Saturday, November 10, 2018

සුළඟේ ගිය දිවිය.



අද පළකරන්නේ මා මීට අවුරුදු කීපයකට කලින් මගේ අනෙක් බ්ලොගයට ලියු පෝස්ටුවක කොටසකි.  ලිවීමේ ශෛලිය තරමක් වෙනස් වුණත් එය නොසලකා එදා ලියූ විදියටම මෙහි පළකරමි.
                                                           මාගරට් මිචෙල්.

එහෙම බැලුවොත් මාගරට් මිචෙල්ගේ Gone with the wind(1936) මොන තරං විශාල පොතක්ද,නමුත් රස කරමින් කියවගෙන යන්න පුළුවන් නේද? ඒ පොත මීට අවුරුදු කීපයකට කලින් සුළගේ ගිය දිවිය නමින් ජයන්ති සමරසේකර අතින් සිංහලට පෙරළුණා,මම දැක්කෙ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී, පොත කොටස් හතරයි එක කොටසක පිටු හත්සීයක් හෝ අටසීයක් මට මතක හැටියට,ප්‍රදර්ශනයෙන් මම පළවෙනි කොටස ගත්තා ඊට පස්සෙ සතියෙ මම ඉතුරු කොටස් තුන ගන්නට මරදානෙ සූරිය ප්‍රකාශකයන්ගෙ  පොත් සාප්පුවට ගියා,ගිහිං ඉතිරි කොටස් තුනත් අරගෙන තවත් අලුතෙන් නිකුත්වුන පොත් කීපයකුත් අරං පොත් රාක්ක දිහා බල බලා ඉද්දි පොත් සාප්පුවට ඇවිත් හිටපු එක් වැදගත් පෙනුමැති තලතුනා මහත්මයෙක් මගෙ දිහා බලාගෙන ඉන්නව මම දැක්කා,මං හිතන්නෙ විදුහල්පතිවරයෙක් ඔහු මගෙත් එක්ක හිනාවුනා මාත් හිනාවුනාට පස්සෙ ඔහු මගෙ  ලඟට ඇවිත් කතාකළා.

"මහත්තය පොත් ගෙනියන්නෙ ඉස්කෝලෙකටද?"

"නෑ මට කියවන්න."

"ඔහු මම ගත්ත පොත් ටික අරං බැලුවා."

"මේ විශාල පොත මොකක්ද?"

"ගෝන් විත් ද වින්ඩ් පොතේ සිංහල පරිවර්තනය,මේ වගේ කොටස් හතරක් තියෙනව ."

පොතෙන් කියවෙන්නෙ මොකක් ගැනද ...

"ඇමෙරිකානු සිවිල් යුද්ධය පසුබිම් කරගෙන ලියැවුනු කතාවක්,යම් තරමකට ආදර කතාවක් කියන්නත් පුළුවනි."

"මහත්තය මේ පොත ගත්තෙ ඇයි?

"ඇමෙරිකන් සිවිල් යුද්දෙ ගැන මම මොකුත් දැනගෙන හිටියෙ නෑ,මගේ දැනුමෙ ඒ අඩු කොටස සම්පුර්ණ කරගන්න මේ පොත ගත්තා."

ඔහු බොහොම බැරෑරුම්ව හිස වනල මට සමුදුන්නා.

ඇත්ත වශයෙන්ම ඇමෙරිකාවෙ සිවිල් යුද්දයක් තිබ්බ කියල සහ ඒබ්‍රහම් ලින්කන් සහ ජෙනරාල් ලී ඒ යුද්දෙට සම්බන්ධයි කියන දේ ඇරෙන්න යුද්දෙ ගැන වෙන කිසිම දෙයක් මම දැනගෙන හිටියෙ නෑ.  වහල් සේවය තහනම් කරන්නට ඒබ්‍රහම් ලින්කන් අස්සන් කළ පනතට එරෙහිව ප්‍රාන්ත ගණනාවක් එකතුවී ලින්කන්ට විරුද්ධව යුද වැදුණු බවත් 1861 දි ඇරඹුණු  සිවිල් යුද්ධය එක්සත් ප්‍රාන්ත හමුදාවන්ට දුක්ඛිත පරාජයක් උරුමකරදෙමින් 1865 දි අවසන් වූ බවත් එක්සත් ජනපද හමුදාව අවතක්සේරු කරමින් ඔවුන් සමග යුද වැදුණු එක්සත් ප්‍රාන්තවලට සහ එහි ජීවත්වූ ජනතාවට යුද්ධය නිසා ගෙවන්නට සිදුවූ වන්දිය ඉතා බරපතල බවත් මා පසුව දැනගත්තා.

මේ පොත ලියැවුනු අකාරයද ඉතා රසවත් කතාවක්, රිය අනතුරකට ලක්ව එක්තැන්ව ඇඳට වැටී කම්මැලිකමින් සිටි මාගරට් මිචෙල්ට කියවන්නට පොත් සොයා දීම ඇගේ සැමියාට ප්‍රශ්නයක් වුණේ ඇය දවසකට එක පොත බැගින් කියවන්නට පටන් ගැනීම නිසායි.  ඇයට කියවන්නට තරම් දිග පොත් සොයා දීම තමාට බරපතල ප්‍රශ්නයක් බවත් කියවන්නට අවශ්‍ය නම් දිග පොතක් ඇයටම ලියාගන්නා ලෙසත් ඇගේ සැමියා දිනක් කියාසිටියා. මේ කතාව විහිළුවකට බාර නොගත් මාගරට් මිචෙල් කෙසේ හෝ පොතක් ලියන්නට අධිෂ්ඨාන කරගත්තා,මේ ගැනම කල්පනා කරමින් සිටි ඇයගේ මනසේ ටිකෙන් ටික මේ කතාව ලියලන්නට වුනා. සිවිල්යුද්ධය පසුබිමේ  ටාරා වතුයායත්,ට්වෙල්ව් ඕක්ස් නිවෙස,ස්කාලට් ඔහාරා,ඈෂ්ලි,මෙලනි හැමිල්ටන්, රෙට් බට්ලර්, මැමී ආදී චරිත ඇයගේ සිතේ කතාව රඟදක්වන්නට වන් විට ඇය සිතේ ගොඩ ගැසුණු කතාව එළියට දමන්නට වුණා.

1936 දී ගෝන් විත් ද වින්ඩ් පොත මුද්‍රණයෙන් නිකුත් වූ විට ආදායම් වාර්තා තබමින් විකිණෙන්නට වූ අතර මාගරට් මිචෙල් 1937 දි පුලිට්සර් සම්මානයෙන් පුදනු ලැබුවා. 2008 දි කරන ලද සමීක්ෂණයකට  අනුව මේ පොතේ පිටපත් මිලියන 30ක් ලොව පුරා විකිණී ඇති අතර ඇමෙරිකානු පාඨකයන් අතර බයිබලයට දෙවැනිව ජනප්‍රිය වී ඇති පොත ලෙසත්  සොයාගනු ලැබුවා.  1939 දි චිත්‍රපටයට නැගු,විවියන් ලී ස්කාලට් ඔහාරා ලෙසත් ක්ලාක් ගේබල්  රෙට් බට්ලර් ලෙසත් රඟපෑ ගෝන් විත් ද වින්ඩ්  චිත්‍රපටය 1940 දී හොඳම චිත්‍රපටය ඇතුළු ඇකඩමි සම්මාන 10 දිනා ගන්නට සමත්වුනා.

ස්කාලට් ඔහාරා ගේ චරිතය සඳහා තරුණියන් 1400ක් සම්මුඛ පරීක්ෂණයට ලක්කර අවසානයේ විවියන් ලී එම චරිතයට තෝරාගනු ලැබුවා,රෙට් බට්ලර්ගේ චරිතය සඳහා ක්ලාක් ගේබල්වම අවශ්‍ය බව නිෂ්පාදකයා කියා සිටි බැවින් ක්ලාක් ගේබල්ගෙන් දින ලබාගැනීමට අවුරුදු දෙකක් බලාසිටීමට චිත්‍රපට කණ්ඩායමට සිදුවී තිබෙනවා.

මාගරට් මිචෙල් සුළඟේ ගිය දිවිය ලිවීම ආරම්භ කළේද රිය අනතුරකින් එක්තැන් වී සිටියදීය.  එම රිය අනතුර ඇගේ ජීවිතය සහමුලින්ම වෙනස්කර ඇයව ජනප්‍රියත්වයේ ඉහළම තලයට ගෙනයන්නට සමත්විය.  එමෙන්ම ඇයට මෙලොව හැර යන්නට සිදුවුයේද මාගරට් මිචෙල්ට වයස අවුරුදු 49 දී සිදුවූ රිය අනතුරක් හේතුවෙනි.  ඒ 1949 අගෝස්තු මාසයේය.  විස්තරය මෙතැනින්  ෴

( සුළඟේ ගිය දිවිය, මාගරට් මිචෙල්. පරිවර්තනය: ජයන්ති සමරසේකර.  ප්‍රකාශනය. TIMELESS BOOKS . 2009)

11 comments:

  1. බ්‍රොගොන්ධිවෙල සිංහ සම්පත්

    ReplyDelete
  2. මට මතක හැටියට ඔය පෝස්ට් එකට මම කමෙන්ට් එකක් දැම්මා. ඒකෙන් කිවුවෙ මම තාමත් ඔය පොත කියවලා නෑ කියලයි.

    අවුරුදු කීපෙකට පස්සෙ දාන මේ කමෙන්ට් එකෙනුත් මට කියන්ට තියෙන්නෙ ඒකමයි. පොත ඩවුන්ලෝඩ් කරලත් තියෙනවා. මොන එකක් ද මන්දා මට තාමත් ඒකට අත තියන්ට මූඩ් එකක් ආවෙ නෑ. ෆිල්ම් එකනං මේ ඊයෙ පෙරේදාත් බැලුවා, හතර-පස් වෙනි වතාවට.

    ReplyDelete
    Replies
    1. මං ඇමරිකන් සිවිල් යුද්ධෙ ගැන හුඟක් දැන ගත්තෙ ගාමිණී හෝල් එක ලඟින් ගත්ත J.T. Edson ගේ වෙස්ටර්න් පොත්වලින් (පොත් තිස් ගාණක් තාමත් තියනව මගෙ හිතේ ) , ඒ විතරක් නෙමෙයි තුවක්කු, ගන් ෆයිටින්, අස්සයො, රතු ඉන්දියන්වරු, කව්බෝයි රස්සාවේ සියලු දේ , කස, සෑදල, කාර්ඩ් ට්‍රික්ස්, දඩයම් බල්ලො, සැලූන් සංගීතය හා නාට්‍යාංගනාවන්, පතල් ඇතුලුව වෙස්ටර්න් ඔක්කොම. ඊට පස්සෙ ඉතින් ඒ කාලය ගැන ඊටවඩා සම්භාව්‍ය කියන පොතුත් කියෙව්වා. ඒත් ඒවාගෙන් දැනුම ලැබීම අඩුයි.

      සමහර ප්‍රසිද්ධ පොත් ගැන විචාර, රෙෆරන්ස් මං හුඟක් කියවල තියනව ඒත් ඒ පොත් කියවල නෑ. :-D
      Gone with the Wind එකක්, To Kill a Mockingbird තව එකක්, John Steinbeckගේ එක පොතක්වත් කියවල නැද්ද කොහෙද. ඇමරිකන් සාහිත්‍යයේ මං කැමති වෙස්ටර්න් සහ මාවල් කොමික්ස් විතරද මංද (මාර්ක් ට්වේන් හා ජැක් ලන්ඩන් ට කැමතියි.) නෑ මං හිතන්නෙ, මට වෙන සාහිත්‍ය දැනුමත් අඩුයි - ගුරු ගීතය කියවලත් නෑනෙ !!
      A philistine?

      (හෑ, ලෝර්ඩ් බුර් කියවලත් නෑ. එහෙනං මං වගේ අය ගැන කිනං කතාද?, Thanks Bur)

      P.S. Hey Bur, I got two books of Rivers of London series by Ben Aaronovitch. Looking forward to reading !!

      Delete
    2. ඇයි ප්‍රා, හැරල්ඩ් රොබින්ස් එහෙමවත් කියවන්නෙ නැද් ද?

      මගේ all time favourite කෙටිකතාකරුවො තුන්දෙනාගෙන් එක්කෙනෙක් අමෙරිකානුවෙක්, ඕ හෙන්රි. (අනිත් දෙන්නා මෝපසාං හා පුෂ්කින්)

      Delete
    3. හැරල්ඩ් රොබින්ස් නම් කියවල තියනව. ඩෑන් බ්‍රවුන් වුනත් ඇමරිකන්නෙ. ඊට අමතරව මගෙ ප්‍රියතම නවලිස්ට් කෙනෙක් හැරී හැරිසන් (alternative history). ඒත් ඒ කවුරුවත් සම්භාව්‍ය සාහිත්‍ය ගණයට වැටෙන්නෙ නෑ නේද?

      Delete
    4. Classical අමෙරිකන් ලේඛකයන්ට වඩා contemporary අය අපි අතර ජනප්‍රියයි නේ ද?

      හැබැයි ඉතින් හෙමින්වේ, ෆිට්ස්ජෙරල්ඩ්, මෙල්විල්, හෝතෝන්, ඇලන් පෝ එහෙම මම ආසාවෙන් කියවපු ලේඛකයො. පුදුමයි ප්‍රා මේ අයට කැමැති නැහැයි කිවුවහම.

      Delete
    5. කැමති නෑම නෙමෙයි බුර්. හෙමින්වේ, ෆෙනිමෝර් කූපර්වගේ අයගෙ සමහර පොත් ආසාවෙම් කියෙව්ව ඉස්සර. ඒත් ඇමරිකන් කතුවරුන්ට වඩා ඉන්ග්‍රීසි, ස්කොටිෂ් වගේ අයට වඩා කැමතියි මට හිතෙන්නෙ. ඇමරිකන් පොත් ෆෝමැට් එක ඒකට සම්බන්ධයක් තියනවද මංද!

      Delete
    6. පොත අතට අරගෙන කියවන්න බැලුවොත් පුළුවන් වේවි බුරා.

      Delete
  3. https://www.tulsaworld.com/archives/man-who-killed-mitchell-still-haunted/article_7cac6953-4b4b-52b7-b96d-d2f61bdd906c.html

    ReplyDelete