Sunday, August 4, 2019

විනිසුරුතුමනි.

අද ගෙනඑන්නේ ශ්‍රී ලංකාවේ ගද්‍ය සාහිත්‍යය පොත් ගණනාවකින් පොහොසත් කරන්නට සමත්වූ පෙරදිනෙක සදහටම අප අතහැර ගිය අධිනීතීඥ පී.ඇම් ජයතිලක මහතා ලියු විනිසුරුතුමනි නම් පොතෙන් කොටසකි.  මේ පොතට අමතරව මල් මාවත, බමරසර, හන්තානේ ගීතයක් වැනි රසාලිප්ත කෘතීන් කීපයක්ම ඔහු අතින් ලියැවී ඇත.

එහෙත් යුක්තිය සෑම විටම අධිකරණයකින් ඉටුවේද?

නුදුරු අතීතයේ සිද්ධියක් මගේ සිහියට නැගේ.  කුරුණෑගල නගරයට සැතපුම් තිහක් පමණ දුරින් පිහිටි මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා මා විශේෂයෙන් එහි කැඳවාගෙන යන ලදී.

එකල එම අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ගැන නොයෙකුත් කටකතා පැතිරී තිබිණ.  ඔහු සවස සුදු සරමකින් සැරසී සූදු තිප්පොළවල් සොයමින් යන්නේය!  තමාගේ රිය පසුකරගෙන වෙනත් රියකට යාමට ඉඩ නොදේ!  වේගයෙන් රිය පදවන්නවුන් එවේලේම පොලිස් ස්ථානය කරා ගෙන යාමට කටයුතු කරයි!  සෑම විටම රිවෝල්වරයක් තබාගෙන සිටී.

ඔහු ඉදිරියේ චූදිතයෝ බියෙන් තැතිගෙන සැලෙති!  නඩුවල පාර්ශවකරුවන් පමණක් නොව නීතීඥවරුද වැඩි කතා නොකරති!  ඔහු සිතූ මනාපයේ දඩ ගසයි!  ඔහුගෙන් සමාවක් ලබාගැනීම බෙහෙවින් අසීරුය!

මා රැගෙන යාමට එක් චුදිතයෙක් කාරයක් ගෙන ආවේය.  ඔහු ඇතුලු තවත් සිව් දෙනෙකුට තිබූ චෝදනාව වූයේ සුරාබදු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට තම රාජකාරිය ඉෂ්ට කිරීමට ඉඩ නොදීමය.

චුදිතයන් කී අන්දමට සුරාබදු පරීක්ෂකවරු බීමත්ව පැමිණ තරුණියකට හිරිහැර කිරීමට උත්සාහ ගත් අවස්ථාවේදී ඇගේ විලාප හඬට පැමිණි කීප දෙනෙකු සමග අරගලයක් ඇතිවී තිබේ.  චුදිතයන් ඒ ගැන පැමිණිල්ලක් කිරීමට පොලිස් ස්ථානය කරා ගියත්, ඔවුනට පෙර සුරාබදු පරීක්ෂකවරු පොලිස් ස්ථානයට ගොස් ඉඳුරාම වෙනස් සිද්ධියක් මවා පෙන්වා පැමිණිල්ලක් කළෝය.

එකී මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් වාඩිවී සිටි මම එතෙක් මා අසා තිබු කටකතා බොහොමයක් සත්‍ය බව පෙනිණ.

සෑම නීතීඥයෙක්ම පාහේ සැමවිටම කීයේ වචන දෙක තුනකි.

" වැරදිකාරයා ස්වාමීනි"

ඉන්පසු මහේස්ත්‍රාත්වරයා දඩය කියයි.

" පන්සීයයි"

" හත්සිය පණහයි...! අවුරුදු පහයි...බරපතල වැඩ ඇතුව..."

නීතීඥවරු නැගිටින පමාවෙන් වාඩිවෙති.  අධිකරණයේ කිසිවෙක්, ඇත්ත වශයෙන්ම, නඩුකාරයාත් භාෂා පරිවර්තක සහ වචන දෙක තුනක් බයාදුව තෙපලන නීතීඥවරුනුත් හැරෙන්නට, කතා කරනවා තබා ඇසිපිය හෙලුවේවත් නැතැයි මට සිතේ.  මඳ වේලාවකින්ම මට එම අධිකරණය කෙරෙහි මහත් කළකිරීමක් ඇතිවිය.

විනිසුරු අසුනෙහි මේ වැඩ සිටින්නේ කලක් අප මෙන්ම නීතීඥවරයෙකු ලෙස වැඩකළ පුද්ගලයෙක් නොවේද?  ඔහු ප්‍රථමයෙන්ම 'මහත්මයෙකු' ලෙස හැසිරිය යුතු නොවේද?  අනෙකුත් හැම දෙනම නිවටයන් ලෙස තබාගෙන, තමාගේ අණසක, සැරවැර, බලය, තේජස පෙන්වන්නට වෑයම් ගැනීම එවැන්නෙකුට කෙතරම් පහත්, කොතරම් නිහීන, කෙතරම් නිර්ලජ්ජිත ක්‍රියාවක්ද?

අධිකරණයේ ගෞරවය රැක ගැනීම එකකි.  ඔලුව ඉදිමුණු අඥානයෙකු මෙන් සැර වැර පෑම හාත්පසින්ම වෙනස් ක්‍රියාවකි.

මගේ නඩුවද අඬ ගැසින.

" වැරදි කාරයද...නිවැරදි කාරයද? "

" නිවැරදිකාරයා "

" යූ වෝන්ට් ටු ගෝ ටු ට්‍රයල් ( ඔබට නඩුව සම්පුර්ණයෙන් විභාග කිරීම අවශ්‍යද) ? "

ඒ විනිසුරු අසුනේ සිටි පුද්ගලයාගේ හඬය.  ඔහු හැඩිදැඩිය.  උපැස් යුවලක් පැළඳ ඇත.  නඩුව විභාග වෙනු දැකීමට මා කැමති බව මම කීවෙමි.  නොසැළකිල්ලෙන් නොව හැකි තාක් ගරුසරු ඇතිවය.

නඩු විභාගය ආරම්භවී මිනිත්තු තුන හතරක් යන විට අවසානය මට පැහැදිලි විය.

නඩුව මෙහෙයවුයේ පොලිසිය නොව මහේස්ත්‍රාත්වරයාය.  පොලිස් නිලධාරියාට මෙහෙයවීමට අමතක වූ තැන් මහේස්ත්‍රාත්වරයා ඇසීය.

හරස් ප්‍රශ්න වාරයේදී ඔහු මට ඉඩක් දුන්නේම නැත.  සාක්ෂිකරු දිය යුතු පිළිතුරු ඔහු දුන්නේය.

විත්තිය වෙනුවෙන් සාක්ෂි කැඳවීමට මා අදහස් කරන බව මම ගෞරව පූර්වකව දැනුම් දුන්නෙමි.

" වෙයා...වෙයාරාද විට්නසස්...( කෝ...කෝ සාක්ෂිකාරයො )? "  මහේස්ත්‍රාත්වරයා ගුගුලේය.

ඔහු ගෙරවුයේ මා හා වෛරයකින් මෙනි.

සාක්ෂිකාරියක හැර අන් සියලු දෙනාම අධිකරණ ශාලාවෙන් පිට සිට ආහ.  එක් තරුණියක් ආයේ අධිකරණ ශාලාව තුළ සිටය.

" මෙයා හිටියෙ ඇතුළෙද ?"

මහේස්ත්‍රාත්වරයාගේ ගෙරවීමට බියවූ තරුණිය මහත් භීතියකින් යුතුව ඒ බව පිළිගත්තාය.

" එහෙනන් කොහොමද සාක්කි දෙන්නෙ...? "  මහේස්ත්‍රාත්වරයා රකුසු වෙස් ගෙන මගේ ඇඟට කඩා පැන්නේය.

" එයා ඇතුලෙ හිටිය කියල නඩුපොතේ සටහන් කරලා..." මම ඉල්ලීමක් කිරීම ආරම්භ කළෙමි.

කුමන ඉල්ලීම්ද ? විනිසුරු අසුන දෙදරන්නාක් මෙන් හඬක් නැගිණ.

" යූ ආ ට්‍රයින් ටු ටීච් මී වට් ටු ඩු...( තමුසෙ හදන්නෙ මොනවද කරන්න ඕනෑ කියල මට උගන්නන්නද )...? නෑ...විත්තියෙ සාක්කි නෑ...ඔව්... දේශනයක් කරනවද? "

මා දන්නා හැම යටහත් වචනයක්ම යොදා ඉතා බැගෑපත්ව දේශනයට දිනයක් ඉල්ලීමි.  පිටි අල්ලෙන් මදුරුවෙකු එලවන්නාක් සේ ඔහු මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මගේ සේවාදායකයෝ වැරදිකරුවන් කරනු ලැබ දඬුවම් නියම කරන තෙක් රක්ෂිත බන්ධනාගාරයට නියම කරනු ලැබුහ.

මම චුදිතයන්ට ඇප ඉල්ලා සිටියෙමි.

ඇප දිය නොහැකි බව මහේස්ත්‍රාත්වරයා තරයේම කියා සිටියේය.  චුදිතයෝ බන්ධනාගාර නිලධාරීන්ට භාර කරනු ලැබුහ.

මම ශෝකයෙන් සහ කලකිරීමෙන් යුතුව අසුනෙහි ඇද වැටුනෙමි.  මගේ අදක්ෂතාවක් නිසා ඔවුන් වැරදිකරුවන් වී නම් මම දුක් නොවෙමි.  සාධාරණ විභාගයකින් පසුව ඔවුන් වැරදිකරුවන් වී නම් මම සතුටුවෙමි.  අඩුම වශයෙන් ඔවුනට ඇප දුන්නේ නම් ! එහෙත් කුමන නීතියක්ද? කුමන යුක්තියක්ද?

අධිකරණයේ වැඩ කටයුතු සියල්ල අවසාන වනතෙක් මම එලෙසම වාඩිගෙන සිටියෙමි.  මම කෙසේනම් මගේ චුදිතයන් තනිකොට යන්නෙම්ද?

අධිකරණයේ වැඩ කටයුතු අවසාන වූ බව මට දැනුණේ සිහිනෙන් මෙනි.  නීතීඥවරු එකිනෙකා අධිකරණයෙන් පිටවී ගියහ.

එහෙත් එකම නීතීඥවරයෙක් පමණක් අධිකරණයෙහි ඉතිරිවී සිටියේය.  ඔහු සේවාදායකයන් කිහිප දෙනෙකු සමග කතාබස් කරනු මට පෙනිණ.

මේ අවස්ථාවේදී කාර්යාලයේ ලිපිකරුවෙක් මා කරා පැමිණියේය.

" ඇප ගන්නද ඕනෑ ? "

" දෙන්න බෑ කීවනේ..." මම ලිපිකරුවාට කීවෙමි.

ලිපිකරුවා වඩාත් මට සමීප විය.  ඔහු මට කතා කළේ රහසක් කියන්නාක් මෙනි.

" අර මහත්තයට කියන්න. ටක් ගාල ඇප අරන් දෙයි..."

ලිපිකරුවා මට පෙන්වුයේ එතෙක් අධිකරණ ශාලාවේ ඉතිරිව සිටි නීතීඥවරයාය.

මම එම නීතීඥවරයා දැන සිටියෙමි.  ලිපිකරුවා කී දෙයෙහි සත්‍යතාවක් තිබේදැයි දැනගනු වස් මම ඔහු කරා ගියෙමි.

" සෝමෙ ! බැරිද මගෙ මිනිස්සුන්ට ඇප ගන්න..."

" ආස්ක් ද බගර්ස් ටු ගිව් මී හන්ඩ්‍රඩ් බක්ස්  ( උන්ට කියන්න මට රුපියල් සීයක් දෙන්න කියලා ) "

ඔහු එය කී සැහැල්ලු විලාසය මා විශ්මයට පත් කළේය.

සාමාන්‍යයෙන් අධිකරණයේ වැඩ කටයුතු අවසාන වුවාට පසුව ඇප ලබා ගත නොහැකිය.  අවශ්‍ය නම් ඒ සඳහා විවෘත අධිකරණයෙහි මෝසමක් ඉදිරිපත් කොට ඇප අයැදීම කළ යුතුය.  මෝසමක් ඉදිරිපත් කළ යුතු වන්නේද අධිකරණයක වැඩ කටයුතු ආරම්භකිරීම ආරම්භයේදීම හෝ ඊට පෙරය.  අධිකරණයෙහි වැඩ කටයුතු අවසාන වුවාට පසු එය කෙසේවත් කළ හැකි නොවේ.

මේ වනවිට වෙලාව හතර හමාරට පහට පමණ ඇත.  මහේස්ත්‍රාත්වරයා තවම නිල කාමරයේය.

මගේ සේවාදායකයා වෙනුවෙන් රුපියල් සියයක මුදල මම මගේ මිත්‍ර නීතීඥවරයා අත තැබීමි.

ඔහු වහාම ක්‍රියාත්මක වුයේය.

ඔහු මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයට යනු මම දුටුවෙමි.

ස්වල්ප වේලාවකට පසු මා ද කැඳවන ලදී.  මා තවමත් උසාවි සීමාවේ රැඳී සිටී දැයි සොයා බලාය මා කැඳවන ලද්දේ.  ඒ බව මම පසුව දැන ගතිමි.

" ඉට් වෝස් අ බෑඩ් කේස්...දේ ෂුඩ් හෑව් රීටේන්ඩ් සම්වන් ලයික්...පෙරේරා...සොයිසා...නොට් දැට් යූ ඩිඩ් අ බෑඩ් ජොබ්...( ඒක අමාරු නඩුවක්...ඒ අයට තිබුණේ...පෙරේරා සොයිසා...වගේ එක්කෙනෙක් අල්ලන්න. ඔබ අදක්ෂ ලෙස නඩුව කතා කෙරුව නෙවෙයි...) "

මෙහි අවසාන කොටස ඔහු කීයේ මගේ සිත සතුටු කිරීමට විය යුතුය.  එහෙත් සුළු වේලාවකට පෙරදී අඥානයකු ලෙස, මැරවරයකු ලෙස, කෲර දුෂ්ට පාලකයකු ලෙස හැසිරුණ ඔහු ගැන මා තුළ කෙසේනම් පැහැදීමක් ඇතිවේද?

අහා! නඩුපොත ඔහුගේ මේසය මතට ආවේය.  එහි අවසාන වශයෙන් යමක් ලියා තිබු පිටුව ඔහු ඉරා දැම්මේය.  චුදිතයන්ට ශරීර ඇප නියම කරන ලදී.

යුක්තිය !

( මෙම කතාව මවිසින් මුලින්ම සටහන් කර තබන ලද්දේ 1977 වර්ෂය මුලදීය.  එනිසා විනිසුරු නිල ඇඳුම, මුදලෙහි වටිනාකම, අධිකරණවල ක්‍රියා මාර්ග යනාදිය එම කාලයෙහි පැවති ආකාරයට මෙහි සඳහන් වේ.

අධිනීතීඥවරයෙකු ලෙසම වෘත්තීමය කටයුතු කළ හෙයින් මගේ සේවය එක අධිකරණයකට සීමා නොවීය.  එනිසා දිවයිනේ විවිධ නගරවල ප්‍රාථමික, මහේස්ත්‍රාත්, දිසා අධිකරණවල මෙන්ම මහාධිකරණවලද විනිසුරුතුමන්ලා දෙසියයකට අධික සංඛ්‍යාවක් ඉදිරියේ පෙනී සිටීමේ වරම මම ලැබුවෙමි.  ඊට අමතරව ගෙවල් කුලී මණ්ඩල, කෘෂි විනිශ්චය සභා, කම්කරු විනිශ්චය අධිකාරී යනාදියෙහි සභාපතිතුමන්ලා ප්‍රධාන සාමාජික මහත්වරුන් හමුවේද පෙනී සිටීමේ අවස්ථා ලැබිණ.

ඒ සා අත්දැකීම් රාශියෙන් බින්දු මාත්‍රයක් පමණක් හුදී ජන දැනුම උදෙසා 'පසු වදන' ලෙස සකස්කොට මෙහි ඇතුළත් කොට ඇත.)

විනිසුරුතුමනි.  කර්තෘ :පී.ඇම්. ජයතිලක. දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.