Monday, April 17, 2017

හෙණේ පාත් වෙනකොට මිනිහ උඩ.


ඊයෙ රෑ වැස්සට අදිරියන්ලගෙ ගෙදරට අකුණු සැරක් පාත් වුණා කියන්නෙ හැබෑද එංගො නැන්දෙ?" දාවිත් අයියා තේ කඩයට ගොඩවෙමින් ඇසීය.

"ගෙදරට නෙවෙයි බං...ඕවිට අයිනෙ තිබුණ කිතුලට. ඒ වුණාට අදිරියන්ලගෙ ගෙදර එවුන් නම් හෙණ ගෙඩියෙ හඬට බය වෙලා"  එංගො නැන්දා කීවාය.

"වත්ත පහළ කිතුලට ගහපු හෙණ ගෙඩියට බයවෙන්න තරම් අදිරියලයි ගෙදර වුන් බයගුල්ලොද දාවිතෝ?" රොමයියා කතාවට හවුල් වුයේය.

" අනේ මං දන්නෙ නෑ රොමයියෙ...හෙණ ගෙඩියක් පාත් වෙනකොට මහා ලොකු හඬක් එනවා තමා. ඒ හෙණ ගෙඩිය පුපුරණ සද්දෙ නොවැ" දාවිත් අයියා අදිරියන්ලගෙ පැත්තට කතා කළේය.

" හෙණ ගෙඩියක් පුපුරන කොට ඔහොම මෙහෙම කියල අනුනමයෙන් බේරිච්ච මිනිහෙක් මං...මම නං මොහොතකටවත් බය වුණේ නැහැ." රොමයියා උගුර පාදමින් වහසි දොඩන ස්වරයෙන් පැවසුවේය.

" ඒ කොහෙදිද රොමයියෙ?" දාවිත් අයියා ප්‍රශ්නයක් නැගීය.

ඒක දිග කතාවක් බං...ඒක කියන්න කලින් කෝපි උගුරක් තොලගාන්න ඕන.,,බං එංගො මට තව කෝපි පොදක් දීපංකො මෙහාට"

" එංගො  නැන්ද කෝපි තනනකම් කතාව පටන් ගනින්කෝ" දාවිත් අයියා ඉල්ලීමක් කළේය.

මේ සිද්දිය වෙලා අවුරුදු විස්සක් විතර ඇති.   මරක්කල කෝලාහලෙටත් කලින් මං හිතන්නෙ...ඒ කාලෙ අපේ අම්මත් ඉන්නවා...දැන්වගේ නෙවෙයි ඒ කාලෙ...හොඳ හයිය තියෙන නාඹරයෙක් මං...ඔය පන්සල් දෙණියෙ කුඹුර මම තනියෙන් හාල වපුරනව."

" ඒ කාලෙ මීහරක්ට බැන්දෙත් රොමයියව වෙන්න ඇති? ඒ අවස්ථාවේ කෝපි කඩයට ගොඩ වදිමින් සිටි සුද්දයියා ප්‍රශ්නය අසමින් බංකු ලෑල්ලේ වාඩිගත්තේය.

" උඹ හිතන්නෙ බොරුයි කියලද? ඕං එක දවසක් පන්සල් දෙණියේ කුඹුර හාන්න බානයි. දවල් වෙනකොට එක මීමෙක් ගොඩට අදිනව.   ඒ බාන මම කටුවාවල රුවිනිස් ගෙන් ගෙන්න ගත්ත බානක්.  මට රිස්සුවෙ නෑ ගොඩ අදින මීමව.  මම ඌව ලෙහල දාල පොඩි එකාට නගුල දීල මම අනෙක් මීමත් එක්ක නගුල ඇද්ද.  වෙනදටත් වඩා වේලාසනින් මං හීය අහවර කළා." රොමයිය සුද්දප්පුගේ වාචාල ප්‍රශ්නයට මතක හිටින උත්තරයක් දුන්නේය.

" සුද්දයියෙ නිකා හිටිං...මේ හෙණේ කතාව අහගන්න ඉඩ දීල" එංගො නැන්දා දෙදෙනා අතරට පැන්නාය.

" ඒක තමයි සුද්දප්පු...තාම නිකටෙ බූව වැඩිලත් නැති හුරිජ්ජ කොල්ලො...ඌ මාව හෑල්ලුවට ගනං අරගෙන..." රොමයියා කෝපයෙන් දෙඩුවේය.

" ඔන්න ඔය කොල්ලන්ගෙ කතා අතහැරල දැන් කතා කියපන්කො රොමයියේ" දාවිත් අයියාද මැදිහත් විය.

" ඉතින් ඔන්න මට මඟුලක් කතා කළා වැල්ලෙන්. එක දවසක් මනමාලිගෙ තාත්ත දුවගෙන එනව...මම දැක්ක නා ගහ යටදි.  ඒ දවස්වල මාත් හරිම ලජ්ජකාරය. හවහ ගෙදර ගියාට මං අහැව්වෙ නැහැ මනමාලිගෙ තාත්ත ආපු එක ගැන.  රෑ මං අහගෙන, අපේ අම්ම ගබිරියෙල් මාම එක්ක කියෝනව...මගෙ කේන්දරේ මහා මාරක අපලයක් තියෙනවලු. ..ගෙවෙන්නෙ සෙනසුරු ඒරාෂ්ටකයලු...ඒ නිසා මංගල්ලෙ කෙරෙන්නෙ නැතැයි කියල මනමාලිගෙ තාත්ත කියනවලු. ඒත් අම්ම ඒ සියල්ල මට වහං කොළා.  ඔහොම පෝයක් විතර ගෙවුණා.  මමත් කිසිවක් නොදන්නව වගේ ලාගෙන හිටිය.

" ඔන්න දවසක් අම්ම ම කාරණේ කිව්ව.  මගේ ලග්නෙ වෘෂභ.  දශාධිපතිය සනිට ත්‍රිකෝණ වෙනදාට පන්නගන්න බැරි මාරකයක් තියෙනවලු.   මාරක අපලයක් වගේයැ නිශ්චිත මාරකයක් තියෙනවයි කීවහම. මගේ හිතත් අහපු වෙලාවෙ ටකස් ගාල ගැස්සුණා."

"මමනම් මැරෙන්න බය මිනිහෙක් නෙවි.  ඒ වුණත් කේන්දරේ හැටියට මැරෙන්න වෙන්නෙ කොහොමද දන්නෙ නැහැ නොවැ. ඕං ඉතින් කියාපු මාරක අපල දිනෙත් ආව.  අපේ අම්ම නම් කීවෙ ලණු ඇඳෙන් බහින්නෙ නැතිව ඉඳින් කියල. උදේ පාන්දර කහට කෝප්පෙ බීල මිදුලට ආව. ඕන්න අම්ම බනින්න පටන් ගත්තෙ නැතැයි.  " පොල් ගහේ අතු වේලිල...නරක දවසෙ ගහයට ඉන්නෙ... ගෙටවර ගෙටවර කීව.  ඒ පාර හීන් පොදේකුත් එනව.  මාත් ගෙට ඇවිත් ලණු ඇඳට බර දුන්න.  දවස පුරා ඇඳේ දිග ඇදිල හිටිය හැකිද?  මං කුස්සිය පැත්තට එබිල බැලුව.  අම්ම පේන තෙක් මානෙක නැහැ.  වෙන දෙයක් උනාවෙ කියල උදලු කෙටියත් අරගෙන ගෙයින් පිට වුණා.  ඉබාගාතෙ වගේ පන්සල් දෙණිය පැත්තට ඇදෙන කොටයි මතක් වුණේ දවල්ට ගෙදර මාළුවකට මොකවත් නැති වග.  දෙපාව ළඟට ආව. වෙන කරන්න දෙයක් නෑ.  කෝකටත් කෙමනක් අටවල උදැල්ල අතට ගත්ත වල් ටිකක් ගහල දාන්න.  හීන් පොදෙත් තියෙනව. ඒ පාර උදැල්ල වෙලේම තියෙද්දි හූනියන් බෝක්කුවෙන් පාරට ගොඩ වුණා.

" ඒ දවස්වල තැබෑරුම තිබුණේ බෝකුන්දර.  පයින්ම ඇවිදන් ගියා බෝකුන්දර තැබෑරුමට.  ගත්ත අරක්කු බාගයක්ම.  බීව එක හුස්මට. ඊළඟට ගත්ත තවත් බාගයක්.  ඒක ගහගත්ත ඉණේ. පොද වැස්සෙ ආපහු හුනියන් බෝක්කුව ළඟට එනකොට බීපු බාගෙ සුර් හිඳිල.  ඒ පාර ඉණේ තිබුණු බාගෙන් උගුරක් කටේ හලාගෙනම බැස්ස වෙලට. අහසත් මහ අන්දකාරයි.  පොදෙත් එන්න එන්නම වැඩි වෙනව.  වල් කෙටිල්ල පැත්තකට දාල ගෙදර යන්න හිතාගෙන ගියා කෙමන ගාවට."

"මෙන්න බොලේ කෙමනට අහුවෙලා ඉන්නව. පොඩ්ඩක් ලංවෙලා බැලුව. ඉන්නෙ නැතැයි ඉස්සෙකුයි,ඉබ්බෙකුයි,ආඳෙකුයි,ගෙම්බෙකුයි. ටිකක් බලාගෙන හිටිය. හතර දෙනාම මොනවදෝ කියනව වගෙ ඇහෙනව."

"සතුන්ට කතා කරන්න පුළුවන්ද රොමයියේ?" දාවිත් අයියා ප්‍රශ්නයක් නැගීය.

" සතුන්ට කතා කරන්න බැරි මොකද? ඒ කාලෙ මට ඕනෑම සතෙක් එක්ක කතා කළ හැකියි. සත්තු එක්ක කතා කරනව කියන එක සාත්තරයක්.  හොඳ ඉවසීමකින් හදාරන්න ඕනෑ සාත්තරයක්.  හොඳට ඇස් පෙනීමට වඩා ඕනෑ කොරන්නෙ ඕනෑම සියුම් හඬක් ඇහෙන කන් දෙකක්.  මම ටිකක් වෙලා කන් දීගෙන හිටිය උන් කතාවෙන්නෙ මොනවද කියල දැනගන්න."

"ගෙම්බ අහනව බොලේ අපි දැන් කෙමනකට අහුවෙලා...මොකද කරන්නෙ කියල. ඒ පාර ගෙම්බ කියනව "හොඳයි මේ කෙමනෙන් ගැලවිලා යන්න අපි ඔක්කොම එකතු වෙලා මොකක් හරි කරමු. මේකෙන් ගැලවෙන්න එක එක්කෙනා දන්න නුවණ කීවොත් අපට පුළුවන්නෙ හොඳ නුවණක් තෝරගන්න."

"කවුරුත් ගෙම්බගේ කීම අනුමත කළා.  ඒ පාර ගෙම්බ අහනව ඉස්සගෙන් කෙමනෙන් බේරෙන්න නුවණ කීයක් දන්නවද කියල. ඉස්ස කියනව මමනං නුවණ විස්සක් දන්නව කියල. ඒ පාර ගෙම්බ අහනව ආඳාගෙන්. ආඳා කියාපි ඌ නුවණ දහයක් දන්නව කියල.තුන් දෙනාම ඒ පාර ඇහැව්ව ගෙම්බගෙන් උඹ මේකෙන් ගැලවෙන්න නුවණ කීයක් දන්නවද කියල. ගෙම්බ කීව මා දන්නෙ එකම එක නුවණයි කියල.
ඒ කතාව ඇහුණහම...තවත් බලබලා ඉන්න එක නරකයි කියල තේරුණා...උන්ගෙ නුවණ තිස්හයට මේ රොමානිස් යට වෙනවද? ගෙම්බගේ කතාව ඉවර වෙන කොටම කෙමන පිටින්ම උස්සල ගත්ත නියරට."

" නුවණ විස්සක් දන්නවයි කියාපු ඉස්සව මුලින් අරගත්ත. අඬුටික අඹරල නියරෙ අත ඇරිය.

" ඒ පාර ගෙම්බ පැත්තක ඉඳගෙන කියනව " විසි බුධිං මිරිකී මිරිකී තඃ" කියල.

"මම ඉණේ තිබුණ පිහිය අරගෙන කෝටුවක් උල්කර ගත්ත.  ආඳව දිගෑදී කළා නියර දිගේ...ඇන්න උල් කෝටුව කන් දෙක හරහ යන්න."

" ගෙම්බ ඒ පාර කියනව දස බුධිං කන් පිට කොටු තඃ" කියල.

" මං ඒ පාර අල්ලගත්ත ඉබ්බව. කට්ටෙන් අල්ලල පෙරලුව ඉබ්බව අනෙක් අතට.  ඒ පාර ගෙම්බ කියනව " පස බුධිං බඩ පිට පෙරලි පෙරලි තඃ" කියල.

අන්තිමට අල්ල ගත්ත පණ්ඩිත ගෙම්බව.  ඌට මොනව කරන්නද? අසරණ සතා නොවැ.  අල්ලල විසිකලා පිට ඇළට.  ඌ වතුරට වැටිල කියනව " ඒක බුධිං දිය යට කිචි කිචඃ, කිචි කිචඃ" කියල.

" බැලුව නියර දිහා. ඉබ්බ උඩුබැලි අතට ඉන්නව. මට පව් කියල හිතුණා.  පෙරලල දැම්ම ඇළට. ඉස්සත් වැදගැම්මකට තරම් නෑ. අනෙක තනි ඉස්සෙක්නෙ. ඌට පයින් ගැහැව්ව නියරෙන් එහාට වීසිවෙන්න. ඌත් වැටුනෙ නැතෑ ඇළට. පොදේ ටිකින් ටික වැඩිවෙනව.  කෝටුව පිටින්ම ගත්ත ආඳව අතට.  ආඳ දඟලනව.කෝටුව කෙලින් කරල ඇල්ලුව. මෙන්න බඹරයක් වගේ ආඳා දැලේ කැරකෙනවා.  මොකද කියල බැලින්නම් වැහි බිංදු ආඳගෙ ඇඟට වැටෙනකොට ගැස්සි ගැස්සි පණ ගහනව.

"ගෙදර යන්න පය උස්සන කොටයි මතක් වුණේ ඉණේ ගහගෙන තිබුණු අරක්කු බාගෙ. බෝතලේ අතට ගන්න කොටම විදුලියක් කෙටුව.  බෝතල් කට කටේ තියාගෙනම ඔලුව උස්සල බැලුව.  බැලින්නම් මේ එන්නෙ...කැරකි කැරකි... රතට රතේ... දිලිසි දිලිසි... ඉදිච්ච හේන් මිරිස් කරලක් වගේ..."

"මොකක්ද රොමයියෙ."

"මොකක්ද?"... ඇයි බං අකුණු සැරක්නෙ. බෝතලේ කටේ තියාගෙනම බැලුව හොඳට ඒ දිහා. දිගට හරහට විදුලි කොටනව. ආකාසෙ පුපුරු ගහගෙන ගොරවනවයි...විදුලි කොටනවයි.  හරියට කොළ හැලිච්ච කොට්ටම්බ ගහ වගේ ආකාසෙ පුරාම එළිය දුවනව."

"එන පොට හොඳ නැහැ...රතු මිරිස් කරලක් වගේ ගිනිගෙන...කැරකි කැරකි...අකුණ එන්නෙ මගේ දිහාවට. කේන්දරේ කතාවත් මතක් වුණා. මාරකය ලෙහෙසි එකක් නොවෙයි කියල ඇරැව්වල අප්පුහාමිත් කියල තිබුණ නෙ.  මොහොතක් කල්පනා කළා...ටකස් ගාල හිතුනෙ නැතෑ කරන්න ඕන දේ...අකුණු සැරේ ඔහොම මෙහෙම පේන මානෙ ඇදී එත්දී...හිටු පිම්මෙන්ම ගැහැව්ව උඩ පිනුමක්.

"රොමයියට පිනුම් ගහන්නත් පුළුවන් බව අපි දැන හිටියෙ නෑනෙ?"

" හැබෑටම උඹල දන්නෙම නැද්ද...? ඇත්ත තමයි මම පිනුම් ගහන කාලෙ බොලාගෙ අප්ප බොලා ගැන හිතලත් නෑ නොවැ. අහල බලපන් බොලාගෙ මැරිච්ච අප්පොච්චගෙන්.  ඒ කාලෙ වැල්ලෙ හිටියෙත් නැහැ මාත් එක්ක තරක් වෙන්න තරම් පිනුම් කාරයෙක් ඉතින්...මමත් ගැහැව්වෙ එසේ මෙසේ පිනුමක් නෙවෙයි. අට ඉස්ඹක් උඩ පිනුමක්...දැන් ඔය පිනුම් මනින සාත්තරේ දන්න ඈයො නැහැ."

මම උඩ ඉඳගෙන බැලුව අකුණ දිහා. මගෙ පස්ස පැත්ත පිච්චීගෙන ගියා වගේ දැනුණ.  එතකොටම අකුණ පිපිරුව.  හම්මේ එහෙම හඬක්...මගෙ ජීවිතේට අහල නැහැ. මම බිමට පාත්වෙනකන්ම කන් අගුල් වැටිල.  බිමට පාත්වුණ හැටියෙම කටේ තිබිච්ච අරක්කු බාග බෝතලේ විසි කෙරුව."

" රොමයිය අට ඉස්ඹක් උඩ පිනුම් ගහල තියෙන්නෙ අරක්කු බෝතලේ කටේ තියෙද්දිමද ?"

" නැතිව...ඒ විතරක්යැ...ටිකක් කලබල නැතිව හිටින්කො කතාව අහවර කරනකම්...දැන් මම දන්නව...අපේ අම්ම යමරෙට කලබොල වෙලා ඇතියි කියල. බඩ ගින්නකුත් දැනෙනව.  ඕං මං ගෙදර එන්න ආව. මඟදී දැනෙනව පුලුටු සුවඳක්.  එහෙ බැලුව.මෙහෙ බැලුව. පේන මානෙ ගෙයක්වත් නෑ.  මේන්... පුලුටු ගඳ එන තැන. ඒ පොඩ්ඩට මට අමතක වෙච්ච තරම.  මොකද වෙලා තියෙන්නෙ.ඔය කලබොල මැද්දෙ උඩ පිනුම ගහල තියෙන්නෙ ආඳත් එක්ක කෝට්ට ඉණේ ගහගෙන.   අකුණු සැරේ මා ගාවින්ම නෙ ගිහින් තියෙන්නෙ.  ඒකෙ උණුහුමට ඉනේ කෝට්ටෙ හිටිය ආඳ පිලිස්සිල. මම අරක්කුත් බීල හිටපු වෙලාවනෙ. ආඳව වික විකම ගෙදර ආව."

" ආඳව විතරද පිච්චුණේ...රොමයිය පිච්චුණේ නැද්ද?"

"මාව පිච්චුණේ නැද්ද කියලත් අහනවනෙ.  මගෙ ඔලුවෙ පැත්තක්ම කොණ්ඩේ සුදු වුණේ ඔය පලහිලව්වෙදී තමයි."

" ඒ වුණාට දැන් රොමයියගෙ මුළු කොණ්ඩෙම ඉදිලනෙ"

" ඒ දැන් වයසට නෙ!"

" වයසට නෙවෙයි බං...ඔහොම ඒව කියනකොට දතුත් ඉදෙනව.  ඒකනෙ රොමයියගෙ දත් සුදු පාට වුණේ" සුද්දයියා පැවසීය.

" බොට හැම එකම බොරු... ඒ පිලිස්සිච්ච ආඳා මාළු තොගෙ අප්පොච්චිත් කාල තියෙනව බොලං." රොමයියා කේන්තියෙන් මොර දුන්නේය.

" ඇත්තටම, එහෙම නම් මම අප්පච්චිගෙන්ම අහගන්නම්කො...උඹ කේන්ති ගන්න ඕන නැහැ.  මේ මං ගියා"  එසේ කියමින් සුද්දයියා පිටව ගියේය.

"ඈ රොමයියෙ, පිනුමෙන් මාරක අපලෙ ගෙවුණා නේද?  ඊට පස්සෙවත් මනමාලිගෙ තාත්තල එහෙම ආවෙ නැද්ද?" දාවිත් අයියා තවත් දෝනාවකට මග පාදමින් විමසුවේය.

" අර සුද්දප්පුවගෙ හරුපෙ නිසා ඒ ඩිංගිත්ති ගැන කියන්න අමතක වුණා නෙ."

" මොකක්ද බං ඒ ඩිංගිත්ති?" එංගො නැන්දා හූ මිටි තිබ්බාය.

" හෙණේ පාත්වෙනකොට මං අට ඉස්ඹක පිනුමක් ගහල බේරුණ සංසිද්ධිය ගැන ඒ දවස්වල නාගස් හන්දියෙ හැමෝම කතාකළා.  මේ කතාව කටින් කට ගිහින් මනමාලිගෙ ගෙදරටත් කාන්දු වුණා. ඕං බොලං දවසක් මනමාලිගෙ තාත්තයි මාම කෙනෙකුයි කද බැඳගෙන අපේ ගෙදර ආව.  අපේ අම්මත් මහ ආඩම්බරකාරී.  එකවරම වචනෙ දුන්නෙ නැහැ." රොමයියා කෝපි උගුරක් තොල ගෑවේය.

" ඈ රොමයියෙ මඟුල හබක් වුනාද?" දාවිත් අයියා ඇසුවේය.

" හබක් වෙන්නෙ කොහොමද? ඒ කාලෙ මෙහේ කට්ටිය වැල්ලෙ බාරොන් අයියගෙ ගොයම් කයියට යනව.  ගොයම් කපල අහකවෙල ටී සයිඩර් කට්ටක් කටේ හලාගෙන දවාලේ ඇඹුලට වාඩිවුණා.  ඇඹුල බෙදන්න ආපු ඩිංගිති එකියක් ඇඹුල බෙදන ගමන් මං දිහාව අමුතු විදියකින් බැලුව.

" ඔහේද රොමානිස් අයිය කියන්නෙ. හරිම හපනෙක්ලු නේද?" ඒකි මගෙන් අහපි.  බැලින්නම් මට ජෝඩුකරපු එකී.  අපේ අම්ම වචනයක් නොදුන් නිසා ඒකි හිටියෙත් සංකාවෙන් වගේ.  මං ඇහැව්ව මාත් එක්ක යන්න එනවද කියල.  එච්චරයි.  හවස කයිය අහවර වෙලා එනගමන් මං ඒකිව ඩැහැගෙන ආව."

" හැබෑටම රොමයියෙ මගුලක් නොකාම කැන්දගෙන ආවද?" එංගො නැන්දා විමසුවාය.

" මොකෝ මඟුල් නොකෑවයැ? පහුවෙනිදා ඒකිගෙ නෑයෝ ආව.  මුළු ගමටම කියල රජ මගුලක් කෑව. එහෙම මගුල් කෑමක් මේ ගමේ තාම සිද්ද වෙලා නෑ බොලං." රොමයියා ඉතිරි කෝපි උගුරත් කටේ හලා ගත්තේය.

" ඈ රොමයියෙ දැන් උඹ දීගකන සොපා නැන්ද කැන්දගෙන ආවෙ එහෙමද?" දාවිත් ගොයියා ප්‍රශ්නයක් මතු කළේය.

" අපොයි නැහැ.  දැන් ඉන්න එකී සොපිය, මේ ගමේ එකියක්නෙ.  ඩිංගිත්ති වැල්ලෙ එකියක්.  ඒකිගෙ බඩට තුන් මාසෙදි සන්නි ලෙඩේ හැදිල ඒකිගෙ අම්මලගෙ ගෙදරදීම මියැදුනා නෙ.  මොනව කරන්නද? ඒකිගෙ ආවිස අහවර වෙන්න ඇති.  රොමානිස් අයියා පපුව පුරෝල හුස්මක් ඉහළට ඇද්දේය෴

(නිව්ටන් සෙනෙවිරත්න විසින් සුද්දයියගෙන් අසා 1972 වර්ෂයේදී ඇත්ත පත්‍රයට ලියන ලද 'රොමයියගෙ කතා' පෙළ 2003 වර්ෂයේදී ඔහු විසින් " රොමයියගෙ කයිය" යනුවෙන් ග්‍රන්ථයක් වශයෙන් සංස්කරණය කරන ලදී. මේ ඒ පොතෙහි එන එක් කතාවක් ඔබේ රසාස්වාදය සඳහා ඉදිරිපත් කිරීමකි)