Sunday, April 2, 2017

කැකිරි දුපතේ දරු ප්‍රසුතය



කැකිරි නැමැති සිඟිති දුපතෙහි අවාසනාවන්ත තත්ත්වයක් උදාවිය.  උත්තර මහා සාගරයේ ධ්‍රැව වෘත්තයට එහා පිහිටි කැකිරි දුපත එනමින් ඔබ සිතියමෙහි සොයා ගැනීමට තැත් කරති නම්, එය නිෂ්ඵල ක්‍රියාවක් බව කලින්මැ කියනු කැමැත්තෙමු.   සිතියම් වල මෙම දුපත හැඳින්වෙන්නේ සම්පූර්ණයෙන්ම සංගතික හා කාව්‍යමය යැයි පවා කිව හැකි නමකිනි.   එහෙත් ධ්‍රැව ප්‍රදේශයේ ගුවන් විදුලි සංඥා ශිල්පියෝ මුරණ්ඩු ලෙසමැ මෙම දුපත් සිඟිත්ත කැකිරි දුපත ලෙස හඳුන්වාලුහ.  ඔවුන් වැරදි බව ඒත්තු ගැන්වීමට උත්සාහ කැරැ බලන්න! ගුවන් විදුලි සංඥා ශිල්පීහු වූකලී අපූරු ජන කොටසකි.  ඔවුහු උපහාසයෙහි දක්ෂයෝය.  සමහර විට ඔවුන් කුඩා කුටි වලටවී ලැග සිටින නිසා ඔවුනට පාළු ගතියක් දැනෙනවා විය යුතුය.

කෙසේවතුදු මෙම පුදුම නමට ස්වකීය ඉතිහාසයක් ඇත.  මෙම දුපත් සිඟිත්ත සොයාගත්තේ මෑතකදීය.  ඉතාමත්ම මෑතකදීය.  ඉමහත් ප්‍රබෝධයකින් හා කලබලයකින්, අලුත සොයාගත් මෙම සිඟිති දුපත සිතියමෙහි සටහන් කළ කණ්ඩායම් ප්‍රධානියා (ඔහු සිටි අයිස් කඩන නෞකාව වටා අයිස් ඝනවීමට පටන් ගත් නිසා ඔහුට කලබලකාරී ලෙස ඉක්මන් වීමට සිදුවිය) ක්‍ෂණික වාර්තාවක් ඉදිරිපත් කළේය.  "අලුතින් සොයාගත් දුපත කැකිරි ගෙඩියකට සමානය"  ගුවන් විදුලි සංඥා පණිවිඩ කරුවෝ (හැම දෙයක්ම අනිවාර්යයෙන් යැවෙන්නේ ඔවුන් අතිනි) ධ්‍රැව වෘත්තයේ දුපත් පවුලේ උපන් මේ නව දුපත් පොඩිත්තට කැකිරි දුපත යනුවෙන් නම් තැබුහ.

මේ සිඟිති දුපත ඉක්මනින්ම අල්පමය නොවන වැදගත්කමක් ලබාගත්තේ එය ඉතා ඈත පිහිටීම විසිනි.  පර්යේෂකයෝ දෑත් පිරිමදිමින් උදම් ඇනුහ.  දැන් ඉතින් අපි ආක්ටික් සාගරයේ බොහෝ රහස් සොයා ගන්නෙමු.  කාලගුණය ගැන පේන කියන්නෝ සැනසුම් සුසුම් හෙළූහ.  කාලගුණය ගැන ස්ථිර පුවත් දීමට තවත් පහසුවක් මතුවී තිබේ.  මනාලියක් ගැන සිහින දකින පරිදි තරුණ ධ්‍රැව සාගර විද්‍යාඥයෝ කැකිරි දුපත ගැන සිහින මවාගත්හ.  එහි ඇති නොදුටු විරූ සුන්දරත්වය ගැන ඔවුනට සිහින පෙනිණි.  එය ලබා ගැනීම සඳහා ඕනෑම වික්‍රමයක් පෑමට වුව ඔවුහු සුදානම් වුහ.  ඔවුහු අනුකම්පා සහගතවැ මෙසේ කියුවෝය.  " ඩික්සන්,ටික්සි, චෙල්යුස්කින් මොනවාද? ඒවා දැන් ඉතින් මෙල්ල කරලා ඉවරයි නොවැ.  ඒවා සේරම දැන් අපේ ගෙදර වගෙයි.  එහෙත් අර දුපත...." ඔවුන් කොඳුරන්නට වුයේ කැළඹුණු සිතිනි.  "විහිළු වැඩක් නොවෙයි. කැකිරි දුපත පිහිටා තියෙන්නෙ අංශක 78 ටේ...."

ඉදින් කැකිරි ගෙඩියක හැඩයක් ඇති මෙම දුපතෙහි මිනිස්සු පදිංචියට ආවෝය.  මෙම දුපතේ නැවුම් හිම මත විසාල කෝප්පයක් මෙන් කවාකාර හැඩැති වලස් පා සටහන් ළඟින්ම තියුණු ප්‍රබෝධමත් මිනිස් පා සටහන් ද දක්නට තිබිණි.  ගොඩනැගිලි සාදන ලදී.  අයිස් ගොඩැලි සහිත බිමෙහි මිනිස් ජීවය බිහිවිය.   මිනිසුන්ට එහි වැඩ කටයුතු ඇතිවිය.  පිරිසිදු තඹවන් භාජනවල කෝපි උතුරන්නට විය.  ඔවුනට ඔවුන්ගේ ප්‍රීතිය උදාවිය.  සවස් වරුවේ විවේක කාලවලදී චෙස්දාම් අදිති.  ඔවුනට කරදරද කැළඹීම්ද තිබිණි.  ඔවුනට ඔවුන්ගේ අවාසනාවද නැතිනම් ඉක්මනින්ම ඔවුන්ගේ වාසනාවද ඇතිවිය.  ඔව් සත්තකින්ම එය වාසනාවෙකි! කොයි හැටි වෙතත් තවම ඒ ගැන පැහැදිලි ලෙස දැන ගැනීමට නොහැකි විය.  මෙවැන්නකට හේතුව මෙසේ විය.  ස්ත්‍රියක් බියජනක ලෙසත්, අමනුස්ස ලෙස මර හඬ දී කෑ ගැසීමය.  ඇය අසල සිටගෙන සිටින සුදුමැලි තරබාරු පුරුෂයාගේ දෑත් පිලිසරණයෙහි අසමත් වැ වෙවුලයි.  ඔහුගේ නළලෙන් ලොකු ඩාදිය කැට රූරා වැටේ.

සෝවියට් ආක්ටික් ප්‍රදේශයෙහි බොහෝ ඈත දුපත්වල වාසය කරන්නෝ, තම ළඟ අසල්වැසියන් ගැන කිසිත් නොදැන හුදකලාව වාසය කරතියි ඔබ සිතති නම් එය ලොකු වරදකි.  එක් අසල්වැසියෙකුගේ සිට තවත් අසල්වැසියකු දක්වා, එක් දුපතක සිට තවත් දුපතක් දක්වා ඇති දුර ප්‍රමාණය සමහරවිට කිලෝමීටර දහස් ගණනකි.  ඒවා කොතරම් අසීරු අමාරු කිලෝමීටරද! එහෙත් ගුවන් විදුලි සංඥා ශිල්පියෝ! ඔවුනට පින්සිදු වන්නට කැකිරි දුපතේ ස්ත්‍රියක් අභිනව රට වැසියෙකු ප්‍රසුත කිරීමේදී ඇතිවූ ප්‍රසව වේදනාව උහුලා ගත නොහී,කෑගසන බව මුළු මහත් ආක්ටික් ප්‍රදේශයම දැන ගන්නා ලදී.  එම දරු ප්‍රසුතයේ ප්‍රතිඵල දැන ගැනීමට මුළු මහත් ආක්ටික් ප්‍රදේශයේම වසන්නෝ හුස්ම නොගෙන බලා උන්හ.  නෝඩ්වික් ආකාරවල සැර පරුස, බිය සැක නැති ආකර කරුවෝද, චෙල්යුස්කින්හි විද්‍යාඥයෝ ද,  ඩික්සන්හි ගුවන් විදුලි සංඥා ශිල්පියෝද ,    ටික්සි වරාය ඉදිකරන්නෝද, බේලි දුපතේ හිම කාලය ගත කරන්නෝද, ප්‍රසව වේදනාවෙන් පෙළෙන්නියගේ ඇඳ ලඟටවී හැරෙන්නේවත් පෙරළෙන්නේවත් නැතිව බලා සිටියෝය.  අලුත උපත ලබන බිළිඳාගේ ප්‍රථම දැඩි කෑගැසීම අසා ඔහු වෙත පීතෘ සෙනෙහසින් මඳ සිනා පා සුබ පැතීමට බලා සිට්යෝය.

"ඉතින් ඇයට කොහොමද? ඇගේ තත්ත්වය කොහොමද?  ආක්ටික් සාගර වාසීහු උදේ, දවල්, රෑ විමසුහ.
එහෙත් ස්ත්‍රිය කෑගසයි.  ඇගේ සුසුම් ලෑම මුළු මහත් ආක්ටික් ප්‍රදේශයටම ඇසෙන්නාක් මෙනි.   ඇගේ ස්වාමි පුරුෂයා, අනික් හැම පුරුෂයන්ම එවැනි අවස්ථා වලදී හැසිරෙන පරිදි ඇගේ ඇඳ අසලටවී හඬන්නට විය.   දොස්තර කිසිවක් කර කියාගත නොහී, කලබල වී ස්නායු දුර්වලත්වයෙන් පෙළුණේය.  අනේ පව්, දුප්පතා. ඔහු ප්‍රසව විද්‍යාව නොදත්තෙකි.  ඇරත් මෙය අති විශේෂ අවස්ථාවක් විය.  එනම් නූපන් බිලිඳා ගර්භාෂය තුල හරහට සිටීමය. 

එදින කැකිරි දුපතේ සිට ධ්‍රැව සාගරයේ සියලු දුපත් හා පෙදෙස් වලට මෙවන් ගුවන් විදුලි පණිවිඩයක් ලැබිණි.
"බේරා ගන්න! බේරා ගන්න! කළ හැකි හැම දෙයක්ම කරන්න (නැවතීමේ ලකුණ) අම්මාත්(කොමාව) බිලිඳාත් බේරාගැනීම සඳහා හැම දෙයක්ම කරන්න" ප්‍රසව වේදනාවෙන් පෙළෙන්නියගේ පුරුෂයා ඉල්ලා සිටියේය. 

කළ හැක්කේ මොනවාද? විදුලි පණිවුඩය භාරගත් සංඥා ශිල්පියාගේ මුහුණ වේදනාව නිසා හැකිලිණි.  ඔහු ශ්‍රවණ පෙති පසෙක තබා ප්‍රධානියා වෙත ගියේය.  කළ හැක්කේ මොනවාද? ස්ත්‍රිය, එපමණක්ද බිලිඳා...
ප්‍රධානියා සහ පක්ෂ සංවිධායකයා කල්පනා කරන්නට වුහ.  එම සිඟිති දුපතට යාමට අහස් යානා නැතිය.  ගුවන් තොටුපොළෙහි එකද ගුවන් යානාවක්වත් නැත.  ශීත කාලය රජකරයි.  උත්තර ධ්‍රැවයේ මහා රාත්‍රිය ආරම්භ වී ඇත.  මෙවැනි කාල ගුණයකදී අහස් යානාවකින් පියාසර කළ හැකිද? පක්ෂ සංවිධානයේ ලේකම් වරයා බැම රැළි නංවාගෙනය රෝහලේ දොස්තර හමුවීමට ගියේ.

දොස්තරගේ නම සෙර්ගේයි මත්වේයිව්ය. ඔහු ගැන කිව හැක්කේ මොනවාද? ඔහු සාමාන්‍ය දොස්තර වරයෙකි.  කිසිවක් නිසා මවිතයට පත් නොවන්නන් ගෙන් එකෙකි ඔහු. හේ කිසිවක් ගැන දුක් නොවන්නෙකි.  බිය නොවන්නෙකි.  සෙර්ගේයි මත්වේයිව්ගේ බාහිර පෙනුමද ඉතාමත්ම සාමාන්‍ය යැයි කිව හැකිය.  ඔහුගේ උදරය විශාල නොවේ. අත් විශාලය.  රත් පැහැතිය.  ඔහු රෝගීන් කපන සැබෑ ශල්‍ය වෛද්‍ය වරයෙකි.  ඔහුගේ කටහඬ බැරෑඬිය.  දයාන්විතය, හිසෙහි තට්ටයද යහගුණයක් පෙන්වාලයි.  හිසකේ රොද අතරින් පතර වැඩී ඇත.  ඔහුගේ අත්වලින්ද,සිරුරෙන් සහ ඇඳුම් වලින්ද රෝහල් ගඳ නමින් හැඳින්වෙන කාබොලික් සහ අනිකුත් බෙහෙත් සුවඳ වහනය වෙයි. එක් වචනයකින් කිවහොත් ඔහු දොස්තර වරයෙකුගේ විශේෂ බාහිර පෙනුමෙකින් යුක්තය.  මේ හේතුව නිසා නැංගුරම් වල සටහන් සහිත පිත්තල බොත්තම් ඇති නාවික ඇඳුමින් සෙර්ගේයි මත්වේයිව් සැරසී සිටින විට, කෙනෙක් ඉබේටම මෙසේ සිතනු ඇත.  " ඔහු දොස්තර ලෝගුව ඇඟලා නැත්තේ මන්ද?

මේ දොස්තරට එක් අසාමාන්‍ය ගතියක් තිබිණි.  ආක්ටික් ප්‍රදේශයේ දොස්තර වරයෙකුගේ ලක්ෂණ රහිත ඔහු බොහෝසෙයින්ම සාමාන්‍ය වීමය.  කෙසේ වුවද ඔහු ආක්ටික් ප්‍රදේශයේ දොස්තර වරයෙකි.  එවැන්නෙකුට චමත්කාර ජනකත්වයක්තිබිය යුතුය. සිතියම් දෙස බලන්න.  ධ්‍රැව ප්‍රදේශය ගවේෂණය කරන්නන්ගේ නම් අතර සම්භාවනීය දොස්තර වරුන්ගේ නම්ද ඒ සිතියම ඔබට පෙන්වයි.  දොස්තර ස්තාරොකදොම්ස්කිගේ දුපත, දොස්තර ඉමාචෙන්කෝගේ තුඩුව, දික්සන් දුපතෙහි ඔබට උත්තර ප්‍රදේශයේ චාම් වීරයෙකු වන ඇපෝතිකරි  ව්ලදිමිරොව්ගේ සොහොන පෙන්වනු ඇත.  අළු පැහැති ලීයෙන් කළ ඒ සොහොන් කොතට ඔබ හිස නමා ආචාර කරනු ඇත්තේ ගෞරවයෙනි.  ව්රාන්ගල්ගේ දුපතට ඔබ ගියහොත් කරන ප්‍රථම දෙය වනුයේ, ආක්ටික් ප්‍රදේශයට පැමිණි ජනතා සතුරන්ට විරුද්ධව සටන්කොට නිර්භය ලෙස ජීවිත පූජා කළ වීරයෙකු වන දොස්තර වොල්ප්සොන්ගේ සොහොන සෙවීමය.

එහෙත් කෙනෙකුගේ සිත අමනාප විය හැකි තරමටම සෙර්ගේයි මත්වේයිව් තුළ චමත්කාරජනක කිසිවක්ම නොවීය.  ඔහු නිකම්මැ නිකම් සාමාන්‍ය දොස්තරෙකි. අයිස් කඳුවලට, මුහුදු කුණාටු වලට,වැනෙන නැව් ඩෙක් තට්ටුවට, සාගරයේ කරදිය සුවඳට, ටින් කෑම සලාකයට පුරුදුවූ නාවික වීර දොස්තර කෙනෙක් නොවේ.  ඔහු එසේ වතුදු ඔහු සමහර විට, පරීක්ෂණ පවත්වන දොස්තරෙකු නැත්නම් දොස්තර විද්‍යාඥයෙකු වුයේද?

මෑතක සිට ආක්ටික් ප්‍රදේශයට වෛද්‍ය විද්‍යාඥයෝ ඉතා කැමැත්තෙන් යති.   ඔවුහු වූකලී ජෛව විද්‍යාඥයෝය, සත්ව විද්‍යාඥයෝය, අල්ප වශයෙන් පැළෑටි විද්‍යාඥයෝය.   ඔවුහු විවිධ බෙල්ලන් වර්ග, කුතුහලය දනවන උභයජීවීන්, උරගයින් එකතු කොටැ ඒවා ස්ප්‍රීතුවල බහා ඒ තිලිණ මවු බිමට ගෙනයති.  අන් සමහරු අල්ලක් තරම් කුඩා, කුරු විලෝගස් මුල් සහ 'කිරීට' සමග කඩදාසි කොළවල අලවති.  වෙනත් අය ආක්ටික් තත්ත්වයන් යටතේ සෑදෙන ලෙඩ රෝග හදාරති.  මිනිසුන්ගේ හැසිරීම, මනෝ ච්කිත්සාව, බෝවන රෝග සෑදීමේ ඉඩකඩ, මිනිසා මත ධ්‍රැව මහා රාත්‍රිය සහ ධ්‍රැව මහා දිවා කාලය බලපාන සැටි ආදිය උගනිති.

එහෙත් සෙර්ගේයි මත්වේයිව් බෙල්ලන් ස්ප්‍රීතු වල දැමීම හෝ ශාක වර්ග වේලීම හෝ නොකළේය.  " ව්‍යවහාරික වෛද්‍ය සේවයේදී ඇතිවූ කුතුහලය සහිත සාධක" ලිවීමේ දිනපොතක්ද පවා ඔහු නොතැබීය. එසේවතුදු ඔහු යම් යම් දේ පිරික්සා බැලීමට ඉදිරිපත් වුණද, වෙලාව...ඔව්. කාල වෙලාවක් නොතිබිණි.  රෝගීහු, වැඩ කටයුතු, රෝහල, සදාකාලික හිමෙන් වැසී ඇති මේ ප්‍රදේශයේ වාසය කිරීමේදී ඔහු නව දේ සොයා ගැනීමෙන් විද්‍යාව පොහොසත් නොකරන බව නම් පැහැදිලිවම පෙනෙන්ට තිබිණි.  

ධ්‍රැව ප්‍රදේශයේ වැඩ කිරීමේදී විශේෂ පැහැදිලි තාවයකින් විද්‍යාවට සේවය කිරීමට ඉදිරිපත් වන විදිහේ කෙනෙක් ලෙස ගැනෙන චුම්බක විද්‍යා ශිල්පී තරුණ මදෝරව්, නැවේ ගමන් කරද්දීම දොස්තර වෙත පැමිණ සතුටු සිතින් මඳ සිනා පාමින්,ඔහු අමතා මෙසේ පැවසීය.

"ඔබව තේරුම් ගැනීමට මට පුළුවනි.  සදාකාලික හිමෙන් වැසී ඇති පෙදෙසේ වැඩ කිරීමට යන අප දෙස ඔබ බලන හැටි මට තේරුම් ගත හැකියි.  ඔබ අප දිහා බලන්නේ හාවුන් දෙස බලන හැටියට නොවැ.  ඔබ අපව පිරික්සුමට භාජනය කරනව. එහෙම නේද?  වැඩ මුරයට ඉස්සෙල්ලාත්, පසුවත් අපේ නාඩි බලනවා.  ධ්‍රැවගත මහා රාත්‍රියේදීත් ඉන් පසුවත් අපේ හෘද වස්තු පරීක්ෂා කරලා බලනවා.  ඔන්න ඉන්පසුව සත්තකින්ම විද්‍යා කෘතියක් ලියනව නේද? එහෙම නොවේද? ඇත්තටම එහෙම නේද? දොස්තර මහතාණෙනි, ඔබේ හාවකු ලෙස සේවය කිරීමට මා සතුටුයි. 

සෙර්ගේයි මත්වේයිව් ඔහු දෙස බිය මුසු ලෙස බලා තරමක නොසන්සුන් කමක් සහිත ලැජ්ජාවට පත්වී, කිසියම් දෙයක් ලුණු ඇඹුල් සහිතව විස්තර කරන්ට වුයේ, අස්ථිර ලෙස ඇඟිලි දෙකකින් අසුරුසන් ගසමිනි.  එතැන් සිට මදෝරව් සහ අනිකුත් හාවෝ සෙර්ගේයි මත්වේයිව් දොස්තර තැනගේ විද්‍යාත්මක කෘති අරභයා විස්තර විමසීමට ඉදිරිපත් නොවුහ.  ඔහු මෙහි පැමිණියේ එකම එක අරමුණක් අනුව බව පෙනෙන්ට තිබිණි.  එනම් රෝගීන් සුවකිරීමටය.  දරු ප්‍රසුත වලදී සහාය වීමටය, රෝගී දත් ගලවා දැමීමටය,ඇපැන්ඩිසයිටිස් නැමැති රෝගය ඇතිවූ විට උණ්ඩුක පුච්ඡය කපා දැමීමටය.  

මේ සියලු දේ සඳහා ඔහුට රෝහලක් අවශ්‍ය විය.  මන්දයත්, රෝහලක් නැති දොස්තර " අනේ මහත්තයෝ ඒක හරියට නැවක් නැති කොලොම්බස් කෙනෙකුට සමාන බැවිනි" එපමණක් නොව ඔහුට අවශ්‍ය වුයේ ආවාට ගියාට නිකම් රෝහලක් නොවේ.  ඉතා හොඳ වර්ගයේ රෝහලකි.  මෙය ආක්ටික් ප්‍රදේශය වුනත් නැතත්, මිනිහෙකුට රෝගයක් සැදුනහොත් එයට නියම ලෙස ප්‍රතිකාර කළ යුතු බැවිනි.  පාරුවල සිට ගොඩබාන ලද පෙට්ටි ඔහු ඔහුගේම කරෙන් ගෙනගියේද මේ හේතුව නිසාය.  කිසිවෙක් ඔහුට ආධාර පිණිස ඉදිරිපත් වුවොත් ඔහු රෝහලට අවශ්‍ය උපකරණ සහිත පෙට්ටි කරින් ගෙනයන්නාට සැරවී, කෑගසනු ඇත.

"පරිස්සමින්,පරිස්සමින්! බිඳින්ට එපා!"

කිසියම් උපකරණ වලට අවශ්‍ය ලී ඔහුම යතුගා කපා පිළියෙල කැරැ ගත්තේය.  වඩු රාළලා අසලටවී ඔහු ඔවුන් දිරිගැන්වීය.  රෝහල් බිත්තිවලට සුදු තීන්ත ගෑවේද ඔහුය.  රෝහල් බිම ලිනෝලියම් කවරවලින් වසා පිළියෙල කලේද ඔහු විසිනි.  වැඩ බහුල විය.  මිනිසුන් අල්ප විය.  ගුවන් විදුලි මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා එක් කොටසක පිපිරැවීම් ඇති කරන ලදී.   බිම අඟුරු පතලක් කණින ලදී.  එය ආක්ටික් ප්‍රදේශයට ඵෙතිහාසික වූ එක්දහස් නවසිය තිස්හතර විය.   ඩයබාස් කඳු වැටි මධ්‍යයේ සදාකාලික අයිස්වලින් පිරී ඇති මහා සාගරයේ හිම කතර බඳු වෙරළෙහි ගොඩනැගිලි, වරාය,වැඩ ශාලා සහ පතල් සෑදුවේ එම වසරේදීය.

රෝහලක් ද ඉදිකරනු ලැබීය.  එය ඇඳන් පහක් සහිත කුඩා රෝහලකි.   එසේවුවද එය සම්පූර්ණයෙන්ම සෑහිනි.  නියම රෝහල්වල තිබෙන හැම දෙයක්ම මේ රෝහලෙහිද ඇත.  සෙර්ගේයි මත්වේවිව් දොස්තර තැනගේ හිසකේ පැසුණේත්, ඔහුගේ හිසකේ වැටී තට්ටය පෑදුණේත් ඔහුගේ සිරුරට අයඩින් හා කාබොලික් සුවඳ කැවුණේත් මෙවැනි නියම රෝහල්වල ඔහු වැඩකළ බැවිනි.  රෝහල් බිත්ති දිලිසෙන්නට විය.  නිකල්වන් උපකරණ මත කණ්නාඩි අල්මාරියේ තිබෙන ලේබල සහිත වීදුරු උපකරණ හා භාජන මත වැටෙන හිරු රැස් නටන්නට විය.  පවිත්‍රය,නිහඬතාවය රජකළේය.  කාබලික් බෙහෙත්වල සුවඳ පැතිරිණි.  රෝගියෝ පැමිණියෝය.  වැඩියෙන්ම ආවේ කාන්තාවන්ය.  ඈත පිහිටි ධීවර ජනවසම් වලැ සිට, බල්ලන් විසින් ඇදගෙන යනු ලබන හිම යානා වලින් ගැබිණි මවුවරුන් මෙහි පැමිණියේ දරු ප්‍රසුතයට  නියමිත කාලයට වඩා මාසයකට හෝ දෙකකට කලිනි.    පුරුෂයින් මෙහි ආවේ හර්නියා අණ්ඩවාතයට, ඇපැන්ඩිසයිටිස් රෝගයට, ඉතා දැඩි හිමට අසුවී ඇඟිලි දරදඬු වූ විට, කැඩුම් බිඳුම් ඇතිවූ විට සහ දත්වලට ප්‍රතිකාර ගැනීම සඳහාය.  දොස්තර දත්වලට ප්‍රතිකාර කළා පමණක් නොව දත් පිරවීමද පවා කළේය.  තම මවුබිමේදී දත්වලට ප්‍රතිකාර නොකළ බොහෝ දෙනෙක් සෙර්ගේයි මත්වේයිව්ගෙන් ප්‍රතිකාර ලබාගත්හ.  එහෙත් ඔහු තම රෝගීන්ට නිතරම පාහේ මෙසේ පැවසීය. 

"අනේ බාතෙන්කා,මේ දිරාපත් වෙච්ච දත තමුසෙට මොකටද? අපි ඒකට වැඩක් දෙමු."

දත් ගළවා දැමීමට පෙර මිනිහෙකුට ඔහු ස්ප්‍රීතු ග්‍රෑම් තිහක් දුන්නේ රෝගියාගේ ධෛර්යය වැඩීමටය. එය සම්ප්‍රදායක් බවට පත්විය.  රෝගීන් පසුව තමා රවටන හැටි සෙර්ගේයි මත්වේයිව් දැනගත්තේය.  මත්පැන් ටික බොන ඔවුහු දත ගළවා දැමීමට ඉඩ නොදෙති.  " අනේ දොස්තර මහත්තයෝ දත කැක්කුම නතරවෙලා. අපි අනික් පාර එය ගළවා දමමු" යි ඔවුහු කියුවෝය.  එදා සිට ඔහු රෝගීන්ට ස්ප්‍රීතු දුන්නේ දත ගැලවීමෙන් ඉක්බිතිවය.  

 වෘත්තියෙන් ශල්‍ය වෛද්‍යවරයෙකුවූ ඔහු නිතර ශල්‍ය කර්මයට ප්‍රධාන තැනක් දුන්නේය.  කිසිවෙකු කපා දැමීමට අවස්ථාවක් ලැබුණොත් ඔහු ප්‍රබෝධයට පත්වන බව හිම වාඩියේ මිනිසුන් කියමින් සිනාසුනේ මේ නිසා විය යුතුය. 

" ඔන්න බාතෙන්කා අපි මෙතැන පොඩ්ඩක් කපල දාමු, ඔන්න ඔහොම! ඉතින්  කපල ඉවරයි.ලෙඩෙත් සනීපයි.

අභ්‍යන්තරික චිකිත්සක රෝග ඔහු බැලුවේ සැක සිතිනි.  

" ඔය චිකිත්සක වෙදකම,නොකැරෙන වෙදකමට කෝඳුරු තෙල් හොයනවා වගේ වැඩක්. බාතෙන්කා ඔය ලෙඩේ තේරුම කුමක්ද? තේරුමක් නැති ලෙඩ!" මෙසේ කියා ඔහු රෝගියා සනසාලයි.  "ඔය රෝගය සුවකිරීම එහෙම පිටින්ම ස්වභාව ධර්මයට බාර දෙන්න.  සොබාදහම අප ඔක්කොටොම වැඩිය බුද්ධිමත් ....ඉබේටම හොඳවේවි.  මෙහෙ දේශගුණය බොහොම අපුරුයි....බොහොම සනීපදායක දේශගුණයක් ඔව්!"
දහවල් ආහාරය ගන්නා විට, යම්කිසිවෙක් දිනපතාම පාහේ දොස්තර අමතා මහ හඬින් ප්‍රශ්න කිරීම සිරිතක් බවට පත්වී තිබිණි. 

" දොස්තර මහත්තයො, මට නිකම් හිසේ ඇම්මක් වගෙයි, මොකද කියන්නෙ ඒක ඉබේටම ඇරිලා යාවිද?"

"ඇරිලා යාවි,බාතෙන්කා,ඇරිලා යාවි" දොස්තර පිළිතුරු දුන්නේ දැඩි විශ්වාසයකිනි.

අපේ සාමාන්‍ය දොස්තරකු වන සෙර්ගේයි මත්වේයිව් එවැනි කෙනෙක් විය.  ඔහු ගැන බලා තේරුම් ගත නොහැකි යම් කිසිවක් තිබුණේ නම්,එය අන් කිසිවක් නොව ඔහු ආක්ටික් ප්‍රදේශයට ආවේ මන්ද? යන්නය.
ඇත්ත වශයෙන් නම්, ඔහු ආක්ටික් පෙදෙස දුටුවේ නැත. රෝහල, එකට වාඩිවී ආහාර ගැනීම, මෙහි නැවතී සිටින්නන්ගේ ගෙවල්වලට යෑම, රෝහල....දඩයම් සඳහා යාමට සුදානම් වුවද දඩයමට නොගියේය. ධීවරයින්ගේ ජනවසම් වලට යාමට ආශා කලද, රෝහලේ තමා වෙනුවට කිසිවකු නැවත්වීමට නොහැකිවීම නිසා එයද ඉටු නොවීය.  දරු ප්‍රසුත වලදී සෙර්ගේයි මත්වේයිව්ට වෙදකම් කිරීමට සිදුවූ බැවින් (ආක්ටික් ප්‍රදේශයේ බොහෝ ස්ත්‍රීහු දරුවන් ප්‍රසුත කළහ) ධීවර ජනවසම් වලට ගියේ ඇපොතිකරි තැනය.  එක් වරක් ශරත් සමයේදී දොස්තර තැන තරුණ ධීවරයින් සමග එකතුව බෙලුහා නැමැති මුහුදු සත්ව වර්ගය ඇල්ලීමට ගියේය.  ඔහු එහිදී සියලු ධීවරයන්ට බාධා කළා පමණක් නොව, තව පොඩ්ඩෙන් මාළු දැල පවා මුහුදට අතහරිනු ඇත.  තෙත බරියන් වුවද, ඉමහත් සතුටකින් ඔහු වෙරළට ආවේය.  අනතුරුව ඔහු සියලු දුපත්වාසීන් පිරිවරා ගෙන බෙලුහාව දොස්තර පිහියෙන් කපන්නට වුයේය.( බෙලුහාට ඇපැන්ඩිසයිටිස් තියෙනවාද කියා බලනවා යැයි තරුණයෝ සිනාසුනහ) සුපුරුදු අතින් ඔහු සතාගේ පපුව හා බඩ පලා අභ්‍යන්තරික ඉන්ද්‍රියයන් ගෙනැ පෙන්වමින් මෙසේ පැවසීය.  මේවා හැම දෙයක්ම මිනිහාගේ අභ්‍යන්තරික ඉන්ද්‍රියයන් වගේමයි."
එක් දවසක හවස් කාලයේදී, කෝපි පානයෙන් ඉක්බිතිව, භෝජනාගාරයේ උණුසුමක් සහ පහසුවක් පවතින විටෙක, චුම්බක විද්‍යා ශිල්පී මදෝරව් දොස්තර ලඟට වී මෙසේ ඇසීය.

" සෙර්ගේයි මත්වේයිව්,ඔබ අමනාප වෙන්න එපා. ඔබ ආක්ටික් වලට ආවෙ මොකටද? 

සෙර්ගේයි මත්වේයිව් තරමක ලැජ්ජාවකට පත්වී දෑත් වැනීය. 

" බාතෙන්කා,ඔබට ඒ ගැන කියන්නේ කොහොමද. හැම තැනම කියන්ට පටන් ගත්තා,ආක්ටික්,ආක්ටික් කියලා... ඉතින් මාත් කල්පනා කළා මෙහි එන්ට ඕනෑ කියලා.  මම මහලු නැහැ. ඔබ සිතන්නේ කොහොමද? දොස්තර තැන තරුණයෙකු සේ උඩුරැවුල කරකැවිය." ඔන්න ඊට පස්සේ,උතුරුකරේ ඉඳල දොස්තර කෙනෙක් අපේ රෝහලට ආවා.  බොහොම ප්‍රබෝධමත් වෙලා. ඔහු කියනවා ක්ෂේත්‍රය බොහොම ලොකුයි,බොහොම වැදගත් අවස්ථාවන්...ඉතින් මාත් එහි ගියාම මොකද වෙන්නේ? මම යුද්ධ හමුදාවට බැඳිලා යුද පෙරමුණටත් ගියා.  ඔව් හැම දෙයක්ම සිදුවුනා...ඉතින් ඊට පස්සෙ..." දොස්තර තම අවංක සුනිල්වන් නුවන්, තරුණයා දෙස එල්ල කොටැ මෙසේද පැවසීය. " ඉතින් මෙහි පඩි ගෙවීමත් ඉතාම හොඳයි නොවැ.  මම මෙහි අවුරුදු දෙකක් වැඩ කරනවා.  එතකොට බාතෙන්කා, එය සෑහෙන ප්‍රාග්ධනයක්.  මොස්කව් නගරය අසලින් පුංචි ගෙයක් සල්ලිවලට ගැනීමටයි මගේ කල්පනාව.  දන්නවද, පොඩි ගෙවත්තක්... එල්ලෙන ලණු ඇඳක්...මල්පාත්ති, නස්තුර්සිය මල්වලට මම බොහොම කැමතියි.  ජනෙල් පඩිය උඩ වයලට් මල් පාත්තියක් තියෙනව නම් හරි අගෙයි. "

එම සාකච්ඡාවෙන් ඉක්බිතිව දොස්තර තැන වඩාත් පාළු ගතියක් ඇති කැරවෙන අවිශිෂ්ට මිනිසෙකු ලෙස පෙනිණි. 

එහෙත් ඔහු සාමාන්‍ය සහ අවිශිෂ්ට කෙනෙකු වුවද, ඔහුගේ සැටි එසේ විය. ඔහුගේ අත් රත් පැහැතිය,විශාලය,දොස්තර ලෝගුවට යටින් ඇති බඩගෙඩිය මඳක් නැඹුලුය.  ඔහු වෙතින් කාර්බොලික් සහ අයඩින් සුවඳ වහනය විය.  කැකිරි දුපතෙහි ප්‍රසව වේදනාවෙන් පසුවන ස්ත්‍රියට ආධාර කළ හැකි පුද්ගලයා ඔහු පමණක් වුයේ, ඔහුට එය කෙසේ කළ හැකිද යන්න අරබයා වූ අපැහැදිලි තාවයද පවා නොතකමිනි.
ධ්‍රැව සාගර ජනවසමේ පක්ෂ සංවිධායක, වාස්යා මාමා දොස්තර හමුවීමට රෝහලට ඇවිත්, ඔහුගේ කාර්යාල කාමරයට වැදුණේය. 

වෙහෙසට පත් දෙනෙතින් දොස්තර දෙස බලා ඔහු මෙසේ පැවසීය. " උදව් වෙන්ට ඕනෑ" 

එහෙම කොහොමද බාතෙන්කා!" සෙර්ගේයි මත්වේයිව් දොස්තර තැන මවිතය ප්‍රකාශ කළේය.  " ඔබ කියන්නේ උදවු කරන්ට ඕනයි කියලද? එහෙමනම් ඔහේගෙ රෝගියාව මෙහාට ගේන්න.  කරුණාකරලා ගේන්න, සමාවන්න, අවකාශයේ පවතින දරු ප්‍රසුතයකට ආධාර දීමට මට පුළුවන්කමක් නෑ නොවැ.

" ඒ උනත් දොස්තර, ඔබ උදව් කළ යුතුයි."

" මේක මහා පුදුමයක්,ඇත්තටම!" දොස්තර තැන දසන් පෙන්වා සිනාසී දෑත් විදහා පෑවේය.  "ස්ත්‍රියගේ ඇඳ ලඟට මගේ අත යැවිය හැකි,කිලෝමීටර දහසක් දිගැති යාන්ත්‍රික අතක් දෙන්න.  බාතෙන්කා,මට දෙන්නකො දුර දක්න ඇස් දෙකක්. ආ...ආ... කිලෝමීටර් දාහක් දුර බලන්න පුළුවන් ඇස් දෙකක් "

" දොස්තර මහතාණෙනි, අපි ඔබට එවැනි ඇස් දෙකක් සහ අත් දෙකක් ලබා දෙන්නම්."

" මට ඔබව තේරුම් ගන්න බෑ බාතෙන්කා, මොන අත්ද? මොන ඇස්ද? 

" රේඩියෝව, අම්මාගේ සහ ඇගේ කුසෙහි ඉන්න බිළිඳාගේ තත්ත්වය ගැන ඔබට රේඩියෝව මගින් වාර්තා කරාවි.  ඔබ දිය යුතු වෛද්‍යාධාරය ගැන කියන්න.

අන්දමන්ද වූ දොස්තර තැන බොහෝ වෙලාවක් නිහඬව සිට පක්ෂ සංවිධායකයා දෙස බැලීය.

" ඔය යෝජනාව...ඇත්තටම බැරෑරුම් එකක්ද? දොස්තර තම නිහඬතාවය බින්දේය.

"සම්පූර්ණයෙන්ම බැරෑරුම්, වෙනත් ක්‍රමයක් නැහැ."

සෙර්ගේයි මත්වේයිව් දොස්තර තැන නැගිට දොස්තර ලෝගුව ඇඟ ලා ගෙනැ තීරණාත්මක ලෙස දොර දෙසට පා තැබීය.

" අපි ලෙඩා ලඟට යමු" ඔහු මෙසේ පැවසුවද අනතුරුව නැවතුණේය.   " මොකටද මේ ලෝගුව? කොහොම වුනත් මේ ලෝකේ මේවා මහා පුදුම දේවල්.ඇහැට නොපෙනෙන ගෑනු එක්කෙනෙකුගේ දරු ප්‍රසුතයට වෙදකම් කිරීම.  මගේ සගයින් දැන ගත්තම කොහොම මවිත වේවිද? කොහොම වුනත් අපි යමු.

කැකිරි දුපත සමග ගුවන් විදුලි සංඥා පණිවුඩ සබඳකම් පටන් ගැනිණි.  ගුවන් විදුලි සංඥා යවන්නා ධ්‍රැව ප්‍රදේශයේ අනිකුත් සියලු ස්ථාන වලට මෙවන් දැන්වීමක් නිකුත් කළේය. " කැකිරි දුපතේ දරු ප්‍රසුතය අවසන් වන තුරු ධ්‍රැව ප්‍රදේශයේ අනිකුත් සියලු ස්ථාන සමග පණිවුඩ හුවමාරු කැරැ ගැනීම තාවකාලිකව නවත්වනු ඇත."

හැම දෙයක්ම අප්‍රාණික වූ කලෙක මෙනි.  ගුවන් විදුලි සංඥා යන්ත්‍රද නිහඬ විය.  මුළු මහත් ආක්ටික් ප්‍රදේශයම ඉහළට අදින ලද හුස්ම පහළට පවා නොදමමින් ඈත කැකිරි දුපතේ දරු ප්‍රසුතය විමසන්නට විය.  සෙර්ගේයි මත්වේයිව් ගුවන් විදුලි උපකරණය වෙත පැමිණ " හොඳයි ඉතින්" කියමින් බඳ පටියෙහි දෑත් තබාගෙන පටන්ගත් නමුදු,  අන්දමන්ද විය෴
මතු සබැඳේ.....

8 comments:

  1. Replies
    1. - ජය බෝලී නාත් - නියමයි....

      Delete
  2. මේ කෙටි කතාව 6 වසරේදී මම කියවූවා

    ReplyDelete
  3. අනේ බාතෙන්කා, මේ කතාව බොහෝම කාලෙකට ඉස්සර කියෝපු මතකයක් තියේ.. ඒ වුනත් කොහොම ද, කොහෙන් ද, පොතක තිබිලා ද, සඟරාවක තිබිලා ද මෙලෝ මතකයක් නෑ නෙව.. ඕන්න බලමුකො වැඩේ හැටි!

    ReplyDelete
  4. Boris Gorbatov (1908-1954) විසින් ලියන ලද Childbirth on Cucumber Land. මෙය දැදිගම වී රැද්රිගු මහතා විසින් පරිවර්තනය කර රාදුගා ප්‍රකාශනයක් වන සෝවියට් කෙටිකථා එකතුවක පලවිය.
    Link to original English text:
    https://www.politicalavenue.com/10862/Russian%20Language%20Learning%20Pack%20(Updated)/85.Short%20Stories%20By%20Soviet%20Writers%20Parallel%20Texts.pdf

    ReplyDelete
  5. ගුවන් විදුලි සංඥා දරුවෙක්.

    ReplyDelete