Sunday, November 26, 2017

කණ්ඩායම් සංගීතයේ නෙවිල් ප්‍රනාන්දු ලකුණ සහ ලොස් කැබලෙරොස්



අද ලියන්නට තිබෙන්නේ මීට ටික කලකට ඉහත මාවිසින් ලියන්නට යෙදුණු කතාවක දිගුවක් සහ ඌණ පූර්ණයකි.  ඒ කතාව මා මගේ අනෙක් බ්ලොගයේ  රසබර මොහොතක මතකයන්. යනුවෙන් ලීවෙමි.  ඊට පසුව මේ මෑතකදී මට කියවන්නට ලැබුණු පොතක් හේතුවෙන් එම පෝස්ටුව නැවත සිහිවී එයටම දිගුවක් ලෙස මෙය ලියන්නට සිත්විය.   මා කියැවූ පොත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියන ලද  ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය නම් ග්‍රන්ථයයි.    මා මෑතකදී කියවුවත් පොත පළකර ඇත්තේ 2002 වර්ෂයේදීය.  මගේ කතාවට උක්ත වන්නේ  එම ග්‍රන්ථයේ තෙවැනි උල්ලාසය හෙවත් කණ්ඩායම් සංගීතයේ සමාරම්භය, ස්පාඤ්ඤ සංගීතය සහ කැලිප්සෝ මිථ්‍යාව නම් පරිච්ඡේදයෙන් උපුටා ගත් කොටසකි.     එම කොටස මා මින් ඉදිරියට උපුටා පළකරන අතර ඊට පෙර කියන්නට යමක් ඇත.    එනම් කර්තෘ ගේ හා ප්‍රකාශකයින්ගේ හිමිකම් ගැන උනන්දු වන හිතවතුන්ටය.    පොතේ හැඳින්වීමේදී වෙනත් තැනක උපුටා පළකිරීම තහනම් වන්නේ උප ග්‍රන්ථයේ සඳහන් වන ගීත ප්‍රබන්ධ සහ ස්වර ප්‍රස්තාර පමණක් බව කතුවරයා සඳහන් කර ඇති බැවින් හිමිකම් සම්බන්ධයෙන් අදහස් දැක්වීම නිෂ්ඵල බව සඳහන් කරනු කැමැත්තෙමි.

"ඉංග්‍රීසි ගී ගයන වෘත්තීය මට්ටමේ සංගීත කණ්ඩායම් කිහිපයක් 60 දශකය වන විට මෙරට සිටියහ.   'ජෙට්ලයිනර්ස් ' 'ලයිලි ගොඩ්රිජ් ඇන්ඩ් ඉටැලියාස් '  'ස්පිට්ෆයර්ස් ' 'සැවේජස් ' ඉන් කිහිපයකි.    මොවුහු ඉංග්‍රීසි උගත් සමාජයෙහි සාද සම්භාෂණ වලත් ඉහළ පෙළේ හෝටල්වලත් සිය ගායන වාදන ඉදිරිපත් කළහ.

සිංහල ගී ගයන වෘත්තීය මට්ටමේ සංගීත කණ්ඩායමක් බිහි කළාහු කවරහුද?   මේ පිළිබඳව ඇත්තේ මතභේදයකි.    ඔව්හු 'ලොස් කැබලෙරොස් 'ද?    නැතහොත් 'ලා සිලොනියන්ස් ' ද?   'ලොස් කැබලෙරොස් ' ආරම්භ වුයේ ස්පාඤ්ඤ ගී ගයන සංගීත කණ්ඩායමක් වශයෙනි.   සිංහල ගීවලට තිබුණු ඉල්ලුම නිසා මේ කණ්ඩායම් දෙකම පසුව සිංහල ගී ගයන්ට පටන් ගත්හ.     මෙසේ ගැයූ මුල්ම සිංහල කණ්ඩායම් ගීය, 'ලොස් කැබලෙරොස් ' කණ්ඩායමේ 'මල්බර හිමිදිරියේ' ද? නැතහොත් ලා සිලොනියන්ස් ' කණ්ඩායමේ 'එක්සත්වී බේද නසා ' හෝ ' හෝයියා හෝයියා ' ද?    මේ ප්‍රශ්නයට පිළිතුරු නැත.   එහෙත් එක් කරුණක් නිසැකයෙන් කිව හැකිය.   එනම්, කණ්ඩායම් සංගීතය සහිත සිංහල ගීයක් ගැයූ ප්‍රථම කණ්ඩායම නම්'ලොස් කැබලෙරොස්' බවයි.   ඔවුන් එසේ ගැයුවේ අනුන්ගේ ගීයකි.    විස්තර මතු දැක්වේ.   'ලොස් කැබලෙරොස් ' කණ්ඩායම පිහිටුවා ගත් නෙවිල් ප්‍රනාන්දු නමැති ගිටාර් වාදකයා හලාවත, පිටිපන වීදියේ මිහිඳුකුලසුරිය වෝල්ටර් ප්‍රනාන්දු ගේ පුත්‍රයෙකි.   ඔහු 1938 හලාවත දී උපත ලැබීය.   වයස අවුරුදු 15 වනවිට අති දක්ෂ ගිටාර් වාදකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් නෙවිල් විසින් 1960 දී LOS CABELLEROS නමැති සංගීත කණ්ඩායම පිහිටුවා ගන්නා ලදී.    කණ්ඩායම- නෙවිල් ප්‍රනාන්දු, එමිල් ප්‍රනාන්දු, හැරල්ඩ් පෙරේරා, ලෙස්ටර් ප්‍රනාන්දු යන සාමාජිකයන්ගෙන් සමන්විත විය.

LOS CABELLEROS යනු ස්පාඤ්ඤ දෙපදයකින් සාදාගත් නාමයකි.  LOS යන්න ස්පාඤ්ඤ භාෂාවෙහි 'ලෝස් 'යනුවෙන් උච්චාරණය වේ.   මේ වනාහි ඉංග්‍රීසියෙහි articles ගණයට වැටෙන අව්‍ය පදයකි.    එනයින් ස්පාඤ්ඤ los යන පදය, ඉංග්‍රීසි The යන පදයට සමානවේ.   Cabelleros යන්න ස්පාඤ්ඤ භාෂාවෙහි උච්චාරණය වන්නේ ' කබය්යෙරෝස් ' කියාය.   ඊට හේතුව, ස්පාඤ්ඤ භාෂාවෙහි LL යන අකුරු 'ය් ' යනුවෙන් උච්චාරණය වීමය.  'කබය්යෙරෝස් ' යන්නෙහි අරුත 'අශ්වාරෝහකයෝ ' යනුයි.   එහෙත් පුදුමයට කාරණය නම් අද දක්වාත් මේ නාමය 'ලොස් කැබලෙරොස් ' යනුවෙන් සාවද්‍ය ලෙස උච්චාරණය වීමයි.  එහි නිවැරදි උච්චාරණය පහදා දෙන්ට නෙවිල් ප්‍රනාන්දු හෝ ඉදිරිපත් වී නොතිබීමයි.    'නෘත්‍ය ගීත ' යන පදය දැනුදු 'නුර්ති ගී' යන අපභ්‍රෂ්ට පදයෙන් හැඳින්වෙනුයේ යම්සේද එසේම ප්‍රථම සිංහල කණ්ඩායම් සංගීතකාරයන්ගේ සැබෑ නාමය 'ලොස් කබය්යෙරෝස් ' වුවත් එය 'ලොස් කැබලෙරොස් ' යනුවෙන් උච්චාරණය කරන්නට අපටද සිදුවන බව මෙහිලා සඳහන් කළ යුතුවේ.

නෙවිල් ප්‍රනාන්දු , සිය සංගීත කණ්ඩායම හැඳින්වීම සඳහා ස්පාඤ්ඤ පද භාවිත කළේ මන්ද?   ඔහු ස්පාඤ්ඤ සංගීත රසිකයකු වූ නිසාය.   ස්පාඤ්ඤ ගිටාරය ඔහුගේ ප්‍රියතම වාද්‍ය භාණ්ඩය වූ නිසාය.   සිය කණ්ඩායම සමග ඔහු වැඩි වශයෙන් ගායනා කළේ ස්පාඤ්ඤ ගීත නිසාය.    ඔවුන් සිංහල ගී ගයන්ට උනන්දු වුයේ පසු කලෙකදීය.    'කැබලෙරොස් ' කණ්ඩායම සහභාගිවූ සාද සම්භාෂණ වලදී සිංහල ගී ගයන ලෙස ඔවුන්ට ආරාධනා ලැබිණ.    මේ ආරාධනා වලට ප්‍රතිචාර දැක්වීම සඳහා නෙවිල් ප්‍රනාන්දු විසින් සිංහල ගීයක් තෝරා ගන්නා ලදී.    එනම්, සී.ටී. ප්‍රනාන්දු ගායනා කළ 'මගෙ සුදු මාමේ - නෑ බෑ නොකියා රා පොඩියක් දී මා සනසන්නේ ' නමැති ගීතයයි.   මෙහිදී (1) සී.ටී.ප්‍රනාන්දුගේ ඒකල හඬ වෙනුවට නෙවිල් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුගේ හඬ මේ ගීයට මුසු විය.    (2) සුසංවාද හෙවත් ප්‍රසංවාද (Harmony) නමින් හැඳින්වෙන එකම තනුව හඬ තල කිහිපයකින් එකට ගායනා කිරීමෙහි බටහිර ශිල්පෝපක්‍රමය භාවිත විය.  (3) සී.ටී. ගේ ගීයෙහි වාදනයවූ තබ්ලා, වයලින්, පියානෝ, එකෝඩියන් ආදිය වෙනුවට ස්පාඤ්ඤ ගිටාර්, ගයිරෝ, මරකාස්, කොංගෝ ඩ්‍රම්ස් පමණක් භාවිත විය.

අලුත් අලුත් දෑ මැ සොයන මෙ රට සංගීත ශ්‍රාවකයන් අතර උක්ත වෙනස්කම් සහිතව ඇසුණු 'මගෙ සුදු මාමේ' ගීතය, වහා ජනප්‍රියත්වයට පත්විය.    මෙයින් ප්‍රමුදිත වූ 'ලොස් කැබලෙරොස් ' විසින් තවත් ජනප්‍රිය ගී 2 ක් නව සංගීත සංයෝජන සහිතව ගායනා කරන්ට යෙදුනි.  ඒ පැට්‍රික් දෙනිපිටිය විසින් තනු නිර්මාණය කරනු ලැබ සී. ඩී. ෆොන්සේකා, රසීනා යකීම් යුවළ ගැයූ උඩරට මැණිකේ - මනහර කඳුරට තිලකේ ' නමැති ගීය සහ ධීවරයෝ (1964) චිත්‍රපටය සඳහා ඇම්. කේ. රොක්සාමි විසින් තනු නිර්මාණය කරනු ලැබ සමූහ ගීයක් ලෙස ගැයුණු 'වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා ' යන ගී 2 යි.     මේ ගී යුග්මයද සී.ටී.ප්‍රනාන්දුගේ ගීය තරම් මැ ජනප්‍රිය විය.

ඒ වනාහි 1964 වසරයි.   පූර්වෝක්ත  ගී ගයමින් සිංහල ගීත රසිකයන්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වෙමින් හුන් 'ලොස් කැබලෙරොස් ' කණ්ඩායමෙහි දීප්තිය දල්වන සුලු සිදුවීමක් එම වසරෙහි සිදු විය.     එනම්, රුක්මණී දේවිය 'ලොස් කැබලෙරොස් ' කණ්ඩායමෙහි ගායිකාවක ලෙස ඊට එක්වීමයි.    1947 දී 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයෙන් ප්‍රථම සිංහල චිත්‍රපට නිළිය හා චිත්‍රපට පසුබිම් ගායිකාව බවට පත්වූ රුක්මණී දේවිය, 1964 වනවිටත් ස්වකීය ජනප්‍රියත්වය රැකගෙන සිටියාය.    ඇය ප්‍රධාන චරිතය රඟ පෑ 'මංගලිකා ' 1963 වසරේ බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලු චිත්‍රපටයක් විය.    1964 වසරේ තිරගත වූ 'සැමියා බිරිඳගේ දෙවියාය' චිත්‍රපටය විසින් නිළියක මතු නොව චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසද ඇයගේ ආස්ථානය තවදුරටත් තහවුරු කරන ලදී.     එහි ආ 'මොනව හිතාගෙන මාව කැඳෙව්වද රත්තරනේ මාගේ ' , 'කියන්න රන්කඳ මොන හිතකින් ඔබ කීවාදැයි මට මේවා', 'ලස්සන රත්තරන් බබෝ ' වැනි ගීත අතිශයින් ජනාදරයට පාත්‍ර වී තිබිණ.    'ලොස් කැබලෙරොස් ' ගායක කණ්ඩායමට සම්බන්ධ වුයේ මේ ජනප්‍රිය නිළි ගායිකාවයි.

රුක්මණී දේවිය හා නෙවිල් ප්‍රනාන්දු සම්බන්ධ කරමින් එවක පැතිර ගිය කටකතා ද 'ලොස් කැබලෙරොස් 'කණ්ඩායම කෙරෙහි රසික අවධානය යොමු කරවීමෙහි ලා සමත් විය.     රුක්මණී දේවිය, ජනප්‍රිය සංස්කෘතියෙහි ප්‍රථම දේශීය ප්‍රතිමූර්තිය වුවත් ඇය පෞද්ගලික ජීවිතයෙහි දී දුක් වේදනාවන්ට මැ ගොදුරු වෙමින් සිටියාය.    විවාහ ජීවිතයෙහි අනන්ත හැලහැප්පීම්වලට භාජනය වෙමින් ගල්පරවල ගැටි ගැටී ඇදුණු ඇයගේ ජීවිත යාත්‍රාව, මේ සම්බන්ධතාව හේතු කොටගෙන සොඳුරු වරායකට සේන්දු වූ බව තතු දත් රසිකයෝ කීහ.    ඒ වන විට නෙවිල්ගේ වයස 26 කි.    රුක්මණියගේ වයස 37 කි.   

රුක්මණී සම්බන්ධ වීමෙන් පසුව 'ලොස් කැබලෙරොස් ' ගීතාවලියට තවත් සිංහල ගීයක් එක් වුයේය.     ඒ - 1960 දී පමණ විමලදාස පෙරේරා විසින් සී.ටී.ප්‍රනාන්දු ගේ තනුවකට අනුව රචනා කරන ලදුව සී.ටී. හා රුක්මණී ගැයූ 'පුන්සඳ හිනැහෙන්නේ - වනමල් පිබිදෙන්නේ ' නමැති ගීයයි.    1964 අගෝස්තු 29 වැනිදා නෙස්ලේ සමාගම විසින් සංවිධානය කරන ලද 'ගීතාංජලි ' නමැති සංගීත ප්‍රසංගයේ දී රුක්මණී, නෙවිල් ඇතුළු 'ලොස් කැබලෙරොස් ' කණ්ඩායම විසින් මුල්වරට මේ ගීය ගායනා කරන ලදී.

මේ ගීයද 'මගෙ සුදු මාමේ ' , උඩරට මැණිකේ, 'වැල්ල සිඹින රැල්ල ' යන ගීත මෙන්ම ක්ෂණික ව ජනප්‍රිය වුවත් 'ලොස් කැබලෙරොස් ' කණ්ඩායමෙහි සිංහල ගී 4 න් 2 ක් ම ස්වකීය ගීත වීම, වෘත්තීය සංගීත ශිල්පියකු වූ සී.ටී. ප්‍රනාන්දුට අභියෝගයක් විය.    එබැවින් ඔහු 'ලොස් කැබලෙරොස් ' කණ්ඩායමට සිය විරෝධය ප්‍රකාශ කර සිටියේය.    මෙයින් සිදුවූ ඉෂ්ටාර්ථසිද්ධිය නම් තවදුරටත් අනුන්ගේ ගීත ගායනා කිරීම අත්හිටුවා තමන්ගේම ගීත ගායනා කිරීමට 'ලොස් කැබලෙරොස් ' කණ්ඩායම උත්සුක වීමයි.

නෙවිල් ප්‍රනාන්දුගේ මුල්ම වෑයම වුයේ 'පුන් සඳ හිනැහෙන්නේ ' නමැති යුග ගීයට සාකල්‍යයෙන්ම අනුරූප වූ ගීයක් නිර්මාණය කිරීමයි.    ඔහු ඒ සඳහා 'පුන්සඳ හිනැහෙන්නේ ' ගීයෙහි අදහසට, පද සංඝටනාවට, මාත්‍රා සංඛ්‍යාවට අනුරූප වූ ගී පදමාලාවක් රචනා කරවා ගත් සැටි බලන්න.

                                                         මුල් ගීයෙහි ස්ථායී කොටස

                                              පුන්සඳ හිනැහෙන්නේ - වනමල් පිබිදෙන්නේ 
                                              ලස්සන ඔබෙ මුහුණේ - දැක්කම නොවැ මැණිකේ 

                                                       දෙවැනි ගීයෙහි ස්ථායී කොටස 

                                                මල්බර හිමිදිරියේ - කොයිබද සමනොලියේ 
                                                යන්නේ හිරුඑළියේ - කියන්න සිවුමැලියේ 

                                                 මුල් ගීයෙහි පළමුවැනි අන්තරා කොටස 

                                        වසන්ත සමයෙදි ඔබ ළඟ ඉඳගෙන මිහිරට කවි       කියමී
                                        සමන් කැකුළු මල් පොකුරක් අරගෙන ඔබේ හිසේ   ගසමී 
                                        ඔබ නිදියනතුරු පැළ තුළ ඉඳගෙන නැළවිලි ගී       කියමී 
                                        උදය සවස මම ඔබෙ පා යුග හිමියනි සැමදා             වඳිමී 

                                                 දෙවැනි ගීයෙහි පළමුවැනි අන්තරා කොටස

                                         මල් පෙති අග රැඳී පිණි බිඳු එක්කොට ඔබ මුව      පිරිමදිමී 
                                         ළා හිරු රැස් වැද බැබලෙන ඔබෙ තටු දෙක මම සිප ගනිමී
                                         රන්තරු මුතුවැල් කිරුළක් සාදා ඔබේ හිසේ             තබමී 
                                         රන් විමනක් මැද ඔබ වෙනුවෙන් පෙම් රජ දහනක්   මවමී  

'මල්බර හිමිදිරියේ ගීතය'  'පුන්සඳ  හිනැහෙන්නේ ' ගීතය තරමට මැ ජනප්‍රිය විය.    එයින් උත්තේජනය ලද නෙවිල් ප්‍රනාන්දු සිය කණ්ඩායම සඳහා තවත් ගී රැසක් නිර්මාණය කළේය.    'සඳක් නැගී සඳක් ගිලේ සාගරේ ' 'ගලන ගඟක දොළ පාරක සොයන්නම් ' 'මැණිකේ ඔබේ සිනාවේ ' ඉන් කිහිපයකි.

රුක්මණී දේවිය, මේ ගීත සඳහා ගායනයෙන් සහාය වුවාය.   එමෙන්ම 1975 ජනවාරි 8 වැනිදා 'දීපශිඛා ' පත්‍රයට 'කණ්ඩායම් ගී වලට ආසයි ' යන මැයෙන් ලිපියක් සපයමින් ඇය කියා සිටියේ තමාගේ ප්‍රියතම ගීත අතර කණ්ඩායම් ගී ද ඇති බවයි.

1. ආදරයයි කරුණාවයි ( දෛවයෝගය චිත්‍රපටයේ ගීයකි )

2 . දුෂ්මන්ත අහෝ කිමදෝ (ග්‍රැමපෝන් ගීයකි )

3. කණ්ඩායම් ගී 

ඒ ගීත දහස් ගණනක් ගයා ලංකාවේ ගීත කෝකිලාව ලෙස විරුදාවලි ලත් රුක්මණී දේවියගේ තේරීමයි.   මතු දක්වෙනුයේ ද ඇයගේ වචනයි.   'කවුරු මොනවා කිව්වත් කණ්ඩායම් ගීයක් අහන්න මම ලොකු උනන්දුවක් දක්වනවා.   කණ්ඩායම් ගී අසා මා ලබන්නේ කියන්න බැරි තරම් ආස්වාදයක්, විනෝදයක්.   ඇත්තෙන්ම කණ්ඩායම් ගී ගයන්න මගේ හිත ඇදී ගියෙත් ඒ නිසයි'.

විශිෂ්ට ගණයේ ගිටාර් වාදකයකු ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටි නෙවිල් ප්‍රනාන්දු උක්ත ගී මාලාව නිසා තනු රචකයකු වශයෙන්ද ප්‍රසිද්ධියට පත් වුයේය.    ඒ නිසා ජ්‍යෙෂ්ඨ ගායනා ශිල්පීහු පවා ඔහු ලවා තනු නිර්මාණය කරවා ගත්හ.    සුනිල් ආර් ගමගේ විසින් රචනා කරන ලදුව සුජාතා අත්තනායක ගැයූ 'මංගල කසී සළුෑ - මාලා දෑතේ රන් වළලු ' නමැති ගීය, නෙවිල්ගේ එබඳු තනු නිර්මාණ වලට නිදසුනකි.

'ලොස් කැබලෙරොස් ' ශිල්පීහු චිත්‍රපටවල ගීත ගායනය සඳහා ද චිත්‍රපටවල පෙනී සිටීම සඳහාද කැඳවුම් ලදහ.   ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'දෙලොවක් අතර ' (1966) ඔවුන් එසේ ගයමින් පෙනී සිටි ප්‍රථම චිත්‍රපටයයි.    මෙහිදී ඔවුන්ට ගයන්ට සිදු වුයේ ඔවුන්ගේ ගීයක් නොව අමරදේවයන් තනු නිර්මාණය කළ ගීයකි.    මහගම සේකරගේ රචනයකි.    එහෙත් අමරදේව එම තනුව නිර්මාණය කර තිබුණේ 'ලොස් කැබලෙරොස් ' සංගීත කණ්ඩායමේ අනන්‍යතාවට සරිලන පරිද්දෙනි.    'ලොස් කැබලෙරොස් ' විසින් කරන ලද සංගීත සංයෝජනයේ දී වයලීන් ආදී වාද්‍ය භාණ්ඩ යොදා ගත්තේ වී නමුත් ප්‍රමුඛස්ථානය දී තිබුණේ ගිටාර්, ගයිරෝ, කොංගා වැනි එම සංගීත කණ්ඩායම සතු භාණ්ඩවලටය.      'ගයන ගැයුම් නටන නැටුම් ' නමැති මේ ගීය අමරදේව - නෙවිල් ප්‍රනාන්දු - මහගම සේකර යන ත්‍රිපුද්ගල සුසංයෝගයෙන් නිර්මාණය වූ ඉතා ප්‍රශස්ත ගීයක් ලෙස හැඳින්විය හැකිය.

අමරදේව සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් දෙපොල නෙවිල් ප්‍රනාන්දු ගැන කෙතරම් පැහැදුණාහුද යත් 'රන්සළු '(1967) චිත්‍රපටයෙහි ඒකල ගායනයක් සඳහාද ඔහු යොදා ගත්හ.    බී.ටී. මැන්දිස් ගේ රචනයකට අනුව අමරදේව තනු නිර්මාණය කළ 'බඳුන් පිරී ඉතිරෙන මී ළඳුන ලවන් නුරා ' යනු එම ගීයයි.    

රංජිත් ලාල් අධ්‍යක්ෂණය කළ 'නිම් වළල්ල ' (1970) චිත්‍රපටය සඳහාද නෙවිල් ප්‍රනාන්දු ඇතුළු 'ලොස් කැබලෙරොස් ' කණ්ඩායම ගීයක් ගැයුහ.    රූ ගත කිරීමටද පෙනී සිටියහ.   ඒ ගීයෙහි පද රචනයත් සංගීත රචනයත් රංජිත් ලාල් ගේ ම ය.     

අනන්ත වූ තරු පිපෙන රැයේ 
සරා සඳේ සොමි කැන් පාවී 
යොවුන් මලක රොන් සොයා ඇදේ 
රිදී වලා සළු තුළින් පෙරී 

යනුවෙන් ඇරඹුණු ගීයකි ඒ.    තිස්ස අබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන්නට සැලසුම් කරන ලදුව අතරමග නතරවූ 'කලාමැදිරියෝ ' නමැති චිත්‍රපටයෙහි සංගීත අධ්‍යක්ෂණය භාර වුයේද නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ ලොස් කැබලෙරොස් කණ්ඩායමටයි.     දළුගම සරසවි චිත්‍රාගාරයේ දී ඔවුන් විසින් ඒ සඳහා ගී 3 ක් පටිගත කරන ලදී.     'හිරු දහස් සඳු දහස් නැගුණා - කාල මේකුළු හඹා ඇදුණා - මුරුගසං වරුසාව වැටුණා ' යනුවෙන් ඇරඹෙන ඒ එක් ගීයක් රචනා කරන්ට යෙදුණේ සුනන්ද මහේන්ද්‍ර විසිනි.

'ලොස් කැබලෙරොස් ' කණ්ඩායම ස්වකීය සිනමා කෘති සඳහා තෝරා ගත් ලෙස්ටර් ජේම්ස් පීරිස්, තිස්ස අබේසේකර, රංජිත් ලාල් ආදීන් දෙස බලන කල පැහැදිලිව පෙනී යන කරුණක් නම් එම කණ්ඩායමට ප්‍රිය කළාහු සම්භාව්‍ය සිනමාකරුවෝ බවයි.    නෙවිල් ඇතුළු කණ්ඩායම ගී ගයමින් පෙනී සිටි එකම වාණිජ්‍ය චිත්‍රපටය 'පැංචා'(1969) නම් වේ.     'යාර් පෙෙයන් ' නමැති දෙමළ චිත්‍රපටය අනුසාරයෙන් ඇන්ඩෘ නායගම් මුත්තයියා නිෂ්පාදනය කළ 'පැංචා ' චිත්‍රපටය සඳහා ටී.ඇෆ් ලතීෆ් සංගීතය සම්පාදනය කළත් නෙවිල් ඇතුළු පිරිස ගැයූ ගීයෙහි තනු නිර්මාණය සහ සංගීත සංයෝජනය ඔවුන් සතු විය.    ගීතය රචනා කළේ ඔගස්ටස් විනයාගරත්නම් ය.

ලස්සන ලෝකෙට පා          ඔසවාලා 
හැරමිටි හණමිටි පැත්තක          දාලා 
මිදි උයනේ ඉමු චුට්ටක්           වේලා 
හැඟීමකට පොඩ්ඩක් ඉඩ           දීලා  

යනුවෙන් ඇරඹෙන ගීයකි ඒ. නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ ලොස් කැබලෙරොස් කණ්ඩායම, මිලි මීටර් 16 චිත්‍රපටයකටද සංගීතය සැපයුහ.    ඒ ප්‍රථම සිංහල චිත්‍රපටය කළ බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නගේ ඥාතියෙකු වූ අර්වින් ජයමාන්න අධ්‍යක්ෂණය කළ 'රහස් දූපත' නමැති චිත්‍රපටයයි.    1967 මැයි 19 දා සිට දෙමටගොඩ මානෙල් සිනමා ශාලාවේ තිරගත වූ මේ චිත්‍රපටයෙහි ලොස් කැබලෙරොස් සංගීතයට රුක්මණී දේවි ගැයූ ගීතයක් විය.    එය රචනා කර තිබුණේ ඒ.ජේ.සොයිසා ය.  

ගායනය, වාදනය, තනු නිර්මාණය, සංගීත අධ්‍යක්ෂණය ආදී විවිධාංගවලින් නෙවිල් ප්‍රනාන්දු ලබාගත් ජයග්‍රහණ ඔහුගේ පෞද්ගලික ජයග්‍රහණවලට වඩා කණ්ඩායම් සංගීත කරුවන් විසින් ලබන ලද පොදු ජයග්‍රහණ ලෙස සලකනු වටී.

සිංහල කණ්ඩායම් ගීයෙහි නිර්මාතෘවරයා වූ නෙවිල් ප්‍රනාන්දු ඉතා කෙටි කලක් ආයු වළඳා 1975 අප්‍රේල් 23 වැනිදා අභාවප්‍රාප්ත වීම සිංහල කණ්ඩායම් සංගීතයට සිදුවූ බලවත් පාඩුවක් විය෴

(උපුටා ගැනීම : ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය, මහාචාර්ය සුනිල් ආරියරත්න.  ප්‍රකාශනය :ඇස් .ගොඩගේ සහ සහෝදරයෝ, 2002)