Friday, April 27, 2018

ෂේන්.


අපේ ළමා විය ගෙවා දමමින් තරුණ වියට එළැඹෙද්දී අප සිත් බෙහෙවින්ම වසඟ කළ ගොපළු චිත්‍රපට වල පෙනී සිටි ක්ලින්ට් ඊස්ට්වුඩ්, ජෝන් වේන්, රෝයි රොජර්ස්, ඇලන් ලෑඩ්, ගැරී කූපර්, බෙන් ජොන්සන්  වැනි නළුවන් එකල අපේ වීරයින් වුයේ නිරායාසයෙනි.

මේ එවැනි චිත්‍රපටයක් වූ කතාවකි.  ෂේන් චිත්‍රපටය තිරගත වුයේ 1953 වර්ෂයේදීය.  චිත්‍රපටයේ ෂේන් ලෙස රඟපාන ලද්දේ ඇලන් ලෑඩ්ය.  ෂේන් ජැක් ෂෙෆ ගේ පොතකි.  ලංකාවේ සිටි ශ්‍රේෂ්ට පරිවර්තකයෙකු වූ සිරිල් සී. පෙරේරා මහතා ෂේන් කතාව සිංහලට පරිවර්තනය කළේය.  1973 හා 1985 දී දෙවරක් මුද්‍රණය වූ ෂේන් නවකතාවේ අවසන් මුද්‍රණය 1993 දී එළිදකින ලදී.  මා මෙහි ලියන්නේ ෂේන් පොතේ පළමුවන පරිච්ඡේදය සහ අවසන් පරිච්ඡේදයයි.  අනුමාන කළ හැකි ආකාරයෙන්ම පොතේ හොඳම ටික ඇත්තේ මා නොලියු හරියේ බව නැවත කියන්නට අවශ්‍ය නැත.

1.
1889 වන වර්ෂයේ ග්‍රීෂ්ම කාලයේදී තමයි ඔහු අපේ මිටියාවතට පැමිණියේ.   ඒ කාලේ මම තාත්තාගේ පරණ බර කරත්තයේ පස්ස ලෑල්ලේ යන්තම් හිස ගෑවෙන තරමට උස ළමයෙක් වීමි.   තැනිතලාවේ සිට මිටියාවතට ඇතුළු වන පාර දිගේ ඈත එන ඔහු දකින විට මම අපේ කුඩා හරක් ගාලේ වැට උඩ හිඳ සවස අව්ව තපිමින් සිටියෙමි. 

ඔහු තවම සැතපුම් කීපයක් ඈතින් එමින් සිටියත් පැහැපත් වාතය තුළින් ඔහු මට පැහැදිලිව පෙනේ.   මේ තැනැත්තා පිළිබඳව කිව යුතු විශේෂයක් පෙනෙන්නට තිබුණේ නැත.   ඔහු ද ලෑලි ගසා සාදන ලද ගොඩනැගිලි කීපයකින් යුත් අපේ නගරය දෙසට පාර දිගේ දඩාවතේ එන තවත් අසරුවකුට සමානය.   එවේලේ ඔහු පසුකර යමින් සිටි ගොපළු තරුණයන් දෙදෙනෙක් මග නතරවී අමුත්තා දෙස කුතුහලයෙන් බලා සිටින සැටි මම දුටිමි.

අපේ ගොවිපොළේ සිට සැතපුම් භාගයක් පමණ පහළින් පිහිටි තුන්මංහන්දියට එන තෙක් අමුත්තා නගරය තුළින් ගමන් ගත් වේගය අඩු නොකර කෙළින්ම ආවේය.   තුන්මංහන්දියේදී එක මාර්ගයක් වමට හැරී තොටුපොළ හරහා ලුක් ප්ලෙචර් ගේ වතුයායට යන අතර අනෙක් මාර්‍ගය මිටියාවත දිගේ, අප විසින් අයිතිවාසිකම් කියනු ලබන පෙළට පිහිටි ගොවිපොළවල් දෙසට, ගඟේ දකුණු ඉවුර දිගේ වැටී තිබුණේය.   ගත යුතු මඟ තෝරා ගැනීමට මඳක් දෙගිඩියාවෙන් බලා සිටි අමුත්තා අනතුරුව කෙළින්ම අපේ ගොවිපොළ දෙසට ගමන් ගත්තේය. 

ඔහු ලං වෙනවාත් සමගම පළමුව මගේ සිත ඇදගත්තේ ඔහුගේ ඇඳුම් පැළඳුම් ය.   කිසියම් ලෝම රෙදි වර්ගයකින් මසන ලද කළු කලිසමක් ඇඳ සිටි අමුත්තා, කලිසම් කකුල් ඇතුළු කොට උස් පාවහන් පැළඳ සිටි අතර ඉඟ වටේ පළල් පටියක්ද බැඳ සිටියේය.   මොළොක් කළු සමින් සාදන ලද පාවහන් සහ පටියද පැටලිලි සහිත මෝස්තරයකින් සරසා තිබිණි.   කලිසම් රෙදි වර්ගයෙන්ම මසන ලද කබායක් හොඳ හැටි නමා සෑදල මල්ලට බැඳ තිබිණි.   ඔහු ඇඳ සිටි ලස්සන දුඹුරු පාට කමිසය මසා තිබුණේ ඉතා සිනිඳු රෙදි වර්ගයකිනි.   ඔහු කළු පාට පට ලේන්සුවක් බෙල්ල වටේ ගැට ගසාගෙන සිටියේය.   ඔහුගේ හිස් වැස්ම සුපුරුදු වර්ගයේ මොළොක් හිස්වැස්මක් නොවෙයි.   සුපුරුදු දුඹුරු පාට හෝ බොර පාට හිස්වැස්මක් ද නොවෙයි.   එය ඉතා චාම් කළු පාට හිස්වැස්මකි.   එවැනි හිස්වැස්මක් මා මීට කලින් දැක නැත.   එය ඉතා සිනිඳුය.   මුදුනේ වළ ගැසුණු අතර වකුටුවූ පුළුල් වාටිය මුහුණ වැසෙන ලෙස නළල උඩින් පහත් විය.

මේ ඇඳුම්වල අලුත් කම නැතිවී ගොස් දැන් බොහෝ කල්ය.   දුර කතරක දූලි ඇඳුම්වලට කා වැදී තිබිණි.   පරණවූ ඇඳුම්වල පැල්ලම් ගැසී ඇත.   කමිසයේ අණ්ඩ දැමු තැන් කීපයක්ද පෙනෙන්නට තිබිණි.   එහෙත් ඒ ඇඳුම්වල එක්තරා විදියක තේජසක් ඉතිරිවී ඇත.   මගේ ළමාවියේ සීමාසහිත අත්දැකීම් වලට අමුත්තක් වූ පුරුෂත්වය හා මිනිස් ගතිගුණ පිලිබඳ ඉඟියක් ද ඒ තේජසත් සමග තිබුණේය.

අනතුරුව මගේ නෙත් අමුත්තා සමග ගැටුණු හෙයින් මට ඔහුගේ ඇඳුම් පැළඳුම් අමතක විය.   අමුත්තා උසත් නැත.   මිටිත් නැත.   වඩා මහතත් නැත.   හොඳට ඇඟ පත තිබෙන තාත්තා ළඟ සිටියොත් ඔහු දුබලයෙකු මෙන් පෙනෙන්නට පිළිවන.   එහෙත් ඒ අඳුරු මිනිස් රුවෙහි දක්නට ඇති දුක් පීඩා විඳ දරා ගතහැකි බලයත් සමග, විඩාපත් අශ්වයාගේ හැම ඉරියව්වකටම එකඟව, කිසිම වෑයමක් නැතිව හැඩ ගැසීමට හැකි සන්සුන් ශක්තියක් ද තිබෙන බව මට කිව හැකිය.

ඔහු හොඳට රැවුල කපා සිටියේය.   ඔහුගේ තද මුහුණ සිහින් විය.   උස්වූ නළලේ සිට නිකට දක්වා ක්‍රමයෙන් උල් වන මුහුණ අව්වෙන් කළු ගැසිණි.   හිස්වැස්මෙන් වැටුණු සෙවණින් දෑස වැසුනාක් මෙන් පෙනුණේය.   එසේ පෙනුණේ නිතර පරීක්ෂාවෙන් සිටීමට ඇති කර ගත් පුරුද්ද අනුව දෙ බැම හකුලා ගන්නා හෙයින්, ඔහු රවා බලන්නාක් මෙන් පෙනෙන නිසා බව, මම ඔහු වඩ වඩාත් ලං වන විට දුටිමි.   දෙබැමින් ආවරණය වූ දෑසින් ඔහු මග දෙපස සහ ඉදිරිපිට තිබෙන හැම දෙයක් දෙසම, කෙළවරක් නැතිව සෝදිසියෙන් බැලුවේය.   ඇසට අසුවූ හැම දෙයක්ම ඔහු ඇසින් පිරික්සා බලා ඉවත දැම්මේය.   කිසිම දෙයක් මඟහැරුණේ නැත.   මේ බව දකිනා විට, උණුසුම් අව්වේ සිටි මගේ සරුවාංගයම හීතලෙන් වෙව්ලන්නට විය.   එහෙත් ඊට පිටුදුන් හේතුව කුමක්දැයි මම නොදත්තෙමි.

සෑදලය මත සන්සුන්ව හිඳ සිටි අමුත්තා ඇඟ පත නොවෙහෙසා, පා පටියට ශරීරයේ බරදී, පහසුවෙන් අසු පිට ආවේය.   එහෙත් ඒම පහසුවෙහිද එක්තරා නොසන්සුන් කමක් පෙනෙන්නට තිබිණි.   එය අටවන ලද හබකයකට තද කොට තබන ලද දරණ ගැසුණු දුන්නක තිබෙන නොසන්සුන් කමට සමානය.

මා සිටි තැනට අඩි විස්සක් පමණ ඈතින් අසු නතර කළ අමුත්තා අවට පිරික්සා බැලුවේය.   එම බැල්මට මා ද අසු විය.   ඒ බැල්මෙන් මා ඉවත දැමු හෙතෙම අනතුරුව අපේ ගොවිපොළ දෙස බැලුවේය.   ප්‍රමාණත්වයෙන් හා ඉඩකඩ අතින් සලකා බලන කළ අපේ ගොවිපොළ එතරම් සැලැකිය යුතු තැනක් නොවීය.   එහෙත් එහි යමක් කර තිබුණේ නම් එය හොඳට කර තිබුණු බව කිව හැකිය. 

ඒ අතින් තාත්තා කෙරෙහි විශ්වාසය තැබිය හැකිය.   හරක් තිස් දෙනෙකු පමණ අමාරුවෙන් ගාල් කළ හැකි අපේ හරක් ගාල, යටට කණු සිටුවා සවිශක්තියට තනා තිබිණි.   ගෙය පසු පස සිට ඈතට විහිදී යන, අපි අයිතිවාසිකම් කියන බිම් ප්‍රමාණයෙන් අඩක් පමණ වසාගත් තණකොළ කොටුව වැට කඩුලුවලින් ශක්තිමත් ලෙස ආරක්ෂා විය.   අපේ පිදුරු මඩුව කුඩා ගොඩනැගිල්ලකි.   එහෙත් ඉතා ශක්තිමත් ගොඩනැගිල්ලකි.   අපේ ගොවිපොළේ උතුරු පැත්තේ, අක්කර හතළිහක පමණ සාරෙට වැවෙන තණකොළ කපා මිටි බැඳ තැබීම පිණිස අපි පිදුරු මඩුවේ කෙළවරක අලුතින් තට්ටුවක් තනමින් සිටියෙමු.   ඒ හවුරුද්දේ ප්‍රමාණවත් තරම් අර්තාපල් වගා කොට තිබිණි.   තාත්තා විසින් වොෂිංටන් නුවර සිට ගෙන්වන ලද අලුත් ඉරිඟු වර්ගයක් සිටුවා තිබුණේ අත්හදා බැලීමක් වශයෙනි.   ඒ ඉරිඟු, වල්පැල නෙලන ලද කුඹුරුවල සාරෙට වැවී තිබුණේය.

ගෙයි පසු පස තිබෙන අම්මාගේ එළවළු කොටුව දකින විට සිතේ ධෛර්යයක් උපදියි.   අපේ ගෙදරට කාමර තුනක් ඇත.   එහෙත් ඇත්ත වශයෙන්ම තිබුණේ කාමර දෙකක් පමණි.   අපි ගෙදර සිටින විට, කාලයෙන් වැඩි කොටසක් ගෙව්වේ කුස්සියෙහිය.   අපේ කුස්සිය ඉතා විශාලය.   නිදන කාමර දෙක තිබුණේ කුස්සිය දෙ පැත්තෙහිය.   තනි පලයෙන් වැසුණු මගේ පොඩි කාමරය කුස්සියට යා කොට තනා තිබිණි.   අම්මාට අවශ්‍යවූ ඇතුළු සාලය විවේක තිබෙන අවස්ථාවක දී තැනීමට තාත්තා අදහස් කළේය. 

ගෙයි බිමට ලෑලි සවිකොට තිබු අතර ගෙයි ඉස්සරහ පැත්තේ ලස්සණ කුඩා ඉස්තෝප්පුවක් ද විය.   ගෙයි බිත්තිවල සුදු තීන්ත ගා කොළ පාට පටි ඇඳ සරසා තිබිණි.   ගෙවල තීන්ත ගෑම ඒ පළාතේ නොකරන දෙයකි.   තාත්තා ලවා ගෙට තීන්ත ගාවා ගත් අම්මා තමා එසේ කරන්නේ තමාගේ ගම රට සිහිවීමට බව කීවාය.   අපේ ගෙය සෙවිලි කර තිබුණේ ලෑලිවලිනි.   එය ඊටත් වඩා දුර්ලභ දෙයකි.   ඒ පිළිබඳව හැම දෙයක්ම මට දැනගන්නට ලැබුණේ ලෑලි කපා සුදානම් කිරීමට මා තාත්තාට සහාය වූ හෙයිනි.   ඒ කාලේ රටේ ඈත පළාත්වල මේ වගේ ලස්සනට සාදන ලද ගෙයක් සොයා ගැනීමට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.

අසු පිට පහසුවෙන් හිඳ සිටි අමුත්තා මේ හැම දෙයක් දෙසම බැලුවේය.   ආලින්දයට ගොඩවන පඩිපෙළ ළඟ අම්මා විසින් වවන ලද මල් ගස් දෙසට ඔහුගේ නෙත් සෙමෙන් ඇදෙනවා මම බලා සිටියෙමි.   අනතුරුව ඔහුගේ නෙත් අපේ අලුත් දිළිසෙන වතුර පොම්පය සහ ඒ අසල තිබෙන වතුර බක්කිය මත නතර විය.   නැවත ඒ බැල්ම මා දෙසට එල්ල විය.   ඒ සමග ආයෙත් හදිසියෙන් මගේ සරුවාංගයම සීතල විය.   එසේ වුයේ මන්දැයි මම නොදනිමි.   එහෙත් ඔහුගේ කටහඬ ඉතා කරුණාවන්ත විය.   ඔහු කතා කළේ ඉවසීම පුරුදු කරන ලද මිනිසෙකු මෙනි.

" අශ්වයාටයි මටයි වතුර ටිකක් දෙනවා නම් බොහොම අගය කොට සලකනවා."

ඊට පිළිතුරු දීමට මම වෑයම් කළෙමි.   වචන මගේ උගුරේ හිර විය.   එහෙත් ඔහු කතා කළේ මට නොවෙයි.   ඔහුගේ වචන මා පසු කොට ගියේය.   මා පසු පසින් පැමිණි තාත්තා හරක් ගාලේ ගේට්ටුවට හේත්තු වී බලා සිටියේය.

" ඕනෑ තරම් වතුර ගන්න."

එක වරම අසු පිටින් බැස්ස අමුත්තා බක්කිය ලඟට අශ්වයා ගෙන යනවා තාත්තාත් මමත් බලා සිටියෙමු.   බක්කිය පිරෙන්නට පොම්පයෙන් වතුර ගැසූ අමුත්තා පළමුව ඒ සීතල වතුරට හොම්බ දමා වතුර බීමට අශ්වයාට ඉඩ දුන්නේය.

වතුර බීමෙන් පසුව හිස්වැස්ම ඉවත් කළ හෙතෙම එහි රැඳුණු දූලි ගසා දමා බක්කිය කෙළවර එල්ලුවේය.   අනතුරුව ඇඳුම්වල රැඳුණු දූලිද ඔහු දෑතින් ගසා දැම්මේය.   සෑදල මල්ලෙන් රෙදි කෑල්ලක් ගෙන පරිස්සමින් පාවහන් පිස දමා අනතුරුව කර වටේ ගැට ගසා ගෙන සිටි ලේන්සුව ලිහා, කමිස අත් උස්සා වතුරට දමා, දෑත සහ මුහුණ හොඳ හැටි සෝදා ගත්තේය.   අනතුරුව දෑතේ රැඳුණු වතුර ගසා දැමු හෙතෙම ලේන්සුව ගෙන හොඳට මුහුණ පිසදා කමිස සාක්කුවෙන් ගත් පනාවෙන් දිග කළු හිසකෙස් පස්සට පීරා ගත්තේය.   ඔහුගේ මේ හැම ක්‍රියාවකම නොවරදින සුළු හුරු පුරුද්දක් පෙනෙන්නට තිබිණි.   අන්තිමේදී ඔහු කමිස අත් පහත් කොට, ලේන්සුව බෙල්ල වටේ ගැට ගසා හිස්වැස්ම අතට ගත්තේය.

හිස්වැස්ම අතට ගත් අමුත්තා කෙළින්ම ගෙය දෙසට ගියේය.   අම්මා විසින් වවන ලද පෙටෝනියා ගසේ මලක් පහත්වී කඩාගත් හෙතෙම ඒ මල හිස් වැස්මේ පටියේ ගසා ගත්තේය.   මොහොතකින් හිස්වැස්ම පැළඳගත් හෙතෙම නෙත් වැසෙන සේ එහි වාටිය නොකල්පනාවෙන් පහත් කොට, අසු පිට නැග යන්නට හැරුණේය.

මම අමුත්තාට වසඟ වුණෙමි.   මා දැන ඇඳින සිටි කිසිම මිනිහෙක් තමන්ගේ හැඩ රුව ගැන මෙතරම් අහංකාර වුයේ නැත.   මෙතරම් සැලකිලිමත් වුයේ නැත.

ඒ කෙටි කාලය තුළදී මා දුටු ඒ අලංකාරය වඩ වඩාත් ප්‍රකටව පෙනෙන්නට විය.   එය අමුත්තාගේ ස්වභාවයෙන් ඇතිවූ අලංකාරයකි, තේජසකි.   ඔහු බොහෝ කාලයක් තුළ ලැබූ පළපුරුදු සහ අත්දැකීම් ඇත්තකු බව පෙනේ.   ඒ සමග ඔහු තුළ උසස් ගතිගුණ සහ කාර්යක්ෂමතාවක් ද පෙනෙන්නට තිබිණි.   දැන් මගේ ඇඟ හීතල වෙන්නේ නැත.   මම ද එවැනිම හිස්වැස්මකින්, පටියකින් හා පාවහන් යුවලකින් සැරසී සිටින්නකු හැටියට සිතින් මවා ගැනීමට පටන් ගතිමි.

අමුත්තා අසු නතර කොට අප දෙස බැලුවේය.   ඔහුගේ විඩාව සංසිඳී තිබිණි.   ඔහුගේ දෑස වටේ ඇතිවන සිහින් රැල්ල සිනාවක් ලෙස පිළිගත හැකි බව මට දිවුරා කිව හැකිය.   මෙසේ ඇස් රැලි ගන්වා බලන විට ඒ බැල්මේ කලබල ගතියක් පෙනෙන්නට නොතිබිණි.   ඒ බැල්ම සන්සුන් විය. එඩිතර විය. ස්ථිර විය.   ඔබ දෙස හෙලන අනියම් බැල්මෙහි පවා ඔබ වෙත ඔහුගේ සම්පූර්ණ අවධානය යොමුවී තිබෙන බව ඔබට පෙනී යනවා ඇත.

" බොහොම ස්තුතී, " ය යි ඉතා කාරුණික කටහඬින් පැවසු අමුත්තා නික්ම යාම පිණිස අශ්වයා පාර දෙසට හරවනවාත් සමග, තාත්තා සෙමෙන් හිතා මතා කරන සුපුරුදු ස්වරයෙන් අමුත්තා අමතා " ඔච්චර ඉක්මන් වෙන්න එපා," ය යි කීය.

මා හයියෙන් වැට අල්ලා නොගත්තා නම් වැට උඩින් හරක් ගාලට වැටෙන්නට ඉඩ තිබිණ.   තාත්තා ගේ කටහඬින් නික්මුණු පළමුවන ශබ්දයෙන්ම අශ්වයාත් මිනිසාත් එකකු මෙන් එක්වරම අප දෙසට හැරුණහ.   හිස්වැස්මෙන් හෙවණ වූ ඔහුගේ දීප්තිමත් ගැඹුරු දෑසින් පිටවූ බැල්ම තාත්තා විනිවිද ගියේය.   ආයෙත් හිටිහැටියේම ඇතිවූ හීතලයෙන් මම වෙවුලන්නට පටන් ගතිමි.   අමුත්තා සහ අප අතර අවකාශයෙහි තැති ගන්වන නොපැහැදිලි කිසියම් සියුම් දෙයක් තිබෙන බව පෙනිණි.

මගේ දැනුමෙන් ඈත්වූ, වයසින් මේරු, දැනුම් තේරුම් ඇති, වචනයෙන් නො පවසන ලද සහෝදරත්වයකින් එකිනෙකා දෙස බොහෝ වේලා බලාසිටි තාත්තා සහ අමුත්තා දෙස මම පුදුමයෙන් බලා සිටියෙමි.   එවේලේ උණුසුම් හිරු එළිය අප වසාගෙන පැතිරුණේය.   සිනාවකින් මුව සරසාගත් තාත්තා තමා තීරණයකට බැස ගත් බව හඟවන පැහැදිලි උච්චාරණයෙන් ඇද පැද කතා කළේය.

" ඒ තරම් ඉක්මනට යන්න අවශ්‍ය නැහැ, කෑම කාලා අද රෑට මෙහි නවතින්න පුළුවනි."

අමුත්තා හිස වැනුවේ ඔහුද තීරණයකට බැස ගත් බව හඟවමිනි.

" ඒ අදහස නම් බොහොම අගෙයි."  පැවසු අමුත්තා අසු පිටින් බැස, අශ්වයාත් සමගම අප දෙසට පැමිණියේය.   තාත්තා අමුත්තා සමග පිදුරු මඩුව දෙසට ගිය අතර මම ද ඔවුන් සමග ගියෙමි.

" මගේ නම ජෝ ස්ටාරට්, මේ ඉන්නේ මගේ පුතා රොබට් මැක්පියර්සන් ස්ටාරට්, පොඩි ළමයකුට මේ නම දිග වැඩි නිසා අපි බොබී කියා කොටින් කියනවා." ය යි තාත්තා මා පෙන්වමින් කීය.

නැවත හිස වැනු අමුත්තා " මගේ නම ෂේන් ," ය යි කීය.   අනතුරුව මා දෙස බලා " බොබී දුර ඉඳල මා එනවා බොහෝ වෙලාවක් බලා සිටියා." යි යළි කීවේය.

එය මගෙන් අසන ලද ප්‍රශ්නයක් නොවෙයි.   එය කරන ලද පැහැදිලි ප්‍රකාශයක් පමණි.

" ඔව්  මම බලා ගෙන හිටියා...." යි මම ගොතගසමින් කීමි.

" බොහොම හොඳයි, මම ඒකට බොහොම කැමතියි.  තමා අවට සිදුවන දේවල් ගැන පරීක්ෂාවෙන් සිටින තැනැත්තා තමයි කවද හරි මිනිහෙක් වෙන්නෙ. "

අඳුරු පෙනුම සහ වෑරුණු රළු බැල්ම කෙසේ වෙතත් මේ ෂේන් ළමයකු ගේ සිතුම් පැතුම් අඳුනන්නෙකි.   ඔහු අශ්වයා ලිහා දමන අතර ඔහුගේ, ළමා සිත අඳුනන ගුණයෙහි උණුසුම විසින් මා ඔහු වෙත බැඳ තබනු ලැබීය.   ඔහුගේ සෑදලය එල්ලා තබමින් ද, අශ්වයාට පිදුරු දමමින් ද, නිකරුණේ කලබල කළ මම ඔහුගේ වැඩට බාධා කළ අතර මගේ වැඩටද බාධා කර ගතිමි.   අශ්වයාගේ කටකලියාව ඉවත් කිරීමටත්, අශ්වයා බලා ගැනීමටත් ෂේන් මට ඉඩ දුන්නේය.   දැන් මා ලඟම සිටින අශ්වයා මා සිතුවාටත් වඩා විශාලය.   බල සම්පන්නය.   බෙල්ලේ රැඳී තට්ටු ගැසී, පස්වූ දූලි පිස දැමීමට ඉවසිල්ලෙන් ඉඩ දෙමින් හිස පහත් කරගත් අශ්වයා දූලි පිස දමන තෙක් නිශ්චලව සිටියේය.  ෂේන් මට බාධා කළේ එක වතාවක් පමණි.   එනම්, පැත්තකින් තැබීම පිණිස සෑදල මල්ල ගැනීමට මා තැත් කළ විටය.   මගේ ඇඟිලි ගෑවුණු හැටියේම ඔහු සෑදල මල්ල මගෙන් ඉවතට ගෙන රාක්කය උඩින් තැබුවේ මීට පස්සෙ ඒකට අත තියන්න එපා ය යි අවසාන වරට කියන්නාක් මෙනි.

අප තිදෙන ගෙට යන විට අම්මා අප එන තෙක් බලා සිටියාය.   මේසය උඩ හතර දෙනෙකුට ආහාර පිළියෙළ කර තිබිණි.   " ඔබ එනවා මම ජනේලයෙන් බලා සිටියා." යි පැවසු අම්මා අමුත්තාට අත දී ආචාර කිරීම පිණිස ඉදිරියට ආවාය.   අම්මා හීන්දෑරි ප්‍රාණවත් ගැහැණියකි.   ඈ ඉතා පැහැපත්ය.   ඒ පැහැය අපේ පළාතේ කටුක දේශගුණයට පවා කවදාවත් වෙනස් කළ නොහැකි බව පෙනේ.   අම්මා ඇගේ ළා දුඹුරු පැහැති කොණ්ඩය උස් කොට බැන්දේ ඈ කියන විදියට තමා තාත්තා තරම්ම උස බව පෙන්වීම පිණිසය.

" මාරියන්, ඔබට ෂේන් මහත්මයා අඳුනා දෙන්න ඕනෑ." යි තාත්තා කීය.

" සුබ සන්ධ්‍යාවක් වේවා! " යි කියමින් සුබ පැතු අමුත්තා අම්මාගේ අත ගෙන හිස නමා ආචාර කළේය.   මඳක් පසුබා සිටි අම්මා මගේ පුදුමයට ඉතා සුකුමාර ලෙස හිස නමා ආචාර කළාය.   ඈ මෙසේ ආචාර කරනවා මම කවදාවත් දැක නැත්තෙමි.   අම්මා කරන කියන දේ ගැන විශ්වාසයක් තැබිය නොහැකිය.   ඇය සතුටු කිරීම පිණිස පිට පිට තුන් වරක් වුවද තාත්තා සහ මා දේදුන්නේ පාටින් ගෙය පින්තාරු කරනවා ඇත.

" ඔබටද සුබ සන්ධ්‍යාවක් වේවා! " යි පැවසු අම්මා " මගේ මහත්මයා කතා නොකළා නම් මා ඔබට නවතින්න කියන්නයි හිටියෙ.   මේ පළාතේ හොඳට කෑම වේලක් කන්න තැනක් නැහැ." යි කීවාය.

අම්මා රසට ගුණට ආහාර පිළියෙළ කිරීමට ඉතා සමත්ය.   ඈ ඒ සමත්කම ගර්වයෙන් සැලකුවාය.   තමා විසින් ගමේදී ඉගෙනගත්, මේ පාළු රටේදී ප්‍රයෝජනයට ගත හැකි දේවල් අතරින් ආහාර පිසීම එකක් ය යි ඈ නිතර කීවාය.    තමාට හොඳට ආහාර වේලක් පිළියෙළ කිරීමට හැකියාව තිබෙන තෙක්, ගොවිපොළේ වැඩ කටයුතුවල අඩු පාඩු පෙන්නා දීමට ඉඩ තිබෙන තෙක්, මේ පාළු රටේ සිටිය හැකි බව අම්මා දැන සිටියාය.   ඉක්බිතිව ඈ කරබා ගෙන ඇගේ විශේෂ නිෂ්පාදනයක් වන, ඉතා රසවත් විස්කෝතු සෑදුවාය.   අම්මා කලබලයෙන් ඒ මේ අතට යමින් ආහාර පිළියෙළ කරන සැටි බලා සිටි තාත්තා ඈ විසින් පිළියෙළ කරන ලද විස්කෝතු අන්තිම කෑල්ල දක්වා කා අවසන් කොට, අත පය දිග හැර, කවදාවත් අවසන් නොවන ගොවිපොළේ වැඩට යන්නේ පුළුවන් නම් තමා නතර කරන ලෙස ඕනෑ ම ජගතකුට අභියෝග කරන ලීලාවෙනි.

අපි රාත්‍රී කෑමට හිඳ ගතිමු.   එය රසට ගුණට පිළියෙළ කර තිබිණි.   අපේ අමුත්තා, තාත්තාත් මාත් සමග හරි හරියට කන විට අම්මාගේ නෙත් දීප්තිමත් විය.   කෑම කා අවසන් වූ ඉක්බිති අපි පුටු උඩ දිග ඇදී කතාවට පටන් ගතිමු.   මා අසා සිටි ඒ කතාව පරණ මිතුරන් සුපුරුදු කෑම මේසයක් වටා ඉඳ ගෙන කරන සංවාදයකට සමාන විය.   මේ කතා බහ කිසියම් මෝස්තරයක් අනුව කෙරෙන බව මට දැනිණි.   තාත්තා අම්මාගේ සහාය ඇතිව අමුත්තා ගැන තොරතුරු දැන ගැනීමට වෑයම් කළේය.   එහෙත් තාත්තා කෙළින්ම ප්‍රශ්න ඇසීමෙන් වැළකුණු අතර හැම අවස්ථාවකදීම ෂේන් ද ප්‍රශ්නයට කෙලින් පිළිතුරු නොදී මඟහැරියේය.   මගේ මාපියන් ගේ අදහස් දැන ගත් ෂේන් ඒ ගැන කිසිසේත් උරණ නොවීය.   ඔහු සෞම්‍ය විය.   ශිෂ්ට විය.   කැමැත්තෙන්ම කතා කළේය.   එහෙත් තමා ගැන තොරතුරු කිසිවක් හෙළි නොකොට තාත්තා ඇසු ප්‍රශ්නවලින් මගහැරියේය.

තමා ගමන් ගත් මඟ දෙපස පිහිටි ගම් නියම්ගම් හා ඊටත් එපිට පිහිටි, මා කවදාවත් අසා නැති නගර පිලිබඳ බොහෝ තොරතුරු ද ඔහු දැන සිටි හෙයින් ඔහු මේ ගමන දවස් කීපයක සිට එනවා විය හැකිය.   එහෙත් ඔහු තමා ගැන කිසිම තොරතුරක් හෙළි කළේ නැත.   අපේ තණ බිම වැට කඩුලුවලින් කොටු කර තිබෙන්නාක් මෙන් ඔහු ගේ අතීතයද ශක්තිමත් ලෙස කොටු කර තිබිණි.   තමා නගරයෙන් නගරයට යන බවත් එන හැටියට කල දවස ගෙවන බවත්, මීට කලින් දැක නැති මේ පළාත දැක ගැනීමට මිස මේ ගමන ඒමට විශේෂ හේතුවක් නැති බවත් ඔහු කීය.   මගේ මාපියන්ට අමුත්තා ගැන දැන ගත හැකි වුයේ එපමණයි.


ඉක්බිතිව අම්මා පිඟන් සේදු අතර මම ඒවා පිස දා තැබීමි.   ආලින්දයේ සිටි මිනිසුන් දෙදෙනාගේ කතා බහ ඇර තබන ලද දොර තුළින් ඇසේ.   දැන් කතා කරන්නේ අමුත්තාය.   වැඩි වේලා යන්නට කලින් තමාගේ වැඩ කටයුතු ගැන විස්තරයක් කිරීමට අමුත්තා තාත්තා පොළඹවා ගත්තේය.   එහෙත් එය උපායක් නොවෙයි.   අසා සිටීමට කෙනෙක් සිටිත් නම් තමාගේ අදහස් ගැන වාද කිරීමට තාත්තා බොහොම කැමතියි.   මෙවර තාත්තාගේ කතාව ජයටම කෙරිණි.

" ඔව් ෂේන්, මා එක්ක වැඩ කරන අයට මේක වැඩිය හොඳට තේරෙන්නෙ නැහැ.   නමුත් කවදා හරි තේරේවි.   කොටු නොකළ විශාල ඉඩම් හැමදාම තියාගන්න බැහැ.   මිනිස්සු කොටු කර ගන්නව.  විශාල ඉඩම්වල හරක් ඇතිකිරීම ලොකු මිනිස්සුන්ට සුදුසු හොඳ ව්‍යාපාරයක්.   ඒ වුණත් ඒ සඳහා හිර කරන මුදල් අනුව කල්පනා කරන කොට එතරම් සාර්ථක ව්‍යාපාරයක් නොවෙයි.   සුළු ලාභයක් සඳහා විශාල ප්‍රදේශයක් යොදන්න ඕනෑ.   මේ වැඩ පිළිවෙල වැඩි කල් නොපවතිනවාට කිසිම සැකයක් නැහැ."

" ඔව් ඒක බොහොම වැදගත් අදහසක්, " ය යි ෂේන් කීය.   " මම ඔය කතාව මෑත දී හොඳ සිහිකල්පනාව තියෙන අයගෙන් නිතර අහල තියෙනවා.   සමහර විට මෙහි ඇත්තක් තියෙන්නත් පුළුවනි."

" ලොකු ඇත්තක් තියෙනවා.   මා කියන දෙය අහන්න.   කරන්න තියෙන්නේ තමාගේ ය කියා බිම් කොටසක් තෝරාගෙන අයිතිය තහවුරු කර ගන්න එකයි.   ඊට පස්සෙ කෑමට ප්‍රමාණවත් තරම් වගාවක් කරලා පොඩි ගව ගාලකට මුදල් හිර කරන එකයි.   මම දැන් කාලයක ඉඳලා මේ වැඩේ කරගෙන යනවා.   නමුත් මගේ හරක් ගඟෙන් එගොඩ ඉන්න ප්ලෙචර් ගේ හරක්ට වඩා සාමාන්‍යයෙන් රාත්තල් තුන්සීයක් විතර බර වැඩියි.   මසුත් හොඳයි.   ප්ලෙචර් ගේ හරක් මිටියාවතේ වැඩි හරියක කන බව ඇත්තයි.   ඒක නිසා හරක් හුඟක් ඉන්නවා වගේ පේනවා.   මිනිහට, හරක්ට වඩා ඉඩම් තියෙනවා.   නමුත් වැඩි කාලයක් ඉඩම් තියාගන්න ලැබෙන්නෙ නැහැ.   අලුතින් මිනිස්සු ඇවිත් පදිංචි වෙනකොට ඉඩම් අඩු වෙනවා.   මිනිහ කරන්නෙ නාස්තියක්.   තියෙන ඉඩම් ප්‍රමාණයේ හැටියට ලාභ ලැබෙන්නෙ නැහැ.  නමුත් අප වගේ කුඩා ඉඩම් හිමියන් මහ කරදරකාරයින් හැටියටයි මිනිහට පේන්නෙ."

" ඔව්, ඔව්. මිනිහට පේන හැටියට අපි කරදරකාරයින් තමයි." ෂේන් කීය.

" ඔබේ කතාව ඇත්තයි.   ඒක පිළිගන්න ඕනෑ.  මිනිහ කලින් කළා වගේ ගඟෙන් මෙගොඩ අපේ ඉඩම්වලට පස්සෙන් තියෙන ඉඩම්වල හරක් කවන්න ගත්තොත් අපෙන් කරදර ඇතිවෙන්න පුළුවනි.   අපි මේ ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් වෙන් කර ගෙන තියෙනවා.   ඊට වැඩිය නරකයි අපි ගඟෙන් කොටසක් අහුරා ගත්තා.   ඒකෙන් ප්ලෙචර් ගේ හරක්ට වතුර ලැබෙන්නෙ නැහැ.   අපි මේ ඉඩම්වල පදිංචි වූදා ඉඳල අපට නිතර අවලාද කියනවා.   මිනිහ බයයි තව තවත් අලුත් පදිංචිකාරයන් ඇවිදින් ගඟෙන් එගොඩ ඉඩම්වල පදිංචි වෙයි කියා.   ඊට පස්සෙ මිනිහට ලොකු පටලැවිල්ලක් වෙනවා."

පිඟන් පිසදා අවසන් කළ පසු මම සෙමෙන් දොර දෙසට ඇදෙන්නට වුණෙමි.   හැම දා කෙරෙන සිරිත අනුව අම්මා මා නතර කොට නිදා ගන්නට යැව්වාය.   ගෙයි පසු පස තිබෙන මගේ කුඩා කාමරයට මා ගෙන ගොස් දැමු අම්මා අනතුරුව ආලින්දයේ හිඳ කතා කරමින් සිටි මිනිසුන් දෙදෙනා ලඟට ගියාය.   මම ඔවුන්ගේ කතා බහට ඇහුම්කන් දීමට වෑයම් කළෙමි.   ඔවුන්ගේ කටහඬ පහත් විය.   සමහර විට මා අඩ නින්දේ සිටින්නට ඇතැයි මට සිතුණේ අම්මාත් තාත්තාත් ආයෙත් මුළුතැන් ගෙයි සිටින බව දැන ගත් පසුවයි.   මේ වෙලාවට අපේ අමුත්තා පිදුරු මඩුවේ තිබෙන ඇඳේ නිදා ගෙන ඇතැයි මම කල්පනා කළෙමි.   තාත්තා විසින් මෙම ඇඳ සාදන ලද්දේ පසුගිය වසන්ත කාලයේදී, සති කීපයක් අපේ ගොවිපොළේ නතරවී වැඩ කළ මිනිහාට නිඳා ගැනීම පිණිසය.

" තමා ගැන කිසිම දෙයක්  නොකියන එක පුදුමයක් නේද? " යි අම්මා කියනවා මට ඇසිණි.

" එක විදියකින් පුදුමයක් තමයි," තාත්තා කීවේය.

" මහ පුදුම මිනිහෙක්, මේ වගේ මිනිහෙක් මම කවදාවත් දැකල නැහැ," යි අම්මා උනන්දුවෙන් හා සැලකිල්ලෙන් කීවාය.

" ඔයාගේ ගමේ නම් මේ වගේ මිනිස්සු දකින්න නැහැ.   මේ පළාතේ තණබිම්වල සමහර විට මේ වගේ විශේෂ වර්ගයේ මිනිස්සු දකින්න ලැබෙනවා.   මට ටික දෙනෙක් හමුවෙලා තියෙනවා.   නරක මිනිස්සු වහ වගේ නරකයි.   හොඳ අය බොහොම හොඳයි."

" මේ මිනිහ ගැන ඔය තරම් විශ්වාස කරන්නෙ කොහොමද? උපන් පළාත වත් කියන්නෙ නැහැ."

" සමහර විට නැගෙනහිර පැත්තේ තියෙන ජනපදයක ඉඳලා එන්න ඇති.   සමහර විට හුඟක් දකුණට වෙන්න තියෙන ජනපදයක ඉඳලා එන්න ඇති.   ටැනිසිස් ජනපදය වෙන්න පුළුවනි.   නමුත් මිනිහ බොහොම ඇවිදල තියෙන බව නම් පේනවා."

" මම මිනිහට කැමතියි." අම්මා කල්පනා කොට කීවාය.   " බොහොම හොඳයි, කරුණාවන්තයි.   මේ පළාතේ මා දැකල තියෙන සමහරක් මිනිසුන් වගේ නොවෙයි.   නමුත් මිනිහ පිලිබඳ යම්කිසි දෙයක් තියෙනවා.   පෙනෙන්න තියෙන ශිෂ්ටකම පසුපසින් යම්කිසි දෙයක් තියෙනවා....යම්කිසි දෙයක්...." ඇගේ කටහඬ ක්‍රමයෙන් අඩුවී ගියේය.

" ඒක අභිරහසක්ද? " තාත්තා අදහස් කොට ඇසුවේය.

" ඔව්, අභිරහසක් තමයි.  ඊට වැඩිය භයානක මිනිහෙක් හැටියට පේනවා."

" භයානක මිනිහෙක් බව නම් ඇත්තයි." කල්පනා කොට පැවසු තාත්තා " නමුත් අපට භය වෙන්න දෙයක් නැහැ." යි සිනාසෙමින් කීය.   අනතුරුව තාත්තා අරුම පුදුම කතාවක් කීවේය.   " ඇත්ත වශයෙන්ම මේ තරම් අහිංසක මිනිහෙක් කවදාවත් අපේ ගෙදර නැවතුණා ය කියා මා හිතන්නෙ නැහැ."

16.
මගේ කල්පනාවේ හැටියට ෂේන් ගැන මීට වඩා කියන්නට දෙයක් නැත.   අපේ මිටියාවතේ ලොකු කුඩා කවුරුත් ෂේන් ගැන නිතර කතා කිරීමට කැමතියි.   ඔවුහු ෂේන් ගැන නොයෙක් කතා ගොතා කියා, අනුමාන වශයෙන් සිතා බලති.   මම කවදාවත් එසේ නොකළෙමි.   ග්‍රැප්ටන්ගේ තැබෑරුමේදී ෂේන් කළ දේවල් මිටියාවතේ පුරාවෘත්තය බවට පත්වී තිබේ.   අපේ නගරය ගඟ දෙපස සෙමෙන් වැඩෙමින්, පැතිර ගියාක් මෙන්, මේ පුරාවෘත්තයද තව තවත් නොයෙක් විස්තර එකතු වෙමින් පැතිරෙන්නට විය.   නිතර නිතර කීම නිසා මේ ජනකතා අද්භූත ස්වරුපයක් ගත්තත් මම ඒ ගැන කෙසේවත් කරදර නොවෙමි.   ෂේන්, මටත්, තාත්තාටත්, අම්මාටත් අයිති තැනැත්තෙකි.   කවර දාක වත්, කිසිම දෙයකට, එය නැති කළ නොහැකිය.

අම්මාගේ කතාව ඇත්තයි.   ෂේන් අපේ ගෙදර, අපේ සිත් තුළ, වාසය කළේය.   මට අවශ්‍ය වූ හැම විටම ෂේන් පෙනී සිටියේය.   ඇස් වසා ගත් විට ෂේන් මා ළඟ, මා සමග සිටියි.   හොඳට පෙනෙයි.   ඔහුගේ කාරුණික කටහඬ ඇසෙයි.

ෂේන් මට පෙනුණු හැම මොහොතක් ගැනම මම කල්පනා කළෙමි.   තැබෑරුමේ සොල්දරයේ සිටි ප්ලෙචර් ට විදුලි වේගයෙන් හැරී වෙඩි තැබූ සැටි ගැන මම ඉතා පැහැදිලිව කල්පනා කළෙමි.   මගේ අවබෝධයෙන් ඈත්වූ, අලංකාරයෙන් යුත්, එක් තැන් වී සෑදුණු බලවේගයක ශක්තිය හා ලාලිත්‍යය මට ආයෙත් පෙනෙයි.   වෙන්කළ නොහැකි මාරාත්මක බැම්මෙන් එකට බැඳී සිටි මිනිහා සහ ඔහුගේ ආයුධය මට පෙනෙයි.   කළ යුතු දෙය කරන, එකිනෙකා ගෙන් වෙන් කළ නොහැකි, මිනිහා සහ ඔහුගේ ආයුධය, හොඳ මිනිහා සහ හොඳ ආයුධය, මගේ නෙත් ඉදිරිපිට පෙනී තිබේ.

නගර සීමාවේ පඳුරක් අස්සේ, සැඟවී සිටි මා, ෂේන් දුටු මොහොතට, අන්තිමේදී මගේ සිත ඇදී යයි.   කෙනෙකු මරා දැමීමේ අදහසින්, නැතිනම් මැරුම් කෑමේ අදහසින් යුතුව, හඳ එළියේ මඟ බැස යන ෂේන් උසට පෙනෙයි.   දකින විට සිතේ බිය උපදියි.   ඔහු බිම වැටුණු ළමයෙකු උස්සා තැබීම පිණිස මඟ නතරවූ සැටිත්, ඒ ළමයා ළමා විය ගෙවා, යහපත් අවංක මිනිසකු ලෙස වැඩෙන්නට ඉඩ සලසා දෙන මිටියාවත දෙස, අලංකාර මිටියාවත දෙස බැලු සැටිත් මට සිහි වෙයි.

නගරයේ මිනිසුන් එකිනෙකා සමග කතා කරමින්, ෂේන් අතීතයේ එක්තරා කාලයකට අයත් පුද්ගලයකු ලෙස අඳුන්වා දීමට වෑයම් කරන විට, මම තනියෙන්ම නිහඬව සිනාසුණෙමි.   ෂේන් ආකන්සාස් හා ටැක්සාස් ජනපදවල සූදු අන්තුවකු හා වෙඩිකාරයකු ලෙස ප්‍රසිද්ධ වී සිටි ෂොහොන් නමැති පුද්ගලයා බවත්, ඔහු කිසිම හේතුවක් නැතිව කිසිවකුට නොදන්වා, පිටවී ගිය බවත්, කොතැන ගියේ දැයි නොදන්නා බවත්, පැවසු අපේ නගරයට පැමිණි ආගන්තුකයකුගේ කතාව ටික කලක් යන තෙක් නගර වැසියෝ විශ්වාස කළහ.   ඒ කතාව අමතක වන විට මිටියාවත තුළින් ඉබාගාතේ යන මගීන් ගෙන් අසා දැන ගත් නොයෙක් තොරතුරු එක් තැන් කොට හදාගත් වෙනත් කතාවක් පැතිරෙයි.   ඔවුන් මෙවැනි කතා ගොතා කියන විට මා තනියෙන්ම සිනාසුණේ මේ කතාවලින් පැවසෙන තැනැත්තා ෂේන් නොවන බව මා දන්නා නිසයි.

අපේ රටේ, බටහිර පෙදෙසේ සිට, අපේ කුඩා මිටියාවතට මිනිහෙක් පැමිණියේය.   තමා සතු යුතුකම් ඉටුකළ හෙතෙම ආපසු පැමිණි දිසාවටම ගියේය. ඒ මිනිහා ෂේන් ය෴

( ජැක් ෂෙෆ, ෂේන්. පරිවර්තනය සිරිල් සී පෙරේරා. 1993. ප්‍රකාශනය: එස්. ගොඩගේ සහ සහෝදරයෝ)