Friday, September 2, 2016

දඩ කඳවුරේ කතාව.



අප වැනි විප්‍රවාසයේ ජීවත්වන අයට කියවන්නට කොතෙකුත් කැමැත්ත ඇතත් අලුත් පොත් ලංකාවෙන් ගෙන්නවා ගැනීම සෑහෙන අසීරු කර්තව්‍යයක් බව  විශේෂයෙන් නොකිව්වත් මා මෙන් විප්‍රවාසීව ජීවත්වන අය හොඳින් දන්නා දෙයකි.  අපේ උවමනාවන් සඳහා හිතවතුන් පොත්කඩ ගානේ යැවීම කළ නොහැකි දෙයකි.   ඒත් කොපමණ අමාරුවෙන් වුවද අඩු තරමෙන් අවුරුද්දකට දෙවතාවක් හෝ පොත් ගෙන්වා ගැනීමට උත්සාහ ගනිමි.    පහුගිය සතියේද මට එලෙස පොත් පාර්සලයක් ලැබුණේ මගේ සිත සතුටට පත් කරවමිනි.    හෙන්රි වර්ණකුලසුරියගේ දඩ කඳවුර නවකතාවද මා එලෙස ගෙන්නවා ගත් පොත් ගොන්න අතරේ විය.    පොත ලැබී සතියක් දෙකක් ගතවුවත් කියවා ගැනීමට ඉඩවරයක් ලැබුණේ පහුගිය දෙදොහේදීය.   උදේ කියවන්නට පටන්ගෙන නවත්වා රස්සාවට ගොස් ආපසු පැමිණ නැවත කියවා මහ රෑ වෙද්දී පොත අහවර කළෙමි.    'දඩ කඳවුර' ගැන වචනයක් ලියන්නට සිතුනේ පළපුරුදු ගත් කතුවරයෙකු වූ හෙන්රි වර්ණකුලසුරිය සමග බ්ලොග් මගින් ගණුදෙනු කරගැනීම වඩා පහසු යැයි සිතුනු නිසාය.    දැන් අපි පොත ගැන සාකච්ඡා කරමු.    මෙය දඩ කඳවුර පොත ගැන කෙරෙන විචාරයක් නොව පොත ගැන පාඨකයෙකුට ඇතිවන සිතුවිලි ලියා තැබීමක් පමණක් වන අතර මා සාහිත්‍ය විචාරකයෙක් නොව පාඨකයෙක් පමණක් බව නැවතත් කියා සිටිමි.

'දඩ කඳවුර' යනු අප මිත්‍ර හෙන්රි මීට පෙර ලියූ 'විල්ලරවාඩිය' නම්වූ නවකතාවේ දෙවෙනි කොටසය.    1940 දශකයේ අග භාගයේ වයඹ පළාතේ ඉඩමක් මිළදී ගෙන පදිංචි වන හෙන්ද්‍රික් අන්නවිරාළගේ පවුල මුලික කොටගෙන පළාත දිනෙන් දින ජනාවාස වී විල්ලරවාඩිය නම් ගමක් සෑදෙන ආකාරයත් ඒ ගම පදිංචි වැසියන්ගේ තොරතුරුත් කතුවරයා විල්ලරවාඩිය නවකතාවෙන් සාකච්ඡා කරන්නේ දශක දෙකක කාලයක්   රට තුළ සිදුවන දේශපාලන සමාජ හා ආර්ථික පෙරළිය මුලික කොටගෙනය.   දඩ කඳවුර යනු විල්ලරවාඩියේම දිගුව වන අතර 1960 දශකයේ අග භාගයේ සිට දශකයක් ඉදිරියට විල්ලරවාඩියේ සිදුවන දහසකුත් එකක් සිදුවීම් රටේ සිදුවන පෙරළියත් සමගම ඔහු දඩ කඳවුර නවකතාවෙන් සාකච්ඡා කරයි.   දඩ කඳවුර කතාව ආරම්භ වන්නේ 1967 වර්ෂයේ වයඹ පළාතටද බලපෑ ගංවතුරෙන් විල්ලරවාඩිය ගම යටවීමෙනි.   

හැටේ දශකයේ අග භාගයේ සිට ලියැවෙන හරිය පුද්ගලිකව මට වඩාත් රසවත් වන්නේ ඒ අපගේද ළමා කාලය වූ බැවිනි.     අද මෙන් ජනමාධ්‍ය බහුල නොවූ ඒ අවදියේ මුළු රටටම තොරතුරු ලබාගැනීමට තිබුණේ ගුවන් විදුලියත් පුවත්පත් කීපයකුත් පමණකි.    ලංකා ගුවන් සංස්ථාවේද ක්‍රියාත්මක වුයේ ස්වදේශීය සේවය හා වෙළඳ සේවය යනුවෙන් සේවාවන් දෙකකි.   ළමා අප ගීත ඇතුළු විනෝදාත්මක වැඩ සටහන්වලට සවන්දුන්නේ ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙනි.     ඒ හරිය හෙන්රි මෙසේ චිත්‍රණය කරයි.

"විල්ෆ්‍රඩ් ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ බාල දියණිය, ඉන්ද්‍රාණි පාසල් ගමන හමාර කළ වයසේ තරුණියක වූ බැවින් ළමුන් බලාගැනීමේ රාජකාරිය පැවරුණේ ඇයටය.    ගුවන්විදුලියට අසන්නන්ගේ ඉල්ලීම් යවමින් තමන්ගේ නම කියැවෙන්නේ කොයි මොහොතේදැයි විමසිල්ලෙන් සිටින්නට ඇය පුරුදු වී සිටියාය.    'විල්ලරවාඩියේ ඔගස්ටා ඉන්ද්‍රාණි' යන නම ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර ප්‍රචලිත වුයේ ලංකාව පුරා විල්ලරවාඩිය යනුවෙන් ගමක් ඇති බව කාගේත් මතකයේ නිදන්ගත කරවමිනි.

"මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි" කියා ගුවන්විදුලි සේවය ඉතා ගාම්භීර හඬින් පවසන්නට පටන් ගත්තේ අවුරුද්ද මුලදීය.    ඉන්ද්‍රාණිට දැනෙන්නේ අලුතෙන් පිහිටවූ ගුවන්විදුලි සංස්ථාවට තමන්ද බඳවාගෙන ඇති බවය.   ඇය ඒ තරමට ගුවන්විදුලි ලෝකයේ ජීවත් වන්නීය.(19,20 පිටු)

හෙන්රි මේ ලියන්නේ එකල යොවුන් වියේ ජීවත්වූ සෑම කෙනෙක්ගේම නොමැති නම් බොහෝ දෙනෙකුගේ කතාවයි.   එමෙන්ම ඔහු විල්ලරවාඩියේ භාවිතා වන ගැමි වහර ලුණු ඇඹුල් ඇතුවම ලියා තිබෙනු පොත පුරා දක්නට හැක.

"ජෝර්ජි මුලින් පටන්ගත් අල්තාරෙ පිටුපස සිද්ධියේ පුර්වාපර සන්ධි ගැළපෙන්නේ "මං ගෙදර ගෑනිගෙන්ම සහසුද්දෙන් දැනගන්නංකො ගල් ලෝඩ් එකේ කතාව" කියමින් චාලි, ජෝර්ජිට බැණ බැණ පිටත්වූ පසුවය.

"මොකක්ද බං ගල් ලෝඩ් කතාව... "මතායෙස් බාස් විමසන්නේ එහි තේරුම දැනදැයි නොදැනදැයි චාලිට තේරුම්ගත නොහැකිය.

"ඇයි බං මතායෙසෝ ඔය චාලට් එකීට තියෙන්නෙ අස්ස ගායක් නොවැ.   පේන්නැද්ද පුක නටෝ නටෝ යන ලක.අඳින්නෙත් කොටට කොටේ.මොනව හරි අහුල ගන්න පාත් වුණොත් ගාත්‍රා දෙක නිර්වස්තර..."

"හරි හරි... ඔය වර්ණනාව පැත්තක තියල වෙච්චි දේ කියහංකො..."

"මොනාද ඉතිං විසෙන්තිකාරය දෙකට ගනින්න බෑ වගේ උන්නට මේකිගෙ අඟර දඟරෙට අහු වෙන්නැති.  ගංවතුර කලබලේ පල්ලියෙ පවුල් කීයක් නං ගාල් වුණා කියලද... දෙන්න බිම පෙරළීගෙන ගාත්‍රා දෙක අස්සෙ කොරා කියලනෙ කියන්නෙ..." ජෝර්ජි අන්තිම හරිය කියන්නේ හඬ බාලකොට හෙන්ද්‍රික් අන්නවීරාලට ඇහෙන නෑහෙන ගානටය.  " කොල්ලො කියන්නෙ ගල් කපනව කියලලුනෙ ඔය කරුමාන්තෙට.ඒකයි මං කිව්වෙ ගල් ලෝඩ් එකක් බෑව කියල..."(24,25 පිටු)

විල්ලරවාඩියේ පදිංචි අය අතර සිදුවන රහස් ලිංගික සම්බන්ධතා ද කතුවරයා අඩුපාඩුවක් නොමැතිව විස්තර කරයි.

"ඒ අත සියුමැලිය.රෝසපාට ඇඟිලි තුඩු සිහින්ය.දිගැටිය.ඒ ඔස්සේ දෙනෙත ඉහළට ගත් ලෙස්ලි දුටුවේ මඳක් පහත් වීගෙන මහන මැෂිමට නැඹුරුවී රෝදය කරකවන විතාරණ නෝනාගේ කර පළල් සැට්ටය තෙරපාගෙන ඉවතට පනින්නට තතනන සුන්දර දෙතනය.

යටට ඇඳුමක් හැඳ නොසිටි,සරමක් පමණක් හැඳ සිටි ලෙස්ලිගේ අංගජාතය පොළා පැන්නේ ඇගේ සුන්දර දෙතන දැකීමෙන් ක්ෂණිකව ඇතිවූ ජාගර ආශාවෙනි.

"අක්කෙ...වැටෙයි." කියූ ලෙස්ලි ඇගේ අත්ගොබය අල්ලා ගත්තේ නියන බිමට අත හරිමිනි. ඒ හාම ඔහුගේ මුහුණ ඇගේ නිරාවරණ වූ දෙතන අතර සිර වුණේත් විතාරණ නෝනා දෑතින්ම ඔහුව බදා ගත්තේත් එකවරමය.

පැය තුනක් ඇතුළත දෙතුන් වතාවක් සිය සිරුරේ රෝම කූපයක් ගානේ හිරි වට්ටාගෙන සිටි විතාරණ නෝනා මෙවන් පරම සුවයක් අත්විඳ තිබුණේ ජීවිතයේ ප්‍රථම වතාවටය.(231,232 පිටු)

කතුවරයා ඒ ඒ කාලයට රටේ සිදුවන දේශපාලන, සමාජ, ආර්ථික විපර්යාස පාඨකයාට දක්වන්නේ විල්ලරවාඩියේ පදිංචිකරුවන්ගේ දෙබස්වලිනි.එයින්ම ඔහු පාඨකයාට කාලය ගැන ඉඟියක්ද ලබාදෙයි.

" මාකස් අයියලටත් දැන් තේරෙනවද යු.ඇන්.පී එකේ රඟේ...අන්තිමට ඉරිද නිවාඩුවටත් කණකොකා ඇඬුව..." රෙජිනෝල්ඩ් මේ කතාබහට මුල පුරන්නේ කඩේ ඉදිරිපිට බංකුවේ ඉඳගෙනය.

"මටත් නං මේක හොඳට හිතට වැදුණා...ඉරිද පූජාව පෝයදාට තියන්න කියලයැ. ඉරිදා උදේ පූජාව කොහෙ තියන්නද?ළමයි ඉස්කෝලෙ යනව.  ආංඩුවෙ රස්සාකාරයො වැඩට යනව.  ඉතින් හවස පූජාව පටන් ගත්ත." කැපුවත් කොළ යු.ඇන්.පී කාරයෙක් වන ජෝර්ජිටද මේ තීරණය හා එකඟ වන්නට නොහැකිය.(40 පිට)

ඒ ඩඩ්ලි සේනානායක රජයෙන් සෙනසුරාදා ඉරිදා නිවාඩු වෙනුවට හතර පෝයට නිවාඩු දීම නිසා ඇතිවුණු තත්වය ගමේ අයගේ දෙබස් වලින් පැහැදිලි කිරීමකි.  කාලය සම්බන්ධව දෙබසින් ලබාදෙන ඉඟිය වෙනුවට සමහර තැනෙක කතුවරයා සමහර සිද්ධි ගෙඩි පිටින්ම විස්තර කරන්නට යෑම කතාවට තරමක වාර්තාමය ස්වරුපයක් ගෙන එයි.(168,169 පිටු)

 දඩ කඳවුර කතාව 1968 සිට 1978 දක්වා දශකයක් තුළ ගලායයි.  කතාව කියවන මට සමහර තැනෙකදී ජයකොඩි සෙනෙවිරත්නයන් කලෙකට පෙර ලියු 'අතවැසියෝ' කතා කිහිපය නිතැතින්ම සිහියට ආවේ ඔහුද මෙවන් රීතියකින් එම කතා ලියා තිබු නිසාය.  ඒ 40 දශකයේ මුල් භාගයේ සිට 60 දශකය දක්වා හොරණ ප්‍රදේශය පසුබිම් කරගෙනය.   සමහර තැනකදී මගේ මතකයට ආවේ භද්‍රජි මහින්ද ජයතිලකයන් ගේ අගනා නිර්මාණයක් වූ "පොල්ගහමුල කඩේ" කෘතියයි.

හෙන්රිගේ විල්ලරවාඩිය කෘතිය ගැන කාගේදෝ බ්ලොගයක ලියා තිබියදී මා කමෙන්ටුවක් ලෙස ලීවේ එහි චරිත විශාල සංඛ්‍යාවක් ඇති නිසා ඔවුන් කාගේ කවුද යන්න වටහා ගැනීමට තරමක අපහසුවක් ඇතිවන බවයි.  එම අපහසුතාව දඩ කඳවුරේදී වඩා තීව්‍ර වන්නේ විය යුතු පරිද්දෙන්ම විල්ලරවාඩිය කෘතියට වඩා වැඩි චරිත සංඛ්‍යාවක් දඩ කඳවුරේ සිටින බැවිනි.   එහෙත් කතාවේ රසය විඳීමට එය බාධාවක් නොවන බව නම් කිව යුතුය.  කෙසේ වුවද 'දඩ කඳවුර' හෙන්රි වර්ණකුලසුරිය අතින් ලියැවුණු හොඳ කෘතියක් ලෙස මගේ මතකයේ රැඳෙන බව ලියා තැබීමට කැමැත්තෙමි෴

(ප.ලි. මුද්‍රිත පිටු 392 ක් පුරා ගලා යන දඩ කඳවුර කතාවේ ලිවිය යුතු තැන් තවත් බොහොමයක් ඇතත් මා මෙලෙස කෙටියෙන් ලීවේ දිගින් දිගට ලියන්නට ඇති කම්මැලිකම නිසා බව වැඩි දුරටත් දන්වමි.) 

8 comments:

  1. ශැක් මම තාම විල්ලර වාඩිය කියවනවා. නිරුවත් ජීවිතයි, ඝාතනයට පෙරයි කියවලා ඉවරකලා

    ReplyDelete
  2. ශැක් මම තාම විල්ලර වාඩිය කියවනවා. නිරුවත් ජීවිතයි, ඝාතනයට පෙරයි කියවලා ඉවරකලා

    ReplyDelete
  3. මේ මාසයේ කෙසේ හෝ කියවමි.

    ReplyDelete
  4. පොත් තුනෙන් මං කැමතිම එක විල්ලරවාඩිය. එය අනිත් දෙකේ ඇති අඩුපාඩුවක් නිසා නොව ජන ඉතිහාසයට මගේ ඇති කැමැත්ත නිසාය. හෙන් රි පර්යේෂණ කරල ඒ ප්‍රදේශයේ ඊටත් වඩා ඉහත කාලයක් ගැන පොතක් ලියනවනම් මං කැමතියි

    Pra Jay ( Sorry; I can't access my profile in this computer)

    ReplyDelete
  5. හොඳයි. පොත් කඩයක් පැත්තක ගිය වෙලාවක බලන්නං.

    ReplyDelete
  6. 'විල්ලරවාඩිය' නම් කියවා ගොඩක් කල්.මේ මාසේ තමයි "දඩ කඳවුර සහා නිරුවත් ජිවිත"ගන්න වෙන්නේ.

    ඉරිදා නිවාඩුව වෙනුවට පෝය නිවාඩුව දුන්නේ හැටපහේ යු.එන්.පි ආණ්ඩුවෙන් බව දැනගත්තේ හෙන්රි අයියාගෙන් "විල්ලරවාඩිය"ගැන කරපු පැහැදිලි කිරීමකදී.

    මේ'විල්ලරවාඩිය'ගැන රසිකගේ සටහන

    මේ අජිත් අයියාගේ පොස්ට් එක.

    ReplyDelete
  7. ඊයා... මම නම් ඕක කියවන්නේ නෑ... ෆිල්ති වර්ඩ්ස් තියෙනවා හැලප අයියේ...

    ReplyDelete
  8. මාස තුනක් පමණ බ්ලොග් ලෝකයෙන් ඈත්වී සිටින්නට සිදු වුණේ ජීවිතේ හිරවී තිබුණ නිසයි. හරියටම ඒ හිරවීම පටන් ගත්තෙ පහුගිය සැප්තැම්බරයේ. හරියටම ඒ අව්වස්සෙ "හැලපයා" ගේ බ්ලොග් එක "දඩ කඳවුර" වෙනුවෙන් වෙන් වෙලා.

    තරහා අවසර..!

    අදයි මේක දැකෙ. ඔන්න මං ෆේස්බුක් එකෙත් share කරනවා.
    හැලපයාගේ අදහස් දැක්වීම ගැන ස්තූතියි.

    ReplyDelete