Monday, April 17, 2017

හෙණේ පාත් වෙනකොට මිනිහ උඩ.


ඊයෙ රෑ වැස්සට අදිරියන්ලගෙ ගෙදරට අකුණු සැරක් පාත් වුණා කියන්නෙ හැබෑද එංගො නැන්දෙ?" දාවිත් අයියා තේ කඩයට ගොඩවෙමින් ඇසීය.

"ගෙදරට නෙවෙයි බං...ඕවිට අයිනෙ තිබුණ කිතුලට. ඒ වුණාට අදිරියන්ලගෙ ගෙදර එවුන් නම් හෙණ ගෙඩියෙ හඬට බය වෙලා"  එංගො නැන්දා කීවාය.

"වත්ත පහළ කිතුලට ගහපු හෙණ ගෙඩියට බයවෙන්න තරම් අදිරියලයි ගෙදර වුන් බයගුල්ලොද දාවිතෝ?" රොමයියා කතාවට හවුල් වුයේය.

" අනේ මං දන්නෙ නෑ රොමයියෙ...හෙණ ගෙඩියක් පාත් වෙනකොට මහා ලොකු හඬක් එනවා තමා. ඒ හෙණ ගෙඩිය පුපුරණ සද්දෙ නොවැ" දාවිත් අයියා අදිරියන්ලගෙ පැත්තට කතා කළේය.

" හෙණ ගෙඩියක් පුපුරන කොට ඔහොම මෙහෙම කියල අනුනමයෙන් බේරිච්ච මිනිහෙක් මං...මම නං මොහොතකටවත් බය වුණේ නැහැ." රොමයියා උගුර පාදමින් වහසි දොඩන ස්වරයෙන් පැවසුවේය.

" ඒ කොහෙදිද රොමයියෙ?" දාවිත් අයියා ප්‍රශ්නයක් නැගීය.

ඒක දිග කතාවක් බං...ඒක කියන්න කලින් කෝපි උගුරක් තොලගාන්න ඕන.,,බං එංගො මට තව කෝපි පොදක් දීපංකො මෙහාට"

" එංගො  නැන්ද කෝපි තනනකම් කතාව පටන් ගනින්කෝ" දාවිත් අයියා ඉල්ලීමක් කළේය.

මේ සිද්දිය වෙලා අවුරුදු විස්සක් විතර ඇති.   මරක්කල කෝලාහලෙටත් කලින් මං හිතන්නෙ...ඒ කාලෙ අපේ අම්මත් ඉන්නවා...දැන්වගේ නෙවෙයි ඒ කාලෙ...හොඳ හයිය තියෙන නාඹරයෙක් මං...ඔය පන්සල් දෙණියෙ කුඹුර මම තනියෙන් හාල වපුරනව."

" ඒ කාලෙ මීහරක්ට බැන්දෙත් රොමයියව වෙන්න ඇති? ඒ අවස්ථාවේ කෝපි කඩයට ගොඩ වදිමින් සිටි සුද්දයියා ප්‍රශ්නය අසමින් බංකු ලෑල්ලේ වාඩිගත්තේය.

" උඹ හිතන්නෙ බොරුයි කියලද? ඕං එක දවසක් පන්සල් දෙණියේ කුඹුර හාන්න බානයි. දවල් වෙනකොට එක මීමෙක් ගොඩට අදිනව.   ඒ බාන මම කටුවාවල රුවිනිස් ගෙන් ගෙන්න ගත්ත බානක්.  මට රිස්සුවෙ නෑ ගොඩ අදින මීමව.  මම ඌව ලෙහල දාල පොඩි එකාට නගුල දීල මම අනෙක් මීමත් එක්ක නගුල ඇද්ද.  වෙනදටත් වඩා වේලාසනින් මං හීය අහවර කළා." රොමයිය සුද්දප්පුගේ වාචාල ප්‍රශ්නයට මතක හිටින උත්තරයක් දුන්නේය.

" සුද්දයියෙ නිකා හිටිං...මේ හෙණේ කතාව අහගන්න ඉඩ දීල" එංගො නැන්දා දෙදෙනා අතරට පැන්නාය.

" ඒක තමයි සුද්දප්පු...තාම නිකටෙ බූව වැඩිලත් නැති හුරිජ්ජ කොල්ලො...ඌ මාව හෑල්ලුවට ගනං අරගෙන..." රොමයියා කෝපයෙන් දෙඩුවේය.

" ඔන්න ඔය කොල්ලන්ගෙ කතා අතහැරල දැන් කතා කියපන්කො රොමයියේ" දාවිත් අයියාද මැදිහත් විය.

" ඉතින් ඔන්න මට මඟුලක් කතා කළා වැල්ලෙන්. එක දවසක් මනමාලිගෙ තාත්ත දුවගෙන එනව...මම දැක්ක නා ගහ යටදි.  ඒ දවස්වල මාත් හරිම ලජ්ජකාරය. හවහ ගෙදර ගියාට මං අහැව්වෙ නැහැ මනමාලිගෙ තාත්ත ආපු එක ගැන.  රෑ මං අහගෙන, අපේ අම්ම ගබිරියෙල් මාම එක්ක කියෝනව...මගෙ කේන්දරේ මහා මාරක අපලයක් තියෙනවලු. ..ගෙවෙන්නෙ සෙනසුරු ඒරාෂ්ටකයලු...ඒ නිසා මංගල්ලෙ කෙරෙන්නෙ නැතැයි කියල මනමාලිගෙ තාත්ත කියනවලු. ඒත් අම්ම ඒ සියල්ල මට වහං කොළා.  ඔහොම පෝයක් විතර ගෙවුණා.  මමත් කිසිවක් නොදන්නව වගේ ලාගෙන හිටිය.

" ඔන්න දවසක් අම්ම ම කාරණේ කිව්ව.  මගේ ලග්නෙ වෘෂභ.  දශාධිපතිය සනිට ත්‍රිකෝණ වෙනදාට පන්නගන්න බැරි මාරකයක් තියෙනවලු.   මාරක අපලයක් වගේයැ නිශ්චිත මාරකයක් තියෙනවයි කීවහම. මගේ හිතත් අහපු වෙලාවෙ ටකස් ගාල ගැස්සුණා."

"මමනම් මැරෙන්න බය මිනිහෙක් නෙවි.  ඒ වුණත් කේන්දරේ හැටියට මැරෙන්න වෙන්නෙ කොහොමද දන්නෙ නැහැ නොවැ. ඕං ඉතින් කියාපු මාරක අපල දිනෙත් ආව.  අපේ අම්ම නම් කීවෙ ලණු ඇඳෙන් බහින්නෙ නැතිව ඉඳින් කියල. උදේ පාන්දර කහට කෝප්පෙ බීල මිදුලට ආව. ඕන්න අම්ම බනින්න පටන් ගත්තෙ නැතැයි.  " පොල් ගහේ අතු වේලිල...නරක දවසෙ ගහයට ඉන්නෙ... ගෙටවර ගෙටවර කීව.  ඒ පාර හීන් පොදේකුත් එනව.  මාත් ගෙට ඇවිත් ලණු ඇඳට බර දුන්න.  දවස පුරා ඇඳේ දිග ඇදිල හිටිය හැකිද?  මං කුස්සිය පැත්තට එබිල බැලුව.  අම්ම පේන තෙක් මානෙක නැහැ.  වෙන දෙයක් උනාවෙ කියල උදලු කෙටියත් අරගෙන ගෙයින් පිට වුණා.  ඉබාගාතෙ වගේ පන්සල් දෙණිය පැත්තට ඇදෙන කොටයි මතක් වුණේ දවල්ට ගෙදර මාළුවකට මොකවත් නැති වග.  දෙපාව ළඟට ආව. වෙන කරන්න දෙයක් නෑ.  කෝකටත් කෙමනක් අටවල උදැල්ල අතට ගත්ත වල් ටිකක් ගහල දාන්න.  හීන් පොදෙත් තියෙනව. ඒ පාර උදැල්ල වෙලේම තියෙද්දි හූනියන් බෝක්කුවෙන් පාරට ගොඩ වුණා.

" ඒ දවස්වල තැබෑරුම තිබුණේ බෝකුන්දර.  පයින්ම ඇවිදන් ගියා බෝකුන්දර තැබෑරුමට.  ගත්ත අරක්කු බාගයක්ම.  බීව එක හුස්මට. ඊළඟට ගත්ත තවත් බාගයක්.  ඒක ගහගත්ත ඉණේ. පොද වැස්සෙ ආපහු හුනියන් බෝක්කුව ළඟට එනකොට බීපු බාගෙ සුර් හිඳිල.  ඒ පාර ඉණේ තිබුණු බාගෙන් උගුරක් කටේ හලාගෙනම බැස්ස වෙලට. අහසත් මහ අන්දකාරයි.  පොදෙත් එන්න එන්නම වැඩි වෙනව.  වල් කෙටිල්ල පැත්තකට දාල ගෙදර යන්න හිතාගෙන ගියා කෙමන ගාවට."

"මෙන්න බොලේ කෙමනට අහුවෙලා ඉන්නව. පොඩ්ඩක් ලංවෙලා බැලුව. ඉන්නෙ නැතැයි ඉස්සෙකුයි,ඉබ්බෙකුයි,ආඳෙකුයි,ගෙම්බෙකුයි. ටිකක් බලාගෙන හිටිය. හතර දෙනාම මොනවදෝ කියනව වගෙ ඇහෙනව."

"සතුන්ට කතා කරන්න පුළුවන්ද රොමයියේ?" දාවිත් අයියා ප්‍රශ්නයක් නැගීය.

" සතුන්ට කතා කරන්න බැරි මොකද? ඒ කාලෙ මට ඕනෑම සතෙක් එක්ක කතා කළ හැකියි. සත්තු එක්ක කතා කරනව කියන එක සාත්තරයක්.  හොඳ ඉවසීමකින් හදාරන්න ඕනෑ සාත්තරයක්.  හොඳට ඇස් පෙනීමට වඩා ඕනෑ කොරන්නෙ ඕනෑම සියුම් හඬක් ඇහෙන කන් දෙකක්.  මම ටිකක් වෙලා කන් දීගෙන හිටිය උන් කතාවෙන්නෙ මොනවද කියල දැනගන්න."

"ගෙම්බ අහනව බොලේ අපි දැන් කෙමනකට අහුවෙලා...මොකද කරන්නෙ කියල. ඒ පාර ගෙම්බ කියනව "හොඳයි මේ කෙමනෙන් ගැලවිලා යන්න අපි ඔක්කොම එකතු වෙලා මොකක් හරි කරමු. මේකෙන් ගැලවෙන්න එක එක්කෙනා දන්න නුවණ කීවොත් අපට පුළුවන්නෙ හොඳ නුවණක් තෝරගන්න."

"කවුරුත් ගෙම්බගේ කීම අනුමත කළා.  ඒ පාර ගෙම්බ අහනව ඉස්සගෙන් කෙමනෙන් බේරෙන්න නුවණ කීයක් දන්නවද කියල. ඉස්ස කියනව මමනං නුවණ විස්සක් දන්නව කියල. ඒ පාර ගෙම්බ අහනව ආඳාගෙන්. ආඳා කියාපි ඌ නුවණ දහයක් දන්නව කියල.තුන් දෙනාම ඒ පාර ඇහැව්ව ගෙම්බගෙන් උඹ මේකෙන් ගැලවෙන්න නුවණ කීයක් දන්නවද කියල. ගෙම්බ කීව මා දන්නෙ එකම එක නුවණයි කියල.
ඒ කතාව ඇහුණහම...තවත් බලබලා ඉන්න එක නරකයි කියල තේරුණා...උන්ගෙ නුවණ තිස්හයට මේ රොමානිස් යට වෙනවද? ගෙම්බගේ කතාව ඉවර වෙන කොටම කෙමන පිටින්ම උස්සල ගත්ත නියරට."

" නුවණ විස්සක් දන්නවයි කියාපු ඉස්සව මුලින් අරගත්ත. අඬුටික අඹරල නියරෙ අත ඇරිය.

" ඒ පාර ගෙම්බ පැත්තක ඉඳගෙන කියනව " විසි බුධිං මිරිකී මිරිකී තඃ" කියල.

"මම ඉණේ තිබුණ පිහිය අරගෙන කෝටුවක් උල්කර ගත්ත.  ආඳව දිගෑදී කළා නියර දිගේ...ඇන්න උල් කෝටුව කන් දෙක හරහ යන්න."

" ගෙම්බ ඒ පාර කියනව දස බුධිං කන් පිට කොටු තඃ" කියල.

" මං ඒ පාර අල්ලගත්ත ඉබ්බව. කට්ටෙන් අල්ලල පෙරලුව ඉබ්බව අනෙක් අතට.  ඒ පාර ගෙම්බ කියනව " පස බුධිං බඩ පිට පෙරලි පෙරලි තඃ" කියල.

අන්තිමට අල්ල ගත්ත පණ්ඩිත ගෙම්බව.  ඌට මොනව කරන්නද? අසරණ සතා නොවැ.  අල්ලල විසිකලා පිට ඇළට.  ඌ වතුරට වැටිල කියනව " ඒක බුධිං දිය යට කිචි කිචඃ, කිචි කිචඃ" කියල.

" බැලුව නියර දිහා. ඉබ්බ උඩුබැලි අතට ඉන්නව. මට පව් කියල හිතුණා.  පෙරලල දැම්ම ඇළට. ඉස්සත් වැදගැම්මකට තරම් නෑ. අනෙක තනි ඉස්සෙක්නෙ. ඌට පයින් ගැහැව්ව නියරෙන් එහාට වීසිවෙන්න. ඌත් වැටුනෙ නැතෑ ඇළට. පොදේ ටිකින් ටික වැඩිවෙනව.  කෝටුව පිටින්ම ගත්ත ආඳව අතට.  ආඳ දඟලනව.කෝටුව කෙලින් කරල ඇල්ලුව. මෙන්න බඹරයක් වගේ ආඳා දැලේ කැරකෙනවා.  මොකද කියල බැලින්නම් වැහි බිංදු ආඳගෙ ඇඟට වැටෙනකොට ගැස්සි ගැස්සි පණ ගහනව.

"ගෙදර යන්න පය උස්සන කොටයි මතක් වුණේ ඉණේ ගහගෙන තිබුණු අරක්කු බාගෙ. බෝතලේ අතට ගන්න කොටම විදුලියක් කෙටුව.  බෝතල් කට කටේ තියාගෙනම ඔලුව උස්සල බැලුව.  බැලින්නම් මේ එන්නෙ...කැරකි කැරකි... රතට රතේ... දිලිසි දිලිසි... ඉදිච්ච හේන් මිරිස් කරලක් වගේ..."

"මොකක්ද රොමයියෙ."

"මොකක්ද?"... ඇයි බං අකුණු සැරක්නෙ. බෝතලේ කටේ තියාගෙනම බැලුව හොඳට ඒ දිහා. දිගට හරහට විදුලි කොටනව. ආකාසෙ පුපුරු ගහගෙන ගොරවනවයි...විදුලි කොටනවයි.  හරියට කොළ හැලිච්ච කොට්ටම්බ ගහ වගේ ආකාසෙ පුරාම එළිය දුවනව."

"එන පොට හොඳ නැහැ...රතු මිරිස් කරලක් වගේ ගිනිගෙන...කැරකි කැරකි...අකුණ එන්නෙ මගේ දිහාවට. කේන්දරේ කතාවත් මතක් වුණා. මාරකය ලෙහෙසි එකක් නොවෙයි කියල ඇරැව්වල අප්පුහාමිත් කියල තිබුණ නෙ.  මොහොතක් කල්පනා කළා...ටකස් ගාල හිතුනෙ නැතෑ කරන්න ඕන දේ...අකුණු සැරේ ඔහොම මෙහෙම පේන මානෙ ඇදී එත්දී...හිටු පිම්මෙන්ම ගැහැව්ව උඩ පිනුමක්.

"රොමයියට පිනුම් ගහන්නත් පුළුවන් බව අපි දැන හිටියෙ නෑනෙ?"

" හැබෑටම උඹල දන්නෙම නැද්ද...? ඇත්ත තමයි මම පිනුම් ගහන කාලෙ බොලාගෙ අප්ප බොලා ගැන හිතලත් නෑ නොවැ. අහල බලපන් බොලාගෙ මැරිච්ච අප්පොච්චගෙන්.  ඒ කාලෙ වැල්ලෙ හිටියෙත් නැහැ මාත් එක්ක තරක් වෙන්න තරම් පිනුම් කාරයෙක් ඉතින්...මමත් ගැහැව්වෙ එසේ මෙසේ පිනුමක් නෙවෙයි. අට ඉස්ඹක් උඩ පිනුමක්...දැන් ඔය පිනුම් මනින සාත්තරේ දන්න ඈයො නැහැ."

මම උඩ ඉඳගෙන බැලුව අකුණ දිහා. මගෙ පස්ස පැත්ත පිච්චීගෙන ගියා වගේ දැනුණ.  එතකොටම අකුණ පිපිරුව.  හම්මේ එහෙම හඬක්...මගෙ ජීවිතේට අහල නැහැ. මම බිමට පාත්වෙනකන්ම කන් අගුල් වැටිල.  බිමට පාත්වුණ හැටියෙම කටේ තිබිච්ච අරක්කු බාග බෝතලේ විසි කෙරුව."

" රොමයිය අට ඉස්ඹක් උඩ පිනුම් ගහල තියෙන්නෙ අරක්කු බෝතලේ කටේ තියෙද්දිමද ?"

" නැතිව...ඒ විතරක්යැ...ටිකක් කලබල නැතිව හිටින්කො කතාව අහවර කරනකම්...දැන් මම දන්නව...අපේ අම්ම යමරෙට කලබොල වෙලා ඇතියි කියල. බඩ ගින්නකුත් දැනෙනව.  ඕං මං ගෙදර එන්න ආව. මඟදී දැනෙනව පුලුටු සුවඳක්.  එහෙ බැලුව.මෙහෙ බැලුව. පේන මානෙ ගෙයක්වත් නෑ.  මේන්... පුලුටු ගඳ එන තැන. ඒ පොඩ්ඩට මට අමතක වෙච්ච තරම.  මොකද වෙලා තියෙන්නෙ.ඔය කලබොල මැද්දෙ උඩ පිනුම ගහල තියෙන්නෙ ආඳත් එක්ක කෝට්ට ඉණේ ගහගෙන.   අකුණු සැරේ මා ගාවින්ම නෙ ගිහින් තියෙන්නෙ.  ඒකෙ උණුහුමට ඉනේ කෝට්ටෙ හිටිය ආඳ පිලිස්සිල. මම අරක්කුත් බීල හිටපු වෙලාවනෙ. ආඳව වික විකම ගෙදර ආව."

" ආඳව විතරද පිච්චුණේ...රොමයිය පිච්චුණේ නැද්ද?"

"මාව පිච්චුණේ නැද්ද කියලත් අහනවනෙ.  මගෙ ඔලුවෙ පැත්තක්ම කොණ්ඩේ සුදු වුණේ ඔය පලහිලව්වෙදී තමයි."

" ඒ වුණාට දැන් රොමයියගෙ මුළු කොණ්ඩෙම ඉදිලනෙ"

" ඒ දැන් වයසට නෙ!"

" වයසට නෙවෙයි බං...ඔහොම ඒව කියනකොට දතුත් ඉදෙනව.  ඒකනෙ රොමයියගෙ දත් සුදු පාට වුණේ" සුද්දයියා පැවසීය.

" බොට හැම එකම බොරු... ඒ පිලිස්සිච්ච ආඳා මාළු තොගෙ අප්පොච්චිත් කාල තියෙනව බොලං." රොමයියා කේන්තියෙන් මොර දුන්නේය.

" ඇත්තටම, එහෙම නම් මම අප්පච්චිගෙන්ම අහගන්නම්කො...උඹ කේන්ති ගන්න ඕන නැහැ.  මේ මං ගියා"  එසේ කියමින් සුද්දයියා පිටව ගියේය.

"ඈ රොමයියෙ, පිනුමෙන් මාරක අපලෙ ගෙවුණා නේද?  ඊට පස්සෙවත් මනමාලිගෙ තාත්තල එහෙම ආවෙ නැද්ද?" දාවිත් අයියා තවත් දෝනාවකට මග පාදමින් විමසුවේය.

" අර සුද්දප්පුවගෙ හරුපෙ නිසා ඒ ඩිංගිත්ති ගැන කියන්න අමතක වුණා නෙ."

" මොකක්ද බං ඒ ඩිංගිත්ති?" එංගො නැන්දා හූ මිටි තිබ්බාය.

" හෙණේ පාත්වෙනකොට මං අට ඉස්ඹක පිනුමක් ගහල බේරුණ සංසිද්ධිය ගැන ඒ දවස්වල නාගස් හන්දියෙ හැමෝම කතාකළා.  මේ කතාව කටින් කට ගිහින් මනමාලිගෙ ගෙදරටත් කාන්දු වුණා. ඕං බොලං දවසක් මනමාලිගෙ තාත්තයි මාම කෙනෙකුයි කද බැඳගෙන අපේ ගෙදර ආව.  අපේ අම්මත් මහ ආඩම්බරකාරී.  එකවරම වචනෙ දුන්නෙ නැහැ." රොමයියා කෝපි උගුරක් තොල ගෑවේය.

" ඈ රොමයියෙ මඟුල හබක් වුනාද?" දාවිත් අයියා ඇසුවේය.

" හබක් වෙන්නෙ කොහොමද? ඒ කාලෙ මෙහේ කට්ටිය වැල්ලෙ බාරොන් අයියගෙ ගොයම් කයියට යනව.  ගොයම් කපල අහකවෙල ටී සයිඩර් කට්ටක් කටේ හලාගෙන දවාලේ ඇඹුලට වාඩිවුණා.  ඇඹුල බෙදන්න ආපු ඩිංගිති එකියක් ඇඹුල බෙදන ගමන් මං දිහාව අමුතු විදියකින් බැලුව.

" ඔහේද රොමානිස් අයිය කියන්නෙ. හරිම හපනෙක්ලු නේද?" ඒකි මගෙන් අහපි.  බැලින්නම් මට ජෝඩුකරපු එකී.  අපේ අම්ම වචනයක් නොදුන් නිසා ඒකි හිටියෙත් සංකාවෙන් වගේ.  මං ඇහැව්ව මාත් එක්ක යන්න එනවද කියල.  එච්චරයි.  හවස කයිය අහවර වෙලා එනගමන් මං ඒකිව ඩැහැගෙන ආව."

" හැබෑටම රොමයියෙ මගුලක් නොකාම කැන්දගෙන ආවද?" එංගො නැන්දා විමසුවාය.

" මොකෝ මඟුල් නොකෑවයැ? පහුවෙනිදා ඒකිගෙ නෑයෝ ආව.  මුළු ගමටම කියල රජ මගුලක් කෑව. එහෙම මගුල් කෑමක් මේ ගමේ තාම සිද්ද වෙලා නෑ බොලං." රොමයියා ඉතිරි කෝපි උගුරත් කටේ හලා ගත්තේය.

" ඈ රොමයියෙ දැන් උඹ දීගකන සොපා නැන්ද කැන්දගෙන ආවෙ එහෙමද?" දාවිත් ගොයියා ප්‍රශ්නයක් මතු කළේය.

" අපොයි නැහැ.  දැන් ඉන්න එකී සොපිය, මේ ගමේ එකියක්නෙ.  ඩිංගිත්ති වැල්ලෙ එකියක්.  ඒකිගෙ බඩට තුන් මාසෙදි සන්නි ලෙඩේ හැදිල ඒකිගෙ අම්මලගෙ ගෙදරදීම මියැදුනා නෙ.  මොනව කරන්නද? ඒකිගෙ ආවිස අහවර වෙන්න ඇති.  රොමානිස් අයියා පපුව පුරෝල හුස්මක් ඉහළට ඇද්දේය෴

(නිව්ටන් සෙනෙවිරත්න විසින් සුද්දයියගෙන් අසා 1972 වර්ෂයේදී ඇත්ත පත්‍රයට ලියන ලද 'රොමයියගෙ කතා' පෙළ 2003 වර්ෂයේදී ඔහු විසින් " රොමයියගෙ කයිය" යනුවෙන් ග්‍රන්ථයක් වශයෙන් සංස්කරණය කරන ලදී. මේ ඒ පොතෙහි එන එක් කතාවක් ඔබේ රසාස්වාදය සඳහා ඉදිරිපත් කිරීමකි)

10 comments:

  1. හලපෙ, මේ පොත් වල තියෙන කතා එහෙම්ම ආයේ දාන එක බුද්ධිමය දේපල යටතේ වරදක් නේද. දැන් හැම නවකතා,කෙටිකතා පොතකම වගේ මුල් පිටුවලම මේක සදහන් කරලා නේද තියෙන්නේ.

    හැලප මෙහෙම මේ ලිපි දැම්මම අපිත් රස විදිනවා තමයි. ඒත් ඒක සදාචාර වගේම නිත්‍යානුකූල නැහැ නේද. නවකතා කෙටිකථා ගැන විචාරයක් ඉදිරිපත් කරද්දී නම් කොටසක් උපුටා දැක්වුවාට මෙතන හැලප සිදුකරන්නේ එවැනි දෙයක් නොවෙනි. තරහ ගන්ට එහෙම කාරී නෑ හැලප. මට මේ බ්ලොග් ඒක මුල් වතාවේ ඉදලා කියවද්දී හිතට ආපු අදහස මං කිවේ. ඉස්සර විචාරක මහතාත් එවැනි දෙයක් සිදුකරනවා. ඔහුත් පොත් පත් ආදිය ස්කෑන් කොට සම්පුර්ණයෙන්ම ඔහුගේ බ්ලොග් ලිපි මගින් පල කරනවා. ඒවා ගොඩක් වෙලාවට අදාළ පොතේ රචකයාට, මුද්‍රණකරුවාට, ප්‍රචාරකයට කරන අසාධාරණයක්.

    ඉතා පැරණි සොයා ගැනීමට අපහසු පොත් පත් බෙදා ගැනීම ගැන නම් නෙමෙයි මම කියා ඇත්තේ.

    කොහොම උනත් හැලප හිතනවා නං මගේ අදහස මෙතන තියෙන්න සුදුසු නෑ කියලා ඒක අයින් කරන්න.

    ස්තුතියි අදහස් පලකිරීමට අවස්ථාවක් ලබා දීම පිලිබදව.

    ReplyDelete
    Replies
    1. Relevant Law -
      Intellectual Property Act No- 36 of 2003, Chapter 1.

      Relevant to current subject -

      Section 6(1)(a), 6(2) (Protected work)
      Section 10 (Moral rights). See 10(1)
      Sections 11 &12(Fair use of the work)
      Section 13 (Duration of copyright)

      මට හරියටම කියන්න තරම් අධ්‍යයනය කරන්න වෙලාව නෑ.
      Moral rights උල්ලංඝනයක් නෑ මං හිතන්නෙ කතෘගේ නම තියන නිසා.
      Copy right ගැන බැලුවහම පොතකින් පොඩි කෑල්ලක් දැම්මනම් Fair use කිව්ව හැකි.
      ඒත් මේක සම්පූර්ණ කතාවක්.

      තර්ක -

      # ඒත් මේක පොතේ පොඩි කෑල්ලක් වුනාට එක් සම්පූර්ණ කතාවක්. කතෘ ( හෝ කොපිරයිට් අයිතිකරු)ට තර්ක කරන්න පුලුවන් මේක සම්පූර්ණ නිර්මාණයක් නිසා රීප්‍රොඩියුස් කිරීම කොපිරයිට් වයලේෂන් කියල.

      #අනිත් අතට කතෘගේ නම මෙන්ම පොතේ නම, නිර්මාණ ඉතිහාසය හා වර්ෂ ත් සමග දාල තියන නිසා හැලපෙට තර්ක කරන්න පුලුවන් මේක පොත ගැන ප්‍රසිද්ධියක් දීලා ඒක අරගෙන කියවන්න පාඨකයා පෙලඹවීමක් කියලා. (මටනම් වුනේ එහෙමයි. මේකෙන් පොත ගන්න හිතුනා) තව දුරටත් කියන්න පුලුවන් හැලපෙ එයින් මූල්‍යමය වාසියක් ලබලා නෑ කියල(මේකෙ ඇඩ්ස් නෑ නේද?)The effect of reproduction is beneficial to the copyrighted work. Rather than Halape making money from this or reducing the potential market for the book, this reproduction actually increases the market for copyrighted work in its entirety. මේ කතාව විතරක් මිලදී ගැනීමට නෑනෙ. එනිසා මාර්කට් එකට හානියක් නෑ. මේකට ආසා වන අය පොතම ගැනීමේ සම්භාවිතාව වැඩිවී නිසා පොතේ මාර්කට් එක වැඩි වෙනවා. කොපිරයිට් අයිතිකරුට හානියක් නෑ වාසියක් වීමේ චාන්ස් එක වැඩිවෙනවා පමණයි.
      So, the reproduction is compatible with fair practice.

      දෙපාර්ශවයටම කරුණු ඇති නිසා කොහොමවෙතත් නඩුවක් දිගට ගෙනියන්න පුලුවන් වෙයි. :-DDD
      හැලපෙ කැමති නම් ඉන්ටර්නෙට් එකෙන් පණතේ ඔය වගන්ති අරගෙන සාධාරණ භාවිතාව යටතට වැටෙනවද බලන්න.

      Delete
    2. හැලපයා මහතා සහ Ano April 17 8.15 AM,

      බ්ලොග් සහ වෙබ් යනු වර්ග දෙකක් වුවත් මෙහිදී බ්ලොග් එකකුත් වෙබ් එකක් මෙන් සැලකීමට ඉඩ තිබේ. මූලික වශයෙන් පරිගණක සහ තොරුතුරු තාක්ෂ්ණ ක්ෂේත්‍රයට අදාලව ලංකාවේ නීති තත්වය සලකා
      බැලීමේදී ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තුව විසින් පනවන ලද පනත් කිහිපයක් වැදගත් වේ.

      ඒවා මෙසේ කෙටියෙන් දක්වමි;

      01. වර්ෂ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත (Intellectual Property Act No. 36 of 2003)

      02. සන්නිවේදන තාක්ෂණිකය සහ තොරතුරු පිලිබඳ වර්ෂ 2003 අංක 27 දරණ පනත (Information and Communication Technology Act No 27 of 2003)

      03. ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පිලිබඳ වර්ෂ 2006 අංක 19 දරණ පනත (Electronic Transactions Act No 19 of 2006)

      04. පරිගණක අපරාධ පිලිබඳ වර්ෂ 2007 අංක 30 දරණ පනත (Computer Crimes Act 24 of 2007)

      05. වර්ෂ 1995 අංක 14 දරණ සංශෝධිත සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත (The Evidence Special Provisions Act No. 14 of 1995)

      To be Cont'd...

      Delete
    3. Cont'd...

      බ්ලොග් සහ වෙබ් යනු වර්ග දෙකක් වුවත් මෙහිදී බ්ලොග් එකකුත් වෙබ් එකක් මෙන් සැලකීමට ඉඩ තිබේ. වෙබ් අඩවියක් යනු බොහෝ ආයතන හා පුද්ගලයන් අන්තර්ජාලය තුල ස්වකිය නිෂ්පාදන, සේවා සහ නිර්මාණ පිලිබඳ කරුණු අන්තර්ගත කරන විද්‍යුත් තාක්ෂණික අවකාශයකි.

      ඉහත සඳහන් කළ පනත් සම්බන්ධයෙන් වෙබ් අඩවි නිර්මාණයේදී ඉතාම වැදගත් වන පනත වර්ෂ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතයි. එකී පනතේ වෙබ් අඩවි නිර්මාණයේදී පහත විස්තර කෙරෙන නෛතික සංකල්ප කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.

      වෙබ් අඩවි සහ ප්‍රකාශන අයිතිය;

      ප්‍රකාශන අයිතිය යනු කිසියම් ශාස්ත්‍රීය, කලාත්මක, විද්‍යාත්මක කෘතියක හෝ සෞන්දර්ය නිර්මානයක හෝ පරිගණක වැඩසටහන නිර්මාණකරුට නීතියෙන් හිමිකර දී තිබෙන අයිතිවාසිකම් වේ.

      වර්ෂ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනතේ 5 වන වගන්තියේ සිට 27 වන වගන්තිය දක්වා මෙම ප්‍රකාශන අයතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා ඇත.ප්‍රකාශන අයිතිවාසිකම් වර්ග දෙකකි.

      A. ආර්ථික අයිතිවාසිකම්

      (By law, copyright owners have the exclusive right to authorise or prohibit any of the following acts in relation to their works: Copying (reproducing) the work in any way – an example of copying is the recording of live music and the re-recording of a phonorecord. Distributing copies of the work to the public.)

      B. සදාචාරාත්මක අයිතිවාසිකම්

      (Moral rights are rights of creators of copyrighted works generally recognized in civil law jurisdictions and, to a lesser extent, in some common law jurisdictions. They include the right of attribution, the right to have a work published anonymously or pseudonymously, and the right to the integrity of the work.)

      බුද්ධිමය දේපළ පනතේ නව ප්‍රකාශන හිමිකරුවෙකුට හිමි ආර්ථික අයිතිවාසිකම් වන්නේ තමා නිර්මාණය කරන ලද නිර්මාණය ප්‍රති නිෂ්පාදනය කිරීම, පරිවර්තනය කිරීම, විකිණීම, කුලියට දීම වැනි අයිතිවාසිකම් වේ.

      සදාචාරාත්මක අයිතිවාසිකම් වන්නේ ආර්ථික අයිතිවාසිකම් වලින් ස්වාධීනව එකී ආර්ථික අයිතිවාසිකම් අහිමි වූ අවස්ථාවක පවා මුල් නිර්මාණකරුට හිමිවන අයිතිවාසිකම් වේ.එනම් එකී නිර්මාණය ප්‍රයෝජනයට ගැනීමේදී මුල් නිර්මාණකරුගේ නම සඳහන් කිරීම,මුල් කෘතිය විකෘති කිරීමෙන්, විකරණයකට ලක් නොකිරීමට ඇති අයිතිවාසිකම් වේ.

      වෙබ් පිටුවක් නිර්මාණය කරනවාත් සමගම ප්‍රකාශන අයිතිය එකී නිර්මාණකරුට හිමි වේ. නමුත් එකී නිර්මාණය ස්වාධින තමන්ගේම නිර්මාණයක් විය යුතු අතර වෙනත් අයෙකුට අයිති නිර්මාණයක් පල කරන්නේ නම් ඊට නීතිමය රැකවරණයක් නොලැබේ.

      වර්තමානයේ විවිධ වෙබ් අඩවි විවිධ රුපවාහිනී චැනලයන් මගින් ප්‍රචාරණය වන ටෙලි නාට්‍ය, චිත්‍රපටි, පුවත් එලෙසම තම වෙබ් අඩවියෙන් පල කිරීම 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතේ අපරාධ සහ සිවිල් යන අංශ දෙකේම නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමකි.

      උදාහරණයක්‌ වශයෙන් ස්වාධින රුපවාහිනී චැනලය මගින් ප්‍රචාරණය වන ටෙලි නාට්‍යක් වෙනත් වෙබ් අඩවියක් හරහා නැවත එකී ස්වාධින රුපවාහිනී ලාංචනය යටතේ ප්‍රචාරය කලද බුද්ධිමය දේපළ පනත යටතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමකි.

      නමුත් එවැනි අවස්ථාවක නීතිය ක්‍රියාත්මක වන්නේ අදාල නිර්මාණ හිමිකරුවන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නේ නම් පමණි.

      නමුත් ප්‍රකාශන අයිතිය සාධාරණ භාවිතය පිලිබඳ අවස්ථාවකදී නීතිය ක්‍රියාත්මක නොවේ. එනම් පාසලක උගන්වන ගුරුවරයෙකු තම ශිෂ්‍යන්ට කිසියම් පොතක පිටු කිහිපයක් ඡායා පිටපත් කොට බෙදා හෑරීම වරදක් නොවේ.

      Delete
    4. Cont'd...

      ඉහත කි නීති තත්වය පහත තීන්දු වී ඇති නඩු ආශ්‍රයෙන් තෙරුම් ගැනීම වැඩ පැහැදිලි වේ.

      1.ජෝ අබේවික්‍රම එදිරිව කපිල තිස්ස කුමාර

      (කොලඹ පැවැත්වෙන බස්නාහිර පළාතේ සිවිල් අධිකරණ බලය ක්‍රියාත්මක කරන පළාත්බද මහාධිකරනයේ නඩු අංක:15/2003 )

      මෙම නඩුවේ පැමිණිලිකරු වූ ජෝ අබේවික්‍රම මහතා රචනා කළ “සකි සඳ එලියස් “නමැති කෘතියේ රුපවහිනී ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කොට ප්‍රචාරය කිරීමේ අයිතිවාසිකම ජාතික රුපවාහිනිය වෙත ලබාදුන් අතර ජාතික රුපවාහිනිය එකී කෘතියෙන් ටෙලි නාට්‍යක් නිෂ්පදනයකොට ප්‍රචාරය කරන ලදී.

      විත්තිකාර කපිල තිස්ස කුමාර නමැත්තා එකී ටෙලි නාට්‍ය වීඩියෝ පටයක ගබඩාකර නැවත පිටපත් මුදලට අලෙවි කළ අතර ජෝ අබේවික්‍රම මහතා නඩුවෙන් ඉල්ලා සිටියේ එසේ තමාට අයත් නිර්මාණයේ පිටපත් වීඩියෝ පට වශයෙන් හෝ වෙනත් ක්‍රමයකින් පිටපත්කොට විකිණීම නතර කර දෙන ලෙසටත් සිදු වූ අලාභයට වන්දි ලබා දෙන ලෙසත්ය.

      විත්තිකරු විසින් මතුකළ ප්‍රධාන තර්ක දෙකකි.එනම්

      01. ජෝ අබේවික්‍රම මහතා එකී කෘතියේ රුපවාහිනී අයිතිය විකුණා ඇති හෙයින් ජෝ අබේවික්‍රම මහතාට එකී ටෙලි නාට්‍යයේ අයිතියක් නොමැති බවත් ඒ අයිතිය ඇත්තේ ජාතික රූපවාහිනියට බවත්ය.නමුත් එම තර්කය අධිකරණය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ පැමිණිලිකාර ජෝ අබේවික්‍රම මහතා අදාල ගිවිසුම මගින් එකී නාට්‍ය ජාතික රූපවාහිනියට පමණක් විකාශනය කිරීමට පමණක් අයිතිය ලබා දී ඇති බවත් වෙනත් රුපවාහිනී ආයතනවලට විකිණීමට අවසර දී නැති බවයි.එසේ හෙයින් එකී ටෙලි නාට්‍ය වෙනත් රුපවාහිනී ආයතනවලට හෝ වෙනත් කෙනෙකුට විකිනීමට අයිතිය ඇත්තේ ජෝ අබේවික්‍රම මහතාට බවත්ය .

      02. විත්තිකරු දෙවන කරුණ ලෙසට ඉදිරිපත් කලේ තමන් එකී රුපවාහිනී ටෙලි නාට්‍ය වීඩියෝ කොට තමාගේ සංරක්ෂණාගාරයේ සංරක්ෂණය කලේ සත්භාවයෙන් බවත් එවැනි ටෙලි නාට්‍ය 30 ක් පමණ තමන්ගේ සංරක්ෂණාගාරයේ සංරක්ෂණය කර ඇති බවත්ය. ඒ අනුව බුද්ධිමය දේපළ පනතේ 11 වන වගන්තිය යටතේ එවැන්නක් කිරීමට ජෝ අබේවික්‍රම මහතාගෙන් අවසර ලබා ගැනීමට අවශ්‍ය නැති බවයි.

      අධිකරණය විසින් මෙම තර්කයද ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ අදාල වීඩියෝ පටය ජනතාවට විකුණා ඇති බැවින් බුද්ධිමය දේපළ පනතේ 11 වන වගන්තියට නොවැටෙන බවත් විත්තිකරු එකී කෘතියේ ජෝ අබේවික්‍රම මහතාගේ ප්‍රකාශන අයිතිය උල්ලංගනය වී ඇති බවට අධිකරණය තීරණය කොට පැමිණිල්ලේ වාසියට නඩුව තීන්දු කරන ලදී.

      Delete
  2. දැං අර කඩේ ගහගෙන තිබ්බ අරක්කු බාගෙ බොන්නෙ නැතුවද වීසි කළේ.

    ReplyDelete
    Replies
    1. ඇයි ගිහිං හොයාගන්නද?

      Delete
  3. හැලපෙ, ඒ පොත ගන්න තියනවද?
    බෝකුන්දර & ඇරැව්වල මට හුඟක් පුරුදු පැති නිසා ආසයි කියවන්න

    ReplyDelete
    Replies
    1. පොත 2003 දී ගොඩගේ ගහපු එකක් ප්‍රා. අලුත් ප්‍රින්ට් එකක් තියනවද දන්නෙ නෑ.

      Delete
  4. මං හිතන්නෙ උපුටාගත් මුල් කෘතියත් කර්තෘත් සඳහන් කොට ඇති නිසාත්, මේ පොතෙන් උපුටාගත් එක් කතාවක් නිසාත් බුද්ධිමය අයිතිවාසිකම් ප්‍රශ්නය අදාළ නෑ කියලයි. අපේ පොත්වල තියෙන කෙටිකතා පත්තරවල උපුටා පළ කෙරෙනව. සමහර විට බ්ලොග් වල පළ වෙනව. එතැන අවුලක් නෑ කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete