Friday, December 28, 2018

දොළේ ගෙදර.

ඇල්. ඩී. මැන්දිස් නම්වූ සාහිත්‍යකරුවා හේතුවෙන් දකුණේ රජ්ගම පුරවරයට ආසන්න වැවදෙනිය නම්වූ කුඩා බිම් කඩ රටේම ප්‍රකට විය.  එහෙයින්ම ඔහු හැඳින්වුණේ වැවදෙණියේ ඇල්. ඩී මැන්දිස් යනුවෙනි.  ඔහු විසින් රචිත නවකතා රැසක් අතුරින් " දොළේ ගෙදර" තවත් එක සිත්ගන්නා නවකතාවකි.  අද අපි එයින් කොටසක් කියවමු.
                                                                           ---------
වත්ත මායිමේ තිබෙන ගල් ළිඳෙන් රුවිතන් වතුර නාමින් සිටියේය.  

මේ ගල් ළිඳ පිහිටා තිබෙන්නේ වල්ලඹ ගොඩටත් දොළේ ගෙදර ඉඩමටත් මායිම් වන තැනකය.  මට මතක ඇති කාලයේ සිටම මේ ගල් ළිඳේ වතුර නෑවේ වල්ලඹ ගොඩේ ගැහැනුන් හා පිරිමින්ය.  ඒ මිනිසුන්ගේ අදහසේ හැටියට ළිඳ වල්ලඹ ගොඩට අයත් වුවකි.  එහෙත් කාලාන්තරයක් තිස්සේ සම්ප්‍රදායක් වශයෙන් පැවත ආ මේ අයිතිවාසිකම් භින්න කර දමන ලද්දේ දොළේ ගෙදර බාලම්මාගේ බලපුළුවන්කාරකමේ පරාක්‍රමයෙනි.

දිනක් වත්තේ ඇවිද ගෙන බාලම්මා ගල් ළිඳ ළඟින් යද්දී වල්ලඹ ගොඩේ කෙල්ලෝ කීප දෙනෙක් එහි වතුර නාමින් සිටියහ.  කුමාරකන්දේ ජාඩි කඩයක ඇති ජල පීප්පයක් මෙන් එතැනින් පෙරළෙමින් සෙක්කුපළ පැත්තට ගිය බාලම්මා දුටු විට කෙල්ලන්ට සිනා පහළ වී තිබිණි.  බාලම්මා කොතෙකුත් ඇවිදින්නේ උන්දැ ඇඳ ඇති මඩකලපු කම්බාය දණිස්සෙන් උඩට උස්සාගෙනය.  හින්නි ගුරේගේ යක් බෙර කඳ වැනි තඩි කලවා දෙක කාට පෙනුණත් උන්දෑට කමක් නැත.  හැබැයි එය දකින කෙනෙකු යම් විදියකින් වැරදිලා වත් හිනා වුණොත් එදාට සිදුවන්නේ මහත් කන්දොස්කිරියාවකි.  උන්දෑ එදාට ඉර බහින තුරුම වල්ලඹ ගොඩේ ගෑනුන්ට බැණ වදින්නීය.

ඇරත් චණ්ඩියෙකු මෙන් රෙදි පොට උස්සා ගෙන බාලම්මා කොතෙක් ඇවිද්දත් අපට කමක් නැත.  ඊටත් වඩා අපූරුව නම් උන්දෑගේ ගමන් විලාසයයි.  තඩි කලවා දෙක එකට නො ගෑවෙන පරිදි වග බලා ගනිමින් උන්දෑ ගමන් කරන විට කෙනෙකුට පෙනෙන්නේ උන්දෑ ගාට ගාටා ගමන් කරන සැටියකි.  අනෙක් ගැහැනුන් මෙන් ක්‍රමානුකූල පාද තැබීමක් උන්දෑට පුරුදු නැත.  උන්දෑ එක පයක් පෙරට තබා අනෙක් පාදය ඔසවා ගන්නේ මහත් ආයාසයක් දරමිනි.  එසේ ඔසවා ගන්නා ලද පාදයක් අනෙක් පාදයට සමාන්තර වන පරිද්දෙන් තබා ගන්නට උන්දෑට බැරිය.  ඉලක්කය වැරදීම නිසා නිතරම ඒ පාදය තැබෙන්නේ අනෙක් පාදය තබන තැනට වඩා ඈත් වීමෙනි.  ඔයින් මෙයින් බාලම්මාගේ ගමන රිල්ලඹ මූදු වෙරළේ කකුළුවෙකුගේ ගමන වැනි යැයි මට සිතේ.

එදා බාලම්මා සෙක්කුපළට යෑම සඳහා ගල් ළිඳ පසු කළාය.  වතුර නෑමට පැමිණ සිටි කෙල්ලන් උන්ගේ රෙදි උනා දමා තිබුණේ ළිඳ අයිනේ වැටී තිබූ අඩි පාරේමය.  ඇතැමකු රෙදි වනා තිබුණේ පාර අයිනේ වූ කැප්පෙටියා පඳුරු මතය.

පාරේ තිබුණු රෙදි නොපෑගෙන පරිදි බාලම්මා අයිනට වී ළිඳ ළඟ අනෙක් ගලකට අඩිය තැබුවාය.  ඒ ගල පෙඳ සෙවෙල් සහිත එකකි.  පාදය ගල මත ලිස්සා යත්ම, මිනීමස් පර්වතයක් වැනි සිරුර මෙල්ල කර ගැනීමට උන්දෑට නුපුළුවන් විය.  පළමු කොට බිම ඇනුණේ රබානක් මෙන් පුළුල් වූ උන්දෑගේ සට්ටම් දෙකයි.

කෙල්ලන්ට හිකිහිකි ගා සිනා ගියේ බාලම්මාගේ කටින් පිටවූ කෙඳිරිය නිසා නොවේ.  උන්දෑගෙන් පිටවූ වාතයටය.  ඒ වාතය ද පිට වුණේ තරමක ශබ්දයක් නංවමිනි.

අමාරුවෙන් සිනාව මැඩ ගත් කෙල්ලෝ ඉදිරියට පැන බාලම්මා ඔසවා වැටී සිටි තැනින් කෙළින් කළහ.  උන්දෑ කෙළින් වෙද්දී තව වාතයක් පිට විය.  කෙල්ලන්ගේ හිකිහිකිය කැකිරි පලන සිනාවකට පෙරළුණේ එවිටයි.

" නොදකිං විතරක් දෙහි පැළ හැදෙන හැටි.......?" කියා බැණබැණ බාලම්මා සෙක්කුපළ දෙසට ගියාය.

දොළේ ගෙදර බාලම්මාගේ බලපුළුවන්කාරකම් වල්ලඹ ගොඩේ ගෑනුන් පිළිගන්නා එක ඇත්තකි.  එහෙත් බාලම්මාගෙන් ගිය වාතයේ හඬට යම්තම් වත් සිනා නොවී සිටින්නටත් උන්ට පුලුවන්ද?  සිනා වීමට වත් ගමේ ගොඩේ කෙල්ලන්ට අවසර තිබිය යුතුය.

සෙක්කුපළේ සිට පෙරළා එන ගමනුත් බාලම්මා වල්ලඹ ගොඩේ ගෑනුන්ට නොසෑහෙන තරම් එදා බැණ වැදුණාය.

" මීට පස්සෙ තොපට නොවෙයි ඔය මකර කටේ නාන්න දෙන්නෙ.....ඔය ළිඳ ළඟ තියෙන කෑල්ල මගේ බොලව්.....තොපි හිතාගෙන හිටියෙ වල්ලඹ ගොඩේ ඈයින්ට තෑගී ඔප්පු දීලයි කියලද?  හෙටම ළිඳ වට කරල කටු කම්බි ගහනවා.....එහෙනං.....?

බාලම්මා එදාම රුවිතන් ලවා ගල් ළිඳ වට කොට කටු කම්බි ගැස්සුවාය.  එහෙත් එදා රෑම කටු කම්බි කපා දමා තිබිණි.  ඒ වැඩේ කරන ලද්දේ රුවිතන් විසින් ම බව බාලම්මා දැන ගත්තේ ඊට මාසයකට පමණ පසුවයි.  එවකට ඇගේ කේන්තිය තුනී වී ගොස් තිබුණු නිසා ඈ ඔහුට බැණ වැදුණේ නැත.

රුවිතන් මේ කියන දවසේ වතුර නාමින් සිටියේ ඔය තරම් සමාජ ඉතිහාසයක් සහිත ගල් ළිඳ ළඟයි.  රුවිතන් අලුත් පන්නයට කොණ්ඩය කැපු මිනිහෙක් නොවේ.  ගැහැනියක මෙන් ඔහු කොණ්ඩය බඳී.  ඔහු එය ලිහා පිට දිගට දමා ගන්නේ වතුර නාන විට පමණකි.

බාලම්මා දුටු හැටියේ ම රුවිතන් කලබල සහිත විය.

" හාමිනේ, මේ පාන්දරින්ම....?"

" සෙක්කුපළට යනව නේ බොල....කිරිබයියට මම ඊයෙ හවස කිව්ව අද එළි වෙන කොටම සෙක්කුව බඳින්නයි කියා....අද තියෙනව පොල් වඩි තිහක් විතර හිඳ ගන්න....ඕකා සෙක්කුපළට තාමත් ආවද....තලා කකුළුවො අල්ලන්න රිල්ලඹ ගිහිල්ලද දන්නෙත් නෑ.....?

" කොච්චිවත්තෙ බන්දුපාලත් එක්ක උදෑහැන මේ පැත්තෙ යනව බලාගෙනයි....ගියේ නං සෙක්කුපළට තමයි......"

" ඒ වුණාට ගිහිං බලන්න ඕනෑ....."

බාලම්මා අඩි කීපයක් පෙරළිපෙරළී ඉදිරියට ගියාය.  යමක් හදිසියේ අමතක වී නැවත එය මතක් වූ කලක මෙන් ඊළඟට නැවතුණාය.

" රුවිතාන්...."

" ඇයි හාමිනේ...."

" උඹ අද ඔක්කොම හරකුන්ගෙ කිරි ගත්තද....?

" ඔව්...."

" රතු එළදෙනගෙත්....."

" රතු එළදෙන කිරි වරල....ඇයි මම පෙරේද හාමිනේට කිව්වෙ....?"

" කොහොමද බොල රතු එළදෙන කිරි වරන්නෙ....? දැනුත් මම එද්දි පැටිය කිරි බිබී හිටියෙ....පැටියට බොන්න කිරි තියෙනවා නම් දොවාගන්න මොකද කිරි නැති වෙන්නෙ.....උඹට ඕනෑ රෑ පාන්දරින්ම ඉස්නානෙ කොරන්න විතරයි.....තොට බොල මී හරක් ගිනියමද..... මේ උඳුවප් මහ දුරුත්තෙ නාන්නෙ.....? මට හිතෙනව මන්නෙයක් අරගෙන තොගේ ඉස්තිරි ආබරණෙ කපල දමන්න....."

බාලම්මා "ඉස්තිරි ආබරණෙ" යැයි කියන්නේ රුවිතන් ගේ කොණ්ඩයටයි.  කේන්ති ගිය විට තුන්හතර වරක් ම මේ "ඉස්තිරි ආබරණය" මතක් කොට රුවිතන්ට බැණ වැදීම උන්දෑගේ සිරිතකි.

බාලම්මා මොර දි දී ම සෙක්කුපළ දිහාවට ගියාය.  හඬ හීන වෙත්ම උන්දෑ වල්ලඹ ගොඩේ රෙදි සෝදන තොටුපළ පසු කොට ඇති බව රුවිතන් දනී.

" ඇයි ඔය ජෝඩුවම වළ පල්ලෙ යනකොට සෙක්කුව, කුරුඳු වාඩිය, හරක් පට්ටි ඔක්කෝම මිනී පෙට්ටියෙ දමාගන්නව නේ ......"  රුවිතන් කට යටින් කොඳුරමින් ද, ගොරවමින් ද, සරම හැඳ ගත්තේය.  ඔහු එදා වතුර නෑවේ වෙනදා නාන තරමින් අඩකි.

සෙක්කුපොළේ සිට එන ගමන් බාලම්මා කුරුඳු වාඩිය ද පසු කළාය.

වතුර නාපු නිසා තෙත් වී ගිය කොණ්ඩය ලිහා පිට දිගේ දමා ගෙන රුවිතන් සිටියේ අව්ව තපිමිනි.  බාලම්මා දුටු හැටියේම ඔහු තිගැස්සී නැගිට්ටේය.

" ඇයි යකෝ රතු එළදෙන දෙවිය ද? හරකුන්ට පුන්නක්කු දුන්නද...."

" ඔක්කොම කොළා........කඩවලට කිරිත් බෙදල ඇවිල්ලයි මම වතුර නාගත්තෙ........"

" කෝ මුදලාලි......?"

" වැවදෙණිය පැත්තට යනව බලා ගෙනයි...."

" කත්තිරිනට කියල වත්තෙ පොල් අතු ඇහිඳවලද ගියේ......?"

" වෙන්න ඇති...."

" මේ බලාපං මිනිහෝ, මේ වාඩිය වටේට තියෙන ගොටුකොළ සම්බාරේ......මඟුල් ගෙදරවල් පහකට ඇති....තොට බොල හෙණ ගහලද මෙයින් ටිකක් ගලවල ගොහිල්ල අර කත්තිරිනට දෙන්න බැරි.....? මට හිතෙනව උඹේ ඉස්තිරි ආබෙරණෙට හොඳ වැඩක් කරන්න......."

දාස් කංකානම ඇතුළු පිරිස කුරුඳු හන්දි කරන දිහා ටික වේලාවක් බලා සිටි බාලම්මා ගෙදර පැත්තට හැරුණාය෴

 ( දොළේ ගෙදර, වැවදෙණියේ ඇල්. ඩී මැන්දිස්. 2007 . බෙදා හැරීම: සූරිය ප්‍රකාශකයෝ.)

Wednesday, November 21, 2018

සෝමාවතියේ වල් අලි සමග.


මගේ වනගත දිවිය ආරම්භ වුයේ සෝමාවතී වනාන්තරයෙන්ය.  ඒ දැනට වසර ගණනකට පෙර එනම් 1980 වර්ෂයේ මැද භාගයේ රජයේ වැඩ වර්ජකයෙකු ලෙස මා තිකුණාමලය දිස්ත්‍රික්කයේ සිරිමංගලපුර කැලෑ ගම්මානයට පැමිණීමත් සමගය.  අල්ල කන්තලේ මාවතේ විසිඑක්වන සැතපුම් කණුව අසල පිහිටි මේ කුඩා ගම්මානය ගෙවල් 25 කින් පමණ සමන්විත විය.  දරිද්‍රතාවේ අන්තයට පත්ව සිටි මෙගම වැසියන්ගේ එකම ජීවනෝපාය වුයේ හේන් ගොවිතැනය.  මහ වන මැද ගලා බසින මහවැලි ගංගාව මායිම් කරගත් සෝමාවතී වනාන්තරය සැතපුම් එකොළහකට වැඩි දුරක් එක යායට පැතිර අවුත් සිරිමංගලපුර කැලෑගම හතර වටින් වටකරගෙන බලා සිටියේය.  ගමට තිබුණු එකම පොදු සම්පත වුයේ කුඩා පාසල් ගොඩනැගිල්ලක් හා පන්සලක් පමණකි.  ග්‍රාමසේවක මහතා විසින් තම නිවසේ ම පවත්වාගෙන ගිය පුංචි සිල්ලර කඩය ගම්මුන්ගේ එදිනෙදා පාරිභෝගික අවශ්‍යතාවන්ට මග පාදා දුන්නේය.

මා සිරිමංගලපුරට සම්ප්‍රාප්ත වුයේ කිසිදු නිශ්චිත අරමුණක් ඇතිව නොවේ.  එහෙත් ඊට දස වසරකට පෙර එක්තරා දිනයක සෝමාවතී වනාන්තරයේදී මා ලත් සුන්දර අත්දැකීමක් ඒ වන විටත් මගේ සිත තුළ තැන්පත්ව තිබුණේය.  අමරණීය සිහිවටනයක් සේ එය අදටත් මා සිතුවිලි නිරතුරු දෝලනය කරවයි.

ඒ 1969 වර්ෂයේ අග භාගයයි.  එකල සිරිමංගලපුර කියා ගම්මානයක් බිහිවී නොතිබුණේය.  මහවැලි ගඟේ සිට කල්ලාර් පාලම දක්වා වූ ප්‍රදේශය එකම ගන වනාන්තරයකි.  අල්ල- කන්තලේ මාවත අත්පසුරෙන් ගත් ඒ මහා වනාන්තරය දිවා කල පවා රැහැයියන්ගේ නොනවතින රාවයෙන් පණ පෙවුණේය.  එහි මනරම් සිරිය රස විඳිනු රිසි මම දිනක් උදේ නවයට පමණ මේ මාවත දිගේ ඉදිරියට ගමන් කළෙමි.  ඒ වන විට මහවැලි ගඟ හරහා නව පාලම ඉදිවී නොතිබුණේය.  අල්ල- කන්තලේ පාරේ යන එන වාහන ගඟින් එගොඩ මෙගොඩ වුයේ පාලම් පාරුවක ආධාරයෙනි.  ලංකාවේ පැරණි ගමනාගමන රටාවේ ඓතිහාසික කඩඉමක් සටහන් කළ ඒ දුර්ලභ පාලම් පාරුතොට හෙවත් කන්ද උඩරට රජුගේ කොට්ටියාරම් තොටුපොළ සියැසින් දැක බලාගැනීම එදා මගේ අපේක්‍ෂාව විය.

තුරු සෙවණින් අඳුරුවූ මාවත දිගේ මම සෙමෙන් සෙමෙන් බයිසිකලය පැදගෙන ගියෙමි.  පාර දිගට අලි වසුරු විසිරී ඇත.  මදු මී සොයන සමනල් රංචු වනමල් ගොමු පසෙක ලා අලුත හෙලු අලි වසුරු පිඬු මත වසාගෙන රොන් සාර උරා බොති.  සුදෝසුදු ඒ පුංචි සමනල විශේෂය වියළි කලාපීය වනාන්තරවල සුලබව දැකගත හැකිය.  මල් පෙති සුළඟේ විසිරෙන්නාක් සේ ඔවුහු එකවර පාරෙන් ඉහළට ඉගිළෙති.  යළිත් පහළට බසිති.  ගජ මදපොළ තෙමෙන අමරසින් මී මැස්සන් මනදොල පුරද්දී සමනලුන් පමණක් වසුරු සරට පෙම් බඳිමින් අලි ඇතුන් සරන මංමාවත් වල ගිමන් පැතීම ස්වභාවධර්මයේ තවත් ආශ්චර්යයකි.

ඉද්ද ගැසුවාක් සේ සෘජුව විහිදෙන මාවතේ ඈත ඉදිරියෙන් ට්‍රැක්ටරයක් එනු පෙනිණ.  රෑහියන්ගේ නාදය යටපත් කරවමින් ට්‍රැක්ටරයේ ගොරහැඩි හඬ කෙමෙන් කෙමෙන් මගේ සවනත අගුළු දැම්මේය.  පාර හරහා කලබලයෙන් ඔබ මොබ පැන දුවන මොනරුන්ගේ දසුන මා නෙතට රස පහසක් විය.  වනයේ නිසසල බව දෙදරවමින් පැමිණි ට්‍රැක්ටරය මට අභිමුඛ විය.

" යන්න එපා! පාරේ ඉස්සරහ අලි ඉන්නවා."  ට්‍රැක්ටරයේ හඬ බාල කරමින් රියැදුරු මා දෙස බලා විස්මයෙන් පැවසීය.

" ආහ්! ඇත්තද? බයිසිකලය පාර අයිනේ නතර කර වම්පාදය සරුසාර තණ බිස්සක් මත තබාගෙන මම පිළිවිසීමි.

ට්‍රැක්ටරයේ තවත් තිදෙනෙක් වුහ.  ඔවුන් කොහේදෝ හොර ගමනක් ගොස් එන බව පැහැදිලිය.  නීතිවිරෝධී දව ජාවාරම් කරුවන්ට අල්ල- කන්තලේ මාවත පාරාදීසයකි.  සිත්තාරු ප්‍රදේශයෙන් සෝමාවතී වනාන්තරයට ඇතුළු වන ඔවුහු හිතේ හැටියට වනපෙත වනසති.  මාවත හුදෙකලාය.  අද මෙන් නොව එකල දිවා කාලයේ වුව මේ මාවතේ වාහනයක් ධාවනය වුයේ එහෙමත් දවසකය.  අමුත්තන් පාරේ ගැවසෙන දර්ශනය ජාවාරම් කරුවන්ට රුස්සන්නක් නොවේ.  එහෙයින් නැති අලි ගැන බොරු බේගල් ඇද බාමින් ඔවුහු අමුත්තන් බියපත් කරවති.

ට්‍රැක්ටරය මා පසුකර ගිය ඉක්බිති මම යළිත් ගමන් ආරම්භ කළෙමි.  අල්ල- කන්තලේ පාර දෙපස නිරාවරණ වගුරු බිම් එමට ඇත.  ඊසානදිග මෝසම් වැසි ඇද හැලෙන සමයට මහවැලි ගඟ උතුරා පිටාර ගැලීමෙන් මේ වගුරු බිම් සියල්ල ජලයෙන් යට වෙයි.  වේගවත් ජල කඳ වනපෙත දෙදරවමින් අල්ල- කන්තලේ මාවතද වසාගෙන ඔට්ටුව, පච්චනුරුව, කින්නියා හා මුතුර් ප්‍රදේශය ඔස්සේ කොට්ටියාරම් මුහුදු බොක්ක බලා ඇදී යන ඒ ගමන සුන්දරය.  එසේම බියකරුය.  වියළි සමයට දිය සිඳීී යන මේ වගුරු බිම් සාරවත් තෘණතලා බවට පත්ව අලි, මුව, ගෝන වන සිවුපාවුන්ට යහමින් ගොදුරු සපයා දෙයි.  අල්ල- කන්තලේ මාවත දෙපස බිම්තීරයේ ස්වභාවසෞන්දර්යය ඔප්ගැන්වීමට මෙම කාලීන වර්ෂා සෘතුව සෘජුව බලපායි.  වියළි සමයේ වුව සෝමාවතියේ වල් අලින්ට ආහාර හිඟ නොවන්නේ මහා වාලුකා නදිය හා වෙළී පවතින මේ සුවිශේෂ වූ පාරිසරික ක්‍රියාදාමය නිසාය.

උදා හිරු එළියේ බැබළෙන වියළි වගුරු තැනිතලා මොනරුන්ගේ කෙළිමඬලක සිරි ගත්තේය.  මාවත අද්දර පඳුරකට මුවා වන සේ බයිසිකලය නතර කර ගන්නා මම මිනිත්තු කීපයක් ගතවන තුරු ඒ මොණර ගත රුව ලෙළෙන රංගන දෙස බලා සිටීමට අමතක නොකළෙමි.  කන්ද උඩරට රජුගේ සිරකරුවෙකු ලෙස අත්අඩංගුවට පත් රොබට් නොක්ස් මුතූර් ප්‍රදේශයේ සිට මහනුවරට රැගෙන යනු ලැබූ පැරණි ගමන් මාර්ගයේ මම දැන් හුදෙකලා වී ඇත්තෙමි.  නොක්ස් සිය ඓතිහාසික  ග්‍රන්ථයේ සඳහන් කර ඇති පරිදි ඒ යන ගමනේදී රාජ පුරුෂයන් විසින් පහසුවෙන්ම මුවන් විද මරා ආහාරයට මස් ලබාගන්නා ලද්දේ මේ එළිමහන් වගුරු පිට්ටනිවලදී බවට සැකයක් නැත.  ඒ සුන්දර දසුන් අල්ල- කන්තලේ මාවත දෙපස වනාන්තරයේදී අදටත් දැකගැනීමට ලැබීම අපේ වාසනාවකි.

ගමනේ සැතපුම් පහක් ගෙවූ මම සිත්තාරු වනගත ප්‍රදේශයට පැමිණියෙමි.  මූතූර් සිට සෝමාවතී වනාන්තර අභ්‍යන්තරය දක්වා වැටී ඇති අප්‍රකට කරත්ත පාර අල්ල පාර හරහා විහිදෙන්නේ සිත්තාරු වගුරු කලාපයේදීය.  මේ ප්‍රදේශයේ සෝමාවතියේ වගුරු, අලින්ගේ නිදහස් සැරුම් කලාපයකි.  එසේම උන්ගේ ජනප්‍රිය ගොදුරු බිම් රාශියක් මෙහි පිහිටා ඇත.  එබැවින් පාර දෙපස වනාන්තරයේ ජීවත්වන අලින්ට කරත්ත පාර හොඳ මංකඩකි.  ඔවුහු ඒ ඔස්සේ පැමිණ අල්ල- කන්තලේ මාවතට පිවිසෙති.  මඳක් ගිමන් නිවාගනු රිසියෙන් මම බයිසිකලය පාර අද්දර ගසකට හේත්තු කර තබා විඩාපත් දෙපා දිගහැර තාර පාර මැද වාඩි වුණෙමි.  මගේ වම් පසෙන් ඇති සුවිසාල කෝන් ගස පාරට සිසිල් සෙවණ ගෙන දුන්නේය.  නිරන්තරයෙන් අලි ඔබ මොබ සැරීම හේතුවෙන් පාර දෙපස තණ තීරුව යහමින් තැලී පොඩිවී තිබිණ.  අව්වට වියැලෙමින් කැකෑරෙන අලි බෙටිවල පුසුඹ රැගත් පවන් රැලි මගේ ගත දැවටෙයි.  වනගත පවසට ලොබ බැඳි පිරියෙන් නාස්පුඩු තවතවත් ඊට සංවේදී වෙයි.

සිත්තාරු වෙට්ටය පිහිටා ඇත්තේ මගේ වම් පසෙන් ඇති වනාන්තරය තුළය.  තාර පාරේ සිට ඊට ඇත්තේ මොණර විලාපයක හඬ පැතිරෙන දුරකි.  ඒ නිසාමදෝ මොනරුන්ගේ උස් හඬ ශබ්ද වරින්වර වනාන්තරයට ඉහළින් නිදහසේ පාවී ආවේය.  වෙට්ටයේ අලි ගැවසෙන බවට එය හොඳ සංඥාවක් විය.  මොණර නාදය මගේ සිතුවිලි එක්වරම වෙනස් කළේය.  වෙට්ටයේ අලි නැරඹීමේ ආසාවක් මට ඇතිවිය.  අද මෙන් එදත් වන සරනියකදී දෙවරක් කල්පනා කිරීම මගේ සිරිත නොවීය.  ඇසෙන දේ දැකීමටත් දකින දේ නැරඹීමටත් ක්‍ෂණිකව මා සිත පෙලෙඹෙයි.  අන්තරායේ බිය වැඩි තරමට එයින් ලබන තෘප්තියේ මිහිරියාව උත්කෘෂ්ට බව මම අත්දැකීමෙන් දනිමි.  එහෙයින් තනිපංගලමේ වනාන්තර තුළ ඇවිදීමට මම වඩාත් කැමැත්තෙමි.  ඒ මන්ද ස්වශක්තිය පිලිබඳ විශ්වාසයෙන් යන ගමනකදී ප්‍රතිවිරෝධතා මතුවීමට ඇති අවස්ථා එමගින් අවම කරගත හැකි බැවිනි.  එක් දිවක් ඇති තැන හඬ නිහඬය.  දිව දෙකක් ඇති විට හඬ ගැඹුරුය.

බයිසිකලයේ නැගුණු මම කරත්ත පාර දිගේ වනාන්තරය තුළට පිවිසුණෙමි.  අලින්ගේ පා පහසින් ඔප මට්ටම් වූ මැටි පාර බයිසිකලයේ ගමනට පහසුවක් විය.  එහෙත් මගේ නෙත් කන් නිරන්තර විමසිල්ලෙන් තබා ගැනීමට මම අමතක නොකළෙමි.සැතපුම් කාලක් පමණ මෙසේ යන විට කැලෑ පාර ඉදිරියෙන් සෙමෙන් එන ට්‍රැක්ටරයක හඬ ඇසෙන්නට පටන් ගත්තේය.  කැලෑ ගමනකදී වනසතුන්ට වඩා අප බිය විය යුත්තේ වන සරන මිනිසුන්ටය.  වනසතාගේ බාහිර චර්යාව කෙරෙහි විශ්වාසයක් තැබිය හැකි වුවත් මිනිසාගේ නිහඬ ඉරියව් නිරන්තරයෙන්ම සැක කටයුතුය.  එහෙයින් මගේ සිතේ සියුම් බියක් ඇති විය.  ට්‍රැක්ටරය මා ඉදිරියට එමින් තිබෙන බව පැහැදිලිය.  ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ මම සුදුසු ඉසව්වක් බලා බයිසිකලයත් තල්ලු කරගෙන පඳුරු ගොමු අතරින් වනාන්තරය තුලට රිංගුවෙමි.  වනසතුන් යන එන කුඩා අඩිපාරක් ඔස්සේ කඩිමුඩියේ පැන ගිය ඒ ගමන ඉතා දුෂ්කර විය.  කරත්ත පාරෙන් අඩි හතලිහක් පමණ ඔබ්බට ගිය මම පඳුරුවලට මුවාවී දණ බා බිම වාඩි වුණෙමි.

එම ස්ථානයේ කැලෑව වෙලං ගස්වලින් සමන්විත වී තිබුණෙන් පොළොව බිම් ආවරණ පැලෑටිවලින් තොර විය.  එහෙයින් යටි රෝපණ වෙලං කෝටු අතරින් මට යාන්තමට කරත්ත පාර දැක බලාගැනීමට හැකියාව ලැබුණේය.  මෙය ඉතා අවදානම් ක්‍රියාවකි.  පයට පෑගෙන වියළි කෝටු කැබැල්ලක් කැඩී යන හඬක් හෝ පඳුරක කොළයක් සෙලවෙන ඡායාවක් හෝ දුටු සැණින් වනසතෙකැයි සිතා මා කවුරුන්ගේ හෝ වෙඩි පහරකට ගොදුරුවීමට ඇති ඉඩකඩ වැඩිය.  ගිනි අවි ගෙන කැලේ සැරිසරන නොමිනිසුන්ගේ අවිචාරවත් ස්වභාවය එයයි.  ඒ අවදානම ශක්තියක් කරගත් මම ඇසිපිය නොසලා නිසොල්මනේ පඳුරු අස්සෙන් එබී පාර දෙස බලා සිටියෙමි.  ට්‍රැක්ටරය මා ආසන්නයට ලඟා වන මොහොතක් මොහොතක් පාසා මගේ හදවතේ ගැස්ම වැඩිවිය.  තුවක්කුකරුවකු නිතැතින්ම ට්‍රැක්ටරයේ සිටින බව මම දනිමි.

ඉතා සෙමෙන් ධාවනය වූ ට්‍රැක්ටරය මා සැඟව සිටි ස්ථානය පසුකර ඇදී ගියේය.  එහි ටේලරයේ උසට ගොඩ ගැසූ ඉරුම් දැව තොගයක් සමග ඒ මත වාඩිවූ අමතර මිනිසෙක් ද සිටියේය.  සැණෙකින් දම්වැල් ගැටෙන හඬක් ඇසිණ.  මම මවිතයට පත්වීමි.  ට්‍රැක්ටරයට පිටුපසින් එන අලියෙකි.  තලප්පාවක් හිස රැඳි ඇත්ගොව්වා හෙණ්ඩුව රැගෙන අලියා සමග පයින් ගමන් කරයි.  අලියාගේ ගෙලේ ලු දම්වැල් පට උගේ ගමනේ රිද්මයට අනුව වරින්වර එකට ගැටේ.  සෝමාවතී වනාන්තරයේ හොර දැව ජාවාරම කොපමණ නිදහසේ සිදු කෙරෙන්නේද යන්න සිතාගැනීමට මේ අලියා කදිම උදාහරණයක් විය.  ඌ කොට අදින අලියෙකි.  අල්ල- කන්තලේ මාවතේදී මට මුණගැසුණු ට්‍රැක්ටර්කරුගේ අලි කතාව මට මතක් විය.  ඔහු මේ නඩයේම සගයකු වුවාට සැකයක් නැත.

වනපෙත නිහඬ වන තුරු තවත් මිනිත්තු කීපයක් සැඟව සිටි මම බයිසිකලය ද රැගෙන කැලෑව තුළින් එළියට පැමිණියෙමි.  අමුතු වෙනසක් දැනී මම බයිසිකලය පරීක්ෂා කර බැලුවෙමි.  එහි පසුපස රෝදයේ හුළං බැස තිබුණේය.  වියළි මඩ සහිත පාරේ බයිසිකලය පැද එනවිට උලක් හෝ මුලක් ටයරයේ ඇනෙන්නට ඇතැයි මට සිතිණ.  සිත්තාරු වෙට්ටයේ අලි නැරඹීම අමතක කළ මම බයිසිකලයත් තල්ලු කරගෙන පයින්ම ආපසු සෝමපුර බලා එන්නට තීරණය කළෙමි.

මා අල්ල- කන්තලේ මාවතේ දාහත් වෙනි සැතපුම් කණුව අසලට ලඟා වුවා පමණි.  වනයේ නිහැඬියාව බිඳිමින් එක්වරම මොනරෙක් විලාප තැබීමට පටන් ගත්තේය.  ඒ හඬින් මා හද කොපමණ චංචල වී ද යත් ජීවිතයේ ප්‍රථම වතාවට හුදෙකලාව පිලිබඳ බියක් මට දැනුණේය.  කන් අඩි දෙදරවූ ඒ බියකරු මොණර විලාපය නැගුණේ මා සිටි ස්ථානය ආසන්නයෙන්ය.  උස් පලු ගසක් මුදුනේ වියළි අත්තක් මත වසා සිටි මොනරා මගේ නෙත ගැටිණ.  පිල් කළඹ හකුලාගත් ඌ ගෙල දිගු කරගෙන විස්මයෙන් මදෙස බලාසිටී.  ඒ මගේ ඉෂ්ට දේවතාවා විනැයි මම කිසිසේත් නොසිතුවෙමි.  කෙසේ වුවත් මොනරාගේ සංඥාව අන්තරායක සලකුණක් සේ සලකා මම වටපිටාව දෙසට නෙත් යොමු කළෙමි.

වෙඩිල්ලක දුර ප්‍රමාණයක් එපිටින් පාර අද්දරින් පඳුරු සලිත වන බවක් පෙනිණ.  හිටි තැනම නතර වී සිටි මම වඩාත් විමසිල්ලෙන් එදෙස බලා සිටියෙමි.  ඒ අලි රංචුවකි.  බයිසිකලය පාර අයිනේ තණ ගොමුව මත පෙරළා දැමු මම හනික ගස් කඳක ආවරණය ලබා ගත්තෙමි.  අලි රංචුවේ ප්‍රතිචාරය මත මගේ ප්‍රතික්‍රියාව කෙසේ විය යුතුදැ'යි කල්පනා කරමින් මම සෑහෙන වේලාවක් එහි සැඟව සිටියෙමි.  එකී කාලය තුළ මගේ නෙත් අලි රැළ වෙතින් ඉවතට ඇදුණේ නැත.

පාරත් කැලෑවත් අතර එළිමහන් බිම් තීරය ඉතා පටු වුවද එහි ගිනිතණ සරුවට වැඩී තිබුණේය.  එක්වරම තණ පඳුරු බිඳගෙන අලි දෙදෙනෙක් එළිමහනට කඩා වැදුණාහ.  උනුන් එකිනෙකා හොඬවැල් පටලාගෙන අමුතු රංගනයක යෙදී සිටින බවක් පෙනිණ.  එය මට අලුත් අත්දැකීමක් වුයෙන් නිසොල්මනේ මම උන් දෙදෙනා දෙස බලා සිටියෙමි.  ඒ අලින්ගේ ආලයේ ලීලයක් බව වටහා ගැනීමට මට වැඩි වේලාවක් ගත නොවීය.  ඒ මද මත් අලියා සිය පෙම්වතිය රැහෙන් ඉවතට තල්ලු කරගෙන ආවේය.  සෙසු අලි නිදහසේ ගොදුරු බුදින අතරෙහි ඔවුහු හුදෙකලා වුහ.  දපනෙහි වෙළී ඉහළට එසැව තිබුණු හොඬවැල් කුම්බස්ථල මත හැකිලෙද්දී උනුන් මුව ලවන් එකිනෙක අතරෙහි මිරිකෙන්නට පටන් ගත්තේය.  අලි පෙමක රඟ බලව! රට රාජ්‍යයන් විජයග්‍රහණය කළ ජුලියස් සීසර් ක්ලියෝපැට්රා ඉදිරියේ දණ නමන විට ඔහුගේ අභිමානවත් දෙනෙත් අසරණව අඩවන් වුයේය.  තුමුල බල ගිජිඳෙකු පුර හඳට මුළාවූ හා පැංචකු බවට පත්ව ඇතැයි මට සිතේ.  සෙනෙහස සුන්දරය.  බැල්ම අහිංසකය.  මා සිතින් බිය පහව ගියේය.  පෙම්සර පහස ලැබ තෘණ පඳුරු බිම තලා වෙද්දී අලි ගත රුව තවතවත් මා දෙනෙත් ඉදිරියේ නිරාවරණය විය.

මුව ග්‍රහණයෙන් මිදුණු අලියාගේ හොඬවැල ලිහිල් විය.  එහි ස්පර්ශයට ලොල්වූ ඈ පසෙකට හැරුණාය.  වන අරණේ සිසිලස මැද නිස්කලංකව සැතපුණු අල්ල- කන්තලේ මාවත දෙස ඇය බලා සිටියාය.  ඇගේ කුම්බස්ථලයට ඉහළින් අලියාගේ හිස එසවුණේය.  දැවැන්තයින්ගේ රති රඟ පිළිබඳව එතෙක් මා අසා තිබුණු මතයක් දුරුවී ගියේය.  එය අලියා ගිලින දිවුල හා ඇත් සොහොන හා සමාන ම මිථ්‍යාවක් බව මම අත්දැකීමෙන් දැනගතිමි.

තවත් පැයකට පමණ පසුව අලි රංචුව අල්ල-කන්තලේ පාර හරහා මාරුවී සිත්තාරු වෙට්ටය දෙසට ගමන් කළහ.  සෝමාවතියේ අලින්ගේ අභිමානය උන්ගේ ගමන් විලාසය තුළින් මනාව පිළිබිඹු විය.  මොනරාගේ විලාපය නොවන්නට නොදැනුවත්ව ම මා බයිසිකලය රැගෙන අලින්ගේ අබිමුවට යෑමට ඉඩ තිබිණ.  එදා පටන් මා මොනරා සලකන්නේ වනගත කල්‍යාණ මිත්‍රයකු ලෙසය.  වන සැරියේ දී අදත් මා උගෙන් ඉගෙන ගන්නා පාඩම් එමටය.  ඒ හා බැඳි අපමණවත් අත්දැකීම් මා සිතුවිලි නිරන්තරයෙන් උද්දීපනය කරවයි.  වර්තමානය අබිබවා මගේ අතීතය ඉදිරියට ගලා එන්නේ ඒ නිසා විය හැකිය.

1980 වර්ෂයේදී මා දුටු සිරිමංගලපුර කැලෑ ගම්මානය මොනරුන්ගේ පාරාදීසයක්ව තිබුණේය.  හුදෙකලා හේන් යායන්ට ඉහළින් නිදහසේ පාවී එන මොනර නාදයන් සවනත නොවැකෙන රැයක් දවාලක් එගමට නොවීය.  ඒ නිසාම මා සිත වඩාත් ඒ පරිසරයට ඇදී ගියේය.  මොනරුන්ගේ පෙරමග තොරතුරු අනුවයමින් අවට වනාන්තරය පුරා ඇවිදීම මගේ විනෝදාංශයක් බවට පත් විය.  කාර්යක්‍ෂම කැලෑ නඩයක ඇසුර එහිදී මට ලැබිණ.  ගම්මානය කෙළවරෙහි වනාන්තරයට ආසන්නව අපේ හේන පිහිටා තිබුණේය.  එහෙයින් මොනර සිරිය සේ ම සෝමාවතියේ වල් අලින්ගේ නිරන්තර දසුනද අපේ හේන් ජීවිතයට අලංකාරයක් ගෙන දුන්නේය.මේ හේන් නඩයේ වැඩිදෙනෙකු දක්‍ෂ වෙඩික්කරුවෝ වූහ.  වසර තිහකට අධික කාලයක පටන් සෝමාවතී වනාන්තරයේ දඩයම් කළ ජෝන් මාමාගේත් මයිකල් අයියාගේත් ඇසුර නිසා සෝමාවතී වනාන්තරය තුළ නිතර නිතර සංචාරය කිරීමේ අවස්ථාව මට උදා විය.

සෝමාවතී වනාන්තරය අභ්‍යන්තරයේ පිහිටි පවන, කොමනච්චිය, සින්නවිල්ලුව හා කුරිඤ්ඤංමුණේ යන වනගත ප්‍රදේශ ඔවුන්ගේ ප්‍රසිද්ධ දඩබිම් බවට පත්ව තිබුණේය.  මහවැලි ගංගා ඩෙල්ටාවේ අපශාඛා ජාලය මැද පිහිටි පෝෂිත තැනිතලාවකින් අලංකාර වූ මේ බිම් පෙදෙස් වෙත අදත් කෙනෙකුට ලෙහෙසියෙන් ලඟා විය නොහැකිය.  එහෙත් 1930 වැනි ඈත කාලයක පටන්ම ජෝන් මාමලා සෝමාවතී වනාන්තරය තුළ දඩකමින් රජකම් කළහ.  ආශීර්වාදන්, සීරාලන්, පත්තකුට්ටි වැනි ද්‍රවිඩ මිතුරෝ රැසක් ද ඔවුන් හා වන අරණේ සම ඇසුරේ සහජීවනයෙන් කල් ගෙවුහ.  එකල අල්ල-කන්තලේ ගොවි ජනපද ව්‍යාපාරය පවා ආරම්භ වී නොතිබුණේය.එහෙයින් ද්‍රවිඩ- සිංහල මිත්‍රත්වයට හානි ගෙන දෙන බාහිර බලවේග කිසිවක් එදා කොට්ටියාරම් පත්තුවේ නොවීය.  සාමය එහි නිරන්තරයෙන් බැබලිණ.

නැගෙනහිර ප්‍රදේශයට ඊසානදිග මෝසම් වැසි ඇද හැලෙන ජනවාරි මාසයේ එක්තරා දිනයක සිරිමංගලපුරෙන් ගමන් ආරම්භ කළ අපි සිත්තාරු වනගත ප්‍රදේශය ඔස්සේ කොමනච්චිය බලා යමින් සිටියෙමු.  වැසි ජලයෙන් ගොහොරු වූ කරත්ත පාර කැලෑ ගමනකට සුදුසු තත්ත්වයක නොවීය.  අල්ල - කන්තලේ මාවත දෙපස සරුවට වැඩෙන තණගොමුවල රස බැලීමට එන අලින්ගේ පයට පෑගී කැඩී බිඳී යන කරත්ත පාර ඒ වැසි සමයේ මඩ තලපයක් බවට පත්ව තිබුණේය.  මිනිසෙකුට පයින් ගමන් කිරීමට බැරි තරමට පාරේ වලවල් හෑරී ජලය පිරී තිබිණ.  වැසි දියෙන් බරව පහළට නැමෙන ගස්වල අතු රිකිලි අලින්ගේ නිරන්තර ප්‍රහාරයට ගොදුරු වෙයි.  තැන තැන කඩා බිඳ දමා ඇති එවන් අතුවලින් පාරේ අවහිරය තවත් වැඩිවී ඇත.  මේ කුමන බාධක තිබුණද සවියෙන් ද ජවයෙන් ද බලසම්පන්න කින්නියා ගොන් දෙන්නාගේ කරට කරත්තයේ වියගස බරක් නොවීය.  හාල් හා ලුණු මුට්ටාවලට අමතරව මිනිසුන් හය දෙනෙකුගේ බරද කරත්තය දැරීය.  එහෙත් කොළපතක් වැල්ලේ ලිස්සා යන්නාක් සේ පහසුවෙන් ගොන්දෙන්නා කරත්තය ඉදිරියට ඇදගෙන යති.

වැහි වළාකුලින් බර අහස හිරු සඟවා තැබීය.  සිවනාදන් කරත්තය දැක්කයි.  කිසිදු විධානයකින් තොරව ගොන් දෙන්නා සුපුරුදු මාවතේ නිදහසේ ගමන් කරති.  අඩි දෙකකට වැඩි දිගින් ද තියුණු තුඩගින් ද යුතුව සෘජුව ඉහළට වැඩුණු උන්ගේ අං යුගලයන් කරත්තය පැද්දෙන තාලයට හිස මත රුකුල් පදියි.  තණ ඇට සුරන වලිකුකුළන් කරත්තය දැක බියපත්ව හනික දිව ගොස් පඳුරු අස්සේ හැංගිමුත්තන් කෙළින විට පිල්බර මොනරු ශිව දෙවිඳුන්ගේ ගොන් වාහනය දුටු කලෙක මෙන් විස්මයෙන් කරත්තය දෙස බලා සිටිති.

පෙරවරු දහය පමණ වන විට අපි සිත්තාරු වෙට්ටය අසලට ලඟා වීමු.  " වෙට්ටය " යනු ද්‍රවිඩ වචනයකි.  එහි තේරුම "නිසරු තණ පිට්ටනිය" යන්නය.  එනමුදු සිත්තාරු වෙට්ටය වඩාත් සමාන වන්නේ විල්ලුවකට හෙවත් වගුරු වනාන්තර භූමියකටය.  මහවැලි ගඟේ අපශාඛාවක් වන මදුර ආර මහවැලි ඩෙල්ටාව ඔස්සේ ගලා අවුත් මේ සිත්තාරු වෙට්ටය මත සුවිසාල වගුරු බිමක් නිර්මාණය කරමින් එහිම අතුරුදහන් වෙයි.  එහෙයින් සිත්තාරු වෙට්ටය වසරේ සැමදා දියලු වගුරු ජලයෙන් පොහොසත් ය.  අලින්ගේ ජනප්‍රිය ආහාරයක් වන බොරුපන් මෙහි සරුවට වැඩේ.  සෝමාවතියේ වල් අලින්ට යහමින් ගොදුරු සැපයීමට සිත්තාරු වෙට්ටය සමත්වී ඇත්තේ මේ නිසාය.  වගුරු දියේ බැස බොරුපන් බුදින අලින්ගේ දර්ශනය නිසා සිත්තාරු වෙට්ටය හරිම අලංකාර ය.  මහවැලි ගඟ උතුරා පිටාර ගලන සමයට එය වඩාත් දැකුම්කලු ය.  කරවටක් දිය ගිලුණු අලි පුංචන් අලි අම්මලාගේ වල්ගාවල එල්ලීගෙන දිය මත පිහිනා යන රඟ මනරම් ය.

සිත්තාරු වෙට්ටය මැද කරත්තය නතර කෙරිණ.  අපි කවුරුත් හනික විමසිලිමත් වීමු.  ජෝන් මාමා ධ්‍යානයකට සම වැදුණාක් සේ වෙට්ටයේ ඈත කෙළවර දෙස බලා සිටියේය.  අඩසුන් කෙසින් පුළුල්ව ගිය ඔහුගේ නළල් තලය සිය තීක්‍ෂණ දෙනෙතේ දීප්තියට කදිම පසුබිමක් ගෙන දුන්නේය.  ඔහු සතු අඩ සිය වසක වනගත දිවියේ අත්දැකීම් ඒ නෙත් සඟල මත මනාව සටහන් වී තිබේ.  එය තේරුම් ගනු වස් අපි නිරතුරු ඔහුගේ ඉරියව් නිරීක්‍ෂණය කිරීමට පුරුදුව සිටියෙමු.  කරත්තය නතර කරන ලෙස ඔහු සිවනාදන්ට පැවසුවේ නිකම් ම නොවේ.  බොරුපන් තලාව මැද විසාල අලි රංචුවකි.  බැලු බැල්මට එය සාමාජිකයන් හතලිහකින් පමණ සමන්විත විනැයි අපට සිතිණ.

ජෝන් මාමා අනුගමනය කළ අපිද නිසොල්මනේ කරත්තය මතට වී ඇසිපිය නොසලා බලා සිටියෙමු.  කිසිදු අන්තරායක සේයාවක් අප තුළ නොවීය.  මන්දයත් ඒ වන විටත් අප කාගේත් සිත්සතන් සෝමාවතී වනාන්තරයේ හුදෙකලා වූ නිර්මලත්වයට අනුගත වී තිබුණේය.  එක්වරම මොනරෙක් විලාප තැබීමට පටන් ගත්තේය.  ගල් රූ සේ අප නිසල වුව මොනරාගේ සියුම් දෙනෙතින් අපේ ගත සඟවා ගැනීම වනාන්තර පරිසරයකදී කෙසේවත් කළ නොහැකිය.  උගේ නෙත හා සවන ඒ තරමටම බාහිර පරිසරයට සංවේදී ය.

මොනරාගේ විලාපය සිත්තාරු වෙට්ටය කැලඹීය.  තැන තැන ඉදිකළ හරිත කූඩාරම් සේ වෙට්ටයට අලංකාරය ගෙන දුන් වල්බෙලි ගාල් ඒ හඬින් සලිත වූ බවක් පෙනිණ.  දළ දළති වල් ඌරෙක් වෙට්ටය හරහා පිම්මේ දුවගෙන ආවේය.  ඌ පළා එන මග අප සිටි ස්ථානයට වඩාත් ආසන්න බව දුටු මයිකල් අයියා නොපමාව තුවක්කුව අතට ගත්තේය.  දඩයමට හුරුපුරුදු ඔහුගේ දෑතේ ස්වභාවය එයයි.  එහෙත් ජෝන් මාමා ක්‍ෂණයෙන් ම මයිකල් අයියාට සැර කළේය.

" එපා වෙඩි තියන්න.  වෙට්ටේ අලි ඉන්නව පේන්නෙ නැද්ද?"

මයිකල් අයියා තුවක්කුව පහත හෙළීය.  දිව ආ වේගයෙන්ම කරත්තය පසු කර ගිය වල් ඌරා අප බලා සිටියදීම වෙට්ටය කෙළවරේ ඇති තවත් වැල් බෙලි ගාලක් තුලට රිංගා ගත්තේය.  මේ වල් බෙලි ගාල් සෝමාවතී වනාන්තරයේ ජීවත් වන වල් ඌරන්ගේ දිවා ලැගුම් හල් ලෙස ප්‍රසිද්ධය.  එතුළ යහමින් පවතින අඳුරටත් සිසිලසටත් වල් ඌරෝ දැඩි මනාපයක් දක්වති.

අහසේ වැහි අඳුර තවතවත් වනාන්තරය මතට පහත් වෙමින් තිබුණේය.  වල් ඌරාගේ සම්ප්‍රාප්තියෙන් දැහැන බිඳුණු ජෝන් මාමා යළිත් මයිකල් අයියා ඇමතීය.

පේනවා නේද මයිකල් අලි රංචුව වෙට්ටේ මැද්දට එන හැටි.  ඌරට වෙඩි තිබ්බ නං උන් තවත් කලබල වෙනවා.  බලාපං රංචුවේ පැටවු කීදෙනෙක් ඉන්නවද කියලා!  දඩයමක් දැක්ක හැටියෙ කලබල වෙන්න එපා."

ජෝන් මාමා කී කතාව ඇත්තකි.  මොනරාගේ විලාපයත් සමග අලි රංචුව වෙට්ටය මැද එළිමහන් භූමිය වෙතට ඇදෙන්නට වුහ.  නොපමාව ගමන් ආරම්භ කරන්නට ජෝන් මාමාගෙන් අණ ලැබිණ.  තෝන් ලණුව බුරුල් කළ සිවනාදන් ගොනුන්ගේ ඉකිලි කිති කැවීය.  චිරි! චිරි! හඬින් මඩ කපාගෙන කරත්තයේ රෝද පට්ටම් ඉදිරියට ඇදුණේය.  ගමනට සුබ පතන්නට මෙන් කුංච ගර්ජනා හඬක් ගුවනට නැගිණ.  කරත්තයෙන් බිමට පැනගත් මම සිත්තාරු වෙට්ටයේ පහස දෙපතුලට දැනෙනු වස් කරත්තය පසුපසින් ගමන් කළෙමි.

එහෙත් අපට වෙට්ටයේ සීමාව පසුකර යන්නට ඉඩක් ලැබුණේ නැත.  වනපෙත කම්පිත කරවමින් බියකරු සුළං කෝඩයක් ඇදී එන්නට පටන් ගත්තේය.  වැහි අඳුරින් බර අහස තුරු හිස් මත කඩා වැටෙන්නට තතනනු පෙනේ.  තොරතෝංචියක් නොමැතිව වඳුරන් කෑ ගසන හඬ ඇසේ.  පැටවුන් බඩ බැඳගත් වඳුරු අම්මලා පලු, මාදං, දිවුල්, කළුමැදිරිය ආදී උස් තුරු මතට වී අතු කඳන් දැඩිව බදාගෙන සුළඟේ වේගයට ප්‍රතිචාර දක්වති.  පිල් කළඹ හකුළාගත් මොනරු තුරු මතින් බිමට පැන හනික දුව ගොස් පඳුරු ගොමු යට රැකවරණය සොයති.  වැස්සේ ආශීර්වාදයට පෙහෙවන වනපෙත උද්දාමයේ ජයසක් හඬ පතුරුවමින් රැඟුම් දෙන්නට විය.  ගොනුන්ගේ ගමනේ ලතාවට වැස්ස බාධාවක් විය හැකි බැවින් විසල් තුරු සෙවණක් යට කරත්තය නතර කර තැබූ අපි වැස්සට මුහුණ දෙනු වස් කඩිමුඩියේ සුදානම් වීමු.

කූඩාරම් ඉටි රෙද්ද කරත්තයේ දෑ ඇඳි මතින් දිග හළ අපි තාවකාලික වැසි ආවරණයක් සකස් කර ගතිමු.  කරත්තය තුළ ඇති ආහාර කළමනා වැසි දියෙන් ආරක්‍ෂා කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් විය.  අවම වශයෙන් සති දෙකක් වත් කැලේ නතරවීම අපේ බලාපොරොත්තුව වී තිබුණේය.  තුවක්කු දෙකක් හා පතුරම් පෙට්ටි කිහිපයක් අප සතු විය.  අධික වැසි සමයට සෝමාවතී වනාන්තරය තුළ ඇති එකම අවදානම හදිසි ගංවතුර තර්ජනයයි.  එයින් ආරක්ෂා වනු වස් සුදුසු උස් බිම් ප්‍රදේශ වනාන්තරයේ ඇතත් අප දැන් නතරවී සිටින්නේ පහසුවෙන් වතුරට යට වන පහත් තැනිතලා ප්‍රදේශයකය.  එහෙයින් ඔනෑම මොහොතක ගමනට සූදානමින් ගොන් දෙන්නා තවදුරටත් කරත්තයේ විය බර කර දරාගෙන බලා සිටියහ.

සැණෙකින් වැසි කඩා හැලෙන්නට පටන් ගත්තේය.  චණ්ඩ මාරුතය වැසි දිය කඳ අඹරා පොළොවට දමා ගසයි.  කොළ සැලෙන හඬය.  අතු බිඳෙන හඬය.  දිය ගැටෙන හඬය.  වනවාසී සතා සීපාවාගේ විලාප හඬය.  වනපෙත එකම ගාලගෝට්ටියක් බඳු විය.  සුළඟේ වෙළුණු හිරිකඩ කරත්තය වටා කැරකෙමින් අප දෙස එබී බලයි.  අපි තවතවත් කරත්තය තුළට ගුළි වීමු.  වැසි දියට නිරාවරණය වූ ගොන් දෙන්නාගේ සිරුරු වරින්වර සීතලට තිගැස්සෙයි.  ගත උණුසුම් කරගනු වස් කුර පා පොළොවේ හප්පමින් උන් ඊට ප්‍රතිචාර දක්වනු පෙනේ.  තාවකාලික ඉටිරෙදි පියැස්ස මත රැඳෙන වැසි ජලය දියලබ්බක් සේ බරව කරත්තය ඇතුළට පහත් වෙයි.  චාලිත් මයිකල් අයියාත් දෑත් ඔසවා වාරු දී ඒ දිය පිටතට හලා දමති.

එක්වරම හෙණ හඬක් පුපුරා ගියේය.  වැස්සේත් සුළඟේත් අඳුරු අහසේත් බියකරු බව තව තවත් වැඩිවිය.  විජ්ජුලතාවෝ වරින්වර වනගැබ පහන් කරන්නට පටන්ගත්හ.  ගිනිකණ වැටෙන අපේ නෙත් යුග වරෙක නිලංකාර වෙයි.  අහස පුපුරාගෙන පහළට කඩා වදින විදිලිය රේඛා අලි ඇතුන් කෝප ගන්වා ඇත.  ඈතින් ඇසෙන කුංච ගර්ජනා හඬ නොකඩවා සුළඟට ජීවය කවන්නේ විදිලි ගිනිදැල් නිවාලන්නට අහසට සක් පිඹින්නාක් මෙනි.

" වැස්ස බලබලා පිස්සු ගමනක් අපි මේ ආවේ" ජෝන් මාමා පැවසීය.

" කුරු ගඟට යා ගත්ත නං ප්‍රශනයක් නෑ.  අපි හිතුවට වඩා ඉක්මනට වලාව කඩා හැලුණා." මියිකල් අයියා පිළිතුරු දුන්නේය.

කුරු ගඟ කදිම ආරක්‍ෂිත ස්ථානයකි.  එහි ඇති උස් ගල්තලාව වන සැරියකට සැබෑ ගිමන් හලකි.  හදිසි වැහි කෝඩය ඇද නොවැටෙන්නට තවත් සැතපුම් හයක ගමනකින් ඉක්බිති අපට පහසුවෙන්ම කුරු ගඟ අසබඩට ලඟාවීමට හැකියාව තිබිණ.

සෝමාවතී වනාන්තරයට වැසි සමය ආශීර්වාදයකි.  දීර්ඝ නියං කාලයක නිමාව දකින මහවැලි නදිය මාස අටකට අධික කාලයක් අවසානයේ ගඟ දිය කඳ පුම්බාගෙන ඉහළට අවුත් එතෙක් කාස්ටකව පැවති ඇගේ සුමුදු වැලිතලා හා විල්ලු සම්පත පෝෂණය කරන්නේ ඊසානදිග මෝසම් සුළං සක්‍රීය වන දෙසැම්බර් පෙබරවාරි අතර කාලයේදී ය.  සතුටින් ඉපිල යන වනසතුනට මෙය අරුමැති සමයකි.  වනපෙතට පෙම් බඳින මිනිස් සිතකට බිය සතුට කැටි කළ අත්දැකීම් සම්භාරයකට මහඟු අවස්ථාවකි.  සුන්දර ජීවිතයකට නව මං එළිපෙහෙළි කරවන්නකි.  තැන තැන වනවිල්ය.  කෙළිදෙලෙන් රඟන අලි ඇතුන්ය.  ගඟ දෙපස වැලිතලා මත හිරුරැස් තපින කිඹුලන්ය.  විල්ලු ජලයේ බැස මඩ කලතමින් ගොදුරු සොයන වල් ඌරු ගණය.  ගඟ දිය යන රඟ නරඹමින් අහස් කුස සරසන විහඟුන් ය.  මෙලෙසින් සෝමාවතී වනාන්තරයට ආවේණික වූ සුවිශේෂ පරිසර සිරියක් මේ කාලයට අපට දැකගැනීමට පුළුවන.

වේලාව පස්වරු දෙක පසුවී තිබිණ.  වැස්ස ටිකෙන්ටික තුරල් වන බවක් පෙනෙන්නට විය.  පැය එකහමාරකට අධික කාලයක් පුරා ඇද හැලුණු අනෝරා වර්ෂාව දිවා ආහාරය පිළියෙල කර ගැනීමට තිබූ අවස්ථාව ද අපට අහිමි කළේය.  තවදුරටත් ප්‍රමාද වීමේ තේරුමක් නැතැ'යි සිතූ ජෝන් මාමා පොද වැස්සේම ගමන් ආරම්භ කිරීමට කල යෝජනාවට කාගේත් අනුමැතිය ලැබිණ.  ගොනුන්ගේ සීතල ගතට නව ජවයක් ලැබුණේය.  වැසි දිය බේරෙන තුරු අතු යටින් වැටී ඇති කැලෑ පාර දිගේ කරත්තය දැන් ඉදිරියට ඇදෙයි.  සුළඟේ වේගය මඳක් බාලවී ඇතත් අහසේ අඳුරුබර ගතිය තවත් වැහි කෝඩයක පෙරනිමිති පහළ කළේය.  ඊට පෙර කුරු ගඟට ළඟාවීමේ බලාපොරොත්තුවෙන් සිවනාදන් ගොනුන්ගේ ගමන ඉක්මන් කළේය.

මන්දාරම් අඳුරේ ගිලුණු වනපෙත පාදාගෙන ඉදිරියට ඇදෙන කින්නියා ගවයන් දෙදෙනාගේ ධවල සක් පැහැය පෙරමග පහන් කරන දීපසිකාවක් සේ අප නෙත් අබිමුව බබලන්නට විය.

ගමනට දිරිදෙන අනේක රසකතා එකිනෙකාගේ මුවින් ගිලිහෙයි.  ඒ අතරවාරයෙහි චාලි කැත්තක් ගෙන කරත්තයෙන් බිමට පනින්නේ මග හරහට වැටී ඇති ගසක අත්තක් කපා ඉවත් කිරීමටය.  ඒ පෙරදින රැයේ අලි ඇතුන් විසින් කඩා දමන ලද වෙලං ගස්ය.  නැතහොත් එදින අපේ ගමනට බාධාකල සුළං කෝඩයේ ප්‍රතිපලය.  හිරු මුවා කල අහස වනවාසීන් මුළාවට පත් කර ඇති බවක් පෙනේ.  රෑ බෝවීමට ආසන්න වී ඇතැ'යි සිතා වලිකුකුළෝ හඬ තලති.  මුව පොව්වෝ "කෝව්" ගසති.  රෑහියෝ සිය සොනවතින රාවයෙන් අප කන් දී සුරති.

ජෝන් මාමා කටහඬ අවදි කළේය.

" මයිකල්, පාරේ අලි ඉන්න පුළුවං.  ඉස්සරහට ගියොත් හොඳයි."

සිවනාදන් කරත්තය නතර කළේය.  මයිකල් අයියා තුවක්කුවත් රැගෙන කරත්තයෙන් බිමට බැස්සේය.  කරේ තිබුණු තුවාය ගෙන තමා හිස වටා තලප්පාව බැඳගත් ඔහු ඇඳ සිටි සරම ඔසවා කැසපට නගා ගත්තේය.  ඉන්පසු සුපුරුදු පරිදි දෙතොල් අතරෙහි රැඳවු බීඩිය දල්වාගෙන රස කර උරා ඉහළට ඇද දුම් ගුළියක් ගුවනට මුදා හැරියේය.  අප ගෙවා ආ මග දෙසට දුම් වළලු පාවී ගියේය.  එදෙස බැලු ඔහුගේ මුවගෙහි සිහින් සිනහවක් මතුවිය.  සැණෙකින් ඇහිබැම සැලූ ඔහු සිය සතුට ප්‍රකාශ කළේ සුළං හමන දිසාව යහපත් බවට ඉඟි කරමිනි.

කරත්තයට අඩි තිහක් පමණ ඉදිරියෙන් මයිකල් අයියා පා ගමනෙහි යෙදෙයි.  අවදානම් සහගත කැලෑ ගමනක යෙදෙන විට අනුගමනය කරනු ලබන පිළිවෙත මෙයයි.  ජෝන් මාමාගේ කැලෑ අනාවැකි කෙදිනකවත් වරදින්නේ නැත.  සැතපුම් භාගයකට වැඩි දුරක්වත් යන්නට අපට ඉඩක් නොලැබිණ.  ඉදිරියෙන් යන මයිකල් අයියාගෙන් හස්ත සංඥාවක් ලැබුණේය.

සිවනාදන්ගේ දෑතේ රැඳුණු ගොනුන්ගේ තෝන් පට පසුපසට ඇදුණේය.  හෝව්!...හෝව්!... සිවනාදන්ගේ විධානයට ගැල් ගවයෝ අවනත වූහ.  ජෝන් මාමා කරත්තයෙන් බැස හනිකට මයිකල් අයියා අසළට ගියේය.  දෙදෙනාගේ කසුකුසුව අප තුළ කුතුහලයක් ඇති කළේය.  අපි එකිනෙකා කරත්තයෙන් බැස ඔවුන් සිටි ස්ථානයට ගියෙමු.  කුඩා වංගුවක් සහිත එම ස්ථානයේ සිට කරත්ත පාර සෘජුව ඉදිරියට විහිදී තිබිණ.  කැලෑව අද්දරට මුවා වන ලෙස ජෝන් මාමා අපට නියෝග කළේය.  අලි පැටවකු මැදි කරගත් අලි දෙමහල්ලෝ පාර මැද සිටගෙන සිටිති.  කැලෑව තුළ අලි රංචුව සිටින බවට සැකයක් නොවීය.  වැසි දියෙන් බරවූ අතු රිකිලි උන්ට යහමින් ගොදුරු සපයන බවක් දක්නට ලැබිණ.

අලි රළ කිනම් දිසාවකට ගමන් කරන්නේදැ'යි දැනගැනීමට ජෝන් මාමා වඩාත් විමසිලිමත් වුයේය.  මන්ද උන් අප සිටින දෙසට පැමිණෙන්නේ නම් කරත්තය ආරක්‍ෂා කරගනු වස් උන්ගේ ගමන වැලැක්විය යුතුව තිබිණ.  මග දිගට ගොදුරු බුදිමින් අලි රංචුව තාමරවිල්ලුව දෙසට යනු ඇතැයි මයිකල් අයියා කීය.  තාමරවිල්ලුව යනු අලින්ගේ ජනප්‍රිය ගොදුරු බිමකි.  එය පිහිටියේ අප යන ඉදිරි මගෙහි තවත් සැතපුමක් පමණ ඈතින්ය.  එසේ වෙතොත් අපේ ගමන තවත් ප්‍රමාද විය හැකිය.  කරත්ත පාර දිගේ ඇදෙන අලින්ගේ මන්ද ගමන් විලාසයට අනුව අපටද සෙමෙන් සෙමෙන් කරත්තය දක්කාගෙන යෑමට සිදුවනු නිසැකය.

" දැන් කොහොමටත් පරක්කු වෙලා තියෙන එකේ අපි මෙතැන නතර වෙලා දවල්ට උයමු.  වතුර ප්‍රශ්නයකුත් නැහැ නොවැ."

මේ වන විට පොද වැස්ස පහව ගොස් තිබුණෙන් චාලිගේ අදහස කවුරුත් අනුමත කළහ.

වැසි දියෙන් තෙමුණු ලී කොටයක් මතට පොරෝ පහර එල්ල කරන සෙනෙවිරත්න වියළි දර සපයා දුන්නේය.  එමගින් ගල්තලය මත පහසුවෙන්ම ලිප ගිනි දැල්වීමට චාලිගේ කඩිසර දෑත් සමත් විය.  ප්‍රථමයෙන් ම උණුසුම් තේ කහට කෝප්පයකින් ගත සිත ප්‍රාණවත් කරගැනීම කාගේත් අභිප්‍රාය වූයෙන් චාලි වතුර කේතලය ළිප මත තැබීය.  ලිග්ගල් අතරින් ගිනිදලු ඉහළට නැගුණේය.  ප්‍රණීත තේ කහට පානයක් අප එකිනෙකා අතට පත්වීමට වැඩි වේලාවක් ගත නොවීය.

එතෙක් මග අවුරා සිටි අලි රංචුව කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදී නොපෙනී ගියහ.  වැහි බීරුම මැද හුදෙකලා වූ වනාන්තරය දෙස එබී බැලීමට වරම් නොමැති හිරු අඳුරුබර අහසේ වලාකුළු තුළ තවදුරටත් සැඟව සිටියේය.  ආශීර්වාදන් තුවක්කුවත් රැගෙන වනයේ අහුමුලු විපරම් කර බලන්නට ගියේය.  තුවාය ගෙන හිස වටා බැඳගත් දේවරාජා මන්නාපිහිය සුරතින් දරාගෙන කටු අකුල් අස්සෙන් වනාන්තරය තුළට රිංගුවේ හනික පැන දුවන අඟ මුවකුගේ විලාසයෙනි.  වනයටත් ජවයටත් ශූර දේවරාජා බිය නොහඳුනන තරුණයෙකි.  ඔහු සමග වනාන්තරයේ ඇවිදීම මට ඉමහත් තෘප්තියක් ගෙන දුන්නේය.

චාලිත් සෙනෙවිරත්නත් දිවා ආහාරය පිසීමෙහි නියැළී සිටිති.  අඩ ක් ගල්තලාව මත සැතපුණු ජෝන් මාමා කළු සුරුට්ටුවක් උරමින් සිටී.  මඳක් ඉහළට එසැවුණු ඔහුගේ හිස සුරත්ල මත රැඳී ඇත.  වරින්වර මුවගින් සුදු දුම් රැලි මුදාහරින ඔහු වනපෙත දෙසට නෙත් යොමු කරන්නට අමතක කරන්නේ නැත.  අහස කඩා වැටුණත් කම්පා නොවන මයිකල් අයියා වනාන්තරයක් තුළ දිවා රැයේ වෙනස හඳුනන්නේ නැත.  ඔහුගේ දෙනෙත් ඒ තරමටම වනපෙතට හුරුපුරුදුය.  ඔහු සිතන දෙයක් කෙදිනකවත් වරදින්නේ නැත.

" චාලි! ආශිර්වාදන්ට දඩයමක් හොයාගන්න බැරිවෙන්නෙ නෑ බන්, ටිකක් බලමු." මයිකල් අයියා කීවේය.

චාලි මයිකල් අයියාගේ කීම අනුමත කරමින්ම උතුරන බත් හැළියේ වැස්ම ඉවත් කළේය.  සුදු පෙන පිඬු නගමින් බත් මුට්ටිය සිනාසෙයි. 

"ඩෝං" ගා වෙඩි හඬක් නැගිණ.  ක්වෑවෝ...ක්වෑවෝ... යනුවෙන් මොනරෙක් විලාප තැබීමට පටන් ගත්තේය.  තුවක්කුව උරමත රඳවාගත් ආශිර්වාදන් වැසි දියෙන් ගොහොරු වූ විල්ලු තලාව මැදින් අපහසුවෙන් පියවර මැන එන අයුරු අපි දුටුවෙමු.  ඔහු රැගෙන ආ පණිවිඩය මයිකල් අයියාගේ මුහුණේ සතුටු සිනහවක් ජනිත කළේය.  දිවුල් පැසක් උරලා ගත් දෙවාරාජා ද වනාන්තරය අතරින් මතුවිය. 

නිම්හිම් නැති සතුටින් ඉපිල සිටි චාලි විගසින් තේ පෝච්චිය රත්කර ආශිර්වාදන් ඉදිරියේ තැබීය.  ඒ ඔහු කළ මෙහෙයට කළගුණ සැලකීමට විය යුතුය.  සුළු වේලාවකට පසුව සෙනෙවිරත්න හා දේවරාජා ද කැටුව ආශිර්වාදන් යළිත් විල්ලුව දෙසට ගියේය.  ගල්තලාව මත දණ බා වාඩිවූ මයිකල් අයියා පිහියේ පන්නරය උරගා බලන්නට පටන් ගත්තේය.  කල්වේලා ඇතිවම තම මෙහෙයට සුදානම් වීම ඔහුගේ සිරිතකි.  පා සතර එක්කොට බැඳ පොල්ලක එල්ලාගත් තඩි වල්ඌරු නාම්බකු කර තබාගත් පිරිස ආපසු පැමිණියහ.  ආශිර්වාදන්ගේ දඩයම පරීක්‍ෂා කර බැලු ජෝන් මාමා " මේ වැස්සේ ඌරො වෙඩි තිබ්බ නං කරන දෙයක් ඉක්මනට කරපල්ලා.  රෑ වෙන්න කලින් කුරු ගඟට යන්න ඕනෑ." යැයි කීවේය.

මයිකල් අයියා ආශිර්වාදන් දෙස බලා නෙතඟින් ඉඟියක් කළේය.  ගල්පොත්ත අබියස ගිනිමැලයක් දැල්වෙන්නට වැඩි වෙලාවක් ගත නොවීය.  සෙනෙවිරත්නගේ කඩිසර දෑතේ රැඳුණු පොරොව වියළි පලු කඳකට තඩි බායි.  එමගින් ගිනිමැලය වරින්වර පණ පෙවෙයි.  තෙත් බරිත දර කොට කිහිපයක් ද චාලි මැලයට එක් කළේය.  සුදු දුම්වලා නගමින් උණුසුම් ගිනිදලු රඟ දෙන්නට පටන් ගත්තේය.  පුළුටු ගඳට ඇදෙන මළපෙරේතයන්ට කෙරෙන ආරාධනයක් සේ මයිකල් අයියාගේ සවිබල දෑත් ඌරු කුණ ගිනිමැලය මැද ඔබ මොබ පෙරළයි.  වනයේ සුන්දරත්වයට වින කැටුණු ඒ අසුන්දර දර්ශනය දෙස තුරුපත් නිසලව බලා සිටියා විය හැකිය.  කාර්යය අවසන් වනවිට මයිකල් අයියාගේ ගත දහඩියෙන් නැහැවී තිබුණේය.

දිවා අහාරය නිමා කර හැකි ඉක්මනින් ගමන් ආරම්භ කිරීමට ජෝන් මාමා යුහුසුළු විය.  කණ්ඩායම් සගයෝ ද තම තමන්ගේ යුතුකම් නොපිරිහෙළා ඉටු කළහ.  චාලි පිළියෙල කළ දිවා ආහාරය කාගේත් සතුටට හේතු විය.  කරට ගත බෙරය කෙසේ හෝ ගැසිය යුතු නිසාදෝ ආශිර්වාදන් හා මයිකල් අයියා සෙනෙවිරත්නගේ ද සහයෙන් ඌරු දඩයම සමග ඔට්ටු වී අවැසි කටයුතු සියල්ල අවසන් කළහ.  දඩයම තෘප්තියක් වුවත් දඩයක්කරුවා අත්විඳින දුක ඔහුටම බරකි.  දඩයම් ජීවිතයේ ස්වභාවය එයයි.  ලුණු ගල්වා පිළියෙල කළ ඌරු මාංශය ගෝනියක් තුළ කද බැඳිණ.  එය බරින් කිලෝ හැටක් පමණ විය෴

( දඩ සැරියෙන් වන සැරියට. කැමිලස් වනිගසුරිය.  ප්‍රකාශනය: සුරිය ප්‍රකාශකයෝ.2013)

Saturday, November 10, 2018

සුළඟේ ගිය දිවිය.



අද පළකරන්නේ මා මීට අවුරුදු කීපයකට කලින් මගේ අනෙක් බ්ලොගයට ලියු පෝස්ටුවක කොටසකි.  ලිවීමේ ශෛලිය තරමක් වෙනස් වුණත් එය නොසලකා එදා ලියූ විදියටම මෙහි පළකරමි.
                                                           මාගරට් මිචෙල්.

එහෙම බැලුවොත් මාගරට් මිචෙල්ගේ Gone with the wind(1936) මොන තරං විශාල පොතක්ද,නමුත් රස කරමින් කියවගෙන යන්න පුළුවන් නේද? ඒ පොත මීට අවුරුදු කීපයකට කලින් සුළගේ ගිය දිවිය නමින් ජයන්ති සමරසේකර අතින් සිංහලට පෙරළුණා,මම දැක්කෙ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී, පොත කොටස් හතරයි එක කොටසක පිටු හත්සීයක් හෝ අටසීයක් මට මතක හැටියට,ප්‍රදර්ශනයෙන් මම පළවෙනි කොටස ගත්තා ඊට පස්සෙ සතියෙ මම ඉතුරු කොටස් තුන ගන්නට මරදානෙ සූරිය ප්‍රකාශකයන්ගෙ  පොත් සාප්පුවට ගියා,ගිහිං ඉතිරි කොටස් තුනත් අරගෙන තවත් අලුතෙන් නිකුත්වුන පොත් කීපයකුත් අරං පොත් රාක්ක දිහා බල බලා ඉද්දි පොත් සාප්පුවට ඇවිත් හිටපු එක් වැදගත් පෙනුමැති තලතුනා මහත්මයෙක් මගෙ දිහා බලාගෙන ඉන්නව මම දැක්කා,මං හිතන්නෙ විදුහල්පතිවරයෙක් ඔහු මගෙත් එක්ක හිනාවුනා මාත් හිනාවුනාට පස්සෙ ඔහු මගෙ  ලඟට ඇවිත් කතාකළා.

"මහත්තය පොත් ගෙනියන්නෙ ඉස්කෝලෙකටද?"

"නෑ මට කියවන්න."

"ඔහු මම ගත්ත පොත් ටික අරං බැලුවා."

"මේ විශාල පොත මොකක්ද?"

"ගෝන් විත් ද වින්ඩ් පොතේ සිංහල පරිවර්තනය,මේ වගේ කොටස් හතරක් තියෙනව ."

පොතෙන් කියවෙන්නෙ මොකක් ගැනද ...

"ඇමෙරිකානු සිවිල් යුද්ධය පසුබිම් කරගෙන ලියැවුනු කතාවක්,යම් තරමකට ආදර කතාවක් කියන්නත් පුළුවනි."

"මහත්තය මේ පොත ගත්තෙ ඇයි?

"ඇමෙරිකන් සිවිල් යුද්දෙ ගැන මම මොකුත් දැනගෙන හිටියෙ නෑ,මගේ දැනුමෙ ඒ අඩු කොටස සම්පුර්ණ කරගන්න මේ පොත ගත්තා."

ඔහු බොහොම බැරෑරුම්ව හිස වනල මට සමුදුන්නා.

ඇත්ත වශයෙන්ම ඇමෙරිකාවෙ සිවිල් යුද්දයක් තිබ්බ කියල සහ ඒබ්‍රහම් ලින්කන් සහ ජෙනරාල් ලී ඒ යුද්දෙට සම්බන්ධයි කියන දේ ඇරෙන්න යුද්දෙ ගැන වෙන කිසිම දෙයක් මම දැනගෙන හිටියෙ නෑ.  වහල් සේවය තහනම් කරන්නට ඒබ්‍රහම් ලින්කන් අස්සන් කළ පනතට එරෙහිව ප්‍රාන්ත ගණනාවක් එකතුවී ලින්කන්ට විරුද්ධව යුද වැදුණු බවත් 1861 දි ඇරඹුණු  සිවිල් යුද්ධය එක්සත් ප්‍රාන්ත හමුදාවන්ට දුක්ඛිත පරාජයක් උරුමකරදෙමින් 1865 දි අවසන් වූ බවත් එක්සත් ජනපද හමුදාව අවතක්සේරු කරමින් ඔවුන් සමග යුද වැදුණු එක්සත් ප්‍රාන්තවලට සහ එහි ජීවත්වූ ජනතාවට යුද්ධය නිසා ගෙවන්නට සිදුවූ වන්දිය ඉතා බරපතල බවත් මා පසුව දැනගත්තා.

මේ පොත ලියැවුනු අකාරයද ඉතා රසවත් කතාවක්, රිය අනතුරකට ලක්ව එක්තැන්ව ඇඳට වැටී කම්මැලිකමින් සිටි මාගරට් මිචෙල්ට කියවන්නට පොත් සොයා දීම ඇගේ සැමියාට ප්‍රශ්නයක් වුණේ ඇය දවසකට එක පොත බැගින් කියවන්නට පටන් ගැනීම නිසායි.  ඇයට කියවන්නට තරම් දිග පොත් සොයා දීම තමාට බරපතල ප්‍රශ්නයක් බවත් කියවන්නට අවශ්‍ය නම් දිග පොතක් ඇයටම ලියාගන්නා ලෙසත් ඇගේ සැමියා දිනක් කියාසිටියා. මේ කතාව විහිළුවකට බාර නොගත් මාගරට් මිචෙල් කෙසේ හෝ පොතක් ලියන්නට අධිෂ්ඨාන කරගත්තා,මේ ගැනම කල්පනා කරමින් සිටි ඇයගේ මනසේ ටිකෙන් ටික මේ කතාව ලියලන්නට වුනා. සිවිල්යුද්ධය පසුබිමේ  ටාරා වතුයායත්,ට්වෙල්ව් ඕක්ස් නිවෙස,ස්කාලට් ඔහාරා,ඈෂ්ලි,මෙලනි හැමිල්ටන්, රෙට් බට්ලර්, මැමී ආදී චරිත ඇයගේ සිතේ කතාව රඟදක්වන්නට වන් විට ඇය සිතේ ගොඩ ගැසුණු කතාව එළියට දමන්නට වුණා.

1936 දී ගෝන් විත් ද වින්ඩ් පොත මුද්‍රණයෙන් නිකුත් වූ විට ආදායම් වාර්තා තබමින් විකිණෙන්නට වූ අතර මාගරට් මිචෙල් 1937 දි පුලිට්සර් සම්මානයෙන් පුදනු ලැබුවා. 2008 දි කරන ලද සමීක්ෂණයකට  අනුව මේ පොතේ පිටපත් මිලියන 30ක් ලොව පුරා විකිණී ඇති අතර ඇමෙරිකානු පාඨකයන් අතර බයිබලයට දෙවැනිව ජනප්‍රිය වී ඇති පොත ලෙසත්  සොයාගනු ලැබුවා.  1939 දි චිත්‍රපටයට නැගු,විවියන් ලී ස්කාලට් ඔහාරා ලෙසත් ක්ලාක් ගේබල්  රෙට් බට්ලර් ලෙසත් රඟපෑ ගෝන් විත් ද වින්ඩ්  චිත්‍රපටය 1940 දී හොඳම චිත්‍රපටය ඇතුළු ඇකඩමි සම්මාන 10 දිනා ගන්නට සමත්වුනා.

ස්කාලට් ඔහාරා ගේ චරිතය සඳහා තරුණියන් 1400ක් සම්මුඛ පරීක්ෂණයට ලක්කර අවසානයේ විවියන් ලී එම චරිතයට තෝරාගනු ලැබුවා,රෙට් බට්ලර්ගේ චරිතය සඳහා ක්ලාක් ගේබල්වම අවශ්‍ය බව නිෂ්පාදකයා කියා සිටි බැවින් ක්ලාක් ගේබල්ගෙන් දින ලබාගැනීමට අවුරුදු දෙකක් බලාසිටීමට චිත්‍රපට කණ්ඩායමට සිදුවී තිබෙනවා.

මාගරට් මිචෙල් සුළඟේ ගිය දිවිය ලිවීම ආරම්භ කළේද රිය අනතුරකින් එක්තැන් වී සිටියදීය.  එම රිය අනතුර ඇගේ ජීවිතය සහමුලින්ම වෙනස්කර ඇයව ජනප්‍රියත්වයේ ඉහළම තලයට ගෙනයන්නට සමත්විය.  එමෙන්ම ඇයට මෙලොව හැර යන්නට සිදුවුයේද මාගරට් මිචෙල්ට වයස අවුරුදු 49 දී සිදුවූ රිය අනතුරක් හේතුවෙනි.  ඒ 1949 අගෝස්තු මාසයේය.  විස්තරය මෙතැනින්  ෴

( සුළඟේ ගිය දිවිය, මාගරට් මිචෙල්. පරිවර්තනය: ජයන්ති සමරසේකර.  ප්‍රකාශනය. TIMELESS BOOKS . 2009)

Wednesday, October 31, 2018

ෆ්‍රාන්ස් කෆ්කා, රූප විපර්යාසය සහ ස්වරූප.


අද ලියන්නට සැරසෙන ෆ්‍රාන්ස් කෆ්කා ගේ රූප 'විපර්යාසය' නමැති කතාව මට මතක් වුණේ ටික දිනකට පෙර නැරඹු ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ 'ස්වරූප' නම් චිත්‍රපටය හේතුවෙනි.  එය ආචාර්ය ධර්මසේන පතිරාජයන් ගේ අවසන් චිත්‍රපටය ද වේ.  මුලින්ම කෆ්කාගේ රූප විපර්යාසය කතාව සිංහලයට පරිවර්තනය කළ කේ.ජී කරුණාතිලක සූරීන් කෆ්කා ගැන ලියා ඇති දේ කියැවීම ඔහු ගැන අදහසක් ඇති කරගන්නට වැදගත් බව සිතමි.

'කෆ්කා මේ ශත වර්ෂයේ පහළ වූ අතිශ්‍රේෂ්ඨ යුරෝපීය ලේඛකයන් සතර පස් දෙනාගෙන් කෙනෙකි.  බටහිර ලෝකයේ සමකාලීන සාහිත්‍යයෙහි ඔහු කේන්ද්‍ර ගතවී සිටින ලේඛකයෙකි.  එම නිසා ඔහුගේ කථා කලාව, ලෝක සාහිත්‍යය අධ්‍යයනය කරන ඡාත්‍රයා, අවශ්‍යයෙන්ම හදාළ යුතුය.  මේ කථා හත් අට වතාවක් හෝ දස දොළොස් වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් හෝ කියවමින්, අධ්‍යයනය කරමින්, බුද්ධිමත්ව තේරුම් ගැනීමට ඡාත්‍රයා වෑයම් කළ යුතුය. 

මෙහි එන මේ කථා මේ ග්‍රන්ථ මාලාවේ එන අනෙක් සාහිත්‍ය ධරයන් ගේ කථාවලට බොහෝ සෙයින් වෙනස්ය.  මේවා වරක් කියවා හුදු ප්‍රලාප යැයි ඉවත දැමීම නොකළ මනාය.  මනා අවධානයකින් යුතුව, පේළි අතරින් පවා නැගී එන අර්ථයන්ට සිහිය එළවමින්, බුද්ධිමත්ව හත් අට වරක් කියවීමේදී, මුලින් නුදුටු ගම්භීරාර්ථ මතු වන බව ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය.  වැඩි වැඩියෙන් කියවන තරමට විවිධාර්ථ වැඩි වැඩියෙන් මතු වී එයි.  අධිතාත්ත්වික වාදියකු හා භව සත්තා වාදියකු වන කෆ්කා, සිහිනයේ ආවේග බහුල වාතාවරණය ප්‍රතිනිර්මාණය කිරීමෙහි ලා අති දක්ෂය.  නූතන මිනිසා දුඃස්වප්න ලෝකයේ කෙතරම් අතරමං වී සිටීද යන්න මේ කතාවලින් හෙළිවෙයි.  හසු නොවන දෙවියන් වහන්සේ කෙනෙකු ගැන සොයමින්ද, අභ්‍යන්තර දෝෂවලින් හා හීන මාන සංකීර්ණතාවලින් පෙළෙමින් ද සිටින නුතන මිනිසා ගේ චිත්ත චෛතසික කෆ්කා ගේ කථාවල තේමා වෙයි.

මේ ශත වර්ෂයේ යුරෝපයේ පහළ වූ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ධරයන් හතර පස් දෙනා අතුරෙන්, ඉතාම ප්‍රහේලිකාත්මක වන්නාවූ ද ඉතාම ගූඨත්මක වන්නාවූ ද ඉතාම සංකීර්ණ වන්නාවූ ද විවිධ දෘෂ්ඨි කෝණයන් අනුව බැලුව විවිධාර්ථ කථනයන්ට සැම විට තුඩු දෙන හෙයිනුත් ගම්‍ය වන විවිධ තලයන් අනුව බැලුව විවිධාකාර තලයන් දෘශ්‍යමාන වන හෙයිනුත් වර්තමාන සාහිත්‍ය විචාරකයන් බොහෝසේ ආකූල ව්‍යාකූල කර අන්ද මන්ද කර වික්ෂිප්ත කර දමන්නාවූ ද ආගම දහම මගින් හෝ සර්ව බල ධාරී දෙවියන් වහන්සේ මගින් හෝ අන් කිසි නොදන්නා බල මහිමයක් මගින් හෝ කිසිම පිළිසරණක් නො ලැබ, අසරණව අනාථව හව්හරණක් නොමැතිව, තමා කළ පාප කර්මයක් නැති වුවද, තමා ගෙන් සිදුවූ දෝෂයක් නැති වුව ද, භංගාපේක්ෂාවෙන්, අනාගත නිරපේක්ෂකතාවෙන්, අනාරක්ෂිතතාවෙන්, විස්මයෙන් කුහුලින් දුකින් දොම්නසින් හා බියෙන් සන්තාපයෙන් කල් ගෙවන නූතන මිනිසා ගේ සිහින ලෝකය, එතෙක් නොවූ විරූ ආරකින් හා රටාවකින් ද ශෛලියකින් හා සන්දර්භයකින් ද අභූත හා අද්භූත සිද්ධිවලින් ද අචින්ත්‍ය හා කල්පිත මායා සහගත අවස්ථාවලින් ද භීෂණත්මක හා හාස්‍යාත්මක උත්පාදනවලින් ද මෙතෙක් නොකියූ විරූ උපමාවලින් හා රූපකවලින් ද අන්‍යාලාපවලින් හා විරෝධාභාසවලින් ද අන් කවර ලේඛකයකුට ද වඩා ගැඹුරින් හා සිත් සසල වන අයුරින් විවරණය කරන්නාවූ ද දුඃස්වප්න ලෝකයක ගිලී, යන එන මං නොදැන, අඳුරේ අත පත ගාන නියායෙන්, කරුණාවෙන් පිරුණු බලාපොරොත්තු තැබිය හැකි දෙවියන් වහන්සේ කෙනෙකු නිශ්ඵල හා නිරර්ථක අන්දමින් සොයමින් හීන මාන සංකීර්ණතාවලින් පෙළෙමින් සිටින අබල දුබල නූතන මිනිසා ස්වකීය තේමාව කොට ගත්තාවූ ද ගාම්භීර්යය නිසාම අනවබෝධයට හා සංශයට කෙනෙකු පත් කරන්නාවූ ද අධිතාත්ත්වික හා භව සත්තාවාදී මහා ලේඛකයා ෆ්‍රාන්ස් කෆ්කා ය.'

කේ. ජී කරුණාතිලක සූරීන් රූප විපර්යාසය හා වෙනත් කතා යනුවෙන් 1997 දී පළකළ පොතේ මුල්ම කෙටිකතාව වන්නේ කෆ්කා ගේ 'The Metamorphosis' හෙවත් රූප විපර්යාසය කතාවයි.  මේ කතාව මුද්‍රිත පිටු 58 ක් පුරා ලියැවෙන දිගු කෙටිකතාවක් බැවින් මුළු කතාවම මෙහි උපුටා දැක්වීමට අවකාශයක් නොමැත.  කෙසේ වුවද කතාව ඇරඹෙන්නේ මේ ආකාරයෙනි.

' ග්‍රිගෝර් සම්සා එක් උදෑසනක අසුබ සිහිනවලින් අවදි වුයේ, තමා දැවැන්ත කැරපොත්තෙකු බවට පත්වී සිටිනු දුටුවේය.  ඔහු සන්නාහයක් සේ දැඩි වූ පිටකටුව මත උඩුබැලිව වැතිර ගෙන සිටියේය.  හිස මඳක් එසවූ විට, ඔහුට කවාකාර කොටස්වලට බෙදුණු අර්ධ ගෝලාකාර වූ දුඹුරු වන් සිය උදරය දැකිය හැකි විය.  එය මතුපිට වූ ඇඳ ඇතිරිල්ල නිසියාකාරව නොතිබුණෙන් ඇඳෙන් මුළුමනින්ම ඇද වැටෙන්නට ළංවී තිබිණ.  ඔහුගේ දැවැන්ත ශරීරය හා සසඳන විට දුක් බර අන්දමින් සිහින්වූ කකුල් රාශිය ඔහුගේ දෙනෙත ඉදිරියෙහි අසරණව නලියමින් තිබිණ.'

මෙසේ ආරම්භ වන කතාව ඉදිරියට කියැවෙන්නේ ග්‍රිගෝර් සම්සාගේ පියාවූ හර්මන් සම්සා, මව වන මාර්තා සම්සා සහ සොහොයුරිය වන ග්‍රේටා සම්සා ත් නිවසේ මෙහෙකාරිය වන මේරිත් සිදුවූ දෙයින් භීතියට හා පශ්චාත්තාපයට පත්වී කළයුතු දෙයක් සිතා ගැනීමට නොහැකිව සිටින ආකාරය මුල් කරගෙනය.

ග්‍රිගෝර් සම්සා වෘත්තියෙන් සංචාරක වෙළෙන්දෙක් හෙවත් සේල්ස් රෙෆ් කෙනෙක් හැටියට කතාවේ කියැවෙයි.   පියා වන හර්මන් සම්සා නියමිත කාලයට කලින් විශ්‍රාම ලද හමුදා ලුතිනන් වරයෙකි.  මව මාර්තා සම්සා ගෘහිණියක් වන අතර සොහොයුරිය ග්‍රෙටී සිය සොයුරාගේ උදව්වෙන් සංගීත විද්‍යාලයට ඇතුල්වීමට බලාසිටින තරුණියකි.  ග්‍රිගෝර් සම්සාට වූ අකරතැබ්බය හේතුවෙන් මේ පවුලේ සියලුම බලාපොරොත්තු බිඳවැටේ.  රැකියාවට නොගිය ග්‍රිගෝර් සොයාගෙන ඔහුගේ ආයතනයේ ප්‍රධාන ලිපිකරු පැමිණෙන අතර කැරපොත්තෙකු වී සිටින ග්‍රිගෝර් දකින ඔහු භීතියට පත්ව පලා යයි.

පවුලේ වියදම සඳහා මුදල් සොයාගැනීමට නිවසේ කාමරයක් නවාතැන් කරුවන් තිදෙනෙකුට කුලියට දීමට මේ පවුලට සිදුවේ.  දිනක් ගෙදර අය හා නවාතැන් කරුවන් ඉදිරියේ ග්‍රෙටී වයලීන වාදනයක් කරද්දී සංගීතයට ප්‍රිය ග්‍රිගෝර් (කැරපොත්තා) කාමරයෙන් එළියට පැමිණ බලා සිටිනු දකින නවාතැන් කරුවන් භීතියට පත්වේ.

පවුලේ ආර්ථිකය බලාසිටියදී බිඳවැටීම හේතුවෙන් හර්මන් සම්සා බැංකු පණිවුඩ කරුවකු සේ රැකියාවක් සොයාගන්නා අතර මාර්තා කාන්තා යට ඇඳුම් මසා වෙළඳ පොළට දමා මුදලක් සොයාගනී. ග්‍රෙටී සංගීත විද්‍යාලයට ඇතුල්වීමේ සිහිනය අතහැර දමා වෙළඳ සේවිකාවක් ලෙස රැකියාව කරන්නට පටන් ගනී.  කෙසේ වුවද සිය සොහොයුරා වන කැරපොත්තා ගේ කෑම වේල දිනපතාම ග්‍රෙටී විසින් ඔහුගේ කාමරයේ තබන අතර කැරපොත්තා කා අවසන් කොට ඇති කෑම සොයා බලා ඔහු ප්‍රියකරන කෑම ලබා දීමට ග්‍රෙටී කටයුතු කරයි.

දිනක් සේවිකාව දකින්නේ කැරපොත්තා මියගොස් ඇති අන්දමයි.  ඇය කැරපොත්තා කුනුගොඩට දමන අතර හර්මන් සම්සා විසින් නවාතැන් කරුවන්ට ගෙදරින් ඉවත්වන ලෙස දැනුම් දෙයි.  ගෘහ සේවිකාවද පිටත් කර යවන ඔවුන් තිදෙනා ගෙදරින්ද ඉවත්වන බව දැනුම්දී වෙන පළාතකට යාමේ අදහසින් ගෙදරින් පිටත්වෙති.  ඒ වඩාත්ම ග්‍රෙටීට විවාහයකට සුදුසු තරුණයෙක් සොයාගැනීමේ අදහසිනි.

මෙම කතාවද ෆ්‍රාන්ස් කෆ්කාගේ වෙනත් කතා මෙන්ම අධි තාත්ත්වික වාදය මුල් කරගෙන ලියැවුණු කතාවක් ලෙස හැඳින්විය හැක.

ආචාර්ය ධර්මසේන පතිරාජ සිය අවසන් චිත්‍රපටය වන 'ස්වරූප' නිපදවන්නේ මේ කතාව ඇසුරෙනි.  බොහෝ දුරට කෆ්කාගේ මුල් කතාවට අනුරූපව චිත්‍රපටය ගලායයි.  ප්‍රධාන චරිතයන් හි  ග්‍රෙගරි සැම්සන්( තුසිත ලක්නාත්) හර්මන් සැම්සන්( ඩබ්ලිව්. ජයසිරි) මාර්තා සැම්සන්( නීටා ප්‍රනාන්දු) ග්‍රේටා( රීනි ද සිල්වා) ප්‍රධාන ලිපිකරු(ලක්ෂ්මන් මෙන්ඩිස්) මෙහෙකාරිය( නිලන්ති විජේසිංහ) රඟපාති.  චිත්‍රපටයට අනුව මෙහෙකාරිය කැරපොත්තා දැක රැකියාවෙන් ඉවත්වී යන් අතර ටික දිනෙකින් අලුත් මෙහෙකාරියක්( චමිලා පීරිස්) බඳවා ගානේ ලැබේ.  නවාතැන් කරුවන් ද කාමරය හැරයන්නේ කැරපොත්තා දැකීම හේතුවෙනි.  මියගොස් ඇති කැරපොත්තා දකින්නේ නව මෙහෙකාරියයි.  සැම්සන් පවුල කාරයකට නැග ගෙදරින් පිටත්ව යති.  කාරය අයිතිකරුවා වන්නේ ග්‍රේටා විවාහ වන්නට සිටින තරුණයා ය.  ඔවුන් කඳුකර පළාතකට යති.  චිත්‍රපටය අවසන් වන්නේ ග්‍රෙගරි සැම්සන් ගේ සොහොන් කොතේ දර්ශනයකිනි෴

( රූප විපර්යාසය, ෆ්‍රාන්ස් කෆ්කා.  පරිවර්තනය කේ.ජී කරුණාතිලක. ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම 1997)

Tuesday, September 25, 2018

දිවිසයුරෙන් දියදෝතක්.


කෑගලු දිසාවේ අටුලුගම් කෝරළයේ මාහින්කන්දේ උපන් මාහින්කන්ද ගම්ලද්දලාගේ ( මාගම් ) තෙන්නකෝන් ගමේ සිංහල පාසලින් 'අ' යනු කියවා ලංකා විශ්ව විද්‍යාලය තෙක් ගමන් කොට 1955 දී ගුරු වෘත්තියට බටුයේය.  කෑගලු විදුහලින් ඉගැන්නිල්ල අරඹා කොළඹ ශාන්ත ජෝසප් විදුහල, ආනන්ද විදුහල, රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල, රත්නපුර සීවලී විදුහල, උඩුවර සුදර්මාවාස පිරිවෙණ ඇතුළු විදුහල් ගණනාවකදී එහි රස බැලීය.

වර්ෂ 1956 දී නවදිල්ලියේ පැවති ප්‍රථම ආසියානු ලේඛක සමුළුවට ලංකා නියෝජිත පිරිසේ ලේකම් ලෙස සහභාගී වූ හෙතෙම චීන ලේඛක සංගමයේ ඇරයුමක් ලැබ නව චීනයේ සංචාරයක යෙදී පැමිණ ලේක්හවුස් ආයතනය ඇතුළු ප්‍රවෘත්ති ආයතන කීපයකට පත්‍ර කලාවේදියකු ලෙස වැඩ කළේය.  'ජනදින', 'ජනසතිය' දෙපුවත්පත්හිම සකසු ලෙසද කලක් සිටියේය.

1960 මාර්තු මැතිවරණයේ මහජන එක්සත් පෙරමුණෙන් රුවන්වැල්ල ආසනයට තරග වැදී පැරදිණි.  දේශපාලනය කලැයි 1965 දී රැකියාවෙන් නෙරපිනි.  අනතුරුව කලක් ගොවිතැනින් ජීවත්විය.  1970 දී නැවත රැකියාව ලැබී තමා අකුරු කරවූ අටුලුගම විදුහලේම මුල් පුටුව හෙබවීමට වරම ලද ඔහු 1976 දී එකුන් පණස්වියේ සිටිමින් ඊනියා ගුරු වෘත්තියෙන් සමු ගත්තේය.

'නූතන සිංහල ගද්‍යය', 'පරපුට්ටන්ගේ පාරාදීසය', 'පිස්සෙකුගේ මතක සටහන්' යන පොත් තුනක් ද ඔහු නමින් පළ විය.  අද ඔහු කලක් ළමා කළ ගෙවූ පිටිසර ගම්මානයේම සිවුසැට වියේ මළහිරුගේ 'රත' බලමින් සිටියි.

( මෙම කොටස මා උපුටා ගත්තේ මාගම් තෙන්නකෝන් විසින් රචිත 'දිවිසයුරෙන් දියදෝතක්' නම් කොටස් දෙකකින් යුත් පොතේ පළමු කොටසිනි.  දැන් අපි ඒ පොතේ 7 වන පරිච්ඡේදය රස විඳිමු.)
                                                     +++++++++++++++++++++++++

වර්ෂ 1936 වන විට මැලේරියා වසංගතයේ තෙද කෙමෙන් බිඳ වැටෙමින් පැවතිණි.  ක්වීනින් වතුර ඊට එකම ප්‍රත්‍යක්ෂ ඖෂධයයි.  හිස්බඩ ක්වීනින් වතුර පතක් බීමද කොත්තමල්ලි හා බාර්ලි තැම්බූ වතුරෙන් බඩ පුරවා ගැනීමද හැර වෙනත් ප්‍රතිකර්මයක් එකල නොවීය.

දුර පාසල් ගමනින් හෙම්බත් වී උන් මමද මැලේරියාවට ගොදුරු වීමි.  මේ උණය කරුමයක් නිසා බෝවූ ලෙඩකැයි ඇතැම් ගැමියෝ කීහ.  කරුමයක් මුළු ජනතාවට පටිසන් දුන් අයුරු ද නැතහොත් ලෙඩට ඔරොත්තු දීමට තරම් ප්‍රමාණවත් පෝෂ්‍යදායක ආහාර ශරීරගත නොවීම නිසා පැමිණි ආපත්තියක් ද?  භෞතික වාදයත් විඥාන වාදයත් අතර හිරවුවකු බඳු මට පෙනෙන්නේ මෙය යටත් විජිතවාදය විසින් රෝගියකු කරන ලද ජාතික ආර්ථික දේහයේ ඉස්මතු වුණ වණ කුෂ්ඨ රෝගයක් ලෙසිනි.

දිනක් අපේ 'පුංචි' තාත්තා පැමිණියේය.  තනිකඩයකු වූ ඔහු අප පවුලට අයත් කනන්ගම ගමේ පිහිටි විශාල ඉඩමක ගෙයක් තනාගෙන උන්නේය.

" අක්කාට දැන් ළමයි වැඩිවෙලා කරදර ඇතිනේදැ" යි විමසු ඔහු ලෙඩ ගානේ ඉස්කෝලේ නොගොස් උන් මම ඔහුගේ නිවෙසට කැඳවාගෙන එනු ලැබීමි.  ඔහුගේ නිවෙස තුන් පැත්තක් අඩි තුනක් පමණ උසට ලෑලි ගසා ඉතිරි උඩ කොටස ජලිස් ගසා අතු සෙවිලි කළ විශාල සාලයකින් හා කුස්සි පොඩ්ඩකින් සමන්විත පදිංචියට ඉතා ප්‍රසන්න තැනෙකි.  ඔහු එහි පදිංචිව සිටියේ ' ඈ කොට ආතා' නමින් අප විසින් හඳුන්වන ලද අවුරුදු හැටපහක් පමණ වයසැති ගොවියකු සමගය.  ඈ කොට ආතා අපේ කුඹුරක් වැඩ කළ අතර වත්තේ පොල් කඩා කොප්පරා වේලීම ද කළේය.

පුංචි තාත්තා විවාහවී උන්නේ සූදු ක්‍රීඩාවත් සමගය.  ඉනුත් 'අජුත' ක්‍රීඩාව ජීවිත කාලයක් ඔහුගේ එකම පෙම්වතිය වූ සූදු ක්‍රීඩාවයි.  එම ක්‍රීඩාවෙන් මුදල් උපයන අදහසක් ඔහුට නොවීය.  ඇදහීමෙන් හා ගති පැවතුම් වලින් ඉතා හොඳ බෞද්ධයකු වූ ඔහු සූදු ක්‍රීඩාවට මෙතරම් ඇල්මක් දැක්වුයේ මොන හේතුවක් නිසාදැයි මම නොදනිමි.  ඔහුගේ ජීවිතය ගැන කල්පනා කරනවිට හැඟෙන්නේ ප්‍රේම සම්බන්ධයක් කඩාකප්පල් වීමෙන් උපන් කණස්සලු සිත සනසා ගැනීම පිණිස සූදු ක්‍රීඩාවට යොමු වූ කෙනෙකු ලෙසය.  කේඩෑරි, උස, ළැමේ රෝම ඉතා ඝනව වැඩුණු, කුඩා හිසක් හා වටකුරු දෙනෙත් ඇති ඔහුගේ හැඩ රුව ගැන සිතනවිට මට සිහිවන්නේ මහත්මා ගාන්ධිගේ රූපයයි.

පුංචි තාත්තාගේ නිවෙස පිටුපස අක්කර දහයක පමණ ඝණ වන කඩෙකි.  කඳු බෑවුමක පිහිටි මෙම වන කඩ ඉස්මත්තේ " කබරගල" නම් වූ සුවිසල් ගල් පර්වතයකි.  සුළු පියා හඳුන්වන ලද්දේද " කබරගලේ රාළහාමි" යන නමිනි.  අක්කරයක පමණ තැනිතලා පොල් ඉඩමක පිහිටි ඔහුගේ නිවෙස ඉදිරිපසින්, කබරගලින් ඇරැඹෙන දියත්තක් කුඩා ගල් සිඛර අතරින් නිරන්තර 'සිරිසිරි' යාවෙන් ගලාබසී.  දියත්තට තරමක් දුරින් ආතතික පොකුණකි.  අඩි දහය- අට වළක් කැණ තනන ලද මෙම පොකුණට ජලය සැපයුණේ පතුල පුරා විහිදුණ ගල් පොත්ත යටින් උනන දිය දහරිනි.  මෙම පොකුණේ රතු නෙළුම් හා නිල් මානෙල් උදයට පිපිණි.  ඕලු හා කුමුදු(අඹුල) මල් සවස් යාමයේ පිපිණි.  විල් කොණ වසා පැතුරුණු කොළ ජාලය ඔසවා සිටි දඬු අතරින් වරල් ගස්සමින් ඔබ මොබ පිහිනන ලේල්ලු අහිනක්ද පොකුණේ විසුහ.  හිරු රැසින් දිලිසෙන රන්වන් හරස් ඉරි වැටුණු ලේල්ලු ඊට සජීවී ලස්සනක් එක් කළහ.

දියත්තත් ගෙයත් අතර උස ගල් වැටිය උඩ විශාල අසෝක වෘක්ෂයකි.  අසෝක යනු හෝපලු ගසට නමෙකි.  උල් දිග පටු පත්‍ර වලින් ගහන අසෝක ගසේ පොකුරු වශයෙන් පිපෙන මල් රත්මල් වැනි කුඩාමල් සමූහයකින් සමන්විතය.  නිල්වන් කොළ අතර රතට රතේ පිපෙන මල් පොකුරුවලින් ආකූල අසෝක ගස සියළු වන ලෝලයින් ආනන්දයෙන් කුල්මත් කරවන සුළුය.

හෝපලු ගස ප්‍රේමය හා පෙම්වතුන් පිලිබඳ ජන කථා කීපයකටද මුල් වෙයි.  ලංකේශ්වර රාවණා රජු සමග පැන ආ සීතා කුමරිය කලක් සැඟවී උන්නේ හෝපලු වනයකය.  සාලිය කුමරු අසෝක මල් නෙළමින් උන් සැඩොල් කෙල්ලක් හා ප්‍රේමයෙන් බැඳිණි.  වෙල්ලාල කුලයේ හින්දු බැතිමත්තු මඟුල් ගෙවලට අසෝක අත්තක් ගෙන යත්ලු.  හෝපලු ගස ප්‍රේමය, ආලය පිලිබඳ සංකේතයක් ලෙස හින්දු හු සලකති.  ඔවුහු අසෝක ගසට 'අඟන ප්‍රිය' යන නාමය ද දුන්හ.  භද්‍ර යෞවනියන් අසෝක ගසේ මුල් පෑගු විට එහි මල් පිපෙන බවක් ද කියති.  ' ළ හොපල්ලෙහි සිහිලස්' ගෙනැයි, ගුරුළු ගෝමීහු අසෝක දල්ලේ සිහිල ගැන කීහ.

අසෝක ගස හා ස්ත්‍රී ප්‍රේමය අතර කිසියම් සම්බන්ධයක් ගැන මහා බණ කාරයකු වූ මාගේ සුළු පියා සමහර විට දැන සිටින්නට ඇත.  ව්‍යර්ථ වූ ප්‍රේම සම්බන්ධයක් නිසා කළකිරීමට පත්ව සිටි ඔහු ප්‍රේමයේ සංකේතයක් වූ අසෝක ගසක් පමණක් මිදුලේ ම වවන්නට ඇත්තේ එම කළකිරීමේ කුරිරු භාවය අමතක කරනු පිණිස විය යුතුය.  ඔහුගේ සාන්ත දාන්ත පැවැතුම්, මතුපිටින් පෙණෙන මනුෂ්‍ය රූපයෙන් නොකියවෙන ගැඹුරු, නිර්මල දහමෙකින් හික්මැවෙන්නට ඇතැයි සිතේ.  මනුෂ්‍යයා හා වෘක්ෂලතා අතර පවත්නා බැඳීම, සංසදය ගැන ඔහු දැන සිටින්නට ඇත.

කෑමට ගත් බත් පිඟානෙන් බත් ගුළියක් අනන ඔහු එම ගුළිය උස් තැනෙක තබයි.  එය බත් උළක් පතා මිනිස් ඇසට නොපෙනෙන රුවකින් පෙනී සිටිතැයි කියන මළ පෙරේතයින් සඳහා විය යුතුය.  සාංඝීක දේපල කෑවවුන් මහා ප්‍රේතයින් ලෙස උපදින බව ඈත සමයේ සෙල් ලිපිවල සඳහන් වෙයි.  දේපල අයිතිය කාටදැයි සොයන්නට බඩගින්නේ දැවෙන එකාට වෙලාවක් නැත.  බත් ගුළිය එවැන්නන් සඳහාදැයි නොදනිමි.  එවන් පෙරේතයින් ගැන අප අනුකම්පා කළ යුතුය.  මහජන සන්තක දේපලත් එක් අයුරකින් සාංඝීක දේපලකි.  එම දේපල පෞද්ගලිකව භුක්ති විඳින්නන් නම් ප්‍රේතාත්මයේ ඉපදීම ගැන අප සන්තෝස විය යුතුය.  ඔවුනට මේ ආත්මයේ දී දේශපාලන රැකවරණ තිබෙන බැවින් දඬුවම් නොලැබෙන නිසාය.

සුළු පියා අජුත ක්‍රීඩාව සඳහා ඈත ගම් දනව් කරා ගිය දිනවල මාගේ එකම ආරක්ෂකයා ද හිත මිත්‍රයා ද වුයේ ඈ කොට ආතාය.  ඉත්තෑවකුට බැන්ද තුවක්කුවක මරු වැල බැරිවීමෙකින් පෑගී ඔහුගේ වම් කකුලේ ගොප් ඇටය බිඳිණි.  තුවාලය සනීප වූ පසු කකුල අඟලකින් පමණ කොටය.  තුවාල සලකුණ වටා පරංගි වැනි විශාල සුදු පැල්ලමක් විය.  'ඈ කොට ආතා' යන නම වැටෙන්නට ඇත්තේ මේ ඇබැද්දිය නිසා විය යුතුය.  වම් කකුල හෝ වම් අත බිඳෙන්නේ සෙනසුරු අපලෙටලු.  ඈ කොට ආතා ගතකළ ජීවිතයත් සෙනසුරු අපල කාරයකුගේ ජීවිතයට සමානය.  අඩක් බිඳුණු පාදය ඔහුගේ අර්ධ දඩයක්කාර ජීවිතය පිලිබඳ සිහිවටනයක් වැන්න.

ඈ කොට ආතා සතුන්ට උගුල් ඇටවීමෙහි ලා හපනෙකි.  කුඹුරු පැසෙන කාලයට උගුල්වල අසුවන සතුන්ගේ මසින් ඔහුට අඩුවක් නැත.  වයිතාලයේ අවදිවන ඔහු කුඩා හැළියක් ලිප තබා තේ කොළ තම්බයි.  තැම්බූ කොළ වතුර ලොකු පොල්කටු කෝප්පයකට ගෙන පොල් මද පලුවක් සමග ගිල දමයි.  කූර පයියක්ද උල් පිහියක් ද ගන්නා ඔහු අනතුරුව අපේ නිවහනට හුඟ පහල කුඹුර කරා යයි.  යායේ ඉස්මත්තේ පිහිටි කුඹුර තුන් පසෙකින් ලඳු කැලෑවය.  එබැවින් වියට කන සතුන්ගෙන් වන හානිය මහත්ය.  වී කරල් කපන ලේනුන් සඳහා ඇටවූ උගුල් පද්ධතියක් කුඹුර පුරා විය.  කකුලට ඇටවූ උගුල්වල කොරවක්කෝ අසුවෙති.  බරින් රාත්තල් දෙකක් පමණ වූ ලොකු තලස් මීයෝ ද ගොයම් කැපු වරදට උගුලේ දිවි පුදති.  පැයක් හමාරකින් ඔහු ආපසු එන්නේ, අළුයම් ගොයමින් තෙමුණු හැඳි කඩින්, ගොයම් බූව ගෑවී කසන දෙකකුල් හා අත් පිසලමින් දඩයම් මල්ලෙන් කිසියම් දඩයමක් ද රැගෙනය.

කොරවකුන් තෙලින් බැද කෑමටය.  හමගැසූ ලේන් සිරුරු වේලුණු පසු එළවලු වැංජන වලට කලවම් කොට කනු පිණිස දුම යට වලිගයෙන් එල්ලා තබනු ලැබේ.  එල්ලන්නේ මළකුණු බැවින්, ඔහුට පාපයක් සිදුවීමට තිබෙන ඉඩ අඩුය.  පණපිටින් මිනිසුන් පිළිස්සූ යුගය ඔහු දැක නැත.  තලස් මීයෝ මයිල් පිළිස්සීම පිණිස සිවු කකුලින් ඔසවා ගින්නට අල්ලනු ලැබෙත්.  පිළිස්සුණු මයිල් ඇති හම අනතුරුව පිහියෙන් පෙරන් ගා මස් කපා ඇතිලියට සූදානම් කෙරේ.  මස ඉදෙන තෙක් අසල කිතුල් ගසට නගින ඔහු රා මුට්ටියක් ද බාගෙන වුත් ඉදෙන මසේ රස බලමින් එය හිස්කරයි.  අනතුරුව කොළපත් පිඟානකට හීල් බත බෙදාගන්නා ඔහු දාඩිය දෙකන්සයෙන් පෙරමින් මසුත් සමග බත හෙමි හෙමින් අභිරුචියෙන් ගිල දමයි.

ගෙය පිටුපස වන රොද අවට වෙනත් කැලෑ බිමක් නොවුයෙන් කුඩා වන සතුන්ගෙන් ගහනය.  අපේ කැලෑ වලින් සීඝ්‍රයෙන් වඳවීගෙන යන හබන් කුකුල්ලු ජෝඩු කීපයක් ද මෙහි විසූහ.  ළා ගුරුපාට සිනිඳු පෙඳ වලින් වැසුණු, කුඩා කිකිළියක තරම් වන මේ ශෝභන අහිංසක පක්ෂියාගේ මස රස නහර පිනවන කදිම මසෙකි.  ඈ කොට ආතාගේ බෙහෙත් තුවක්කුවේ අබ ඇට තරම් මූනිස්සං උණ්ඩයට මොවුහු වරින්වර ඉලක්ක වුහ.

හබක ඇටවීම, ඉත්තෑවුන් ඇල්ලීම සඳහා එකල බහුල ලෙස යොදාගත් නමුදු ඔහු මුන් ඇල්ලුවේද උගුල් ඇටවීමෙනි.  ඉත්තෑවා උගේ පිටුපස කූරු වල්ල දියයට ගසා වහා ඔසවා ගනී.  එවිට කූරු අතර තිබෙන බෙහෙත් කුප්පි වැනි සිදුරක් සහිත විශේෂ කූරු වගයක වතුර පිරෙයි.  මේ වතුර ඉත්තෑවා ලගින ගුහාවේ පස මඩ කර ගනු සඳහාය.  ඌ මඩ සහිත බිමේ ලැගීම ප්‍රිය කරන සතෙකි.  ඉන්නා තැන මඩ කරන පුරුද්ද මූට මරු කැඳවයි.

රිංගා ගත් ගල් කුහරයෙන් එළියට එන ඉත්තෑවා කුහර මුඛයේ අටවා තිබෙන මන්දේ බැඳෙයි.  ඌ මන්දේ බැඳත්ම මන්දට ගැට ගැසූ දුන්නක් මෙන් නැමූ උගුල් පොල්ල ගැස්සෙයි.  උගුල් පොල්ලේ අග්ගිස්සේ කොස් ගෙඩියක් මෙන් එල්ලෙන ඉත්තෑවා, ගොවියාට කිවයුතු හානියක් නොකරන නමුදු එල්ලුම් ගස් යන්නේ ගොවියෙකුගේ ශ්‍රම ශක්තිය වැඩි දියුණු කරනු සඳහාය.  මස පිණිස සතකු මැරීම පාප කර්මයක් ලෙස ඈ කොට ආතා විසින් නොසලකන්නට ඇත.  මහා බෞද්ධයකු වූ ධර්මාශෝක රජු රාජ භෝජනයට මැරවුණු මොණරුන්ගේ ගණන අඩුකළේ එකකු දෙන්නෙකුගෙන් පමණයි.  හුදු ශාක භක්ෂණය පමණක් බර වැඩට කැපවූ ගොවියාට ප්‍රමාණවත් නැත.  

කුඹුරු පීදෙන සමයේ ඔහුට වැඩ වැඩිවෙයි.  ගොයමට සාත්තු කිරීම සඳහා වුවමනා දෑ සම්පාදනය කළ යුතුය.  දළුක් ගසේ කිරි, දෙරණ තෙල් හා කොහොල්ලෑ මිශ්‍ර කොට තනාගත් ආලේපයක් හීන් බෝටියා අතු අතුරා බටලීයක බැඳ තනාගත් ඉදලක් වැනි පැලැල්ලකින් පීදෙන ගොයම් සාත්තු කළ යුතුය.  මැස්සෝ මේ පැලැල්ලේ ඇලී මරු දකිති.

කබරගල උඩ දළුක් ගස් පඳුරු රාශියක් විය.  මේ ගසේ කිරි ඇසට වැටුණොත් ඇස අන්ධවන තරමට විස සහිත බැවින් කිරි කොටා ගත යුත්තේ ඉතා කල්පනාකාරීවය.

ඈ කොට ආතා බාහිර ලෝකය අමතක කොට නිතරම පාහේ ප්‍රීතිමත් මුහුණකින් යුත් කළුවන් උස ගොරෝසු මිනිසෙකි.  ඔහු තුන්වේලටම ඇති පදම් කිතුල් රා බිව්වේය.  පදම වැඩිවූ ඇතැම් දිනෙක ඔහු අඩ නින්දේම කවියක් දෙකක් හඬ නගා කියයි.  ඔහු කී සමහර කවියක් සිහිවන විට මට අද සිතෙන්නේ ඔහුගේ ගොරෝසු පෙනුමට යටින් ඉතා සුළු ස්පර්ශයකින් පවා හැඩෙන වයලීන තතක් වන් හදවතක් ඔහුට තිබෙන්නට ඇති බවකි.  නිතර නිතර ඇසුණු නිසාද ශෘංගාර රසාලිප්ත රසයක් ගැබ් වන බැවින් ද ඔහු කී කවියක් මට කට පාඩම් හිටියේය.

අකුණු හඬ ලෙසට පිටි කොටනා          කෙල්ලේ 
පොකුණු දිය ලෙසට ඩා බිඳු              වැගිරිල්ලේ 
මුකුළු සිනා පාවී යයි                        පවනැල්ලේ
කැකුළු තන වැටෙයි පිටි නොකොටන්   කෙල්ලේ

ඔහු තරුණ කාලයේ පෙම් බැඳි ගැමි ලියක් සිහි කරමින් ශෝක වෙමින් මහළු කාලය ගත කරන ප්‍රෙම පරාජිතයකුදැයි නොදනිමි.  ඔහුට බිරියක් සිටි බවක් නෑසීමි.

දළුක් කිරි කෙටීමට කබරගලට නැගීමට සුදානම් වූ එක් දිනෙක ඔහු මාද කැඳවා ගෙන යාමට කැමති විය.  අහල පහළ මනුස්ස හාවක් හූවක් නැති ඒ පාළු නිවසේ මා තනි කොට යෑම නොහොබිතියි සිතූ සෙයකි.  මුදුනට නැංගවිට සිරිපාදය පෙනෙතියි ඔහු මට කීය.  සිරිපා වන්දනා නඩ, තුන් සරණය මහා හඬින් කියමින්, තෙල් පන්දම් ආලෝකයෙන් රබර් වතු ඔස්සේ ගමන් කරනු අපේ කඳුකර නිවහනට ද ඒ සමයේ ඇසෙයි, පෙනෙයි.

ගලට නැගීමට ගල පහළ කැලෑව මැදින් ගමන් කළ යුතුය.  අඩියෙන් අඩිය සරසට වැවුණු වැල් හා අතු රිකිලි කපමින් ගිය යුතු මේ ගමන බෙහෙවින් ආයාසකරය.  කබරොස්ස, නාපිරිත්ත, එරමිනියා හා මාවේ රැහැන් මග හරිමින් සීරුවෙන් ඉහළට නංග යුතුය.  පොළොව දෙපා වැසෙන තරම් ඝණ වියළි පත්‍ර ආවරණයකින් වැසී ඇත.  මේ කොළ ආස්තරණය යට පිඹුරන් තොන්ඩු තබාගෙන සිටින වගක් ද ආතා මා සමග කීය.  ඔහු දිනක් පිඹුරු තඩියෙකු තලාගෙන ගෙලට බැඳි කොරස වැලකින් ඇදගෙන ආ හැටි මට මතකය.   ඌ මිදුලේ අසෝක ගසේ බැඳ සිටියේය.  ඌට තවත් පණ තිබිණි.  උදයේ බලනවිට පිඹුරු තඩියා එහි නැත.  ඌ ගැටයට හිරවුණු තැන වරින්වර හීන් කරමින් ගැටයෙන් ලිස්සා පණ බේරාගෙන ගොසිනි.

ගල මුදුනට නැංග යුත්තේ ගල් කුහර තුළ වැඩුණු කවුඩු බෝ සහ අත්තික්කා ගස්වල පහතට එල්ලෙන මුල්වල හා එම ගස් වෙලාගෙන වැවුණු කොරස, වෙනි, හොඬල හා දුල් වැල්වල ආධාරයෙනි.  මෙම ගල හා එය ආශ්‍රිත ගහ කොළ මනුෂ්‍යයාගේ විනාශකාරී හස්තයට එතෙක් අසු වී නොතිබිණි.  වැසි දිය නොවැටෙන ගල් තලුවල බැන්ද බමර මැසි පොදි කුලප්පු නොවන ලෙසින් මා ඉස්සර කොටගත් ඈ කොට ආතා හෙමින් හෙමින් උඩට ඇදුණේය.

ගල මතුපිට දළුක් ගොම්මන හැරුණුවිට පනම් පෙති හා පෙඳ පාසි එතුණු කර කටු පඳුරු කීපයක් විනා වෙනත් ශාක වර්ගයක් නොවීය.  අපේ ගමනින් කලබල වූ සෙයක් පෑ රැහැයියෝ 'රෑ රෑ' කියමින් දිවා කළ ද රෑ වුණු බවම කියති.  අඳුරට ප්‍රිය කරන මේ කුඩා කීටයා උගේ සිනිඳු දැල් තල වැනි පියාපත් දෙක එකට ගටා පිරිමැදීමෙන් නංවන හඬ තන්ත්‍රමය සංගීත භාණ්ඩයකින් වුවද එතරම් දුරට ඇසෙන සේ නැංවිය නොහැක.  අඳුර සොර සැමියෙකු ලෙස වනයට පිවිසෙනවිට රැහැයියාටද රෑ වෙයි.  මේ කුඩා සතා සොයා ගැනීම දෛවයේ ශුභදායක පැත්ත සෙවීමටත් වඩා දුෂ්කරය.  කන් බිහිරි කරවන සුලු රැහැයි සංගීතයෙන් නිනාද වූ සිහිල් සුගන්ධවත් වාතය ගල මුදුනට නංග අපගේ විඩාව මොහොතින් සංසිඳීය.  

කබරගල මුදුනට සමනළකන්ද අගේට පෙනෙයි.  අහස මීදුම් පටලයෙන් වැසී නොතිබිණි.  නිල්වන් අහස් ගැබේ කාලවර්ණ කේතුවක් මෙන් නැගී සිටින එය දුටු ඈ කොට ආතා දෑත් එක්කොට ඊට වැඳ නමස්කාර කොට මා කරට ඔසවාගෙන සමනළ කන්ද මටද පෙන්වීය.

ඔහු අපේ පැරණි සිංහල ගම බටහිර අවලං හැදියාවට ගොදුරු වෙන්නට පෙර ජීවත් වූ හැබෑ ගැමි පරපුරක අවසාන පුරුකෙකි.  දුක හා සැප එළඹෙන පරිද්දෙන් උපේක්ෂාවෙන් ඉවසූ ඔහුට ලෝකය පෙනෙන්නට ඇත්තේ, දිවි පැවැත්මට සර්වප්‍රකාරයෙන් උපකාරී වූ කරුණාබරිත පියෙකු මෙනැයි සිතේ.  හැවිල්ලක්, හීල්ලීමක් ඔහු කෙරෙන් මම නෑසීමි.  ස්වභාව ධර්මයේ සියළු දායාද රිසි පමණින් භුක්ති විඳීමට ඔහුට නිදහස තිබිණි.  මනුෂ්‍යයා විසින්ම ලාගත් විලංගු නොවැටුණු සමාජයක ඔහු සන්තෝෂයෙන් ජීවත් විය.  මගේ ළමා කාලයෙන් මාස කීපයක් සුළු පියා හා ඈ කොට ආතා සමග ගතකළ ඒ සුන්දර අතීතය සිහිපත් වන විට අදද මම නිම්හිම් නැති ප්‍රීති ප්‍රමෝදයකින් ඇළලී යමි.

නිල්වන් අහසේ පාවෙන සුදු වළා කැටි උදාහිරු රැස් වැටී දිලිසෙමින් සමන්ත කූටය සිසාරමින් පාවී යයි.  අඩි හත්දහස් තුන්සිය හැටක් එක එල්ලේ නැගී සිටින මේ කෝණාකාර ගිරි කුළට දකුණු පසින් බෑණ සමනළයය.  එය දකුණත් සව්වෙකු මෙන් ශීර්ෂ ප්‍රණාමයෙන් මඳක් ඇලවී පිහිටා ඇත.  ඇස් මහින්ද හිමියන් සමනළ කඳට කී කවියක් මට මෙහිදී සිහිපත් වෙයි.

"මුනිඳුන් සරණ ලද එ සමන්             සුරනින්ද 
රකිනෙන් මෙ කප හිමි පවතින        මනනන්ද 
රුවනින් ල කළ කිරුළෙව් ලකඟන       බැන්ද 
පසෙකින් පෙනෙන්නෙය සමනළ මහ   කන්ද "

( දිවිසයුරෙන් දියදෝතක්,  මාගම් තෙන්නකෝන්. ප්‍රකාශනය ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ.  පළමුවන මුද්‍රණය 1992)

Thursday, August 16, 2018

අරණකට පෙම් බැඳ.


"අරණකට පෙම් බැඳ" යනු වංග ලේඛක විභූතිභූෂණ බන්ද්‍යාපාධ්‍යාය විසින් රචනා කරන ලද "ආරණ්‍යක්" නම්වූ අපූරු නවකතාවේ සිංහල පරිවර්තනයයි.  මෙම නවකතාව වංග බසින් සිංහලට පරිවර්තනය කොට ඇත්තේ ලංකාවේ සිටි ප්‍රතිභාපූර්ණ ලේඛිකාවක් හා පරිවර්තිකාවක්  වූ චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය විසිනි.

විභූතිභුෂණ බන්ද්‍යාපාධ්‍යාය (1894 -1950 ) ලියු 'පොථෙර් පංචලි,' සහ 'අපරාජිතෝ' යන කෘති දෙකද සිංහලට පරිවර්තනය කොට ඇත්තේ චින්තා ලක්ෂ්මි මහත්මිය විසිනි.  එම කෘතිවල පමණක් නොවැ මෙම ලේඛකයාගේ සෑම කතාවකම පාහේ ස්වභාව සෞන්දර්යය ගැන සඳහන් වේ.

විභූතිභුෂණ තරම් අව්‍යාජ ලෙසත් චිත්තාකර්ෂණීය ලෙසත් ස්වභාවික පරිසරය ගැන වර්ණනා කළ වෙනත් ලේඛකයකු නොමැති තරම්ය.  ඔහු මේ පොත රචනා කර ඇත්තේ 1937 සිට  1939 දක්වාවූ කාල සීමාව තුළය.  මෙයට පසුබිම්වී තිබෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් හි වනගත වතුයායකි.  කතුවරයා එම වතුයායේ වසර හයක් උප කළමනාකරුවකු ලෙස සේවය කරද්දී ලද අත්දැකීම් 'ආරණ්‍යක්' මෙන්ම තවත් නවකතා කීපයකටද උපයෝගී කරගන්නා ලදී. ( පරිවර්තිකාව ගේ හැඳින්වීම ඇසුරෙනි )

චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි මහත්මියගේ අභාවයෙන් පසු ඇය ගැන මහාචාර්ය සරත් විජේසුරිය මහතා ලියු සටහනක් මෙතැනින්  කියවන්න.

                                *       *        *       *      *

ලොබ්ටුලියාවේ උතුරු දෙසින් වැවක් තිබුණි.  මිනිසුන් එය හැඳින්වුයේ සරස්වතී වැව යන නමිනි.  එය තුන් පැත්තකින් ඝන වනාන්තරයෙන් වට වී තිබිණ.  අප සිටින පැත්තේ හෝ ලොබ්ටුලියාවේ එවැනි වනයක් නොතිබිණ.  ඒ වනය සුවිශාල වෘක්ෂයන්ගෙන් ගහණ වූ එකක් විය.  ජලාශයක් අසල වූ නිසා හෝ වෙනත් කරුණක් නිසා හෝ විවිධාකාර වූද විචිත්‍ර වූද ගස් වැල් වලින් සමන්විත වූ විශාල වනාන්තරය විසින් සරස්වතී වැවේ නිල්වන් ජලතලය අර්ධ කවාකාරව වට කරගනු ලැබිණ.  එහි එක් පැත්තකින් පමණක් නිදහස් තැනිතලාවක් විය.  එතැන සිට බලන විට නැගෙනහිර පැත්තේ ඉතා ඈතට යන තෙක් විහිදුණු නිල් අහසත් ඈත ගල් පර්වත දෙපළත් දිස්වෙයි.  ඒ නිසා වැවේ නැගෙනහිර පැත්තේ ඉවුරේ හිඳගෙන වම් පැත්තත් දකුණු පැත්තත් බැලු විට සරස්වතී වැවේ ඇති අපූරු සුන්දරත්වය දැකිය හැක.  වම් පසින් වූ ඝනව වැඩුණු තුරු ලතා දෙස බලද්දී එහි හරිත වර්ණ සෞන්දර්යය මැද ගිලී ගොස් මට මා ගැනම අමතක වී යයි.  දකුණු පසින් වූ පැහැදිලි ජල තලයෙන් එපිට ඈත දක්වා විහිදුණු නිදහස් ආකාශයත්, අපැහැදිලි ලෙස දිස් වූ පර්වත පේළියත්, දෙස බැලු විට හදවත බැලුමක් මෙන් පිම්බී පොළොවෙන් ඉහළට එසවී යන්නා සේ දැනේ.  සමහර අවස්ථාවල මම එහි ගොස් ගල් පොත්ත මත තනිව හිඳගෙන සිටීමට පුරුදුව සිටියෙමි.  විටෙක වනය මැද නිදහසේ ඇවිද්දෙමි.  තවත් විටෙක සුවිසල් රුක් සෙවණක හිඳ කුරුලු කුජනවලට සවන් දුන්නෙමි.  විටින් විට එහි ගොස් විවිධ පැලෑටි වර්ග හා මල් එකතු කරගෙන ආවෙමි.  අප සිටි වත්තේ එතරම් කුරුල්ලන් නැත.  නොයෙක් ආකාර වූ පළතුරු කෑමටත් උස් තුරු මත කූඩු සෑදීමටත් ඉඩ ලැබෙන නිසා වැව අවට කුරුල්ලන් ගහන වීමට හේතු වන්නට ඇත.  ඒ අවට විවිධාකාර වූ වන මල් ද පිපේ. එහි බොහෝ පළතුරු ද ඇත.

වැව් ඉවුරේ ඝනව වැඩුණු වනාන්තර සැතපුම් තුනක් පමණ දිගටද සැතපුම් එක හමාරක් පමණ පළලට ද විහිදී තිබුණි.  වැව අයිනේ සිට තුරු වදුළු අතරින් වැටුණු කුඩා අඩිපාරක් විය.  මම ඒ පාර දිගේ ඇවිදින්නට පුරුදුව සිටියෙමි.  එහි ගමන් කරද්දී විටින් විට වැවේ නිල් පැහැති ජලයත් ඊට ඉහළින් යටිකුරු කළ පාත්‍රයක් වැනි වූ ආකාශයත් දිගන්තයට මුසු වූ පර්වත පේළියත් නෙත ගැටේ.  'සර' 'සර' හඬ නංවමින් මඳ සුළං හමයි.  කුරුල්ලෝ ගී ගයති.  වනමල්වලින් එන සුවඳ නහයට දැනේ.

දිනක් මම ගසකට නැග අත්තක් මත හිඳ ගත්තෙමි.  එදා මා ලැබූ සතුට වෙනත් ආස්වාදයක් සමග සංසන්දනය කළ නොහැක.  මගේ හිසට ඉහළින් වුයේ විශාල වනස්පතීන්ගේ හරිත වර්ණ පත්‍ර රාශියකි.  තුරු වදුළ අතරින් නිල් පැහැති ආකාශය දිස්විය.  අසල වූ එක් විශාල මල් වැලක හටගත් මල් පොකුරු සුළඟේ සෙලවෙන්නට විය.  බොහෝ පහළින් ගස මුල තෙමුණු පස් සහිත පොළොවේ ලොකු බිම් මල් පිපී තිබිණ.  එහි පැමිණි විට බොහෝ වේලා කල්පනා කරමින් ගත කරන්නට සිතේ.  නොයෙක් ආකාර වූ නැවුම් හැඟීීම් හදවත පතුලේ සිට සෙමින් සෙමින් අවදි වෙයි.  එය ගැඹුරු ආස්වාදයක් ඇතිකර ගැනීම හැම වෘක්ෂ ලතාවකම හෘද ස්පන්දනයක මගේ හදවතේ ස්පන්දනය වන රුධිරයත් සමග මුසුවී ඇතැයි මට සිතේ.

අප සිටින වත්තේ එතරම් විචිත්‍ර වූ කුරුලු සමූහයක් නැත.  එය වෙනත් ලෝකයක් සේය.  එහි වූ වෘක්ෂ ලතා සහ ජීවීහු වෙනත් ආකාරයක් ගනිති.  මට හුරු පුරුදු වූ වසන්තයක සිරියාව ලොබ්ටුලියාවේ නැත.  එහි කෝකිල හඬක් නොඇසේ.  වසන්තයේදී පිපෙන හුරු පුරුදු මල් ද එහි නැත.  එහි ඇත්තේ රුක්ෂ වූද කර්කෂ වූද ස්වභාවයකි.  එහි සුන්දරත්වයක් ඇතත් එය මාධුර්යයෙන් හීන වූ එකකි.  එසේ වුවද එහි වූ විශාලත්වයත්, රූක්ෂ බවත් මගේ සිත වසඟ කරවයි.  එය සංගීතයේ භාවිත වන කෝමල ස්වර නොමැති රාගයක් වැනිය.  චෞ තාලය අනුව මාල්කෝන්ස් රාගයෙන් ගැයෙන ධ්‍රැපද් ගීයක් වැනිය.  එහි මිහිරි බවට ළං නොවුවත් ගැඹුරු ලෙස උච්ච ලෙස හදවත වෙනත් තලයක් කරා ලඟා කරවයි.

සරස්වතී වැව ඒ සමග සසඳන විට ඨූම්රි ගායනයක් සේය.  එහි කෝමල මිහිරි ස්වර මගින් හදවත මෘදු බවට පත් කරවා සිහින ලොවකට කැඳවා ගෙන යයි.  මැදින් බක් මාසවල නිසසල දවාලකදී වැව් ඉවුරේ ඇති රුක් පෙළ යට හිඳගෙන කුරුලු කූජනවලට සවන් දෙන විට හදවත බොහෝ දුර ගමන් කරයි.  කොහොඹ ගස්වල සුවඳත් මල් සුවඳත් වාතයේ රැඳී ඇත.  ජලයේ ඕලු මල් පිපෙයි.  මම එහි බොහෝ වේලාවක් ගත කර සවස් වූ පසු නැගිට නවාතැනට යමි.

නාඪා බයිහාරයේ ඉඩම් මිනිසුන්ට බෙදා දීම සඳහා මනින්නට පටන් ගත් විට මට නිතර එහි යෑමට සිදු විය.  ආපසු එහි සිට සැතපුම් දෙකක් ඈතින් ගිනිකොන පැත්තේ පිහිටි සරස්වතී වැව අසලට යමි.  ඒ වැව අසල වූ තුරු වදුලු අතරින් ඇවිදීමට ඇති ආසාව නිසාය.

දිනක් මම සවස තුනට පමණ එහි පැමිණියෙමි.  දැඩි හිරු රැස් මැද බොහෝ දුරක් දක්වා විහිදුණු තණ බිම් පසු කර ඩහදියෙන් පෙඟීී ගිය සිරුරින් යුතුව පැමිණ වැව් ඉවුරේ රුක් සෙවණ යටින් ගමන් කළෙමි.  තණ බිමේ සිට වැව දක්වා සැතපුම් එකහමාරක් පමණ දුරක් විය.  මම අශ්වයා ගසක බැඳ පඳුරක් යට ඉටි රෙද්දක් එළා හාන්සි වුයෙමි.  බිමට පහත් වූ අතු සහිත පඳුර යට වැතුරුණු විට පිටත සිට බලන කෙනෙකුට මා නොපෙනෙන තරම් විය.  ඊට ටිකක් ඉහළින් වූ ශක්තිමත් කඳක් ඇති ගසක වැල් එතී එහි අපූරු සෙවණක් නිර්මාණය වී තිබිණ.  මා සිටි තැනට මඳක් දුරින් වූ ගසක කොළ පැහැති ගෙඩි වර්ගයක පොකුරු මගේ පපුවට ඉහළින් එල්ලෙමින් තිබිණ.  තවත් ගසක මල්බර වූ අතු මා සිටිතැන වූ පඳුරේ අතු සමග පැටලී තිබිණ.  ඒ මල් ඉතා කුඩා ඒවා නිසා ලඟට මිස දුරට නොපෙනේ.  එසේ වුවද එහි සුවඳ කෙතරම් ඉමිහිරිවීද?  ඒ නම නොදන්නා කුඩා වන මලේ සුවඳින් පඳුර යට පරිසරය සුවඳවත් විය.

සරස්වතී වැවේ කුරුලු රජ දහන ගැන මම කලින් ද සඳහන් කළෙමි.  මෙතරම් කුරුල්ලන් රාශියක් දැන්නම් දකින්ටවත් නොලැබේ.  එහි නොයෙක් ආකාර වූ විවිධ වර්ණයන්ගෙන් යුක්ත වූ කුරුල්ලෝ රාශියක් සිටියහ.  නයිටින්ගේල්, සැළලිහිණියා, හර්ටිට්, ගිරවා, වලිකුකුළා, කුරුලුගොයා, බට්ටිච්චා, පරවියා, කහ කුරුල්ලා ආදීහු ඒ අතර වුහ.  උස් තුරු මුදුන්වල උකුස්සා, රාජාලියා ආදී කුරුල්ලෝ වුහ.  සරස්වතී නිල් ජලයේ කොකා, රතු හංසයා, මැණික් කුරුල්ලා, කාක් ආදී කුරුල්ලෝ වුහ.  මා සිටි පඳුරට ඉහළින් වූ පරිසරය කුරුල්ලන්ගේ හඬින් දොඩමළු විය.  වෙනත් තැනකදී නම් ඔවුන්ගේ උද්යෝගිමත් නාදයට අප සවන් දෙන විට එයට උන් නොකැමති බව පළ කරතත් මා සිටි තැනට මඳක් දුරින් පැද්දෙන අතු මත හිඳ කිචි බිචි ගෑ කුරුල්ලෝ මා ගණන් නොගත්තෝය.

කුරුල්ලන්ගේ මේ බිය නැති බව මා තුළ මහත් සතුටක් ඉපද වූ කරුණක් විය.  මා වැතිරී සිටි තැනින් නැගිට හිඳ ගත්තත් ඔවුහු බිය නොවුහ.  සමහරු මඳ දුරක් ඉගිලී ගියත් ඈතට පලා ගියේ නැත.  ටික වේලාවකින් ඔවුහු නටමින් ගයමින් මා අසලටම පැමිණියහ.

මා පළමුවරට අසල වනයේ සිටින මුවකු දැක්කේ මෙහි දීය.  අප සිටින වත්තේ ද මුවන් සිටින බව අසා තිබුණත් දැක තිබුණේ නැත.  මා පඳුර යට වැතිර සිටිය දී කිසියම් හඬක් ඇසී බැලු විට ඌ මුව පැටවෙකු බව මට තේරුම් ගියේය.  ඌ තමාගේ ලොකු ඇස් අයා මා දෙස විස්මයෙන් යුතුව බලා සිටියේය.  මේ කුමන අන්දමේ ජීවියකුදැයි ඌ සිතන්නට ඇත.

ටික වේලාවක් යනතුරු මුව පැටියාත් මමත් නොසෙල්වී නිහඬව සිටියෙමු.  සුළු මොහොතකට පසු තවත් හොඳින් මා දෙස බැලීමට මෙන් මඳක් ඉදිරියට පැමිණීමට සුදානම් වුයේය.  උගේ දෑස්වල මිනිස් දරුවෙකුගේ මෙන් කුතුහලයට පත් බැල්මක් විය.  ඌ තවත් ඉදිරියට පැමිණීමට පෙර මගේ අශ්වයා පා සොලවා සිරුර ගසා දැමු විට මුව පැටියා චකිතයට පත්ව පඳුරු මැදින් උගේ මවට ආරංචිය දැන්වීමට මෙන් පැන දිව්වේය.

ඉන්පසු තවත් ටික වේලාවක් පඳුර යට හිඳගෙන සිටියෙමි.  තුරු වදුළු අතරින් වැවේ නිල් ජලතලය අඩ සඳක හැඩයෙන් ඈත පර්වත පෙළේ පාමුල දක්වා විහිදී තිබෙන්නාක් සේ පෙනුණි.  අහස නිල් පැහැයක් ගත්තේය.  එහි වළාකුලක සේයාවක්වත් පෙනෙන්නට නොවීය.වැවේ ජලචර පක්ෂි රංචුව කලබල කරන්නට පටන් ගෙන සිටියහ.  මැණික් කුරුල්ලෙක් උස් තුරු හිසක හිඳ වරින් වර හඬ දී තමාගේ උදහස ප්‍රකාශ කරන්නට විය.  වැව අයිනේ වූ ලොකු තුරු හිස්මත කොක්කු රැළක් වසා සිටියෝය.  ඈත සිට බැලු විට උන් දිස් වුයේ සුදු මල් පොකුරු සේය.

හිරු රැස් ක්‍රමයෙන් රතු පැහැ ගත්තේය.  වැව් ඉවුරෙන් එහා පිහිටි පර්වත මුදුන් තඹ පැහැයෙන් දිස්වන්නට විය.  කොක්කු රංචුවක් පියාපත් ගසා ඉගිලෙන්නට පටන් ගත්හ.  ගස්වල කරටි මත වැතිරී තිබුණු හිරු රැස් ඉවත් වන්නට විය.

කුරුලු කූජන හඬ වැඩි විය.  නම නොදන්නා වන මල් වලින් එන සුගන්ධය තදින් දැනෙන්නට විය.  සැන්දෑ වෙන්නට වෙන්නට එහි සුවඳ වඩාත් තියුණු ලෙසද, මිහිරි ලෙසද දැනෙන්නට විය.  කොහෙන්දෝ ආ මුගටියෙක් මා දෙස ඇසි පිය නොහෙලා බලා සිටියේය.

මෙය කෙතරම් සැනසිලිදායක පරිසරයක්ද! මෙහි ඇත්තේ කෙතරම් හුදකලා ජනශුන්‍ය බවක්ද! මා එහි ගතකළ පැය තුනහමාරක පමණ කාලය තුළ මට ඇසුණේ කුරුලු හඬ පමණි.  ඒ හැර වෙනත් හඬක් මට අසන්නට ලැබුණා නම් කුරුල්ලන්ගේ යාම් ඊම් නිසා ගස්වල අතුවලින් නැගෙන හඬත්, වියළි පත්‍ර බිම පතිත වන හඬත්ය.  මිනිසෙකුගේ සේයාවක්වත් එහි දකින්නට නොවීය.

විවිධ වූද විචිත්‍ර වූද වෘක්ෂ රාජයෝ මගේ හිසට ඉහළින් පෙනෙන්නට වුහ.  ඉර බැස යන වෙලාවේ රන්වන් හිරු එළිය පතිත වීමෙන් ඔවුන් කෙරෙන් පල වුයේ අමුතුම සෝබාවකි.  බොහෝ ගස්වල කරටිය දක්වා වැල් එතී තිබිණ.  ඒ පළාතේ හිංයෝරා නමින් හැඳින්වෙන වැල් වර්ගයක් විය.  මා එය නම් කළේ හොම්රා වැල් යනුවෙනි.  ඒ වැල් වර්ගය ගසේ මුදුන් කරටිය දක්වා ගොස් ගස වැළඳ ගනියි.  මේ වැලේ මල් පිපෙන කාලයයි.  පිච්ච අමල් වැනි සුදු පැහැති කුඩා මල් පිරී විශාල තුරු හිස් එළිය වෙයි.  එහි සුවඳ ඉතා චමත්කාර ජනකය.  ඒවායේ සුවඳ බොහෝ දුරට අබ මල්වල සුවඳට සමාන වුවද එතරම් සැර ගතියක් නැත.

වැව අසල වනයේ සේපාලිකා ගස් බොහෝ වෙයි.  බැලු බැල්මට සමහර ස්ථාන පෙනෙන්නේ එය සේපාලිකාවලින්ම සැදුම් ලත් වනයක් ලෙසිනි.  විශාල ගල් තලා මත සරත් සමයේ උදෑසන සේපාලිකා මල් විසිරී තිබෙණු දක්නට ලැබේ.  කිසියම් වර්ගයක රළු තෘණ වර්ගයක් ඒ ගල් තලා අසල කටු ගස් වර්ගයක් සමග එතී වැඩේ.  ඒ පඳුරු මතද සේපාලිකා මල් විසිරී තිබුණි.  එය සෙවණ ඇති තෙතමනය පවතින ස්ථානයක් නිසා උදෑසන වැටුණු මල් වියළී ගොස් තිබුණේ නැත.

සරස්වතී වැවේ මෙතරම් සෞන්දර්යයක් මා දුටුවත් මිනිස්සු මේ අසල ව්‍යාඝ්‍රයන් කොටියන් සිටින බව කියා එහි පැමිණීමට බිය වෙති.  සඳ එළිය ඇති රැයක ඈත දක්වා පැතිරුණු වැව් තලයේ සිරියාව දැකීමට ඇති ආශාව නිසා බනවාරි ලාල් රවටා පුරපෝය දිනයක ආජමාබාද්හි පිහිටි ප්‍රධාන කාර්යාලයට යන බව අඟවා අශ්වයා පිට නැගී එහි ගියෙමි.

එදින මට ව්‍යාඝ්‍රයන් දකින්නට නොලැබුණත් මායාකාරී වන දෙව් ලියන් සඳ එළියෙන් නෑවුන වැව් ජලයේ ජල ක්‍රීඩා කරන්නට නියත වශයෙන්ම මධ්‍යම රාත්‍රියේ පැමිණෙන බව මට හැඟීී ගියේය.  පරිසරයේ දැඩි නිහඬතාව අතරින් නැගෙනහිර පැත්තේ ඉවුර දෙසින් සිවලුන්ගේ හූ හඬ වරින් වර ඇසෙන්නට විය.  ඈතින් පිහිටි පර්වත පේළියත් වන සිරසත් අපැහැදිලිව නෙත ගැටුණි.  සඳ එළියේ පින්නෙන් බරවූ වාතයේ හොම්රා වැල්වල මල්වලින් එන මුදු සුවඳ දැනෙන්නට විය.  මා ඉදිරිපිට වූ වනයත් පර්වත පේළියත් අතර වූ ඈතට විහිදුණු තරංග රහිත වැව් තාලය මතට සඳ රැස් වැටී තිබිණ.  මඳ සුළං රැලි අතර දිස්වූ සඳ එළිය දිව්‍යමය ස්වභාවයක් පල කළේය.  හොම්රා ලතාවල කුඩා සුදු පැහැති මල් සහිත තුරු හිස් මතට සඳ එළිය වැටුණු විට ඒවා සුරලියන් විසින් එලන ලද සේල සේ දිස් විය.  කෘමියෙක් රැහැයියෙකුගේ හඬට සමාන හඬකින් එක දිගටම හඬ තලන්නට විය.  ගසකින් කොළයක් දෙකක් බිම පතිත වන හඬත්, වියළුණු කොළ මතින් 'සර' 'සර' ගා සතෙකු පලායන හඬත් මට ඇසිණි.

වන දෙව්ලියන් මා සිටියදී එහි නොඑනු ඇතැයි මට සිතුණි.මටද බොහෝ වේලා යන තුරු පිනි බාමින් එහි රැඳී සිටිය නොහැක.  මම පැයක් පමණ එහි ගතකර ආපසු ආවෙමි.

සරස්වතී වැවට වන දෙව්ලියන් පැමිණෙන බවට කට කතාවක් ඇති බව මට අසන්නට ලැබිණි.  නිකිණි මාසයේ දිනයක වත්තේ උතුරු මායිමේ වූ මිනුම් කඳවුරේ රාත්‍රිය ගත කිරීමට මට සිදු විය.  මා සමග ප්‍රසාද් නම් මිනින්දෝරුවාද සිටියේය.  ඔහු කලින් රජයේ රැකියාවක නිරතව සිටියේය.  මෝහන පුරා රක්ෂිත වනය හා මේ පළාතේ වනාන්තරය ගැන ඔහු අවුරුදු විසිපහක කාලයක සිට දනී.  ඔහුට සරස්වතී වැව ගැන කී විට ඔහු කීවේ මෙයයි.

" සර් ඕක මායාකාරී වැවක්.  ඔතැනට රෑට සුරංගනාවියෝ එනවලු.  හඳ එළිය තියෙන දවස්වල රෑට ඒ ගොල්ලො ඇවිත් අර ගල්තලාව උඩ ඇඳුම් තියලා දියට බහිනවලු.  බැරි වෙලාවත් ඒක දකින කවුරු හරි දියට බැස්සොත් ගිලිල මැරෙනවා.  දියට බැහැපු සුරංගනාවියන්ගෙ මුහුණු නෙළුම් මල් වගේ වතුරෙන් උඩට මතුවෙලා පේනවලු.  මං නං කවදාවත් දැකල නෑ.  ඒ වුණාට පතේ සිං කියල හෙඩ් සර්වේයර් කෙනෙක් හිටියා.  එයා දවසක් දැකල තියෙනවා සුරංගනාවියෝ නාන හැටි.  දවසක් එයා රෑ මැද වැව ලඟින් වැටිල තියෙන පාර දිගේ තනියම මිනුම් කඳවුරට ගිහිල්ලා තියෙනවා.  පහුවදා උදේ එයාගෙ මළකඳ වැවේ පාවෙනවා අපි දැක්කා.  එයාගෙ කණක් මාළු කඩාගෙන කාල තිබුණා.  අර විදියට අවේලාවේ ඔතැනට නම් ආයිත් යන්න එපා.

ඒ සරස්වතී වැව අසලදී එක් දහවලක මට විශේෂ පුද්ගලයකු හමු විය.  මිනුම් කඳවුරේ සිට ආපසු එද්දී මම වැව අයින දිගේ වැටී ඇති පාරේ සෙමින් සෙමින් අසු පිටින් ආවෙමි.  තුරු වදුලක් අතර හිඳගත් මිනිසෙක් පොළොව හාරා කුමක්දෝ කරනු මම දුටුවෙමි.  මා පළමුවෙන් සිතුවේ මොහු අල හෑරීමට පැමිණි කෙනෙකු බවය.  මෙහි වැඩෙන වැල් වර්ගයක විශාල අල සෑදේ.  ආයුර්වේද ඖෂධයක් ලෙස භාවිත කරන මේ අල සෑහෙන මිළකට අලෙවි කළ හැක.  මම කුතුහලයෙන් යුතුව අශ්වයා පිටින් බැස ඔහු ලඟට ගියෙමි.  ඔහු අල හාරන්නේ නැති බවත් කිසියම් බීජ වර්ගයක් පැළ කරන බවත් දුටුවෙමි.  හිසකෙස් පැසී තිබුණු ඔහු තලතුනා වයසේ කෙනෙක් විය.  ඔහු අසල හණ නූලෙන් වියන් ලද මල්ලක් විය.  එය තුළින් කුඩා ඉස්කෝප්පයක මිටක් පෙනෙන්නට තිබිණ.  ඒ අසල පස් ඉවත් කිරීමට ගන්නා උපකරණයක් ද තැන තැන විසිරුණු කඩදාසි ගුලි කීපයක් ද විය.

" මේ කවුද? මෙහේ මොකද කරන්නේ?"

" මේ වත්තේ මැනේජර් මහත්තයද?"

" ඔව්, තමුසේ කවුද?"

" ආයුබෝවන් සර්, මම තමුන්නාන්සේගේ ඔපීසියේ බදු එකතු කරන බනවාරි ලාල්ගේ බාප්පගෙ පුතා."

වරක් බනවාරි ලාල් මොහු ගැන මට පවසා ඇති බව මට සිහිපත් විය.  ආජමාබාද් හි ප්‍රධාන කාර්යාලයට ලිපිකරුවකු අවශ්‍ය වී තිබුණ නිසා හොඳ කෙනෙකු ඒ සඳහා සොයා දෙන්නට යැයි මම බනවාරි ලාල්ට කීවෙමි.  ඔහු කණගාටු වී කීවේ මෙයට ඉතා සුදුසු ඔහුගේ බාප්පාගේ පුතෙක් සිටින බවත් ඔහු අමුතු අන්දමේ විකාර ගති ඇති උදාසීන පුද්ගලයකු නිසා මේ සඳහා කැඳවා ගත නොහැකි බවත්ය.  ඔහුගේ අත් අකුරු ඉතා අලංකාර බවත් ඔහු මෙන් දැන උගත් කෙනෙකු පළාතේ වත් නැති බවත් බනවාරි පැවසුවේය.

" ඇයි? එයා මොකද කරන්නේ?" මම ඇසුවෙමි.

" මිනිහගේ එක එක විදිහේ පිස්සු වැඩ තියෙනවා සර්, අතන මෙතන ඇවිදීම එක පිස්සුවක්.  හරියට රස්සාවක් කරන්නේ නැහැ.  කසාද බැන්දට පවුල රකින්නෙ බලන්නෙ නැහැ.  කැලෑවල ඇවිද ඇවිද ඉන්නවා.  ගේ අත ඇරලා අවිද්දට සන්නාසියෙකුත් නොවෙයි.  එයා එක විදියක මිනිහෙක්."

බනවාරි ලාල් එසේ හඳුන්වා දුන් ඔහුගේ බාප්පාගේ පුතා මොහුය.

මගේ කුතුහලය වැඩිවිය.

" මෙතැන මොනවද හිටවන්නේ?"

ඔහු හොර රහසේ කළ ක්‍රියාව මා දුටු හෙයින් ඔහු ලජ්ජාවට හා අධෛර්යයට පත් විය.

" මුකුත් නෑ, මේ මල් ඇට වගයක්."

මම පුදුමයට පත් වීමි.  මොහු හිටවන්නේ කුමන මල් ඇට වර්ගයක්ද?

මෙය ඔහුගේ ඉඩමක්ද නොවේ.  මෙහි ඇත්තේ ඝන කැලෑවකි.  ඔහු කුමන ගසක බීජයක් මෙහි සිටවනු ඇද්ද.  එයින් ඔහුට අත්වෙන වාසිය කුමක්ද? මම ඒ ගැන ඔහුගෙන් විමසුවෙමි.

" එක එක විදිහේ මල් ඇට ජාති තියෙනවා සර්.  මං පූර්ණියා වලදී දැක්කා එක සුදු මහත්තයෙකුගේ වත්තේ රටින් ගෙනැවිත් පැල කරපු අපූරු මල් වැලක් තියෙනවා.  ඒකෙ ලස්සන රතු මල් පිපිලා තිබුණා.  මං ඒ ජාතියේ ඇට ටිකකුයි, තවත් එක එක විදියේ මල් ඇට ජාතියි, දුර ඉඳලා එකතු කරගෙන ගෙනාවා.  මෙහෙ කැලේ ඒ ජාතියේ මල් වැල් නෑ.  ඒ හින්දයි මං ඒවා හිටෙව්වේ.  මේවා පැල වුණොත් අවුරුදු දෙකක් ඇතුළත පඳුරු දාලා ලස්සනට හැදෙයි."

ගස් සිටුවීමේ පරමාර්ථය ගැන අසා මා තුළ ඔහු ගැන ගෞරවයක් ඇති විය.  ඔහු ආත්මාර්ථය ගැන නොසිතා බොහෝ දුරකට පැතිරී ඇති වන භූමියේ සෞන්දර්යය වැඩි දියුණු කිරීමේ පරමාර්ථයෙන් තමාගේ මුදලත් කාලයත් වැය කොට ඇත.  මෙය ඔහුට අයත් ඉඩමක් ද නොවේ.  ඔහු කෙතරම් අමුතු කෙනෙක්දැයි මට සිතිණි.

මම යුගල ප්‍රසාද් පසෙකට කැඳවාගෙන ගොස් ඔහු සමග ගසක් යට හිඳ ගතිමි.

" මං මීට ඉස්සරත් මේ වැඩේ කරලා තියෙනවා සර්.  ලොබ්ටුලියාවේ ඔය තියෙන මල් ගස්, මල් වැල් මං අවුරුදු දහයකට දොළහකට ඉස්සෙල්ලා ගෙනාපු ඒවා.  සමහර ඒවා පූර්ණියාවේ කැලෙන් ගෙනාපු ඒවා.  කීපයක් දකුණු භගල්පුරේ ලක්ෂ්මීපුර කැලෙන් ගෙනාපු ඒවා.  දැන් ඒවායේ මල් පිපිලා පළාතම මල් උයනක් වෙලා."

" මේ වැඩේට බොහොම කැමතියි වගේ."

" ලොබ්ටුලියාවේ කැලේ හරි අපූරු තැනක්.  අර පොඩි පොඩි කඳු ගැටවල පඳුරුවල අලුතින් මල් පිපෙනවා දකින්න මං හුඟ දවසක ඉඳලා හරි ආසාවෙන් ඉන්නේ."

" මගේ හිත මේකට කොහොම යොමු වුණාද කියලා මං සර්ට කියන්නම්.  අපේ ගෙදර තියෙන්නේ ධර්මපුර පළාතේ.  අපේ ගමෙන් හැතැප්ම විස්සක් විතර එහා කුශි ගංගාව අයිනේ තැනකට මං පොඩි කාලේ මී හරක් දක්කාගෙන ගිහින් තියෙනවා.  එහේ ඒ ජාතියෙ මල් පිපිලා තියෙනවා මං දැක්කා.  මං එහෙන් මල් ඇට ගෙනැල්ල ගමෙත් හිටෙව්වා.  දැන් අපේ ගමේ පාරවල් අයිනේ කැලෑ පඳුරුවල, ගෙවල් පිටි පස්සෙ තියෙන මුඩු බිම්වල, භාණ්ඩාරී මල් පිපෙනවා.  එයින් පස්සේ එහෙම දේවල් කරන්න මගේ හිත යොමුවුණා.  සමහර මල් වර්ග නැති පළාත්වලට ඒවා අරන් ගිහිල්ලා හිටවන එක තමයි මගේ විනෝදාංශය.  ජීවිතේ පුරාම මං මේ විදියට ඇවිද්දා, මම ඒකට දැන් ඇබ්බැහි වෙලා."

යුගල ප්‍රසාද් මේ පළාතේ වනාන්තරවල පිපෙන වනමල් ගැන සහ වෘක්ෂලතාදිය ගැන හොඳින් දන්නා බව මට පෙනී ගියේය.  ඔහු ඒ විෂය ගැන විශේෂඥයෙක් බවට කිසිම සැකයක් නැත.

" ඇරිස්ටොලෝකියා වැල ගැන දන්නවද?"

ඒ මල් වර්ගය කෙබඳුදැයි විස්තර කළ විට ඔහු මෙසේ කීය.

" ඔය කියන්නේ පරවිමල් ගැන වෙන්න ඕනෑ.  අර පරවියෝ වගේ පිපෙන්නේ.  ඒවා මේ පැත්තේ නෑ.  පැට්නාවල මහත්තුරුන්ගේ උයන්වල තියෙනවා."

ඔහුගේ දැනුම ගැන මම පුදුම වුයෙමි.  මෙවැනි සෞන්දර්ය පුදන්නන් පහසුවෙන් මුණ ගැසීමට නොලැබේ.  වනයෙන් වනයට ඇවිද මල් සිටුවීමෙන් ඔහුට ඇති ප්‍රයෝජනයක් හෝ එයින් උපයන මුදලක් හෝ නැත.  ඔහු අන්ත දිළින්දෙකි.  එසේ වුවත් ඔහු වනයේ සෞන්දර්යය සම්පත වැඩි දියුණු කිරීමෙන් වෙහෙසට පත් නොවෙයි.  එයින් තමාට වාසියක් නැතැයි ඔහුගේ උනන්දුවත් පරිශ්‍රමයත් මඳක් හෝ අඩු නොවෙයි.

" සරස්වතී වැව ළඟ තියෙන කැලේ වගේ කැලයක් මේ පළාතේ වත් නෑ මහත්තයා.  කොච්චර ගස් වැල් ජාති මෙහේ තියෙනවද?  වැවේ ලස්සන බලන්න.  මෙහේ නෙළුම් පැළ කළොත් පැළවේවි කියලද මහත්තයා හිතන්නේ.  ධරම්පුරේ පැත්තේ පිටිසර ගම්වල පොකුණුවල නෙළුම් තියෙනවා.  මං හිතාගෙන ඉන්නේ නෙළුම් අල ගෙනැල්ලා පැළ කරන්න."

මේ කාර්යයේදී ඔහුට උදව් වීමට මම සිතා ගත්තෙමි.  අප දෙදෙනා එකතු වී අසල වූ වනාන්තරය නානා විධ අලුත් වන මලින් සරසන්නට ඉටා ගත්තෙමු.  එයින් පසු එය නොකර බැරි තරමට මාද එයට ඇබ්බැහි විය.  යුගල ප්‍රසාද්ට හරි හැටි කෑමක් බීමක් පවා නොලැබෙන බවත් ඔහුගේ පවුලේ අයද දුක් විඳින බවත් මම දැන සිටියෙමි.  මම ප්‍රධාන කාර්යාලයට ලියා අජාමාබාද් කාර්යාලයේ ලිපිකාර රැකියාවක් ඔහුට ලබා දුනිමි.

ඒ වසරේ මම කල්කටාවෙන් විදේශීය වන මල්වල බීජ පැකට්ද කඳු පළාතකින් වල් පිච්ච අතුද ගෙන අවුත් සරස්වතී වැව අවට වනයේ සිට වුයෙමි.  යුගල ප්‍රසාද්ගේ උනන්දුව හා සතුට පෙරටත් වඩා වැඩිවිය.  ඒ ගැන ඇති උනන්දුව හා සතුට කාර්යාලයේ අයට නොපෙන්වන ලෙස මම ඔහුට අවවාද කළෙමි.  ඔහු පිස්සකු යයි කාර්යාලයේ අය සිතනු ඇත.  මාද ඊට ඇදගන්නට ඔවුන් අමතක නොකරනු ඇත.  ඊළඟ වසරේ වැස්ස ලැබුණු විට අප පැළ කළ ගස් වැල් පුදුම අන්දමින් වැඩෙනු දක්නට ලැබිණ.  වැව අයිනේ පස ඉතා සරුසාර විය.  අප පැළ කළ ගස් වැල් ඒ පළාතේ දේශගුණයට ගැලපෙන ඒවා විය.  කල්කටාවෙන් ගෙන ආ මල් ඇට පැකට්වලින් සමහරක් පමණක් පැළ වුයේ නැත.  ඒ හැම පැකට්ටුවකම මල්වල නමද මල් ගැන කෙටි විස්තරයක් ද අඩංගු විය.  පාටක් පෙනුමක් ගැන විස්තර කියවා හොඳ ඒවා තෝරමින් ඒවා පැළ කළෙමි.  ඒ අතර 'වයිට් බීම්' 'රෙඩ් කැම්පියන්' සහ 'සිව්වර්ට්' අසාමාන්‍ය ලෙස වැඩෙන්නට විය.  'පොක්ස් ග්ලොච්' සහ 'වුඩ් ඇනිමොන්' ද සාමාන්‍ය ලෙස වැඩෙන්නට විය.  එසේ වුවත් බොහෝ මහන්සි ගත්තත් 'ඩග් රෝස්' සහ 'හනිසකල්' පැළ කර ගැනීමට නොහැකි විය.  

කහ පැහැති ධාතුයා මල් පැළ ටිකක් වැව අයිනේ පැළ කළෙමි.  ඉක්මණින් එහි මල් පිපෙන්නට විය.  යුගල ප්‍රසාද් පූර්ණියාවේ කැලෑවෙන් බොයිරා මල් වැල්වල බීජ ගෙනැවිත් තිබිණ.  පැළ හටගෙන මාස හතක් පමණ ගතවූ පසු අසල වූ පඳුරු දක්වා ඒ වැල් පැතිරී ගොස් තිබෙණු දක්නට ලැබිණ.  බොයිරා ලතාවේ මල් දැකුම්කලු මෙන්ම සුවඳවත් විය.

හේමන්ත කාලය ලඟා වීමට පෙර දිනක බොයිරා ලතාවල සිය ගණනක් මල් කැකුළු හටගෙන ඇති බව දුටු මම යුගල ප්‍රසාද්ට ඒ බව දන්වුයෙමි.  ඔහු ලිවීම අත්හැර දමා ආජමාබාද් කාර්යාලයේ සිට සැතපුම් අටක් ඈතින් වූ සරස්වතී වැව අසලට දුවමින් අවුත් ලඟා විය.

" මිනිස්සු කිව්වා සර්, බොයිරා වැල් මෙහේ පැළ කළත් මල් පිපෙන්නේ නෑ කියලා.  ඒ වුණාට බලන්නකෝ මල් කැකුළු තියෙන තරම්."

' වයිට් ක්‍රොප්ට්' නම් වූ ජලජ පැලෑටියක අල ගෙනවුත් වැවේ පැළවීමට හැරියෙමි.  ඒවා ඉක්මනින් පැළවී වැඩෙන්නට වූ විට යුගල ප්‍රසාද් බිය වුයේ නෙළුම් මල්වලට ඇති තැන ඒ පැලෑටි අත්පත් කර ගනු ඇතැයි කියාය.

බෝගන්විලා අතු ගෙනැවිත් වනයේ පැළ කිරීමට සිතුණත් ඒ මල් වර්ගය නගරයේ කෘත්‍රිම උද්‍යාන සමග කෙතරම් බැඳී ඇද්දැයි කිවහොත් මට බියක් ඇති වුයේ වැව අසල දිස් වූ වන සිරියට එයින් හානියක් සිදුවනු ඇතැයි කියාය.  යුගල ප්‍රසාද් ද මෙවැනි දේ ගැන සිතන්නේ මා සිතන පරිදිමය.  ඔහුද බෝගන්විලා පැළ කිරීමට විරුද්ධ විය.

මේ සඳහා මගෙන් වියදම් වූ මුදල සුළු පටු නොවේ.  කාරෝ නදියේ එගොඩ ඉවුරේ ජයන්ති පර්වතය පිහිටි වනාන්තරයේ අමුතු අකාරයේ මල් වර්ගයක් පිපෙන බව දිනක් ගනෝරි තේවාරි කියනු ඇසිණ.  ඒ පළාතේ ඒ මල් හඳුන්වන්නේ 'දුඕයා මල්' යනුවෙනි.  කහ ශාකයේ වැනි කොළ ඇති ඒ ගස් රියන් දෙක තුනක් උසට වැඩේ.  එක ගසක රිකිලි හතරක් පහක් හටගෙන ඒ හැම රිකිල්ලකම කහ පාට මල් හතරක් පිපේ.  ඉතා සුන්දර පෙනුමක් ඇති ඒවා මිහිරි සුවඳින් ද යුක්ත වන අතර රාත්‍රියේ දී බොහෝ ඈතට සුවඳ විහිදුවයි.  ඒවා පැළ කළ විට ඉතා ඉක්මනින් පඳුරු දමා වසර දෙක තුනක් යන විට ඝන සැරේට වැඩෙනු ඇතැයි ඔහු කීවේය. 

ඒ ගැන ඇසු විට ඒ මල් පැළ ගෙනෙන තෙක් මගේ සිතට සැනසීමක් නොවීය.  ගනෝරි කීවේ වර්ෂා කාලයේ හැර අනෙක් කාලවල ඒවා පැළ නොවන බවයි.  ඒවායේ අල ගෙනැවිත් පැළ කළ යුතු බවද හොඳින් ජලය නොලැබුණොත් පැළ මැරී යනු ඇතැයි ද ගනෝරි කීවේය.

මම මුදල් දී ඒවා ගෙන ඒමට යුගල ප්‍රසාද්ව පිටත් කළෙමි.  ඔහු බොහෝ අමාරුවෙන් ජයන්ති පර්වතය අසල ඝන කැලයෙන් අල කැබලි දහයක් දොළහක් පමණ එකතු කරගෙන ආවේය.

( අරණකට පෙම් බැඳ, විභූතිභූෂණ බන්ද්‍යාපාධ්‍යාය,පරිවර්තනය: චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි. ප්‍රකාශනය: විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය. 2012)