Sunday, January 12, 2020

අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා.

අවුෂ්විට්ස්හි පච්ච කොටන්නා චන්දන ගුණසේකරගේ පළමු පරිවර්තනයයි.  චන්දන ගුණසේකර අප දන්නේ සඳුන් සෙවන බ්ලොගයේ රචකයා ලෙසටය.  ඔහු සාහිත්‍ය සිනමා ටෙලිනාට්‍ය ආදී කලා තොරතුරු සිය බ්ලොගයේ රසවත් කතා ලෙස ලීවේය.   වියෝවූ සෑම කලාකරුවෙක් වෙනුවෙන්ම සිය බ්ලොගයේ ආදරණීය සටහනක් තබන්නට ඔහු නොමසුරු විය.  හැත්තෑව දසකයේ තිරයට ආ චිත්‍රපට නාට්‍ය සහ පළවූ පොත් ඔහු බෙහෙවින් ප්‍රියකලා මෙන්ම ඒවායේ විස්තරද මුල සිට අගටම දැන සිටියා පමණක් නොව ඒවා රසවත්ව අකුරු කළේය. 

පරිපුර්ණ මිනිසෙක් වීම සඳහා චන්දනට අඩුවකට තිබුණේ පොතක් පළ නොකිරීම පමණය, දැන් එයද ඉටුවී ඇත.   හදිසියේම චන්දනව මුණ ගැසෙන තුරු ඔහුත් මමත් බ්ලොග් වලින් පමණක් දන්නා පුද්ගලයා නොදන්නා චරිත වීමු.  ඔහු මට මුණගැසුනේද අහම්බෙන් අපූරු ආකාරයකටය.  කලකට පසු කොළඹ ගිය වෙලේ මිළදී ගන්නෙමි යි සටහන් කරගෙන තිබු පොත් අතර චන්දනගේ අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා පොතද විය.  පොත්හල් කීපයකම කරක් ගසා මම අවසානයට ගොඩවුනේ සුරිය පොත්හලටය.  එහි චන්දන සිටියේය.  එහෙත් චන්දන නොහඳුනන මට ඔහුව හඳුන්වා දුන්නේ ලේඛක චුලාභය ශාන්ත කුමාර හේරත් සහෘදයාය.  එදා චුලාභයලා සුරිය පොත්හලට පැමිණ තිබුණේ ද චන්දන මුණගැසෙන්නටමය.  අන්තිමේදී මා ගන්නට ගිය පොත කතුවරයාගේ අත්සනත් සහිතව ලබා ගන්නට මට හැකි විණි.

අවුෂ්විට්ස් හි පච්චකොටන්නා යනු Heather Morris රචිකාවියගේ The Tattooist of Auschwitz පොතේ සිංහල පරිවර්තනයයි.  සර්බියානු යුදෙව්වෙකු වූ ලලී එහි කතා නායකයා වන අතර ඔහුගේ පෙම්වතිය ගීටාය.  අතිශය භයංකර වද කඳවුරක මරණය පෙනි පෙනී ගලායන ඔවුන්ගේ ආදර කතාව පොතෙන් විස්තර කෙරේ.  කෙසේ වුවද ලලී පුදුමාකාර වාසනාවන්තයෙක් බව මට සිතුණේ අප අසා දැක ඇති අන්දමට මරණය සැම තැනම පැල් බැඳගෙන ඇති මළ පුඩුවක් වූ අවුෂ්විට්ස් කඳවුරේ දී ලලීට කෑම බීම මුදල් හදල් පමණක් නොව ලිංගික සැපතද එමතු නොව මරණය පෙනි පෙනී ජීවිතයද හිමිවූ බැවිනි.

මෙය චන්දනගේ පළමු පරිවර්තනය වුවද එහි කිසිසේත්ම ආධුනික බවක් පෙනෙන්නට නොමැති බව කියන්නට මම කිසිසේත්ම නොපැකිළෙමි.  ඉතා සුමටව ගලා යන කතාව කියවන්නාට කිසිසේත් ඉහිලක් නොදී අවසානය දක්වාම එක හුස්මට කියවන්නට පොළඹවයි.  ඊලඟ ලංකා සංචාරය වනවිට තමන්ගේම ස්වතන්ත්‍ර නිර්මාණයක් එළිදක්වන්නට චන්දනට හැකිවේවා යනු මගේ ප්‍රාර්ථනයයි. 

දැන් අපි චන්දනගේ පරිවර්තන කෘතියේ කුඩා කොටසක් රස විඳිමු.  

"ගීටාගෙන් සමුගත් පසු ලලී ලියොන් හා කට්ටි අංක හතේ තවත් කිහිප දෙනෙකු හමු වුයේය.  එය ගිම්හානයේ ඉතා විසිතුරු දිනයක් වූ අතර හැකි වෙලාවේ වලාකුළු රහිත නිල්වන් අහසේ තේජාන්විතව දිලුණු හිරුගේ රැස් කිරණ විඳීමත් තම මිතුරන් හමුවී සතුටු වීමත් ලලීගේ අභිප්‍රාය විය.  ඔවුහු එක කට්ටියක බිත්තියට පිටුපා වාඩිවී සිටියහ.  ඔවුන්ගේ සතුටු සාමීචිය ඉතා සරල විය.  සයිරන් නලා හඬ ඇසුණු විට, මිතුරන්ගෙන් සමුගත් ලලී, තම කට්ටිය බලා පා එසවීය.  ඔහු ගොඩනැගිල්ලට ළඟාවන විට යම්කිසි අකරතැබ්බයක් සිදුවී ඇති බව ඔහුට ඉවෙන් මෙන් දැනිණ.  රෝමනියානු දරුවන් වටවී බලා සිටියා මිස වෙනදා මෙන් ඔහු හමුවට දිව ආවේ නැත.  ඒ වෙනුවට ඔහු ලඟින් යත්ම ඔවුහු ඔහුගෙන් ඈත් වුහ.  ඔහු ඔවුන්ට ආචාර කළද කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණ.  ඔහු සිය කුටියේ දොර විවර කළ සැණෙකින්ම මේ වෙනසට හේතුව අවබෝධ විය.  ඔහුගේ සයනය පුරා, මෙට්ටය යට සඟවා තිබූ මුදල්,මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට අතුරා තිබිණ.  එස් එස් නිලධාරීහු දෙදෙනෙක් ඔහු බලාපොරොත්තුවෙන් එහි වුහ.  

"මේ ගැන මොකද කියන්න තියෙන්නෙ පච්චේ?"

ලලී නිරුත්තර විය.

ලලීගේ අතවූ ඔලොගුව ඔහුගෙන් උදුරාගත් එක් නිලධාරියෙක් එහිවූ ආයුධ හා තීන්ත බෝතල බිමට දමා එය හිස් කළේය.  ඉන්පසු සොයාගත් වස්තු සම්භාරය එයට පිරවුහ.  ලලී දෙසට රිවෝල්වර අමෝරාගත් ඔවුහු ඔහු දක්කාගෙන යෑමට සැරසුණහ.  ළමයින් දෙපස සිට බලා සිටිද්දී, ලලී මුර භටයන් සමග අහිකුන්ඨික කඳවුරෙන් පිටතට පා එසවුයේය.ඒ ඔහු විශ්වාස කළ ආකාරයට අවසන් වරටය.

ලලී හවුස්ටෙක් ඉදිරියේ සිටගෙන සිටි අතර ඔහුගේ ඕලගුවේ තිබු දෑ මේසය මත අතුරා තිබිණ.

හවුස්ටෙක් එහිවූ වටිනා ගල් කැට හා ස්වර්ණාභරණ එකින් එක අතට ගෙන ඒවා හොඳින් පරීක්ෂා කළේය.  

"උඹට මේව කොහෙන්ද ලැබුණේ?"

ඔහු බිමට හරවාගත් මුහුණින් යුතුවම ලලීගෙන් විචාළේය.

"මට මේවා දුන්නෙ හිරකාරයො."

"කොයි හිරකාරයෝද?"

"මම එයාලගෙ නම් දන්නෙ නෑ."

හවුස්ටෙක් හිස ඔසවා ලලී දෙස තියුණු බැල්මක් හෙළීය. 

"මේවා උඹට දුන්නෙ කවුද කියල උඹ දන්නෙ නෑ?"

"නෑ මම දන්නෙ නෑ."

"ඔව් සර්,එයාලයි මේවා මට ගෙනත් දුන්නෙ. නමුත් මම එයාලගෙ නම් අහන්න ගියේ නෑ."

කෝපයෙන් රතුවූ හවුස්ටෙක් සිය අත මිට මොළවා මේසය මතට වරෙන් වැරෙන් පහරක් ගැසුවේය.  මේසය මතවු මැණික් එකට ගැටී ඉන් අමිහිරි හඬක් නැගිණ.

"උඹ කියන බේගල්වලින් මගෙ යකා ඇවිස්සෙනවා පච්චේ.  උඹේ රස්සාවට නම් උඹ හොඳයි තමයි.  ඒත් මට දැන් සිද්ධ වෙනවා ඒ වැඩේට වෙන කෙනෙක් හොයා ගන්න." ඔහු පරිවාරක නිලධාරීන් දෙසට හැරුනේය.  

"අරගෙන යනව මේකව එකොළහේ කට්ටියට.  එහෙදි මෙයාට දන්නෙ නැති අයගෙ නම් ටික ඉක්මණින්ම මතක් වෙයි."

පිටතට රැගෙන යනු ලැබූ ඔහු ට්‍රක් රථයකට නංවනු ලැබිණ.  ඔහුගේ පපුවට එල්ල කෙරුණු රිවෝල්වර දරා සිටි එස් එස් නිලධාරීහු දෙදෙනෙක් ඔහුගේ දෙපසින් හිඳ ගත්හ.  කිලෝමීටර් හතරක් වූ දුර ප්‍රමාණය ගණන් ගනිද්දී ලලී, ගීටාගෙන් සහ දෙදෙනා දිනෙක එක්ව වාසය කරන්නට මැවූ අනාගත සිහිනයෙන් නිශ්ශබ්දවම සමු ගත්තේය.  දෑස වසාගත් ඔහු, සිය පවුලේ සාමාජිකයින් සැමගේම නාමයන් එකින් එක සිතින් මෙනෙහි කළේය.  ඔහුගේ සොයුරු සොයුරියන්ගේ ඡායා මාත්‍රයන් වෙනදා මෙන් පැහැදිලිව ඔහුට සිතේ මවා ගැනීමට අපහසු විය.  ඔහුගේ මෑණියන්ගේ රුව ඉතාමත්ම පැහැදිලිව ඔහුට පෙනින.  එහෙත් ඔබ ඔබගේ මවගෙන් සමුගන්නේ කෙලෙසද?  තමන්ව මෙලොවට බිහි කළ, හොඳින් ජීවත්වන්නේ කෙලෙසදැයි තමන්ට ඉගැන්වූ මෑණියන්ගෙන්? ඇයගෙන් නම් සමුගත නොහැකි බව ඔහුට හැඟීණ.  ඔහුගේ පියාගේ ඡායා මාත්‍රය ඔහු ඉදිරියේ දිස්වත්ම,හදිසියේ හුස්ම හිරවෙන්නට යන්නාක් මෙන් මුව විවරකොට දැඩි ලෙස හුස්මක් ඉහළට ඇද්දේ එක් නිලධාරියෙකුගේ පිස්තෝලය ඉතා දැඩි ලෙස ඔහුගේ ඉල ඇට මත තෙරපෙන්නට ඉඩ සලසමිනි."

(පිටු 193-195,  අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා, පරිවර්තනය:චන්දන ගුණසේකර, ප්‍රකාශනය: අපූරු පොත්, 2019 )

8 comments:

  1. හා කොහොමද? කලකට පස්සේ වෙලකට බැහැලා තියෙන්නේ.

    ReplyDelete
  2. පරිවර්තනය කියෙව්වා.ලස්සනයි.ඇත්තටම ඒක සරලව ලියලා තිබ්බා.ගොඩක් පරිවර්තන කියවද්දී දැනෙන වෙහෙස නම් දැනුනෙම නැ.

    ReplyDelete
  3. පොත හොයාගන්න විදිහක් නෑ. ඒත් ලිපිය රසවිඳින්න කිසිම බාධාවක් වුනේ නෑ.🤔👌

    ReplyDelete
  4. රනිල් වික්‍රමසිංහ කියන්නෙ මං කැමති චරිතයක් නෙමෙයි. ඒත් අපි අකමැතියි කියලා මිනිහෙකුගේ දේශපාලන හැකියාව සහ නිපුණතාවය අවතක්සේරු කරන්න බෑ. මේ වෙලාවෙ දේශපාලන පිට්ටනියෙ ඉන්න වඩාත් ආකර්ශනීයම චරිතය රනිල්.

    රනිල් මේ මොහොතෙ කරන දේශපාලන සෙල්ලම මං ඉතා ආසාවෙන් බලන් ඉන්න එකක්. ඒක පොඩි ළමයින්ගෙ බෝල පාස් සෙල්ලමක් නෙමෙයි. නිකං සටන් පාඨවලින් ගොඩයන්න පුළුවන් එකක් නෙමෙයි. රනිල් කරන්නෙ මහින්ද රකින එක වගේ කතන්දර දේශපාලන ගැඹුරක් තියෙන ඕන කෙනෙකුට ජෝක්. මොකද දේශපාලනයේදි කිසි කෙනෙක් තව කෙනෙක් රකින්නෙ නෑ. තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කරනවා මිස. ඒක තමයි ඒ විෂයේ හැටි. ජවිපෙ වගේ පක්ෂ විසින් විශ්වාස කරන හොඳ මිනිස්සු කියන කතාව දේශපාලන විෂයට අදාල කතාවක් නොවෙන්නෙ ඒ හින්ද. ඒවා නිකං ආර්ට් වැඩවලට හොඳ කතන්දර. දේශපාලනය කියන්නෙම මිනිස්සුන්ගෙ නරක පැත්තත් එක්ක ගනුදෙනු කිරීමට.

    රනිල් දේශපාලනයේ අන්ත පරාජයකට ලක්වෙලා හිටියෙ. මං වුනත් රනිල් දිහා බලමින් කුරිරු සතුටක් ලැබුවා. ඔය කියන තරම් ස්මාර්ට් මිනිහා අන්තිමට මොනවද කරගත්තෙ කියල උසුළුවිසුළු කළා. රනිල්ගෙ වැදගත්ම දේ තමයි ඉවසීම. බලන් ඉන්න පුළුවන්කම. ජනතා දේශපාලනයේදී තමන් දක්ෂ නැති බව හොඳින්ම පසක් කරගෙන පිට්ටනිය තමන්ට ගැලපෙන මොහ‍ොත දක්වා එනකල් රනිල් නෙට්ෆ්ලික්ස් බැලුවා. ඇත්තටම නෙට්ෆ්ලික්ස්වල ක්‍රවුන් සීරීස් එක‍ දේශපාලන විෂයට කැමති කෙනෙක් බලන්නම ඕන. ඒකෙ චර්චිල් කරන දේශපාලනය මට හරිම ආකර්ශනීය එකක්. කොටින්ම තමන්ගෙම කැබිනට් එක පවා තමන්ව එලියට දාන්න බලන් ඉඳිද්දි කලිසමේ chu යන නාකි චර්චිල් ගේම් එක ගහනවා. ඒක මාර ඉන්ස්පයරින් කැරැක්ටර් එකක්.

    රනිල්ට ජනාධිපති වෙන්න ලැබෙන්නෙ තමන්ගෙ ප්‍රබලතම ප්‍රතිවාදී පක්ෂෙ සහායෙන්. එතනදි පොහොට්ටුවට රනිල්ව ඕන වෙන්නෙ තමන්ගේ ආරක්ෂාව පිණිස. නැවත තමන් ගොඩනැගෙන තෙක් පක්ෂයක් බලයක් අහිමි දුර්වලයෙක් පාවිච්චි කිරීම කියන තැනින්. රනිල්ට සිද්ද වෙනවා ඒ අවසරෙන් තමන්ට අහිමි සියල්ල යළි දිනාගන්න. ඇත්තටම ගත්තොත් විපක්ෂයත් රනිල්ට විරුද්දයි, පොහොට්ටුවත් විරුද්දයි. ඒ හින්දම රනිල්ට සටන්පාඨ දේශපාලනය කරන්න පුළුවන්කමක් නෑ. හරිම අවදානම් පාරක, ලොකු වීර වික්‍රම නැතුව ඉතා සියුම් දේශපාලන ගේම් එකක් එයාට සෙල්ලම් කරන්න වෙනවා. වැල් පාලමේ උදාහරණය මෙතනදි හරියටම ගැලපෙනවා.

    රනිල්ට දේශපාලනය කරන්න වෙලා තියෙන්නෙ ජවිපෙ කියන විදිහෙ හොඳ මිනිස්සු එක්ක නෙමෙයි. හොර ආණ්ඩු පක්ෂයක් සහ moda විපක්ෂයක් එක්ක. අනිත් පැත්තෙන් රටේ දැවැන්තම අර්බුදයත් එක්ක. ඒ නිසා සංදර්ශන පවත්වන්න අවසරයක් නෑ. විසිල් ගහන වීරයා වෙන්න බෑ. ලංකාවෙ ජනාධිපති කෙනෙක් මුහුණ දෙන අතිශය තීරණාත්මක, අභියෝගාත්මක මොහොතකට රනිල් මුහුණ දෙනවා. ඒක බලන් ඉන්න හරිම ඉන්ටරෙස්ටින්ග්. තියුණු බුද්ධියකින්, ඉවසීමකින් කරන චෙස් ක්‍රීඩාවක් තරම්ම ආකර්ශනීයයි.

    සියල්ලන් ප්‍රතිවාදීන් වූ දේශපාලනයක තනි මිනිහෙක් කරගෙන යන මේ සටන ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේදයක් වෙනවා. රනිල් දිහා මං බලාපොරොත්තු සහගතව බලන් ඉන්නෙ ඒ හින්ද.

    ReplyDelete
  5. මල්ලියා ඇයි දැන් ලියන්නේ නැත්තේ

    ReplyDelete