Thursday, July 19, 2018

අලුයම් සිහින.


'අලුයම් සිහින' තමිලිනී ජෙයක්කුමාරන් විසින් රචනා කරන ලද ලද එකම කෙටිකතා සංග්‍රහයයි.  එම පොතේ එන 'වැසි කල්හි රැයක්' නම්වූ කෙටිකතාව අපි අද රස විඳිමු.

එය 1993 ඉල් මාසයේ 12 වැනිදාය.  මාස් කන්නයේ වර්ෂාව 'හෝ...හෝ...' ගා ඇද හැලෙමින් තිබුණි.  තුවක්කු කටවල් වලින් පිටවන ගිනියම් උණ්ඩ 'ඩිෂූ...ඩිෂූ...' හඬින් කන් බිහිරි කරවමින් ඉගිල ගියේය.  යුද පෙරමුණෙහි අඛණ්ඩ ව හඬ නංවමින් පිටවන බර අවි ප්‍රහාර වලට ගොදුරුව පසෙක පිහිටි සූරිය වැටත්, තල් ගසුත් අසුරු සැණින් බිඳී වැටුණි.  මිසයිල ප්‍රහාර පුපුරා ගොස් කැබලි විසිරුණු ස්ථානයන්හි හැරුණු අගල් තුළ ළිංවලටත් වැඩි වේගයකින් වතුර උනන්නට වුයේය.  අමු කොළ සහ දළු දැවෙන පුළුටු ගඳත්, ගෙන්දගම් දුමාරයේ ගඳත්, අමු ලේවල ගඳත් එක්වීමෙන් ඔක්කාර ගතියකුත්, ක්ලාන්ත ගතියකුත් ඇති කළේය.

එදින අලුයම එක හමාරට ආරම්භ වූ යුද්ධය මුළු දවස පුරාම අඛණ්ඩ ව පැවතුණි.  හෙලිකොප්ටර් මාරුවෙන් මාරුවට පැමිණ ප්‍රහාර දියත් කරමින් තිබුණි.  ප්‍රහාරක යානාද බෝම්බ අවසන් වන විට යළි යළිත් පුරවාගෙන පැමිණ ගුවනේ සිට බිම හෙළීය.  ඒ වන විට වේලාව මධ්‍යාහ්නය ද ඉක්මවා තිබෙන්නට ඇත.  වසර ගණනාවක් වී වගා නොකිරීම නිසා පුරන් ව පැවති ඒ විශාල වෙල්යාය වල් පැලෑටි වලින් පිරී තිබුණි.  අලුත්වැඩියා නොකිරීම නිසා සිහින් වී කැඩී බිඳී ගොස් තිබු නියරවල් දෙස බලන විට ඇති වන්නේ පශ්චාත්තාපයකි.  ඒ වෙල් යායේ ගෙවී ගිය ගැට්ට සහිත නියරවල් මගේ කණ්ඩායම සිය ආරක්ෂාව සඳහා යොදාගෙන තිබුණි.

බොහෝ විට අද රෑටද මගේ කණ්ඩායම යළිත් යුද පෙරමුණට යැවිය හැකිය යන බලාපොරොත්තුවෙන් සිටියෙමි.  මට ලබාදී තිබු පහළොස් දෙනාගෙන් යුත් කණ්ඩායමෙන් ඊයේ රෑ සිදුවූ සටනේදී තුවාල ලැබුවන් ද මිය ගිය අයද හැරුණු විට ඉතිරිව සිටියේ හය දෙනෙක් පමණි.  අනික් කණ්ඩායම්වල ඉතිරි වුවන්ද එකට එක්කර කණ්ඩායම් යළි ප්‍රතිසංවිධානය කරන තෙක් හානිවී තිබු ඒ ඒ කණ්ඩායම්වලට කෙටි විවේකයක් ලැබුණි.

ඒ සටනේදී තුවාල ලැබුවන් වහ වහා පසුපසින් සකස් කර තිබු වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන යන ලදී.  මිය ගිය අයගේ ශරීර පමණක් ඒ දක්වාත් රැගෙන නොයාම නිසා වැසි දියෙන් තෙමී, පෙඟීී විකෘති වෙමින් පැවතුණි.  ඒවා දෙමාපියන්ට හා භාරකරුවන්ට ලබා දෙන තුරු යළිත් කරදරයක් නොවන සේ ආරක්ෂා කර ගත යුතුව තිබුණි.

සංගවී මා ළඟ නිදා සිටියාය.  ඈ සැමවිටම නිදාගත්තේ එලෙස උඩුබැලි අතටය.  එසේ නිදා නොගතහොත් නින්ද නොඑන බැව් ඇය මා සමග පවසා ඇත.  ඇය කුඩා කලදී 'ගෑනු ළමයි එසේ නිදා ගැනීම නුසුදුසුය' යි පවසමින් ඇගේ ආච්චි වරින් වර ඇයට දොස් තබා ඇති බව ද වරක් පැවසුවා මතකය.  එසේ වුවත් එම පුරුද්ද මා දන්නා කාලයේ පටන් ඇයට අත් හරින්නට හැකි වුයේ නැත.  ඇගේ හිස එක් පැත්තකට හැරී තිබු අතර, කට මඳක් විවර කරගෙන ඈ නිදා සිටින්නීය.  සීතලට හිරිවැටී ගිය අතක් පපුව මත තිබුණි.  අනිත් අත පැත්තක තියාගෙන සිටියි. 

මාස හය හතකට පසු සංගවී එසේ බොහෝ වේලාවක් නිදා සිටියේ එදාය.  ඊයේ දිනයේ පවා ඇය මා සමග පැවසුවේ 'මේ සටන අවසන් කරපු ගමන් ඉස්සෙල්ල ම නිදහසේ හොඳ නින්දක් දාන්න ඕන' යනුවෙනි.  එය සාධාරණය.  මෙම සටනට සුදානම් වීම සඳහා වසරක පමණ කාලයක් තිස්සේ අඛණ්ඩ ව අභ්‍යාස වල නියැලීමටත්, නිදි වර්ජිතව රාත්‍රී කාලයන් ගත කිරීමටත් අපට සිදුවිය.

සටන පටන් ගැනීමට පෙර දින රාත්‍රියේ පුර්ව භාගයේදී මඳ වේලාවක් වැස්ස තුරල් විය.  කළුවන් අහස් කුසෙහි කාවද්දන ලද දියමන්ති වැනි තාරකාවල දීප්තිය සිත් ආකර්ෂණය කර ගනිමින් බැබළුණි.  අපේ සටන් කරුවන් පන් දහසක් සහභාගී වන මෙම සටන සම්බන්ධ වැඩ කටයුතු වල අවසන් අදියර ද නිමා කෙරිණ.  පිටත්වීම සඳහා අවසානයට නතර වන ස්ථානවල ප්‍රහාරක කණ්ඩායම් රැඳී සිටියහ.  අපගේ ප්‍රහාරයට ඉලක්කව තිබෙන ඒ හමුදා කඳවුරේ විශාල අධි බලැති ආලෝක දහරා එහෙටත් මෙහෙටත් කරකැවෙමින් රාත්‍රිය දහවලට හරවමින් සිය විමසිලිමත් බව මොනවට කියා පෑවේය.

ඒ මොහොතේ කුඩා අඹ ගසක් යට ඇලවී සිටි මගේ ආසන්නයෙන් ම විවේකීව හිඳගෙන සිටියේ සංගවී ය.  ඈ සිටියේ මදහස රැඳි මුවින් යුක්ත ව අහස දෙස දෑස යොමු කර ගෙනය.  ඇගේ විවර වූ දෙතොල් හා සිහින දකින්නට මෙන් අඩක් පියවුණු දෑස් කියා පෑවේ ඇය පවසා ගත නොහැකි තරම් හැඟීීම් ගොන්නක් අතරේ සිරව සිටින බවකි.

" මොකද බං බාගෙට ඇස් ඇරගෙන නිදාගන්න හදන්නෙ?"

මගේ බාධා කිරීමෙන් ඈ කලබල වුයේ නැත.  ඒ මොහොතේ මගේ හද තුළින් මතුවූ හැඟීීම් ද ඇය සමග බෙදා ගන්නට ඇත්නම් යැයි සිතුනත් ඇයට ආස්වාදයක් ලබාදුන් ඒ නිහැඬියාව බිඳලන්නට මසිත ඉඩ දුන්නේ නැත.

සටනට යාම සඳහා අවශ්‍ය කළමනා සියල්ල ලහි ලහියේ නිමා කෙරිණි.  තවත් පැය කිහිපයක් ඇතුළත පිටත්වීමේ නොඉවසිලිවන්ත බව සෑම දෙනාගේම මුහුණුවලින් පිළිබිඹු කෙරිණ.  බොහෝ දෙනා පහත් හඬින් තම මිතුරියන් සමග කතාබහ කරමින් සිටිය හ.  ඇතැම්හු අඩ සඳේ ආලෝකයෙන් සිය ඥාතීන්ට අවසන් වරට පැවසිය යුතු කරුණු ඇතුළත් කර ලිපි ලියමින් සිටියහ.  තවත් ඇතැමෙක් සිතේ සියලු සංකූලතාවක් ම පසෙක තැබුවන් ලෙසින් ගැඹුරු නින්දකට වැටී සිටිය හ.

තම නිහඬ බව බිඳ හෙලු සංගවී මගේ අත සමග සිය අතැඟිලි පටලවා ගත්තාය.  ඇය කුමක් හෝ පැවසීමට සුදානම් වන බැව් මට හැඟුණි.

"තව ටික වේලාවකින් තත්ත්වය මොන විදියට වෙනස් වෙයිද? මේ ලස්සන රෑ සන්සුන් බව සුන්වෙලා යනවා.  අම්මල කී දෙනෙකුගෙ දස මාසෙ සිහින බිඳ වැටෙනවද?  හෙට අපේ ජනතාව කලබලෙන් පත්තර අරන් කියවාවි."

ඈ එසේ පවසා යළි නිහඬ වුවාය.  අප දෙදෙනාම සම වයසේය.  අපට කරුණු වැටහෙන්නට පටන් ගත් කුඩා වයසේ සිටම අප හැදී වැඩුණේ ඒ ගෙල සිර කරවන යුද්ධයේ ව්‍යසන වලට මැදි වෙමිනි.  මා වන්නියේ ගමකද, ඇය යාපනයේ වඩමාරච්චිවල ගමකද ජනිතවුවෝ වෙමු.  මෙවන් බිමක සොඳුරු නිසසල දිවියක් කෙසේ පවතීද යන්න කල්පනා කර බැලීමටවත් බැරි තරමට ව්‍යාප්ත වෙමින් පැවති යුද්ධය පිඹුරකු සේ අප ජීවිත වෙලාගෙන සිටියේය.

ගත හිරිවට්ටන සීතල විනිවිදිමින් ඈ ගැඹුරු උණුසුම් සුසුමක් පිට කළාය.මට නම් සාමාන්‍ය අයුරින් හුස්ම ගැනීම පවා අපහසු වී තිබුණි.  මගේ හදවත මත බරැති ගලක් තබා ඇත්තාක් සේ දැනුණි.  ඇය පවසන දේ පමණක් මම නිහඬව අසා සිටියෙමි.  ඉගෙනගෙන විශ්ව විද්‍යාලයට යා යුතුය යන සිහිනය අප කා තුලත් තිබුණි.  උසස් පෙළ ඉගෙන ගනිමින් සිටිනා කාලයේ ගමේ පැවති යුද පසුබිම අප වැනි බොහෝ දෙනෙකුට බලපෑම් එල්ල කළේය.  කිසියම් නැවුම් දෙයක් කිරීමට පෙළඹෙන ඒ නව යොවුන් වියේදී අපගේ සිහින යථාර්ථයක් බවට පත් වන්නේ සංවිධානයට බැඳී සටන් කිරීම තුළින් පමණක් යැයි අපි තීරණයකට එළඹුනෙමු.  යාපනය නගරයේ පිහිටි ප්‍රසිද්ධ මහා විද්‍යාලයක ශිෂ්‍යාවක වූ සංගවීත්, වන්නියේ ග්‍රාමීය පාසැලක ශිෂ්‍යාවක වූ මමත් මිතුරියන් බවට පත්වුයේ යුද පුහුණු කඳවුරේදී ය.

අපගේ සිතිවිලි දහරාව විසිරුවාලමින් අප සිටි ස්ථානයේ පිහිටි ගසෙහි අතු ඉති සොලවමින්, රෑ කුරුල්ලෙක් වේගයෙන් නැගිට, තටු සලමින් ඉගිල ගියේය.  එකෙනෙහි ම ගස මතින් සර සර ගා පතිත වුණු දිය බිඳු අප දෙදෙනාගේම හිස් තෙමුවේය.  අපි එම දිය බිඳු අත්වලින් එකතු කර ගෙන ඉසිමින් ඇඳුම් වලට ගැසුවෙමු.  එවිට ඝන නිල ඇඳුම විනි විදිමින් ශරීරය ම කිලිපොළා ගියේය.

" මේ සටන අවසන් වුණාම හැම දෙනාටම නිවාඩුවක් දෙනව කියල අපේ පරිපාලක තුමා කිව්වා.  මම උඹත් එක්ක එන්නද?  මට හරි ආසයි උඹලගෙ වන්නියෙ ගම් බිම් බලන්න.  නිල්ල නිලන කුඹුරු යායවල්, වතුර පිරිල ගලන ඇලවල්, මහ අලි ඇත්තු ඉන්න කැලෑවල්. ෂහ්...සොබාදහමෙ මැවීම මොන තරම් අපූරුද?"

" ඕකත් අහන්න දෙයක්ද? වරෙන්.  මට හිතෙන්නෙ මම ඉස්කෝලෙ ගිය බයිසිකලෙත් තාම ගෙදර ඇති.  ඒකෙන් අපි දෙන්නට රවුම් ගහන්න පුළුවන්.  මම ඉගෙනගනිපු ඉස්කෝලෙත් උඹට පෙන්වන්නම්කො.  මමයි, යාළුවොයි තාවනිය ඇඳගෙන 'උත්තරත් තිරුවිළා' බලන්න ගියපු මුරුගන් කෝවිලත් පෙන්නන්නම්කො.  උඹ දන්නවද වැඩක්?  ඒකට යන කෙල්ලො රංචු දැක්කම නාගසලන් කාරය කට්ටියට ඇහෙන්න 'රාසත්ති මනසිල්' සින්දුව වාදනය කරනවා.  අපි එයාට තරහින් රවල බලල එනවා."

මගේ කතාව ඇසු සංගවීට 'බකස්' ගා සිනහවක් නැගුණු අතර, ඈ එය මැඩ පවත්වා ගැනීමට දෑතින් කට තදකර ගත්තාය.  ඉතා ආසන්නයේ පිහිටි හමුදා කඳවුරෙන් නිකුත් වූ ෂෙල් වෙඩිල්ලක් 'ගුම්' හඬින් පරිසරය ගුගුරුවමින් ඇදී ගොස් අඩි කීපයක් ඈතින් පුපුරා ගිය හඬ දෝංකාර දෙමින් ඇසුණි.  තොටිලි මත නිදා සිටි දරුවන් කී දෙනෙකුගේ නම් නින්ද බිඳී යන්නට ඇද්දැයි මට සිතුණි.

මම හිස සොලවා සිතිවිලි පලවා හැරීමට උත්සාහ ගතිමි.  නොසැලී නිදා සිටිනා සංගවීගේ කොටට කපා තිබූ කොණ්ඩය පිරිමදින්නට මට සිතුණි.  සංවිධානයට සම්බන්ධ වූ මුල් දිනවල දී සියල්ලම අලුත් ලෙස දුටු මුල් යුගය අපට අමතක නැත.  දැඩි නියෝග මත සැකසුණු දෛනික කාල සටහනකට අනුව සියල්ල සිදු කළ යුතු විය.  පුහුණු කඳවුරේ බෙහෙවින් ක්‍රියාශීලීව හා ප්‍රීතිමත්ව සිටි අප දෙදෙනා එහි සියලු දෙනාගේම සිත් දිනා ගැනීමට සමත් වීමු.  සංගවීගේත්, මගේත් අදහස් හා සිතුවිලි බොහෝ දුරට සමාන විය.  එම නිසාම එකිනෙකාගෙන් වෙන් කළ නොහැකි ලෙස අප දෙදෙනා තුළ වර්ධනය වූ මිත්‍රත්වය කඳවුරේ පරිපාලන මට්ටමේ අය අතර ද ප්‍රසිද්ධියට පත් විය.

විවේකී අවස්ථාවල දී අපි පොත පත කියවුයෙමු.  එකට එක්වන වේලාවන්හි දී දිග් ගැසෙමින් පවතින අපගේ සංවාද කෙසේ නම් අවසන් කරන්නද?  ඇගේ සිත් පතුළේ කොපමණ නම් සිහින, ආසාවන්, ඉලක්ක පිරී පවතින්නට ඇද්ද?  සාමාන්‍ය කතාබහේ දී අනෙකුත් මිතුරියෝ බොහෝ විට අප දෙදෙනාගේ අදහස් සමග එකඟ වන අවස්ථා සීමිතය.  අපගේ සංවාදවලට සම්බන්ධ වන ඔවුහු මද වේලාවකට පසු ' මුන් දෙන්නගෙ විකාර අපට තේරෙන්නෙ නෑ' යි පවසන ආකාරයේ බැල්මක් පාමින් සෙමින් සෙමින් එම ස්ථානයෙන් පිටව යති.

සැලසුම් කළ පරිදි ඒ යුද වැඩ පිළිවෙල හරියටම මධ්‍යම රාත්‍රී එක හමාරට ඇරඹීමට නියම කෙරිණි.  ඉතා රහසිගතව සංකේත භාෂාවකින් අපි අදහස් හුවමාරු කර ගත්තෙමු.  අපගේ බාධක බිඳලන පෙර ගමන් බලකාය ඉදිරියට ඇදී යමින් සිටියහ.  ඒ හමුදා කඳවුරේ ඉදිරි ආරක්ෂක වළල්ල තුළ දැඩි ආරක්ෂක ක්‍රියා මාර්ග අනුගමනය කර තිබුණි.  හමුදා කඳවුර වටා ඇති කටු කම්බි දඟර ද, බිම් බෝම්බ ද, අටවන ලද උගුල් ද 'ටෝපිඩෝ' ප්‍රහාර මගින් විනාශ කරදමා, පාරක් සකස් කරගෙන ඒ හමුදා කඳවුරට ක්ෂණික පහර දීමක් කිරීම් අපගේ අරමුණ විය.  ඒ සඳහා උස පස් බැම්ම පැනගෙන හැකි ඉක්මණින් ඇතුළට බැසිය යුතුය.

පසුපසින් එන අපගේ අනිත් ප්‍රහාරක කණ්ඩායම් ඒ මාර්ගය ඔස්සේම ඉදිරියට ගොස් ඇතුල් වී හමුදා කඳවුරට අඛණ්ඩ ව ප්‍රහාර එල්ල කරනු ඇත.  අපගේ කණ්ඩායමට ලබාදෙන ලද ප්‍රහාරක සැලැස්ම එයයි.  අපි ඒ සඳහා අති දුෂ්කර පුහුණුවීම් කටයුතුත්, සටන සඳහා පෙරහුරුත් සිදුකරමින් සිටියෙමු.  හමුදා කඳවුර වටකර බොහෝ ස්ථානවල අපේ කණ්ඩායම් මෙලෙස පාරවල් කැපිය යුතු විය.  ඒ පාරවල් ඔස්සේ හමුදා කඳවුරට මහා පරිමාණයෙන් භට කණ්ඩායම් ඇතුල් වී අඛණ්ඩ ව පහරදීමට සැලසුම් කර තිබුණි.  හමුදා කඳවුර මුළුමනින් ම පාලනයට නතුකර ගැනීමත්, එහි ඇති වටිනා අවි ආයුධ අත්පත් කර ගැනීමත් මේ සැලැස්මේ අරමුණකි.

අපගේ ජයග්‍රහණය වෙනුවෙන් භටයන් පන් දහසක් පමණ සටනට එක්වන බවද දැනුම් දී තිබුණි.  අවසාන පෙරහුරුව නිමාකර, සිතියම් මගින් ද අවශ්‍ය තොරතුරු පැහැදිලි කර දී අවි දරණ භට කණ්ඩායම් සුදානම් කෙරිණි.  'ගිහින් එන්න, ජය අරන් එන්න' යි ප්‍රශංසාත්මකව කියමින් අප පිටත් කර යැවුනි.  සටනට යන මග මුදු බිම් ප්‍රදේශය දක්වා ප්‍රහාරක කණ්ඩායම් නංවාගෙන ගිය වාහනවලට පිටුපසින් ලොරි රථ පෙළක් ද ඇදී ගියේය.  ඒවායේ පටවා රැගෙන යන ලද්දේ කළින්ම සුදානම් කර තිබු දහස් සංඛ්‍යාත මිනී පෙට්ටි තොගයකි.

පහරදීම ඇරඹී මද වේලාවකට පසු අපගේ කණ්ඩායම ඉදිරි ආරක්ෂක වළල්ල වෙතට ගොස් සිටිය ද ඉතා උසින් පිහිටා තිබු ඒ පස් බැම්ම පියමැන ඉදිරියට යාමේ උත්සාහයේ දී එම ස්ථානයේදී ම බොහෝ දෙනෙකුට ජීවිතය අහිමිවිය.  හමුදාව බර අවි භාවිතා කරමින් ප්‍රබල ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට පටන් ගෙන තිබුණි.  මහත් ප්‍රයත්නයකින් මගේ කණ්ඩායම තම මෙහෙවර නිම කිරීම සඳහා උත්සුක වුහ.  එහෙත් ආරම්භක පියවරේදී ම අප සමග සිටි මිතුරියන් රැසකට දිවි අහිමි විය.  තවත් කිහිප දෙනෙක් දරුණු ලෙස තුවාල ලද හ.  ඉතිරි වූ අප කිහිප දෙනා ද දැඩි වෙහෙසට පත්ව සිටියෙමු.

ඒ හමුදා කඳවුර පිහිටා තිබුණේ කුඹුරු ඉඩම් වලින් වටවූ කොටසක බැවින් කලින් සකස් කරන ලද ආරක්ෂක ස්ථානවල සිට ඔවුහු ප්‍රති ප්‍රහාර එල්ල කළහ.  අප කණ්ඩායමට කුඹුරු බිම පියමන් කිරීමට ගත් උත්සාහයේ දී ම ප්‍රහාර වලට මුහුණ දීමට සිදුවිය.  බොහෝ දෙනෙකු මියයාමත්, තුවාල ලැබීමත් අඛණ්ඩ ව සිදුවිය.  උසින් පිහිටා තිබු මුර පොළවල් වල රාජකාරියේ නියැලී සිටි හමුදා සාමාජිකයෝ ඉලක්ක බලමින් කළ වෙඩි තැබීම බොහෝ සේ තීරණාත්මක විය.  එය අප කණ්ඩායම් වලට ප්‍රබල බලපෑමක් වුයේය.  පස් බැම්මට උඩින් මදකට හෝ හිස එසවුවහොත් නිසැකවම වෙඩි වදින තත්ත්වයක් පැවතුණි.  හමුදා මුර පොළවල් දෙසට ප්‍රහාර එල්ල කිරීමට නැගිට දිව ගිය අය හිසෙනුත්, පපුවෙනුත් ගිනියම් උණ්ඩ වැළඳගෙන කැලැත්තෙමින් තිබු මඩ ගොහොරු බිම මතට පතිත වන අයුරු දරාගත නොහැකි තරම් විය.  එහෙත් එය වැළක්වීමට ද අපි අසමත් වීමු.

මෙවන් තත්ත්වයක දී ද අපගේ බොහෝ කණ්ඩායම් ඉදිරි ආරක්ෂක වළල්ලට ඇතුල් වී ඉතා ආසන්න ස්ථානවල සිට සටන් කළහ.  කෙටි කාලයක් තුළ අපගේ බොහෝ පිරිසක් මැරී වැටුණහ.  ඉහළින් ඇද තිබු කටු කම්බි දඟරයක පැටලුණු අපගේ තුවාල ලත් පිරිමි සටන් කරුවෙක් වේදනාවෙන් දඟලමින් සිටියේය.  ඔහුව මුදා ගැනීමේ අරමුණින් උත්සාහවන්ත ව දිව ගිය සටන් කාරියක් එම ස්ථානයේ දී ම වෙඩි පහරට ලක්ව වැටුණාය.  පැය කිහිපයක් යනතුරුත් එම ස්ථානය කිසිවෙකුට හෝ ලඟා විය නොහැකි තත්ත්වයක පැවතුණි.  බෙහෙවින් ලේ වහනය වීම නිසා තවත් මඳ වේලාවකින් ඔහුගේ මළ සිරුර ඒ කම්බි දඟරයේ නොසැලී එල්ලෙනු දැක ගත හැකි විය.

මගේ කණ්ඩායම දැඩි සේ පරිහානියට පත් විය.  තුවාල වුවන් සඳහා හදිසි ප්‍රතිකාර ලබා දී ඔවුන් උසුලාගෙන යන කණ්ඩායම යුහුසුලු ව සිය වගකීම් ඉටු කරමින් සිටිය හ.  තුවාල කරුවන් පසුපස පිහිටි රහසිගත වෛද්‍ය මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදී.  මියගියවුන්ගේ සිරුරු ද රැගෙන පසු බසින්නැයි මගේ කණ්ඩායමට නියෝග ලැබෙන විට අලුයම් කාලයට ආසන්න වෙමින් තිබුණි.

එදා මද්දහන වන තුරුම උග්‍ර ලෙස පැවති සටන මදක් සන්සිඳුණු තත්ත්වයට පත් විය.  එවිට යුද පෙරමුණේ පැවතියේ සුසානයක වැනි සන්සුන් බවකි.  එතෙක් අවිවේකී ව ප්‍රහාර එල්ල කළ ගුවන් යානා ද විවේක ගන්නට ගොස් ඇතැයි මට සිතුණි.

මගේ කණ්ඩායම විවේක ගැනීම සඳහා ඒ සුරිය වැට ළඟ නතර වීමු.  වැට මායිමෙන් එපිට කුඩා ගුරු පාර ඔස්සේ යුද පෙරමුණේ සිට සටන් කළ අප වැනි හානියට පත් බොහෝ සටන් කණ්ඩායම් එක් ව පසු බසිමින් සිටිය හ.  ඔවුන් අතර පෙර සිටි මා දන්නා හඳුනන බොහෝ මුහුණු නොපෙනී ගොසිනි.  ඔවුන් බරපතල තුවාල ලබා හෝ මිය ගොස් යැයි මගේ සිත කියා සිටියේය.  ඒ අතරම අලුත් කණ්ඩායම් රැසක් ද තරමක වේගයකින් ඉදිරියට ගියහ.  අත්, පා ඇතුළු ශරීරයේ බොහෝ ස්ථානවල දරුණු තුවාල සහිතව වැලපෙමින් සිටි තුවාල කරුවන් ද, පණ ගොස් තිබු සිරුරු ද පසුකර ඉදිරියේ ඇති යුද පෙරමුණට යමින් සිටි ඔවුන්ගේ මුහුණු මලානික ව තිබුණි.

එදින රාත්‍රියේ යුද පෙරමුණේ දී මට දක්නට ලැබුණු, මම පසුකර ආ ඇතැම් දර්ශන තවමත් මගේ ඇස් ඉදිරිපිට දැවටෙමින් තිබෙන්නාක් සේය.  චිත්‍රපටවල පවා ලේ සහිත දර්ශන පෙන්වන විට දෑස් පියාගන්නා ස්වභාවයක් ඇති මගේ මිතුරියෝ බොහෝ දෙනෙක් සිටිති.  කාලය විසින් අප වෙත පටවන ලද ඒ යුද ජීවිතයේ ඇතැම් අවස්ථාවල දී අප දෑසින් දක්නා දසුන් සිත බෙහෙවින් අධෛර්යමත් කරන සුලුය.  එහෙත් ඉහළින් එන අණට අවනත ව, යුදමය සම්ප්‍රදායන්ට ප්‍රමුඛත්වය ලබා දී, හැඟීීම් යටපත් කර, සිත් පිත් නැති යන්ත්‍ර සේ කටයුතු කිරීමට අපි පුරුදු වීමු.

එදා සටනෙහි නියැලී ජීවිතක්‍ෂයට පත්වූ හමුදා සාමාජිකයින්ගේත්, සංවිධානයේ සටන් කරුවන්ගේත් මළ සිරුරු එක පිට එක ලෙස පතිතව බිම පෙරළී තිබු අයුරු මගේ දෑසින්ම දැක ගත්තෙමි.  සතුරු බව, විරුද්ධත්වය, යුද මානසිකත්වය ආදී කිසිවක් එවිට ඒ මුහුණු තුළින් දිස්වූයේ නැත.  ඒ මුහුණු තුල ඉතිරි වී තිබුණේ පණ යන අවස්ථාවේ විඳි අවසන් වේදනාවේ සලකුණු පමණි.

අවිවේකීව ඇද හැලෙමින් තිබු වර්ෂාව එහි කැටි ගැසී තිබු ලේ දිය කර හරිමින් රත් පැහැ ගං වතුරක් සේ කුඹුරු වලත්, ඇලවල් දිගේත් උතුරමින් ගලා ගියේය.  ඒ ලේ දහරාවන් මතින් දෙපා එරි එරී ඇවිද එන විට වටහාගත නොහැකි කුමක්දෝ බලවේගයක් මා තල්ලු කරන්නාක් සේ මට දැනුණි.

ඊළඟ නියෝගය කුමන වෙලාවක ලැබුණද මගේ කණ්ඩායම එය ක්‍රියාත්මක කිරීමට සුදානම් කර තැබිය යුතුය.  වහාම ඉදිරියට යාමට සුදානමින් සිටින ලෙස මගේ කණ්ඩායමේ සිටි මිතුරියන්ට වරින් වර දැනුම් දෙමින්, අවවාද කරමින් සිටියෙමි.  මුළු සිරුරෙහිම මඩ ගෑවී තිබු ඔවුන් එකිනෙකාගේ මුහුණුවල මහන්සිය ද තැවරී තිබුණි.  දැඩි වෙහෙසකාරී බවක් ඔවුන්ගෙන් පිළිබිඹු විය.  අපට සිටගෙන බලා සිටීමට වේලාවක් තිබුණේ නැත.  අපි අපට බෙදාදී තිබු වියළි ආහාර අනුභව කර කුසගිනි නිවා ගත්තෙමු.  ඇතැමෙක් තම තුවක්කු ශුද්ධ කරමින් සිටියහ.  ඔවුන් අතින් වෙනදා මෙන් සුපුරුදු සිනාහඬ නැගුණේ නැත.  ඔවුහු දැඩි කරගත් සිතින් යුක්තව නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් ම තමන්ගේ බුද්ධිය ඒකරාශී කරගෙන සිටිය හ.

කිසියම් කාල වකවානුවකදී ඒ සටන නිමාවට පත්වන විට යළිත් පණ පිටින් පැමිණීමේ අවස්ථාව කීප දෙනෙකුට හෝ හිමි විය හැකිය.  එසේ වුවත් සැම මුහුණකින්ම පෙනුණේ නැවත පැමිණීමේ බලාපොරොත්තුව තමන් මුළුමනින්ම ඉවත් කරගෙන සිටින බවකි.

හදිසියේම ප්‍රහාරක ගුවන් යානා කීපයක් වේගයෙන් කැරකෙමින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය.  තවත් ගුවන් යානා කීපයක් බිමට පහත් වෙමින් හා ඉහළට නගිමින් තිබුණි.  හමුදා සාමාජිකයෝ ද තම කණ්ඩායම් සුදානම් කරමින් සිටින බැව් අපට වැටහුණි.  ඔවුන්ගේද තුවාල කරුවන් ද ජීවිතක්‍ෂයට පත් වුවන්ගේ සිරුරු ද ඒ යානා තුළ පටවා රැගෙන ගිය බව ද අපි අවබෝධ කර ගත්තෙමු.  ඔවුන්ගෙන් ඉතිරි වුවන් ද වෙන්ව ගිය තම මිතුරන් වෙනුවෙන් සිතින් ශෝක වෙමින් හා ඊළඟ දුෂ්කර සටනට සුදානම් වෙමින් සිටිනු ඇතැයි මා හැට සිතුණි.

මගේ බැල්ම නිදා සිටින සංගවී වෙත යොමු විය.  සාමාන්‍ය දිනවලදී හිසේ කැක්කුමක්, උණක් හැදුනත් නිදා නොගන්නා සංගවී පුහුණු කාලයේ දී හිටගෙනම නිදාගත් අවස්ථා ද ඇත.  පැය ගණන් දික් වන රාත්‍රී අභ්‍යාස වලදී සිරුරේ අඩක් ඒ කුඹුරු බිමේ මඩෙහි එරී තිබියදී පවා සෙමින් ගොරවමින් ඈ මුනින් අතට හැරී නිදා සිටි අවස්ථා ද තිබුණි.  එහෙත් දැන් ඇය දෙස බලන විට මට ඊර්ෂ්‍යාවක් ඇතිවේ.  ඈ ඉතා සන්සුන් ලෙස නිදා සිටින්නීය.  මට ද ඇය මෙන් එලෙස නිදන්නට ඇත්නම් යැයි ක්ෂණික සිතුවිල්ලක් මසිතට නැගුණි.

ගුවන් යානාවලින් හමුදා සාමාජිකයින්ට දමන ලද ආහාර පාර්සල් රැසක් අපගේ පැත්තට ද ඕනෑවටත් වඩා වැටී තිබුණි.  රට ඉඳි පැකට්, ටින්වල අසුරන ලද පිසූ ආහාර වර්ග, චීස් කැබලි ආදී බොහෝ කෑම බීම වර්ග එසේ ලැබී තිබුණි.  එහෙත් මට කුසගින්නක් හෝ පිපාසයක් වත් දැනුණේ නැත.  මගේ කුස ඇලී, තදවී තිබුණි.  වතුර උගුරක් වත් ඇතුල් කළ හැකි දැයි මට නො හැඟුණි.

පළමු දිනයේ මධ්‍යාහ්නයේ විශේෂ ආහාරයක් ලෙස සකස් කරන ලද බුරියානි පාර්සලයේ ඉතා රසවත්ව පිසින ලද මස්වල තිබු කුකුල් ගාතයක් හපා රස බලමින් සිටි සංගවී ගේ පෙනුම මගේ දෑස් ඉදිරියේ මැවුනි.  ඈ රස කෑම වර්ග කෑමට බෙහෙවින් ප්‍රිය තැනැත්තියකි.  එස්. පොන්නුතුරෛ ගේ 'නනෛවිඩෙෙෙ තෝය්දල්' පොත කියවන අතරේද ඈ ආසාවෙන් තලු මරන්නීය.

" මේ සටන අවසන් වුණු ගමන් ගෙදර ගිහිල්ල ඉස්සෙල්ලම කරන්නෙ අම්මට කියල බම්බු පිට්ටුයි, වම්බටු කරියකුයි, ළූණු ගොඩක් දාපු බිත්තර බැදුමකුයි හදවගෙන කන එක."

ඈ මා සමග පැවසුවාය.  ඇය සාමාන්‍යයෙන් කුසගින්න ඉවසාගෙන සිටින්නේ නැත.  යන්තම් කුසගින්නක් මතුවූ සැනින් සියලු කාර්යයන් අමතක කොට කොහේ හෝ කෑම ටිකක් තිබේදැයි සොයන්නට පටන් ගන්නීය.  මධ්‍යම රාත්‍රියක වුවත් මුර සේවය නිම කර ඈ නිදන්නට යන්නේ කුමක් හෝ කා දැමීමෙන් පසුවය.  දැන් කිසිදු කුසගින්නක් නැති සේ නිදා සිටින අයුරු මම බලා සිටිමි.

සංගවී ගේ ජීන්ස් කලිසමේ සාක්කුවක් නෙරා තිබෙනු මට දැක ගත හැකි විය.  ඒ සාක්කුවට අත දමා බැලුවෙමි.  ඕ...පෙරදින රාත්‍රියේ අවසන් වරට සියලු දෙනාට ම බෙදන ලද ඇපල් ගෙඩිවලින් එකකි.  ඇය එය අනුභව නොකර තබාගෙන සිට ඇත්තේ කුමක් සඳහා ද යන පැනය මගේ සිත පුරා දිව ගියේය.  අපි දවස් කීයක් නම් තේ කෝප්පය පවා බෙදාගෙන බොන්නට ඇද්ද? අපට බත් කෝප්පයක් විතරක් ලැබෙන අවස්ථා වලදී " කෑම කන්න, කෑම කන්න" යි ළෙන්ගතු ව පවසමින් මගේ කොටස වෙන් කර තබා තමන් කෑ බවක් පාමින් සිටින්නීය.  මිතුරු කමින් බෙදාගෙන කන විට අමු අඹ ගෙඩියක රසය පවා කෙතරම් මිහිරි ද?  සවන් පත් වටා රුං ගාමින් කැරකෙන, පලවා හැරිය නොහැකි බඹරුන් සේ ඒ මතකයන් මා සිත වටා කැරකෙයි.

මගේ අත් ඇගේ නළල පිරිමැද්දේය.  පෙර දින සවස හදිසියේ ම ඈ සිය සටහන් පොත මා වෙතට දිගු කර 'මේක ඔයාගෙ බෑග් එකේ දාල තියන්න.  ආපහු යන්න ලැබුණොත් කතා ගොඩක් තියෙනව ලියන්න' යි පවසා සිටියාය.  සැබැවින්ම ඇගේ සිත ආකර්ෂණීය කතා රාශියක් දමා වසා තිබෙන පෙට්ටගමක් වැනිය.

සංගවී නිදා සිටින්නීය.  ට්‍රේලරය සහිත ට්‍රැක්ටරයක් පැමිණ නතර කෙරිණ.

" ඉක්මනට පටවන්න. ඉක්මනට."

දඩි බිඩි ගා හතර පස් දෙනෙක් එක්ව අත් වලිනුත්, පා වලිනුත් අල්ලා උස්සා ගනිද්දී මම ඇගේ හිසින් අල්ලා ගත්තෙමි.  මීට පෙර බොහෝ සිරුරු පටවා තිබු ට්‍රේලරයට ඇයව ද පටවන ලදී.  මම ට්‍රේලරය ආසන්නයේ සිටගෙන, සමු දීමේ සිතක් නොමැතිව සංගවීගේ හිස පිරිමදිමින් සිටියෙමි.  ඇගේ මුහුණ දෙස ඇස් පිය නොහෙළා බලා සිටිය යුතු සේ මට හැඟුණි.  ට්‍රැක්ටරය සෙමින් ඇදී යන්නට වුයේය.

ඒ රාත්‍රියේ අප කණ්ඩායම ඉදිරියට ගොස් සටන් කරමින් සිටිනා විට සංගවී ද තම කණ්ඩායම සමග එක්ව සටනේ නියැලී සිටියාය.  එහිදී අඛණ්ඩ ව ඇගේ කණ්ඩායම වෙත එල්ලවූ ප්‍රහාර වලදී එකම එක උණ්ඩයක් ඇගේ පපු පෙදෙස පසාරු කරගෙන ගොස් තිබුණි.  වහා මඳක් හිස එසවූ ඈ ඉක්කා ගසන්නාක් සේ 'හක්...'      යි හඬක් පමණක් පිට කළාය.  ඊළඟ මොහොතේ ඇගේ මුවින් ලේ ස්වල්පයක් පිටතට වෑස්සුණි.  කිසිදු දැඟලීමක් හෝ කලබලයක් නොමැතිව නිහඬ වූ ඇයගේ හිස පැත්තකට ඇලවූ අතර මොහොතකින් ඒ සිරුර කලල් බිම මතට 'දඩස්' හඬින් පතිත විය.  මුහුණ මඩෙහි යටට එරී ගියේය.

අප පසු බැස්සේ ඇගේ සිරුර ද උර මතින් උසුලාගෙනය.  තව බොහෝ වේලාවක් ගතවූ පසු ඒ සිරුර ද යවනු ඇත.  දීප්තිමත් ව කුංකුම ආලේපය තවරාගත් ඇගේ මවගේ මුහුණත්, ළෙන්ගතු සිනා පාන ඇගේ පියාගේ මුහුණත් මගේ දෑස් ඉදිරිපිට මැවී පෙනෙයි.  උදරය පත්ලෙන් මතුවූ පුලිඟුවක් හදවත තුළ පැටලී හදවත පාරවන්නාක් වැනි වේදනාවක් ගෙන දුන් නිසා මට හුස්ම හිරවන්නාක් සේ දැනුණි.  ගිණි පුළිඟු සේ රත් පැහැ ගෙන තිබු මගේ දෑස්වල දැවිල්ල උසුලාගත නොහැකි තරම් ය.  ඈතින් ඇසුණු ඒ ට්‍රැක්ටරයේ හඬ ක්‍රමයෙන් අඩුවී සැඟව ගියේය.  මට සෙලවීමට වත් නොහැකි විය.

" ඔබේ කණ්ඩායම හැකි ඉක්මණින් ආරක්‍ෂිත ව නුග ගහ යට හන්දියට පැමිණෙන්න."

වෝකිටෝකිය හඬ නගා ඉහළින් ආ නියෝගය මගේ කණ්ඩායමට දැනුම් දුන්නේය.  යළිත් සටන් බිමේ පෙරමුණ වෙත වේගයෙන් රිංගා ගෙන ඇදී යාමට සුදානම් කරවමින් කණ්ඩායම සම්බන්ධීකරණය කෙරිණ.  කළු වළාකුලින් වටවූ අහස අඳුරු පැහැ ගෙන තිබුණි.  වර්ෂාව අප්‍රසන්න ලෙස ඇද හැලෙන්නට විය.  නැවතිල්ලක් නොමැති සේ සවන් පත් පසාරු කරවමින් යුද හමුදාවේ කාල තුවක්කු යළිත් සිය ගර්ජනාව පටන් ගත්තේය.  මස් වැදලිත් ලේත් කට කොණකින් වගුරුවන, සාගිනි නොනිවුණු රාක්ෂයකු සේ යුද්ධය යළිත් භයානක ලෙස කට බලියා ගත්තේය෴

( 1991 නොවැම්බර් 11 දින පැවති පුනරින් සටනේ දී ලද සැබෑ අත්දැකීම් පෙළක් අනුසාරයෙන් ලියන ලද්දකි)

( අලුයම් සිහින, තමිළිනී ජෙයක්කුමාරන්. ප්‍රකාශනය: තෝතැන්න පබ්ලිෂින් හවුස්. 2017)

5 comments:

  1. ට්‍රේලරයට සංගවීව දානකම්ම හිතුනේ නැහැ සංගවී මැරිලා කියලා.අපුරුවට ගොතා තිබෙනා කෙටි කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඇය හොඳ කතා කියන්නියක්.

      Delete
  2. සoගවී වෙනුවෙන්
    තමිළිනී හඬන හඬ
    තමිළිනී වෙනුවෙන්
    අපේ උන් හඬන හඬ
    ඇහෙනවාද නුඹට
    දැන්වත්
    නංගියේ විජයකලා

    ReplyDelete
    Replies
    1. විජයකලා මේ කතාවෙ හිටියද? මම දැක්කෙ නෑනෙ.

      Delete