Wednesday, June 27, 2018

පානම්පත්තුවේ අසිරිය.

                                       පිංතුරය: Google Images.
අගෝස්තු මාසය ගමට ගෙන දෙන්නේ දැඩි නියඟය සමග වියලි සුළඟකි.  ගැමියනට එය විවේක සුවය ගෙන දෙන මාසයකි.  යල් කන්නයේ අස්වනු නෙලා අවසන්ව මහ කන්නයේ හේන් කැපීමට හා කුඹුරු කෙටීමට පෙර විවේකය ගෙන දෙන්නේ මෙම මාසයයි.  ළිං පතුල් දක්වා දිය සිඳී යන්නේ වැහි කඳුලක් නොලැබෙන බැවිනි.  එකල දිවා කාලයේ ගැමියන් දාහය නිවා ගැනීමට ගෙමිදුලේ හෝ ගෙවත්තේ තුරු සෙවණ යට කල් මැරීම සුලභ දසුනකි.

" තුන් කසෙන් දාඩිය බේරෙනවා, පුදුම පෑයිල්ලක් වට්ටවිදානේ.  හරකුන්ට කන්ඩ වල් ගහක් හොයා ගන්ඩ නෑ.  උන්ට බොන්ඩ වතුර උගුරක් නෑ.  උල්ලවෙල, කිඹුලාවල හිටං වතුරු හිඳිලා.  පැළිවළං පැලිලා බොටා" යැයි පවසමින් පැමිණි සයින් මාමා ගෙමිදුලේ කොස් ගස් සෙවනේ විවේක සුවයෙන් සිටි පියා අසල ඉඳ ගත්තේය.

" පෑයිල්ලේ තරම කිව්වොත් ගේ ඇතුළෙත් ඉන්ඩ හිටින්ඩ බෑ බොටා.  ඒක හින්දා තමයි මේ හෙවණට ඇවිල්ලා ඈඳි ගත්තේ" යැයි පියා කීය.

" උඹලට කිව්වම මොනා, දවල්ට බත් කෑවෙත් අපි මේ හෙවණේ මයි.  ඒ කාපු ගමන් තමයි මේ ඉන්නේ."  මවද කතාවට එක්වූවාය.

" හැබෑටම බත් ටිකක් කමුං කොයි." පියා දිවා ආහාරයට සයින් මාමාට ආරාධනා කළේය.

" එපා වට්ටවිදානේ, මාත් කාපු ගමන්මයි බොටා ආවේ.  විටක් කන්ඩ තැනුවා, බැලින්නම් දුංගල නෑ.  ඒ ගමන් මේ මෙහෙට්ට පනං උනේ" යි පැවසු සයින් මාමා හඬ නගා සිනාසුණි.

" එහෙනං කාපල්ලා කොයි බුලත් ඉටක්" යැයි පවසමින් මව ඉලත්තට්ටුව ඔහු වෙත දිගු කළාය.

සයින් මාමා අපේ අසල්වැසි ඥාතියෙකි.  ඔහු පියාගේ කූට්ටු කාරයාය, එනම් ගජ මිතුරාය.  එමෙන්ම ඔහු අපේ කරත්තකාරයාය.  අපගේ හේන් කුඹුරු වැඩ සඳහා කරත්තයේ සේවාව සැපයුවේ ඔහුය.

" වට්ටවිදානේ, මං මේ ආවේ විසලමකටත් එක්ක"  යැයි හීන් හඬින් පැවසු සයින් මාමා සුරතේ මැදගිල්ල හා දබරැඟිල්ල තද කොට ඈතට බුලත් කෙළ පහරක් විද්දේය.

ඔහු දැන් වැදගත් යමක් පියාට පවසන්නේ යැයි ඉඟි වැටුණු මම පියා අසලටම ගොස් ඉඳ ගත්තෙමි.

" මොක ඩා අප්පා විසලම?" යැයි කුතුහලයෙන් ඇසු පියා දැඩි අවධානය යොමු කළේය.

පියා අබිබවා යමින් මම අවධානය යොමු කළේ ඔහුගේ මුහුණ දෙස දෑස් දල්වමිනි.

" හෙට උදේ සැහැරියේ ම කුණු කොළ ලුණු කඩන්න යමුල්ලා කොයි බොටා." ඔහු යෝජනා කළේය.

" මමත් මේ හිත හිතා හිටියේ ඕක තමයි වෙද.  මෙදා කුණු කොළ ඇල්ලේ ලුණු වැටිලලු නේ බොටා හරියට." පියා කීය.

" ඊයේ ආත්තා කෙල්ල එහෙම අපිට ලුණු ගෙල්ලා දුන්නා.  මහදොබ්බ ලුණු කැට.  නිකං කිරි කෝපතේ වගේ හුදුම හුදු පාටයි, පංකාදු ලුණු ටික." මව පැවසුවේ ඔවුන් දිරි ගන්වමිනි.

දැඩි නියඟයට කුණුකොළ කලපුව හා අවට දිය කඩිති සිඳී ගොස් එහි දියලුණු තැන්පත් වේ.  මෙම ස්වභාවික ලුණු ලේවායකට ගොස් ගැමියෝ තමන්ට වසරකට පමණ සෑහෙන සේ ලුණු කඩාගෙන පැමිණෙති.  වසරක් පාසා එළඹෙන නියඟය මෙසේ වාර්ෂික ලුණු අස්වැන්නක් ඔවුනට උරුම කර දෙයි.

දෙමළ ජන ගී රාවයක් උස් හඬින් ඉඳිකඩුල්ල දෙසින් මතු වුයෙන් සියල්ලෝම එදෙස දෑස් දැල්වුහ.

" කන්ඩස්සරෙන් ම මං හිතුවා මනුවෙල් කුට්ටුකාරයා තමයි එන්නේ කියල බොටා." සයින් මාමාගේ මුහුණ සතුටින් පිරී ගියේය.

මනුවෙල් මුත්තාගේ පැමිණීම සයින් මාමාට වඩා මගේ සිත් ගත්තේය.  ඒ මනුවෙල් මුත්තාගේ ජනකතා, ජනකවි, ජන ගී හා උපහැරණ කතා ආදිය ඇසීමට ඇති මගේ නොතිත් ආසාවයි.  එයින් තොර ඔහුගේ වෙනත් කතා බහක් නොමැති තරම් ය.

" ඈඳි ගනිල්ලා කොයි මාමා වංගෙඩියෙන්" යැයි පවසමින් පියා ගරුසරුව ඔහුට වංගෙඩිය පෙන්වුයේ අත දිගු කරමින් ය.

" මෙහෙම පායන්ඩ හිටියොත් ඩප්පා බඩේ විසාදියටම ඔක්කොම මැරිලා කම්මුතු වෙයි.  මේ දවස්වල බඩපුරා වතුර ජාති බොන්ඩ ඕනි.  රණවරා, පොල්පලා, කුරුම්බා වගේ එව්වා.  කැකිරි, තියඹරා, කුමුදු වගේ වතුරු කෑම කන්ඩත් ඕනි."  වංගෙඩියට බර දුන් මනුවෙල් මුත්තා කීය.

" මාමා බත් ටිකක් කමුල්ලැයි." මව ඔහුටද දිවා ආහාරයට ආරාධනා කළාය.

" මං කාලා බවෝ ආවේ.  වට්ටවිදානේ එහෙම කාපල්ලා කොයි.  මං විටක් කන්නල්ලා කොයි."  ඔහු ඉලත්තට්ටුව සුරතට ගත්තේය.

" හා හා විට කන්ඩ එපා.  අපිත් කාලා ඉන්නේ, පොල්පලා උගුරක් බොමුල්ලා කොයි."  ඔහුගේ බුලත්විට කෑම වළකා දැමු මව පොල්පලා තැම්බුම රැගෙන ඒමට කුස්සිය දෙසට පා තැබුවාය.

" මොනා කුට්ටුකාරයා උඹලා එකලා මේ දොඩ දොඩා හිටියේ?"  මනුවෙල් මුත්තා සයින් මාමාගෙන් විමසමින් කතාවකට මුල පිරීය.

අපි මේ කුණුකොළ ලුණු කඩන්න යන්ඩ කියලා බොටා." සයින් මාමා කීය.

" ආං හොඳයි,  පංකාදු පහයි, හොඳයි, හොඳයි."

" මාමත් එනවද එහෙනම් හෙට ලුණු කඩන්ඩ යන්ඩ?" පියා  විමසීය.

" නැතුං නැතුං ." ඔහු එය තහවුරු කරමින් එකඟතාව පළ කළේය.

" මාත් එනවා."  එවිට මගේ මුවින් වචන පැන්නේ මටත් නොදැනීය.

" ඔව්,ඔව්,ඔව් හීන් වට්ටවිදානේ එන්ඩ ම ඕනි බොටා."  එක හෙලාම පැවසු මනුවෙල් මුත්තා මගේ සුරතින් ඇද තමන් අසලට කැඳවා ගත්තේය.

ඔහු මගේ හිස ආදරයෙන් පිරිමදිමින් පියා දෙස නෙත් දැල්වීය.

" ඉතිං වට්ටවිදානෙගෙන් පස්සේ අපිට ඉන්නේ හීන් වට්ටවිදානේ වෙද බොටා.  එව්වා මෙව්වා ඔක්කොම වැඩපොළ දැන්ම ඉඳලා කොල්ලට පුරුදු කොරන්ඩ එපැයි."  මනුවෙල් මුත්තා එසේ පවසන විට මගේ ගත සිත සතුටින් පිරී ඉතිරී ගියේය.

" ලුණු කඩන්ඩ ගිහිල්ලා හෙන්දත් වීගෙන, ඇඟපතේ ලුණු කැහිල්ල හදාගෙන එන්ඩ යන්ඩ? ගියොත් බලාගෙනයි."  පොල්පලා තැම්බුම් වතුර රැගෙන එමින් මව පැවසුවේ නොරිස්සුම් ලෙසය.

එවිට පියාගේ කට කොනක සිනා රැල්ලක් ඇඳී ගියේය.  පොල්පලා වතුර බොමින් හෙට ලුණු කඩන්ඩ යන ගමන ගැන ඔවුහු සාකච්ඡා කළහ.

" එහෙනං බොටා හෙට කුකුළා අඬනකුට මං කරත්තෙ අරගෙන වට්ටවිදානෙලාගෙ කඩුල්ල ගාවට එන්නල්ලා.  මනුවෙල් කුට්ටුකාරයා කිඹුලාවල ගාවට ඇවිල්ලා ඉඳපල්ලා කොයි." අවසන් එකඟතාව නැවත සිහිපත් කරමින් සයින් මාමා සමු ගත්තේය.

" එහෙනම් මාත් යන්නල්ලැයි කොයි බවෝ." මනුවෙල් මුත්තා ද පිටත්ව ගියේය.

රාත්‍රී ආහාරයෙන් පසු පියා හෙට ගමනට අවශ්‍ය කළමනා සුදානම් කළේය.

" ගෝනි දෙක හරි, පොල් කටු දෙක, තල කොළ පෙට්ටිය...." ඔහු එකින් එක පසෙකින් තැබීය.

" ඇයි මේ පොලු කෑල්ල" යැයි පවසමින් මම අතකොළුවක් වැනි පොලු කැබැල්ල පියා අතට දුන්නෙමි.

" ඔයි පන්දම් අල්ලන්නේ හෙට අප්පා එක්ක පනං වෙන්ඩ බලාගෙන වෙන්ඩ ඇති." මව පැවසුවේ මා දෙස බලා උපහාසයෙනි.

" හආ, යන්ඩ තමයි. නේ තාත්තා? මාත් එක්ක යනවානේ?" මා එසේ පියාගෙන් විමසුවද පිළිතුරු ලැබුණේ මවගෙනි.

" උඹ ගියොත් බලා ගෙනයි, දර දට්ට අව්වේ පිස්සිලා, ලුණු වතුරෙ නටලා කැහිල්ල හදාගෙන එන්ඩ."

මවගේ විරෝධය නොතකා පසු දින හිමිදිරියේම ගමනට මා එක්කර ගැනීමට පියා වග බලා ගත්තේය.

සයින් මාමාගේ බර කරත්තයේ නැගී ලන්තෑරුම් එළියෙන් ගමන් ඇරඹු අපට කිඹුලාවල අසලදී මනුවෙල් මුත්තා ද පොරොන්දු වූ ලෙස එක්වූයේය.

අප කුණුකොළ ඇල්ල හෙවත් කුණුකොළ කලපුව අසලට පැමිණෙන විට නැගෙනහිර අහස රත් පැහැයට හැරෙමින් තිබිණ.  හිඳීයන කලපුවේ ජල කඳ රැළි නැගෙමින් තිබුණද එහි වාටියක හැඩයට කිරි සුදු පැහැයෙන් බැබළෙමින් දිය ලුණු පවුරු බැඳ තිබිණ.  අවට දියකඩිති සිඳී දිය ලුණු මල් පිපී තිබුණේ ඉමහත් අලංකාර ලෙසය.

අමුඩුවලින් විළි වසාගත් තිදෙනා පොලු කැබැල්ලක් හා තල කොළ පෙට්ටිය බැගින් ගෙන සන්නද්ධව දියලුණු පවුරු සමග සටනට බටහ.  ඔවුහු දෑඟිලි රෙදි කැබලි වෙලා ආවරණය කරගෙන සිටියහ.

පොලුවලින් පහරදී දියලුණු කැටිති බිඳ, තල කොළ පෙට්ටිවලට පුරවා ගන්නා ඔවුහු දිය බේරෙන දියලුණු අසල ගල් තලාව මත තුනී කළෝය.

වරෙක පියා පොල් කටුවක් ගෙන උකු ලුණු දිය පතුලේ රුවා එහි තැන්පත් ව ඇති ලුණු සූරා තලකොළ පෙට්ටියට හෙළී ය.

" තාත්තෝ, ඒ අප්පෝයි මාත් ලුණු කඩන්නන් කොයි." මම දියලුණු කැඩීමට පියාගෙන් අවසර පැතුවෙමි.

හීන්වට්ටවිදානේ, ඉර එළිය වැටෙන්ඩ වැටෙන්ඩ ලුණු වතුරට ඇඟ ගිනි ගන්නවා වගේ, කැහිල්ල හැදෙනවා.  ලුණු කඩන එක බලාගෙන ඉන්ඩ බැරිනම් බොටා ගිහිල්ලා කරඹ කඩලා කාපං" මනුවෙල් මුත්තා කීය.

ලුණු කැඩීමට අවසර නොලද මම කරඹ ගාල වෙත දිව ගියෙමි.  හිරු මුදුන්වීමට පෙර ඔවුහු ද ලුණු අස්වනු නෙලා අවසන් කළහ.

" මේ මොනා තාත්තෝ, මේ ලුණු වැලි පෙට්ටිය ඩප්පා?"

" ඕක අරගෙන යන්නේ කුඩු ලුණු හදන්ඩ."

" ඒ කොහොම ඩප්පා?" මම පුදුමයෙන් ඇසුවෙමි.  එය පැහැදිලි කළේ සයින් මාමාය.

" ලී තුනක් අරගෙන කරුවක් හදලා මැටි මුට්ටියක පතුල හිල් කොරලා පෙන්නාඩයක් දාලා, මේ ලුණු වැලි දානවා.  ලුණු වැලි මුට්ටියෙන් පෙරෙන වතුර භාජනේකට එකතු කරලා ලිප තියලා උණු කොරලා ලුණු කුඩු හදා ගන්නවා."

" ආව්...ආව්... නියමායි.  එතකොට මට අමු අඹ, අමු දෙබර, අමු සියඹලා ලුණු කුඩු එක්ක කොටා බාන්ඩ ඈකි බොටා." මම සතුටින් උඩ පැන්නෙමි.

ලුණු අස්වනු සයින් මාමාගේ කරත්තයේ පටවා ගත් අපි ගම්මානය බලා ගමන් ඇරඹුවෙමු.

( පානම්පත්තුවේ අසිරිය. ගුණසේකර ගුණසෝම. 2009.  ප්‍රකාශනය: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.)

Thursday, June 21, 2018

අයාලේ ගිය සිතක සටහන්.


අයාලේ ගිය සිතක සටහන් යනු නැසීගිය තිස්ස අබේසේකර සුරීන් විසින් රචනා කර පළකරන ලද විශිෂ්ට ග්‍රන්ථයකැයි කටපුරා කිවහැක්කේ එය ඔහුගේ දැනුම, අත්දැකීම් සහ ඇසු පිරූ තැන් නොඅඩුව උපයෝගී කරගෙන රචිත ග්‍රන්ථයක් හෙයිනි.  මේ පොතේ ඇති අප නොදත් සමහර විස්තර කියවන්නට ලැබීමම සතුටකි.  මෙම පොතේ එන එක් පරිච්ඡේදයක් අප අද රස විඳිමු.

                                                        ගයන ගැයුම් නටන නැටුම් 

සිංහල ගීතයේ ප්‍රකට වූ කිසියම් පන්ති භේදයක් ගැන කතා කරන්නට පටන් ගත් මට ඒ මතය තවමත් හොඳින් පැහැදිලි කර ගැනීමට බැරිවුණේ, බොහෝ දේ ගැන කතා කරන්නට ගිය නිසාය.  එහෙත් මේ ලිපිමාලාව ඔස්සේ මා විසින් කියන ලද බොහෝ කරුණු අවසාන වශයෙන් මගේ මතය මුල් කොට ගෙන කළ හැකි සංවාදයක් සඳහා හොඳ පරිස්ථිතියක් සාදා ගැනීමට ඉවහල් වේ යැයි සිතමි.

මොහිදීන් බෙග් අතිශ්‍රේෂ්ඨ කටහඬක් තිබු ගායකයෙකි.  සී.ටී.ප්‍රනාන්දුට ද ඒ හා සමාන දුර්ලභ ගණයේ කටහඬක් තිබුණේය.  එහෙත් සිංහල ගීතය වටකොට ගොඩනැගී තිබුණු විචාර ස්ථාවරය, සී.ටී.ප්‍රනාන්දු ව බැහැර කළේය.  දිවංගත සුනිල් සාන්තයන් මා සමග කියූ දෙයක් මෙහිදී ගෙනහැර දැක්විය යුතු යැයි මට සිතේ.  1973 වර්ෂයේ දී රිජ්වේ තිලකරත්නයන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ව සිටිද්දී අප රට සිටි සියලුම ගායක ගායිකාවන් සඳහා කටහඬ පරීක්ෂණයක් පැවැත්වුයේ ඔවුන් ශ්‍රේණිගත කිරීම සඳහාය.  ඒ පරීක්ෂණ මඩුල්ල තිදෙනෙකු ගෙන් සමන්විත විය.  ඒ එච්. ඩබ්. රූපසිංහ, සුනිල් සාන්ත හා අමරදේව නම් වූ තිදෙනායි.

පරීක්ෂණයේ දී එයට පෙනී සිටි මුල් කිහිප දෙනා අතුරින් විශිෂ්ට ශ්‍රේණියට පත්වූ අය අතර මොහිදීන් බෙග් විය.  ඒ පිලිබඳ විනිශ්චය මඩුල්ලේ සාමාජිකයින් අතර මතභේදයක් නොවීය.  සී.ටී. ප්‍රනාන්දු ගේ වාරය පැමිණියේය.  නියමිත ගායනා විධි හා ප්‍රකාරයන් ඉදිරිපත් කළ සී.ටී.සමුගෙන ගිය පසු, සුනිල් සාන්තයන් තමන්ගේ විනිශ්චය කිසිදු පැකිළීමකින් තොරව නියමිත ආකෘති පත්‍රයේ සඳහන් කළේය.  එනම් සී.ටී. ප්‍රනාන්දු විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස වර්ග කළ යුතු බවයි.  එහෙත් පරීක්ෂණ මණ්ඩලයේ අනෙක් දෙදෙනාගේම අදහස වුයේ සී.ටී.ප්‍රනාන්දු පෙරදිග සංගීතයේ තානාලංකාර ගැයීම අතින් දුර්වල බවය.  එහෙත් තමාගේ තර්කය වුයේ, කටහඬක ගායන ශක්තිය තීරණය කිරීමේදී ඒ ගායකයාට හුරුපුරුදු ගායන සම්ප්‍රදාය අනුව කරන ලද ගායනය, ඒ අනුව වර්ග කළ යුතු බව සුනිල් සාන්ත පැවසීය.  ' අපගේ කාර්යභාරය සම්ප්‍රදායන් පිලිබඳ ප්‍රශ්නයක් නොවේ.  ගායන හැකියාවන් පිලිබඳ ප්‍රශ්නයක්.  සංගීතය නිල වශයෙන් කිසි යම් සම්ප්‍රදායකට සීමා කරන්න බැහැ.  ඒක අසාධාරණයි.'  සුනිල් සාන්තයන් සිය සුපුරුදු දැඩි විලාසයෙන් මා සමග කියූ හැටි මට සිහිපත් වෙයි.  එදා සී.ටී.ප්‍රනාන්දු විශිෂ්ට ශ්‍රේණියට පත් නොවීය.

මේ තීරණය ගැන එදා විනිශ්චය මඬුල්ලේ සිටි එච්.ඩබ්. රූපසිංහයන්ට හෝ අමරදේවයන්ට මම දොස් නොපවරමි.  ඔවුන් එදා කළේ සම්මතයට අනුකුල වීම පමණි.  තව ද බටහිර ගායන වේදය පිලිබඳ පැහැදිලි වූද නිශ්චිත වූද ශිල්ප ඥානයකින් තොරව ඒ කටයුත්ත කිරීමෙන් ඇතිවන්නාවූ පුර්වාදර්ශය නරකට හිටින්නට බැරි නැත.  බටහිර ගායන වේදය පිලිබඳ සුනිල් සාන්තයන් තුළ ද වුයේ ශ්‍රැති මාත්‍රයෙන් ලබා ගත් අනුමාන දැණුමක් පමණි.  කළ යුතුව තිබුණේ අපරදිග සංගීතය පිලිබඳ ව විශාරද දැනුමක් ඇති පුද්ගලයකු ඒ විනිශ්චය මණ්ඩලයට පත් කිරීමය.  සිංහල සංගීතයේ ඉන්දියානු මුහුණුවරට පිටු පෑ රීතියක් වී නම් එය නියෝජනය කිරීම සඳහා සුනිල් සාන්තයන් පමණක් සෑහේ යැයි ඒ විනිශ්චය මණ්ඩලය පත්කළ රිජ්වේ තිලකරත්නයන් සිතන්නට ඇත.  සුනිල් සාන්තයන් අපරදිග සංගීතයෙන් යම් පමණකට ආභාසයක් ලැබූවකු බැව් මම දනිමි.  ඔහු ඉතා ශූර ලෙස පියානෝව වාදනය කළේය.  සංඝාත ගායනයන් සමහර අවස්ථාවලදී තම ගීත සඳහා උපයෝගී කොට ගත්තේය.  'රැල්ල නැඟෙන්නේ' එයට නිදසුනකි.  එහෙත් සමස්තයක් වශයෙන් ගත්කල සුනිල් සාන්තයන් පෙරදිග සංගීතයේ රාගධාරී ව්‍යුහයෙන් බැහැර වුවෙක් නොවේ.  ඉන්දියානු සංගීතයෙන් වෙනස්වූ කිසි යම් අපූර්ව ප්‍රකාරයක් ඔහුගේ ගීවලට ඇතුළු වුයේ එහි ස්වර රචනයන් සිංහල භාෂා ව්‍යවහාරයේ ශබ්ද ධර්මයන්, විරිත් හා රිද්මයන් අකුරටම අනුගමනය කිරීමේ හේතුවෙනි.

1972-73 වසර වන විට, සිංහල සංගීතයට යළිත් වරක් බටහිර සංගීතයේ බලපෑම තදින් ඇතිවන්නට වී තිබුණි.  එය ඇරඹුණේ නවසිය හැටේ දශකයේ අග භාගයේදී ඇතිවූ කණ්ඩායම් ගීත රැල්ලත් සමගිනි.  මේ ගායනා විලාසය එකල තදබල විවේචනයට ලක්වුවද එය සම්පූර්ණයෙන්ම පිටු දැකීමට ගුවන් විදුලි සංස්ථාවට නොහැකි විය.  එයට හේතුව පුද්ගලයන් දෙදෙනෙකි.  එක් කෙනෙකු වුයේ එවකට ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරය ඉසිලු නෙවිල් ජයවීරයන් ය.  හෙතෙම ඇසු පිරූ තැන් ඇති බුද්ධිමතෙකු හා නිදහස් ප්‍රකාශනය පිලිබඳ බෙහෙවින් අගය කළා වූද, සංගීතය පිලිබඳ හොඳින් වගා කරනු ලැබූ රුචිකත්වයක් ඇත්තකු ද විය.  රතන්ජන්කර් පරීක්ෂණයෙන් පසු ගුවන් විදුලිය තුළ ස්ථාපිතව තිබු සංවෘත සංගීත ප්‍රතිපත්තිය නෙවිල් ජයවීරයනට අරුචි විය.  සංගීතය නිදහසේ වැඩෙන්නට ඉඩ දිය යුතුය යන්න තරයේ ඇදහු හෙතෙම සිංහල සංගීතය වටා අතුරා තිබු බොහෝ තහංචි ඉවත් කරන්නට විය.  හෙතෙම සී.ටී. ප්‍රනාන්දු ගේ කටහඬට හා ඔහුගේ ගීවලට බෙහෙවින් ඇලුම් කළේය.  බොහෝ කලකට පසු සී.ටී. ප්‍රනාන්දු ගායකයකු ලෙස යළිත් ව්‍යාප්ත වන්නට වුයේ මේ කාලයේදීය.  'වනබඹරු' ගීතය ඈත ගම් දනව්වල පමණක් නොව, කොළඹ සුපිරි හෝටල්වලින් පවා එකසේ ඇසෙන්නට විය.  ඒ ගීය අසා සී.ටී. ගේ කටහඬට ඇලුම් කළ මැඩම් ඩෙල්ගාඩෝ, නම් වූ යුරෝපීය ඔපෙරා ගායිකාවක්, ඔහුට ලන්ඩනයට ආරාධනා කොට ප්‍රසංගයක් පැවැත්වීය.  ලන්ඩනයේ හෝ වෙනත් බටහිර නුවරක පවත්වනු ලැබූ මුල්ම ප්‍රසිද්ධ සිංහල ගී ප්‍රසංගය මෙයයි.

නවසිය හැට ගණන්වල දී ජනප්‍රිය සිංහල සංගීතයට පිවිසෙන්නට වූ බටහිර ලක්ෂණවලට තම අනුග්‍රහය දැක්වූ අනෙක් පුද්ගලයා දේවාර් සුර්යසේනයන් ය.  ලොව පුරා ව්‍යාප්ත වීගෙන යන්නාවූ බටහිර සංගීත ශිල්ප ක්‍රම හොඳින් හදාරා භාවිතා නොකොට අපට ඉදිරියට යා නොහැකි බව එදවස මේ පිළිබඳව ඔහුගෙන් විමසු විට දේවාර් සුර්යසේනයෝ පැවසුහ.  එකල නෙවිල් ජයවීරයන් මා දැන හැඳින සිටියේ නැත.  ඊට කලෙකට පසු 1986 වසරේ දී මා සුනිල් සාන්තයන් පිලිබඳ ඩේලි නිව්ස් පුවත්පතට ලියු කොටස් හතරකින් යුත් ලිපියක් ගැන ප්‍රශංසාත්මක ලිපියක් නෙවිල් ජයවීරයන් මා වෙත එවුයේ ස්වීඩනයේ සිටය.  එවකට හෙතෙම ස්වීඩනයේ ලංකා තානාපති ලෙස සේවයේ යෙදී සිටියේය.  නවසිය පනස් වන දශකයේ සිට හැටේ දශකය දක්වා වූ කාලය තුළ ලංකා ගුවන් විදුලි සංස්ථාව අනුගමනය කළ ප්‍රතිගාමී සංවෘත සංගීත ප්‍රතිපත්තිය පිළිබඳව කෙටි විග්‍රහයක් කළ ඔහු, තමන් විසින් කරන ලද වෙනස්කම් හා විවෘත කිරීම් තවත් විධිමත් ලෙස ඉදිරියට ගෙන යෑම සඳහා රිජ්වේ තිලකරත්නයන් කළ සේවය තමා අගය කරන බවත්, එහිදී ඒ ව්‍යායාමයට අතහිත දුන්නා වූ කෙනෙකු ලෙස මා ගැන අසා ඇති බවත් ඒ ලිපියේ සඳහන් කොට තිබුණි.  එහෙත් ඒ ලිපියේ මා වැදගත් කොට සලකන කොටස මේ ය.

'රිජ්වේ තිලකරත්නට ඔය වැඩේ කරද්දී මට වැඩිය වාසියක් තියෙනවා.  ඔහු සිංහල උගතෙක්, සිංහල සාහිත්‍යය හා කලාව ගැන ඔහු මට වඩා හොඳින් දන්නවා.  ඔහු ඉගෙන ගෙන තියෙන්නේ නාලන්දා විද්‍යාලයේය.  මම ශාන්ත පීතර විද්‍යාලයේ ඉගෙනගත් කතෝලිකයෙක්.  මම වැඩියෙන් කතා කරන්නේ ඉංග්‍රීසියෙන්.  සිංහල සංගීතය පිලිබඳ මා දැරූ අදහස් තුප්පහියකු ගේ කියලයි මා විවේචනය කළ වුන් හැඳින්වුයේ.'

සිංහල සංගීතය පිලිබඳ අප රට ඇති භින්න රුචිකත්වය බොහෝ විට සමාජ ස්ථරයන් පදනම් කොටගෙන ඇති වුවක් ය යන්න මා සිතන්නට පටන් ගත්තේ එතැන් සිටය.

ටවර්හෝල් නාට්‍යයෙන් පසු අප රට නාගරික හා උපනාගරික, පහළ මධ්‍යම හා කම්කරු පන්තිය විනෝදය සඳහා ගියේ හින්දි, දෙමළ හා සිංහල චිත්‍රපට බලන්නටය.  ඉන්දියානු ජනප්‍රිය චිත්‍රපට සංගීතය ආශ්‍රිත ව සකස් වූ ගීවලට ඔවුන්ගේ දෙසවන් හුරු විය.  සමරකෝන් ගෙන් පටන් ගෙන,සුනිල් සාන්තයන් ඔස්සේ සී.ටී. ප්‍රනාන්දු දක්වා ඇදී ආ ගී ආර චිත්‍රපටයට නුසුදුසුය යන මිථ්‍යාව ද පතුරුවනු ලැබුයේ, ටවර්හෝල් යුගයේ දීත් ඉන් පසුව සිංහල චිත්‍රපටවලටත් සංගීතය සැපයු ඉන්දියානු සංගීතකරුවන් හා ඔවුන්ගෙන් ශිල්ප හැදෑරු ශ්‍රී ලාංකීය ගෝලබාලයනුත් විසිනි.

මෙහි වෙනසක් සිදු වුයේ 'රේඛාව' චිත්‍රපටයේ දී ය.  එහෙත් එහිදී ද සුනිල් සාන්තයන් ගේ ගී තනු තිලකසිරි ප්‍රනාන්දු ගැයූ එක් ගීයක් හැර ගායනා කරනු ලැබුයේ ඉන්දියානු චිත්‍රපට පසුබිම් ගායකයන්ව අනුකරණය කිරීමට උත්සාහ කළ අය විසිනි.  'සංදේශය' චිත්‍රපටයේ දී එය ඊටත් වඩා සාහසික අන්දමින් සිදු විය.  එහි මුත්තුසාමි ගේ සංගීතය පවා, සුනිල් සාන්තයන්ගේ ගීතාකෘතියට බෙහෙවින් අනුචිත නාද සංයෝජනයක් විය.

ලෙස්ටර් ව මුණ ගැහුණු මුල් කාලයේ දී ම මේ ගැන මම ඔහු සමග කතා කළෙමි.  ඔහු දුන් පිළිතුරේ සමුදාර්ථය මෙසේ දක්වන්නට කැමැත්තෙමි.  එංගලන්තයේ බොහෝ කලක් ජීවත් වූ ඔහු දිනක් ලන්ඩනයේ විග්මෝර් ශාලාවේ දී පවත්වන්නට යෙදුණු සංගීත ප්‍රසංගයක දී හියුබත් රාජපක්ෂ විසින් සුනිල් සාන්තයන් ගේ 'ඕලු පිපීලා' ගීය ගයනු අසා සිටියේය.  තම ගම රට ගැන ඉමහත් සාංකාවක් ඒ ගීය අසද්දී තමා තුළ ඇති වූ බවත්, ඊට නොබෝ කලකට පසු පෙරළා ගම රට බලා ඒමට සිත් වූ එක් හේතුවක් ඒ ගීය අසද්දී තම සිත තුළ ඇති වූ සාංකාව බවත් ඔහු කීවේය.

'මම දැනගෙන හිටිය එකම සිංහල සංගීතකරුවා සුනිල් සාන්තයි.  ඉතින් 'රේඛාව' චිත්‍රපටයට ඔහු ව සම්බන්ධ කර ගන්න ගිය මුල්ම වතාවේ දී ඔහු කෙළින්ම බැහැ කිවුවා.සිංහල සංගීතය විනාශ කරලා දැම්මෙ ඔය චිත්‍රපටවලින් වපුරපු ගීත කියලයි ඔහු කිවුවේ.  පස්සේ මර්සලීන් ජයකොඩි පියතුමාගේ කීමට ඔහු එකඟ වුණා.  නමුත් ඔහු බාර ගත්තේ ගී තනු නිර්මාණය පමණයි.  වාද්‍ය සංයෝජනයට බී.ඇස්. පෙරේරා ව යෝජනා කළා.සිංහල ගායක ගායිකාවන් ගැන මම මුකුත් දැන ගෙන සිටියේ නැහැ.  පසුබිම් ගායක ගායිකාවන් ව නිර්දේශ කළේ බී. ඇස්. පෙරේරා.'

'සංදේශය' චිත්‍රපටය සඳහා ද සුනිල් සාන්තයන් ලවා ගීත නිර්මාණය කර ගැනීමට නිෂ්පාදක කේ. ගුණරත්නම් එකඟ වුවද, සංගීත සංයෝජනය සඳහා මුත්තුසාමි ගත යුතු යැයි ඔහු තරයේ කියා සිටියේය.

' ඒ කටහඬවල් හා ඒ වාද්‍ය සංයෝජනයට මමත් කැමති නැහැ.  එහෙත් 'සංදේශය' ගීත, අසීමිතව ජනප්‍රිය වුණා.  ඊට හේතුව මොහිදීන් බෙග්, ජෝතිපාල, ලතා වල්පොල ආදීන් ඒවා ගායනා කිරීමත්, මුත්තුසාමි ගේ සංගීතයත් ය කියලා මම හිතනවා.  තිස්ස කියන ඔය සී.ටී. ප්‍රනාන්දු වැනි අය ගේ කටහඬවල්වලට කැමති නැහැ, පොදු සිනමා ලෝලයන්.'  ලෙස්ටර් කළ ඒ ප්‍රකාශය තුළ අප රට පොදුජන ප්‍රේක්ෂක ශ්‍රාවක රුචිය පිලිබඳ හොඳ අවබෝධයක් ඇතැයි මට සිතේ.

එහෙත් ඊට බොහෝ කලෙකට පසු 'දෙලොවක් අතර' චිත්‍රපටය සඳහා රාත්‍රී සමාජ ශාලාවකට උචිත ගීයක් අවශ්‍ය වූ විට, එය ගායනා කිරීමට එවකට ජනප්‍රිය ව සිටි කිසිදු ගායකයකු ගේ හඬක් වත් සුදුසු නැතැයි ඔහු කියා සිටියේය.  එවැනි තැනකට රැස් වන පිරිස ගැන හිතන කොට ඔවුන් ඒ එක කටහඬකට වත් කැමති වන වර්ගයේ උදවිය වෙන්නට බැරි බව ඔහු ප්‍රකාශ කළේය.  ' චාරුලතා' චිත්‍රපටයේ සුමිත්‍ර චැටර්ජි පියානෝවක් වාදනය කරමින් ගයන ගීයේ පසුබිම් හඬ වගේ හඬක් මට ඕන' - ඔහු කීවේය.  ඒ ගීය ගායනා කළේ කිෂෝර් කුමාර් ය.  ඔහු බටහිර ඌරුව සහිත ගීත කදිමට ගායනා කළ හින්දි ගායකයකු විය.

'ඔහුට හොඳ මධ්‍යම පාන්තික කටහඬක් තියෙනවා' ලෙස්ටර් ප්‍රකාශ කර සිටියා මට මතකය.  මේ කටයුත්ත සඳහා නිර්දේශ කළ හැකි ගායකයකු සොයන්නට වූ මට විජය කොරයා විසින් නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛව 'ලොස් කැබලෙරෝස්' ගායක කණ්ඩායම විසින් පටිගත කළ ගීයක් අසන්නට සැලැස්වීය.  ඔවුන් ගායනා කර තිබුණේ සී.ටී. ප්‍රනාන්දු ගේ ගීයකි.  නෙවිල් ප්‍රනාන්දුට වුයේ ඉතා දුර්ලභ ගණයේ අතිශයින් සියුම් ලෙස ස්වර නිරුපණය කළ හැකි කටහඬකි.  බටහිර සංගීතයේ මාත්තුව තිබුණ ද ඔහුගේ සිංහල උච්චාරණය ද ඉතා නිවැරදි විය.

ඒ කටහඬ ඇසු සැණින් ලෙස්ටර් එය පිළිගත්තේය.

' ගයන ගැයුම් - නටන නැටුම් ' ගීය සඳහා නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ - ලොස් කැබලෙරෝස්' ගායක කණ්ඩායම එක් වුයේ එලෙසය.

( අයාලේ ගිය සිතක සටහන්, තිස්ස අබේසේකර. 2007. ප්‍රකාශනය: සරසවි ප්‍රකාශකයෝ)

Tuesday, June 12, 2018

චින්තන කතා.



අප අතරින් කලකට පෙර වියෝවූ පුවත්පත් කලාවේදියෙකු මෙන්ම රසවතෙකු වූ චින්තන ජයසේනයන් විසින් ලියා පළකරන ලද "චින්තන කතා" (එදා 'කොලම' පුවත්පතේ පළවූ 'මිතුරු හමුවක මතක' සහ තවත් කතා)  නම්වූ පොතේ ඇති කතාවක් අද රසවිඳිමු.  කතාව කියවන්නට කලින් චින්තන කතා පොතට තිස්ස කොරතොට ලියු පෙරවදනේ කොටසක් මෙහි උපුටා දක්වන්නට කැමැත්තෙමි.

'කොලම' පුවත්පත දෙවැනි වතාවට පටන් ගන්නට මමත් චින්තනත් එක්වුයේ අනුව දශකයේ මුලදීය.  ඒ 1988/89 දී පමණ කොළඹ වෝඩ් පෙදෙසේ 'මල්ටි පැක්ස්' හි වැඩ කරද්දී වූ දැන හැඳින ගැනීමෙන් පසුවය.  බොහෝ ඇසු පිරූ බවින් ද නිර්මාණාත්මක අත්දැකීමෙන් ද මිනිසුන් ඇසුරු කිරීමෙන් ද හැම අතින්ම ඔහු මට බෙහෙවින් ජ්‍යෙෂ්ට විය.  කොල්ලුපිටිය ලකී ප්ලාසා හි ලැබුණු කාර්යාල කාමරයක අපි 'කොලම' ජයටම පවත්වා ගෙන ගියෙමු.

සොත්ති උපාලි ගේ සිට මහාචාර්ය සෝමරත්න බාලසුරිය දක්වා ද කොල්ලුපිටිය ත්‍රීවිල් සුගතේ ගේ සිට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ට නිලධාරියකු හා ඉතා හිත හොඳ මිනිසකු වූ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී අභාවප්‍රාප්ත උපාලි සිල්වා දක්වා ද බොරැල්ල කාසල් වීදිය 'හෙල්ත් ක්ලබ්' හි බාර්මන් කෙනෙකුවූ පේමරත්න ගේ සිට අජිත් සමරනායක දක්වා ද දේශපාලන හා කලා ලෝකයේ විවිධ අය ආ ගිය 'ඇසුරු කළ' මෙතැන අමුතුම ජාතියේ පත්තර කන්තෝරුවක් විය.


පත්තරයට නොලියු එකල අප වැඩකරන සමයේ මා ඇසු පුංචි කතා දෙකක් ද විනෝදයට මෙන් ලියා තබා මෙම සටහන නිමාකරමි.

චින්තනගේ මල්ලී කෙනෙකු වන හොඳ ඇසක් තිබු කිත්සිරිමෙවන් ජයසේන ද ( හඳයා චිත්‍රපටයේ සුප්පුවා ගේ චරිතය රඟපෑ) එකල අප සමග කොලම පුවත්පතට සම්බන්ධවී වැඩ කළේය.  කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වූ ඔහු ඒ කාලයේ ඇමෙරිකාවේ පැවති ලෝක කවි තරගයකට කුඩා සිංහල කවියක් (ඉංග්‍රීසි පරිවර්තනය ද සමග ) යැවීය.  කවියට සම්මානයක් හිමිවිය.  සම්මානය ගැනීමට කිත්සිරි ඇමෙරිකාවට ගියේය.  ඊට ටික කලකට පසු කිත්සිරි නැවත නොආ නිසා " දැන් කිත්සිරිට කොහොමද හොඳද?" යැයි මම මම චින්තනගෙන් ඇසුවෙමි.  සිය සුපුරුදු සංඤක භාෂාවෙන් චින්තන මට දුන් පිළිතුර මෙයයි.

" කිත්සිරි දැන් එයාගෙ කවිය තේරුම් ගන්න ඇමෙරිකන් කාරයන්ට සිංහල උගන්නනවලු..."
                                                               ***

' කොලම' ට වැඩ කරන කාලයේ රෑ බෝවූ විට කඩෙන් මොනවා හෝ ගෙන්වා ගෙන කෑම අපේ සිරිතය.  එවන් දිනෙක මම අපේ මිත්‍රයකු කඩයකට යවා හරක් මස් හොද්දක් සමග පරාටි රොටි කීපයක් ගෙන්වුයෙමි.  කුඩා මස් කෑලි 3 - 4 කට වඩා නොතිබුණු හරක් මස් හොද්ද දියම දිය රහය.  වතුර වගේය.  මේ ගැන කතා කරමින් කන අතර චින්තන අර යට කී 'සංඤක' භාෂාවෙන්ම අපට මෙසේ කීය.

" කමක් නෑ කමු,කමු.  හරක මිදුලෙ දුවනකොට උණුවතුර බාල්දියකින් ගහල තමයි හොද්ද හදල තියෙන්නෙ..."
                                                              ***  


දවස සිකුරාදාය.  තැන තිඹිරිගස්යායය.  පැමිණ සිටියවුන් අතර ගුවන් විදුලි නිවේදක අමරබන්දු රූපසිංහ, ඇත්ත ප්‍රධාන කර්තෘ බී.ඒ. සිරිවර්ධනයන් සහ "පෝදා ඇත්ත" කර්තෘ සිරිලාල් කොඩිකාරද විය.

පසුදා සෙනසුරාදා පෝය දිනයකි.  මට ද කළයුතු හරිහමන් වැඩක් තිබුණේ නැත.  අපි අපේ සුපුරුදු චාරිකාව තිඹිරිගස්යායෙන් ඇරඹීමු. 

පළමුව කතාව පටන් ගත්තේ සිරාය.

" මචං මේ කතරගම දෙයියො කියන්නෙ අමුතු පොරක් නේද?  නිකං ඉන්න එකේ යමුද බං දෙයියො වැඳල එන්න."

මට හිනා ගියේය.  සිරා කතරගම දෙවියන් වැඳීමට මට අඬ ගැසීම නිසාය.

" මචං මිනිහට අත් දොළහකුයි, මුණු හයකුයි සීනු ගොඩකුයි තියෙන එක ඇත්තද බලන්න අපි යමුද?" සිරා මගෙන ඇසීය.

" යමු යමු"

සියල්ලෝම එකඟ වුහ.  දිනය 24 දාවකි.  පඩිපත ද ලැබී තිබුණු බැවින් අප අතර සල්ලිද තිබුණේය.  කළ යුත්තේ ගමන යෑම පමණය.  කෙසේ හෝ වේවා ඉස්කාගාර සංස්ථාවටත්, ඛනිජ තෙල් සංස්ථාවටත්, දුම්කොළ සංස්ථාවටත් පින් සිදු වන්නට අපි සියලු දෙන කතරගම යෑමට පිටත් වීමු.

මේ යන අතරේ සිදුවූ කතා බහ වෙනම පොතක ලියන්නට තරම් වටිනාකමින් වැඩිය.  ඒවා ඉස්කාගාර සංස්ථාවේ බැරල් එකක තැන්පත් කර තැබිය යුතුය.

මැණික් ගඟෙන් එහාට සිරාත් මමත් ගියේ නැත.  අපි දෙදෙනා මැණික් ගඟ අසල වැතිර දී.එස්, ඩඩ්ලි, සර් ජෝන්, එස්.ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ආදීන්ගේ කතා කියමින් සිටියෙමු.  මෙයට රටෙන් කෑල්ලක් ඉල්ලු එස්.ජේ. වී චෙල්වනායගම්ද, ජී.ජී පොන්නම්බලම් ද ඇතුළත් විය.  කතාව අවසන දී පූජාව හමාර කර අනෙක් කට්ටිය පැමිණයහ.

පසුදා පෝයදා අපි ආපසු පැමිණීමට පිටත් වීමු.  රිය පදවන ලද්දේ මා විසිනි.  තැන ගන්දර හරියය.  කට්ටියටම අරක්කු තිබහය.  ඊයේ ගත් බඩු අහවරය.  සල්ලි තිබුණාට කිසිවෙකු ළඟ අරක්කු තිබුණේ නැත.  පෝයදා නිසා පාරත් පාළුය.  දෙතුන් පොළකින් අසා බැලුවද කමක් පලක් වුයේ නැත.  අනේ කාලේ වනේ වාසේ යැයි සිතා අපි ගාලු පාර දිගේ පැමිණියෙමු.

මඳ දුරක් පැමිණෙන විට සිරා එක පාරටම කෑ ගසා රථය නැවැත්වීය.  හේතුව කුමක්දැයි මා දන්නේ නැත.  වාහනයේ දොර ඇර ගත් සිරා ගාලු පාර දිගේ ආපහු මාතර පැත්තට ගියේය.  යාර 100 ක් 150 ක් දුර ගිය ඔහු පාර අයිනේ සිටගෙන සිටි පොලිස් රාළහාමිලා දෙදෙනෙකු සමග කතා කරමින් සිටිනු පෙනේ.  අතින් පයින් සහ සිනාවෙන් යුත් කතාව අපට ඈතට පෙනේ.  ඊට පසු බෑගයකුත් අතින් ගත් සිරා සිනාසෙමින් අප වෙත පැමිණියේය.

" හරි මචං යමං වැඩේ හරි මම රාළහාමිලගෙන් ඇහුව පෝයදාට අරක්කු ගන්න තියෙන්නෙ කොහෙද කියල.  වත ගොත කියල, විස්තර කියල, ශිල්ප දාල කතා කළාම රාළහාමිල ඇත්ත කිව්ව."

" ඉතින් ඉතින්" අපි ඇසුවෙමු.

" දැන් ඔය රාළහාමිල හිටගෙන ඉන්නෙ පාර අයිනෙ අරක්කු විකුණන ගේ ඉස්සරහ.  රාළහාමිල මට කිව්ව ඒ දෙන්න පොඩ්ඩක් එහාට මෙහාට වෙනකං ඉඳල ඒ ගෙදරින් අරක්කු ඉල්ල ගන්න කියල.  රාළහාමිලා කියන්න කිව්ව කියලත් කිව්ව."

අපට හොඳටම හිනා ගියේය.  " එහෙනං රාළහාමිල මුර කරගෙන ඉඳල තියෙන්නෙ අරක්කු විකුණන ගේ..."  අපි හිනා පිට බෝතල් කැඩුවෙමු.

" ඒකනෙ බං පෝය දාට අරක්කු ගන්න නම් රාළහාමි කෙනෙක්ගෙන්ම අහන්න ඕන..." සිරා කීවේය.
(චින්තන කතා, චින්තන ජයසේන. 2005. ප්‍රකාශනය: නුගේගොඩ ක්‍රියේෂන්ස්.)