Sunday, May 27, 2018

මීෂාගේ කැඳ හැලිය.

                                        Courtesy :Google Images 
අද මා ඔබත් සමග රස විඳින්නට සැරසෙන්නේ සෝවියට් ළමා කතාවකි.  කතුවරයා නිකොලායි නෝසොව්ය.  කතාපොත නම්කර ඇත්තේ "තෝල්යා සහ ඔහුගේ යහළුවෝ" යනුවෙනි.  එහි එන දෙවැනි කතාව "මීෂාගේ කැඳ හැලිය" නම්වේ. මා මේ පොත මුලින්ම කියැවුයේ 1980 දසකයේ මැද භාගයේදී පමණ බව මගේ මතකයයි.  අපි එදා මේ පොත මහත්සේ රස වින්දා මට අද වගේ මතකය.  නමුත් ඊට පසු දසක තුනක් පමණ පොත ආගිය අතක් නැතිව ගියා සේම සොයාගන්නට නොමැති කම නිසා එහි වටිනාකම ද වැඩි වැඩියෙන් දැනෙන්නට විය.   කාලය ගෙවී යද්දී දවසක් බුකියේ තිබු පෝස්ටුවක පොත ගැන සඳහනක් විය.  තොරතුරු විමසා බැලු කල පොතේ නව මුද්‍රණයක් වෙළඳපොලේ ඇති බව සොයාගන්නට හැකි විය.  වහාම ක්‍රියාත්මක වන පරිදි පොතක් මිලදී ගත්තෙමි.  අපි දැන් කැඳ හැලියේ කතාව කියවමු.

                                මීෂාගේ කැඳ හැලිය.
මම අම්මාත් සමග නගරයෙන් එපිට ගමක නිවාඩු ගත කරද්දී, මා බැලීමට මීෂා ආවා.  මම බොහොම සතුටු වුණා.  මීෂා නැති නිසා මට පාළුවක් දැනුණා.  මීෂා ආපු නිසා අම්මාත් බොහොම සතුටු වුණා.

" මීෂා නුඹ ආපු එක බොහොම හොඳයි.  නුඹලා දෙදෙනාට සතුටින් නිවාඩු ගත කරන්නට පුළුවනි.  මම හෙට නගරෙට යනවා. සමහර විට දවස් දෙකක් විතර නවතින්න සිදුවේවි.  නුඹලා දෙදෙනාට මා නැතුව දවස් දෙකක් ගත කරන්ට පුළුවන් නේද?" අම්මා ඇහුවා.

" සත්තකින්ම අපිට පුළුවනි.  අපි පුංචි ළමයින් නොවෙයි" මම පිළිතුරු දුන්නා.

" නුඹලාට දවල් කෑම පිළියෙළ කරගන්න සිද්දවේවි. පුලුවනිද?"

" පුළුවනි. බැරි මොකද?" එහෙම ඇහුවේ මීෂා.

" සුප් එකකුයි, කැඳයි උයාගනිල්ලා.  කැඳ උයන්න ලේසියි" අම්මා කිව්වා.

" කැඳ උයන්නම්. කැඳවලත් උයන්ට දෙයක් තියෙනවද?" මීෂා ගත් කටටම කියාපි.

" මීෂා නුඹ ප්‍රවේසම් වෙයන්.  නුඹට කැඳ පිහන්ට බැරිනම්!  නුඹ මීට ඉස්සෙල්ලා කැඳ උයලා පිහලා නැහැ නොවැ." මම මීෂාට කල් ඇතිව දැනුම් දුන්නා.

" නුඹ කලබල වෙන්ට එපා.  අම්මා කැඳ උයන හැටි මම දැකලා තියෙනවා.  නුඹව බඩගින්නේ තියන්නෙ නැහැ.  නුඹට බඩ පිරෙන්ට කැඳ දෙන්නම්.  මම උයන කැඳ බීලා රසවැටිලා ඇඟිලිත් ලෙවකාවී" මීෂා පුරසාරම් දෙඩුවා.

පහුවදා උදේ අම්මා අපට දවස් දෙකකට සෑහෙන්න පාන්, තේ බීමට ඕන කරන පළතුරු ජෑම් දුන්නා.  ඊට පස්සෙ සුප් උයන හැටියි, කැඳ පිහන හැටියි විස්තර කළා,  එවිට ඕන කරන ඇට වර්ග, එළවළු වර්ග තියෙන තැන් පෙන්නලා දුන්නා.  අපි දෙන්නම අහගෙන හිටියා.  නමුත් මම කිසිම දෙයක් මතක තියාගෙන හිටියේ නැහැ.  'මොකටද මතක තියාගන්නේ, මීෂා ඔක්කොම දන්නවා.' කියලා මම කල්පනා කළා.

අම්මා යන්ට ගියා.  මමයි මීෂයි ගඟට ගියා මාළු අල්ලන්ට.  බිලී පිති අරගෙන ඇමට පණුවන් හොයාගත්තා.

" ඒයි මීෂා දෙන්නාම ගඟට ගියාම දවල් කෑම උයන්නේ කවුද?" මම ඇහුවා.

" උයන එකත් වැඩක්ද? මහ කරදරයක්! දවල්ට පාන් කමු, රෑට කැඳ උයමු." මීෂා කිව්වා.

අපි පාන් කෑලිවලට කපලා ඒවාට ජෑම් ගාලා ගඟට අරගෙන ගියා.  ඉස්සෙල්ලා ගඟට බැහැලා නාලා, ගං ඉවුරේ අව්ව තපින්ට පටන් ගත්තා.  අව්ව තැප තැප ජෑම් ගාපු පාන් කෑවා.  ඔන්න ඉතින් ඊට පස්සෙ මාළු අල්ලන්ට පටන් ගත්තා.  අපේ ඇම කන්න ලොකු මාළු ආවේ නැහැ.  මඩකරි පැටව් දහ දෙනෙක් විතර අහුවුණා.  මුළු දවස තිස්සෙම අපි ගඟට වෙලා වල්පල් කතාකලා.  හවස් වුණාම ගෙදර ආවා.  බොහොම බඩගිනියි!

" මීෂා නුඹ අපේ ලොකුම ලොකු කෝකියා.  මොනවද උයන්නේ?  මොනවහරි ඉක්මනට ඉදෙන දෙයක්.  බොහොම බඩගිනියි."

" කැඳ උයමු.  ඉක්මනට කැඳ උයන්න පුළුවනි." මීෂා කිව්වා.

" හොඳයි, එහෙනම් කැඳ උයමු."

ලිප ලෑස්ති කරලා, මීෂා බජිරි ඇට හැලියට දැම්මා.

" වැඩියෙන් දාපන්. බඩගිනි වැඩියි කන්ට ඕන." මමයි එහෙම කිව්වෙ.

ඔහු හැලිය පුරා බජිරි ඇට දමලා වතුර වත්කලා.

" නුඹ වතුර වැඩිය දැම්මා නේද? දියාරුවට හිටීවි."

" කමක් නැහැ.  අම්මා හැමදාම එහෙම තමා කරන්නෙ.  නුඹ ලිපට දර දාපන්.  කැඳ පිහන එක මම බලා ගන්නම්." මීෂා මට අණ කළා.

මම ලිපට දර දානවා.  මීෂා කඳ උයනවා.  නැහැ.  උයනවා නොවෙයි, එයා ඉබේම කැඳ පිහෙන තුරු බලාගෙන ඉන්නවා.

කළුවර වැටුණා.  ලාම්පු පත්තු කරලා, කැඳ ඉදෙන තුරු බලාගෙන ඉන්නවා.  හිටිහැටියේම හැලියේ මුඩිය ඉස්සිලා කැඳ ගලන්නට වුණා.

" මීෂා ඒ මොකද? කැඳ ගලන්නේ මොකද?" මම මීෂාගෙන් ඇහුවා.

" කොහාටද?"

" කොහාටද කවුද දන්නේ! බිමට ගලනවා."

මීෂා හැන්ද අරගෙන කැඳ හැලිය හැඳි ගාන්ට පටන් ගත්තා.  කොච්චර හැඳි ගෑවත්, කැඳ ටික පිම්බි පිම්බී ඉහළට නගිනවා.

" මම දන්නේ නැහැ.  උතුරලා යන්නෙ මොකද කියලා මට කියන්න බැහැ.  දැනටමත් ඉදිලා ඇති නේද?" මීෂා ඇහුවා.

මම හැන්ද අතට අරගෙන බජිරි ඇට ටිකක් අරගත්තා.  ඒවා බොහොම තදයි, අමුයි.

" මීෂා වතුර වලට මක් වුණාද? බජිරි ඇට වේලිලා!"

" අනේ මම දන්නේ නැහැ.  මම වතුර ගොඩක් දැම්මා.  හැලිය පතුලේ හිලක් වෙන්නට ඕන."  මීෂා සැක කළා.

හැලියේ හිලක් තියනවද කියල අපි හොඳට හොයලා බැලුවා.  හොයාගන්ට බැරිවුණා.

" වතුර හිඳිලා වෙන්ට ඕන.  ආයෙමත් වතුර වක්කරන්නම්."  මීෂා කිව්වා.

මීෂා වැඩිපුර හැලියේ තිබුණ බජිරි ඇට හැන්දෙන් එළියට අරගෙන තවත් වතුර වක් කළා.  ඔන්න ආයෙමත් කැඳ පිහන්ට පටන් ගත්තා.  සෑහෙන වේලාවක් ගියාට පස්සෙ ආයෙමත් කැඳ උතුරලා යන්ට පටන් ගත්තා.

" අනේ මේ කැඳ හැලියට හෙණ! මොකට උතුරන්වද?"  මීෂා බැන්නා.

ඔහු හැන්ද අතට අරගෙන දෙවැනි වරටත් බජිරි ඇට අහක් කරලා, වතුර දැම්මා.

" ඔන්න නුඹ කිව්වා වතුර වැඩියි කියලා.  තවත් වතුර දාන්න සිද්ද වුණා."  මීෂා මට ඇණුම් පදයක් කිව්වා.

ආයෙමත් කැඳ පිහන්ට පටන් ගත්තා.  ටික වේලාවක් ගියා විතරයි, උතුරලා පෙණ පහළට ගලා ගියා.

" නුඹ ඕනවට වැඩිය බජිරි ඇට දාලා තියෙනවා.  ඒවාට හැලිය ඇතුලෙ ඉඩ නැහැ." එහෙම කිව්වෙ මායි.

" මම ටිකක් වැඩියෙන් දැම්මා. නමුත් වැරදි කාරයා නුඹයි.  නුඹ කිව්වා නුඹට බඩගිනි හින්දා වැඩියෙන් බජිරි දමන්නයි කියලා!"  මීෂා දොස් කිව්වා.

" කොච්චර බජිරි දමන්න ඕනද කියල මම දන්නේ කොහොමද?  නුඹ කිව්වා නේද නුඹ උයන්න දන්නවයි කියල."

" මම උයන්නම්,  නුඹ මට කරදර කරන්න එපා."

මම පැත්තකට වුණා.  මීෂා උයන්ට පටන් ගත්තා.  උයනවා නොවෙයි, එයා හැලියේ තියෙන බජිරි ඇට හැන්දෙන් එළියට අරගන්නවා.  හෝටලයක වගේ මේසය උඩ පිඟන් තියලා, ඒ පිඟන් වලට බජිරි ඇට දමනවා.

මට ඉවසාගෙන ඉන්ට බැරිවුණා.

" නුඹ හරියට උයනට දන්නේ නැතුව ඇති.  ඔහොම උයනකොට හෙට උදේ වෙනකල් උයන්ට පුළුවනි."

" නුඹ කොහොමද හිතන්නේ, හොඳ හෝටල්වල අද මිනිස්සුන්ට දෙන කෑම වර්ග උයන්නේ ඊට දවසකට ඉස්සෙල්ලා." මීෂා මහ දැනමුත්තෙකු වගේ කිව්වා.

" ඒක හෝටල්වල, ඒ ගොල්ලන්ට කලබල වෙන්ට වුවමනාවක් නැහැ.  කෑම බොහොම ගොඩක් තියෙනවා." මම කිව්වා.

" අපි මොකටද ඉක්මන් වෙන්නේ?" ඔහු ඇසුවා.

" මොනවාහරි කාලා, රෑට නිදාගන්ට ඕන.  දැන් රෑ දොළහත් වෙලා."

" නුඹට නිදාගන්න ඕන තරම් වෙලාව තියෙනවා."

මීෂා ආයෙමත් හැලියට වතුර වක් කළා.  ඔන්න දැන් තමා මට යන්තම් කාරණය තේරුණේ.

" මීෂා නුඹ හැම තිස්සේම හැලියට ඇල් වතුර වක්කරනවා.  ඉතින් කොහොමද කැඳ ඉදෙන්නේ?" මම ඇහුවා.

" නුඹ කියන්නේ වතුර නැතුව කැඳ උයන්ට කියලද?"

" හැලියේ බජිරිවලින් බාගයක් එළියට දමලා හැලිය පිරෙන්න වතුර දාන්න ඕන.  එතකොට ඉබේම ඉදේවි."  මම ඔහුට විස්තර කළා.

ඔහුගෙන් හැලිය උදුරාගත් මම එහි තිබු බජිරි ඇටවලින් බාගයක්ම එළියට අරගෙන මීෂාට කතා කළා.

" දැන් කට ලඟට එනකල් වතුර දමාපන්."

මීෂා ජෝගුවත් අරගෙන වතුර බාල්දිය දිහා බැලුවා.

" වතුර ඉවරවෙලා." මීෂා කිව්වා.

" දැන් ඉතින් මොනවා කරන්නද? වතුර ගන්න ලිඳට යන්න ඕන.  ඇහැට ඇන්නත් පේන්නේ නැති තරම් කළුවරයි."

" බොරු බය! මම වතුර ගේන්නම්" මීෂා එහෙම කියලා ගිනි පෙට්ටියත් අරගෙන ලණුවකින් බාල්දිය බැඳගෙන ලිඳට ගියා.  විනාඩියකින් ඔහු ආපහු ආවා.

" වතුර කෝ?" මම ඇහුවා.

" වතුරද...වතුර ලිඳේ."

" ලිඳේ වතුර තියෙන බව මම දන්නවා. වතුර බාල්දිය කෝ?"

" බාල්දිය ලිඳේ." මීෂා කිව්වා.

" ලිඳේ...ලිඳේ ඒ කොහොමද?"

" ඔව් ලිඳේ."

" අත හැරියද?"

" ඔව් අත හැරුණා" ඔහු පිළිතුරු දුන්නා.

" අනේ බං, නුඹ පල් මෝඩයෙක්! මාව බඩගින්නේ මරන්න ලෑස්ති වෙනවද? වතුර ගන්නේ කොහොමද?" මම ඇහුවා.

" කේතලයෙන් පුළුවනි."

මම කේතලය අතට අරගෙන " ලණුව මෙහාට දීපන්" කිව්වා.

" ලණුව නැහැ"

" ලණුව කොහෙද?"

" එහේ"

" එහෙ කියන්නෙ කොහෙද?"

" ලණුවත් ලිඳට වැටුණා."

" බාල්දියයි ලණුවයි දෙකම ළිඳට දැම්මද?"

" ඔව්"

අපි දෙන්නාම ගෙදර ඇවිල්ලා ලණුවක් හොයන්න පටන් ගත්තා.  නමුත් ලණු තිබුණේ නැහැ.

" ඒකට කමක් නැහැ.  අල්ලපු ගෙදරින් ලණුවක් ඉල්ලා ගනිමු" මීෂා යෝජනා කළා.

" නුඹට පිස්සුද? ඔරලෝසුව දිහා බලපන්.  මේ මහ රෑ මිනිස්සු හොඳටම නිදි."

දැන් අපි දෙන්නාටම ලොකු වතුර පිපාසයක් හැදිලා.  එක වතුර වීදුරුවකට රූබල් සීයක් වුණත් දෙන්න ලෑස්තියි.  මීෂා වතුර ගැන කියන්ට පටන් ගත්තා.

" වතුර නැතිවුණාම තමා වතුර තිබහ වැඩි වෙන්නෙ.  කාන්තාරෙ ගමන් කරන කොට වතුර තිබහ හැම තිස්සෙම හැදෙන්නෙ එහි වතුර නැති නිසා."

" නුඹ පණ්ඩිතකම් දොඩවන්නෙ නැතුව ලණුවක් හොයාපන්." මම ඔහුට කිව්වා.

" මම හැම තැනම හෙව්වා. ඔහෙ නැහැ. බිලී පිත්තේ තංගුස් පට අරගෙන කේතලයට බැඳලා වතුර ගනිමු." මීෂා යෝජනා කළා.

" තංගුස් පට හයිය ඇතිද?"

" සමහර විට ඇති වේවි."

" හයිය නැතිනම්?"

" හයිය නැතිනම්... කැඩිලා යාවි..."

" මීෂා නුඹේ පණ්ඩිත කම නැතුවට මටත් ඒක තේරුම් ගන්න පුළුවනි."

බිලී පිතිවල තංගුස් පොටවල් ලිහලා එයට කේතලය බැඳගෙන දෙදෙනාම ලිඳ ලඟට ගියා.  කේතලය ලිඳට දැම්මා.  එයට වතුර පිරුණාට පස්සෙ තංගුස් පොට අදින්ට පටන් ගත්තා.  තංගුස් පොට කැඩෙන්න ඔන්න මෙන්න තරමට ඇදුනා.

" මට හිතෙන්නෙ කැඩිලා යාවි කියලා!"

" වෙන්ට පුළුවනි.  බොහොම ප්‍රවේසමෙන් ඇද්දොත් බේරා ගන්නට පුළුවනි." මීෂා කිව්වා.

මම බොහොම හෙමින් කේතලය ගොඩට ගන්නට උත්සාහ කළා.  එය වතුර මට්ටමෙන් ඉහළට ආව හැටියෙම 'දඩාස්' ගාලා ආයෙමත් වතුරට වැටුණා.  කේතලය ලිඳ පතුලටම යන්ට ඇති.

" තංගුස් පට කැඩුනාද?" මීෂා ප්‍රශ්න කළා.

" සත්තකින්ම, තංගුස් පට කැඩිලා, කේතලය ලිඳට වැටුණා.  දැන් ඉතින් වතුර ගන්නේ මොකෙන්ද?"

" හැලියකින්, සාස් පානකින්"  මීෂා කිව්වා.

" නුඹ හිතුවද අපේ හැලි වලං, සාස්පාන් විකුණන කඩයක් තියෙනව කියලා." මායි එහෙම ඇහුවෙ.

" වීදුරුවකින් වතුර ගනිමු."

" නුඹ හිතන්නෙ වීදුරු කීයකින් වතුර අදින්න ඕන කියලද?"

" මොනව කරන්ටද? කැඳ පිහන්ටත් ඕන. තිබහට වතුර ටිකක් බොන්නත් ඕන."

" හොඳයි අපි ජෝගුවක් බැඳලා ලිඳට දාලා වතුර ගනිමු." මම කිව්වා.

ගෙදර ඇවිත් තංගුස් පොටෙන් ජෝගුවේ කට වටේටම බැඳලා ලිඳට ගිහිල්ලා වතුර ජෝගුවක් ගත්තා.

" එහෙම වෙනවා. වතුර තිබහ ඇතිවුනාම ලිඳේ තියෙන වතුරත් මදියි කියලා හිතෙනවා.  හැබැයි බොන්න ගියාම එක ජෝගුවක්වත් බොන්න බැහැ.  මිනිස්සු සොබාවෙන්ම කෑදරයො හින්දා තමා එහෙම හිතෙන්නෙ..." මීෂා පණ්ඩිතයා වගේ දොඩවනවා.

" නුඹ මිනිසුන්ගේ ගතිගුණ ගැන දොඩවන්ට එපා.  කුස්සියට ගිහිල්ලා කැඳ හැලිය ගෙනෙන්.  වතුර වක්කරන්ට විසි තිස් පාරක් ලිඳ ලඟට දුවන්න බැහැ."

මීෂා කැඳ හැලිය ගෙනල්ලා ළිං පඩිය උඩ තැබුවා.  එය මගේ වැලමිටේ හැප්පිලා තව පොඩ්ඩෙන් ලිඳට වැටෙනවා.

" අනේ නුඹ වගේ මෝඩයෙක්! හැලිය මගේ වැලමිට ළඟ තිබ්බෙ මොකටද? හැලිය දෑතින් අල්ලා ගනින්.  ළිඳෙන් පොඩ්ඩක් අයින් වෙයන් නැතිනම් කැඳ ටික ලිඳට වැටේවි."

මීෂා දෑතින්ම කැඳ හැලිය අල්ලාගෙන අයිනට වුණා.  මම හැලියට වතුර වත්කලා.

අපි ගෙදර ආවා. ලිපත් නිවිලා. හැලියත් සීතල වෙලා. ආයෙමත් ලිපට දර දාලා කැඳ උයන්ට පටන් ගත්තා.  ඔන්න යන්තම් කැඳ ටික උයා ගත්තා.  'ගුඩු, ගුඩු' ගාන සද්දෙ කැඳ හැලිය තුළින් ඇහුණා.

" අන්න! හොඳ කැඳක් ඉදිලා වෙන්ට ඕන." මීෂා කිව්වා.

මම හැන්දක් අරගෙන රස බැලුවා.

" තුඃ විතරක්! කැඳ ඇට්ටකුණා වෙලා, ලුණුත් නැහැ."

මීෂාත් රස බලන්ට කැඳ හැන්දක් කටේ දමාගත්තු හැටියේම ආපහු කැඳත් එක්ක කෙළ ගැහුවා.

" බඩගින්නේ මළත් එහෙම කැඳක් නම් කට හරියට ගන්නේ නැහැ!" මීෂා කිව්වා.

" ඔය වගේ කැඳ බිව්වොත් මැරිලා යාවි!" එහෙම කිව්වේ මායි.

" මොනව කරන්නද?"

" දන්නේ නැහැ"

" අපටම මතක නැහැ. අපි අල්ලපු මඩ කරි ටික ඉන්නවා නොවේද!" මීෂා සතුටු වුණා.

" දැන් ඉතින් මඩ කරි සුද්ද කරන්ට ගියාම එළිය වැටේවි."

" අපි මාළු ටික උයන්නේ නැහැ. උන්ව බැදගෙන කමු." මීෂා යෝජනා කළා.  " ඒක බොහොම ලේසියි."

" හොඳයි, බැදපන්.  නුඹ කැඳ උයන තාලෙට ඒකත් කරන්න යනවනම්,  වැඩිය හොඳයි නොකරන එක."

" විනාඩි දෙකයි, රෑට කෑමට මාළු ලෑස්තියි." මීෂා පුරසාරම් දොඩවනවා.

මීෂා මඩකරි ටික කපලා සුද්ද කරලා තාච්චුවට දැම්මා.  තාච්චුව රත් කළා.  දැන් මාළු ටික තාච්චුවට ඇලිලා තියෙනවා.

" මීෂා කවුද ඔහොම මාළු බදින්නේ...තෙල් නැතුව."

ඒ පාර මීෂා සූරියකාන්ත මල් තෙල් බෝතලයකින් තාච්චුවට තෙල් වක් කරලා ඒක ලිප උඩින් තිබ්බා.  එක පාරටම "හෝස්" ගාලා ගින්නක් ඇතිවුණා.  ඔහු එහෙම කළේ ඉක්මනට මාළු බදින්ටයි.  මීෂා බයවෙලා ඉක්මනට තාච්චුව ලිපෙන් අහකට ගත්තා.  දැන් තාච්චුවේ තෙල් පාවෙනවා.  ගිනි නිවන්ට මම තාච්චුවට වතුර දාන්න බැලුවා.  ගෙදර පොඩ්ඩක්වත් වතුර තිබුණේ නැහැ.  කාමරය පුරාම දුම් පිරිලා, මඩකරි ගඳයි, තෙල් ගඳයි හැම තැනම.

" දැන් ඉතින් අපි බදින්නේ මොනවද?" මීෂා ඇහුවා.

" ඉතින් මීට පස්සෙ නම් නුඹට කිසි දෙයක් බදින්ට දෙන්නෙ නැහැ.  නුඹ ගෙදර තියෙන කෑම ජාති විනාශ කරනවා විතරක් නෙවෙයි, ගෙටත් ගිනි තියාවි. නුඹ කළදේ හොඳටම ඇති!"

" මොනව කරන්නද? බොහොම බඩගිනියි නොවැ!" මීෂා කෙඳිරි ගෑවා.

අමු තිරිඟු ඇට ටිකක් අරගෙන හපන්ට බැලුවා. කන්නට බැහැ, අමු ළූණු කන්ට උත්සාහ කළා, ඒකත් බැහැ. පාන් නැතුව බටර් කන්ට බැලුවා, බටර් ගුලි නිකම් ගිලින්ට බැහැ, වමනය යන්ට වගේ. ජෑම් බෝතලයකින් ජෑම් කාලා නිදාගන්නට ලෑස්ති වුණා.

උදේ නැගිට්ටා බොහොම බඩගිනියි.  මීෂා නැවත කැඳ උයන්න ලෑස්ති වුණා.  ඒක දැකපු හැටියෙ මට යකා වැහුණා.

" නවත්වපන්! දැන් මම අල්ලපු ගෙදර නතාෂා නැන්දා ලඟට ගිහිල්ලා අපට කැඳ ටිකක් උයලා දෙන්ට කියලා ඉල්ලන්නම්."

අපි දෙන්නාම නතාෂා නැන්දා ලඟට ගිහිල්ලා වෙච්ච දේ එහෙම පිටින්ම ඇයට කිව්වා.  ඇගේ ගෙවත්තේ වල් පැලෑටි උගුල්ලලා සුද්ද කරලා දෙන බවට පොරොන්දු වුණා.  අපට උදේට කැඳ උයලා දෙන්න කියලා ඇගෙන් අපි දෙන්නම ඉල්ලා හිටියා.  අප නිසා නතාෂා නැන්දාට අනුකම්පාවක් ඇතිවුණා.  අපට ගෝවා දාපු රොටී කන්න දීලා, කිරි බොන්න දුන්නා.  අපි කන හැටි බලා හිටිය නතාෂා නැන්දාගේ පුතා වෝවා බොහොම පුදුම වුණා.

හොඳට බඩ පුරා කාලා, කඹයකුත් අරගෙන ලිඳට ගියා.  ඊයේ රෑ ලිඳට වැටිච්ච බාල්දියයි, කේතලයයි ගන්නට.  ඒවා එළියට ගන්න හැටි දන්නෙ නැතුව බොහොම වෙලාවක් අපි ළතවුණා.  මීෂා කිව්වා ලණුවට අස්ස ලාඩමක් බඳින්න කියලා.  අස්සලාඩම බිලීකටුව වගේ නේ.  ඉතින් අපි බාල්දියයි, කේතලයයි එළියට ගත්තා.  පස්සෙ මීෂයි මමයි, නතාෂා නැන්දගේ ගෙවත්තට ගිහිල්ලා වල් පැලෑටි උදුරලා එළවළු පාත්ති සුද්ද කළා෴
( තෝල්යා සහ ඔහුගේ යහළුවෝ.  නිකොලායි නෝසොව්.  පහන් ප්‍රකාශනයක්.)

Tuesday, May 15, 2018

මහබඹාට මුහුණු දෙකයි.


අප අතරින් කලකට පෙර වියෝවූ සුප්‍රකට නළුවෙක් වන ජෝ අබේවික්‍රම හෙවත් ජෝ මහත්තයා නළුවෙකු මතු නොවැ හොඳ ගැමියෙක් වගේම රසවතෙකි.  ජෝ මහත්තයා විසින් ලියන ලද මහබඹාට මුහුණු දෙකයි නවකතාව ඔහු අතින් ලියැවුණු එකම පොතවේ.  මේ පොතෙන් කියැවෙන්නේ රත්නපුර ලෙල්ලෝපිටිය නම් ග්‍රාමයේ ජීවත්වූ ගැටවරයෙකුගේ කතාවයි.  කාලය දෙවැනි ලෝක යුද්ධයට පෙර සමයයි.

පොත ලියැවෙන්නේ ජෝ මහත්තයා නළුවෙක් ලෙස සිය ජීවිතයේ ස්වර්ණමය යුගය ගතකරන කාලයේදීයි.  ගමක ජීවත්වන තරුණයෙකු අත්දකින ආදරය, විරහව, අහිමිවීම ආදිය මැනැවින් වටහාගෙන ලියැවී ඇති මේ පොතෙන් ගැමි සුවඳ මනා ලෙස වහනය වන බව අපට දැකගත හැකියි.

1972 දී පුබුදු පොතක් ලෙස පළමුවරට එළි දුටු මෙම පොතේ දෙවැනි මුද්‍රණය 1998 දී දයාවංශ ජයකොඩි සමාගමෙන් ප්‍රකාශයට පත්විය.  මම අද ඔබට කියන්නට යන්නේ ජෝ මහත්තයාගේ මහබඹාට මුහුණු දෙකයි පොතේ 6 වන පරිච්ඡේදයයි.

                                                        6
ගලගම අලියා ගැන ඇසු විට පවා ඇඟ හිරිවැටෙන තරමට අලියා පිලිබඳ ත්‍රාසජනක කතා ගම පුරා පැතිරී තිබිණි.  මේ අලියා ඇත් ගොව්වන් හතර දෙනෙකු ඇතුළු මිනිසුන් අට දෙනෙකු පාගා මරා දැමු මිනීමරු අලියෙකි.  අන්තිමට ගලගම අලියා රැක බලා ගත් තෙලේනිස් ඇත්ගොව්වා අලියා අතින් මරුමුවට පත්වූ පසු අලියා ගෙනැවිත් පරණවත්තේ ඇටඹ ගහේ බැඳ දමන ලදී.  අලියා මෙල්ල කරගෙන විත් ඇටඹ ගහේ බඳින ලද්දේ ඉතා අමාරුවෙනි.  කදිර නන්දනයා හා තවත් අලියෙකු ගේද ආධාර ඇතිව ගලගමයා මෙසේ බැඳ දැමු නමුත් ඌ දිගටම පෙරළි කරන්නට විය.

එදා මුළු ගමේ හැම ගෙදරකම කතාව වුයේ ගලගම අලියාගේ සිද්ධිය ගැනය.  බොහෝ දෙනෙක් ගලගම අලියා බැලීමට පරණවත්තට පැමිණියහ.  එය මුළු ගම පුරා ම ත්‍රාසයත් භීතියත් ඇතිකළ දිනයක් විය.  ගම පුරා පැතිරී තිබු මේ ත්‍රාසයෙන් විනෝදයක් ලැබීමට කස පුසානා සහ පචයා සැලැස්මක් සාදා ඇත.

අඳුර පැතිරී රෑ බෝවෙමින් තිබිණි.

" ගලගම අලියා කඩාගෙන එනවෝ" යැයි මහ හඬින් කෑ ගසමින් කස පුසානා ගම දෙවනත් කරගෙන දිව්වේය.  ධර්මදාස ගේ කඩේ තබා තිබු මිණිගෙඩි දෙක සොලවමින් පචයා ඔහු පසු පස්සේ දිව්වේය.  මේ හඬින් ගැමියන් කෙතරම් බියපත් වීද යත් මේ විහිළුව පහුවනදා වනවිට බොහෝ දුරදිග ගොස් තුබූ බව පෙනිණි.

පොඩිරත්න මැණිකේ ගේ මුහුණේ පියකරු භාවය දවසින් දවස වැඩිවෙයි.  දැන් ඇය පාසලේ පහනක් මෙන් බැබළෙයි.  ඈ පිළිබඳව මා තුළ පවතින ළෙන්ගතුකම ද දවසින් දවස ලියලනු මට දැනෙයි.  ඇතැම් දිනකදී ඇගේ මුහුණ දෙස ඇසිපිය නොහෙළා විනාඩි කීපයක් මම බලා සිටිමි.  ඇගේ දෑසේ කාන්තියද දැන් තියුණු වී ඇත.  ඇය සිනාසෙන විට පෙරටද වඩා වැඩි පින් පාටක් මුහුණට එක්වෙයි.

" ඊයෙ කවුද අර ගලගම අලියා කඩාගෙන එනවෝ කියලා ගම මැද්දෙන් කෑ ගහගෙන දිව්වේ?" පාසල පටන් ගන්නට පෙර පොඩිරත්න මගෙන් ඇසුවාය.

" පොඩිරත්න හිතුවද මම කියලා?"

" නෑ - ඒක තමයි විශේෂයෙන් ම කවුද කියල දැනගන්න ඇහැව්වෙ?"

" කසපුසානයි පචයයි - පචයා මිණිගෙඩිය හොල්ල ගෙන පස්සෙන් දුවල තියෙනවා.  කසපුසානා " අලියා කඩාගෙන එනවා" කියල ඉස්සරහින් දුවල තියෙනවා" මම මා දැන සිටි අන්දමට ඇයට සිද්ධිය විස්තර කළෙමි.

" ඊයේ හරියට මිනිස්සු බයවෙලා තියෙනවා.  කවදාවත් ගහකට නැගල නැති පීල්ලගාව මාටින් සිඤ්ඤෝ් බත් කකා ඉඳල අලිය එනව කියන සද්දෙට කොස්ගහකට නැගලලු.  බවලත් අය දොරවල් වහගෙන ගේ ඇතුළෙ ළමයි තුරුලු කරගෙන විලාප ගහල තියෙනවා"

" මම දන්නව නම් කසපුසානාට ඕක කරන්න දෙන්නෙ නෑ" මම බොරුවක් ගෙතුවෙමි.

" සුට්ටිං ටිකක් හොඳවේගන එනකොට ගෝලයො අන්තිමට නරක් වෙනවා"

" මම මේ දෙන්නම හම්බු වෙනකන් ඉන්නෙ, බනින්න"

" හුඟ දෙනෙක් හිතන්නෙ සුට්ටිං තමයි මේවා කරන්නෙ කියල"

ඈ පිළිබඳව මා හැඩ තුළ පවතින ළෙන්ගතුකම වැඩිවත්ම ඒ ළෙන්ගතුකම විසින් මගේ හැඩිදැඩි හැඟුම් ලිහිල් කරන සෙයක් මට දැනෙයි.  මගේ සිතෙහි උපදින ඒ ළෙන්ගතු බව මටම සිසිල සදන සීතල සෙවණක් වැන්න.  මම ඇය කෙරෙහි පැතිරී ගිය මහත් වූ දයාවකින් ජීවත්වීමි.  එය මට කිසියම් අස්වැසිල්ලක් ද සුවයක් ද මුසු පරමානන්දනීය හැඟුමක් ජීවිතයට එක්කරන්නකි.  ඇය එදා මල්වට්ටිය බුදු හිමිගේ සිරිපතුල ළඟ තැබුවේ මා වෙනුවෙන් කළ උදාර පැතුමක් ඇතිවද?  මා ඒ ගැන විමසුවිට ඇය මා හද විනිවිද යන සිනහවක් පා ආදරය දැල්වෙන දෑසින් මා දෙස මොහොතක් බලා උන්නාය.

මට ම නොදැනුවත්ව ම මගේ ජීවිතය කිසියම් ග්‍රහණයකට අසුවෙයි.  මා දැඩිව බැඳී වෙළී යන ඒ රැහැන්පට තදවන්නට තදවන්නට මට දැනෙන්නේ සුවදායක හැගීමකි. 

ගමේ ඉස්කෝලේ ඉගෙනීම නවත්වන්නට අපට සිදුවුයේ මේ කාලයේදීය.  පාසලේ පන්ති තිබුණේ අටවැන්න දක්වා පමණි.  වැඩිදුර අධ්‍යාපනය ලැබීමට කැමති ළමයින් රත්නපුරේ ඉංග්‍රීසි පාසලට යායුතු විය.  ළමෝ වැඩි දෙනෙක් ගමේ පාසලෙන්ම අධ්‍යාපනය නතර කළ හ.  මා ද ගමේ පාසලෙන්ම අධ්‍යාපනය නතර කිරීමට කැමැත්තක් දැක්වුවත් අයියාගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.  මා කෙසේ හෝ ටවුමේ ඉංග්‍රීසි පාසලට යායුතු යැයි අයියා කියා සිටියේය.  මා ඊට දැක්වූ අකමැත්ත ට වඩා අයියාගේ බලකිරීම විශාල විය.

පොඩිරත්න මැණිකේ ගේ අධ්‍යාපනය ගමේ පාසලෙන් නතර විය.  පොඩිරත්න ගේ පමණක් නොව ගැහැණු ළමයින් හැම දෙනාගේම පාහේ අධ්‍යාපනය ගමේ පාසලෙන් නතර විය.  අපේ කණ්ඩායමෙන් ටවුමේ පාසලට ඇතුළත් වුයේ මා සහ හීන් නිලමේ පමණය.

ගමේ පාසලෙන් අප වෙන් වූ දිනය ඉතාම දුක්බර දිනයක් විය.  අපට ඉගැන්වූ සියලුම ගුරුවරුන් වෙත ගොස් දෝතින් බුලත් හුරුළු පිළිගන්වා දෙපා අල්ලා වැන්දෙමු.  අප පාසලින් ඉවත්වී යන මොහොත මෙතරම් දුක්බර වේයැයි කිසිම අවස්ථාවක මම නොසිතුවෙමි.

මා ලොකු මහතාගේ දෙපා ළඟ වැටී සමුගන්නා විට ලොකු මහතා දෑස් කඳුළු පුරවාගෙන හැඬුවේය.

" ළමයිනි මම උඹලට ගැහුව නම් ගැහුවෙ උඹලගෙ ම හොඳටයි.  නැතිනම් අකරුණාවෙන් නොවෙයි.  වෙන ඉස්කෝලෙකට ගියත් හොඳින් ඉගෙනීම කරන්න ඕනෑ" ලොකු මහතා කීය.

මේ පංති කාමර තුළ ගතකළ සමනළ ජීවිතය යළිත් කිසිදිනක අප කරා එළඹෙන්නේ නැත.  අමනාපයකට හිත් නොහොඳවීම් ප්‍රශ්න ආදිය අතරින් අපි මේ සුන්දර මල් ලෝකයේ මෙතෙක් පියාසර කළෙමු.  අද ඒ යුගය සුන්දර සිහිනයක් මෙන් මැකී යයි.

මා මල්ලිකාආරච්චි ලඟට යන්නට පෙර ඔහු මා අසලට ආවේය.  ඔහු පැමිණ මොහොතක් මා දෙස බලා උන්නේය.  ඒ මොහොත හැඟීම් සිය දහස් ගණනක් ක්ෂණයකින් ඇති කළ මොහොතකි.  ඉන් පසු ඔහු උරහිස වටා අත යවා මා වැලඳ ගත්තේය.  ඔහුගේ දෑස කඳුලින් තෙත් වී ඇති බව මා දැනගත්තේ මල්ලිකාආරච්චි මා ඉදිරියේ සිට ගත් පසුයි.

එය ඉතා හැගීම් බහුල මොහොතක් විය.

" මාත් එක්ක තරහක් ඇතිකරගන්න එපා"

ඔහු සෙමෙන් කීවේය.

මා කිසිවක් නො දොඩා ඔහුගේ මුහුණ බලා උන් බව මතකය.  ඒ මොහොතේ කුමක් කිව යුතුදැ යි නිශ්චය කරගැනීම පවා දුෂ්කරය.  හැඟීම් බහුල චිත්ත ආකල්පය නිසා පොඩිරත්න මැණිකේ මුණගැසීමටත් මා වැළකීමෙන් සිටිය ද මයියොක්කා කොරටුව ඇගේ දෑස කෙළින්ම මගේ දෑස හා පැටලිණි.  අවට නිහඬය.  අප තනිවී සිටින බවක් දැනිණි.

කිවයුතු වචන රාශියක් මගේ දිවගට එයි.  එහෙත් කට අරින්නට තැත් කිරීමේදී සියල්ල අගුළු වැටී සිරවී ඇතුවාක් මෙන් මට දැනෙයි.  සිත හැඟුම්වලින් පිරෙයි.  දුක මහා මේරු පර්වතයේ බර සේ සිතට දැනෙයි.

" අපි ආපහු කවදාවත් ඉස්කෝලේ පන්තියේදී මුණ ගැහෙන්නෙ නෑ.  අද අපි ඉස්කෝලෙදි මුණ ගැහෙන අන්තිම දවස" මගේ වචන පිටවුයේ සිහින් හඬිනි.  පොඩිරත්න මැණිකේ ගේ දෑසට ගුළි වී තිබු කඳුළු කැට කීපය කම්මුල මත වැටිණි.

" අනේ ඉතින් අපට කොහෙද ටවුන් ඉස්කෝලවල ගිහින් ඉගෙන ගන්න පිනක්.  ටවුමෙ ඉස්කෝලෙට ගියාම මාව මතක නැති කරන්න එපා"

ඇය වචනයක් පාසා ඉකිබින්දාය.  මම ඇගේ සුරත වැළඳ ගත්තෙමි.  එය මා ජීවිතයේ මුහුණ පෑ කිනම් අන්දමේ අවස්ථාවක්  ද ?  යොවුන් විය සංකේතවත් කරන පහන් දැල්ලක් බඳු වූ පොඩිරත්න ගේ සිරුර ජීවිතයේ මුල්වරට ස්පර්ශ කළ අවස්ථාව එය විය.  දෝමනස්ස සහගත සිතිවිලි වලියෙන් වෙළී ගිය ඒ මොහොතේ කඳුළු රේඛා අතරින් අපි ඔවුනොවුන්ගෙන් සමු ගතිමු.  අප මයියොක්කා කොරටුව අසලින් මෑත් වන විට මල්ලිකාආරච්චි අප පසුකර ගමන් කළේය.

ගමේ පාසලෙන් වෙන් ව රත්නපුර ටවුමේ ඉංග්‍රීසි පාසලට ගිය මුල් දින කීපය තුළ සිතෙහි ඇති වූ සාංකාව හා පාළුව වැනි හැඟීම මා තුනී කර ගත්තේ හීන් නිලමේ ද මා සමග එකම පන්තියේ සිටි නිසාය.  නැතිනම් මුල් දින දෙක තුළ පවතින ප්‍රථම සාංකාව නිසා ටවුමේ පාසලට යන ගමන අත් හැරෙන්නට ඉඩ තිබිණි.

රෙද්දෙන් හා බැනියමෙන් මිදී කොට කලිසමින් හා කමිසයෙන් සැරසී සෝන් පැන ද අලුත් පත පොත ද අතැති ව ඇරඹි ටවුමේ පාසලේ ජීවිතය ගමේ පාසැල් ජීවිතයට වඩා විශාල වෙනසකින් යුක්ත වුවකි.  ළමයින් ගේ හැසිරීම කතාබහ මෙන්ම ජීවන රටාව ද ගමේ පාසලට වඩා බෙහෙවින් වෙනස්ව පැවතිණ. 

මා පාසැල් යාම් ඊම් කළේ බස් රථයෙනි.  ටවුමෙන් ගෙන්වා ගත යුතු කිසියම් දෙයක් ඇතොත් බොහෝ දෙනා ඒ කාර්යය පැවරුවේ මට ය.  ගම් වැසියන්ට ටවුමෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය ව තුබූ නොයෙකුත් උපකරණ මම මහත් ඕනෑකමින් ගෙනැවිත් දුනිමි.  ඒ නිසාම ඔවුහු මා කෙරෙහි මහත් ආදරයක් ඇතිව සිටියහ.

පාසල පිහිටා තිබුණේ කළු ගඟේ එගොඩ ඉවුරේ තරමක් උඩහට වෙන්නටය.  ගඟට කෙතරම් ආසන්නව පාසල පිහිටා තිබුණේද යත් පාසලේ උඩ සොල්දරයේ සිට කඩදාසි ඊතල සාදා වීසි කළ විට ඒවා කළු ගඟට වැටී පාවී යයි.

පාසලට ඇතුළුවන දොරටුව අසල ටොපි කඩල ආදිය විකුණන වෙළෙන්දෝ සිටිති.  ප්‍රධානාචාර්ය වරයා පාසලට ආවේ දිළිසෙන පිත්තල කාබයිට් ලාම්පු සවිකළ ක්ලච් පෝඩ් කාර් එකෙනි.  ඇතැම් ළමයි කයිස්ලර් රථවලින් ආහ.  ඔවුහු ජැන්ඩියට ඇඳ පැළඳගෙන පැමිණියහ.  ගුරුවරු සියලු දෙනාම කලිසම් කෝට් හැඳ ටයි පටි පැළඳ සිටියහ.  සිංහල පාඩම කියා දුන්නේ සතියකට දෙවරක් පමණි.  සිංහල පාඩම හා බුද්ධාගම උගැන්වීමට වෙරළුපේ හාමුදුරුවෝ පැමිණියහ.  සමහර ළමෝ තිරික්කල වලින් පාසලට පැමිණියහ.  ඇස්. ඇස්. සී වැනි ඉහළ පන්තිවල ළමෝ කලිසම් කෝට්වලින් සැරසී පන්තියට ආහ.

ටවුමේ පාසලට යන්නට පටන් ගැනීමෙන් පසු පොඩිරත්න මැණිකේ මට යළි මුණ ගැසුණේ එසේ යන්නට පටන් ගත් තුන්වැනි දවසේය.  එදින සවස ඇය බිබිල අසලදී මට මුණ ගැසිණි.

" අලුත් ඉස්කෝලෙට ගියාට පස්සෙ දැන් දකින්නත් අමාරුයි.  කොහොමද ඉස්කෝලේ හොඳද?" ඇය වතුර පනිට්ටුව නා මල් ගස යට තබා ඇසුවාය.

" වරදක් නෑ.  ඒත් මගෙ නම් එච්චර හිතට ඇල්ලුවෙ නෑ.  එහේ උදේට වතුවැඩත් නෑ.  පන්ති කාමර අස්කරන්න, තීන්ත ටික වක්කරන්න වැඩකාරයෝ ඉන්නවා.  අපට තියෙන්නේ ගිහින් වාඩිවෙලා පාඩම් බලන එක විතරයි"

" ඉතින් විවේක කාලෙදි මොකද කරන්නේ"

" අනික් ළමයි නම් බෝල ගහනවා.  නිලමෙයි මායි ගඟ අයිනට වෙලා බලා ඉන්නවා"

" ගෑනු ළමයිත් එනවද ටවුමෙ ඉස්කෝලෙට"

" ඔව් "

මොහොතක නිහඬතාවකට පසු ඇය මෙසේ කීවාය.

" එහෙම නැතිව බෑ නොවැ ඉංග්‍රීසි ඉස්කෝලෙනේ"

තවත් මොහොතක නිහඬතාවක් ඇති විය.

" අපිව මතක් වෙනවද පන්තියෙදි?" ඇය මා දෙස බලා සිටින්නේ කිසියම් ශෝකයකින් වැලපෙන දෑස යොමාද?

" පන්තියේදී විතරක් නෙමෙයි. හැම තිස්සෙම"

" මගෙ හිතට දුකයි"

" ඒ ඇයි?"

" මට ඒක විස්තර කරලා කියන්න බෑ.  සුට්ටිං ගැන හැම තිස්සෙම හුඟක් හිතනවා. මම සුට්ටිංට  ආදරෙයි"

ආදරය මතුකරන රසය මෙතරම් හැඟීම් බහුල එකක් වන්නේ ඇයි? ඇය පනිට්ටුව රැගෙන යන්නට සැරසී මා දෙස වරක් බැලුවාය.

" ටවුමෙ ඉස්කෝලෙට ගියාට මාව මතක නැති කරන්න එපා" ඇගේ වචන රැඳුනේ දෙසවනේ නොව හද පත්ලේය.

( මහ බඹාට මුහුණු දෙකයි, ජෝ අබේවික්‍රම. 1998. ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම)

Tuesday, May 8, 2018

ගිනි සිසිල.


අද ලියන්නට යන්නේ බොහොම පැරණි පොතක් ගැනයි.  පොත කොච්චර පරණ ද කිව්වොත් පොතේ මුල හරිය හෙවත් හැඳින්වීම, කර්තෘ ගේ සටහන මුද්‍රණය කළ වර්ෂය ආදී කිසිම දෙයක් නැත.  කතා ටික පමණක් ඉතිරිවෙලා ඇත.  මේ පොත නම් ලංකාවේ සිටි ශූර කතා කියන්නෙකු මෙන්ම පත්‍ර කර්තෘ වරයෙක්ද වූ පියසේන නිශ්ශංක මහතා විසින් ලියන ලද "ගිනි සිසිල" නම් පොතයි.  මේ පොතේ බොහොම රසවත් කතා විසිඅටක් අඩංගු වී ඇත.  මේ කතාවලින් මීට ශතවර්ෂයකට පමණ පෙර ලංකාවේ ජන ජීවිතය කෙසේ වීදැයි කියවන්නාට පැහැදිලි වෙ.  එකල ලංකාවේ ගැමි හා නාගරික ජීවිතය, මිනිසුන්ගේ ගති පැවතුම්, කතා බහ, ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත්, කෑම බීම ආදිය බොහොම රහට විස්තර කැරෙන කතා ටිකකි.  1889 වර්ෂයේ දී  ගණේමුල්ල, කැන්දලියැද්දපාළුවේ උපත ලද පියසේන නිශ්ශංකයන් පත්තරකාරයෙක් වුයේ අහම්බෙනි.  භාෂා පරිවර්තකයකු ලෙස ලේක්හවුස් ආයතනයට බැඳුණු නිශ්ශංකයන් සිළුමිණ පත්‍රයේ ආරම්භක කතුවරයා විය.  පසුව දිනමිණ පත්‍රයේ කර්තෘ ධුරය දැරූ එතුමා බුදුසරණ, සුබසෙත යන පුවත්පත් වලද ආරම්භක කතුවරයා විය.   එතුමාගේ වෙනත් පොත්වල නැවත මුද්‍රණ තිබුණත් මේ පොත නැවත මුද්‍රණය වී ඇති බවක් දැනගන්නට නැත.  පොත මට බොහොම වටින්නේ ඒ හින්දාය.  දැන් අපි මේ පොතේ එන 12 වෙනි කථාව කියවමු.

අනේ ! වෙච්ච දෙයක්.

ස්වකීය මව රැකබලාගැනීමට සිටියේ ජුවන් පමණය.  පියා ජීවත්ව සිටියදී මොන වැඩක් හරි කරලා පවුලට කන්ට දුන්නමුත් බරපතල රෝගයක් සැදී ඔහු මියගිය තැන් පටන් අම්මා රැකබලා ගන්ට සිදුවුණේ ජුවන්ටය.

මව රකින මේ ව්‍යාපාරයේදී ජුවන්ට හොරකම් කරන්ටද සිදුවිය.  නොවළල්ලෙන් පොල්ගස් යන්ට සමතෙකු වූ ඔහු වැඩියක් කළේ පොල් හොරකමය.  ජුවන් පමණක් නොව තවත් පොල් හොරු එකල ගමේ සිටියාහ.  නමුත් නියර මිටි තැනින් වතුර යන්නාක් මෙන් ගමේ ප්‍රධානයෙකුගේ වත්තක පොල් හොරකමක් ජුවන් පිටින් ගියේය.  ඒ පොල් හොරකම ගැන ජුවන්ට විරුද්ධව ගම්සභා උසාවියේ නඩු වැටුණි.  නඩුවට භයවූ ජුවන් ගමෙන් පැනගියේය.  ටික දවසකින් ඔහුගේ අම්මාත් නැතිවිය.  ඔවුන් ආගිය අතක් ගමේ කිසිවෙකුටවත් දැනගන්ට නොලැබිණ.  නමුත් අවුරුදු කීපයකට පසු ජුවන් මට හමුවිය.

එකල ඔහු හැදුණු වැඩුණු වයසේ ගැටයෙකි.  මට හමුවුණ දා ඔහු ටවුන් එකේ තාලෙට සරමක් ඇඳ මේස් බැනියමක් ඇඟලා කර වටා පට ලේන්සුවක් බැඳ කොණ්ඩේ කපා ජැක් පීරලා කයිමන් දොරකඩ ගැටයෙකු වගේ සිටියේය.

මා ජුවන් ඇඳිනගත්තේ මට කථාකොට වංහුං කීමෙන් පසුය.  ඒ මා හෙනරත්ගොඩ( දැන් ගම්පහ)අපේ මාමා කෙනෙකුගේ ගෙදර නැවතී ඉගෙන ගන්ට ඉස්කෝලේ යන කාලයයි.  අපේ මාමා ගුරුවරයකු නිසා වැඩිය හොඳින් ඉගෙන ගන්ට තාත්තා මා ඒ ගෙදර නැවැත්වීය.  ජුවන් මට හමුවුණේ එහිදී ඉස්කෝලේ ගිහින් එන අතර මගදීය.

" කොහොමද? පොඩි උන්නැහේ " යි ජුවන් මට කතා කළේය.

ඒ කාලේ මට ගෙදරට කියන්නේ පොඩි උන්නැහේ කියලාය.  එක පාරටම අඳුනාගන්ට බැරිව මම ජුවන්ගේ මුහුණ දෙස බැලුවෙමි.  " ඇයි අඳුනන්ට බැරිදැ "යි ඔහු වංහුං කියා තෙමේම මට හඳුන්වා දුන්නේය.

ජුවන් හොඳහිත ඇති කොළුවකු බව මම ගමේදීත් දැන සිටියෙමි.  ජුවන්ගෙ තාත්තාත් හොඳ හිතඇති මිනිහෙකැයි ඒ කාලයේ දී අපේ තාත්තා කියනවා මට ඇසී තිබේ.

නමුත් දැන් ජුවන් ඒ පරණ ජුවන්ට වඩා බොහෝ වෙනස්ය.  මම ඔහුගෙන් ඉන්න තැන විචාළෙමි.

" පොලීසියෙ ලොකු මහත්තයගෙ බෝයි " යි ඔහු කීය.

" කෝ අම්මා "

" ඒ බංගලාවේම කුස්සි අම්මා "

" එහෙනම් දැන් ජුවන්ලට සරු ඇති " යි මම කීමි.

" ඔව්, අපිත් ඔහෙ ඉන්නවා " යි කී ඔහු පොඩි උන්නැහේ දැන් කීයෙදැයි මගෙන් ඇසීය.

" හයේ " මම කීවෙමි.

" අපොයි, තවම හයේදැ" යි ජුවන් මට කවටකම් කරන්ට විය.

" ඔච්චර කල් ඉස්කෝලෙ ගියානම් මම නම් මෙලහකට අද්වකත් විභාගයත් පාස් කරලා "

කිව්වාම මොකද, ජුවන්ගේ ඒ කථාවට මට ලජ්ජා සිතී නිහඬව ඉන්නා විට ඔහු මා ඉන්න තැන ඇසීය.  මම ඉන්න තැන කීවෙමි.

" යමු, මාත් එනවා ඉන්න තැන බලා ගන්ට " යි කියමින් මා සමග ජුවන්ද ගියේය.  යන ගමන් ඔහු කඩයකට ගොඩවී සිගරැට් එකක් පත්තුකරගෙන මට සීනිබෝල ගෙනත් දුන්නේය.

ඉස්කෝලේ සිට අපේ මාමා තවමත් ගෙදර ඇවිත් නැත.  නාන්ටද කොහෙද ගිහින් නැන්දත් ගෙදර සිටියේ නැත.  සිටියේ ජේන් පමණයි.  මම ජුවන් සමග ගෙට ගොඩවීමි.  වෙනදා ඉස්කෝලේ ගිහින් ආ හැටියේම මම දුවන්නේ බත් පංගුව ළඟටයි.  නමුත් මෙදින ජුවන් නිසා මට ටිකක් බලා ඉන්ට සිදුවිය.  ජුවන් සිටින බවක් ජේන් දන්නේ නැත.  මගේ ප්‍රමාදය දැක " පොඩි උන්නැහේට අද බත් එපා වෙලාදැ" යි කුස්සිය පැත්තේ සිටි ඈ එළියට ආවාය.

ජේන් හොඳ හැඩහුරුකම් ඇති ගෙදරක ඉන්ට හොඳ සිරියාවන්ත ලමිස්සියකි.  ඈ බොහෝ කරුණාවන්තය.  කෙනෙකුට කතා කරපුවාම බඩ පිරෙනවාය.  ගෙදර සියලුම වැඩ කෙරෙන්නේ ඈ අතින් වුවත් ගෙදර නැන්ද මාමා ඇතුළු අප සියලු දෙනාම ඈට සලකන්නේ වැඩ කාරියක හැටියට නොවෙයි.  ගෙදරම කෙනෙකු හැටියටය.

ඉහත කී ලෙස එළියට ආ ජේන් ජුවන් දැක දොර ළඟ නැවතුණේ මොන කාරණයක් නිසාදැයි මම නොදනිමි.  ඒ ගැන විවරණ කිරීම චින්තකයන්ට භාරය.  නමුත් ඈ අසාගෙන ආ ප්‍රශ්නයට " ජුවන් ගියාම මම කනවා " යි මම උත්තර දුනිමි.

" ගිහින් කාල එන්ඩ, මම එතකල් ඉඤ්ඤම් " යි ජුවන් කීය.

" ජුවන්ට බඩගිනි නැද්ද? " මම ඇසුවෙමි.

" මෙච්චර වෙලා අපි ඉන්නෙ නෑ, දැන් අපි කාල හුඟක් වෙලා " යි ඔහු කීය.

" ඔයා ගිහින් කෑම කන්ඩ, මම එයාට තේවතුර කෝප්පයක් දෙන්නම් " යි ජේන් කීය.

මම බත් කෑමට ගියෙමි.  ජේන් තේවතුර වක්කරන්ඩ ගියාය.  තේවතුර කෝප්පයක් වක්කර ගත් ජේන් ඒකට සීනි දමන්ට මා කෑම කකා සිටි මේසය ලඟට ඇවිත් " කවුද ඒ යාළුවා " යි ඇසීය.

" ජුවන් " මම කීවෙමි.

" මහ අමාරු කාරයෙක් වගෙයි " ජේන් කීවාය.

" නැහැ, ජුවන් හොඳ මිනිහා " යි මම කීවෙමි.

ජේන් තේ කෝප්පෙට දැම්මේ සීනි විතරක් නොවෙයි.  වැනිලා ස්ප්‍රීතු බින්දුවකුත් දමා රස බලා ඈ එය ගෙනගියේ කොණ්ඩය හේමත් හදාගෙන ටිකක් සැරසිලාය.  ඈ තේ කෝප්පය ජුවන් අතට දී මා සිටි තැනට ඇවිත් තව වරක් ඒ කවුදැයි ඇසුවාය.

" ඇයි සැරයක් කිව්වා ඇහුණේ නැද්ද? එයා ජුවන් ! යි මම තරහෙන් මෙසේ කීමී.

අපේ මාමා හා නැන්දා එනතුරුත් බලා සිට ජුවන් උන්දලා එක්කත් කතා කර කර ඉඳලා යන්ට ගියේය.

පසුදා ඉස්කෝලේ ගොස් එනවිටද ජුවන් මට සම්බවිය.  ඒ ජුවන් මා සම්බවන්ටම ආ ගමනකි.  ඔහු ජේන් ගැන මතක් කළේය.

" ජේන් බොහොම හොඳ කෙනෙක් " මම කීවෙමි.

" ඔව්, මටත් තේරෙනවා" යි කී ජුවන් " මෙන්න මේක ජේන්ඩ දෙන්ට " යි මට පොතක් දුන්නේය.

"පොත මොකක්දැ "යි මම ඇසුවෙමි.

"ඕක මගේ සේවින්ස් බැංකු පොත, ඒක මම ජේන්ඩ දෙනවා" යි ඔහු කීය.

" ඒ මොකටදැ" යි මම ඇසුවෙමි.

" ජේන් හොඳ එක්කෙනා, එයාට මම කැමතියි.  ඒක නිසා මම එයාට ඒක දෙනවා, ඕකෙ පවුන් දෙසියයක් තියෙනවා"

මට කාරණය ටිකක් තේරී " ජේන් මහ වසයි" කීවෙමි.

" ඒකට කමක් නැහැ, ඕක දෙන්ඩ"

" උඹට අම්ම බනින්නේ නැද්ද?"

" ඒක මම බලාගන්නම්, ඕක ජේන්ඩ දෙන්ඩ"

" කොයින්ද උඹට මේතරම් සල්ලි" යි ඊළඟට මම ඇසුවෙමි.

" මට එහෙන් මෙහෙන් සම්බ වෙන ඒවා " යි ඔහු කීය.

" ඊයේත් මට රුපියල් විසිපහක් සම්බ වුණා.  ඊයේ පොලිසියෙන් ගියා කුකුල් කෙළියක් අල්ලන්ඩ.  ගිහින් එනකොට කුකුළන් පස්දෙනෙකුත් අහුවෙලා ගෙනාවා.  තිස් පොරක් දිනාපු අලගිරියගෙ හොඳ නම් දරාපු පුල්ලියත් එකෙක්.  වෙන කුකුලෙක් ගෙනත් දීල ඌ අරන් දුන්නොත් රුපියල් විසිපහක් දෙනවායි මට කෙනෙක් කිවුවා.  මම ඒ කුකුළ තියල අර කුකුළ අරන් දීල රුපියල් විසිපහ ගත්තා."

" මහ හොර වැඩක් නේද කරලා තියෙන්නෙ" යි මම කීවෙමි.

" කොහොමද? හොර වැඩක් වෙන්නෙ, කුකුළට කුකුළ ඉන්නෙ" යි ඔහු කීය.

" ජේන් අක්කා නම් ඕවාට කැමති වෙන්නේ නැහැ.  එයා හරි කෙළින් ගෑනි" යි කී මම ජුවන් දුන් පොත ගෙදර ගෙනගොස් " ජුවන් දුන්නා" යි මම ජේන්ට දුනිමි.

ජේන් එය ගත්තේ " හොඳයිකෝ? මේවායි කරන වැඩ. මම මහත්තයට කියල ඉල්ලල දෙන්නම්කො" කියමිනි.  නොකැමැත්තෙන් මෙන් වුවත් පසුව ජුවන් ගැන ඇසු තොරතුරු වලත් ඇගේ යටි හිතේ අකැමැත්තක් නැතිබව මට තේරිණ.

මේ පටන් ගැන්මයි.  පසුව මට ජුවන්ගේ පණිවුඩ ජේන්ටත් ජේන්ගේ පණිවුඩ ජුවන්ටත් ගෙන එන්ට සිදුවිය.  පසුව ඒ පණිවුඩ ලියුම් විය.  ඊළඟට ලියුම් සමග තෑගීබෝගත් විය.

අන්තිමට මේ හාදකම හොඳින්ම වැඩි දියුණුවී විවාහ යෝජනාවද කාගේත් කැමැත්තෙන් ස්ථිරවී තිබෙන අතරතුර ජේන්ට උණසන්නිපාත රෝගය වැළඳුණේය.

පුළුවන් තරම් දඟ දමා එවකට සිටි දක්ෂම වෙදවරුන් ලවා වෙදකම් කරවූ නමුත් රෝගය තදින්ම උත්සන්න විය.  ගෙදර වෙදකම් කර බැරිතැන අන්තිමට ජුවන්ගේ ඕනෑකම පිට කොළඹ මහ ස්ප්‍රිතාලයටද ගෙනගිය නමුත් එයින්ද කිසි පිළිසරණක් නොලැබ ඇගේ අන්තිම මොහොත ලඟාවිය.

එදා රෑ මමත් ජුවනුත් ඇඳ ළඟය.  ඈ මා ලඟට කැඳවා සෙමින් අත ඔසවා මගේ ඔලුව අතගෑවාය.  ඊළඟට ඈ ජුවන් ළඟට කැඳවා කනට කර සිහින් හඬින් මොනවාදෝ කීවාය.  ඒ කීදේ මට ඇසුණේ නැත.  ජුවන්ගෙන් ඇසු නමුත් ඔහු මටවත් ඒ කීදේ කීවේ නැත.

ඈ අන්තිම හුස්ම හෙළුවේ ජුවන් ඇගේ අතින් අල්ලාගෙන ඔහුගේ කඳුලෙන් ඇගේ මුහුණ තෙමමින් සිටින විට හා මා ඇගේ කකුල් අතගාමින් සිටින විටය.

හේවිසි බෑන්ඩ් තූර්යනාදාදිය ඇතිව ජුවන් බැංකු පොතේ සල්ලි වලින් බාගෙකටත් වඩා වියදම් කර ඇගේ භූමදානය මහත් ගරු බුහුමනින් කරවා ඉතිරි මුදල් අම්මාට දී හිසත් බුගාවා ගෙන එදිනම පිටවී කොහේදෝ ගිය ගමන් හැරී ආවේ නැත.

වැඩු මහල් සොහොයුරියක්වත් නොකරන තරමට මට ආදරයෙන් සංග්‍රහ කළ ජේන් අක්කා නැතිව මාමාගේ ගෙදර ඉන්ට බැරි නිසා මමද අඬ අඬා ගෙදර යන්ට ගියෙමි.  අනේ! අපට වෙච්ච දෙයක්

( ගිනි සිසිල, පියසේන නිශ්ශංක. 1965 /ප්‍රකාශනය. ඇම්.ඩී ගුණසේන සහ සමාගම.)