Monday, August 1, 2016

වී.ඩී.ද ලැනරෝල් සමග හපන්කම්, මෝඩකම් සහ පුරසාරම්.

එක්දහස් අටසිය අනුතුනේ දෙසැම්බර් විසිපස් වැනිදා හෙවත් නත්තල් දවසේ කඩුවෙල බෝමිරියේ කෙතේවත්තේ උපන් වික්ටර් දුකී ද ලැනරෝල් හෙවත් වී.ඩී. ද ලැනරෝල් විසිවන ශතවර්ෂයේ මුල පාසල් ගුරුවරයෙකු,කවියෙකු,ලේඛකයෙකු,සඟරා සංස්කාරකවරයෙකු, පුවත්පත් කලාවේදියෙකු හා ජන සමාජයේ අතීත තොරතුරු ගවේෂණයෙහි යෙදුණු සුවිශේෂී පුද්ගලයෙක් විය.    ඩී. ඩබ්. වික්‍රමාරච්චි මහතා පත්‍රකලා ගුරුවරයෙකු ලෙස දස්කම් දක්වන යුගයේ දී ලේඛන කලාවට පිවිසි ලැනරෝල් සූරීහු මාර්ටින් වික්‍රමසිංහ, පියසේන නිශ්ශංක,  හේමපාල මුනිදාස,  මුනිදාස කුමාරණතුංග  ආදී විශාරදයන් සමග උරෙනුර ගැටෙමින් සිය ලේඛනයෙන් පාඨක ලේඛක ප්‍රසාදයට පාත්‍රවුහ.  ඔවුන් විසින් රචිත පොත් අතර පියසිරිගේ පාසල් සමය,  අතීතය,  උමතු තරුණයා,  මගේ පෙම්වතියෝ,  හපන්කම් මෝඩකම් සහ පුරසාරම් යන පොත් බොහෝසේ පාඨක ප්‍රසාදයට පත්විය.   සිය හැත්තෑපස් වන උපන් දිනයට ප්‍රකාශයට පත්කළ "හපන්කම්, මෝඩකම් හා පුරසාරම්" යන පොතේ සංඥාපනයේ ඔහු මෙසේ ලියයි.

"මා විසින් මුලින් මේ පොත ලිවීමට අදහස් කළේ මගේ හපන්කම් ගැනය.  එහෙත් වැඩිදුර කල්පනා කිරීමේදී මා කර ඇති හපන්කම් වලට වඩා මගේ මෝඩකම් වැඩි බව මට පෙනී ගියේය.  එහෙයින් හපන්කම් හා මෝඩකම් යනුවෙන් පොතට නම යෙදීමට මා අදහස් කළ නමුත් පොත ලියා ඉවරවීමෙන් පසු හපන්කම් හා මෝඩකම් වලට වඩා මගේ පුරසාරම් එහි ඇතුළත් වී තිබෙනු හැඟී ගිය බැවින් මම ඊට හපන්කම්, මෝඩකම් හා පුරසාරම් යයි නම්කළෙමි.
මා පමණක් නොව ලංකාවේ ලැනරෝල් පෙළපතේ කවුරුන් ගැන වුවත් සඳහන් කළ හැක්කේ ඔවුන් හපන්කම් මෝඩකම් හා පුරසාරම් ගැන නම් දරා ඇති බවය.  මහනුවර රාජධානියේ තානාපති වශයෙන් ප්‍රංස දේශයේ සිට පැමිණි අපේ කිරිකිත්තා ද සමසක් හිරේ සිටියේ සිංහල රජ්ජුරුවන්ට තමාගේ මෝඩකම් හා පුරසාරම් පෙන්නීමට යෑම නිසා බව මෙහිදී සඳහන් කළ යුතුය.
බොහෝ දෙනා සිය ජීවිත කථා ලියන්නේ අන්‍යයන් ඒවා කියවා ආදර්ශයක් ගනු ලැබේය යන විශ්වාසයෙනි.  එහෙත් ජීවිත කතාවක් ලෙස මා මෙය නොලියන්නේ මගේ ජීවිතයෙන් කුරා කූඹියෙකුට වත් ආදර්ශයක් ගැනීමට යමක් නැති නිසාය.   මගේ හපන්කම් මෝඩකම් හා පුරසාරම් කියවීමෙන් කිසිවෙකුට කිසිම ආදර්ශයක් ලබාගත නොහැකි වුවත් එය කියවීමෙන් බොහෝ දෙනාට විනෝදයක් ලබා ගැනීමට පුළුවන් වේ යයි මම විශ්වාස කරමි."

වී.ඩී.ද ලැනරෝල් මහතාට ජුලියස්, සැමුවෙල්,  සහ කුලසිංහ යනුවෙන් සොහොයුරන් තිදෙනෙක්ද සෝමභද්‍රා යනුවෙන් සොහොයුරියක්ද විය.   ඔවුන් අතුරින් ජුලියස් ද ලැනරෝල් මහා පඬිවරයෙක් වූ අතර ලංකාදීපයේ ආරම්භක කතුවරයාද විය.  කුලසිංහ ද ලැනරෝල් මහතා අධ්‍යාපනඥයෙකි,  එස්.ඩී.ද ලැනරෝල් හෙවත් සැමුවෙල් ද ලැනරෝල් මහතාද පොත් කතුවරයෙක් වුයේ 1957 වර්ෂයේ "වන නදිය" නම් වූ අපූරු සංචාරක සටහනක් ඇතුළත් පොත රචනා කරමිනි.   එහිදී ඔහු තමන් තවත් මිතුරු පිරිසක් සමග 1951 වර්ෂයේ මයියංගනයෙන් අරඹා මහවැලි නදිය දිගේ ත්‍රිකුණාමලයට යනතෙක් ඔරුවෙන් ගිය ගමන ගැන මන බඳනා විස්තරයක් ඉදිරිපත් කරයි.     මේ වන නදිය නම් පොත සූරිය ප්‍රකාශකයන් විසින් මෑතකදී නව මුද්‍රණයක් පළකරන ලදී.   එකම නැගණිය වූ සෝමභද්‍රා ගැන තොරතුරක් සොයාගැනීමට නැත.    වී.ඩී.ද ලැනරෝල් සූරීන්ගේ හපන්කම් මෝඩකම් සහ පුරසාරම් කෘතියෙන් උපුටාගත් කොටස් කීපයක් මීළඟට මා ඔබට ඉදිරිපත් කරමි.

"කැළණි ගඟ බැස ගොස් ජලය අඩුවී වැලිතලා පෑවූණු විට පාසල් වේලාවෙන් පසු නෑම සඳහා කෙතේ වත්තේ බුලත්ගම්පොත ළඟ අපේ තොටුපොළට යෑම මේ තිදෙනාගේ සිරිතය.   එසේ යන්නේ මා ඇතුළු ලොකු ළමයින් කීප දෙනෙකුද පිරිවරා ගෙනය.   දිය ලණුවක් නිතරම ඉණෙහි බැඳ සිටීම පිරිමිකමක් ලෙස සිංහල ගම්වැසියන් සලකන නමුත් මේ තිදෙනාටම ඉණෙහි දියලණු නැත.   ගුරුවරයන් අනුව යෑම ගෝලයන්ගේද සිරිත බැවින් මේ කණ්ඩායමේ ළමයින් කීප දෙනෙකුටද දියලණු නැත.     එහෙයින් මේ කණ්ඩායම වැලිතලාවට පැමිණි හැටියේ කරන්නේ බුලත්ගම්පතේ බෙලි බඩවැටියට රිංගා බෙලි ගොපිල් කඩාගෙන දිය ලණුව බැගින් සපයා ගැනීමය.  

බෙලි පට්ටයක් ඉණේ බැඳගත් විජයසේකර මහතා, වටේ රතු ඉරි වැටුණු පනම් දෙකේ සුදු ලේන්සුවක් අමුඩ ගසන්නේය.   අනික් ගුරුවරු දෙදෙනාද එසේ කරති.   ගෝලයෝ ද ලේන්සු හෝ රෙදි කැබලි හෝ අමුඩ ගසා ගනිති.   මේ කණ්ඩායම නාන්නට යන විට ගෙනයන්නේ අමුඩ ලේන්සු, තුවාය,සබන් ආදී නෑමට වුවමනා කරන උපකරණ පමණක් නොවේ.   පිනුම්කරුවන් පාවිච්චි කරන වේවැල් වළලු කීපයක්ද මේ කණ්ඩායමේ එක් ළමයෙකුගේ අතෙහි වෙයි.   වළලු පැනීමේ ක්‍රීඩාව පුරුදු වීමට කැළණි ගඟේ මේ වැලිතලාවට වඩා සුදුසු අන් කිසි තැනක් නැත්තේය.   වැලිකන්දේ සිට ගෙන ළමයින් දෙදෙනෙකු වළල්ලක් අල්ලා ගෙන සිටින විට ඈත සිට දුව ගෙන එන වෙන ළමයෙක් ඒ වළල්ල මැදින් රිංගා දියට පනින්නේය.   එක වළල්ලකින් රිංගීමට පුරුදු වීමෙන් පසු වළලු දෙකකින්, තුනකින් ආදී වශයෙන් වැඩි ගණනකින් රිංගීමටද පුරුදු වන්නේය.  වළලු මැදින් රිංගීම පමණක් නොව හිටි පිනුම්, බඩ පිනුම් ආදී කොයි යම් පිනුමක් වුවත් පුරුදු වීමට මේ වැලිතලාවට වඩා සුදුසු අන් කිසි තැනක් අසලක නැත්තේය.

වැල්ලේ පිනුම් පැනීමෙන් පසු ළමයි නොයෙක් ජල ක්‍රීඩාවල යෙදෙති.   දිය ඉස ගැනීම, දියබුං ගැසීම, කුකුළන් කෙටවීම. පෙන්දන් පැන්නීම, කරණම් ගැසීම, උඩුකුරුව පීනීම, මෝරුන් ඇල්ලීම ආදිය ඔවුන් විසින් කරනු ලබන ජල ක්‍රීඩාවලින් සමහරකි.    ළමයි දෙදෙනෙකු මසුන් අල්ලන්නන් ලෙස ගඟ පහළ රැකවලෙහි යෙදී සිටින අතර බඹ හත අටකට ඉහළ සිට ළමයෙකු මෝරෙකු ලෙස දිය යටින් පීනාගෙන ඒම මෝරුන් ඇල්ලීමේ ක්‍රීඩාව නම් වන්නේය.  දිය යටින් පීනා ගෙන එන ළමයා, රැක්මේ සිටින ළමයින් දෙදෙනා අතරින් යා යුතුය.   එසේ යෑමෙහි දී ඔවුන්ට අසු වුවහොත් හෙතෙම පරාද වන්නේය.   අසු නොවුවහොත් දිනන්නේය.

ළමයින් මෙසේ ජල ක්‍රීඩා කරමින් සිටින විට ගඟේ වතුර මඳකම නිසා ඉතා අමාරුවෙන් රිටිවල ආධාරයෙන් උඩහට එන පාරුකාරයින්ගේ "හේල හෙලෙයි" ඝෝෂාව ඇසෙන්නට වෙයි.   ඒ පාරුව එන්නේ ළමයින් මෝරුන් සෙල්ලම් කරමින් සිටින ගැඹුරු දියපාර ඔස්සේය.    මේ නිසා ළමයින්ට මෝරුන්ගේ ක්‍රීඩාව නතර කරන්නට වන නමුත් පාරුව තල්ලු කිරීමට ලැබීම ඊටත් වඩා සන්තෝෂ ජනක වන්නේය.   පාරුව තල්ලු කිරීමට ළමයින්ටත් වඩා යුහුසුළු වන්නේ විජයසේකර මහතාය.   ළමයින් හතර පස් දෙනෙකු සමග ඒ මහතා පහළ තැල්ල යටින් පාරුවට කිට්ටුවී ලෑලි වලට පිටදී "හේල හෙලෙයි" කියමින් පාරුව තල්ලු කිරීමට පටන් ගැනීම මේ වනතුරු ඝෝෂා කරමින් පාරුව පැද්ද මිනිසුන්ගේ කට සැතපවීමට හේතු වන්නේය.   පුළුවන් තරම් දුර පාරුව තල්ලු කරදී මේ කණ්ඩායම දියෙන් ගොඩවී නැවතත් ඇඳුම් ඇඳගෙන පාසල බලා යන්නේ වැලිතලාවට කපුටන් රැස්වන්නට වීමෙන් පසුවය.

විජයසේකර මහතා ඇතුළු මේ කණ්ඩායම ජල ක්‍රීඩා කරන්නේ ගඟ සිඳී ගිය කලට පමණක් නොවේ.   ගඟ පිරී ඉතිරී ගොස් වතුපිටි, ඉඩකඩම්, වෙල්යායවල් හා පාරතොට ගං වතුරෙන් යටවූ කලද ඔවුහු ජල ක්‍රීඩාවෙහි යෙදෙත්.    ඒ කාලයේ ඔවුන් වැඩි වශයෙන්ම යෙදෙන ජල ක්‍රීඩාව නම් අඟුල් පැදීමයි.   කඩුවෙල සිට පෝරේ දක්වා පැතිරී ඇති මහා වෙල්යාය ගං වතුරෙන් පිරුණු විට එහි ඔරු පැදීම ඉතාම සන්තෝෂජනක ක්‍රීඩාවකි.    විජයසේකර, කුමාරණතුංග හා ගිරිගෝරිස් පෙරේරා යන මහතුන් ළමයින් කීප දෙනෙකුද සමග ඔරු අඟුල් කීපයක නැගී ගං වතුර කාලයට මහවෙලේ ඔරු පැදීමට යෑම දිනපතාම වාගේ සිදු වුවකි.     කුමාරණතුංග මහතාට සහ ගිරිගෝරිස් පෙරේරා මහතාට පීනන්නට පුළුවන් වුවත් විජයසේකර මහතාට පීනන්නට නොහැකි බව කැළණි ගඟේ ජල ක්‍රීඩා වැනීමෙදී සඳහන් කිරීමට මට අමතක විය.

පාසල් වේලාවෙන් පසු දිනක් අපි අඟුල් දෙකක නැගී බෝමිරියේ පාලම ළඟින් පිටත්වී මහවෙලේ ඔරු පැදීමට ගියෙමු.   විජයසේකර මහතා සහ ගිරිගෝරිස් පෙරේරා මහතා ගොඩ උනේ මා සහ වෙනත් ළමයෙකු විසින් පදින ලද අඟුලටය.     කුමාරණතුංග මහතා වෙන ළමයින් දෙදෙනෙකු විසින් පදින ලද අඟුලකට ගොඩ නැගුණේය.   අපි අඟුල් දෙක මහවෙල දිගේ කොරතොට දක්වා පැදගෙන ගියෙමු.   දවල් කාලයේ මහ වෙලේ රළ පහර වාරකන් කාලයේ මුහුදේ රළ පහරට පමණක් දෙවැනි යයි කීම අතිශයෝක්තියක් වුවත් එම රළ පහර හැඳින්වීමට එසේ නොකියා බැරිය.   රළපහර කපාගෙන හැකි පමණ සීරුවෙන් අපි අඟුල් පැද්දෙමු.    එසේ වුවත් කොයි වෙලේ අඟුල්වලට වතුර දමා ද යනු නිශ්චය කළ නොහැකි විය.   එහෙයින් අපි අඟුල් වෙල මැදින් නොපැද වෙල අයිනෙන් පැදීමට පටන් ගතිමු.

එසේ වුවත් වෙල මැදින් බිඳී ආ එක් රළ පහරක් කරණකොට වතුර දැමීමෙන් අපේ අඟුල ගිලුණේය.   අඟුලේ සිටි ළමයි අසල තිබු සල් ගසකට පීනා ගත්තෝය.   විජයසේකර මහතාද එසේ කිරීමට සිතාගෙන දියට පැන්න නමුත් ගලක් දියට අත ඇරියාක් මෙන් ඒ මහතා දියේ ගිලුණේය.   එක් වරක් දියේ ගිලී මතුවෙනවාත් සමගම ගිරිගෝරිස් පෙරේරා මහතා දියට පැන විජයසේකර මහතා අල්ලා ගෙන සල් ගසට පීනුවේය.    ඒ අතරේ කුමාරණතුංග මහතා නැග සිටි අඟුල ද සල් ගස වෙතට පැමිණීමෙන් පසු අපේ අඟුලේ වතුර ඉස ගෙන ඉදිරි ගමන නවත්වා අඟුල් දෙක ම ආපසු පැදගෙන බෝමිරියේ පාලම වෙත ලඟා වීමු.   යකෙකුට වත් බිය නැති විජයසේකර මහතා එදා වතුරට නම් බියවූ බවට සැකයක් නැත.

ගං වතුර කාලයේ මට සිදුවූ ඇබැද්දියක්ද මෙහි සඳහන් කිරීමට මම කැමැත්තෙමි.   ගං වතුර ගැලු විට කෙතේ වත්ත සම්පූර්ණයෙන්ම ජලයට යටවන බව මා සඳහන් කර ඇත.   ඒ කාලයට කෙතේ වත්තේ අප නිවසෙහි සිට බෝමිරියේ පාසලට යන්නේ ඔරුවෙනි.   මගේ බාල මල්ලි කෙනෙකු වූ සැමුවෙල් ද, බාප්පාගේ පුත් පස් හැවිරිදි තරම් ලුවිස්ද, අසල වැසි කුඩා ළමයෙක්ද, මමද පාසලේ සිට ආපසු ඒම සඳහා අපේ ඔරුවට නැංගෙමු.   ඔරුවේ යා හැකි ප්‍රමාණය එපමණය.   නමුත් එවකට මගේ යාළුවකුව සිටි තක්කඩි හේරස් සිංඤෝ ද අපේ ගෙදරට යන්නට ඕනෑය කියා ඔරුවට නැංගේය.   ඔරුවට වතුර දැමීමට ඇත්තේ තව අඟල් දෙකක් තුනක් පමණකි.   නමුත් බය වෙන්නට එපාය කියමින් හේරස් සිංඤෝ ඔරුව පැද්දේය.   ස්වල්ප දුරක් යන අතර නොපොවන හරියේදී සුළං හමන්නට පටන් ගත්තේය.   තව ටිකක් දුර යනවිට ඔරුවට වතුර දමන්නට වුණි.   අපි බිය වීමු පොඩි ළමයි කෑ ගසන්නට පටන් ගත්හ.    මොහොතකින් ඔරුව ගිලුණේය.    හේරස් සිංඤෝ තමාට කිට්ටුවෙන් සිටි කුඩා ළමයා රැගෙන පීනන්නට පටන් ගත්තේය.   සැමුවෙල් මල්ලී තමාගේ පොත්ද රැගෙන යම්තම් ගොඩට පීනා ගත්තේය.    මම මගේ බාප්පාගේ පුතා රැගෙන පීනන්නට වීමි.   

ළමයා රැගෙන ටිකක් දුර පීනු නමුත් මට තවදුරටත් එසේ කළ නොහැකි විය.   ළමයා අතහැර මගේ පණ බේරා ගැනීමද මට පිළිකුල් විය.    දෙදෙනාම ගැලවෙන තුරු හෝ දෙදෙනාම මියයන තුරු සටන් කිරීමට මම ඉටා ගතිමි.   වතුරේ ගැඹුර මා නොපොවන තරම් පමණය.   පීනන්නට බැරිවූ විට මම දිය යට සිට පොළොවේ පය ගසා ළමයාගේ හිස දියෙන් මතු වනසේ කකුල් දෙකෙන් ඔසවා ගෙන ඉදිරියට යෑමට තැත් කළෙමි.   මට හුස්ම ගන්නට බැරිවූ විට ළමයා අතහැර දියෙන් මතුවී හුස්ම ගෙන නැවතත් ළමයා අල්ලා ගෙන පෙර සේම ඉදිරියට යෑමට තැත් කළෙමි.  

මේ අන්දමට වැඩිවේලාවක් දිය රකුසා සමග සටන් කිරීමට පුළුවන් වේ යයි මම නොසිතුවෙමි.    දිය රකුසාට උදව්වට මරුවාද පැත්තකින් බලාගෙන සිටින බව මට හැඟුණේය.    මරණ බිය යනු කුමක්දැයි මට දැනුණේ මේ අවස්ථාවේදීය.   මගේ මරණයටත් වඩා මට වේදනාවට හේතු වුයේ මගේ අතේ සිටි කුඩා ළමයාගේ මරණයයි.   මා මෙසේ මරු විකල්ලෙන් දඟලන විට මගේ තක්කඩි යාළුවාට මගේ දුර්භාග්‍ය තත්ත්වය වැටහුණේය.   හෙතෙම තක්කඩි කමට මෙන්ම පිහිනීමටද දක්‍ෂයෙකි.   අපට සිදුවන්නට යන අනතුර දුටු හෙතෙම වහාම ආපසු පීනා අවුත් මා අතේ සිටි ළමයාද ගෙන පීනන්නට වන්නේය.   බරෙන් නිදහස්වූ මමද යම්තම් පණ බේරා ගතිමි.    ගොඩට ළඟාවූ නමුත් තෙහෙට්ටුව නිසා පැයක් පමණ යනතුරු අපට පා නඟා ඇවිදින්නට පුළුවන් නොවීය.   ගෙදරින් ගෙනා උණු කෝපි බිව්වේ වෙලේ දිගාවී ඉඳගෙනය.     එදා ළමයි දෙදෙනෙකුගේ දිවි ගැලවූ තක්කඩි හේරස් සිංඤෝ නොබෝදා කෙනෙකුගේ පිහියා පාරකින් මියගිය බව මම ඇසීමි.

ගංවතුර කාලයට බෝමිරියේ පාලම ළඟ සිට කඩුවෙලේ දේවාලකන්ද දක්වා එකම ජලාසයකි.    මහ ගංවතුරුවලදී මහ පාරේ අඩි 11ක් 12ක් පමණ ජල මට්ටම වන්නේය.   සියලු දෙනාම ඔරු අඟුල්වල නැගී යා යුතුය.   බෝමිරියේ පාලම ලඟත්, කඩුවෙලේ කන්ද ලඟත් " නැව් තොටවල්" දෙකකි.   කෙතේ වත්ත,  යාකාලය,  වැලිහිඳ,  කොරතොට ආදී සියලුම ගම්වලින් බඩු මුට්ටු ගෙන යෑම ආදී සියලු කටයුත්තටම කඩුවෙලට පැමිණෙන්නේ ඔරු අඟුල්වලිනි.   ඒ කාලයට කඩුවෙලේ "වරායේ" කලබල සවභාවය කොළඹ වරායේ සවභාවයට දෙවැනි නොවේ.

මහ ගංවතුර කාලයට පාරේ යන එන්නන්ගේ ගණන අඩුය.   අවිස්සාවේල්ල පාර සෑම තැනම වාගේ ගංවතුරට යටවන නිසා සෑම තැනකදීම වාගේ ඔරු අඟුල්වලින් ගමන් කරන්නට සිදුවන බැවින් ඒ කාලයෙහි වැඩි දෙනෙක් ගමනාගමනයෙහි නොයෙදෙත්.   නමුත් වතුර අඩු වන්නට වූ විට මගීන්ගේ ගමන වැඩි වන්නේය.   එසේ වුවත් බෝමිරියේ සිට කඩුවෙලට යන්නට සිදු වන්නේ ඔරු අඟුල්වලින්මය.   පාරේ අනික් තැන්වලට වඩා මේ ස්ථානය පහත් බැවිනි.   ඒ දවස්වල බෝමිරියේ සහ කඩුවෙලේ ඔරු අඟුල්කාරයන්ට ගජ වාසිය.   පාරේ යන එන්නන් එගොඩ කර මුදල් ලබා ගන්නට පුළුවන් වන බැවිනි.   බෝමිරියේ සිට කඩුවෙලට මගියෙකු එගොඩ කළ විට පණමක් පමණ ලබා ගන්නට පුළුවන.   පස් දෙනෙකු පමණ පටවන්නට පුළුවන් අඟුලක් අයිතිකාරයෙකුට එක ගමනකට පනම් හතරක් පහක් හම්බ කළ හැකිය.   එක අඟුල්කාරයෙක් ඒ අන්දමට දවසකට රුපියල් දෙකක් තුනක් සම්බ කරන්නේය.  

ගංවතුර කාලයට මටද ඉස්කෝලේ එන්නට සිදු වන්නේ ඔරුවෙන්ය.   එසේ පැමිණි එක් වතාවක මමත්, පොඩියන් සිංඤෝත් ඉස්කෝලේ ඇරී යන ගමන් ගෙදරට හොරෙන් මිනිසුන් එගොඩ කිරීමට සිතා ගෙන කඩුවෙල ගියෙමු.   අප දෙදෙනාට ලොසිංජර කෑම ආදියට පණම් හතරක් පහක් සොයා ගැනීම අපේ අභිප්‍රාය විය.   අප පැදගෙන ගියේ කුඩා කොල්ලෑ ඔරුවකි.   එහි අප දෙදෙනා නැගුණු විට තවත් මිනිසුන් දෙදෙනෙකුට වඩා පටවන්නට බැරිය.   කඩුවෙල තොටුපොළේ මඳක් වේලා සිටින විට වානියෙක් සහ තවත් මිනිසෙක්ද පැමිණියාහ.   වානියාය කීවේ පොල් තෙල් සහ තල තෙල් ආදී තෙල් වර්ග විකිණීමට යන තෙල් වෙළෙන්දෙකි.   අපි වානියා සහ ඔහුගේ තෙල් භාජනද අනික් මඟියා ද පටවා ගෙන ඔරුව පදින්නට පටන් ගත්තෙමු.   ඔරුව උසුලන නියම බර ප්‍රමාණය නම් අප දෙදෙනා සහ මිනිසුන් දෙදෙනාත් පමණකි.   තෙල් භාජනද තව මිනිසෙකුගේ බර තරම්ය.   එහෙයින් ඔරුව දියත් කළ විට වතුර දමන්නට තිබුණේ අඟල් දෙකක් පමණය.   අපි සීරුවෙන් ඔරුව පැද්දෙමු.   ගඟබොඩ උපන් අපට ඒ විධියට ඔරුවක් පැදීම එතරම් බැරෑරුම් කරුණක් නොවේ.    "බලාගෙනයි යන්නේ පාලම ළඟ රළ තිබෙනවා" යි අනික් පැත්තේ සිට එන ඔරුකාරයෙක් පැවසීය.   "හොඳයි හොඳයි" කියා අපි සීරුවෙන් ඔරුව පැද්දෙමු.   පාලම පෙනෙන තෙක් මානයේදී රළ හා සටනක් කරන්නට වන බව අප දෙදෙනාටම වැටහුණේය.   අප දෙදෙනා ඔවුනොවුන් මුහුණ බැලීමු.   කුඩා වුවත් දෙදෙනාම දක්‍ෂ ඔරු පැදිලිකාරයෝය.   මටත් වඩා පොඩියන් සිංඤෝ ඔරු පැදීමෙහි දක්‍ෂයෙකි.   අපි රළ කැපෙන පරිදි ඔරුව පැද්දෙමු.

ගොඩට එන්නට තිබෙන්නේ තවත් බඹ කීපයක් පමණකි.   නමුත් අපේ දස්කමින් පලක් නැති විය.   අප හතර දෙනාත් සමග ඔරුව ගිලුණේය.   අප දෙදෙනා දියට පැන ඔරුව අල්ලා ගතිමු.   තෙල් භාජනවලට හා මගීන්ට හිරිහැරයක් නොවීය. තෙල් භාජනවලට වුයේ තෙල් ඉහිරී වතුර පිරීම පමණකි.   මගීන්ට වුයේ ඔවුන්ගේ ඇඳුම් තෙත්වීම පමණකි.   පොව්වන දියේ බැවින් අපි ඔරුව තල්ලු කරගෙන ගොස් ඔවුන් එගොඩ කළෙමු.    අපේ එගොඩ කිරීම ගැන සතුටුවූ ඔවුන්ගෙන් අපට පණම් දෙකක්ද ලැබුණේය.   රෙදි වේලා ගෙන මොනවත් නොදන්නා අය මෙන් ගෙදර ඒමෙන් පසු, ආතා විසින් අපේ පොත් ගැන විභාග කළ විටය ඔරුව ගිලෙද්දී අපේ ඔඩොක්කු උඩ තිබුණු පොත් ගැන කල්පනා උණේ.   සුමානයකට පමණ පසු වතුර බස ගොස් වෙල් පෑදුණ විට දිය බත්වූ අපේ පොත් පාර අයිනේ තිබෙනු දකින්නට ලැබුණේය" ෴

ප.ලි.     වී.ඩී.ද ලැනරෝල් මහතාගේ ඡායාරූපයක් අන්තර්ජාලයේ සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් මේ පොතේ තිබු ඒ මහතා 1916 දී ගන්නා ලද ඡායාරූපයක් තරමක් අපැහැදිලි නමුත් ගෙනැවිත් පළකරන්නට සිදුවිය.

13 comments:

  1. අපූරු පොතක් නෙව...
    රිප්‍රින්ට් කරල තියෙනවයි කිව්වෙ මේ පොතද හැලපෙ...
    මේ වන නදිය නම් පොත සූරිය ප්‍රකාශකයන් විසින් මෑතකදී නව මුද්‍රණයක් පළකරන ලදී.//
    එහෙම නං හොයාගත හැකි වෙයි නෙහ්

    ReplyDelete
    Replies
    1. ලැනරෝල් මහතාගේ සියලුම පොත්වල නව මුද්‍රණ දැන් නිකුත්වී තිබේ.

      Delete
  2. බස්තියන් ගුරුන්නාසේ ගැන ලිවුවෙත් මෙතුමා ම නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ ඔහුගේ ගුරුවරයෙක්ගේ චරිතයයි.

      Delete
  3. //මහනුවර රාජධානියේ තානාපති වශයෙන් ප්‍රංස දේශයේ සිට පැමිණි අපේ කිරිකිත්තා ද//
    De La Nerolle = De Lanerolle

    "පියසිරිගේ පාසල් සමය"ලඟදී ආයිත් කියෙව්වා.

    ඔය පොත ගන්න තියනවද?

    ReplyDelete
    Replies
    1. /ඔය පොත ගන්න තියනවද?/
      ඔව්.

      Delete
  4. හැලපයියා විසින් බ්ලොග් සටහන් දැමු මේ ලේඛකයාගේත් කිසිදු කෘතියක් කියවා ඇතැයි මට මතක නැහැ.බොහෝවිට ඔහුගේ කෘති කිසිවක් මා කියවා නැති වන්නටත් පුළුවන්.

    ReplyDelete
  5. සෑහෙන්න මහන්සිවෙලා තියනවා ලිපිය ටයිප් කිරීමට. අදාළ පිටු ටික ස්කෑන් කරලා පින්තූර ලෙස දාන එක ලේසියි නේද?

    මේ පොත් ජනශ්‍රැති පිළිබඳ පර්යේෂණ වලට පවා සුදුසුයි.

    මතකද මේ පොත් බොහොමයක් 'ලිහිණි පොත්' ලෙස තමා ප්‍රකාශයට පත්වුණේ.

    ReplyDelete
    Replies
    1. ස්කෑන් කරලා දාන පින්තුර වල අකුරු කියවන්න අමාරුයි.. ටික වෙලාවකින් එපා වෙනවා මට නම්..අමාරුවෙන් උනත් මෙහෙම ලිව්වම කියවන්න ආසයි...

      Delete
  6. පනමක් කියන්නේ රුපියල් සත වලින් නම්කි යක වටිනාකමක් ද... ? මේ සැරේ ගං වතුරටත් ඔය පොතේ තියෙන පැත්ත ඔය විදියටම වගේ යට වුණා.. මට මතක් වුනේ හයි වේ එක උඩින් කඩුවෙල පැත්තේ යට වෙච්ච වෙල් යායවල් උඩින් මේ සැරේ ගිය හැටි...

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      පණම් අට කිව්වෙ ශත පණහට . එතකොට දළ වශයෙන් පණමක් ශත හයක් වගෙ වෙනවා. නෙවිල් ප්‍රනාන්දු ගයන මාස්ටර් සර් ගීතයෙත් කියවෙනවා "පණම් අටෙන් මට වැඩිකර දුන්න..." කියල.

      Delete
  7. පියසිරිගේ හෙට දවස වගේ පොතක් මා ළඟ තියෙනවා.

    හපන්කම්, මෝඩකම්, පුරසාරම් තීරුව නවයුගයේ පළවුණා!

    ReplyDelete
  8. හරිම අපූරු සටහනක්...බොහොම ස්තුතියි ඔබ තුමාට...

    ReplyDelete