Wednesday, August 1, 2018

සත්පුරුෂයා හා අහිංසකයා.


ෆ්‍රැන්කෝ මාරි ඇරුයේ (1694 - 1778) වොල්ටෙයර් ගේ මුල් නමයි.  ඔහුගේ පියා නොතාරිස්වරයෙක් විය.  ඔහු පැරිසියෙහි ජෙසුයිට් පාසලක අධ්‍යාපනය ලැබුවේය.  වොල්ටෙයර් ගේ පියා බලාපොරොත්තු වුයේ ඔහුට නීතිය උගැන්වීමටය.  එහෙත් මේ තරුණයා සාහිත්‍යය තමා ගේ ජීවිකා වෘත්තීය කර ගත්තේය.  ගී, කාව්‍ය සහ උපහාස සාහිත්‍යය පිලිබඳ ප්‍රසිද්ධියක් ලබාගත් ඔහු පැරිසියෙහි විදග්ධ සමාජයට පිවිසියේය.  රජතුමා පිළිබඳව උපහාස කාව්‍යයක් රචනා කිරීමේ වරදට හය මසක සිර දඬුවමක් ලැබූ ඔහු එම කාලය ගත කළේ බැස්ටීල් බන්ධනාගාරයේය.  එයින් නිදහස් වූ පසුව ඔහු තමාගේ මුල් ඛේදාන්ත නාට්‍යය වූ Oedipe 1718 ලියා රඟ දැක්වීය.  පැරිස් නුවර රඟ දැක්වූ නාට්‍යය බෙහෙවින් සාර්ථක විය.  ඔහු La Henriade නම් වීර කාව්‍යය සිරගෙදර දී රචනා කළ අතර වර්ෂ 1724 දී එය ප්‍රකාශයට පත් කළේය.  සමකාලීනයන් ගේ මතය අනුව, ඔහු හෝමර් සහ වර්ජිල් නම් ශ්‍රේෂ්ඨ කවීන්ගේ තත්ත්වයට පත් වුයේය.

දෙ වන වතාවටත් සිරගත කරන ලද වොල්ටෙයර් එයින් මිදුණු පසු තෙ වසරක කාලයක් එංගලන්තයෙහි ගතකළේය.  එරටෙහි බුද්ධිමය වැඩ කටයුතු හා වඩා ප්‍රජාතාන්ත්‍රීය පාලන ක්‍රමය ගැන ඔද වැඩුණු සිතින් යුතුව ඔහු ආපසු ප්‍රංශයට පැමිණියේය.  ඔහුගේ එම උනන්දුවත් ප්‍රංශ ආණ්ඩු ක්‍රමය ගැන ඔහු එල්ල කළ දෝෂාරෝපණය ත් 1733 ලියා පළ කළ Philosophic Letters නම් ඔහුගේ කෘතියෙන් ප්‍රකාශ විය.  මේ කෘතිය ප්‍රංශයෙහි විකිණීම සපුරා තහනම් විය.

ඉතිරි පහළොස් වසර ඔහු ගත කළේ ඔහුගේ මිතුරියක වූ ෂාටිලේ මැතිනිය ගේ ගම්බද නිවසෙහි ය.  ඔහු තමාගේ 'සාදිග්' නම් කෘතිය එහිදී රචනා කළ අතර වඩාත් ජනප්‍රිය වූ ඛේදාන්ත නාට්‍ය කිහිපයක් ද රචනා කළේය.  " Century of Louis XIV" නම් කෘතිය රචනා කිරීම ද ඔහු ආරම්භ කළේ මෙහි දී ය.

තම මිතුරිය වූ ෂාටිලේ මැතිනිය 1749 දී මිය යෑමෙන් පසුව ඔහු දිග කාලයක් ගත කළේ මහා ෆෙඩ්රික් රජු ගේ මාළිගයෙහි ය.  වසර කිහිපයක පටන් රජු හා ඔහු අතර ලිපි ගනු දෙනු සිදු විය.  එහි දී ඔහු ඓතිහාසික කරුණු පදනම් කැර ගත් තමා ගේ Essay on Customs නම් වූ කෘතිය ලියා නිමකළ අතර Philosophic Dictionary කෘතිය ලිවීම ආරම්භ කළේය.  වර්ෂ 1753 දී ඔහු ප්‍රසියාව හැර යෑමට තීරණය කළද ප්‍රංශයෙහි තමාට ආරක්ෂාව නොලැබෙන බව දැන සිටියේය.  එබැවින් දෙ වසරක් පුරා අරමුණින් තොරව සංචාරයේ යෙදුණු ඔහු ජිනීවා නගරය අසල පදිංචි විය.  එහි ෆර්නි ගම්මානයෙහි ඔහු නිවෙසක් ද තනා ගත්තේය.

මේ අවසන් විසි වසර තුළ ඔහු තමාගේ ඉතා සාර්ථක කෘතීන් වන Candid හා The Child of Nature ප්‍රකාශයට පත් කළේය.  රාජ්‍යයෙහි හා පල්ලියෙහි දඬුවම්වලට හා ඒකාධිපතිත්වයට විරුද්ධව ඔහු දැඩි ලෙස පහර දුන්නේ මේ අවධියෙහි දී ය.

වර්ෂ 1764 අග භාගයේ දී වයස විසි හතරක තරුණයෙක් ප්‍රංශ දේශ සීමාවෙහි පිහිටි ෆර්නි ගම්මානය බලා ගමන් කරමින් සිටියේය.  ඔහු යමින් සිටියේ වොල්ටෙයර් බැහැ දැකීමටය.  ඔහුගේ නෙත ගැටුණු වැදගත්ම දැය වුයේ පල්ලියකි.  එහි පුවරුවක මෙසේ සඳහන් ව තිබිණ.

( දෙවියන් වහන්සේ උදෙසා වොල්ටෙයර් විසින් ගොඩ නංවන ලදී - 1761 )

එසේ වොල්ටෙයර් හමුවීමට ගිය තරුණයා වුයේ ස්කොට් ජාතික ලේඛකයෙකු වූ ජේම්ස් බොස්වෙල් ය.  මෙම ප්‍රකාශනයෙන් පෙනී යන්නේ අතිශයින් නින්දා කටයුතු දැයක් ලෙස සංවිධිත ආගම හෙළා දුටු නමුත් දෙවියන් පිලිබඳ සංකල්පය කෙරෙහි ඔහු තුළ වූ ගෞරවය යි.

                                                                      *  *  *  *  *

මෝබිදාර් රජතුමාගේ රාජ්‍ය පාලන සමයේ සාදිග් නම් තරුණයෙක් බැබිලෝනියාවෙහි වාසය කළේය.  ඔහුගේ ප්‍රියමනාප වූ චරිතය මනා අධ්‍යාපනය විසින් වඩා යහපත් බවට පත් කරවන ලදී.  ධනයත්, යෞවන භාවයත් යන දෙකම ඔහු සතුවූ නමුත් තමාගේ ආශාවන් පාලනය කැර ගැනීමට ඔහු දැන සිටියේය.  ඔහු ඉතා අඩු තරමින් හෝ කිසිදු බොරු මවා පෑමක් කළ තැනැත්තෙක් නොවීය.  හැම විටම තමා නිවැරදි යැයි සිතීමට ද ඔහු අකමැති විය.  තමා හා ජීවත් වූ සෙසු ජනයා ගේ දුර්වලතා ඉවසා සිටීමට ඔහුට හැකි විය.  හාස්‍යෝත්පාදක කතා බිණීමෙහි විපුල වූ හැකියාව තමා සතු වී නමුත් බැබිලෝනියාවෙහි අල්ලාප සල්ලාපයේ යෙදීම ලෙස සළකනු ලැබූ ප්‍රලාප තෙපලන හිස් හඬට ද,  අශෝභන වක්‍රෝත්තිවලට ද, අමන ලෙස අයිතිවාසිකම් ප්‍රකාශ කිරීම්වලට ද, නිර්භීත නින්දා අපහාසවලට ද, දුසමාන අසම්බන්ධ ඝෝෂාකාරී ඕපාදුපවලට ද ඔහු පරිහාස මුඛයෙන් සිනා නොවීම සුවිශේෂ දැයක් විය.  ආත්මමානය යනු, සිදුරු කළහොත් මහා කුණාටුවක් ඇති කරවන්නා වූ සුළං පිරවූ බැලුම් බෝලයක් බව ඔහු සොරෝස්ටර් ගේ ( සරතුස්ට්‍රා ) මුල් පොතින් උගෙන සිටියේය.  ගැහැනුන් වරදට පොළඹවා ගැනීමට තමාට ඇති හැකියාව ගැන පුරසාරම් නොදෙඩු බැවින් ද ඔවුන් පහත්කොට සලකන බව බොරුවට පෙන්වීමට උත්සාහ නොකළ බැවින් ද ඔහු කාන්තාවන් කෙරෙහි දැක්වූ ආකල්පය වඩාත් ප්‍රශංසනීය විය.  එමෙන්ම ඔහු නිර්ලෝභී විය.  " උන් ඔබ සපා කන නමුත් සංග්‍රහ කරන විට බල්ලන්ට ද සංග්‍රහ කරන්න" යි පවසන සොරෝස්ටර් ගේ ශික්ෂා පදය ඔහු අනුගමනය කළ බැවින් ලාභාපේක්ෂාවෙන් තොරව ප්‍රතිලාභ නොලැබෙන අවස්ථාවල දීද ඔහු මිනිසුන් හා මිත්‍රශීලී වීමට බියක් නොදැක්වීය.  ප්‍රඥාවන්තයන් සමග ඇසුරු කිරීම ඔහු පුරුද්දක් බවට පත් කැර ගැනීමෙන් මේ සියලු ගුණාංගයන්ට තවත් විශාල දැනුම් ප්‍රමාණයක් ද රැස් කැර ගත්තේය.  පුරාණ කාල්ඩියානු බස හැදෑරීම පිළිබඳව ද ඔහුට පුහුණුවක් ලැබී තිබිණ.  ස්වාභාවික හේතූන් පිළිබඳව සමකාලීන සමාජය දැන සිටි ප්‍රමාණයේ තරමටම ඔහු එම කරුණ ද අවබෝධ කොට ගෙන සිටියේය.  ඒ ඉතා ස්වල්පයකි.  නවීනතම දර්ශනවාදය පසෙක තිබියදී වසරකට දින තුන්සිය හැටපහකුත් කාලක් ඇති බවත්, විශ්වයෙහි ප්‍රධාන ග්‍රහයා සුර්යයා බවත් විශ්වාස කිරීමට ඔහු ඉතා තදබල අන්දමින් පොළඹවනු ලැබ සිටියේය.  ඔහු ඉතා අන්තරායකර මත සිතෙහි දරා සිටින බවත්, සූර්යයා තම අක්ෂය මත පරිභ්‍රමණය වන බව විශ්වාස කිරීම හා වසරකට මාස දොළහක් ඇති බව සිතීම පොදු යහපතට අනර්ථකාරී වන බවත් ප්‍රධාන පූජකයා ඔහුට පැවැසූ විට, ඔහු කිසිත් නොකියා තුෂ්නීම්භූත ව සිටි අතර ඒ අදහස් වෙනස් කිරීම ප්‍රතික්ෂේප කළේය.

සාදිග් ධනවතකු වූ බැවින් ඔහුට මිතුරන් ගෙන් අඩුවක් නොවීය.  එමෙන්ම නිරෝගී භාවය ද, ප්‍රසන්න පෙනුම ද, උනන්දු සහගතව මනාව හික්මවා ගත් බුද්ධියක් ද, නිර්ලෝභී හදවතක් ද ලැබීමට තරම් වාසනාවන්ත වූ බැවින් ස්ථිර වශයෙන්ම සතුටින් සිටීමට හැකි වන බව ඔහුට දැනී තිබිණ.  ඔහු සෙමිරා ආවාහ කැර ගැනීමට ගිවිස ගෙන සිටියේය.  ඇයගේ රූපාලංකාරයත්, උසස් උත්පත්තියත්, ධනයත් විසින් ඇය බැබිලෝනියාවෙහි සිටි ආවාහ කැර ගැනීමට සුදුසුම තරුණිය බවට පත් කරනු ලැබ තිබිණ.  ඔහු ස්ථිර, ගුණ සම්පන්න ලැදියාවක් ඇය  කෙරෙහි දැක්වූ අතර සෙමිරා ද ඔහු වෙත දැඩි ප්‍රේමයෙන් කැප වී සිටියාය.

තමන් ගේ විවාහයට මඳ කලෙකට පෙර එක් දිනෙක මේ යුවළ බැබිලෝනියාවෙහි යුප්‍රටීස් නදී ඉවුරුවල පේලියට සිටුවා තිබුණු අලංකාර ඉඳි ගස්වලට පහළින් පිහිටියාවූ එක් ද්වාර මණ්ඩපයක් අසල සක්මන් කරමින් සිටියහ.  එවිට අසිපත් හා දුනු හී වලින් සන්නද්ධ වූ පිරිසක් තමන් කරා පැමිණෙමින් සිටි බව ඔවුහු දුටුවෝය.  එසේ පැමිණියෝ ප්‍රධාන ඇමතිවරයා ගේ බෑණනුවන් වන තරුණ ඕර්කාන් ගේ සේවකයෝ වූ හ.  ඔහුගේ මාමා ගේ පන්දම්කාරයන් විසින් ඔහු කැමැති ඕනෑම දැයක් කිරීමේ හැකියාව ඔහුට ඇතැයි විශ්වාස කිරීමට ඔහු පොළඹවනු ලැබීය.  සාදිග් සතුව තිබුණු කරුණාවන්ත භාවය හෝ ධාර්මික භාවය හෝ ඔහු සතු වී නොතිබිණ.  එහෙත් දෙදෙනා අතරින් වඩා හොඳ පුද්ගලයා තමා බව ඔහු සිතූ නමුත් මිනිසුන් විසින් තමා වඩා ප්‍රිය කරනු නොලැබීම ගැන ඔහු තැවුල් සහගත සිතින් පසුවිය.  මේ තදබල ඊර්ෂ්‍යාපරවශ භාවය ඔහුගේ බොරු අහංකාරය විසින් ඇති කරවන ලද අතර තමා උමතු භාවයට පත් වන තරමට සෙමිරාට පෙම් කරන බව සිතීමට ද ඔහු පොළඹවා ලීය.  ඒ නිසා ඇය පැහැර ගෙන යෑමට ඔහු තීරණය කළේය.  ඔහුගේ චාටුකාර මිත්‍රයෝ ඇය පැහැරගෙන යද්දී, බෙංගාලයෙහි රුදුරු කොටියකු වුවත් මෙල්ල කිරීමට සමත් වූ රූ සපුවක් ඇති ඇයට තුවාල කොට ඇයගේ ලේ සෙලවීමට තරම් කුරිරු වුහ.  ඇයගේ වේදනා සහගත් කෑ ගෑමෙන් ගගනෝදරය කම්පා වී ගියේය.  " මගේ පෙම්වතාණනි, මා විසින් බෙහෙවින් ප්‍රේම කරනු ලබන තැනැත්තා වෙතින් ඔවුහු මා උදුරාගෙන යති"යි ඈ තමා වැටී සිටි අවදානම් තත්ත්වය ද නොසලකා හරිමින් කෑ ගෑවාය.  ඇය කල්පනා කළේ ඇගේ ප්‍රේමවන්ත සාදිග් ගැන පමණි.  ප්‍රේමය හා වීරත්වය විසින් ඔහුට ලබා දෙන ලද්දාවූ දැඩි උනන්දුවෙන් යුතුව ඔහු ඇය බේරා ගැනීමට දිව ගියේය.  තමාගේ වහලුන් දෙදෙනා ගෙන ලැබුණු උපකාරය හැර අන් උපකාරයක් නොමැතිව ඔහු ඒ දුෂකයන් පලවා හැරියේය.  ඔහු ක්ලාන්ත ව ලේ ගලමින් සිටි සෙමිරා නිවෙසට රැගෙන ගියේය.  ඈ දෑස විවර කළ විට තමා බේරා ගත්තේ කවරෙක් දැයි දැක ඔහු අමතා මෙසේ කීවාය.

" අහෝ සාදිග්! වතාවක් මා ඔබට ප්‍රේම කළේ මගේ අනාගත ස්වාමිපුරුෂයා ලෙස සලකා ගෙනයි.  දැන් මා ඔබට ප්‍රේම කරන්නේ මගේ ගරුත්වයත් ජීවිතයත් හිමි පුද්ගලයා ඔබ වන නිසයි."

සෙමිරා ගේ හදවත මෙන් වෙනත් කිසිම හදවතක් තදබල බලපෑමකට කිසි දා භාජනය නොවීය.  ඒ සිත් වශීකරවනසුලු දෙතොලින් මෙයට වඩා මුදු හැඟීීම් මින් පෙර කිසිදා පිට නොවීය.  එවැනි සැක කළ නොහැකි ශිෂ්ට භාවයේ ප්‍රේමයක් හෝ කෘතවේදී භාවයේ උණුසුමක් හෝ කිසිදා වචනවලින් නම් ප්‍රකාශ වී නැත.  ඇයගේ තුවාල සුළු ඒවා වුයෙන් ඈ ඉක්මණින් සුවය ලැබුවාය.  එහෙත් සාදිග් වඩා දරුණු අන්දමින් තුවාල ලැබ සිටියේය.  ඔහුගේ ඇසකට ඉතා කිට්ටුවෙන් හීයක් වැදී ගැඹුරු තුවාලයක් ඇතිවී තිබිණ.  තම ප්‍රේමවන්තයාගේ සුවය පතා සෙමිරා නොනවත්වා යාච්ඤා කළාය.  ඇය තමාගේ නෙත'ග බැලීම්වලින්, යළි සාදිග්ට ප්‍රීති විය හැකි මොහොත එළැඹෙන තෙක් අපේක්ෂා සහගතව බලා සිටියදී ඇයගේ දෑසින් දිවා රැයේ කඳුළු ගලා ගියේය.  එහෙත් තුවාල වූ ඇසෙහි ඇතුළතින් ගෙඩියක් හටගත් බැවින් එය හැම දෙනාගේම බලවත් සැලැකිල්ලට ලක්විය.  හර්මිස් නම් ප්‍රකට වෛද්‍යවරයා කැඳවා මෙම්ෆිස් නුවරට හසුන් පතක් යවන ලදී.  විශාල පරිවාර සේවක පිරිසක් ද සමග ඔහු පැමිණියේය.  වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කැර බලා ඔහුට ඇස අහිමි විය හැකි බව ප්‍රකාශ කැර සිටියේය.  ඒ තබා මේ ශෝකජනක සිදුවීම සිදු විය හැකි දිනයත් හෝරාවත් ගැන ඔහු කල් තියා අනාවැකි ද පළ කළේය.

" මේක දකුණු ඇහැ වුණා නම් මට සුව කරන්නට පුළුවන්කම තිබුණා." ඔහු කීවේය.  " එහෙත් වම් ඇසෙහි තුවාල කොහොමවත් සුව කළ නොහැකියි."

අසරණ සාදිග් ගේ ඉරණම පිළිබඳව බැබිලෝනියාවෙහි වැසියෝ ශෝක වුහ.  එහෙත් ඔවුහු හර්මිස් වෛද්‍යවරයාගේ උගත්කම ගැන පැහැදීමට පත් වුහ.  දින දෙකකට පසුව ගෙඩිය පුපුරා ගියේය.  සාදිග් සම්පූර්ණයෙන්ම සුවය ලැබුවේය.  එවිට, සුවය ලැබීම සාදිග්ට අයත් කටයුත්තක් නොවූ බව ඔප්පු කිරීමට හර්මිස් වෛද්‍යවරයා ග්‍රන්ථයක් ද සම්පාදනය කළේය.  සාදිග් එහි එක වචනයකුදු නොකියැවීය.  එහෙත් ඔහුගේ අනාගත සතුට රැඳී තිබුණේ ඇය කෙරෙහි වූ බැවින්, සුවය ලබා තමාට එළිමහනට යා හැකි වූ වහාම ඇය හමුවීම සඳහා යෑමට ඔහු තීරණය කළේය.  ඔහු තම ඇසෙහි පෙනීම රැක ගත්තේ ඇය වෙනුවෙන්ම ය.

පසුගිය දින තුනක කාලය ඇය ගත් කළේ ගම්බද ප්‍රදේශයෙහි ය.  එක් ඇසක් පමණක් ඇති මිනිසුන් කෙරෙහි තමා තුළ ඇති යටපත් කැර ගත නොහැකි පිළිකුල, මේ රුවැති කාන්තාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කැර ඇති බවත්, එදිනම සවස් භාගයෙහි ඇය ඕර්කාන් සමග විවාහ වූ බවත් ඇයගේ නිවෙස බලා යන අතරමග දී ඔහු දැන ගත්තේය.  ඒ ආරංචිය ඇසෙත්ම ඔහු සිහිසුන් ව ඇද වැටුණේය.  වේදනාව විසින් මිනී වල අද්දරටම රැගෙන එන ලදුව, ඔහු දීර්ඝ කාලීන ව රෝගාතුර ව දුක් වින්දේය.  එහෙත් අවසානයේ එම රෝගය සුව කරමින් සාධාරණත්වය ජය ගත් අතර ඔහු අත් විඳි කෲරත්වය ඔහු සැනසීමට ද පත් කළේය.

" රජ මැදුරෙහි හැදුණු වැඩුණු කෙල්ලක ගේ ප්‍රේමය හේතුවෙන් මා බොහෝ දුක් කරදර වින්දා.  දැන් මා නගරයෙන් භාර්යාවක සොයා ගත යුතුයි." ඔහු පැවැසුවේය.

ඔහුගේ තේරීම වුයේ මනා අවබෝධයක් ද, කුලවත් භාවය ද ඇති තරුණ කාන්තාවක වූ අසෝරා ය.  ඇය ආවාහ කරගත් ඔහු මාසයක් පුරා මෘදුතම වූ ප්‍රේමයේ මිහිර භුක්ති වින්දේය.  ඇය එක්තරා විදියක වැදගැම්මකට නැති ගැහැනියක බවත්, ඉහළ මට්ටමේ රූප සම්පත්තිය ඇති තරුණයන් තුළ බුද්ධිය හා ගුණ ධර්ම සම්පූර්ණ වශයෙන් තැන්පත් ව ඇති බව සෙවීමේ කාර්යය කෙරෙහි ඇය නැඹුරු ව සිටින බවත් ඔහු නිරායාසයෙන් මෙන් වටහා ගත්තේය.

එක් දිනක් සක්මන් කරනු පිණිස එළිමහනට ගිය අසෝරා නිවෙසට පැමිණියේ මහත් කෝපයකින් යුතුවය.

" මගේ මැණික, මොකක්ද මේ ප්‍රශ්නය?" සාදිග් ඇසුවේය.  ' මොන කරුණක් නිසා ඔබ මේ තරම් කෝපයට පත් වුණාද?"

" ඔබට වුණත් මේ තරමටම කේන්ති යන්න ඉඩ තිබුණා, මේ දැන් මා දුටු දේ ඔබත් දුටුවා නම්." ඈ පිළිතුරු දුන්නාය.  " මා ගියා කොස්රෝ ගෙ තරුණ වැන්දඹුවට මගේ ශෝකය ප්‍රකාශ කරලා එන්න.  තණ බිම පැත්තකින් ගලා යන දිය පාර අද්දර, මීට දවස් දෙකකට කලින් තමයි ඇය ඇගේ තරුණ ස්වාමිපුරුෂයා ගෙ සොහොන බැන්දේ.  ඇගේ ශෝකය කොපමණ ද කිවුවොත් ඒ දිය පාර ගලන තුරුම ඇය සොහොන් ගැබ ළඟ ඉන්නවා කියලා දෙවිවරුන්ට පොරොන්දු වුණා."

" හොඳයි, ඈ කොයි තරම් අගය කළ යුතු කාන්තාවක් ද! ඇය කෙතරම් විශ්වාසවන්තව තමාගේ ස්වාමිපුරුෂයාට ප්‍රේම කරන්නට ඇද්ද!" සාදිග් කීවේය.

" ආහ්! ඒ වුණත්, මා ඇය දකින්නට ගිය වෙලේ ඇය කරමින් සිටි දෙය ගැන ඔබ දැන සිටියා නම්!" ඈ පිළිතුරු දුන්නාය.

" හොඳයි, අසෝරා මගෙ මැණික.  ඇය කරමින් සිටියේ කුමක් ද?"

" ඇය ඒ දිය පාර වෙනතකට හරවමින් සිටියා."

අනතුරව අසෝරා දීර්ඝ ලෙස බැණ වැදීමට පටන් ගෙන තරුණ වැන්දඹුවට විරුද්ධව දෝෂාරෝපණය කළාය.  එය සාදිග් කෙසේ වත් සතුටට පත් නොකළා වූ ගුණ යහපත්කම ප්‍රදර්ශනය කිරීමක් විය.
                                                                           *  *  *  *  *
සාදිග්ට කාදර් නම් මිතුරෙක් සිටියේය.  මේ තරුණයා තුළ අන් අයට වඩා අවංක භාවයකුත් වටිනාකමකුත් ඇති බව සාදිග් ගේ භාර්යාව සොයා ගත්තාය.  සාදිග් එම තරුණයා විශ්වාස කළේය.  ඔහු තමාට පුළුවන් තරම් හොඳින් ඔහුගේ සහයෝගය ලබා ගැනීම තහවුරු කැර ගත්තේ ආකර්ෂණීය ත්‍යාගයක් ප්‍රදානය කිරීමෙනි.  අසෝරා ඇයගේ එක්තරා මිතුරියක සමග දින දෙකක් ගතකිරීම සඳහා ගම් පළාතට ගියාය.  තුන්වන දිනයෙහි ඇය ආපසු පැමිණි විට හඬා වැළපෙමින් සිටි ඇයගේ සේවකයා, ඇය පිටත්ව ගිය දින රැයෙහි ම ඇයගේ සැමියා මිය ගිය බව දැනුම් දුන්නේය.  මේ ශෝකජනක පුවත ඇය වෙත ගෙන යෑමට කිසිවකු නිර්භීත නොවූ බවත් ගෙවුයන කෙළවර තිබුණු සාදිග් ගේ මුතුන් මිත්තන් ගේ සොහොනෙහි ඔහුගේ මළ සිරුර තැන්පත් කළ බව දැන්වීය.  අසෝරා හඬා වැලපී තම හිසකේ ඇද සිඳ දැමුවාය.  තමා දිවි නසා ගන්නා බවට දිවුරුවාය.  එදින සවස කාදර් පැමිණ ඇය සමග කතා කිරීමට අවසර ඉල්ලා සිටියේය.  දෙදෙන එක්ව හඬමින් වැලපෙමින් වාඩිවී සිටියහ.  ඊළඟ දිනයෙහි අඩුවෙන් වැළපුණු දෙදෙන එක්ව රාත්‍රී භෝජනය ගත්හ.  තම මිතුරා ඔහුගේ බූදලයෙන් වැඩි කොටසක් තමාට පවරා ඇති බවත් මේ ධනය ඇය හා බෙදා හදා ගෙන භුක්ති විඳීමට තමා කැමැති බවත් ඔහු ඇයට එළිදරවු කළේය.  එම වැදගත් කාන්තාව කෝපයට පත්ව කඳුළු සැලුවාය.  එහෙත් අවසානයේ ඈ තැන්පත් භාවයට පත් වුවාය.  රාත්‍රී භෝජනයට වඩා සැඳෑ භෝජනය දීර්ඝ විය.  වැඩි අවහිරයකින් තොරව දෙදෙන කතා බහේ යෙදීම ආරම්භ කළහ.  මිය ගිය අය පිළිබඳව ප්‍රශංසාවෙන් යුතුව අසෝරා කථා කළාය.  එහෙත් කාදර් තුළ නොවූ ඇතැම් දුර්වලතා ඔහු තුළ තිබුණු බව ඈ පිළිගත්තාය.

සන්ධ්‍යා භෝජනය පැවැති අතරවාරයෙහි දී තම පිලාවෙහි දරුණු වේදනාවක් ඇති බවට කාදර් පැමිණිලි කළේය.  වහා බිය පළ කළ කාන්තාව, පිලාවෙහි වේදනාවට සුදුසු වන යමක් ඇත්දැයි සොයා බැලීම සඳහා තමාගේ මේසය මත තිබුණු සියලු ස්ප්‍රීතු වර්ග රැගෙන එන ලෙස සේවකයන්ට ඉතා උනන්දුවෙන් අණ කළාය.  ශ්‍රේෂ්ඨ වෙදැදුරු හර්මිස් බැබිලෝනියාවෙහි නොසිටීම පිළිබඳව තමා කොතරම් දුක් වන්නේද යන්න ඈ ප්‍රකාශ කැර සිටියාය.  කාදර් ගේ ශරීරයෙහි ඒ දරුණු වේදනාව දැනුණු තැන අත ගා බැලීමට තරම් දුරකට ද ඈ ගමන් කළාය.

" ඔබ මේ කුරිරු වේදනාවන්ට නිතර ගොදුරු වෙනවාද?" ඈ ඉතා මෘදු ස්වරයකින් ඇසුවාය.

' සමහර විට ඒ වේදනාවෙන් මා මරණාසන්න වෙනවා." ඔහු පිළිතුරු දුන්නේය.  "කවර සහනයක් හෝ ලබාදීමට ඇත්තේ එකම බෙහෙතක් පමණයි.  ඒ බෙහෙත වන්නේ මැරුණු මිනිසකු ගේ නාසය මගේ ඇලපතේ තැබීමයි."

" මොන තරම් පුදුමාකාර ප්‍රතිකාර ක්‍රමයක් ද!" අසෝරා කීවාය.  

" ආර්නෝ වෙදැදුරු තුමා අපස්මාරයට නියම කරන මඩිස්සල බේතට වඩා මේකෙ ඇති පුදුමයක් නැහැ." ඔහු පිළිතුරු දුන්නේය.  

මේ පිළිතුරත් තරුණයා ගේ සුවිශේෂ වූ සුදුසුකම් ආදියත් විසින් ඇය ගත් තීරණය ස්ථිර කරවන ලදී.

" කොහොම වුණත්, මගේ ස්වාමිපුරුෂයා මේ ලෝකෙ ඉඳලා අනෙක් ලෝකයට වැටී ඇති චිනවාර් පාලම පහු කර ගෙන යන වෙලාවට මුල් ජීවිතේ තිබුණු නාසය තරම් දිගු නොවන නාසයක් දෙවන ජීවිතයේ දී තිබෙනවා කියල ඔහු ඒ ලෝකයට ඇතුළු කර ගන්න ඇස්රේල් දේවදුතයා මැළි වේවි ද?" ඈ කල්පනා කැර බැලුවාය.

එසේ කල්පනා කළ ඈ දැළි පිහියක් ද ගෙන තම ස්වාමිපුරුෂයා ගේ සොහොන් ගැබ වෙත ගියාය.  මිනී වලෙහි තබා තිබුණු සාදිග් ගේ මළ සිරුරෙහි මුහුණින් නාසය කපා ගැනීම පිණිස ළං වීමට පෙර ඈ කඳුළු ස්වල්පයක් ද වැගිරුවා ය.  එක් අතකින් තම නාසය ද අනෙක් අතින් දැළි පිහිය ද අල්ලා ගනිමින් සාදිග් නැගී සිටියේය.

" නෝනමහත්මයා! කොස්රෝ මැතිනිය ගෙ හැසිරීම ගැන තවත් කෑකොස්සන් ගහන්න වුවමනාවක් නැහැ.  මගේ නාසය කැපීමත් දිය පාර හරවන තරමට ම නරක වැඩක්" ඔහු පැවසුවේය.

සෙන්ද් පුස්තකයෙහි සඳහන් අන්දමට විවාහයේ පළමු මාසය මධු සමය බවත් දෙවන් මාසය මධු අමිහිරි වන මාසය බවත් සාදිග් වටහා ගත්තේය.  අසෝරා සමග ජීවත්වීම ඉතා අසීරු වුයෙන් වැඩි කල් නොයවා ම ඇය ගෙන් දික්කසාද වීමට ඔහුට සිදු විය.  සොබාදහම පිළිබඳව හැදෑරීමෙන් සහනයක් ලබා ගැනීමට ඔහු තීරණය කළේය.

" දෙවියන් අප ඉදිරියෙහි තබා ඇති ඒ විශිෂ්ඨ පුස්තකය කියැවීමෙන් දර්ශනවාදියා ලබන්නා වූ සතුටට වඩා මහත් වූ වෙනත් සතුටක් නැත.  එයින් ඔහු සොයා ගන්නා සත්‍යයන් ඔහුගේ ම බවට පත් වෙනවා.  උදාර කල්පනාවලින් ඔහු තමාගේ ආත්මයට සංග්‍රහ කරනවා.  ඔහු ඉතා සන්සුන් ජීවිතයක් ගත කරනවා.  ඒ සන්සුන් ජීවිතයෙහි දී කිසිවකු ඔහු බියපත් කරවන්නා වූ දෙයක් නොකරන අතර ඔහුගේ නාසය කපා ගැනීම සඳහා ආදරණීය භාර්යාවක ද පැමිණෙන්නේ නැත."  ඔහු කීවේය෴

( Zadig/L ingenu, by Voltaire. සත්පුරුෂයා සහ අහිංසකයා. පරිවර්තනය: ආනන්ද අමරසිරි. සුරිය ප්‍රකාශකයෝ.2005)

4 comments:

  1. සාමාන්‍ය පරිවර්තනයකට වඩා සිංහල භාෂාව ඉතාමත් ව්‍යක්ත ලෙස හසුරුවා අදහස් ප්‍රකාශකර තිබෙන කෘතියක්. පරිවර්තකයාත් එකල සමාජය ගැන පුළුල් ආභාෂයක් ලබා ඇති බව ගැඹුරු අදහස් සරල ආකාරයකට විවරණය කර තිබීමෙන් පෙනී යනවා.

    ReplyDelete
    Replies
    1. සමාජය ගැන, පරිසරය හා තවත් බොහෝ කාරණා වල ඇසු පිරූ තැන් නොමැති භාෂාව පමණක් දත් කෙනෙකුට සාර්ථක පරිවර්තකයෙක් වෙන්නට බැහැ. අද පරිවර්තන වල තත්ත්වය බාල වෙලා තියෙන්නෙ එහෙම අය පරිවර්තන කාර්යයට බැස ඇති නිසායි.

      Delete
  2. “God is a comedian playing to an audience that is too afraid to laugh.”
    ― Voltaire

    “Behind every successful man stands a surprised mother-in-law.”
    ― Voltaire

    ReplyDelete