Friday, December 28, 2018

දොළේ ගෙදර.

ඇල්. ඩී. මැන්දිස් නම්වූ සාහිත්‍යකරුවා හේතුවෙන් දකුණේ රජ්ගම පුරවරයට ආසන්න වැවදෙනිය නම්වූ කුඩා බිම් කඩ රටේම ප්‍රකට විය.  එහෙයින්ම ඔහු හැඳින්වුණේ වැවදෙණියේ ඇල්. ඩී මැන්දිස් යනුවෙනි.  ඔහු විසින් රචිත නවකතා රැසක් අතුරින් " දොළේ ගෙදර" තවත් එක සිත්ගන්නා නවකතාවකි.  අද අපි එයින් කොටසක් කියවමු.
                                                                           ---------
වත්ත මායිමේ තිබෙන ගල් ළිඳෙන් රුවිතන් වතුර නාමින් සිටියේය.  

මේ ගල් ළිඳ පිහිටා තිබෙන්නේ වල්ලඹ ගොඩටත් දොළේ ගෙදර ඉඩමටත් මායිම් වන තැනකය.  මට මතක ඇති කාලයේ සිටම මේ ගල් ළිඳේ වතුර නෑවේ වල්ලඹ ගොඩේ ගැහැනුන් හා පිරිමින්ය.  ඒ මිනිසුන්ගේ අදහසේ හැටියට ළිඳ වල්ලඹ ගොඩට අයත් වුවකි.  එහෙත් කාලාන්තරයක් තිස්සේ සම්ප්‍රදායක් වශයෙන් පැවත ආ මේ අයිතිවාසිකම් භින්න කර දමන ලද්දේ දොළේ ගෙදර බාලම්මාගේ බලපුළුවන්කාරකමේ පරාක්‍රමයෙනි.

දිනක් වත්තේ ඇවිද ගෙන බාලම්මා ගල් ළිඳ ළඟින් යද්දී වල්ලඹ ගොඩේ කෙල්ලෝ කීප දෙනෙක් එහි වතුර නාමින් සිටියහ.  කුමාරකන්දේ ජාඩි කඩයක ඇති ජල පීප්පයක් මෙන් එතැනින් පෙරළෙමින් සෙක්කුපළ පැත්තට ගිය බාලම්මා දුටු විට කෙල්ලන්ට සිනා පහළ වී තිබිණි.  බාලම්මා කොතෙකුත් ඇවිදින්නේ උන්දැ ඇඳ ඇති මඩකලපු කම්බාය දණිස්සෙන් උඩට උස්සාගෙනය.  හින්නි ගුරේගේ යක් බෙර කඳ වැනි තඩි කලවා දෙක කාට පෙනුණත් උන්දෑට කමක් නැත.  හැබැයි එය දකින කෙනෙකු යම් විදියකින් වැරදිලා වත් හිනා වුණොත් එදාට සිදුවන්නේ මහත් කන්දොස්කිරියාවකි.  උන්දෑ එදාට ඉර බහින තුරුම වල්ලඹ ගොඩේ ගෑනුන්ට බැණ වදින්නීය.

ඇරත් චණ්ඩියෙකු මෙන් රෙදි පොට උස්සා ගෙන බාලම්මා කොතෙක් ඇවිද්දත් අපට කමක් නැත.  ඊටත් වඩා අපූරුව නම් උන්දෑගේ ගමන් විලාසයයි.  තඩි කලවා දෙක එකට නො ගෑවෙන පරිදි වග බලා ගනිමින් උන්දෑ ගමන් කරන විට කෙනෙකුට පෙනෙන්නේ උන්දෑ ගාට ගාටා ගමන් කරන සැටියකි.  අනෙක් ගැහැනුන් මෙන් ක්‍රමානුකූල පාද තැබීමක් උන්දෑට පුරුදු නැත.  උන්දෑ එක පයක් පෙරට තබා අනෙක් පාදය ඔසවා ගන්නේ මහත් ආයාසයක් දරමිනි.  එසේ ඔසවා ගන්නා ලද පාදයක් අනෙක් පාදයට සමාන්තර වන පරිද්දෙන් තබා ගන්නට උන්දෑට බැරිය.  ඉලක්කය වැරදීම නිසා නිතරම ඒ පාදය තැබෙන්නේ අනෙක් පාදය තබන තැනට වඩා ඈත් වීමෙනි.  ඔයින් මෙයින් බාලම්මාගේ ගමන රිල්ලඹ මූදු වෙරළේ කකුළුවෙකුගේ ගමන වැනි යැයි මට සිතේ.

එදා බාලම්මා සෙක්කුපළට යෑම සඳහා ගල් ළිඳ පසු කළාය.  වතුර නෑමට පැමිණ සිටි කෙල්ලන් උන්ගේ රෙදි උනා දමා තිබුණේ ළිඳ අයිනේ වැටී තිබූ අඩි පාරේමය.  ඇතැමකු රෙදි වනා තිබුණේ පාර අයිනේ වූ කැප්පෙටියා පඳුරු මතය.

පාරේ තිබුණු රෙදි නොපෑගෙන පරිදි බාලම්මා අයිනට වී ළිඳ ළඟ අනෙක් ගලකට අඩිය තැබුවාය.  ඒ ගල පෙඳ සෙවෙල් සහිත එකකි.  පාදය ගල මත ලිස්සා යත්ම, මිනීමස් පර්වතයක් වැනි සිරුර මෙල්ල කර ගැනීමට උන්දෑට නුපුළුවන් විය.  පළමු කොට බිම ඇනුණේ රබානක් මෙන් පුළුල් වූ උන්දෑගේ සට්ටම් දෙකයි.

කෙල්ලන්ට හිකිහිකි ගා සිනා ගියේ බාලම්මාගේ කටින් පිටවූ කෙඳිරිය නිසා නොවේ.  උන්දෑගෙන් පිටවූ වාතයටය.  ඒ වාතය ද පිට වුණේ තරමක ශබ්දයක් නංවමිනි.

අමාරුවෙන් සිනාව මැඩ ගත් කෙල්ලෝ ඉදිරියට පැන බාලම්මා ඔසවා වැටී සිටි තැනින් කෙළින් කළහ.  උන්දෑ කෙළින් වෙද්දී තව වාතයක් පිට විය.  කෙල්ලන්ගේ හිකිහිකිය කැකිරි පලන සිනාවකට පෙරළුණේ එවිටයි.

" නොදකිං විතරක් දෙහි පැළ හැදෙන හැටි.......?" කියා බැණබැණ බාලම්මා සෙක්කුපළ දෙසට ගියාය.

දොළේ ගෙදර බාලම්මාගේ බලපුළුවන්කාරකම් වල්ලඹ ගොඩේ ගෑනුන් පිළිගන්නා එක ඇත්තකි.  එහෙත් බාලම්මාගෙන් ගිය වාතයේ හඬට යම්තම් වත් සිනා නොවී සිටින්නටත් උන්ට පුලුවන්ද?  සිනා වීමට වත් ගමේ ගොඩේ කෙල්ලන්ට අවසර තිබිය යුතුය.

සෙක්කුපළේ සිට පෙරළා එන ගමනුත් බාලම්මා වල්ලඹ ගොඩේ ගෑනුන්ට නොසෑහෙන තරම් එදා බැණ වැදුණාය.

" මීට පස්සෙ තොපට නොවෙයි ඔය මකර කටේ නාන්න දෙන්නෙ.....ඔය ළිඳ ළඟ තියෙන කෑල්ල මගේ බොලව්.....තොපි හිතාගෙන හිටියෙ වල්ලඹ ගොඩේ ඈයින්ට තෑගී ඔප්පු දීලයි කියලද?  හෙටම ළිඳ වට කරල කටු කම්බි ගහනවා.....එහෙනං.....?

බාලම්මා එදාම රුවිතන් ලවා ගල් ළිඳ වට කොට කටු කම්බි ගැස්සුවාය.  එහෙත් එදා රෑම කටු කම්බි කපා දමා තිබිණි.  ඒ වැඩේ කරන ලද්දේ රුවිතන් විසින් ම බව බාලම්මා දැන ගත්තේ ඊට මාසයකට පමණ පසුවයි.  එවකට ඇගේ කේන්තිය තුනී වී ගොස් තිබුණු නිසා ඈ ඔහුට බැණ වැදුණේ නැත.

රුවිතන් මේ කියන දවසේ වතුර නාමින් සිටියේ ඔය තරම් සමාජ ඉතිහාසයක් සහිත ගල් ළිඳ ළඟයි.  රුවිතන් අලුත් පන්නයට කොණ්ඩය කැපු මිනිහෙක් නොවේ.  ගැහැනියක මෙන් ඔහු කොණ්ඩය බඳී.  ඔහු එය ලිහා පිට දිගට දමා ගන්නේ වතුර නාන විට පමණකි.

බාලම්මා දුටු හැටියේ ම රුවිතන් කලබල සහිත විය.

" හාමිනේ, මේ පාන්දරින්ම....?"

" සෙක්කුපළට යනව නේ බොල....කිරිබයියට මම ඊයෙ හවස කිව්ව අද එළි වෙන කොටම සෙක්කුව බඳින්නයි කියා....අද තියෙනව පොල් වඩි තිහක් විතර හිඳ ගන්න....ඕකා සෙක්කුපළට තාමත් ආවද....තලා කකුළුවො අල්ලන්න රිල්ලඹ ගිහිල්ලද දන්නෙත් නෑ.....?

" කොච්චිවත්තෙ බන්දුපාලත් එක්ක උදෑහැන මේ පැත්තෙ යනව බලාගෙනයි....ගියේ නං සෙක්කුපළට තමයි......"

" ඒ වුණාට ගිහිං බලන්න ඕනෑ....."

බාලම්මා අඩි කීපයක් පෙරළිපෙරළී ඉදිරියට ගියාය.  යමක් හදිසියේ අමතක වී නැවත එය මතක් වූ කලක මෙන් ඊළඟට නැවතුණාය.

" රුවිතාන්...."

" ඇයි හාමිනේ...."

" උඹ අද ඔක්කොම හරකුන්ගෙ කිරි ගත්තද....?

" ඔව්...."

" රතු එළදෙනගෙත්....."

" රතු එළදෙන කිරි වරල....ඇයි මම පෙරේද හාමිනේට කිව්වෙ....?"

" කොහොමද බොල රතු එළදෙන කිරි වරන්නෙ....? දැනුත් මම එද්දි පැටිය කිරි බිබී හිටියෙ....පැටියට බොන්න කිරි තියෙනවා නම් දොවාගන්න මොකද කිරි නැති වෙන්නෙ.....උඹට ඕනෑ රෑ පාන්දරින්ම ඉස්නානෙ කොරන්න විතරයි.....තොට බොල මී හරක් ගිනියමද..... මේ උඳුවප් මහ දුරුත්තෙ නාන්නෙ.....? මට හිතෙනව මන්නෙයක් අරගෙන තොගේ ඉස්තිරි ආබරණෙ කපල දමන්න....."

බාලම්මා "ඉස්තිරි ආබරණෙ" යැයි කියන්නේ රුවිතන් ගේ කොණ්ඩයටයි.  කේන්ති ගිය විට තුන්හතර වරක් ම මේ "ඉස්තිරි ආබරණය" මතක් කොට රුවිතන්ට බැණ වැදීම උන්දෑගේ සිරිතකි.

බාලම්මා මොර දි දී ම සෙක්කුපළ දිහාවට ගියාය.  හඬ හීන වෙත්ම උන්දෑ වල්ලඹ ගොඩේ රෙදි සෝදන තොටුපළ පසු කොට ඇති බව රුවිතන් දනී.

" ඇයි ඔය ජෝඩුවම වළ පල්ලෙ යනකොට සෙක්කුව, කුරුඳු වාඩිය, හරක් පට්ටි ඔක්කෝම මිනී පෙට්ටියෙ දමාගන්නව නේ ......"  රුවිතන් කට යටින් කොඳුරමින් ද, ගොරවමින් ද, සරම හැඳ ගත්තේය.  ඔහු එදා වතුර නෑවේ වෙනදා නාන තරමින් අඩකි.

සෙක්කුපොළේ සිට එන ගමන් බාලම්මා කුරුඳු වාඩිය ද පසු කළාය.

වතුර නාපු නිසා තෙත් වී ගිය කොණ්ඩය ලිහා පිට දිගේ දමා ගෙන රුවිතන් සිටියේ අව්ව තපිමිනි.  බාලම්මා දුටු හැටියේම ඔහු තිගැස්සී නැගිට්ටේය.

" ඇයි යකෝ රතු එළදෙන දෙවිය ද? හරකුන්ට පුන්නක්කු දුන්නද...."

" ඔක්කොම කොළා........කඩවලට කිරිත් බෙදල ඇවිල්ලයි මම වතුර නාගත්තෙ........"

" කෝ මුදලාලි......?"

" වැවදෙණිය පැත්තට යනව බලා ගෙනයි...."

" කත්තිරිනට කියල වත්තෙ පොල් අතු ඇහිඳවලද ගියේ......?"

" වෙන්න ඇති...."

" මේ බලාපං මිනිහෝ, මේ වාඩිය වටේට තියෙන ගොටුකොළ සම්බාරේ......මඟුල් ගෙදරවල් පහකට ඇති....තොට බොල හෙණ ගහලද මෙයින් ටිකක් ගලවල ගොහිල්ල අර කත්තිරිනට දෙන්න බැරි.....? මට හිතෙනව උඹේ ඉස්තිරි ආබෙරණෙට හොඳ වැඩක් කරන්න......."

දාස් කංකානම ඇතුළු පිරිස කුරුඳු හන්දි කරන දිහා ටික වේලාවක් බලා සිටි බාලම්මා ගෙදර පැත්තට හැරුණාය෴

 ( දොළේ ගෙදර, වැවදෙණියේ ඇල්. ඩී මැන්දිස්. 2007 . බෙදා හැරීම: සූරිය ප්‍රකාශකයෝ.)