Sunday, February 5, 2017

ලොකු එකාගෙ ලියමන



                                                 
                            ලොකු එකාගෙ ලියමන 
                                       
                                                              සෙනසුරාදාට නිවාඩුයි
                                          ඒත් වැඩ ගොඩයි
                                          ඉරිදටත් මගෙ හිතේ
                                          එන්න බැරිවෙන හැඩයි
                                          සඳුද ආයෙත් යුද්ධෙ
                                          ෆයිල් ටික මගෙ ළඟයි
                                          කොහොම ආවත් අම්මෙ
                                          සල්ලි නම් දැන් හිඟයි
                                     
                                          දුවත් දැන් හතේ
                                          කොයි වෙලාවෙද ෂුවර් නෑ
                                          කොල්ලටත් ටුනමන්ට්
                                          දුර යන්න කැමති නෑ
                                          අරය නෝපේ ඉන්නෙ
                                          ෂෝර්ට් ලීව් දෙන්නෙ නෑ
                                          අපි විඳින දුක ඉතින්
                                          දෙයියොවත් දන්නෙ නෑ
                                       
                                           තාත්තගෙ දානෙටත්
                                           කරගැහුවෙ මං නේද
                                           මල්ලිටයි නුවර
                                           ලොකු අක්කටයි කිව්වාද
                                           ලෙඩ ගානෙ ඔය ගමන
                                           යන්නටම ඕනෑද?
                                           කවුද ඔළුවට දැම්මෙ
                                           උඩහ ලොකු අම්මාද?

                                           සතියටත් ගමනකට
                                           හැත්තෑව පනිනවා
                                           අතරමග කෝච්චියෙ
                                           පැය ගණන් ගෙවෙනවා
                                           මගදි තව කරදරලු
                                           නඩේ මග හැරෙනවා
                                           මොකට වද විඳිනවද
                                           මෙහෙත් බණ තියනවා

අනුරාධා නිල්මිණි ගේ "මදහසක මැදියම" නම් කාව්‍ය සංග්‍රහයේ එන ලොකු එකාගෙ ලියමන නම් මේ කවි පෙළ ඔබේ රස වින්දනය සඳහා අද ගෙන එන්නට මා අදහස් කලේ ඇගේ ප්‍රබන්ධය කියවීමෙන් මා සිත ජනිතවූ කම්පනය ඔබ සමග බෙදා ගන්නටය.   මේ කවි පෙළෙන් පැහැදිලිවම කියැවෙන්නේ අද අපේ රටේ රාජ්‍ය සේවකයාගේ ඛේදවාචකය නොවේද?   මියෙන්නට පෙර දඹදිව සිද්ධස්ථාන වැඳ පුදා ගැනීම එකම ප්‍රාර්ථනය වූ සිය මවගේ ඉල්ලීම හමුවේ අසරණ වන ඔහු තරමක තද ස්වරයෙන් ලිපිය ලීවද මෙය ලියන්නට හිත හදාගන්නට ඔහු කෙතරම් සිතින් හඬන්නට ඇත්දැයි නොසිතේද?

9 comments:

  1. ගෙදර ඉඳලාම ලෝක වටේ වඳින්න පුළුවන් ගාථාවක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. යං නම්මදාය නදියා පුලිනෙච තීරේ
      යං සච්ච බද්ධ ගිරිකේ සුමනාච ලග්ගේ
      යට තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
      තං පාද ලාංඡන මහං සිරසා නමාමි

      Delete
    2. මෙන්න ලෝකල් බඩුව!

      මහියංගනං නාගදීපං
      කළ්‍යාණං පද ලාංඡනං
      දිවා ගුහං දීඝවාපී
      චේතියංච මූතියංගනං
      තිස්සමහා විහාරංව
      බෝධි මරිචවට්ටියං
      ස්වරණමාලී මහා චෛත්‍යයං
      ථූපාරාම භයාගිරං
      ජේතවනං සේල චෛත්‍යයං
      තථා කාචරගාමකං
      ඒ‍තේ සෝළසඨානානි
      අහං වන්දාමි සබ්බදා

      Delete
  2. දඹදිව වන්දනා චාරිකා දැන් පැකේජ් ක්‍රමයට ඕන තරම් තියෙනවානේ.දැන් දඹදිව යන එක රැල්ලක් වෙලාද මන්දා.එහේ නොගියොත් නිවන් යන්න බැහැ වගේ.අපුරු කවියක්.කවි පොත් දෙකක් තියෙනවා හිතවතුන්ගේ තවමත් කියවන්න තරම් ඉඩක් නොලැබුණු.

    ReplyDelete
  3. ඔව්..මේක ලියද්දි ලොකු එකා පට්ට වේදනාවක් හිතින් දරා ගන්න ඇති. ඒ වගේම මේක පිටිපස්සෙ බිරිඳ ගේ හස්තය කොයි විදියට ක්‍රියාත්මක උනාද දන්නෙ නැහැ..මේ උගෙම වචන නොවෙන්නත් පුලුවන්..

    ReplyDelete
  4. අර කිවුවත් වගේ පිං කරන්න දඹදිව යන්නම ඕනද?
    ඕකට ප්‍රධානම හේතුව ගමේ ආස්සරේ කරන කෙනෙක් හරි නැත්තං නෑදෑයෙක් හරි ගිහිල්ල ඔය විස්තර කියෝනකොට ඒකට දෙවෙනි වෙන්න තියෙන අකමැති කමට කොහොමහරි ඔය ගමන යන්න ලෑස්ති වෙන එකයි.

    ReplyDelete
  5. අහන්ඩ හිටියේ මේක නොලියන්නේ ඇයි කියලා

    ReplyDelete
  6. අපේ අම්මයි තාත්තයි පවුලගේ අම්මයි තාත්තයි හතර දෙනාම යැව්වා මමනම්.. ඒත් හෙන කට්ටක් කාල තමයි.. වැරදිලා හරි එහෙම කර ගන්න බැරිවෙලා තිබ්බනම් අද මේ කවිය කියවගන්න බැරි වෙනවා..

    බුකියේ තව කවියක් ෂෙයාර් වුනා පහු ගිය දවස්වල මේ වගේම.. වැඩ ටික බැලන්ස් කරගෙන තාත්තාව බලන්න පුතා එනකොට තාත්තා මැරිලා..

    ReplyDelete