ලොකු එකාගෙ ලියමන
සෙනසුරාදාට නිවාඩුයි
ඒත් වැඩ ගොඩයි
ඉරිදටත් මගෙ හිතේ
එන්න බැරිවෙන හැඩයි
සඳුද ආයෙත් යුද්ධෙ
ෆයිල් ටික මගෙ ළඟයි
කොහොම ආවත් අම්මෙ
සල්ලි නම් දැන් හිඟයි
දුවත් දැන් හතේ
කොයි වෙලාවෙද ෂුවර් නෑ
කොල්ලටත් ටුනමන්ට්
දුර යන්න කැමති නෑ
අරය නෝපේ ඉන්නෙ
ෂෝර්ට් ලීව් දෙන්නෙ නෑ
අපි විඳින දුක ඉතින්
දෙයියොවත් දන්නෙ නෑ
තාත්තගෙ දානෙටත්
කරගැහුවෙ මං නේද
මල්ලිටයි නුවර
ලොකු අක්කටයි කිව්වාද
ලෙඩ ගානෙ ඔය ගමන
යන්නටම ඕනෑද?
කවුද ඔළුවට දැම්මෙ
උඩහ ලොකු අම්මාද?
සතියටත් ගමනකට
හැත්තෑව පනිනවා
අතරමග කෝච්චියෙ
පැය ගණන් ගෙවෙනවා
මගදි තව කරදරලු
නඩේ මග හැරෙනවා
මොකට වද විඳිනවද
මෙහෙත් බණ තියනවා
අනුරාධා නිල්මිණි ගේ "මදහසක මැදියම" නම් කාව්‍ය සංග්‍රහයේ එන ලොකු එකාගෙ ලියමන නම් මේ කවි පෙළ ඔබේ රස වින්දනය සඳහා අද ගෙන එන්නට මා අදහස් කලේ ඇගේ ප්‍රබන්ධය කියවීමෙන් මා සිත ජනිතවූ කම්පනය ඔබ සමග බෙදා ගන්නටය. මේ කවි පෙළෙන් පැහැදිලිවම කියැවෙන්නේ අද අපේ රටේ රාජ්‍ය සේවකයාගේ ඛේදවාචකය නොවේද? මියෙන්නට පෙර දඹදිව සිද්ධස්ථාන වැඳ පුදා ගැනීම එකම ප්‍රාර්ථනය වූ සිය මවගේ ඉල්ලීම හමුවේ අසරණ වන ඔහු තරමක තද ස්වරයෙන් ලිපිය ලීවද මෙය ලියන්නට හිත හදාගන්නට ඔහු කෙතරම් සිතින් හඬන්නට ඇත්දැයි නොසිතේද?