Wednesday, January 10, 2018

ක්ලැරන්ස් විජේවර්ධන සහ කණ්ඩායම් සංගීතය.


අද මා ලියන්නට යන්නේ කණ්ඩායම් සංගීතය තුළ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ භූමිකාව ගැනය.   මෙම කොටසද උපුටා ගන්නේ සුනිල් ආරියරත්නයන්ගේ 'ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය' නම් ග්‍රන්ථයෙන් බැවින් කර්තෘ ගේ සහ ප්‍රකාශකයන්ගේ හිමිකම් ගැන උනන්දු වන පාඨකයන්ට මා මීට පෙර ලියූ පෝස්ටුවේ ඒ සම්බන්ධයෙන් ලියු කොටස මීටද අදාළ වන බව සඳහන් කරමි.

"කණ්ඩායම් සංගීතයෙන් සිනමා ක්ෂේත්‍රයට එළඹ ජනප්‍රිය ප්‍රතිරූපයක් ගොඩනගා ගත් එකම තැනැත්තා ක්ලැරන්ස් විජේවර්ධනය.   ජනක සහ මංජු (1978) චිත්‍රපටයට ඔහු ගැයූ 'ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑවේ' ගීතය (සංගීතය: ප්‍රේමසිරි කේමදාස / ගීත රචනය: ධර්මසිරි ගමගේ) ඒ වසරේ ජනප්‍රියම චිත්‍රපට ගීතයයැයි කිව හැකිය.   ක්ලැරන්ස් සංගීත අධ්‍යක්ෂණය කළ 'සිකුරු ලියා' (1975)  'අපේක්ෂා' (1978) යන චිත්‍රපටවල ගීතද අතිශයින් ජනප්‍රිය විය. 

කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයෙන් තනු නිර්මාණකරණයට ප්‍රවිෂ්ට ව ජයග්‍රහණ අත්පත් කරගත් අය අතරින් ප්‍රමුඛයා ක්ලැරන්ස් විජේවර්ධනය.   දෙවැන්නා, මෙල්රෝයි ධර්මරත්නයි.    ක්ලැරන්ස්, අවසර නැත මට ඔබෙ අත ගන්නට, එදා රෑ ගුවන් තොටුපොළේ දී මා, ගන අඳුරේ රළ පතරේ (මිල්ටන් මල්ලවාරච්චි) මල් පිබිදෙන එක වසන්ත සමයක (ජෝතිපාල) සීත රෑ වසන්තේ (සනත්/මල්කාන්ති) විකසිත වත කමලේ (සනත්) මතකය ඇසුරින් (ඉන්ද්‍රානි පෙරේරා) වැනි ගී තනු රැසක් නිර්මාණය කළේය.

කණ්ඩායම් සංගීතය තුළින් ඒකල ගායක ගායිකාවෝ කිහිප දෙනෙක්ද බිහි වුහ.    නෙවිල් ප්‍රනාන්දු (ලොස් කැබලෙරෝස්) ඇනස්ලි මාලේවන සහ ඉන්ද්‍රානි පෙරේරා (මූන්ස්ටෝන්ස්) අනිල් භාරතී, ලාංකිකා පෙරේරා, සහ ක්ලැරන්ස් විජේවර්ධන ( ගෝල්ඩන් චයිම්ස්) ශිරෝමි ප්‍රනාන්දු (ධර්මරත්න බ්‍රදර්ස්) මිනෝන් රත්නම් (ජෙට්ලයිනර්ස්) මැක්ස්වෙල් මෙන්ඩිස් (මෙන්ඩිස් පෝසම්) ආදී වශයෙනි.

කණ්ඩායම් සංගීතය කූඨප්‍රාප්තියට පත්වූ වසර කිහිපය ලෙස 1970-1975 අතර කාලය සැලකිය හැකිය.  ඒ වනාහි ක්ලැරන්ස් විජේවර්ධන, කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයෙහි රජ කළ අවධියයි.   සැබැවින්ම නෙවිල් ප්‍රනාන්දු ආරම්භ කළ සිංහල කණ්ඩායම් ගීය, අභිෂේක කළ තැනැත්තා ක්ලැරන්ස් විජේවර්ධන යැයි කිව හැකිය.   

1943 හපුතලේ දී උපන් ක්ලැරන්ස් ආතර් සෝමසිංහ විජේවර්ධන, පාසල් සමයේදීවත් සංගීතය හදාළේ නැත.   පාසල් කිහිපයක සිප් සතර හදාරා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පාසල් දිවිය අවසන් කරන ඔහු තුළ ගිටාරය වැයීමේ නිසග හැකියාවක් ඉස්මතු වෙමින් තිබිණ.    රත්නපුරයේ බටුගෙදර පදිංචියට ආ ක්ලැරන්ස් ගිටාරය වයමින් ගී තනු නිර්මාණය කළේය.    ගී පදමාලා ද ඔහුගේම විය.   මූන්ස්ටෝන්ස් කණ්ඩායම පිහිටුවන විට ඔහු අතින් ගී පදමාලා සහ තනු රාශියක් නිර්මාණය වී තිබිණ.   

1966 සිට 1972 දක්වා පුරා සය වසරක් 'මූන්ස්ටෝන්ස්' සඳහා සියලු ගී නිර්මාණය කළේ ක්ලැරන්ස්ය.

1972 දී ක්ලැරන්ස් 'මූන්ස්ටෝන්ස්' කණ්ඩායමෙන් ඉවත්වී විජිත් පීරිස්, ශානක පෙරේරා. ඩික්සන් ගුණරත්න, අනිල් භාරතී, සමග අලුත් කණ්ඩායමක් පිහිටුවා ගත්තේය.    මේ කණ්ඩායම සඳහා ජෙරල්ඩ් වික්‍රමසුරිය යෝජනා කළ නම 'The Maharaja Five' යනුයි.     එහෙත් පසුව The Golden Chimes' යන නම යොදන ලදී.    මෙහි ප්‍රධාන ගායිකාව වුයේ ලාංකිකා පෙරේරා ය.    ක්ලැරන්ස් - කිමද නාවේ, මලට බඹරෙකු සේ, ගමෙන් ලියුමක් ඇවිල්ලා, වැනි ගී නිර්මාණය කළේ 'ගෝල්ඩන් චයිම්ස්' කණ්ඩායම වෙනුවෙනි.  

මඳ කලකින් ගෝල්ඩන් චයිම්ස් වෙතින් ඉවත්වූ ක්ලැරන්ස් 'සුපර් ගෝල්ඩන් චයිම්ස්' නමින් සංගීත කණ්ඩායමක්ද එතැනින් ඉවත්වී 'මදාරා' නමින් සංගීත කණ්ඩායමක්ද පිහිටුවා ගත්තේය.   

සුපර් ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම, විවිධ තැටි ලේබල් සඳහා ගීත රාශියක් ගායනා කළහ.   LOTUS ලේබලයට 'කියන්න සුළඟේ ඇතුළු ගී 4 කි.     රජයේ චිත්‍රපට අංශයට අයත් ශබ්දාගාරයේ දී මේ ගී පටිගත කරන ලද්දේ දයා ද සිල්වා විසිනි.     තරංගා ලේබලයට 'මලට බඹරෙකු සේ' ඇතුළු ගී 4 කි.    ජෝනෙත් ශබ්දාගාරයේ දී ඩොනල්ඩ් අයිවන් විසින් මේ ගී පටිගත කරන ලදී.    සරසවි ලේබලයට 'දුවනි', 'නිල්  අහසේ','ඔබ සොයා', 'මහවැලි' යනුවෙන් ගීත හතරකි.    බාලා සහ රංජිත් යන නාද ශික්ෂකයන් විසින් නුගේගොඩ A.E.S ශබ්දාගාරයේදී මේ ගී පටිගත කරන ලදී.    Artek Record ලේබලයට 'ළපලු සෙවණේ, 'එක දවසක්', 'කල්පනී දුවනී', 'කඳුලින් තෙමිලා' යනුවෙන් ගීත හතරකි.    මේ තැටිය 'Clarence and Indrani with Super Golden chimes' නම් විය.

ගීත රචනය, තනු රචනය, සංගීත සංයෝජනය, ගායනය යන සකලවිධ අංශවලින් ක්ලැරන්ස් විජේවර්ධනයෝ කණ්ඩායම් සංගීතය උසස් ස්ථරයකට ගෙන ආහ.    කණ්ඩායම් සංගීතකරුවන් අතර සිටි දක්ෂතම ගීත රචකයා ක්ලැරන්ස් විජේවර්ධන යැයි කිව හැකිය.    ඔහුගේ රචනාවලට සුන්දර ගීතානුභූතීන් පාදක වූ අතර, ඒවා ගීතෝචිත බසකින් පැවසීමේ ශක්‍යතාව ද ඔහු සතු විය.    ඔහුගේ 'සිහින් සිනිඳු රිදී රේණුවල නැගී' නමැති ගී පදමාලාව ගැන බන්දුල පද්මකුමාර නමැති විචාරකයා 1973 අප්‍රේල් 21 වැනිදා 'විසිතුර' පත්‍රයට මෙසේ ලිවීය.

'මෙවැනි ගී නිර්මාණ කණ්ඩායම් ගී අතර විරලය.  එයට හේතුව, සංගීතය සංගීතය පිලිබඳ පුළුල් දැනුමත් ජීවිතාබෝධය හා සියුම් වින්දන ශක්තියත් සමග ප්‍රතිභා ශක්තිය ද ඇති කලාකරුවන් සංගීත කණ්ඩායම් අතරෙහි හිඟ වීමයි.    එවැනි හැකියාවක් හා දැනුමක් ඇති ක්ලැරන්ස් විජේවර්ධන, කණ්ඩායම් ගී නිර්මාපකයන් අතර පෙරමුණේ සිටියි.

සිහින් සිනිඳු දුහුල් රිදී රේණුවල නැගී
සිහින් දෙපා පොඩි හොවලා ලොවට එන සැටී
පළඟැටි ගී තනුව අනුව මලක් මත නැගී
සඳ කුමරිය පිණි කැට නා නැවත යන සැටී

සඳ කුමරියෙ කුමරු ඔබේ නොදක ඇයි මෙසේ
කලකට ඔබෙ වත පෙන්වා නැවත හැකිල යේ
කුමරු සොයා යන්නට ඔබ නෑ සැරසෙන්නේ
සඳුන් ගසයි සමන් ලතාවයි මුමුණන්නේ

සිහින් පියලි මතට නැගී නැටුම් නට නටා
දුහුල් සිනිඳු පිනි කැට මත දෙපා හෙළ හෙළා
කුමරු සොයා යනවිට වන සිරිය බල බලා
හිරු කුමරුන් කඳු අතරින් එබෙයි හිනැහිලා

ඩී. බී වර්ණසිරි නමැති විචාරකයා 1971 ඔක්තෝබර් 15 වැනිදා 'පරසතු' පත්‍රයට ක්ලැරන්ස් ගේ 'මම එදා ගොසින්' ගීතය ගැන ලියා තිබුණේ මෙයයි.    ' මේ ගීයෙන් බොළඳ පෙම් යුවළකගේ ආදර හැඟුම් හා කෝමල කවට විලාසය මැනැවින් පිළිබිඹු වේ.    තරුණ ප්‍රේමයේ 'සුසුම් අදහස්' මෙයින් මනා ලෙස හුවා දැක්වේ.   මගේ අවංක හැඟීම නම් බීට්ල්ස් හා ඊට පෙර සිටි ක්ලිප් රිචඩ් ආභාසයෙන් බිහිවුණු අපේ ගිටාර් කල්ලි අතරින් ඉතාම නම්‍ය වූ මුහුණුවරක් ගීතයට එක් කළේ ක්ලැරන්ස් විජේවර්ධන බවයි.'

ක්ලැරන්ස් ගේ 'කාගෙද ගොන් වස්සා' පදමාලාවද යොවුන් ප්‍රේමය අදිසි ලෙස තැවරූ සොඳුරු කතා සිඟිත්තකි.   මැණිකාගේ ගොන් වස්සා සිරිමල්ගේ කුඹුරට පැන කුඹුර පාලු කරලාය.   සිරිමල්, ගොන් වස්සා අල්ලාගෙන බැඳ දමයි.   'කාගෙද ගොන් වස්සා ? ' ඔහු අසයි.    සිදුවූ අකරතැබ්බය අසන මැණිකා ගෙදරින් පැණි වරකා බෑයක් ද ගෙන සිරිමල් හමු වන්ට එයි.     වරකා බෑයට හිලව් කර සිරිමල් හරකා මුදාහරී.   ඒත් තවත් අපූරු යෝජනාවක්ද ඉදිරිපත් කෙරේ.    ඒ 'මා ගැන තව සලකා - දෙනවද බහ මැණිකා' යනුවෙනි.

'මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා', 'කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද', 'කිමද නාවේ', 'මාලිනියේ', 'වන බඹරෝ- වන බඹරෝ - රෝස මලක් පිපිලා බඹරෝ' ආදී ප්‍රශස්ත පදමාලා රැසක් ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත අතර වෙයි.    එමෙන්ම සාහිත්‍යවේදියෙකු නොවූ ඔහුට ගීත රචනයේදී අත්වැරදීම් සිදුවූ තැන්ද දක්නා ලැබේ.    'වන දෙව්ලිය තුරුලේ' නමැති ජනප්‍රිය ගීතය ගතහොත් එහි 'පෙර කල සිත්තරුවෝ - බිතු සිතුවම් නෙළුවෝ', සඳ වැනි මුව ඇති රූබර ළඳුනනි' වැනි සදොස් පද දැක්විය හැකිවේ.   සිත්තරුන් බිතු සිතුවම් අඳිනවා විනා නෙළන්නේ නැත. නෙළන්නෝ මූර්ති ශිල්පියෝය.    ක්ලැරන්ස් අතින් 'ළඳුනනි' යනුවෙන් විකෘති වන්නේ 'ළඳුනි' යන පදයයි.

ක්ලැරන්ස් ගේ ගී තනු රචනා, ඔහුගේ ගී පද රචනාවලට වඩා ප්‍රශස්ත මට්ටමෙහි ඒවාය.    මේ ගී තනු බිහිවී ඇත්තේ පද රචනාවත් සමගය.   පදමාලාව නිර්මාණය වෙද්දීම තනුව නිර්මාණය වී ඇත.   නැතහොත් තනුව නිර්මාණය වෙද්දීම පදමාලාව නිර්මාණය වී ඇත.    නිර්මාණද්වයම ඔහුගේය.   එනයින් ඔහු 'වාග්ගේයකාර' නම් වෙයි.   'වාග්ගේයකාර' යනු පද රචනයත් තනු රචනයත් දෙකම කළ හැකි තැනැත්තාය.    මෙ නිසාදෝ ඔහුගේ ගීවල තනු පදමාලාව හා අත්‍යන්තයෙන්ම බැඳී සිටී.   ඒවා පදමාලාවෙහි අරුතට සාකල්‍යයෙන් ගැලපෙයි.    සෞන්දර්යාත්මක බවින්ද යුක්තය.  දිල්හානි දුවණි, වනදෙව් ලිය තුරුලේ, සුමුදු මල් පිපුණු අතු කොණේ, මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා, ගමෙන් ලියුමක් ඇවිල්ලා, කිමද නාවේ ආදී ගීත රාශියක් මේ සඳහා නිදසුන් වශයෙන් ගත හැකිය.

කණ්ඩායම් සංගීතකරුවන් සඳහා වෙනත් රචකයෙකු ලියු පදමාලාවකට තනු නිර්මාණය කිරීමේදී වුවද ක්ලැරන්ස් දැක්වූ කුසලතාව කරුණාරත්න අබේසේකරගේ 'දිලීප පොඩි පුතු, උපාලි ධනවලවිතානගේ 'මුව හසරැළි සාගරේ මුතුවැලක් වෙලා, කුලරත්න ආරියවංශ ගේ 'දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා' වැනි ගීවලින් පෙනේ.

ක්ලැරන්ස් ගේ සංගීත සංයෝජන ද මාධුර්යයෙන් සමන්විතය.   එයින් ඔහුගේ තනු හා පදමාලා දීප්තිමත් වී තිබේ.   කණ්ඩායම් සංගීතයට විද්යුත් ගිටාර් භාවිතා කළ මුල්ම කණ්ඩායම 'සමනලයෝ' වුවත් එය විධිමත්ව ක්‍රමවත්ව ඖචිත්‍ය පුර්වකව සිදු කළ තැනැත්තා ක්ලැරන්ස්යැයි කිව හැකිය.

1996 දෙසැම්බර් 15 වැනිදා නොකල්හි මියැදෙන විට ක්ලැරන්ස් විජේවර්ධන, කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයෙන් ඉවත්වී සිටියේය.   1988 අගෝස්තු 1 වැනි දා 'සත්සර' පත්‍රයට ඔහු මෙසේ ප්‍රකාශ කර තිබිණ. '..කාලයත් සමග ඕනෑම දෙයක් වෙනස් වෙනවා.  සංගීත කණ්ඩායම්වලට වුණත් එය සාධාරණ ධර්මතාවක්.  එසේ නොවුණොත් එක තැන රැඳුණු ගලේ පාසි බැඳෙනවා වගේ වටිනාකමක් නැතිව යනවා.   ඒ නිසා මම තීරණය කළා තනිව ම ගී ගයන්න.'

ක්ලැරන්ස් විජේවර්ධන හැරුණු කල සෙසු බොහෝ කණ්ඩායම් සංගීතකරුවන් ගී පදමාලා ගැන සැලකිල්ලක් දැක්වුයේ මැ නැත.   ඒවා කණ්ඩායම් නායකයා විසින් ඉංග්‍රීසියෙන් ලියන ලදුව කවුරුන් ලවා හෝ සිංහලට පරිවර්තනය කරගත් අවස්ථා හෝ කඩතොළු සිංහලෙන් රචනා කර ගත් අවස්ථා බහුලව දකින්නට ලැබෙන්නේ එබැවිනි.   'රට රකිනා ගොවියා- වපුරයි අමෝරා,  ' ගොවියට අප රට කා හට සෙත සලසාලා, 'දර කඩලා වන රොද්දෙන්' (ලා බම්බාස් ) 'සඳ එළියේ ළමෝ ලපටි ක්‍රීඩ කරනවා' (සමනලයෝ) වැනි අව්‍යක්ත පද ඊට නිදසුන්ය.  

තනු නිර්මාණය හා සංගීත සංයෝජනය විසින් ක්ලැරන්ස් විජේවර්ධන ට සමකල හැකි තැනැත්තෙකු කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයෙහි සිටියා නම් ඒ නෙවිල් ප්‍රනාන්දු පමණි.   එහෙත් නෙවිල්ට සිය සංගීත මෙහෙයෙන් අසින් අසක් හෝ සිදු කරන්ට දෛවය ඉඩ නුදුන් නිසාත් ඊට වඩා වැඩි කාලයක්, වැඩි නිර්මාණ සංඛ්‍යාවක් කිරීමේ අවකාශය ලද නිසාත් ක්ලැරන්ස්, නෙවිල් අභිභවා සිටින බව පැහැදිලිය.   සෙසු බොහෝ කණ්ඩායම් සංගීතකරුවන්ට මධුර ගී තනු දෙක තුනකට වඩා කර ගැනීමට නුපුළුවන් වූ බවක් පෙනෙන්ට තිබේ෴

ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය: මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රකාශනය: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.2002.

7 comments:

  1. ක්ලැරන්ස් ගියා හුඟක් කලින් වැඩියි.. :?

    අර සදොස් කියල කියන බිතු සිතුවම් නෙළුවො, ලඳුනනි වගේ ඒවා නම් 'සදොස්' කියල ලොකුවට ගරහන්න ඕනි ඒවා නෙවෙයි මට හිතෙන්නේ..ගීයට ගැලපෙන්න යොදපු වචන අර්ථය හොඳටම පැහැදිලියිනේ.. වාග්ගේයකාර ඒවලින් පිට මම ආසම එක 'දිනෙක මේ නදී තිරේ..'.. මේ ලියනකොටත් නැටවෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. දෙමළු මරපු හමුදාකාරයා මෙන්න ඇවිත්.

      Delete
    2. ආ.. තම්බි.. එප්පුඩි සුහම්? :)

      Delete
    3. අයිසෙල, අහල තියෙනව ද සිංදුවක්
      " ලොවේ සැමා.. එක ම දැයේ.... දූ දරුවෝ වෙත් වා" කියල......?

      Delete