Wednesday, June 27, 2018

පානම්පත්තුවේ අසිරිය.

                                       පිංතුරය: Google Images.
අගෝස්තු මාසය ගමට ගෙන දෙන්නේ දැඩි නියඟය සමග වියලි සුළඟකි.  ගැමියනට එය විවේක සුවය ගෙන දෙන මාසයකි.  යල් කන්නයේ අස්වනු නෙලා අවසන්ව මහ කන්නයේ හේන් කැපීමට හා කුඹුරු කෙටීමට පෙර විවේකය ගෙන දෙන්නේ මෙම මාසයයි.  ළිං පතුල් දක්වා දිය සිඳී යන්නේ වැහි කඳුලක් නොලැබෙන බැවිනි.  එකල දිවා කාලයේ ගැමියන් දාහය නිවා ගැනීමට ගෙමිදුලේ හෝ ගෙවත්තේ තුරු සෙවණ යට කල් මැරීම සුලභ දසුනකි.

" තුන් කසෙන් දාඩිය බේරෙනවා, පුදුම පෑයිල්ලක් වට්ටවිදානේ.  හරකුන්ට කන්ඩ වල් ගහක් හොයා ගන්ඩ නෑ.  උන්ට බොන්ඩ වතුර උගුරක් නෑ.  උල්ලවෙල, කිඹුලාවල හිටං වතුරු හිඳිලා.  පැළිවළං පැලිලා බොටා" යැයි පවසමින් පැමිණි සයින් මාමා ගෙමිදුලේ කොස් ගස් සෙවනේ විවේක සුවයෙන් සිටි පියා අසල ඉඳ ගත්තේය.

" පෑයිල්ලේ තරම කිව්වොත් ගේ ඇතුළෙත් ඉන්ඩ හිටින්ඩ බෑ බොටා.  ඒක හින්දා තමයි මේ හෙවණට ඇවිල්ලා ඈඳි ගත්තේ" යැයි පියා කීය.

" උඹලට කිව්වම මොනා, දවල්ට බත් කෑවෙත් අපි මේ හෙවණේ මයි.  ඒ කාපු ගමන් තමයි මේ ඉන්නේ."  මවද කතාවට එක්වූවාය.

" හැබෑටම බත් ටිකක් කමුං කොයි." පියා දිවා ආහාරයට සයින් මාමාට ආරාධනා කළේය.

" එපා වට්ටවිදානේ, මාත් කාපු ගමන්මයි බොටා ආවේ.  විටක් කන්ඩ තැනුවා, බැලින්නම් දුංගල නෑ.  ඒ ගමන් මේ මෙහෙට්ට පනං උනේ" යි පැවසු සයින් මාමා හඬ නගා සිනාසුණි.

" එහෙනං කාපල්ලා කොයි බුලත් ඉටක්" යැයි පවසමින් මව ඉලත්තට්ටුව ඔහු වෙත දිගු කළාය.

සයින් මාමා අපේ අසල්වැසි ඥාතියෙකි.  ඔහු පියාගේ කූට්ටු කාරයාය, එනම් ගජ මිතුරාය.  එමෙන්ම ඔහු අපේ කරත්තකාරයාය.  අපගේ හේන් කුඹුරු වැඩ සඳහා කරත්තයේ සේවාව සැපයුවේ ඔහුය.

" වට්ටවිදානේ, මං මේ ආවේ විසලමකටත් එක්ක"  යැයි හීන් හඬින් පැවසු සයින් මාමා සුරතේ මැදගිල්ල හා දබරැඟිල්ල තද කොට ඈතට බුලත් කෙළ පහරක් විද්දේය.

ඔහු දැන් වැදගත් යමක් පියාට පවසන්නේ යැයි ඉඟි වැටුණු මම පියා අසලටම ගොස් ඉඳ ගත්තෙමි.

" මොක ඩා අප්පා විසලම?" යැයි කුතුහලයෙන් ඇසු පියා දැඩි අවධානය යොමු කළේය.

පියා අබිබවා යමින් මම අවධානය යොමු කළේ ඔහුගේ මුහුණ දෙස දෑස් දල්වමිනි.

" හෙට උදේ සැහැරියේ ම කුණු කොළ ලුණු කඩන්න යමුල්ලා කොයි බොටා." ඔහු යෝජනා කළේය.

" මමත් මේ හිත හිතා හිටියේ ඕක තමයි වෙද.  මෙදා කුණු කොළ ඇල්ලේ ලුණු වැටිලලු නේ බොටා හරියට." පියා කීය.

" ඊයේ ආත්තා කෙල්ල එහෙම අපිට ලුණු ගෙල්ලා දුන්නා.  මහදොබ්බ ලුණු කැට.  නිකං කිරි කෝපතේ වගේ හුදුම හුදු පාටයි, පංකාදු ලුණු ටික." මව පැවසුවේ ඔවුන් දිරි ගන්වමිනි.

දැඩි නියඟයට කුණුකොළ කලපුව හා අවට දිය කඩිති සිඳී ගොස් එහි දියලුණු තැන්පත් වේ.  මෙම ස්වභාවික ලුණු ලේවායකට ගොස් ගැමියෝ තමන්ට වසරකට පමණ සෑහෙන සේ ලුණු කඩාගෙන පැමිණෙති.  වසරක් පාසා එළඹෙන නියඟය මෙසේ වාර්ෂික ලුණු අස්වැන්නක් ඔවුනට උරුම කර දෙයි.

දෙමළ ජන ගී රාවයක් උස් හඬින් ඉඳිකඩුල්ල දෙසින් මතු වුයෙන් සියල්ලෝම එදෙස දෑස් දැල්වුහ.

" කන්ඩස්සරෙන් ම මං හිතුවා මනුවෙල් කුට්ටුකාරයා තමයි එන්නේ කියල බොටා." සයින් මාමාගේ මුහුණ සතුටින් පිරී ගියේය.

මනුවෙල් මුත්තාගේ පැමිණීම සයින් මාමාට වඩා මගේ සිත් ගත්තේය.  ඒ මනුවෙල් මුත්තාගේ ජනකතා, ජනකවි, ජන ගී හා උපහැරණ කතා ආදිය ඇසීමට ඇති මගේ නොතිත් ආසාවයි.  එයින් තොර ඔහුගේ වෙනත් කතා බහක් නොමැති තරම් ය.

" ඈඳි ගනිල්ලා කොයි මාමා වංගෙඩියෙන්" යැයි පවසමින් පියා ගරුසරුව ඔහුට වංගෙඩිය පෙන්වුයේ අත දිගු කරමින් ය.

" මෙහෙම පායන්ඩ හිටියොත් ඩප්පා බඩේ විසාදියටම ඔක්කොම මැරිලා කම්මුතු වෙයි.  මේ දවස්වල බඩපුරා වතුර ජාති බොන්ඩ ඕනි.  රණවරා, පොල්පලා, කුරුම්බා වගේ එව්වා.  කැකිරි, තියඹරා, කුමුදු වගේ වතුරු කෑම කන්ඩත් ඕනි."  වංගෙඩියට බර දුන් මනුවෙල් මුත්තා කීය.

" මාමා බත් ටිකක් කමුල්ලැයි." මව ඔහුටද දිවා ආහාරයට ආරාධනා කළාය.

" මං කාලා බවෝ ආවේ.  වට්ටවිදානේ එහෙම කාපල්ලා කොයි.  මං විටක් කන්නල්ලා කොයි."  ඔහු ඉලත්තට්ටුව සුරතට ගත්තේය.

" හා හා විට කන්ඩ එපා.  අපිත් කාලා ඉන්නේ, පොල්පලා උගුරක් බොමුල්ලා කොයි."  ඔහුගේ බුලත්විට කෑම වළකා දැමු මව පොල්පලා තැම්බුම රැගෙන ඒමට කුස්සිය දෙසට පා තැබුවාය.

" මොනා කුට්ටුකාරයා උඹලා එකලා මේ දොඩ දොඩා හිටියේ?"  මනුවෙල් මුත්තා සයින් මාමාගෙන් විමසමින් කතාවකට මුල පිරීය.

අපි මේ කුණුකොළ ලුණු කඩන්න යන්ඩ කියලා බොටා." සයින් මාමා කීය.

" ආං හොඳයි,  පංකාදු පහයි, හොඳයි, හොඳයි."

" මාමත් එනවද එහෙනම් හෙට ලුණු කඩන්ඩ යන්ඩ?" පියා  විමසීය.

" නැතුං නැතුං ." ඔහු එය තහවුරු කරමින් එකඟතාව පළ කළේය.

" මාත් එනවා."  එවිට මගේ මුවින් වචන පැන්නේ මටත් නොදැනීය.

" ඔව්,ඔව්,ඔව් හීන් වට්ටවිදානේ එන්ඩ ම ඕනි බොටා."  එක හෙලාම පැවසු මනුවෙල් මුත්තා මගේ සුරතින් ඇද තමන් අසලට කැඳවා ගත්තේය.

ඔහු මගේ හිස ආදරයෙන් පිරිමදිමින් පියා දෙස නෙත් දැල්වීය.

" ඉතිං වට්ටවිදානෙගෙන් පස්සේ අපිට ඉන්නේ හීන් වට්ටවිදානේ වෙද බොටා.  එව්වා මෙව්වා ඔක්කොම වැඩපොළ දැන්ම ඉඳලා කොල්ලට පුරුදු කොරන්ඩ එපැයි."  මනුවෙල් මුත්තා එසේ පවසන විට මගේ ගත සිත සතුටින් පිරී ඉතිරී ගියේය.

" ලුණු කඩන්ඩ ගිහිල්ලා හෙන්දත් වීගෙන, ඇඟපතේ ලුණු කැහිල්ල හදාගෙන එන්ඩ යන්ඩ? ගියොත් බලාගෙනයි."  පොල්පලා තැම්බුම් වතුර රැගෙන එමින් මව පැවසුවේ නොරිස්සුම් ලෙසය.

එවිට පියාගේ කට කොනක සිනා රැල්ලක් ඇඳී ගියේය.  පොල්පලා වතුර බොමින් හෙට ලුණු කඩන්ඩ යන ගමන ගැන ඔවුහු සාකච්ඡා කළහ.

" එහෙනං බොටා හෙට කුකුළා අඬනකුට මං කරත්තෙ අරගෙන වට්ටවිදානෙලාගෙ කඩුල්ල ගාවට එන්නල්ලා.  මනුවෙල් කුට්ටුකාරයා කිඹුලාවල ගාවට ඇවිල්ලා ඉඳපල්ලා කොයි." අවසන් එකඟතාව නැවත සිහිපත් කරමින් සයින් මාමා සමු ගත්තේය.

" එහෙනම් මාත් යන්නල්ලැයි කොයි බවෝ." මනුවෙල් මුත්තා ද පිටත්ව ගියේය.

රාත්‍රී ආහාරයෙන් පසු පියා හෙට ගමනට අවශ්‍ය කළමනා සුදානම් කළේය.

" ගෝනි දෙක හරි, පොල් කටු දෙක, තල කොළ පෙට්ටිය...." ඔහු එකින් එක පසෙකින් තැබීය.

" ඇයි මේ පොලු කෑල්ල" යැයි පවසමින් මම අතකොළුවක් වැනි පොලු කැබැල්ල පියා අතට දුන්නෙමි.

" ඔයි පන්දම් අල්ලන්නේ හෙට අප්පා එක්ක පනං වෙන්ඩ බලාගෙන වෙන්ඩ ඇති." මව පැවසුවේ මා දෙස බලා උපහාසයෙනි.

" හආ, යන්ඩ තමයි. නේ තාත්තා? මාත් එක්ක යනවානේ?" මා එසේ පියාගෙන් විමසුවද පිළිතුරු ලැබුණේ මවගෙනි.

" උඹ ගියොත් බලා ගෙනයි, දර දට්ට අව්වේ පිස්සිලා, ලුණු වතුරෙ නටලා කැහිල්ල හදාගෙන එන්ඩ."

මවගේ විරෝධය නොතකා පසු දින හිමිදිරියේම ගමනට මා එක්කර ගැනීමට පියා වග බලා ගත්තේය.

සයින් මාමාගේ බර කරත්තයේ නැගී ලන්තෑරුම් එළියෙන් ගමන් ඇරඹු අපට කිඹුලාවල අසලදී මනුවෙල් මුත්තා ද පොරොන්දු වූ ලෙස එක්වූයේය.

අප කුණුකොළ ඇල්ල හෙවත් කුණුකොළ කලපුව අසලට පැමිණෙන විට නැගෙනහිර අහස රත් පැහැයට හැරෙමින් තිබිණ.  හිඳීයන කලපුවේ ජල කඳ රැළි නැගෙමින් තිබුණද එහි වාටියක හැඩයට කිරි සුදු පැහැයෙන් බැබළෙමින් දිය ලුණු පවුරු බැඳ තිබිණ.  අවට දියකඩිති සිඳී දිය ලුණු මල් පිපී තිබුණේ ඉමහත් අලංකාර ලෙසය.

අමුඩුවලින් විළි වසාගත් තිදෙනා පොලු කැබැල්ලක් හා තල කොළ පෙට්ටිය බැගින් ගෙන සන්නද්ධව දියලුණු පවුරු සමග සටනට බටහ.  ඔවුහු දෑඟිලි රෙදි කැබලි වෙලා ආවරණය කරගෙන සිටියහ.

පොලුවලින් පහරදී දියලුණු කැටිති බිඳ, තල කොළ පෙට්ටිවලට පුරවා ගන්නා ඔවුහු දිය බේරෙන දියලුණු අසල ගල් තලාව මත තුනී කළෝය.

වරෙක පියා පොල් කටුවක් ගෙන උකු ලුණු දිය පතුලේ රුවා එහි තැන්පත් ව ඇති ලුණු සූරා තලකොළ පෙට්ටියට හෙළී ය.

" තාත්තෝ, ඒ අප්පෝයි මාත් ලුණු කඩන්නන් කොයි." මම දියලුණු කැඩීමට පියාගෙන් අවසර පැතුවෙමි.

හීන්වට්ටවිදානේ, ඉර එළිය වැටෙන්ඩ වැටෙන්ඩ ලුණු වතුරට ඇඟ ගිනි ගන්නවා වගේ, කැහිල්ල හැදෙනවා.  ලුණු කඩන එක බලාගෙන ඉන්ඩ බැරිනම් බොටා ගිහිල්ලා කරඹ කඩලා කාපං" මනුවෙල් මුත්තා කීය.

ලුණු කැඩීමට අවසර නොලද මම කරඹ ගාල වෙත දිව ගියෙමි.  හිරු මුදුන්වීමට පෙර ඔවුහු ද ලුණු අස්වනු නෙලා අවසන් කළහ.

" මේ මොනා තාත්තෝ, මේ ලුණු වැලි පෙට්ටිය ඩප්පා?"

" ඕක අරගෙන යන්නේ කුඩු ලුණු හදන්ඩ."

" ඒ කොහොම ඩප්පා?" මම පුදුමයෙන් ඇසුවෙමි.  එය පැහැදිලි කළේ සයින් මාමාය.

" ලී තුනක් අරගෙන කරුවක් හදලා මැටි මුට්ටියක පතුල හිල් කොරලා පෙන්නාඩයක් දාලා, මේ ලුණු වැලි දානවා.  ලුණු වැලි මුට්ටියෙන් පෙරෙන වතුර භාජනේකට එකතු කරලා ලිප තියලා උණු කොරලා ලුණු කුඩු හදා ගන්නවා."

" ආව්...ආව්... නියමායි.  එතකොට මට අමු අඹ, අමු දෙබර, අමු සියඹලා ලුණු කුඩු එක්ක කොටා බාන්ඩ ඈකි බොටා." මම සතුටින් උඩ පැන්නෙමි.

ලුණු අස්වනු සයින් මාමාගේ කරත්තයේ පටවා ගත් අපි ගම්මානය බලා ගමන් ඇරඹුවෙමු.

( පානම්පත්තුවේ අසිරිය. ගුණසේකර ගුණසෝම. 2009.  ප්‍රකාශනය: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.)

13 comments:

  1. ගුණසේකර මහත්තයාගේ පානම්පත්තුවේ සිට ලියමි කියලා අපූරු පොතක් කියෙව්වා... පානම්පත්තුවේ ගැමි දිවිය අපූරුවට විවරණය වෙන පොතක්... ඒකට කොච්චර වහවැටුණද කිව්වොත් පොතේ පිටු අතට දියවෙලා ගිහිං... (කොහොමටත් ඒ පොතේ ප්‍රින්ට් කොලිටි එක බාලයි)
    ඒ පොතේ පොඩි අඩුපාඩුවකට දැක්කේ ගැමියන් මූණ දීපු අතවර එකක්වත් සටහන් නොවීම.. අඩුගානෙ අලියෙක්ගෙන් වත් ගැමියන්ට කරදරයක් තිබුණෙ නැද්ද කියලා පුදුමයි...
    කොහොම වෙතත් ඒ පොතේ ඉඳපු ගැමි දරුවා ජීවිතේ වින්දනය කළ හැටි හරිම අපූරුයි... කැලේ කොලේ පැනලා ගඩාගෙඩි කාලා ඕඩෙ පැනලා නාලා...

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව හරි. මේ පොතේ ඒ වගේ වන සත්ව කරදර මොකුත් නෑ.

      Delete
  2. පානම් පත්තුවේ ගැමියන් කතාකරන භාෂාවත් හරිම අපුරුයි. තමන් කියවූ පොතක් ඇසුරෙන්, අමුතුම ආකාරයේ ගැමි දිවි පෙවෙතක් පිලිබඳ අගනා සටහනක් තැබීම ගැන හැලප මල්ලිට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයා අයියෙ. ඔබේ පෙර කමෙන්ටුවකට අපතයෙක් ලියා තිබු දේ ගැන කණගාටුයි.

      Delete
  3. Replies
    1. පානම් පත්තුවේ භාෂාව දෙමළ බසත් එක්ක මුහුවෙලා ආපු මිශ්‍ර එකක්. මේක මුලින්ම නිරාවරණය වෙන්නේ මායාරංජන්ගේ දිගාමඩුල්ලේ ආශ්චර්යය පොතෙන්. ඊට පස්සේ පියසේන කහඳගමගේ සූරීනුත්, ගුණසේකර ගුණසෝම (ඉහත කී දෙන්නාම පානම්පත්තුවට පිටස්තරයන් -මායාරංජන් - ගම්පහ, කහඳගමගේ - බද්දේගම- වන අතර ගුණසේකර ගුණසෝම පමණක් ඔරිජිනල් පානම් වැසියෙකි) දෙදෙනාත් පානම්පත්තුව ලෝකයට ගෙන යනවා. මේ වැසියන් වෙල්ලස්ස සටනින් පසුබැස ආ සිංහලයන්ගෙන් පැවත එන බවත් ඔවුන් ආරක්ෂාව උදෙසා තම වාසගම් වෙනස් කොට ගෙන ඇති බවත් පැවසෙනවා. පසුව දෙමළ ජාතිකයන් හා මිශ්‍ර වීම නිසා ඔවුන්ගේ නම් ගම් පවා දෙමළ උෟරුවට හැඩ ගැහුණා. මේ ලේඛකයාගේ නම පවා එහෙමයි... ගුණසේකර තාත්තා ගුණසෝම පුතා

      Delete
    2. ඒ පළාතේ ජන ජීවිතය ඉතා තදින් එකිනෙක මිශ්‍රවීම නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙනවා.

      Delete
  4. පාඨලී රෝහණ ජයන්තගෙ "වණසරණිය හා පානම්පත්තුව" කියවල තියනවද?

    වෙන ප්‍රදේශවලට වඩා පානම්පත්තුව ගැන පොත් මෑත කාලයේ ලියවුනා.

    ReplyDelete
    Replies
    1. නැත.
      ඔව් මෑත කාලයේදී පානම්පත්තුව බොහෝ කතාබහටත් ලක්වුනා නොවැ.

      Delete
  5. ලංකාවේ අන්ත දුෂ්කර පළාතක උනත් වර්තමානයේ මේ වගේ භාෂා ව්‍යාරයක් භාවිතා කරන්නේ නැහැ. එක්කෝ පත්තර, පොත්, ටෙලිවිෂන් වැඩ සටහන් වලදී ඒවා ලියන/ කරන අයට හිතෙන දේවල් දලාද මේ?

    එහෙම නැත්තං මේ කතාව ලියවෙන්නේ අදින දශක ගණනාවක් එහා අතීතයක් ගැන වෙන්නට ඕනි.
    වැදී ජනතාවත් මිට වඩා මොඩ් සිංහල භාවිතා කරනවා.

    මේ වගේ ගොන්පාර්ට් පත්තර වලත් තියෙනවා. උනුත් කොහේ හරි ගමක ඉන්න මිනිස්සු ගැන ලිපියක් ලියද්දි ලියන්නේ ගමේ උන් ක්‍රිස්තු පුර්ව යුගවල ඉන්න එවුන් කියලා. මේ වගේ ගොන් ආතල් නං කියවන්නේ නැති එකම හොදයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ මේ මීට දසක ගණනකට එහා අතීතයේ භාවිතාවූ භාෂාවයි. බොහෝ විට දැන් ඒ භාෂාව පාවිච්චි නොවනවා වෙන්න පුළුවනි.

      Delete
  6. "හිටං" වුවද නීරස වී ඇති කලට
    "බොටo" කෙලෙස ජන වහරේ රැඳෙන්නද?

    ReplyDelete