" දොස්තරකු වන්නට ගිය පියසේන නිශ්ශංක මහතා පත්තර කාරයකු වුයේ අහම්බෙනි. කොළඹ කොටුවේ ලේක්හවුසියට දිනපතා යමින් කොතරම් නාගරිකයන් ඇසුරු කලද, දිනමිණ කන්තෝරුවේ මුල් පුටුවක් ලැබ අවුරුදු ගණනාවක් කොතරම් හැල හැප්පීම් වලට මැදි වුවද ඔහුගේ ගැමිකම යටපත් නොවීය.
නිශ්ශංක මහතා ටයිකෝට් සහිත සම්පූර්ණ යුරෝපීය ඇඳුම් කට්ටලය නැතිව ගෙදරින් දොට්ට බැස්සේ නැත. ආරෝහ පරිණාහ දේහයෙන් යුත් මහා කළු සිංහලයකු වූ නිශ්ශංක මහතා ඒ ඇඳුමෙන් සැරසුණු කළ දිස්වූයේ කළු සුද්දෙකු මෙනි. එහෙත් කට ඇරිය හැටියේ ඔහු ගැමියෙක් වුයේය. ගැමි සුවඳ ඔහු කෙරෙන් විහිදිණි.
පියසේන නිශ්ශංක මහතාගේ කතා බහෙන් වගේම ඔහු ලියු බොහෝ ලියවිලිවලින්ද ගැමි සුවඳ විහිදිණි. විශේෂයෙන්ම ඔයබොඩ ගෙදර වැනි කතාවලිනි.
මෙතරම් සුන්දර ලෙස ගම මවා පෑ අනෙක් කතා කරුවකු ගැන මම නොදනිමි. නිශ්ශංක මහතාගේ රචන රූප තුළ ඉස්මතු වන උසස්ම ගුණාංගය අව්‍යාජත්වයයි. එයට හොඳම නිදසුන ඔයබොඩ ගෙදරය."
(1968 මුල්වරට මුද්‍රණය වූ ඔයබොඩ ගෙදර කෘතියේ ඔයබොඩ ගෙදර නම් කතාව මෙතැන් සිට ඉදිරිපත්කරමි)
සියනෑ කෝරළයට අත්තනගලු නදිය, දඹදිවට ගෝදාවරී නදිය වගේය. හතර කෝරළයෙන් පටන්ගෙන සියනෑ කෝරළයේ උඩුගහ මැද පත්තුවල තැනිතලා භූමි මැදින් රන්වන් වැල්ල පීරාගෙන ශීඝ්‍රව ගලා බස්නා අත්තනගලු නදියේ ජලයත් රන්වන්ය.
එහි වෙසෙන ආඳ, තෙලි, පත්තංකුටු, වළපොතු, වැලිගොව් ආදී මත්ස්‍යයෝද මඩ දියට නොකැමැති කොර හා කටු නොමැති පිසූ කළ තෙල් රසැති එවුන්ය. "දවසක් අප වැඩිහිටියෙක් මේ ඔයේ එක වක්කලමකින් එක ඇමෙන් වැලිගොව්වන් පන්සියයක් බා ගත්තේය" කියන කතාවක්ද අද පළාතේ රස කතා අතරට එක්ව ඇත.
අත්තනගලු නදිය සිය ගමන කරන්නේ පුළුවන් තරම් වෙල් යායවල් හා ගොහොරු මඩ බිම් මගහරවා දෙපස පොල්වතු හා ඕවිටි බිම් සරුසාර කරමින් ගොඩ දිගේය. එහෙම බැරි තැනකදී ගොඩබිමක් අද්දරින්ය. එසේ වුවත් හැතැප්ම ගණන් දිග වෙල් යායවල් සාරවත් කරමින් ගොරකදෙනිය, මට්ටාගොඩ, වීරඟුල ආදී ගම් හරහා ගලා අවුත් මේ නදියට වැටෙන පුංචි පුංචි ශාඛා නදීහුත් ඇත.
මේ සැමට වඩා මේ නදිය ගැන කියැවෙන විශේෂ ගුණයක් නම් එහි රන්වන් දියෙහි නාන කහටඕවිටේ හා තිහාරියේ යෝනක ලියන්ද ඇතුළු සියනෑ කෝරළේ ගෑණුන් රන්වන් පැහැගත් ඡවි වර්ණ ඇතිව ලස්සන වන බවය.
මේ නදියට නුදුරු ඕවිටි ඉක්මවා නැගුණු උස් බිම් තැන්නක ඔයබොඩ ගෙදර පිහිටියේය. එය පරම්පරා කීපයක පටන්ම පළාතේ නමගිය බොහෝ ගම් බිම් ඇති ගෙදරකි. ඒ කාලයෙහි මේ පැත්තේ මිනිසුන් ගොඩ ඉඩම් ගැන වැඩියෙන් සැලකුවේ නැත. "පොල්කාරයා වී කාරයාට යටය" යන මතයක්ද මෑතක් වන තුරුම සියනෑ රටේ මිනිසුන් අතර පැවැත්තේය. ගොඩ බිම් වගාවෙන් ලබන ආදායමක් ගැන විශ්වාසයක් ඒ අවදියෙහි නොවීය. පළාතේ වතු බොහොමයක්ම පොල්, පුවක්, කොස්, දෙල් ආදී මිශ්‍ර වගාවෙන් යුක්තව පැවතුණේ ඒ නිසාය. ඒ ඉදියට ගොඩ ඉඩම් පාළු වෙන්ට ඇරියත්,කුඹුරු ඉඩම් එහෙම පාලුවෙන්ට ඇරියේ නැත. රට වැසියන්ට ආඩම්බර විය හැකි ගොවි ජීවිතයක් සියනෑ රටේ පැවතුණේ ඒ පෙදෙස් වැසියන් කුඹුරුවලට දැක්වූ ඒ ගරුසරු කම නිසාය.
මේ කියන ඔයබොඩ ගෙදර කුඹුරු වලින් හුඟක් අස්වැන්න ලැබූ ගෙදරකි. සැරයක් ගොයම් කපා ගත් කළ ගෙදර වී ගෙයි හතර කොන තිබෙන එකක බෙර දෙසීය බැගින් අල්ලන වී පෙට්ටි හතරම පිරෙන්නට තරම් අස්වැන්නක් ඒ ගෙදරට කුඹුරු වලින් ලැබුණේය.
මෙසේ මේ ගෙදරට ගම්-බිම්,ගහ-කොළ,හරක-බාන ආදී කිසිවකින් අඩු නැති බව පෙනෙන්ට තිබුණත්,එක සම්පතක එක අඩුවක් පෙනෙන්නට තිබිණි. එනම් ඒ ගෙදර දෙමහල්ලන්ට පිරිමි දරුවෙකු නොසිටි එකය. එහෙත් ගෑනු දරුවන් හතර දෙනෙකු සිටි නිසා ඒ අඩුවද එතරම්ම නොදැනිණි. මේ ගෙදරට මේ දරුවන් ඉපදෙන විට "සිංහල දරුවන්ට පර නම් අත් හැර ජාතික නම් තැබිය යුතුය",යන අනගාරික ධර්මපාල තුමා නිකුත් කළ ජාත්‍යානුරාග පණිවුඩය ගම්වලටද යන්තම් වාගේ ලැබෙමින් තිබිණ. මේ ගම්හි එම ව්‍යාපාරය භාරව ක්‍රියා කළේ ගමේ පාසලේ මහලු මුල් ගුරුතුමාය. මුලදීම ඒ නම් අද වගේ කාව්‍යමය ස්වරූපය ගත් ඒවා නොව, එක් සීමිත අච්චුවක් තුළ වැක්කෙරුණු ඒවාය. පිරිමි ළමයින්ට "සේන" යන්න අන්ත කොට ඇති සිරිසේන, ජයසේන, පියසේන යන නම් වැටුණු අතර ගෑනු ළමයින්ට වැටුණේ "වතී" යන්න අන්ත කොට ඇති රූපවතී, ගුණවතී, යසවතී යන නම්ය. ඔයබොඩ ගෙදර ගෑනු ළමයි හතර දෙනාද ඒ රාමුව ඇතුළේ "වතීලා" වුහ.
ලොකු දුව ආර්යවතීය, දෙවැනි දුව රූපවතීය, තුන්වැනි දුව මදුරාවතී ය, සතර වැනි දුව කල්‍යාණවතීය. ඉතින් ඊළඟට මේ ගෙදර දෙමහල්ලෝ සැට පිරුණු වයසක ඇත්තෝය. වයස එහෙම වුවත් ගතින් හා සිතින් ඒ දෙදෙන ඒ තරම් දුබල නැත. පුවක් හපා බුලත් විට කන්ට පුළුවන් තරමට දෙදෙනාගේම දත් නිරුපද්‍රිතය. පොත් බලන්ට කණ්නාඩි ඕනෑත් නැත. දෙදෙනාගෙන් පියා සියනෑ කෝරළේ කඩ ඉම් පොතට ඇතුළත් පෙළපත් නාමාවලියේ රාළ පේරුවට අයත් කෙනෙකුවූ අතර මව හතර කෝරළයේ ගමක වැදගත් පවුලකින් කැන්දාගෙන එන ලද සමාන කුල වංශ ඇති තැනැත්තියකි. එහෙයින් මේ දෙදෙනාමත් දරුවෝත් ගම් බිම් ආදී දේපොළ වලටත් වඩා මහන්සියෙන් රැකීමට වංශ පරම්පරා ඇතිව සිටි උදවිය ය.
දැන් මේ ගෙදර දියණිවරුන් සතර දෙනාම වැඩිවිය පත් යුවතියෝය. ඔවුහු රූපයෙන් එක සමානය. ඒ ඇති නිවුන්නෝ කියනවා විනා ඔවුන් ගැන කියන්ට වෙන වචනයක් නැත. ඔවුන්ගේ රූප ශෝභාව වර්ණනා කිරීමට පෙර කවි සමයේ උදවුනැතිව අමාරුය. මට හුරු ගැමි බසින් එය කරන්ට ගියහොත් අසභ්‍ය සාහිත්‍යයට වැටී සුචරිතවාදීන් ගෙන් මට වඩාත් අසභ්‍ය වාග් ප්‍රහාර ලැබෙන්නටත් බැරිකමක් නැත. ඒ නිසා පෙර කවි බසින් මෙන්න,ඔවුන් පිලිබඳ වර්ණනාව.
ඔවුහු මොනර පිළට නිගා දෙන නිල්වන් දිගු වරලස ඇත්තියෝය. පුන් සඳ මඬල වැනි මුහුණු ඇත්තියෝය. උනගා ගේ රන් හොරණෑව බඳු නැහැය ඇත්තියෝය. මුවැත්තියන්ගේ මෙන් කන'තට දුවන මනහර නෙත් ඇත්තියෝය. පබලු පත් සේ රන් පැහැ ගත් දෙතොල් ඇත්තියෝය. උසට සමාන මහතැ'ති සිරුරු ඇත්තියෝය. රණ හංස පැටියන් බඳු පියයුරු ඇත්තියෝය. මිටින් ගත හැකි ඉඟ සුඟ ඇත්තියෝය. රියසක යුරු සැලෙන පුළුලුකුළු ඇත්තියෝය. අත්තනගලු ඔයේ බැස නාන නිසා රන් පැහැ ගත් ඡවි ඇත්තියෝය.
මෙසේ රූපත් දූවරු, ගම්- බිම්, ගහ-කොළ, හරක- බාන, වී-සහල්, උසස් වංශය යන මෙතෙක් සම්පත්වලින් ආඪව හොඳ කලක් යවමින් ඔයබොඩ ගෙදර ගමේම කැපී පෙනෙන පවුල හැටියට පවතිද්දී, සුද්දන් ගෙනා 'ධනේශ්වර වාදය' කෙමෙන් කෙමෙන් මේ ගම්වලත් බල පවත්වන්නට විය.
මීරන් ගණන් ගිහින් රබර් වැවිල්ල බෝ වී 'ධනේශ්වර වාදය' යටතේ මිනිසුන් අතට යහමින් මුදල් ලැබෙන්නට වූ විට එතෙක් රටේ විරාජමාන වෙමින් පැවති ගම්- බිම් වාදය යටපත් වන්නට විය. ගමේ මොකවත්ම නැති ව, බොහෝ පහත් තාලේ සිටි පවුල් තුන හතරක් ම,සල්ලිය බාගේ ලැබී බලා ඉන්දදී වගේ ධනවත් වුහ.
"මොකක්ද මේ වේගෙන එන්නෙ", යනු දැන ගෙන මොළේ පාවිච්චි කර වැඩ කළ හැකි පුතෙකු සිටියේ නම් වරදින්නේ නැතිව ඉදිරි ගමන පාදා ගත හැකි මං ඔයබොඩ ගෙදරටත් තිබුණේය. ආණ්ඩුවේ කාර්යාල සඳහාත්,වෙළෙඳ සල් සඳහාත්,හෝටල් හා බැංකු ආදිය සඳහාත් අලුතෙන් කඩා වැදුණු ධනේශ්වර වාදය යටතෙහි දියුණු වන්නට වූ කොළඹ නගරයේ ඉදිවන්නට වූ ලොකු ලොකු ගොඩනැගිලි සඳහා බොහෝ ලී දඬු උවමනාවී කොස් ලී වල අගය වැඩිවන්නට වුයේ මේ කාලයෙහි හෙයින්,මේ ගෙදර තිබුණු පැරණි කොස් ගස් තොගය වික්කත් මුදල් උපදන ව්‍යාපාර කරගෙන යාමට අවශ්‍ය තරම් මුදලක් අතට ගැනීමට ඉඩ තිබුණේය. එසේ කිරීමට හෝ මේ ගෙදර පුතෙක් නොසිටියේය.
එහෙම තැන කරන්නට තිබුණේ වංශ තත්වය මොක වුණත් ඕනෑම නම් යන්තම් හන්දුරුකම ගැට ගැසී තිබුණු තැන් වලින් වත් සුදුසු තරුණයන් සොයා,මේ ගෙදර රූපත් දූන් ඔවුන්ට විවාහ කොටදී,ගෙදරට සම්බන්ධ කර ගැනීමය. එහෙත් මේ ගෙදර දෙමහල්ලන්ගේ මොළ දෙක එහෙම එකක් කිරීමට හෝ මෝරලා වැඩිය. මේ ගෙදර දෙමහල්ලෝ පමණක්ද? සියනෑ කෝරළේ අප දන්නා පරණ පවුල් බොහොමයක්ම, අන්තිමට අන්ත දුගී බවට පත් වන තැන් දක්වාම පිරිහීමට කාරණයක් වුයේ වංශෙ කබල් ගාන්ට යෑමය. දැන් ඒ පවුල්වල නෂ්ටාවශේෂ හැටියට සිටින අය කරන්නේ කසිප්පු වෙළෙඳාමය. නැත්නම් හරක් හොරකම් කිරීමය.
බලා ඉන්න එක මොහොතක් පාසා ඔයබොඩ ගෙදර තත්වය වෙනස් වෙයි. මෙතෙක් මේ ගෙදරට තිබුණු පිරිවර සම්පත අඩුවේගෙන යන්නේ, "අදට වඩා හෙට නරකයි" කිව හැකි තත්වයෙනි. මේ ගෙදර වැඩවලට ආ අග හිඟ පිරිමසා ගන්නට ආ උදවිය දැන් යන්නේ අලුත් සල්ලිකාරයන්ගේ ගෙවලටය. වතුවල වැඩත් කරවාගෙන මේ ගෙදර ලොකු උන්නැහේ තවමත් මිනිසුන්ට පඩි බේරන්නේ පනම් වලිනි. ඒ නිසා මේ ගෙදරට කුලියක් ගෙවා වත් මිනිසකු වැඩට කැඳවා ගැනීම අමාරු තත්වයක් ගත්තේය.
අනෙකක් තබා මේ ගෙදර ගෑණු දරුවන්ට අත්තනගලු ඔයේ නාන්නට වෙන්වී තිබුණු තොටට ගමේ අනිත් කෙල්ලො කොල්ලෝ ද පැමිණෙති.
"රටේ වේගෙන යන්නේ මොකක්දැ" යි අම්මා තාත්තාට නොතේරුණත්, දෝණියන්දැලාට නම් හොඳටම තේරිලාය. ඒක මුලින්ම වැටහුණේත් ඒ ගැන වැඩි වේදනාව ඇත්තේත් දෙවැනි දූ වූ රූපාටය. ඕ තොමෝ සුරුබුහුටි දුර පෙනෙන නුවණක් ඇත්තියකි. ඇය කිසිවක් යෝජනා කළ විට ඇගේ අනික් සොයුරියන් ඊට එකඟ වන්නේ ඇගේ නුවණ තමන්ගේ නුවණට වඩා උසස් බව ඔවුන් පිළිගන්නා නිසාය. ඇය විසින් පහදා දීමෙන් පසු, "රටේ සිදුවේගෙන යන්නේ කිමෙක්ද? යනු ඔවුනුත් වටහාගෙනය. දැන් තියෙන්නේ තම පියාටද කාරණය පහදා දෙන එකය.
"එන පොට හොඳ නැහැ. අපත් රට යන විදියට නොගියොත් අපට සිද්ධ වෙන්නේ මග ලගින්නයි. අපට ගොඩිනුත් මඩිනුත් ගම් බිම් තියෙන එක ඇත්ත. ඒ වුණත් ඒවායෙන් ලැබෙන ආදායම මොකක්ද? අපට ඇති ගොඩ ඉඩම් වල අක්කර ගණන ලොකුවට තිබුණට හොඳ මුරේකට පොල් පන්දාහක් වත් කැඩෙන්නේ නෑ. පොල් දාහක් විකිණෙන වැඩිම ගණන රුපියල් තිහයි. ඒ ගණනට විකුණා දෙමාසෙකට වරක් අපට ඕනෑ නම් රුපියල් එකසිය පණහක් ලැබෙයි. වී බෙරයක් රුපියල ගණනේ වී බෙර හාරසීයක් වික්කොත් අපට අවුරුද්දකට ලැබෙන්නේ රුපියල් හාරසීයයි. ඔන්න අපේ ආදායම" ඈ පියාට කියයි.
"මොකක්ද ඉතින් උඹ කියන්නෙ? ඕක මම නොදන්නවා යැ" දුව එහෙම කියන විට පියා කියයි.
"දන්නවා නම් රට යන හැටියට අපිත් පෙළ ගැහෙන්නට එපායැ".
"ඒ කොහොමද?"
"අක්කව දෙනව සල්ලි කාරයෙකුට, නංගිල දෙන්නත් එහෙම දෙනව."
"හ්ම්, සල්ලිකාරයෝ" යි කියා පියා නිහඬ වෙයි.ගෙදර තත්වය මෙහෙම පවතින විට,ලොකු දූ ගැන විවාහ යෝජනාවක් ගමේ ගෙදරකින්ම ආවේය.
ඒ ගෙදර පිහිටියේ ඔයෙහි එහා පැත්තේය. ගම් වැසියන් "සිමන්චි ගෙදර" යයි කී ඒ ගෙදර මුලදී අතු සෙවිල්ලු කුඩා දුගී එකකි. මුලදී එසේ වුවත් දැන් ඒ ගෙදර අලුත් පන්නෙට සෑදු බොහෝ සරුසාර එකක්ය.දැන් ගම්වැසියන් ඒ ගෙදරට කියන්නේ "අලුත් ගෙදර" කියාය. මේ ගෙදර කොලුවෙක් සිමන්චිගෙ පුතෙක් ඉබාගාතේ මෙන් ගෙදරින් පිටවී ගොස්,කොළඹට වී එහි හෝටලයක වේටර් වැඩක් වැනි රස්සාවක් කළේය. ලොකු වෙනකල්ම කොළඹ නැවතී එම රක්ෂාව කර කර සිටි ඔහු සල්ලි ටිකක් එකතු කරගෙන ගමට විත්, හාපිටිගම් කෝරළේ, මිහිරිගම් පැත්තෙන් ඉඩමක් බද්දට ගෙන එහි මීරන් පතලයක් බැස්සේය. ඉක්මනින්ම,පතලේ ඉල්ලම් පෑදී මීරන් කැඩෙන්නට විය. ඒ මීරන් විකුණා ලැබුණු ආදායමෙන් ඔහු තවත් පතලයක් බැස්සේය. ඒකෙනුත් ආදායම් ලැබෙන්නට වී මීරන් වෙළඳාමෙන් ඔහු ගජ පොහොසතෙක් විය. දවස් පතාම ඔහුගේ මීරන් කරත්ත දෙකක් කොළඹ පැටවෙයි. ඒ එක්කම පදිංචි වත්ත විශාල වන්නටත්, සශ්‍රීක වන්නටත්, ගෙය අලුත්වී අලංකාර වන්නටත් විය. අලුත් වතු පිටිද ගෙන ඔහු ඒවා අලුත් විදියට දියුණු කළේය.
ගමෙන් යන විට ඔහුගේ නම 'ජයා'ය. එහෙත් දැන් ඔහු "ජයතිස්ස රාළහාමි" ය. ගමේවත් අහල ගම්වලවත්, කොළඹ ව්‍යාපාරික අංශවලවත් ජයතිස්ස රාළහාමි නාඳුනන්නෙක් නොවීය. දැන් ඔහු සිටින්නේ දියුණුව නමැති හිණිමගේ ඉහළම පෙත්තකය. ඔහු කෑම කන්නේ මාළුපිණි හත අටක් එක්කය. අඳින්නේ උස් කර පටිත් සමග සිල්ක් කමිස හා කාර්ගිල් සාප්පුවේ මහපු ට්විඩ් රෙදි කෝට්ය. දුම්රියෙන් යන විට යන්නේ සුද්දන් එක්ක පළමු වැනි කැලෑසියේය. දුම්රියෙන් නොයන අනිත් ගමන් යන්නේ,ශෝබන මාලිගාවක් වැනි සුදු ගොන් දෙන්නා බැඳි ගමන් කරත්තයෙනි. දැන් ඔහුට ඕනෑ ඇහැට,කනට පෙනුම ඇති මනමාලියක් පමණක්ය. කුමාරිහාමිලා වාගේ ලෑස්ති වී ඔයට නාන්නට යන විට හේම, ඔයබොඩ ගෙදර ළමිස්සියන් ඔහු දැක ඇත. ඔවුන්ගෙන් වැඩිමහල් ළමිස්සි ආර්යවතී තම බිරිඳ වීමට සුදුසුය යි සනිටුහන් කරගෙන ඔහු කපුවෙකු අත ඔයබොඩ ගෙදරට විවාහ යෝජනා ඉදිරිපත් කර යැව්වේ ඇය සඳහාය.
දහවල් බත හේම අලුත් ගෙදරින් සප්පායම් වී කපු තැන ඔයබොඩ ගෙදරට ගියේ ලොකුම ලොකු ආත්ම විශ්වාසයක් ඇතිව, ප්‍රීති සිතින් සිනහත් වෙවීය. ඒ යන වේලාවෙහි ගෙදර ලොකු තැන, තමනුත් දහවල් බත සප්පායම් වී, බුලත් හෙප්පුවත් ළඟ තබාගෙන ඉස්තෝප්පුවේ හාන්සි පුටුවෙහි හාන්සි වෙලාය.
" කාලෙකට පස්සෙ ලොකු ප්‍රීතියකින් වගේ, ඉඳගනින්කො මේ තියෙන්නෙ හෙප්පුව,හපනවකො බුලත් විටක්."
මේ ලොකු තැන කපුවා පිළිගත් අන්දමයි. ළඟ තිබුණ බංකුවක ඉඳගත් කපුතැන හප හපා ආ බුලත්විට තවම කටේ යි කියමින් බුලත්විට ප්‍රතික්ෂේප කළේය. කපු තැන එනවා දුටු ගෙදර ලමිස්සියෝත් කලබල වූහ. මඟුල් ඔත්තුවකට මිස ඔහු නිකම්ම නොඑන බව ඔවුන් දන්නා නිසාය. කතාව පටන් ගන්නා විට ඔවුනුත් ගේ ඇතුළේ ඇහෙන තෙක් මානයේ තැන් තැන්වල සිටගෙනය. දෙවැනි දුව රූපා, හොඳටම කිට්ටුවී ඉස්තෝප්පුවේ දොර ළඟටම වී සිටියාය. අම්මාත් ඉස්තෝප්පුවේ පුටුවක හිඳ ගත්තාය.
"මම මේ ආවේ ලොකු මැණිකේ ගැන සුබ කතාවකට ය ' යි කපු තැන කතාව ඇරඹීය.
"කොයි පලාතෙන්දැ" යි ලොකු තැන කල්පනා සහිතව ඇසීය.
"වැඩි දුරකින් නොවෙයි, මේ කිට්ටුවෙන්මයි"
"කොහෙන්ද කියල කියමුකො බලන්ඩ"
"මේ ඔයෙන් එගොඩ අලුත් ගෙදර ජයතිස්ස රාළහාමිට."
"එහෙමදැ" යි ලොකු උන්නැහේ කීය.
" ඒ ගොල්ල අලුත් පොහොසත්තු බව ඇත්ත. නමුත් උඹ දන්නව නේද, ඒ ගොල්ලන්ගෙ හැටියි අපේ හැටියි. ඔවුන් අපේ වැඩකාරයෝ, සිමන්චියා නොගිය පොල් ගහක්, පුවක් ගහක්, කොස් ගහක් අපේ වත්තක නැහැ. ඒ දවස්වල ඔවුන් අපෙන් යැපුණේ ඔහොමයි. ඒ නිසා ඔය කතාව ඔතනින් නතර කර දමාපන්"
" ඒ උදවිය සම්බන්ද කර ගන්ට මොන විදියකින් වත් අපට පුළුවන් කමක් නැහැ. අපට මුල මතකයි," හාමිනේත් කීවාය.
"එහෙම බෑ, අපෙනුත් අහන්ඩ ඕනෑ. අපි කැමතියි ඔය කියන කටයුත්තට. අම්මා කියනවා මුල මතකයි කියා. ඒ ඔක්කොම දැන් පරණ දිරච්ච මුල්" යි ඈ කීවාය.
කෙල්ලගේ එඩිතරකම ගැන කපු තැනට පුදුමයි.
"හිතුවක්කාරකම්" යි අන්දුන් කුන්දුන් ස්වරයෙන් කීවා විනා තාත්තාට වෙන මොකවත් කියා ගත නොහැකි විය. අම්මා පමණක් මෙසේ කීවාය.
"ලොකු එකීව අපේ අයියගෙ පුතා, රන් බණ්ඩාරෙට දෙන්නයි මම දැන් තීන්දු කරගෙන ඉන්නෙ."
" අයියගෙ පුතා රන් බණ්ඩාරෙ ! අපූරු මනමාලයෙක් නොවැ අපේ අක්කව දෙන්න සොයා ගත්තෙ. නම නම් ලොකුයි වංසෙත් ලොකුයි.ඒ වුනාට රෙද්ද ලෙහපුවම හඩු ගඳේ පැත්ත හරියෙ ඉන්ඩ බැහැ. අක්ක යන්නෙ නෑ, ඒ හද්ද ගොඩය එක්ක," යි තවත් මොකුත් කතා කරන්ට ඉඩ නොතබා රූපා අම්මාට කීවාය.
"මම යන්නෙ නැහැ, රන් බන්ඩේ එක්ක." යි ලොකු දුව ආර්යවතීත් කීවාය.
"අන්න හරි අක්කගෙ කතාව. අක්ක යන්නෙ නැහැ රන් බන්ඩේ එක්ක. අක්කටත්, වැටී යන අපේ පවුලටත් හරියන මිනිහ තමයි ජයතිස්ස රාළහාමි. මට බය එයා කැමති වෙයිද කියන එකයි."
"හොඳට කැමතියි" මඟුල් කපු තැන කීය.
"රාළහාමිගෙම වචනෙට තමයි,මම මේ ආවෙ."
"එහෙමනම් කතා කරනවා." යි කපු තැනට කී රූපා අම්මාටත් තාත්තාටත් මෙසේ කීවාය.
" ඔන්න නොකීවයි කියන්ඩ එපා. එහෙන් කැමති වෙලා අහලත් ඒවා තියෙන එක අම්ම තාත්ත එහෙමබැහැයි කීවොත් මම ලොකු ගලක් බැඳගෙන ඔයේ වාන් කටට පැනල මැරෙනවා මැරෙනවාමැයි,අපට බැහැ පල් වෙවී ඉන්ඩ...."
"නංගි මැරුණොත් මමත් එතැනටම පැනල මැරෙනවා," යි අක්කාත් කීවාය.
"අක්කල දෙන්න මැරුණොත් අපටත් ඉඳල ඕනැකමක් නැහැ, අපිත් ඒකම කර ගන්නවා," යි නංගිලා දෙන්නාත් කීවෝය. ත්‍රස්තව ගල් ගැසී ඉන්නවාට වැඩි දෙයක් අම්මාටවත්, තාත්තාටවත් මෙතැන කළ නොහැකි විය. මද්දුම එකී යමක් කියන්නේ කරන්නටම හිතාගෙන බව අම්මාටත් තාත්තාටත් දෙදෙනාටම විශ්වාසය. ඒ නිසා දෙදෙනා කතාවක් නැතුව මුහුණු හකුළුවා ගෙන බලා ඉන්න අතර කපු තැනට කතා කිරීමට පොට පෑදුණේය.
" මැණිකෙලාට නම් තේරුම් ගිහින් තිබෙනවා, දැන් කවුද අප්පුහාමිලාට ඉන්නෙ? කලින් මේ ගෙදරට ආව ගිය උදවිය දැන් යන්නෙ, ඔයෙන් එහා පැත්තෙ තියෙන අලුත් ගෙදරට. ඔවුන් ගණුදෙනුවක් කර ගන්නෙත් ජයතිස්ස රාලහාමිගෙ මුවාවෙන්. කොහෙ කොහෙ තියෙන ඒවා හරි ඒ ගෙදරටත් වැක්කෙරෙනවා."
"අර බලන්න! මේ ගෙදර ඉන්න බල්ලගෙ පවා ඇඟේ මයිල් හැලිලා.වෙනද මේ වත්තෙ ගස්වල පලගත්ත දොඩම් අද කෝ? දෙළුම් ගස්වලත් කොළ හැලිලා. බලන්ඩ ලස්සනට වලු ඇල්ලු තැඹිලි ගස්වලත් කරබොඩ හීන් වෙලා. ඒවායින් පේනවා මේ ගෙදරට ලබාගෙන එන කළ දසාව. හරියට තමන් මහන්සි නොවී, දෙයියන්ගෙන්ම කන්ට ඉන්න දේවාල පුල්ලියන්ගේ ගෙයක් වගෙයි. අප්පුහාමිලාට දැන් තියෙන එකම වස්තුව මේ මැණිකෙලා හතර දෙනා විතරයි. දැන් මෙතන කියපු හැටියට ඒ හතරදෙනත් වාන් කටට පැනල මළොත් මොකද වෙන්නෙ? පොලීසියෙන් මිනී හතර ගොඩ ගනීවි. මැහි ගහල ඒවා උඩ, ඒ මිනී බාවල නඩුකාරවරු ඇවිත් විභාගෙ පවත්වල දොස්තරවරුන් ලවා මිනී කප්පවාවී. මොන නව නින්දාවක්ද? කවි කාරයො කවි කොළ ගහල රට හැම තැනම විකුණාවි. එතකොට කෝ? අර අප්පුහාමිලාගේ වංශෙත් ඉවරයි, ඔක්කෝමත් ඉවරයි."
මෙසේ කියා ගෙන ගිය කපු තැන කතාව හමාර කලේ,
"මොකද මං කියන්නෙ බොරුද?" යන්නෙනි.
හාමිනේ ගේ දෙනෙතින් කඳුළු වැගිරෙන්නට විය.
"මම කල්පනා කළා, තමුසෙ කිවූ හැම වචනයක්ම ඇත්ත තමා," ලොකු තැන කීය.
" දැන් ඉතින් කරන්ට දෙයක් නැහැ, වෙන නෑදෑයෝ කවුරුවත් ඕනෑ නැහැ. කතා කර ගන්න ජයතිස්සට විතරක් මෙහි ඇවිත් යන්න කියනවා."
මෙතනින් එහාට කතාව ගෙන යන්ඩ සුදුසු නැති බව කාටත් තේරිණි. මහලු යුවළ වැටී සිටින අමාරුව කවුරුත් තේරුම් ගත්හ. දෝනියන්දෑ ලා හතර දෙන හීන් සීරුවේ ගෙය තුළට ඇදී ගියහ. කපු තැන, " එහෙනම් අප්පුහාමි ඒ කතාව කියාපු විදියටම මම ඉෂ්ට කරන්නම්" කියා හුන් තැනින් නැගිට කුඩෙත් අරන් යන්ට ගියේය.
මෙයින් දෙවැනි දවසේ සිකුරාදා සවස 4 ට පමණ ජයතිස්ස රාළහාමි ගෙදර ඉන්න විදියටම වාගේ සිල්ක් මේස් බැනියමක් ඇඟලා සිල්ක් සරමක් ඇඳ,තුවායක් පිට දිගට එලා ඒ මත දිගු කෙස් කළඹ කඩා හෙලා ගෙන, ගමේ ඇවිදින්ට යන තාලෙන්,ඔයෙන් මෙගොඩවී සෙරෙප්පු නැතිව, කපු තැනත් සමග මේ නිවෙසට ආවේය.
ඔහුගේ දේහ විලාසයෙන් ගෙදර ලොකුතැන ටිකක් පසු බැස්ස නමුත් "ඉඳගම්මුකො" කියා ඔහු පිළිගත්තේය. පුංචි කාලේ කොළඹට වෙන්ඩ ඉස්සර නම් ඇවිත් ඇතත්, එයට පසු ඔහු මේ ගෙදරට පැමිණි පළමු වතාව මෙයයි.
ටික වේලාවක් ඔහු ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඉඳගෙන ඉඳලා, නැගිට ගෙය තුළටත් ගියේය. ඒ මනමාලි දැක ගැනීමට නොව,ගෙදර බඩු මුට්ටු තවමත් ඉස්සර විදියට ම තිබෙනවාදැ'යි බලාගැනීමටය. එදා තිබුණු ලොකු පෙට්ටගම්, නැදුන් වියන් ඇඳන්, පිත්තල පඩික්කම්, ඇත්දත් කුට්ටම් දෙක, මැද සාලේ එල්ලන ලද ගොලෝ පහන් තවම ඒ තත්ත්වයෙන්ම ඒ ඒ තැන්වලම තිබුණේය. " කවුරුත් එකතු වෙලා ගෙදර වැදගත්කම රැක ගැනීමට උත්සාහ කර තිබෙනවා," යි සිතාගෙන ඔහු නැවතත් ඉස්තෝප්පුවේ ඇවිත් හිඳ ගත්තේය.
මනාලියත්, ඇගේ නෑයනුත් ඔහුට කතා කළේ ඉන් පසුවය. මඟුල බොහෝ ලස්සනට එදිනම ස්ථිර විය. වැඩි දවසක් නොගොස් විවාහ මංගල්‍යයත් සිද්ධ විය. ඒ කලාතුරකින් සිදුවන එකිනෙකාට කයින්ද, සිතින්ද, ගතිගුණ වලින්ද ගැලපෙන දෙදෙනෙකුගේ එක්වීමක් විය.
එයින් පසු ටිකින් ටික එක්වී ගෙන ආ අඳුරු වලා දුරුවී,ඒ ගෙදරටත් හොඳින් හඳ පායන්නට විය.
හුඟක්ම වටිනා කියන මනමාලයන් මේ ගෙදර ඉතිරි සොහොයුරියන් පතාගෙන එන්ට වූ නිසා ඔවුන් දෙදෙනෙකුගේ කටයුතුද පරක්කුවක් නැතිව හොඳින් සිදුවිය. ඔවුහු නම් බාල සහෝදරියන් දෙදෙනාය. නමුත් දෙවැනි සොහොයුරිය වූ රූපවතී ගේ කටයුත්ත තවමත් නොකෙරුණේ ඈ තමන් ගැන කතාකරන හැම පරස්තාවකටම අකමැති වූ නිසාය.
ජයතිස්ස රාළහාමිගේ ඕනෑකම පිට, කොළඹින් ඈ පතා උසස් පෙළේ තරුණ අද්වකාත් මහතෙකු පැමිණි විට ඈ කියුවේ " නීතීඥයන්ට ඈ අකමැති ය" කියාය. දොස්තර මහතෙකු ආ විට කීවේ " ලෙඩුන් අතපත ගාන දොස්තරලා එක්ක යෑම තමන්ට අප්පිරියයි" කියාය. වෙළඳ මහතෙකුට කතා කළ විට කීවේ " ඇයි අපට හොඳම වෙළෙන්දෙක් ඉන්නේ? තවත් මොකටද වෙළඳ මහතුන්," කියාය. මේ විදියට ඈ කතා කරන හැම මඟුලක්ම ප්‍රතික්ෂේප කර සිට මා සමග විතරක් ඇත්ත කීවාය.
"මම අම්මගෙයි තාත්තගෙයි හිත තදින්ම කඩල තියෙන එකියක්, ඔය ඔක්කොම මඟුල්වලට වඩා මගේ හිතේ බලපාන්නෙ ඒකයි. ඒ නිසා විවාහ වෙන එක මම හිතෙන් අත් හැර දමලයි ඉන්නෙ. ඒක කාටවත් වෙනස් කරවන්ඩ බැහැ."
මේ තමයි මට රූපා කී ඇත්ත෴
1. අලුත් මුද්‍රණයක් තියනවද?
ReplyDelete2. කතාව 20 වෙනි සියවසේ මුලකාලය පිලිබඳවද?
3. "නිශ්ශංක" surname එකක් සිංහල විදිහට හදාගත්ත එකක්ද? (ඩයස් = දයාශ්‍රී වගේ ) තිබුන එකක්ද? එහෙම නැත්නම් මුලට වාසගම සහිතව ඔහුට විතරක් ලැබුණු
නමක්ද?
(තව ඒක surname විදිහට යොදාගන්න අය හිටිය / ඉන්නව)
මගේ ළඟ තිබෙන්නේ 2000 දී කළ දෙවැනි මුද්‍රණයයි. අලුත් එකක් තිබේදැයි නොදනිමි.
Deleteඔව්,කතා සියල්ලම 20 වන ශතවර්ෂයේ මුල් භාගයේ කතාය.
නිශ්ශංක යන්න ඔහුගේ වාසගම විය යුතුයි. ඔහු කැන්දලියැද්දපාලුවේ බොහොම ධනවත් ප්‍රභූ පවුලක උපත ලද්දෙක්.තවත් විස්තර අවශ්‍ය නම් සොයා බලා කිව හැකියි.
නිශ්ශංක යන්න අමුතු වාසගමක්. එය ඔහු විසින් වාසගමක් ලෙස යොදාගත් given නමක් නොවේනම් එහි ප්‍රභවය interesting වෙන්න ඕනෙ
Deleteඔව් අමුතු වාසගමක්. නමුත් මම දන්නා නිශ්ශංක ආරච්චිගේ කියන වාසගම තිබෙන අය කීප දෙනෙක් ඉන්නවා. ප්‍රභවය හොයාගන්න තිබේනම් වැදගත්.
Delete"ඔයබොඩ ගෙදර" ප්‍රකාශකයින් කවුද හැලපයියේ ?
ReplyDelete"වංශ කබල් ගාන්නෝ "එදා තරම් නැතත් තවමත් ඔය ඉන්නේ.
2000 දෙවැනි මුද්‍රණයේ ප්‍රකාශකයෝ
Deleteනුවණ ප්‍රකාශන,13/1, වනාතවත්ත පාර,මිරිස්වත්ත,ගම්පහ.
දුරකථන.033-22119 අංකය ගොඩක් පරණයි වගේ.කෝකටත් සූරිය ප්‍රකාශකයෝ හි අතුල ජයකොඩිට කතාකර බලන්න.0112693607.
හොඳට ඉවර වෙන විදියේ කතාවක් වගේ.. තව කොටස් තියෙනව ද?
ReplyDeleteමේ කතාව ඉවරයි.තව කතා තිබේ.
DeleteMEYAGE POTH NAM MATA DIRAWANNEMA NA...
ReplyDeleteහීන් හාමිනේ පොතත් කියෙවුවා මතකයි...
ReplyDeleteඔයබොඩ ගෙදර, හීන් හාමිනේ, වැනි පොත්, ඒ කාලේ පාසල් පුස්තකාල වල නොවැරදීම තිබුණු පොත්. ඒ කාලයේ ග්‍රාමීය සමාජය ගැන කෙරුණ ඉතා හොඳ විග්‍රහයක්, මේ පොත්වල අඩංගුයි.
ReplyDeleteඅපේ ගෙවල් පැත්තේ ලේඛකයෙක්. වදූළුව පොත සිනමාවටත් නැගුණා.
ReplyDeleteඔයබොඩගෙදර මා ගාවත් තිබුන. මහගෙදර අල්මාරියක් ඇතුලෙ ඇති. හෙට අනිද්දම හොයල බලන්ට ඕන.
ReplyDeleteඕකෙ බං මෙහෙම කෑල්ලකුත් තියනව වගේ මට මතකයි. මෙහෙමම නොවුනත් මීට ලඟින් යන...
"වැඩිවිය පැමිණුනු සාදිරිස් අප්පුගේ කෙල්ලෝ ගොම්මං යාමයේ ගම කෙළවර පිහිටි කැළෑ රොදට ගොස් හූ කියා රති කෙළි පිණිස තරුණයින් කැඳවා ගන්නා තරමට එඩිතර වූහ."
නෑ බං,එහෙම තියෙන්නෙ ජයසේන ජයකොඩිගේ අස්වැන්න හරි සුදු වලාකුළු හරි ඒක පොතක.
Delete