Tuesday, July 5, 2016

ඇල්.ඩී.මැන්දිස් සහ පනංගල අයියා.


අලුතෙන් බ්ලොගයක් පටන්ගන්නට මා සිතා සිටියේ ටික කලෙක පටන්ය,   ඒ මගේ සිත්ගත් සාහිත්‍ය ඈ කලාකෘති වල රස බ්ලොග් කියවන සාහිත්‍ය කාමීන් සමග බෙදා හදා ගන්නටය.   හැලපයා බ්ලොගයේ ඒ කාරිය කරන්නට කීප වතාවක් උත්සාහ කළමුත් බොහෝ විවේචන එල්ලවීම නිසා එම උත්සාහය අතහැර දැමුවෙමි.    නමුත් අලුත් බ්ලොගයත් සමග කැමති කෙනෙකුට තෝරා බේරාගෙන කියවන්නට බ්ලොග් අඩවි දෙකක්ම ඇති නිසා මින් පසු එවැනි විවේචන එල්ල නොවේවි යැයි මගේ විශ්වාසයයි.   මෙතැන් සිට මා රසවිඳින සාහිත්‍යය බෙදාගන්නට එකතුවන්නට ඔබට ආරාධනා කරමි.

හාපුරා කියා මම ඔබට හඳුන්වා දෙන්නේ ඔබ ඉතා හොඳින් දන්නා හඳුනන ලේඛකයෙකි එක්දහස් නවසිය හැට දශකයේ ලේඛනකරණයේ යෙදුනු ඔහුගේ පොත් ඔබ රසවිඳ ඇතුවාට සැක නැත මේ ලේඛකයා වැවදෙනියේ ඇල්.ඩී මැන්දිස්ය.   ඔහුගේ ජීවන තොරතුරු ස්වල්පයක් මෙසේ දිග හැරෙයි.

''මාර්ටින් වික්‍රමසිංහට කොග්ගලද,ගුණදාස අමරසේකරට යටලමත්තද,කේ.ජයතිලකට රදාවානද සාහිත්යික ක්ෂේම භූමි වූ සෙයින්ම ඇල්.ඩී. මැන්දිස්ට බූස්සේ වැවදෙනිය නිර්මාණ උල්පතක් වූයේය.වෙල්යායත්,පොල් රුප්පාවත්,මූදු තීරයත් පිස එන සුළඟේ සිහිලස මෙන්ම ලවණ ගතියද ඔවුන්ගේ සෑම වදනකම ගැබ්වී තිබුණේය.මැන්දිස් ගේ සමහර කතාවක් බුලත් කසට බැඳි දසන් දක්වන ගැමි ගැහැණියකගේ අකපට සිනාවක් වැන්න.

අව්‍යාජත්වයත්,සරල බවත් ආත්ම කොටගත් ඔවුන්ගේ ලේඛන ශෛලිය ගත් වහරින් මෙන්ම ජන වහරින්ද පණ පෙවුණු ප්‍රබල වාං මාලාවකින් සැදුණේ වෙයි.

1918 ජුලි 17 වැනිදා බූස්සේ වැවදෙනිය ගං පියසේ උපන් හෙතෙම අකුරු සතර හදාළේ රත්ගම දේවපතිරාජයෙන් සහ ගාල්ලේ බොනවිස්ටාවෙනි.   වසු වියේ පටන්ම පන්හිඳ හැසිරවීමේලා කදිම බුහුටි බවක් පළකළ ඔවුන්ගේ මුල්ම නිර්මාණ කෘතිය වුයේ "සුරතල්ලු" නම් කෙටිකතා සංග්‍රහයයි.    ඉනික්බිති "පනංගල අයියා" සහ "හිනිදුමකොල්ලා "යන කෙටිකතා සංග්‍රහද්වය එළිදැක්වූ ඇල්.ඩී.මැන්දිස් සුරින්ගේ ප්‍රථම නවකතාව "ජිනපාලගේ කතන්දරේ"  ය.

මසැසින් ගාලු දිසාව නුදුටුවන් පවා මනැසින් එහි පිවිසවීමට මැන්දිස් ගේ ලියුම් කියුම් තුළ වුයේ අපූර්ව නිර්මාණ ශක්‍යතාවකි.

ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ හෙතෙම ගුරු වෘත්තියේ යෙදෙමින් "ලක්මිණි පහන" ,සරසවි සඳරැස", ආදී පත්‍ර වලට කවි රචනා කළේය.   එවක ඔවුන්ගේ ඇසුර නොලද එකද කවි සඟරාවක් හෝ කවි මඩුවක් නොවූ තරම්ය.

කෙටිකතා,කාව්‍ය,සාහිත්‍ය විචාර,පරිවර්තන,පාසල් පොත්,යනු විසින් විවිධ ක්ෂේත්‍ර අළලා ග්‍රන්ථ රාශියක් මෙතුමා විසින් ලියා ඇත්තේ වී නමුදු ඔවුන් වඩාත් පාඨක ප්‍රසාදයට පාත්‍රවී සිටිනුයේ නවකතා කරුවකු වශයෙනි.

ඔවුන්ගේ නවකතා අතර "දොළේ ගෙදර","නස්පැත්තිය", "උපාධිය", "සිරි කාලකන්නි","අපේ වගතුග","මංජුලා","හිච්චි බබා",සහ "අවිචාරය" යන කෘතිද වෙයි.ඔවුන්ගේ  නවකතා,කෙටිකතා බොහොමයක මැ පෙනෙනුයේ එකම චරිත සමුදායකි.  කතුවරයාගේ ලේඛන කලා විෂයක ශික්ෂණයත්,මනා ජීවිත පරිඥානයත් මෙම කෘති සම්භාරයෙන් ප්‍රතිබිම්භිතය. එතුමන් විසින් අවසන් වරට ලියන ලද "හාමු මාමා" නවකතාවද ළඟදීම එළිදැක්වීමට නියමිතය.

සිංහල සාහිත්‍යයට සුවිශාල සේවාවක් කළ වැවදෙණියේ ඇල්.ඩී.මැන්දිස් සුරීහු 1969 නොවැම්බර් 16 වැනිදා මෙලොවින් සමුගත්හ."

ඒ කිත්සිරි නිමල්ශාන්තයන් අතින් ජිනපාලගේ කතන්දරේ නවකතාවේ 1998 මුද්‍රණයට ලියැවුණු හැඳින්වීමයි.    අද මා ඔබට පිළිගන්වන්නේ ඇල්.ඩී.මැන්දිස් සුරීන් අතින් ලියැවුණු අපූරු කෙටිකතා සංග්‍රහයක් වන පනංගල අයියා කෙටිකතා පොතේ එන පනංගල අයියා නම් රසවත් කෙටිකතාවයි.

"අපේ ගමේ බොහෝ දෙනෙක් ඔහුට පනංගල අයියා යැයි කියති.  එමනිසා මමද ඔහුට පනංගල අයියා යැයි කියමි.  කෙනෙකු ඔහුට පනංගලේ යැයි කියන බවද මා අසා තිබේ.  පනංගල අයියා කීවත්,පනංගලේ කීවත් ඔහුට ගණනක් නැත.

පනංගල අයියා අපේ ගම් පළාතට සංක්‍රමණය වුයේ මා කුඩා කාලයේදීය.  වැවදෙනියට නොදුරු එගොඩහවත්තේ කුඩා පැල්පතක් තනාගත් ඔහු පනංගලක්කාත් සමග එහි ජීවත්වුණු බව මට මතකය.  ඔහුට දරුවන් සිටියේ නැත.

එගොඩහවත්තට ඔහු මුලින්ම කැඳවා ගෙන එන ලද්දේ කවරෙකු විසින්දැයි මම නොදනිමි.  හතර රියන් බිම් කැබැල්ලකට වුවද අයිතිවාසිකම් කියා ඇණකොටා ගැනීම පුරුද්දක් කොට ගත් මිනිසුන්ගෙන්,තමන් නොදන්නා පළාතක කුඩා පැල්පතක් තනා ගැනීමට පනංගලේට අවසරයක් ලැබීම නම් මහා ප්‍රාතිහාර්යයකැයි කිව යුතුය. 

පනංගලේ රක්ෂාව වශයෙන් කවදත් කළේ කුලී වැඩය.  සරම කොටට කොටේ ඇඳගෙන,තලප්පාවක්ද ඔළුවේ බැඳ,බන්ඩි කියතද රැගෙන වැල්ලබඩ පාරේ යන ඔහු මගේ ඇස් දෙකට හුරුපුරුදු ගැමි රූපයකි.  "කොහෙද පනංගල අයියා අද උදේ පාන්දරම බන්ඩි කියතත් කරගහගෙන?" යැයි මා ඔහුගෙන් අනන්ත වාරයක් අසා ඇත.  "කොට්ටව මුකළානේ කඳන් ඉරන්න යනවා!" කියාගෙන ඔහු නොනැවතී අඩිය ඉක්මන් කර යන සැටි ද අදත් මගේ සිහියට නගී.

පනංගල අයියා වැල්ලබඩ පාරේ යන හැම විටකම මා ඔහු දෙස බලා සිටියේ මහත් ඕනෑකමකිනි.  ඔහුගේ දකුණු කකුල වම කකුලට වඩා කොටයැයි මා එකල සිතා සිටියේ,ඔහු තබන එක එක පාදයක් පාසා ඔහුගේ තරබාරු,මිටි,සිරුර දකුණු ඇලයට වැඩියෙන් නැමී ගිය බැවිනි.   ඔහුගේ ගමන් විලාසයද විසිතුරු විනැයි මට නොයෙක් විට කල්පනා විය.

මාත් ඒ කාලයේ නිකමට පාහේ දකුණු කකුල බොරුවට නොණ්ඩි කරමින්,දකුණු ඇලයට නැමී ගමන් කරන්නට උත්සාහ කලේ පනංගල අයියාගේ ගමන් විලාසය විසිතුරු යැයි සිතමිනි.  මා කොතෙකුත් උත්සාහ කළත් මගේ නොණ්ඩිය හරිගියේ නැත.

පනංගල අයියා වෑයක්ද කර ගසා ගෙන වැල්ලබඩ හන්දිය පසුකර යනවා මා තවත් විටෙක දැක ඇත.  ඔහු ඒ යන්නේ කදුරුපේ පැත්තේ පොල් ලී ශුද්ධ කිරීමට බව ඔහුගෙන්ම මම අසා දැන ගතිමි.

ඔහු සමහර දවස්වලට වැල්ලබඩ හන්දිය ඉක්මවා යන්නේ පොරවක් කර ගසා ගෙනය.  "කොහේද යන්නේ?"කියා අප ඇසු විට,"පිටිවැල්ලෙ දර පලන්න යනවා"යැයි උත්තර දී ඔහු අපූරු නොණ්ඩි ගමනින් බෝක්කුව පසු කරයි.ඔහු හුඟක් දුර යන තුරුම ඒ දෙස බලා සිටීමට මම කිසි විටෙක අමතක නොකළෙමි.

පාසැල ඇරී ගෙදර පැමිණෙන මා සවස් වන තුරු පාඩම් කොට ඊළඟට යන්නේ වැල්ලබඩ හන්දියටටයි.  සවස් කාලයේ ගෙදර ඉඳීම නම් මට කළ නොහැක්කකි.

ඒ කාලයේ වැල්ලබඩ හන්දියේ කොප්පරා මඩුවක් තිබුණේය.එය ගමේ විදානෙ ආරච්චි මහතාට අයත් වුවකි.  දෙබෑ කරන ලද පොල්, රේල්පාර අයිනේ වරා පඳුරු දක්වාම ගොඩගසා තිබුණු බව මට මතකය.   කොප්පරා මැස්සේ වැඩ කරන මිනිස්සු එක තැනක පොල් ලෙලි ගසති.   තවත් කණ්ඩායමක් පාර අයිනෙ වාඩිවී ලෙලි ගසන ලද පොල් බිඳ අව්වට වීසි කරති.  ගෝණි කබල් ඔළුවේ දමාගත් ගැහැණු පොල් බෑ සියල්ල උඩුකුරුව සිටිනසේ පේළියට තබති.

කොප්පරා මඩුව තිබුණේ හන්දියට එහා තුම්මුල්ලේය.  දවල් කාලයේ අව්වේ වේලන ලද පොල් රෑට මැස්ස උඩ දමා ගිනි ගසනු ලැබේ.  පොල් මද කොප්පරා බවට පෙරළෙන්නේ ඉන් පසුවය.

කොප්පරා මුට්ට කරන දවසේ නම් කොලු රැළ කැරකෙන්නේ මඩුව ළඟය.  මඩුවේ වැඩ කරන මිනිසුන්ගෙන් කොප්පරා කැබැල්ලක් ඉල්ලා ගෙන කෑම අපට ඒ කාලයේ විනෝදයක් වූයේය.

කොප්පරා කැබැල්ල කටේ දමා ගන්නා කොල්ලෝ එහි ඇති තෙල් හා කිරි ගතිය හමාර වන තුරුම එය හපති.  තෙල් හා කිරි රසය මැකී ගිය විට ඉතුරු වන්නේ පොල් හපය පමණකි.   වැල්ලබඩ හන්දියේ ඇති සූරිය ගහට නැගී,අප බොහෝ විට සවස් කාලය ගත කළේ කොප්පරා කමිනි.  මේ සූරිය ගස අදත් රෙජිස්ටර් රාලහාමිගේ  ගේ දොරකඩ ඇත්තේය.

සූරිය ගහේ අත්තක් උඩ වාඩිවී කකුල් සල සලා සිටින මටත් අනෙක් කොලුවන්ටත් රෙජිස්ටර් රාලහාමිගේ ගේ පිටුපස මහ මුහුදේ ප්‍රචණ්ඩ රළ පතර නගන අඳෝනාව හැම විටෙකමත් ඇසේ.  බෝක්කුවට ඔබ්බෙහි ඇති විවෘත වෙරළද සූරිය ගහේ සිටින අපට පැහැදිලිව පෙනේ.  සැඳෑ හිරු මඬල ක්ෂිතිජය කරා ලං වෙත්ම ඒ අවට අහස්තලය දම්පාටින්ද රතුපාටින්ද බබලන අන්දම මා කොතෙකුත් දැක ඇත.  ඒ පෙනෙන්නේ දඹදිව ආලෝකය යැයි අපට ඒ කාලයේ අපේ වැඩිමහල්ලෝ කීහ.

උදය රැකීරක්ෂාවේ යන පනංගල අයියා පෙරළා වැල්ලබඩ හන්දිය පසු කරන්නේ මේ වෙලාවටය.   බන්ඩි කියතත්,වැයත් පොරවත් කර ගසා ගෙන,කන බොන දේවලින් පිරුණු පොල් කොළ පිරිවැස්ස ද එක අතකින් ගෙන පනංගල අයියා බෝක්කුව ළඟින් ඉස්මතු වන හැටි මට පෙනේ.

පනංගල අයියා දුටු හැටියේම අප සුරිය ගසින් බසින්නේ නිකමට නොවේ.  උන්දැගේ පිරිවැස්සේ සීනි බෝල දහයක් දොළහක් කවදත් ඇත.   මට පමණක් නොව අනෙක් කොල්ලන්ටත් සීනිබෝල එක දෙක උන්දෑගෙන් ලැබේ.  කොල්ලන්ට සීනිබෝල දෙන ඔහු නොණ්ඩි ගමනින්ම වැල්ලබඩ හන්දිය පසු කරයි.

පනංගල අයියාට වැඩක් ලැබුනෙ නැති දවසට සුරිය ගහ උඩ රැක සිටින අපට සීනිබෝලවත්,සීනි ඇල්පැල්වත් නැත.  එදාට අප කරන්නේ හවස් වන තුරුම කොප්පරා කන එකය.
නංගල අයියා මගේ වීරයා වීමට තවත් හේතු තිබුණේය.  උන්දෑට අපූරු කතා කියා මා පුදුමයෙන් පුදුමයට පත් කරන්නටත් පුළුවන්කම තිබිණි.   එදා මුළු සවස් වරුවම වැස්සේය.   රත්මලාන වත්ත ඔස්සේ රූපිවල දක්වා වැටී ඇති අඩි පාරද වැහි වතුරෙන් පිරී තිබුණි,වත්ත පහළ කලවිටි පේළිය මැදින් ගලා යන කුඩා ඇළද වැහි වතුර නිසා ඉදිමී ගිය වේදනාවෙන් කකියන බවක් පළ විය.

මෙවැනි දවස්වල පනංගල අයියා රස්සාවට යන්නේ නැත.  ඔහු කරන්නේ එළිමහනේ රක්ෂාව නිසා,විශේෂයෙන්ම වැහි කාලය ගෙවෙන තුරු සෑහෙන ආදායමක් ඔහුට නැත.   වැහි කාලය ගෙවෙන තුරු ඔහු ළඟපහළ ගෙවල සැරිසරනු දක්නා ලැබේ.මා එදා ගෙදරට වී පාර දිහා බලා සිටියේ පනංගල අයියා එනතුරුය.   පනංගල අයියාගෙන් කතාවක් අසා ගැනීමට එය හොඳ දවසක් යැයි මට සිතුණේය.

ඇඳිරි වැටෙත්ම පනංගල අයියා වැවදෙනි ආවේය.  බුලත් විටක් කන ඔහු කවදත් වාඩිවෙන්නේ අපේ ගෙදර වලු පුටු පුංච උඩය.  එහෙත් ඔහු එදා වාඩි වුයේ අනෙක් බංකුව මත බව මට මතකය.

"අපූරු කතාවක් තියෙනවා කියන්න! අහං ඉන්නවාදැ?" යි  ඔහු මගෙන් ඇසුවේය.

මම "හා" කීවෙමි.

පනංගලේ එදා කිව් කතාව මට මතක ඇත්තේ මේ විදියටයි.

එදා පනංගලේට වැඩ නැති දවසකි.  එම නිසා ඔහු ගලබඩවත්තට ගියේය.  ඔහුට ඕනෑ කළේ කකුළුවන් කීප දෙනෙකු අල්ලා ගැනීමට විය යුතුය.  පනංගල අක්කා කකුළුවන් කෑමට කැමති නිසා ඔහු නිවාඩු ඇති දවස්වල ගලබඩවත්තට ගොස් කකුළුවන් ඇල්ලුවේය.

ගලබඩවත්තේ සිටින බීරි බාප්පාත්,පනංගලේත් ගජ යහළුවෝ වෙති.  දෙදෙනාම තරඟෙට රා බොන්නට රුසියන් නිසා මේ යාළුකම ඇතිවූ බව මම පොඩි කාලයේම දැන සිටියෙමි.

කකුළුවන් බරක් ම    අල්ලාගත් පනංගල අයියා බීරි බාප්පාත් සමග රා බීවේය.  අන්තිම දුම්රිය දොඩන්දූවේ දුම්රිය පොළෙන් හූ හඬ නගා ගාල්ල බලා ඉගිළී යන තුරුමත් දෙන්නා රා බීවෝය.

රා බිව් වෙලාවට නම් බීරි බාප්පා තරම් විනෝදකාමී මිනිසකු මුළු ගම්මානයේ නැති තරම්ය.  වෙරි මත වැඩිවන විට ඔහු දඟලන්නේ පතල් කවි කියමිනි.  පතල් කවියේ තාලයට ඔහුගේ කොට අතද ඒ මේ අතට පැද්දේ.  උන්දෑ අත කඩාගෙන තිබුණේ රත්ගම කලපුවේ ඩයිනමයිට් දැමීමට ගියදාය.  උන්දෑ සදහටම බීරි වූයේත් එදාය.

උරය වසා දමන සාළුවෙන් බීරි බාප්පාගේ කොට අත කවදත් සැඟවී ඇත්තේය.   එහෙත් එදා රා බී වෙරි වුනාට පසු උන්දෑ කොට අත එහාටත් මෙහාටත් පද්දමින් නටන්නට විය.

රෑ බෝ වී ගිය නිසා කකුළු පොදියද කර තියා ගත් පනංගල අයියා රේල් පාර දිගේම බූස්ස දක්වා ගමන් කළේය.

එදා සඳ පහන නැති රැයකි.  ගලබඩ වත්තේ සිට තුම්මංහන්දියට එන තුරුම රේල් පාර දෙපැත්තේ වැවී ඇති,ඝන අතු පතර සහිත දෙල් ගස් නිසා වටපිටාව අන්ධකාරයෙන් යුක්තය.  රේල් පාරේ සිල්පර කොටන්වල හැපී වැටෙමින්ද,නැවත පොළොව අතපතගා නැගිටිමින්ද ඔහු ගම්මැද්දෙගොඩ පසුකළේය.

ඕවකන්ද හන්දියෙන් මහපාරට සේන්දු වුණු ඔහු එතැන් සිට ගියේ මහපාර දිගේය.   කන්ද මුදුනේ වේවැල් ස්කෝලයද පසුවුණා ඔහුට මතකය.ඔහුට වේවැල් ස්කෝලය පසුකොට වැඩිදුරක් යන්නට ලැබුණේ නැත.

වේවැල් ස්කෝලයට ඔබ්බෙහි ඇති ගල්වල ඉස්මත්තේ සිට සාගරයේ රළපතර බිඳෙන තැන දක්වා ඒ කාලයේ නම් එකම වැලි තලාවකි.  එහි අද මෙන් ඒ දවස්වල පොල් පැළ වවා තිබුණේ නැත.  එය ඉස්සර තනි සොහොන් පිටියකි.

ඉදිරියට අඩි තුනක් තබා අඩි දෙකක් පස්සට යන පනංගල අයියාට මුහුදු හුළඟ වැදෙන්න වැදෙන්න වෙරි මත වැඩිවිය.   ඔහුට නින්ද ගියේදැයි ඔහුට මතක නැත.

වරක් ඇහැ පියැවී නැවත ඇහැ ඇරුණු පනංගල අයියාට හදිසියේම මුණගැසුණේ පනංගල අක්කාය.  ඈ සොහොන් ගලක් මත වාඩිවී සරමක් මසමින් සිටියාය.

"මොකද ගෑණියෙ,උඹ මේ වෙලාවෙ මේ ගල්බොක්කෙ කොරන්නෙ?" පනංගල අයියා ඇසීය.

"පේන්නෙ නැද්ද මම ඔයාට සරුවාලයක් මහනවා!" යැයි පනංගල අක්කා උත්තර දුන්නාය.

පනංගල අක්කාගේ උකුළේ තිබුණු නූල් බෝලය,ගලබඩවත්තේ කොහු තලන ගැහැණියක සතු කොහු දැලක් තරම් විශාලය.ඉඳිකටුව මෝල්ගසක් තරම් ඇත.

"බාං, යෝදියේ නැගිටපං!මම කකුළුවො ගෙනාවා!" යැයි පනංගල අයියා කීය.

"කෝ බලන්න!"

පනංගලක්කා අතේ තිබුණු ඉඳිකටුව කිතුල් ගහක් තරම් විශාල වූයේය.  ඈ එය වැලි ගොඩේ ගසා කෙළින් සිටෙව්වාය.පනංගල අක්කාද ආකාසය දක්වාම උස ගියාය.  පනංගලයියාට සිදුවුයේ ආකාසය තරම් උස්වූ පනංගල අක්කාගේ දෙපාමුල කුරුකුට්ටෙකු මෙන් සිටීමටය.

"ඉතිං පනංගල අයියට බය හිතුනේ නැතිදැ? " යි  මම භ්‍රාන්ත වී ඇසීමි.

"මොනවද දරුවො,පනංගල මිනිස්සුත් ඔහොම ආකාසේ විතර ඩොග් ගාලා ඉහළ යන ගෑනුන්න බය වෙනවද? මම කොළේ මෙන්න මේකයි....මම ඇගේ අතින් කිතුල් ගහ විතර ලොකු ඉදිකට්ට උදුරගෙන,ඇද්ද උඹට කියා ඇන්න තමයි බඩට...."

"ඉතිං ඉතිං"

"ඉතිං ඉතිං තමයි. මහාමේරු පරුවතේ වගේ උන්දැගේ බඩ ගෙඩියෙ ඔක්කොම තිබුණේ හුළං!  ඉතිං මොකද උණේ.... ඒ හුළඟ කුණ්ඩවාඩෙයක් උණා.  ඒ කුණ්ඩවාඩේ බූස්සට හැමූ දවසේ තමයි මිනිස්සු කිව්වේ ඩුන්ගුරුමනිය ආවයි කියා!තේරුණාද මේ දරුවට?දෙන්නකො මට හොඳ ළමය වගේ දුම්කොළ නැට්ටක් කටේ දමා ගන්න."

"ඉතිං තමයි ඒ පාර....මම මෙන්න මේ කකුලෙන් ගැහැව්ව උන්දැට හොඳ පාරක්!එදා තමයි මේ කකුල නොණ්ඩි උනේ !කෝ දරුවෝ දුම්කොළ නැට්ට?"

"දෙන්නං කෝ...ඉතිං?"

"ඊට පස්සෙ ඒ ගෑණි ගල්බොක්කෙ ගරෝදිවලේ තමයි.....ඩොකෝස් ගාල වැටුණා!"

"ඊට පස්සෙ?"

"කව්ද දන්නෙ?ඒ ගෑණි ගරෝදීවළෙන් එළියට ආවයැ ඊට පස්සෙ උණු දේ කියන්න?"

"කකුළුවන්න මොකද උණේ?"

"ඒ කකුළුවො රේස් අස්පයෝ වෙලා බූස්සෙ රේස් පිට්ටනියට පැන්න! උන් තමයි අද බූස්සෙ රේස් පිට්ටනියෙ දුවන්නෙ! ඉතිං තාමත් නැහැනේ මගේ දුම්කොළ නැට්ට!"

"මදෑ පනංගල අයිය කකුළුවො කෑව!"

" ඒ ඉස්සර අපි කකුළුවන්ගෙ මාළු කෑවෙ! කකුළුවො අස්පයෝ උණුදා ඉඳල උන් අපේ මාළු කනව... දෙනවද නැද්ද දුම්කොළ නැට්ටක්?"

කපුමුලු ගිය අම්මාද මේ වෙලාවේ ගෙට ගොඩ වුවාය.

"මේ... මේ...පනංගලේ උඹ තමයි මේ ගමේ පොඩි ඈයින්න ටොං පච උගන්නන්නෙ!"

" ඒකත් හරි තමයි!දෙන්නකො මට දුම්කොළ නැට්ටක්!"පනංගලේ වාඩිවී සිටි බංකුවෙන්  නැගිට්ටේය.

දුම්කොළ නැට්ටද කටේ දමා ගත් පනංගල අයියා රත්මලාන වත්ත පැත්තට ගියේ "වැස්ස පෑව්වෙ නැත්නම් හෙටත් එනවා"කියමිනි.  පනංගල අයියා නැතිනම් අපේ ගමේ ජීවයක් නැතැයි මට සිතුණේය."

මුද්‍රිත පිටු විසිපහක් පුරා දිවෙන පනංගල අයියා කතාවෙන් මට ලියා ගන්නට හැකිවුණේ පිටු හතක් පමණකි.   ඉතිරි හරිය ලියන්නට තව කොටස් දෙකක් වත් අවශ්‍ය වනු ඇත෴

20 comments:

  1. පණංගල අයියලා නිසා තමයි හැලපයියෙ ගෙවල් මණ්ඩියක් ගමක් වෙන්නෙ..ඕ යේස්

    රහ උතුරනවා... දාන්ඩ ඉතුරු පිටු ටික වැස්ස වගේ !!!
    වැඩි වැඩියෙන් ලැබිච්චාවෙ :D

    ReplyDelete
  2. ඉක්මනට ලියන්නකො ඉතිරි ටික. මං මේ පොත කියවලා නෑ. මේ කියවපු ටිකෙන් ඉබේටම පනංගල ගියා වගේ.

    මේක බොහොම අපූරු බ්ලොග් එකක් වෙයි. මේ වෙනුවෙන්ම බ්ලොග් එකක් ආරම්භ කළ එක හොදයි

    ReplyDelete
    Replies
    1. කියවපන් ජිනපාලගේ කතන්දරේ හොයා ගෙන. සමහර පොත් කඩවල තියෙනවා විකුණන්න. ජලල් ගහලා කියුප කවි තාම මතකයි.
      නොළම ඉඳන් ජාවො රැළක් ගාල්ලට යන ගමනේ
      එදා උන්ට රෑවීලා මුන්ගේ ගෙදර නවාතැනේ
      එදා මුන්ගේ අම්මා කන්න උයා දුන්න තැනේ
      එදා ඉඳන් මුන්ට දෙමළ පුළුවන් හාමුරුවනේ. තව ඒකේ බීරී බාප්පත් ඉන්නවා.බබා බරාලිස් කරපු මැරෑටි වැඩත් තියෙනවා. හැබැය් අන්තිම ශේක්පියර්ගේ හැම්ලට් වගේ තමයි.

      Delete
  3. එහෙම මැදින් නවත්තපු එක හොඳා... නැත්නම් වැඩි කල් නොයා අළුත්කඩේ තමයි ඉන්න වෙන්නේ...

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ජිනපාලගේ කතන්දරේ විතරයි කියවල තියෙන්නෙ
      මේකෙන් Baron Munchausen මතක් වුනා
      මැන්දිස් ගම ගැන, ලමා දිවිය ගැන නවකතා/කෙටිකතා නොවන පොතුත් ලිව්වද?

      Delete
  5. mendis mahathage poth okkomawage mama kiyawala thiyenawa .. ewa rasawath eka hsmata kiywanna puuwani. panangalge awasanaya shochaneeyayi neda

    ReplyDelete
  6. මේ විකාර නැතුව අනික් බ්ලොගේ කතාව ඉවර කරනවද ඉක්මනට. :D

    ReplyDelete
  7. මේක මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බේගල් කතාව හා ඒකේ ඉන්න චරිතයට සමානයි නේද?

    ReplyDelete
  8. ඇල් ජී මැන්දිස් ගේ පොත් කියවා තිබෙමි... අගේ ඇති පොත් ය

    පියසේන නිස්සන්ක මහතාගේ ඔයබොඩ ගෙදර, හීන් හාමිනේ වැනි පොත් වලිනුත් කතා ලියන්න කෝ!

    ReplyDelete
  9. පනංගල අයියා ගැන දැනගන්න සැලසූවාට හැලපයියාට තුති.

    "වැවදෙනියේ ඇල්.ඩී මැන්දිස්" ගැන අසා තිබුනත් ඔහුගේ කෘති කියවා ඇති බවක් නම් මතකයේ නැත.

    ReplyDelete
  10. පාසල් පුස්තකාලයෙන් කියවූ මේ පොත මතකයෙන් නොගිලිහෙන්නක්.

    ReplyDelete
  11. හිච්චි බබා, උපාධිය හා සිරි කාලකන්නි කියෙවුවත් මේ පොත කියවන්ට ලැබුනෙ නැහැ තාම.. මේකයි දොළේ ගෙදර හා නස්පැත්තිය පොත් දෙකයි හොයාගන්ට ඕන..

    හැබෑට හැලපෙ, පොතේ මුලු කතාවම දැම්මොත් නීතිමය පැත්තෙන් මොකුත් අලකලංචියක් ඇදෙන්නෙ නැතිවෙයිද අර මාතලන් අහන්නා වාගෙ? කතාවෙ අතරින් පතර කොටස් කීපයක් දැම්මනං මදි නැද්ද? එතකොට ඒක පාඨකයන්ට පොත හොයාගෙන කියවන්ට උත්තේජනයකුත් වෙයි කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
  12. බූස්සේ වැල්ලබඩ අපේ උන්දැගේ ගම.. දැන් ඉන්නේ කපුමුල්ල කිට්ටුව.. ඉතිං ආයිත් අහල.. ගෙදර ගියා වගේ තමයි කියෝනකොට.. හැබෑට මැන්දිස් ආතගේ පොත් මං කියෝලා නෑනේ.. හොයල බලන්න ඕනි අපේ මාමණ්ඩි ළඟ ඇති..

    ReplyDelete
    Replies
    1. මැන්දිස් මහත්මයාගේ පොත් කියවල තිබුනට එයා ගැන වැඩි විස්තරයක් දන්නේ නෑ.උපාලි කියලා පුතෙක් ඉන්නවා කියන එක කිව්වෙත් සූරිය එකේ අතුල ජයකොඩි. කමියාගේ නෝනගේ ගම කපුමුල්ල නම් කමියට පුලුවන්ද වැඩි විස්තරටිකක් හොයල ලියන්න.

      Delete
    2. මේක දැක්කේ දැන්.. මාමණ්ඩි ගෙන් අහලා බලන්නං..

      Delete
    3. උපාලි වැවෙදණිය
      ෙරා්ස් කැබින්
      වලෙගදර
      බලපිටිය

      Delete
  13. ඇල්.ඩී.මැන්දිස් මහත්මයාගේ පොත් සියල්ලබ වාගේ මම කියවලා තියනවා ඔය හාමු මාමා හැර.මේවා කියවනකොය අපිත් ඒ චරිත අතර ඉන්නවා කියල මට හිතෙනවා.පොරෝලිස් මාමා සහ එයාගේ පුතා යසපාල මට අමතක නොවෙන චරිත. අපේ වගතුග පොතේ එයාම කලිසම් ඇඳගෙන තිරික්කලයක් දක්කපු හැටි හරි අපූරුවට විතර කරනවා.ගමේ හිටපු හැම චරිතයක්ම හුඟක් නවකතාවල ඉන්නවා. හැලපේ මේ බ්ලොග් එක පටන් ගන්න ‍තෝරගත්තු කතුවරයා හොඳම ‍තෝරාගැනීමක්,මම මේ පොත් එකතු කරනවා.

    ReplyDelete
    Replies
    1. අපේ වගතුග පලමු මුද්‍ර‍ණයේ පිටකවරයේ චිත්‍ර‍ය ඇත්තේද වැවදෙණියේ මැණ්දිස් මහතා කරත්තය දක්කාගෙන යන ආකාරයටයි

      Delete
  14. මම නම් මේ පොත් ගැන ඇහුවෙත් අද.. හැලප මේ කරන වැඩේ නම් හෙන වටිනවා.. අපි නොදන්නා තව කොච්චර පොත් පත් ලේඛකයෝ ඇත්ද..

    ReplyDelete