Showing posts with label මා කියැවූ පොත්.. Show all posts
Showing posts with label මා කියැවූ පොත්.. Show all posts

Wednesday, May 6, 2026

මකර කට මැදින් ගිය මුහුදු චාරිකාව

අද තවත් ලෙනාර්ඩ් වුල්ෆ්ගේ කතාවක් කියවමු. ලෙනාඩ් වුල්ෆ්ගේ කතාවක් කීවත් ඇත්ත වශයෙන්ම මෙය විජේසිංහ බෙලිගල්ල විසින් රචිත ලෙනාඩ් වුල්ෆ් ගැන කතාවකි.

මකරා යනුවෙන් හැඳින්වෙන කිසියම් සත්වයෙකු විශ්වයේ යම් තැනක සිටීද යන්න අපට ප්‍රශ්නයක් නොවේ. මහ මුහුදෙහි එක්තරා මකර කටක් ඇති බව සඳහන් ළමා කතන්දර අපි කවුරුත් අසා ඇත්තෙමු.යි නෝනිස් මහතා කීය.  මේ මකර කට දකුණු වෙරළට ඉතා සමීපව කුඩාවැල්ලට නොදුරින් ඇතැයි ගැටමාන්නේ වත්තෙහේනේ ගතකළ එක් දිනෙක ලෙනාර්ඩ් වුල්ෆ් සමග කීවේ ඩී.ඒ.ඇස් විජේසිංහ මහ රාළහාමිය.  මෙහි එක්තරා සත්‍ය සිද්ධාන්තයක් ඇති බව වුල්ෆ්ට තේරුම් ගියේය.

කිසිම දිනෙක කෙබඳු ඉඩෝරයකදී වුවද නොසිඳී උතුරා ගලන ජල බුබුළු පනහක් හැටක් පමණ ගිරිවා පත්තුවෙහි ඇති බවත් මේ ජල බුබුළුවලට මේ තරම් මහා ජලස්කන්ධයක් කොතැනින් ලැබෙන්නේද යන බවත්, සාකච්ඡාවට යොමු වූ ගැටමාන්නේ ද, මහා ජල බුබුළු දුසිමක් පමණ ඇති බව උපදිසාපති දුටුවේය.

අවුරුද්දේ වැඩි කලක් දැඩි නියඟින් වියැළෙන ගිරිකුළු හා උසැති කඳුවැටි ගහන ගිරිවායෙහි නොසිඳෙන ජල බුබුළුවල කිසියම් අද්භූත බලයක් තිබෙනවා යයි දැනගත් පසුව, ඒ හාස්කම කුමක්දැයි වුල්ෆ් ගැටමාන්නේ මහ රාළහාමිගෙන් ඇසුවේය. මහ මුහුදේ මකර කට තිබෙන්නේ මේ ළඟපාත යයි එවිට ඔහු කීවේය. `මකරකට` යි විමතියෙන් මෙන් කටහැර කියූ උපදිසාපති මකරකට නිසා ජල බුබුළුවලට ජලය ලැබෙනවා දැයි විමසීය.

ගිරිවා පත්තුවේ ඈත කඳු ගම්වල ඇති බුබුළුවලින් පවා මුහුදු වැලි හා බෙලිකටු වරින් වර මතුවෙන අතර ජලයෙහි ද කිවුල් රසක් ඇති බැව් ද සියල්ලෝම දනිති.  සදා නොසිඳෙන මහසයුරෙන් මිහිගැබ තුලට ගලා බස්නා මහා ජල ප්‍රවාහයක් උමංදෝණි දිගේ බෙදී විසිරී ගොස් තැනින් තැනින් මතුවෙන බැව් ලෙනාර්ඩ් වුල්ෆ්ට අලුත් ආරංචියක් විය.

නුඹලාගේ විහාර මන්දිරවල අලංකාර ලෙස ඇඳ තිබෙන මකරා මෙන්ම මුහුදු මකරාත් විචිත්‍ර වෛවර්ණ කටවල් දෙකක් ඇති එකෙක්දැයි ගැටමාන්නේ රාළහාමිගෙන් උපදිසාපති ඇසීය. විහාර මන්දිරවල මකර මූර්තියෙන් `කාලය`සංකේතවත් වන බැව් ඔහු කීය.

කුඩාවැල්ලට නොදුරින් මහ මුහුදේ ඇතැයි කියන මකරකට බලන්නට යාමට ලෙනාර්ඩ් වුල්ෆ් තීරණය කළේය.කීප දෙනෙකුට ආරක්ෂාකාරී ලෙස ගමන් කළ හැකි හොඳ රුවල් ඔරු දෙක තුනක් සූදානම් කරවන මෙන් කුඩාවැල්ලේ උපන් අයෙක් වූ වලස්මුල්ලේ ජයවික්‍රම පත්තුවේ රාලහාමිට දැන්වීය.

නාකුළුගමුවේ වෙද මුහන්දිරම් ඩී.ඩී අතපත්තු රාලහාමිගේ නිවසට රැස්වී මුහුදු ගමනට අවශ්‍ය සියලු කළමනා ලක ලෑස්ති කර ගත්හ. කුඩාවැල්ල ධීවර තොටුපොළින් රුවල් ඔරුවලට නැග, කළමැටියේ ඔපිසර ගෙදරට මුහුදින් යාම ගමනෙහි පළමු පියවර විය. එතැනින් නැවත මුහුදුබත් වී හම්බන්තොට තොටුපොළට සේන්දු වීම, ගමනෙහි දෙවන පියවර මෙන් උපදිසාපති විසින්ම චාරිකා සැලසුම සම්පාදනය කරන ලදී.

දැවැන්ත බල ඔරු හතරක් අලුත්ම රුවල් යොදා, කොල්ලෑවල් සහිතව කුඩාවැල්ල ධීවර තොටුපොළෙහි වැල්ලෙහි සූදානම්ව තිබිණි.

පළපුරුදු ඔරු නායකයන් හෙවත් `මහමරක්කලහෙලා`සමග හොඳ ඔරු පදින්නෝ අලුත්ම හබල්ද සූදානම් කොට ගමනට පේවී උන්හ. මුහුදෙහි කිමිදුම් ඇඳුම් කට්ටලයක් හැඳ සිටි ලෙනාර්ඩ් වුල්ෆ් සමග ඔහුගේ කණ්ඩායම නියමිත වෙලාවට පැමිණියහ.

මිනින්දෝරු කොක්, නීතීඥ පෝලියර්, සහ එකල තංගල්ල සහකාර පොලිස් අධිකාරී ඩී.ඩී හඩ්සන්, මුදලිඳු අමරසේකර, බබුන් රාළහාමි සහ නෝනිස් ද ඔරු තොටුපොළෙහි වූහ.  

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුහුදු වෙරළබඩ ධීවර කලාපය පටන්ගන්නේ කුඩාවැල්ල ගම්මානයෙනි.  මාදැල් දැමීමත් ඔරුවලින් පන්නෙ කිරීමත් ගම්වැසියන්ගේ ජීවන මාර්ගයයි. මුහුද ඔවුන්ට සම්පතකි.  පොල් අතු වහලට සෙවිළි කල කුඩා නිවාස පේලියක් වෙරළෙහි සිටින විට පෙනේ. ගැහැණු පොල් ලෙලි තලා ලණු ඇඹරීමේද යෙදෙති.  කුඩා ළමයින්ද ගම් වැසියෝද වෙරළට පැමිණි මේ සුදු අමුත්තන් දෙස ආශාවෙන්ද ගරුබුහුමනින් ද යුතුව බලා සිටියහ.  මේ යන්නට පෙළ ගැසී සිටින්නේ මකර කටේ මුව විටටය.  එය යළි නොඑන ගමනක්ද විය හැකිය.  හැම ඔරුවකටම ජලය පිරවූ ලොකු බෝතල්, විස්කෝතු ටින්, චීස් ටින්, බටර් මුසු කළ පාන්, ඉදුණු කෙසෙල් ගෙඩි,ගස්ලබු ගෙඩි , සිගරැට් ද පැටවූහ.

ගම්වැසියෝද ඇඹුල්තියලට හැදූ මාළු කුණ්ඩහට්ටි හත අටක්ද තෑගි වශයෙන් ගෙනවිත් ඔරුවලට දුන්හ.  කුඩාවැල්ල ජනාකීර්ණ ධීවර ගම්මානයකි.  හාර පන්සියයක් තරම්වූ ගමෙහි බාල, තරුණ, වැඩිහිටි වයස්ගත පිරිසක්ද තොටුපොළට රොක්වී බලා සිටියහ.

පෙරවරු නමයට පමණ සියල්ලෝම එක්වී ඔරු හතර මුහුදට තල්ලු කළහ.  දීප්තිමත් හිරු පායා ඇති දවසකි. පොල්තුරු සෙවනැලි පුරා බබළන හිරු රැස් දිගාවී ඇත. බිඳෙන මුහුදු රළ දෙපා දෝවනය කරමින් පෙණකැටි හලා මඳහසින් යුතුව විසිරේ.  එය දෙවඟනක් දෙපා සිප ගත්තා වැනිය.

ඔරු පදින්නන් සමග විසි දෙනෙක් ඔරු හතරෙහි වූහ.  තමා ද වුල්ෆ් නැගි ඔරුවටම ගොඩ වූ බැව් නෝනිස් මහතා කීය.  පොලිස් අධිකාරී හඩ්සන් ද එහි සිටියේ තුවක්කුවද අල්ලා ගෙනය.

වෙරළෙහි රැස්ව සිටි ගම්මු දෙඅත් ඔසවා වනමින් ඔල්වර හඬ නගමින් මකර කටට යන මේ පිරිසට ආචාර කළහ.  හෙමි හෙමිහිට උස්ව යළි බිඳ බිඳ යන රළ තරඟ මතින් ඔරු පාවේ.

ගමනේ ආරම්භය සතුටුදායකය.

ඉඳි කොළ හිස් වැසුම් පැළඳ කළු අත් දිගු කබාවලින් උඩුකය වසාගත්, හැඩි දැඩි මස් පිඬු ඇති ශක්තිමත් පළපුරුදු ඔරුකාරයෝ රුවල් දිගඇර හබල් ගසා ඔරු දියඹ දෙසට පදවති.

මුහුදට පෙනෙන ගොඩබිම සැබැවින්ම අපට නිතර පෙනෙන පරිසරයට වඩා සුන්දරය.  වෙරළෙහි නතර කර ඇති රුවල් ඔරු, මාදැල්, ධීවර වාඩි හා ගමෙහි ගෙවල් ද උසැති පොල් තුරුද අදහා ගත නොහැකි විචිත්‍රවත් සිතුවම් පටක් දිග හරින්නාසේ දැක්වේ.

කුඩාවැල්ලේ මකර කට ඇති ඉසව්ව හඳුනාගත හැකිය. රට මැදට ගලා යන ජල කඳ ගල් කුළු මැදින් ගැලීමේදී අහසට විහිදෙන දිය වැනි හුම්මානයක් එහි මුහුදු වෙරළෙහි වෙයි.  

මුහුදු රළ වේගයෙන් බිඳෙන කාලවලදී හුම්මානයෙහි දියදළුව, අඩි හාර පන්සියයක් ඉහළට නැගී විහිදෙන බැව් අපේ ඔරුවේ නායකයා කීවේය.

උපදිසාපති කළ නියමයෙන් ඔරුව හුම්මානයට මුහුණ ලා වෙරළ දෙසට පැදවීය.  ගොඩබිමට ජලය ගලා යන කපොල්ල ඇත්තේද හුම්මානයට හරි කෙළින් මුහුද මැදය.  රළ ගොඩ බිම දෙසට ඇදී යනු දැනේ.  හුම්මානයට ජලය ගලා යන මුවවිට මකර කට ලෙස ගම්මු හඳුන්වති.

ඔරු හතරම එක පෙළට මුව විට කරා ළඟාවී යළි ඉවතට පැදවිණ.  මෙතැනින් මුහුදු ජලය ගොඩබිම තුළට ගලා යන බව සත්‍ය කතාවකැයි උපදිසාපතිතුමා සමග සිටි පොලිස් අධිකාරී වරයාට කීය.  එය සොබාදහම දුන් දායාදයකි.

ඔරු ගොඩබිමට ආසන්නව පදවන මෙන් වුල්ෆ් නියම කළේය.  දුරබලනයෙන් වෙරළබඩ තීරය දැක බලා ගැනීමට ඔහුට අවශ්‍ය විය.  කුඩාවැල්ල, මාවැල්ල, සීනිමෝදර, උනාකුරාව, ගොයම් බොක්ක, පල්ලියක්කුඩාව, තංගල්ල දක්වාවූ ධීවර මධ්‍යස්තාන මුහුදින් ගම්න් කරන විට චිත්‍රපට දර්ශනයක් දිගහැරෙන්නාක් මෙන් කදිමට පෙනේ. සියල්ලෝම සතුටින් සිරි නරඹති.

හිරු මුදුනෙහි දිලිසෙන මද්දහනේ දී තංගල්ල තානායම ඉදිරිපිට වූ ධීවර තොටුපොළෙහි ඔරු නතර කොට ගෙනෙන ලද දේ දහවල් ආහාරයට ගත්තෙමු.  තංගල්ල උසාවිය, තානායම හා චාම් පැරණි පෙනීමක් ඇති මාර්කට් ගොඩනැගිලිද ගරා වැටී යන ශිෂ්ටාචාරයකින් ශේෂවූ සුන්බුන් ලෙස පෙනුණි.

කිරම ඔයෙහි බොර දියෙන් මුහුදු ජලයද, දුඹූරු පැහැ ගැන්වී ඇත. හිරු රැස් සැඩය. අව්ව ද බැවින්සියල්ලන්ගේම මුහුණු කළු පැහැ ගැන්වී ඇත.    

දහවල් කෑමෙන් පසු යළි ඔරු ගමන් ඇරඹීය. ඔරු කඳ මත හරි බරි ගැහී රුවල් කණුවට පිටදී වාඩිවූ ලෙනාර්ඩ් වුල්ෆ් දුරබලනයෙන් ගොඩබිම දෙස බලන්නට විය.  මුදලිඳු අමරසේකර කරුණු විස්තර කළේය.

හේනකඩුව දාගැබ, සුදු බුබුලක් සේ මහ මුහුදට දිස් වෙයි.  රැකව කලපුවත්, වෙරළබඩ වූ කඩොලාන කැලයත්, කඩොල් ඇතා මුණගැසුණු තැන ලෙස හැඳින්විණි.  රැකව, කහදාව, වැල්ලඕඩය හා ගිරිවා ගඟ මුහුදට ගලා යන කහඳා මෝදර ද වුල්ෆ්ගේ සිත් ගත් තැන්ය.

කුඩා නිවාසවලින් ද පොල්රුප්පා වලින් ද ගැවසීගත් වෙරළබඩ ගම්මාන අතරින් හිරිගල් පෝරණුවල දුම් රැළි ගුවනට පාවෙයි. තිල්ල වටවන, ගරුපොකුණ ගම්මාන බද වෙරළ ඔස්සේ සවස හතර පමණ වන විට කලමැටියේ ධීවර තොටුපොළට අපේ රුවල් ඔරු සැපත් වූයෙන් සියල්ලෝම වැල්ලෙහි වාඩිවී ගිමන් හරින්නට වූහ.  හරියටම විජය කුමාරයා තම්මැන්නාවට පැමිණියා මෙනි.

කළමැටියේ ගම්පතිවරයා ප්‍රධාන ගම්මු පැමිණ ඉමහත් හරසරින් උපදිසාපතිගේ චාරිකා නඩය පිළිගත්හ.  කළමැටිය කලපුවට යාබද ගම්මානය ලංකාවේ ඉතා කුඩාම ධීවර ගම්මානයයි. එහි පවුල් පහක් පමණ සිටියහ. 

රාත්‍රී නවාතැන සඳහා සම්භාවනීය පිරිස ඔපිසර ගෙදරට ගියහ.  කළමැටිය ලංකාවේ පළමු කුරුළු අභය භූමිය ලෙස ප්‍රකාශයට පත්කළ සොබා දහමේ සම්පතක් බඳු තැනකි.  රාවණ රජදහන ඉතා නොදුරින්ම පෙනේ.

ඕලන්දයන් ප්‍රකාශයට පත් කර වූ ලංකාවේ ප්‍රතම කුරුළු අභයභූමිය වන කලමැටිය (ක්‍රි.ව.1773 දී) ආරක්ෂිත කුරුලු කලාපයක් මෙන් නීතිගත කර ඇත.  ගුරුපොකුණ ධීවර ගම්මානයත්, බටඅත මූකලානත් කලමැටියට යාබදවම පිහිටා ඇත

නාලාගිරි හස්තියා මෙන්, මහ පොලොව පහුරු ගා ගුගුරවමින් හොඬය ඔසවා හඹා එන වල් අලින්, අතට මතුරා අප්පුඩි ගසා පලවා හරින ගොවියන් දැක ලෙනාර්ඩ් වුල්ෆ් පුදුමයෙන් බලා සිටියේය. 

දැලි කොටේ චිහ් යයි මතුරා අසුර ගසා වලසුන් ද වැලහින්නියන් ද පන්නා දමන ගොවියන්ගෙන් උඹලාගේ මන්තරවල ඇති බලය කුමක්දැයි ඔහු ඇසුවේය.  පෙණය පුප්පා ඇදෙන නයින්ට වැලි මතුරා ගසා බෙල්ලෙන් අල්ලා ගත් අහිකුන්ඨිකයින් ඔහු දුටුවේය.  මේ නම් කෙබඳු ආශ්චර්‍යවත් ගුප්ත බල මහිමයක් ද යන්න ගැන වුල්ෆ් කල්පනා කළේය.  ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සොබාදහමෙහි සිව් මහ ගුණයෙන් වැඩ ගන්නා අද්භූත බලයක් මන්තරවල ඇතැයි ඔහුගේ මිතුරෝ ඔහුට පැවසූහ.  වස් කවිය හා සෙත් කවිය ද බීජ අක්ෂර මත ගොඩ නැංවූ ප්‍රබල ගැලපීමක් බව ඔහුට දැන ගන්නට ලැබිණි.

යන්ත්‍ර මන්ත්‍ර සෙත් කවි හා වස් කවිද සූනියම් බලි බිලි අවතාර හා යක්ෂයන් ගැනද සියුම් පරීක්ෂණයක ලෙනාර්ඩ් වුල්ෆ් යෙදී සිටියේය.  ඔහුට සමීපවූ මුදලිවරු කීප දෙනෙක් සිටියහ.  එක් අයෙකුගේ මිතුරෙකු වූ මහා මන්ත්‍ර සාස්ත්‍රඥ තිලෝරිස් උපදිසාපති වරයාට මුණගැස්වූයේද එක්තරා මුදලි කෙනෙකු විසිනි.

අණවින විජ්ජාපාළු වතුපාළු අංගම් පිල්ලු යැවීම් යනාදී මන්ත්‍ර ගුරුකම් දැනසිටි තිලෝරිස් දළගිරි ජීවමෙන් මළ කඳන් නැගිට වීමටද දැන සිටි අයෙකි.

දුටුවන්ගේ නෙත් සිත් වශී කරවීමට තරම් හැඩකාර පෙනීමක් ඇති තිලෝරිස් එකල රුහුණේ සිටි දක්ෂම සූනියම් නැට්ටුවෙක් විය.  මුදලි වලව්වකදී කතාබහට වැටුණු තිලෝරිස්ගෙන් මළ කඳන් නැගිට වීමට හැකි දැයි වුල්ෆ් ඇසීය.

මියගොස් දහ පැයක් පසු නොවූ ඕනෑම මළ කඳක් මන්ත්‍ර බලයෙන් නැගිට වීමට තමාට හැකි බැව් තිලෝරිස් කීය. ලෙනාර්ඩ් වුල්ෆ් පුටුවෙන් නැගිට ඔහුට අතට අතදී එසේ නම් අපි එය කරලා බලමු යයි කීවේ සිනහසෙමිනි.

සුදුසු මළකඳක් සොයා දීමට මුදලිවරයෙක් ඉදිරිපත් විය.  ඔහු රෝහලක මිනී කාමරයක මුරකරුවෙකු වලව්වට ගෙන්වා තරුණ හැඩකාර ළමිස්සියෙකුගේ හොඳ මළ කඳක් මිනී කාමරයට ගෙන ආවිට දී වහාම පැමිණ ඒ බැව් මට කියපන් යයි නියම කළේය.

මිනී කාමරය වූයේ මුහුදු වෙරළට යාබද ජන ශූන්‍ය පාළු මූසල පෙනීමක් ඇති තැනකය.  හිරු බැස ගිය පසු කිසිවෙක් වැරදීමකින් හෝ එහි නොයති.  නොදුරු ගමකට කැන්දා ගෙන පැමිණි මනමාලියක් මධු සමයෙන් දෙදිනකට පසු කිසියම් සිද්ධියක් නිසා ඔත්පළව රෝහල් ගතකළද, මිය ගියෙන් ඇගේ මළ සිරුර මිනී කාමරයට ලැබිණි.  මුරකරු වලව්ව්ට ගොස් මුදලිඳු බැහැ දැක වැඳ එකත්පස්ව සිටියේය. මොකද බොල වැඩේ හරිදැයි ඔටුනු නොපළන් රජෙක් මෙන් වැජඹුනු මුදලි මුරකරුගෙන් ඇසීය.

එහෙමයි හාමුදුරුවනේ,  අවුරුදු විස්සක තරමේ හොඳ හැඩ ළමිස්සි, පෙළවහට ගිහින් තියෙන්නෙත් මේ ළඟදිමයි. නමුත් හදිසි ඇබැද්දියකින් ඔත්පළ වෙන්න වුණාලු.  දැන් මළකඳ මා බාරෙ.  අන්න කාමරේ යතුර මා බාරෙ මා ළඟ, දොර වහලයි මේ ආවෙ.

හොඳයි, බත්ගෙට ගිහින් මොකුත් කාහං.  මුරකරු කුස්සියට ගියේය.  මුදලිගෙන් පණිවුඩයක් ලද වුල්ෆ් සහ ඔහුගේ හිතවතුන් ද සැන්දෑවේ වලව්වට පැමිණියහ.  මන්ත්‍ර ශාස්ත්‍රඥ තිලෝරිස් ද ගෝලයා සමග ලඟා විය.

දළගිරි ජීවමට අවශ්‍ය දෑ ලහිලහියේ රැස් කෙරිණි.  මිනී ඔළු කටුවක්, නොමළ කුකුළන්, කැවුම්, දිය ගොඩ මස්, පන්දම්, හීන් විලක්කු, අඟුරු, දුම්මල, කංසා, අබිං, ලදපස්මල්, දොළ පිදේනි තටු මුදලිගේ ගෝලබාලයෝ විසින් වලව්වට ගෙන ආහ.

හිත හොඳ හැඩි දැඩි ආවතේව කාරයෝ හත් දෙනෙක් වලව්වේ උන්හ.  හිරු බැස ගනඳුර ගලා පරිසරය නිහඬවත්ම කිහිප දෙනෙක් මිනී කාමරයට ගොස් මළකඳ කර තබාගෙන පාළු මුහුදු වෙරළ ඔස්සේ වලව්වේ පිතක්කනට ගෙන ආහ.

අශ්වයා එළියට ගෙන ඉස්තාලය මැද තැනූ ලී දඬු මැස්සක් මත මළකඳ තැබූහ.  කුදිරකාරයාගේ මඩුව අස්පස් කොට සම්භාවනීයයන්ට සැප පුටු මේස එහි තැබිණි.  තිලෝරිස් අඳුරේ තැනකට වී හඳුන් කිරිපැන් වලඳ ජීවම් කරමින් සිටී,

හරියටම නැකැත් වේලාවට කටයුතු ඇරැඹිණි.  දැල්වූ ලන්තෑරුමක් හා පන්දමක් අවට තැනක රැඳවිණි.  දැල්වෙන පන්දමෙහි මලානික මඳ එළියෙන් මැස්ස මත තැබුණු මළ සිරුර පෙනේ.  විසි වියෙහි තරම් වූ රූබර ළඳකි.  සුදු රෙදි කඩක් එමත විය.  මුහුණ පැහැපත්ය.

ආවතේවකාර කණ්ඩායම සමග නියමිත මොහොතෙහි තිලෝරිස් පැමිණියේය.  ඔහු මළකඳ මතවූ රෙදිකඩ ඉවතට දැමීය.  එය හරියටම හොත් පිළිරුවක් බඳුය.  පාමුලට කුකුළු බිල්ලක් තැබිණි.  ලිප බැඳ මිනී ඔළු කටුවේ බිත්තර බැදීම ඇරැඹිණි.  ජීවම් කළ දුම්මල අඟුරු කබලට වැටේ.  සුවඳ දුම් රැළි මළසිරුර වෙලාගනිමින් ඉහළට නගී.

තිලෝරිස් යක්ෂයෙකුට සමානය.  තුන් පැයකට පසු අවට අඳුරු පටලය මැදින් මහා කලබැගෑනියක් ඇසිණි.  ගස් ගල් පෙරළෙන්නා වැනිය.  අතු ඇඹරී නැමී සලිතව බිඳෙනවා බඳුය.  බයවෙන්න එපා, එකෙක්වත් දුවන්න එපා, හිටපියව් යයි තිලෝරිස් ගුගුලේය.  ඔහු දැන් යක්ෂාවේශයෙන් රුදුරු වෙස් ගෙන ජීවම් කරයි.  මුදලිවරු රාළහාමිලා සමග ලෙනාර්ඩ් වුල්ෆ් ද ගල් ගැසුණාක් මෙන් නිහඬව තුෂ්නීම්භූතව බලා සිටිති.  නාග පිල්ලුව, වලස් පිල්ලුව, කාලසුනඛ පිල්ලුව, මහසෝන් පිල්ලුව එන එන විට බිලි දිය යුතු විය.  මන්තර කියන තිලෝරිස්ගේ හඬ විනා සෙසු සියල්ලෝම, මේ මොන නස්පැත්තියක් වෙන්න යනවාදැයි විස්මිතව සිටිති.

මරු අවතාර පිල්ලු පැමිණෙන විට බිත්තර, කැවුම්, කුකුළන් බිලි සඳහා වහා දිය යුතුය.  නැත්නම් ඇදුරා ගෙන්වූ පිල්ලුව ඇදුරාගේම ගෙල බිඳ යන කතාවක්ද ඇති බැව් ඔප්පු වෙනු ඇත.  තිලෝරිස්ගේ ගෝලයා හඳුන් කිරිපැන් වළඳ අතෙහිම තබාගෙන සිටියේය.  අකරතැබ්බයක් අත්වැරැද්දක් වූයේ නම් වහාම හඳුන් කිරි පැන් ඉසිය යුතුය. වටපිටාව ගිගුම් දෙමින් විවිධ ගෝසාවල් ඇසිණි.

ලෙනාර්ඩ් වුල්ෆ් අතින් මුහුණ වසාගෙන අතැඟිලිතරින් බලා සිටී.  මුදලි කෙනෙක් තුවක්කුව වඩා ගෙනය.  සියල්ලෝම විස්මිත වූ පරිදි බලා සිටියදී තිලෝරිස් ගිරය හා දෙහි ගැට ගෙන මළකඳෙහි නළල, ළමැද, නාභිය, දෙදණ හා පාදාන්තයට දෙහි කැපුවේය.

ඕං විසිබිල්ලා වාඩා,යි හඬ නගමින් අඟුරු දුම්මල ජීවම් කළ තිලෝරිස් මළකඳ ළඟ දුම් ගසද්දී මළානික වූ දෑතේ ඇඟිලි තුඩුවලත්, මුහුණෙහි නාසය යට, උඩු තොල මතත් ළමැද අසලත්, සිහින් දා බිඳු මතුවී, අප්‍රාණික මළකඳ කෙඳිරි ගාන්නට විය.

එකෙක්වත් හෙල්ලෙන්න එපා, දුවන්න එපා, හිටපියව් කියමින් පුටුවෙන් නැගිටගත් මුදලි තැන තුවක්කුව දෙස බැලීය.  වුල්ෆ් ද පන්දම් කාරයෝ ද ප්‍රභූ ජනයා ද බ්‍රාන්තව සිටියදී මළකඳ කෙඳිරිලි හඬ නගමින් කෙලින්වී කට ඇරියාය.  ඌරෙකුගේ ගොරොද්දය වැනි හඬක් ඉන් පිටවිණි.

කණමැදිරියන් තණ තැන්න පුරා එළිය විහිදුවමින් හැසිරෙන සීතල කළු කපා එළියේදී රළ බිඳෙන මුහුදු වෙරළ ඔස්සේ නැවත මළකඳ මිනී කාමරයට ගෙන ගියහ.

ලෙනාර්ඩ් වුල්ෆ් පසුදා උදෑසනම මුදලි වලව්වේදී තිරෝලිස්ට ලියුමක් දුන්නේය.  ඉඩ ලද වහාම ගම්මුලාදෑනි කමක් ඔහුට දෙන බැව් එහි ලියා තිබුන බවත්, පසුකලෙක ඔහුට ගම්පති පදවිය විදානාරච්චි තනතුරක් ද ලැබුණු බවත් නෝනිස් මහතාගෙන් පැවසිණි.

වුල්ෆ් ලංකාව හැර යන විට සර්ව ලෝක වශීයක් වූ වෙසමුනි අඳුන ජීවම් කර රන් සුරයක දමා දුන්නේද මේ තිලෝරිස් විසිනි.  1960 දී නැවත පැමිණි ලෙනාර්ඩ් වුල්ෆ්ට තංගල්ලේදී තිලෝරිස් මුණගැසිණි.

මා ලෝකයේ ප්‍රසිද්ධ වුණා,  සල්ලිත් හම්බුකරා, යයි එහිදී වුල්ෆ් ඔහුට කීවේය.  1963 දී තිලෝරිස් මිය ගියේය.

(වුල්ෆ් දුටු රුහුණ,  විජේසිංහ බෙලිගල්ල. ප්‍රකාශනය,තාරක ප්‍රකාශකයෝ. 2000)  

Friday, March 27, 2026

වුල්ෆ් දුටු රුහුණ.

 

මා මෙම බ්ලොගයට කතාවක් ලීවේ දැනට අවුරුදු දෙකකට පමණ පෙර එනම් 2024 දීය. හරියටම කිව්වොත් 2024 ඔක්තෝබර් මාසයේය.  අවුරුදු දෙකකට මාස ගණනක් අඩුය.  යමක් ලියන්නට දිගින් දිගටම සිතුවත් ලියවුනේම නැත. එය මගේ වරදක් නොවේ වගේම ඔබේ වරදක්ද නොවේ. කොහොම වුණත් නැවත ලියන්නට හැකිවීම මට සතුටකි.  කියවන ඔබත් ඒ සතුට මා සමග බෙදා ගනු ඇතැයි සිතමි. දැන් කතාවට යමු.

ලෙනාර්ඩ් සිඩ්නි වුල්ෆ් හෙවත් ලෙනාර්ඩ් වුල්ෆ් යන නම අප කාටත් නුහුරු නුපුරුදු නමක් නොවේ. ලෙනාර්ඩ් වුල්ෆ්(1880 -1969 ) ලංකාව හෙවත් සිලෝන් දූපතට 1904 දී පැමිණියේ යටත් විජිත සිවිල් සේවයේ ආධුනිකයෙකු වශයෙනි. ඔහු යාපනයේ සහ මහනුවර කච්චේරිවලද අවසාන වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප දිසාපති වශයෙන්ද සේවය කළේය.  1911 දී වසරක නිවාඩුවකට එංගලන්තයට ගිය වුල්ෆ් ලංඩන් හි යටත් විජිත කාර්‍යාලය සමග එහිදී කෙරුණු ලිපි ගණුදෙනුවක ප්‍රතිපලයක් වශයෙන්  1912 දී  යටත් විජිත සිවිල් සේවයෙන් ඉල්ලා අස්විය. එම වර්ෂයේදීම කිවිඳියක සහ ලේඛිකාවක වූ වර්ජිනියා ස්ටීවන් සමග විවාහ වූ වුල්ෆ් ලේඛකයෙකු වශයෙන් ජීවිතය ආරම්භ කළේය. වුල්ෆ් ඔහුගේ සුප්‍රකට විලේජ් ඉන් ද ජංගල් කෘතිය පළකලේ 1913 වර්ෂයේදීය. 

ආදරය වෙනුවෙන් රැකියාවද අතහැර වර්ජිනියා විවාහ කර ගත්තද වුල්ෆ්ගේ විවාහ ජීවිතය එතරම් සුමට එකක් නොවූ බව පෙනී යයි.  මානසික රෝගයකින් විවාහ ජීවිතය පුරාවටම පීඩා විඳි වර්ජිනියාගේ රෝගය හේතුවෙන්ම වුල්ෆ් මානසික ආතතියකින් පෙලෙන්නට විය. සිය මානසික රෝගය උපරිම වීමෙන් වර්ජිනියා දියේ ගිලීමෙන් සිය දිවි තොර කර ගත්තේ 1941 දීය. පසුකාලීනව වුල්ෆ් විවාහක කලාකාරියක සමග සම්බන්ධයක් ඇතිකර ගත් බව කියැවෙන මුත් ඒ ගැන වැඩි විස්තර දැනගන්නට නැත.

25 ක් පමණ වන ඔහු ලියූ කෘතීන් අතර ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානය වෙලුම් 5 කින් සමන්විතය.  

සෝවිං - 1880- 1904

ග්‍රෝවිං - 1904 -1911

බිගිනිං අගේන් - 1911- 1918

ඩවුන්හිල් ඕල් ද වේ -1919 -1939

ද ජර්නි නොට් ද අරයිවල් මැටර්ස් - 1939 - 1969

මෙම කෘතිවලින් ග්‍රෝවිං ලංකාවේ සත් වසක් යනුවෙන් සිංහලට පරිවර්තනය කොට ඇත.

ලංකාවේ වුල්ෆ් ගතකල රාජකාරි දිවිය ගැන ග්‍රෝවිං කෘතියේ ඔහු විස්තර කොට ඇත. එහිදී වුල්ෆ් ඔහු හම්බන්තොට ගතකල දිවිය ගැන මහත් අභිරුචියෙන් විස්තර කරයි.

"ලංකාවේ කර්කශ දේශගුණයක් ඇති, වනගත නොදියුණු පෙදෙසක් ලෙස බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වන ලද හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි උප දිසාපති තනතුර ලැබූ ලෙනාර්ඩ් වුල්ෆ්, එහි සේවයට පැමිණීමේදී වේදනා සහගත හැඟීම්වලින් බරවූ සිතින් යුතුව කළකිරුණු බවක් පෙන්වා තිබේ. එකල යටත්විජිත ලේකම්වරයා වූ හියු ක්ලිෆර්ඩ් මුණගැසී මේ දුෂ්කර ප්‍රදේශයට පැමිණීමට පළමු සමුගන්නා විටත් වුල්ෆ්ගේ දිගටි නාසයෙන් යුත් පැහැපත් තරුණ මුහුණුවර ප්‍රසන්න අඳුරු ඡායාවක සෙවණැල්ලකින් වැසී තිබුණේ යැයි පසු කලෙකදී හියු ක්ලිෆඩ්ම සටහන් කර ඇත.  සැඩ ඉඩෝරයට මැදිවුණු වියළි මුඩු බිමක ළදලු පත් දැවී දිරාගිය රිකිලි සහිත කුණාටු, තුරු වන තලා මැද කටුක දුක් විඳි අහිංසක ගැමි ගොවියන්ගේ ජීවන වේදනාවන් දැක ඉන් ලබාගත් අත්දැකීම් ගොනු කොට විශ්ව සාහිත්‍ය අඹරෙහි දිදුළ තාරකාවක් බඳු ඒ "පොත" ලිවීමෙන්, තමා ගොස් සිටියේ යායුතු වූ නියම තැනට බැව් වුල්ෆ් තම මිතුරන්ට කියා ඇත"

(උපුටා ගැනීම: ලෙනාර්ඩ් වුල්ෆ් දුටු රුහුණ, විජේසිංහ බෙලිගල්ල )

1911 දී ලංකාව හැර යාමෙන් පසු වුල්ෆ් නැවතත් ලංකාවට ආවේ 1960 දීය. ඒ අවුරුදු 89 ක වයෝවෘද්ධයෙක් ලෙසය. හම්බන්තොට දිස්‍ත්‍රික්කයේ ඔහු සිටි තැන්, ආගිය තැන්, දැන හඳුනන්නන් ආදිය දැක බලාගෙන යාමට පැමිණි වුල්ෆ්ට හම්බන්තොටදී ලැබුණු උණුසුම් පිළිගැනීම ඔහුට පුදුම සහගත විය. 

වුල්ෆ්ගේ දෙවැනිවර පැමිණීම ගැනද පොත් දෙකක් මා දන්නා පරිදි ලියැවී ඇත. තවත් පොත් ඒ ගැන ලියා ඇද්දැයි නොදනිමි.  මේ මා සතුව පවතින පොත් දෙකය. ලියා ඇත්තේ විජේසිංහ බෙලිගල්ල ලේඛකයාය.

ලෙනාර්ඩ් වුල්ෆ් සමග ගමනක් - 1995 (ගොඩගේ ප්‍රකාශනයකි)

වුල්ෆ් දුටු රුහුණ  -2000(තාරක ප්‍රකාශනයකි)

මීට අමතරව වුල්ෆ් විසින් පවතවාගෙන ගිය දිනපොත් වලින් තෝරාගත් කොටස් කිහිපයක් එල්.එම් ආරියපාල විසින් පරිවර්තනය කරන ලදුව "ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොත් සටහන්" නමින් හම්බන්තොට කාන්තා සංවර්ධන මහ සංගමයේ ප්‍රකාශනයක් ලෙස 1994 වර්ෂයේදී ප්‍රකාශයට පත්වී ඇත. එම පොතෙන් නොහොත් ග්‍රෝවිං නම් වුල්ෆ්ගේ ජීවිත කතාවෙන් උපුටාගත් උද්ධෘතයක් මා මෙහි ගෙනහැර දක්වමි. 


"ස්තානයන් පිළිබඳ කෙනෙකුගේ මතකය අපූරු අන්දමට අස්තිරය. හම්බන්තොට මගේ නිවස ගැන පැහැදිලිව මගේ මතකයේ රැඳුන කරුණු දෙකක් ඇත.

ඔබ මිදුල හරහා මුහුද දෙසට ගමන් කරයි නම් ඔබට සිනිඳු සුදු වැලි සහිත කුඩා කඳු ගැටයක් හමුවේ. ඒ තුඩුවේ කෙළවරයි. දකුණු දෙසට කෙලින්ම විහිදී යන සැතපුම් දෙකක් දිග මුහුදු වෙරළයි.

වසර දෙකක් පුරා දිවා රාත්‍රී සැතපුම් දෙකක් දිග ඒ මුහුදු වැලි තීරය දෙස ඔබ බැලුවහොත් මුහුද ඉතා රලු නොවේනම්, නිරන්තරයෙන්ම නියමිත වේලාවක් ඇතුලත එතරම් උස් නොවූ, නොබිඳුන, සැතපුම් දෙකක් දිග දිය රැල්ලක්,වෙහෙසට පත්වූවා සේ, ඉතා සෙමෙන් ඉහළට නැග, දැඩි නිහඬතාවයකින්, මොහොතක්, ක්ෂණිකව එක තැන රැඳී සිට මහා ශබ්දයක් නගමින් වැල්ල මත වැටෙයි.

ඒ දැඩි නිහඬ මොහොත හා ඒ පසුපස එන මහා ශබ්දය- රැල්ල වෙරළේ හැපෙන මහ හඬ - මගේ ජීවිතයේ රිද්මයේ කොටසක් බවට පත්විය.

රාත්‍රියේ මා නින්දට යන විට මට ඇසෙන අවසාන දෙය එයයි. උදෑසන මා පිබිදෙන විට මට ඇසෙන පළමුවන දෙය එයයි.  නිහඬ මොහොත- මහා ශබ්දය- මුහුදේ රිද්මය, හම්බන්තොට, රිද්මය.

දෙවන මතකය ශබ්දයක් නොව දර්ශනයකි.

උදෙන්ම මා ආලින්දයේ තේ පානය කරමින් සිටින විට, නොකඩවා සෑම දිනයකම, නිවැරදිව එකම පැයකදී, 30 - 40 පමණ මුහුදු ළිහිණියන් පෙළක් බටහිර සිට නැගෙනහිරට සැතපුම් දෙකක් දිග මුහුදු වෙරළ ඉහලින් පියාඹා එයි.   

එය පියකරු දර්ශනයකි. සෑම උදෑසනකම මා මිදුල වෙත ගොස් ඒ ආශ්චර්‍යජනක අභ්‍යාසය දෙස බලා සිටිමි.

පක්ෂින් පියාසර කළේ මනාව සැදුම්ලත් තනි පෙළකිනි. නිල නිවස පිහිටි තුඩුවට ලඟාවූ පසු උන් සෘජු කෝණාකාරව වමට හැරී මගේ නිවසට කෙලින්ම ඉහළින් ගොඩබිම දෙසට පියාඹා නගරයේ උතුරින් පිහිටි සුවිසල් ලේවාය වෙත යති. මුහුදට ඉහළින් පියඹා එන විට පක්ෂීන් පෙළ සුදු හා කළු පැහැයෙන් වර්ණවත් වෙයි. නිවසට ඉහළින් ඈත අහසේ එක් පක්ෂියා බැගින් වමට හැරෙන විට බබලන හිරු රැසින් සුදු සහ කළු වර්ණය ක්ෂණිකව කාන්තිමත් රෝස පැහැයකට හැරෙයි"

(ග්‍රෝවිං නමැති සිය ජීවිත කතාවේ 11 වන කොටසින් ගත් උද්ධෘතයකි) 

මෙම කුඩා ඡේදය ලෙනාඩ් වුල්ෆ් සිය හම්බන්තොට ජීවිතය කෙතරම් වින්දාද යන්න ගැන සහ ඔහු හම්බන්තොටට කෙලෙසක ආසක්ත වී සිටියේද යන්න ගැන අපට පැහැදිලි ඉඟියක් දෙයි. 

විජේසිංහ බෙලිගල්ලයන්ගේ පොත්වල ඇති රසවත් කතා කීපයක් ඉදිරියේදී මෙම පිටුවේ ලියැවෙනු ඇත.


Monday, October 21, 2024

පුංචි පුංචි නුවණිනා

 

අප මෙම බ්ලොගයට 2020 න් පසු මොකුත්ම ලියා නැත.  අන්තිමට ලියා ඇත්තේද 2020 ජනවාරි මාසයේදීය.  ඒ අනුව බලනකල අවුරුදු හතරකින් මේ බ්ලොගයේ කිසිවක් පලවී නොමැත.  සිත්ගත් සාහිත්‍ය කලාකෘති නම් මේ බ්ලොගය මම පටන් ගත්තේම හුදෙක් මගේ රස වින්දනය සඳහාමය.  මන්දයත් මවිසින් රස විඳිනු ලබන සාහිත්‍ය කෘති සාහිත්‍ය කලා රස කැමැති තවත් සහෘදයන්ගේ රස කාමය තෘප්තිමත් කිරීම මගේ කැමැත්ත වූ බැවිනි.  සාහිත්‍ය කලා ගැන මෙම බ්ලොගයට ලියූ පසුගිය වසර කිහිපය ඇතුළත සාහිත රස සොයන රසවතුන් බොහොමයක් මා ලියන කතා ඉතා කැමැත්තෙන් රස විඳින බව වටහා ගත්තෙමි.  බ්ලොගය නොලියන අවදියේ පවා ඔවුන් මා මෙම බ්ලොගයට කතා නොලියන්නේ මන්දැයි නිතර විපරම් කළහ.

මුලින් කියූ පරිදි සාහිත්‍යය සඳහා වෙනම බ්ලොගයක් පටන් ගත්තේ හැලපයා බ්ලොගයේ මගේ කතා හැරෙන්නට වෙනත් කතා ලිවීම මගේ පාඨකයන් නොරිස්සූ බැවිනි.  මේ බ්ලොගයේද කියවන්නන් වූයේ මූලිකව ඒ අයමය.  නමුත් බ්ලොගය ආරම්භ කළහාම ඒ උදවිය එක් ප්‍රශ්නයක් පුන පුනා ඇසුවේ කමෙන්ටු මාර්ගයෙනි.  එනම් අනුන්ගේ කතා මගේ බ්ලොගයේ ලිවීමට මට ඇති අයිතිය කුමක්ද යන්නය.  එමෙන්ම කවුරු හෝ එම කර්තෘවරයෙක් තම අයිතිය අවභාවිතාව සම්බන්ධව උසාවි ගියහොත් මට අත්වෙන ඉරණම කුමක්දැයි සමහරු දිගින් දිගටම ප්‍රශ්න කළෝය. වන්දි ගෙවීම සම්බන්ධයෙන් වූ දීර්ඝ පැහදිලි කිරීම්ද අසන්නට ලැබුණි.  මෙහිදී මෙම සියළු ප්‍රශ්න වලට පිළිතුරක් වශයෙන් අනුන්ගේ පොත් උපුටා දැක්වීමේ නීතිමය තත්ත්වය දීර්ඝ කමෙන්ට් කිහිපයක් මගින් පැහැදිලි කළ ප්‍රාජේ ට මගේ අවංක ස්තූතිය හිමිවේ.

අනුන්ගේ කතා මගේ බ්ලොගයේ ලිවීම ගැන කතා කළ හිතවතුන් දිගින් දිගටම එල්ල කළ තවත් විවේචනයක් වූයේ මා යම් කෘතියක කොටසක් බ්ලොගයේ පළකිරීම එම කෘතියේ අලෙවියට අහිතකර බලපෑමක් ඇතිකරන බවයි.  තවදුරටත් පැහැදිලි කළහොත් යම් කෘතියක කොටසක් මෙම බ්ලොගයෙන් කියවන පාඨකයා එම කෘතිය මිළදී ගැනීමට සිටියේ නම් එය මිළදී ගැනීම අත්හැර දමන බවය.  මෙයටද පිළිතුරක් මගේ පාඨකයන් සතු විය.  ඔවුන් කීවේ එම කියැවීම මගින් පාඨකයා තුළ ඇතිකරන උත්තේජනය කෘතියේ  අලෙවියට ධනාත්මක ලෙස බලපෑමෙන් අලෙවියේ වර්ධනයක් ඇතිවිය හැකි බවයි.  මගේ බ්ලොගයේ පොතක් ගැන සඳහන් කරන්නේ නම් මම මුළු පොතම බ්ලොගයේ ලියා දක්වන්නේ නැත.  බොහෝවිට පිටුවක් දෙකක් වැනි කොටසකි.  කෙටිකතා වැනි කතා පොතක් නම් එක කතාවකි.  වරක් ප්‍රාජේ කීවේ මේ බ්ලොගයෙන් දැනගෙන ඔහු මිළදී ගත් පොත් ඇති බවයි.  එමෙන්ම නවකතා කරුවෙකු හා බ්ලොග් කරුවෙකු වන හෙන්රි වර්ණකුලසූරිය ඔහුගේ පොතක් ගැන මෙම බ්ලොගයේ ලිවීම සම්බන්ධයෙන් මට ස්තූතියක්ද කළේය.  විටෙක අත්හැර දැමීමට සිතුනද දිගටම ලියන්නට මට ශක්තිය ගෙනදෙන්නේ මෙවැනි සාධනීය ප්‍රතිචාරයන් වේ.

ඉහත සටහන ලිව්වේ අද ලියන්නට යන කතාවට පූර්විකාවක් වශයෙනි.  ලේඛකයෙකුගේ කාර්‍යභාරය කුමක්ද, ඔහු ලියන්නේ හෝ ලියැවෙන්නේ කෙසේද යන්න අපි අද සළකා බලමු.  

"නිර්මාණකරණයෙහි යෙදෙන ලේඛකයෙකු ලියන සාහිත්‍යයක් මෙන්ම ඔහු අතින් ලියැවෙන සාහිත්‍යයක්ද ඇතැයි කියනු ලැබේ.  මෙයින් වඩා වැදගත් වනුයේ ඔහු අතින් ලියැවෙන සාහිත්‍යයයි.  ලේඛකයෙකු කිසියම් අර්ථවත් අත්දැකීමක් ලබා කාලයක් ගත වන විට එය වර්ධනය වී තව දුරටත් සිත තුළ තබාගත නොහැකිව 'ඉබේටම මෙන්' ලේඛනයෙන් පිටවෙයි.  ලියැවෙන සාහිත්‍යය හැටියට හඳුන්වා දෙන ලද්දේ එයයි."

මේ කොටස මා උපුටා ගන්නේ කේ. ජයතිලකයන්ගේ 'පුංචි පුංචි නුවණිනා' යන කුඩා පොතෙනි.  මුල්පිටේ පොතේ නමට යටින් කුඩා අකුරින් (පණස් වසරක නිර්මාණ උල්පත්) යනුවෙන්ද සඳහන්ව ඇත. මූලික වශයෙන් මේ පොතෙන් කියැවෙන්නේ කේ. ජයතිලකයන්ගේ නිර්මාණ (නවකතා සහ කෙටිකතා) විසිඑකකට මූලාශ්‍ර හෙවත් අනුභූතීන් ලබාගත් ආකාරයයි.

නිර්මාණකරණයේ යෙදෙන්නෙකුට අත්පොතක් බඳු වූ මෙම පොත මාහට ලැබුණු ආකාරයද රසවත්ය.  කලුඅච්චි ගමගේ ජයතිලක හෙවත් සම්මානනීය ලේඛක කේ. ජයතිලක ජීවිතයේදී දෙවරක් පමණ මට මුණ ගැසී ඇත.  පළමුවරට අප කෙටි වේලාවකට මුණ ගැසෙන්නේ මදුරාසියේ මීනම්බක්කම්හි අන්නා ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදීය.  ඒ ජයතිලකයන් ඇතුළු පිරිසක් අකරතැබ්බයකට මුහුණ පා සිටි මොහොතකය.

කාලය මට මතක ඇති ආකාරයට 1999 වර්ෂය විය යුතුය.  සංස්කෘතික නියෝජ්‍ය ඇමති ඒ. වී. සුරවීර මහතා මදුරාසියේ කෙටි සංචාරයක යෙදෙන බවත් ඔහු ආපසු ලංකාවට යනවිට ඔහු සමග ගුවන් තොටුපොළට යායුතු බවත් මට කාර්‍යාලයෙන් උපදෙස් ලැබුණි.  මම හවස ගියේ කාර්‍යාලයේ රියැදුරු ජෙගනාදන් හෙවත් ඇම් ජී ආර් ද සමග කාර්‍යාල වාහනයෙනි.  නියෝජ්‍ය ඇමති කෙනෙක් නිසා සුරවීරට විශේෂ ආරක්ෂාවක් පොලිස් ස්කොඩ් එකක් සමග ලැබී තිබුනේ තමිල්නාඩු රජයෙනි.  විශ්ව විද්‍යාල ජ්‍යේෂ්ට මහාචාර්‍ය කෙනෙක්ද රටේ ප්‍රසිද්ධ රාජ්‍ය සම්මානලාභී ලේඛකයෙකුද මතු නොව සංස්කෘතික නියෝජ්‍ය ඇමතිවරයාද වූ සුරවීර සිටියේ මාව ඩෝන්ට් කෙයාර්  එකේය.  නමුත් සහාය නිලධාරියාට පැමිණ බුම්මාගෙන යන්නට හොඳ නැති නිසා මම ඔහුත් සමග කතාකළෙමි.  මට ලැබුණේ ඔව් නෑ වැනි කෙටි උත්තරය.  සුරවීර නොදන්නවා වුණාට මම ඔහුගේ එකක් හැර පළවී ඇති සියලුම පොත් කියවා ඇති එකෙකි.   අලුතෙන්ම නිකුත්වුන පොත කියවන්නට බැරි වුණේ මම විප්‍රාවාසීව සිටින නිසාවෙනි.  ඒ පොත ගැන මම ඇසූවිට කටත් ඇද කර උත්තර දුන්නේ උඹයි මමයි කියවන පොත් වැනි අදහසක් දෙන අයුරිනි.  "බාලේ පටන් කාලය ගෙවුනා මෙලෙසේ" යනුවෙන් වූ ඒ පොත මම ලංකාවට පැමිණි පසු අරගෙන කියෙව්වෙමි.  මහාචාර්‍ය සුචරිත ගම්ලතුන් ඒ පොත විවේච්නය කොට තිබුනේ 'ඔලුව උදුම්මාගෙත් නියොජ්‍ය ඇමැත්තෙකුගේ පුරාජේරුවක්' යනුවෙනි.  එයනම් මම එදා හොඳින්ම අත් වින්දෙමි.

අපිව කෙලින්ම රැගෙන ගියේ ගුවන් තොටුපොලේ පිටවීමේ පර්‍යන්තයටය.  එතැන සුරවීරගේ කණ්ඩායමේ දහයක් පමණ රැඳී සිටියහ.  ගොඩගේ අධිපති සිරිසුමන ගොඩගේ, කේ. ජයතිලක සහ ඔහුගේ බිරිඳ සුමනා සහ තවත් මට මතක නැති හත් අට දෙනෙකි.  සියල්ලෝම ලේඛකයන්ය.  ඔවුන් සියල්ලන්ම සුරවීරව වටකර ගත්හ.  සිදුවී ඇති දේ මට දැනගන්නට ලැබුණේ එවිටය.  ගොඩගේ මහතාගේ මිතුරු ලේඛක කැල සියලු දෙනාම කෙටි තමිල්නාඩු සංචාරයකට පැමිණ ඇත(වියදම් සහ පහසුකම් සියල්ල ගොඩගේ මහතාගෙන් විය යුතුය) ගමනේ නඩේ ගුරා වූයේ සුරවීර මහතාය.  සිවිල් බලය මෙන්ම රාජ්‍ය බලයද ඔහුට තිබුන නිසා එසේ වන්නට ඇත. ආපසු යන්නට කණ්ඩායම ගුවන් තොටට පැමිණ සියලුම නිෂ්කාශන කටයුතු නිමවා අවසන්ව ගේට් එකට පැමිණ යානයට නගින්නට පොරොත්තුව සිටියදී යානය ප්‍රමාද බව නිවේදනය කෙරුණි.  පිටත්වන වේලාවක් කවුරුත් නොදනී.  ආපසු කොහෙටවත් යන්නටත් නොහැක.  ඒ දවස්වල එයා ලංකා ගුවන් යානා පිටත්වීම සහ ඕනෑම ගමනාන්තයකදී ප්‍රමාදවීම ඉතා සාමාන්‍ය දෙයකි.  ඉතින් අතරමං වූ ලේඛක කණ්ඩායම කල් ඇතිව ගෙදර යෑමේ සියලුම බලාපොරොත්තු සුන්ව තැන තැන ඉඳගෙන කල්පනා කරමින් සිටිනවා දුටු මටද දුක හිතුණි.  ඒඋනාට මටත් කරන්නට දෙයක් නැත.  රාජ්‍ය සාහිත්‍ය උත්සවයකදී හමුවී පුරුදු ඇති සුමනා ජයතිලක මහත්මිය සමග මම කතාකළෙමි.  ඇය මට හමුවී තිබුණේ මහියංගනයේ තිබුණු සාහිත්‍ය උත්සවයකදීය.  මම දෙසතිය කුටියේ සිටි අතර  ඇය සිටියේ ප්‍රදීප කුටියේය.  දවසක ඇය දෙසතිය කුටියට පැමිණ මට කතාකළාය.  ඔවුන් නැවතී සිටියේ හසලක නවාතැනකය.  එදින ඔවුන්ගේ වාහනය ලෙඩදී ගරාජයකට දමා තිබුන නිසා එදින රාත්‍රියේ නවාතැනට යන්නට අපේ වාහනයෙන් පහසුකම් සලසා ගැනීමට ඇයට අවශ්‍යව තිබුණි.  ඇය ඉල්ලූ උදව්ව මම කර දුන්නෙමි.   අප දෙදෙනා පරණ කතාව මතක් කරද්දී බෝතල් අඩි කණ්ණාඩි දෙකක් දමාගත් කේ.ජයතිලක මහතාද සිනාසෙමින් අසා සිටියේය.  ඒ මට ජයතිලක මහතා හමුවූ පළමු අවස්තාවයි.

ඊට වසර දෙකකට පමණ පසු අවුරුද්දක මම කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැති දිනෙක බී එම් අයි සී එච් හි කරක් ගසමින් සිටියෙමි.  හැම අවුරුද්දකම පොත් ප්‍රදර්ශනයට යන සිරිතක් එකල මට වූ අතර දැන් වගේ මහා ජන සන්නිපාතයක් එදා නොපැමිණි අතර නූඩ්ල්ස් හා කෝක්ද ස්මාර්ට් ෆෝන්ද නොතිබූ කලෙක පොත් පමණක් තිබුණු ප්‍රදර්ශනයක් විය.  පොත් ප්‍රදර්ශන කුටි අතරින් ඇවිද ගිය මම නොදැනුවත්වම මෙන් පැමිණ තිබුණේ ප්‍රදීප ප්‍රකාශකයන්ගේ කුටිය ඉදිරියටය.  ඇතුල්වන විටම සිටියේ ජයතිලක මහතාය.  මම ඔහුගේ පොත් දෙක තුනක් තෝරාගත් අතර ජයතිලක මහතා සිනාසෙමින් බලා සිට ලඟට ඇවිත් කතා කලේය.  කුටියේ සිටියේ අප දෙදෙනා පමණය.  ජයතිලක මහතාගේ පොත් සියල්ලම කියවා සිටි මට ඔහු සමග කතා කිරීමට සහ ඇසීමට බොහෝ දේවල් විය.  මගේ කතා ජයතිලක මහතා ඉවසීමෙන් අසා සිටියේ සිනාසෙමිනි.  අත දරුවෙකු සමග කතා කරන්නා වැනි සෙනෙහසක් ඔහුගේ දෑස් තුළ විය.  පොත් මිළදී ගෙන පිටත්වන විට ඔහු පොතක් තෝරා එහි අත්සනද තබා මට තෑගි කළේය.  

පොත ගෙදර ගෙනාවාට කියවීමේ අදහසක් මටනොවීය.  ඒ එය කතා පොතක් නොවූ නිසාය. පොත කියවීමේ රුචිය ඇතිවුණේ ඊට අවුරුදු විසි ගණනකට පසු මේ ඊයේ පෙරේදාය.  ඒ වනවිට ජයතිලක මහතාත් සුමනා ජයතිලක මහත්මියත් සුරවීර මහතාත් අප අතර නැත.  තවම සිටින්නේ ගොඩගේ මහතා පමණකි.  ඔහුට චිර ජීවනය පතමි.  නැවතත් පුංචි පුංචි නුවණිනා කතාවට ආවොත් ආරම්භයේදී ජයතිලකයන් මෙසේ ලියයි.

"ලේඛකයෙකු ලියන දැයින් කොපමණ ප්‍රමාණයකට ඔහුට හිමිකම් කිව හැකිද?  ඒ සියල්ල ඔහුගේ යැයි කියන නමුත් නියම වසයෙන් නම් ඒ එසේ නොවන බව පෙනී යයි.  එතෙක් පැවති භාෂාව,ශෛලිය, අදහස් උදහස්,සම්ප්‍රදාය, අනුගමනය කරන ශාස්ත්‍රීය ලේඛකයෙකු තමන්ගේම වසයෙන් එයට එක්කරන ප්‍රමාණය සියයට දහයකටත් අඩු විය හැකිය.  නිර්මාණාත්මක ලේඛකයෙකු විෂයෙහි නම් මෙය ඊට මඳක් වැඩි විය හැක.  එහෙත් නිර්මාණාත්මක ලේඛකයා වුවද කරන්නේ පවත්නා ජීවා'ජීව ලෝකයෙන් යමක් උකහාගෙන එය තම අභිමතය අනුව සකස් කොට,  එතෙක් ගොඩනැගී ඇති භාෂා, ශෛලිය, සම්ප්‍රදායන් ඔස්සේ ඉදිරිපත් කිරීමයි.  එය කෙතින් පන් උදුරාගෙන කපා වියලා සායම් පොවා නොයෙකුත් රටා සහිත පැදුරක් විවීමට සමාන කළ හැකිය"

මේ නයින් බලන කල ලේඛකයා ලියන දෙයින් අඩකටත් වඩා ඔහුගේ අදහස් නොවන බව කිවහැකිය.  ඔහු වුවද කරන්නේ වෙනත් තැනකින් උදුරාගත් පැළයක් තම වත්තේ සිටුවා ජලය පොහොර යොදා සාත්තු කර පලයක් ලබාගැනීම වැනි දෙයක් නොවේද?  එසේ තර්කානුකූලව බලනකල පොතක් හෝ කතාවක් තමන්ගේම යැයිද තමන්ට හැර කිසිවෙකුට එහි අයිතියක් නැතැයිද පැවසීම කෙතෙක් සාවද්‍යද?  ලේඛකයා අත්දැකීම් ලැබූ සිදුවීම් වලට සම්බන්ධ සියලු දෙනාම එම කතාවේ හෝ පොතේ සම අයිතිය ලබති.  පොතක් හෝ කතාවක් ලිවීමට ලේඛකයෙකු දරණ වෙහෙස අවතක්සේරු කිරීමක් මෙයින් කිසිසේත්ම අදහස් නොකෙරේ.  බ්ලොගයට කතාවක් ලිවීම වැනි සරල කාර්‍යයකදී වුවද එම කතාව ස්වභාවික හා සාධාරණ යුක්ති යුක්ත භාවයෙන් ලිවීමට සෑහෙන වෙහෙසක් දරන්නට සිදුවීම සාමාන්‍යය.  එසේ නම් පොතක් ලියන්නට කෙලෙස පර්යේෂණ,ගවේෂණ කල යුතුදැයි වෙසෙසින්ම  කිව යුතු නොහේ.  මෙසේ බලනකල අපේය,මගේය කියා අප ලියන දේවල් බදාගෙන අයිතිවාසිකම් කීම පුස්සක් බව අමුතුවෙන් කිව යුතුද?  

නැවතත් කේ. ජයතිලකයන්ගේ පොතට අවධානය යොමු කළොත් ඔහු විසින් ලියන ලද කතා විසි එකකට පදනම් වූ හෙවත් අනුභූතීන් ලබා ගත් ආකාරය සඳහන් කරමින් ලියා ඇති කතාවේ අප කවුරුත් පාහේ හොඳින් දන්නා විශිෂ්ට නවකතාවක් වූ චරිත තුනක් නම් කෘතිය ලියැවුන ආකාරය ගැන ලියා ඇති කොටස කියවමු.

"චරිත තුනක්හි පදනම් චරිත වසයෙන් තෝරාගත්තේ පිරිමි පස් දෙනෙකුගෙන් යුත් පවුලක තිදෙනෙකි.  මදි පාඩු සඳහා අත්හළ චරිතවලින්ද සමහර උපාංග උපුටාගැනීමට සිදු විය.  ඒත් හිඩැස් බොහෝ විය.  විවෘත චරිතයක් වූ සනා තුළ සංකීර්ණත්වය වුවද විවෘතය. නිදසුනක් වසයෙන් ඔහු මිනිසුන්ට හතුරුකම් කරන විටද විවෘතය.  ඔවුන්ට උදවු පදවු කරන විටද විවෘතය.  ඔහුට හිත තුළ පැසවන්නට දෙයක් නැත.  ඉසා සහ රංජිත් එසේ නොවෙති.  ඔවුන් දෙපැත්තක ගමන් කළත් ඒ දෙපක්ෂය තුළම අවිවෘත සංකීර්ණතාවයක් ඇත.මේ නිසා අත හළ චරිත දෙකෙන් පමණක් නොව අවට ලෝකයෙන්ද ඉලක්කයට අදාළ ලක්ෂණ සොයා ඒ චරිත දෙකට කැවීමට සිදු විය.මේ අනුව ඉසාගේ චරිතය සඳහා ප්‍රධාන කොට පදනම් චරිත තුනකිනුත් රංජිත්ගේ චරිතය සඳහා පදනම් චරිත දෙකකිනුත් සාධක උපුටාගැනීමට සිදු විය.   මීට අමතරව එකතු කළ සාධක ගණන් ගතයුතු තරම් වැදගත් නැත.  බොහොමයක් අංශුමය බැවිනි.

කරන ලද විකෘතින්  හෝ සංස්කරණ අතර එකක් දක්වතොත් මෙසේය.  ඉසාගේ ප්‍රධාන පදනම් චරිතය විවාහකයෙකි.  පවුලේ සෙසු අයගේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කිරීමට ඔහුට එතරම් අවකාශ නොතිබිණ.  ඉසාට ඒ කොටස එක් කරන ලද්දේ අවිවාහකයෙකු වූත් පවුලේ යුතුකම් තදින්ම සිතට ගෙන සිටියා වූත් එහි දෙවන පදනම් චරිතයෙනි.  මෙසේ සැබෑ සාධක එක් කිරීමෙන් පමණක්ම ඒ චරිතය ලක්ෂයය කරා ගෙන යා නොහැකි විය.  ඒ නිසා ඔහුගේ ජීවිතය කෙළවර වන අපිස්, නිරාමිස චරිත ලක්ෂණ නිර්මාණය කරලීමට කතුවරයාට සිදුවිය. 

පිරිමි චරිත තුනෙන් එකක් තනි පදනම් චරිතයක් මත ගොඩනගාගත හැකි වූ අතර ගැහැණු තුනෙන් එකක් එසේම තනි චරිතයක් මත ගොඩනැගිය හැකි විය.  ඒ මවගේ චරිතයයි.  මාතෘ චරිතයක් නිර්මාණය කර ගැනීමට ලෝකයෙන්ම හොඳ සමාජය ලාංකික සමාජයයයි සිතමි.  ඇය දරුවාට පොවන කිරි පෝෂණ ගුණය, දිය, ලේ ආදියෙහි සම්මිශ්‍රණයක් වන්නා සේම ඈ දරුවන් කෙරේ දක්වන ආකල්පය නොයෙකුත් හැඟීම්වල සරල සම්මිශ්‍රණයකි.  කොතෙක් ලියවී තිබුණත් ලාංකික මාතෘත්වය අගවේෂික රත්නාකරයකි.

ඉසාගේ සොහොයුරිය වූ නලී කොතැනකදී වත් ප්‍රමුඛත්වයට එන්නේ නැත.  ගමක දක්නට ලැබෙන පොදු ගැහැණු චරිවලින් එකක් පමණකි එය.  රතීද නිර්මාණයට දුෂ්කර චරිතයක් නොවීය.ගමේදී එය ලලිතාගේ අනික් කෙළවරය.

පදනම් චරිතයක් තිබුණත් කතුවරයාට නුහුරු නුපුරුදු චරිතයක් වූයේ ලලිතාය.  එහි පදනම් චරිතයේ නමද ලලිතාම වීයයි සිතමි.  පදිංචිය පිල්ලෑවේය.  ඈ කර්තෘට වඩා වයසින් වැඩිය.  පොතෙහිද එය එසේම ඇතුළත්වී තිබීම සත්‍යයට අනවශ්‍ය පරිදි ඉඩ දීමෙන් සිදු වූවරදකැයි මම මුලින් සිතුවෙමි.  මෙහිදී සවිඥානක මනසට වඩා අවිඥානක මනස බුද්ධිමත් වීඇතැයි දැන් සිතේ.  ලලිතා අනාගත මාතෘභාර්‍යා ලක්ෂණ ප්‍රදර්ශනය කරන්නියක නිසා ඉසාට වඩා වැඩිමහල් වීම සුදුසුය.

පොතේ මුල් මුද්‍රණවලට අනුව ලලිතා කෝකිලාන කැපීම සඳහා ඉසා දිරිගැන්වීමක් කරන්නේ නැත.  එහි හිමිකම චරිත තුනක් ටෙලිනාට්‍ය පිටපත ලියූ සෝමවීර සේනානායක සතුය.  

විජයරත්න, ජයමන්, මේලිස්,  සියදෝරිස්, කොක් උන්නැහේ, ජේමිස් මුදලාලි ආදී සුළු චරිත රැසක්ද ඒ ඒ නම්වලින්ම ගමෙන් ලබාගත් ඒවාය.  කෙසේ වුවද නදෝරිස් පැමිණ ඇත්තේ 'කපුවා කපෝති' නාට්‍යය ඔස්සේය.

ස්ථානමය වසයෙන් ගත් කල්හි කහටගහ ලියැද්ද එනමින්ම ඇත.  එහි කඩාඬු  කැඩී යෑම එකල හැම වැසි කාලයකම වාගේ සිදු විය.  වැසි කාලයේදී මෙසේ වුවත් එක්තරා නියඟකදී බීමට ජලය ලබා ගැනීම සඳහා කුඹුර මැද ලිඳක් කැපීමට පවා අපට සිදු විය.

අපේ ගේ පිටුපස අක්කර දෙකක පමණ කැලයක් ඇත.  මෙය එළිපෙහෙළි කොට හේනක් බවට පත් කරන ලද්දේ රංජිත්ගේ අඩක් සඳහා පදනම් වශයෙන් ගන්නා ලද චරිතය විසිනි.  එය ඉසාට ආරෝපණය කර ඇත්තේ කතාවටඇති අවශ්‍යතාව අනුවය.  කෝකිලාන නමින් ඉඩමක් හෝ නමක් කොහි හෝ ඇද්දැයි මම නොදනිමි.  පින්වත්ත, බතලවත්ත, පුවක්වත්ත, පඹහේන,කිතුල කන්ද, අල්ලියවත්ත ආදිය එනමින්ම දක්නට ඇත.  කෝකිලාන හැරුණු විට අන් එකද ස්ථාන නාමයක් වත් අලුතෙන් නිපදවා නැත.

ස්ථාන නාම පමණක් නොව ඇදහිලි, විශ්වාස, චාරිත්‍ර, ගති පැවතුම් ආදී කිසිවක් නවකතාව සඳහා මෙගමට පිටතින් ආනයනය කර නැත.  ඇස්වහ, කටවහ, හෝවහ ඇතුළු මිථ්‍යා විශ්වාස, බලිතොවිල්, කෙම් කිරීම්, අවුරුදු සිරිත්, බණ, පිරිත්, පින්කම් ආදියට අවශ්‍ය අමුද්‍රව්‍ය තවත් නවකතා දහයකට වුවද මෙගමින් සොයාගත හැකිය.  මේ අතින් බලන කල චරිත තුනක් නවකතාවේ අයිතියෙන් විශාල කොටසක් හිමි විය යුත්තේ එගමෙහි ඉඩමකඩම, ගස්වැල්, සතාසතුන්, ගැහැනු මිනිසුන්ටයයි පැවසීමේ වරදක් වේද?  මවිසින් කර ඇත්තේ ඒවා තැනට උචිත පරිදි පිළිවෙළ කිරීම පමණක් බැවිනි."

මෙනයින් බලනකල මගේය මගේමය ආදී වශයෙන් හඳුන්වමින් කෘතියක අයිතියට රණ්ඩු කිරීම කෙතරම් සාවද්‍ය සහ නිෂ්පල ව්‍යායාමයක්ද යන්න ඔබටම සිතා ගැනීමට ඉඩ හරිමින් මගේ කතාව අවසන් කරමි.

Sunday, January 12, 2020

අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා.

අවුෂ්විට්ස්හි පච්ච කොටන්නා චන්දන ගුණසේකරගේ පළමු පරිවර්තනයයි.  චන්දන ගුණසේකර අප දන්නේ සඳුන් සෙවන බ්ලොගයේ රචකයා ලෙසටය.  ඔහු සාහිත්‍ය සිනමා ටෙලිනාට්‍ය ආදී කලා තොරතුරු සිය බ්ලොගයේ රසවත් කතා ලෙස ලීවේය.   වියෝවූ සෑම කලාකරුවෙක් වෙනුවෙන්ම සිය බ්ලොගයේ ආදරණීය සටහනක් තබන්නට ඔහු නොමසුරු විය.  හැත්තෑව දසකයේ තිරයට ආ චිත්‍රපට නාට්‍ය සහ පළවූ පොත් ඔහු බෙහෙවින් ප්‍රියකලා මෙන්ම ඒවායේ විස්තරද මුල සිට අගටම දැන සිටියා පමණක් නොව ඒවා රසවත්ව අකුරු කළේය. 

පරිපුර්ණ මිනිසෙක් වීම සඳහා චන්දනට අඩුවකට තිබුණේ පොතක් පළ නොකිරීම පමණය, දැන් එයද ඉටුවී ඇත.   හදිසියේම චන්දනව මුණ ගැසෙන තුරු ඔහුත් මමත් බ්ලොග් වලින් පමණක් දන්නා පුද්ගලයා නොදන්නා චරිත වීමු.  ඔහු මට මුණගැසුනේද අහම්බෙන් අපූරු ආකාරයකටය.  කලකට පසු කොළඹ ගිය වෙලේ මිළදී ගන්නෙමි යි සටහන් කරගෙන තිබු පොත් අතර චන්දනගේ අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා පොතද විය.  පොත්හල් කීපයකම කරක් ගසා මම අවසානයට ගොඩවුනේ සුරිය පොත්හලටය.  එහි චන්දන සිටියේය.  එහෙත් චන්දන නොහඳුනන මට ඔහුව හඳුන්වා දුන්නේ ලේඛක චුලාභය ශාන්ත කුමාර හේරත් සහෘදයාය.  එදා චුලාභයලා සුරිය පොත්හලට පැමිණ තිබුණේ ද චන්දන මුණගැසෙන්නටමය.  අන්තිමේදී මා ගන්නට ගිය පොත කතුවරයාගේ අත්සනත් සහිතව ලබා ගන්නට මට හැකි විණි.

අවුෂ්විට්ස් හි පච්චකොටන්නා යනු Heather Morris රචිකාවියගේ The Tattooist of Auschwitz පොතේ සිංහල පරිවර්තනයයි.  සර්බියානු යුදෙව්වෙකු වූ ලලී එහි කතා නායකයා වන අතර ඔහුගේ පෙම්වතිය ගීටාය.  අතිශය භයංකර වද කඳවුරක මරණය පෙනි පෙනී ගලායන ඔවුන්ගේ ආදර කතාව පොතෙන් විස්තර කෙරේ.  කෙසේ වුවද ලලී පුදුමාකාර වාසනාවන්තයෙක් බව මට සිතුණේ අප අසා දැක ඇති අන්දමට මරණය සැම තැනම පැල් බැඳගෙන ඇති මළ පුඩුවක් වූ අවුෂ්විට්ස් කඳවුරේ දී ලලීට කෑම බීම මුදල් හදල් පමණක් නොව ලිංගික සැපතද එමතු නොව මරණය පෙනි පෙනී ජීවිතයද හිමිවූ බැවිනි.

මෙය චන්දනගේ පළමු පරිවර්තනය වුවද එහි කිසිසේත්ම ආධුනික බවක් පෙනෙන්නට නොමැති බව කියන්නට මම කිසිසේත්ම නොපැකිළෙමි.  ඉතා සුමටව ගලා යන කතාව කියවන්නාට කිසිසේත් ඉහිලක් නොදී අවසානය දක්වාම එක හුස්මට කියවන්නට පොළඹවයි.  ඊලඟ ලංකා සංචාරය වනවිට තමන්ගේම ස්වතන්ත්‍ර නිර්මාණයක් එළිදක්වන්නට චන්දනට හැකිවේවා යනු මගේ ප්‍රාර්ථනයයි. 

දැන් අපි චන්දනගේ පරිවර්තන කෘතියේ කුඩා කොටසක් රස විඳිමු.  

"ගීටාගෙන් සමුගත් පසු ලලී ලියොන් හා කට්ටි අංක හතේ තවත් කිහිප දෙනෙකු හමු වුයේය.  එය ගිම්හානයේ ඉතා විසිතුරු දිනයක් වූ අතර හැකි වෙලාවේ වලාකුළු රහිත නිල්වන් අහසේ තේජාන්විතව දිලුණු හිරුගේ රැස් කිරණ විඳීමත් තම මිතුරන් හමුවී සතුටු වීමත් ලලීගේ අභිප්‍රාය විය.  ඔවුහු එක කට්ටියක බිත්තියට පිටුපා වාඩිවී සිටියහ.  ඔවුන්ගේ සතුටු සාමීචිය ඉතා සරල විය.  සයිරන් නලා හඬ ඇසුණු විට, මිතුරන්ගෙන් සමුගත් ලලී, තම කට්ටිය බලා පා එසවීය.  ඔහු ගොඩනැගිල්ලට ළඟාවන විට යම්කිසි අකරතැබ්බයක් සිදුවී ඇති බව ඔහුට ඉවෙන් මෙන් දැනිණ.  රෝමනියානු දරුවන් වටවී බලා සිටියා මිස වෙනදා මෙන් ඔහු හමුවට දිව ආවේ නැත.  ඒ වෙනුවට ඔහු ලඟින් යත්ම ඔවුහු ඔහුගෙන් ඈත් වුහ.  ඔහු ඔවුන්ට ආචාර කළද කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණ.  ඔහු සිය කුටියේ දොර විවර කළ සැණෙකින්ම මේ වෙනසට හේතුව අවබෝධ විය.  ඔහුගේ සයනය පුරා, මෙට්ටය යට සඟවා තිබූ මුදල්,මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට අතුරා තිබිණ.  එස් එස් නිලධාරීහු දෙදෙනෙක් ඔහු බලාපොරොත්තුවෙන් එහි වුහ.  

"මේ ගැන මොකද කියන්න තියෙන්නෙ පච්චේ?"

ලලී නිරුත්තර විය.

ලලීගේ අතවූ ඔලොගුව ඔහුගෙන් උදුරාගත් එක් නිලධාරියෙක් එහිවූ ආයුධ හා තීන්ත බෝතල බිමට දමා එය හිස් කළේය.  ඉන්පසු සොයාගත් වස්තු සම්භාරය එයට පිරවුහ.  ලලී දෙසට රිවෝල්වර අමෝරාගත් ඔවුහු ඔහු දක්කාගෙන යෑමට සැරසුණහ.  ළමයින් දෙපස සිට බලා සිටිද්දී, ලලී මුර භටයන් සමග අහිකුන්ඨික කඳවුරෙන් පිටතට පා එසවුයේය.ඒ ඔහු විශ්වාස කළ ආකාරයට අවසන් වරටය.

ලලී හවුස්ටෙක් ඉදිරියේ සිටගෙන සිටි අතර ඔහුගේ ඕලගුවේ තිබු දෑ මේසය මත අතුරා තිබිණ.

හවුස්ටෙක් එහිවූ වටිනා ගල් කැට හා ස්වර්ණාභරණ එකින් එක අතට ගෙන ඒවා හොඳින් පරීක්ෂා කළේය.  

"උඹට මේව කොහෙන්ද ලැබුණේ?"

ඔහු බිමට හරවාගත් මුහුණින් යුතුවම ලලීගෙන් විචාළේය.

"මට මේවා දුන්නෙ හිරකාරයො."

"කොයි හිරකාරයෝද?"

"මම එයාලගෙ නම් දන්නෙ නෑ."

හවුස්ටෙක් හිස ඔසවා ලලී දෙස තියුණු බැල්මක් හෙළීය. 

"මේවා උඹට දුන්නෙ කවුද කියල උඹ දන්නෙ නෑ?"

"නෑ මම දන්නෙ නෑ."

"ඔව් සර්,එයාලයි මේවා මට ගෙනත් දුන්නෙ. නමුත් මම එයාලගෙ නම් අහන්න ගියේ නෑ."

කෝපයෙන් රතුවූ හවුස්ටෙක් සිය අත මිට මොළවා මේසය මතට වරෙන් වැරෙන් පහරක් ගැසුවේය.  මේසය මතවු මැණික් එකට ගැටී ඉන් අමිහිරි හඬක් නැගිණ.

"උඹ කියන බේගල්වලින් මගෙ යකා ඇවිස්සෙනවා පච්චේ.  උඹේ රස්සාවට නම් උඹ හොඳයි තමයි.  ඒත් මට දැන් සිද්ධ වෙනවා ඒ වැඩේට වෙන කෙනෙක් හොයා ගන්න." ඔහු පරිවාරක නිලධාරීන් දෙසට හැරුනේය.  

"අරගෙන යනව මේකව එකොළහේ කට්ටියට.  එහෙදි මෙයාට දන්නෙ නැති අයගෙ නම් ටික ඉක්මණින්ම මතක් වෙයි."

පිටතට රැගෙන යනු ලැබූ ඔහු ට්‍රක් රථයකට නංවනු ලැබිණ.  ඔහුගේ පපුවට එල්ල කෙරුණු රිවෝල්වර දරා සිටි එස් එස් නිලධාරීහු දෙදෙනෙක් ඔහුගේ දෙපසින් හිඳ ගත්හ.  කිලෝමීටර් හතරක් වූ දුර ප්‍රමාණය ගණන් ගනිද්දී ලලී, ගීටාගෙන් සහ දෙදෙනා දිනෙක එක්ව වාසය කරන්නට මැවූ අනාගත සිහිනයෙන් නිශ්ශබ්දවම සමු ගත්තේය.  දෑස වසාගත් ඔහු, සිය පවුලේ සාමාජිකයින් සැමගේම නාමයන් එකින් එක සිතින් මෙනෙහි කළේය.  ඔහුගේ සොයුරු සොයුරියන්ගේ ඡායා මාත්‍රයන් වෙනදා මෙන් පැහැදිලිව ඔහුට සිතේ මවා ගැනීමට අපහසු විය.  ඔහුගේ මෑණියන්ගේ රුව ඉතාමත්ම පැහැදිලිව ඔහුට පෙනින.  එහෙත් ඔබ ඔබගේ මවගෙන් සමුගන්නේ කෙලෙසද?  තමන්ව මෙලොවට බිහි කළ, හොඳින් ජීවත්වන්නේ කෙලෙසදැයි තමන්ට ඉගැන්වූ මෑණියන්ගෙන්? ඇයගෙන් නම් සමුගත නොහැකි බව ඔහුට හැඟීණ.  ඔහුගේ පියාගේ ඡායා මාත්‍රය ඔහු ඉදිරියේ දිස්වත්ම,හදිසියේ හුස්ම හිරවෙන්නට යන්නාක් මෙන් මුව විවරකොට දැඩි ලෙස හුස්මක් ඉහළට ඇද්දේ එක් නිලධාරියෙකුගේ පිස්තෝලය ඉතා දැඩි ලෙස ඔහුගේ ඉල ඇට මත තෙරපෙන්නට ඉඩ සලසමිනි."

(පිටු 193-195,  අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා, පරිවර්තනය:චන්දන ගුණසේකර, ප්‍රකාශනය: අපූරු පොත්, 2019 )

Sunday, August 4, 2019

විනිසුරුතුමනි.

අද ගෙනඑන්නේ ශ්‍රී ලංකාවේ ගද්‍ය සාහිත්‍යය පොත් ගණනාවකින් පොහොසත් කරන්නට සමත්වූ පෙරදිනෙක සදහටම අප අතහැර ගිය අධිනීතීඥ පී.ඇම් ජයතිලක මහතා ලියු විනිසුරුතුමනි නම් පොතෙන් කොටසකි.  මේ පොතට අමතරව මල් මාවත, බමරසර, හන්තානේ ගීතයක් වැනි රසාලිප්ත කෘතීන් කීපයක්ම ඔහු අතින් ලියැවී ඇත.

එහෙත් යුක්තිය සෑම විටම අධිකරණයකින් ඉටුවේද?

නුදුරු අතීතයේ සිද්ධියක් මගේ සිහියට නැගේ.  කුරුණෑගල නගරයට සැතපුම් තිහක් පමණ දුරින් පිහිටි මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා මා විශේෂයෙන් එහි කැඳවාගෙන යන ලදී.

එකල එම අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ගැන නොයෙකුත් කටකතා පැතිරී තිබිණ.  ඔහු සවස සුදු සරමකින් සැරසී සූදු තිප්පොළවල් සොයමින් යන්නේය!  තමාගේ රිය පසුකරගෙන වෙනත් රියකට යාමට ඉඩ නොදේ!  වේගයෙන් රිය පදවන්නවුන් එවේලේම පොලිස් ස්ථානය කරා ගෙන යාමට කටයුතු කරයි!  සෑම විටම රිවෝල්වරයක් තබාගෙන සිටී.

ඔහු ඉදිරියේ චූදිතයෝ බියෙන් තැතිගෙන සැලෙති!  නඩුවල පාර්ශවකරුවන් පමණක් නොව නීතීඥවරුද වැඩි කතා නොකරති!  ඔහු සිතූ මනාපයේ දඩ ගසයි!  ඔහුගෙන් සමාවක් ලබාගැනීම බෙහෙවින් අසීරුය!

මා රැගෙන යාමට එක් චුදිතයෙක් කාරයක් ගෙන ආවේය.  ඔහු ඇතුලු තවත් සිව් දෙනෙකුට තිබූ චෝදනාව වූයේ සුරාබදු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට තම රාජකාරිය ඉෂ්ට කිරීමට ඉඩ නොදීමය.

චුදිතයන් කී අන්දමට සුරාබදු පරීක්ෂකවරු බීමත්ව පැමිණ තරුණියකට හිරිහැර කිරීමට උත්සාහ ගත් අවස්ථාවේදී ඇගේ විලාප හඬට පැමිණි කීප දෙනෙකු සමග අරගලයක් ඇතිවී තිබේ.  චුදිතයන් ඒ ගැන පැමිණිල්ලක් කිරීමට පොලිස් ස්ථානය කරා ගියත්, ඔවුනට පෙර සුරාබදු පරීක්ෂකවරු පොලිස් ස්ථානයට ගොස් ඉඳුරාම වෙනස් සිද්ධියක් මවා පෙන්වා පැමිණිල්ලක් කළෝය.

එකී මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් වාඩිවී සිටි මම එතෙක් මා අසා තිබු කටකතා බොහොමයක් සත්‍ය බව පෙනිණ.

සෑම නීතීඥයෙක්ම පාහේ සැමවිටම කීයේ වචන දෙක තුනකි.

" වැරදිකාරයා ස්වාමීනි"

ඉන්පසු මහේස්ත්‍රාත්වරයා දඩය කියයි.

" පන්සීයයි"

" හත්සිය පණහයි...! අවුරුදු පහයි...බරපතල වැඩ ඇතුව..."

නීතීඥවරු නැගිටින පමාවෙන් වාඩිවෙති.  අධිකරණයේ කිසිවෙක්, ඇත්ත වශයෙන්ම, නඩුකාරයාත් භාෂා පරිවර්තක සහ වචන දෙක තුනක් බයාදුව තෙපලන නීතීඥවරුනුත් හැරෙන්නට, කතා කරනවා තබා ඇසිපිය හෙලුවේවත් නැතැයි මට සිතේ.  මඳ වේලාවකින්ම මට එම අධිකරණය කෙරෙහි මහත් කළකිරීමක් ඇතිවිය.

විනිසුරු අසුනෙහි මේ වැඩ සිටින්නේ කලක් අප මෙන්ම නීතීඥවරයෙකු ලෙස වැඩකළ පුද්ගලයෙක් නොවේද?  ඔහු ප්‍රථමයෙන්ම 'මහත්මයෙකු' ලෙස හැසිරිය යුතු නොවේද?  අනෙකුත් හැම දෙනම නිවටයන් ලෙස තබාගෙන, තමාගේ අණසක, සැරවැර, බලය, තේජස පෙන්වන්නට වෑයම් ගැනීම එවැන්නෙකුට කෙතරම් පහත්, කොතරම් නිහීන, කෙතරම් නිර්ලජ්ජිත ක්‍රියාවක්ද?

අධිකරණයේ ගෞරවය රැක ගැනීම එකකි.  ඔලුව ඉදිමුණු අඥානයෙකු මෙන් සැර වැර පෑම හාත්පසින්ම වෙනස් ක්‍රියාවකි.

මගේ නඩුවද අඬ ගැසින.

" වැරදි කාරයද...නිවැරදි කාරයද? "

" නිවැරදිකාරයා "

" යූ වෝන්ට් ටු ගෝ ටු ට්‍රයල් ( ඔබට නඩුව සම්පුර්ණයෙන් විභාග කිරීම අවශ්‍යද) ? "

ඒ විනිසුරු අසුනේ සිටි පුද්ගලයාගේ හඬය.  ඔහු හැඩිදැඩිය.  උපැස් යුවලක් පැළඳ ඇත.  නඩුව විභාග වෙනු දැකීමට මා කැමති බව මම කීවෙමි.  නොසැළකිල්ලෙන් නොව හැකි තාක් ගරුසරු ඇතිවය.

නඩු විභාගය ආරම්භවී මිනිත්තු තුන හතරක් යන විට අවසානය මට පැහැදිලි විය.

නඩුව මෙහෙයවුයේ පොලිසිය නොව මහේස්ත්‍රාත්වරයාය.  පොලිස් නිලධාරියාට මෙහෙයවීමට අමතක වූ තැන් මහේස්ත්‍රාත්වරයා ඇසීය.

හරස් ප්‍රශ්න වාරයේදී ඔහු මට ඉඩක් දුන්නේම නැත.  සාක්ෂිකරු දිය යුතු පිළිතුරු ඔහු දුන්නේය.

විත්තිය වෙනුවෙන් සාක්ෂි කැඳවීමට මා අදහස් කරන බව මම ගෞරව පූර්වකව දැනුම් දුන්නෙමි.

" වෙයා...වෙයාරාද විට්නසස්...( කෝ...කෝ සාක්ෂිකාරයො )? "  මහේස්ත්‍රාත්වරයා ගුගුලේය.

ඔහු ගෙරවුයේ මා හා වෛරයකින් මෙනි.

සාක්ෂිකාරියක හැර අන් සියලු දෙනාම අධිකරණ ශාලාවෙන් පිට සිට ආහ.  එක් තරුණියක් ආයේ අධිකරණ ශාලාව තුළ සිටය.

" මෙයා හිටියෙ ඇතුළෙද ?"

මහේස්ත්‍රාත්වරයාගේ ගෙරවීමට බියවූ තරුණිය මහත් භීතියකින් යුතුව ඒ බව පිළිගත්තාය.

" එහෙනන් කොහොමද සාක්කි දෙන්නෙ...? "  මහේස්ත්‍රාත්වරයා රකුසු වෙස් ගෙන මගේ ඇඟට කඩා පැන්නේය.

" එයා ඇතුලෙ හිටිය කියල නඩුපොතේ සටහන් කරලා..." මම ඉල්ලීමක් කිරීම ආරම්භ කළෙමි.

කුමන ඉල්ලීම්ද ? විනිසුරු අසුන දෙදරන්නාක් මෙන් හඬක් නැගිණ.

" යූ ආ ට්‍රයින් ටු ටීච් මී වට් ටු ඩු...( තමුසෙ හදන්නෙ මොනවද කරන්න ඕනෑ කියල මට උගන්නන්නද )...? නෑ...විත්තියෙ සාක්කි නෑ...ඔව්... දේශනයක් කරනවද? "

මා දන්නා හැම යටහත් වචනයක්ම යොදා ඉතා බැගෑපත්ව දේශනයට දිනයක් ඉල්ලීමි.  පිටි අල්ලෙන් මදුරුවෙකු එලවන්නාක් සේ ඔහු මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මගේ සේවාදායකයෝ වැරදිකරුවන් කරනු ලැබ දඬුවම් නියම කරන තෙක් රක්ෂිත බන්ධනාගාරයට නියම කරනු ලැබුහ.

මම චුදිතයන්ට ඇප ඉල්ලා සිටියෙමි.

ඇප දිය නොහැකි බව මහේස්ත්‍රාත්වරයා තරයේම කියා සිටියේය.  චුදිතයෝ බන්ධනාගාර නිලධාරීන්ට භාර කරනු ලැබුහ.

මම ශෝකයෙන් සහ කලකිරීමෙන් යුතුව අසුනෙහි ඇද වැටුනෙමි.  මගේ අදක්ෂතාවක් නිසා ඔවුන් වැරදිකරුවන් වී නම් මම දුක් නොවෙමි.  සාධාරණ විභාගයකින් පසුව ඔවුන් වැරදිකරුවන් වී නම් මම සතුටුවෙමි.  අඩුම වශයෙන් ඔවුනට ඇප දුන්නේ නම් ! එහෙත් කුමන නීතියක්ද? කුමන යුක්තියක්ද?

අධිකරණයේ වැඩ කටයුතු සියල්ල අවසාන වනතෙක් මම එලෙසම වාඩිගෙන සිටියෙමි.  මම කෙසේනම් මගේ චුදිතයන් තනිකොට යන්නෙම්ද?

අධිකරණයේ වැඩ කටයුතු අවසාන වූ බව මට දැනුණේ සිහිනෙන් මෙනි.  නීතීඥවරු එකිනෙකා අධිකරණයෙන් පිටවී ගියහ.

එහෙත් එකම නීතීඥවරයෙක් පමණක් අධිකරණයෙහි ඉතිරිවී සිටියේය.  ඔහු සේවාදායකයන් කිහිප දෙනෙකු සමග කතාබස් කරනු මට පෙනිණ.

මේ අවස්ථාවේදී කාර්යාලයේ ලිපිකරුවෙක් මා කරා පැමිණියේය.

" ඇප ගන්නද ඕනෑ ? "

" දෙන්න බෑ කීවනේ..." මම ලිපිකරුවාට කීවෙමි.

ලිපිකරුවා වඩාත් මට සමීප විය.  ඔහු මට කතා කළේ රහසක් කියන්නාක් මෙනි.

" අර මහත්තයට කියන්න. ටක් ගාල ඇප අරන් දෙයි..."

ලිපිකරුවා මට පෙන්වුයේ එතෙක් අධිකරණ ශාලාවේ ඉතිරිව සිටි නීතීඥවරයාය.

මම එම නීතීඥවරයා දැන සිටියෙමි.  ලිපිකරුවා කී දෙයෙහි සත්‍යතාවක් තිබේදැයි දැනගනු වස් මම ඔහු කරා ගියෙමි.

" සෝමෙ ! බැරිද මගෙ මිනිස්සුන්ට ඇප ගන්න..."

" ආස්ක් ද බගර්ස් ටු ගිව් මී හන්ඩ්‍රඩ් බක්ස්  ( උන්ට කියන්න මට රුපියල් සීයක් දෙන්න කියලා ) "

ඔහු එය කී සැහැල්ලු විලාසය මා විශ්මයට පත් කළේය.

සාමාන්‍යයෙන් අධිකරණයේ වැඩ කටයුතු අවසාන වුවාට පසුව ඇප ලබා ගත නොහැකිය.  අවශ්‍ය නම් ඒ සඳහා විවෘත අධිකරණයෙහි මෝසමක් ඉදිරිපත් කොට ඇප අයැදීම කළ යුතුය.  මෝසමක් ඉදිරිපත් කළ යුතු වන්නේද අධිකරණයක වැඩ කටයුතු ආරම්භකිරීම ආරම්භයේදීම හෝ ඊට පෙරය.  අධිකරණයෙහි වැඩ කටයුතු අවසාන වුවාට පසු එය කෙසේවත් කළ හැකි නොවේ.

මේ වනවිට වෙලාව හතර හමාරට පහට පමණ ඇත.  මහේස්ත්‍රාත්වරයා තවම නිල කාමරයේය.

මගේ සේවාදායකයා වෙනුවෙන් රුපියල් සියයක මුදල මම මගේ මිත්‍ර නීතීඥවරයා අත තැබීමි.

ඔහු වහාම ක්‍රියාත්මක වුයේය.

ඔහු මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයට යනු මම දුටුවෙමි.

ස්වල්ප වේලාවකට පසු මා ද කැඳවන ලදී.  මා තවමත් උසාවි සීමාවේ රැඳී සිටී දැයි සොයා බලාය මා කැඳවන ලද්දේ.  ඒ බව මම පසුව දැන ගතිමි.

" ඉට් වෝස් අ බෑඩ් කේස්...දේ ෂුඩ් හෑව් රීටේන්ඩ් සම්වන් ලයික්...පෙරේරා...සොයිසා...නොට් දැට් යූ ඩිඩ් අ බෑඩ් ජොබ්...( ඒක අමාරු නඩුවක්...ඒ අයට තිබුණේ...පෙරේරා සොයිසා...වගේ එක්කෙනෙක් අල්ලන්න. ඔබ අදක්ෂ ලෙස නඩුව කතා කෙරුව නෙවෙයි...) "

මෙහි අවසාන කොටස ඔහු කීයේ මගේ සිත සතුටු කිරීමට විය යුතුය.  එහෙත් සුළු වේලාවකට පෙරදී අඥානයකු ලෙස, මැරවරයකු ලෙස, කෲර දුෂ්ට පාලකයකු ලෙස හැසිරුණ ඔහු ගැන මා තුළ කෙසේනම් පැහැදීමක් ඇතිවේද?

අහා! නඩුපොත ඔහුගේ මේසය මතට ආවේය.  එහි අවසාන වශයෙන් යමක් ලියා තිබු පිටුව ඔහු ඉරා දැම්මේය.  චුදිතයන්ට ශරීර ඇප නියම කරන ලදී.

යුක්තිය !

( මෙම කතාව මවිසින් මුලින්ම සටහන් කර තබන ලද්දේ 1977 වර්ෂය මුලදීය.  එනිසා විනිසුරු නිල ඇඳුම, මුදලෙහි වටිනාකම, අධිකරණවල ක්‍රියා මාර්ග යනාදිය එම කාලයෙහි පැවති ආකාරයට මෙහි සඳහන් වේ.

අධිනීතීඥවරයෙකු ලෙසම වෘත්තීමය කටයුතු කළ හෙයින් මගේ සේවය එක අධිකරණයකට සීමා නොවීය.  එනිසා දිවයිනේ විවිධ නගරවල ප්‍රාථමික, මහේස්ත්‍රාත්, දිසා අධිකරණවල මෙන්ම මහාධිකරණවලද විනිසුරුතුමන්ලා දෙසියයකට අධික සංඛ්‍යාවක් ඉදිරියේ පෙනී සිටීමේ වරම මම ලැබුවෙමි.  ඊට අමතරව ගෙවල් කුලී මණ්ඩල, කෘෂි විනිශ්චය සභා, කම්කරු විනිශ්චය අධිකාරී යනාදියෙහි සභාපතිතුමන්ලා ප්‍රධාන සාමාජික මහත්වරුන් හමුවේද පෙනී සිටීමේ අවස්ථා ලැබිණ.

ඒ සා අත්දැකීම් රාශියෙන් බින්දු මාත්‍රයක් පමණක් හුදී ජන දැනුම උදෙසා 'පසු වදන' ලෙස සකස්කොට මෙහි ඇතුළත් කොට ඇත.)

විනිසුරුතුමනි.  කර්තෘ :පී.ඇම්. ජයතිලක. දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.

Friday, December 28, 2018

දොළේ ගෙදර.

ඇල්. ඩී. මැන්දිස් නම්වූ සාහිත්‍යකරුවා හේතුවෙන් දකුණේ රජ්ගම පුරවරයට ආසන්න වැවදෙනිය නම්වූ කුඩා බිම් කඩ රටේම ප්‍රකට විය.  එහෙයින්ම ඔහු හැඳින්වුණේ වැවදෙණියේ ඇල්. ඩී මැන්දිස් යනුවෙනි.  ඔහු විසින් රචිත නවකතා රැසක් අතුරින් " දොළේ ගෙදර" තවත් එක සිත්ගන්නා නවකතාවකි.  අද අපි එයින් කොටසක් කියවමු.
                                                                           ---------
වත්ත මායිමේ තිබෙන ගල් ළිඳෙන් රුවිතන් වතුර නාමින් සිටියේය.  

මේ ගල් ළිඳ පිහිටා තිබෙන්නේ වල්ලඹ ගොඩටත් දොළේ ගෙදර ඉඩමටත් මායිම් වන තැනකය.  මට මතක ඇති කාලයේ සිටම මේ ගල් ළිඳේ වතුර නෑවේ වල්ලඹ ගොඩේ ගැහැනුන් හා පිරිමින්ය.  ඒ මිනිසුන්ගේ අදහසේ හැටියට ළිඳ වල්ලඹ ගොඩට අයත් වුවකි.  එහෙත් කාලාන්තරයක් තිස්සේ සම්ප්‍රදායක් වශයෙන් පැවත ආ මේ අයිතිවාසිකම් භින්න කර දමන ලද්දේ දොළේ ගෙදර බාලම්මාගේ බලපුළුවන්කාරකමේ පරාක්‍රමයෙනි.

දිනක් වත්තේ ඇවිද ගෙන බාලම්මා ගල් ළිඳ ළඟින් යද්දී වල්ලඹ ගොඩේ කෙල්ලෝ කීප දෙනෙක් එහි වතුර නාමින් සිටියහ.  කුමාරකන්දේ ජාඩි කඩයක ඇති ජල පීප්පයක් මෙන් එතැනින් පෙරළෙමින් සෙක්කුපළ පැත්තට ගිය බාලම්මා දුටු විට කෙල්ලන්ට සිනා පහළ වී තිබිණි.  බාලම්මා කොතෙකුත් ඇවිදින්නේ උන්දැ ඇඳ ඇති මඩකලපු කම්බාය දණිස්සෙන් උඩට උස්සාගෙනය.  හින්නි ගුරේගේ යක් බෙර කඳ වැනි තඩි කලවා දෙක කාට පෙනුණත් උන්දෑට කමක් නැත.  හැබැයි එය දකින කෙනෙකු යම් විදියකින් වැරදිලා වත් හිනා වුණොත් එදාට සිදුවන්නේ මහත් කන්දොස්කිරියාවකි.  උන්දෑ එදාට ඉර බහින තුරුම වල්ලඹ ගොඩේ ගෑනුන්ට බැණ වදින්නීය.

ඇරත් චණ්ඩියෙකු මෙන් රෙදි පොට උස්සා ගෙන බාලම්මා කොතෙක් ඇවිද්දත් අපට කමක් නැත.  ඊටත් වඩා අපූරුව නම් උන්දෑගේ ගමන් විලාසයයි.  තඩි කලවා දෙක එකට නො ගෑවෙන පරිදි වග බලා ගනිමින් උන්දෑ ගමන් කරන විට කෙනෙකුට පෙනෙන්නේ උන්දෑ ගාට ගාටා ගමන් කරන සැටියකි.  අනෙක් ගැහැනුන් මෙන් ක්‍රමානුකූල පාද තැබීමක් උන්දෑට පුරුදු නැත.  උන්දෑ එක පයක් පෙරට තබා අනෙක් පාදය ඔසවා ගන්නේ මහත් ආයාසයක් දරමිනි.  එසේ ඔසවා ගන්නා ලද පාදයක් අනෙක් පාදයට සමාන්තර වන පරිද්දෙන් තබා ගන්නට උන්දෑට බැරිය.  ඉලක්කය වැරදීම නිසා නිතරම ඒ පාදය තැබෙන්නේ අනෙක් පාදය තබන තැනට වඩා ඈත් වීමෙනි.  ඔයින් මෙයින් බාලම්මාගේ ගමන රිල්ලඹ මූදු වෙරළේ කකුළුවෙකුගේ ගමන වැනි යැයි මට සිතේ.

එදා බාලම්මා සෙක්කුපළට යෑම සඳහා ගල් ළිඳ පසු කළාය.  වතුර නෑමට පැමිණ සිටි කෙල්ලන් උන්ගේ රෙදි උනා දමා තිබුණේ ළිඳ අයිනේ වැටී තිබූ අඩි පාරේමය.  ඇතැමකු රෙදි වනා තිබුණේ පාර අයිනේ වූ කැප්පෙටියා පඳුරු මතය.

පාරේ තිබුණු රෙදි නොපෑගෙන පරිදි බාලම්මා අයිනට වී ළිඳ ළඟ අනෙක් ගලකට අඩිය තැබුවාය.  ඒ ගල පෙඳ සෙවෙල් සහිත එකකි.  පාදය ගල මත ලිස්සා යත්ම, මිනීමස් පර්වතයක් වැනි සිරුර මෙල්ල කර ගැනීමට උන්දෑට නුපුළුවන් විය.  පළමු කොට බිම ඇනුණේ රබානක් මෙන් පුළුල් වූ උන්දෑගේ සට්ටම් දෙකයි.

කෙල්ලන්ට හිකිහිකි ගා සිනා ගියේ බාලම්මාගේ කටින් පිටවූ කෙඳිරිය නිසා නොවේ.  උන්දෑගෙන් පිටවූ වාතයටය.  ඒ වාතය ද පිට වුණේ තරමක ශබ්දයක් නංවමිනි.

අමාරුවෙන් සිනාව මැඩ ගත් කෙල්ලෝ ඉදිරියට පැන බාලම්මා ඔසවා වැටී සිටි තැනින් කෙළින් කළහ.  උන්දෑ කෙළින් වෙද්දී තව වාතයක් පිට විය.  කෙල්ලන්ගේ හිකිහිකිය කැකිරි පලන සිනාවකට පෙරළුණේ එවිටයි.

" නොදකිං විතරක් දෙහි පැළ හැදෙන හැටි.......?" කියා බැණබැණ බාලම්මා සෙක්කුපළ දෙසට ගියාය.

දොළේ ගෙදර බාලම්මාගේ බලපුළුවන්කාරකම් වල්ලඹ ගොඩේ ගෑනුන් පිළිගන්නා එක ඇත්තකි.  එහෙත් බාලම්මාගෙන් ගිය වාතයේ හඬට යම්තම් වත් සිනා නොවී සිටින්නටත් උන්ට පුලුවන්ද?  සිනා වීමට වත් ගමේ ගොඩේ කෙල්ලන්ට අවසර තිබිය යුතුය.

සෙක්කුපළේ සිට පෙරළා එන ගමනුත් බාලම්මා වල්ලඹ ගොඩේ ගෑනුන්ට නොසෑහෙන තරම් එදා බැණ වැදුණාය.

" මීට පස්සෙ තොපට නොවෙයි ඔය මකර කටේ නාන්න දෙන්නෙ.....ඔය ළිඳ ළඟ තියෙන කෑල්ල මගේ බොලව්.....තොපි හිතාගෙන හිටියෙ වල්ලඹ ගොඩේ ඈයින්ට තෑගී ඔප්පු දීලයි කියලද?  හෙටම ළිඳ වට කරල කටු කම්බි ගහනවා.....එහෙනං.....?

බාලම්මා එදාම රුවිතන් ලවා ගල් ළිඳ වට කොට කටු කම්බි ගැස්සුවාය.  එහෙත් එදා රෑම කටු කම්බි කපා දමා තිබිණි.  ඒ වැඩේ කරන ලද්දේ රුවිතන් විසින් ම බව බාලම්මා දැන ගත්තේ ඊට මාසයකට පමණ පසුවයි.  එවකට ඇගේ කේන්තිය තුනී වී ගොස් තිබුණු නිසා ඈ ඔහුට බැණ වැදුණේ නැත.

රුවිතන් මේ කියන දවසේ වතුර නාමින් සිටියේ ඔය තරම් සමාජ ඉතිහාසයක් සහිත ගල් ළිඳ ළඟයි.  රුවිතන් අලුත් පන්නයට කොණ්ඩය කැපු මිනිහෙක් නොවේ.  ගැහැනියක මෙන් ඔහු කොණ්ඩය බඳී.  ඔහු එය ලිහා පිට දිගට දමා ගන්නේ වතුර නාන විට පමණකි.

බාලම්මා දුටු හැටියේ ම රුවිතන් කලබල සහිත විය.

" හාමිනේ, මේ පාන්දරින්ම....?"

" සෙක්කුපළට යනව නේ බොල....කිරිබයියට මම ඊයෙ හවස කිව්ව අද එළි වෙන කොටම සෙක්කුව බඳින්නයි කියා....අද තියෙනව පොල් වඩි තිහක් විතර හිඳ ගන්න....ඕකා සෙක්කුපළට තාමත් ආවද....තලා කකුළුවො අල්ලන්න රිල්ලඹ ගිහිල්ලද දන්නෙත් නෑ.....?

" කොච්චිවත්තෙ බන්දුපාලත් එක්ක උදෑහැන මේ පැත්තෙ යනව බලාගෙනයි....ගියේ නං සෙක්කුපළට තමයි......"

" ඒ වුණාට ගිහිං බලන්න ඕනෑ....."

බාලම්මා අඩි කීපයක් පෙරළිපෙරළී ඉදිරියට ගියාය.  යමක් හදිසියේ අමතක වී නැවත එය මතක් වූ කලක මෙන් ඊළඟට නැවතුණාය.

" රුවිතාන්...."

" ඇයි හාමිනේ...."

" උඹ අද ඔක්කොම හරකුන්ගෙ කිරි ගත්තද....?

" ඔව්...."

" රතු එළදෙනගෙත්....."

" රතු එළදෙන කිරි වරල....ඇයි මම පෙරේද හාමිනේට කිව්වෙ....?"

" කොහොමද බොල රතු එළදෙන කිරි වරන්නෙ....? දැනුත් මම එද්දි පැටිය කිරි බිබී හිටියෙ....පැටියට බොන්න කිරි තියෙනවා නම් දොවාගන්න මොකද කිරි නැති වෙන්නෙ.....උඹට ඕනෑ රෑ පාන්දරින්ම ඉස්නානෙ කොරන්න විතරයි.....තොට බොල මී හරක් ගිනියමද..... මේ උඳුවප් මහ දුරුත්තෙ නාන්නෙ.....? මට හිතෙනව මන්නෙයක් අරගෙන තොගේ ඉස්තිරි ආබරණෙ කපල දමන්න....."

බාලම්මා "ඉස්තිරි ආබරණෙ" යැයි කියන්නේ රුවිතන් ගේ කොණ්ඩයටයි.  කේන්ති ගිය විට තුන්හතර වරක් ම මේ "ඉස්තිරි ආබරණය" මතක් කොට රුවිතන්ට බැණ වැදීම උන්දෑගේ සිරිතකි.

බාලම්මා මොර දි දී ම සෙක්කුපළ දිහාවට ගියාය.  හඬ හීන වෙත්ම උන්දෑ වල්ලඹ ගොඩේ රෙදි සෝදන තොටුපළ පසු කොට ඇති බව රුවිතන් දනී.

" ඇයි ඔය ජෝඩුවම වළ පල්ලෙ යනකොට සෙක්කුව, කුරුඳු වාඩිය, හරක් පට්ටි ඔක්කෝම මිනී පෙට්ටියෙ දමාගන්නව නේ ......"  රුවිතන් කට යටින් කොඳුරමින් ද, ගොරවමින් ද, සරම හැඳ ගත්තේය.  ඔහු එදා වතුර නෑවේ වෙනදා නාන තරමින් අඩකි.

සෙක්කුපොළේ සිට එන ගමන් බාලම්මා කුරුඳු වාඩිය ද පසු කළාය.

වතුර නාපු නිසා තෙත් වී ගිය කොණ්ඩය ලිහා පිට දිගේ දමා ගෙන රුවිතන් සිටියේ අව්ව තපිමිනි.  බාලම්මා දුටු හැටියේම ඔහු තිගැස්සී නැගිට්ටේය.

" ඇයි යකෝ රතු එළදෙන දෙවිය ද? හරකුන්ට පුන්නක්කු දුන්නද...."

" ඔක්කොම කොළා........කඩවලට කිරිත් බෙදල ඇවිල්ලයි මම වතුර නාගත්තෙ........"

" කෝ මුදලාලි......?"

" වැවදෙණිය පැත්තට යනව බලා ගෙනයි...."

" කත්තිරිනට කියල වත්තෙ පොල් අතු ඇහිඳවලද ගියේ......?"

" වෙන්න ඇති...."

" මේ බලාපං මිනිහෝ, මේ වාඩිය වටේට තියෙන ගොටුකොළ සම්බාරේ......මඟුල් ගෙදරවල් පහකට ඇති....තොට බොල හෙණ ගහලද මෙයින් ටිකක් ගලවල ගොහිල්ල අර කත්තිරිනට දෙන්න බැරි.....? මට හිතෙනව උඹේ ඉස්තිරි ආබෙරණෙට හොඳ වැඩක් කරන්න......."

දාස් කංකානම ඇතුළු පිරිස කුරුඳු හන්දි කරන දිහා ටික වේලාවක් බලා සිටි බාලම්මා ගෙදර පැත්තට හැරුණාය෴

 ( දොළේ ගෙදර, වැවදෙණියේ ඇල්. ඩී මැන්දිස්. 2007 . බෙදා හැරීම: සූරිය ප්‍රකාශකයෝ.)

Wednesday, November 21, 2018

සෝමාවතියේ වල් අලි සමග.


මගේ වනගත දිවිය ආරම්භ වුයේ සෝමාවතී වනාන්තරයෙන්ය.  ඒ දැනට වසර ගණනකට පෙර එනම් 1980 වර්ෂයේ මැද භාගයේ රජයේ වැඩ වර්ජකයෙකු ලෙස මා තිකුණාමලය දිස්ත්‍රික්කයේ සිරිමංගලපුර කැලෑ ගම්මානයට පැමිණීමත් සමගය.  අල්ල කන්තලේ මාවතේ විසිඑක්වන සැතපුම් කණුව අසල පිහිටි මේ කුඩා ගම්මානය ගෙවල් 25 කින් පමණ සමන්විත විය.  දරිද්‍රතාවේ අන්තයට පත්ව සිටි මෙගම වැසියන්ගේ එකම ජීවනෝපාය වුයේ හේන් ගොවිතැනය.  මහ වන මැද ගලා බසින මහවැලි ගංගාව මායිම් කරගත් සෝමාවතී වනාන්තරය සැතපුම් එකොළහකට වැඩි දුරක් එක යායට පැතිර අවුත් සිරිමංගලපුර කැලෑගම හතර වටින් වටකරගෙන බලා සිටියේය.  ගමට තිබුණු එකම පොදු සම්පත වුයේ කුඩා පාසල් ගොඩනැගිල්ලක් හා පන්සලක් පමණකි.  ග්‍රාමසේවක මහතා විසින් තම නිවසේ ම පවත්වාගෙන ගිය පුංචි සිල්ලර කඩය ගම්මුන්ගේ එදිනෙදා පාරිභෝගික අවශ්‍යතාවන්ට මග පාදා දුන්නේය.

මා සිරිමංගලපුරට සම්ප්‍රාප්ත වුයේ කිසිදු නිශ්චිත අරමුණක් ඇතිව නොවේ.  එහෙත් ඊට දස වසරකට පෙර එක්තරා දිනයක සෝමාවතී වනාන්තරයේදී මා ලත් සුන්දර අත්දැකීමක් ඒ වන විටත් මගේ සිත තුළ තැන්පත්ව තිබුණේය.  අමරණීය සිහිවටනයක් සේ එය අදටත් මා සිතුවිලි නිරතුරු දෝලනය කරවයි.

ඒ 1969 වර්ෂයේ අග භාගයයි.  එකල සිරිමංගලපුර කියා ගම්මානයක් බිහිවී නොතිබුණේය.  මහවැලි ගඟේ සිට කල්ලාර් පාලම දක්වා වූ ප්‍රදේශය එකම ගන වනාන්තරයකි.  අල්ල- කන්තලේ මාවත අත්පසුරෙන් ගත් ඒ මහා වනාන්තරය දිවා කල පවා රැහැයියන්ගේ නොනවතින රාවයෙන් පණ පෙවුණේය.  එහි මනරම් සිරිය රස විඳිනු රිසි මම දිනක් උදේ නවයට පමණ මේ මාවත දිගේ ඉදිරියට ගමන් කළෙමි.  ඒ වන විට මහවැලි ගඟ හරහා නව පාලම ඉදිවී නොතිබුණේය.  අල්ල- කන්තලේ පාරේ යන එන වාහන ගඟින් එගොඩ මෙගොඩ වුයේ පාලම් පාරුවක ආධාරයෙනි.  ලංකාවේ පැරණි ගමනාගමන රටාවේ ඓතිහාසික කඩඉමක් සටහන් කළ ඒ දුර්ලභ පාලම් පාරුතොට හෙවත් කන්ද උඩරට රජුගේ කොට්ටියාරම් තොටුපොළ සියැසින් දැක බලාගැනීම එදා මගේ අපේක්‍ෂාව විය.

තුරු සෙවණින් අඳුරුවූ මාවත දිගේ මම සෙමෙන් සෙමෙන් බයිසිකලය පැදගෙන ගියෙමි.  පාර දිගට අලි වසුරු විසිරී ඇත.  මදු මී සොයන සමනල් රංචු වනමල් ගොමු පසෙක ලා අලුත හෙලු අලි වසුරු පිඬු මත වසාගෙන රොන් සාර උරා බොති.  සුදෝසුදු ඒ පුංචි සමනල විශේෂය වියළි කලාපීය වනාන්තරවල සුලබව දැකගත හැකිය.  මල් පෙති සුළඟේ විසිරෙන්නාක් සේ ඔවුහු එකවර පාරෙන් ඉහළට ඉගිළෙති.  යළිත් පහළට බසිති.  ගජ මදපොළ තෙමෙන අමරසින් මී මැස්සන් මනදොල පුරද්දී සමනලුන් පමණක් වසුරු සරට පෙම් බඳිමින් අලි ඇතුන් සරන මංමාවත් වල ගිමන් පැතීම ස්වභාවධර්මයේ තවත් ආශ්චර්යයකි.

ඉද්ද ගැසුවාක් සේ සෘජුව විහිදෙන මාවතේ ඈත ඉදිරියෙන් ට්‍රැක්ටරයක් එනු පෙනිණ.  රෑහියන්ගේ නාදය යටපත් කරවමින් ට්‍රැක්ටරයේ ගොරහැඩි හඬ කෙමෙන් කෙමෙන් මගේ සවනත අගුළු දැම්මේය.  පාර හරහා කලබලයෙන් ඔබ මොබ පැන දුවන මොනරුන්ගේ දසුන මා නෙතට රස පහසක් විය.  වනයේ නිසසල බව දෙදරවමින් පැමිණි ට්‍රැක්ටරය මට අභිමුඛ විය.

" යන්න එපා! පාරේ ඉස්සරහ අලි ඉන්නවා."  ට්‍රැක්ටරයේ හඬ බාල කරමින් රියැදුරු මා දෙස බලා විස්මයෙන් පැවසීය.

" ආහ්! ඇත්තද? බයිසිකලය පාර අයිනේ නතර කර වම්පාදය සරුසාර තණ බිස්සක් මත තබාගෙන මම පිළිවිසීමි.

ට්‍රැක්ටරයේ තවත් තිදෙනෙක් වුහ.  ඔවුන් කොහේදෝ හොර ගමනක් ගොස් එන බව පැහැදිලිය.  නීතිවිරෝධී දව ජාවාරම් කරුවන්ට අල්ල- කන්තලේ මාවත පාරාදීසයකි.  සිත්තාරු ප්‍රදේශයෙන් සෝමාවතී වනාන්තරයට ඇතුළු වන ඔවුහු හිතේ හැටියට වනපෙත වනසති.  මාවත හුදෙකලාය.  අද මෙන් නොව එකල දිවා කාලයේ වුව මේ මාවතේ වාහනයක් ධාවනය වුයේ එහෙමත් දවසකය.  අමුත්තන් පාරේ ගැවසෙන දර්ශනය ජාවාරම් කරුවන්ට රුස්සන්නක් නොවේ.  එහෙයින් නැති අලි ගැන බොරු බේගල් ඇද බාමින් ඔවුහු අමුත්තන් බියපත් කරවති.

ට්‍රැක්ටරය මා පසුකර ගිය ඉක්බිති මම යළිත් ගමන් ආරම්භ කළෙමි.  අල්ල- කන්තලේ පාර දෙපස නිරාවරණ වගුරු බිම් එමට ඇත.  ඊසානදිග මෝසම් වැසි ඇද හැලෙන සමයට මහවැලි ගඟ උතුරා පිටාර ගැලීමෙන් මේ වගුරු බිම් සියල්ල ජලයෙන් යට වෙයි.  වේගවත් ජල කඳ වනපෙත දෙදරවමින් අල්ල- කන්තලේ මාවතද වසාගෙන ඔට්ටුව, පච්චනුරුව, කින්නියා හා මුතුර් ප්‍රදේශය ඔස්සේ කොට්ටියාරම් මුහුදු බොක්ක බලා ඇදී යන ඒ ගමන සුන්දරය.  එසේම බියකරුය.  වියළි සමයට දිය සිඳීී යන මේ වගුරු බිම් සාරවත් තෘණතලා බවට පත්ව අලි, මුව, ගෝන වන සිවුපාවුන්ට යහමින් ගොදුරු සපයා දෙයි.  අල්ල- කන්තලේ මාවත දෙපස බිම්තීරයේ ස්වභාවසෞන්දර්යය ඔප්ගැන්වීමට මෙම කාලීන වර්ෂා සෘතුව සෘජුව බලපායි.  වියළි සමයේ වුව සෝමාවතියේ වල් අලින්ට ආහාර හිඟ නොවන්නේ මහා වාලුකා නදිය හා වෙළී පවතින මේ සුවිශේෂ වූ පාරිසරික ක්‍රියාදාමය නිසාය.

උදා හිරු එළියේ බැබළෙන වියළි වගුරු තැනිතලා මොනරුන්ගේ කෙළිමඬලක සිරි ගත්තේය.  මාවත අද්දර පඳුරකට මුවා වන සේ බයිසිකලය නතර කර ගන්නා මම මිනිත්තු කීපයක් ගතවන තුරු ඒ මොණර ගත රුව ලෙළෙන රංගන දෙස බලා සිටීමට අමතක නොකළෙමි.  කන්ද උඩරට රජුගේ සිරකරුවෙකු ලෙස අත්අඩංගුවට පත් රොබට් නොක්ස් මුතූර් ප්‍රදේශයේ සිට මහනුවරට රැගෙන යනු ලැබූ පැරණි ගමන් මාර්ගයේ මම දැන් හුදෙකලා වී ඇත්තෙමි.  නොක්ස් සිය ඓතිහාසික  ග්‍රන්ථයේ සඳහන් කර ඇති පරිදි ඒ යන ගමනේදී රාජ පුරුෂයන් විසින් පහසුවෙන්ම මුවන් විද මරා ආහාරයට මස් ලබාගන්නා ලද්දේ මේ එළිමහන් වගුරු පිට්ටනිවලදී බවට සැකයක් නැත.  ඒ සුන්දර දසුන් අල්ල- කන්තලේ මාවත දෙපස වනාන්තරයේදී අදටත් දැකගැනීමට ලැබීම අපේ වාසනාවකි.

ගමනේ සැතපුම් පහක් ගෙවූ මම සිත්තාරු වනගත ප්‍රදේශයට පැමිණියෙමි.  මූතූර් සිට සෝමාවතී වනාන්තර අභ්‍යන්තරය දක්වා වැටී ඇති අප්‍රකට කරත්ත පාර අල්ල පාර හරහා විහිදෙන්නේ සිත්තාරු වගුරු කලාපයේදීය.  මේ ප්‍රදේශයේ සෝමාවතියේ වගුරු, අලින්ගේ නිදහස් සැරුම් කලාපයකි.  එසේම උන්ගේ ජනප්‍රිය ගොදුරු බිම් රාශියක් මෙහි පිහිටා ඇත.  එබැවින් පාර දෙපස වනාන්තරයේ ජීවත්වන අලින්ට කරත්ත පාර හොඳ මංකඩකි.  ඔවුහු ඒ ඔස්සේ පැමිණ අල්ල- කන්තලේ මාවතට පිවිසෙති.  මඳක් ගිමන් නිවාගනු රිසියෙන් මම බයිසිකලය පාර අද්දර ගසකට හේත්තු කර තබා විඩාපත් දෙපා දිගහැර තාර පාර මැද වාඩි වුණෙමි.  මගේ වම් පසෙන් ඇති සුවිසාල කෝන් ගස පාරට සිසිල් සෙවණ ගෙන දුන්නේය.  නිරන්තරයෙන් අලි ඔබ මොබ සැරීම හේතුවෙන් පාර දෙපස තණ තීරුව යහමින් තැලී පොඩිවී තිබිණ.  අව්වට වියැලෙමින් කැකෑරෙන අලි බෙටිවල පුසුඹ රැගත් පවන් රැලි මගේ ගත දැවටෙයි.  වනගත පවසට ලොබ බැඳි පිරියෙන් නාස්පුඩු තවතවත් ඊට සංවේදී වෙයි.

සිත්තාරු වෙට්ටය පිහිටා ඇත්තේ මගේ වම් පසෙන් ඇති වනාන්තරය තුළය.  තාර පාරේ සිට ඊට ඇත්තේ මොණර විලාපයක හඬ පැතිරෙන දුරකි.  ඒ නිසාමදෝ මොනරුන්ගේ උස් හඬ ශබ්ද වරින්වර වනාන්තරයට ඉහළින් නිදහසේ පාවී ආවේය.  වෙට්ටයේ අලි ගැවසෙන බවට එය හොඳ සංඥාවක් විය.  මොණර නාදය මගේ සිතුවිලි එක්වරම වෙනස් කළේය.  වෙට්ටයේ අලි නැරඹීමේ ආසාවක් මට ඇතිවිය.  අද මෙන් එදත් වන සරනියකදී දෙවරක් කල්පනා කිරීම මගේ සිරිත නොවීය.  ඇසෙන දේ දැකීමටත් දකින දේ නැරඹීමටත් ක්‍ෂණිකව මා සිත පෙලෙඹෙයි.  අන්තරායේ බිය වැඩි තරමට එයින් ලබන තෘප්තියේ මිහිරියාව උත්කෘෂ්ට බව මම අත්දැකීමෙන් දනිමි.  එහෙයින් තනිපංගලමේ වනාන්තර තුළ ඇවිදීමට මම වඩාත් කැමැත්තෙමි.  ඒ මන්ද ස්වශක්තිය පිලිබඳ විශ්වාසයෙන් යන ගමනකදී ප්‍රතිවිරෝධතා මතුවීමට ඇති අවස්ථා එමගින් අවම කරගත හැකි බැවිනි.  එක් දිවක් ඇති තැන හඬ නිහඬය.  දිව දෙකක් ඇති විට හඬ ගැඹුරුය.

බයිසිකලයේ නැගුණු මම කරත්ත පාර දිගේ වනාන්තරය තුළට පිවිසුණෙමි.  අලින්ගේ පා පහසින් ඔප මට්ටම් වූ මැටි පාර බයිසිකලයේ ගමනට පහසුවක් විය.  එහෙත් මගේ නෙත් කන් නිරන්තර විමසිල්ලෙන් තබා ගැනීමට මම අමතක නොකළෙමි.සැතපුම් කාලක් පමණ මෙසේ යන විට කැලෑ පාර ඉදිරියෙන් සෙමෙන් එන ට්‍රැක්ටරයක හඬ ඇසෙන්නට පටන් ගත්තේය.  කැලෑ ගමනකදී වනසතුන්ට වඩා අප බිය විය යුත්තේ වන සරන මිනිසුන්ටය.  වනසතාගේ බාහිර චර්යාව කෙරෙහි විශ්වාසයක් තැබිය හැකි වුවත් මිනිසාගේ නිහඬ ඉරියව් නිරන්තරයෙන්ම සැක කටයුතුය.  එහෙයින් මගේ සිතේ සියුම් බියක් ඇති විය.  ට්‍රැක්ටරය මා ඉදිරියට එමින් තිබෙන බව පැහැදිලිය.  ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ මම සුදුසු ඉසව්වක් බලා බයිසිකලයත් තල්ලු කරගෙන පඳුරු ගොමු අතරින් වනාන්තරය තුලට රිංගුවෙමි.  වනසතුන් යන එන කුඩා අඩිපාරක් ඔස්සේ කඩිමුඩියේ පැන ගිය ඒ ගමන ඉතා දුෂ්කර විය.  කරත්ත පාරෙන් අඩි හතලිහක් පමණ ඔබ්බට ගිය මම පඳුරුවලට මුවාවී දණ බා බිම වාඩි වුණෙමි.

එම ස්ථානයේ කැලෑව වෙලං ගස්වලින් සමන්විත වී තිබුණෙන් පොළොව බිම් ආවරණ පැලෑටිවලින් තොර විය.  එහෙයින් යටි රෝපණ වෙලං කෝටු අතරින් මට යාන්තමට කරත්ත පාර දැක බලාගැනීමට හැකියාව ලැබුණේය.  මෙය ඉතා අවදානම් ක්‍රියාවකි.  පයට පෑගෙන වියළි කෝටු කැබැල්ලක් කැඩී යන හඬක් හෝ පඳුරක කොළයක් සෙලවෙන ඡායාවක් හෝ දුටු සැණින් වනසතෙකැයි සිතා මා කවුරුන්ගේ හෝ වෙඩි පහරකට ගොදුරුවීමට ඇති ඉඩකඩ වැඩිය.  ගිනි අවි ගෙන කැලේ සැරිසරන නොමිනිසුන්ගේ අවිචාරවත් ස්වභාවය එයයි.  ඒ අවදානම ශක්තියක් කරගත් මම ඇසිපිය නොසලා නිසොල්මනේ පඳුරු අස්සෙන් එබී පාර දෙස බලා සිටියෙමි.  ට්‍රැක්ටරය මා ආසන්නයට ලඟා වන මොහොතක් මොහොතක් පාසා මගේ හදවතේ ගැස්ම වැඩිවිය.  තුවක්කුකරුවකු නිතැතින්ම ට්‍රැක්ටරයේ සිටින බව මම දනිමි.

ඉතා සෙමෙන් ධාවනය වූ ට්‍රැක්ටරය මා සැඟව සිටි ස්ථානය පසුකර ඇදී ගියේය.  එහි ටේලරයේ උසට ගොඩ ගැසූ ඉරුම් දැව තොගයක් සමග ඒ මත වාඩිවූ අමතර මිනිසෙක් ද සිටියේය.  සැණෙකින් දම්වැල් ගැටෙන හඬක් ඇසිණ.  මම මවිතයට පත්වීමි.  ට්‍රැක්ටරයට පිටුපසින් එන අලියෙකි.  තලප්පාවක් හිස රැඳි ඇත්ගොව්වා හෙණ්ඩුව රැගෙන අලියා සමග පයින් ගමන් කරයි.  අලියාගේ ගෙලේ ලු දම්වැල් පට උගේ ගමනේ රිද්මයට අනුව වරින්වර එකට ගැටේ.  සෝමාවතී වනාන්තරයේ හොර දැව ජාවාරම කොපමණ නිදහසේ සිදු කෙරෙන්නේද යන්න සිතාගැනීමට මේ අලියා කදිම උදාහරණයක් විය.  ඌ කොට අදින අලියෙකි.  අල්ල- කන්තලේ මාවතේදී මට මුණගැසුණු ට්‍රැක්ටර්කරුගේ අලි කතාව මට මතක් විය.  ඔහු මේ නඩයේම සගයකු වුවාට සැකයක් නැත.

වනපෙත නිහඬ වන තුරු තවත් මිනිත්තු කීපයක් සැඟව සිටි මම බයිසිකලය ද රැගෙන කැලෑව තුළින් එළියට පැමිණියෙමි.  අමුතු වෙනසක් දැනී මම බයිසිකලය පරීක්ෂා කර බැලුවෙමි.  එහි පසුපස රෝදයේ හුළං බැස තිබුණේය.  වියළි මඩ සහිත පාරේ බයිසිකලය පැද එනවිට උලක් හෝ මුලක් ටයරයේ ඇනෙන්නට ඇතැයි මට සිතිණ.  සිත්තාරු වෙට්ටයේ අලි නැරඹීම අමතක කළ මම බයිසිකලයත් තල්ලු කරගෙන පයින්ම ආපසු සෝමපුර බලා එන්නට තීරණය කළෙමි.

මා අල්ල- කන්තලේ මාවතේ දාහත් වෙනි සැතපුම් කණුව අසලට ලඟා වුවා පමණි.  වනයේ නිහැඬියාව බිඳිමින් එක්වරම මොනරෙක් විලාප තැබීමට පටන් ගත්තේය.  ඒ හඬින් මා හද කොපමණ චංචල වී ද යත් ජීවිතයේ ප්‍රථම වතාවට හුදෙකලාව පිලිබඳ බියක් මට දැනුණේය.  කන් අඩි දෙදරවූ ඒ බියකරු මොණර විලාපය නැගුණේ මා සිටි ස්ථානය ආසන්නයෙන්ය.  උස් පලු ගසක් මුදුනේ වියළි අත්තක් මත වසා සිටි මොනරා මගේ නෙත ගැටිණ.  පිල් කළඹ හකුලාගත් ඌ ගෙල දිගු කරගෙන විස්මයෙන් මදෙස බලාසිටී.  ඒ මගේ ඉෂ්ට දේවතාවා විනැයි මම කිසිසේත් නොසිතුවෙමි.  කෙසේ වුවත් මොනරාගේ සංඥාව අන්තරායක සලකුණක් සේ සලකා මම වටපිටාව දෙසට නෙත් යොමු කළෙමි.

වෙඩිල්ලක දුර ප්‍රමාණයක් එපිටින් පාර අද්දරින් පඳුරු සලිත වන බවක් පෙනිණ.  හිටි තැනම නතර වී සිටි මම වඩාත් විමසිල්ලෙන් එදෙස බලා සිටියෙමි.  ඒ අලි රංචුවකි.  බයිසිකලය පාර අයිනේ තණ ගොමුව මත පෙරළා දැමු මම හනික ගස් කඳක ආවරණය ලබා ගත්තෙමි.  අලි රංචුවේ ප්‍රතිචාරය මත මගේ ප්‍රතික්‍රියාව කෙසේ විය යුතුදැ'යි කල්පනා කරමින් මම සෑහෙන වේලාවක් එහි සැඟව සිටියෙමි.  එකී කාලය තුළ මගේ නෙත් අලි රැළ වෙතින් ඉවතට ඇදුණේ නැත.

පාරත් කැලෑවත් අතර එළිමහන් බිම් තීරය ඉතා පටු වුවද එහි ගිනිතණ සරුවට වැඩී තිබුණේය.  එක්වරම තණ පඳුරු බිඳගෙන අලි දෙදෙනෙක් එළිමහනට කඩා වැදුණාහ.  උනුන් එකිනෙකා හොඬවැල් පටලාගෙන අමුතු රංගනයක යෙදී සිටින බවක් පෙනිණ.  එය මට අලුත් අත්දැකීමක් වුයෙන් නිසොල්මනේ මම උන් දෙදෙනා දෙස බලා සිටියෙමි.  ඒ අලින්ගේ ආලයේ ලීලයක් බව වටහා ගැනීමට මට වැඩි වේලාවක් ගත නොවීය.  ඒ මද මත් අලියා සිය පෙම්වතිය රැහෙන් ඉවතට තල්ලු කරගෙන ආවේය.  සෙසු අලි නිදහසේ ගොදුරු බුදින අතරෙහි ඔවුහු හුදෙකලා වුහ.  දපනෙහි වෙළී ඉහළට එසැව තිබුණු හොඬවැල් කුම්බස්ථල මත හැකිලෙද්දී උනුන් මුව ලවන් එකිනෙක අතරෙහි මිරිකෙන්නට පටන් ගත්තේය.  අලි පෙමක රඟ බලව! රට රාජ්‍යයන් විජයග්‍රහණය කළ ජුලියස් සීසර් ක්ලියෝපැට්රා ඉදිරියේ දණ නමන විට ඔහුගේ අභිමානවත් දෙනෙත් අසරණව අඩවන් වුයේය.  තුමුල බල ගිජිඳෙකු පුර හඳට මුළාවූ හා පැංචකු බවට පත්ව ඇතැයි මට සිතේ.  සෙනෙහස සුන්දරය.  බැල්ම අහිංසකය.  මා සිතින් බිය පහව ගියේය.  පෙම්සර පහස ලැබ තෘණ පඳුරු බිම තලා වෙද්දී අලි ගත රුව තවතවත් මා දෙනෙත් ඉදිරියේ නිරාවරණය විය.

මුව ග්‍රහණයෙන් මිදුණු අලියාගේ හොඬවැල ලිහිල් විය.  එහි ස්පර්ශයට ලොල්වූ ඈ පසෙකට හැරුණාය.  වන අරණේ සිසිලස මැද නිස්කලංකව සැතපුණු අල්ල- කන්තලේ මාවත දෙස ඇය බලා සිටියාය.  ඇගේ කුම්බස්ථලයට ඉහළින් අලියාගේ හිස එසවුණේය.  දැවැන්තයින්ගේ රති රඟ පිළිබඳව එතෙක් මා අසා තිබුණු මතයක් දුරුවී ගියේය.  එය අලියා ගිලින දිවුල හා ඇත් සොහොන හා සමාන ම මිථ්‍යාවක් බව මම අත්දැකීමෙන් දැනගතිමි.

තවත් පැයකට පමණ පසුව අලි රංචුව අල්ල-කන්තලේ පාර හරහා මාරුවී සිත්තාරු වෙට්ටය දෙසට ගමන් කළහ.  සෝමාවතියේ අලින්ගේ අභිමානය උන්ගේ ගමන් විලාසය තුළින් මනාව පිළිබිඹු විය.  මොනරාගේ විලාපය නොවන්නට නොදැනුවත්ව ම මා බයිසිකලය රැගෙන අලින්ගේ අබිමුවට යෑමට ඉඩ තිබිණ.  එදා පටන් මා මොනරා සලකන්නේ වනගත කල්‍යාණ මිත්‍රයකු ලෙසය.  වන සැරියේ දී අදත් මා උගෙන් ඉගෙන ගන්නා පාඩම් එමටය.  ඒ හා බැඳි අපමණවත් අත්දැකීම් මා සිතුවිලි නිරන්තරයෙන් උද්දීපනය කරවයි.  වර්තමානය අබිබවා මගේ අතීතය ඉදිරියට ගලා එන්නේ ඒ නිසා විය හැකිය.

1980 වර්ෂයේදී මා දුටු සිරිමංගලපුර කැලෑ ගම්මානය මොනරුන්ගේ පාරාදීසයක්ව තිබුණේය.  හුදෙකලා හේන් යායන්ට ඉහළින් නිදහසේ පාවී එන මොනර නාදයන් සවනත නොවැකෙන රැයක් දවාලක් එගමට නොවීය.  ඒ නිසාම මා සිත වඩාත් ඒ පරිසරයට ඇදී ගියේය.  මොනරුන්ගේ පෙරමග තොරතුරු අනුවයමින් අවට වනාන්තරය පුරා ඇවිදීම මගේ විනෝදාංශයක් බවට පත් විය.  කාර්යක්‍ෂම කැලෑ නඩයක ඇසුර එහිදී මට ලැබිණ.  ගම්මානය කෙළවරෙහි වනාන්තරයට ආසන්නව අපේ හේන පිහිටා තිබුණේය.  එහෙයින් මොනර සිරිය සේ ම සෝමාවතියේ වල් අලින්ගේ නිරන්තර දසුනද අපේ හේන් ජීවිතයට අලංකාරයක් ගෙන දුන්නේය.මේ හේන් නඩයේ වැඩිදෙනෙකු දක්‍ෂ වෙඩික්කරුවෝ වූහ.  වසර තිහකට අධික කාලයක පටන් සෝමාවතී වනාන්තරයේ දඩයම් කළ ජෝන් මාමාගේත් මයිකල් අයියාගේත් ඇසුර නිසා සෝමාවතී වනාන්තරය තුළ නිතර නිතර සංචාරය කිරීමේ අවස්ථාව මට උදා විය.

සෝමාවතී වනාන්තරය අභ්‍යන්තරයේ පිහිටි පවන, කොමනච්චිය, සින්නවිල්ලුව හා කුරිඤ්ඤංමුණේ යන වනගත ප්‍රදේශ ඔවුන්ගේ ප්‍රසිද්ධ දඩබිම් බවට පත්ව තිබුණේය.  මහවැලි ගංගා ඩෙල්ටාවේ අපශාඛා ජාලය මැද පිහිටි පෝෂිත තැනිතලාවකින් අලංකාර වූ මේ බිම් පෙදෙස් වෙත අදත් කෙනෙකුට ලෙහෙසියෙන් ලඟා විය නොහැකිය.  එහෙත් 1930 වැනි ඈත කාලයක පටන්ම ජෝන් මාමලා සෝමාවතී වනාන්තරය තුළ දඩකමින් රජකම් කළහ.  ආශීර්වාදන්, සීරාලන්, පත්තකුට්ටි වැනි ද්‍රවිඩ මිතුරෝ රැසක් ද ඔවුන් හා වන අරණේ සම ඇසුරේ සහජීවනයෙන් කල් ගෙවුහ.  එකල අල්ල-කන්තලේ ගොවි ජනපද ව්‍යාපාරය පවා ආරම්භ වී නොතිබුණේය.එහෙයින් ද්‍රවිඩ- සිංහල මිත්‍රත්වයට හානි ගෙන දෙන බාහිර බලවේග කිසිවක් එදා කොට්ටියාරම් පත්තුවේ නොවීය.  සාමය එහි නිරන්තරයෙන් බැබලිණ.

නැගෙනහිර ප්‍රදේශයට ඊසානදිග මෝසම් වැසි ඇද හැලෙන ජනවාරි මාසයේ එක්තරා දිනයක සිරිමංගලපුරෙන් ගමන් ආරම්භ කළ අපි සිත්තාරු වනගත ප්‍රදේශය ඔස්සේ කොමනච්චිය බලා යමින් සිටියෙමු.  වැසි ජලයෙන් ගොහොරු වූ කරත්ත පාර කැලෑ ගමනකට සුදුසු තත්ත්වයක නොවීය.  අල්ල - කන්තලේ මාවත දෙපස සරුවට වැඩෙන තණගොමුවල රස බැලීමට එන අලින්ගේ පයට පෑගී කැඩී බිඳී යන කරත්ත පාර ඒ වැසි සමයේ මඩ තලපයක් බවට පත්ව තිබුණේය.  මිනිසෙකුට පයින් ගමන් කිරීමට බැරි තරමට පාරේ වලවල් හෑරී ජලය පිරී තිබිණ.  වැසි දියෙන් බරව පහළට නැමෙන ගස්වල අතු රිකිලි අලින්ගේ නිරන්තර ප්‍රහාරයට ගොදුරු වෙයි.  තැන තැන කඩා බිඳ දමා ඇති එවන් අතුවලින් පාරේ අවහිරය තවත් වැඩිවී ඇත.  මේ කුමන බාධක තිබුණද සවියෙන් ද ජවයෙන් ද බලසම්පන්න කින්නියා ගොන් දෙන්නාගේ කරට කරත්තයේ වියගස බරක් නොවීය.  හාල් හා ලුණු මුට්ටාවලට අමතරව මිනිසුන් හය දෙනෙකුගේ බරද කරත්තය දැරීය.  එහෙත් කොළපතක් වැල්ලේ ලිස්සා යන්නාක් සේ පහසුවෙන් ගොන්දෙන්නා කරත්තය ඉදිරියට ඇදගෙන යති.

වැහි වළාකුලින් බර අහස හිරු සඟවා තැබීය.  සිවනාදන් කරත්තය දැක්කයි.  කිසිදු විධානයකින් තොරව ගොන් දෙන්නා සුපුරුදු මාවතේ නිදහසේ ගමන් කරති.  අඩි දෙකකට වැඩි දිගින් ද තියුණු තුඩගින් ද යුතුව සෘජුව ඉහළට වැඩුණු උන්ගේ අං යුගලයන් කරත්තය පැද්දෙන තාලයට හිස මත රුකුල් පදියි.  තණ ඇට සුරන වලිකුකුළන් කරත්තය දැක බියපත්ව හනික දිව ගොස් පඳුරු අස්සේ හැංගිමුත්තන් කෙළින විට පිල්බර මොනරු ශිව දෙවිඳුන්ගේ ගොන් වාහනය දුටු කලෙක මෙන් විස්මයෙන් කරත්තය දෙස බලා සිටිති.

පෙරවරු දහය පමණ වන විට අපි සිත්තාරු වෙට්ටය අසලට ලඟා වීමු.  " වෙට්ටය " යනු ද්‍රවිඩ වචනයකි.  එහි තේරුම "නිසරු තණ පිට්ටනිය" යන්නය.  එනමුදු සිත්තාරු වෙට්ටය වඩාත් සමාන වන්නේ විල්ලුවකට හෙවත් වගුරු වනාන්තර භූමියකටය.  මහවැලි ගඟේ අපශාඛාවක් වන මදුර ආර මහවැලි ඩෙල්ටාව ඔස්සේ ගලා අවුත් මේ සිත්තාරු වෙට්ටය මත සුවිසාල වගුරු බිමක් නිර්මාණය කරමින් එහිම අතුරුදහන් වෙයි.  එහෙයින් සිත්තාරු වෙට්ටය වසරේ සැමදා දියලු වගුරු ජලයෙන් පොහොසත් ය.  අලින්ගේ ජනප්‍රිය ආහාරයක් වන බොරුපන් මෙහි සරුවට වැඩේ.  සෝමාවතියේ වල් අලින්ට යහමින් ගොදුරු සැපයීමට සිත්තාරු වෙට්ටය සමත්වී ඇත්තේ මේ නිසාය.  වගුරු දියේ බැස බොරුපන් බුදින අලින්ගේ දර්ශනය නිසා සිත්තාරු වෙට්ටය හරිම අලංකාර ය.  මහවැලි ගඟ උතුරා පිටාර ගලන සමයට එය වඩාත් දැකුම්කලු ය.  කරවටක් දිය ගිලුණු අලි පුංචන් අලි අම්මලාගේ වල්ගාවල එල්ලීගෙන දිය මත පිහිනා යන රඟ මනරම් ය.

සිත්තාරු වෙට්ටය මැද කරත්තය නතර කෙරිණ.  අපි කවුරුත් හනික විමසිලිමත් වීමු.  ජෝන් මාමා ධ්‍යානයකට සම වැදුණාක් සේ වෙට්ටයේ ඈත කෙළවර දෙස බලා සිටියේය.  අඩසුන් කෙසින් පුළුල්ව ගිය ඔහුගේ නළල් තලය සිය තීක්‍ෂණ දෙනෙතේ දීප්තියට කදිම පසුබිමක් ගෙන දුන්නේය.  ඔහු සතු අඩ සිය වසක වනගත දිවියේ අත්දැකීම් ඒ නෙත් සඟල මත මනාව සටහන් වී තිබේ.  එය තේරුම් ගනු වස් අපි නිරතුරු ඔහුගේ ඉරියව් නිරීක්‍ෂණය කිරීමට පුරුදුව සිටියෙමු.  කරත්තය නතර කරන ලෙස ඔහු සිවනාදන්ට පැවසුවේ නිකම් ම නොවේ.  බොරුපන් තලාව මැද විසාල අලි රංචුවකි.  බැලු බැල්මට එය සාමාජිකයන් හතලිහකින් පමණ සමන්විත විනැයි අපට සිතිණ.

ජෝන් මාමා අනුගමනය කළ අපිද නිසොල්මනේ කරත්තය මතට වී ඇසිපිය නොසලා බලා සිටියෙමු.  කිසිදු අන්තරායක සේයාවක් අප තුළ නොවීය.  මන්දයත් ඒ වන විටත් අප කාගේත් සිත්සතන් සෝමාවතී වනාන්තරයේ හුදෙකලා වූ නිර්මලත්වයට අනුගත වී තිබුණේය.  එක්වරම මොනරෙක් විලාප තැබීමට පටන් ගත්තේය.  ගල් රූ සේ අප නිසල වුව මොනරාගේ සියුම් දෙනෙතින් අපේ ගත සඟවා ගැනීම වනාන්තර පරිසරයකදී කෙසේවත් කළ නොහැකිය.  උගේ නෙත හා සවන ඒ තරමටම බාහිර පරිසරයට සංවේදී ය.

මොනරාගේ විලාපය සිත්තාරු වෙට්ටය කැලඹීය.  තැන තැන ඉදිකළ හරිත කූඩාරම් සේ වෙට්ටයට අලංකාරය ගෙන දුන් වල්බෙලි ගාල් ඒ හඬින් සලිත වූ බවක් පෙනිණ.  දළ දළති වල් ඌරෙක් වෙට්ටය හරහා පිම්මේ දුවගෙන ආවේය.  ඌ පළා එන මග අප සිටි ස්ථානයට වඩාත් ආසන්න බව දුටු මයිකල් අයියා නොපමාව තුවක්කුව අතට ගත්තේය.  දඩයමට හුරුපුරුදු ඔහුගේ දෑතේ ස්වභාවය එයයි.  එහෙත් ජෝන් මාමා ක්‍ෂණයෙන් ම මයිකල් අයියාට සැර කළේය.

" එපා වෙඩි තියන්න.  වෙට්ටේ අලි ඉන්නව පේන්නෙ නැද්ද?"

මයිකල් අයියා තුවක්කුව පහත හෙළීය.  දිව ආ වේගයෙන්ම කරත්තය පසු කර ගිය වල් ඌරා අප බලා සිටියදීම වෙට්ටය කෙළවරේ ඇති තවත් වැල් බෙලි ගාලක් තුලට රිංගා ගත්තේය.  මේ වල් බෙලි ගාල් සෝමාවතී වනාන්තරයේ ජීවත් වන වල් ඌරන්ගේ දිවා ලැගුම් හල් ලෙස ප්‍රසිද්ධය.  එතුළ යහමින් පවතින අඳුරටත් සිසිලසටත් වල් ඌරෝ දැඩි මනාපයක් දක්වති.

අහසේ වැහි අඳුර තවතවත් වනාන්තරය මතට පහත් වෙමින් තිබුණේය.  වල් ඌරාගේ සම්ප්‍රාප්තියෙන් දැහැන බිඳුණු ජෝන් මාමා යළිත් මයිකල් අයියා ඇමතීය.

පේනවා නේද මයිකල් අලි රංචුව වෙට්ටේ මැද්දට එන හැටි.  ඌරට වෙඩි තිබ්බ නං උන් තවත් කලබල වෙනවා.  බලාපං රංචුවේ පැටවු කීදෙනෙක් ඉන්නවද කියලා!  දඩයමක් දැක්ක හැටියෙ කලබල වෙන්න එපා."

ජෝන් මාමා කී කතාව ඇත්තකි.  මොනරාගේ විලාපයත් සමග අලි රංචුව වෙට්ටය මැද එළිමහන් භූමිය වෙතට ඇදෙන්නට වුහ.  නොපමාව ගමන් ආරම්භ කරන්නට ජෝන් මාමාගෙන් අණ ලැබිණ.  තෝන් ලණුව බුරුල් කළ සිවනාදන් ගොනුන්ගේ ඉකිලි කිති කැවීය.  චිරි! චිරි! හඬින් මඩ කපාගෙන කරත්තයේ රෝද පට්ටම් ඉදිරියට ඇදුණේය.  ගමනට සුබ පතන්නට මෙන් කුංච ගර්ජනා හඬක් ගුවනට නැගිණ.  කරත්තයෙන් බිමට පැනගත් මම සිත්තාරු වෙට්ටයේ පහස දෙපතුලට දැනෙනු වස් කරත්තය පසුපසින් ගමන් කළෙමි.

එහෙත් අපට වෙට්ටයේ සීමාව පසුකර යන්නට ඉඩක් ලැබුණේ නැත.  වනපෙත කම්පිත කරවමින් බියකරු සුළං කෝඩයක් ඇදී එන්නට පටන් ගත්තේය.  වැහි අඳුරින් බර අහස තුරු හිස් මත කඩා වැටෙන්නට තතනනු පෙනේ.  තොරතෝංචියක් නොමැතිව වඳුරන් කෑ ගසන හඬ ඇසේ.  පැටවුන් බඩ බැඳගත් වඳුරු අම්මලා පලු, මාදං, දිවුල්, කළුමැදිරිය ආදී උස් තුරු මතට වී අතු කඳන් දැඩිව බදාගෙන සුළඟේ වේගයට ප්‍රතිචාර දක්වති.  පිල් කළඹ හකුළාගත් මොනරු තුරු මතින් බිමට පැන හනික දුව ගොස් පඳුරු ගොමු යට රැකවරණය සොයති.  වැස්සේ ආශීර්වාදයට පෙහෙවන වනපෙත උද්දාමයේ ජයසක් හඬ පතුරුවමින් රැඟුම් දෙන්නට විය.  ගොනුන්ගේ ගමනේ ලතාවට වැස්ස බාධාවක් විය හැකි බැවින් විසල් තුරු සෙවණක් යට කරත්තය නතර කර තැබූ අපි වැස්සට මුහුණ දෙනු වස් කඩිමුඩියේ සුදානම් වීමු.

කූඩාරම් ඉටි රෙද්ද කරත්තයේ දෑ ඇඳි මතින් දිග හළ අපි තාවකාලික වැසි ආවරණයක් සකස් කර ගතිමු.  කරත්තය තුළ ඇති ආහාර කළමනා වැසි දියෙන් ආරක්‍ෂා කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් විය.  අවම වශයෙන් සති දෙකක් වත් කැලේ නතරවීම අපේ බලාපොරොත්තුව වී තිබුණේය.  තුවක්කු දෙකක් හා පතුරම් පෙට්ටි කිහිපයක් අප සතු විය.  අධික වැසි සමයට සෝමාවතී වනාන්තරය තුළ ඇති එකම අවදානම හදිසි ගංවතුර තර්ජනයයි.  එයින් ආරක්ෂා වනු වස් සුදුසු උස් බිම් ප්‍රදේශ වනාන්තරයේ ඇතත් අප දැන් නතරවී සිටින්නේ පහසුවෙන් වතුරට යට වන පහත් තැනිතලා ප්‍රදේශයකය.  එහෙයින් ඔනෑම මොහොතක ගමනට සූදානමින් ගොන් දෙන්නා තවදුරටත් කරත්තයේ විය බර කර දරාගෙන බලා සිටියහ.

සැණෙකින් වැසි කඩා හැලෙන්නට පටන් ගත්තේය.  චණ්ඩ මාරුතය වැසි දිය කඳ අඹරා පොළොවට දමා ගසයි.  කොළ සැලෙන හඬය.  අතු බිඳෙන හඬය.  දිය ගැටෙන හඬය.  වනවාසී සතා සීපාවාගේ විලාප හඬය.  වනපෙත එකම ගාලගෝට්ටියක් බඳු විය.  සුළඟේ වෙළුණු හිරිකඩ කරත්තය වටා කැරකෙමින් අප දෙස එබී බලයි.  අපි තවතවත් කරත්තය තුළට ගුළි වීමු.  වැසි දියට නිරාවරණය වූ ගොන් දෙන්නාගේ සිරුරු වරින්වර සීතලට තිගැස්සෙයි.  ගත උණුසුම් කරගනු වස් කුර පා පොළොවේ හප්පමින් උන් ඊට ප්‍රතිචාර දක්වනු පෙනේ.  තාවකාලික ඉටිරෙදි පියැස්ස මත රැඳෙන වැසි ජලය දියලබ්බක් සේ බරව කරත්තය ඇතුළට පහත් වෙයි.  චාලිත් මයිකල් අයියාත් දෑත් ඔසවා වාරු දී ඒ දිය පිටතට හලා දමති.

එක්වරම හෙණ හඬක් පුපුරා ගියේය.  වැස්සේත් සුළඟේත් අඳුරු අහසේත් බියකරු බව තව තවත් වැඩිවිය.  විජ්ජුලතාවෝ වරින්වර වනගැබ පහන් කරන්නට පටන්ගත්හ.  ගිනිකණ වැටෙන අපේ නෙත් යුග වරෙක නිලංකාර වෙයි.  අහස පුපුරාගෙන පහළට කඩා වදින විදිලිය රේඛා අලි ඇතුන් කෝප ගන්වා ඇත.  ඈතින් ඇසෙන කුංච ගර්ජනා හඬ නොකඩවා සුළඟට ජීවය කවන්නේ විදිලි ගිනිදැල් නිවාලන්නට අහසට සක් පිඹින්නාක් මෙනි.

" වැස්ස බලබලා පිස්සු ගමනක් අපි මේ ආවේ" ජෝන් මාමා පැවසීය.

" කුරු ගඟට යා ගත්ත නං ප්‍රශනයක් නෑ.  අපි හිතුවට වඩා ඉක්මනට වලාව කඩා හැලුණා." මියිකල් අයියා පිළිතුරු දුන්නේය.

කුරු ගඟ කදිම ආරක්‍ෂිත ස්ථානයකි.  එහි ඇති උස් ගල්තලාව වන සැරියකට සැබෑ ගිමන් හලකි.  හදිසි වැහි කෝඩය ඇද නොවැටෙන්නට තවත් සැතපුම් හයක ගමනකින් ඉක්බිති අපට පහසුවෙන්ම කුරු ගඟ අසබඩට ලඟාවීමට හැකියාව තිබිණ.

සෝමාවතී වනාන්තරයට වැසි සමය ආශීර්වාදයකි.  දීර්ඝ නියං කාලයක නිමාව දකින මහවැලි නදිය මාස අටකට අධික කාලයක් අවසානයේ ගඟ දිය කඳ පුම්බාගෙන ඉහළට අවුත් එතෙක් කාස්ටකව පැවති ඇගේ සුමුදු වැලිතලා හා විල්ලු සම්පත පෝෂණය කරන්නේ ඊසානදිග මෝසම් සුළං සක්‍රීය වන දෙසැම්බර් පෙබරවාරි අතර කාලයේදී ය.  සතුටින් ඉපිල යන වනසතුනට මෙය අරුමැති සමයකි.  වනපෙතට පෙම් බඳින මිනිස් සිතකට බිය සතුට කැටි කළ අත්දැකීම් සම්භාරයකට මහඟු අවස්ථාවකි.  සුන්දර ජීවිතයකට නව මං එළිපෙහෙළි කරවන්නකි.  තැන තැන වනවිල්ය.  කෙළිදෙලෙන් රඟන අලි ඇතුන්ය.  ගඟ දෙපස වැලිතලා මත හිරුරැස් තපින කිඹුලන්ය.  විල්ලු ජලයේ බැස මඩ කලතමින් ගොදුරු සොයන වල් ඌරු ගණය.  ගඟ දිය යන රඟ නරඹමින් අහස් කුස සරසන විහඟුන් ය.  මෙලෙසින් සෝමාවතී වනාන්තරයට ආවේණික වූ සුවිශේෂ පරිසර සිරියක් මේ කාලයට අපට දැකගැනීමට පුළුවන.

වේලාව පස්වරු දෙක පසුවී තිබිණ.  වැස්ස ටිකෙන්ටික තුරල් වන බවක් පෙනෙන්නට විය.  පැය එකහමාරකට අධික කාලයක් පුරා ඇද හැලුණු අනෝරා වර්ෂාව දිවා ආහාරය පිළියෙල කර ගැනීමට තිබූ අවස්ථාව ද අපට අහිමි කළේය.  තවදුරටත් ප්‍රමාද වීමේ තේරුමක් නැතැ'යි සිතූ ජෝන් මාමා පොද වැස්සේම ගමන් ආරම්භ කිරීමට කල යෝජනාවට කාගේත් අනුමැතිය ලැබිණ.  ගොනුන්ගේ සීතල ගතට නව ජවයක් ලැබුණේය.  වැසි දිය බේරෙන තුරු අතු යටින් වැටී ඇති කැලෑ පාර දිගේ කරත්තය දැන් ඉදිරියට ඇදෙයි.  සුළඟේ වේගය මඳක් බාලවී ඇතත් අහසේ අඳුරුබර ගතිය තවත් වැහි කෝඩයක පෙරනිමිති පහළ කළේය.  ඊට පෙර කුරු ගඟට ළඟාවීමේ බලාපොරොත්තුවෙන් සිවනාදන් ගොනුන්ගේ ගමන ඉක්මන් කළේය.

මන්දාරම් අඳුරේ ගිලුණු වනපෙත පාදාගෙන ඉදිරියට ඇදෙන කින්නියා ගවයන් දෙදෙනාගේ ධවල සක් පැහැය පෙරමග පහන් කරන දීපසිකාවක් සේ අප නෙත් අබිමුව බබලන්නට විය.

ගමනට දිරිදෙන අනේක රසකතා එකිනෙකාගේ මුවින් ගිලිහෙයි.  ඒ අතරවාරයෙහි චාලි කැත්තක් ගෙන කරත්තයෙන් බිමට පනින්නේ මග හරහට වැටී ඇති ගසක අත්තක් කපා ඉවත් කිරීමටය.  ඒ පෙරදින රැයේ අලි ඇතුන් විසින් කඩා දමන ලද වෙලං ගස්ය.  නැතහොත් එදින අපේ ගමනට බාධාකල සුළං කෝඩයේ ප්‍රතිපලය.  හිරු මුවා කල අහස වනවාසීන් මුළාවට පත් කර ඇති බවක් පෙනේ.  රෑ බෝවීමට ආසන්න වී ඇතැ'යි සිතා වලිකුකුළෝ හඬ තලති.  මුව පොව්වෝ "කෝව්" ගසති.  රෑහියෝ සිය සොනවතින රාවයෙන් අප කන් දී සුරති.

ජෝන් මාමා කටහඬ අවදි කළේය.

" මයිකල්, පාරේ අලි ඉන්න පුළුවං.  ඉස්සරහට ගියොත් හොඳයි."

සිවනාදන් කරත්තය නතර කළේය.  මයිකල් අයියා තුවක්කුවත් රැගෙන කරත්තයෙන් බිමට බැස්සේය.  කරේ තිබුණු තුවාය ගෙන තමා හිස වටා තලප්පාව බැඳගත් ඔහු ඇඳ සිටි සරම ඔසවා කැසපට නගා ගත්තේය.  ඉන්පසු සුපුරුදු පරිදි දෙතොල් අතරෙහි රැඳවු බීඩිය දල්වාගෙන රස කර උරා ඉහළට ඇද දුම් ගුළියක් ගුවනට මුදා හැරියේය.  අප ගෙවා ආ මග දෙසට දුම් වළලු පාවී ගියේය.  එදෙස බැලු ඔහුගේ මුවගෙහි සිහින් සිනහවක් මතුවිය.  සැණෙකින් ඇහිබැම සැලූ ඔහු සිය සතුට ප්‍රකාශ කළේ සුළං හමන දිසාව යහපත් බවට ඉඟි කරමිනි.

කරත්තයට අඩි තිහක් පමණ ඉදිරියෙන් මයිකල් අයියා පා ගමනෙහි යෙදෙයි.  අවදානම් සහගත කැලෑ ගමනක යෙදෙන විට අනුගමනය කරනු ලබන පිළිවෙත මෙයයි.  ජෝන් මාමාගේ කැලෑ අනාවැකි කෙදිනකවත් වරදින්නේ නැත.  සැතපුම් භාගයකට වැඩි දුරක්වත් යන්නට අපට ඉඩක් නොලැබිණ.  ඉදිරියෙන් යන මයිකල් අයියාගෙන් හස්ත සංඥාවක් ලැබුණේය.

සිවනාදන්ගේ දෑතේ රැඳුණු ගොනුන්ගේ තෝන් පට පසුපසට ඇදුණේය.  හෝව්!...හෝව්!... සිවනාදන්ගේ විධානයට ගැල් ගවයෝ අවනත වූහ.  ජෝන් මාමා කරත්තයෙන් බැස හනිකට මයිකල් අයියා අසළට ගියේය.  දෙදෙනාගේ කසුකුසුව අප තුළ කුතුහලයක් ඇති කළේය.  අපි එකිනෙකා කරත්තයෙන් බැස ඔවුන් සිටි ස්ථානයට ගියෙමු.  කුඩා වංගුවක් සහිත එම ස්ථානයේ සිට කරත්ත පාර සෘජුව ඉදිරියට විහිදී තිබිණ.  කැලෑව අද්දරට මුවා වන ලෙස ජෝන් මාමා අපට නියෝග කළේය.  අලි පැටවකු මැදි කරගත් අලි දෙමහල්ලෝ පාර මැද සිටගෙන සිටිති.  කැලෑව තුළ අලි රංචුව සිටින බවට සැකයක් නොවීය.  වැසි දියෙන් බරවූ අතු රිකිලි උන්ට යහමින් ගොදුරු සපයන බවක් දක්නට ලැබිණ.

අලි රළ කිනම් දිසාවකට ගමන් කරන්නේදැ'යි දැනගැනීමට ජෝන් මාමා වඩාත් විමසිලිමත් වුයේය.  මන්ද උන් අප සිටින දෙසට පැමිණෙන්නේ නම් කරත්තය ආරක්‍ෂා කරගනු වස් උන්ගේ ගමන වැලැක්විය යුතුව තිබිණ.  මග දිගට ගොදුරු බුදිමින් අලි රංචුව තාමරවිල්ලුව දෙසට යනු ඇතැයි මයිකල් අයියා කීය.  තාමරවිල්ලුව යනු අලින්ගේ ජනප්‍රිය ගොදුරු බිමකි.  එය පිහිටියේ අප යන ඉදිරි මගෙහි තවත් සැතපුමක් පමණ ඈතින්ය.  එසේ වෙතොත් අපේ ගමන තවත් ප්‍රමාද විය හැකිය.  කරත්ත පාර දිගේ ඇදෙන අලින්ගේ මන්ද ගමන් විලාසයට අනුව අපටද සෙමෙන් සෙමෙන් කරත්තය දක්කාගෙන යෑමට සිදුවනු නිසැකය.

" දැන් කොහොමටත් පරක්කු වෙලා තියෙන එකේ අපි මෙතැන නතර වෙලා දවල්ට උයමු.  වතුර ප්‍රශ්නයකුත් නැහැ නොවැ."

මේ වන විට පොද වැස්ස පහව ගොස් තිබුණෙන් චාලිගේ අදහස කවුරුත් අනුමත කළහ.

වැසි දියෙන් තෙමුණු ලී කොටයක් මතට පොරෝ පහර එල්ල කරන සෙනෙවිරත්න වියළි දර සපයා දුන්නේය.  එමගින් ගල්තලය මත පහසුවෙන්ම ලිප ගිනි දැල්වීමට චාලිගේ කඩිසර දෑත් සමත් විය.  ප්‍රථමයෙන් ම උණුසුම් තේ කහට කෝප්පයකින් ගත සිත ප්‍රාණවත් කරගැනීම කාගේත් අභිප්‍රාය වූයෙන් චාලි වතුර කේතලය ළිප මත තැබීය.  ලිග්ගල් අතරින් ගිනිදලු ඉහළට නැගුණේය.  ප්‍රණීත තේ කහට පානයක් අප එකිනෙකා අතට පත්වීමට වැඩි වේලාවක් ගත නොවීය.

එතෙක් මග අවුරා සිටි අලි රංචුව කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදී නොපෙනී ගියහ.  වැහි බීරුම මැද හුදෙකලා වූ වනාන්තරය දෙස එබී බැලීමට වරම් නොමැති හිරු අඳුරුබර අහසේ වලාකුළු තුළ තවදුරටත් සැඟව සිටියේය.  ආශීර්වාදන් තුවක්කුවත් රැගෙන වනයේ අහුමුලු විපරම් කර බලන්නට ගියේය.  තුවාය ගෙන හිස වටා බැඳගත් දේවරාජා මන්නාපිහිය සුරතින් දරාගෙන කටු අකුල් අස්සෙන් වනාන්තරය තුළට රිංගුවේ හනික පැන දුවන අඟ මුවකුගේ විලාසයෙනි.  වනයටත් ජවයටත් ශූර දේවරාජා බිය නොහඳුනන තරුණයෙකි.  ඔහු සමග වනාන්තරයේ ඇවිදීම මට ඉමහත් තෘප්තියක් ගෙන දුන්නේය.

චාලිත් සෙනෙවිරත්නත් දිවා ආහාරය පිසීමෙහි නියැළී සිටිති.  අඩ ක් ගල්තලාව මත සැතපුණු ජෝන් මාමා කළු සුරුට්ටුවක් උරමින් සිටී.  මඳක් ඉහළට එසැවුණු ඔහුගේ හිස සුරත්ල මත රැඳී ඇත.  වරින්වර මුවගින් සුදු දුම් රැලි මුදාහරින ඔහු වනපෙත දෙසට නෙත් යොමු කරන්නට අමතක කරන්නේ නැත.  අහස කඩා වැටුණත් කම්පා නොවන මයිකල් අයියා වනාන්තරයක් තුළ දිවා රැයේ වෙනස හඳුනන්නේ නැත.  ඔහුගේ දෙනෙත් ඒ තරමටම වනපෙතට හුරුපුරුදුය.  ඔහු සිතන දෙයක් කෙදිනකවත් වරදින්නේ නැත.

" චාලි! ආශිර්වාදන්ට දඩයමක් හොයාගන්න බැරිවෙන්නෙ නෑ බන්, ටිකක් බලමු." මයිකල් අයියා කීවේය.

චාලි මයිකල් අයියාගේ කීම අනුමත කරමින්ම උතුරන බත් හැළියේ වැස්ම ඉවත් කළේය.  සුදු පෙන පිඬු නගමින් බත් මුට්ටිය සිනාසෙයි. 

"ඩෝං" ගා වෙඩි හඬක් නැගිණ.  ක්වෑවෝ...ක්වෑවෝ... යනුවෙන් මොනරෙක් විලාප තැබීමට පටන් ගත්තේය.  තුවක්කුව උරමත රඳවාගත් ආශිර්වාදන් වැසි දියෙන් ගොහොරු වූ විල්ලු තලාව මැදින් අපහසුවෙන් පියවර මැන එන අයුරු අපි දුටුවෙමු.  ඔහු රැගෙන ආ පණිවිඩය මයිකල් අයියාගේ මුහුණේ සතුටු සිනහවක් ජනිත කළේය.  දිවුල් පැසක් උරලා ගත් දෙවාරාජා ද වනාන්තරය අතරින් මතුවිය. 

නිම්හිම් නැති සතුටින් ඉපිල සිටි චාලි විගසින් තේ පෝච්චිය රත්කර ආශිර්වාදන් ඉදිරියේ තැබීය.  ඒ ඔහු කළ මෙහෙයට කළගුණ සැලකීමට විය යුතුය.  සුළු වේලාවකට පසුව සෙනෙවිරත්න හා දේවරාජා ද කැටුව ආශිර්වාදන් යළිත් විල්ලුව දෙසට ගියේය.  ගල්තලාව මත දණ බා වාඩිවූ මයිකල් අයියා පිහියේ පන්නරය උරගා බලන්නට පටන් ගත්තේය.  කල්වේලා ඇතිවම තම මෙහෙයට සුදානම් වීම ඔහුගේ සිරිතකි.  පා සතර එක්කොට බැඳ පොල්ලක එල්ලාගත් තඩි වල්ඌරු නාම්බකු කර තබාගත් පිරිස ආපසු පැමිණියහ.  ආශිර්වාදන්ගේ දඩයම පරීක්‍ෂා කර බැලු ජෝන් මාමා " මේ වැස්සේ ඌරො වෙඩි තිබ්බ නං කරන දෙයක් ඉක්මනට කරපල්ලා.  රෑ වෙන්න කලින් කුරු ගඟට යන්න ඕනෑ." යැයි කීවේය.

මයිකල් අයියා ආශිර්වාදන් දෙස බලා නෙතඟින් ඉඟියක් කළේය.  ගල්පොත්ත අබියස ගිනිමැලයක් දැල්වෙන්නට වැඩි වෙලාවක් ගත නොවීය.  සෙනෙවිරත්නගේ කඩිසර දෑතේ රැඳුණු පොරොව වියළි පලු කඳකට තඩි බායි.  එමගින් ගිනිමැලය වරින්වර පණ පෙවෙයි.  තෙත් බරිත දර කොට කිහිපයක් ද චාලි මැලයට එක් කළේය.  සුදු දුම්වලා නගමින් උණුසුම් ගිනිදලු රඟ දෙන්නට පටන් ගත්තේය.  පුළුටු ගඳට ඇදෙන මළපෙරේතයන්ට කෙරෙන ආරාධනයක් සේ මයිකල් අයියාගේ සවිබල දෑත් ඌරු කුණ ගිනිමැලය මැද ඔබ මොබ පෙරළයි.  වනයේ සුන්දරත්වයට වින කැටුණු ඒ අසුන්දර දර්ශනය දෙස තුරුපත් නිසලව බලා සිටියා විය හැකිය.  කාර්යය අවසන් වනවිට මයිකල් අයියාගේ ගත දහඩියෙන් නැහැවී තිබුණේය.

දිවා අහාරය නිමා කර හැකි ඉක්මනින් ගමන් ආරම්භ කිරීමට ජෝන් මාමා යුහුසුළු විය.  කණ්ඩායම් සගයෝ ද තම තමන්ගේ යුතුකම් නොපිරිහෙළා ඉටු කළහ.  චාලි පිළියෙල කළ දිවා ආහාරය කාගේත් සතුටට හේතු විය.  කරට ගත බෙරය කෙසේ හෝ ගැසිය යුතු නිසාදෝ ආශිර්වාදන් හා මයිකල් අයියා සෙනෙවිරත්නගේ ද සහයෙන් ඌරු දඩයම සමග ඔට්ටු වී අවැසි කටයුතු සියල්ල අවසන් කළහ.  දඩයම තෘප්තියක් වුවත් දඩයක්කරුවා අත්විඳින දුක ඔහුටම බරකි.  දඩයම් ජීවිතයේ ස්වභාවය එයයි.  ලුණු ගල්වා පිළියෙල කළ ඌරු මාංශය ගෝනියක් තුළ කද බැඳිණ.  එය බරින් කිලෝ හැටක් පමණ විය෴

( දඩ සැරියෙන් වන සැරියට. කැමිලස් වනිගසුරිය.  ප්‍රකාශනය: සුරිය ප්‍රකාශකයෝ.2013)