Showing posts with label මම ලියපු කතා. Show all posts
Showing posts with label මම ලියපු කතා. Show all posts

Friday, September 2, 2016

දඩ කඳවුරේ කතාව.



අප වැනි විප්‍රවාසයේ ජීවත්වන අයට කියවන්නට කොතෙකුත් කැමැත්ත ඇතත් අලුත් පොත් ලංකාවෙන් ගෙන්නවා ගැනීම සෑහෙන අසීරු කර්තව්‍යයක් බව  විශේෂයෙන් නොකිව්වත් මා මෙන් විප්‍රවාසීව ජීවත්වන අය හොඳින් දන්නා දෙයකි.  අපේ උවමනාවන් සඳහා හිතවතුන් පොත්කඩ ගානේ යැවීම කළ නොහැකි දෙයකි.   ඒත් කොපමණ අමාරුවෙන් වුවද අඩු තරමෙන් අවුරුද්දකට දෙවතාවක් හෝ පොත් ගෙන්වා ගැනීමට උත්සාහ ගනිමි.    පහුගිය සතියේද මට එලෙස පොත් පාර්සලයක් ලැබුණේ මගේ සිත සතුටට පත් කරවමිනි.    හෙන්රි වර්ණකුලසුරියගේ දඩ කඳවුර නවකතාවද මා එලෙස ගෙන්නවා ගත් පොත් ගොන්න අතරේ විය.    පොත ලැබී සතියක් දෙකක් ගතවුවත් කියවා ගැනීමට ඉඩවරයක් ලැබුණේ පහුගිය දෙදොහේදීය.   උදේ කියවන්නට පටන්ගෙන නවත්වා රස්සාවට ගොස් ආපසු පැමිණ නැවත කියවා මහ රෑ වෙද්දී පොත අහවර කළෙමි.    'දඩ කඳවුර' ගැන වචනයක් ලියන්නට සිතුනේ පළපුරුදු ගත් කතුවරයෙකු වූ හෙන්රි වර්ණකුලසුරිය සමග බ්ලොග් මගින් ගණුදෙනු කරගැනීම වඩා පහසු යැයි සිතුනු නිසාය.    දැන් අපි පොත ගැන සාකච්ඡා කරමු.    මෙය දඩ කඳවුර පොත ගැන කෙරෙන විචාරයක් නොව පොත ගැන පාඨකයෙකුට ඇතිවන සිතුවිලි ලියා තැබීමක් පමණක් වන අතර මා සාහිත්‍ය විචාරකයෙක් නොව පාඨකයෙක් පමණක් බව නැවතත් කියා සිටිමි.

'දඩ කඳවුර' යනු අප මිත්‍ර හෙන්රි මීට පෙර ලියූ 'විල්ලරවාඩිය' නම්වූ නවකතාවේ දෙවෙනි කොටසය.    1940 දශකයේ අග භාගයේ වයඹ පළාතේ ඉඩමක් මිළදී ගෙන පදිංචි වන හෙන්ද්‍රික් අන්නවිරාළගේ පවුල මුලික කොටගෙන පළාත දිනෙන් දින ජනාවාස වී විල්ලරවාඩිය නම් ගමක් සෑදෙන ආකාරයත් ඒ ගම පදිංචි වැසියන්ගේ තොරතුරුත් කතුවරයා විල්ලරවාඩිය නවකතාවෙන් සාකච්ඡා කරන්නේ දශක දෙකක කාලයක්   රට තුළ සිදුවන දේශපාලන සමාජ හා ආර්ථික පෙරළිය මුලික කොටගෙනය.   දඩ කඳවුර යනු විල්ලරවාඩියේම දිගුව වන අතර 1960 දශකයේ අග භාගයේ සිට දශකයක් ඉදිරියට විල්ලරවාඩියේ සිදුවන දහසකුත් එකක් සිදුවීම් රටේ සිදුවන පෙරළියත් සමගම ඔහු දඩ කඳවුර නවකතාවෙන් සාකච්ඡා කරයි.   දඩ කඳවුර කතාව ආරම්භ වන්නේ 1967 වර්ෂයේ වයඹ පළාතටද බලපෑ ගංවතුරෙන් විල්ලරවාඩිය ගම යටවීමෙනි.   

හැටේ දශකයේ අග භාගයේ සිට ලියැවෙන හරිය පුද්ගලිකව මට වඩාත් රසවත් වන්නේ ඒ අපගේද ළමා කාලය වූ බැවිනි.     අද මෙන් ජනමාධ්‍ය බහුල නොවූ ඒ අවදියේ මුළු රටටම තොරතුරු ලබාගැනීමට තිබුණේ ගුවන් විදුලියත් පුවත්පත් කීපයකුත් පමණකි.    ලංකා ගුවන් සංස්ථාවේද ක්‍රියාත්මක වුයේ ස්වදේශීය සේවය හා වෙළඳ සේවය යනුවෙන් සේවාවන් දෙකකි.   ළමා අප ගීත ඇතුළු විනෝදාත්මක වැඩ සටහන්වලට සවන්දුන්නේ ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙනි.     ඒ හරිය හෙන්රි මෙසේ චිත්‍රණය කරයි.

"විල්ෆ්‍රඩ් ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ බාල දියණිය, ඉන්ද්‍රාණි පාසල් ගමන හමාර කළ වයසේ තරුණියක වූ බැවින් ළමුන් බලාගැනීමේ රාජකාරිය පැවරුණේ ඇයටය.    ගුවන්විදුලියට අසන්නන්ගේ ඉල්ලීම් යවමින් තමන්ගේ නම කියැවෙන්නේ කොයි මොහොතේදැයි විමසිල්ලෙන් සිටින්නට ඇය පුරුදු වී සිටියාය.    'විල්ලරවාඩියේ ඔගස්ටා ඉන්ද්‍රාණි' යන නම ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර ප්‍රචලිත වුයේ ලංකාව පුරා විල්ලරවාඩිය යනුවෙන් ගමක් ඇති බව කාගේත් මතකයේ නිදන්ගත කරවමිනි.

"මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි" කියා ගුවන්විදුලි සේවය ඉතා ගාම්භීර හඬින් පවසන්නට පටන් ගත්තේ අවුරුද්ද මුලදීය.    ඉන්ද්‍රාණිට දැනෙන්නේ අලුතෙන් පිහිටවූ ගුවන්විදුලි සංස්ථාවට තමන්ද බඳවාගෙන ඇති බවය.   ඇය ඒ තරමට ගුවන්විදුලි ලෝකයේ ජීවත් වන්නීය.(19,20 පිටු)

හෙන්රි මේ ලියන්නේ එකල යොවුන් වියේ ජීවත්වූ සෑම කෙනෙක්ගේම නොමැති නම් බොහෝ දෙනෙකුගේ කතාවයි.   එමෙන්ම ඔහු විල්ලරවාඩියේ භාවිතා වන ගැමි වහර ලුණු ඇඹුල් ඇතුවම ලියා තිබෙනු පොත පුරා දක්නට හැක.

"ජෝර්ජි මුලින් පටන්ගත් අල්තාරෙ පිටුපස සිද්ධියේ පුර්වාපර සන්ධි ගැළපෙන්නේ "මං ගෙදර ගෑනිගෙන්ම සහසුද්දෙන් දැනගන්නංකො ගල් ලෝඩ් එකේ කතාව" කියමින් චාලි, ජෝර්ජිට බැණ බැණ පිටත්වූ පසුවය.

"මොකක්ද බං ගල් ලෝඩ් කතාව... "මතායෙස් බාස් විමසන්නේ එහි තේරුම දැනදැයි නොදැනදැයි චාලිට තේරුම්ගත නොහැකිය.

"ඇයි බං මතායෙසෝ ඔය චාලට් එකීට තියෙන්නෙ අස්ස ගායක් නොවැ.   පේන්නැද්ද පුක නටෝ නටෝ යන ලක.අඳින්නෙත් කොටට කොටේ.මොනව හරි අහුල ගන්න පාත් වුණොත් ගාත්‍රා දෙක නිර්වස්තර..."

"හරි හරි... ඔය වර්ණනාව පැත්තක තියල වෙච්චි දේ කියහංකො..."

"මොනාද ඉතිං විසෙන්තිකාරය දෙකට ගනින්න බෑ වගේ උන්නට මේකිගෙ අඟර දඟරෙට අහු වෙන්නැති.  ගංවතුර කලබලේ පල්ලියෙ පවුල් කීයක් නං ගාල් වුණා කියලද... දෙන්න බිම පෙරළීගෙන ගාත්‍රා දෙක අස්සෙ කොරා කියලනෙ කියන්නෙ..." ජෝර්ජි අන්තිම හරිය කියන්නේ හඬ බාලකොට හෙන්ද්‍රික් අන්නවීරාලට ඇහෙන නෑහෙන ගානටය.  " කොල්ලො කියන්නෙ ගල් කපනව කියලලුනෙ ඔය කරුමාන්තෙට.ඒකයි මං කිව්වෙ ගල් ලෝඩ් එකක් බෑව කියල..."(24,25 පිටු)

විල්ලරවාඩියේ පදිංචි අය අතර සිදුවන රහස් ලිංගික සම්බන්ධතා ද කතුවරයා අඩුපාඩුවක් නොමැතිව විස්තර කරයි.

"ඒ අත සියුමැලිය.රෝසපාට ඇඟිලි තුඩු සිහින්ය.දිගැටිය.ඒ ඔස්සේ දෙනෙත ඉහළට ගත් ලෙස්ලි දුටුවේ මඳක් පහත් වීගෙන මහන මැෂිමට නැඹුරුවී රෝදය කරකවන විතාරණ නෝනාගේ කර පළල් සැට්ටය තෙරපාගෙන ඉවතට පනින්නට තතනන සුන්දර දෙතනය.

යටට ඇඳුමක් හැඳ නොසිටි,සරමක් පමණක් හැඳ සිටි ලෙස්ලිගේ අංගජාතය පොළා පැන්නේ ඇගේ සුන්දර දෙතන දැකීමෙන් ක්ෂණිකව ඇතිවූ ජාගර ආශාවෙනි.

"අක්කෙ...වැටෙයි." කියූ ලෙස්ලි ඇගේ අත්ගොබය අල්ලා ගත්තේ නියන බිමට අත හරිමිනි. ඒ හාම ඔහුගේ මුහුණ ඇගේ නිරාවරණ වූ දෙතන අතර සිර වුණේත් විතාරණ නෝනා දෑතින්ම ඔහුව බදා ගත්තේත් එකවරමය.

පැය තුනක් ඇතුළත දෙතුන් වතාවක් සිය සිරුරේ රෝම කූපයක් ගානේ හිරි වට්ටාගෙන සිටි විතාරණ නෝනා මෙවන් පරම සුවයක් අත්විඳ තිබුණේ ජීවිතයේ ප්‍රථම වතාවටය.(231,232 පිටු)

කතුවරයා ඒ ඒ කාලයට රටේ සිදුවන දේශපාලන, සමාජ, ආර්ථික විපර්යාස පාඨකයාට දක්වන්නේ විල්ලරවාඩියේ පදිංචිකරුවන්ගේ දෙබස්වලිනි.එයින්ම ඔහු පාඨකයාට කාලය ගැන ඉඟියක්ද ලබාදෙයි.

" මාකස් අයියලටත් දැන් තේරෙනවද යු.ඇන්.පී එකේ රඟේ...අන්තිමට ඉරිද නිවාඩුවටත් කණකොකා ඇඬුව..." රෙජිනෝල්ඩ් මේ කතාබහට මුල පුරන්නේ කඩේ ඉදිරිපිට බංකුවේ ඉඳගෙනය.

"මටත් නං මේක හොඳට හිතට වැදුණා...ඉරිද පූජාව පෝයදාට තියන්න කියලයැ. ඉරිදා උදේ පූජාව කොහෙ තියන්නද?ළමයි ඉස්කෝලෙ යනව.  ආංඩුවෙ රස්සාකාරයො වැඩට යනව.  ඉතින් හවස පූජාව පටන් ගත්ත." කැපුවත් කොළ යු.ඇන්.පී කාරයෙක් වන ජෝර්ජිටද මේ තීරණය හා එකඟ වන්නට නොහැකිය.(40 පිට)

ඒ ඩඩ්ලි සේනානායක රජයෙන් සෙනසුරාදා ඉරිදා නිවාඩු වෙනුවට හතර පෝයට නිවාඩු දීම නිසා ඇතිවුණු තත්වය ගමේ අයගේ දෙබස් වලින් පැහැදිලි කිරීමකි.  කාලය සම්බන්ධව දෙබසින් ලබාදෙන ඉඟිය වෙනුවට සමහර තැනෙක කතුවරයා සමහර සිද්ධි ගෙඩි පිටින්ම විස්තර කරන්නට යෑම කතාවට තරමක වාර්තාමය ස්වරුපයක් ගෙන එයි.(168,169 පිටු)

 දඩ කඳවුර කතාව 1968 සිට 1978 දක්වා දශකයක් තුළ ගලායයි.  කතාව කියවන මට සමහර තැනෙකදී ජයකොඩි සෙනෙවිරත්නයන් කලෙකට පෙර ලියු 'අතවැසියෝ' කතා කිහිපය නිතැතින්ම සිහියට ආවේ ඔහුද මෙවන් රීතියකින් එම කතා ලියා තිබු නිසාය.  ඒ 40 දශකයේ මුල් භාගයේ සිට 60 දශකය දක්වා හොරණ ප්‍රදේශය පසුබිම් කරගෙනය.   සමහර තැනකදී මගේ මතකයට ආවේ භද්‍රජි මහින්ද ජයතිලකයන් ගේ අගනා නිර්මාණයක් වූ "පොල්ගහමුල කඩේ" කෘතියයි.

හෙන්රිගේ විල්ලරවාඩිය කෘතිය ගැන කාගේදෝ බ්ලොගයක ලියා තිබියදී මා කමෙන්ටුවක් ලෙස ලීවේ එහි චරිත විශාල සංඛ්‍යාවක් ඇති නිසා ඔවුන් කාගේ කවුද යන්න වටහා ගැනීමට තරමක අපහසුවක් ඇතිවන බවයි.  එම අපහසුතාව දඩ කඳවුරේදී වඩා තීව්‍ර වන්නේ විය යුතු පරිද්දෙන්ම විල්ලරවාඩිය කෘතියට වඩා වැඩි චරිත සංඛ්‍යාවක් දඩ කඳවුරේ සිටින බැවිනි.   එහෙත් කතාවේ රසය විඳීමට එය බාධාවක් නොවන බව නම් කිව යුතුය.  කෙසේ වුවද 'දඩ කඳවුර' හෙන්රි වර්ණකුලසුරිය අතින් ලියැවුණු හොඳ කෘතියක් ලෙස මගේ මතකයේ රැඳෙන බව ලියා තැබීමට කැමැත්තෙමි෴

(ප.ලි. මුද්‍රිත පිටු 392 ක් පුරා ගලා යන දඩ කඳවුර කතාවේ ලිවිය යුතු තැන් තවත් බොහොමයක් ඇතත් මා මෙලෙස කෙටියෙන් ලීවේ දිගින් දිගට ලියන්නට ඇති කම්මැලිකම නිසා බව වැඩි දුරටත් දන්වමි.) 

Sunday, July 10, 2016

අපේ වගතුග සමග පී.බී. අල්විස් පෙරේරා හමුවීම.


ඇල්.ඩී. මැන්දිස් සුරින් ගත්කරුවකු පමණක් නොව ඉතා දක්ෂ කවියෙකුද වෙයි.   ඔහුගේ කවිකම ගද්‍ය රචනයද ඉක්මවා යන බව කිවහොත් එය නිවැරදි යැයි මට සිතේ.  දිවයිනේ නමගිය කවීන්ගේ සමකාලීනයෙකු වූ මැන්දිස් සුරීහු ඒ තැනට පත්වුයේ සිය පාසල් සමයේදීමය.   ලිවිසැරිය මතු නොව හිටිවන කවියෙහි ද ඔවුහු දස්කම් දැක්වුවෝ වෙති.  කවි ලිවීම හේතුවෙන්ම එකිනෙකා හොඳින් දැන හඳුනා ගෙන සිටියත් පුද්ගලයා වශයෙන් කවුද කියා නොදැන සිටි හේතුවෙන් දිවයිනේ මහා කවීන් සිතා සිටියේ මැන්දිස් සුරින්ද සිය සම වයස් කෙනෙකිය යනුවෙනි.   හික්කඩුවේ බී.එච්.අමරසේන,පී.බී.අල්විස් පෙරේරා යන මහා කවීන්සමග හරි හරියට කවි සංවාදයෙහි යෙදුනු මැන්දිස් සුරීන් මේ සම්බන්ධයෙන් ලියා ඇති රසබර කතාවක් ඔහු ලියු "අපේ වගතුග" පොතේ එයි.    ඇල්. ඩී. මැන්දිස් සුරීන් විසින් ලියා 1961 දී පළකළ  මේ පොතෙන් පරිච්ඡේදයක් ඔබගේ රස වින්දනය සඳහා අද මම ඉදිරිපත් කරමි.

"හික්කඩුවේ අමරසේන මතක් වෙතොත් කොල්ලුපිටියේ අල්විස් පෙරේරාද  මට නිතැතින්ම මතක් වෙයි.   අල්විස් පෙරේරාද රටේ නම ගිය ඉහළ පෙළේ කවියෙකි.    අමරසේන හඳුනා ගත්තාක් මෙන් අල්විස් පෙරේරාද මට හඳුනා ගන්නට ලැබුණේ මා පාසැල් ශිෂ්‍යයෙකුව සිටි කාලයේ දීය.   ඒ කාලේ "ලංකා සමය" නමැති සතිපතා පත්‍රය පළ වුයේ ඩබ්ලිව්.ඒ.සිල්වා මහතාගේ සංස්කාරකත්වයෙනි.සතිපතා පත්‍රයක් වූ ලංකා සමය පාසැල් සිසුන් අතර ඉතා ප්‍රිය බවට පැමිණියේය.  

මොකක් හෝ මාතෘකාවක් උඩ ආරම්භ කෙරෙන කවි වාදයක් නිසා ලංකා සමය තරුණ කවියන් අතර ආන්දෝලනයක් ඇති කළ බව කිව යුතුය.  කවි ලිවීමට ආශා කළ තරුණ පරපුර හුදුවිනෝදය සලකාගෙනම දෙපිළට බෙදී කවියෙන් වාද කළහ.වාදය උදෙසා දෙපිළෙන්ම ලියවුණු කවිවල තිබුණේ වැදගත් විෂය කරුණු නොවේ.  ඇණුම් බැණුම් ය.   හික්කඩුවේ අමරසේනත් ලංකා සමයේ වාදවලට කවි ලියා ඕනෑ තරම් බැණුම් ඇසු කෙනෙකි.  විරුද්ධ පක්ෂය ගෙන අමරසේනට බැන වැදුණේ පරණගම නමැති කෙනෙකු බව මට මතක තිබේ.   හාපුරා කියා මගේ කවියක් පළවුයේද ඔය කියන විදියේ වාදයක් සම්බන්ධයෙනි.  ඒ කවිවල වැදගත්කමක් තිබුණේ නැත.

ලිහිල් මාතෘකා අනුව කවි ලියන්නට යැයි ඩබ්ලිව්.ඒ . සිල්වා මහතා මට අනතුරුව අවවාදයක් කළේය.  මම එය පිළිගතිමි.   "වෙසක් මාසය,ගාලු වරාය,පියුම් පොකුණ" යනාදී මාතෘකා අනුව මා ලියු කවි පංති සතියක් පාසාම වාගේ ලංකා සමයෙහි පළ විණි.   මට සිංහල ලේඛන කලාව සඳහා දැඩි ආශාවක් උපන්නේ එතැන් සිටය.

ඩබ්ලිව්.ඒ.සිල්වා මහතාගේ "ලංකා සමයත්" හේමපාල මුනිදාස මහතාගේ"ජාතික බලයත්" නිසා ලේඛනකලාවට ආශා කළ බොහෝ තරුණයන්ට විශේෂ රුකුළක් ලැබිණි.  ඔය යුගයේදී කලඑළි බැසගත් තරුණ කවීන් බොහෝ දෙනෙකු අද හොඳ කවියන් වී සිටිතියි කිවයුතුය.  ඒ පිලිබඳ හැම ගෞරවයක්ම හිමිවන්නේ තරුණ පරපුරට අතදුන් නිහතමාන පුද්ගලයන් දෙදෙනා නිසාය.

ලේඛන කලාව ප්‍රියකරන පාසැල් ශිෂ්‍යයෝ අද කෙළවරක් නැතිව සිටිති. එහෙත් ඔවුන්ට උපකාර කළ යුතු යයි කල්පනා කරන පත්‍රකාරයෝ අද රටේ නැත.  ඔවුන් වඩ වඩා තැන දෙන්නේ නම ගිය අයටම පමණි.ලංකා සමය මගින් ඇතිවූ කවි ආන්දෝලනය පැවති අවදියේය මට අල්විස් පෙරේරා හඳුනා ගන්නට ලැබුණේ.දිනක් මට අල්විස් පෙරේරාගෙන් ලියමනක් ලැබිණි.  මෙන්න මේ කවි කීපයද එහි තිබිණැයි මට මතකය.

"පින් පළ තිබී ඉපදී කිවියර                 පවුළේ
නන්ලෙද වයන නිතොරම රස කවි      දවුළේ
සුන්දර සැප විඳින සරසවි සහ             හවුළේ
මැන්දිස් වැවදෙනියෙ හිතවත් කවි  කොවුළේ

මිණි පවුරකට රිවි දෙවි සියකිරණ          හොවයි
මිනිමුතු වැලක් ලිහෙමින් මග දිගට            දුවයි
පෙනිපෙනි එයින් මනහර පද බුබුළු           මවයි
අනිකක් නොවෙයි සොහොයුර, ඒ ඔබගෙ මුවයි

සුරතල් කිවියරා හැම දවසෙම      පොදුවේ
මරකත මිණකි බබළන සියබස්        මුදුවේ
වරතරකම ඇතත් එපමණටම          හුදුවේ
පරබසකින් කිමද? ඔබෙ නම ගම  යෙදුවේ

පියකරු බව ඇතත් ඉන් වන දේ        නේකයි
සියබස් පිනිදියෙන් අද අපි අබි           සේකයි
එය ඔබ නොම තැකුව එක ගැන හද සෝකයි
මෙය දන්වන්නෙ මෙපමණ බර කර     ඒකයි "

මට මේ ලියමන අල්විස් පෙරේරාගෙන් ලැබුණේ 1937 පෙබරවාරි මාසයේ දී යැයි කිව හැක.  මමද ඔහුට කවි කීපයක් ලියා යැව්වෙමි.   ඔයින් මෙයින් අල්විස් පෙරේරාත් මාත් අතර දැඩි සම්බන්ධකමක් ඇති වූයේය.   එහෙත් මා අල්විස් පෙරේරා දැකලාත් නැත; අල්විස් පෙරේරා මා දැකලාත් නැත.  අල්විස් පෙරේරා බලන්නට කොල්ලුපිටියට යායුතු යයි මට කල්පනා විය.  එහෙත් එයට කලින් මා කොළඹ අවුත් තිබුණේ එක වතාවක් නැතිනම් දෙකක් පමණය.  ඒ ආවේද බාල මාමා සමගයි.  "පාරවල් හුඟක් ඇති කොළඹට අවුත් අතරමං වෙන්නේ මොකටද?" කියා මම ගමන කල් තැබුවෙමි.

නොයෙකුත් රසවත් සිද්ධීන් පිළිබඳව අල්විස් පෙරේරා මට දිගින් දිගටම ලියුම් ලීවේය. මමද ඔහුට ලියුම් ලීවෙමි.  ඔහු විසින් ඒ කාලයේ මට එවන ලද ලියුම් බොහෝ ගණනක් මෑතක් වනතුරුම අපේ ගෙදර මහා පෙට්ටියේ තැන්පත් කොට තිබිණි.   ජ්‍යෙෂ්ඨ විභාගය සඳහා පතපොත බැලීමෙන්ද,එහෙත් ඉඩ ඇති හැම වෙලාවකම පත්‍රයකට කවි පෙළක් දෙකක් ලියමින්ද මම කාලය ගත කෙළෙමි.

අපට සිංහල අවුරුද්ද සඳහා පාසැල් නිවාඩුව ලැබුණේය.   වෙන අවුරුදු වලදී මෙන්ම ඒ අවුරුද්දේත් මහගෙදර වත්ත කජු පුහුළන් වල සුවඳින් පිරී යන්නට වන.  ගස්වල ඇති කජු නාඹර ගණන් කරමින්ද, පුහුළන්වල ඇති සුවඳ නැහැයට ඇද ගනිමින්ද, මම උදය සිට සවස් වනතුරු කජු ගස් පල්ලේ ඇවිද්දෙමි.

සිංහල අවුරුදු නොනගතේ ලබන්නේ දහතුන් වෙනිදාය.  වල්ලඹ ගොඩේ ගැහැණුන් ලවා කැවිලිපෙවිලි සාදවමින්ද නංගිලා මල්ලිලාට අළුත් රෙදිපිළි සුදානම් කරමින්ද, අම්මා අමුතු ප්‍රීතියකින් සිටියාය.  තාත්තාද නැකත් හෝරා ගැන බලමින් සනීප පුටුවේ දිග ඇදී සිටියා වෙන්නට ඇත.

නොනගතේ ලබන වේලාවේ ගෙයින් පිටතට යෑම මට ඒ කාලේ තහනම් වුවකි.  එහෙත් කජු ගස් පල්ලේ ඇවිද්දේ නැති නම් සිංහල අවුරුද්දෙන් මට ඇති වැඩක් නැත.  මම වත්ත පහළට ගියෙමි.

පොරෝලිස් මාමාගේ බෙහෙත් තුවක්කුව පත්තු වුයේ නොනගතේ ලබන මොහොතේය.  මට මතක ඇති කාලයේ සිටම නොනගතේ ලබන වෙලාවටත්,ගෙවෙන වෙලාවටත්,අවුරුදු කන නැකතටත්,උන්දෑ බෙහෙත් තුවක්කුව පත්තු කරයි.

පන්දාස් පන්සීය වර්ගයේ මඳක් කහ පාටට හුරු පියුජි සිල්ක් රෙද්දක් හැඳ,සුදු කෝට් එකක් දමාගත් කවුදෝ තරබාරු මිනිහෙක්,බතල ගෙඩියක් මෙන් පෙරළෙමින් රත්මලාන වත්ත ඉස්මත්තෙන් මතුවිය.  කෙස් නැතිකම නිසා පෑතැටියක් මෙන් පෑදුනු තට්ටයක් ඇති අනෙක් මිනිහෙකු ද ඔහු පසුපස යනු මා බලාගෙනය.  මේ යන අමුත්තන් දෙස බලමින් මා සිටියේ කජු අත්තක් උඩයි.

"තමුසෙලා කොහේ යනවද ඕයි?" කියා අසන්නටත් මට සිත් විය.  එහෙත් නොහඳුනන මිනිසුන්ගෙන් ඕනෑ නැති ප්‍රශ්න අසා බැණුම් අහන්නට බැරි නිසා මම කජු අත්ත උඩටවී කකුල් දෙක සලසලා සිටියෙමි.  පියුජි සිල්ක් රෙදිකාරයා බතල ගෙඩිය මෙන් පෙරළෙන්නේ අපේ ගේ පැත්තටයි.  ඔවුන් තාත්තා මුණගැහෙන්නට එන බාස් උන්නැහේලා වෙන්නට ඇතැයි මම කල්පනා කළෙමි.

"කොයි එක උනත් ගෙදර ගිහින් බලන්න ඕනෑ!" කියා මට සිතිණි.එහෙත් තාත්තා හම්බ වෙන්නට එන බාස් උන්නැහේලා සමග මට ඇති වැඩක් නැත.  කජු අත්ත උඩ වාඩිවී මම තව තවත් හයියෙන් කකුල් දෙක වැනුවෙමි.

"අන්න බෑණා හම්බ වෙන්න කව්ද කොළඹ මිනිස්සු වගයක් ඇවිල්ලා! කව්ද දන්නෙ නෑ!" මේ පණිවුඩය ද මට දීගෙන බාල මාමා ගියේ රත්මලාන වත්තේ කඩේට විය යුතුයි.

මම ගසෙන් බැස ගෙදර ගියෙමි.  ඒ කාලේ මා හමුවන්නට ඈත පළාත්වල මිනිස්සු නො ආහ.  එතොත් එන්නේ පාසැල් ශිෂ්‍යයෙකු පමණකි. 

"කව්ද දන්නෙ නෑ!" යනුවෙන් මම මටම කියා ගතිමි.

"කොයි එක වෙතත්,කුස්සිය පැත්තට ගොහින් අම්මගෙන් අහල බලන්න ඕනෑ!" කියා මම ආලින්දයට ගොඩ නොවී පස්සා දොරෙන් කුස්සියට ඇතුළු වීමි.

"කව්ද අම්මෙ ඇවිල්ල ඉන්නෙ?"

"කව්රු දන්නවද දරුවො? මේ නොනගතේ වෙලාවෙ මිනිස්සු ඔහොමත් ගෙවල්වලට එනවයැ!" තෙල් හට්ටියෙන් බාන කැවුම් වගයක් අම්මා බටපොතු පෙට්ටියක තැන්පත් කරන්නට වන්නීය.

"ඉතින් කව්ද ඒ ?"

"මම දන්නෙ කොහොමද? ගිහින් අහගනින්!"

මම සාලයට එබිකම් කළෙමි.අමුත්තෝ එහි නැත. ඔවුන්ගේ කසුකුසුව මට ඇසෙන්නේ මගේ කාමරයෙනි.

"ඕනෑ එකක් උනාවේ!" කියා මම කාමරයට ඇතුළු උණෙමි.   ඒ අවුරුද්දේ තාත්තා මට ගෙනැවිත් තිබුණේ තනි කොළපාට පියුජි සිල්ක් සරමකි. කලින් දවසේ මූට්ටු කරවන ලද ඒ සරම තැන්පත් කොට තිබුණේ මගේ මේසය ළඟ වූ පුටු ඇන්දේය.   මගේ අවුරුද්දේ සරමත් ඇඳගෙන,මගේ ඇඳේ දිග ඇදී,බඩද එළියට දමා ඉන්නේ බතල ගෙඩිය වැනි මිනිසාය.  වඩාත් ළංවූ විට මට ඔහු පෙනුණේ පීප්පයක් මෙනි.   මගෙන් කිසිම අවසරයක් නැතුව, මගේ කාමරයේ ඇති බඩු මුට්ටු පරිහරණය කරන්නට වරම් ලද මේ පුද්ගලයා කව්ද?  මම විමතියෙන් බලා සිටියෙමි.

හැම දෙයකටම වඩා මගේ සිත් ගත් අති විශේෂ කරුණක් විය.   එනම් අමුත්තාගේ මුහුණේ පැවති අමුතු කළු පාටයි.  එය එසේ මෙසේ කළු පාටක් නොවේ.  කළුවේ තදකම වැඩි නිසාම දිළිසෙන මිණිරන් පාටකි.  "මුගලන් හාමුදුරුවන්ගේ පාට වගෙයි!' කියා මට නිකමට සිතිණි.

"තමුසෙද වැවදෙණියෙ ඇල්.ඩී. මැන්දිස්?" මේ ඇසුවේ ඇඳේ දිග ඇදී සිටි අමුත්තාය.

"ඔව්" කියා මම අනෙක් මිනිසාගේ තට්ටය දෙස බැලීමි.

"තමුසෙ ඔයාගෙ තට්ටෙ දිහා බලන්න ඕනෑ කමක් නෑ! ඔයා ඉඳුරුවෙ මගේ යාලුවෙක්.......... මම අල්විස් පෙරේරා....."

අවුරුදු ගණනක් තිස්සේ ලියුම් හුවමාරු කර ගත් නමුත් ඔහුගේ රූපය කෙබඳු එකක් දැ යි මගේ සිතේ යන්තමින් වුවද ඇඳී නොතිබිණ.

නොනගතේ වෙලාවේදී අපේ ගෙදරින් වතුර පොදක් වත් අමුත්තෙකුට නොලැබේ.  යටත් පිරිසෙයින් කුස්සියේ ඉවතලන පොල් කුඩු ටික වත් එදාට කාක්කන්ට වත් ලැබෙන්නේ නැත.  එය අම්මාගේ නීතියකි.   එහෙත් එදා.......?

කාලාන්තරයක් තිස්සේ අපේ ගෙදර තිබුණු නීතිය එදා අල්විස් පෙරේරා විසින් බිඳ දමන ලදී.  නොනගතේම ඔහු අපේ ගෙදර බත් කෑවේය;  අවුරුදු නැකතටත් බත් කෑවේය;  රෑ දෙකකුත් එහි නතර වුයේය.  අල්විස් පෙරේරා විප්ලවවාදියෙකැයි මට අදහස් වුයේ එදාය.  අල්විස් පෙරේරා වැවදෙණියේ නතරවී සිටි දවස් දෙක තුන අමුතු ජීවයකින් යුක්ත වුයේ ඔහුගේ කවිය නිසාය.  ඔහු ගෙදර කාටත් හිටිවන කවි කීවේය.  මමත් කවි කීවෙමි.

කවියට ඇබ්බැහි වූ තරුණ පෙළට ඒ කාලේ වැළඳී තිබුණු භයානක පිස්සුවක් නම් හිටිවන කවි කීමයි.  කවි සමාජයේ රැස්වීම් වලින් පටන් ගත් හිටිවන කවිය මුදේ දැල් පොළ දක්වාම විහිදිණි.   කෙනෙකු හිටිවන කවියක් කියතොත් මට මගේ යහළු අප්පු පිස්සා මතක් වන්නේ ඒ නිසා විය යුතුයි.  අප්පු පිස්සාටද හිටිවන කවි කියන්නට පුළුවන්කම තිබිණි.   අගනුවර තරුණ කවි සමාජයද මේ වකවානුවේ ඇරඹුණු බව දන්වා අල්විස් පෙරේරා මට ලියමනක්ද එවා තිබුණේය෴

Friday, July 1, 2016

ආයුබෝවන්!!


අද මම අලුතින් බ්ලොගයක් ආරම්භ කරමි.   එය නම්කර ඇත්තේ සිත්ගත් සාහිත්‍ය කලාකෘති යනුවෙනි.  මගේ සුපුරුදු බ්ලොගයට අවුරුදු හතරක් සපිරෙන්නට තව මාස කීපයක් තියෙද්දී මෙවැනි අලුත් බ්ලොගයක් ආරම්භ කරන්නට සිත් වුන හේතුවක් ඇත.   බ්ලොග් ලිවීම මගේ විනෝදාංශයකි ඒ පමණටම මා ලොල් කරන තවත් විනෝදාංශයක් නම් පොත් පත් කියවීමයි.   මේ දෙකම සමබරව පවත්වාගෙන යමි.   නමුත් බොහෝවිට මා සිත්ගත් පොතක් හෝ වෙන කලාකෘතියක් ගැන පාඨකයන්ට කියන්නට තැනක් නැත.  මන්ද යත් බොහෝ පාඨකයන් මගේ බ්ලොගයේ මා සුපුරුදු ලිවිසැරියෙන් බැහැරව ලියනවාට සිය අප්‍රසාදය ප්‍රකාශ කරන බැවිනි.   බ්ලොගය මගේ නිසා කැමති දෙයක් ලියමි යි කියා කියන්නට බැරි බ්ලොගයකට පාඨකයන් එතරම්ම වැදගත් නිසාය.   කොපමණ හොඳ බ්ලොගයක් ලිව්වත් එයට පාඨකයන් නොපැමිණේ නම් කමෙන්ට් නොකරයි නම් එයින් පලක් නැති බව මගේ විශ්වාසයයි.

 මගේ සිත්ගත් පොත්පත් චිත්‍රපට සහ වෙනත් කලාකෘති ගැන මේ බ්ලොගයේ ලියමි.   රස විඳින්නට ඔබටද ආරාධනා කරමි.  මගේ අනෙක් බ්ලොගයද සුපුරුදු පරිදි යාවත්කාලීන වනු ඇත.   වෙනම බ්ලොගයක් ආරම්භ කිරීමේ අදහස සිතට දැම්මේ හිතවත් ප්‍රාජේය.  ඉක්මනටම අරඹන්නට කිවේ හිතවත් මනෝජ්ය. මට ඇත්තේ අත දිග හැර ලියන්නට පමණකි.   ඔබ දෙදෙනාට මගේ ස්තුතිය පිරිනැමේ෴