Showing posts with label කෙටිකතා. Show all posts
Showing posts with label කෙටිකතා. Show all posts

Tuesday, April 4, 2017

කැකිරි දුපතේ දරු ප්‍රසුතය II


ඔහුට සුපුරුදු පරිදි තව පොඩ්ඩෙන් ඔහු මෙසේ අසනු ඇත.  "ඉතින් බඩදරු අම්මේ දුක් සැප කොහොමද?"  එහෙත් ඔහු ඉදිරියේ කිසිදු රෝගියෙකු නොමැති බව ඔහුට මතක් විය.   හිස්බවකි.  ගුවන් විදුලි සංඥා පණිවුඩ යවන යන්ත්‍රය පමණකි.    එක්තරා විදියකින් එය අවකාශයෙකි.

දොස්තර මුහුණපා සිටියේ ඔහුට පුරුදු තත්ත්වයට හා පරිසරයට නොවේ.   අවශ්‍ය සන්සුන්තාවය ඇතිකරන වෘත්තීය වාතාවරණයක් එතැන නොවීය.  ප්‍රසව වේදනාවෙන් සිටින ස්ත්‍රිය ඔහු දැකිය යුතුය.   ඇගේ කෙඳිරි ගෑම්,කන්නලව් කිරීම්, ඔහු ඇසිය යුතුය.   ඇගේ ප්‍රසව වේදනාවට සුපුරුදු අනුකම්පාව ඔහු වින්දනය කල යුතුය.  බේසමෙහි බහාලු රුධිරය දැකිය යුතුය.  ගර්භාෂය තුල සිටින බිළිඳාගේ සිඟිති, ලිස්සන සුළු දේහය තම අත්වලින් ඇල්ලිය යුතුය.

දැන් ඒවා කිසිවක් නැත.   වෙඩිහඬ ඇසෙනවිට සන්සුන්වැ සිටින, එනමුදු වටලෑමකදී ඇතිවන කුරිරු, මුසල නිහඬතාවය නිසා බියවන මහලු සෙබළෙකු ලෙසද, රෝදවල හඬ නිසා සාමකාමී ලෙස නිදාවැටෙන, එනමුදු නිහඬතාවය නිසා අවදිවන පිටිමෝල් කරුවෙකු ලෙසද ඔහුට දැනිණි.

මෙතැන විදුලි පණිවුඩ යන්ත්‍රය ඉදිරියෙහි දොස්තරට දැනුණේ තමා මුහුදෙන් ගොඩගත් මාළුවකු ලෙසිනි.   ගුවන් විදුලි යන්ත්‍රයේ විදුලි බුබුළු බැබලිණි.   යන්ත්‍රයේ ශබ්ද විකාශන උපකරණයෙන් චිරි-චිරි ශබ්දයක් ඇසිණි.   යළි නිහඬතාවයකි.   ඔහු ඉදිරියේ ප්‍රසව වේදනාවෙන් පෙළෙන මාතාව නොසිටියාය.   ඇගේ සුසුම් ලෑම් හෝ වේදනාව හෝ ඔහුට නෑසිණි.

වේදනාවක් නැතිද? එහෙත් ඈ වේදනා වීඳී.   එහෙ අන්න අර අවකාශයේ.... බොහොම වේදනා වීඳී .ආධාර බලාපොරොත්තුවෙන් ඕ පසුවන්නීය.  අවට හැම කෙනෙක්ම බලාපොරොත්තුවෙන් සිටිති.   ඉතින් සෙර්ගේයි මත්වේවිව් දොස්තර තැන කුමක් කරතිද?

ඔහු සංඥා පණිවිඩ ශිල්පියා වෙත නැඹුරුවී මෙසේ පැවසීය.

"ආ ...බාතෙන්කා...එහෙ ඉන්න දොස්තරගෙන් අහන්න ගර්භාෂය තුල බිළිඳාගේ තත්ත්වය කොහොමද කියලා?"

ඔහු දුන් පණිවිඩය, සංඥා අක්ෂර භාෂාවට පරිවර්තනය වී, තිත් සහ කෙටි ඉරි වලට මාරු වන අයුරු ඔහු බලා සිටියේ මවිතයෙනි.   විනාඩි කීපයක් ගතවත්ම පිළිතුරු ලැබිණි.

සෙර්ගේයි මත්වේයිව් එය කියවා දෙතොල් හකුළුවා ගත්තේය.  මේ අයුරින් අදිසි රෝගියෙකුට වෛද්‍ය උපදෙස් දීමේ අසාමාන්‍ය කාර්යය ඇරඹිණි.

" ගර්භාෂය තුළ බිලිඳා හරහට හිටලාය" දොස්තර හඬනගා සිතන්නට විය.  
"ඔවු...ඔවු... විරල තත්ත්වයක්.  අහන්න, ගර්භාෂය තුල සිටින බිලිඳා නිසි ලෙස හරවා ගන්නා බ්‍රැක්ස්ටන්- හික්ස්ටන් ක්‍රමය ගැන මගේ සගයා දන්නවාද, නැතිනම් අහලාවත් තියෙනවද කියල" ඔහු සංඥා පණිවිඩ යවන්නාට පැවසීය.

" අනේ ඒ ක්‍රමය ඔහු දන්නේ කොහොමද? තරුණ දොස්තර. ඒ විතරක්ද, මිනිහා චිකිත්සක වෛද්‍ය වරයෙක් නොවැ" ඔහු තමාටම කියාගත්තේය.

චිකිත්සක වෛද්‍යවරයෙක්! සියලු ශල්‍ය දොස්තරුන් මෙන්ම ඔහුද කැකිරි දුපතේ ප්‍රසව වේදනාවෙන් පෙළෙන මවු අසල සිටින තරුණ දොස්තර වරයා ගැන සැක ඇති කැරැ ගත්තේය.

සෙර්ගේයි මත්වේයිව් බලාපොරොත්තු වූ පිළිතුරම ලැබිණි.  "අහල තියෙනවා. නමුත් ලජ්ජාවෙන් තොරව සියලු උපදෙස් දී මට මග පෙන්වන්න.''

"ඉස්සෙල්ලාම අත් දෙක ස්ප්‍රීතු සහ අයඩින් වලින් සෝදා ගන්න. සියලුම ඇඟිලිවල හොඳහැටි අයඩින් ගාන්න.  විනාඩි දහයක් විතර හොඳට අත් සෝදා ගත යුතුයි, බාතෙන්කා." ඔහු සංඥා පණිවිඩ කරුවාට කියුවේය.

පණිවිඩ කරුවාද ඔහු කී හැම වචනයක්මත් 'බාතෙන්කා' නැමැති වචනයත් ඒ සැටියෙන්ම සංඥා ක්‍රමය මගින් යැවීය.  කවුද දන්නේ, දොස්තරගේ කටින් පිටවූ 'බාතෙන්කා' නැමැති වචනය තුළ වෛද්‍යමය ගුප්තාර්ථයක් ගැබ්වී තිබිය හැකිය.

කැකිරි දුපතේ තරුණ දොස්තර ඒ උපදෙස් අනුව දෑත් සෝදාගත් බව වාර්තා කළේය.

"යසයි!" තෘප්තියකින් හිස වැනු සෙර්ගේයි මත්වේයිව් මෙසේ පැවසීය.  " දැන් බඩදරු අම්මා විෂබීජ වලින් ආරක්ෂා කිරීමේ වැඩ ගැන." ඔහු කළයුතු කටයුතු ගැන සවිස්තරාත්මකව ලියා එය සංඥා පණිවිඩ ශිල්පියාට භාර දුන්නේය.  මීට විනාඩියකට පෙර ඔහුගේ මොළයෙහි තිබුණු එම අදහස් දැන් හාස්කමකින් කිලෝමීටර දහසක් දුර සිටින කෙනෙකුට දෙන හැටි ඔහු බලාසිටියේ කුතුහලය මුසු මවිතයකිනි.  ප්‍රථම වරට හේ විදුලි පණිවිඩ ශිල්පියා දෙස ගෞරවයකින් බැලීය.

මොහොතේ වැදගත්කම අවබෝධ කැරැ ගත් ශිල්පියා කොතෙක් නොසන්සුන් වුයේද යත්, ඔහුගේ මුහුණ රත් පැහැ ගති.  ඔහු හැම අකුරක්ම සංඥා පණිවිඩ ක්‍රමයට පරිවර්තනය කලේ යන්තමින් හෝ වරදිතියි යන බියෙනි.   කැකිරි දුපතෙන් ලැබෙන පණිවිඩය ඔහු ලියාගත්තේ සාමාන්‍යයෙන් හැමදාම විදුලි සංඥා පණිවුඩ භාරගන්නන් දක්වන පුරසාරම් බවෙන් තොරවය.   ඔහු දොස්තරට මෙසේ කීවේය.

"හෙමින් කියන්න. එක අකුරක් වෙනස් කළොත් දරුවාටයි අම්මාටයි හානි වීමට ඉඩ තියෙනව."

"හොඳා" මෙසේ කී දොස්තර උපදෙස් දුන්නේය.   දැන් ඉතින් ගර්භාෂය තුළ පරීක්ෂණය පටන් ගන්න.  වම් අත ඇතුළට යවන්න..."

තීරණාත්මක මොහොත එළැඹ ඇත.

"ගර්භාෂයේ ග්‍රීවය විවෘත වෙලා නැතිනම්?" දොස්තර කල්පනා කළේ කැළඹීමෙකිනි.   "අනේ මා එහි නැත්තේ මන්ද?  මට එය...එය මට නොපෙනෙන පවා දෙයකට මට වගකිව නොහැකිය."

පිළිතුර බලාපොරොත්තුවෙන් සහ නොපුරුදු ලෙස කැළඹීමට පත්වුයෙන් සන්සුන්තාවය ලබා ගැනීම සඳහා ඔහු කවුළුව වෙත ගොස් පිටත පිහිටි වීදිය දෙස බැලීය.  වීදියක්ද? මෙතැන වීදියක් තිබුනේද? කවුළුව යට විශාල හිම කණ්ඩියකි.  ඈත විශාල ගබඩාවකි,වරායකි. ඊටත් එහා ඈත හිම ගොඩැලිය. හිම පමණකි.

ගබඩාවේ වහලත්, වරායේ ගොඩනැගිලි වල වහලත් හිමෙන් වැසිලාය.  තුන්ද්‍රා මහා කතර හිමෙන් පිරී ඇත.  හිම යන්තමින් කොළ පැහැයක් ගෙන ඇත. හඳ එළිය නිසා වෙන්ට ඕන.

" ආහ්, නුඹ ඇවිත් තියෙන දුරෙක මහත, සෙර්ගේයි මත්වේයිව්!" ඔහු තමාටම කියාගත් අතර මෙතරම් දුර පැමිණීම නිසා මවිතයට පවා පත්විය.  එම අදහස ඔහුට ප්‍රථම වරට පැමිණියාක් මෙනි.  හරියට ඔහු මෙහි දෙවැනි වසර ගත නොකරන්නාක් මෙනි. ඔහු මෙහි ප්‍රථම වරට පැමිණියාක් මෙනි.

"සෙර්ගේයි මත්වේයිව්!" කිසිවෙක් ඔහු පහත් හඬින් ඇමතුහ.

හේ හැරී බැලීය.  ඔහු ඉදිරියේ ස්ත්‍රීන් දෙදෙනෙකි. එකියක් ගුවන් විදුලි පණිවුඩ සංඥා ශිල්පියාගේ බිරිඳය.  අනික් ස්ත්‍රිය භූ විද්‍යා ශිල්පියාගේ බිරිඳය.

"හිතවත් සෙර්ගේයි මත්වේයිව්, ඉතින් කොහොමද?" වඩාත් ධෛර්යවත් සංඥා ශිල්පියාගේ බිරිඳ ඇසුවාය.

" ඉතින් කොහොමද තමයි" දොස්තර තැන කෝපවිය.  "මරියා ඉල්යිනිෂ්නා, ඔයාගෙ ගෙදර එක්කෙනාගෙන් අහන්ට. එයා තමයි රේඩියෝ සිග්නල් ජප කරන්නෙ. එයා මට වැඩිය හොඳට දන්නවා.  මට පෙනෙන්නේ නැහැ නොවැ. කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ.හිම මිසක්"

ඊළඟට ලජ්ජාවෙන් කතාකළේ භූ විද්‍යා ශිල්පියාගේ බිරිඳය. " අපි දැනගන්ට කැමතියි... ඔන්න මටත් හිටියා මිතුරියක්. එයාගෙත් දරුවා ඔහොම ඉඳලා, පස්සෙ එයා දරුවාව වැදුවා. මම ඒ ගැන සියලු විස්තර දන්නවා.  ඔබට එයින් ප්‍රයෝජනයක් විය හැකියි නේද? මම විස්තර කරන්නම්."

"අනේ, හිතවත් නෝනා!" දොස්තර මුහුණ ඇඹුල් කැරැ ගත්තේය.  "ඔයාට ඇති උවමනාව? දැන් වදන්නේ ඔයාගේ මිතුරිය නොවෙයි.  ඉතින් ඔයගොල්ලන්ට ඇති රුදාව කුමක්ද?"

"මොකක්ද?  ඒ කතාව අපේ සිත් පවා අමනාප කරනවා සෙර්ගේයි මත්වේයිව්"

එහෙත් ඒ වෙලාවේ ගුවන් විදුලි සංඥා ශිල්පියා කැකිරි දුපතේ සිට එවූ පිළිතුරු ඉදිරිපත් කළේය.   එය යහපත්, නැතිනම් අයහපත් පිළිතුරුද යන්න ඔහු නොදත්තේය.  ඔහු වෛද්‍ය භාෂා ශබ්ද මාලාව නොදත්තෙකි.   එහෙත් ඔහු කැළඹීමට පත්වුණේ ලැබුණු පිළිතුරු අසතුටුදායක බව සිතමිනි.

" අහා!" දොස්තර තැන පිළිතුර කියවා මඳ සිනා පෑවේය.  "ග්‍රීවය ඇඟිලි දෙක හමාරක් විවෘත වෙලා. ඉතින් එහෙනම් මගෙ හොඳ බඩදරු අම්මේ, බ්‍රැක්ස්ටන්- හික්ස්ටන්ගේ ක්‍රමය අනුව අපි ගර්භාෂය තුළ සිටින බිලිඳාව පෙරළා ගනිමු."

දොස්තර වහාම යන්ත්‍රය ලඟට ආවේය. ඔහුට පුටුවක් දෙන ලදී.   අවසාන තීරණාත්මක මොහොත පැමිණි බව හැම දෙනාටම අවබෝධ විය.  සංඥා ශිල්පියා සුදුමැලි විය.  පක්ෂ සංවිධායකයා බැරෑඬි හඬින් අණ කළේය.   "නිහඬ වෙයව්!" ඔහු එසේ නොකීවද, නිහඬතාවය පැවතිණි.  මිනිසුන් මහ ගොඩක් රැස්වූ එම කාමරයෙහි රජකළේ මවිතය දනවන නිහඬතාවයකි.  හැම කෙනෙක්ම නිහඬවූහ.  ඔවුන් දොස්තර දෙස බැලුවේ බලාපොරොත්තුව,අවදානම සහ නොසන්සුන්තාවයකිනි.

ඔහුට මෙවැනි අදහසක් පහළ විය.  "මට මෙතරම් නිර්භයත්වයක් කොයින්ද? එමෙන්ම මෙවැනි බලයක්, දැන් මා මෙහිදී කියන දේ ඔහු අනික් කෙළවරේ සිට ඉටුකරයි.  සමහර විට, හැම දෙයක්ම ඉතා යහපත් ලෙස සම්පූර්ණ වේවි.  ඉතින් ඒ මම... මම... "

හේ මෙසේ පැවසීය.

"දකුණු අතේ ඇඟිලි දෙකක් යවා ගර්භාෂය තුළ සිටින බිළිඳාගේ පයක් අල්ලා ගැනීමට උත්සාහ කරන්න."

ඔහුගේ නියමය සංඥා බසට පෙරළී තිත,කෙටි ඉර, තිත ආදිය බවට පත්විය.  දැන් ඉතින් දොස්තරගේ සිතට වෙන අදහස් පහළ නොවීය.  ඔහුගේ මනැස ඉදිරියෙහි දරුවෙකු ප්‍රසුත කරන මාතාවකි.   ඔහු ඔහුගේම ඇඟිලි දෙකක් ඇගේ ගර්භාෂ මුඛයට යැවූ බව ඔහුට දැනෙයි.  ඇගේ සුසුම් ලෑම් ඔහුට ඇසෙයි.  මොළකැටි බිලිඳාගේ ඉතා සිනිඳු පය ඔහුට දැනෙයි.  එතරම් අසරණ සිඟිති...

" වරද්දන්ට එපා!" ඔහු කෑගැසීය.(සංඥා ශිල්පියා එලෙසින්ම එය යැවීය) 

 " පය වෙනුවට වරදවා අත අල්ලා නොගන්න! යටිපතුල හොයා ගන්න.  සිඟිති යටිපතුල,බාතෙන්කා.  හොඳ හැටි දැනගන්න.  නැතිනම් අතින් අල්ලා අදින්න ඉඩ තියෙනවා... එහෙමත් වෙනවා..."

කැකිරි දුපතේ සංඥා ශිල්පියා ලඟද එවැනිම ගොඩක් සෙනග පිරී සිටිති.  ඔවුන් කැළඹිලාය.  ප්‍රසව වේදනාවෙන් පසුවන ස්ත්‍රියගේ සැමියා ඩහදිය පෙරාගෙන සංඥා යන්ත්‍රයේ සිට ඇගේ ඇඳ වෙතටත්,යළි යන්ත්‍රය වෙතටත් දුවයි.   ලැබෙන ගුවන් විදුලි පණිවුඩය තරුණ දොස්තරට භාර දෙන ඔහු,දොස්තරගේ පණිවිඩය ගෙනැවිත් සංඥාකරුට භාර දෙයි.  ඔහු දොස්තරගේ පණිවිඩය කුසු කුසු ගාමින් කට පාඩම් කළේ වරදිතියි හෝ අමතක වෙතියි යන බියෙනි.

තරුණ දොස්තර කැළඹී සිටියද, සෙර්ගේයි මත්වේයිව්ගේ උපදෙස් හා ආධාර ඔහුට විශාල දිරියක් විය.  ප්‍රසව වේදනාවෙන් පසුවන මාතාවගේ කඳුළු පිරුණු දෙනෙත් තමා වෙත එල්ලවී ඇති සැටි ඔහුට පෙනෙයි.

"උහුලා ගෙන ඉන්ට, සෙර්ගේයි මත්වේයිව් සමග එකතුවී ඔබට උදව් කරන්නම් යැ" යි ඔහු මුමුනන්ට විය.  " ඔන්න ඉතින්...පතුළ අල්ලා ගත්තා. හරිම සිනිඳුයි..."

"පය අල්ලා ගතිමි" යන පණිවිඩය සෙර්ගේයි මත්වෙයිව්ට ලැබිණි.

" අහා.එයා පය අල්ලාගෙන, දක්ෂ තරුණයා."

කාමරයෙහි රැස්ව සිටියහු ප්‍රීතිමත් පහත් හඬින් මුමුණන්නට වුහ.  " පය අල්ලාගෙන,පය අල්ලාගෙන"හැම දෙනෙක්ම පෙරට ගියහ. මඳ සිනා පෑවෝය.  එහෙත් සෙර්ගේයි මත්වේයිව් යළිත් බැරෑරුම් විලාසයක් ආරූඪ කැරැ ගත්තෙන් සියලු දෙන නිහඬ වුහ.

" දැන් ඉතින් බිලිඳා හැරවීම පටන් ගන්න. පිටත තියෙන අතින්..."

යළිත් ඔහු රෝගියාගෙන් වෙන් කැරෙන අවකාශය ඔහුට අමතක විය.  සැබැවින්ම ඔහු දරුවා ප්‍රසුත කරන මවගේ ඇඳ අසල සිටගෙනැ,තම දෙවැනියාට ඉඳහිට උපදෙස් දෙන විටෙක මෙනි.  "දක්ෂයා" ඔහු තම සහකරුවා ගැන සිතීය.   " චිකිත්සකයෙකු වුවත් අපරාදෙ කියන්ට බැහැ, මිනිහා දක්ෂයා." සෙර්ගේයි මත්වේයිව් තුළ ආත්ම ශක්තිය වැඩි වුයේ,හැම දෙයක්ම යහපත් ලෙස අවසන් වෙතියි යන හැඟීම විසිනි.  පෙර සිටම ඔහු හැම දෙයක්ම ඉතා යසට සිදුවෙතියි යන හැඟීමෙන් සිටි බවක් ඔහුට දැනිණි.  ඔහු ලෙඩුනට ප්‍රතිකාර කරන විට ඔහු තුළ ඇතිවන ශාන්ත බව යළිත් ඇතිවිය.  යළිත් ඔහු සුපුරුදු පරිසරයට පිවිස ඇත.

ගෙවීගිය විනාඩි කීපය සදාකාලිකත්වයට සමාන විය.  සෙර්ගේයි මත්වේයිව් පැයක් තිස්සේම සංඥා යන්ත්‍රය අසලය.

"මම හැම දෙයක්ම කල්වේලා තබා දුටුවෙම්ද? මුහුණ පෑ යුතු බලාපොරොත්තු රහිත දේ මොනවාද? චිකිත්සක තරුණයාට හැම දෙයක්ම කරන්ට පුලුවන්ද? අනේ, මා එහි නැත්තේ මන්ද! හැම දෙයක්ම මා අසා දැනගත්තාද?"

ඔහු සංඥා යන්ත්‍රය දෙස බැලුවේ ඔහුගේ ප්‍රශ්න වලට එයින් පිළිතුරු ලබාගත හැකි විටෙක මෙනි.   තිත, කෙටි ඉර, තිත, කෙටි ඉර සංඥා ඔහුට ඇසේ.   එය ඔහුට නොතේරෙන අපභ්‍රංශයකි.  ඔහු සංඥා ශිල්පියා ලියන හැටි ඔහුගේ උරහිසට උඩින් බැලීය.

"හැ-ර-වී-ම හො-ඳී-න් ක-ළා-" සංඥා ශිල්පියාගේ කුරුමිණි අකුරු හේ කියැවීය.

"හොඳින් කළා!" සංඥා ශිල්පියා උහුලා ගත නොහී සතුටකින් කෑගැසීය.

"හොඳින් කළා, හොඳින් කළා" කාමරය තුළ රැස්ව සිටියහු අනුකරණය කළහ. " දොස්තර සෙර්ගේයි මත්වේයිව්, හොඳ මනුස්සයා!"

"බිලිඳාගේ හෘද ස්පන්දනය ගැන සෙවිල්ලෙන් ඉන්න!'' ඔහු කෑ ගැසුවේ කෝපයෙනි.

ලැබුණු විදුලි පණිවුඩය නිසා ඔහු වෛද්‍ය විද්‍යාලයේ ප්‍රථම වර්ෂයේ ශිෂ්‍යයෙකු සේ, ප්‍රථම ශල්‍ය කර්මයට උදව් කළ කෝඩුකාර දොස්තරකු සේ සතුටට පත්වීම ගැන ඔහු තමා කෙරෙහිම කෝපවූ සැටිය ඒ.

"ලජ්ජයි,ලජ්ජයි! දොස්තර කෙනෙක්ලු,කැළලකි!" ඔහු සිතීය.

"බිලිඳාගේ හෘද ස්පන්දනය සොයා බලන්න!" ඔහු සංඥා ශිල්පියා දෙස බලා කෑ ගැසීය. ඔහු තිගැස්සී දොස්තර කී දේ සංඥා ක්‍රමයට නැංවීය.

"තවම ඉපදිලා නැහැ.ඔවු. කල් වැඩියි, බාතෙන්කා.කල් වැඩියි." සෙර්ගේයි මත්වේයිච් ඉතා ස්ථිර ලෙස රැස්ව සිටි පිරිසට පැවසීය.  යළිත් කාමරයෙහි නිහඬතාවය රජ කළේය.  "කල් වැඩියි" ඔහු යළිත් මුමුණා සංඥා පණිවුඩ යන්ත්‍රය දෙසට නෙත් යොමු කළේය.

හිටි හැටියේම ඔහුට ඇතිවූ ඉතා ප්‍රබල, වේදනාවක් දැනවීමෙහි තරම් සමත්, ඉතා දැඩි අභිලාෂය වුයේ දරුවා පණපිටින් උපත ලැබිය යුතුය යන්නය.  පණ පිටින්,පණ පිටින්, පිරිමි දරුවෙකු විය යුතුය! දුණු මෙන් පොකුරු කෙස් ඇති කොල්ලකු විය යුතුය!... ඔහු ඒ සිඟිත්තා ගැන සිහින මැවුයේ ඔහු බිලිඳාගේ පියා මෙනි...මාතාව මාර මුඛයෙන් බේරා ගෙනය. එහෙත් බිලිඳා, බිලිඳා...

" බිලිඳාගේ හෘද ස්පන්දනය ගැන පිරික්සා බලන්න.  හෘද ස්පන්දනය ගැන ඉතා සැලකිල්ලෙන් බලන්න!"

"හෘද ස්පන්දනය හොඳින් පැහැදිලිව ඇසෙයි." විදුලි සංඥා ශිල්පියාගේ වාර්තාව ඔහුට ඇසිණි.

නැත,නැත, එය ගුවන් විදුලි ශිල්පියාගේ වචන නොවේ.  මාතාවගේ ගර්භාෂයේ තවමත් සිටින බිළිඳාගේ හෘද ස්පන්දනයයි,ඔහුට එලෙස ඇසුණේ.  තවමත් මෙලොව එළිය නුදුටු බිළිඳාගේ හෘද ස්පන්දනයයි  ඔහුගේ කන්හි වැකුණේ.  දැන් දැන් ඔහු මෙලොවට බිහිවී තම අයිතිය තහවුරු කරමින් ප්‍රීතිමත් ලෙස කෑ ගසනු ඇත.  ඔහුගේ හදවත කෙබඳු එකක් වනු ඇතිද!  මිනිසෙකු තමාගේ උපතින්ම ඔහුගේ හදවත, මවු බිමට අයත්වේ.   එය මේ විදුලි පණිවිඩ සංඥා ශිල්පීන්ට, දුම් කෝවයක් උරමින් සිටින මේ පක්ෂ සංවිධායකයාට, අර තරුණ චිකිත්සක දොස්තරට(ඔහු නම් සැබෑ දක්ෂයෙකි) තවත්, තවත් ඔහුට,එනම් සෙර්ගේයි මත්වෙයිච්ට අයත්ය.  ඔහු දසන් පෙන්වා සිනාසුණේය.  මින්පෙර කිසිකලෙක සිනා නොවූ පරිදි සිනාසුණේය.  උත්සව ප්‍රීතියෙක්, ප්‍රෞඨත්වයෙක්, තෘප්තියෙක් එහි නොවීය.  ඔහුට වටහාගත නොහැකි යමක් එහි විය.  

ප්‍රසව වේදනාව ආරම්භ විය. කැකිරි දුපතේ සිට විදුලි සංඥා පණිවිඩ එක පිට එක ගලා එන්නට පටන් ගති.  මාතාවගේ තත්ත්වය, ගර්භාෂයේ ක්‍රියාකාරිත්වය, සහ විලි රුදාව ගැන කෙටි වාර්තා තරුණ දොස්තර ඉදිරිපත් කළ අතර ගැහැණියගේ පුරුෂයා මෙසේද දැන්වීය. 

" ඉතා භයානක ලෙස වේදනා විඳිනවා. එය කොතරම් බියජනකද! ලවක්-දෙවක් නැතිව කෑ ගසයි.  එය මානුෂික කෑ ගැසීමක් නොවේ. ඒ අසරණ මාතාව විඳින දුකක හැටි! දොස්තර මහතාණෙනි මොනවා කළ යුතුද? ඒ කෑ ගැසීම් මට නම් උහුලා ගත නොහැකිය."

ප්‍රසව වේදනාව ඉවසාගත නොහී කෑගසන ඇගේ හඬ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් පවා ඇසෙන බවකි.  
දුම්කොළ පයිප්පය දත් දෙපළට හිර කැරැගෙන සිටින පක්ෂ සංවිධායක තැනගේ සුදුමැලි මුහුණ සෙර්ගේයි මත්වේයිච්ගේ නෙතට හසුවිය.

 " ඔබට මක් වෙලාද? බාතෙන්කා, ඔබට මක් වෙලාද? මොනවා වෙලාද? විලි රුදාවෙන් කෑගසන්නේ ඔබගේ පවුල නොවෙයි නොවැ."

" ඒක ඇත්ත" පක්ෂ සංවිධායක තැන මඳ සිනාවක් පෑවේ දුබල ලෙසිනි." මගේ පවුල නොවන බව ඇත්ත,නමුත් මේ අම්මයි මේ බිලිඳයි, කොහොමද ඔබට ඒ ගැන කියන්නෙ...ඔවුන් අපේ."

ලජ්ජාවට පත් සෙර්ගේයි මත්වවේයිච් කෝපවුයේ ඔහුගේම මෝඩ ප්‍රශ්නය නිසාය.පක්ෂ සංවිධායකයාගේ හැඟීම් ඔහුට වටහා ගැනීමට බැරිවූ නිසාය.  සමහර විට පහු පක්ෂ සංවිධායක තැන අමනාපයට පත් කළ නිසාය.  එහෙත් ඔහුට ඒවා ගැන සිතීමට දැන් වෙලාවක් නැත. 

" බිළිඳාගේ හෘද ස්පන්දනය පරීක්ෂා කර බලනු!"

තෙපැයක් ගත විය.  සෙර්ගේයි මත්වේයිච් විදුලි පණිවුඩ උපකරණය අසල වාඩිවුණේ මීට පැය තුනකට උඩදීය.  දැන් ඔහුට අධික මහන්සියක්, වේදනාවක් සහ හෙම්බත් වීමක් දැනෙයි.  මේ දරු ප්‍රසුතය, ගුවන් විදුලි සංඥා පණිවුඩ මගින් මෙහෙයැවෙන දරු ප්‍රසුතය ඉක්මණින් අවසන් වෙතිද?

හිටි හැටියේම ගුවන් විදුලි සංඥා ශිල්පියාගේ ප්‍රීතිමත් ප්‍රමෝදමත් කෑ ගැසීම ඔහුට ඇසිණි.

"ඔන්න පුතෙක්! පුතෙක් ලැබිලා!" ගුවන් විදුලි පණිවුඩය හේ සෙර්ගේයි මත්වවේයිච්ට දුන්නේය. හේ කියවීය.

" දොස්තර සහෝදරය,සහෝදරවරුනි! මට පුතෙක් ඉපදිලා. ඔවු,පුතෙක්.කොලු පැංචෙක්. ඔබ හැමට ස්තුතියි. සෙර්ගේයි මත්වේයිච්, ස්තුතියි! සෙර්ගේයි මත්වේයිච්,ඔබට අප හැමගේ සදාදර ස්තුතිය පුදකරමි. ඔබ ඉතාම යහගුණ ඇති කෙනෙකි. ඔබට ස්තුතියි!"

හැම අතින්ම මිනිස්සු තමන්ගේ හස්තයන් සෙර්ගේයි මත්වේයිච් වෙත දිගු කරන්නට වුහ.  ඔවුහු උණුසුමෙන් මිත්‍රත්වයෙන් කැළඹී සිටියෝය.  හැම අතින්ම ඔහුට සුබ පැතුම්ය. ඔහු නිසා උද්දාමය ලැබූ රැස්වැ සිටියහු ඔහුට කෘතඥතාවය පළ කළහ. ඔහුගේ අතක් ගෙන බොහෝ වේලාවක් සොළවමින් සිටි පක්ෂ සංවිධායක තැන,මඳ සිනා පාන්නේ මෙසේ පැවසීය.

"අහා! සෙර්ගේයි මත්වේයිච්!... ඔබ උසස් මිනිහෙක් නොවැ! ඉතාම අපූරුයි! මගේ සුබ පැතුම් බාර ගන්න.ඔබ ක්‍රියාකළේ හැබෑටම...හැබෑටම...හැබෑටම බොල්ෂෙවිකයකු වගෙයි.  සෙර්ගේයි මත්වේයිච්!"

ඔහු අන්දමන්ද වී, එමෙන්ම මුදු බවකින් යුතුව වාඩිවී සිටියේය.  කිසිවක් වටහා ගත නොහී, ඔහු බැලීය.  ගුවන් විදුලි වාර්තා කියවුවද ඔහුට ඒවා නොතේරිණ.  ඔහු වෙත ඉදිරිපත් වෙන සුබ පැතුම් ඔහුට ඇසුණද, ඒවා ඔහුට අවබෝධ නොවීය.  ඔහු අන්දමන්ද විය.  ශල්‍ය වෛද්‍ය වරයෙකු වූ ඔහු නොසන්සුන් විය.  

හිටි හැටියේම ඔහුගේ ජීවිතයද, ඔහුද, ඔහුගේ වෘත්තියද, ශිෂ්‍ය සමයේ සිහිනද, ඔහු කළ හැම දෙයක්ම,කරන සහ, සමහර විට, කළ හැකි හැම දෙයක්මද බලාපොරොත්තු රහිත නව තාවයකින් පෙනිණි.

නස්තුර්සියන් සහ කවුළු පඩිය මත රාත්‍රී වයලට් මල් සහිත කුඩා ගෙයක් ගැනද, තමාගේ වයෝවෘද්ධ සන්සුන් ජීවිතය ගැනද ඊයේ වන තුරුත් සිතුවේ ඔහු නොවේද?

බරීස් ගොර්බාතව්.

1937

1983 වර්ෂයේ සෝවියට් සංගමයේ මොස්කව්හි දේදුන්න ප්‍රකාශකයෝ විසින් මුද්‍රණය කර ප්‍රකාශයට පත්කරන ලද 'සෝවියට් රුසියන් කෙටිකතා' නම් අපූරු ග්‍රන්ථයෙහි එන කෙටිකතා අතුරින් මා සිත තදින් බැඳගත් කෙටිකතාවක් ඔබගේ රස වින්දනය උදෙසා උපුටා දක්වන්නට සිතුවෙමි෴

Sunday, April 2, 2017

කැකිරි දුපතේ දරු ප්‍රසුතය



කැකිරි නැමැති සිඟිති දුපතෙහි අවාසනාවන්ත තත්ත්වයක් උදාවිය.  උත්තර මහා සාගරයේ ධ්‍රැව වෘත්තයට එහා පිහිටි කැකිරි දුපත එනමින් ඔබ සිතියමෙහි සොයා ගැනීමට තැත් කරති නම්, එය නිෂ්ඵල ක්‍රියාවක් බව කලින්මැ කියනු කැමැත්තෙමු.   සිතියම් වල මෙම දුපත හැඳින්වෙන්නේ සම්පූර්ණයෙන්ම සංගතික හා කාව්‍යමය යැයි පවා කිව හැකි නමකිනි.   එහෙත් ධ්‍රැව ප්‍රදේශයේ ගුවන් විදුලි සංඥා ශිල්පියෝ මුරණ්ඩු ලෙසමැ මෙම දුපත් සිඟිත්ත කැකිරි දුපත ලෙස හඳුන්වාලුහ.  ඔවුන් වැරදි බව ඒත්තු ගැන්වීමට උත්සාහ කැරැ බලන්න! ගුවන් විදුලි සංඥා ශිල්පීහු වූකලී අපූරු ජන කොටසකි.  ඔවුහු උපහාසයෙහි දක්ෂයෝය.  සමහර විට ඔවුන් කුඩා කුටි වලටවී ලැග සිටින නිසා ඔවුනට පාළු ගතියක් දැනෙනවා විය යුතුය.

කෙසේවතුදු මෙම පුදුම නමට ස්වකීය ඉතිහාසයක් ඇත.  මෙම දුපත් සිඟිත්ත සොයාගත්තේ මෑතකදීය.  ඉතාමත්ම මෑතකදීය.  ඉමහත් ප්‍රබෝධයකින් හා කලබලයකින්, අලුත සොයාගත් මෙම සිඟිති දුපත සිතියමෙහි සටහන් කළ කණ්ඩායම් ප්‍රධානියා (ඔහු සිටි අයිස් කඩන නෞකාව වටා අයිස් ඝනවීමට පටන් ගත් නිසා ඔහුට කලබලකාරී ලෙස ඉක්මන් වීමට සිදුවිය) ක්‍ෂණික වාර්තාවක් ඉදිරිපත් කළේය.  "අලුතින් සොයාගත් දුපත කැකිරි ගෙඩියකට සමානය"  ගුවන් විදුලි සංඥා පණිවිඩ කරුවෝ (හැම දෙයක්ම අනිවාර්යයෙන් යැවෙන්නේ ඔවුන් අතිනි) ධ්‍රැව වෘත්තයේ දුපත් පවුලේ උපන් මේ නව දුපත් පොඩිත්තට කැකිරි දුපත යනුවෙන් නම් තැබුහ.

මේ සිඟිති දුපත ඉක්මනින්ම අල්පමය නොවන වැදගත්කමක් ලබාගත්තේ එය ඉතා ඈත පිහිටීම විසිනි.  පර්යේෂකයෝ දෑත් පිරිමදිමින් උදම් ඇනුහ.  දැන් ඉතින් අපි ආක්ටික් සාගරයේ බොහෝ රහස් සොයා ගන්නෙමු.  කාලගුණය ගැන පේන කියන්නෝ සැනසුම් සුසුම් හෙළූහ.  කාලගුණය ගැන ස්ථිර පුවත් දීමට තවත් පහසුවක් මතුවී තිබේ.  මනාලියක් ගැන සිහින දකින පරිදි තරුණ ධ්‍රැව සාගර විද්‍යාඥයෝ කැකිරි දුපත ගැන සිහින මවාගත්හ.  එහි ඇති නොදුටු විරූ සුන්දරත්වය ගැන ඔවුනට සිහින පෙනිණි.  එය ලබා ගැනීම සඳහා ඕනෑම වික්‍රමයක් පෑමට වුව ඔවුහු සුදානම් වුහ.  ඔවුහු අනුකම්පා සහගතවැ මෙසේ කියුවෝය.  " ඩික්සන්,ටික්සි, චෙල්යුස්කින් මොනවාද? ඒවා දැන් ඉතින් මෙල්ල කරලා ඉවරයි නොවැ.  ඒවා සේරම දැන් අපේ ගෙදර වගෙයි.  එහෙත් අර දුපත...." ඔවුන් කොඳුරන්නට වුයේ කැළඹුණු සිතිනි.  "විහිළු වැඩක් නොවෙයි. කැකිරි දුපත පිහිටා තියෙන්නෙ අංශක 78 ටේ...."

ඉදින් කැකිරි ගෙඩියක හැඩයක් ඇති මෙම දුපතෙහි මිනිස්සු පදිංචියට ආවෝය.  මෙම දුපතේ නැවුම් හිම මත විසාල කෝප්පයක් මෙන් කවාකාර හැඩැති වලස් පා සටහන් ළඟින්ම තියුණු ප්‍රබෝධමත් මිනිස් පා සටහන් ද දක්නට තිබිණි.  ගොඩනැගිලි සාදන ලදී.  අයිස් ගොඩැලි සහිත බිමෙහි මිනිස් ජීවය බිහිවිය.   මිනිසුන්ට එහි වැඩ කටයුතු ඇතිවිය.  පිරිසිදු තඹවන් භාජනවල කෝපි උතුරන්නට විය.  ඔවුනට ඔවුන්ගේ ප්‍රීතිය උදාවිය.  සවස් වරුවේ විවේක කාලවලදී චෙස්දාම් අදිති.  ඔවුනට කරදරද කැළඹීම්ද තිබිණි.  ඔවුනට ඔවුන්ගේ අවාසනාවද නැතිනම් ඉක්මනින්ම ඔවුන්ගේ වාසනාවද ඇතිවිය.  ඔව් සත්තකින්ම එය වාසනාවෙකි! කොයි හැටි වෙතත් තවම ඒ ගැන පැහැදිලි ලෙස දැන ගැනීමට නොහැකි විය.  මෙවැන්නකට හේතුව මෙසේ විය.  ස්ත්‍රියක් බියජනක ලෙසත්, අමනුස්ස ලෙස මර හඬ දී කෑ ගැසීමය.  ඇය අසල සිටගෙන සිටින සුදුමැලි තරබාරු පුරුෂයාගේ දෑත් පිලිසරණයෙහි අසමත් වැ වෙවුලයි.  ඔහුගේ නළලෙන් ලොකු ඩාදිය කැට රූරා වැටේ.

සෝවියට් ආක්ටික් ප්‍රදේශයෙහි බොහෝ ඈත දුපත්වල වාසය කරන්නෝ, තම ළඟ අසල්වැසියන් ගැන කිසිත් නොදැන හුදකලාව වාසය කරතියි ඔබ සිතති නම් එය ලොකු වරදකි.  එක් අසල්වැසියෙකුගේ සිට තවත් අසල්වැසියකු දක්වා, එක් දුපතක සිට තවත් දුපතක් දක්වා ඇති දුර ප්‍රමාණය සමහරවිට කිලෝමීටර දහස් ගණනකි.  ඒවා කොතරම් අසීරු අමාරු කිලෝමීටරද! එහෙත් ගුවන් විදුලි සංඥා ශිල්පියෝ! ඔවුනට පින්සිදු වන්නට කැකිරි දුපතේ ස්ත්‍රියක් අභිනව රට වැසියෙකු ප්‍රසුත කිරීමේදී ඇතිවූ ප්‍රසව වේදනාව උහුලා ගත නොහී,කෑගසන බව මුළු මහත් ආක්ටික් ප්‍රදේශයම දැන ගන්නා ලදී.  එම දරු ප්‍රසුතයේ ප්‍රතිඵල දැන ගැනීමට මුළු මහත් ආක්ටික් ප්‍රදේශයේම වසන්නෝ හුස්ම නොගෙන බලා උන්හ.  නෝඩ්වික් ආකාරවල සැර පරුස, බිය සැක නැති ආකර කරුවෝද, චෙල්යුස්කින්හි විද්‍යාඥයෝ ද,  ඩික්සන්හි ගුවන් විදුලි සංඥා ශිල්පියෝද ,    ටික්සි වරාය ඉදිකරන්නෝද, බේලි දුපතේ හිම කාලය ගත කරන්නෝද, ප්‍රසව වේදනාවෙන් පෙළෙන්නියගේ ඇඳ ලඟටවී හැරෙන්නේවත් පෙරළෙන්නේවත් නැතිව බලා සිටියෝය.  අලුත උපත ලබන බිළිඳාගේ ප්‍රථම දැඩි කෑගැසීම අසා ඔහු වෙත පීතෘ සෙනෙහසින් මඳ සිනා පා සුබ පැතීමට බලා සිට්යෝය.

"ඉතින් ඇයට කොහොමද? ඇගේ තත්ත්වය කොහොමද?  ආක්ටික් සාගර වාසීහු උදේ, දවල්, රෑ විමසුහ.
එහෙත් ස්ත්‍රිය කෑගසයි.  ඇගේ සුසුම් ලෑම මුළු මහත් ආක්ටික් ප්‍රදේශයටම ඇසෙන්නාක් මෙනි.   ඇගේ ස්වාමි පුරුෂයා, අනික් හැම පුරුෂයන්ම එවැනි අවස්ථා වලදී හැසිරෙන පරිදි ඇගේ ඇඳ අසලටවී හඬන්නට විය.   දොස්තර කිසිවක් කර කියාගත නොහී, කලබල වී ස්නායු දුර්වලත්වයෙන් පෙළුණේය.  අනේ පව්, දුප්පතා. ඔහු ප්‍රසව විද්‍යාව නොදත්තෙකි.  ඇරත් මෙය අති විශේෂ අවස්ථාවක් විය.  එනම් නූපන් බිලිඳා ගර්භාෂය තුල හරහට සිටීමය. 

එදින කැකිරි දුපතේ සිට ධ්‍රැව සාගරයේ සියලු දුපත් හා පෙදෙස් වලට මෙවන් ගුවන් විදුලි පණිවිඩයක් ලැබිණි.
"බේරා ගන්න! බේරා ගන්න! කළ හැකි හැම දෙයක්ම කරන්න (නැවතීමේ ලකුණ) අම්මාත්(කොමාව) බිලිඳාත් බේරාගැනීම සඳහා හැම දෙයක්ම කරන්න" ප්‍රසව වේදනාවෙන් පෙළෙන්නියගේ පුරුෂයා ඉල්ලා සිටියේය. 

කළ හැක්කේ මොනවාද? විදුලි පණිවුඩය භාරගත් සංඥා ශිල්පියාගේ මුහුණ වේදනාව නිසා හැකිලිණි.  ඔහු ශ්‍රවණ පෙති පසෙක තබා ප්‍රධානියා වෙත ගියේය.  කළ හැක්කේ මොනවාද? ස්ත්‍රිය, එපමණක්ද බිලිඳා...
ප්‍රධානියා සහ පක්ෂ සංවිධායකයා කල්පනා කරන්නට වුහ.  එම සිඟිති දුපතට යාමට අහස් යානා නැතිය.  ගුවන් තොටුපොළෙහි එකද ගුවන් යානාවක්වත් නැත.  ශීත කාලය රජකරයි.  උත්තර ධ්‍රැවයේ මහා රාත්‍රිය ආරම්භ වී ඇත.  මෙවැනි කාල ගුණයකදී අහස් යානාවකින් පියාසර කළ හැකිද? පක්ෂ සංවිධානයේ ලේකම් වරයා බැම රැළි නංවාගෙනය රෝහලේ දොස්තර හමුවීමට ගියේ.

දොස්තරගේ නම සෙර්ගේයි මත්වේයිව්ය. ඔහු ගැන කිව හැක්කේ මොනවාද? ඔහු සාමාන්‍ය දොස්තර වරයෙකි.  කිසිවක් නිසා මවිතයට පත් නොවන්නන් ගෙන් එකෙකි ඔහු. හේ කිසිවක් ගැන දුක් නොවන්නෙකි.  බිය නොවන්නෙකි.  සෙර්ගේයි මත්වේයිව්ගේ බාහිර පෙනුමද ඉතාමත්ම සාමාන්‍ය යැයි කිව හැකිය.  ඔහුගේ උදරය විශාල නොවේ. අත් විශාලය.  රත් පැහැතිය.  ඔහු රෝගීන් කපන සැබෑ ශල්‍ය වෛද්‍ය වරයෙකි.  ඔහුගේ කටහඬ බැරෑඬිය.  දයාන්විතය, හිසෙහි තට්ටයද යහගුණයක් පෙන්වාලයි.  හිසකේ රොද අතරින් පතර වැඩී ඇත.  ඔහුගේ අත්වලින්ද,සිරුරෙන් සහ ඇඳුම් වලින්ද රෝහල් ගඳ නමින් හැඳින්වෙන කාබොලික් සහ අනිකුත් බෙහෙත් සුවඳ වහනය වෙයි. එක් වචනයකින් කිවහොත් ඔහු දොස්තර වරයෙකුගේ විශේෂ බාහිර පෙනුමෙකින් යුක්තය.  මේ හේතුව නිසා නැංගුරම් වල සටහන් සහිත පිත්තල බොත්තම් ඇති නාවික ඇඳුමින් සෙර්ගේයි මත්වේයිව් සැරසී සිටින විට, කෙනෙක් ඉබේටම මෙසේ සිතනු ඇත.  " ඔහු දොස්තර ලෝගුව ඇඟලා නැත්තේ මන්ද?

මේ දොස්තරට එක් අසාමාන්‍ය ගතියක් තිබිණි.  ආක්ටික් ප්‍රදේශයේ දොස්තර වරයෙකුගේ ලක්ෂණ රහිත ඔහු බොහෝසෙයින්ම සාමාන්‍ය වීමය.  කෙසේ වුවද ඔහු ආක්ටික් ප්‍රදේශයේ දොස්තර වරයෙකි.  එවැන්නෙකුට චමත්කාර ජනකත්වයක්තිබිය යුතුය. සිතියම් දෙස බලන්න.  ධ්‍රැව ප්‍රදේශය ගවේෂණය කරන්නන්ගේ නම් අතර සම්භාවනීය දොස්තර වරුන්ගේ නම්ද ඒ සිතියම ඔබට පෙන්වයි.  දොස්තර ස්තාරොකදොම්ස්කිගේ දුපත, දොස්තර ඉමාචෙන්කෝගේ තුඩුව, දික්සන් දුපතෙහි ඔබට උත්තර ප්‍රදේශයේ චාම් වීරයෙකු වන ඇපෝතිකරි  ව්ලදිමිරොව්ගේ සොහොන පෙන්වනු ඇත.  අළු පැහැති ලීයෙන් කළ ඒ සොහොන් කොතට ඔබ හිස නමා ආචාර කරනු ඇත්තේ ගෞරවයෙනි.  ව්රාන්ගල්ගේ දුපතට ඔබ ගියහොත් කරන ප්‍රථම දෙය වනුයේ, ආක්ටික් ප්‍රදේශයට පැමිණි ජනතා සතුරන්ට විරුද්ධව සටන්කොට නිර්භය ලෙස ජීවිත පූජා කළ වීරයෙකු වන දොස්තර වොල්ප්සොන්ගේ සොහොන සෙවීමය.

එහෙත් කෙනෙකුගේ සිත අමනාප විය හැකි තරමටම සෙර්ගේයි මත්වේයිව් තුළ චමත්කාරජනක කිසිවක්ම නොවීය.  ඔහු නිකම්මැ නිකම් සාමාන්‍ය දොස්තරෙකි. අයිස් කඳුවලට, මුහුදු කුණාටු වලට,වැනෙන නැව් ඩෙක් තට්ටුවට, සාගරයේ කරදිය සුවඳට, ටින් කෑම සලාකයට පුරුදුවූ නාවික වීර දොස්තර කෙනෙක් නොවේ.  ඔහු එසේ වතුදු ඔහු සමහර විට, පරීක්ෂණ පවත්වන දොස්තරෙකු නැත්නම් දොස්තර විද්‍යාඥයෙකු වුයේද?

මෑතක සිට ආක්ටික් ප්‍රදේශයට වෛද්‍ය විද්‍යාඥයෝ ඉතා කැමැත්තෙන් යති.   ඔවුහු වූකලී ජෛව විද්‍යාඥයෝය, සත්ව විද්‍යාඥයෝය, අල්ප වශයෙන් පැළෑටි විද්‍යාඥයෝය.   ඔවුහු විවිධ බෙල්ලන් වර්ග, කුතුහලය දනවන උභයජීවීන්, උරගයින් එකතු කොටැ ඒවා ස්ප්‍රීතුවල බහා ඒ තිලිණ මවු බිමට ගෙනයති.  අන් සමහරු අල්ලක් තරම් කුඩා, කුරු විලෝගස් මුල් සහ 'කිරීට' සමග කඩදාසි කොළවල අලවති.  වෙනත් අය ආක්ටික් තත්ත්වයන් යටතේ සෑදෙන ලෙඩ රෝග හදාරති.  මිනිසුන්ගේ හැසිරීම, මනෝ ච්කිත්සාව, බෝවන රෝග සෑදීමේ ඉඩකඩ, මිනිසා මත ධ්‍රැව මහා රාත්‍රිය සහ ධ්‍රැව මහා දිවා කාලය බලපාන සැටි ආදිය උගනිති.

එහෙත් සෙර්ගේයි මත්වේයිව් බෙල්ලන් ස්ප්‍රීතු වල දැමීම හෝ ශාක වර්ග වේලීම හෝ නොකළේය.  " ව්‍යවහාරික වෛද්‍ය සේවයේදී ඇතිවූ කුතුහලය සහිත සාධක" ලිවීමේ දිනපොතක්ද පවා ඔහු නොතැබීය. එසේවතුදු ඔහු යම් යම් දේ පිරික්සා බැලීමට ඉදිරිපත් වුණද, වෙලාව...ඔව්. කාල වෙලාවක් නොතිබිණි.  රෝගීහු, වැඩ කටයුතු, රෝහල, සදාකාලික හිමෙන් වැසී ඇති මේ ප්‍රදේශයේ වාසය කිරීමේදී ඔහු නව දේ සොයා ගැනීමෙන් විද්‍යාව පොහොසත් නොකරන බව නම් පැහැදිලිවම පෙනෙන්ට තිබිණි.  

ධ්‍රැව ප්‍රදේශයේ වැඩ කිරීමේදී විශේෂ පැහැදිලි තාවයකින් විද්‍යාවට සේවය කිරීමට ඉදිරිපත් වන විදිහේ කෙනෙක් ලෙස ගැනෙන චුම්බක විද්‍යා ශිල්පී තරුණ මදෝරව්, නැවේ ගමන් කරද්දීම දොස්තර වෙත පැමිණ සතුටු සිතින් මඳ සිනා පාමින්,ඔහු අමතා මෙසේ පැවසීය.

"ඔබව තේරුම් ගැනීමට මට පුළුවනි.  සදාකාලික හිමෙන් වැසී ඇති පෙදෙසේ වැඩ කිරීමට යන අප දෙස ඔබ බලන හැටි මට තේරුම් ගත හැකියි.  ඔබ අප දිහා බලන්නේ හාවුන් දෙස බලන හැටියට නොවැ.  ඔබ අපව පිරික්සුමට භාජනය කරනව. එහෙම නේද?  වැඩ මුරයට ඉස්සෙල්ලාත්, පසුවත් අපේ නාඩි බලනවා.  ධ්‍රැවගත මහා රාත්‍රියේදීත් ඉන් පසුවත් අපේ හෘද වස්තු පරීක්ෂා කරලා බලනවා.  ඔන්න ඉන්පසුව සත්තකින්ම විද්‍යා කෘතියක් ලියනව නේද? එහෙම නොවේද? ඇත්තටම එහෙම නේද? දොස්තර මහතාණෙනි, ඔබේ හාවකු ලෙස සේවය කිරීමට මා සතුටුයි. 

සෙර්ගේයි මත්වේයිව් ඔහු දෙස බිය මුසු ලෙස බලා තරමක නොසන්සුන් කමක් සහිත ලැජ්ජාවට පත්වී, කිසියම් දෙයක් ලුණු ඇඹුල් සහිතව විස්තර කරන්ට වුයේ, අස්ථිර ලෙස ඇඟිලි දෙකකින් අසුරුසන් ගසමිනි.  එතැන් සිට මදෝරව් සහ අනිකුත් හාවෝ සෙර්ගේයි මත්වේයිව් දොස්තර තැනගේ විද්‍යාත්මක කෘති අරභයා විස්තර විමසීමට ඉදිරිපත් නොවුහ.  ඔහු මෙහි පැමිණියේ එකම එක අරමුණක් අනුව බව පෙනෙන්ට තිබිණි.  එනම් රෝගීන් සුවකිරීමටය.  දරු ප්‍රසුත වලදී සහාය වීමටය, රෝගී දත් ගලවා දැමීමටය,ඇපැන්ඩිසයිටිස් නැමැති රෝගය ඇතිවූ විට උණ්ඩුක පුච්ඡය කපා දැමීමටය.  

මේ සියලු දේ සඳහා ඔහුට රෝහලක් අවශ්‍ය විය.  මන්දයත්, රෝහලක් නැති දොස්තර " අනේ මහත්තයෝ ඒක හරියට නැවක් නැති කොලොම්බස් කෙනෙකුට සමාන බැවිනි" එපමණක් නොව ඔහුට අවශ්‍ය වුයේ ආවාට ගියාට නිකම් රෝහලක් නොවේ.  ඉතා හොඳ වර්ගයේ රෝහලකි.  මෙය ආක්ටික් ප්‍රදේශය වුනත් නැතත්, මිනිහෙකුට රෝගයක් සැදුනහොත් එයට නියම ලෙස ප්‍රතිකාර කළ යුතු බැවිනි.  පාරුවල සිට ගොඩබාන ලද පෙට්ටි ඔහු ඔහුගේම කරෙන් ගෙනගියේද මේ හේතුව නිසාය.  කිසිවෙක් ඔහුට ආධාර පිණිස ඉදිරිපත් වුවොත් ඔහු රෝහලට අවශ්‍ය උපකරණ සහිත පෙට්ටි කරින් ගෙනයන්නාට සැරවී, කෑගසනු ඇත.

"පරිස්සමින්,පරිස්සමින්! බිඳින්ට එපා!"

කිසියම් උපකරණ වලට අවශ්‍ය ලී ඔහුම යතුගා කපා පිළියෙල කැරැ ගත්තේය.  වඩු රාළලා අසලටවී ඔහු ඔවුන් දිරිගැන්වීය.  රෝහල් බිත්තිවලට සුදු තීන්ත ගෑවේද ඔහුය.  රෝහල් බිම ලිනෝලියම් කවරවලින් වසා පිළියෙල කලේද ඔහු විසිනි.  වැඩ බහුල විය.  මිනිසුන් අල්ප විය.  ගුවන් විදුලි මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා එක් කොටසක පිපිරැවීම් ඇති කරන ලදී.   බිම අඟුරු පතලක් කණින ලදී.  එය ආක්ටික් ප්‍රදේශයට ඵෙතිහාසික වූ එක්දහස් නවසිය තිස්හතර විය.   ඩයබාස් කඳු වැටි මධ්‍යයේ සදාකාලික අයිස්වලින් පිරී ඇති මහා සාගරයේ හිම කතර බඳු වෙරළෙහි ගොඩනැගිලි, වරාය,වැඩ ශාලා සහ පතල් සෑදුවේ එම වසරේදීය.

රෝහලක් ද ඉදිකරනු ලැබීය.  එය ඇඳන් පහක් සහිත කුඩා රෝහලකි.   එසේවුවද එය සම්පූර්ණයෙන්ම සෑහිනි.  නියම රෝහල්වල තිබෙන හැම දෙයක්ම මේ රෝහලෙහිද ඇත.  සෙර්ගේයි මත්වේවිව් දොස්තර තැනගේ හිසකේ පැසුණේත්, ඔහුගේ හිසකේ වැටී තට්ටය පෑදුණේත් ඔහුගේ සිරුරට අයඩින් හා කාබොලික් සුවඳ කැවුණේත් මෙවැනි නියම රෝහල්වල ඔහු වැඩකළ බැවිනි.  රෝහල් බිත්ති දිලිසෙන්නට විය.  නිකල්වන් උපකරණ මත කණ්නාඩි අල්මාරියේ තිබෙන ලේබල සහිත වීදුරු උපකරණ හා භාජන මත වැටෙන හිරු රැස් නටන්නට විය.  පවිත්‍රය,නිහඬතාවය රජකළේය.  කාබලික් බෙහෙත්වල සුවඳ පැතිරිණි.  රෝගියෝ පැමිණියෝය.  වැඩියෙන්ම ආවේ කාන්තාවන්ය.  ඈත පිහිටි ධීවර ජනවසම් වලැ සිට, බල්ලන් විසින් ඇදගෙන යනු ලබන හිම යානා වලින් ගැබිණි මවුවරුන් මෙහි පැමිණියේ දරු ප්‍රසුතයට  නියමිත කාලයට වඩා මාසයකට හෝ දෙකකට කලිනි.    පුරුෂයින් මෙහි ආවේ හර්නියා අණ්ඩවාතයට, ඇපැන්ඩිසයිටිස් රෝගයට, ඉතා දැඩි හිමට අසුවී ඇඟිලි දරදඬු වූ විට, කැඩුම් බිඳුම් ඇතිවූ විට සහ දත්වලට ප්‍රතිකාර ගැනීම සඳහාය.  දොස්තර දත්වලට ප්‍රතිකාර කළා පමණක් නොව දත් පිරවීමද පවා කළේය.  තම මවුබිමේදී දත්වලට ප්‍රතිකාර නොකළ බොහෝ දෙනෙක් සෙර්ගේයි මත්වේයිව්ගෙන් ප්‍රතිකාර ලබාගත්හ.  එහෙත් ඔහු තම රෝගීන්ට නිතරම පාහේ මෙසේ පැවසීය. 

"අනේ බාතෙන්කා,මේ දිරාපත් වෙච්ච දත තමුසෙට මොකටද? අපි ඒකට වැඩක් දෙමු."

දත් ගළවා දැමීමට පෙර මිනිහෙකුට ඔහු ස්ප්‍රීතු ග්‍රෑම් තිහක් දුන්නේ රෝගියාගේ ධෛර්යය වැඩීමටය. එය සම්ප්‍රදායක් බවට පත්විය.  රෝගීන් පසුව තමා රවටන හැටි සෙර්ගේයි මත්වේයිව් දැනගත්තේය.  මත්පැන් ටික බොන ඔවුහු දත ගළවා දැමීමට ඉඩ නොදෙති.  " අනේ දොස්තර මහත්තයෝ දත කැක්කුම නතරවෙලා. අපි අනික් පාර එය ගළවා දමමු" යි ඔවුහු කියුවෝය.  එදා සිට ඔහු රෝගීන්ට ස්ප්‍රීතු දුන්නේ දත ගැලවීමෙන් ඉක්බිතිවය.  

 වෘත්තියෙන් ශල්‍ය වෛද්‍යවරයෙකුවූ ඔහු නිතර ශල්‍ය කර්මයට ප්‍රධාන තැනක් දුන්නේය.  කිසිවෙකු කපා දැමීමට අවස්ථාවක් ලැබුණොත් ඔහු ප්‍රබෝධයට පත්වන බව හිම වාඩියේ මිනිසුන් කියමින් සිනාසුනේ මේ නිසා විය යුතුය. 

" ඔන්න බාතෙන්කා අපි මෙතැන පොඩ්ඩක් කපල දාමු, ඔන්න ඔහොම! ඉතින්  කපල ඉවරයි.ලෙඩෙත් සනීපයි.

අභ්‍යන්තරික චිකිත්සක රෝග ඔහු බැලුවේ සැක සිතිනි.  

" ඔය චිකිත්සක වෙදකම,නොකැරෙන වෙදකමට කෝඳුරු තෙල් හොයනවා වගේ වැඩක්. බාතෙන්කා ඔය ලෙඩේ තේරුම කුමක්ද? තේරුමක් නැති ලෙඩ!" මෙසේ කියා ඔහු රෝගියා සනසාලයි.  "ඔය රෝගය සුවකිරීම එහෙම පිටින්ම ස්වභාව ධර්මයට බාර දෙන්න.  සොබාදහම අප ඔක්කොටොම වැඩිය බුද්ධිමත් ....ඉබේටම හොඳවේවි.  මෙහෙ දේශගුණය බොහොම අපුරුයි....බොහොම සනීපදායක දේශගුණයක් ඔව්!"
දහවල් ආහාරය ගන්නා විට, යම්කිසිවෙක් දිනපතාම පාහේ දොස්තර අමතා මහ හඬින් ප්‍රශ්න කිරීම සිරිතක් බවට පත්වී තිබිණි. 

" දොස්තර මහත්තයො, මට නිකම් හිසේ ඇම්මක් වගෙයි, මොකද කියන්නෙ ඒක ඉබේටම ඇරිලා යාවිද?"

"ඇරිලා යාවි,බාතෙන්කා,ඇරිලා යාවි" දොස්තර පිළිතුරු දුන්නේ දැඩි විශ්වාසයකිනි.

අපේ සාමාන්‍ය දොස්තරකු වන සෙර්ගේයි මත්වේයිව් එවැනි කෙනෙක් විය.  ඔහු ගැන බලා තේරුම් ගත නොහැකි යම් කිසිවක් තිබුණේ නම්,එය අන් කිසිවක් නොව ඔහු ආක්ටික් ප්‍රදේශයට ආවේ මන්ද? යන්නය.
ඇත්ත වශයෙන් නම්, ඔහු ආක්ටික් පෙදෙස දුටුවේ නැත. රෝහල, එකට වාඩිවී ආහාර ගැනීම, මෙහි නැවතී සිටින්නන්ගේ ගෙවල්වලට යෑම, රෝහල....දඩයම් සඳහා යාමට සුදානම් වුවද දඩයමට නොගියේය. ධීවරයින්ගේ ජනවසම් වලට යාමට ආශා කලද, රෝහලේ තමා වෙනුවට කිසිවකු නැවත්වීමට නොහැකිවීම නිසා එයද ඉටු නොවීය.  දරු ප්‍රසුත වලදී සෙර්ගේයි මත්වේයිව්ට වෙදකම් කිරීමට සිදුවූ බැවින් (ආක්ටික් ප්‍රදේශයේ බොහෝ ස්ත්‍රීහු දරුවන් ප්‍රසුත කළහ) ධීවර ජනවසම් වලට ගියේ ඇපොතිකරි තැනය.  එක් වරක් ශරත් සමයේදී දොස්තර තැන තරුණ ධීවරයින් සමග එකතුව බෙලුහා නැමැති මුහුදු සත්ව වර්ගය ඇල්ලීමට ගියේය.  ඔහු එහිදී සියලු ධීවරයන්ට බාධා කළා පමණක් නොව, තව පොඩ්ඩෙන් මාළු දැල පවා මුහුදට අතහරිනු ඇත.  තෙත බරියන් වුවද, ඉමහත් සතුටකින් ඔහු වෙරළට ආවේය.  අනතුරුව ඔහු සියලු දුපත්වාසීන් පිරිවරා ගෙන බෙලුහාව දොස්තර පිහියෙන් කපන්නට වුයේය.( බෙලුහාට ඇපැන්ඩිසයිටිස් තියෙනවාද කියා බලනවා යැයි තරුණයෝ සිනාසුනහ) සුපුරුදු අතින් ඔහු සතාගේ පපුව හා බඩ පලා අභ්‍යන්තරික ඉන්ද්‍රියයන් ගෙනැ පෙන්වමින් මෙසේ පැවසීය.  මේවා හැම දෙයක්ම මිනිහාගේ අභ්‍යන්තරික ඉන්ද්‍රියයන් වගේමයි."
එක් දවසක හවස් කාලයේදී, කෝපි පානයෙන් ඉක්බිතිව, භෝජනාගාරයේ උණුසුමක් සහ පහසුවක් පවතින විටෙක, චුම්බක විද්‍යා ශිල්පී මදෝරව් දොස්තර ලඟට වී මෙසේ ඇසීය.

" සෙර්ගේයි මත්වේයිව්,ඔබ අමනාප වෙන්න එපා. ඔබ ආක්ටික් වලට ආවෙ මොකටද? 

සෙර්ගේයි මත්වේයිව් තරමක ලැජ්ජාවකට පත්වී දෑත් වැනීය. 

" බාතෙන්කා,ඔබට ඒ ගැන කියන්නේ කොහොමද. හැම තැනම කියන්ට පටන් ගත්තා,ආක්ටික්,ආක්ටික් කියලා... ඉතින් මාත් කල්පනා කළා මෙහි එන්ට ඕනෑ කියලා.  මම මහලු නැහැ. ඔබ සිතන්නේ කොහොමද? දොස්තර තැන තරුණයෙකු සේ උඩුරැවුල කරකැවිය." ඔන්න ඊට පස්සේ,උතුරුකරේ ඉඳල දොස්තර කෙනෙක් අපේ රෝහලට ආවා.  බොහොම ප්‍රබෝධමත් වෙලා. ඔහු කියනවා ක්ෂේත්‍රය බොහොම ලොකුයි,බොහොම වැදගත් අවස්ථාවන්...ඉතින් මාත් එහි ගියාම මොකද වෙන්නේ? මම යුද්ධ හමුදාවට බැඳිලා යුද පෙරමුණටත් ගියා.  ඔව් හැම දෙයක්ම සිදුවුනා...ඉතින් ඊට පස්සෙ..." දොස්තර තම අවංක සුනිල්වන් නුවන්, තරුණයා දෙස එල්ල කොටැ මෙසේද පැවසීය. " ඉතින් මෙහි පඩි ගෙවීමත් ඉතාම හොඳයි නොවැ.  මම මෙහි අවුරුදු දෙකක් වැඩ කරනවා.  එතකොට බාතෙන්කා, එය සෑහෙන ප්‍රාග්ධනයක්.  මොස්කව් නගරය අසලින් පුංචි ගෙයක් සල්ලිවලට ගැනීමටයි මගේ කල්පනාව.  දන්නවද, පොඩි ගෙවත්තක්... එල්ලෙන ලණු ඇඳක්...මල්පාත්ති, නස්තුර්සිය මල්වලට මම බොහොම කැමතියි.  ජනෙල් පඩිය උඩ වයලට් මල් පාත්තියක් තියෙනව නම් හරි අගෙයි. "

එම සාකච්ඡාවෙන් ඉක්බිතිව දොස්තර තැන වඩාත් පාළු ගතියක් ඇති කැරවෙන අවිශිෂ්ට මිනිසෙකු ලෙස පෙනිණි. 

එහෙත් ඔහු සාමාන්‍ය සහ අවිශිෂ්ට කෙනෙකු වුවද, ඔහුගේ සැටි එසේ විය. ඔහුගේ අත් රත් පැහැතිය,විශාලය,දොස්තර ලෝගුවට යටින් ඇති බඩගෙඩිය මඳක් නැඹුලුය.  ඔහු වෙතින් කාර්බොලික් සහ අයඩින් සුවඳ වහනය විය.  කැකිරි දුපතෙහි ප්‍රසව වේදනාවෙන් පසුවන ස්ත්‍රියට ආධාර කළ හැකි පුද්ගලයා ඔහු පමණක් වුයේ, ඔහුට එය කෙසේ කළ හැකිද යන්න අරබයා වූ අපැහැදිලි තාවයද පවා නොතකමිනි.
ධ්‍රැව සාගර ජනවසමේ පක්ෂ සංවිධායක, වාස්යා මාමා දොස්තර හමුවීමට රෝහලට ඇවිත්, ඔහුගේ කාර්යාල කාමරයට වැදුණේය. 

වෙහෙසට පත් දෙනෙතින් දොස්තර දෙස බලා ඔහු මෙසේ පැවසීය. " උදව් වෙන්ට ඕනෑ" 

එහෙම කොහොමද බාතෙන්කා!" සෙර්ගේයි මත්වේයිව් දොස්තර තැන මවිතය ප්‍රකාශ කළේය.  " ඔබ කියන්නේ උදවු කරන්ට ඕනයි කියලද? එහෙමනම් ඔහේගෙ රෝගියාව මෙහාට ගේන්න.  කරුණාකරලා ගේන්න, සමාවන්න, අවකාශයේ පවතින දරු ප්‍රසුතයකට ආධාර දීමට මට පුළුවන්කමක් නෑ නොවැ.

" ඒ උනත් දොස්තර, ඔබ උදව් කළ යුතුයි."

" මේක මහා පුදුමයක්,ඇත්තටම!" දොස්තර තැන දසන් පෙන්වා සිනාසී දෑත් විදහා පෑවේය.  "ස්ත්‍රියගේ ඇඳ ලඟට මගේ අත යැවිය හැකි,කිලෝමීටර දහසක් දිගැති යාන්ත්‍රික අතක් දෙන්න.  බාතෙන්කා,මට දෙන්නකො දුර දක්න ඇස් දෙකක්. ආ...ආ... කිලෝමීටර් දාහක් දුර බලන්න පුළුවන් ඇස් දෙකක් "

" දොස්තර මහතාණෙනි, අපි ඔබට එවැනි ඇස් දෙකක් සහ අත් දෙකක් ලබා දෙන්නම්."

" මට ඔබව තේරුම් ගන්න බෑ බාතෙන්කා, මොන අත්ද? මොන ඇස්ද? 

" රේඩියෝව, අම්මාගේ සහ ඇගේ කුසෙහි ඉන්න බිළිඳාගේ තත්ත්වය ගැන ඔබට රේඩියෝව මගින් වාර්තා කරාවි.  ඔබ දිය යුතු වෛද්‍යාධාරය ගැන කියන්න.

අන්දමන්ද වූ දොස්තර තැන බොහෝ වෙලාවක් නිහඬව සිට පක්ෂ සංවිධායකයා දෙස බැලීය.

" ඔය යෝජනාව...ඇත්තටම බැරෑරුම් එකක්ද? දොස්තර තම නිහඬතාවය බින්දේය.

"සම්පූර්ණයෙන්ම බැරෑරුම්, වෙනත් ක්‍රමයක් නැහැ."

සෙර්ගේයි මත්වේයිව් දොස්තර තැන නැගිට දොස්තර ලෝගුව ඇඟ ලා ගෙනැ තීරණාත්මක ලෙස දොර දෙසට පා තැබීය.

" අපි ලෙඩා ලඟට යමු" ඔහු මෙසේ පැවසුවද අනතුරුව නැවතුණේය.   " මොකටද මේ ලෝගුව? කොහොම වුනත් මේ ලෝකේ මේවා මහා පුදුම දේවල්.ඇහැට නොපෙනෙන ගෑනු එක්කෙනෙකුගේ දරු ප්‍රසුතයට වෙදකම් කිරීම.  මගේ සගයින් දැන ගත්තම කොහොම මවිත වේවිද? කොහොම වුනත් අපි යමු.

කැකිරි දුපත සමග ගුවන් විදුලි සංඥා පණිවුඩ සබඳකම් පටන් ගැනිණි.  ගුවන් විදුලි සංඥා යවන්නා ධ්‍රැව ප්‍රදේශයේ අනිකුත් සියලු ස්ථාන වලට මෙවන් දැන්වීමක් නිකුත් කළේය. " කැකිරි දුපතේ දරු ප්‍රසුතය අවසන් වන තුරු ධ්‍රැව ප්‍රදේශයේ අනිකුත් සියලු ස්ථාන සමග පණිවුඩ හුවමාරු කැරැ ගැනීම තාවකාලිකව නවත්වනු ඇත."

හැම දෙයක්ම අප්‍රාණික වූ කලෙක මෙනි.  ගුවන් විදුලි සංඥා යන්ත්‍රද නිහඬ විය.  මුළු මහත් ආක්ටික් ප්‍රදේශයම ඉහළට අදින ලද හුස්ම පහළට පවා නොදමමින් ඈත කැකිරි දුපතේ දරු ප්‍රසුතය විමසන්නට විය.  සෙර්ගේයි මත්වේයිව් ගුවන් විදුලි උපකරණය වෙත පැමිණ " හොඳයි ඉතින්" කියමින් බඳ පටියෙහි දෑත් තබාගෙන පටන්ගත් නමුදු,  අන්දමන්ද විය෴
මතු සබැඳේ.....

Thursday, July 7, 2016

පනංගල අයියා 2



"පසුදා උදය කාලයද වැසිපොද සහිත විය.  එහෙත් ගෙදර අවට ඕවිට වැසී යන තරම් වැස්සේ නැත.  උදය දහයට පමණ පනංගල අයියා එහා වත්තේ කඩොල්ලෙන් පනිනවා මා බලාගෙනය.   ඔහුගේ අපූරු නොණ්ඩි ගමන මට වඩාත්ම සිත්කලු වුයේ ඔහු අපේ ගෙදර එන බව මා තේරුම් ගත් නිසාය.  ළඟ අහල පහළ ඇතැම් අය අපේ ගෙදර එතොත් එය මට කන්දොස්කිරියාවකි.  එහෙත් පනංගල අයියා එතොත් එය විනෝදයකි.  මම ඔහු එන පැත්ත බලා සිටියෙමි. 

වෙනදා වාඩිවන වලුපුටු පුංච උඩම වාඩි වුණු පනංගල අයියා "තේ වතුර කාරිය නැද්දැ?" යි ඇසීය.

"තියෙනවා! තියෙනවා!" කියාගෙන මම ගේ ඇතුළට දුව ගොස් ඔහුට තේ වතුර ගෙනැත් දුනිමි.පනංගල අයියාට තේ වතුර දෙන ලොකු කෝප්පයක් අපේ ගෙදර තිබුණේය.  

"පනංගලේ උඹ ආවට කමක් නෑ.මේ පොඩි එකාට බූත කතා විතරක් කියන්න එපා.උඹ ඊයෙ කියපු කතා අහගෙන ඉඳල මේ දරුව ඊයෙ රෑ තනියම නිදා ගත්තෙත් නෑ!" අම්මා කීවාය.

"ඔව් ඒකත් හරි තමයි." කියා පනංගල අයියා වලුපුටු පුංචේ හොඳට හරිබරි ගැසුණේය.

"මගේ ඇටඹ ගහේ ඇටඹ ලස්සෙකට වැඩිය මේ සැරේ පල අරගෙන! අතු නැමිල ඔක්කොම බිම ගෑවෙනවා!"

පනංගල අයියා මේ කීම කීවේ මා උන්දෑගේ වත්තට ගෙන්වා ගන්නට බව මම තේරුම් ගත්තෙමි.   පොඩි කාලේ මා ඇටඹ කන්නට කැමතිය.

"ගල් අන්නාසිත් ඕනෑ තරම් තියෙනවා! වැල්වල සීනි කැකිරි නිකම්ම පැළි පැළි යනවා!"

"ඇත්තද?"කියා මම ඇසීමි.

"ඇත්ත නේන්නම්!මම එහෙම නැතුව කවදාවත් බොරු කියනවද? දෙන්නකො මට පයිප්ප දුම්කොළ ටිකක්...."


ඔහු ඉඳහිටලා පයිප්ප දුම්කොළ ටිකක් ඉල්ලන්නේ පයිප්පයේ දමා බොන්නට නොවේ.බුලත් විට සමග කන්නටය.

තාත්තාගේ දුම්කොළ ටින් එකෙන් මම ඔහුට දුම්කොළ ටිකක් දුනිමි."අපූරුයි"කියා ඔහු එය කටේ හලා ගත්තේය.

"පනංගලයියා මිදුළේ කෙළ ගහනවාය කියා අම්මා හැමදාම කෑ ගහනවා! මෙන්න පඩික්කම" කියා මම පඩික්කම ගෙනවුත් ඔහු ළඟින් තැබුවෙමි.

"උඹ පනංගලේට නම් පඩික්කම් අදිනවා!ලෙඩ වෙච්ච වෙලාවක වත් මගේ ඇඳ ලඟට උඹට කියා පඩික්කම ගෙන්නවා ගන්න බෑ!" කියා අම්මා මට චෝදනාවක්ද කළාය.

"මේ ගමේ ළමයි අම්මල තාත්තලට වැඩිය මට ආදරෙයි!" කියා පනංගලයියා ගිනිකූරු කැබැල්ලක් අව්ලාගෙන දත හාරන්නට වන්නේය.

පයිප්ප දුම්කොළ ටික කෑ පසු පනංගලයියා සැරසෙන්නේ ගෙදර දුවන්නට බව මට පෙනිණි. 

"පනංගලක්කාටත් සනීප නෑ" යනුවෙන් ඔහු කීවේ ඒ නිසා වෙන්නට ඇත.

මගේ මුහුණේ තිබුණු ප්‍රීතිමත් ගතිය මැකී යන සැටි ඔහු දුටුවා වන්නට ඇත."මොනවද ඕනෑ?"කියා ඔහු ඇසුවේ ඒ නිසා විය යුතුයි.  නැතිවී ගිය මගේ ප්‍රීතිමත් ගතිය නැවතද එක්තැන් වූයේය.

"මට රූප ටිකක් ඇඳල දෙනවාදැ?"යි මම ඔහුගෙන් ඇසීමි.

"අපොයි පුළුවනි!ඕක සුළු වැඩක්නේ! ඇයි කතාවක් කියන්න එපාද?

"අද එපා!අම්මා ඉන්නව!"

"ඒකත් හරි තමයි" කිව් පනංගලයියා "දුමකොල නැට්ටක් එහෙම නැතිදැ?"යි ඇසීය.

මම ඔහුට දුම්කොළ නැට්ටක් ගෙනවුත් දුනිමි.ඔහු එය ඉණේ දවටා ගත්තේ කටේ තිබුණු බුලත්විට හපා ඉවර නැති බැවින් විය යුතුය.

මගේ ඩ්‍රෝයින් පොත ඉල්ලාගෙන ඔහු ගොනෙකුගේ රූපයක් පිටුව පුරා ඇන්දේය. "ඔන්න බලන්න පොරෝලිස් කංකානම ගේ පුසියගෙ ලස්සන!" කියා ඔහු පොත දකුණු අතින් මදක් උස්සා උදම් ඇනුවේය.

"ගොනාගේ හොම්බ ලොකු වැඩියිනේ!" මම කීවෙමි.

"ඇයි පොරෝලිස් කංකානමගේ ගොනාගෙත් දැන් ඔළුව ඉදිමිලනේ!ඒකයි එහෙම ඇන්දෙ!"

ගොන් රූපයේ තුනටිය වැසෙන පරිදි දැමු විදියේ රෙද්දක්ද ඇඳ පනංගලයියා එය සායම් කරන්නට වන්නේය.

"කව්ද ගොන්නුන්ගේ පිටේ රෙදි දමන්නෙ? අස්පයන්ගේ නම් ඒත් කමක් නෑ! ඒක මකල දමන්න."

"මකන්න හොඳ නෑ! දැන් නැතුවට ඉස්සර කාලේ නම්  රජ දරුවොත් ගොන්නුන්නේ පිට උඩ ගිහිල්ල තියෙනවා...."

"ඒකද අර පොරෝලිස් මාමගෙ පුතත් දැන් අර ගොන් නාම්බන්ගේ පිට උඩ යන්නෙ?"මම තව තවත් ඕනෑකමින් පින්තුරයට එබුනෙමි.

"පනංගලයියෙ,ඉතිං පින්තුරෙ පල්ලෙඅහින් ලියන්නකො පොරෝලිස් මාමගෙ පුසියා කියා ..."

"අනේ මාත්තයෝ මට අකුරු බැහැ නෙ!" පනංගලයියා මේ කීම කිවේ ඉතා කනගාටුවකිනි."මාත් අකුරු ඉගෙන ගත්ත නම් අද ලොකු මිනිහෙක් තමයි!"

"එහෙනං කොහොමද පනංගලයියා පිරිත් කියන්නෙ,තෙල් මතුරන්නෙ,අත බලල සෑත්තර කියන්නෙ?"

"ඒවට මාත්තයො අකුරු ඉගෙන ගන්න ඕනෑ නෑ.මහත්තෙයට ඕනෑ නං මම ගොන්නු පිට යන එක ගැන කවියකුත් කියා දෙන්නං!"

"හා,හොඳයි" කියා මමත් බංකුව උඩින් වාඩි උණෙමි.

"ආටක නාටක
වේපට වේගෙඩි 
මානික දරුවන්
ගොන් පිට යන්නං 
චූන කටුස්සං
හම්බන් මුත්තේ චුක්!"

පනංගලයියා එය කීප වතාවක්ම මා ලවා කියවීය.එහෙත් එය මට පාඩම් හිටියේ නැත.   තව හතර පස් විඩයක් කියවී නම් මට එය පාඩම් කරගන්නට තිබුණි.  බැරි වුණේ අම්මාගේ කරච්චලය නිසාය.

එතෙක් වේලා වැසි පොද වැටුණේ පදමටයි.එහෙත් වැඩිකල් යන්නට මත්තෙන් එය මහා වැස්සකට පෙරලිණි.

"කම්මැලියි"මම පනංගලයියාට කීවෙමි.

"ඉන්නකො එහෙනම් ඉතුරු මිතුරු කියන්න" ඔහු වටපිට බැලුවේ අම්මා ළඟ අහළ පහළ ඇතිදැයි බැලීමට වෙන්නට ඇත.

"අම්මා එහා වත්තට ගියා."

තවත් තේ කෝප්පයක් ඉල්ලාගෙන බී පනංගලයියා,දුම්කොළ නැට්ටද කටේ දමාගෙන ඉතුරු මිතුරු කියන්නට වන්නේය.

මගේ වම අතේ අල්ල මුනින් හරවා මම සිමෙන්ති පොළොවේ තැබුවෙමි.පනංගලයියාද ඔහුගේ වම් අත එසේම සිමෙන්ති පොළොවේ තැබුවේය.

දකුණු අතේ දබරැඟිල්ලෙන් වරක් ඔහු මගේ පිටි අල්ලට අනී.වරක් ඔහුගේ පිටි අල්ලටත් ඇන ගනී. එසේ අනින ගමන් ඔහු කවියක්ද කියයි.

"අතුරු මිතුරු-දෙමිතුරු තුරු
 පාඬි කතුරු - හෙට්ටියෝ
තොපෙ අයියයි - අපෙ අයියයි 
ගාලු ගොහින් 
තල් වල්ලයි -පොල් වල්ලයි
ගෙනා දාට
ඇහි වෙළෙඳං - කරපු දාට
අත හංගන්- පය හංගන් 
කොකෝ!"

"දුවනවද නැද්ද මෙතනිං,පනංගලය! ආව මේ පොඩි ඈයො නරක් කරන්න!" කියා ගෙන භූතාවේශයකින් මෙන් අම්මා එතැනට කොහේදෝ සිට කඩා පැන්නාය.

දුම්කොළ නැට්ටේ ඉතිරි හරියද කටේ දමාගත් පනංගලයියා, තලප්පාවද තවත් තද කොට ඔළුවේ බැඳගෙන,"ඒකත් හරි තමයි" කියා මිදුලට කඩාපැන්නේය. ඔහු නොණ්ඩි ගසමින් එදා වෙනදාට වඩා වේගයෙන් ගොස් එහා වත්තේ ඉඳි කඩොල්ල පැන්න හැටි මට තාමත් මතකය.

මමද අම්මාගෙන් බේරිල්ලක් නැති නිසා පොතක් ගෙන ඇඳ උඩ වකුටු වීමි.

වැස්ස තුරල් කළේ සවස් වන විටය.අම්මා රිල්ලඹ පැත්තට ගියාය.  මමද එහා වත්තේ ඉඳි කඩොල්ල පැන පනංගලයියාගේ ගෙදරට ගියෙමි.

පනංගලයියාගේ ගෙදර ඉතා කුඩා එකකි. එහි තිබුණේ ඉස්තෝප්පුවත්, සාලයත් පමණකි.  බිත්ති සියල්ලම කටු මැටියෙන් වැසුනේය.  මස් ගොබ දියවී, වැහැරී ගිය දිළිඳු සිරුරක උඩට නෙරා ගිය ඇට කෝටු පරිද්දෙන්, බිත්තියේ මැටිවලින් උඩට පිප්පී සිටි වරිච්චි එක්තරා ගැමි ගතියකින් යුක්ත විය.  වහල සෙවිලි කරන ලද්දේ පොල්අතු වලිනි.ගෙබිම මැටි ගා තිබුණේය.  ගෙට එකද ජනේලයක් වත් නැත.

ගමේ ලොකු ගෙදරකට ගොස් ලබන ආස්වාදයකට වඩා ලොකු ආස්වාදයක් මා පනංගලයියාගේ ගෙදරදී ලැබුවේ එහි බිත්තිවල එල්ලා තිබුණු අපූරූ රූප දෙස බැලීමෙනි.  අනෙක් නිවාසවල මෙන් වීදුරුවකින් වසා රාමු කරන ලද විසිතුරු පින්තූර එහි නොවූයේය.එහි තිබුණේ පනංගලයියා විසින්ම අඳින ලද ගොන් රූපත්,දේව රූපත්,යක්ෂ රූපත් පමණකි.  රූපයේ කොන් හතරට ඇණ හතරක් ගසා ඒවා හැම බිත්තියකම සවි කරන ලද්දේය.  සමහර රූපවල ඇණ එකක් හෝ දෙකක් ගැලවී තිබුණි.

ලණුවලින්වියන ලද පරණ තාලයේ ඇඳක් ඉස්තෝප්පුවේ විය.  ලනුපොටවල් වැසී යන පරිදි ඒ මත ගෝණි පඩංගුවක් අතුරා තිබුණේය.  ගෝණි පඩංගුවට උඩින් වියළි මීහරක් හමකි.පනංගලක්කා සාලයේ බිම පැදුරක් දමා නිදා ගනිද්දී පනංගලයියා නිදා ගත්තේ ඉස්තෝප්පුවේ ලණු ඇඳේය.  ගෙයි දොරවල් වෙනුවට තිබුණේ පොල් අතු පැලලි බවද මට මතකය.

පනංගලයියා කුලී වැඩ කළත් ලස්සන දෙයට ආසා ඇත්තෙකි.  ගෙයි මිදුල කළු ගල් තලවලින් අවුල්ව ගිය නමුත් ඉඩ තිබුණු තැන්වල ඔහු දාස්පෙතියා ද කූඩලු ද වවා තිබුණේ ඒ නිසා වෙන්නට ඇත.

ගෙය අයිනෙන්ම සාදන ලද කුඩා අතු පැල ඔහුගේ එළදෙන සඳහාය.  පනංගලක්කාට මෙන් එළදෙනටද පැටව් නැත.  දරුවන් නැති පනංගලක්කාට දැක්වූ ආදරය ම ඔහු පැටවුන් නැති එළදෙනටත් දැක්වූයේය.

පනංගලයියාගේ ගෙය පාමුල ඇති ගල් වැටෙන් පැන්න මම ඒ මේ අත බැලුවෙමි.   මට ඕනෑ කළේ අම්මා හදිසියේ වත් ළඟක ඇතිදැයි බැලීමටය.   "පනංගලයගේ ගෙදරට ගියොත් උඹට හොඳටම තලනවා" යැයි අම්මා මට කීප වතාවක් ම තර්ජනය කළාය.

අපේ ගෙදරට වඩා පනංගලයියාගේ ගෙදර කවදත් හොඳ යැයි මගේ කල්පනාව විය.  පනංගලයියාගේ ගෙදර ලණු ඇඳේ අතුරා ඇති මීහරක් හැම උඩ වාඩිවී කකුල්ද සල සලා ඉඳීම තරම් සැපතක් මට නොතිබුණේය.  ඇඳ උඩ ඉඳගෙන ඔහු කියන කතන්දර වලට ඇහුම්කන් දීමත් මට ප්‍රීතියක් වූයේය.

"ඇටඹ කන්න ඕනෑ" යැයි මම කීවෙමි.

"ඒකයැ මහත්තයෝ,අලි වැඩක්නේ වෙලා තියෙන්නෙ!ගහේ නං ලස්සෙකට වැඩිය අඹ තිබුණා! කොළඹ නෝනට දොළදුක හැදිලය කියල ඔක්කොම ඇටඹ ටික කඩාගෙන බර කරත්තවල පටව ගෙන ගිහිල්ලනේ.....වැඩි දවසක් නොවෙයි,අද දවාලෙ! අද දවාලෙ! ඒ උනත් මාත්තයට මම ඇටඹ විස්සක් තිහක් තියල ඇති.

ඔහු ඇටඹ ගෙඩි තුනක් ගෙනවුත් මට කපා දුන්නේය.

"කෝ ඉතිං අනික් ඇටඹ?" කියා මම ඇසුවෙමි.

"හැබෑට මාත්තයො,මේ මොනව කියනවද?  පනංගලක්කා ඇටඹ පෙරේති! මේ දරුවට තියන්නෙයි කියල තියෙද්දිත් මේ ගෑණි ඒ ඇටඹ ටික කාලනේ!"

"මම කෑ ඇටඹයක් නෑ දරුවෝ! මුළු ගහේම තිබුණේ ඔය ඇටඹ ගෙඩි තුන විතරයි!" යනුවෙන් පනංගලක්කා කීවාය.

"ගල් අන්නාසියි සීනි කැකිරියි ලොරි දෙකක්ම පුරවලා ලබන අවුරුද්දේ මේ දරුවට දෙනවා!" යැයි පනංගලයියා පොරොන්දු වූයේය.  එම නිසා මට ඔහුගේ වත්තේ ඇවිදින්නට ද ඕනෑ කළේ නැත.

"ඒයි පනංගල ගෑණියේ, මේ දරුවට රොටියක් පුච්ච දෙනවද? ලූලු මාළුත් ගෙයි ඇතිනේ?" පනංගලයියා පනංගලක්කාගෙන් ඇසුවේය.මා ලූලු මාළුත්,රොටිත් කන්නට කැමති බව ඔහු දැන සිටියා වෙන්නට ඇත.

වැඩි වෙලා යන්නට මත්තෙන් පනංගලක්කා රොටී හැදුවාය.  පස්ස පැත්තේ මඩුවේ රොටී තම්බන විට නැගුණු ප්‍රණීත සුවඳින් මගේ නැහැය පිරී යන්නට වන.  අම්මා රොටී හදතොත් එවැනි මනහර සුවඳක් නැත්තේ මන්දැයි මට කල්පනා විය.

බොකු පිඟානක දැමු රොටී දෙකකුත් ලූලු මාළුත් පනංගලක්කා මට දුන්නාය.  ඇත්ත වශයෙන්ම ගෙදර හදන රොටී නම් කිසි දිනෙකවත් ඒ තරම් රසවත් නැත.  මම හොඳට තලු මරා, රොටිත් ලූලු මාළුත් කන්නට වීමි.

"උඹලට මම කියල තියෙනව නේද මේ පොඩි එකා මේ ගෙදරට ගෙන්නවන්න එපාය කියල! උඹල කාගෙන් අහලද පොඩි එකාට ඔය ජරාව කන්න දුන්නෙ?ඔන්න පනංගලයො,උඹලටත් මේ ගමේ ඉඳීම එපා වෙලා වගෙයි....!" පස්ස පැත්තේ කෑ ගසන්නේ අම්මාය.

රොටිත් ලූලු මාළුත් සහිත බොකු පිඟාන ඇඳ උඩම තබා,ගල් වැටෙන්ද පැන මම ගෙදර දිව්වෙමි. මා අත සෝදා ගත්තේ කලවිටේ අගලෙන්ය.

කලවිට පසුකර යන තුරුමත් අම්මා,පනංගලයියාට බණින සැටි මට ඇසුණේය.  කලවිටේ දී වැස්ස ඇල්ලු නිසා මම හොඳටම තෙමුනෙමි.

ඊට පසු ගෙදර පැමිණි අම්මා මට වැරෙන් අතුල් පහරක් ගැසුවාය.  "මීට පස්සෙඔය ජරාව කන්න එගොඩහ ගියොත් උඹේ කකුල් කඩනව! උඹබලාගනිං!" කිය කියාම අම්මා පිම්බාය෴

Tuesday, July 5, 2016

ඇල්.ඩී.මැන්දිස් සහ පනංගල අයියා.


අලුතෙන් බ්ලොගයක් පටන්ගන්නට මා සිතා සිටියේ ටික කලෙක පටන්ය,   ඒ මගේ සිත්ගත් සාහිත්‍ය ඈ කලාකෘති වල රස බ්ලොග් කියවන සාහිත්‍ය කාමීන් සමග බෙදා හදා ගන්නටය.   හැලපයා බ්ලොගයේ ඒ කාරිය කරන්නට කීප වතාවක් උත්සාහ කළමුත් බොහෝ විවේචන එල්ලවීම නිසා එම උත්සාහය අතහැර දැමුවෙමි.    නමුත් අලුත් බ්ලොගයත් සමග කැමති කෙනෙකුට තෝරා බේරාගෙන කියවන්නට බ්ලොග් අඩවි දෙකක්ම ඇති නිසා මින් පසු එවැනි විවේචන එල්ල නොවේවි යැයි මගේ විශ්වාසයයි.   මෙතැන් සිට මා රසවිඳින සාහිත්‍යය බෙදාගන්නට එකතුවන්නට ඔබට ආරාධනා කරමි.

හාපුරා කියා මම ඔබට හඳුන්වා දෙන්නේ ඔබ ඉතා හොඳින් දන්නා හඳුනන ලේඛකයෙකි එක්දහස් නවසිය හැට දශකයේ ලේඛනකරණයේ යෙදුනු ඔහුගේ පොත් ඔබ රසවිඳ ඇතුවාට සැක නැත මේ ලේඛකයා වැවදෙනියේ ඇල්.ඩී මැන්දිස්ය.   ඔහුගේ ජීවන තොරතුරු ස්වල්පයක් මෙසේ දිග හැරෙයි.

''මාර්ටින් වික්‍රමසිංහට කොග්ගලද,ගුණදාස අමරසේකරට යටලමත්තද,කේ.ජයතිලකට රදාවානද සාහිත්යික ක්ෂේම භූමි වූ සෙයින්ම ඇල්.ඩී. මැන්දිස්ට බූස්සේ වැවදෙනිය නිර්මාණ උල්පතක් වූයේය.වෙල්යායත්,පොල් රුප්පාවත්,මූදු තීරයත් පිස එන සුළඟේ සිහිලස මෙන්ම ලවණ ගතියද ඔවුන්ගේ සෑම වදනකම ගැබ්වී තිබුණේය.මැන්දිස් ගේ සමහර කතාවක් බුලත් කසට බැඳි දසන් දක්වන ගැමි ගැහැණියකගේ අකපට සිනාවක් වැන්න.

අව්‍යාජත්වයත්,සරල බවත් ආත්ම කොටගත් ඔවුන්ගේ ලේඛන ශෛලිය ගත් වහරින් මෙන්ම ජන වහරින්ද පණ පෙවුණු ප්‍රබල වාං මාලාවකින් සැදුණේ වෙයි.

1918 ජුලි 17 වැනිදා බූස්සේ වැවදෙනිය ගං පියසේ උපන් හෙතෙම අකුරු සතර හදාළේ රත්ගම දේවපතිරාජයෙන් සහ ගාල්ලේ බොනවිස්ටාවෙනි.   වසු වියේ පටන්ම පන්හිඳ හැසිරවීමේලා කදිම බුහුටි බවක් පළකළ ඔවුන්ගේ මුල්ම නිර්මාණ කෘතිය වුයේ "සුරතල්ලු" නම් කෙටිකතා සංග්‍රහයයි.    ඉනික්බිති "පනංගල අයියා" සහ "හිනිදුමකොල්ලා "යන කෙටිකතා සංග්‍රහද්වය එළිදැක්වූ ඇල්.ඩී.මැන්දිස් සුරින්ගේ ප්‍රථම නවකතාව "ජිනපාලගේ කතන්දරේ"  ය.

මසැසින් ගාලු දිසාව නුදුටුවන් පවා මනැසින් එහි පිවිසවීමට මැන්දිස් ගේ ලියුම් කියුම් තුළ වුයේ අපූර්ව නිර්මාණ ශක්‍යතාවකි.

ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ හෙතෙම ගුරු වෘත්තියේ යෙදෙමින් "ලක්මිණි පහන" ,සරසවි සඳරැස", ආදී පත්‍ර වලට කවි රචනා කළේය.   එවක ඔවුන්ගේ ඇසුර නොලද එකද කවි සඟරාවක් හෝ කවි මඩුවක් නොවූ තරම්ය.

කෙටිකතා,කාව්‍ය,සාහිත්‍ය විචාර,පරිවර්තන,පාසල් පොත්,යනු විසින් විවිධ ක්ෂේත්‍ර අළලා ග්‍රන්ථ රාශියක් මෙතුමා විසින් ලියා ඇත්තේ වී නමුදු ඔවුන් වඩාත් පාඨක ප්‍රසාදයට පාත්‍රවී සිටිනුයේ නවකතා කරුවකු වශයෙනි.

ඔවුන්ගේ නවකතා අතර "දොළේ ගෙදර","නස්පැත්තිය", "උපාධිය", "සිරි කාලකන්නි","අපේ වගතුග","මංජුලා","හිච්චි බබා",සහ "අවිචාරය" යන කෘතිද වෙයි.ඔවුන්ගේ  නවකතා,කෙටිකතා බොහොමයක මැ පෙනෙනුයේ එකම චරිත සමුදායකි.  කතුවරයාගේ ලේඛන කලා විෂයක ශික්ෂණයත්,මනා ජීවිත පරිඥානයත් මෙම කෘති සම්භාරයෙන් ප්‍රතිබිම්භිතය. එතුමන් විසින් අවසන් වරට ලියන ලද "හාමු මාමා" නවකතාවද ළඟදීම එළිදැක්වීමට නියමිතය.

සිංහල සාහිත්‍යයට සුවිශාල සේවාවක් කළ වැවදෙණියේ ඇල්.ඩී.මැන්දිස් සුරීහු 1969 නොවැම්බර් 16 වැනිදා මෙලොවින් සමුගත්හ."

ඒ කිත්සිරි නිමල්ශාන්තයන් අතින් ජිනපාලගේ කතන්දරේ නවකතාවේ 1998 මුද්‍රණයට ලියැවුණු හැඳින්වීමයි.    අද මා ඔබට පිළිගන්වන්නේ ඇල්.ඩී.මැන්දිස් සුරීන් අතින් ලියැවුණු අපූරු කෙටිකතා සංග්‍රහයක් වන පනංගල අයියා කෙටිකතා පොතේ එන පනංගල අයියා නම් රසවත් කෙටිකතාවයි.

"අපේ ගමේ බොහෝ දෙනෙක් ඔහුට පනංගල අයියා යැයි කියති.  එමනිසා මමද ඔහුට පනංගල අයියා යැයි කියමි.  කෙනෙකු ඔහුට පනංගලේ යැයි කියන බවද මා අසා තිබේ.  පනංගල අයියා කීවත්,පනංගලේ කීවත් ඔහුට ගණනක් නැත.

පනංගල අයියා අපේ ගම් පළාතට සංක්‍රමණය වුයේ මා කුඩා කාලයේදීය.  වැවදෙනියට නොදුරු එගොඩහවත්තේ කුඩා පැල්පතක් තනාගත් ඔහු පනංගලක්කාත් සමග එහි ජීවත්වුණු බව මට මතකය.  ඔහුට දරුවන් සිටියේ නැත.

එගොඩහවත්තට ඔහු මුලින්ම කැඳවා ගෙන එන ලද්දේ කවරෙකු විසින්දැයි මම නොදනිමි.  හතර රියන් බිම් කැබැල්ලකට වුවද අයිතිවාසිකම් කියා ඇණකොටා ගැනීම පුරුද්දක් කොට ගත් මිනිසුන්ගෙන්,තමන් නොදන්නා පළාතක කුඩා පැල්පතක් තනා ගැනීමට පනංගලේට අවසරයක් ලැබීම නම් මහා ප්‍රාතිහාර්යයකැයි කිව යුතුය. 

පනංගලේ රක්ෂාව වශයෙන් කවදත් කළේ කුලී වැඩය.  සරම කොටට කොටේ ඇඳගෙන,තලප්පාවක්ද ඔළුවේ බැඳ,බන්ඩි කියතද රැගෙන වැල්ලබඩ පාරේ යන ඔහු මගේ ඇස් දෙකට හුරුපුරුදු ගැමි රූපයකි.  "කොහෙද පනංගල අයියා අද උදේ පාන්දරම බන්ඩි කියතත් කරගහගෙන?" යැයි මා ඔහුගෙන් අනන්ත වාරයක් අසා ඇත.  "කොට්ටව මුකළානේ කඳන් ඉරන්න යනවා!" කියාගෙන ඔහු නොනැවතී අඩිය ඉක්මන් කර යන සැටි ද අදත් මගේ සිහියට නගී.

පනංගල අයියා වැල්ලබඩ පාරේ යන හැම විටකම මා ඔහු දෙස බලා සිටියේ මහත් ඕනෑකමකිනි.  ඔහුගේ දකුණු කකුල වම කකුලට වඩා කොටයැයි මා එකල සිතා සිටියේ,ඔහු තබන එක එක පාදයක් පාසා ඔහුගේ තරබාරු,මිටි,සිරුර දකුණු ඇලයට වැඩියෙන් නැමී ගිය බැවිනි.   ඔහුගේ ගමන් විලාසයද විසිතුරු විනැයි මට නොයෙක් විට කල්පනා විය.

මාත් ඒ කාලයේ නිකමට පාහේ දකුණු කකුල බොරුවට නොණ්ඩි කරමින්,දකුණු ඇලයට නැමී ගමන් කරන්නට උත්සාහ කලේ පනංගල අයියාගේ ගමන් විලාසය විසිතුරු යැයි සිතමිනි.  මා කොතෙකුත් උත්සාහ කළත් මගේ නොණ්ඩිය හරිගියේ නැත.

පනංගල අයියා වෑයක්ද කර ගසා ගෙන වැල්ලබඩ හන්දිය පසුකර යනවා මා තවත් විටෙක දැක ඇත.  ඔහු ඒ යන්නේ කදුරුපේ පැත්තේ පොල් ලී ශුද්ධ කිරීමට බව ඔහුගෙන්ම මම අසා දැන ගතිමි.

ඔහු සමහර දවස්වලට වැල්ලබඩ හන්දිය ඉක්මවා යන්නේ පොරවක් කර ගසා ගෙනය.  "කොහේද යන්නේ?"කියා අප ඇසු විට,"පිටිවැල්ලෙ දර පලන්න යනවා"යැයි උත්තර දී ඔහු අපූරු නොණ්ඩි ගමනින් බෝක්කුව පසු කරයි.ඔහු හුඟක් දුර යන තුරුම ඒ දෙස බලා සිටීමට මම කිසි විටෙක අමතක නොකළෙමි.

පාසැල ඇරී ගෙදර පැමිණෙන මා සවස් වන තුරු පාඩම් කොට ඊළඟට යන්නේ වැල්ලබඩ හන්දියටටයි.  සවස් කාලයේ ගෙදර ඉඳීම නම් මට කළ නොහැක්කකි.

ඒ කාලයේ වැල්ලබඩ හන්දියේ කොප්පරා මඩුවක් තිබුණේය.එය ගමේ විදානෙ ආරච්චි මහතාට අයත් වුවකි.  දෙබෑ කරන ලද පොල්, රේල්පාර අයිනේ වරා පඳුරු දක්වාම ගොඩගසා තිබුණු බව මට මතකය.   කොප්පරා මැස්සේ වැඩ කරන මිනිස්සු එක තැනක පොල් ලෙලි ගසති.   තවත් කණ්ඩායමක් පාර අයිනෙ වාඩිවී ලෙලි ගසන ලද පොල් බිඳ අව්වට වීසි කරති.  ගෝණි කබල් ඔළුවේ දමාගත් ගැහැණු පොල් බෑ සියල්ල උඩුකුරුව සිටිනසේ පේළියට තබති.

කොප්පරා මඩුව තිබුණේ හන්දියට එහා තුම්මුල්ලේය.  දවල් කාලයේ අව්වේ වේලන ලද පොල් රෑට මැස්ස උඩ දමා ගිනි ගසනු ලැබේ.  පොල් මද කොප්පරා බවට පෙරළෙන්නේ ඉන් පසුවය.

කොප්පරා මුට්ට කරන දවසේ නම් කොලු රැළ කැරකෙන්නේ මඩුව ළඟය.  මඩුවේ වැඩ කරන මිනිසුන්ගෙන් කොප්පරා කැබැල්ලක් ඉල්ලා ගෙන කෑම අපට ඒ කාලයේ විනෝදයක් වූයේය.

කොප්පරා කැබැල්ල කටේ දමා ගන්නා කොල්ලෝ එහි ඇති තෙල් හා කිරි ගතිය හමාර වන තුරුම එය හපති.  තෙල් හා කිරි රසය මැකී ගිය විට ඉතුරු වන්නේ පොල් හපය පමණකි.   වැල්ලබඩ හන්දියේ ඇති සූරිය ගහට නැගී,අප බොහෝ විට සවස් කාලය ගත කළේ කොප්පරා කමිනි.  මේ සූරිය ගස අදත් රෙජිස්ටර් රාලහාමිගේ  ගේ දොරකඩ ඇත්තේය.

සූරිය ගහේ අත්තක් උඩ වාඩිවී කකුල් සල සලා සිටින මටත් අනෙක් කොලුවන්ටත් රෙජිස්ටර් රාලහාමිගේ ගේ පිටුපස මහ මුහුදේ ප්‍රචණ්ඩ රළ පතර නගන අඳෝනාව හැම විටෙකමත් ඇසේ.  බෝක්කුවට ඔබ්බෙහි ඇති විවෘත වෙරළද සූරිය ගහේ සිටින අපට පැහැදිලිව පෙනේ.  සැඳෑ හිරු මඬල ක්ෂිතිජය කරා ලං වෙත්ම ඒ අවට අහස්තලය දම්පාටින්ද රතුපාටින්ද බබලන අන්දම මා කොතෙකුත් දැක ඇත.  ඒ පෙනෙන්නේ දඹදිව ආලෝකය යැයි අපට ඒ කාලයේ අපේ වැඩිමහල්ලෝ කීහ.

උදය රැකීරක්ෂාවේ යන පනංගල අයියා පෙරළා වැල්ලබඩ හන්දිය පසු කරන්නේ මේ වෙලාවටය.   බන්ඩි කියතත්,වැයත් පොරවත් කර ගසා ගෙන,කන බොන දේවලින් පිරුණු පොල් කොළ පිරිවැස්ස ද එක අතකින් ගෙන පනංගල අයියා බෝක්කුව ළඟින් ඉස්මතු වන හැටි මට පෙනේ.

පනංගල අයියා දුටු හැටියේම අප සුරිය ගසින් බසින්නේ නිකමට නොවේ.  උන්දැගේ පිරිවැස්සේ සීනි බෝල දහයක් දොළහක් කවදත් ඇත.   මට පමණක් නොව අනෙක් කොල්ලන්ටත් සීනිබෝල එක දෙක උන්දෑගෙන් ලැබේ.  කොල්ලන්ට සීනිබෝල දෙන ඔහු නොණ්ඩි ගමනින්ම වැල්ලබඩ හන්දිය පසු කරයි.

පනංගල අයියාට වැඩක් ලැබුනෙ නැති දවසට සුරිය ගහ උඩ රැක සිටින අපට සීනිබෝලවත්,සීනි ඇල්පැල්වත් නැත.  එදාට අප කරන්නේ හවස් වන තුරුම කොප්පරා කන එකය.
නංගල අයියා මගේ වීරයා වීමට තවත් හේතු තිබුණේය.  උන්දෑට අපූරු කතා කියා මා පුදුමයෙන් පුදුමයට පත් කරන්නටත් පුළුවන්කම තිබිණි.   එදා මුළු සවස් වරුවම වැස්සේය.   රත්මලාන වත්ත ඔස්සේ රූපිවල දක්වා වැටී ඇති අඩි පාරද වැහි වතුරෙන් පිරී තිබුණි,වත්ත පහළ කලවිටි පේළිය මැදින් ගලා යන කුඩා ඇළද වැහි වතුර නිසා ඉදිමී ගිය වේදනාවෙන් කකියන බවක් පළ විය.

මෙවැනි දවස්වල පනංගල අයියා රස්සාවට යන්නේ නැත.  ඔහු කරන්නේ එළිමහනේ රක්ෂාව නිසා,විශේෂයෙන්ම වැහි කාලය ගෙවෙන තුරු සෑහෙන ආදායමක් ඔහුට නැත.   වැහි කාලය ගෙවෙන තුරු ඔහු ළඟපහළ ගෙවල සැරිසරනු දක්නා ලැබේ.මා එදා ගෙදරට වී පාර දිහා බලා සිටියේ පනංගල අයියා එනතුරුය.   පනංගල අයියාගෙන් කතාවක් අසා ගැනීමට එය හොඳ දවසක් යැයි මට සිතුණේය.

ඇඳිරි වැටෙත්ම පනංගල අයියා වැවදෙනි ආවේය.  බුලත් විටක් කන ඔහු කවදත් වාඩිවෙන්නේ අපේ ගෙදර වලු පුටු පුංච උඩය.  එහෙත් ඔහු එදා වාඩි වුයේ අනෙක් බංකුව මත බව මට මතකය.

"අපූරු කතාවක් තියෙනවා කියන්න! අහං ඉන්නවාදැ?" යි  ඔහු මගෙන් ඇසුවේය.

මම "හා" කීවෙමි.

පනංගලේ එදා කිව් කතාව මට මතක ඇත්තේ මේ විදියටයි.

එදා පනංගලේට වැඩ නැති දවසකි.  එම නිසා ඔහු ගලබඩවත්තට ගියේය.  ඔහුට ඕනෑ කළේ කකුළුවන් කීප දෙනෙකු අල්ලා ගැනීමට විය යුතුය.  පනංගල අක්කා කකුළුවන් කෑමට කැමති නිසා ඔහු නිවාඩු ඇති දවස්වල ගලබඩවත්තට ගොස් කකුළුවන් ඇල්ලුවේය.

ගලබඩවත්තේ සිටින බීරි බාප්පාත්,පනංගලේත් ගජ යහළුවෝ වෙති.  දෙදෙනාම තරඟෙට රා බොන්නට රුසියන් නිසා මේ යාළුකම ඇතිවූ බව මම පොඩි කාලයේම දැන සිටියෙමි.

කකුළුවන් බරක් ම    අල්ලාගත් පනංගල අයියා බීරි බාප්පාත් සමග රා බීවේය.  අන්තිම දුම්රිය දොඩන්දූවේ දුම්රිය පොළෙන් හූ හඬ නගා ගාල්ල බලා ඉගිළී යන තුරුමත් දෙන්නා රා බීවෝය.

රා බිව් වෙලාවට නම් බීරි බාප්පා තරම් විනෝදකාමී මිනිසකු මුළු ගම්මානයේ නැති තරම්ය.  වෙරි මත වැඩිවන විට ඔහු දඟලන්නේ පතල් කවි කියමිනි.  පතල් කවියේ තාලයට ඔහුගේ කොට අතද ඒ මේ අතට පැද්දේ.  උන්දෑ අත කඩාගෙන තිබුණේ රත්ගම කලපුවේ ඩයිනමයිට් දැමීමට ගියදාය.  උන්දෑ සදහටම බීරි වූයේත් එදාය.

උරය වසා දමන සාළුවෙන් බීරි බාප්පාගේ කොට අත කවදත් සැඟවී ඇත්තේය.   එහෙත් එදා රා බී වෙරි වුනාට පසු උන්දෑ කොට අත එහාටත් මෙහාටත් පද්දමින් නටන්නට විය.

රෑ බෝ වී ගිය නිසා කකුළු පොදියද කර තියා ගත් පනංගල අයියා රේල් පාර දිගේම බූස්ස දක්වා ගමන් කළේය.

එදා සඳ පහන නැති රැයකි.  ගලබඩ වත්තේ සිට තුම්මංහන්දියට එන තුරුම රේල් පාර දෙපැත්තේ වැවී ඇති,ඝන අතු පතර සහිත දෙල් ගස් නිසා වටපිටාව අන්ධකාරයෙන් යුක්තය.  රේල් පාරේ සිල්පර කොටන්වල හැපී වැටෙමින්ද,නැවත පොළොව අතපතගා නැගිටිමින්ද ඔහු ගම්මැද්දෙගොඩ පසුකළේය.

ඕවකන්ද හන්දියෙන් මහපාරට සේන්දු වුණු ඔහු එතැන් සිට ගියේ මහපාර දිගේය.   කන්ද මුදුනේ වේවැල් ස්කෝලයද පසුවුණා ඔහුට මතකය.ඔහුට වේවැල් ස්කෝලය පසුකොට වැඩිදුරක් යන්නට ලැබුණේ නැත.

වේවැල් ස්කෝලයට ඔබ්බෙහි ඇති ගල්වල ඉස්මත්තේ සිට සාගරයේ රළපතර බිඳෙන තැන දක්වා ඒ කාලයේ නම් එකම වැලි තලාවකි.  එහි අද මෙන් ඒ දවස්වල පොල් පැළ වවා තිබුණේ නැත.  එය ඉස්සර තනි සොහොන් පිටියකි.

ඉදිරියට අඩි තුනක් තබා අඩි දෙකක් පස්සට යන පනංගල අයියාට මුහුදු හුළඟ වැදෙන්න වැදෙන්න වෙරි මත වැඩිවිය.   ඔහුට නින්ද ගියේදැයි ඔහුට මතක නැත.

වරක් ඇහැ පියැවී නැවත ඇහැ ඇරුණු පනංගල අයියාට හදිසියේම මුණගැසුණේ පනංගල අක්කාය.  ඈ සොහොන් ගලක් මත වාඩිවී සරමක් මසමින් සිටියාය.

"මොකද ගෑණියෙ,උඹ මේ වෙලාවෙ මේ ගල්බොක්කෙ කොරන්නෙ?" පනංගල අයියා ඇසීය.

"පේන්නෙ නැද්ද මම ඔයාට සරුවාලයක් මහනවා!" යැයි පනංගල අක්කා උත්තර දුන්නාය.

පනංගල අක්කාගේ උකුළේ තිබුණු නූල් බෝලය,ගලබඩවත්තේ කොහු තලන ගැහැණියක සතු කොහු දැලක් තරම් විශාලය.ඉඳිකටුව මෝල්ගසක් තරම් ඇත.

"බාං, යෝදියේ නැගිටපං!මම කකුළුවො ගෙනාවා!" යැයි පනංගල අයියා කීය.

"කෝ බලන්න!"

පනංගලක්කා අතේ තිබුණු ඉඳිකටුව කිතුල් ගහක් තරම් විශාල වූයේය.  ඈ එය වැලි ගොඩේ ගසා කෙළින් සිටෙව්වාය.පනංගල අක්කාද ආකාසය දක්වාම උස ගියාය.  පනංගලයියාට සිදුවුයේ ආකාසය තරම් උස්වූ පනංගල අක්කාගේ දෙපාමුල කුරුකුට්ටෙකු මෙන් සිටීමටය.

"ඉතිං පනංගල අයියට බය හිතුනේ නැතිදැ? " යි  මම භ්‍රාන්ත වී ඇසීමි.

"මොනවද දරුවො,පනංගල මිනිස්සුත් ඔහොම ආකාසේ විතර ඩොග් ගාලා ඉහළ යන ගෑනුන්න බය වෙනවද? මම කොළේ මෙන්න මේකයි....මම ඇගේ අතින් කිතුල් ගහ විතර ලොකු ඉදිකට්ට උදුරගෙන,ඇද්ද උඹට කියා ඇන්න තමයි බඩට...."

"ඉතිං ඉතිං"

"ඉතිං ඉතිං තමයි. මහාමේරු පරුවතේ වගේ උන්දැගේ බඩ ගෙඩියෙ ඔක්කොම තිබුණේ හුළං!  ඉතිං මොකද උණේ.... ඒ හුළඟ කුණ්ඩවාඩෙයක් උණා.  ඒ කුණ්ඩවාඩේ බූස්සට හැමූ දවසේ තමයි මිනිස්සු කිව්වේ ඩුන්ගුරුමනිය ආවයි කියා!තේරුණාද මේ දරුවට?දෙන්නකො මට හොඳ ළමය වගේ දුම්කොළ නැට්ටක් කටේ දමා ගන්න."

"ඉතිං තමයි ඒ පාර....මම මෙන්න මේ කකුලෙන් ගැහැව්ව උන්දැට හොඳ පාරක්!එදා තමයි මේ කකුල නොණ්ඩි උනේ !කෝ දරුවෝ දුම්කොළ නැට්ට?"

"දෙන්නං කෝ...ඉතිං?"

"ඊට පස්සෙ ඒ ගෑණි ගල්බොක්කෙ ගරෝදිවලේ තමයි.....ඩොකෝස් ගාල වැටුණා!"

"ඊට පස්සෙ?"

"කව්ද දන්නෙ?ඒ ගෑණි ගරෝදීවළෙන් එළියට ආවයැ ඊට පස්සෙ උණු දේ කියන්න?"

"කකුළුවන්න මොකද උණේ?"

"ඒ කකුළුවො රේස් අස්පයෝ වෙලා බූස්සෙ රේස් පිට්ටනියට පැන්න! උන් තමයි අද බූස්සෙ රේස් පිට්ටනියෙ දුවන්නෙ! ඉතිං තාමත් නැහැනේ මගේ දුම්කොළ නැට්ට!"

"මදෑ පනංගල අයිය කකුළුවො කෑව!"

" ඒ ඉස්සර අපි කකුළුවන්ගෙ මාළු කෑවෙ! කකුළුවො අස්පයෝ උණුදා ඉඳල උන් අපේ මාළු කනව... දෙනවද නැද්ද දුම්කොළ නැට්ටක්?"

කපුමුලු ගිය අම්මාද මේ වෙලාවේ ගෙට ගොඩ වුවාය.

"මේ... මේ...පනංගලේ උඹ තමයි මේ ගමේ පොඩි ඈයින්න ටොං පච උගන්නන්නෙ!"

" ඒකත් හරි තමයි!දෙන්නකො මට දුම්කොළ නැට්ටක්!"පනංගලේ වාඩිවී සිටි බංකුවෙන්  නැගිට්ටේය.

දුම්කොළ නැට්ටද කටේ දමා ගත් පනංගල අයියා රත්මලාන වත්ත පැත්තට ගියේ "වැස්ස පෑව්වෙ නැත්නම් හෙටත් එනවා"කියමිනි.  පනංගල අයියා නැතිනම් අපේ ගමේ ජීවයක් නැතැයි මට සිතුණේය."

මුද්‍රිත පිටු විසිපහක් පුරා දිවෙන පනංගල අයියා කතාවෙන් මට ලියා ගන්නට හැකිවුණේ පිටු හතක් පමණකි.   ඉතිරි හරිය ලියන්නට තව කොටස් දෙකක් වත් අවශ්‍ය වනු ඇත෴