැල්ල ළිං බිත්තියට හේත්තු කළේ නම් ඔහුට පහසුවෙන් ගොඩ ඒමට හැකියාවක් තිබුණි.    එහෙත් ඒ සිතුවිල්ල ඔහුට පහළ වුයේ නැත.

වැවට දියනෑමට ගිය තාත්තත් පුතත් ගෙදර පැමිණි නමුත් ගේ පිටුපසට උණු වතුර නෑමට ගිය බෑනා තවමත් පැමිණියේ නැත.   "පුතේ ගේ පිටුපස්සට ගිය අර ළමයා උණු වතුර නාගන්ඩ ගිහිං දැන් හුඟක් වෙලා, මොකක්දෝ සද්දෙකුත් ඇහුණා ටිකක් ගිහිං බලාපන්" අම්මා පුතාට කීවාය.   පුංචි බණ්ඩා ලාම්පු කුප්පියකුත් ගෙන ළිඳ ළඟට ගියේය.   ඔහුට දකින්නට ලැබුණේ කරුවලේම ළිඳ කපන රංහාමි මස්සිනාය.   " මස්සිනේ උඹ කරුවලේ මොකද ඔය කරන්නේ?" යි ඔහු මස්සිනාගෙන් ඇසුවේය.   " මං මේ ළිඳ ටිකක් කපනවා" රංහාමි ඇඟට නොදැනීම කියා දිගටම ළිඳ හෑරුවේය. 

"උදේ ඉඳල හේනේ වැඩ කරලා ඇවිත් කරුවලේ මොන ළිං කැපිල්ලක්ද? ගොඩට වරෙන්! ගොඩට වරෙන්!!" පුංචි බණ්ඩා කීවේය.   " පිරිමි ඔහොම කම්මැලි වෙලා බෑ. මේ දවල්,මේ රෑ, දැන් වැස්ස,දැන් අව්ව කියලා කම්මැළි වුණොත් හිඟා කන්ට තමයි වෙන්නේ" යි කියමින්ම කුප්පි ලාම්පු එළියේ උදව්වෙන් රංහාමි ගොඩට පැනගෙන ඉක්මණින් ඇඟ සෝදාගෙන පුංචි බණ්ඩා සමගම ගෙදර ගියේය.   බොහෝ සෙයින් රෑ බෝ වූ නිසා ගෙදරින් නොකා රාත්‍රී ආහාර මුල් බැඳගෙන පියපුතු දෙදෙනා හේනේ පැළ වෙත ගියහ.   රංහාමි ආහාර ගැනීමට තනියම වාඩිවිය.

මඩුවේ මුල්ලක වංගෙඩි කොටේ උඩ තබා තිබුණ කුප්පි ලාම්පුවේ දුර්වල එළිය රංහාමිට ආහාර ගැනීමට ප්‍රමාණවත් නොවීය.   මේ වෙලාවේ ගෙදර ඇතිකරන බළලා රංහාමිගේ කෑම පිඟානට ක්‍රම ක්‍රමයෙන් ආසන්න විය.  ඒ බවක් රංහාමි දැන සිටියේ නැත.   වරින් වර රංහාමිගේ කෑම පිඟානෙන් මස් කෑල්ල බැගින් ගෙන අනුභව කරන්නට විය.  බළලාගේ මේ දඟකාර ක්‍රියාව දුටු මල් එතනා එය තම මවට පෙන්වා කට අතින් වසාගෙන සිනාවුවාය.   මල් එතනා දෙස රවා බැලූ මෑණියෝ "ෂොඃ ෂොඃ ! බළලා,"යි කීවාය.   "හා! හා!! හා!!! ඒකා එළවන්ට එපා. මං ගෙදර ඇති කරන බළලත් මාත් එක්කම කෑම කන්නේ එකම පිඟානේ.  මේකත් ටිකක් කාලා බඩපුරවා ගත්තාවෙ" යි කීවේ අනේ මම දැක්කේ නෑ කියන්ට පුළුවන් කමක් නොතිබුණ නිසයි.

කෑමෙන් පසු මඩුව අතුගා,  අලුත් රටා පැදුරක්, අලුත් උරයක් දැමු කොට්ටයක්, සහ නැන්දාගේ අලුත් චීත්තයක් සපයාදී දැල්වූ ලාම්පු කුප්පිය වංගෙඩිය මත තබා " පුතේ දැන් හුඟක් රෑ වෙලා, මහන්සිත් ඇතිනේ,එහෙම නම් නිදාගන්ට අපිත් නිදාගන්ට යනවා" යි කී මව දුවත් සමග ගේ ඇතුළට ගොස් දොර වසා ගත්තීය.   රංහාමි පැදුර බිම අතුරන්ට උත්සාහ කළේය.   එය බොහෝ කලක් අකුලා තිබුණ නිසා එක පැත්තකින් නැවත ඇකිලේ.   ඒ පැත්ත දිග අරින විට මේ පැත්ත ඇකිලේ.

පැදුරේ දිග ඇදුණ සැනින් මෑණියන් සිහින ලොවට පිවිසියද මල් එතනාට නම් නිදිමතක් දැනුණේම නැත.   මොහොතින් මොහොත සිතට ඇතුළුවන මංගල සිතුවිලි පසුපස හඹා යන ඇය කෙරෙන් නිදිමතද ඈතින් ඈතට පලා යයි.   පැදුර දිග ඇරෙන ඇකිලෙන හඬද ඇගේ දෙසවන් තුළට ඇතුළු වුවාට සැකයක් නැත.  "අම්මේ අර අයියා මොනවා කරනවාද දන්නෙ නෑ, දැන් හුඟ වෙලාවක ඉඳලා පැදුරේ සද්දෙ ඇහෙනවා.  මකුණෝවත් කනවද දන්නෙ නෑ" යි තම මවට ඇහැරවා රහසින් කීවාය.   මව ස්වල්ප වේලාවක් පැදුරේ ශබ්දය අසා සිට " හැබෑ නේන්නම්, ඒත් මකුණෝ නම් ඉන්ට විදියක් නෑ.කොයි එකටත් ගිහිං බලමු" යි දුවට රහසින් කියා, දෙදෙනාම බෑනා සිටින ස්ථානයට ගියහ.

" මොකද පුතේ මකුණෝ කනවදැ ? යි " ඇසුවාය.  " නෑ නෑ නැන්දේ මකුණෝ නම් නෑ. මං මෙච්චර වෙලා බැලුවේ මේ පැදුරට දමලා තියෙන රටාව මොකක්ද කියලයි.   අපේ අම්මත් රටා වියනවා.  ඒත් උන්දැ නම් මේ වගේ රටාවක් වියනවා මම නම් දැකල නෑ" යි ඔහු පිළිතුරු දුන්නේ විශාරද පන්නම් කරුවෙක් ලෙසිනි.    "ඒක ඇත්ත ඔය පැදුරේ මුල ඉඳලා මැදට යනකම් දාල තියෙන්නේ හීරටාව මැද ඉඳලා අගට වියලා තියෙන්නේ මුරටා( මහරටා) වෙන් එක පාර බලන කෙනෙකුට ඒක තේරුම් ගන්න අමාරුයි" ඇය බෑනාට රටාව කියා දුන්නාය.    මේ අල්ල පනල්ලේ රංහාමි පැදුර එලාගෙන ඉහට කොට්ටයක් චීත්ත රෙද්දක් දමාගෙන පැදුරේ දිග ඇදුණේය.  උදේ සිට මේ වනතුරු තමාට සිදුවූ සෑම අකරතැබ්බයක් ගැනම සිතා, ඒ සෑම අවස්ථාවකම තමාගේ රෑ කනේ වහන්කර ගැනීම ගැන තමාටම ස්තුති කර ගනිමින් සිහින ලොවට පිවිසියේය෴

(රජරට ජනකතා, කර්තෘ. කේ.බී.පොඩිඅප්පුහාමි. ප්‍රකාශනය. ඇස් ගොඩගේ සහ සහෝදරයෝ.2002.)