Sunday, March 4, 2018

මගේ හපන්කම් සහ දඟකාර පොට්ටනිය.


අද මා ඔබ සමග රසවිඳින්නට සැරසෙන්නේ රුසියානු යොවුන් නවකතාවකි,කර්තෘ ගපූර් ගුල්යාම් ය.   දැදිගම වී.රුද්‍රිගු නම් ශ්‍රේෂ්ඨ පරිවර්තකයා අතින් රුසියානු බසින් සිංහලට පෙරැළුණු  මෙම යොවුන් නවකතාව '80 දශකයේ, වඩාත් නිවැරදිව කියුවොත් 1985 දී 'මගේ හපන්කම්' නමින් ප්‍රකාශයට පත්වූ අතර මා මෙම කතාව මුලින්ම රස වින්දේ ඒ කාලයේදීය.  ඉන්පසුව දසක එකහමාරක් පමණ ගතවෙනතෙක් මේ පොත මුද්‍රණයේ නොවූ අතර නැවතත් කුරුළු පොතක් වශයෙන් වර්ෂ 2000 දී ප්‍රකාශයට පත්විය.   එවකට ඉන්දියාවේ රැකියාව කළ මට 'මගේ හපන්කම්' පොත තෑගි කරන ලද්දේ මදුරාසියේ මහාබෝධි විහාරස්ථානයේ රතනජෝති ස්වාමීන් වහන්සේ විසිනි.  ඉන්පසුව 'දඟකාර පොට්ටනිය' යන නමින් සඳකඩපහණ ප්‍රකාශනයක් වශයෙන් නැවත ප්‍රකාශනයට පත්වූවත් ඒ වර්ෂය පැහැදිළි නොමැත්තේ පොතේ ප්‍රකාශයට පත්වූ වර්ෂය සඳහන් වී නොමැති බැවිනි.   කෙසේ වුවද මා එම පොත මිළදී ගන්නේ 2012 වර්ෂයේ බැවින් පොත ඒ ආසන්න අවුරුද්දක මුද්‍රණය වුවා යැයි සිතාගත හැක.   අපි දැන් ඒ පොතේ කොටසක් රසවිඳිමු.

" ඉමාම් පසුපසින් ගමන් කළ මම කළ යුතු වැඩේ ගැන කල්පනා කළෙමි.   මා පළමුවෙන්ම සිතුවේ කෑමට යමක් ලැබේද යන්න ගැනය.   ඉමාම් පුළුස්සන ලද ඉරිඟු කරල් දෙකක් මා ඉදිරියෙහි තබා කැඳ කෝප්පයක්ද දුන්නේය.   මා කැඳ බොමින් ඉරිඟු ඇට සපන්නට වූ අතර ඉමාම් ඇතුළු ගෙට ගොස් නැවත ආවේ පොරොවකුත්, පිහියකුත්, කඹයකුත් රැගෙනය.   දඩයම් බල්ලෙකු දුටු මුව පැටවෙකු සේ බියගත් මම පැන යාමට සැරසුනෙමි.   ඉමාම් හඬ නගා සිනාසුණි.

" උඹ බය වුණාද?  උඹව කපන්ට නොවෙයි මම ලෑස්ති වෙන්නෙ!  මගේ වහු පැටියෙක් ඕනවට වඩා කාල ලෙඩ වුණා.   මෙන්න මේවත් අරගෙන හරක් කොටුවට පලයන්. මෙන්න උඹට පොරවා ගන්න බ්ලැන්කේට්ටුවක්,  පොරොවයි, කඹයයි, පිහියයි තියාගෙන සුදානමෙන් හිටපන්.   වහු පැටියගෙ හුස්ම හිරවෙලා ඌ ගොරොද්දෙ ඇද්දොත් උඹ උගේ බෙල්ල කපල දාපන්. තේරුණාද?   හැබැයි උඹ නිදාගන්න විතරක් එපා, උඹේ වැරැද්ද හින්ද වහු පැටිය මැරිල යාවි!"

"තේරුණා, උතුමාණෙනි! තේ කෝප්පයක් එහෙම ලැබේවිදැ ? යි මම ඇසුවෙමි.

" තේ අවුන්සයක් කාසි පහක් වෙනව.   උඹට මොන තේ ද කොල්ලො?  ළඟ දිය පාරක් තියෙනව.  ඒකෙ හොඳ පිරිසිදු වතුර.  එතැනින් වතුර බීපන්.

මම අමනාප නොවීමි.   මට භාර දුන් රාජකාරිය එතරම් අමාරු දෙයක් නොවීම නිසා මම සතුටු වීමි.   ඉමාම් නැවත ඇතුළු ගෙට ගියේය.   මම පැදුර එලා ගෙන වැතිර දිග ඇදී බ්ලැන්කේට්ටුව පොරවා ගෙන අහස දෙස බැලීමි.   සුළං පාරක් හමා ගියේය.   අසල ගස්වල තුරු 'සුරු' 'සුරු'ගා සැලෙන්නට විය.   හරක් මඩුවේ සත්තු ඉඳහිට හඬක් නගා නිහඬ වෙති.   අහසේ ලොකුම තරු තුන දෙස බලාගත්වනම සිටි මම වෙන අතකට ඇස් හැරවීමට පවා බිය වීමි.   හිස නැති මළ කඳ මා දෙසට එමින් සිටින සැටි මට දැනේ.   නැතිනම් ගස්වලට මුවාවී ඇති මළ කඳේ හිස මා දෙස නපුරු බැල්මක් හෙළයි.   දැන් මැදියම් රාත්‍රියයි.   ඊයේ මියගිය මිනිසාට මගෙන් පළිගැනීමට සුදුසු වෙලාව පැමිණ ඇත.  බ්ලැන්කේට්ටුව පොරවා ගත් මම හැකි තරම් ගුලි ගැසී සිටියෙමි.   මළ ගිය තැනැත්තා මට නොඅඩු තරමින් වධ හිංසා විඳ සිටි හෙයින් ඔහුට මා බිය කිරීමට තරම් අද නිවාඩුවක් නැතැයි මට හැඟේ.   ඔහු යටත් පිරිසෙයින් මේ වන තුරු මා වෙත ආවේ නැත.   මහ හඬක් නිසා මා අවදිවූ බව මට වැටහිණ.   මා නිදි කිරා වැටුණා විය යුතුය.   දැන් එළිය වැටීමට ළඟය.  සත්ව ගාල තුළ සතෙක් මහ හඬින් කෑගසා පසුව ගොරවන්නට විය.

" ඔන්න වැඩක හැටි! මම හොඳටම නිදාගත්ත වෙන්න ඕන." මෙසේ කියාගත් මම ලෙඩ වස්සාට සාප කරමින් කඹය අදින්නට වීමි.

"උඹ මකබෑ වෙලා පලයන්!"

හරක් පට්ටිය වෙත දුවන ගමන් එසේ සාප කිරීම නුවුවමනා දෙයක් බව සිතීමි.   පට්ටිය තුළ අඳුරු වුවද, මොකෙක්දෝ සතෙක් බිම වැතිර දඟලමින් සිටියේය.   ඌ තවම ජීවත්ව සිටීම නිසා ප්‍රීතියට පත්වූ මම පළපුරුදු සතුන් මරන්නෙකු සේ ( කොලු රංචුව සමග කීපවරක් සතුන් මැරීමේ ක්‍රීඩාවෙහි යෙදුනෙමි) එක් අතක් යවා වස්සාගේ අඟ ඇතැයි යන තැන අල්ලා ගෙන අතින් පිහිය ගෙන හිසට ගැසීමි.   බියවීමට කරුණක් නැත, මන්දයත් වස්සා පණ අදිමින් සිටි බැවිනි.   අඟ අසුනොවුයෙන් මම උගේ නළල අල්ලා ගතිමි.   එහෙත් පිහිය පහර නොවරදින සේ උගුර හරහා වැදී, අන්නශ්‍රෝති ධමනිය කැපී ගඟක් සේ ලේ යන්නට විය.   වේගයෙන් උල්පතකින් පැන නැගි ජලකඳක් සේ ගලන්නට වූ ලේවලින් මගේ හිස සිට දෙපතුල දක්වා නැහැවී ගියේය.   දුම් බටයකින් පිටවන හඬට සමාන හඬක් පිටකළ ඒ අහිංසක අසරණ සතා අවසානයේදී වරක් ගැස්සී නිහඬ විය.

වස්සා මැරීමට උවමනා වූ විට ඔහුට අඬගසන ලෙස ඉමාම් මට අණ කළ නමුදු ඒ අමාරු කාරිය සාර්ථක ලෙස ඉටු කිරීමට මම සමත් වීමි.   එළිය වැටීමට තව වෙලා ඇත.   ඉමාම්ටත් මටත් නිදාගැනීම සුදුසු බව මම තීරණය කළෙමි.   ඒ අමාරු කටයුත්ත නිසා වෙහෙසට පත්වී සිටි මම බ්ලැන්කේට්ටුව පොරවාගෙන තද නින්දට වැටුනෙමි.   මා තිගැස්සී අවදි වුයේ මට වැදුණු පා පහරක් නිසාය.   වේදනාව හා බිය නිසා මොනවා වී දැයි, මා කොහේදැයි තීරණය කරන්නට නොහැකිව මම ඇස් හැර බැලුවෙමි.   මා ඉදිරියේ ලෝගුවක් වැනි කබායක් හැඳගෙන සිටි ඉමාම් අත ලොකු වියළි මැටි කැටි දෙකකි.   ඔහුගේ මුහුණ කෝපයෙන් විකෘති වී ගොසිනි.   දෑස් දොට්ට පැනීමට යන්නාක් මෙනි.   මා නැගිට සිටීමට වැර දරත්ම එක් වියළි මැටි කැටයක් මා හිස මත පතිත විය.   වේදනාව සිත හා කය පුරාම පැතිර ගියේය. 

"අනේ දෙවියනේ! මම ඉමාම් තුමාට උදව් කළා. එතුමා මාව තාත්තා නැති අසරණ දුප්පත් කොල්ලව මරන්න හදනවා! අනේ අම්මෝ! මාව මරනවෝ!

"ආ; තෝ පර බල්ලා!" යැයි බැණ වැදුණු ඉමාම් අත ඉතිරිවැ තිබුණු අනික් මැටි කැටෙන් ද මා හිසට පහර දුන්නේය.   එහෙත් ඒ පහර වළකා ලීමට මා කඳ පහත් කළ විට ඒ පහර තුනටියට වැදිණි.   "ආ; තෝ පර බල්ලා!" යැයි කියමින් ඉමාම් බැණ වදියි.   ඔහුගේ කට පුරා කෙළය. නාසයෙන් සොටු ගලයි.  කෝපය නිම් හිම් නැතිය.   " තෝ මට කළ උදව්ව.  තෝ මකබෑ වෙලා යන්ට ඕන. තොගෙ තාත්තට කරපිය මෙහෙම උදව්.  තෝ යක් පැටියෙක්!  තොගෙ බෙල්ලම තෝ කපා ගත්ත නම් මීට වැඩිය හොඳා, තෝ බොල මගේ බුරුවාව නොව මරා දැම්මෙ.  මගේ වටිනා බුරුවව."   බුරුවා යන වචනය කියන වාරයකම මට පා පහරක් බැගින් ලැබිණ.   " මගේ අහිංසක බුරුවව, අසරණ බුරුවව, රත්තරන් බුරුවව මරා දැම්ම, කොහෙ ඉඳල මේ මාරය මගෙ ඔළුවට කඩා වැටුණද?"  තවත් පහරක් ගැසීය.   "රන් කාසි තුනක් දීල ශුද්ධ භූමිය වන බුහාරාවෙ ඉඳල මම ඌව ගෙනාවෙ.   අනේ! අනේ! කොතරම් අපූරු අගනා බුරුවෙක්ද!  අනේ කරපු අපරාධයක හැටි."   ඔහු හඬා වැළපෙන අතර ඉළ කැඩෙන සේ පහර දීමටද සමත් විය.

කළුවරේ හරක් පට්ටියට වැදුණු මා ලෙඩ වස්සා යැයි සිතා බුරුවාගේ ගෙල කපා දමා ඇත.   ඒ අතර ලෙඩ වස්සා මිය ගියේය.   සිහින් කටක් ඇති වීදුරු බුජමකට රිංගා ගත් මීයකු සේ මම හතර වටේට යමින් පහර කකා පණ බේරාගෙන පැන යාමට මගක් සෙව්වෙමි.   හරක් මඩුවට හේත්තු කොට තිබු හිණි මගක් මගේ දෙනෙතට ලක්විය.   මඩුවේ වහල අයිනක මවිසින් මරා දමනු ලැබූ බුරුවාගේ සෑදලය සහිත පටිය ඇත.    ඉමාම් ගැසූ පහරකින් වැළකී ඉණිමග දිගේ නැග ගැනීමට මා තැත් කළේ හතර ගාතෙනි.   ඉමාම් මා පස්සේ දිව එයි.   වහල උඩට නැග ගැනීමට මම සමත් වීමි.   ඉණිමගට පයින් ගසා පෙරළා දැමීමට උවමනා වුවද එක් වරක් හෝ ඉමාමයාගෙන් පළි ගැනීමට මට සිත් විය.   වහළ උඩ තිබූ සෑදලයෙන් ඉමාම්ගේ හිසට පහර දීමට තැත් කරත්ම, එහි පටිය මගේ බෙල්ලේ පැටලී සෑදලයත් සමගම මා බිම ඇද වැටිණ.   මට සැලකිය යුතු තුවාලයක් නොවුයේ සෑදලය උඩට මා ඇද වැටීම නිසාය.   ඉමාම්ගෙන් බැට කා සිටින මගේ හම, මස් සහ ඇට වේදනාවෙන් කකියයි.   බිම ඇද වැටීම නිසා විශේෂ වේදනාවක් නොදැනුණේ ඒ නිසා විය හැකිය.   බිම වැටුණාත් සමගම මම නැවත ඉමාම් ගේ අතට අසුවුනෙමි.

ඔහු මට පහර දීමට තරම් තත්ත්වයක සිටියේ නම් - මා විශ්වාස කරන්න - ඔහු නැවතත් එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගනු ඇත.   ලෙඩ වස්සා බැඳ තැබීමට මට දුන් කඹය අතට ගත් ඉමාම් එය පටවල් කීපයක් වනසේ නමා මට ගහන්නට විය.   ඔහුට හති වැටෙන්ට වුයෙන් පහර දීම නවතා ඔහු හුස්ම ඉහළට ඇදගත්තේය.

මා නැවතී බලා නොසිට ඉණිමගට පැන ඉක්මනින් වහලට ගොඩ වීමි.   මගේ වාසනාවට එගම ගෙවල්වල වහලවල් එකිනෙකට යාබදව පිහිටා තිබුණෙන්, මම වහලින් වහලට පනිමින් දුවන්නට වීමි.   ඉමාම්ද වහලට නැග මා පස්සේ එළවන හැටි පිටුපස හැරී බැලූ මට පෙනිණි.   මම සම්පූර්ණ වෙර වීරිය යොදා දුවන්නට වීමි.   සමහර විට වහළවල් අතර ඇති පටු පරතරය නිසා බාධා ඇතිවිය.   මා ඒවාට උඩින් පැන්නේ කුකුළකු පියාසර කරන්නාක් මෙනි.  ඉමාම් සහ මාත් අතර දැන් ඇත්තේ වහලවල් කීපයක වෙනසක් පමණකි.   තරමක් දුර මා පස්සේ දුවන ඉමාම් නැවතී, ලිස්සා පහත වැටෙමින් ඇති තම කලිසම දෑතින් ඉහළට ඇදගනී.   ඒ කලිසම ඔහුගේ ධාවන වේගය අඩු කළේය.   මම නැවත හැරී ඔහු දෙස බැලුවෙමි.   ඔහු දැන් දුව එන්නේ බකල ගහන තාරාවෙකු මෙනි.    ටික වෙලාවකින් ඔහු නැවතී හති අරින්නට විය.   එහෙත් ඒ අතර අපේ මේ ධාවන තරගය නිසා කලබල වූ ගම්මුන් වහලවල් උඩ නැග ගන්ට වීම නිසා මගේ ගැලවීයාමේ මග පේන තෙක් මානයක නොවීය.   මගේ පෙනුම ද සැකයට භාජන වීම නිසැකය.   මගේ කමිසය සහ කලිසම බූරු ලේ වලින් නැහැවිලාය.   බිම ඇද වැටීම නිසා තැනින් තැන ගොම ගෑවී ඇත.   දෙපාවල දූළි සහ මඩය.  වහලකට නැගගත් ගැමියෙකුගෙන් බේරී ගන්නා මම ඊළඟ වහලට පැන ගනිමි.   මෙසේ පැන පැන යන විට එක වරටම මා පාතාලයට ඇද වැටුණු සැටියක් දැනිණි.

මා ඇද වැටී ඇත්තේ දුම් බටයක් සහිත මැටි ලිපක් තුළටය.   දුම් බටය දිගේ ලිස්සා පහළට ගිය මම විශාල හැලියක් මෙන් වටකුරු මැටි ලිප තුළ ගුලි ගැසී වැටී සිටියෙමි.   මා දෙස බලා සිටි මිනිස්සු බලාපොරොත්තු රහිත මගේ අතුරුදහන් වීම නිසා විස්මයට පත් වුහ.   ඔවුන් ඉදිරියේ හාස්කමක් සිදුවී ඇති බව ඔවුහු විශ්වාස කළහ.   ඔවුන් මා සැලකුවේ නැවත උපන් මළ ගිය ඇත්තෙකු ලෙසද, නැතිනම් ශුද්ධවූ ඉසියු ලෙසද, එසේත් නැතිනම් කාප් කන්දේ සිට සිට පැමිණි අබ්දු රහ්මාන් පරීගේ යුද්ධ භටයෙකු හැටියටද යන්න මට කිව නොහැකිය.   ඔවුන් මහ හඬින් දෙවියන් අයදින සැටි මට ඇසේ;  " අනේ! දෙවියනේ අප බේරා ගන්න! දෙවියනේ අප විනාශයෙන් ගලවා ගන්න!" මා පසුපස එළවන්නට වූ ගම්මු නැවත වහලෙන් වහලට පැන තම නිවෙස් කරා ගියහයි මට සිතේ.   ගෝලාකාර ඒ මැටි ලිපෙන් එළියට පැන ගැනීමට මම වැර දැරුවෙමි.   මගේ වම් අත ලිපේ එක් පැත්තකට කොතරම් තදින් හිරවී තිබුණේද යත්, එය දැන් හිරි වැටී අප්‍රාණික වී ඇත.   දකුණත යම්තමින් සෙලවෙයි.   මහන්සිවී දකුණත මුදා ගත්තද ඉන් පලක් නොවීය.   නිදහස් වීමට නම් මගේ හිස වෙන තැනකට දැමිය යුතුය.   ලිපෙන් පිටතට එක කකුලක් දමා ගතිමි.   වාසනාවෙක මහත! කුස්සියේ කිසිවෙකු නොවීය.   ඇඳිරි වැටෙන තුරු සිට, මැටි ලිපේ සිදුරක් ඇති කොට ගැලවී යාම හැර අන් මගක් නොවීය.

කුස්සිය තුළ නම් අඳුර පැතිරී ඇත.   එළිමහනේ පවා යම්තම් ඇඳිරි වැටීගෙන එන බව සිතාගත හැක.   කුස්සිය පුරා අඳුර පැතිර ගිය පසු මම ලිප සිදුරු කිරීම පටන් ගතිමි.   ගුටි නිසා ලැබූ වේදනාව ද, කුස ගින්න ද විඩාව ද නිසා ඉවසා සිටීම කෙළවර විය.   හිටි හැටියේම දොර හැර කුස්සියට ගැහැණියක් ඇතුළු වුවාය.   ඈ ඒ මේ අත හැරෙමින් කුළු බඩු සොයන්නට වුවාය.   මම මැටි ලිප වසන පියන ගෙන ලිපේ කට වසා දැමුවෙමි.දැන් පිටත සිට බලන විට ලිප තුළ යමෙකු සිටින බව කොහෙත්ම සැක කළ නොහැක.   ගැහැණිය මැටි ලිප අසලවූ කුඩා ලිපක ගිනි දල්වා පහත් හඬකින් ගීයක් ගයමින් ආහාර පිසන්නට වුවාය.   මගේ හදවත බියෙන් ගැහෙන්නට විය.   ගැහැණිය බැදෙන මසට මාෂ් නම්වූ ඇට වර්ගය දමා ගිනි වැඩිකිරීම පිණිස දර දැම්මාය.   මාෂ් ඇට බැදෙන සුවඳ නිසා මගේ සිත තවත් කුපිත විය.   අල්ලපු ලිපේ ගිනි වැඩිවීම නිසා මා සැඟවී සිටින මැටි ලිපද රත් විය.   මගේ දකුණු ඉළඇට පෙළ මස හා සමද ගිනිගන්නාක් මෙන් මට දැනේ.   දැන් පෂ්ලීක් නැමැති එළු මස් බැදුමක් මෙන් මා බැදෙන සැටි මට සිතාගත හැක.   පෂ්ලීක් බදින විට පළමුව එක් පැත්තක් ද පසුව අනිත් පැත්ත ද පිළිවෙලින් හරවයි.   එහෙත් මට දැන් වම් පැත්ත හැරවීමට ඉඩක් කොහෙත්ම නැත.   මගේ අක්මාව ද ගිනිගෙන දැවෙයි.   තව මොහොතකින් මා සැලෙයි.   අපේ වට්ටාරමේ කරීම් කොරී ගේ වෙළෙඳ හලේ ඇති ඔරලෝසුවටත් වඩා උස් හඬක් මතුකරමින් මගේ හදවත ගැහෙයි.   මුළුතැන් ගෙට වැදී ආහාර පිසන ගැහැණියට එය නෑසුනේ මන්ද යන්න මම නොදනිමි.

පැතිර යන සුවඳ අනුව ඇය මස්කිරිචි වැංජනය පිසන බව මට දැනෙයි.   පළමුවෙන්ම මට දැනුණේ ළූණු කොළ බැදෙන සුවඳකි.   පසුව කුළු බඩු කැවූ මස් බැදෙන සුවඳ නිසා මගේ මහ කුසගින්න පළමුවෙන් දියුණු තියුණු විය.   එය පොහොට්ටුවක් මෙන් පිබිද අවුත් පරවුණු මැලවුණු රෝස මලක්සේ පහත වැටිණ.  මගේ රෝස මලේද කටු ඇත.   විලාප නගනු ඇතැයි මට සිතෙයි.   එවිටම වාගේ ගැහැණිය "දැන් හරි " යැයි තමාටම කියා ගනිමින් තලු මැරුවාය.   ඈ වැංජනයේ රස බැලුවා විය යුතුය.   මම සර්වබලධාරී අල්ලාට පින් දුන්නෙමි.   ගැහැණිය දර හා අඟුරු කැට එළියට ඇද දමා ගිනි නිවා වැංජනය දීසි දෙකකට වත් කොට, එක පිට එක තබා, පසුව ඒ දීසි දෙකින් හැලියක කට වසා තබා පිටතට ගියාය.   දැන් මැටි ලිප තුළ උණුසුම කෙමෙන් අඩු වී ගෙන යයි.   ඈ ගිය විගස මැටි ලිපේ පියන ඉවත් කොට මම දීර්ඝ ලෙස ආශ්වාස කළෙමි.   මැටි ලිප සිදුරු කිරීමට මම වෑයම් කළෙමි.   ඒ කාරිය ඉටු කිරීමට තරම් මා තුළ ශක්තියක් නොතිබුණෙන්, ඉදිරියේ මුහුණ පෑමට සිදුවී ඇති අභාග්‍යය ගැන සිතන්නට වීමි.

නැවත වරක් දොර හැරිණ.   යමෙක් ඇඟිලි තුඩුවලින් ගමන් කරමින් මා අරක්ගත් මැටි ලිප ළඟ වාඩිවී, මිහිරි ගීයක් සෙමෙන් ගයන්නට විය.   මම ගල් ගැසුණෙමි.

සංගීතයට කවුරුත් කැමතිය.  මා ද කැමතිය, විශේෂයෙන් බඩ කට පිරුණු පසු සංගීතය මන පිනවයි.   කොල්ලෙකු ගේ පිට උඩ නැගී වට්ටාරමේ රවුම් ගහන විට මට වුවද ගීයක් දෙකක් ගැයීමට සිත් දෙයි.   උරුහන් බෑමට ද මම ආශා කරමි.   මගේ යහළුවෙකු ඔහුගේ මවගේ අණ පරිදි අත දරුවෙකු නළවමින් සිටින විට, ඔහුට සෙල්ලම් කිරීමට එන ලෙස දැන්වීම පිණිස උරුහන් බාමින් සංඥා කිරීම අපේ සිරිතයි.   මා වැනි අසරණයෙකුගේ බඩ පණුවෝ පිනුම් ගසන විට ලිප ළඟ ඉඳගෙන සිටින ඒ මිනිහාගේ උරුහන් බෑම මගේ දෙකන් පළා ගොස් මොළය තුලට වැදී මහත් ගෝෂාවක් ඇති කරයි.   එය උරුහන් බෑමක් නොව කාහල නාදයකි.  මොනවා කරන්ට ද මම ඒ සියල්ල ඉවසාගෙන පිටතට ඇසෙනසේ හුස්ම පවා නොගෙන ගුලි ගැසී සිටියෙමි.

මඳ වේලාවකට පසු අර ගැහැණිය නැවත පැමිණි බව මා දැනගත්තේ ඇගේ ගමන් විලාසයෙනි.   ඈ ද මා සිටින මැටි හැලිය වෙත එමින් තොල් උරන ශබ්දයක් පිට කළාය.   ඒ ඔවුන් දෙදෙනා සිපගත් සැටි විය යුතුය.

" ආ ඔයා මා එන කල් බලා හිටියදැ?" යි ඈ ඇසුවාය.   ඇගේ කටහඬ කොතරම් මිහිරිදැයි කියතොත් මී පැණි පවා තිත්ත රසයක් ගෙන දේ යැයි හැඟෙ.   "මගේ මහත්තය" යැයි ඈ තම ස්වාමිපුරුෂයා ගැන කියන්ට පටන් ගත් විට ඒ සුමිහිරි කට වෙනස් විය.   හරියට මස් හොද්දට සරුවත් වීදුරුවක් වත් කළාක් මෙනි.   " මගේ මහත්තයට හෙණ වැදිල.  එයාට වෙන වේලාවක් නැතුව වගේ.  ණය කාරයින්ගෙන් ලැබිය යුතු මුදල් ගණන් කර කර ඉන්නව. මිනිහ එළි වෙන තුරු වුණත් ඔහොම ගණන් බලාවි.  මම විගහට එයාව නිදි කෙරෙව්ව."

" අනේ මගේ පණ! ඔයා සෝදිසියෙන් ඉන්න! එයා අපි ගැන සැක කරනවද කියල බලන්න! ඔයා බැරි වෙලාවත් හොරේ හෙළි කලාද? මම අද එයාගෙ කඩේට ගියා දුම්කුඩු ටිකක් ගන්න.  කාසි තුනකට මිනිහ හරිම ටිකයි දුන්නෙ.  වෙන කඩවල අය මට හෙප්පුව පුරා දුම්කුඩු දෙනව.  එයා මා දිහා බැලුවෙ හරියට වෘකයෙක් වගෙ."

"නැහැ. එයා කෑදරයෙක්, නපුරු බල්ලෙක් වගේ මිනිහෙක්. හරිම ලෝබයා. මිනිහට ඕන සල්ලි විතරයි.  මා ගැන තඹ සල්ලියක පමණවත් ගණන් ගන්නෙ නෑ.  එයාට ගෑනියෙක් ඉන්නවද නැද්ද කියලවත් හොයන්නෙ නැහැ."

" ඒකාට හෙණ වැදුනාවෙ. ඉතින් ඔයා මට කන්න මොනව හරි දෙනවද?"

මේ තරුණයා පිරිමින්ට උවමනා ප්‍රධාන දේ මොනවාද යන්න දනිතැයි මා සිතුවේ ඊර්ෂ්‍යා සහගතවය.   ගැහැණිය මස් වැංජනය සහිත ආහාර ඔහුට බෙදුවාය.  තරුණයා මහත් රුචියකින් යුතුව කෑමට පටන් ගති.   මෙතෙක් වේලා මැටි ලිප උඩ වාඩිවී සිටි තරුණයා වැංජන බෙදා ඇති ලිප ඉදිරිපිට උක්කුටිකයෙන් හිඳ ආහාර ගිල දමයි.   තරුණයා කන්දක් තරම් උසට කෑම බෙදා ගනිමින් කයි.   ගැහැණිය කිකිළියක මෙන් හිස වනමින් මස් ආදිය බෙදමින් ආදර බස් තෙපලන්නීය.   තරුණයා ඉඳහිට "ඔව්" වැනි වචනයකින් පිළිතුරු දුන්න ද ඔහුගේ කට පුරා ආහාරය.

මට දැන් තවත් ඉවසා ඉන්ට බැරිය.  මැටි ලිපේ කට හැර අතක් දමා තරුණයාගේ ආහාර පතෙන් අහුරක් ගත් මම කටේ ඔබාගතිමි.  මා ආහාර සොරා ගන්නා විට ආදරවන්තයින් දෙදෙනා ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලමින් සිටියහ.   දෙවැනි වරද මම පෙරසේම අත දිගු කොට කෑම අහුරක් ගෙන කෑවෙමි.   ආහාර පත අඩුවෙන්නට විය.   තරුණයා කන ගමන්ම ගැහැණිය දෙස බලා සිටියද, පුදුමාකාර ලෙස අඩුවන ආහාර පත ගැන ද විමසිල්ලෙන් සිටියා විය යුතුය.   ඔහු මහත් නොසන්සුන් බවකින් යුතුව ගැහැණිය ඇමතුවේය;

"ඔයාගෙ අත කෝ?"

"මෙන්න" යැයි ගැහැණිය කැමැත්තෙන් අත දිගු කළාය.

තරුණයා අත දෙස බැලුවද අඳුර නිසා කිසිවක් නොදිටි.   මම මගේ අත ලිප තුලට දමා ගෙන සිටියෙමි.   තරුණයා ඉක්මණින් කන්නට වුයෙන් ආහාර සම්පූර්ණයෙන්ම හිස්වී යාමට ආසන්නව තිබිණි.   ඔවුන් දෙදෙනා කතා කරන මොහොතක් බලා තවත් ආහාර පිඬක් සඳහා මම අත දිගු කළෙමි.   එහෙත් මහත්වූ විමසිල්ලකින් සිටි තරුණයා සැණෙකින් මගේ අත අල්ලා ගත්තේය.  

"නවතින්න, මේ කාගෙද අත? මේ අත මගේ, මේක ඔයාගෙ, මේ අත කාගෙද?"

ගැහැණිය හොඳටම බියවුවා, සිහින් හඬකින් කෑගැසුවාය.  ඔවුන් අතර මේ රහස් පෙම් හබය නොතිබෙන්නට ඒ වෙලාවේම මා කපෝතිය.   එහෙත් දැන් මම බිය නොවීමි.   තරුණයා මගේ අත අදින්ට වුයෙන් වේදනාවක් ඇති වුවද කෑ නොගසා සිටීමට තරම් ශක්තියක් මට තිබිණ.   අවසානයේදී මා බලාපොරොත්තු වූ දෙය එනම් මැටි ලිප කැඩී මම එළියට ආවෙමි.   ලිපේ මැටි කටුවේ හැපුණේ මගේ පිටි කොන්දයි.

මගේ අත නෑරම ඔහු ගැහැනියගෙන් ගිනි පෙට්ටියක් ඉල්ලා සිටියේය.

වෙව්ලන අත්වලින් යුතුව ගිනීකුරක් දැල්වූ ඇය මා දුටු විගස මහත් බියකින් කෑ ගැසූ නිසා ගිනිකුර බිම වැටිණ.   ඔවුන් මා දහවල් කාලයේ දුටුවේ නම් බියවීමට සෑහෙන හේතු තිබුණ අතර මේ රාත්‍රියේ දී මා දුටු ඔවුන්ට හොඳටම බියපත් වීමට සිදුවූ බව කීම පවා සඳහන් කළ යුතුද?   මගේ වැරහැලි කමිසය සහ කලිසම ලේ වලින් නැහැවිලාය.   දුවිලි පිරිලාය, මේ අතර ගෝලාකාර කුහරය සහිත මැටි ලිපට ඇද වැටුණු මා එහි ඇති අළු නිසා කාපිරියෙකු මෙන් කළු පැහැගෙන ඇත.   බියෙන් සැලෙන ගැහැනියගේ දත් එක'ටෙක හැපෙයි, ඇගේ සර්වාංගය වෙව්ලයි.   එහෙත් තරුණයා නිර්භය පුද්ගලයෙකි. ඔහු ගැහැණිය අතින් ගිනිපෙට්ටිය ගෙන ගිනීකුරක් දැල්වීය.

"උඹ කව්දැ?" යි ඔහු ප්‍රශ්න කළේය.

දැන් ඉතින් මට මොනවා වුණත් කම් නැතැයි මම ඉටාගතිමි.

"ආ, උඹ කව්දැ?" යි මම පෙරළා ඔහුගෙන් ඇසුවෙමි.

" මමයි උඹෙන් අහන්නෙ?"

" මමයි උඹෙන් අහන්නෙ!"

" මේ අහපන් හාදයා, ජීවත් වීමට උඹට තව ආසාවක් තියෙනවද?"

" උඹේ ජීවිතය ගැන උඹටත් ආසාවක් තියෙනවද?"

" අනේ දෙවියනේ!"

" අනේ දෙවියනේ!"

අපේ කතාවට ගැහැණිය කට දැම්මාය.

" කොල්ලො, මා කියන දේ අහපන්" යැයි ඇය කීවේ වෙව්ලන තොල් විවර කරමිනි.   " උඹ මොනවද ඔය මැටි ලිපට වෙලා ඉඳගෙන කළේ?  උඹ මනුස්ස ප්‍රාණයක් ද?  දිෂ්ටියක් ද?  පිස්සෙක් ද? උඹ තරහ වෙන්න එපා,  මේ මහ රෑ අපේ ලිප ඇතුළට ආවෙ මක්කටද?

" මෙයා මොකටද මේ මහ රෑ පිට ගෙදරකට හොරෙන් ආවේ? ආ? " මා ඇගෙන් ඇසුවේ තරුණයා පෙන්වමිනි.

තරුණයා රොස්වී කමිස අත් නවා ගනිමින් මට පහර දීමට සුදානම් වෙයි.   හරකෙකු මැරීමට සුදානම් වන සතුන් මරන්නකු සේ හෙතෙම තීරණාත්මකය.   එවිට මම මගේ පැරණි උපායයක් ක්‍රියාවේ යෙදවීමි.

" මිනී - මර- න-වෝ!" යැයි කෑගැසුවෙමි.

ගැහැණිය සැණෙකින් මගේ කට වැසුවාය.

" උඹ මොනවද ඔය කරන්නෙ?" ඈ ඇසුවාය.

" මිනී මරනවෝ කියල කෑ ගහනවා."

මේ වන විට තරුණයාගේ සැර බාලවී, ඔහු සමාදානයකට කැමතිවුවාක් මෙනි.

" පලයන් යන්ට ගුටි නොකා, හොඳින් කියන්නෙ!"

" කොහෙ යන්ටද?මට බඩගිනියි!"

" මේක හරි වැඩක් නොවැ" යි තරුණයා කී අතර ගැහැණිය වචනයකුදු නොදොඩා ඇතුළු ගෙට ගොස් අහස පෙනෙන තරම් තුනී ඉරිඟු රොටී දෙකක් හා කැඳ කෝප්පයක් ද මා අත තැබුවාය.   මම ඉරිඟු රොටී දෙක නවා කිහිලි ගන්නා ගතිමි.

" දැන් ඉතින් පලයන් යන්ට" තරුණයා අණ කළේය.

"ඒව හරි යන්නෙ නෑ, සල්ලි ටිකක් දීපන්!" යැයි මම ඔහුට කීවෙමි.

ඔහු කොතරම් වැරෙන් සුසුම් ලෑවේද යත් කෝපය නිසා ඔහු පිපිරී යනු ඇතැයි මම සිතුවෙමි.   පසුව ඔහු සෙමෙන් නමුත් දිගටම බැණ වදින්නට විය.   ඔහු මුළු හිතින්ම බැණ වදින බව මට හැඟෙයි.  අවසානයේදී ඔහු සාක්කුවට අත දමා එහි වූ කාසි කීපය මා අත තැබීය.   මම එය ගණන් කිරීමට නොගියෙමි.   ඉක්මනින්ම එය සඟවා ගෙන සතුටු සිතින් පිට වීමට සැරසුනෙමි.   මා හැරලීමට දොරටුව දක්වා ආ ගැහැණිය මා දුටු දේ කිසිවකුට හෝ දැනුම් නොදෙන බවට මගෙන් දිවුරුම් ගත්තාය.   මම ඈට අවංක සිතින්ම ඒ පොරොන්දුව දුන්නෙමි.   දොරටුවෙන් පිටවූ විගස මා කළේ රොටී දෙක කා දැමීමය෴

17 comments:

  1. මං සුරංගට කිව්වා ඔහුගේ යාන් හෑල්ලේ ලමා කාලය ගැන කතා කියෙව්වම මට "මගේ හපන්කම්" පොත මතක්වුනා කියල. Childhood tales as a comedy with tragic under currents.

    හැලපෙ මං හිතන්නෙ සෝවියට් ප්‍රකාශනයක් ලෙස "මගේ හපන්කම්" 1985 ට ඉස්සෙල්ලා ආවයි කියලා. "සත්ව විද්‍යාඥයෙක්ගේ කතන්දර" පොත වගේ පලල් කොල හා හාර්ඩ් කවර් සහිතව පලවුනයි කියල

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවනි. මම කියෙව්වේ අසු ගණන්වල.

      Delete
    2. I read the book with the hard cover in nineteen seventies (borrowed from D.S senanayaka Library in Kandy)In fact we had a circle of friends formed due to this book.

      Delete
    3. oh, the book has a history too. the book you have read is the English one I believe.

      Delete
    4. No I read the translation

      Delete
  2. මේ ඔය පුස්ථකාලේ පොත් දෙන්නෙ නැද්ද කියවල ගෙනත් දෙන්ඩ

    ReplyDelete
    Replies
    1. ගෙනියන්න දීල පොත් නැතිකරගෙන ඉන්නෙ. ඇවිල්ල කියවන්න දෙනව.

      Delete
  3. එලම පරිවර්තනයක්.ෆිල්ම් එකට වඩා පොත රහයි මැවෙන්න ලියවිලා තියේ.

    Shum Bola - Durdona O'zbek film
    https://www.youtube.com/watch?v=Qqs5gW8K3YI

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එකට වඩා පොත රහයි.

      Delete
  4. මේ හලපෙගේ අලුත් බ්ලොග් එකක්ද? ඔය කතාව නම් මරු

    ReplyDelete
    Replies
    1. අලුත්ම නෑ. 2016 පටන් ගත්තෙ පොත් ගැන ලියන්න.

      Delete
  5. apuru wiwaranayak ayye.meya mama oyage namin uputala ape group ekata dammata kamak nadda

    ReplyDelete
    Replies
    1. දාන්න. බ්ලොගයෙන් ගත් බවත් ලියන්න.

      Delete
  6. එක හුස්මට කියවපු පොතක්, තුනේ පන්තියේදී. 1984 දී විතර. ඒ පොතේ උඩින් තිබුනේ ගපූර් ගුල්යාම්, මැද මගේ හපන්කම්. ඉතිං අපේ ගෙදර ඒ කලේ මොකක් හරි හපන්කමක් පෙන්නනකොට අම්මට, අප්පච්චිට දුවගෙන ගිහිං කියන්නේ මෙන්න ගපූර් ගුල්යාම් කියලා.

    ReplyDelete