Friday, December 28, 2018

දොළේ ගෙදර.

ඇල්. ඩී. මැන්දිස් නම්වූ සාහිත්‍යකරුවා හේතුවෙන් දකුණේ රජ්ගම පුරවරයට ආසන්න වැවදෙනිය නම්වූ කුඩා බිම් කඩ රටේම ප්‍රකට විය.  එහෙයින්ම ඔහු හැඳින්වුණේ වැවදෙණියේ ඇල්. ඩී මැන්දිස් යනුවෙනි.  ඔහු විසින් රචිත නවකතා රැසක් අතුරින් " දොළේ ගෙදර" තවත් එක සිත්ගන්නා නවකතාවකි.  අද අපි එයින් කොටසක් කියවමු.
                                                                           ---------
වත්ත මායිමේ තිබෙන ගල් ළිඳෙන් රුවිතන් වතුර නාමින් සිටියේය.  

මේ ගල් ළිඳ පිහිටා තිබෙන්නේ වල්ලඹ ගොඩටත් දොළේ ගෙදර ඉඩමටත් මායිම් වන තැනකය.  මට මතක ඇති කාලයේ සිටම මේ ගල් ළිඳේ වතුර නෑවේ වල්ලඹ ගොඩේ ගැහැනුන් හා පිරිමින්ය.  ඒ මිනිසුන්ගේ අදහසේ හැටියට ළිඳ වල්ලඹ ගොඩට අයත් වුවකි.  එහෙත් කාලාන්තරයක් තිස්සේ සම්ප්‍රදායක් වශයෙන් පැවත ආ මේ අයිතිවාසිකම් භින්න කර දමන ලද්දේ දොළේ ගෙදර බාලම්මාගේ බලපුළුවන්කාරකමේ පරාක්‍රමයෙනි.

දිනක් වත්තේ ඇවිද ගෙන බාලම්මා ගල් ළිඳ ළඟින් යද්දී වල්ලඹ ගොඩේ කෙල්ලෝ කීප දෙනෙක් එහි වතුර නාමින් සිටියහ.  කුමාරකන්දේ ජාඩි කඩයක ඇති ජල පීප්පයක් මෙන් එතැනින් පෙරළෙමින් සෙක්කුපළ පැත්තට ගිය බාලම්මා දුටු විට කෙල්ලන්ට සිනා පහළ වී තිබිණි.  බාලම්මා කොතෙකුත් ඇවිදින්නේ උන්දැ ඇඳ ඇති මඩකලපු කම්බාය දණිස්සෙන් උඩට උස්සාගෙනය.  හින්නි ගුරේගේ යක් බෙර කඳ වැනි තඩි කලවා දෙක කාට පෙනුණත් උන්දෑට කමක් නැත.  හැබැයි එය දකින කෙනෙකු යම් විදියකින් වැරදිලා වත් හිනා වුණොත් එදාට සිදුවන්නේ මහත් කන්දොස්කිරියාවකි.  උන්දෑ එදාට ඉර බහින තුරුම වල්ලඹ ගොඩේ ගෑනුන්ට බැණ වදින්නීය.

ඇරත් චණ්ඩියෙකු මෙන් රෙදි පොට උස්සා ගෙන බාලම්මා කොතෙක් ඇවිද්දත් අපට කමක් නැත.  ඊටත් වඩා අපූරුව නම් උන්දෑගේ ගමන් විලාසයයි.  තඩි කලවා දෙක එකට නො ගෑවෙන පරිදි වග බලා ගනිමින් උන්දෑ ගමන් කරන විට කෙනෙකුට පෙනෙන්නේ උන්දෑ ගාට ගාටා ගමන් කරන සැටියකි.  අනෙක් ගැහැනුන් මෙන් ක්‍රමානුකූල පාද තැබීමක් උන්දෑට පුරුදු නැත.  උන්දෑ එක පයක් පෙරට තබා අනෙක් පාදය ඔසවා ගන්නේ මහත් ආයාසයක් දරමිනි.  එසේ ඔසවා ගන්නා ලද පාදයක් අනෙක් පාදයට සමාන්තර වන පරිද්දෙන් තබා ගන්නට උන්දෑට බැරිය.  ඉලක්කය වැරදීම නිසා නිතරම ඒ පාදය තැබෙන්නේ අනෙක් පාදය තබන තැනට වඩා ඈත් වීමෙනි.  ඔයින් මෙයින් බාලම්මාගේ ගමන රිල්ලඹ මූදු වෙරළේ කකුළුවෙකුගේ ගමන වැනි යැයි මට සිතේ.

එදා බාලම්මා සෙක්කුපළට යෑම සඳහා ගල් ළිඳ පසු කළාය.  වතුර නෑමට පැමිණ සිටි කෙල්ලන් උන්ගේ රෙදි උනා දමා තිබුණේ ළිඳ අයිනේ වැටී තිබූ අඩි පාරේමය.  ඇතැමකු රෙදි වනා තිබුණේ පාර අයිනේ වූ කැප්පෙටියා පඳුරු මතය.

පාරේ තිබුණු රෙදි නොපෑගෙන පරිදි බාලම්මා අයිනට වී ළිඳ ළඟ අනෙක් ගලකට අඩිය තැබුවාය.  ඒ ගල පෙඳ සෙවෙල් සහිත එකකි.  පාදය ගල මත ලිස්සා යත්ම, මිනීමස් පර්වතයක් වැනි සිරුර මෙල්ල කර ගැනීමට උන්දෑට නුපුළුවන් විය.  පළමු කොට බිම ඇනුණේ රබානක් මෙන් පුළුල් වූ උන්දෑගේ සට්ටම් දෙකයි.

කෙල්ලන්ට හිකිහිකි ගා සිනා ගියේ බාලම්මාගේ කටින් පිටවූ කෙඳිරිය නිසා නොවේ.  උන්දෑගෙන් පිටවූ වාතයටය.  ඒ වාතය ද පිට වුණේ තරමක ශබ්දයක් නංවමිනි.

අමාරුවෙන් සිනාව මැඩ ගත් කෙල්ලෝ ඉදිරියට පැන බාලම්මා ඔසවා වැටී සිටි තැනින් කෙළින් කළහ.  උන්දෑ කෙළින් වෙද්දී තව වාතයක් පිට විය.  කෙල්ලන්ගේ හිකිහිකිය කැකිරි පලන සිනාවකට පෙරළුණේ එවිටයි.

" නොදකිං විතරක් දෙහි පැළ හැදෙන හැටි.......?" කියා බැණබැණ බාලම්මා සෙක්කුපළ දෙසට ගියාය.

දොළේ ගෙදර බාලම්මාගේ බලපුළුවන්කාරකම් වල්ලඹ ගොඩේ ගෑනුන් පිළිගන්නා එක ඇත්තකි.  එහෙත් බාලම්මාගෙන් ගිය වාතයේ හඬට යම්තම් වත් සිනා නොවී සිටින්නටත් උන්ට පුලුවන්ද?  සිනා වීමට වත් ගමේ ගොඩේ කෙල්ලන්ට අවසර තිබිය යුතුය.

සෙක්කුපළේ සිට පෙරළා එන ගමනුත් බාලම්මා වල්ලඹ ගොඩේ ගෑනුන්ට නොසෑහෙන තරම් එදා බැණ වැදුණාය.

" මීට පස්සෙ තොපට නොවෙයි ඔය මකර කටේ නාන්න දෙන්නෙ.....ඔය ළිඳ ළඟ තියෙන කෑල්ල මගේ බොලව්.....තොපි හිතාගෙන හිටියෙ වල්ලඹ ගොඩේ ඈයින්ට තෑගී ඔප්පු දීලයි කියලද?  හෙටම ළිඳ වට කරල කටු කම්බි ගහනවා.....එහෙනං.....?

බාලම්මා එදාම රුවිතන් ලවා ගල් ළිඳ වට කොට කටු කම්බි ගැස්සුවාය.  එහෙත් එදා රෑම කටු කම්බි කපා දමා තිබිණි.  ඒ වැඩේ කරන ලද්දේ රුවිතන් විසින් ම බව බාලම්මා දැන ගත්තේ ඊට මාසයකට පමණ පසුවයි.  එවකට ඇගේ කේන්තිය තුනී වී ගොස් තිබුණු නිසා ඈ ඔහුට බැණ වැදුණේ නැත.

රුවිතන් මේ කියන දවසේ වතුර නාමින් සිටියේ ඔය තරම් සමාජ ඉතිහාසයක් සහිත ගල් ළිඳ ළඟයි.  රුවිතන් අලුත් පන්නයට කොණ්ඩය කැපු මිනිහෙක් නොවේ.  ගැහැනියක මෙන් ඔහු කොණ්ඩය බඳී.  ඔහු එය ලිහා පිට දිගට දමා ගන්නේ වතුර නාන විට පමණකි.

බාලම්මා දුටු හැටියේ ම රුවිතන් කලබල සහිත විය.

" හාමිනේ, මේ පාන්දරින්ම....?"

" සෙක්කුපළට යනව නේ බොල....කිරිබයියට මම ඊයෙ හවස කිව්ව අද එළි වෙන කොටම සෙක්කුව බඳින්නයි කියා....අද තියෙනව පොල් වඩි තිහක් විතර හිඳ ගන්න....ඕකා සෙක්කුපළට තාමත් ආවද....තලා කකුළුවො අල්ලන්න රිල්ලඹ ගිහිල්ලද දන්නෙත් නෑ.....?

" කොච්චිවත්තෙ බන්දුපාලත් එක්ක උදෑහැන මේ පැත්තෙ යනව බලාගෙනයි....ගියේ නං සෙක්කුපළට තමයි......"

" ඒ වුණාට ගිහිං බලන්න ඕනෑ....."

බාලම්මා අඩි කීපයක් පෙරළිපෙරළී ඉදිරියට ගියාය.  යමක් හදිසියේ අමතක වී නැවත එය මතක් වූ කලක මෙන් ඊළඟට නැවතුණාය.

" රුවිතාන්...."

" ඇයි හාමිනේ...."

" උඹ අද ඔක්කොම හරකුන්ගෙ කිරි ගත්තද....?

" ඔව්...."

" රතු එළදෙනගෙත්....."

" රතු එළදෙන කිරි වරල....ඇයි මම පෙරේද හාමිනේට කිව්වෙ....?"

" කොහොමද බොල රතු එළදෙන කිරි වරන්නෙ....? දැනුත් මම එද්දි පැටිය කිරි බිබී හිටියෙ....පැටියට බොන්න කිරි තියෙනවා නම් දොවාගන්න මොකද කිරි නැති වෙන්නෙ.....උඹට ඕනෑ රෑ පාන්දරින්ම ඉස්නානෙ කොරන්න විතරයි.....තොට බොල මී හරක් ගිනියමද..... මේ උඳුවප් මහ දුරුත්තෙ නාන්නෙ.....? මට හිතෙනව මන්නෙයක් අරගෙන තොගේ ඉස්තිරි ආබරණෙ කපල දමන්න....."

බාලම්මා "ඉස්තිරි ආබරණෙ" යැයි කියන්නේ රුවිතන් ගේ කොණ්ඩයටයි.  කේන්ති ගිය විට තුන්හතර වරක් ම මේ "ඉස්තිරි ආබරණය" මතක් කොට රුවිතන්ට බැණ වැදීම උන්දෑගේ සිරිතකි.

බාලම්මා මොර දි දී ම සෙක්කුපළ දිහාවට ගියාය.  හඬ හීන වෙත්ම උන්දෑ වල්ලඹ ගොඩේ රෙදි සෝදන තොටුපළ පසු කොට ඇති බව රුවිතන් දනී.

" ඇයි ඔය ජෝඩුවම වළ පල්ලෙ යනකොට සෙක්කුව, කුරුඳු වාඩිය, හරක් පට්ටි ඔක්කෝම මිනී පෙට්ටියෙ දමාගන්නව නේ ......"  රුවිතන් කට යටින් කොඳුරමින් ද, ගොරවමින් ද, සරම හැඳ ගත්තේය.  ඔහු එදා වතුර නෑවේ වෙනදා නාන තරමින් අඩකි.

සෙක්කුපොළේ සිට එන ගමන් බාලම්මා කුරුඳු වාඩිය ද පසු කළාය.

වතුර නාපු නිසා තෙත් වී ගිය කොණ්ඩය ලිහා පිට දිගේ දමා ගෙන රුවිතන් සිටියේ අව්ව තපිමිනි.  බාලම්මා දුටු හැටියේම ඔහු තිගැස්සී නැගිට්ටේය.

" ඇයි යකෝ රතු එළදෙන දෙවිය ද? හරකුන්ට පුන්නක්කු දුන්නද...."

" ඔක්කොම කොළා........කඩවලට කිරිත් බෙදල ඇවිල්ලයි මම වතුර නාගත්තෙ........"

" කෝ මුදලාලි......?"

" වැවදෙණිය පැත්තට යනව බලා ගෙනයි...."

" කත්තිරිනට කියල වත්තෙ පොල් අතු ඇහිඳවලද ගියේ......?"

" වෙන්න ඇති...."

" මේ බලාපං මිනිහෝ, මේ වාඩිය වටේට තියෙන ගොටුකොළ සම්බාරේ......මඟුල් ගෙදරවල් පහකට ඇති....තොට බොල හෙණ ගහලද මෙයින් ටිකක් ගලවල ගොහිල්ල අර කත්තිරිනට දෙන්න බැරි.....? මට හිතෙනව උඹේ ඉස්තිරි ආබෙරණෙට හොඳ වැඩක් කරන්න......."

දාස් කංකානම ඇතුළු පිරිස කුරුඳු හන්දි කරන දිහා ටික වේලාවක් බලා සිටි බාලම්මා ගෙදර පැත්තට හැරුණාය෴

 ( දොළේ ගෙදර, වැවදෙණියේ ඇල්. ඩී මැන්දිස්. 2007 . බෙදා හැරීම: සූරිය ප්‍රකාශකයෝ.)

12 comments:

  1. නාසා ආයතනය යනු ඇමරිකාවේ අභ්‍යාවකාශ ඒජන්සිය මිසක් ලෝකයට පොදු අභ්‍යාවකාශ ඒජන්සියක් නොවේ. එම නිසා ඇමරිකානු ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නාසා ආයතනය වග කියන්නේ ඇමරිකන් ජනතාවට සහ එම ආණ්ඩුවට පමණයි.

    ඒ අනුව ඔවුන් සිය මෙහෙයුම් දියත් කරන්නේ ස්වකිය ජනතාවගේ බදු මුදලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගත හැකි දෙයකට මිසක් ලෝකයේ අනෙකුත් රට වලට සහ එම රටවල ජනතාවට ඕනා එපා හැටියට නොවේ. නාසා ආයතනය නැවත හඳ මතට මිනිසුන් නොයවන්නේ එම කාරණය නිසයි. මන්ද සඳ මතට මිනිසුන් සහිත යානා කිහිපවරක්ම යවා ඇති නිසා, නැවත වරක් ඇමරිකන් ජනතාවගේ බදු මුදල් විශාල ලෙස වැය කරමින් හද ගමනක් සංවිධානය කරනවට වඩා, තරණය කර නොමැති ක්ෂේත්‍ර ඔස්සේ මෙහෙයුම් දියත් කිරීම ඔවුන්ට වැදගත් වනවා.

    කෙසේවෙතත් නාසා ආයතනය ආරම්භයේ සිටම ඔවුන් අභ්‍යාවකාශ මෙහෙයුම් වලදී ගන්නා ජයාරූප, වීඩියෝ ආදිය කිසිදු බුද්ධිමය හිමිකාරීත්වයක් නොමැතිවම බෙදා හරිනවා. ඒ අනුව ලෝකයේ ඕනෑම රටක සිටිනා අයෙක්ට එම ජයාරූප, වීඩියෝ තමන්ට ඕනා ආකාරයකට භාවිතා කල හැකියි. නාසා ආයතනය මෙසේ ඔවුන්ගේ ජයාරූප, වීඩියෝ නොමිලේ ලබා දුන්නත් ජපානය, රුසියාව වගේ රට වල අභ්‍යාවකාශ ඒජන්සි ඔවුන් ගන්නා ජයාරූප, වීඩියෝ නොමිලේ ලබා දෙන්නේ නැහැ.

    ReplyDelete
  2. තවත් කෙනෙක්ගේ ශරීර ලක්ෂණ ගැන අපහාස කරමින් ලියා ඇති මේ කතාවේ ඇති රසවත් බව, සිත් ගන්නා බව මොකක්ද හැලපෙ? මිනිසුන්ගේ ශරීරයේ ප්‍රමාණය, වර්ණය වගේ දේවල් ගැන විහිළු කරමින් ඇති කතාවක් හැලපෙ වැනි අයෙක් නැවත ලියා පළකිරීම ගැන කණගාටු වෙමි.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ඉතිං. අපිටත් හම්බවෙන කතා එපැයි ලියන්න.

      Delete
  3. පොත හොයාගෙන කියවන්න හිතෙන කතන්දරයක්. “දෙහි පැළ හැදෙන හැටි” සහ “ඉස්තිරි ආබරණෙ” යන වදන් කතාවට අපූරු රසයක් එකතු කරනව. බාලම්මාගේ ශරීර ලක්ෂණ ගැන උලුප්පා දක්වා ඇත්තේ කතාව තුල ඇයගේ භූමිකාව ගොඩනඟන්නට නිසා එය අපහාසයක් වනුයේ කෙසේදැයි සිතුවෙමි.

    ReplyDelete
    Replies
    1. දියුණු සමාජයක අන් අයගේ ශරීර ස්භාවය ගැන සිනහ වෙමින් සිදුකරන ප්‍රකාශ අනුමත කරන්නේ කෙසේද?

      What Would You Do යන වැඩසටහනේ කතා මලාවන් දෙකක් පහතින් බලා, දියුණු සාමාජයක මිනිසුන් හැසිරෙන ආකාරය වටහා ගන්න.

      පළමු වැඩසටහන

      දෙවන වැඩසටහන


      Delete
    2. ඔව් ඔවැනි වචන මම කතාවක දැක්කමයි.

      Delete
  4. කන්නංගර සමුහ ව්‍යාපාරය වෙතින් නව වසරට උණුසුම් සුභ පැතුම්...

    කන්නංගර ආතා, කන්නංගර මුදලාලි.

    කන්නංගර සමුහ ව්‍යාපාරය

    කන්නංගර හාඩ්වෙයාර්
    කන්නංගර ස්ටෝර්ස්
    කන්නංගර තොග වෙළදසැල
    කන්නංගර හෝටලය
    කන්නංගර ඉන්ධන පිරවුම්හල
    කන්නංගර ට්‍රාන්ස්පෝර්ට් සර්විස්
    කන්නංගර උත්සව ශාලාව
    කන්නංගර එළවලු පලතුරු කොමිස් පිට මිලට ගන්නෝ සහ විකුණන්නෝ
    කන්නංගර බේකරිය
    කන්නංගර වයින් ස්ටෝර්ස්
    කන්නංගර රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර්
    කන්නංගර උකස්‌ බඩු ගන්නා ස්ථානය

    කන්නංගර මුදලාලි ලොව පිළිගත් නාවුක ඉංජිනේරුවරයා.

    ReplyDelete
  5. තලා කකුලුවො?

    ReplyDelete
    Replies
    1. ඔව්, කකුළුවො වර්ගයක් වෙන්න ඇති.

      Delete
  6. හොඳ ගැමි කතාවක් !

    ReplyDelete
  7. සැන්ඩි නැතිව අරක්කු බී, හොදට බොරේ හිටින්නට හදාපු හරක් මස් කරියක් සමග කිරිබත් කා අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කරමු !!!

    ReplyDelete