Thursday, August 16, 2018

අරණකට පෙම් බැඳ.


"අරණකට පෙම් බැඳ" යනු වංග ලේඛක විභූතිභූෂණ බන්ද්‍යාපාධ්‍යාය විසින් රචනා කරන ලද "ආරණ්‍යක්" නම්වූ අපූරු නවකතාවේ සිංහල පරිවර්තනයයි.  මෙම නවකතාව වංග බසින් සිංහලට පරිවර්තනය කොට ඇත්තේ ලංකාවේ සිටි ප්‍රතිභාපූර්ණ ලේඛිකාවක් හා පරිවර්තිකාවක්  වූ චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය විසිනි.

විභූතිභුෂණ බන්ද්‍යාපාධ්‍යාය (1894 -1950 ) ලියු 'පොථෙර් පංචලි,' සහ 'අපරාජිතෝ' යන කෘති දෙකද සිංහලට පරිවර්තනය කොට ඇත්තේ චින්තා ලක්ෂ්මි මහත්මිය විසිනි.  එම කෘතිවල පමණක් නොවැ මෙම ලේඛකයාගේ සෑම කතාවකම පාහේ ස්වභාව සෞන්දර්යය ගැන සඳහන් වේ.

විභූතිභුෂණ තරම් අව්‍යාජ ලෙසත් චිත්තාකර්ෂණීය ලෙසත් ස්වභාවික පරිසරය ගැන වර්ණනා කළ වෙනත් ලේඛකයකු නොමැති තරම්ය.  ඔහු මේ පොත රචනා කර ඇත්තේ 1937 සිට  1939 දක්වාවූ කාල සීමාව තුළය.  මෙයට පසුබිම්වී තිබෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් හි වනගත වතුයායකි.  කතුවරයා එම වතුයායේ වසර හයක් උප කළමනාකරුවකු ලෙස සේවය කරද්දී ලද අත්දැකීම් 'ආරණ්‍යක්' මෙන්ම තවත් නවකතා කීපයකටද උපයෝගී කරගන්නා ලදී. ( පරිවර්තිකාව ගේ හැඳින්වීම ඇසුරෙනි )

චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි මහත්මියගේ අභාවයෙන් පසු ඇය ගැන මහාචාර්ය සරත් විජේසුරිය මහතා ලියු සටහනක් මෙතැනින්  කියවන්න.

                                *       *        *       *      *

ලොබ්ටුලියාවේ උතුරු දෙසින් වැවක් තිබුණි.  මිනිසුන් එය හැඳින්වුයේ සරස්වතී වැව යන නමිනි.  එය තුන් පැත්තකින් ඝන වනාන්තරයෙන් වට වී තිබිණ.  අප සිටින පැත්තේ හෝ ලොබ්ටුලියාවේ එවැනි වනයක් නොතිබිණ.  ඒ වනය සුවිශාල වෘක්ෂයන්ගෙන් ගහණ වූ එකක් විය.  ජලාශයක් අසල වූ නිසා හෝ වෙනත් කරුණක් නිසා හෝ විවිධාකාර වූද විචිත්‍ර වූද ගස් වැල් වලින් සමන්විත වූ විශාල වනාන්තරය විසින් සරස්වතී වැවේ නිල්වන් ජලතලය අර්ධ කවාකාරව වට කරගනු ලැබිණ.  එහි එක් පැත්තකින් පමණක් නිදහස් තැනිතලාවක් විය.  එතැන සිට බලන විට නැගෙනහිර පැත්තේ ඉතා ඈතට යන තෙක් විහිදුණු නිල් අහසත් ඈත ගල් පර්වත දෙපළත් දිස්වෙයි.  ඒ නිසා වැවේ නැගෙනහිර පැත්තේ ඉවුරේ හිඳගෙන වම් පැත්තත් දකුණු පැත්තත් බැලු විට සරස්වතී වැවේ ඇති අපූරු සුන්දරත්වය දැකිය හැක.  වම් පසින් වූ ඝනව වැඩුණු තුරු ලතා දෙස බලද්දී එහි හරිත වර්ණ සෞන්දර්යය මැද ගිලී ගොස් මට මා ගැනම අමතක වී යයි.  දකුණු පසින් වූ පැහැදිලි ජල තලයෙන් එපිට ඈත දක්වා විහිදුණු නිදහස් ආකාශයත්, අපැහැදිලි ලෙස දිස් වූ පර්වත පේළියත්, දෙස බැලු විට හදවත බැලුමක් මෙන් පිම්බී පොළොවෙන් ඉහළට එසවී යන්නා සේ දැනේ.  සමහර අවස්ථාවල මම එහි ගොස් ගල් පොත්ත මත තනිව හිඳගෙන සිටීමට පුරුදුව සිටියෙමි.  විටෙක වනය මැද නිදහසේ ඇවිද්දෙමි.  තවත් විටෙක සුවිසල් රුක් සෙවණක හිඳ කුරුලු කුජනවලට සවන් දුන්නෙමි.  විටින් විට එහි ගොස් විවිධ පැලෑටි වර්ග හා මල් එකතු කරගෙන ආවෙමි.  අප සිටි වත්තේ එතරම් කුරුල්ලන් නැත.  නොයෙක් ආකාර වූ පළතුරු කෑමටත් උස් තුරු මත කූඩු සෑදීමටත් ඉඩ ලැබෙන නිසා වැව අවට කුරුල්ලන් ගහන වීමට හේතු වන්නට ඇත.  ඒ අවට විවිධාකාර වූ වන මල් ද පිපේ. එහි බොහෝ පළතුරු ද ඇත.

වැව් ඉවුරේ ඝනව වැඩුණු වනාන්තර සැතපුම් තුනක් පමණ දිගටද සැතපුම් එක හමාරක් පමණ පළලට ද විහිදී තිබුණි.  වැව අයිනේ සිට තුරු වදුළු අතරින් වැටුණු කුඩා අඩිපාරක් විය.  මම ඒ පාර දිගේ ඇවිදින්නට පුරුදුව සිටියෙමි.  එහි ගමන් කරද්දී විටින් විට වැවේ නිල් පැහැති ජලයත් ඊට ඉහළින් යටිකුරු කළ පාත්‍රයක් වැනි වූ ආකාශයත් දිගන්තයට මුසු වූ පර්වත පේළියත් නෙත ගැටේ.  'සර' 'සර' හඬ නංවමින් මඳ සුළං හමයි.  කුරුල්ලෝ ගී ගයති.  වනමල්වලින් එන සුවඳ නහයට දැනේ.

දිනක් මම ගසකට නැග අත්තක් මත හිඳ ගත්තෙමි.  එදා මා ලැබූ සතුට වෙනත් ආස්වාදයක් සමග සංසන්දනය කළ නොහැක.  මගේ හිසට ඉහළින් වුයේ විශාල වනස්පතීන්ගේ හරිත වර්ණ පත්‍ර රාශියකි.  තුරු වදුළ අතරින් නිල් පැහැති ආකාශය දිස්විය.  අසල වූ එක් විශාල මල් වැලක හටගත් මල් පොකුරු සුළඟේ සෙලවෙන්නට විය.  බොහෝ පහළින් ගස මුල තෙමුණු පස් සහිත පොළොවේ ලොකු බිම් මල් පිපී තිබිණ.  එහි පැමිණි විට බොහෝ වේලා කල්පනා කරමින් ගත කරන්නට සිතේ.  නොයෙක් ආකාර වූ නැවුම් හැඟීීම් හදවත පතුලේ සිට සෙමින් සෙමින් අවදි වෙයි.  එය ගැඹුරු ආස්වාදයක් ඇතිකර ගැනීම හැම වෘක්ෂ ලතාවකම හෘද ස්පන්දනයක මගේ හදවතේ ස්පන්දනය වන රුධිරයත් සමග මුසුවී ඇතැයි මට සිතේ.

අප සිටින වත්තේ එතරම් විචිත්‍ර වූ කුරුලු සමූහයක් නැත.  එය වෙනත් ලෝකයක් සේය.  එහි වූ වෘක්ෂ ලතා සහ ජීවීහු වෙනත් ආකාරයක් ගනිති.  මට හුරු පුරුදු වූ වසන්තයක සිරියාව ලොබ්ටුලියාවේ නැත.  එහි කෝකිල හඬක් නොඇසේ.  වසන්තයේදී පිපෙන හුරු පුරුදු මල් ද එහි නැත.  එහි ඇත්තේ රුක්ෂ වූද කර්කෂ වූද ස්වභාවයකි.  එහි සුන්දරත්වයක් ඇතත් එය මාධුර්යයෙන් හීන වූ එකකි.  එසේ වුවද එහි වූ විශාලත්වයත්, රූක්ෂ බවත් මගේ සිත වසඟ කරවයි.  එය සංගීතයේ භාවිත වන කෝමල ස්වර නොමැති රාගයක් වැනිය.  චෞ තාලය අනුව මාල්කෝන්ස් රාගයෙන් ගැයෙන ධ්‍රැපද් ගීයක් වැනිය.  එහි මිහිරි බවට ළං නොවුවත් ගැඹුරු ලෙස උච්ච ලෙස හදවත වෙනත් තලයක් කරා ලඟා කරවයි.

සරස්වතී වැව ඒ සමග සසඳන විට ඨූම්රි ගායනයක් සේය.  එහි කෝමල මිහිරි ස්වර මගින් හදවත මෘදු බවට පත් කරවා සිහින ලොවකට කැඳවා ගෙන යයි.  මැදින් බක් මාසවල නිසසල දවාලකදී වැව් ඉවුරේ ඇති රුක් පෙළ යට හිඳගෙන කුරුලු කූජනවලට සවන් දෙන විට හදවත බොහෝ දුර ගමන් කරයි.  කොහොඹ ගස්වල සුවඳත් මල් සුවඳත් වාතයේ රැඳී ඇත.  ජලයේ ඕලු මල් පිපෙයි.  මම එහි බොහෝ වේලාවක් ගත කර සවස් වූ පසු නැගිට නවාතැනට යමි.

නාඪා බයිහාරයේ ඉඩම් මිනිසුන්ට බෙදා දීම සඳහා මනින්නට පටන් ගත් විට මට නිතර එහි යෑමට සිදු විය.  ආපසු එහි සිට සැතපුම් දෙකක් ඈතින් ගිනිකොන පැත්තේ පිහිටි සරස්වතී වැව අසලට යමි.  ඒ වැව අසල වූ තුරු වදුලු අතරින් ඇවිදීමට ඇති ආසාව නිසාය.

දිනක් මම සවස තුනට පමණ එහි පැමිණියෙමි.  දැඩි හිරු රැස් මැද බොහෝ දුරක් දක්වා විහිදුණු තණ බිම් පසු කර ඩහදියෙන් පෙඟීී ගිය සිරුරින් යුතුව පැමිණ වැව් ඉවුරේ රුක් සෙවණ යටින් ගමන් කළෙමි.  තණ බිමේ සිට වැව දක්වා සැතපුම් එකහමාරක් පමණ දුරක් විය.  මම අශ්වයා ගසක බැඳ පඳුරක් යට ඉටි රෙද්දක් එළා හාන්සි වුයෙමි.  බිමට පහත් වූ අතු සහිත පඳුර යට වැතුරුණු විට පිටත සිට බලන කෙනෙකුට මා නොපෙනෙන තරම් විය.  ඊට ටිකක් ඉහළින් වූ ශක්තිමත් කඳක් ඇති ගසක වැල් එතී එහි අපූරු සෙවණක් නිර්මාණය වී තිබිණ.  මා සිටි තැනට මඳක් දුරින් වූ ගසක කොළ පැහැති ගෙඩි වර්ගයක පොකුරු මගේ පපුවට ඉහළින් එල්ලෙමින් තිබිණ.  තවත් ගසක මල්බර වූ අතු මා සිටිතැන වූ පඳුරේ අතු සමග පැටලී තිබිණ.  ඒ මල් ඉතා කුඩා ඒවා නිසා ලඟට මිස දුරට නොපෙනේ.  එසේ වුවද එහි සුවඳ කෙතරම් ඉමිහිරිවීද?  ඒ නම නොදන්නා කුඩා වන මලේ සුවඳින් පඳුර යට පරිසරය සුවඳවත් විය.

සරස්වතී වැවේ කුරුලු රජ දහන ගැන මම කලින් ද සඳහන් කළෙමි.  මෙතරම් කුරුල්ලන් රාශියක් දැන්නම් දකින්ටවත් නොලැබේ.  එහි නොයෙක් ආකාර වූ විවිධ වර්ණයන්ගෙන් යුක්ත වූ කුරුල්ලෝ රාශියක් සිටියහ.  නයිටින්ගේල්, සැළලිහිණියා, හර්ටිට්, ගිරවා, වලිකුකුළා, කුරුලුගොයා, බට්ටිච්චා, පරවියා, කහ කුරුල්ලා ආදීහු ඒ අතර වුහ.  උස් තුරු මුදුන්වල උකුස්සා, රාජාලියා ආදී කුරුල්ලෝ වුහ.  සරස්වතී නිල් ජලයේ කොකා, රතු හංසයා, මැණික් කුරුල්ලා, කාක් ආදී කුරුල්ලෝ වුහ.  මා සිටි පඳුරට ඉහළින් වූ පරිසරය කුරුල්ලන්ගේ හඬින් දොඩමළු විය.  වෙනත් තැනකදී නම් ඔවුන්ගේ උද්යෝගිමත් නාදයට අප සවන් දෙන විට එයට උන් නොකැමති බව පළ කරතත් මා සිටි තැනට මඳක් දුරින් පැද්දෙන අතු මත හිඳ කිචි බිචි ගෑ කුරුල්ලෝ මා ගණන් නොගත්තෝය.

කුරුල්ලන්ගේ මේ බිය නැති බව මා තුළ මහත් සතුටක් ඉපද වූ කරුණක් විය.  මා වැතිරී සිටි තැනින් නැගිට හිඳ ගත්තත් ඔවුහු බිය නොවුහ.  සමහරු මඳ දුරක් ඉගිලී ගියත් ඈතට පලා ගියේ නැත.  ටික වේලාවකින් ඔවුහු නටමින් ගයමින් මා අසලටම පැමිණියහ.

මා පළමුවරට අසල වනයේ සිටින මුවකු දැක්කේ මෙහි දීය.  අප සිටින වත්තේ ද මුවන් සිටින බව අසා තිබුණත් දැක තිබුණේ නැත.  මා පඳුර යට වැතිර සිටිය දී කිසියම් හඬක් ඇසී බැලු විට ඌ මුව පැටවෙකු බව මට තේරුම් ගියේය.  ඌ තමාගේ ලොකු ඇස් අයා මා දෙස විස්මයෙන් යුතුව බලා සිටියේය.  මේ කුමන අන්දමේ ජීවියකුදැයි ඌ සිතන්නට ඇත.

ටික වේලාවක් යනතුරු මුව පැටියාත් මමත් නොසෙල්වී නිහඬව සිටියෙමු.  සුළු මොහොතකට පසු තවත් හොඳින් මා දෙස බැලීමට මෙන් මඳක් ඉදිරියට පැමිණීමට සුදානම් වුයේය.  උගේ දෑස්වල මිනිස් දරුවෙකුගේ මෙන් කුතුහලයට පත් බැල්මක් විය.  ඌ තවත් ඉදිරියට පැමිණීමට පෙර මගේ අශ්වයා පා සොලවා සිරුර ගසා දැමු විට මුව පැටියා චකිතයට පත්ව පඳුරු මැදින් උගේ මවට ආරංචිය දැන්වීමට මෙන් පැන දිව්වේය.

ඉන්පසු තවත් ටික වේලාවක් පඳුර යට හිඳගෙන සිටියෙමි.  තුරු වදුළු අතරින් වැවේ නිල් ජලතලය අඩ සඳක හැඩයෙන් ඈත පර්වත පෙළේ පාමුල දක්වා විහිදී තිබෙන්නාක් සේ පෙනුණි.  අහස නිල් පැහැයක් ගත්තේය.  එහි වළාකුලක සේයාවක්වත් පෙනෙන්නට නොවීය.වැවේ ජලචර පක්ෂි රංචුව කලබල කරන්නට පටන් ගෙන සිටියහ.  මැණික් කුරුල්ලෙක් උස් තුරු හිසක හිඳ වරින් වර හඬ දී තමාගේ උදහස ප්‍රකාශ කරන්නට විය.  වැව අයිනේ වූ ලොකු තුරු හිස්මත කොක්කු රැළක් වසා සිටියෝය.  ඈත සිට බැලු විට උන් දිස් වුයේ සුදු මල් පොකුරු සේය.

හිරු රැස් ක්‍රමයෙන් රතු පැහැ ගත්තේය.  වැව් ඉවුරෙන් එහා පිහිටි පර්වත මුදුන් තඹ පැහැයෙන් දිස්වන්නට විය.  කොක්කු රංචුවක් පියාපත් ගසා ඉගිලෙන්නට පටන් ගත්හ.  ගස්වල කරටි මත වැතිරී තිබුණු හිරු රැස් ඉවත් වන්නට විය.

කුරුලු කූජන හඬ වැඩි විය.  නම නොදන්නා වන මල් වලින් එන සුගන්ධය තදින් දැනෙන්නට විය.  සැන්දෑ වෙන්නට වෙන්නට එහි සුවඳ වඩාත් තියුණු ලෙසද, මිහිරි ලෙසද දැනෙන්නට විය.  කොහෙන්දෝ ආ මුගටියෙක් මා දෙස ඇසි පිය නොහෙලා බලා සිටියේය.

මෙය කෙතරම් සැනසිලිදායක පරිසරයක්ද! මෙහි ඇත්තේ කෙතරම් හුදකලා ජනශුන්‍ය බවක්ද! මා එහි ගතකළ පැය තුනහමාරක පමණ කාලය තුළ මට ඇසුණේ කුරුලු හඬ පමණි.  ඒ හැර වෙනත් හඬක් මට අසන්නට ලැබුණා නම් කුරුල්ලන්ගේ යාම් ඊම් නිසා ගස්වල අතුවලින් නැගෙන හඬත්, වියළි පත්‍ර බිම පතිත වන හඬත්ය.  මිනිසෙකුගේ සේයාවක්වත් එහි දකින්නට නොවීය.

විවිධ වූද විචිත්‍ර වූද වෘක්ෂ රාජයෝ මගේ හිසට ඉහළින් පෙනෙන්නට වුහ.  ඉර බැස යන වෙලාවේ රන්වන් හිරු එළිය පතිත වීමෙන් ඔවුන් කෙරෙන් පල වුයේ අමුතුම සෝබාවකි.  බොහෝ ගස්වල කරටිය දක්වා වැල් එතී තිබිණ.  ඒ පළාතේ හිංයෝරා නමින් හැඳින්වෙන වැල් වර්ගයක් විය.  මා එය නම් කළේ හොම්රා වැල් යනුවෙනි.  ඒ වැල් වර්ගය ගසේ මුදුන් කරටිය දක්වා ගොස් ගස වැළඳ ගනියි.  මේ වැලේ මල් පිපෙන කාලයයි.  පිච්ච අමල් වැනි සුදු පැහැති කුඩා මල් පිරී විශාල තුරු හිස් එළිය වෙයි.  එහි සුවඳ ඉතා චමත්කාර ජනකය.  ඒවායේ සුවඳ බොහෝ දුරට අබ මල්වල සුවඳට සමාන වුවද එතරම් සැර ගතියක් නැත.

වැව අසල වනයේ සේපාලිකා ගස් බොහෝ වෙයි.  බැලු බැල්මට සමහර ස්ථාන පෙනෙන්නේ එය සේපාලිකාවලින්ම සැදුම් ලත් වනයක් ලෙසිනි.  විශාල ගල් තලා මත සරත් සමයේ උදෑසන සේපාලිකා මල් විසිරී තිබෙණු දක්නට ලැබේ.  කිසියම් වර්ගයක රළු තෘණ වර්ගයක් ඒ ගල් තලා අසල කටු ගස් වර්ගයක් සමග එතී වැඩේ.  ඒ පඳුරු මතද සේපාලිකා මල් විසිරී තිබුණි.  එය සෙවණ ඇති තෙතමනය පවතින ස්ථානයක් නිසා උදෑසන වැටුණු මල් වියළී ගොස් තිබුණේ නැත.

සරස්වතී වැවේ මෙතරම් සෞන්දර්යයක් මා දුටුවත් මිනිස්සු මේ අසල ව්‍යාඝ්‍රයන් කොටියන් සිටින බව කියා එහි පැමිණීමට බිය වෙති.  සඳ එළිය ඇති රැයක ඈත දක්වා පැතිරුණු වැව් තලයේ සිරියාව දැකීමට ඇති ආශාව නිසා බනවාරි ලාල් රවටා පුරපෝය දිනයක ආජමාබාද්හි පිහිටි ප්‍රධාන කාර්යාලයට යන බව අඟවා අශ්වයා පිට නැගී එහි ගියෙමි.

එදින මට ව්‍යාඝ්‍රයන් දකින්නට නොලැබුණත් මායාකාරී වන දෙව් ලියන් සඳ එළියෙන් නෑවුන වැව් ජලයේ ජල ක්‍රීඩා කරන්නට නියත වශයෙන්ම මධ්‍යම රාත්‍රියේ පැමිණෙන බව මට හැඟීී ගියේය.  පරිසරයේ දැඩි නිහඬතාව අතරින් නැගෙනහිර පැත්තේ ඉවුර දෙසින් සිවලුන්ගේ හූ හඬ වරින් වර ඇසෙන්නට විය.  ඈතින් පිහිටි පර්වත පේළියත් වන සිරසත් අපැහැදිලිව නෙත ගැටුණි.  සඳ එළියේ පින්නෙන් බරවූ වාතයේ හොම්රා වැල්වල මල්වලින් එන මුදු සුවඳ දැනෙන්නට විය.  මා ඉදිරිපිට වූ වනයත් පර්වත පේළියත් අතර වූ ඈතට විහිදුණු තරංග රහිත වැව් තාලය මතට සඳ රැස් වැටී තිබිණ.  මඳ සුළං රැලි අතර දිස්වූ සඳ එළිය දිව්‍යමය ස්වභාවයක් පල කළේය.  හොම්රා ලතාවල කුඩා සුදු පැහැති මල් සහිත තුරු හිස් මතට සඳ එළිය වැටුණු විට ඒවා සුරලියන් විසින් එලන ලද සේල සේ දිස් විය.  කෘමියෙක් රැහැයියෙකුගේ හඬට සමාන හඬකින් එක දිගටම හඬ තලන්නට විය.  ගසකින් කොළයක් දෙකක් බිම පතිත වන හඬත්, වියළුණු කොළ මතින් 'සර' 'සර' ගා සතෙකු පලායන හඬත් මට ඇසිණි.

වන දෙව්ලියන් මා සිටියදී එහි නොඑනු ඇතැයි මට සිතුණි.මටද බොහෝ වේලා යන තුරු පිනි බාමින් එහි රැඳී සිටිය නොහැක.  මම පැයක් පමණ එහි ගතකර ආපසු ආවෙමි.

සරස්වතී වැවට වන දෙව්ලියන් පැමිණෙන බවට කට කතාවක් ඇති බව මට අසන්නට ලැබිණි.  නිකිණි මාසයේ දිනයක වත්තේ උතුරු මායිමේ වූ මිනුම් කඳවුරේ රාත්‍රිය ගත කිරීමට මට සිදු විය.  මා සමග ප්‍රසාද් නම් මිනින්දෝරුවාද සිටියේය.  ඔහු කලින් රජයේ රැකියාවක නිරතව සිටියේය.  මෝහන පුරා රක්ෂිත වනය හා මේ පළාතේ වනාන්තරය ගැන ඔහු අවුරුදු විසිපහක කාලයක සිට දනී.  ඔහුට සරස්වතී වැව ගැන කී විට ඔහු කීවේ මෙයයි.

" සර් ඕක මායාකාරී වැවක්.  ඔතැනට රෑට සුරංගනාවියෝ එනවලු.  හඳ එළිය තියෙන දවස්වල රෑට ඒ ගොල්ලො ඇවිත් අර ගල්තලාව උඩ ඇඳුම් තියලා දියට බහිනවලු.  බැරි වෙලාවත් ඒක දකින කවුරු හරි දියට බැස්සොත් ගිලිල මැරෙනවා.  දියට බැහැපු සුරංගනාවියන්ගෙ මුහුණු නෙළුම් මල් වගේ වතුරෙන් උඩට මතුවෙලා පේනවලු.  මං නං කවදාවත් දැකල නෑ.  ඒ වුණාට පතේ සිං කියල හෙඩ් සර්වේයර් කෙනෙක් හිටියා.  එයා දවසක් දැකල තියෙනවා සුරංගනාවියෝ නාන හැටි.  දවසක් එයා රෑ මැද වැව ලඟින් වැටිල තියෙන පාර දිගේ තනියම මිනුම් කඳවුරට ගිහිල්ලා තියෙනවා.  පහුවදා උදේ එයාගෙ මළකඳ වැවේ පාවෙනවා අපි දැක්කා.  එයාගෙ කණක් මාළු කඩාගෙන කාල තිබුණා.  අර විදියට අවේලාවේ ඔතැනට නම් ආයිත් යන්න එපා.

ඒ සරස්වතී වැව අසලදී එක් දහවලක මට විශේෂ පුද්ගලයකු හමු විය.  මිනුම් කඳවුරේ සිට ආපසු එද්දී මම වැව අයින දිගේ වැටී ඇති පාරේ සෙමින් සෙමින් අසු පිටින් ආවෙමි.  තුරු වදුලක් අතර හිඳගත් මිනිසෙක් පොළොව හාරා කුමක්දෝ කරනු මම දුටුවෙමි.  මා පළමුවෙන් සිතුවේ මොහු අල හෑරීමට පැමිණි කෙනෙකු බවය.  මෙහි වැඩෙන වැල් වර්ගයක විශාල අල සෑදේ.  ආයුර්වේද ඖෂධයක් ලෙස භාවිත කරන මේ අල සෑහෙන මිළකට අලෙවි කළ හැක.  මම කුතුහලයෙන් යුතුව අශ්වයා පිටින් බැස ඔහු ලඟට ගියෙමි.  ඔහු අල හාරන්නේ නැති බවත් කිසියම් බීජ වර්ගයක් පැළ කරන බවත් දුටුවෙමි.  හිසකෙස් පැසී තිබුණු ඔහු තලතුනා වයසේ කෙනෙක් විය.  ඔහු අසල හණ නූලෙන් වියන් ලද මල්ලක් විය.  එය තුළින් කුඩා ඉස්කෝප්පයක මිටක් පෙනෙන්නට තිබිණ.  ඒ අසල පස් ඉවත් කිරීමට ගන්නා උපකරණයක් ද තැන තැන විසිරුණු කඩදාසි ගුලි කීපයක් ද විය.

" මේ කවුද? මෙහේ මොකද කරන්නේ?"

" මේ වත්තේ මැනේජර් මහත්තයද?"

" ඔව්, තමුසේ කවුද?"

" ආයුබෝවන් සර්, මම තමුන්නාන්සේගේ ඔපීසියේ බදු එකතු කරන බනවාරි ලාල්ගේ බාප්පගෙ පුතා."

වරක් බනවාරි ලාල් මොහු ගැන මට පවසා ඇති බව මට සිහිපත් විය.  ආජමාබාද් හි ප්‍රධාන කාර්යාලයට ලිපිකරුවකු අවශ්‍ය වී තිබුණ නිසා හොඳ කෙනෙකු ඒ සඳහා සොයා දෙන්නට යැයි මම බනවාරි ලාල්ට කීවෙමි.  ඔහු කණගාටු වී කීවේ මෙයට ඉතා සුදුසු ඔහුගේ බාප්පාගේ පුතෙක් සිටින බවත් ඔහු අමුතු අන්දමේ විකාර ගති ඇති උදාසීන පුද්ගලයකු නිසා මේ සඳහා කැඳවා ගත නොහැකි බවත්ය.  ඔහුගේ අත් අකුරු ඉතා අලංකාර බවත් ඔහු මෙන් දැන උගත් කෙනෙකු පළාතේ වත් නැති බවත් බනවාරි පැවසුවේය.

" ඇයි? එයා මොකද කරන්නේ?" මම ඇසුවෙමි.

" මිනිහගේ එක එක විදිහේ පිස්සු වැඩ තියෙනවා සර්, අතන මෙතන ඇවිදීම එක පිස්සුවක්.  හරියට රස්සාවක් කරන්නේ නැහැ.  කසාද බැන්දට පවුල රකින්නෙ බලන්නෙ නැහැ.  කැලෑවල ඇවිද ඇවිද ඉන්නවා.  ගේ අත ඇරලා අවිද්දට සන්නාසියෙකුත් නොවෙයි.  එයා එක විදියක මිනිහෙක්."

බනවාරි ලාල් එසේ හඳුන්වා දුන් ඔහුගේ බාප්පාගේ පුතා මොහුය.

මගේ කුතුහලය වැඩිවිය.

" මෙතැන මොනවද හිටවන්නේ?"

ඔහු හොර රහසේ කළ ක්‍රියාව මා දුටු හෙයින් ඔහු ලජ්ජාවට හා අධෛර්යයට පත් විය.

" මුකුත් නෑ, මේ මල් ඇට වගයක්."

මම පුදුමයට පත් වීමි.  මොහු හිටවන්නේ කුමන මල් ඇට වර්ගයක්ද?

මෙය ඔහුගේ ඉඩමක්ද නොවේ.  මෙහි ඇත්තේ ඝන කැලෑවකි.  ඔහු කුමන ගසක බීජයක් මෙහි සිටවනු ඇද්ද.  එයින් ඔහුට අත්වෙන වාසිය කුමක්ද? මම ඒ ගැන ඔහුගෙන් විමසුවෙමි.

" එක එක විදිහේ මල් ඇට ජාති තියෙනවා සර්.  මං පූර්ණියා වලදී දැක්කා එක සුදු මහත්තයෙකුගේ වත්තේ රටින් ගෙනැවිත් පැල කරපු අපූරු මල් වැලක් තියෙනවා.  ඒකෙ ලස්සන රතු මල් පිපිලා තිබුණා.  මං ඒ ජාතියේ ඇට ටිකකුයි, තවත් එක එක විදියේ මල් ඇට ජාතියි, දුර ඉඳලා එකතු කරගෙන ගෙනාවා.  මෙහෙ කැලේ ඒ ජාතියේ මල් වැල් නෑ.  ඒ හින්දයි මං ඒවා හිටෙව්වේ.  මේවා පැල වුණොත් අවුරුදු දෙකක් ඇතුළත පඳුරු දාලා ලස්සනට හැදෙයි."

ගස් සිටුවීමේ පරමාර්ථය ගැන අසා මා තුළ ඔහු ගැන ගෞරවයක් ඇති විය.  ඔහු ආත්මාර්ථය ගැන නොසිතා බොහෝ දුරකට පැතිරී ඇති වන භූමියේ සෞන්දර්යය වැඩි දියුණු කිරීමේ පරමාර්ථයෙන් තමාගේ මුදලත් කාලයත් වැය කොට ඇත.  මෙය ඔහුට අයත් ඉඩමක් ද නොවේ.  ඔහු කෙතරම් අමුතු කෙනෙක්දැයි මට සිතිණි.

මම යුගල ප්‍රසාද් පසෙකට කැඳවාගෙන ගොස් ඔහු සමග ගසක් යට හිඳ ගතිමි.

" මං මීට ඉස්සරත් මේ වැඩේ කරලා තියෙනවා සර්.  ලොබ්ටුලියාවේ ඔය තියෙන මල් ගස්, මල් වැල් මං අවුරුදු දහයකට දොළහකට ඉස්සෙල්ලා ගෙනාපු ඒවා.  සමහර ඒවා පූර්ණියාවේ කැලෙන් ගෙනාපු ඒවා.  කීපයක් දකුණු භගල්පුරේ ලක්ෂ්මීපුර කැලෙන් ගෙනාපු ඒවා.  දැන් ඒවායේ මල් පිපිලා පළාතම මල් උයනක් වෙලා."

" මේ වැඩේට බොහොම කැමතියි වගේ."

" ලොබ්ටුලියාවේ කැලේ හරි අපූරු තැනක්.  අර පොඩි පොඩි කඳු ගැටවල පඳුරුවල අලුතින් මල් පිපෙනවා දකින්න මං හුඟ දවසක ඉඳලා හරි ආසාවෙන් ඉන්නේ."

" මගේ හිත මේකට කොහොම යොමු වුණාද කියලා මං සර්ට කියන්නම්.  අපේ ගෙදර තියෙන්නේ ධර්මපුර පළාතේ.  අපේ ගමෙන් හැතැප්ම විස්සක් විතර එහා කුශි ගංගාව අයිනේ තැනකට මං පොඩි කාලේ මී හරක් දක්කාගෙන ගිහින් තියෙනවා.  එහේ ඒ ජාතියෙ මල් පිපිලා තියෙනවා මං දැක්කා.  මං එහෙන් මල් ඇට ගෙනැල්ල ගමෙත් හිටෙව්වා.  දැන් අපේ ගමේ පාරවල් අයිනේ කැලෑ පඳුරුවල, ගෙවල් පිටි පස්සෙ තියෙන මුඩු බිම්වල, භාණ්ඩාරී මල් පිපෙනවා.  එයින් පස්සේ එහෙම දේවල් කරන්න මගේ හිත යොමුවුණා.  සමහර මල් වර්ග නැති පළාත්වලට ඒවා අරන් ගිහිල්ලා හිටවන එක තමයි මගේ විනෝදාංශය.  ජීවිතේ පුරාම මං මේ විදියට ඇවිද්දා, මම ඒකට දැන් ඇබ්බැහි වෙලා."

යුගල ප්‍රසාද් මේ පළාතේ වනාන්තරවල පිපෙන වනමල් ගැන සහ වෘක්ෂලතාදිය ගැන හොඳින් දන්නා බව මට පෙනී ගියේය.  ඔහු ඒ විෂය ගැන විශේෂඥයෙක් බවට කිසිම සැකයක් නැත.

" ඇරිස්ටොලෝකියා වැල ගැන දන්නවද?"

ඒ මල් වර්ගය කෙබඳුදැයි විස්තර කළ විට ඔහු මෙසේ කීය.

" ඔය කියන්නේ පරවිමල් ගැන වෙන්න ඕනෑ.  අර පරවියෝ වගේ පිපෙන්නේ.  ඒවා මේ පැත්තේ නෑ.  පැට්නාවල මහත්තුරුන්ගේ උයන්වල තියෙනවා."

ඔහුගේ දැනුම ගැන මම පුදුම වුයෙමි.  මෙවැනි සෞන්දර්ය පුදන්නන් පහසුවෙන් මුණ ගැසීමට නොලැබේ.  වනයෙන් වනයට ඇවිද මල් සිටුවීමෙන් ඔහුට ඇති ප්‍රයෝජනයක් හෝ එයින් උපයන මුදලක් හෝ නැත.  ඔහු අන්ත දිළින්දෙකි.  එසේ වුවත් ඔහු වනයේ සෞන්දර්යය සම්පත වැඩි දියුණු කිරීමෙන් වෙහෙසට පත් නොවෙයි.  එයින් තමාට වාසියක් නැතැයි ඔහුගේ උනන්දුවත් පරිශ්‍රමයත් මඳක් හෝ අඩු නොවෙයි.

" සරස්වතී වැව ළඟ තියෙන කැලේ වගේ කැලයක් මේ පළාතේ වත් නෑ මහත්තයා.  කොච්චර ගස් වැල් ජාති මෙහේ තියෙනවද?  වැවේ ලස්සන බලන්න.  මෙහේ නෙළුම් පැළ කළොත් පැළවේවි කියලද මහත්තයා හිතන්නේ.  ධරම්පුරේ පැත්තේ පිටිසර ගම්වල පොකුණුවල නෙළුම් තියෙනවා.  මං හිතාගෙන ඉන්නේ නෙළුම් අල ගෙනැල්ලා පැළ කරන්න."

මේ කාර්යයේදී ඔහුට උදව් වීමට මම සිතා ගත්තෙමි.  අප දෙදෙනා එකතු වී අසල වූ වනාන්තරය නානා විධ අලුත් වන මලින් සරසන්නට ඉටා ගත්තෙමු.  එයින් පසු එය නොකර බැරි තරමට මාද එයට ඇබ්බැහි විය.  යුගල ප්‍රසාද්ට හරි හැටි කෑමක් බීමක් පවා නොලැබෙන බවත් ඔහුගේ පවුලේ අයද දුක් විඳින බවත් මම දැන සිටියෙමි.  මම ප්‍රධාන කාර්යාලයට ලියා අජාමාබාද් කාර්යාලයේ ලිපිකාර රැකියාවක් ඔහුට ලබා දුනිමි.

ඒ වසරේ මම කල්කටාවෙන් විදේශීය වන මල්වල බීජ පැකට්ද කඳු පළාතකින් වල් පිච්ච අතුද ගෙන අවුත් සරස්වතී වැව අවට වනයේ සිට වුයෙමි.  යුගල ප්‍රසාද්ගේ උනන්දුව හා සතුට පෙරටත් වඩා වැඩිවිය.  ඒ ගැන ඇති උනන්දුව හා සතුට කාර්යාලයේ අයට නොපෙන්වන ලෙස මම ඔහුට අවවාද කළෙමි.  ඔහු පිස්සකු යයි කාර්යාලයේ අය සිතනු ඇත.  මාද ඊට ඇදගන්නට ඔවුන් අමතක නොකරනු ඇත.  ඊළඟ වසරේ වැස්ස ලැබුණු විට අප පැළ කළ ගස් වැල් පුදුම අන්දමින් වැඩෙනු දක්නට ලැබිණ.  වැව අයිනේ පස ඉතා සරුසාර විය.  අප පැළ කළ ගස් වැල් ඒ පළාතේ දේශගුණයට ගැලපෙන ඒවා විය.  කල්කටාවෙන් ගෙන ආ මල් ඇට පැකට්වලින් සමහරක් පමණක් පැළ වුයේ නැත.  ඒ හැම පැකට්ටුවකම මල්වල නමද මල් ගැන කෙටි විස්තරයක් ද අඩංගු විය.  පාටක් පෙනුමක් ගැන විස්තර කියවා හොඳ ඒවා තෝරමින් ඒවා පැළ කළෙමි.  ඒ අතර 'වයිට් බීම්' 'රෙඩ් කැම්පියන්' සහ 'සිව්වර්ට්' අසාමාන්‍ය ලෙස වැඩෙන්නට විය.  'පොක්ස් ග්ලොච්' සහ 'වුඩ් ඇනිමොන්' ද සාමාන්‍ය ලෙස වැඩෙන්නට විය.  එසේ වුවත් බොහෝ මහන්සි ගත්තත් 'ඩග් රෝස්' සහ 'හනිසකල්' පැළ කර ගැනීමට නොහැකි විය.  

කහ පැහැති ධාතුයා මල් පැළ ටිකක් වැව අයිනේ පැළ කළෙමි.  ඉක්මණින් එහි මල් පිපෙන්නට විය.  යුගල ප්‍රසාද් පූර්ණියාවේ කැලෑවෙන් බොයිරා මල් වැල්වල බීජ ගෙනැවිත් තිබිණ.  පැළ හටගෙන මාස හතක් පමණ ගතවූ පසු අසල වූ පඳුරු දක්වා ඒ වැල් පැතිරී ගොස් තිබෙණු දක්නට ලැබිණ.  බොයිරා ලතාවේ මල් දැකුම්කලු මෙන්ම සුවඳවත් විය.

හේමන්ත කාලය ලඟා වීමට පෙර දිනක බොයිරා ලතාවල සිය ගණනක් මල් කැකුළු හටගෙන ඇති බව දුටු මම යුගල ප්‍රසාද්ට ඒ බව දන්වුයෙමි.  ඔහු ලිවීම අත්හැර දමා ආජමාබාද් කාර්යාලයේ සිට සැතපුම් අටක් ඈතින් වූ සරස්වතී වැව අසලට දුවමින් අවුත් ලඟා විය.

" මිනිස්සු කිව්වා සර්, බොයිරා වැල් මෙහේ පැළ කළත් මල් පිපෙන්නේ නෑ කියලා.  ඒ වුණාට බලන්නකෝ මල් කැකුළු තියෙන තරම්."

' වයිට් ක්‍රොප්ට්' නම් වූ ජලජ පැලෑටියක අල ගෙනවුත් වැවේ පැළවීමට හැරියෙමි.  ඒවා ඉක්මනින් පැළවී වැඩෙන්නට වූ විට යුගල ප්‍රසාද් බිය වුයේ නෙළුම් මල්වලට ඇති තැන ඒ පැලෑටි අත්පත් කර ගනු ඇතැයි කියාය.

බෝගන්විලා අතු ගෙනැවිත් වනයේ පැළ කිරීමට සිතුණත් ඒ මල් වර්ගය නගරයේ කෘත්‍රිම උද්‍යාන සමග කෙතරම් බැඳී ඇද්දැයි කිවහොත් මට බියක් ඇති වුයේ වැව අසල දිස් වූ වන සිරියට එයින් හානියක් සිදුවනු ඇතැයි කියාය.  යුගල ප්‍රසාද් ද මෙවැනි දේ ගැන සිතන්නේ මා සිතන පරිදිමය.  ඔහුද බෝගන්විලා පැළ කිරීමට විරුද්ධ විය.

මේ සඳහා මගෙන් වියදම් වූ මුදල සුළු පටු නොවේ.  කාරෝ නදියේ එගොඩ ඉවුරේ ජයන්ති පර්වතය පිහිටි වනාන්තරයේ අමුතු අකාරයේ මල් වර්ගයක් පිපෙන බව දිනක් ගනෝරි තේවාරි කියනු ඇසිණ.  ඒ පළාතේ ඒ මල් හඳුන්වන්නේ 'දුඕයා මල්' යනුවෙනි.  කහ ශාකයේ වැනි කොළ ඇති ඒ ගස් රියන් දෙක තුනක් උසට වැඩේ.  එක ගසක රිකිලි හතරක් පහක් හටගෙන ඒ හැම රිකිල්ලකම කහ පාට මල් හතරක් පිපේ.  ඉතා සුන්දර පෙනුමක් ඇති ඒවා මිහිරි සුවඳින් ද යුක්ත වන අතර රාත්‍රියේ දී බොහෝ ඈතට සුවඳ විහිදුවයි.  ඒවා පැළ කළ විට ඉතා ඉක්මනින් පඳුරු දමා වසර දෙක තුනක් යන විට ඝන සැරේට වැඩෙනු ඇතැයි ඔහු කීවේය. 

ඒ ගැන ඇසු විට ඒ මල් පැළ ගෙනෙන තෙක් මගේ සිතට සැනසීමක් නොවීය.  ගනෝරි කීවේ වර්ෂා කාලයේ හැර අනෙක් කාලවල ඒවා පැළ නොවන බවයි.  ඒවායේ අල ගෙනැවිත් පැළ කළ යුතු බවද හොඳින් ජලය නොලැබුණොත් පැළ මැරී යනු ඇතැයි ද ගනෝරි කීවේය.

මම මුදල් දී ඒවා ගෙන ඒමට යුගල ප්‍රසාද්ව පිටත් කළෙමි.  ඔහු බොහෝ අමාරුවෙන් ජයන්ති පර්වතය අසල ඝන කැලයෙන් අල කැබලි දහයක් දොළහක් පමණ එකතු කරගෙන ආවේය.

( අරණකට පෙම් බැඳ, විභූතිභූෂණ බන්ද්‍යාපාධ්‍යාය,පරිවර්තනය: චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි. ප්‍රකාශනය: විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය. 2012)