Monday, October 21, 2024

පුංචි පුංචි නුවණිනා

 

අප මෙම බ්ලොගයට 2020 න් පසු මොකුත්ම ලියා නැත.  අන්තිමට ලියා ඇත්තේද 2020 ජනවාරි මාසයේදීය.  ඒ අනුව බලනකල අවුරුදු හතරකින් මේ බ්ලොගයේ කිසිවක් පලවී නොමැත.  සිත්ගත් සාහිත්‍ය කලාකෘති නම් මේ බ්ලොගය මම පටන් ගත්තේම හුදෙක් මගේ රස වින්දනය සඳහාමය.  මන්දයත් මවිසින් රස විඳිනු ලබන සාහිත්‍ය කෘති සාහිත්‍ය කලා රස කැමැති තවත් සහෘදයන්ගේ රස කාමය තෘප්තිමත් කිරීම මගේ කැමැත්ත වූ බැවිනි.  සාහිත්‍ය කලා ගැන මෙම බ්ලොගයට ලියූ පසුගිය වසර කිහිපය ඇතුළත සාහිත රස සොයන රසවතුන් බොහොමයක් මා ලියන කතා ඉතා කැමැත්තෙන් රස විඳින බව වටහා ගත්තෙමි.  බ්ලොගය නොලියන අවදියේ පවා ඔවුන් මා මෙම බ්ලොගයට කතා නොලියන්නේ මන්දැයි නිතර විපරම් කළහ.

මුලින් කියූ පරිදි සාහිත්‍යය සඳහා වෙනම බ්ලොගයක් පටන් ගත්තේ හැලපයා බ්ලොගයේ මගේ කතා හැරෙන්නට වෙනත් කතා ලිවීම මගේ පාඨකයන් නොරිස්සූ බැවිනි.  මේ බ්ලොගයේද කියවන්නන් වූයේ මූලිකව ඒ අයමය.  නමුත් බ්ලොගය ආරම්භ කළහාම ඒ උදවිය එක් ප්‍රශ්නයක් පුන පුනා ඇසුවේ කමෙන්ටු මාර්ගයෙනි.  එනම් අනුන්ගේ කතා මගේ බ්ලොගයේ ලිවීමට මට ඇති අයිතිය කුමක්ද යන්නය.  එමෙන්ම කවුරු හෝ එම කර්තෘවරයෙක් තම අයිතිය අවභාවිතාව සම්බන්ධව උසාවි ගියහොත් මට අත්වෙන ඉරණම කුමක්දැයි සමහරු දිගින් දිගටම ප්‍රශ්න කළෝය. වන්දි ගෙවීම සම්බන්ධයෙන් වූ දීර්ඝ පැහදිලි කිරීම්ද අසන්නට ලැබුණි.  මෙහිදී මෙම සියළු ප්‍රශ්න වලට පිළිතුරක් වශයෙන් අනුන්ගේ පොත් උපුටා දැක්වීමේ නීතිමය තත්ත්වය දීර්ඝ කමෙන්ට් කිහිපයක් මගින් පැහැදිලි කළ ප්‍රාජේ ට මගේ අවංක ස්තූතිය හිමිවේ.

අනුන්ගේ කතා මගේ බ්ලොගයේ ලිවීම ගැන කතා කළ හිතවතුන් දිගින් දිගටම එල්ල කළ තවත් විවේචනයක් වූයේ මා යම් කෘතියක කොටසක් බ්ලොගයේ පළකිරීම එම කෘතියේ අලෙවියට අහිතකර බලපෑමක් ඇතිකරන බවයි.  තවදුරටත් පැහැදිලි කළහොත් යම් කෘතියක කොටසක් මෙම බ්ලොගයෙන් කියවන පාඨකයා එම කෘතිය මිළදී ගැනීමට සිටියේ නම් එය මිළදී ගැනීම අත්හැර දමන බවය.  මෙයටද පිළිතුරක් මගේ පාඨකයන් සතු විය.  ඔවුන් කීවේ එම කියැවීම මගින් පාඨකයා තුළ ඇතිකරන උත්තේජනය කෘතියේ  අලෙවියට ධනාත්මක ලෙස බලපෑමෙන් අලෙවියේ වර්ධනයක් ඇතිවිය හැකි බවයි.  මගේ බ්ලොගයේ පොතක් ගැන සඳහන් කරන්නේ නම් මම මුළු පොතම බ්ලොගයේ ලියා දක්වන්නේ නැත.  බොහෝවිට පිටුවක් දෙකක් වැනි කොටසකි.  කෙටිකතා වැනි කතා පොතක් නම් එක කතාවකි.  වරක් ප්‍රාජේ කීවේ මේ බ්ලොගයෙන් දැනගෙන ඔහු මිළදී ගත් පොත් ඇති බවයි.  එමෙන්ම නවකතා කරුවෙකු හා බ්ලොග් කරුවෙකු වන හෙන්රි වර්ණකුලසූරිය ඔහුගේ පොතක් ගැන මෙම බ්ලොගයේ ලිවීම සම්බන්ධයෙන් මට ස්තූතියක්ද කළේය.  විටෙක අත්හැර දැමීමට සිතුනද දිගටම ලියන්නට මට ශක්තිය ගෙනදෙන්නේ මෙවැනි සාධනීය ප්‍රතිචාරයන් වේ.

ඉහත සටහන ලිව්වේ අද ලියන්නට යන කතාවට පූර්විකාවක් වශයෙනි.  ලේඛකයෙකුගේ කාර්‍යභාරය කුමක්ද, ඔහු ලියන්නේ හෝ ලියැවෙන්නේ කෙසේද යන්න අපි අද සළකා බලමු.  

"නිර්මාණකරණයෙහි යෙදෙන ලේඛකයෙකු ලියන සාහිත්‍යයක් මෙන්ම ඔහු අතින් ලියැවෙන සාහිත්‍යයක්ද ඇතැයි කියනු ලැබේ.  මෙයින් වඩා වැදගත් වනුයේ ඔහු අතින් ලියැවෙන සාහිත්‍යයයි.  ලේඛකයෙකු කිසියම් අර්ථවත් අත්දැකීමක් ලබා කාලයක් ගත වන විට එය වර්ධනය වී තව දුරටත් සිත තුළ තබාගත නොහැකිව 'ඉබේටම මෙන්' ලේඛනයෙන් පිටවෙයි.  ලියැවෙන සාහිත්‍යය හැටියට හඳුන්වා දෙන ලද්දේ එයයි."

මේ කොටස මා උපුටා ගන්නේ කේ. ජයතිලකයන්ගේ 'පුංචි පුංචි නුවණිනා' යන කුඩා පොතෙනි.  මුල්පිටේ පොතේ නමට යටින් කුඩා අකුරින් (පණස් වසරක නිර්මාණ උල්පත්) යනුවෙන්ද සඳහන්ව ඇත. මූලික වශයෙන් මේ පොතෙන් කියැවෙන්නේ කේ. ජයතිලකයන්ගේ නිර්මාණ (නවකතා සහ කෙටිකතා) විසිඑකකට මූලාශ්‍ර හෙවත් අනුභූතීන් ලබාගත් ආකාරයයි.

නිර්මාණකරණයේ යෙදෙන්නෙකුට අත්පොතක් බඳු වූ මෙම පොත මාහට ලැබුණු ආකාරයද රසවත්ය.  කලුඅච්චි ගමගේ ජයතිලක හෙවත් සම්මානනීය ලේඛක කේ. ජයතිලක ජීවිතයේදී දෙවරක් පමණ මට මුණ ගැසී ඇත.  පළමුවරට අප කෙටි වේලාවකට මුණ ගැසෙන්නේ මදුරාසියේ මීනම්බක්කම්හි අන්නා ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදීය.  ඒ ජයතිලකයන් ඇතුළු පිරිසක් අකරතැබ්බයකට මුහුණ පා සිටි මොහොතකය.

කාලය මට මතක ඇති ආකාරයට 1999 වර්ෂය විය යුතුය.  සංස්කෘතික නියෝජ්‍ය ඇමති ඒ. වී. සුරවීර මහතා මදුරාසියේ කෙටි සංචාරයක යෙදෙන බවත් ඔහු ආපසු ලංකාවට යනවිට ඔහු සමග ගුවන් තොටුපොළට යායුතු බවත් මට කාර්‍යාලයෙන් උපදෙස් ලැබුණි.  මම හවස ගියේ කාර්‍යාලයේ රියැදුරු ජෙගනාදන් හෙවත් ඇම් ජී ආර් ද සමග කාර්‍යාල වාහනයෙනි.  නියෝජ්‍ය ඇමති කෙනෙක් නිසා සුරවීරට විශේෂ ආරක්ෂාවක් පොලිස් ස්කොඩ් එකක් සමග ලැබී තිබුනේ තමිල්නාඩු රජයෙනි.  විශ්ව විද්‍යාල ජ්‍යේෂ්ට මහාචාර්‍ය කෙනෙක්ද රටේ ප්‍රසිද්ධ රාජ්‍ය සම්මානලාභී ලේඛකයෙකුද මතු නොව සංස්කෘතික නියෝජ්‍ය ඇමතිවරයාද වූ සුරවීර සිටියේ මාව ඩෝන්ට් කෙයාර්  එකේය.  නමුත් සහාය නිලධාරියාට පැමිණ බුම්මාගෙන යන්නට හොඳ නැති නිසා මම ඔහුත් සමග කතාකළෙමි.  මට ලැබුණේ ඔව් නෑ වැනි කෙටි උත්තරය.  සුරවීර නොදන්නවා වුණාට මම ඔහුගේ එකක් හැර පළවී ඇති සියලුම පොත් කියවා ඇති එකෙකි.   අලුතෙන්ම නිකුත්වුන පොත කියවන්නට බැරි වුණේ මම විප්‍රාවාසීව සිටින නිසාවෙනි.  ඒ පොත ගැන මම ඇසූවිට කටත් ඇද කර උත්තර දුන්නේ උඹයි මමයි කියවන පොත් වැනි අදහසක් දෙන අයුරිනි.  "බාලේ පටන් කාලය ගෙවුනා මෙලෙසේ" යනුවෙන් වූ ඒ පොත මම ලංකාවට පැමිණි පසු අරගෙන කියෙව්වෙමි.  මහාචාර්‍ය සුචරිත ගම්ලතුන් ඒ පොත විවේච්නය කොට තිබුනේ 'ඔලුව උදුම්මාගෙත් නියොජ්‍ය ඇමැත්තෙකුගේ පුරාජේරුවක්' යනුවෙනි.  එයනම් මම එදා හොඳින්ම අත් වින්දෙමි.

අපිව කෙලින්ම රැගෙන ගියේ ගුවන් තොටුපොලේ පිටවීමේ පර්‍යන්තයටය.  එතැන සුරවීරගේ කණ්ඩායමේ දහයක් පමණ රැඳී සිටියහ.  ගොඩගේ අධිපති සිරිසුමන ගොඩගේ, කේ. ජයතිලක සහ ඔහුගේ බිරිඳ සුමනා සහ තවත් මට මතක නැති හත් අට දෙනෙකි.  සියල්ලෝම ලේඛකයන්ය.  ඔවුන් සියල්ලන්ම සුරවීරව වටකර ගත්හ.  සිදුවී ඇති දේ මට දැනගන්නට ලැබුණේ එවිටය.  ගොඩගේ මහතාගේ මිතුරු ලේඛක කැල සියලු දෙනාම කෙටි තමිල්නාඩු සංචාරයකට පැමිණ ඇත(වියදම් සහ පහසුකම් සියල්ල ගොඩගේ මහතාගෙන් විය යුතුය) ගමනේ නඩේ ගුරා වූයේ සුරවීර මහතාය.  සිවිල් බලය මෙන්ම රාජ්‍ය බලයද ඔහුට තිබුන නිසා එසේ වන්නට ඇත. ආපසු යන්නට කණ්ඩායම ගුවන් තොටට පැමිණ සියලුම නිෂ්කාශන කටයුතු නිමවා අවසන්ව ගේට් එකට පැමිණ යානයට නගින්නට පොරොත්තුව සිටියදී යානය ප්‍රමාද බව නිවේදනය කෙරුණි.  පිටත්වන වේලාවක් කවුරුත් නොදනී.  ආපසු කොහෙටවත් යන්නටත් නොහැක.  ඒ දවස්වල එයා ලංකා ගුවන් යානා පිටත්වීම සහ ඕනෑම ගමනාන්තයකදී ප්‍රමාදවීම ඉතා සාමාන්‍ය දෙයකි.  ඉතින් අතරමං වූ ලේඛක කණ්ඩායම කල් ඇතිව ගෙදර යෑමේ සියලුම බලාපොරොත්තු සුන්ව තැන තැන ඉඳගෙන කල්පනා කරමින් සිටිනවා දුටු මටද දුක හිතුණි.  ඒඋනාට මටත් කරන්නට දෙයක් නැත.  රාජ්‍ය සාහිත්‍ය උත්සවයකදී හමුවී පුරුදු ඇති සුමනා ජයතිලක මහත්මිය සමග මම කතාකළෙමි.  ඇය මට හමුවී තිබුණේ මහියංගනයේ තිබුණු සාහිත්‍ය උත්සවයකදීය.  මම දෙසතිය කුටියේ සිටි අතර  ඇය සිටියේ ප්‍රදීප කුටියේය.  දවසක ඇය දෙසතිය කුටියට පැමිණ මට කතාකළාය.  ඔවුන් නැවතී සිටියේ හසලක නවාතැනකය.  එදින ඔවුන්ගේ වාහනය ලෙඩදී ගරාජයකට දමා තිබුන නිසා එදින රාත්‍රියේ නවාතැනට යන්නට අපේ වාහනයෙන් පහසුකම් සලසා ගැනීමට ඇයට අවශ්‍යව තිබුණි.  ඇය ඉල්ලූ උදව්ව මම කර දුන්නෙමි.   අප දෙදෙනා පරණ කතාව මතක් කරද්දී බෝතල් අඩි කණ්ණාඩි දෙකක් දමාගත් කේ.ජයතිලක මහතාද සිනාසෙමින් අසා සිටියේය.  ඒ මට ජයතිලක මහතා හමුවූ පළමු අවස්තාවයි.

ඊට වසර දෙකකට පමණ පසු අවුරුද්දක මම කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැති දිනෙක බී එම් අයි සී එච් හි කරක් ගසමින් සිටියෙමි.  හැම අවුරුද්දකම පොත් ප්‍රදර්ශනයට යන සිරිතක් එකල මට වූ අතර දැන් වගේ මහා ජන සන්නිපාතයක් එදා නොපැමිණි අතර නූඩ්ල්ස් හා කෝක්ද ස්මාර්ට් ෆෝන්ද නොතිබූ කලෙක පොත් පමණක් තිබුණු ප්‍රදර්ශනයක් විය.  පොත් ප්‍රදර්ශන කුටි අතරින් ඇවිද ගිය මම නොදැනුවත්වම මෙන් පැමිණ තිබුණේ ප්‍රදීප ප්‍රකාශකයන්ගේ කුටිය ඉදිරියටය.  ඇතුල්වන විටම සිටියේ ජයතිලක මහතාය.  මම ඔහුගේ පොත් දෙක තුනක් තෝරාගත් අතර ජයතිලක මහතා සිනාසෙමින් බලා සිට ලඟට ඇවිත් කතා කලේය.  කුටියේ සිටියේ අප දෙදෙනා පමණය.  ජයතිලක මහතාගේ පොත් සියල්ලම කියවා සිටි මට ඔහු සමග කතා කිරීමට සහ ඇසීමට බොහෝ දේවල් විය.  මගේ කතා ජයතිලක මහතා ඉවසීමෙන් අසා සිටියේ සිනාසෙමිනි.  අත දරුවෙකු සමග කතා කරන්නා වැනි සෙනෙහසක් ඔහුගේ දෑස් තුළ විය.  පොත් මිළදී ගෙන පිටත්වන විට ඔහු පොතක් තෝරා එහි අත්සනද තබා මට තෑගි කළේය.  

පොත ගෙදර ගෙනාවාට කියවීමේ අදහසක් මටනොවීය.  ඒ එය කතා පොතක් නොවූ නිසාය. පොත කියවීමේ රුචිය ඇතිවුණේ ඊට අවුරුදු විසි ගණනකට පසු මේ ඊයේ පෙරේදාය.  ඒ වනවිට ජයතිලක මහතාත් සුමනා ජයතිලක මහත්මියත් සුරවීර මහතාත් අප අතර නැත.  තවම සිටින්නේ ගොඩගේ මහතා පමණකි.  ඔහුට චිර ජීවනය පතමි.  නැවතත් පුංචි පුංචි නුවණිනා කතාවට ආවොත් ආරම්භයේදී ජයතිලකයන් මෙසේ ලියයි.

"ලේඛකයෙකු ලියන දැයින් කොපමණ ප්‍රමාණයකට ඔහුට හිමිකම් කිව හැකිද?  ඒ සියල්ල ඔහුගේ යැයි කියන නමුත් නියම වසයෙන් නම් ඒ එසේ නොවන බව පෙනී යයි.  එතෙක් පැවති භාෂාව,ශෛලිය, අදහස් උදහස්,සම්ප්‍රදාය, අනුගමනය කරන ශාස්ත්‍රීය ලේඛකයෙකු තමන්ගේම වසයෙන් එයට එක්කරන ප්‍රමාණය සියයට දහයකටත් අඩු විය හැකිය.  නිර්මාණාත්මක ලේඛකයෙකු විෂයෙහි නම් මෙය ඊට මඳක් වැඩි විය හැක.  එහෙත් නිර්මාණාත්මක ලේඛකයා වුවද කරන්නේ පවත්නා ජීවා'ජීව ලෝකයෙන් යමක් උකහාගෙන එය තම අභිමතය අනුව සකස් කොට,  එතෙක් ගොඩනැගී ඇති භාෂා, ශෛලිය, සම්ප්‍රදායන් ඔස්සේ ඉදිරිපත් කිරීමයි.  එය කෙතින් පන් උදුරාගෙන කපා වියලා සායම් පොවා නොයෙකුත් රටා සහිත පැදුරක් විවීමට සමාන කළ හැකිය"

මේ නයින් බලන කල ලේඛකයා ලියන දෙයින් අඩකටත් වඩා ඔහුගේ අදහස් නොවන බව කිවහැකිය.  ඔහු වුවද කරන්නේ වෙනත් තැනකින් උදුරාගත් පැළයක් තම වත්තේ සිටුවා ජලය පොහොර යොදා සාත්තු කර පලයක් ලබාගැනීම වැනි දෙයක් නොවේද?  එසේ තර්කානුකූලව බලනකල පොතක් හෝ කතාවක් තමන්ගේම යැයිද තමන්ට හැර කිසිවෙකුට එහි අයිතියක් නැතැයිද පැවසීම කෙතෙක් සාවද්‍යද?  ලේඛකයා අත්දැකීම් ලැබූ සිදුවීම් වලට සම්බන්ධ සියලු දෙනාම එම කතාවේ හෝ පොතේ සම අයිතිය ලබති.  පොතක් හෝ කතාවක් ලිවීමට ලේඛකයෙකු දරණ වෙහෙස අවතක්සේරු කිරීමක් මෙයින් කිසිසේත්ම අදහස් නොකෙරේ.  බ්ලොගයට කතාවක් ලිවීම වැනි සරල කාර්‍යයකදී වුවද එම කතාව ස්වභාවික හා සාධාරණ යුක්ති යුක්ත භාවයෙන් ලිවීමට සෑහෙන වෙහෙසක් දරන්නට සිදුවීම සාමාන්‍යය.  එසේ නම් පොතක් ලියන්නට කෙලෙස පර්යේෂණ,ගවේෂණ කල යුතුදැයි වෙසෙසින්ම  කිව යුතු නොහේ.  මෙසේ බලනකල අපේය,මගේය කියා අප ලියන දේවල් බදාගෙන අයිතිවාසිකම් කීම පුස්සක් බව අමුතුවෙන් කිව යුතුද?  

නැවතත් කේ. ජයතිලකයන්ගේ පොතට අවධානය යොමු කළොත් ඔහු විසින් ලියන ලද කතා විසි එකකට පදනම් වූ හෙවත් අනුභූතීන් ලබා ගත් ආකාරය සඳහන් කරමින් ලියා ඇති කතාවේ අප කවුරුත් පාහේ හොඳින් දන්නා විශිෂ්ට නවකතාවක් වූ චරිත තුනක් නම් කෘතිය ලියැවුන ආකාරය ගැන ලියා ඇති කොටස කියවමු.

"චරිත තුනක්හි පදනම් චරිත වසයෙන් තෝරාගත්තේ පිරිමි පස් දෙනෙකුගෙන් යුත් පවුලක තිදෙනෙකි.  මදි පාඩු සඳහා අත්හළ චරිතවලින්ද සමහර උපාංග උපුටාගැනීමට සිදු විය.  ඒත් හිඩැස් බොහෝ විය.  විවෘත චරිතයක් වූ සනා තුළ සංකීර්ණත්වය වුවද විවෘතය. නිදසුනක් වසයෙන් ඔහු මිනිසුන්ට හතුරුකම් කරන විටද විවෘතය.  ඔවුන්ට උදවු පදවු කරන විටද විවෘතය.  ඔහුට හිත තුළ පැසවන්නට දෙයක් නැත.  ඉසා සහ රංජිත් එසේ නොවෙති.  ඔවුන් දෙපැත්තක ගමන් කළත් ඒ දෙපක්ෂය තුළම අවිවෘත සංකීර්ණතාවයක් ඇත.මේ නිසා අත හළ චරිත දෙකෙන් පමණක් නොව අවට ලෝකයෙන්ද ඉලක්කයට අදාළ ලක්ෂණ සොයා ඒ චරිත දෙකට කැවීමට සිදු විය.මේ අනුව ඉසාගේ චරිතය සඳහා ප්‍රධාන කොට පදනම් චරිත තුනකිනුත් රංජිත්ගේ චරිතය සඳහා පදනම් චරිත දෙකකිනුත් සාධක උපුටාගැනීමට සිදු විය.   මීට අමතරව එකතු කළ සාධක ගණන් ගතයුතු තරම් වැදගත් නැත.  බොහොමයක් අංශුමය බැවිනි.

කරන ලද විකෘතින්  හෝ සංස්කරණ අතර එකක් දක්වතොත් මෙසේය.  ඉසාගේ ප්‍රධාන පදනම් චරිතය විවාහකයෙකි.  පවුලේ සෙසු අයගේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කිරීමට ඔහුට එතරම් අවකාශ නොතිබිණ.  ඉසාට ඒ කොටස එක් කරන ලද්දේ අවිවාහකයෙකු වූත් පවුලේ යුතුකම් තදින්ම සිතට ගෙන සිටියා වූත් එහි දෙවන පදනම් චරිතයෙනි.  මෙසේ සැබෑ සාධක එක් කිරීමෙන් පමණක්ම ඒ චරිතය ලක්ෂයය කරා ගෙන යා නොහැකි විය.  ඒ නිසා ඔහුගේ ජීවිතය කෙළවර වන අපිස්, නිරාමිස චරිත ලක්ෂණ නිර්මාණය කරලීමට කතුවරයාට සිදුවිය. 

පිරිමි චරිත තුනෙන් එකක් තනි පදනම් චරිතයක් මත ගොඩනගාගත හැකි වූ අතර ගැහැණු තුනෙන් එකක් එසේම තනි චරිතයක් මත ගොඩනැගිය හැකි විය.  ඒ මවගේ චරිතයයි.  මාතෘ චරිතයක් නිර්මාණය කර ගැනීමට ලෝකයෙන්ම හොඳ සමාජය ලාංකික සමාජයයයි සිතමි.  ඇය දරුවාට පොවන කිරි පෝෂණ ගුණය, දිය, ලේ ආදියෙහි සම්මිශ්‍රණයක් වන්නා සේම ඈ දරුවන් කෙරේ දක්වන ආකල්පය නොයෙකුත් හැඟීම්වල සරල සම්මිශ්‍රණයකි.  කොතෙක් ලියවී තිබුණත් ලාංකික මාතෘත්වය අගවේෂික රත්නාකරයකි.

ඉසාගේ සොහොයුරිය වූ නලී කොතැනකදී වත් ප්‍රමුඛත්වයට එන්නේ නැත.  ගමක දක්නට ලැබෙන පොදු ගැහැණු චරිවලින් එකක් පමණකි එය.  රතීද නිර්මාණයට දුෂ්කර චරිතයක් නොවීය.ගමේදී එය ලලිතාගේ අනික් කෙළවරය.

පදනම් චරිතයක් තිබුණත් කතුවරයාට නුහුරු නුපුරුදු චරිතයක් වූයේ ලලිතාය.  එහි පදනම් චරිතයේ නමද ලලිතාම වීයයි සිතමි.  පදිංචිය පිල්ලෑවේය.  ඈ කර්තෘට වඩා වයසින් වැඩිය.  පොතෙහිද එය එසේම ඇතුළත්වී තිබීම සත්‍යයට අනවශ්‍ය පරිදි ඉඩ දීමෙන් සිදු වූවරදකැයි මම මුලින් සිතුවෙමි.  මෙහිදී සවිඥානක මනසට වඩා අවිඥානක මනස බුද්ධිමත් වීඇතැයි දැන් සිතේ.  ලලිතා අනාගත මාතෘභාර්‍යා ලක්ෂණ ප්‍රදර්ශනය කරන්නියක නිසා ඉසාට වඩා වැඩිමහල් වීම සුදුසුය.

පොතේ මුල් මුද්‍රණවලට අනුව ලලිතා කෝකිලාන කැපීම සඳහා ඉසා දිරිගැන්වීමක් කරන්නේ නැත.  එහි හිමිකම චරිත තුනක් ටෙලිනාට්‍ය පිටපත ලියූ සෝමවීර සේනානායක සතුය.  

විජයරත්න, ජයමන්, මේලිස්,  සියදෝරිස්, කොක් උන්නැහේ, ජේමිස් මුදලාලි ආදී සුළු චරිත රැසක්ද ඒ ඒ නම්වලින්ම ගමෙන් ලබාගත් ඒවාය.  කෙසේ වුවද නදෝරිස් පැමිණ ඇත්තේ 'කපුවා කපෝති' නාට්‍යය ඔස්සේය.

ස්ථානමය වසයෙන් ගත් කල්හි කහටගහ ලියැද්ද එනමින්ම ඇත.  එහි කඩාඬු  කැඩී යෑම එකල හැම වැසි කාලයකම වාගේ සිදු විය.  වැසි කාලයේදී මෙසේ වුවත් එක්තරා නියඟකදී බීමට ජලය ලබා ගැනීම සඳහා කුඹුර මැද ලිඳක් කැපීමට පවා අපට සිදු විය.

අපේ ගේ පිටුපස අක්කර දෙකක පමණ කැලයක් ඇත.  මෙය එළිපෙහෙළි කොට හේනක් බවට පත් කරන ලද්දේ රංජිත්ගේ අඩක් සඳහා පදනම් වශයෙන් ගන්නා ලද චරිතය විසිනි.  එය ඉසාට ආරෝපණය කර ඇත්තේ කතාවටඇති අවශ්‍යතාව අනුවය.  කෝකිලාන නමින් ඉඩමක් හෝ නමක් කොහි හෝ ඇද්දැයි මම නොදනිමි.  පින්වත්ත, බතලවත්ත, පුවක්වත්ත, පඹහේන,කිතුල කන්ද, අල්ලියවත්ත ආදිය එනමින්ම දක්නට ඇත.  කෝකිලාන හැරුණු විට අන් එකද ස්ථාන නාමයක් වත් අලුතෙන් නිපදවා නැත.

ස්ථාන නාම පමණක් නොව ඇදහිලි, විශ්වාස, චාරිත්‍ර, ගති පැවතුම් ආදී කිසිවක් නවකතාව සඳහා මෙගමට පිටතින් ආනයනය කර නැත.  ඇස්වහ, කටවහ, හෝවහ ඇතුළු මිථ්‍යා විශ්වාස, බලිතොවිල්, කෙම් කිරීම්, අවුරුදු සිරිත්, බණ, පිරිත්, පින්කම් ආදියට අවශ්‍ය අමුද්‍රව්‍ය තවත් නවකතා දහයකට වුවද මෙගමින් සොයාගත හැකිය.  මේ අතින් බලන කල චරිත තුනක් නවකතාවේ අයිතියෙන් විශාල කොටසක් හිමි විය යුත්තේ එගමෙහි ඉඩමකඩම, ගස්වැල්, සතාසතුන්, ගැහැනු මිනිසුන්ටයයි පැවසීමේ වරදක් වේද?  මවිසින් කර ඇත්තේ ඒවා තැනට උචිත පරිදි පිළිවෙළ කිරීම පමණක් බැවිනි."

මෙනයින් බලනකල මගේය මගේමය ආදී වශයෙන් හඳුන්වමින් කෘතියක අයිතියට රණ්ඩු කිරීම කෙතරම් සාවද්‍ය සහ නිෂ්පල ව්‍යායාමයක්ද යන්න ඔබටම සිතා ගැනීමට ඉඩ හරිමින් මගේ කතාව අවසන් කරමි.