Thursday, July 7, 2016

පනංගල අයියා 2



"පසුදා උදය කාලයද වැසිපොද සහිත විය.  එහෙත් ගෙදර අවට ඕවිට වැසී යන තරම් වැස්සේ නැත.  උදය දහයට පමණ පනංගල අයියා එහා වත්තේ කඩොල්ලෙන් පනිනවා මා බලාගෙනය.   ඔහුගේ අපූරු නොණ්ඩි ගමන මට වඩාත්ම සිත්කලු වුයේ ඔහු අපේ ගෙදර එන බව මා තේරුම් ගත් නිසාය.  ළඟ අහල පහළ ඇතැම් අය අපේ ගෙදර එතොත් එය මට කන්දොස්කිරියාවකි.  එහෙත් පනංගල අයියා එතොත් එය විනෝදයකි.  මම ඔහු එන පැත්ත බලා සිටියෙමි. 

වෙනදා වාඩිවන වලුපුටු පුංච උඩම වාඩි වුණු පනංගල අයියා "තේ වතුර කාරිය නැද්දැ?" යි ඇසීය.

"තියෙනවා! තියෙනවා!" කියාගෙන මම ගේ ඇතුළට දුව ගොස් ඔහුට තේ වතුර ගෙනැත් දුනිමි.පනංගල අයියාට තේ වතුර දෙන ලොකු කෝප්පයක් අපේ ගෙදර තිබුණේය.  

"පනංගලේ උඹ ආවට කමක් නෑ.මේ පොඩි එකාට බූත කතා විතරක් කියන්න එපා.උඹ ඊයෙ කියපු කතා අහගෙන ඉඳල මේ දරුව ඊයෙ රෑ තනියම නිදා ගත්තෙත් නෑ!" අම්මා කීවාය.

"ඔව් ඒකත් හරි තමයි." කියා පනංගල අයියා වලුපුටු පුංචේ හොඳට හරිබරි ගැසුණේය.

"මගේ ඇටඹ ගහේ ඇටඹ ලස්සෙකට වැඩිය මේ සැරේ පල අරගෙන! අතු නැමිල ඔක්කොම බිම ගෑවෙනවා!"

පනංගල අයියා මේ කීම කීවේ මා උන්දෑගේ වත්තට ගෙන්වා ගන්නට බව මම තේරුම් ගත්තෙමි.   පොඩි කාලේ මා ඇටඹ කන්නට කැමතිය.

"ගල් අන්නාසිත් ඕනෑ තරම් තියෙනවා! වැල්වල සීනි කැකිරි නිකම්ම පැළි පැළි යනවා!"

"ඇත්තද?"කියා මම ඇසීමි.

"ඇත්ත නේන්නම්!මම එහෙම නැතුව කවදාවත් බොරු කියනවද? දෙන්නකො මට පයිප්ප දුම්කොළ ටිකක්...."


ඔහු ඉඳහිටලා පයිප්ප දුම්කොළ ටිකක් ඉල්ලන්නේ පයිප්පයේ දමා බොන්නට නොවේ.බුලත් විට සමග කන්නටය.

තාත්තාගේ දුම්කොළ ටින් එකෙන් මම ඔහුට දුම්කොළ ටිකක් දුනිමි."අපූරුයි"කියා ඔහු එය කටේ හලා ගත්තේය.

"පනංගලයියා මිදුළේ කෙළ ගහනවාය කියා අම්මා හැමදාම කෑ ගහනවා! මෙන්න පඩික්කම" කියා මම පඩික්කම ගෙනවුත් ඔහු ළඟින් තැබුවෙමි.

"උඹ පනංගලේට නම් පඩික්කම් අදිනවා!ලෙඩ වෙච්ච වෙලාවක වත් මගේ ඇඳ ලඟට උඹට කියා පඩික්කම ගෙන්නවා ගන්න බෑ!" කියා අම්මා මට චෝදනාවක්ද කළාය.

"මේ ගමේ ළමයි අම්මල තාත්තලට වැඩිය මට ආදරෙයි!" කියා පනංගලයියා ගිනිකූරු කැබැල්ලක් අව්ලාගෙන දත හාරන්නට වන්නේය.

පයිප්ප දුම්කොළ ටික කෑ පසු පනංගලයියා සැරසෙන්නේ ගෙදර දුවන්නට බව මට පෙනිණි. 

"පනංගලක්කාටත් සනීප නෑ" යනුවෙන් ඔහු කීවේ ඒ නිසා වෙන්නට ඇත.

මගේ මුහුණේ තිබුණු ප්‍රීතිමත් ගතිය මැකී යන සැටි ඔහු දුටුවා වන්නට ඇත."මොනවද ඕනෑ?"කියා ඔහු ඇසුවේ ඒ නිසා විය යුතුයි.  නැතිවී ගිය මගේ ප්‍රීතිමත් ගතිය නැවතද එක්තැන් වූයේය.

"මට රූප ටිකක් ඇඳල දෙනවාදැ?"යි මම ඔහුගෙන් ඇසීමි.

"අපොයි පුළුවනි!ඕක සුළු වැඩක්නේ! ඇයි කතාවක් කියන්න එපාද?

"අද එපා!අම්මා ඉන්නව!"

"ඒකත් හරි තමයි" කිව් පනංගලයියා "දුමකොල නැට්ටක් එහෙම නැතිදැ?"යි ඇසීය.

මම ඔහුට දුම්කොළ නැට්ටක් ගෙනවුත් දුනිමි.ඔහු එය ඉණේ දවටා ගත්තේ කටේ තිබුණු බුලත්විට හපා ඉවර නැති බැවින් විය යුතුය.

මගේ ඩ්‍රෝයින් පොත ඉල්ලාගෙන ඔහු ගොනෙකුගේ රූපයක් පිටුව පුරා ඇන්දේය. "ඔන්න බලන්න පොරෝලිස් කංකානම ගේ පුසියගෙ ලස්සන!" කියා ඔහු පොත දකුණු අතින් මදක් උස්සා උදම් ඇනුවේය.

"ගොනාගේ හොම්බ ලොකු වැඩියිනේ!" මම කීවෙමි.

"ඇයි පොරෝලිස් කංකානමගේ ගොනාගෙත් දැන් ඔළුව ඉදිමිලනේ!ඒකයි එහෙම ඇන්දෙ!"

ගොන් රූපයේ තුනටිය වැසෙන පරිදි දැමු විදියේ රෙද්දක්ද ඇඳ පනංගලයියා එය සායම් කරන්නට වන්නේය.

"කව්ද ගොන්නුන්ගේ පිටේ රෙදි දමන්නෙ? අස්පයන්ගේ නම් ඒත් කමක් නෑ! ඒක මකල දමන්න."

"මකන්න හොඳ නෑ! දැන් නැතුවට ඉස්සර කාලේ නම්  රජ දරුවොත් ගොන්නුන්නේ පිට උඩ ගිහිල්ල තියෙනවා...."

"ඒකද අර පොරෝලිස් මාමගෙ පුතත් දැන් අර ගොන් නාම්බන්ගේ පිට උඩ යන්නෙ?"මම තව තවත් ඕනෑකමින් පින්තුරයට එබුනෙමි.

"පනංගලයියෙ,ඉතිං පින්තුරෙ පල්ලෙඅහින් ලියන්නකො පොරෝලිස් මාමගෙ පුසියා කියා ..."

"අනේ මාත්තයෝ මට අකුරු බැහැ නෙ!" පනංගලයියා මේ කීම කිවේ ඉතා කනගාටුවකිනි."මාත් අකුරු ඉගෙන ගත්ත නම් අද ලොකු මිනිහෙක් තමයි!"

"එහෙනං කොහොමද පනංගලයියා පිරිත් කියන්නෙ,තෙල් මතුරන්නෙ,අත බලල සෑත්තර කියන්නෙ?"

"ඒවට මාත්තයො අකුරු ඉගෙන ගන්න ඕනෑ නෑ.මහත්තෙයට ඕනෑ නං මම ගොන්නු පිට යන එක ගැන කවියකුත් කියා දෙන්නං!"

"හා,හොඳයි" කියා මමත් බංකුව උඩින් වාඩි උණෙමි.

"ආටක නාටක
වේපට වේගෙඩි 
මානික දරුවන්
ගොන් පිට යන්නං 
චූන කටුස්සං
හම්බන් මුත්තේ චුක්!"

පනංගලයියා එය කීප වතාවක්ම මා ලවා කියවීය.එහෙත් එය මට පාඩම් හිටියේ නැත.   තව හතර පස් විඩයක් කියවී නම් මට එය පාඩම් කරගන්නට තිබුණි.  බැරි වුණේ අම්මාගේ කරච්චලය නිසාය.

එතෙක් වේලා වැසි පොද වැටුණේ පදමටයි.එහෙත් වැඩිකල් යන්නට මත්තෙන් එය මහා වැස්සකට පෙරලිණි.

"කම්මැලියි"මම පනංගලයියාට කීවෙමි.

"ඉන්නකො එහෙනම් ඉතුරු මිතුරු කියන්න" ඔහු වටපිට බැලුවේ අම්මා ළඟ අහළ පහළ ඇතිදැයි බැලීමට වෙන්නට ඇත.

"අම්මා එහා වත්තට ගියා."

තවත් තේ කෝප්පයක් ඉල්ලාගෙන බී පනංගලයියා,දුම්කොළ නැට්ටද කටේ දමාගෙන ඉතුරු මිතුරු කියන්නට වන්නේය.

මගේ වම අතේ අල්ල මුනින් හරවා මම සිමෙන්ති පොළොවේ තැබුවෙමි.පනංගලයියාද ඔහුගේ වම් අත එසේම සිමෙන්ති පොළොවේ තැබුවේය.

දකුණු අතේ දබරැඟිල්ලෙන් වරක් ඔහු මගේ පිටි අල්ලට අනී.වරක් ඔහුගේ පිටි අල්ලටත් ඇන ගනී. එසේ අනින ගමන් ඔහු කවියක්ද කියයි.

"අතුරු මිතුරු-දෙමිතුරු තුරු
 පාඬි කතුරු - හෙට්ටියෝ
තොපෙ අයියයි - අපෙ අයියයි 
ගාලු ගොහින් 
තල් වල්ලයි -පොල් වල්ලයි
ගෙනා දාට
ඇහි වෙළෙඳං - කරපු දාට
අත හංගන්- පය හංගන් 
කොකෝ!"

"දුවනවද නැද්ද මෙතනිං,පනංගලය! ආව මේ පොඩි ඈයො නරක් කරන්න!" කියා ගෙන භූතාවේශයකින් මෙන් අම්මා එතැනට කොහේදෝ සිට කඩා පැන්නාය.

දුම්කොළ නැට්ටේ ඉතිරි හරියද කටේ දමාගත් පනංගලයියා, තලප්පාවද තවත් තද කොට ඔළුවේ බැඳගෙන,"ඒකත් හරි තමයි" කියා මිදුලට කඩාපැන්නේය. ඔහු නොණ්ඩි ගසමින් එදා වෙනදාට වඩා වේගයෙන් ගොස් එහා වත්තේ ඉඳි කඩොල්ල පැන්න හැටි මට තාමත් මතකය.

මමද අම්මාගෙන් බේරිල්ලක් නැති නිසා පොතක් ගෙන ඇඳ උඩ වකුටු වීමි.

වැස්ස තුරල් කළේ සවස් වන විටය.අම්මා රිල්ලඹ පැත්තට ගියාය.  මමද එහා වත්තේ ඉඳි කඩොල්ල පැන පනංගලයියාගේ ගෙදරට ගියෙමි.

පනංගලයියාගේ ගෙදර ඉතා කුඩා එකකි. එහි තිබුණේ ඉස්තෝප්පුවත්, සාලයත් පමණකි.  බිත්ති සියල්ලම කටු මැටියෙන් වැසුනේය.  මස් ගොබ දියවී, වැහැරී ගිය දිළිඳු සිරුරක උඩට නෙරා ගිය ඇට කෝටු පරිද්දෙන්, බිත්තියේ මැටිවලින් උඩට පිප්පී සිටි වරිච්චි එක්තරා ගැමි ගතියකින් යුක්ත විය.  වහල සෙවිලි කරන ලද්දේ පොල්අතු වලිනි.ගෙබිම මැටි ගා තිබුණේය.  ගෙට එකද ජනේලයක් වත් නැත.

ගමේ ලොකු ගෙදරකට ගොස් ලබන ආස්වාදයකට වඩා ලොකු ආස්වාදයක් මා පනංගලයියාගේ ගෙදරදී ලැබුවේ එහි බිත්තිවල එල්ලා තිබුණු අපූරූ රූප දෙස බැලීමෙනි.  අනෙක් නිවාසවල මෙන් වීදුරුවකින් වසා රාමු කරන ලද විසිතුරු පින්තූර එහි නොවූයේය.එහි තිබුණේ පනංගලයියා විසින්ම අඳින ලද ගොන් රූපත්,දේව රූපත්,යක්ෂ රූපත් පමණකි.  රූපයේ කොන් හතරට ඇණ හතරක් ගසා ඒවා හැම බිත්තියකම සවි කරන ලද්දේය.  සමහර රූපවල ඇණ එකක් හෝ දෙකක් ගැලවී තිබුණි.

ලණුවලින්වියන ලද පරණ තාලයේ ඇඳක් ඉස්තෝප්පුවේ විය.  ලනුපොටවල් වැසී යන පරිදි ඒ මත ගෝණි පඩංගුවක් අතුරා තිබුණේය.  ගෝණි පඩංගුවට උඩින් වියළි මීහරක් හමකි.පනංගලක්කා සාලයේ බිම පැදුරක් දමා නිදා ගනිද්දී පනංගලයියා නිදා ගත්තේ ඉස්තෝප්පුවේ ලණු ඇඳේය.  ගෙයි දොරවල් වෙනුවට තිබුණේ පොල් අතු පැලලි බවද මට මතකය.

පනංගලයියා කුලී වැඩ කළත් ලස්සන දෙයට ආසා ඇත්තෙකි.  ගෙයි මිදුල කළු ගල් තලවලින් අවුල්ව ගිය නමුත් ඉඩ තිබුණු තැන්වල ඔහු දාස්පෙතියා ද කූඩලු ද වවා තිබුණේ ඒ නිසා වෙන්නට ඇත.

ගෙය අයිනෙන්ම සාදන ලද කුඩා අතු පැල ඔහුගේ එළදෙන සඳහාය.  පනංගලක්කාට මෙන් එළදෙනටද පැටව් නැත.  දරුවන් නැති පනංගලක්කාට දැක්වූ ආදරය ම ඔහු පැටවුන් නැති එළදෙනටත් දැක්වූයේය.

පනංගලයියාගේ ගෙය පාමුල ඇති ගල් වැටෙන් පැන්න මම ඒ මේ අත බැලුවෙමි.   මට ඕනෑ කළේ අම්මා හදිසියේ වත් ළඟක ඇතිදැයි බැලීමටය.   "පනංගලයගේ ගෙදරට ගියොත් උඹට හොඳටම තලනවා" යැයි අම්මා මට කීප වතාවක් ම තර්ජනය කළාය.

අපේ ගෙදරට වඩා පනංගලයියාගේ ගෙදර කවදත් හොඳ යැයි මගේ කල්පනාව විය.  පනංගලයියාගේ ගෙදර ලණු ඇඳේ අතුරා ඇති මීහරක් හැම උඩ වාඩිවී කකුල්ද සල සලා ඉඳීම තරම් සැපතක් මට නොතිබුණේය.  ඇඳ උඩ ඉඳගෙන ඔහු කියන කතන්දර වලට ඇහුම්කන් දීමත් මට ප්‍රීතියක් වූයේය.

"ඇටඹ කන්න ඕනෑ" යැයි මම කීවෙමි.

"ඒකයැ මහත්තයෝ,අලි වැඩක්නේ වෙලා තියෙන්නෙ!ගහේ නං ලස්සෙකට වැඩිය අඹ තිබුණා! කොළඹ නෝනට දොළදුක හැදිලය කියල ඔක්කොම ඇටඹ ටික කඩාගෙන බර කරත්තවල පටව ගෙන ගිහිල්ලනේ.....වැඩි දවසක් නොවෙයි,අද දවාලෙ! අද දවාලෙ! ඒ උනත් මාත්තයට මම ඇටඹ විස්සක් තිහක් තියල ඇති.

ඔහු ඇටඹ ගෙඩි තුනක් ගෙනවුත් මට කපා දුන්නේය.

"කෝ ඉතිං අනික් ඇටඹ?" කියා මම ඇසුවෙමි.

"හැබෑට මාත්තයො,මේ මොනව කියනවද?  පනංගලක්කා ඇටඹ පෙරේති! මේ දරුවට තියන්නෙයි කියල තියෙද්දිත් මේ ගෑණි ඒ ඇටඹ ටික කාලනේ!"

"මම කෑ ඇටඹයක් නෑ දරුවෝ! මුළු ගහේම තිබුණේ ඔය ඇටඹ ගෙඩි තුන විතරයි!" යනුවෙන් පනංගලක්කා කීවාය.

"ගල් අන්නාසියි සීනි කැකිරියි ලොරි දෙකක්ම පුරවලා ලබන අවුරුද්දේ මේ දරුවට දෙනවා!" යැයි පනංගලයියා පොරොන්දු වූයේය.  එම නිසා මට ඔහුගේ වත්තේ ඇවිදින්නට ද ඕනෑ කළේ නැත.

"ඒයි පනංගල ගෑණියේ, මේ දරුවට රොටියක් පුච්ච දෙනවද? ලූලු මාළුත් ගෙයි ඇතිනේ?" පනංගලයියා පනංගලක්කාගෙන් ඇසුවේය.මා ලූලු මාළුත්,රොටිත් කන්නට කැමති බව ඔහු දැන සිටියා වෙන්නට ඇත.

වැඩි වෙලා යන්නට මත්තෙන් පනංගලක්කා රොටී හැදුවාය.  පස්ස පැත්තේ මඩුවේ රොටී තම්බන විට නැගුණු ප්‍රණීත සුවඳින් මගේ නැහැය පිරී යන්නට වන.  අම්මා රොටී හදතොත් එවැනි මනහර සුවඳක් නැත්තේ මන්දැයි මට කල්පනා විය.

බොකු පිඟානක දැමු රොටී දෙකකුත් ලූලු මාළුත් පනංගලක්කා මට දුන්නාය.  ඇත්ත වශයෙන්ම ගෙදර හදන රොටී නම් කිසි දිනෙකවත් ඒ තරම් රසවත් නැත.  මම හොඳට තලු මරා, රොටිත් ලූලු මාළුත් කන්නට වීමි.

"උඹලට මම කියල තියෙනව නේද මේ පොඩි එකා මේ ගෙදරට ගෙන්නවන්න එපාය කියල! උඹල කාගෙන් අහලද පොඩි එකාට ඔය ජරාව කන්න දුන්නෙ?ඔන්න පනංගලයො,උඹලටත් මේ ගමේ ඉඳීම එපා වෙලා වගෙයි....!" පස්ස පැත්තේ කෑ ගසන්නේ අම්මාය.

රොටිත් ලූලු මාළුත් සහිත බොකු පිඟාන ඇඳ උඩම තබා,ගල් වැටෙන්ද පැන මම ගෙදර දිව්වෙමි. මා අත සෝදා ගත්තේ කලවිටේ අගලෙන්ය.

කලවිට පසුකර යන තුරුමත් අම්මා,පනංගලයියාට බණින සැටි මට ඇසුණේය.  කලවිටේ දී වැස්ස ඇල්ලු නිසා මම හොඳටම තෙමුනෙමි.

ඊට පසු ගෙදර පැමිණි අම්මා මට වැරෙන් අතුල් පහරක් ගැසුවාය.  "මීට පස්සෙඔය ජරාව කන්න එගොඩහ ගියොත් උඹේ කකුල් කඩනව! උඹබලාගනිං!" කිය කියාම අම්මා පිම්බාය෴

16 comments:

  1. so sad. ළමා සිත් දුෂණය කරන්නේ අම්මල ම නේද.

    ReplyDelete
  2. සක්.. අම්ම කෑවා නේ ලුලූ මාළු එක්ක රොටී ආතල් එක.. මේක තමයි දැන් මං ආසාවෙන්ම කියෝන බ්ලොග් එක.. හික්..

    ReplyDelete
  3. මමත් රොටි හැදුවා මේක කියවල රාත්‍රී කෑමට හා හා but no 'lulas'

    ReplyDelete
    Replies
    1. Lula නැති ඇතිලියට Kanaya පණ්ඩිතයාය.

      Delete
  4. මේක අතුරු මිතුරු එකේ තව වර්ෂන් එකක් නේ?

    "අතුරු මිතුරු" එකට පර්සියානු (Zoroastrian) සම්බන්ධයක් තියනවයි කියල අහල තියනවද? ඉන්දියාව හරහා ලංකාවට ආපු පාර්සි වෙලෙඳුන්ගේ යාඥ්‍යාවලින් ආපු වචන දෙකක් කියල : Ahura Mazda / Mithra.

    ReplyDelete
    Replies
    1. අතුරු-මිතුරු
      දඹ දිවි තුරු
      රාජ කපුරු සෙට්ටියා
      අලුත ගෙනා මනමාලිට හාල් මිටක් ගරලා
      ඉහල ගෙටත් බෙදලා-පහල ගෙටත් බෙදලා
      අතක් ගනින් සෙට්ටියෝ...

      ඔන්න ඕක තමයි "අතුරු-මිතුරු" අපි දන්නා වර්ෂන් එක.

      Delete
    2. තම්බිගෙ තට්ටේ දිලිසෙනවා
      ටොක්කක් ඇන්නොත් හිල් වෙනවා
      තම්බිට ඉන්නේ එකම දුවයි
      ඒ දුව දෙන්නේ උඹට තමයි..:D

      Delete
    3. අඩේ මේ ඊයේ හෝ පෙරේදා මට මේක මතක් වුණා.. දෙවෙනි පදේ අමතක වෙලා තිබුනේ.. ඉස්තුතියි පත්තර මල්ලියා..

      Delete
    4. එකෙන්ම පැතුම් අයියා...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. පලවෙනි පාරට කියවද්දී හිතුනේ අම්ම නපුරුයි කියල තමයි. දෙවෙනි පාරත් කියවල තුන්වෙනි සැරේ වෙනකොට මම කතාව කියෙව්වේ අම්මගේ සපත්තුවට බැහැල.

    පොඩි ළමයට කැමතියි කියල නිතර දෙවේලේ වැඩක් නැතුව මනුස්සයෙක් ඇවිත් ඒකව කතාවට අල්ලාගෙන ඉන්නවා. පොඩි එකත් ඌට පණ ඇරලා. අම්මට හොරෙන් අර මිනිහගේ ගෙදරත් යනවා.

    මෙතන අන්තිමට අම්මා ළමයට ගහන්නේ රොටි කාපු නිසාම නෙවෙයි. පොඩි එකා අම්ම කියන දේ අහන්නේ නැති නිසා. ඒවගේම මූ අම්මට වඩා පනංගලට සමීපයි කියන එකත් අම්මගේ හිත රිදෙව්වා වෙන්න පුළුවන්. ඒවගේම අම්මට පනංගල ගාණත් සාදාරන තරහක් එන්න ඇති. මොකද කොච්චර කිව්වත් මිනිහ හැසිරෙන්නේ 'උඹල මොනවා කලත් ළමය මං ලඟට එන එක නවත්තන්න බෑ" වගේනේ

    තුන්වෙනි කොටස කියවද්දී මේ අදහස වෙනස් වෙන්න පුළුවන්. දැනට නං මට හිතුනේ ඔය ටික තමයි.

    බ්ලොග් එක නියමයි. දැන් නං හිතට අල්ලන බ්ලොග් කීපයයි තියෙන්නේ. හොඳට ලියන අයත් ලියන්නේ කලාතුරකින්. සුරංග, අහසෙන් එන්න, හිස් අහස, අටම්, වාසනාවන්ත කාලකණ්නියා, ඩුඩ්, හැලපය වගේ බ්ලොග් මැණික් අතරේ මේකත් මැණිකක්!!!! ස්තුතියි ඔබට

    ReplyDelete
  7. බොහොම ස්තූතියි හැලපයියේ.

    ReplyDelete
  8. කොටස් දෙකම කියෝල දැම්ම.
    වැරැද්දක් කරයි කියල හිතන මනුස්සයෙක්ගෙ ඇර එහෙම නැති තැං වලට ළමයි යනවට දෙමව්පියො විරුද්ධ වෙන එක මට පේන්න බැරි දෙයක්.

    ReplyDelete
  9. පනංගල ගෙදර යනවට අම්මා ඇයි ඔච්චර අකමැති කියල මට තාම තේරුනේ නෑ..

    ReplyDelete
  10. අය්යා, මම කාලෙකට කලින් කියෙව්වා සින්නදොරේගේ පුන්චි ලෝකය කියල පොතක්,
    පස්වෙනියත් පුතෙක්, එතකොට දිවි සයුරෙන් දිය දෝතක්,
    හොයාගන්නවත් තියනවද දන්නේ නැහැ

    ReplyDelete