Tuesday, September 25, 2018

දිවිසයුරෙන් දියදෝතක්.


කෑගලු දිසාවේ අටුලුගම් කෝරළයේ මාහින්කන්දේ උපන් මාහින්කන්ද ගම්ලද්දලාගේ ( මාගම් ) තෙන්නකෝන් ගමේ සිංහල පාසලින් 'අ' යනු කියවා ලංකා විශ්ව විද්‍යාලය තෙක් ගමන් කොට 1955 දී ගුරු වෘත්තියට බටුයේය.  කෑගලු විදුහලින් ඉගැන්නිල්ල අරඹා කොළඹ ශාන්ත ජෝසප් විදුහල, ආනන්ද විදුහල, රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල, රත්නපුර සීවලී විදුහල, උඩුවර සුදර්මාවාස පිරිවෙණ ඇතුළු විදුහල් ගණනාවකදී එහි රස බැලීය.

වර්ෂ 1956 දී නවදිල්ලියේ පැවති ප්‍රථම ආසියානු ලේඛක සමුළුවට ලංකා නියෝජිත පිරිසේ ලේකම් ලෙස සහභාගී වූ හෙතෙම චීන ලේඛක සංගමයේ ඇරයුමක් ලැබ නව චීනයේ සංචාරයක යෙදී පැමිණ ලේක්හවුස් ආයතනය ඇතුළු ප්‍රවෘත්ති ආයතන කීපයකට පත්‍ර කලාවේදියකු ලෙස වැඩ කළේය.  'ජනදින', 'ජනසතිය' දෙපුවත්පත්හිම සකසු ලෙසද කලක් සිටියේය.

1960 මාර්තු මැතිවරණයේ මහජන එක්සත් පෙරමුණෙන් රුවන්වැල්ල ආසනයට තරග වැදී පැරදිණි.  දේශපාලනය කලැයි 1965 දී රැකියාවෙන් නෙරපිනි.  අනතුරුව කලක් ගොවිතැනින් ජීවත්විය.  1970 දී නැවත රැකියාව ලැබී තමා අකුරු කරවූ අටුලුගම විදුහලේම මුල් පුටුව හෙබවීමට වරම ලද ඔහු 1976 දී එකුන් පණස්වියේ සිටිමින් ඊනියා ගුරු වෘත්තියෙන් සමු ගත්තේය.

'නූතන සිංහල ගද්‍යය', 'පරපුට්ටන්ගේ පාරාදීසය', 'පිස්සෙකුගේ මතක සටහන්' යන පොත් තුනක් ද ඔහු නමින් පළ විය.  අද ඔහු කලක් ළමා කළ ගෙවූ පිටිසර ගම්මානයේම සිවුසැට වියේ මළහිරුගේ 'රත' බලමින් සිටියි.

( මෙම කොටස මා උපුටා ගත්තේ මාගම් තෙන්නකෝන් විසින් රචිත 'දිවිසයුරෙන් දියදෝතක්' නම් කොටස් දෙකකින් යුත් පොතේ පළමු කොටසිනි.  දැන් අපි ඒ පොතේ 7 වන පරිච්ඡේදය රස විඳිමු.)
                                                     +++++++++++++++++++++++++

වර්ෂ 1936 වන විට මැලේරියා වසංගතයේ තෙද කෙමෙන් බිඳ වැටෙමින් පැවතිණි.  ක්වීනින් වතුර ඊට එකම ප්‍රත්‍යක්ෂ ඖෂධයයි.  හිස්බඩ ක්වීනින් වතුර පතක් බීමද කොත්තමල්ලි හා බාර්ලි තැම්බූ වතුරෙන් බඩ පුරවා ගැනීමද හැර වෙනත් ප්‍රතිකර්මයක් එකල නොවීය.

දුර පාසල් ගමනින් හෙම්බත් වී උන් මමද මැලේරියාවට ගොදුරු වීමි.  මේ උණය කරුමයක් නිසා බෝවූ ලෙඩකැයි ඇතැම් ගැමියෝ කීහ.  කරුමයක් මුළු ජනතාවට පටිසන් දුන් අයුරු ද නැතහොත් ලෙඩට ඔරොත්තු දීමට තරම් ප්‍රමාණවත් පෝෂ්‍යදායක ආහාර ශරීරගත නොවීම නිසා පැමිණි ආපත්තියක් ද?  භෞතික වාදයත් විඥාන වාදයත් අතර හිරවුවකු බඳු මට පෙනෙන්නේ මෙය යටත් විජිතවාදය විසින් රෝගියකු කරන ලද ජාතික ආර්ථික දේහයේ ඉස්මතු වුණ වණ කුෂ්ඨ රෝගයක් ලෙසිනි.

දිනක් අපේ 'පුංචි' තාත්තා පැමිණියේය.  තනිකඩයකු වූ ඔහු අප පවුලට අයත් කනන්ගම ගමේ පිහිටි විශාල ඉඩමක ගෙයක් තනාගෙන උන්නේය.

" අක්කාට දැන් ළමයි වැඩිවෙලා කරදර ඇතිනේදැ" යි විමසු ඔහු ලෙඩ ගානේ ඉස්කෝලේ නොගොස් උන් මම ඔහුගේ නිවෙසට කැඳවාගෙන එනු ලැබීමි.  ඔහුගේ නිවෙස තුන් පැත්තක් අඩි තුනක් පමණ උසට ලෑලි ගසා ඉතිරි උඩ කොටස ජලිස් ගසා අතු සෙවිලි කළ විශාල සාලයකින් හා කුස්සි පොඩ්ඩකින් සමන්විත පදිංචියට ඉතා ප්‍රසන්න තැනෙකි.  ඔහු එහි පදිංචිව සිටියේ ' ඈ කොට ආතා' නමින් අප විසින් හඳුන්වන ලද අවුරුදු හැටපහක් පමණ වයසැති ගොවියකු සමගය.  ඈ කොට ආතා අපේ කුඹුරක් වැඩ කළ අතර වත්තේ පොල් කඩා කොප්පරා වේලීම ද කළේය.

පුංචි තාත්තා විවාහවී උන්නේ සූදු ක්‍රීඩාවත් සමගය.  ඉනුත් 'අජුත' ක්‍රීඩාව ජීවිත කාලයක් ඔහුගේ එකම පෙම්වතිය වූ සූදු ක්‍රීඩාවයි.  එම ක්‍රීඩාවෙන් මුදල් උපයන අදහසක් ඔහුට නොවීය.  ඇදහීමෙන් හා ගති පැවතුම් වලින් ඉතා හොඳ බෞද්ධයකු වූ ඔහු සූදු ක්‍රීඩාවට මෙතරම් ඇල්මක් දැක්වුයේ මොන හේතුවක් නිසාදැයි මම නොදනිමි.  ඔහුගේ ජීවිතය ගැන කල්පනා කරනවිට හැඟෙන්නේ ප්‍රේම සම්බන්ධයක් කඩාකප්පල් වීමෙන් උපන් කණස්සලු සිත සනසා ගැනීම පිණිස සූදු ක්‍රීඩාවට යොමු වූ කෙනෙකු ලෙසය.  කේඩෑරි, උස, ළැමේ රෝම ඉතා ඝනව වැඩුණු, කුඩා හිසක් හා වටකුරු දෙනෙත් ඇති ඔහුගේ හැඩ රුව ගැන සිතනවිට මට සිහිවන්නේ මහත්මා ගාන්ධිගේ රූපයයි.

පුංචි තාත්තාගේ නිවෙස පිටුපස අක්කර දහයක පමණ ඝණ වන කඩෙකි.  කඳු බෑවුමක පිහිටි මෙම වන කඩ ඉස්මත්තේ " කබරගල" නම් වූ සුවිසල් ගල් පර්වතයකි.  සුළු පියා හඳුන්වන ලද්දේද " කබරගලේ රාළහාමි" යන නමිනි.  අක්කරයක පමණ තැනිතලා පොල් ඉඩමක පිහිටි ඔහුගේ නිවෙස ඉදිරිපසින්, කබරගලින් ඇරැඹෙන දියත්තක් කුඩා ගල් සිඛර අතරින් නිරන්තර 'සිරිසිරි' යාවෙන් ගලාබසී.  දියත්තට තරමක් දුරින් ආතතික පොකුණකි.  අඩි දහය- අට වළක් කැණ තනන ලද මෙම පොකුණට ජලය සැපයුණේ පතුල පුරා විහිදුණ ගල් පොත්ත යටින් උනන දිය දහරිනි.  මෙම පොකුණේ රතු නෙළුම් හා නිල් මානෙල් උදයට පිපිණි.  ඕලු හා කුමුදු(අඹුල) මල් සවස් යාමයේ පිපිණි.  විල් කොණ වසා පැතුරුණු කොළ ජාලය ඔසවා සිටි දඬු අතරින් වරල් ගස්සමින් ඔබ මොබ පිහිනන ලේල්ලු අහිනක්ද පොකුණේ විසුහ.  හිරු රැසින් දිලිසෙන රන්වන් හරස් ඉරි වැටුණු ලේල්ලු ඊට සජීවී ලස්සනක් එක් කළහ.

දියත්තත් ගෙයත් අතර උස ගල් වැටිය උඩ විශාල අසෝක වෘක්ෂයකි.  අසෝක යනු හෝපලු ගසට නමෙකි.  උල් දිග පටු පත්‍ර වලින් ගහන අසෝක ගසේ පොකුරු වශයෙන් පිපෙන මල් රත්මල් වැනි කුඩාමල් සමූහයකින් සමන්විතය.  නිල්වන් කොළ අතර රතට රතේ පිපෙන මල් පොකුරුවලින් ආකූල අසෝක ගස සියළු වන ලෝලයින් ආනන්දයෙන් කුල්මත් කරවන සුළුය.

හෝපලු ගස ප්‍රේමය හා පෙම්වතුන් පිලිබඳ ජන කථා කීපයකටද මුල් වෙයි.  ලංකේශ්වර රාවණා රජු සමග පැන ආ සීතා කුමරිය කලක් සැඟවී උන්නේ හෝපලු වනයකය.  සාලිය කුමරු අසෝක මල් නෙළමින් උන් සැඩොල් කෙල්ලක් හා ප්‍රේමයෙන් බැඳිණි.  වෙල්ලාල කුලයේ හින්දු බැතිමත්තු මඟුල් ගෙවලට අසෝක අත්තක් ගෙන යත්ලු.  හෝපලු ගස ප්‍රේමය, ආලය පිලිබඳ සංකේතයක් ලෙස හින්දු හු සලකති.  ඔවුහු අසෝක ගසට 'අඟන ප්‍රිය' යන නාමය ද දුන්හ.  භද්‍ර යෞවනියන් අසෝක ගසේ මුල් පෑගු විට එහි මල් පිපෙන බවක් ද කියති.  ' ළ හොපල්ලෙහි සිහිලස්' ගෙනැයි, ගුරුළු ගෝමීහු අසෝක දල්ලේ සිහිල ගැන කීහ.

අසෝක ගස හා ස්ත්‍රී ප්‍රේමය අතර කිසියම් සම්බන්ධයක් ගැන මහා බණ කාරයකු වූ මාගේ සුළු පියා සමහර විට දැන සිටින්නට ඇත.  ව්‍යර්ථ වූ ප්‍රේම සම්බන්ධයක් නිසා කළකිරීමට පත්ව සිටි ඔහු ප්‍රේමයේ සංකේතයක් වූ අසෝක ගසක් පමණක් මිදුලේ ම වවන්නට ඇත්තේ එම කළකිරීමේ කුරිරු භාවය අමතක කරනු පිණිස විය යුතුය.  ඔහුගේ සාන්ත දාන්ත පැවැතුම්, මතුපිටින් පෙණෙන මනුෂ්‍ය රූපයෙන් නොකියවෙන ගැඹුරු, නිර්මල දහමෙකින් හික්මැවෙන්නට ඇතැයි සිතේ.  මනුෂ්‍යයා හා වෘක්ෂලතා අතර පවත්නා බැඳීම, සංසදය ගැන ඔහු දැන සිටින්නට ඇත.

කෑමට ගත් බත් පිඟානෙන් බත් ගුළියක් අනන ඔහු එම ගුළිය උස් තැනෙක තබයි.  එය බත් උළක් පතා මිනිස් ඇසට නොපෙනෙන රුවකින් පෙනී සිටිතැයි කියන මළ පෙරේතයින් සඳහා විය යුතුය.  සාංඝීක දේපල කෑවවුන් මහා ප්‍රේතයින් ලෙස උපදින බව ඈත සමයේ සෙල් ලිපිවල සඳහන් වෙයි.  දේපල අයිතිය කාටදැයි සොයන්නට බඩගින්නේ දැවෙන එකාට වෙලාවක් නැත.  බත් ගුළිය එවැන්නන් සඳහාදැයි නොදනිමි.  එවන් පෙරේතයින් ගැන අප අනුකම්පා කළ යුතුය.  මහජන සන්තක දේපලත් එක් අයුරකින් සාංඝීක දේපලකි.  එම දේපල පෞද්ගලිකව භුක්ති විඳින්නන් නම් ප්‍රේතාත්මයේ ඉපදීම ගැන අප සන්තෝස විය යුතුය.  ඔවුනට මේ ආත්මයේ දී දේශපාලන රැකවරණ තිබෙන බැවින් දඬුවම් නොලැබෙන නිසාය.

සුළු පියා අජුත ක්‍රීඩාව සඳහා ඈත ගම් දනව් කරා ගිය දිනවල මාගේ එකම ආරක්ෂකයා ද හිත මිත්‍රයා ද වුයේ ඈ කොට ආතාය.  ඉත්තෑවකුට බැන්ද තුවක්කුවක මරු වැල බැරිවීමෙකින් පෑගී ඔහුගේ වම් කකුලේ ගොප් ඇටය බිඳිණි.  තුවාලය සනීප වූ පසු කකුල අඟලකින් පමණ කොටය.  තුවාල සලකුණ වටා පරංගි වැනි විශාල සුදු පැල්ලමක් විය.  'ඈ කොට ආතා' යන නම වැටෙන්නට ඇත්තේ මේ ඇබැද්දිය නිසා විය යුතුය.  වම් කකුල හෝ වම් අත බිඳෙන්නේ සෙනසුරු අපලෙටලු.  ඈ කොට ආතා ගතකළ ජීවිතයත් සෙනසුරු අපල කාරයකුගේ ජීවිතයට සමානය.  අඩක් බිඳුණු පාදය ඔහුගේ අර්ධ දඩයක්කාර ජීවිතය පිලිබඳ සිහිවටනයක් වැන්න.

ඈ කොට ආතා සතුන්ට උගුල් ඇටවීමෙහි ලා හපනෙකි.  කුඹුරු පැසෙන කාලයට උගුල්වල අසුවන සතුන්ගේ මසින් ඔහුට අඩුවක් නැත.  වයිතාලයේ අවදිවන ඔහු කුඩා හැළියක් ලිප තබා තේ කොළ තම්බයි.  තැම්බූ කොළ වතුර ලොකු පොල්කටු කෝප්පයකට ගෙන පොල් මද පලුවක් සමග ගිල දමයි.  කූර පයියක්ද උල් පිහියක් ද ගන්නා ඔහු අනතුරුව අපේ නිවහනට හුඟ පහල කුඹුර කරා යයි.  යායේ ඉස්මත්තේ පිහිටි කුඹුර තුන් පසෙකින් ලඳු කැලෑවය.  එබැවින් වියට කන සතුන්ගෙන් වන හානිය මහත්ය.  වී කරල් කපන ලේනුන් සඳහා ඇටවූ උගුල් පද්ධතියක් කුඹුර පුරා විය.  කකුලට ඇටවූ උගුල්වල කොරවක්කෝ අසුවෙති.  බරින් රාත්තල් දෙකක් පමණ වූ ලොකු තලස් මීයෝ ද ගොයම් කැපු වරදට උගුලේ දිවි පුදති.  පැයක් හමාරකින් ඔහු ආපසු එන්නේ, අළුයම් ගොයමින් තෙමුණු හැඳි කඩින්, ගොයම් බූව ගෑවී කසන දෙකකුල් හා අත් පිසලමින් දඩයම් මල්ලෙන් කිසියම් දඩයමක් ද රැගෙනය.

කොරවකුන් තෙලින් බැද කෑමටය.  හමගැසූ ලේන් සිරුරු වේලුණු පසු එළවලු වැංජන වලට කලවම් කොට කනු පිණිස දුම යට වලිගයෙන් එල්ලා තබනු ලැබේ.  එල්ලන්නේ මළකුණු බැවින්, ඔහුට පාපයක් සිදුවීමට තිබෙන ඉඩ අඩුය.  පණපිටින් මිනිසුන් පිළිස්සූ යුගය ඔහු දැක නැත.  තලස් මීයෝ මයිල් පිළිස්සීම පිණිස සිවු කකුලින් ඔසවා ගින්නට අල්ලනු ලැබෙත්.  පිළිස්සුණු මයිල් ඇති හම අනතුරුව පිහියෙන් පෙරන් ගා මස් කපා ඇතිලියට සූදානම් කෙරේ.  මස ඉදෙන තෙක් අසල කිතුල් ගසට නගින ඔහු රා මුට්ටියක් ද බාගෙන වුත් ඉදෙන මසේ රස බලමින් එය හිස්කරයි.  අනතුරුව කොළපත් පිඟානකට හීල් බත බෙදාගන්නා ඔහු දාඩිය දෙකන්සයෙන් පෙරමින් මසුත් සමග බත හෙමි හෙමින් අභිරුචියෙන් ගිල දමයි.

ගෙය පිටුපස වන රොද අවට වෙනත් කැලෑ බිමක් නොවුයෙන් කුඩා වන සතුන්ගෙන් ගහනය.  අපේ කැලෑ වලින් සීඝ්‍රයෙන් වඳවීගෙන යන හබන් කුකුල්ලු ජෝඩු කීපයක් ද මෙහි විසූහ.  ළා ගුරුපාට සිනිඳු පෙඳ වලින් වැසුණු, කුඩා කිකිළියක තරම් වන මේ ශෝභන අහිංසක පක්ෂියාගේ මස රස නහර පිනවන කදිම මසෙකි.  ඈ කොට ආතාගේ බෙහෙත් තුවක්කුවේ අබ ඇට තරම් මූනිස්සං උණ්ඩයට මොවුහු වරින්වර ඉලක්ක වුහ.

හබක ඇටවීම, ඉත්තෑවුන් ඇල්ලීම සඳහා එකල බහුල ලෙස යොදාගත් නමුදු ඔහු මුන් ඇල්ලුවේද උගුල් ඇටවීමෙනි.  ඉත්තෑවා උගේ පිටුපස කූරු වල්ල දියයට ගසා වහා ඔසවා ගනී.  එවිට කූරු අතර තිබෙන බෙහෙත් කුප්පි වැනි සිදුරක් සහිත විශේෂ කූරු වගයක වතුර පිරෙයි.  මේ වතුර ඉත්තෑවා ලගින ගුහාවේ පස මඩ කර ගනු සඳහාය.  ඌ මඩ සහිත බිමේ ලැගීම ප්‍රිය කරන සතෙකි.  ඉන්නා තැන මඩ කරන පුරුද්ද මූට මරු කැඳවයි.

රිංගා ගත් ගල් කුහරයෙන් එළියට එන ඉත්තෑවා කුහර මුඛයේ අටවා තිබෙන මන්දේ බැඳෙයි.  ඌ මන්දේ බැඳත්ම මන්දට ගැට ගැසූ දුන්නක් මෙන් නැමූ උගුල් පොල්ල ගැස්සෙයි.  උගුල් පොල්ලේ අග්ගිස්සේ කොස් ගෙඩියක් මෙන් එල්ලෙන ඉත්තෑවා, ගොවියාට කිවයුතු හානියක් නොකරන නමුදු එල්ලුම් ගස් යන්නේ ගොවියෙකුගේ ශ්‍රම ශක්තිය වැඩි දියුණු කරනු සඳහාය.  මස පිණිස සතකු මැරීම පාප කර්මයක් ලෙස ඈ කොට ආතා විසින් නොසලකන්නට ඇත.  මහා බෞද්ධයකු වූ ධර්මාශෝක රජු රාජ භෝජනයට මැරවුණු මොණරුන්ගේ ගණන අඩුකළේ එකකු දෙන්නෙකුගෙන් පමණයි.  හුදු ශාක භක්ෂණය පමණක් බර වැඩට කැපවූ ගොවියාට ප්‍රමාණවත් නැත.  

කුඹුරු පීදෙන සමයේ ඔහුට වැඩ වැඩිවෙයි.  ගොයමට සාත්තු කිරීම සඳහා වුවමනා දෑ සම්පාදනය කළ යුතුය.  දළුක් ගසේ කිරි, දෙරණ තෙල් හා කොහොල්ලෑ මිශ්‍ර කොට තනාගත් ආලේපයක් හීන් බෝටියා අතු අතුරා බටලීයක බැඳ තනාගත් ඉදලක් වැනි පැලැල්ලකින් පීදෙන ගොයම් සාත්තු කළ යුතුය.  මැස්සෝ මේ පැලැල්ලේ ඇලී මරු දකිති.

කබරගල උඩ දළුක් ගස් පඳුරු රාශියක් විය.  මේ ගසේ කිරි ඇසට වැටුණොත් ඇස අන්ධවන තරමට විස සහිත බැවින් කිරි කොටා ගත යුත්තේ ඉතා කල්පනාකාරීවය.

ඈ කොට ආතා බාහිර ලෝකය අමතක කොට නිතරම පාහේ ප්‍රීතිමත් මුහුණකින් යුත් කළුවන් උස ගොරෝසු මිනිසෙකි.  ඔහු තුන්වේලටම ඇති පදම් කිතුල් රා බිව්වේය.  පදම වැඩිවූ ඇතැම් දිනෙක ඔහු අඩ නින්දේම කවියක් දෙකක් හඬ නගා කියයි.  ඔහු කී සමහර කවියක් සිහිවන විට මට අද සිතෙන්නේ ඔහුගේ ගොරෝසු පෙනුමට යටින් ඉතා සුළු ස්පර්ශයකින් පවා හැඩෙන වයලීන තතක් වන් හදවතක් ඔහුට තිබෙන්නට ඇති බවකි.  නිතර නිතර ඇසුණු නිසාද ශෘංගාර රසාලිප්ත රසයක් ගැබ් වන බැවින් ද ඔහු කී කවියක් මට කට පාඩම් හිටියේය.

අකුණු හඬ ලෙසට පිටි කොටනා          කෙල්ලේ 
පොකුණු දිය ලෙසට ඩා බිඳු              වැගිරිල්ලේ 
මුකුළු සිනා පාවී යයි                        පවනැල්ලේ
කැකුළු තන වැටෙයි පිටි නොකොටන්   කෙල්ලේ

ඔහු තරුණ කාලයේ පෙම් බැඳි ගැමි ලියක් සිහි කරමින් ශෝක වෙමින් මහළු කාලය ගත කරන ප්‍රෙම පරාජිතයකුදැයි නොදනිමි.  ඔහුට බිරියක් සිටි බවක් නෑසීමි.

දළුක් කිරි කෙටීමට කබරගලට නැගීමට සුදානම් වූ එක් දිනෙක ඔහු මාද කැඳවා ගෙන යාමට කැමති විය.  අහල පහළ මනුස්ස හාවක් හූවක් නැති ඒ පාළු නිවසේ මා තනි කොට යෑම නොහොබිතියි සිතූ සෙයකි.  මුදුනට නැංගවිට සිරිපාදය පෙනෙතියි ඔහු මට කීය.  සිරිපා වන්දනා නඩ, තුන් සරණය මහා හඬින් කියමින්, තෙල් පන්දම් ආලෝකයෙන් රබර් වතු ඔස්සේ ගමන් කරනු අපේ කඳුකර නිවහනට ද ඒ සමයේ ඇසෙයි, පෙනෙයි.

ගලට නැගීමට ගල පහළ කැලෑව මැදින් ගමන් කළ යුතුය.  අඩියෙන් අඩිය සරසට වැවුණු වැල් හා අතු රිකිලි කපමින් ගිය යුතු මේ ගමන බෙහෙවින් ආයාසකරය.  කබරොස්ස, නාපිරිත්ත, එරමිනියා හා මාවේ රැහැන් මග හරිමින් සීරුවෙන් ඉහළට නංග යුතුය.  පොළොව දෙපා වැසෙන තරම් ඝණ වියළි පත්‍ර ආවරණයකින් වැසී ඇත.  මේ කොළ ආස්තරණය යට පිඹුරන් තොන්ඩු තබාගෙන සිටින වගක් ද ආතා මා සමග කීය.  ඔහු දිනක් පිඹුරු තඩියෙකු තලාගෙන ගෙලට බැඳි කොරස වැලකින් ඇදගෙන ආ හැටි මට මතකය.   ඌ මිදුලේ අසෝක ගසේ බැඳ සිටියේය.  ඌට තවත් පණ තිබිණි.  උදයේ බලනවිට පිඹුරු තඩියා එහි නැත.  ඌ ගැටයට හිරවුණු තැන වරින්වර හීන් කරමින් ගැටයෙන් ලිස්සා පණ බේරාගෙන ගොසිනි.

ගල මුදුනට නැංග යුත්තේ ගල් කුහර තුළ වැඩුණු කවුඩු බෝ සහ අත්තික්කා ගස්වල පහතට එල්ලෙන මුල්වල හා එම ගස් වෙලාගෙන වැවුණු කොරස, වෙනි, හොඬල හා දුල් වැල්වල ආධාරයෙනි.  මෙම ගල හා එය ආශ්‍රිත ගහ කොළ මනුෂ්‍යයාගේ විනාශකාරී හස්තයට එතෙක් අසු වී නොතිබිණි.  වැසි දිය නොවැටෙන ගල් තලුවල බැන්ද බමර මැසි පොදි කුලප්පු නොවන ලෙසින් මා ඉස්සර කොටගත් ඈ කොට ආතා හෙමින් හෙමින් උඩට ඇදුණේය.

ගල මතුපිට දළුක් ගොම්මන හැරුණුවිට පනම් පෙති හා පෙඳ පාසි එතුණු කර කටු පඳුරු කීපයක් විනා වෙනත් ශාක වර්ගයක් නොවීය.  අපේ ගමනින් කලබල වූ සෙයක් පෑ රැහැයියෝ 'රෑ රෑ' කියමින් දිවා කළ ද රෑ වුණු බවම කියති.  අඳුරට ප්‍රිය කරන මේ කුඩා කීටයා උගේ සිනිඳු දැල් තල වැනි පියාපත් දෙක එකට ගටා පිරිමැදීමෙන් නංවන හඬ තන්ත්‍රමය සංගීත භාණ්ඩයකින් වුවද එතරම් දුරට ඇසෙන සේ නැංවිය නොහැක.  අඳුර සොර සැමියෙකු ලෙස වනයට පිවිසෙනවිට රැහැයියාටද රෑ වෙයි.  මේ කුඩා සතා සොයා ගැනීම දෛවයේ ශුභදායක පැත්ත සෙවීමටත් වඩා දුෂ්කරය.  කන් බිහිරි කරවන සුලු රැහැයි සංගීතයෙන් නිනාද වූ සිහිල් සුගන්ධවත් වාතය ගල මුදුනට නංග අපගේ විඩාව මොහොතින් සංසිඳීය.  

කබරගල මුදුනට සමනළකන්ද අගේට පෙනෙයි.  අහස මීදුම් පටලයෙන් වැසී නොතිබිණි.  නිල්වන් අහස් ගැබේ කාලවර්ණ කේතුවක් මෙන් නැගී සිටින එය දුටු ඈ කොට ආතා දෑත් එක්කොට ඊට වැඳ නමස්කාර කොට මා කරට ඔසවාගෙන සමනළ කන්ද මටද පෙන්වීය.

ඔහු අපේ පැරණි සිංහල ගම බටහිර අවලං හැදියාවට ගොදුරු වෙන්නට පෙර ජීවත් වූ හැබෑ ගැමි පරපුරක අවසාන පුරුකෙකි.  දුක හා සැප එළඹෙන පරිද්දෙන් උපේක්ෂාවෙන් ඉවසූ ඔහුට ලෝකය පෙනෙන්නට ඇත්තේ, දිවි පැවැත්මට සර්වප්‍රකාරයෙන් උපකාරී වූ කරුණාබරිත පියෙකු මෙනැයි සිතේ.  හැවිල්ලක්, හීල්ලීමක් ඔහු කෙරෙන් මම නෑසීමි.  ස්වභාව ධර්මයේ සියළු දායාද රිසි පමණින් භුක්ති විඳීමට ඔහුට නිදහස තිබිණි.  මනුෂ්‍යයා විසින්ම ලාගත් විලංගු නොවැටුණු සමාජයක ඔහු සන්තෝෂයෙන් ජීවත් විය.  මගේ ළමා කාලයෙන් මාස කීපයක් සුළු පියා හා ඈ කොට ආතා සමග ගතකළ ඒ සුන්දර අතීතය සිහිපත් වන විට අදද මම නිම්හිම් නැති ප්‍රීති ප්‍රමෝදයකින් ඇළලී යමි.

නිල්වන් අහසේ පාවෙන සුදු වළා කැටි උදාහිරු රැස් වැටී දිලිසෙමින් සමන්ත කූටය සිසාරමින් පාවී යයි.  අඩි හත්දහස් තුන්සිය හැටක් එක එල්ලේ නැගී සිටින මේ කෝණාකාර ගිරි කුළට දකුණු පසින් බෑණ සමනළයය.  එය දකුණත් සව්වෙකු මෙන් ශීර්ෂ ප්‍රණාමයෙන් මඳක් ඇලවී පිහිටා ඇත.  ඇස් මහින්ද හිමියන් සමනළ කඳට කී කවියක් මට මෙහිදී සිහිපත් වෙයි.

"මුනිඳුන් සරණ ලද එ සමන්             සුරනින්ද 
රකිනෙන් මෙ කප හිමි පවතින        මනනන්ද 
රුවනින් ල කළ කිරුළෙව් ලකඟන       බැන්ද 
පසෙකින් පෙනෙන්නෙය සමනළ මහ   කන්ද "

( දිවිසයුරෙන් දියදෝතක්,  මාගම් තෙන්නකෝන්. ප්‍රකාශනය ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ.  පළමුවන මුද්‍රණය 1992)