Tuesday, June 20, 2017

වීර දිවයින.


ආර් .එල්. ස්පිටල් පරිවර්තන සාහිත්‍යය ඇසුරු කරන්නන්ට නුපුරුදු නමක් නොවේ.    ඔහු විසින් රචිත සුදු වැද්දා සහ සුදු ගෝනා කෘති ද්වයම වුවද ස්පිටල්ගේ සාහිත්‍යමය හැකියාවට දෙස් දෙයි.   මේ කෘතීන් දෙකෙහි ප්‍රධාන චරිතය වන්නේ හෑන්ස් නම් ඕලන්ද ජාතික යොවුන් තරුණයෙකි.    එඩිතර සිතක් ඇති ඕලන්ද තරුණයෙකුට කිසිවෙකුගේ උපකාරයක් නොමැතිව කැලයේ ජීවත්විය හැකියැයි ස්පිටල් විශ්වාස කළ හෙයින් එසේ හෑන්ස්ගේ චරිතය ගොඩ නැගුණේ සිය මුතුන් මිත්තන්ගේ උපන් බිම වූ ඕලන්දයට ගෞරවයක් වශයෙනි.    ස්පිටල්ගේ මනසෙහි ලියැවෙන මේ කතාව මුලින්ම අසා සිටියේ ඔහුගේ මිණිබිරිය වූ කුඩා ඈන්ය.  ඒ අවස්ථාව ස්පිටල්ගේ ජීවිත කතාව වූ වන වැදුණු දොස්තර කෘතියේ මෙලෙස සඳහන්වේ.

'යුද්ධය එහි අවසානය කරා ලඟා වෙද්දී රිචඩ් ස්පිටල්ගේ සහ ඔහුගේ කුඩා මිනිපිරිය වූ ඈන්ගේත් සමීපතාව කෙමෙන් වැඩි දියුණු වුයේය.    ලංකාව නැමැති දුපතට අහම්බෙන් පාවී අවුත් කැලයෙහි ජීවත් වුණු ලන්දේසි කොල්ලෙකු පිලිබඳ කතන්දරයක් සිය මිනිපිරියට කීමට ඔහු පටන් ගෙන තිබුණු අතර කතන්දරය කීමේ වැඩ සටහන හැම විටම එකම පිළිවෙලකට ආරම්භ වුයේය.

"හෑන්ස් ගේ කතන්දරය කියන්න සීයේ"

"කතන්දරේ මතක් වෙනකං දූ මගේ නළල අත ගාන්න."

මහත් උනන්දුවෙන් පුංචි මිනිපිරිය සිය සීයාගේ රළු නළල් තලය පිරිමදින්නීය.

"ආ! දැන් ඇති,ඔන්න කතන්දරේ මතක් වුණා. දැන් ඔයා අහගෙන ඉන්න!"

භාෂා කීපයකට පරිවර්තනය කැරුණු "සුදු ගෝනා" නමැති කතාව උපත ලැබුවේ එසේය.    එය "ලිස්බට් ඈන්" නමට උපහාර කොට පිදුණේය.'

මා කියන්නට අදහස් කළේ මේ කෘතීන් දෙකෙහි එන චරිතම සමග ආර්. එල්.ස්පිටල් සහ ක්‍රිස්ටීන් විල්සන්ගේ සම කර්තෘත්වයෙන් බිහිවුණු "Brave Island" නම් ඵෙතිහාසික නවකථාව සම්බන්ධයෙනි.(මෙම නවකථාව "වීර දිවයින" නමින් අභය හේවාවසම් අතින්ද "වීර භූමි" නමින් රූ.පෙ. විජේසිංහයන් අතින්ද සිංහලට පරිවර්තනය වී ඇත) වීර දිවයින කෘතිය ගැන එහි පෙරවදනේ කොටසක් මෙසේය.

"කොළඹ පෘතුගීසි බළකොටුවට ලන්දේසින් විසින් 1655 දී පහර දෙනු ලැබීමත් තදනන්තරව පෘතුගීසින් පරදවා දිවයිනේ මුහුදුබඩ පෙදෙස් ලන්දේසි ආධිපත්‍යයට පත්වීමත් පසුබිම් කරගෙන ගැස්පාර් නමැති පෘතුගීසි රණශුරයකුත් එඩ්මන්ට් නමැති ලන්දේසි රණශුරයකුත් ඩේමියන් පියතුමා නමැති පෘතුගීසි පුජකයෙකුත් ඉනෙස් නමැති පෘතුගීසි තරුණියකත් අවසාන භාගයේ ඔවුන්ට එකතු වූ අලහකෝන් හා සරත් නමැති සිංහල චරිත දෙකත් වටා ගෙතී ඇති මේ නවකථාව ලංකාවේ තත්කාලීන සංස්කෘතික,ආර්ථික සාමාජික හා සාමයික කරුණු පිලිබඳ වසර පසළොසක පමණ කාලයක වැදගත් තොරතුරු අනාවරණය කරමින් නිදැල්ලේ විකසනය වෙයි.    සිංහල පෘතුගීසි දෙමුහුන් කබ්රාල් නමැති කම්මල්කරුවාගේ හා ඩ්‍රීස් නමැති ලන්දේසි වෛද්‍යවරයාගේ චරිතත් කතාවේ විකසනය සඳහා බෙහෙවින් බලපා තිබේ"

රූ. පෙ. විජේසිංහයන් සිය "වීර භූමි" පරිවර්තනය මෙසේ හඳුන්වා දෙයි.

'වීර භුමි' ය, දොස්තර ආර්. එල්. ස්පිටල් සහ ඔහුගේ දියණිය වූ ක්‍රිස්ටීන් විල්සන් යන දෙදෙනා විසින් සම්පාදිත 'බ්රේව් අයිලන්ඩ්' නමැති ඉංග්‍රීසි නවකථාවේ පූර්ණ සිංහල පරිවර්තනයයි.

ස්පිටල් යන නම අසන දකින කවර විටෙක වුවද, කැලෑ පොජ්ජේ මංගච්චන වන්නියේ ඇත්තන් හා ඔවුන්ගේ කැකුලන් හා කැකුලියන් ද පිළිබඳ විසිතුරු සිතුවම් පටක් අප මනැසෙහි නිරායාසයෙන්ම ඇඳී යනු නිසැකය.    ඊට හේතුව, "වයිල්ඩ් සිලෝන්, සැවේජ් සැන්ක්චුවරී, වැනිෂ්ඩ් ට්රේයිල්ස්, වයිට් ලිට්ල් බෝයි හා ලීව්ස් ඔෆ් ද ජන්ගල්" ආදී රමණීය ගද්‍ය පද්‍ය රචනයන් මගින් ඔවුන් අපට පුන පුනා කියා ඇත්තේ එවන් රසබර කථාවන් බැවිනි.

එහෙත්, සිය නවතම කෘතිය වන 'බ්රේව් අයිලන්ඩ්' මගින් ඔවුන් අපට පවසනුයේ ඊට ඉඳුරාම වෙනස් කථාවෙකි.   මෙහිදී ඔවුන් තම හුරු පුරුදු මහ වනය වෙනුවට යුද බිමකුත් සිය හුරතලුන් වන වැදි ජනයා වෙනුවට හැඩිදැඩි රණකාමීන් රැසකුත් සමගය අප හමුවට පැමිණෙනුයේ.   මෙහි එන පාත්‍ර වර්ගයා පෘතුගීසි හා ඕලන්ද ජාතිකයන් වන අතර කථාව දිව යනුයේ පෘතුගීසි යුගයේ පශ්චිම භාගයත් ඕලන්ද යුගයේ ආරම්භක සමයත් හා බැඳි දුර්භාග්‍යමත් කාල පරිච්ඡේදය අතරිනි.   එනයින් සලකා බලන විට 'බ්රේව් අයිලන්ඩ්' ඵෙතිහාසික නවකථාවක් ලෙස හැඳින්වුවද වරද නොවේ.   එය කුමක් වුවද මෙය ඔවුන්ගේ අන් සියළුම නවකථාවනට වඩා රසයෙන් අනුනයැයි කීම අතිශයෝක්ති නොවේමය'

දැන් අපි 'බ්රේව් අයිලන්ඩ්' නැමති නවකථාව ලියැවුණු ආකාරය පිළිබඳව ස්පිටල්ගේ ජීවිත කතාවේ ඇති පරිච්ඡේදයට යමු.

'රිචඩ් ස්පිටල් ඔහුගේ අලුත් පොත - ද පෝට්‍රස් ඇන්ඩ් ද ගල්ප් - (බළකොටුව සහ මුදු බොක්ක) සම්බන්ධයෙන් නිමක් නැති ගැටලුවලට මුහුණ පෑවේය.   ඵෙතිහාසික නවකතාවක් වශයෙන් එය ලියන්නට මුලින්ම අදහස් කර ගෙන සිටියේ ක්‍රිස්ටීන් ය.    එහෙත් ඒ වස්තු බීජය ග්‍රහණය කරගත් ස්පිටල් "හහා! මා ඒක ලියනවා!  පෘතුගීසි යුගය ගැන කතාවක් ලියන්න මා හුඟ කලක් තිස්සේ අදහස් කරගෙන හිටියා!" යි පැවැසීය.'

සැබෑම දුෂ්කරතාව ඉස්මතු වුයේ ස්පිටල්ගේ විශිෂ්ට කෘතියක් සේ සැලැකුණු "සුදු ගෝනා" ගේම - දීර්ඝ කාලයකට උඩදී ඔහු ඈන් ට කී කතන්දරය - දෙවැනි කෘතියක් වශයෙන් "බළකොටුව හා මුදු බොක්ක" (The Fortress and the Gulf) ප්‍රකාශයට පත්කරන්නට ඔහු අධිෂ්ඨාන කිරීමෙන් පසුවය.

එය තමාට අයත් වෙනම පොතක් විය යුතුයැ යි ක්‍රිස්ටීන් තරයේ කියා සිටි නමුත් "සුදු ගෝනා" හි එන හෑන්ස් හා ගැස්පර් පිගේරා යනාදී චරිත - අවශ්‍ය වුවහොත් එකිනෙකට සම්බන්ධ කොට - සිය අලුත් පොතෙහිද පණ ගැන්නීමට ස්පිටල් තීරණය කළේය.

පොතක් නිසා හටගත් පිය - දු ගැටුම දිගින් දිගට ඇදී යද්දී ඉතා උපායශීලිව එයින් ඉවත් වීමට දු තීරණය කළාය.    ගෙදර සාමය පවත්වා ගැනීමට නම් "බළකොටුව"(The Fortress) - ඔවුන් එය හැඳින්වුයේ එසේය - පිළිබඳ විෂය පැත්තකට දැමිය යුතු බවත් එසේ නොකළ හොත් ඒ ගැටුම සදාකාලික "මුදු බොක්කකින්"  (Gulf ) කෙළවර විය හැකි බවත් දු තේරුම් ගත්තාය.

ස්පිටල් යළිත් වරක් බරපතල ලෙස රෝගාතුර වුයෙන් ඔහු ලියමින් සිටි පොතේ වැඩ ඇනහිටියේය.

"ක්‍රිස්ටීන් මට උදව්වක් කරන්න පුලුවන්ද?"

"ඔව්, ඕනෑම උදව්වක්"

"මා වෙනුවෙන් මගේ පොතේ වැඩ ටික කරගෙන යන්න"

එය, ඈ කිසිසේත් කරන්නට කැමතිවු දෙයක් නොවේ. ඇගේ මුලික සංකල්පයෙන් බොහෝ දුරට වෙනස්වී තිබුණු හෙයින් එය කෙසේ පටන් ගත යුතුදැ යි ඕ නොදත්තාය.

"කරුණාකර ඒක පටන් ගන්න ක්‍රිස්ටීන්" ස්පිටල් යළිත් ඇවිටිලි කළේය.

"මා කැමති විදියට ලියන්න ඔබ මට නිදහස දෙනවා නම්...?" ක්‍රිස්ටීන් කීයේ සැක සහිතවය.

"ඔව්"

ඒ ප්‍රතිඥාව අනුව පොතේ වැඩ පටන් ගැනීමට ඉටා ගත් ක්‍රිස්ටීන් ඉතිහාසයේ සැබෑ වීරයෙකු වූ ගැස්පර් පිගේරා ගේ චරිතයත් පෘතුගීසි යුගයත් සහමුලින්ම පර්යේෂණාත්මකව හැදෑරුවාය.  ස්පිටල් අතින් අතිශයෝක්තියට නැගී ඇතැයි මුළු පවුලම ඒකමතිකව නිගමනය කළ, ගැස්පර් ගේ චරිත විග්‍රහයේ විශාල කොටසක් ක්‍රිස්ටීන් ගේ පෑනෙන් නිර්දය ලෙස කැපී ගියේය.   සිය කාලයට ගැලපුණු සදාචාරයෙන් යුත් එහෙත් දළදඬු ශක්තිමත් පෘතුගීසි කපිතාන්වරයෙක් - අලුත් ගැස්පර් කෙනෙක් - ක්‍රිස්ටීන් ගේ ඒ පෑනෙන් ම බිහි වුයේය.

රිචඩ් ස්පිටල්, ක්‍රිස්ටීන් විසින් නැවත ලියන ලද අත් පිටපත සොයා සියතට ගත්තේ මේ අතරතුරේදී ය.   ඒ සමගම නිවස තුළ පරිසරය, මෝසම් වැසි සමය ආරම්භ වන්නට ආසන්නව තිබියදී එළැඹෙන ග්‍රීෂ්ම කාලය මෙන් වුයේය.

ක්‍රිස්ටීන් පුස්තකාලයට පැමිණි හැම මොහොතකම රිචඩ් ස්පිටල් "බල කොටුව" ගැනත් ගැස්පර් ගේ චරිතය වෙනස් කර ඇති ආකාරය ගැනත් අවලාද නගමින් ඇය වෙත කඩා පැන්නේය.   ඒ හැම අවස්ථාවකදීම ඇය හනික පුස්තකාලයෙන් පිටවී ගියාය.

නිවැසියන් ගේ කතාබහට ලක්වුණු වෙනත් විෂයයක් නොවූ තරම්ය.   ක්‍රිස්ටීන් නැවත ලියා තිබු කොටස් කපා දැමීමත් ඇය අතින් කැපී ගිය කොටස් යළි ඇතුළත් කිරීමත් සඳහා ස්පිටල් බොහෝ කාලයක් ගත කළේය.   නිවස තුළ ඇතිවුණු තත්ත්වය හැම කෙනෙකුගේම දොම්නසට හේතු විය.

"නුඹ මගේ ගැස්පර් කාමුකයකු බව‍ට පත් කළා!"

එකිනෙකට ප්‍රතිචාර වශයෙන් උණුසුම් බහින් බස් හුවමාරු වුයේය.

"ඔහු සමහර විට එහෙම කෙනෙකුව ඉන්නට ඇති. ඔබ හිතන විදියේ සාන්තුවරයෙක් නොවෙයි! සාන්තුවරයෙකු වශයෙන් හැඳින්වී නැත්තේ ඔහු කිසිම හේතුවක් නැතිව සතුරන්ගේ අතුණු බහන් කොක්කකින් එළියට ඇද්ද නිසායි!"

"නුඹ ඔහු සල්ලාලයකු බවට පත් කළා!"

"සමහර විට එයා එහෙම කෙනෙකුව ඉන්නට ඇති!"

"ඒ චරිතය වෙනස් කරන්නට උඹට කිසිම අයිතියක් තිබුණේ නැහැ"

ක්‍රිස්ටීන් යළිත් රිචඩ් වෙතින් පලා ගියාය.  ටික වේලාවකට පසු එකම වචනයක් සටහන් වුණු කඩදාසි කැබැල්ලක් ක්‍රිස්ටීන් අතට ආයේය.

"කණගාටුයි" එහි සටහන්ව තිබිණ.

දිගු වේලාවක් ඔහු සමග අමනාපව සිටීම කිසිසේත් කළ හැක්කක් නොවීය.

විවිධ අවස්ථා පසු කරමින් එසේ ඉදිරියට පැමිණි "බළකොටුව" එහි අවසන් අදියරට එළැඹියේ එය පටන් ගැනුණු දා සිට අවුරුදු දහයක් ගතවීමෙන් පසුවය.   රිචඩ් ස්පිටල් යළිත් වරක් ලෙඩ ඇඳට වැටුණේය.   පොත අවසන් කරන ලෙස හෙතෙම නැවතත් ක්‍රිස්ටීන් ගෙන් ඉල්ලා සිටි හෙයින් ඕ තවත් වරක් ඒ කටයුත්තට අත ගැසුවාය.

කලින් වාරයේ ක්‍රිස්ටීන් විසින් ඉවත් කරන ලදුව රිචඩ් ස්පිටල් විසින් යළි ඇතුළත් කැරුණු විස්තර නැවතද බැහැර කිරීමට වැඩි දෙයක් මේ වාරයේ නොකිරීමට ක්‍රිස්ටීන් වග බලා ගත්තාය.    එය රිචඩ් ගේම පොතක් බවට පත් කිරීමට මෙන්ම එහි චරිත පිළිබඳ ඔහුගේ සංකල්ප වෙනස් කිරීමෙන් ඔහුගේ සිත නොරිදවීමටත් ඕ පරෙස්සම් වුවාය.

රෝගී වුණු හැම අවස්ථාවකදීම රිචඩ් වඩවඩාත් දුර්වලවූ අතර පොත ඉක්මනින් ප්‍රකාශයට පත්කිරීම ඔහුගේ ප්‍රබල අපේක්ෂාව විය.   ලංකාවේ ප්‍රකාශන ආයතනයක් එය පළ කිරීමේ වගකීම බාරගත් හෙයින් ප්‍රමෝදයට පත් රිචඩ් ස්පිටල්, සම කර්තෘ වශයෙන් ක්‍රිස්ටීන් ගේ නමද පොතට යෙදිය යුතු යැයි කියා සිටියේය.

ඒ පොත වෙනුවෙන් ඇගෙන් හොඳ සේවයක් ඉටු නොවීය.   කාලය හැම විටම "බල කොටුවේ" හතුරෙක් විය.  දස වසරක් තිස්සේ නැවත නැවත ලිවීම නිසා පොතේ ජීව ගුණය බොහෝ දුරට සිඳී ගොස් තිබිණි.   රිචඩ් ස්පිටල් කලින් ලියු පොත මේ කෘතිය කෙරෙහි බලපෑ හෙයින් අලුත් ග්‍රන්ථයෙහි ඊටම විශේෂවූ අනන්‍යතාවක් නොතිබිණි.    ඕනෑම පොතක අවශ්‍යයෙන්ම තිබිය යුතු ඒකීයත්වය මෙහි දක්නට නොලැබෙන්නේ රිචඩ් ස්පිටල්ගේ දු ද ඊට අත ගැසූ හෙයිනි.

එසේ වුවත්, නීල මුසු හරිත වර්ණය පසුබිම් කොටගෙන පෘතුගීසි රුවල් නැව් යාත්‍රා කරන ආකාරය දක්වන පිට කවරයද "බ්‍රේව් අයිලන්ඩ්"(Brave Island) යන අලුත් ග්‍රන්ථ නාමයද ඇතිව සිය නිර්මාණය ප්‍රකාශයට පත්ව තිබෙනු දැකීමෙන් වයෝ වෘද්ධ ආර්.එල්. ස්පිටල් බුක්ති වින්දේ සීමාන්ත ප්‍රමෝදයකි.   එය ඉතා වැදගත් විය.  මේ පොත එළි දැක්වුයේ කොතරම් දේ කැප කිරීමෙන් ද යන වග දන්නෝ ස්පිටල් පවුලේ සාමාජිකයෝ පමණකි.   නිර්මාණයක් වශයෙන් එය සාර්ථක නොවූ නමුත් ඒ සඳහා දරන ලද කටුක ප්‍රයත්නයෙන් ඊට වටිනාකමක් එක්වී තිබේ෴

(වන වැදුණු දොස්තර, ක්‍රිස්ටීන් ස්පිටල් විල්සන්. පරිවර්තනය, ප්‍රේමචන්ද්‍ර අල්විස්, සූරිය ප්‍රකාශකයෝ,1998)

9 comments:

  1. මම මේ පොතේ අභය හේවාවසම්ගේ පරිවර්තනය කියවා තිබෙනවා - ඒකීයත්වයක් නැති බවක් මා නම් දුටුවේ නැහැ -මගේ අදහස නම් එය ඉතා හොඳ ක්‍රියාදාම චිත්‍රපටයකට වස්තු බීජ සපයන බවයි

    ReplyDelete
  2. වීර දිවයින මට අල්ලලාම ගියේ නැති පොතක්.. අර කියලා තියෙන්නා වගේ කලින් ලියාපු පොතේ බලපෑම මේකට තදින්ම දැනිලා තියෙනවා..

    මගේ මතය අනුව ඉහළින්ම තියෙන්නෙ සුදුවැද්දා - ඒකෙ චරිත හා සිද්දි විස්තර කිරීම ඉතා ඉහළයි. ඊට පස්සෙ සුදු ගෝනා හා අන්තිමටම වීර දිවයින..

    ReplyDelete
    Replies
    1. මට හිතුනේ සුදු ගෝනා ලමයෙකුට/ටීනේජර් කෙනෙකුට වඩා ආස හිතෙනව කියල. සමහරවිට මං ඉස්සෙල්ලම කියෙව්වෙ ඒක නිසා වෙන්න ඇති. සුදු වැද්දා පොතේ චරිත ඩිවලොප්වෙලා එක ඇත්ත.
      බුර් කියන්නේ සාහිත්‍යමය අගය ගැන නේ? මැකී ගිය දඩ මං වඩා හැඟීම් දනවන (poignant) එක කියලා හිතෙන්නෙ නැද්ද? සමහරවිට ඒකෙ වාර්ථාමය ගතියක් තියන නිසා නවල් එකක් විදිහට සාහිත්‍යමය අගය වෙනස් / අඩු ඇති. එතකොට වන සරණ කොහොමද?

      Delete
    2. මේක දැක්කද?

      http://threeblindmen.photoshelter.com/gallery/Dr-R-L-Spittel-Collection/G0000si3DuR4gYS4/C0000ho.zxgezp.w

      මං ක්‍රිස්ටීන්ගේ memoir ගත්තා. අවු 2කට ඉස්සර.
      http://www.sundaytimes.lk/100328/Plus/plus_20.html
      තාම කියවන්න ලැබුනේ නෑ. හැලපෙගෙ පෝස්ට් කියෙව්වට පස්සෙ ඒක කියවන්න ඕනෙ කියල හිතුනා. හැලපෙගෙ පෝස්ට් නිසා මං පොත් අරගෙන තියනවා/ තියෙන පොත් කියවන්න පටන් අරන් තියනවා. :-))


      Delete
    3. සුදු වැද්දා සහ සුදු ගෝනා පොත් දෙකේ එන චරිත හා සිදුවීම් තවත් ඉදිරියට ගෙන යමින් "සුදු කළුවර"නමින් නවකතාවක් කුමාරසිරි ජ‍යන්ත නම් කතුවරයෙක් විසින් රචනා කර තිබෙන බව අසා තිබෙනවා.

      Delete
    4. ඔවු, සාහිත්‍යමය වශයෙන් ගත්තම සුදුවැද්දා ඉහළින්ම තියෙනවා. මැකී ගිය දඩමං/ වනසරණ කියන්නෙ කතන්දර නෙවෙයි නේ. ඒවයෙ තියෙන්නෙ වෙනමම ආකාරයේ රස විඳීමක්.

      Delete
  3. Far-off things ස්පිටල් ගේ තව පොතක්.

    ඔහු මෙඩිකල් පොත් කීපයකුත් ලියල තියනව. විශේෂයෙන් සර්ජරි ගැන

    ReplyDelete
  4. අභය හේවාවසම් ගේ පරිවර්තන පොත් නම් අපුරුයි.

    ReplyDelete
  5. අප සැමගේ හදගත් රසිකොලොජිහි පන්සියවන ලිපිය පසුගිය දින පලවිය. මෙතරම් දුරක් නොනවත්වා මළවිකාර, බහුබූත ලිවීම ඒවා කියවීම තරම්ම වෙහෙසකර කටයුත්තකි. රසිකොලොජියට සුබපැතුම්!

    කකා නම් එකෙක් සිනුවර බ්ලොග් ලියපී
    ජොකා ගැන ලියා උගේ පටි හිට් ගැනපී
    නිකා නොහිට තව වෙන බ්ලොග් අල කරපී
    කකා රසිකොලොජියෙක් වී හැව ඇරපී

    කන හැටි පාන් බානා හැටි තට්ට හිස
    ලොකු පම්පෝරි ගැන හම්පඩ ටොප් කමිස
    ටෝපල් සැටිපිකට් තවුසන්ඩ් ටෝක් මිස
    වැදගත් දෙයක් ලියලා නැත කිසි දවස

    - පුත්තලම කනිෂ්ඨ කවි සමාජය (පු.ක.ක.ස)

    ReplyDelete