Sunday, February 25, 2018

ජිම් කෝබට් සහ ඉන්දියානු දිළින්දන්ගේ කතන්දර II

දෙවන ලෝක යුද්ධයේ දී නැවත වතාවක් කම්කරු බලකායක් සංවිධානය කළ ජිම් විසින් කුමාඕන් වාසීහු 1400 ක් ඊට අනුයුක්ත කරනු ලැබුහ.    1942 දී වැළඳුණු ටයිපස් වසංගත උණ නිසා ඔහුගේ බර රා. 168 සිට රා.98 දක්වා අඩුවූ අතර ඉදිරි ජීවිත කාලය රෝද පුටුවකට සීමාවිය හැකි යැයි පවසනු ලැබිණ.   කෙසේ වෙතත් 1944 පෙබරවාරියෙහි ලුතිනන් කර්නල් පදවියට ජිම්ව පත්කරනු ලැබුයේ, බුරුමයේ වනාන්තරයන්හි දිවි රැක ගන්නා පිළිවෙල හමුදා සෙබළුන්ට උගැන්වීමට ඔහුට හැකිවූ නිසාය.   පුහුණු කඳවුරු වුයේ මධ්‍යම ඉන්දියාවේ නමුදු, ඔහු මුලින්ම ගියේ බුරුමයටයි.   මේ දැඩි වෙහෙසකර කටයුත්තේ යෙදී අවුරුද්දක් ගත වන විට ඔහුට තදබල ලෙසින් මැලේරියාව වැලඳුනේ ය.

මැගී සාක්ෂ්‍ය දරන අන්දමට, 1947 දී වැදගත් තීරණයකට එළඹෙන ලදී.

'ඉන්දියාවේ මිස වෙනත් කිසිදු තැනක වාසයට යෑම ගැන සිතීම පමණකුත් අපට ඉතා අපහසු විය.   යහපත් සරල ගති පැවතුම් ඇති ජනයාගෙන් ද මනහර කඳුවැටි, විල් හා ගංගාවන්ගෙන් ද යුතු, අපටත් අප මුතුන් මිත්තන්ටත් නිවාසවූ, සෑම අයුරකින්ම අපේ ආත්මයේම කොටසක් වූ ඉන්දියාව හැරදමා යන්නට වන කාලය පැමිණියේය.   ලෝකයේ වෙනත් පළාතකින් අප සඳහා නව නිවසක් සොයාගත යුතු විය.   තරුණ වියෙහි නොසිටි අප දෙදෙනා ලොවින් සමු ගන්නා කාලයට වැඩි දුරක් නොතිබුණු නිසා, එක් අයකු තනිවූ කල්හි හුදකලා ව විසිය යුත්තේ නයිනි තාලයේ අප නිවසේ ද නැති නම් කාලධුංගිහි කුඩා ගෙදර දැයි යන්න සිතන්නටවත් අපෙන් කවරකුට හො දිරියක් නොවීම මීට හේතුවයි.'

එබැවින් ජිම් සහ මැගී කෙන්යාවට ගියෝය.   නයිරියට ආ විගසම වන සත්වාරක්ෂක සංගමයක් පිහිටුවූ ජිම් එහි සම්මාන ලේකම් ධුරයට පත්විය.   එමෙන්ම 'දඩබිම්හි ප්‍රධාන පරිපාලක' පදවියෙන් ද ඔහු පුදනු ලැබිණි.   ඔහු සිය කෘතීන්ගෙන් වැඩි ගණනක් රචනා කළේ නයිරියේ දීය.

මැගී ප්‍රකාශ කරන අන්දමට,

'දැඩි වෙහෙසකින් වැඩ කළ හෙතෙම සිය යතුරු ලියන කටයුතු සියල්ල තමා විසින්ම කරගනු ලැබුයේ එක් ඇඟිල්ලක් පමණක් යොදා ගනිමිනි.   ලන්ඩන්, නිව්යෝක් හා බොම්බායේ ග්‍රන්ථ ප්‍රකාශකයින් සඳහා පිටපත් තුනකුත් අප වෙත තබා ගැනීමට 'ගෙදර කොපිය' නමින් හැඳින්වුණු පිටපතකුත් වශයෙන් සෑම පොතකම පිටපත් සතරක් සැකසිණි.   ඉතා ක්‍රමවත්ව වැඩ කළ ඔහු පිටුවක එක වැරදීමක් වුවහොත් එය ඉරා දමා ඒ සියල්ල නැවැතත් යතුරු ලියනය කළේය.   ලග්ගැහීමෙන් තොරව කියවිය හැකි වැකියක් ලිවීමට ඔහු නිතර උත්සුක වූ නිසා, ඒ සඳහා අති මහත් වෙහෙසක් දැරිය යුතු විය.

එහෙත් 'රුද්‍රප්‍රයාගයේ මිනී කන කොටියා' ග්‍රන්ථය ලියමින් සිටි අවධියෙහි, 1945 ඔක්තෝබරයේදී මැගී හා ජිම් සමග ස්වල්ප දිනක් විසූ රතුකුරුස සේවිකාවක වූ ඇමෙරිකානු ජාතික මාජරී ක්ලෆ් මෙනෙවිය යථාර්ථයට වඩාත් ආසන්න වෙතැයි අනුමාන කිරීමට පුළුවන.   ඇය වාර්තා කරන අන්දමට,

"ඉතා මෑතක ඇරඹුණු මේ කථාන්තර ලිවීමේ දුෂ්කර කාර්යයේදී දින දාතම් හා සිදුවීම් ගැන සිය තියුණු මතකයෙන් ද සහජ ලේඛන කුසලතාවෙන් ද මැගී විසින් ජිම්ට දැක්වූ සහාය මිනිය නොහැකි තරම්ය.   රාත්‍රියක් රාත්‍රියක් පාසා ඔහු සිය යතුරු ලියනය වෙතත්, ඇය රාත්‍රී භෝජනයෙන් පසු පානය කරන තේ සුදානම් කරමිනුත් ඔවුන්ගේ ගිනිමැලය ඉදිරියෙහි සිටියහ.   ඔවුන් මැනවින් හඳුනා සිටි හා ආදරය කළ වනාන්තරයෙහි ඉතා සැඟවුණු රහස් බාහිර ලෝකයට නියම ලෙසින් විස්තර කිරීමට සුදුසු ම පද තෝරා ගැනීම අරබයා මහත් උවමනාවෙන් සිතා බැලුහ.'

සිය දිවියෙහි වැදගත් සන්දිස්ථාන දෙකක් ජිම් හඳුනාගෙන තිබුණේය.   පළමුවෙන් ම, වයස අවු. 8 හෝ 9 වන විට සිය බිය පාලනය කර ගැනීමට ඔහු ඉගෙනගත් අතර දෙවනුව, නිශ්චිතව දැක්විය නොහෙන කිසියම් දිනයකදී ඔහු අදිටන් කර ගත්තේ මතු කිසිදු විටෙක ආහාරය සඳහා නැතිනම්, 'අන්තරාදායක මෘගයෙකු' ලෙසින් සැලකුණහොත් මිස වන සතෙකුට වෙඩි නොතැබිය යුතු බවයි.    'සෑම අන්දමකම මිථ්‍යා විශ්වාසයන් හිස් මුදුනෙන් පිළිගත් අයිරිෂ් ජාතිකයෙකු වූ' ඩැන්සේ, ශීත සෘතු නිවාඩුවට කාලධුංගී වෙත පැමිණි ළමුන්ට හොල්මන් කථාන්තර කියන්නට පුරුදුව සිටි අන්දම හෙතෙම සිය 'වනාන්තරයේ කතාන්දරය' කෘතියෙන් සිහිපත් කරයි.   ඔහුගේ මේ කතන්දර අතුරින් වඩාත්ම භයානක කථාව වුයේ, වනාන්තරයේ ජීවත්වන බැන්ෂිගේ මොරදීම ඇසුණු තැනැත්තාටත් ඔහුගේ පවුලේ උදවියටත් ඛේදජනක අවසානයකට මුහුණ දෙන්නට සිදුවෙතැයි යන පුවතය.   එක් සැන්දෑවක වැසි කුණාටුවක් කඩා හැලෙන්නට පෙරාතු ව නිවසට ළඟාවීමේ අරමුණින් ඝන වනාන්තරයක් මැදින් දිව එන අතරතුරදීය, ජිම්ට බැන්ෂි ගේ මොරදීම් ඇසුණේ.   ඔහු දක්වන අන්දමට, 'සති කීපයකට පෙරාතුව ව්‍යාඝ්‍රයකු වෙතින් පළා ආ මා සිතුයේ මට යළිත් වතාවක් එසේ දිව යන්නට බැරි වෙතැයි කියාය.   එහෙත් නදුනා නොගත් භීතිය විසින් කෙනෙකුගේ දෙපාවලට අත්තටු දෙනු ලබතැයි යන්න එතෙක් මම නොදැන සිටියෙමි! කුණාටුවෙන් ආරක්ෂා වීම සඳහා නිවසේ දොර ජනෙල් වසන අවස්ථාවෙහි ඔහු එහි ළඟාවූ බැවින්, ඔහු තුළවූ කලබලකාරී තත්ත්වය සැලකිල්ලට භාජන වුයේ නැත.   ඒ ගැන කිසිම දෙයක් ඔහු සඳහන් නොකළේ දුර්භාග්‍යය කැඳවා ගෙන එන ලදැයි යන චෝදනාව එල්ල වෙතැයි යන භීතියෙනි.   එහෙත් ඔහු තව දුරටත් පවසන අන්දමට,

'කුඩා දරුවන්ද ඇතුළු සෑම කෙනෙකුම ඔනෑම ආකාරයක අනතුරක් කෙරෙහි සාවධාන වේ.' එබැවින් ඒ බියකරු විලාපය අසන්නට ලැබුණු වපසරියේ යළිත් හක්කලං කරමින් සිටි ඔහුට සුළං හමන දිනයකදී එය නැවත ඇසුණේය.   මෙවර ඔහු ගැහෙන හදින් යුතුව සෙවණැල්ලක් මෙන් නිහඬව හා නිසොල්මනේ විලාප රාවය නැගෙන දිසාවට ඇදෙන්නට වුයේ, ඒ වන තුරුත් තමා කිසිදු විපැත්තියකට මුහුණ නොදුන් බවත්, කුඩා දරුවකු නිසා බැන්ෂි ගේ අනුකම්පාවට ලක්විය හැකිය යන අදහසිනුත් සන්සුන් කරගත් මනසින් යුතුවය.    සුළං තදින් හමන විට එකිනෙක හා පිරිමැදෙන අතු දෙකකින් මේ විලාප රාවය නිකුත්වන බව හෙතෙම සොයා ගත්තේය.   ඔහු දක්වන අන්දමට, 'වනාන්තරයන්හි මා ඇසු දුටු ඔනෑම අසාමාන්‍ය දෙයක් නොකඩවා සොයා ගොස් එහි අභ්‍යන්තරය දැන හඳුනා ගැනීමේ ආශාව මවිසින් පහළ කරගනු ලැබුයේ එදා පටන්ය.'

1930 ගණන්වල මුලදී නයිනිතාලයේ යුනියන් දේවස්ථානයෙහි දෙව්ගැතිවරයා වූ ඒ. ජී. ඇට්කින්ස් පියතුමන් සමග පවසා තිබුණු පරිදි,ඔහු සිය දෙවැනි සන්ධිස්ථානයට පැමිණුනේ, වල් පාත්තයන් වෙඩි තැබීමට කැටි ව ගිය නිලධාරීන් තිදෙනෙකු විසින් පක්‍ෂීන් 300 ක් හිත්පිත් නැති අයුරින් ඝාතනය කරනු දැකීමෙන් ලත් කම්පනයෙන් පසුවය.

'කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ' ග්‍රන්ථයෙහි යතුරුලියන පිටපත් ප්‍රතිරාජවරයෙකු වූ ලින්ලිත්ගෝ සාමිගෙන් හා එක්සත් ප්‍රාන්තයන්හි ආණ්ඩුකාර ශ්‍රීමත් මුරෙස් හැලට්ගෙන් සමර්පිතයි.   'මේ යුද්ධයේදී ස්වකීය දේශය වෙනුවෙන් සටන් වැද අන්ධ භාවයට පත්වූ එක්සත් ජාතීන්ට අයත් යුද, ගුවන් හා නාවික රණවිරුවනට, මේ පොත පුදනු ලැබිණ.   තවමත් පවතින් යුද්ධය නිසා අඳ බවට පත්වන හා පත්වුණු ඉන්දියානු සෙබළුන් උදෙසා ඇති සාන්ත ඔස්ටින් ගේ නිවහනට, මෙහි ප්‍රථම මුද්‍රණය විකිණීමෙන් ලැබෙන පුර්ණ කර්තෘ භාගය කතුවරයා විසින් පරිත්‍යාග කරන ලදී.   බොම්බායේ එවකට සිටි ඇමරිකානු හමුදා වාර්තාකාරයකු වූ ප්‍රෙස්ටන් ග්‍රෝවර් විසින් නැවත දන්වනු ලැබූ නියත සහතිකයෙන් අනතුරුව, මේ පොතෙහි සාර්ථක භාවය ගැන කිසිදු සැකයක් මා තුළ පහළ වුයේ නැත.      යුද්ධයේ අවසානය දිස්වන විටදීය, 1944 අගෝස්තුවෙහි 'කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ' දොරට බටුයේ.    මිනී කෑමේ වරදට හසුවූ ව්‍යාඝ්‍රයින් හා දිවියන් මෙලොවින් තුරන් කිරීම සඳහා අන්තරායන්ට උද්‍යෝගයෙන් මුහුණ දෙමින් හා දැඩි දුෂ්කරතා විඳ දරා ගනිමින් පුර්ණ නිදහසින් යුතුව ගම්බද පෙදෙස්හි සැරිසැරූ මේ සමකාලීන 'මකර - නාශකයා' පිළිබඳව කියැවීම වූකලී එය අනන්තවත් ලෙස යළි පුබුදු වන්නක් වුයේය.

'කුමාඕන්හි මිනී කන්නෝ' කෘතියෙහි පිටපත් කොපමණ සංඛ්‍යාවක් මුද්‍රණය වුයේදැයි මම නොදනිමි.  ඉන්දියාවේදී කඩිනමින් සාර්ථකත්වයට පැමිණි මේ ග්‍රන්ථය ඇමරිකානු හා එංගලන්ත පොත් සමාජයන් විසිනුදු තෝරාගනු ලැබූ අතර 'ඇමරිකානු මාසික ග්‍රන්ථ සමාජයේ' ප්‍රථම මුද්‍රණය පිටපත් 2,50,000 කි.  ඊට වසර කීපයකට පෙර එය අන්ධ ජනයාට කියවන පොතක්සේ නිකුත් කෙරිණි.  මේ පොත අවම තරමින් යුරෝපීය භාෂා 14 කටත් ඉන්දීය භාෂා 11 කටත් ඇෆ්‍රීකානා භාෂාවට හා ජපන් බසටත් පරිවර්තනය වී ඇත.   කෝබට්ගේ පසුකාලීන ග්‍රන්ථද භාෂා ගණනාවකට නගන ලද නමුත්, 'තුරු මුදුන්' පොතද ඇතුළුව ඒ සියල්ලම පරිවර්තිත එකම භාෂාව ලෙස පෙනෙන්නේ බෙංගාලි ය.   ඔහු කෙරෙහි වන ආකර්ෂණය විශ්ව ව්‍යාප්තීය බවට සැකයක් නැත. 

සියල්ලන් අතරින් වඩාත්ම නිරහංකාර, මිත්‍රශීලී හා විනීතාචාර සම්පන්න තැනැත්තා වුයේ ජිම් කෝබට්ය. දුම්රිය සේවයෙහි නියුතුව සිටි කාලයේදී, ආගන්තුකයකු ලෙස හමුවන්නට යෙදුණු ඒජන්ත තැන විසින් හෝ ප්‍රවේශපත්‍ර එකතු කරන්නකු විසින් හෝ එක සමාන ගෞරවාදරයකින් පිළිගනු ලැබූ එකම තැනැත්තා ඔහු වෙතියි කියනු ලැබේ.   පසුකාලීන ජීවිතයේදී සිය නිවසට පැමිණි ප්‍රතිරාජයකුටත් හොර දඩයක්කාරයකුටත් එකම අන්දමේ සැලකිල්ලක් ඔහුගෙන් හිමි විය.   කිසිම විටක තනතුරු පට්ටම් පසුපස හඹා නොගියේවී නමුදු, නිදහසට පෙර හා නිදහසින් පසු පැවති ඉන්දීය ආණ්ඩු විසින් ඔහු ප්‍රකට සම්මානයෙන් පුද දෙන ලද බැව් වාර්තා කරන්නට හැකිවීම සෑහීමට කාරණයකි.   බ්‍රිතාන්‍ය යටත් විජිත සමයෙහිදී කෝබට්හට 'කයිසර් - අය් - හයින්ඩ්' ස්වර්ණ මුද්‍රිකාව, ඕ. එස්. අයි හා ඕ. බී. ඊ ගෞරව තානාන්තරත් ඉතා විරල සම්මානයක් වන 'වනාන්තරයන්හි නිදහසත්' ප්‍රදානය කෙරිණි.

කුමාඕන් වනසත්ත්ව සංරක්ෂිතය ඔහුගේ අභාවයෙන් අනතුරුව 1957 දී, 'කෝබට් ජාතික වනෝද්‍යානය' යැයි නැවත නම් කරන ලදී.    කාලධුංගිහි නිවාසය කෝබට් කෞතුකාගාරය ලෙස පවත්වා ගනු ලබන අතර, එහි දක්නා අනෙක් දේවලට අමතරව මේ පොතේ ඉදිරි කවරයෙහි පසු පිටුවෙහි ඇතුළත් පවුලේ පිංතුරය ද අන්තර්ගත ඡායාරුප එකතුවත්, තමා විසින් වර්ධනය කරගන්නා ලදැයි ජිම් කෝබට් තරයේ විශ්වාස කළ හය වෙනි ඉන්ද්‍රිය පිළිබඳව වෛද්‍ය ජේ. එස් පීලන් ලියු 'ආසන්න අන්තරායයේ ඉව' මැයෙන් කළ කෙටි අධ්‍යයනයකුත් වෙ.    1875 උපත ලත් ජිම්ගේ ජන්ම ශත සංවත්සරය සමරණු වස් ඉන්දීය ආණ්ඩුව විසින් පෛසා 25 ක් වටිනා තැපැල් මුද්දරයක් නිකුත් කෙරිණි.   1968 දී 'පැන්තෙරා ටයිග්‍රීස් කෝබෙට්' යැයි නව ව්‍යාඝ්‍ර ප්‍රභේදයක් නම් කෙරුණු අතර ඔහුගේ කෘති දෙකක් ලෝකයේ සම්භාව්‍ය ග්‍රන්ථ මාලාවට එකතු කිරීම වූකලී කෝබට්ගේ සාහිත්‍ය කුසලතාව හඳුනාගනු ලැබීමකි.

කෝබට්ව දන්නා හඳුනන්නවුන් අතරෙහි, ඔහු සිය කතාවන්හි ගැබ් කළ සාධකාන්විත සත්‍යය අරභයා සැක පහළ කළ කිසිවෙකුත් මට හමුවුයේ නැත.   හෙතෙම මිනිසකු හැටියට අන්‍යයන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය කාවැද්දු අතරම, දඩයක්කාරයකු ලෙසින් ඔහු අසහාය විශිෂ්ටයෙක්ද වුයේය.    කෙසේ වෙතත් මේ කතා ජිම් කෝබට් විසින් නොව, ඔහුගේ මිතුරන් නැති නම් ප්‍රකාශකයන් විසින් ලියන ලදැයි විටින් විට ඉඟි පහළවී තිබේ.   මෙයින් පළමුවන උපකල්පනයට ස්වාභාවික සැකයකින් පදනම් සැපයුණු බව පෙනේ.   සැටනව හැවිරිදි අප්‍රකට කතුවරයෙකු විසින් ඉදිරිපත් කෙරුණු පළමුවන කෘතිය වැඩියෙන්ම අලෙවිවු පොත වීම අදහන්නට බැරි තරම් කාරණයකි.   තම අන්තිම කැමැත්තෙන් කෝබට් සිය ප්‍රකාශකයින්ට පැවරූ උරුමය දෙවැනි උපකල්පනයට සාක්ෂ්‍ය සැපයුවේය.   කතුවරුන්ට සිය අන්තිම කැමතිවලදී තම ප්‍රකාශකයන් සිහිපත්වීම ඉතා කණගාටුදායක ලෙස දුර්ලභ වුවක් බව ඇත්තෙන්ම මගේ හතළිස් අවුරුදු කාලයෙහි පරම ප්‍රත්‍යක්ෂයක් නමුත්, ජිම් කෝබට් වූකලී ඉතා අමුතු තාලේ මිනිසෙක් වුයේය.   රුද්‍රප්‍රයාග්හි දිස්ත්‍රික් බලධාරීන් විසින් ව්‍යවස්ථාදායක කවුන්සිලයෙහිදී කරනු ලැබූ ප්‍රකාශයක් 1925 දෙසැම්බර් 26 වන දින ලක්නව්හි පයනියර් පත්‍රයේ වාර්තා විය.   'මිනිසුන් 114 දෙනෙකු නැසූ මිනී කන දිවියාව ලුහු බැඳීමට සෑහෙන තරම් අත්දැකීම් හා ඔප්පු කෙරුණු දිරියක් ඇති, සිය නම එළිදරව් කිරීමට අකමැති වූ එක් යුරෝපීය මහතෙකුගේ සේවාව ස්වේච්ඡාවෙන්ම ලබාගත හැකිවීම වාසනාවකි.' 

එහිම අනතුරුව පළවූ නිර්නාමික ලිපිය, ඉන් ඇද ගත හැකි අභ්‍යන්තර සාක්ෂ්‍යයන්ට අනුව, ජිම් කෝබට්ට ලියන ලද්දේ එවක ගර්වාහ්ලයේ උප කොමසාරිස්වරයා වූ ඒ. ඩබ්ලිව්. ඉබොට්සන් විසිනි.   එය අවසාන කෙරුණේ මෙසේය.

'දිවියා ගැන මගේ හැඟිම් ඔබට දන්වනු ලැබිය යුතු නිසා, ඌ මට දකින්නටත් අසන්නටත් හැකිවුණු හැටි කියන්නෙමි.   අඳුරු රැයකදීත් වැහි ඇඳිරියේත් දැකගන්නට පුළුවන් වුයේ ඌ ළා පැහැති සතෙකු වීම නිසා ය යනු මගේ නිගමනයයි.   ඉතා දිගු නොවුණත් මනාව වැඩුණු දේහයක් ඇති මේ සතා ශක්ති සම්පන්නයකු ලෙස පෙනුණේය.   මට ඇසුණු උගේ හඬ මා කිසිම දිනයක නොලද අමුතුම අත්දැකීමයි.   එවැනි සතකුගේ සිරුරෙන් පැන නැගුණු එවන් හඬක් මීට පෙර අසන්නට නොලැබුනාක් මෙන්ම, එය මොනම අන්දමකින්වත් විස්තර කිරීමේ හැකියාවක් ද මට නැත.   යාර තිහක් තරම් ඈතක සිට එය අසන්නට පුළුවන් වූ අතර ම, කැඳ දමා මදින ලද සිල්ක් ඇඳුමක් ඇඳි කාන්තාවක ඇවිදින විටදී නැගෙන හඬට එය හරියටම සමානය.   මෑතකදී තිරිඟු වපුරා ඇති ඒ කුඹුරෙහි එකදු කොළයක්වත් තණපතක් වත් නොතිබිණ.   නැත, ඒ හඬ උගේ පතුල්වලින් නැඟුණක් නොව, සිරුරෙන් පහළ වුවකි.'

'රුද්‍රප්‍රයාගයේ මිනී කන්නා නයිනි තාල්හි කපිතාන් කෝබට් විසින් අවසානයෙහි වෙඩි තබා මරණ ලදැ'යි යන ප්‍රවෘත්තිය 1926 මැයි 15 වන දින පයනියර් පත්‍රයේ මුල් පිටුවේ මුද්‍රණය වූ අතර, සිද්ධිය පිලිබඳ තීරු තුනක වාර්තාවක් 'නයිනි තාලයේ වාර්තාකරුවකු' විසින් පළ කරනු ලැබිණි.   'ප්‍රශස්ත ජයග්‍රහණයක් පිළිබඳව ස්වකීය හෘදයාංගම ස්තුතියත් සුභාශිංසනත්' ගර්නි නිවාසයෙහි කපිතාන් කෝබට් වෙත කවුන්සිලයේ ආණ්ඩුකාරවරයා විසින් පළ කරනු ලැබීම දන්වන අටියෙන් ආණ්ඩුවේ ප්‍රධාන ලේකම් ජී.බී.ලැම්බර්ට් යැවූ ලිපිය මැයි 21 වන දින නිකුත් කෙරුණු එම පත්‍රයෙහි නැවත මුද්‍රිතයි.   

සිය චරිත ස්වභාවානුකුලවම, ජිම් කෝබට් තම ග්‍රන්ථයෙහි මේ ලියුම ගැන සඳහන් නොකරනමුත්, ආබාධිත ඉන්දියානු සෙබළුන් උදෙසා 1942 දී පැවති සාදයක දී වූ සිද්ධියක් ඒ වෙනුවට සිහිපත් කරයි.   ඔවුන් අතර සිටි එක් අයෙක් මෙසේ කීවේය.    'ඉතින් සහීබ්,මම දැන් මගේ ගෙදර බලා යන්නේ හිත පුරා ගිය සතුටකිනුයි.   මගේ ඇස් දෙකෙන් ම ඔබතුමා දුටුවා යැයි තාත්තාට කියන්නට පුළුවන්.   මිනී කන්නාගේ මරණය සමරන්නට අවුරුද්දක් පාසා රුද්‍රප්‍රයාගයේ පවත්වන උත්සවයට මාව ඔසවා ගෙන යන්නට කවුරුත් හරි සොයා ගන්න ලැබුණොත්, එහිදී හමුවන හැම කෙනෙකුටම තමුන්නාන්සේ මට මුණ ගැසුණු බවත්, මා සමග කතාබහ කළ බවත් මම කියන්නම්.'

තව දුරටත් කරුණු දක්වන කෝබට්,

'සැහැල්ලු හා එඩිමත් ගති සොබා ඇති කඳුකර වාසීන්ගේත් මුළු මහත් ඉන්දියාවේත් අතළොස්සක් වූ මේ පුතුන් සමග වෙසෙන්නවුනට පමණක් දැන හඳුනා ගැනීමේ භාග්‍යය හිමිවන ගර්හ්වාලයේ නියම පුතෙක්.   ඔවුන්ගේ කුලය හෝ ආගම කුමක් වුවත්, එක්තරා දිනකදී මේ නිර්භීත භුමිපුත්‍රයන් විසින් පසමිතුරු අරගලකාරීන් ඒකරාශි සමුහයක් කොට ඉන්දියාව බලසම්පන්න ජාතියක් බවට පත්කරනු ලබන්නේය.'

කෝබට් ගේ දෙවන කෘතිය 'රුද්‍රප්‍රයාගයේ මිනී කන කොටියා' ය.   පයනියර් පුවත්පතේ නයිනි තාල්හි නියෝජිතයා විසින් වසර ගණනාවකට පෙරාතුව ලියැවුණු වාර්තාවේ සැකිල්ලත් මේ පොතේ කියැවෙන කථාන්තරයත් අතර ඇත්තේ කිට්ටු සබඳතාවකි. 

'මා අධික සීතලෙන් වෙවුලද්දී වැස්ස කඩිනමින් නිමාවිය.   වලාකුළු විසිරුණු පසු පෙනෙන්නට වන් සුදු පාට ගල හිටිහැටියේම දිස් නොවූ අතර, මඳ වේලාවකට පසු ව කොටියා ගොදුර බුදින හඬ ඇසෙන්නට විය.   ඌ පෙරදින රැයෙහි ගිරිකඳුර දෙසින් ඇවිත් ඒ පැත්තේ සිට ගොදුර කෑ බැවින්, මේ රාත්‍රියෙහි ද එසේම කරනු ඇතැයි යන බලාපොරොත්තුව නිසා, මා ගොදුර ලඟින්ම සුදුගල තැබුවේ ද එදෙසින්මය.   ඇත්ත වශයෙන්ම, ගිරි කඳුරෙහි එකතුවූ වැහිදිය කඩිති මග ඇර අලුත් පාරක් සොයා යෑමේ දී කොටියා මගේ එල්ලය මුවා කළේය.   මෙය මෙසේ සිදුවෙතැයි මා කලින් නොසිතුවත්, කෙසේ නමුදු කොටියන්ගේ ගතිපුරුදු ගැන අවබෝධයක් ඇති බැවින් ගල යළි දැක ගැනීම පිණිස මට බොහෝ වේලාවක් පොරොත්තුවන්නට නොවෙන බව මම දැන සිටියෙමි.   මිනිත්තු දහයක් පමණ ගෙවුණුවිට ගල යළිත් පෙනී ගියේය.   ඒත් එක්කම වාගේ මට පහළින් ශබ්දයක් ඇසුණු අතර ළා කහ පැහැති කොටියා පිදුරු බිස්සට යටින් අතුරුදහන් වනු දැක ගන්නට පුළුවන් විය.   ළා පැහැය උගේ වයස නිසා ඇතිවුවක් විය හැකිය.   එහෙත් ඌ ඇවිදීමේදී නැඟුණු හඬ මට එදාවත් අදවත් විස්තර කළ නොහැක්කකි.   එය හරියට කාන්තාවකගේ සේද ඇඳුමකින් නැගෙන මෘදු සරසර නාදය සේය.   එය කුඹුරේ ඉපනැල්ල නිසාවත් අවට විසිරී තිබු පිදුරු නිසාවත් පහළවුවක් නොවේ, කුඹුර ඉපනැල්ලෙන් තොර වුවකි.'

1925 දී පයනියර් පත්‍රයෙහි උද්ධෘත මේ ඡේදය ලියු අඥාත දඩයක්කාරයා කවරෙක් දැයි සැක පහළ කළ හැක්කේ කාටද?

කෝබට් ගේ ග්‍රන්ථයන් ඔහුගේ ප්‍රකාශකයන් විසින් නැවත ලියන ලදැයි යන කල්පිතය දැන් ඉතිරිව ඇත.   ඔහුගේ යතුරු ලියන පිටපත් වැඩිපුරම ලැබුණු තැනැත්තා ලෙස විසංවාදිත්වය පිලිබඳ බියෙන් තොරව සහතික ලෙසින් මට පැවසිය හැක්කේ, ඒවා ප්‍රකාශයට පත් කරන්නට පෙරාතුව විරාම ලකුණු හා අක්‍ෂර වින්‍යාසය නිසි අයුරින් යෙදීමත්,කලාතුරකින් වර්තමාන ක්‍රියා පදයක් වෙනුවට මිශ්‍ර ක්‍රියා පදයක් යෙදීමත් පමණක් මවිසින් සිදු කෙරුණු බවයි.   කෝබට් ගේ ලියවිලි අතර මුලින්ම ලියුවකැයි හැඟෙන 'පීපල්පානි ව්‍යාඝ්‍රයාගේ' කථාන්තරයෙන් මීට මනා නිදසුනක් සපයා ගන්නට පුළුවන.   එය පළමුවෙන් පළවුයේ බොම්බායේ 'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා මුද්‍රණාලය' මගින් ප්‍රකාශිත 'හොග්හන්ටර්ස් ඇනුවල්' වාර්ෂික සංග්‍රහයෙහි 1931- හතරවන වෙළුමෙහිය.   ජිම් විසින් සිය මිතුරන් උදෙසා පිටපත් සියයක් පමණක් මුද්‍රිත 'වනාන්තරයේ කථාන්තර' නමැති කුඩා පොතේත් 'කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ' කෘතියෙහි ත් ඒ කතාව ඇතුළත් විය.   මේ පිටපත් තුනේ වචනයක්වත් එහාමෙහා වී ඇත්තේ ඉතා කලාතුරකිනි.   ජිම් ඉතා ප්‍රවේශම් සහගත ලේඛකයෙකු වූ අතර ඔහු වරක් ලියු වැකියක් සංශෝධනය කෙරුණේ ඉඳහිටය.

සියවසකට පෙරාතුව, සමස්ත ඉන්දීය ජනගහණය මිනිසුන්, ගැහැනුන් හා දරුවන් මිලියන 200 කින් සමන්විත වූ අතර,අද එම භූමි ප්‍රමාණයේම මිලියන 700 ක් පමණ දෙනා වාසය කරති.   ජිම් කෝබට් ගේ ඉන්දියාවෙහි මුහුණුවර වෙනස් කෙරුණේ මෙසේ ජනගහන පීඩනය විසිනි.   ගොර දෙන බස් රථ දිවෙන්නා වූ මහා මාර්ගයන්ගෙන් වනාන්තර ප්‍රදේශ කැබලිවලට බිඳී යාමත්, 1947 අවුරුද්දේ නිමාවත් සමග ම වගා ආරක්ෂාව ට නිකුත් කෙරුණු තුවක්කු සුලබ වීමත් නිසා ව්‍යාඝ්‍රයාගේ නියම පැවැත්මට තර්ජන එල්ල වුයේය.   මේ වර්ගය වඳවී යාම වැලැක්වීම පිණිස 1972 දී 'ලෝක වනසත්ව අරමුදල' විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක ප්‍රදානයක් ඉන්දීය රජයට ලබාදෙන ලදී.   සිය පස් අවුරුදු සැලැස්ම යටතේ 'ව්‍යාඝ්‍ර ව්‍යාපෘතිය' සඳහා ඉන්දීය රජය තවත් රුපියල් කෝටි හයක් සැපයු අතර ස්ථාපිත අභයභූමි හත අතරට කෝබට් ජාතික වනෝද්‍යානය ද අයත්ය.   අහම්බෙන් හමුවන මිනී කන්නකු හැරුණුකොට, ව්‍යාඝ්‍රයන් හා දිවියන් වෙඩි තැබීම දැන් සපුරා තහනම්ය.

ව්‍යාඝ්‍රයා ව ආරක්ෂා කරතොත් මිනිසා තමා වම සුරකිතියි අනුමාන කළ හැකි අතර, අඛණ්ඩ වූ ජනගහන පීඩනය වසර 2000 වන විට සුවිසල් පරිවර්තනයක් පහළ කරනු ඇත.   දියවරෙහි අගය ඉහළ යා හැකි බැවින් හිමාල හා බටහිර ඝාට්ස් ප්‍රදේශ කේන්ද්‍රකොට විල් හා ඇළ මාර්ග දාමයක් ඇති විය හැකි අතර, ජලාශ හා ඉහළ ජලාධාර ප්‍රදේශ වනාන්තර වලින් සුරක්ෂිත වනු ඇත.   මේ කැලෑ දැඩි සේ ආරක්ෂා කරනු ලැබුවහොත්, ජිම් කෝබට් ගේ ළමා වියෙහි මෙන්,ඒවා වන සතුන්ගෙන් පිරී ඉතිරෙන්නට පුළුවන.

මෝකමේ ඝාට්හි දිවි පෙවෙතද බෙහෙවින් වෙනස්ය.   ගංගා නදිය හරහා යන දුම්රිය පාලමක් එහි ඇත.   රුපියලකට පෛසා හතරකට වැඩි - සියයට දෙකක අයබද්දක් සහ වෘත්තීය සමිතිද වෙයි.   ජිම් කළාක් මෙන්, සිය ශ්‍රමිකයන් අතර ලාභයෙන් සියයට අසුවක් බෙදාලිය හැකි එකදු සේවා යෝජකයකු වත් දැන් එහි සොයා ගන්නට නැත.   බද්‍රිනාත් කරා යන වන්දනාකාරයන්ට දේවාලයට යාර සිය ගණනක් ආසන්න වනතුරු බසයෙන් ගමන් කිරීමට පුළුවන.   නයිනි තාලය කරා දුම්රිය මග ලඟා නොවුණත්, අනර්ඝ මහා මාර්ගයක් කත්ගෝදාමයේ සිටත්, ඊට තරමක් අඩු තත්ත්වයේ පාරක් කාලධුංගිහි සිටත් වැටී ඇත.   ජිම්ගේ මෑණියන් සිය පළමුවන චාරිකාවෙහිදී අග්‍රාවේ සිට නයිනි තාලය කරා තැනිතලාවක් ඔස්සේ පැමිණියේ 'ඩුලි ඩකයක්' - එනම් හැඩිදැඩියන් සිව්දෙනෙකු විසින් ඔසවනු ලැබූ රිටි දෙකක බඳින ලද පෙට්ටියක් බඳු යානාවක් මගිනි.   මේ ගමනෙහි අවසාන තියුණු නැගීම පිණිස තනි රිටකට බඳින ලද මනරම් හැමොකයක (වැල් ඇඳක ) වැතිරී යා යුතු වූ අතර, ඉන් ඉවතට පෙරළීමේ අවදානමෙන් මිදෙන්නට නම් මගියා විසින් රිට තදින් අල්ලා ගනු ලැබිය යුතු විය.   නයිනි තාලයේ නගර සභා රැස්වීම්වලට සහභාගිවීමට කාලධුංගිහි සිට හිමිදිරියේම පා ගමනින් පිටත් වන ජිම් ආපසු සිය නිවෙසට ලඟා වුයේ ඇඳිරි වැටුණු පසුවයි.   අවකාශීය හා වාචික සන්නිවේදනයන් විස්මයාවහ අන්දමින් වෙනස්වූ අතර, ඒ සියල්ලටත් වැඩියෙන්,සියවසකට එපිටදී ජනගහණයෙන් ඉතා වැඩි සංඛ්‍යාවක් කියවීමට සහ ලිවීමට නොදත් නමුත්, පුද්ගල සාක්‍ෂරතාව 3% සිට 30% දක්වා මේ අතරතුර ඉහළ ගොස් තිබේ.   හැම ගම්මානයකම ට්‍රාන්සිස්ටර් ගුවන් විදුලි යන්ත්‍රත් සෑම විශාල නගරයකම රූපවාහිනියත් ඇත.   කාලයන් වෙනස් වන නමුත් මනුෂ්‍ය ස්වභාවය වෙනස් වන්නේ ඉතාමත්ම මන්දගාමී වය.   දඩයක්කාරයකු, කථාන්තර පවසන්නකු හා කිතුනු මහත්මයකු ලෙසින් ජිම් කෝබට් තවත් කාලයක් අගැයෙනු ඇත.   තව දුරටත් ඔහු ජීවතුන් අතර සිටියේ නම්,සිය තුන්වැනි පොතවූ 'මගේ ඉන්දියාව' කෘතියෙහි සමර්පණය කළ සඳහන පුනරුක්ත කරනු ඇත.   ' ඉන්දියාවේ දිළින්දන් වන මගේ මිතුරන්ටයි'෴

R. E. Hawkins.
(ජිම් කෝබට්ගේ My India, ඉන්දියානු දිළින්දන්ගේ කතන්දර. පරිවර්තනය:විහාවී විජයශ්‍රීවර්ධන. ප්‍රකාශනය: සූරිය ප්‍රකාශකයෝ,2005)

Thursday, February 22, 2018

ජිම් කෝබට් සමග ඉන්දියානු දිළින්දන්ගේ කතන්දර.


අද ලියන්නට සැරසෙන්නේ මා ඉතා අගය කරන ලේඛකයෙකුගේ කතාවයි.   ඔහු නමින් ජිම් කෝබට් ය.  මා කෝබට් ගේ කතා රසවින්දේ මිට බොහෝ ඈත කාලයකට පෙර සිටය.   පසුකාලීනව කෝබට්ගේ සියළුම පොත් කියවන්නට ලැබුණත් ඒ රසය ගැන ලියන්නට නොහැකිවිය.   පළමුව ජිම් කෝබට් ගැන යමක් ලියා ඉන්පසුව ඔහුගේ කතාවල රසවිඳින්නට මම ඔබත් සමග එකතුවෙමි.   ඉතින් අද මා ලියන්නේ Jim Corbett's india - R.L.Hawkins යන කෘතියට ඔහු ලියු හැඳින්වීමයි.

'මේ පොතේ මුල ඇති ඡායාරුපයෙන් දැක්වෙන්නේ විශාල වික්ටෝරියානු පවුලකට අයත් සාමාජිකයන්ගෙන් කිහිප දෙනෙකි.   එහි මව දෙවරක් වැන්දඹු වුවාය.   ඇය සිව්ළොස් වියෙහි විවාපත්ව දරුවන් සිව් දෙනෙකු ලැබ සිටියදී කැරලි කාලයෙහි ඇගේ සැමියාව ඝාතනය කෙරිණි.    ඉන් වසරකට හො දෙවසරකට පසු, පුතුන් දෙදෙනෙකු හා දියණියක සිටි වැන්දඹු පුරුෂයකු වූ ක්‍රිස්ටෝපර් කෝබට් සමග ඇය යළි විවාපත් වූ අතර, දෙවැනි කසාදය නිසා පිරිමි දරුවන් හයදෙනෙකු හා ගැහැණු දරුවන් තිදෙනෙකු මේ කුටුම්බයට එකතු විය.   පෙඳ හිස්වැස්මක් පැළඳ සිටින කාන්තාව, මැගී පිටුපස නැගීසිටින ජිම්ගේ ගෙදර දොර කටයුතු නිතර බලා කියා ගත්තාය.   එම පිංතුරයේ ඉදිරියෙන් අසුන්ගෙන සිටින තැනැත්තා කවරෙක්දැයි හඳුනා ගැනීමට මම අපොහොසත් වෙමි.   ඇතැම් විට ඔහු ජිම්ගේ වැඩිමහල් ම සොහොයුරා වූද වීරයා ද වූ හමුදා සේවයේ නියුතු ටොම් වන්නට පුළුවන.

ජිම් හෙවත් සම්පූර්ණ නාමයෙන් දක්වතොත් එඩ්වඩ් ජේම්ස් කෝබට් 1875 ජුලි මස 25 වන දින ඉපදුණු අතර, මේ ඡායාරූපය 1900 දී පමණ ගනු ලැබුවකි.   පියා වූ ක්‍රිස්ටෝපර් විලියම් කෝබට් පළමුවන ඇෆ්ගන් යුද්ධයට (1839 - 42) සහභාගිව 1857 න් පසු ඖෂධ සංයෝජක නොහොත් සහකාර ශල්‍ය වෛද්‍ය පදවිය ලබන තුරු හමුදා සේවයෙහි නියුතු විය.   1859 ඔක්තෝබර් 13 දින ඔහුගේ දෙවන විවාහය සිදුවූ කාලයෙහි හෙතෙම තැපැල් සේවයට බැඳුණු අතර, 1862 නයිනිතාලයේ තැපැල් ස්ථානාධිපති පදවියට පත් වුයේය.   මෙම කඳුකර නැවතුම්පොළ පසු කාලයේදී එක්සත් ප්‍රාන්තීය පළාතේ ග්‍රීෂ්ම සෘතු අගනගරය බවට පත්විය.  එහි පැමිණි විගසම ක්‍රිස්ටෝපර් කෝබට් ට කඳුකරයේ පාමුල කාලධුංගී පෙදෙසින් බිම් කඩක් ලැබුණු අතර, සිය පවුලට ශීත කාලයන්හි විසීම සඳහා ඔහු විසින් එහි විශාල නිවසක් ඉදි කරන ලදී.  අඩි 6400ක් උසින් තිබු නයිනිතාල් විලට - තාල් යනු විලයි - අඩි දහසකට ඉහළින් කෝබට් නිවස ( ගර්නි හවුස් - මේ ඡායාරුපය ගන්නට ඇත්තේ එහි නිසවත්තෙහි යයි හඟිමි) පිහිටියේය.   විලට දියවර සැපයු චීන ( නොහොත් නයිනා - උස අඩි 8568 ) කූට මුදුනේ තැන් තැන්වල මාර්තු අග වන තුරුම හිම පදාසයන් දක්නට ලැබිණ.   ශීත සෘතු මාසවලදී බොහෝ ජනයාත් පක්ෂීහුත් කඳුකරයේ සිට පහළ තැනිතලාවන්ට පැමිණියහ.

කෝබට්වරුන්ගේ පියානෝව ඇතුළු ගෘහ භාණ්ඩ සමහරක් සහිත ගර්නි හවුස් නිවාසය තවම තිබේ.   සංගීත ප්‍රස්තාර කොළ ගොන්නකුත් සෙසු පොතුත් අතර, මැගී විසින් සිය වාදනයන් සඳහා ලැබූ ත්‍යාග සමහරකුත් දැනුදු එහි ඇත.   හොඳ පුස්තකාලයක සලකුණු පෙන්වනු ලබන එහි දේවධර්ම හා වෛද්‍ය ග්‍රන්ථයන්ට අමතරව, ක්‍රීඩා, ස්වභාව ඉතිහාසය, සංචාර හා ඡායාරුපකරණය පිලිබඳ පොතපතත්, ප්‍රථම මුද්‍රණ සමහරක් ඇතුළත් 19 වන සියවසේ කවීන්ගේ හා නවකතා කරුවන්ගේ කෘති රැසක්ද දක්නට පුළුවන.   කෝබට් දරුවන්ගේ නිවස ශිෂ්ට හා සුවපහසු වාසස්ථානයක් වුයේය. 

ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාල මුද්‍රණාලයේ ඉන්දියානු නියෝජිතයා ලෙස ඔහුගේ පොත්පත් බොහොමයක් ලබාගෙන ප්‍රකාශනය කිරීමේදී සිදු කළ ලිපි හුවමාරු තුළින් මා ඔහු මැනවින් දැන සිටීම, ජිම් කෝබට්ගේ ලිපි සංග්‍රහ සඳහා මට ඇරයුම් ලැබීමට පාදක වූ නමුත්, බොම්බායේදී හා ලන්ඩනයේදී ජිම්ද ඔහුගේ සොහොයුරිය වන මැගී ලන්ඩනයෙහි හා නේරිහි ද මුණ ගැසුණු අවස්ථා ඉතා සුළු කාලයන්ට සීමිත විය.   දෑස් හි සුද ඉවත්කිරීමේ ශල්‍ය කර්මයක් සඳහා අසුවියට ආසන්නව සිටි මැගීව ජිම් විසින් ලන්ඩනයට කැඳවා ගෙන යන ලදී.  දෑස වසා එතුණු වෙළුම්පටි ඇතිව අකර්මණ්‍ය ව සිටි ඇය හිතවතෙකුගේ දිරි ගැන්වීමෙන් සිය අතීතාවර්ජනයන් ලඝු ලේඛනයෙන් සටහන් කළාය.   'මැගී විසින් ප්‍රකාශ කරනු ලබන පරිදි' යැයි මා පසුව දක්වන වගන්ති වලට පාදක වුයේ මේ සටහන්ය.   නොබෝ දිනකින් දිල්ලියේදී ප්‍රකාශයට පත් කෙරෙන ජිම් කෝබට් ගේ ජීවන චරිතයෙහි කතුවර ඩී. සී. කාලා මහතා දැක්වූ නොමඳ සහාය පිළිබඳව මම ඔහුටද ණයගැති වෙමි.

ජිම් කෝබට් පළ කළේ පොත් සයක් පමණි.   පළමු වැන්න කුමාඕන් හි මිනීකන්නෝ(1944) පළවීමෙන් දසවසරකට පසුව කෝවිල් ව්‍යාඝ්‍රයා සහ කුමාඕන්හි මිනී කන්නෝ තව සමහරක් නමින් දෙවැන්න ප්‍රකාශයට පැමිණි අතර, මේ කතා එකතුවෙහි (Jim Corbett's India) අඩකට පමණ උද්ධෘත වුයේ ඒ කෘති දෙකෙහි ඇතුළත් කතා පුවත්ය.   ස්වයං ලිඛිත චරිතාපදානයක් බඳු 'මගේ ඉන්දියාව' (1952) හා 'වනාන්තරයේ කථාන්දරය' (1953) යන ග්‍රන්ථ ද්වයෙන් වැඩි පමණකුත්, ඔහුගේ කතා සියල්ලෙන් වඩාත් ත්‍රාසජනක යැයි බොහෝ දෙනෙකු විසින් සලකනු ලබන දීර්ඝතම කතාව වන 'රුද්‍රප්‍රයාග් හි මිනී කන කොටියා' (1948) කෘතියෙන් උපුටා ගැනුණු කොටස් තුනකුත් මෙහි අනෙක් අඩට ඇතුළත්ය.   හඹා යෑමෙන් විසි වසරකට පසු සවිස්තරව ලියැවුණු මේ කථාන්තර, කෝබට්ගේ අසාමාන්‍ය මතක ශක්තියටත් කථා කීමේ කුසලතාවටත් ප්‍රාමාණික සාක්ෂ්‍ය වන්නේය.   අසු වියෙහිදී අභාවයට පත්වූ විගසම වාගේ පළ කෙරුණු 'තුරුමුදුන්'(1955) නමැති අවසාන කෘතියෙන් හෙතෙම එළිසබෙත් රැජිණගේ කුමරි අවධියෙහි තමා ඇගේ මුර රැකවලෙහි යෙදී රැය පහන් කළ අයුරු සිහිපත් කර ඇති අතර එහි උද්ධෘත මෙහි ඇතුළත් නොවේ.   මුලික වශයෙන් 'මගේ ඉන්දියාව කෘතියට ඇතුළත් කිරීමට ලියනු ලැබූ 'ගුන්ගී' කතාව මවිසින් මෙහි පළ කරන ලදී.   මා දන්නා අන්දමට මුද්‍රණයෙන් ප්‍රකාශයට පමුණුවනු නොලැබූ ඔහුගේ එකම ලියවිල්ල එයවේ.

ජිම් හා මැගී සමග එංගලන්තයෙහි විසූ ජෙෆ්රි කම්බර්ලෙජ් සහ ඔවුන් දෙදෙනා කැටිව වනසැරියෙහි නිතර යෙදුණු,1928- 30 ත් 1931 - 34 යන කාලවකවානුවල එක්සත් ප්‍රාන්තීය පළාතේ ආණ්ඩුකාර ධුරය දැරූ ශ්‍රීමත් හෙයිලි යන දෙපල විසින් 'මිනී කන්නෝ' සම්භාව්‍ය ලෝක සංස්කරණයේත් 'තුරු මුදුන්' කෘතියේත් ප්‍රස්තාවනාවන්හි ජිම් කෝබට්ගේ ජීවිතය හා පවුල පිලිබඳ තොරතුරු සංග්‍රාහිතයි.   මට හැකිවූ තාක් දුරට කාල වකවානු පිළිවෙලින් මේ පොත සඳහා කථාන්තර සංග්‍රහ කෙරුණු අතර, එය එක දිගට කියවන්නෙකුට ජිම්ගේ ජීවිත ප්‍රවෘත්තිය පිලිබඳ යම් හැඟීමක් පහළ කරගන්නට පුළුවන.

වසර සතළොසකුත් සමසක් වූ වයසේදී පාසැල් සමය නිමාකළ ජිම්, රුපියල් සියයේ මාසික වැටුපකට දුම්රිය මාර්ග ඉන්ධන පරීක්ෂකවරයකු ලෙස සේවයට බැඳුණේය.   ඔහුගේ වයස අවුරුදු හයක් වනවිට දරුවන් නවදෙනෙකු හදාවඩා ගැනීමේ කාර්යය මව කෙරේ පවරමින් පියා පරලෝ සැපත් වුයේය.   'මෝකමේ ඝාට්' කථාවේ විස්තර කෙරෙන අන්දමට,ගංගා නදිය හරහා දුම්රිය බඩු එතෙර කරවීමට අදාළ කොන්තරාත්තුව විසි හැවිරිදි වියෙහි සිටි ජිම් විසින් භාර ගන්නා ලදී.   යුද්ධ හමුදාවට බඳවා ගැනීමට වයස වැඩි යැයි 1914 දී සලකනු ලැබුවත්, 1917 දී කපිතාන් පදවියක් ලද හෙතෙම කුමාඕන් වාසීන් පන්සියයකගෙන් යුත් ශ්‍රම බළකායක් රැගෙන ප්‍රංශයට ගියේය.   ඉන් 499 දෙනෙකු ආපසු රැගෙන ඒමට හැකිවීම ඔහුගේ ආඩම්බරයට හේතුවිය.   ඉන්පසුව තෙවන ඇෆ්ගන් යුද්ධයට ද සහභාගී වූ ඔහු 1920 දී පමණ, හතළිස්පස් හැවිරිදි වියෙහිදී නයිනිතාල් හි ස්ථිර ව පදිංචි වී සිය මව හා මැගී සොහොයුරියත්, ඥාති සහෝදරියක වූ මාරි ඩොයිලුත් රැකබලා ගත්තේය.   ඔහුගේ මව 1924 දී මියගිය අතර, මාරි 1940 දී පරලෝ සැපත් වුවාය.

1922 දී කිලමන්ජාරෝ කඳු බෑවුම් හි පිහිටි කෝපිවත්තකට පර්සි වින්ඩ්හැම් සමග කොටස්කරුවෙකු වූ හෙතෙම සෑම අවුරුද්දකම තෙමසක් පමණ එහි ගතකිරීමට පුරුදුව සිටියේය.   ඒ වතුයායෙහි හුදෙක් පැල්පත් මිස විසීමට විධිමත් නිවෙස් නොවූ නිසා ජිම් විසින් සිය වෙර වීරියෙන්ම දෙමහල් නිවසක් ඉදි කෙරිණි.   ඔහු අත නොතැබූ එකම ගඩොලකුදු නොමැති ඒ නිවසේ මතු මාලයෙහි බරාඳයක්ද විය.   එය සාදා හමාරවූ පසු කරන ලද මිනුම් වලදී එහි කොතැනකවත් එක අඟලකුදු අඩුවැඩි නොවීම ජිම්ගේ ආහ්ලාදයට හේතු වුයේ යැයි මැගී සඳහන් කරයි.

දුම්රිය මාර්ගයන්හි සේවය කළ කාලයේදී ජිම් සිය නිවාඩු කාලයන්ගෙන් බොහොමයක් ගත කළේ කාලධුංගි හිදීය.   ශතවර්ෂාරම්භ අවුරුදුවල අතහැර දමා තිබූ ජෝටි හල්ද්වානි නමැති ගම හෙතෙම මිලදී ගත්තේය.   කටුකම්බි වැටකින් වටවුණු සැතපුමක පමණ වපසරියකින් යුතු ඒ බිමෙහි කොටස් දෙකක් වෙන්කළ ඔහු එහි නව නිවාස ඉදි කැරැවීය.   ඔහුට වියදම් දරාගත හැකිවූ කල්හි මේ සීමාවේ පරිධිය සැතපුම් තුනක් දක්වා පුළුල් වූ අතර, කම්බි වැට වෙනුවට අඩි පහක් උසැති ගල් බැම්මක් ඒ වටා තනන ලදී.   ගම්මානය ඉතා ඉක්මනින් දියුණුවට පත් වුයේය.

එවක කුමාඕන්හි රාජකාරි කළ රජයේ සේවකයෙකු හා ගර්හ්වාලි වාසියෙකුද වන ගෝවින්ද් රාම් කාලා, 'රාජ් පිලිබඳ මතක සටහන් මැයැති සිය කෘතියෙහි කෝබට් හා වින්ඩ්හැම් දෙපල ගැන තොරතුරු දක්වා ඇත.   'කෝබට්ගේ කාලධුංගිය' යැයි එක් පරිච්ඡේදයක් නම් කරන කාලා, මෙසේ කියයි.

"කුමාඕන්හි මිනීකන්නෝ" නමැති සිය සම්භාවනීය ග්‍රන්ථය ලිවීමෙන් අනතුරුව, ප්‍රසිද්ධියට පත්ව සිටින ජිම් කෝබට් එවක පදිංචිව සිටියේ නයිනි තාලයේ සිට සැතපුම් 15 කට දුරින් පිහිටි කුඩා හාබර් නගරයක් වන කාලධුංගිහිය.   ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේත් ඔවුන්ගේ අමුත්තන්ගේත් දඩයම් සංචාර ලකලෑස්ති කරවීමෙන් යමක් කමක් හරිහම්බ කරගන්නා අවස්ථාවන්හි මිස, සුළු ව්‍යාපාරයන්හි හා ගොවිතැනෙහි යෙදෙමින් හෙතෙම මෙහි ශීත සෘතුව ගතකළේය.   හාබර්හි හා තෙරායි හි ව්‍යාඝ්‍ර දඩයමට ගිය සෑම අවස්ථාවකදීම වින්ඩ්හැම් මහතාගේ නිබඳ සහායකයෙක් වූයේ කෝබට් ය.    හෙතෙම සිය සොහොයුරියන් දෙදෙනාත් සමග තම බංගලාවේ ගත කළේ තනිකඩ දිවියකි. 

'කාපට්(කැප්ටන්?) සහීබ්' යන ආදරබර නමින් ඇමතුම් ලැබූ ඔහුව, පළාත් වාසී සියල්ලෝම දැන හඳුනා සිටියෝය.   කරදරයට පත් සියල්ලන් දිරිගන්වන වදනක් නිතර ඔහුගේ මුවග රැඳුණු අතර, හෙතෙම නොමසුරු පරිත්‍යාගශීලියෙක් වුයේය.   සුදු මිනිසුන්ගේ සාමාන්‍ය විගඩම්කාර ගතිසොබාවලින් ඔහු මුළුමනින්ම වියුක්ත වූවෙකි.   1920 - 21 වසරෙහි දී සහකාර ථසිල්දාර් වරයකු ලෙසින් කාලධුංගිහි සේවයට ආ අවස්ථාවේදීය, කෝබට් සමග සම්බන්ධතා පැවැත්වීමට මට ඉඩකඩ උදාවුයේ.   අඳුරු පැහැයට හුරු මධ්‍යම ප්‍රමාණයේ සිරුරකින් යුතු හෙතෙම, කොට කලිසමකින් හා කමිසයකින්ද ගොරෝසු රෙද්දෙන් මැසූ ඝන කබායෙන් හා හිස්වැසුමෙන් ද සැරසී ගමන් කරන අන්දම කෙනෙකුට දැකගත හැකි විය.   ඔහු ටයිපටියක් පැලැඳුයේ නැත.

හාබර්හි හා තාරායිහි ථසිල්දාර්වරු සහ සහකාර ථසිල්දාර්වරු මහ පරිමාණයේ දඩයම් සංචාර සඳහා අවශ්‍ය බර ගෙනයන්නවුනුත් ගොන් කරත්තත් සොයා ගැනීම සඳහා නිතර ඔහු සමග සබඳතා පැවැත්වුහ.   ඇත්තෙන්ම, සෑම වැදගත් දඩකෙළියකම මුළුවසම් සංවිධානයේ මුලිකයා වුයේ කෝබට් ය.   ඔහුගේ යහපත් ගති සොබාවත් සානුකම්පික ආකල්පත් ඔහු මුණගැසීමෙහි ලා අපව දිරිගැන්වීය.   නයිනි තාලයෙහි ඔහුට අයත් බංගලාවක් තිබු අතර, කෝබට් සිය සොහොයුරියන් සමග අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා එහි වාසය කළේය.ඔහු කොතරම් ජනප්‍රිය පුද්ගලයෙකු වුයේ ද යත්, ඔහු මුණගැසීමට මා නයිනි තාලයට ගිය හැම විටකදීම එම නිවස ජනයාගෙන් පිරී තිබෙනු දක්නට ලැබිණි.

1920 සිට 1944 දක්වා නයිනිතාල් නාගරික මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ජිම් කටයුතු කළේය.   පුරෝගාමී වන සත්ව සංරක්ෂකයකු වූ හෙතෙම 'ඉන්දියානු වන සත්ත්වයෝ' නමැති කෙටි කලක් පළවුණු සඟරාවේ සංස්කාරකවරයන්ගෙන් කෙනෙකි.   1932 අගෝස්තු 31 වන දින 'සතියේ විචාරයෙහි' ඔහු විසින් පළකරනු ලැබූ ලිපිය, මේ එකතුවෙහි 'හොර දඩයක්කාර ගම්මුන්ට අයැදුමක්' යන මාතෘකාව යටතේ පළවේ.   තමුන් අවට ඇති ස්වභාවික පරිසරයේ සුන්දරත්වය ගැන අවධානය යොමු කිරීමටත් වනාන්තර හා වන සතුන් සංරක්ෂණයේ අවශ්‍යතාව ඉස්මතු කරනු පිණිසත් ප්‍රාදේශීය පාඨශාලාවන්හි හා සමිතිවල දේශන පැවැත්වීම ඔහු ඇරඹුයේ මේ වකවානුවේදී ම ය.   1930 ගණන්වල මුලදී නයිනිතාලයේ වෙල්ස්ලි පාසැලේ උගත් දැරියක විසින් ඔහුගේ මෙම වාර්ෂික ආගමනයන් විස්තර කරනු ලැබුයේ, සිය ළමා දිවියෙහි අත්විඳි උත්කර්ෂවත් සිද්ධිවලින් සමහරක් ලෙසයි.   එහි චිත්‍ර ප්‍රක්ෂේපණ හෝ චිත්‍රපට නොතිබුණු නමුත්, වඳුරන්,කුරුල්ලන් හා මුවන් අනතුරු ඇඟවීම පිණිස කරනු ලබන හඬලෑම් අනුකරණය කරන ජිම්, අඳුරු කරන ලද කාමරය තුළ භයංකාර වූ ව්‍යාඝ්‍ර ගෙරවිලි නැංවීමෙන් එය හමාර කරන්නේය.   වඩාත් විචක්ෂණ පිරිසක් හමුවෙහි මිනී කන්නෙකු පිළිබඳව කතා කරන විටදීත් ව්‍යාඝ්‍රයන් චිත්‍රපටයට නැගීමේදී සිය කැමරාවෙන් නිකුත් වන හඬ යටපත් කිරීමටත් සතුන්ගේ හඬ අනුකරණයෙහි ඔහු සතුවූ හැකියාව මැනැවින් පළ වුයේය෴
(ජිම් කෝබට්ගේ My India හි සිංහල පරිවර්තනයඉන්දියානු දිළින්දන්ගේ කතන්දර,පරිවර්තනය: විහාවි විජයශ්‍රීවර්ධන. ප්‍රකාශනය:සූරිය ප්‍රකාශකයෝ,2005)