Friday, May 5, 2017

නොපරදින නුවණ.


ඉස්සර කාලේ එක ඈත ගමක රංහාමි කියල ඉලන්දාරියෙක් හිටියා.    බිම් නැගීමේ සිට බැත රාහි කිරීම දක්වා කුඹුරු වැඩවලදීත්, හේන් ගොවිතැනේ දී වල් කෙටීමේ සිට අනෙකුත් කුදු මහත් කාර්යයකදීමත් රංහාමි ඉලන්දාරියා ගමේ කිසිම පිරිමියෙකුට දෙවැනි වුයේ නැත.    එපමණක් නොව ගැමි තරුණයෙකු විසින් දතමනා සෑම දෙයක්ම,සෑම වැඩ පලක්ම මනාව දැනගෙන සිටියේය.

" ඔක්කොම හොඳයි,මුක්කම නරකයි" කීවාසේ, රංහාමිගෙත් ලොකුම අඩුවක් විය.   ඉර බැසයන වේලේ සිට පසුදා නැවත ඉර පායන තුරු, අන්ධයෙකුට මෙන් ඇස් පෙනීම නැතිව යයි.   ඔහුගේ පියා පුතාගේ මේ ආබාධය සුවකර ගැනීම උදෙසා නොකළ දෙයක් නැත.   සෑම දක්ෂ වෛද්‍යවරයෙකුගෙන්ම ප්‍රතිකාර ලබාදෙන ලදී.   බලිතොවිල්, සෙත්ශාන්ති,පිරිත් දේශන, බෝධි පූජා පමණක් නොව බලන ලද අංජනම් ද නිමක් නැත.   අත්පිට හාස්කම් ඇතැයි ආරංචි වූ සෑම දේවාලයක් ද අමතක කළේ නැත.    පෙර කළ කර්මයට කුමක් කළත් වැඩක් නැතැයි සිතා මවත් පියාත් අකමැත්තෙන් හෝ ඉන්පසු පුතාගේ මේ අභාග්‍ය සම්පන්න රෝගය නොසලකා හරින ලදී.

දීග දෙන දුවක් නම්, ඇගේ ඇවතුම් පැවතුම්, වැඩ පලට ඇති දක්ෂ පක්‍ෂකම්, ආදිය ප්‍රදර්ශනය කිරීම සඳහා විවාහ ගිවිසගෙන සිටින අනාගත ස්වාමි පුරුෂයාගේ ගෙදරට ටික කලකට යැවීම පැරණි ගැමි සිරිතකි.  ගෙදරට කැන්දාගෙන එන අනාගත මනමාලියගේ ගෙදර ටික කලක් නැවතී, නැන්දා මාමට බෑනාගේ හැකියාවන් පෙන්වීම ද එවැනි ම සිරිතකි.   මේ කාලය පරිවාස කාලයක් මෙනි.   මේ කාලවකවානුව තුළ තුළ තම පුතාට හෝ දුවට, බෑනා හෝ ලේලිය ගැලපේදැයි ස්ථිර වශයෙන්ම නිගමනය කෙරේ.   එය නොගැළපෙන විවාහයක් නම් දෙපක්ෂයේම අය සාකච්ඡා කොට හොඳ හිතින්ම මුල් බලාපොරොත්තු අත්හැර දැමීමද පැරණි ගැමි සිරිතකි.   එහෙත් එවැනි අවස්ථා උදාවන්නේ ඉතාම කලාතුරකිනි.

රංහාමි විවාහ ගිවිසගෙන සිටි මනාලිය සිටියේ ඔහුගේ ගම්කොටුවට ගම් දෙක තුනකට එහායින් පිහිටි තවත් එවැනිම කැලෑගමකය.   මේ වකවානුව හේන්වල කුරක්කන් වපුරන සමයයි.   මාමා ටික දිනක් වෙව්ලුම් උණ වැළඳී රෝගාතුරවී සිටි නිසා හේනේ කුරක්කන් වැපිරීම අතපසුවී තිබිණ.   අනාගත බෑනාගේ හැකියාවන් උරගා බැලීමට මෙය ඉතාම කදිම අවස්ථාවකැයි සිතූ මාමා අතපසුවී ඇති හේනේ වැඩ ටික අවසාන කර ගැනීමට පැමිණෙන්නැයි බෑනාට පණිවිඩයක් යවන ලදී.   මේ පණිවුඩය ලත් බෑනාට එය " ඉබ්බා දියට දැමීම" බඳු සුබ ආරංචියක් විය.   අම්මා තාත්තා ගෙන් අවසර ලද රංහාමි පසුදිනම මාමාගේ ගම බලා පිටත්විය.

රංහාමි මාමාගේ ගෙදරට ළඟාවන විට තරමක් දවල්වී තිබුණි.   ගෙදර කිසිවකු නැත.   දොර වසා තිබුණ අසල නිවසක කිරිඅම්මා කෙනෙකුගෙන් ගෙදර ඇත්තන් ගැන විමසීමේදී ඔහුට දැන ගැනීමට ලැබුණේ සියලු දෙනාම හේනට ගොස් ඇති බවයි.   හේනට යන මඟ සලකුණු කිරිඅම්මාගෙන් අසා දැනගත් රංහාමි හේන බලා පිටත්විය.   රංහාමි ගේ හදිසි පැමිණීම ගැන නැන්දා මාමටත් වඩා සතුටක් ගෙන දුන්නේ මල් එතනාටයි.   නව යොවුන් ඇයට ඔහුගේ පැමිණීම ඉසේ මලක් පිපුණා බඳු විය.    හේනේ ගොවිතැන් කරන සෑම ගොවියෙකුම ඒ ඒ අවස්ථාවට අවශ්‍ය වන අමතර ආයුධයක් හේනට ගෙන යෑම සාමාන්‍ය සිරිතක් නිසා රංහාමිට උදැල්ලක් ලබා ගැනීමට අසීරු නොවීය.

හේරත් හාමි මාමාත් පුංචි බණ්ඩාත්( හේරත් හාමිගේ පුතා) රංහාමිත් කුරක්කන් වැපුරූ අතර,ටිකිරි මැණිකා( හේරත් හාමිගේ බිරිඳ) ගෙදැල්ල දැමීමේ නිරත වුවාය.  මල් එතනාද( රංහාමි ගේ අනාගත බිරිඳ) නිකම් නොසිටියාය.   මව විසින් ගෙදැල්ල දමා ගොඩ ගසන ලද සරුබ්බේ( උදැල්ලෙන් කැපී ඇති නිදිකුම්බා, පිල, කිල්ලොටා පියන් සහ හිරිකුණු) කුඩයකට දමා ගෙනගොස් හුඹස් මතට දැමීමේ නිරත වුවාය.   ඉර කැලේට පාත්වන  වෙලාව ආසන්න වන විට කුරක්කන් වැපිරීමට වෙන්කර ඇති බිම් ප්‍රමාණයෙන් අඩක්ම නිමවී තිබිණි.    මේ විදියට හෙටත් වපුරා ගැනීමට හැකි වුණොත් හෙට ඉර මුදුන් වීමට පෙර වපුරා අවසාන කළ හැකියැයි හේරත් හාමිට සිතුණත් ඔහු ඒ වගක් වචනයෙන් පිට කළේ නැත.

ඉර හැරුණු වෙලේ සිට රංහාමි මස්සිනා යම්කිසි නොසන්සුන්තාවකින් ඉර දිහා බලන බව පුංචි බණ්ඩාට දැනගත හැකිවිය.   රංහාමිට ආසන්න වූ පුංචි බණ්ඩා " මස්සිනේ මොකද ඔය හැටි ඉර දිහා බලන්නේ, මහන්සිද? කියා විමසුවේ කවට කමට මෙනි.  "නෑ! නෑ!! මහන්සියක් නම් නෑ.මං මේ බැලුවේ තව දෙතුන් හෝරාවක් වපුරාගන්ට තිබුණා නම් වැපිරීම හුඟක් දුරට කෙට්ටෑරි කරගන්ට තිබුණා නේද?" කියලයි.   ඔහු එසේ පැවසුවද ඔහුගේ හිත ඇතුළේ තිබුණේ " අනේ මස්සිනේ මං නිතරම ඉර දිහා බලන්නේ ඉර බැස්සට පස්සෙ මගේ ඇස් පේන්නෙ නෑනෙ." යන්නයි.    එහෙත් ඒ බවක් කෙසේ කියන්නටද?

" දුවේ මල් එතනෝ, උඹයි අම්මයි ගෙදර ගිහිං නාගෙන රෑට කෑමට මොනවා හරි රත් කරපල්ලා.  අපි තුන්දෙනා කුරක්කන් ඇට ඉහලා තියෙන ඉරි කණ්ඩිය කොටලා එන්නම්." හේරත් හාමි අණ දුන්නේය.    " ෂිහ් මේ ඇහැ කන පාටින් මටත් ගෙදර යන්ට කියලා මුන්දෑ කීවේ නෑනෙ." රංහාමිට එසේ නොසිතුණා නොවේ.   " මොනවා කරන්ටද බැඳගත්තු බෙරේ ගහන්ටම එපායැ" යි සිතාගත් රංහාමි බිම බලාගෙන දිගටම වපුරාගෙන ගියේය.

බිම් කරුවල වැටෙන වෙලාව එනවිට ඒ ඉරිකණ්ඩිය වපුරා අවසන් කිරීමට හැකිවිය.   මිනිහා සතා පෙනෙන නොපෙනෙන අඳුරේ ඔවුහු හේනෙන් පිටත්වූහ.   මුලින්ම හේරත් හාමිත්, ඊළඟට පුංච් බණ්ඩාත්, ඉදිරියෙන්ම ගමන්ගත් අතර අන්තිමට මං කඩුල්ලත් වසාගෙන හේනෙන් පිටත්වුයේ රංහාමි ඉලන්දාරියායි.   ඔහු අන්තිමට ගමන් කිරීමට අදහස් කළේ ඉදිරියෙන් යන අයගේ පා හඬ අනුව ගමන් කළ හැකි බැවිනි.    ගල්මුල් වල හැපෙමින් ඉතාම සීරුවෙන් ගමන් කරන රංහාමි ක්‍රමයෙන් අනෙක් දෙදෙනාට තරමක් පසුවිය.    මේ වනවිට ඉදිරියෙන් යන දෙදෙනාගේ පා හඬ පවා රංහාමිට නොඇසී යන්නට විය.    මේ වන මඟේ ඔවුන් යන දිසාවටම ඇදී යන තවත් මඟක් ඇති තුං මං හන්දියක් විය.

පිය පුතු දෙදෙනා නියම පාරෙහි ගමන්කළ අතර වාසනාවට හෝ අවාසනාවට ගමට ආධුනිකයෙකු වූ රංහාමි ගමන් කළේ වැරදි පාරෙහිය.    මෙසේ ටික දුරක් ගිය තාත්තාටත් පුතාටත් බෑනා ඔවුන් සමග නැති බව අවබෝධ විය.   " පුතේ අර ළමයට පාර වැරදුණාවත්ද? පාර හොයා ගන්ට බැරුව ඇළට යන පාරේ ගියාවත්ද? අඬගහල බලාපන්." හේරත් හාමි පුතාට කීවේය.   පුංචි බණ්ඩා පසුපස බැලූ නමුත් රංහාමිගේ ලකුණක් වත් දැන ගැනීමට නොලැබුණු නිසා "මස්සිනේ!මස්සිනේ!!" කියා කීප වරක් අඬගැසූ නමුත් කිසිම ප්‍රතිචාරයක් නොලැබිණ.   පෙරටත් වඩා උස හඬින් "මස්සිනේ! මස්සිනේ!!" රංහාමිට හඬ නැගීය.  දෙවැනි වර හඬ ගැසීම රංහාමිට ඇසිණ.

වැරදි පාරේ ගිය රංහාමිට ඉදිරියට සැතපුම් කාලක් පමණ ගිය විට තමන්ට පාර වැරදී ගිය බව අවබෝධ විය.    ඉදිරියට තව දුරටත් යාමට හැකියාවක් නැත.    එසේම ආපසු යාමද අසීරුය.   ඊටත් වඩා අසීරු කාර්යයක් වුයේ මාමාට හෝ මස්සිනාට අඬගැසීමය.    ඒ අනෙකක් නිසා නොව තමාගේ රෑ කනේ රහස එළිවුවහොත් ඇතිවන ලජ්ජාවටත් වඩා මල් එතනා සහයට ගැනීමට නොලැබේ යයි හිතේ ඇතිවුණු දෙගිඩියාව නිසයි.    මේ සියලු දේ ගැනම මඟ නැවතී මඳ වෙලාවක් කල්පනා කළේය.   මේ වෙලාවේ "අලි මදිවට හරක්" කීවා සේ රංහාමිට තවත් අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය.  

පුංචි බණ්ඩාගේ ගෝරනාඩුවට බියවූ වන සිවුපාවුන් රංචුවක් රංහාමිත් බිම පෙරලාගෙන දුවන්ට වුහ.   බිම පෙරළුණු රංහාමිට අහම්බෙන් මෙන් එක සතෙකුගේ කකුලක් හසු විය.    "කොටියෙක් වලහෙක් උනත් කමක් නෑ.  ඔහෙ කාපුදෙන් එතකොට ඒ දෙන්නා මා උස්සාගෙනවත් ගෙදරට අරගෙන යන්නේ නැතෑ" මෙසේ සිතූ රංහාමි සිවුපා කකුල තව තවත් දැඩිව අල්ලා ගත්තේය.   පුංචි බණ්ඩාගේ දෙවෙනි හූ තැලීම ඇසුණේ මේ අවස්ථාවේදීය.   " ඉක්මනට මෙහෙ වරෙල්ලා" යි රංහාමි සිවුපාවා සමග පොර අල්ලන ගමන් මහ හඬින් කෑ ගසා කීවේය.   රංහාමිගේ ඒ හඬ ඇසුණු පුංචි බණ්ඩා "අප්පච්චි ඉක්මනට යමු.මස්සිනාට මොකක් හරි කරදරයක් වගෙයි" කියා පියා සමග රංහාමි කතා කළ ඉසව්ව බලා කැලේ මැදින් ගමන් කළේය.    ළා සඳ රැස් දහර ගස් ගොම්මනේ තුරු වියන මැදින් බිමට පෙරී තිබුණ නිසා ඔවුන් දෙදෙනාට රංහාමි සොයා ගැනීමට එතරම් අපහසු වුයේ නැත.    " අප්පච්චි මස්සිනා මුව නාම්බෙක්නේ අල්ලගෙන ඉන්නේ" පුතා පියාට කීවේය.  එසේ කියා පියා අතේ තිබු කැත්ත ඉල්ලාගෙන රංහාමි සමග පොරබදන මුව නාම්බාට පහරදී මරා දැමුවේය.

" මේ වගේ බෑනා කෙනෙක් නම් ඉලන්දාරි දාහකින් වත් හොයා ගන්ට බෑ" මාමණ්ඩිට හිතෙන්නට ඇති.   රංහාමි මුවා අල්ලා ගැනීම පුංචි බණ්ඩාට ද සිතාගත නොහැකි පුදුම සහගත දෙයකි.    " මස්සිනේ කොහොමද මේ මුව තඩියා අල්ලා ගත්තේ" යි කියා ඇසුවේ සිතෙහි නළියන සැකය දුරුකර ගැනීමටය.   " අපි තුන්දෙනා යනකොට මගෙ කකුලේ කටුවක් ඇනුනා.  ඒ කටුව ගලවනකොට මුව රංචුවක් මා ඉස්සරහින් පැන්නා. මං උන් පස්සෙ එළවාගෙන ගිහින් පස්සෙන් දුවපු මේ මුව නාම්බා අල්ලා ගත්තා.   ඒ වෙලාවෙ තමයි උඹ මට අඬගහන සද්දේ ඇහුනෙ" රංහාමි ඇත්ත සඟවාගෙන බොරුවක් දෙසා බෑවේය.

මුවා මස්කර කද බැඳගත් පිරිස ගෙදර බලා පිටත් වුහ.    පුංචි බණ්ඩාත් රංහාමිත් මස්කද කරට ගත්හ.   පුංචි බණ්ඩා ඉදිරියෙන් ගමන් කරන නිසා එය රංහාමිට කනවැල ඇල්ලීමක් බඳු විය.   ගෙදර ගිය පිය පුතු දෙදෙන වැවට ගොස් දිය නා ගත්හ.   රංහාමිට නා ගැනීම පිණිස මල් එතනා වතුර උණුකර තැබුවාය.    උණු වතුර තිබුණේ ගේ පිටුපස මැටි වළක් ආසන්නයේය.   මේ මැටිවල මීට දින කීපයකට පෙර හේරත් හාමි සාදන ලද අලුත් කුස්සියේ බිත්ති බැඳීමට පුංචි බණ්ඩා මැටි පාගා ගත් වළක් විය.    පසුව ගෙදර සියලු දෙනාගේ එකඟතාව මත මැටි වළ ලිඳක් වශයෙන් ලොකු කොට බඹ එකහමාරක් පමණ ගැඹුරට හාරන ලද්දේ පුංචි බණ්ඩා සහ මල් එතනා විසිනි.    ලිඳ හෑරීමට පහසුවීම සඳහා එතුළට වතුර ගලායන පරිදි මල් එතනා රංහාමිට නා ගැනීම සඳහා ඒ ආසන්නයේ උණු වතුර තැබුවාය.

" පුතේ ආ ගේ පිටිපස්සෙ පුතාට නාගන්ට උණු වතුර තියල තියනවා. ගිහිං නාගත්තා නම්" මල් එතනාගේ මව කීවාය.   " මට පෙනෙන්නේ නෑ කුප්පි ලාම්පුවක් වත් දෙන්ට"කියා එළියක් ඉල්ලා ගැනීමත් රංහාමිට මදිකමකි.  ඔහු හිත දෙගිඩියාවෙන් ගේ පිටුපසට ගියේය.    අහෝ! අවාසනාවකි.  රංහාමි මැටිවලට වැටුණේය.කොතෙක් උත්සාහ කළත් වලෙන් ගොඩ ඒමට නොහැකි විය.   වල ඇතුළේ එහාට මෙහාට හක්කලං කරන විට එතුල තිබුණු උදැල්ලක් අතට හසුවිය.   උදැල්ල අතට ගත් ඔහු ළිඳ හෑරීමට පටන් ගත්තේය.    උදැල්ල ළිං බිත්තියට හේත්තු කළේ නම් ඔහුට පහසුවෙන් ගොඩ ඒමට හැකියාවක් තිබුණි.    එහෙත් ඒ සිතුවිල්ල ඔහුට පහළ වුයේ නැත.

වැවට දියනෑමට ගිය තාත්තත් පුතත් ගෙදර පැමිණි නමුත් ගේ පිටුපසට උණු වතුර නෑමට ගිය බෑනා තවමත් පැමිණියේ නැත.   "පුතේ ගේ පිටුපස්සට ගිය අර ළමයා උණු වතුර නාගන්ඩ ගිහිං දැන් හුඟක් වෙලා, මොකක්දෝ සද්දෙකුත් ඇහුණා ටිකක් ගිහිං බලාපන්" අම්මා පුතාට කීවාය.   පුංචි බණ්ඩා ලාම්පු කුප්පියකුත් ගෙන ළිඳ ළඟට ගියේය.   ඔහුට දකින්නට ලැබුණේ කරුවලේම ළිඳ කපන රංහාමි මස්සිනාය.   " මස්සිනේ උඹ කරුවලේ මොකද ඔය කරන්නේ?" යි ඔහු මස්සිනාගෙන් ඇසුවේය.   " මං මේ ළිඳ ටිකක් කපනවා" රංහාමි ඇඟට නොදැනීම කියා දිගටම ළිඳ හෑරුවේය. 

"උදේ ඉඳල හේනේ වැඩ කරලා ඇවිත් කරුවලේ මොන ළිං කැපිල්ලක්ද? ගොඩට වරෙන්! ගොඩට වරෙන්!!" පුංචි බණ්ඩා කීවේය.   " පිරිමි ඔහොම කම්මැලි වෙලා බෑ. මේ දවල්,මේ රෑ, දැන් වැස්ස,දැන් අව්ව කියලා කම්මැළි වුණොත් හිඟා කන්ට තමයි වෙන්නේ" යි කියමින්ම කුප්පි ලාම්පු එළියේ උදව්වෙන් රංහාමි ගොඩට පැනගෙන ඉක්මණින් ඇඟ සෝදාගෙන පුංචි බණ්ඩා සමගම ගෙදර ගියේය.   බොහෝ සෙයින් රෑ බෝ වූ නිසා ගෙදරින් නොකා රාත්‍රී ආහාර මුල් බැඳගෙන පියපුතු දෙදෙනා හේනේ පැළ වෙත ගියහ.   රංහාමි ආහාර ගැනීමට තනියම වාඩිවිය.

මඩුවේ මුල්ලක වංගෙඩි කොටේ උඩ තබා තිබුණ කුප්පි ලාම්පුවේ දුර්වල එළිය රංහාමිට ආහාර ගැනීමට ප්‍රමාණවත් නොවීය.   මේ වෙලාවේ ගෙදර ඇතිකරන බළලා රංහාමිගේ කෑම පිඟානට ක්‍රම ක්‍රමයෙන් ආසන්න විය.  ඒ බවක් රංහාමි දැන සිටියේ නැත.   වරින් වර රංහාමිගේ කෑම පිඟානෙන් මස් කෑල්ල බැගින් ගෙන අනුභව කරන්නට විය.  බළලාගේ මේ දඟකාර ක්‍රියාව දුටු මල් එතනා එය තම මවට පෙන්වා කට අතින් වසාගෙන සිනාවුවාය.   මල් එතනා දෙස රවා බැලූ මෑණියෝ "ෂොඃ ෂොඃ ! බළලා,"යි කීවාය.   "හා! හා!! හා!!! ඒකා එළවන්ට එපා. මං ගෙදර ඇති කරන බළලත් මාත් එක්කම කෑම කන්නේ එකම පිඟානේ.  මේකත් ටිකක් කාලා බඩපුරවා ගත්තාවෙ" යි කීවේ අනේ මම දැක්කේ නෑ කියන්ට පුළුවන් කමක් නොතිබුණ නිසයි.

කෑමෙන් පසු මඩුව අතුගා,  අලුත් රටා පැදුරක්, අලුත් උරයක් දැමු කොට්ටයක්, සහ නැන්දාගේ අලුත් චීත්තයක් සපයාදී දැල්වූ ලාම්පු කුප්පිය වංගෙඩිය මත තබා " පුතේ දැන් හුඟක් රෑ වෙලා, මහන්සිත් ඇතිනේ,එහෙම නම් නිදාගන්ට අපිත් නිදාගන්ට යනවා" යි කී මව දුවත් සමග ගේ ඇතුළට ගොස් දොර වසා ගත්තීය.   රංහාමි පැදුර බිම අතුරන්ට උත්සාහ කළේය.   එය බොහෝ කලක් අකුලා තිබුණ නිසා එක පැත්තකින් නැවත ඇකිලේ.   ඒ පැත්ත දිග අරින විට මේ පැත්ත ඇකිලේ.

පැදුරේ දිග ඇදුණ සැනින් මෑණියන් සිහින ලොවට පිවිසියද මල් එතනාට නම් නිදිමතක් දැනුණේම නැත.   මොහොතින් මොහොත සිතට ඇතුළුවන මංගල සිතුවිලි පසුපස හඹා යන ඇය කෙරෙන් නිදිමතද ඈතින් ඈතට පලා යයි.   පැදුර දිග ඇරෙන ඇකිලෙන හඬද ඇගේ දෙසවන් තුළට ඇතුළු වුවාට සැකයක් නැත.  "අම්මේ අර අයියා මොනවා කරනවාද දන්නෙ නෑ, දැන් හුඟ වෙලාවක ඉඳලා පැදුරේ සද්දෙ ඇහෙනවා.  මකුණෝවත් කනවද දන්නෙ නෑ" යි තම මවට ඇහැරවා රහසින් කීවාය.   මව ස්වල්ප වේලාවක් පැදුරේ ශබ්දය අසා සිට " හැබෑ නේන්නම්, ඒත් මකුණෝ නම් ඉන්ට විදියක් නෑ.කොයි එකටත් ගිහිං බලමු" යි දුවට රහසින් කියා, දෙදෙනාම බෑනා සිටින ස්ථානයට ගියහ.

" මොකද පුතේ මකුණෝ කනවදැ ? යි " ඇසුවාය.  " නෑ නෑ නැන්දේ මකුණෝ නම් නෑ. මං මෙච්චර වෙලා බැලුවේ මේ පැදුරට දමලා තියෙන රටාව මොකක්ද කියලයි.   අපේ අම්මත් රටා වියනවා.  ඒත් උන්දැ නම් මේ වගේ රටාවක් වියනවා මම නම් දැකල නෑ" යි ඔහු පිළිතුරු දුන්නේ විශාරද පන්නම් කරුවෙක් ලෙසිනි.    "ඒක ඇත්ත ඔය පැදුරේ මුල ඉඳලා මැදට යනකම් දාල තියෙන්නේ හීරටාව මැද ඉඳලා අගට වියලා තියෙන්නේ මුරටා( මහරටා) වෙන් එක පාර බලන කෙනෙකුට ඒක තේරුම් ගන්න අමාරුයි" ඇය බෑනාට රටාව කියා දුන්නාය.    මේ අල්ල පනල්ලේ රංහාමි පැදුර එලාගෙන ඉහට කොට්ටයක් චීත්ත රෙද්දක් දමාගෙන පැදුරේ දිග ඇදුණේය.  උදේ සිට මේ වනතුරු තමාට සිදුවූ සෑම අකරතැබ්බයක් ගැනම සිතා, ඒ සෑම අවස්ථාවකම තමාගේ රෑ කනේ වහන්කර ගැනීම ගැන තමාටම ස්තුති කර ගනිමින් සිහින ලොවට පිවිසියේය෴

(රජරට ජනකතා, කර්තෘ. කේ.බී.පොඩිඅප්පුහාමි. ප්‍රකාශනය. ඇස් ගොඩගේ සහ සහෝදරයෝ.2002.)

10 comments:

  1. හැලපෙ මේ කරන වැඩේ හොද නැහැ. අනුන්ගේ පොත් උස්සලා දාන්නේ ඇයි මෙහෙම. ඒක නීති විරෝධියි. හැලපගේ කතාවක් ලියලා දාන්න. අනුන්ගේ බුද්ධිමය දේපල මංකොල්ල කන්න එපා.

    ReplyDelete
    Replies
    1. පොතම උස්සලා දාලා නෑනෙ ඇනෝ... අනික පොතේ විස්තරත් ලියලනේ... මේ වගේ දේවල් පලකරද්දි පෝස්ට් එක කියවන කෙනෙක්ට පොත අරගෙන කියවන්න ආසාවක් ඇතිවෙනවා... ඒකෙන් නරකක් වෙනවැයි...

      Delete
    2. මෙහෙමයි ඇනෝ, මම මේ බ්ලොගේ පටන්ගත්තෙම අනුන්ගෙ පොත් උස්සල ගෙනැත් දාන්න තමයි. බ්ලොගේ නම බලන්න. සිත්ගත් සාහිත්‍ය කලාකෘති. ඒ කියන්නෙ මම කියවපු පොත්වලින් කොටස් ලියල දාන්නෙ මගෙ පාඨකයන්ටත් ඒ කෘති හඳුන්වා දෙන්නයි. ඒ වගේම බ්ලොගේ පටන් ගත්තදා ඉඳන්ම මම අනුන්ගෙ පොත්, කවි ආදිය ගෙනැත් මගෙ බ්ලොගේ දානවා. කිසිම කර්තෘ කෙනෙක් මෙතෙක් කල් මට විරෝධය පලකරලා නැහැ. ඒ වෙනුවට හෙන්රි වර්ණකුලසුරිය වගේ ලේඛකයන් ඔහුගෙ පොත පලකිරීම අගය කරලා නම් තියෙනවා. හැමදාම මේකට විරුද්ධත්වය දක්වන්නේ ඇනෝ විතරයි. ඇනෝ මොනව කිව්වත් මම ඉදිරියටත් කරන්නෙ මේ වැඩේමයි. ඔබට හැකිනම් මම පොත්වලින් කොටස් ගත්ත ලේඛකයෙකුට කියල විරුද්ධත්වය ප්‍රකාශ කරවන්න. එතකොට මම ඔහුගෙ පොත් පළකිරීම නවත්වන්නම්. ඒ වගේ එක එක ලේඛකයන් මට කිව්වොත් මේ බ්ලොගේ අනුන්ගෙ පොත් පළකිරීම අඩුවෙලා යාවි. එහෙමවත් කරලා බලන්න. නැතුව ඔබ කිව්ව පමණින් මේ වැඩේ නවතින්නෙ නෑ.

      Delete
    3. හැලප, අනික් මිනිස්සුන්ගේ බුද්ධිමය දේපල අයුතු ලෙස පාවිච්චි කරලා නිකං පොර ටෝක්ස් දෙන්න එපා, 'මම මේක නවත්තන්නේ නැහැ, ඉදිරියටත් මේ වැඩේ කරන්නේ, පුළුවන් නම් නවත්තන්න කියලා.'

      ගොඩක් පොත් වල මුල මේ ගැන සටහනක් දලා තියෙන්නේ. 2003 දී සංශෝධන කරපු බුද්ධිමය දේපල පනත යටතේ ලංකාවේ පොත් ආවරණය වෙලා තියෙන්නේ. හැලප කරන්නේ තනිකර නීති විරෝධී වැඩක්.

      මේ බලන්න පොත් වල මුල් පිටුවේම තියෙන සදහන

      Delete
    4. හැලපයා මහතා සිදු කරනා දේ නීති විරෝධී බව මටත් හැගෙනවා. හැලපයා මේ ගැන නැවත සලකා බැලුවොත් හොදයි නේද?

      Delete
    5. //Moral rights උල්ලංඝනයක් නෑ මං හිතන්නෙ කතෘගේ නම තියන නිසා.
      Copy right ගැන බැලුවහම පොතකින් පොඩි කෑල්ලක් දැම්මනම් Fair use කිව්ව හැකි.
      ඒත් මේක සම්පූර්ණ කතාවක්.

      තර්ක -

      # ඒත් මේක පොතේ පොඩි කෑල්ලක් වුනාට එක් සම්පූර්ණ කතාවක්. කතෘ ( හෝ කොපිරයිට් අයිතිකරු)ට තර්ක කරන්න පුලුවන් මේක සම්පූර්ණ නිර්මාණයක් නිසා රීප්‍රොඩියුස් කිරීම කොපිරයිට් වයලේෂන් කියල.

      #අනිත් අතට කතෘගේ නම මෙන්ම පොතේ නම, නිර්මාණ ඉතිහාසය හා වර්ෂ ත් සමග දාල තියන නිසා හැලපෙට තර්ක කරන්න පුලුවන් මේක පොත ගැන ප්‍රසිද්ධියක් දීලා ඒක අරගෙන කියවන්න පාඨකයා පෙලඹවීමක් කියලා. (මටනම් වුනේ එහෙමයි. මේකෙන් පොත ගන්න හිතුනා) තව දුරටත් කියන්න පුලුවන් හැලපෙ එයින් මූල්‍යමය වාසියක් ලබලා නෑ කියල(මේකෙ ඇඩ්ස් නෑ නේද?)The effect of reproduction is beneficial to the copyrighted work. Rather than Halape making money from this or reducing the potential market for the book, this reproduction actually increases the market for copyrighted work in its entirety. මේ කතාව විතරක් මිලදී ගැනීමට නෑනෙ. එනිසා මාර්කට් එකට හානියක් නෑ. මේකට ආසා වන අය පොතම ගැනීමේ සම්භාවිතාව වැඩිවී නිසා පොතේ මාර්කට් එක වැඩි වෙනවා. කොපිරයිට් අයිතිකරුට හානියක් නෑ වාසියක් වීමේ චාන්ස් එක වැඩිවෙනවා පමණයි.
      So, the reproduction is compatible with fair practice.//
      ඔය උඩින් තියෙන්නේ මීට ඉස්සර පෝස්ට් එකකට මං දාපු කමෙන්ට් එකක කොටසක්.

      හැලපෙ ඔය විදිහට එක කතාවක් දාන එකෙන් පොතට ලැබෙන ප්‍රසිද්ධිය නිසා එයින් වෙන්නේ හොඳක් කියන එක වඩා සාධාරණයි. මං හිතන්නෙ නෑ ඕක වැරැද්දක් වෙයි කියලා. පොතට වාසියක් මිසක්. හැලපෙගේ පෝස්ට් එකක් කියවලා මං පොතක් මිලදී ගෙන තියනවා.

      මේක සාධාරණ භාවිතාවක් fair use ලෙස සැලකෙන්න තියන ඉඩ වැඩියි.

      Delete
  2. ලස්සන කතන්දර සහිත පොතක් හැඩයි හැලපයියේ,ඔය වගේ තව නියම උතුරු මැද පළාතේ ජනකතා ගැන එහෙම තියෙනවා "මහා කනදරාව යෝධ දළයා" කියලා "සුරිය" ප්‍රකාශනයක්.මිල රුපියල් 350/-

    ReplyDelete
  3. 2017 වසන්තයේ ලියැවුන ජනප්‍රීයම බ්ලොග් ලිපි පහලෙස ලෙස ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු


    හෙල්පිං මීතොටමුල්ල - http://lankanian.blogspot.ae/2017/04/blog-post_17.html

    බුලත් විට - https://iwanpaulooshaa.blogspot.ae/2017/04/blog-post.html

    හිනා මූණ! - http://cyberyaya.blogspot.ae/2017/04/blog-post_21.html

    පිහාටු - https://tinyurl.com/k7azlyz

    සින්ඩරෙල්ලා මං - https://worldofaru.blogspot.ae/2017/05/blog-post_3.html



    පිවිසෙන්න මෙතනට

    https://upashantha.blogspot.com/2017/05/2017.html




    2017 වසන්තයේ හොඳම කමෙන්ට්කරුවන් ලෙස පහත තිදෙනා ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු


    Pra Jay

    Sa rasa

    පත්තර මල්ලි



    පිවිසෙන්න මෙතනට

    https://upashantha.blogspot.com/2017/04/2017_29.html

    ReplyDelete