Tuesday, June 20, 2017

වීර දිවයින.


ආර් .එල්. ස්පිටල් පරිවර්තන සාහිත්‍යය ඇසුරු කරන්නන්ට නුපුරුදු නමක් නොවේ.    ඔහු විසින් රචිත සුදු වැද්දා සහ සුදු ගෝනා කෘති ද්වයම වුවද ස්පිටල්ගේ සාහිත්‍යමය හැකියාවට දෙස් දෙයි.   මේ කෘතීන් දෙකෙහි ප්‍රධාන චරිතය වන්නේ හෑන්ස් නම් ඕලන්ද ජාතික යොවුන් තරුණයෙකි.    එඩිතර සිතක් ඇති ඕලන්ද තරුණයෙකුට කිසිවෙකුගේ උපකාරයක් නොමැතිව කැලයේ ජීවත්විය හැකියැයි ස්පිටල් විශ්වාස කළ හෙයින් එසේ හෑන්ස්ගේ චරිතය ගොඩ නැගුණේ සිය මුතුන් මිත්තන්ගේ උපන් බිම වූ ඕලන්දයට ගෞරවයක් වශයෙනි.    ස්පිටල්ගේ මනසෙහි ලියැවෙන මේ කතාව මුලින්ම අසා සිටියේ ඔහුගේ මිණිබිරිය වූ කුඩා ඈන්ය.  ඒ අවස්ථාව ස්පිටල්ගේ ජීවිත කතාව වූ වන වැදුණු දොස්තර කෘතියේ මෙලෙස සඳහන්වේ.

'යුද්ධය එහි අවසානය කරා ලඟා වෙද්දී රිචඩ් ස්පිටල්ගේ සහ ඔහුගේ කුඩා මිනිපිරිය වූ ඈන්ගේත් සමීපතාව කෙමෙන් වැඩි දියුණු වුයේය.    ලංකාව නැමැති දුපතට අහම්බෙන් පාවී අවුත් කැලයෙහි ජීවත් වුණු ලන්දේසි කොල්ලෙකු පිලිබඳ කතන්දරයක් සිය මිනිපිරියට කීමට ඔහු පටන් ගෙන තිබුණු අතර කතන්දරය කීමේ වැඩ සටහන හැම විටම එකම පිළිවෙලකට ආරම්භ වුයේය.

"හෑන්ස් ගේ කතන්දරය කියන්න සීයේ"

"කතන්දරේ මතක් වෙනකං දූ මගේ නළල අත ගාන්න."

මහත් උනන්දුවෙන් පුංචි මිනිපිරිය සිය සීයාගේ රළු නළල් තලය පිරිමදින්නීය.

"ආ! දැන් ඇති,ඔන්න කතන්දරේ මතක් වුණා. දැන් ඔයා අහගෙන ඉන්න!"

භාෂා කීපයකට පරිවර්තනය කැරුණු "සුදු ගෝනා" නමැති කතාව උපත ලැබුවේ එසේය.    එය "ලිස්බට් ඈන්" නමට උපහාර කොට පිදුණේය.'

මා කියන්නට අදහස් කළේ මේ කෘතීන් දෙකෙහි එන චරිතම සමග ආර්. එල්.ස්පිටල් සහ ක්‍රිස්ටීන් විල්සන්ගේ සම කර්තෘත්වයෙන් බිහිවුණු "Brave Island" නම් ඵෙතිහාසික නවකථාව සම්බන්ධයෙනි.(මෙම නවකථාව "වීර දිවයින" නමින් අභය හේවාවසම් අතින්ද "වීර භූමි" නමින් රූ.පෙ. විජේසිංහයන් අතින්ද සිංහලට පරිවර්තනය වී ඇත) වීර දිවයින කෘතිය ගැන එහි පෙරවදනේ කොටසක් මෙසේය.

"කොළඹ පෘතුගීසි බළකොටුවට ලන්දේසින් විසින් 1655 දී පහර දෙනු ලැබීමත් තදනන්තරව පෘතුගීසින් පරදවා දිවයිනේ මුහුදුබඩ පෙදෙස් ලන්දේසි ආධිපත්‍යයට පත්වීමත් පසුබිම් කරගෙන ගැස්පාර් නමැති පෘතුගීසි රණශුරයකුත් එඩ්මන්ට් නමැති ලන්දේසි රණශුරයකුත් ඩේමියන් පියතුමා නමැති පෘතුගීසි පුජකයෙකුත් ඉනෙස් නමැති පෘතුගීසි තරුණියකත් අවසාන භාගයේ ඔවුන්ට එකතු වූ අලහකෝන් හා සරත් නමැති සිංහල චරිත දෙකත් වටා ගෙතී ඇති මේ නවකථාව ලංකාවේ තත්කාලීන සංස්කෘතික,ආර්ථික සාමාජික හා සාමයික කරුණු පිලිබඳ වසර පසළොසක පමණ කාලයක වැදගත් තොරතුරු අනාවරණය කරමින් නිදැල්ලේ විකසනය වෙයි.    සිංහල පෘතුගීසි දෙමුහුන් කබ්රාල් නමැති කම්මල්කරුවාගේ හා ඩ්‍රීස් නමැති ලන්දේසි වෛද්‍යවරයාගේ චරිතත් කතාවේ විකසනය සඳහා බෙහෙවින් බලපා තිබේ"

රූ. පෙ. විජේසිංහයන් සිය "වීර භූමි" පරිවර්තනය මෙසේ හඳුන්වා දෙයි.

'වීර භුමි' ය, දොස්තර ආර්. එල්. ස්පිටල් සහ ඔහුගේ දියණිය වූ ක්‍රිස්ටීන් විල්සන් යන දෙදෙනා විසින් සම්පාදිත 'බ්රේව් අයිලන්ඩ්' නමැති ඉංග්‍රීසි නවකථාවේ පූර්ණ සිංහල පරිවර්තනයයි.

ස්පිටල් යන නම අසන දකින කවර විටෙක වුවද, කැලෑ පොජ්ජේ මංගච්චන වන්නියේ ඇත්තන් හා ඔවුන්ගේ කැකුලන් හා කැකුලියන් ද පිළිබඳ විසිතුරු සිතුවම් පටක් අප මනැසෙහි නිරායාසයෙන්ම ඇඳී යනු නිසැකය.    ඊට හේතුව, "වයිල්ඩ් සිලෝන්, සැවේජ් සැන්ක්චුවරී, වැනිෂ්ඩ් ට්රේයිල්ස්, වයිට් ලිට්ල් බෝයි හා ලීව්ස් ඔෆ් ද ජන්ගල්" ආදී රමණීය ගද්‍ය පද්‍ය රචනයන් මගින් ඔවුන් අපට පුන පුනා කියා ඇත්තේ එවන් රසබර කථාවන් බැවිනි.

එහෙත්, සිය නවතම කෘතිය වන 'බ්රේව් අයිලන්ඩ්' මගින් ඔවුන් අපට පවසනුයේ ඊට ඉඳුරාම වෙනස් කථාවෙකි.   මෙහිදී ඔවුන් තම හුරු පුරුදු මහ වනය වෙනුවට යුද බිමකුත් සිය හුරතලුන් වන වැදි ජනයා වෙනුවට හැඩිදැඩි රණකාමීන් රැසකුත් සමගය අප හමුවට පැමිණෙනුයේ.   මෙහි එන පාත්‍ර වර්ගයා පෘතුගීසි හා ඕලන්ද ජාතිකයන් වන අතර කථාව දිව යනුයේ පෘතුගීසි යුගයේ පශ්චිම භාගයත් ඕලන්ද යුගයේ ආරම්භක සමයත් හා බැඳි දුර්භාග්‍යමත් කාල පරිච්ඡේදය අතරිනි.   එනයින් සලකා බලන විට 'බ්රේව් අයිලන්ඩ්' ඵෙතිහාසික නවකථාවක් ලෙස හැඳින්වුවද වරද නොවේ.   එය කුමක් වුවද මෙය ඔවුන්ගේ අන් සියළුම නවකථාවනට වඩා රසයෙන් අනුනයැයි කීම අතිශයෝක්ති නොවේමය'

දැන් අපි 'බ්රේව් අයිලන්ඩ්' නැමති නවකථාව ලියැවුණු ආකාරය පිළිබඳව ස්පිටල්ගේ ජීවිත කතාවේ ඇති පරිච්ඡේදයට යමු.

'රිචඩ් ස්පිටල් ඔහුගේ අලුත් පොත - ද පෝට්‍රස් ඇන්ඩ් ද ගල්ප් - (බළකොටුව සහ මුදු බොක්ක) සම්බන්ධයෙන් නිමක් නැති ගැටලුවලට මුහුණ පෑවේය.   ඵෙතිහාසික නවකතාවක් වශයෙන් එය ලියන්නට මුලින්ම අදහස් කර ගෙන සිටියේ ක්‍රිස්ටීන් ය.    එහෙත් ඒ වස්තු බීජය ග්‍රහණය කරගත් ස්පිටල් "හහා! මා ඒක ලියනවා!  පෘතුගීසි යුගය ගැන කතාවක් ලියන්න මා හුඟ කලක් තිස්සේ අදහස් කරගෙන හිටියා!" යි පැවැසීය.'

සැබෑම දුෂ්කරතාව ඉස්මතු වුයේ ස්පිටල්ගේ විශිෂ්ට කෘතියක් සේ සැලැකුණු "සුදු ගෝනා" ගේම - දීර්ඝ කාලයකට උඩදී ඔහු ඈන් ට කී කතන්දරය - දෙවැනි කෘතියක් වශයෙන් "බළකොටුව හා මුදු බොක්ක" (The Fortress and the Gulf) ප්‍රකාශයට පත්කරන්නට ඔහු අධිෂ්ඨාන කිරීමෙන් පසුවය.

එය තමාට අයත් වෙනම පොතක් විය යුතුයැ යි ක්‍රිස්ටීන් තරයේ කියා සිටි නමුත් "සුදු ගෝනා" හි එන හෑන්ස් හා ගැස්පර් පිගේරා යනාදී චරිත - අවශ්‍ය වුවහොත් එකිනෙකට සම්බන්ධ කොට - සිය අලුත් පොතෙහිද පණ ගැන්නීමට ස්පිටල් තීරණය කළේය.

පොතක් නිසා හටගත් පිය - දු ගැටුම දිගින් දිගට ඇදී යද්දී ඉතා උපායශීලිව එයින් ඉවත් වීමට දු තීරණය කළාය.    ගෙදර සාමය පවත්වා ගැනීමට නම් "බළකොටුව"(The Fortress) - ඔවුන් එය හැඳින්වුයේ එසේය - පිළිබඳ විෂය පැත්තකට දැමිය යුතු බවත් එසේ නොකළ හොත් ඒ ගැටුම සදාකාලික "මුදු බොක්කකින්"  (Gulf ) කෙළවර විය හැකි බවත් දු තේරුම් ගත්තාය.

ස්පිටල් යළිත් වරක් බරපතල ලෙස රෝගාතුර වුයෙන් ඔහු ලියමින් සිටි පොතේ වැඩ ඇනහිටියේය.

"ක්‍රිස්ටීන් මට උදව්වක් කරන්න පුලුවන්ද?"

"ඔව්, ඕනෑම උදව්වක්"

"මා වෙනුවෙන් මගේ පොතේ වැඩ ටික කරගෙන යන්න"

එය, ඈ කිසිසේත් කරන්නට කැමතිවු දෙයක් නොවේ. ඇගේ මුලික සංකල්පයෙන් බොහෝ දුරට වෙනස්වී තිබුණු හෙයින් එය කෙසේ පටන් ගත යුතුදැ යි ඕ නොදත්තාය.

"කරුණාකර ඒක පටන් ගන්න ක්‍රිස්ටීන්" ස්පිටල් යළිත් ඇවිටිලි කළේය.

"මා කැමති විදියට ලියන්න ඔබ මට නිදහස දෙනවා නම්...?" ක්‍රිස්ටීන් කීයේ සැක සහිතවය.

"ඔව්"

ඒ ප්‍රතිඥාව අනුව පොතේ වැඩ පටන් ගැනීමට ඉටා ගත් ක්‍රිස්ටීන් ඉතිහාසයේ සැබෑ වීරයෙකු වූ ගැස්පර් පිගේරා ගේ චරිතයත් පෘතුගීසි යුගයත් සහමුලින්ම පර්යේෂණාත්මකව හැදෑරුවාය.  ස්පිටල් අතින් අතිශයෝක්තියට නැගී ඇතැයි මුළු පවුලම ඒකමතිකව නිගමනය කළ, ගැස්පර් ගේ චරිත විග්‍රහයේ විශාල කොටසක් ක්‍රිස්ටීන් ගේ පෑනෙන් නිර්දය ලෙස කැපී ගියේය.   සිය කාලයට ගැලපුණු සදාචාරයෙන් යුත් එහෙත් දළදඬු ශක්තිමත් පෘතුගීසි කපිතාන්වරයෙක් - අලුත් ගැස්පර් කෙනෙක් - ක්‍රිස්ටීන් ගේ ඒ පෑනෙන් ම බිහි වුයේය.

රිචඩ් ස්පිටල්, ක්‍රිස්ටීන් විසින් නැවත ලියන ලද අත් පිටපත සොයා සියතට ගත්තේ මේ අතරතුරේදී ය.   ඒ සමගම නිවස තුළ පරිසරය, මෝසම් වැසි සමය ආරම්භ වන්නට ආසන්නව තිබියදී එළැඹෙන ග්‍රීෂ්ම කාලය මෙන් වුයේය.

ක්‍රිස්ටීන් පුස්තකාලයට පැමිණි හැම මොහොතකම රිචඩ් ස්පිටල් "බල කොටුව" ගැනත් ගැස්පර් ගේ චරිතය වෙනස් කර ඇති ආකාරය ගැනත් අවලාද නගමින් ඇය වෙත කඩා පැන්නේය.   ඒ හැම අවස්ථාවකදීම ඇය හනික පුස්තකාලයෙන් පිටවී ගියාය.

නිවැසියන් ගේ කතාබහට ලක්වුණු වෙනත් විෂයයක් නොවූ තරම්ය.   ක්‍රිස්ටීන් නැවත ලියා තිබු කොටස් කපා දැමීමත් ඇය අතින් කැපී ගිය කොටස් යළි ඇතුළත් කිරීමත් සඳහා ස්පිටල් බොහෝ කාලයක් ගත කළේය.   නිවස තුළ ඇතිවුණු තත්ත්වය හැම කෙනෙකුගේම දොම්නසට හේතු විය.

"නුඹ මගේ ගැස්පර් කාමුකයකු බව‍ට පත් කළා!"

එකිනෙකට ප්‍රතිචාර වශයෙන් උණුසුම් බහින් බස් හුවමාරු වුයේය.

"ඔහු සමහර විට එහෙම කෙනෙකුව ඉන්නට ඇති. ඔබ හිතන විදියේ සාන්තුවරයෙක් නොවෙයි! සාන්තුවරයෙකු වශයෙන් හැඳින්වී නැත්තේ ඔහු කිසිම හේතුවක් නැතිව සතුරන්ගේ අතුණු බහන් කොක්කකින් එළියට ඇද්ද නිසායි!"

"නුඹ ඔහු සල්ලාලයකු බවට පත් කළා!"

"සමහර විට එයා එහෙම කෙනෙකුව ඉන්නට ඇති!"

"ඒ චරිතය වෙනස් කරන්නට උඹට කිසිම අයිතියක් තිබුණේ නැහැ"

ක්‍රිස්ටීන් යළිත් රිචඩ් වෙතින් පලා ගියාය.  ටික වේලාවකට පසු එකම වචනයක් සටහන් වුණු කඩදාසි කැබැල්ලක් ක්‍රිස්ටීන් අතට ආයේය.

"කණගාටුයි" එහි සටහන්ව තිබිණ.

දිගු වේලාවක් ඔහු සමග අමනාපව සිටීම කිසිසේත් කළ හැක්කක් නොවීය.

විවිධ අවස්ථා පසු කරමින් එසේ ඉදිරියට පැමිණි "බළකොටුව" එහි අවසන් අදියරට එළැඹියේ එය පටන් ගැනුණු දා සිට අවුරුදු දහයක් ගතවීමෙන් පසුවය.   රිචඩ් ස්පිටල් යළිත් වරක් ලෙඩ ඇඳට වැටුණේය.   පොත අවසන් කරන ලෙස හෙතෙම නැවතත් ක්‍රිස්ටීන් ගෙන් ඉල්ලා සිටි හෙයින් ඕ තවත් වරක් ඒ කටයුත්තට අත ගැසුවාය.

කලින් වාරයේ ක්‍රිස්ටීන් විසින් ඉවත් කරන ලදුව රිචඩ් ස්පිටල් විසින් යළි ඇතුළත් කැරුණු විස්තර නැවතද බැහැර කිරීමට වැඩි දෙයක් මේ වාරයේ නොකිරීමට ක්‍රිස්ටීන් වග බලා ගත්තාය.    එය රිචඩ් ගේම පොතක් බවට පත් කිරීමට මෙන්ම එහි චරිත පිළිබඳ ඔහුගේ සංකල්ප වෙනස් කිරීමෙන් ඔහුගේ සිත නොරිදවීමටත් ඕ පරෙස්සම් වුවාය.

රෝගී වුණු හැම අවස්ථාවකදීම රිචඩ් වඩවඩාත් දුර්වලවූ අතර පොත ඉක්මනින් ප්‍රකාශයට පත්කිරීම ඔහුගේ ප්‍රබල අපේක්ෂාව විය.   ලංකාවේ ප්‍රකාශන ආයතනයක් එය පළ කිරීමේ වගකීම බාරගත් හෙයින් ප්‍රමෝදයට පත් රිචඩ් ස්පිටල්, සම කර්තෘ වශයෙන් ක්‍රිස්ටීන් ගේ නමද පොතට යෙදිය යුතු යැයි කියා සිටියේය.

ඒ පොත වෙනුවෙන් ඇගෙන් හොඳ සේවයක් ඉටු නොවීය.   කාලය හැම විටම "බල කොටුවේ" හතුරෙක් විය.  දස වසරක් තිස්සේ නැවත නැවත ලිවීම නිසා පොතේ ජීව ගුණය බොහෝ දුරට සිඳී ගොස් තිබිණි.   රිචඩ් ස්පිටල් කලින් ලියු පොත මේ කෘතිය කෙරෙහි බලපෑ හෙයින් අලුත් ග්‍රන්ථයෙහි ඊටම විශේෂවූ අනන්‍යතාවක් නොතිබිණි.    ඕනෑම පොතක අවශ්‍යයෙන්ම තිබිය යුතු ඒකීයත්වය මෙහි දක්නට නොලැබෙන්නේ රිචඩ් ස්පිටල්ගේ දු ද ඊට අත ගැසූ හෙයිනි.

එසේ වුවත්, නීල මුසු හරිත වර්ණය පසුබිම් කොටගෙන පෘතුගීසි රුවල් නැව් යාත්‍රා කරන ආකාරය දක්වන පිට කවරයද "බ්‍රේව් අයිලන්ඩ්"(Brave Island) යන අලුත් ග්‍රන්ථ නාමයද ඇතිව සිය නිර්මාණය ප්‍රකාශයට පත්ව තිබෙනු දැකීමෙන් වයෝ වෘද්ධ ආර්.එල්. ස්පිටල් බුක්ති වින්දේ සීමාන්ත ප්‍රමෝදයකි.   එය ඉතා වැදගත් විය.  මේ පොත එළි දැක්වුයේ කොතරම් දේ කැප කිරීමෙන් ද යන වග දන්නෝ ස්පිටල් පවුලේ සාමාජිකයෝ පමණකි.   නිර්මාණයක් වශයෙන් එය සාර්ථක නොවූ නමුත් ඒ සඳහා දරන ලද කටුක ප්‍රයත්නයෙන් ඊට වටිනාකමක් එක්වී තිබේ෴

(වන වැදුණු දොස්තර, ක්‍රිස්ටීන් ස්පිටල් විල්සන්. පරිවර්තනය, ප්‍රේමචන්ද්‍ර අල්විස්, සූරිය ප්‍රකාශකයෝ,1998)

Thursday, June 15, 2017

තිත්ත කෝපි කතාව.


රිචඩ් ස්පිටල් ඉතා හොඳ ශල්‍ය වෛද්‍යවරයෙකු ව සිටින්නට ඇත.   එහෙත් ඔහු ඉතා නරක ව්‍යාපාරිකයෙක් විය.   එසේ වුවද තම ක්ෂේත්‍රයෙන් බැහැර නොයෙක් දේ බොහෝ විට ඉතා අනර්ථකාරී අන්දමින් අතපත ගෑමට හෙතෙම පුරුදු වුයේය.

කාර්ල්ස්බර්ඩ් නැමැති කුඩා පොල්වත්ත වෙනුවෙන් වූ ණය මුදල ගෙවා දමා වැඩි දවසක් යන්නට කලින්ම නාවලපිටි කඳුකරයේ මධ්‍යම ප්‍රමාණයේ තේ වත්තක් මිළට ගැනීමට ස්පිටල් තීරණය කළේය.   ඔහු ඒ වත්ත තෝරා ගත්තේ එය පිහිටි පරිසරයේ අලංකාරය පමණක්ම සලකා මිස ඉඩමෙන් ලද හැකි ආර්ථික වාසියක් ගැන හිතා බලා නොවේ යැයි සැක කළ ක්ලේරි දිනක් ඔහුට මෙසේ කීවාය.

"තේ වත්තක් පාලනය කිරීමේ බර කරට නොගෙන කරන්න තව ඕනෑ තරම් දේවල් ඔයාට තියෙනවා නේද? ඔබ කවදාවත් ව්‍යාපාරිකයෙකුව හිටියේ නැහැ!"

ස්පිටල් ඉතා සන්සුන්ව සිය පයිප්පය උරමින්, වතු අධිකාරිවරයාගේ කුටියේ පියගැට පෙළ මතැ සිටියේය.   වායුවේ සිසිලත් වා රැළි සමග මුසුවී ආ සුවඳත් ඔහුගේ නාසයට දැනිණි.   තේ පඳුරුවල ගෝලාකාර මුදුන් දෙසත් තේ වගාවෙන් ඔබ්බේ රාජාලියන් දුක් මුසු රාවයක් නගමින් සැරූ අහස දෙසත් ඔහු බලා සිටියේය.   තේ කර්මාන්ත ශාලාවේ යන්ත්‍රාගාරයේ හඬ ස්පිටල්ට ඇසුණේ හෘදය වස්තුවක ඒකාකාරී ස්පන්දනය සේය.   යන්ත්‍රාගාරයෙන් නැගුණු දුම් රොටු හෙමිහිට අහසට නැගුණු අන්දම ස්පිටල්ගේ ඇසැ ගැසුණේය.   යන්ත්‍රාගාරය තුළ තේ- ඔහුගේම තේ- දිනපතා ඇඹරෙමින් සැකැසුණේය.

තම දේපලවලින් බැහැර වුණු ඉඩම් හිමියන් කීප දෙනකු ගැන ක්ලේරි මෙහිදී යමක් මිමිණුවාය.

"ජෝජ්!" ස්පිටල් ක්ෂණිකව පැවැසීය.

ඊට ප්‍රතිචාර වශයෙන් ක්ලේරිගෙන් මහත් විස්මයක් පළ විය.   ස්පිටල්ගේ බාල සහෝදරයා ද මිනින්දෝරුවෙකු ද වූ ජෝජ් ස්පිටල් ට වඩා බෙහෙවින් වෙනස් ගති පැවැතුම් ඇත්තෙක් විය.   දෙපාර්ශවයේ අන්‍යොන්‍ය එකඟත්වය මත කිසියම් රහසිගත හේතුවක් නිසා අදාළ ගිවිසුම අවලංගු නොකැරෙන තෙක්ම හෙරොන්ඩේල් වතුයාය ඉතා කාර්යක්ෂම ලෙස පවත්වා ගෙන ගියේ ජෝජ්ය.

තේ පලස අවසන් වුණු තැන සිට නිම්නෝන්නත තණ පලස හරිත සාගරයක් සේ ඈතට විහිදුණේය.   එක් පහත් බිමක දිගු කාලයක් තිස්සේ තිබුණු ගොඩනැගිල්ලක මුදුනෙහි වූ කළු ගැහුණු දුම්කවුළුවක් දිනක් ස්පිටල්ගේත් ක්‍රිස්ටීන්ගේත් ඇසැ ගැසිණි.   ඒ ගොඩනැගිල්ල කුමක්ද?  එහි ජීවත්වුවෝ කවුරුද යන ප්‍රශ්න ඔවුන් හමුවෙහි මතු විය.

වත්තෙහි තේ සකසන්නා (ටී මේකර්) මහලු මිනිසෙකි.   ඔහුගෙන් ඒ ගැන විමසු විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

"මේක ඉස්සර කෝපි වත්තක්.  කෝපි ගස්වල මල් පිපුණාම හරියට සමන් පිච්ච මල් පිපුණා වාගේ.   කෝපි ගස් අතරේ අප ඇවිදින්න ඕනෑ බොහොම පරිස්සමෙන්.   අපේ ඇඟේ ගැටීමෙන් මල් හැලුනොත්, ඒවායින් ලැබෙන්න තියෙන ගෙඩි නොලැබී යන නිසා.   කෝපි මල් පිපෙන කාලෙට ඒවායේ සුවඳ හැතැප්ම ගණනක් ඈතට දැනෙනවා.   කෝපි වසංගතය ඇවිත් මුළු කෝපි වගාවම උදුරා දැමීමට සිදුවන්නට කලින් මෙතැන තිබුණු ගෙයි දුම් කවුළුව තමයි ඔය තියෙන්නෙ."

"ඒ කතාව - කෝපි කාලයේ කතාව - කොයි තරම් හොඳ එකක් වෙයිද?" ස්පිටල් පැවැසීය.

ක්‍රිස්ටීන් කිසියම් දවසක ඒ කතාව කෝපි කතාව ලියතැයි යන වග හෝ හෙරොන්ඩේල් වත්ත හය වසරකට ඇගේ වාස භූමිය වනු ඇතැයි යන්න හෝ ස්පිටල් එදා දැන නොසිටියේය.

(වන වැදුණු දොස්තර, ක්‍රිස්ටීන් ස්පිටල් විල්සන්. පරිවර්තනය:ප්‍රේමචන්ද්‍ර අල්විස්.1998, සූරිය ප්‍රකාශකයෝ )

හෙරන්ඩේල් වත්තෙහි දී මගේ විශේෂ මිතුරා වුයේ කලක් විශාල තේ කර්මාන්ත ශාලාවල තේ සැකසුම් කරුවෙකු වූ වයෝවෘද්ධයෙකි.  ඉතාම ආචාර සම්පන්න එහෙත් ආඩම්බර කාරයෙකු වූ හෙතෙම නිවසින් පිටතදී මෙන්ම ගෙදර සිටියදීද ඔහුගේ සුදුකෙස් සඟවා ගැනීම සඳහා හිස් වැස්මක් පැලැන්දේය.   තේ සකසන්නෙකු කර්මාන්ත ශාලාව පුරා නිතර ඇවිදීමටත් එහි අයෝමය තරප්පු නැගීමට හා බැසීමටත් ශක්තිය ඇත්තෙකු විය යුතු යැයි ඔහු සුපුරුදු මෘදු හඬින් මට කීයේය.   ඔහු බොහෝදේ දත්තේය.   "මට කියන්න" යැයි මා මුල පිරූ විට කතාව පටන්ගත් මගේ මිත්‍රයා කර්මාන්ත ශාලාවෙන් අතුගා එකතු කැරෙන දූවිලි තේ බාර්බටන් ඩේසි නමැති මල් පැලයට ඉතා හොඳ පොහොරක් යැයිද වත්තේ කංකානම එළදෙනක හා කුකුළන් ඇති කරන හෙයින් ඔහුගෙන් කිරි හා බිත්තර ලබා ගත හැකි යැයිද කීයේය.   මට දක්නට ලැබුණු කුරුල්ලෙකු ගැන හෝ පැළෑටියක්  ගසක් ගැන හෝ ඔහුගෙන් කරුණු විමසු හැම විටෙකම ඔහු ඒ හැමෙකකම නම දැන සිටියේය.   ඔහු කනස්සල්ලට පත් වුයේ අපගේ තේ සම්බන්ධයෙන් පමණකි.   එහෙත් ඒ ගැන සාකච්ඡා කිරීමට ඔහු කැමැති නොවීය.  මම ඔහුගේ නිශ්ශබ්දතාව ඉවසුවෙමි.

හිරු රැස් සැඩ වන විට මම, අපගේ වත්ත මැදින් ඇදී පඹගාලේ හා වල් ලූනු පඳුරු සහිත ගොඩැලි මැදින් කන්ද දෙසට විහිදුණු රත් පැහැති ගුරු පාර දිගේ ඇවිද ගෙන ගියෙමි.   තේ වගාව අවසන් වූ තැන සිට පේන තෙක් මානයේ ඈතට විහිදුණු තණ බිම ලක්ෂ සංඛ්‍යාත කූඩැල්ලන්ගෙන් ගැවැසී ගත්තේය.  මා හැම විටම එතැනින් ආපසු හැරුණේ,මා ඇවිදීම ප්‍රිය කළ කෙනෙක් නොවූ හෙයිනි.

දිනක් තේ වගාව වසාගෙන මීදුම පැතිර තිබියදී ඒ පතන් බිම පසුකරගෙන ඔබ්බට ගිය මම තැනින් තැන විසිරුණු ගඩොළු හා ගල් කුට්ටි සහිත එළිමහනකට පිවිසියෙමි.   කෙනෙකුගේ කුතුහලය දනවන අමුතු මෝස්තරයකින් නිර්මිතව කළු ගැහුණු චිමිනියක කොටසක්ද එහිදී මගේ ඇස ගැසිණි.  එහෙත් නිවසක හෝ වෙනත් ගොඩනැගිල්ලක හෝ ලකුණු එහි නොවීය.

එදින සවස් කාලයේ මම මගේ මිත්‍රයා - තේ සකසන්නා - සොයා යන්නට ඉක්මන් වුණෙමි.   ඔහු, ගොඩැල්ල අද්දර පොළොවෙන් උඩට නැගුණු ගල් කුට්ටියක් මතැ වාඩිගෙන සිටියේය.   කාලගුණය විසින් දුර්වර්ණ කරන ලද සිය හිස් වැස්ම නළලෙන් මඳක් පසුපසට වනසේ පැළඳ ගත් හෙතෙම ලිහිල් ලෝම කබාය තුළ පිට කොන්ද වක ගසා ගෙන සිටියේය.   මා ඔහු අසලට පැමිණෙත්ම හිස් වැස්ම අතට ගෙන හිස පසෙකට ඇල කොට අපූර්ව ආචාර ඉරියව්වක් දැක්වූ හෙතෙම හනික නැගී සිටියේය.   

"අර පතන මැද්දෙ තියෙන චිමිනිය මොකක්ද?"මම මිත්‍රයාගෙන් විමසුවෙමි.

ඔහුගේ දෑස දීප්තිමත් විය. "ආ......කෝපි!' ඔහු කීයේය.

"මට කියන්න කරුණාකරලා!" 

"ඒ කාලේ මෙහෙ කෝපි වගාවක් තිබුණා"

"කොයි කාලේද?"

"මගේ වයස අවුරුදු හත,අට කාලේ!"

අවුරුදු හැටකට කලින්! ගල් කුට්ටියක් මත හිඳගත් මම ඔහුට කන් දුන්නෙමි.  ඔහුගෙන් කියැවුණු කරුණු අතුරින් වැඩි කොටසක් පිළිබඳව මම පසු කාලයක පර්යේෂණයක යෙදුණෙමි.

ලංකාවේ මුළු කඳුකරයම කලක් දහස් ගණන් වල් අලින්ගෙන් ගහන ගන වනයෙන් වැසී තිබිණැයි මගේ මිත්‍රයා ඔහුගේ කැඩිච්ච ඉංග්‍රීසියෙන් මට කීයේය.   මේ රටේ ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ පාලන කාලයේදී සමහර විට මෙයින් අවුරුදු දහස් ගණනකට ඉහත ගාල් කරන ලද මේ අලි ඇතුන් දාගැබ් ඉදි කිරීම, වාරි මාර්ග පද්ධති ඉදිකිරීම හා වෙනත් මහා පරිමාණ වැඩ කටයුතුවල යොදා ගත හැකි වනසේ පුහුණු කැරුණු බවද මිත්‍රයා මට කීයේය.  බ්‍රිතාන්‍යයන් මෙරටට පැමිණි කාලයේ මෙහි හොඳ මංමාවත් නොතිබුණු හෙයින් ඒවා ඉදිකිරීම පිණිසද බ්‍රිතාන්‍යයන් අලි ඇතුන් යොදාගත් බවත් මිත්‍රයා පැවැසීය.

ඒ වන විට රටේ විශාල ප්‍රදේශයක් වසා ගෙන විසිරී තිබුණ වන සම්පතත් ඊට යටවී තිබුණ සාරවත් භූමියත් රටේ ඉතාම වැදගත් ආර්ථික සාධකය බවට පත්ව තිබිණි.

කඳුකරය කෝපි වගාවට යෝග්‍ය යැයි පේරාදෙණියේ උද්භිද උද්‍යාන අධිකාරීහු 1825 පමණ රජයට වාර්තා කළහ.   සරු පස සහිත ඉඩම්ද කෝපි පැළ  හා වගාව සඳහා රජයේ අනුග්‍රහයද අවශ්‍ය බවත් ඔවුහු වැඩි දුරටත් රජයට දන්වා සිටියහ.   කඳුකරයේ කැලෑ එළි පෙහෙළි කොට කෝපි පැළ ඉඳුවනු පිණිස ශක්තිමත් බ්‍රිතාන්‍ය තරුණයෝ දහස් ගණනින් මෙහි පැමිණියහ.  ඒ කාර්යය සඳහා තාරුණ්‍යයත් ශක්තියත් මෙන්ම මෙතෙක් මේ දිවයිනෙහි නොදක්නා ලද කැප වීමක්ද අවශ්‍ය විය.

කෝපි වගාවෙන් කඳුකරය වැසී ගිය බවත් කෝපි මල් පිපෙන කාලයේදී මුළු කඳුරට හිම වැටුණාක් මෙන් සුදුමලින් වැසී ගොස් සමන්පිච්ච මල් සුවඳ දසත හැමු බවත් මගේ මිත්‍රයා කීයේය.   මලින් ගැවැසී ගත් කෝපි වගාව යටින් කිසිවෙක් ඇවිද නොගියේ පලදාවට හානියක් වෙතියි බියෙන් බවද කී මිත්‍රයා, තද කොළ පැහැයෙන් හට ගන්නා කෝපි පලය පැහෙන විට කෙමෙන් කහ පාටට හැරී අන්තිමේදී දිළිසෙන රත් පැහැයක් ගත්තේ යැයිද පැවැසීය.   මීදුමෙන් වැසුණු අපගේ ඉඩම දෙස බැලූ මිතුරා හුදකලාවේ වැඩී තිබුණු නිසරු කෝපි ගසකින් කොළයක් කඩා මට පෑයේය.  " මේ බලන්න මිසී! මෙතැනත් කෝපි වැවුණා.  මේ වත්තෙත්! ඒ විතරක් නොවෙයි අර ඔබ දුටු පාළු හරියෙත්!" කී මගේ මිත්‍රයා, ඔහු අතෙහි වූ කෝපි කොළය අනෙක් පැත්ත හරවා ඊට ඇඟිල්ලෙන් තට්ටු කළේය. "බලන්න මිසී!" කෝපි පත මතැ තඹ පැහැති පැල්ලම් විසිරී තිබෙනු මම දැක්කෙමි.

"හෙමීලියා වැස්ටැට්‍රික්ස්"මගේ මිත්‍රයා සිහින් සරින් පැවැසීය.  අපේ කෝපි වගාව විනාශ කළ කොළ රෝගය!"

එක් වත්තක පැතිර ගිය රෝගය ඉන් පසු තවෙකකද ඉන් අනතුරුව තවත් එකකද වශයෙන් ශීඝ්‍රයෙන් පැතිර ගියේය.  අන්තිමේදී හැම වත්තක්ම අත් හැර දමන ලද්දේය.   මට දක්නට ලැබුණු චිමිනිය ඒ කෝපි වත්තෙන් එතෙක් ඉතිරිව තිබුණු එකම කොටසය.   කලකට පෙර ඒ වගාව සරුවට තිබියදී මගේ මිත්‍රයාට එය දක්නට ලැබී ඇත.

ඔහු හදිසියේම කතාව නතර කළේය.

"කවුද ඒ වත්තෙ හිටියෙ?"

මගේ මිත්‍රයා තිගැස්සුණේය. "මිසී කළුවර වැටෙන්න කලින් ගෙදර යන්න.  දැන් වෙලාව හරි!" ඔහු කීයේය.

"ඒ වත්තෙ හිටපු අය කවුද ජොනී! ඔබ ඒ අය දන්නවද?"

"හිටපු අය?.....එක්කෙනයි හිටියෙ.......තනියම! එයා දිවි නසා ගත්තා!" මගේ මිත්‍රයා මොහොතකට නිහඬ විය. 

"මම ඒ කාලෙ ළමයෙක් නෝනා!" ඔහු කීයේ ගරුසරු සහිතවය.  "මම කොහොම දැනගන්නද?"

මිතුරාට ස්තුති කළ මම මඟට බැස්සෙමි.  මඳ දුරක් ගොස් ආපසු හැරී බැලුවෙමි.  ඔහු ගල් කුට්ටිය මත සාඩම්බර ලීලාවෙන් නැගී සිටියේ කෝපි කොළ රෝගයෙන් විනාශවූ වත්ත දෙස බලාගත් වනමය.  ඔහුගේ දෙවැනි නම බ්‍රිතාන්‍ය නමක් බව මට එවිට සිහිපත් විය.

කෝපි වසංගතය දිවයිනේ හැම වත්තකටම පැතිර ගියේය.  කෝපි පලදාව හීන විය.   ගස් මැළවී ගියේය.  ධන හානියට පත් වැවිලි කරුවෝ ලංකාව හැර ගියහ.   ඉන් බොහෝ දෙනෙක් නැගෙනහිර අප්‍රිකාවේ අලුත් බ්‍රිතාන්‍ය විජිතයෙහි කෝපි වගාව ආරම්භ කළහ.   ලංකාවෙහිම තව දුරටත් රැඳුනු පිරිස කුරුඳු වගාවත් ක්වීනින් නිපදවනු සඳහා අවශ්‍ය වූ සින්කෝනා වගාවත් ආරම්භ කොට ඒ නිෂ්පාදනයෙන් වෙළෙඳ පොළ පිරවුහ.   තව දුරටත් මේ රට කෙරෙහිම විශ්වාසය තැබූ ඔවුහු පසුව තේ වගාව පටන් ගත්හ.

ඒ අතරතුර මම මගේ ලේඛන පුවරුව ඇලයකට අල්ලාගෙන හෝ හැකි අවස්ථාවලදී යතුරු ලියනයෙන් හෝ හෙමිහිට පොත ලියාගෙන ගියෙමි.  දීර්ඝ කාලයකට පසු එය අවසන් විය.   ඇලිස්ටෙයාර් හා මා ද සාමාජිකයින්ව සිටි ස්කොට්ස්කර්ක් නම් දේවස්ථානයේ පැවිදි සාමාජිකයෙකුද අපගේ මිතුරෙකු හා උපදේශකයෙකුද වූ පුජකවරයෙකුට මම මගේ අත් පිටපත පළමුවෙන්ම බාර දුන්නෙමි.   එතුමන් එය කියවා ආපසු මට දුන්නේ ප්‍රමෝද ජනක සිනාවක්ද ඇතිවය.

"මොකක්ද මම යෙදිය යුතු නම" මම විමසුවෙමි.

"බිටර්බෙරි" පුජකතුමෝ කීහ.

ආපසු ගෙදරට පැමිණි මම අලුයම හතරට අවදි වෙමි.   සාත්තු නිවාසයේ ආලෝකය මගේ කාමරයේ ජනේලවලට එහා පැත්තේ දිදුළයි.   රාත්‍රී ගවුමට උඩින් දිගු කබායක් ලාගෙන හෙමිහිට මම මගේ කුටියට පිවිසෙමි.   ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ ජිනදාස කලක් වැඩ කළ කාමරය දැන් මගේ ලියන කාමරය බවට පත්ව තිබේ.  

කිසිදු බාධකයකින් තොරව පැය ගණනක් පුරා එහිදී ලේඛන කටයුතුවල යෙදෙන්නට මට පිළිවන් වූ අතර මගේ පොත් බ්‍රිතාන්‍යයෙහිදී ප්‍රකාශයට පත්විය.   හෙරන්ඩේල් කතාව පදනම් කොටගත් "බිටර් බෙරි" ද හෝටන් තැන්න වස්තු බීජය කොට බිහිවුණු " අ යෑම් ද විංග්ස්" හා ඉන්දියාවේ ජම්මුහි සිට කාශ්මීරය තෙක් ඇලිස්ටෙයාර් ද සමග බසයෙන් ගිය ගමන අනුව ලියැවුණු "මවුන්ටන් රෝඩ්" ද ඒ අතර විය. 

මගේ පළමුවෙනි පොත පළ කිරීමට බාර ගත් ප්‍රකාශකයෝ අනෙක් පොත් දෙක පළමුවැනි වරට ප්‍රකාශයට පත්කිරීමේ අයිතියද ඉල්ලා සිටියහ.   ලිවීම ජීවන මාර්ගයක් මෙන්ම ලන්ඩනයට ගොස් ජුනි මාසයේ සීතල තෙතමනය සහිත දවසක් මගේ කශේරු සැත්කම නොකැරෙන තෙක්ම මා නිරන්තරයෙන් වින්ද වේදනාව පලවා හැරීමේ මාර්ගයක්ද විය.   මගේ සැත්කම සිදුවුණු දවසේම එළිසබෙත් රැජිනියගේ රාජාභිෂේකයද සිදුවිය.  ප්‍රකාශකයින් මගේ තිත්ත කෝපි(bitter berry) ප්‍රකාශනය සඳහා බාරගන්නා විට විදේශවලදී පොත් පළකළ ශ්‍රී ලාංකික කාන්තාවෝ  - කිසිවෙක් සිටියෝ නම්- ඒ ඉතාම අල්පයහ.  සැතපුම් හය දහසක පමණ වූ  දුර ශ්‍රී ලාංකික ලේඛකයන් හා එංගලන්ත ප්‍රකාශකයන් අතර පහසු සබඳතාවලට  බලවත් බාධකයක් විය෴

(ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්, ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන්. පරිවර්තනය:ප්‍රේමචන්ද්‍ර අල්විස්, 2008 සූරිය ප්‍රකාශකයෝ)
                         (ක්‍රිස්ටීන් ස්පිටල් විල්සන් .1913 - 2010 )
 තිත්ත කෝපි කතාවේ පරිවර්තනය ගැන පසුගිය දවසක මුහුණු පොතෙහි ඇතිවූ කතාබහ නිසාවෙන් මෙය ලියන්නට සිත්විය. ක්‍රිස්ටීන් විල්සන් විසින් රචිත The Bitter Berry නම් කෘතිය පළමුවෙන් සී.ඒ.විජේසේකර මහතා විසින්ද පසුව අනුල ද සිල්වා මහත්මිය විසින්ද තිත්ත කෝපි යනුවෙන් පරිවර්තනය කර ඇත.  මෙය තිත්ත කෝපි කතාව නොව ඒ කතාව ලියැවුණු ආකාරය මා සතු පොත් ඇසුරෙන් මතක් කර දීමකි.

පරිවර්තන කෘති දෙකක එක් එක් තැන්වලින් කොටස් රැගෙන මෙහි පළකිරීම යම් තරමකට පාඨක ඔබට අපහසුවක් වන්නට හේතුවක් වුවත් මා උපුටා දක්වන්නට යෙදුණේ එම කෘතිවල තිත්ත කෝපි කතාවට අදාළ කොටස් පමණක් නිසා එම අපහසුව විඳ දරා ගෙන කියවන මෙන් ඉල්ලා සිටිමි.