Sunday, May 21, 2017

කෝර්සිකානු සහෝදරයෝ.

කෝර්සිකානු සහෝදරයෝ, නිවුන් සොහොයුරන් දෙදෙනෙකුන් වටා ගෙතුණු අතිශය අද්භූත ජනක ප්‍රේම වෘතාන්තයකි.     කයින් දෙදෙනෙකුන් වුවද සිතින් එක්කෙනෙකුන් වන,එකම අන්දමේ සිතුම් පැතුම් හා ආවේග පහළ වන මේ සොහොයුරන් දෙදෙනාගේ විස්මය ජනක කථාන්තරය ඇලෙක්සන්දර දියුමා ගේ සංකල්පන ශක්තියේ උපරිම අවස්ථාව පිළිබිඹු කරයි.    ප්‍රේම ජවනිකා වලින්ද ද්වන්දව සටන් වලින් ද අනුන අතිශයින් චමත්කාර ජනකවුත් අතිශයින් බිහිසුණු වුත් මේ ප්‍රේම වෘත්තාන්තය විවිධ භාෂාවලට පරිවර්තනය වී චිත්‍රපට රාශියකට වස්තු බීජය සපයා ඇත.

ඇලෙක්සැන්දර දියුමාගේ ශ්‍රේෂ්ඨ නවකතා වන " මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා" හා " තුන් සොල්දාදුවෝ" යන නවකතා දෙක තරමටම අතිශයින් ජනප්‍රිය තවත් නවකතාවක් වෙ නම් එය මේ "කෝර්සිකානු සහෝදරයෝ" ය.    ඉහත සඳහන් කරන ලද නවකතා ඉතා දැවැන්ත නවකතා වන අතර " කෝර්සිකානු සහෝදරයෝ" නවකතාව ඉතා කුඩා නවකථාවක් වෙයි.   එසේ වුවද සාර්ථක නවකථාවක අඩංගු විය යුතු සෑම අංගයක්ම මේ නවකථාවෙහි දක්නට ඇත.   එම නිසා ලෝක සාහිත්‍යයට අයත් ඉතා රසවත් නවකථාවක් ලෙසද ගණන් ගනු ලබන්නකි.

" කෝර්සිකානු සහෝදරයෝ" නවකථාවක් වුවද උසස් දෘශ්‍ය කාව්‍යයක් වශයෙන්ද සැලකිය හැකිය.   නාට්‍ය ලිවීමේ දියුමා සතු ප්‍රතිභා ශක්තිය උපරිම අන්දමින් මෙහි පිළිබිඹු වී ඇති බැවිනි.   මේ නිසාම මේ නවකථාව දෘශ්‍ය කාව්‍යයක් හෙවත් නාට්‍යයක් වශයෙන්ද ප්‍රංශය,එංගලන්තය ආදී බොහෝ රටවල ඉතා සාර්ථක අන්දමින් රඟ දක්වා ඇත.

ආචීර්ණ කල්පික සිරිත් විරිත්වලින් හා සම්ප්‍රදායන්ගෙන් පිරීගිය අද්භූත ජනක දුපතක් ලෙස සැලකෙන කෝර්සිකාවේ නිවුන් සොහොයුරන් දෙදෙනෙකුන් වටා ගෙතුණු මේ විස්මයජනක කථාන්තරය ප්‍රේමයෙන් වෛරයෙන් හා පළි ගැනීමෙන් පාඨකයන් ගේ සිත් සසල කරයි.    ලොමුදැහැගැන්වෙන සුලු සිද්ධීන් ගෙන්ද ද්වන්දව සටන්වලින් හා ප්‍රේම ජවනිකාවලින් ද නොමඳව සැරසී ඇති මේ අමරණීය ප්‍රේම වෘත්තාන්තය ලෝකයේ විවිධ භාෂාවලට පරිවර්තනය වී පාඨකයන්ගේ අතිශය සම්භාවනාවට හා ප්‍රසාදයට පාත්‍ර වී ඇත්තේය.

"වර්ෂ 1841 මාර්තු මාසයේ මුල් භාගයේදී මම කොර්සිකාවේ සංචාරයක යෙදුනෙමි.   කෝර්සිකාවේ සංචාරයක් තරම් අන් කිසිම සංචාරයක් විචිත්‍ර හෝ විනෝදජනක හෝ විය හැකි යැයි මම නොසිතමි.   තුලෝං හිදී නැවට නගින කෙනෙකුට පෑ විස්සකින් අජසියෝවට ලඟාවිය හැකිය.    නැතහොත් පෑ විසිහතරකින් බස්තියාවට ලඟාවිය හැකිය.

එහිදී ඔබට අශ්වයෙකු මිලයට හෝ කුලියට හෝ ගත හැකි වෙයි.    අශ්වයෙකු කුලියට ගැනීමට දිනකට ගෙවිය යුත්තේ ෆ්‍රැන්කු පහකි.   මිලයට ගැනීමට ගෙවිය යුතු මුදල සාමාන්‍යයෙන් ෆ්‍රැන්කු සියයක් පමණ වෙයි.   මේ සුළු මුදල ගැන ඔබ සිනා නොවිය යුතුය.   ඔබ අශ්වයා කුලියට ගතද මිලයට ගතද, නර්ෆ් තුඩුවේ සිට සේන් නදියට පිනු ගැස්කන් ගේ සුප්‍රකට අශ්වයා මෙන් නැතහොත් ගොන්තිලියේ හා ශොම්ප් ද මාර්ස්හි වීරයන් වන ප්‍රොස්පරෝ ගේත් නෝටිලස් ගේත් අශ්වයන් මෙන්, ඔබේ අශ්වයාද නොපැකිළ, නොබියව, වීර වික්‍රමාන්විත ක්‍රියාවන් හි යෙදෙනු ඇත.    බාල්මත්ට පවා යකඩ කොකුවල එල්ලි එල්ලී මිස ගමන් නොකළ හැකි දුර්ග මාර්ගවල ඌ ඉතා හොඳින් ඔබ ගෙනයනු ඇත.    ඔරිඕල්ට ද සමබරතාව රැක ගනු පිණිස පොල්ලක් අවශ්‍ය වන ඒදඬු පාලම් හරහා වුවද ඌ ඉතා ලෙහෙසියෙන් ඔබ රැගෙන යනු ඇත.

සංචාරකයාට කරන්නට තිබෙන්නේ සිය දෑස පියාගෙන, ඕනෑ තැනක තමා ගෙන යාමට අශ්වයාට ඉඩ හැරීම පමණි.    අශ්වයා කෙරෙහි අතුරු අන්තරාවක් ගැන තැති ගැනීමක් හෝ භය ශංකාවක් හෝ කිසිසේත් ඇතිවන්නේ නැත.

එමෙන්ම, අශ්වයාට කවර අන්දමේ ගමනක බිමනක වුවද යෙදිය හැකි බව අප මෙහිදී අමතක නොකළ යුතුය.   කෑමක් හෝ බීමක් නොමැතිව ඌට දිනකට ලීග පසළොසක දුරක් ලෙහෙසියෙන් ගමන් කළ හැකිය.  

වැඩවසම් යුගයේ කිසියම් වීර වික්‍රමාන්විත නායකයකු විසින් ගොඩ නංවන ලද පැරණි බලකොටු මාළිගයක නටබුන් නරඹනු පිණිස හෝ ජිනෝවා ජාතිකයින් විසින් ඉදිකරන ලදුව කාලයාගේ අවෑමෙන් ගරා වැටුණු කිසියම් අටල්ලක රේඛා චිත්‍රයක් සටහන් කරගනු පිණිස හෝ සංචාරකයා වරින්වර නතර වන අවස්ථාවල දී, අශ්වයා තණබිමෙන් තණ කටවල් කීපයක් උලා කෑමෙන් හෝ අසල ගසකින් අතු රිකිලි කීපයක් කඩා කෑමෙන් හෝ එසේත් නැතිනම් පෙඳ පාසි බැඳුනු ගලක් ලෙවකෑමෙන් හෝ පූර්ණ තෘප්තියකට පත් වනු ඇත.

කෝර්සිකාවේ දී සංචාරකයාට රාත්‍රී නවාතැන් පහසුව සලසා ගැනීම ඊටත් වඩා ලෙහෙසි කාර්යයකි.   ගමකට ඇතුළුවී එහි ප්‍රධාන මාර්ගය දිගේ ගමන් ගන්නා සංචාරකයා විසින් කළ යුත්තේ දෙපස ඇති ගෙවලින් තමාගේ සිත් ගන්නා ගෙයක් තෝරා ගෙන, එහි දොරට තට්ටු කිරීම පමණි.   ඒ මොහොතේම දොර ඇර ගෙන එළියට එන ගෘහ ස්වාමියා හෝ ස්වාමි දුව හෝ සංචාරකයාට ආචාර කොට, අසුපිටින් ඔහු බස්වා ගෙන, තම ආහාරවලින් කොටසක් ඔහුට පිරිනමා තමාට ඇත්තේ එකම ඇඳක් වුවත් ඒ ඇඳ ඔහුට පවරනු ඇත.    පසුදින උදයේ පෙරළා ගමන් අරඹන සංචාරකයාට පසු ගමන් යන ගෘහ ස්වාමියා, රාත්‍රී නවාතැන සඳහා තම ගෘහය තෝරා ගැනීමෙන් තමාට කරන ලද ඉමහත් ගෞරවය ගැන සංචාරකයාට මුව නොසෑහෙන සේ ස්තුති ද කරනු ඇත.

මුදල් ගෙවීම සම්බන්ධයෙන් කිව යුත්තේ, එවැන්නක් කිසිම කලෙක කිසිම කෙනෙකු මතක් කරන්නේවත් නැති බවය.   යම් කිසි විදියකින් මුදල් ගෙවීමක් ගැන යන්තමින් හෝ සඳහනක් කළහොත්, ගෘහ ස්වාමියා එය තමාට කරන ලද බලවත් අපහාසයක් සේ සිතයි.   මුදල් ගෙවනු වෙනුවට සංචාරකයාට ඒ හා සමාන අන් දෙයක් කළ හැකිය.   ගෙදර සේවිකාව තරුණ කෙල්ලක නම්, වර්ණවත් සේද ලේන්සුවක් ඇයට ත්‍යාග කිරීමට සංචාරකයාට පුළුවන.    ඇය ඒ ලේන්සුව කල්වියේ හෝ කෝර්තියේ හෝ උත්සව වලට සහභාගී වන අවස්ථා වලදී විචිත්‍ර හිස් වැසුමක් ලෙස පාවිච්චි කරනු ඇත.   ගෙදර සිටින්නේ තරුණ සේවකයෙක් නම්, මනා උල් පිහියක් තුටු පඬුරක් වශයෙන් ඔහුට පිරිනැමීමට පුළුවන.   තම සතුරා මුණ ගැසුණු විට එයින් ඔහු මරා දැමීමට ඔහුට හැකිවන හෙයිනි.

මෙහිදී සංචාරකයා විසින් දැනගත යුතු තවත් එක් කරුණක් තිබේ.   එනම්, මේ සේවිකාව හෝ සේවකයා හෝ බොහෝවිට සිදුවන පරිදි, ආහාර හා පියාස්ටර කීපයක් සඳහා ගෘහ ස්වාමියාට සේවය කරන ඔහුගේ දුප්පත් නෑදෑයෙකු බවය.

ඉතා දුර නෑකම් ඇති බෑනාවරුන් හෝ ඤාති පුත්‍රයන් විසින් හෝ සේවය කරනු ලබන ගෘහ ස්වාමිවරුන් ඔවුන්ට වෙනස්කම් හෝ අඩු සැලකිලි හෝ දක්වතියි මෙහිදී මොහොතකට වත් නොසිතිය යුතුයි.   එවැන්නක් කිසිසේත් සිදු නොවේ.   කොර්සිකාව, ප්‍රංශ රාජ්‍යයට අයත් බව සැබෑය.    එහෙත් එය ප්‍රංශයට වඩා බොහෝ සෙයින් වෙනස්ය.

සොරුන් ගැන කතාවක් කිසිම කලෙක අසන්නට ලැබෙන්නේ නැත.   එහෙත් මං පහරන්නෝ නම්- එසේය ඔවුහු නම් එමට සිටිති.  මේ දෙවර්ගය කලවම් කර නොගත යුතුය.

රනින් පිරුණු පසුම්බියක් සෑදලයේ එල්ලා ගෙන අජසියෝවේ සිට බස්තියාව දක්වා,ඔනෑම කෙනෙකුට කිසිම බයක් සැකක් නොමැතිව ගමන් කළ හැකිය.   එපමණක් නොව, මුළු දිවයින හරහාම වුවද කිසිම අන්දමක අන්තරාවකට මුහුණ නොදී, කෙනෙකුට සංචාරය කළ හැකිය.   එහෙත් ඔබෙන් පළි ගැනීමට ශපථ කළ සතුරෙක් සිටී නම්, ඔකානාවේ සිට ලෙවාකෝවට ඔබ ගමන් නොකළ යුතුය.  මා එසේ කියන්නෙ මයිල හයක් පමණ වන ඒ ගමනේදී ඔබේ ආරක්ෂාව ගැන මට වගකීමට නොහැකි හෙයිනි.

එසේය, මා මුලින් සඳහන් කළ අන්දමින් මම මාර්තු මාසයේ මුල් භාගයේදී කෝර්සිකාවේ සංචාරයක යෙදුනෙමි.   මා ගමන් කළේ තනිවය.    සාදින් එවකට රෝමයේ නතරවී සිටි බැවිනි.

එල්බා දුපතේ සිට පැමිණි මා ගොඩ බැස්සේ බස්තියෝවටය.   කලින් සඳහන් කළ මුදලට මා අශ්වයෙකු මිලයට ගෙන තිබුණේය.

කෝර්තියාවේ හා අජසියෝවේ සංචාරයකින් පසුව, මම සාර්තේන් පළාත ඔස්සේ සැරිසරමින් සිටියෙමි.   මේ කියන දිනයෙහි, මා ගමන් කළේ සාර්තේනයේ සිට සුලකාරෝවටය.   එය කෙටි ගමනක් විය.  සාර්තේනයේ සිට සුලකාරෝවට වූ දුර ප්‍රමාණය - වංගු ගැසෙමින් දිවූ ප්‍රධාන මාර්ගයත් දුපතේ කොඳු නාරටිය වශයෙන් ගණන් ගැනෙන ප්‍රධාන කඳුවැටියේ නෙරුමත් ඇතුළුව- සමහර විට මයිල තිහක් පමණ වන්නට ඇත.   මෙසේ වුවද මාර්ගය වරදිතියි බිය ගත් මම, ඒ ගමන ගියේ මග පෙන්වන්නෙකුද කැටුවය.   අපි දෙදෙන පහට පමණ කඳු මුදුනට ලඟා වීමු.    කඳු මුදුනෙහි සිට පහළ බැලූ අපට, ඔල්මෙතෝව හා සුලකාරෝව මනාව පෙනිණ.

එතැන අපි සුළු වෙලාවක් නතරවී සිටියෙමු.

" තමුන්නාන්සෙ කොහේද නවාතැන් ගන්න බලාපොරොත්තු වෙන්නෙ?" යි මග පෙන්වන්නා මගෙන් ඇසීය.

පහළින් වූ ගම දෙස බැලූ මට, එහි පාළුවට ගියාක් මෙන්වූ වීදි පෙනිණ.  එහි වුයේ ගැහැණුන් කීප දෙනෙකුන් පමණි.   ඔවුහු තියුණු පරීක්ෂ්‍යාකාරී බැලුම් හෙලමින් වහ වහා ගමන් කළහ.

ආගන්තුක සත්කාරය පිළිබඳව මා කලින් සඳහන් කළ නීතිය අනුව, ගමෙහි වූ ගෙවල් සියයකින් නැතහොත් එකසිය විස්සකින් එකක් තෝරා ගැනීමේ වරය මට ලැබී තිබුණේය.   එම නිසා ඉතාම සුව පහසු අන්දමින් කාලය ගෙවිය හැකි ගෙයක් සොයමින් ගමන් ගත් මම, දොරට ඉහළින්ද ජනේල ඉදිරියෙන්ද සිදුරු හා කපොලු තබා,බලකොටුවක් මෙන් ඉදිකළ සතරැස් ගෙයක් ඉදිරිපිට නතරවීමි.

බළකොටුවක අංග ඇතිව, ඉදි කළ පෞද්ගලික ගෙවල් මා දුටු පළමුවන වතාව එය වුයේය.   එසේ වුවද සාර්තේන් පළාත පළි ගැනීම් වලට නම් දැරුවක් බව අප මෙහිදී මතක තබා ගත යුතුය.

"ආ! අන්න හොඳයි!"යි මා ඇඟිල්ල දිගුකර පෙන්වූ ගෙය දෙස බලමින් මග පෙන්වන්නා කීය.   අපි යමු සවීලියා ද ෆ්‍රන්චි මහත්මියගේ ගෙදරට.  ඔව්, තමුන්නාන්සේ ගේ තේරීම නරක නෑ.  තමුන්නාන්සෙට පළපුරුද්දක් නැහැ යි කියල කියන්න පුළුවන් කමක් නෑ."

ප්‍රංශ රජයට යටත් ප්‍රදේශයක් වූ මෙහි සාමාන්‍යයෙන් භාවිත කළේ ඉතාලි භාෂාව බව අමතක නොකළ යුතුය.

" කාන්තාවක ගෙන් ආගන්තුක සත්කාර ඉල්ලීමේ වැරද්දක් හේම තියෙනවාදැ? "යි මම මෙහිදී විමසීමි.  "මට දැන් තේරුම් යන විදියට මේ ගෙදර අයිති කාන්තාවකට වගෙයි මට පේන්නෙ."

"අයියෝ නෑ!" යි පුදුමයට පත්වූ බවක් පෙන්වමින් ඔහු පිළිතුරු දුන්නේය.  "මොන වැරද්දක්ද තියෙන්න පුළුවන්?"

"කාන්තාව තරුණ නම්?" යි පැරිස් විනීතාචාර අනුව කල්පනා කරමින් මම ඇසීමි. "ඇගේ ගෙදර මම රාත්‍රියට නවාතැන් ගැනීම ඇගේ හොඳ නමට සුදුසු වෙන්නෙ නැහැ නේද?"

"හොඳ නමට සුදුසු වෙන්නෙ නැහැ?" යි මා කියූ දේ තේරුම් ගැනීමට උත්සාහ දරමින් ඔහු එයම  උච්චාරණය කළේය.

"සුදුසු නැහැ නොවෙන්නම්" යි මම නොඉවසිල්ලෙන් කීමි.   මේ කාන්තාව වැන්දඹුවක් වෙන්න පුළුවන්?"

"ඒක ඇත්ත, තමුන්නාන්සෙ කියන එක ඇත්ත"

"එතකොට ඈ තමන්ගෙ ගෙදරට තරුණයෙක්ව වැද්ද ගනීවිද?"

1841 දී මගේ වයස අවුරුදු තිස්හය හමාරක් වුයෙන් මම මා තරුණයන්ගේ ගණයේ ලා සැලකීමි.

"ඈ ගෙදරට තරුණයන්ව වැද්ද ගනීවිද?" මග පෙන්වන්නා එයම පුනරුච්චාරණය කළේය. ඒකෙන් මොකක්ද මේකට තියෙන්නෙ? තමුන්නාන්සෙ තරුණ වුනත් නාකි වුනත් මොකක්ද තියෙන්නෙ?"

මේ කරුණ පිළිබඳව මේ අන්දමින් ඔහුගෙන් කොතරම් ප්‍රශ්න අසාගෙන ගියත් පලක් නොවන බව මට මෙහිදී වැටහිණ.

"සවීලියා මහත්මියගෙ වයස කොච්චර ඇද්ද?"යි මම අනතුරුව ඇසීමි.

"හතළිහක් විතර."

"ඕහ්!"යි මම පිළිතුරු දුනිමි. "එහෙනම් කාරියක් නෑ. ඇයට දරුවොත් ඉන්නව ඇති මම හිතන්නෙ?"

"පුත්තු දෙන්නෙක් ඉන්නවා,හොඳ කඩවසම් තරුණයො. "

"මට දැන් දකින්න හම්බ වේවිද?"

"තමුන්නාන්සේට එක්කෙනෙක් නම් දකින්න හම්බ වේවි. ඈත් එක්ක මෙහේ ඉන්න එක්කෙනා."

"එතකොට අනිත් එක්කෙනා ඉන්නෙ?"
"
අනිත් එක්කෙනා ඉන්නෙ පැරීසියෙ."

"වයස කොච්චර ඇද්ද?"

"විසි එකයි."

"දෙන්නාටම?"

"ඔව් දෙන්නාටම, දෙන්නම නිවුන්නු."

"ඉතින් මොකක්ද ඒ ගොල්ලො කරන රස්සාව?"

"පැරිසියෙ ඉන්න එක්කෙනා නීතිඥයෙක් වේවි."

"අනිත් එක්කෙනා?"

"අනිත් එක්කෙනා හොඳ කෝර්සිකානුවෙක් වේවි."

"ආහ්! ආහ්! " යි මේ පිළිතුර රටේ හැටියට මනාව ගැලපෙන බව සිතමින් මම රාවයක් පිටකළෙමි. "බොහොම හොඳයි,එහෙනම් අපි යමු සවීලියා ද ෆ්‍රන්චි මහත්මියගේ ගෙදරට."

ඉක්බිතිව අපි එහි යන්නට වීමු,

විනාඩි දහයක ඇවෑමෙන් අපි ගමට සේන්දු වුනෙමු.ඒ වනවිට මට කඳු මුදුනේදී නොපෙනුණු දෙයක් පෙනී ගියේය. එනම්,සෑම ගෙයක්ම ආරක්ෂා සංවිධාන ඇතිව ඉදි කර තිබුණු බවය.  වත් පොහොසත් කම් ඇති සවීලියා මහත්මියගේ නිවසෙහි මෙන් කොටු පවුරු ඉදිකර කපොලු බැඳ නොතිබුණ නමුදු දොරවලටත් ජනේලවලටත් දැව බාල්ක වලින් කරන ලද ආවරණ හා රයිෆල් තුවක්කු සඳහා කපන ලද කපොලු දක්නට ලැබිණ.   ඇතැම් ජනේල ඉදිරියෙන් ගඩොලින් තාප්ප බැඳ සිදුරු තබා තිබුණේය.

දොර උළුවහුවලටත් ජනේලවලටත් ඉහලින් කපොලු තබා ඇත්තේ මන්දැයි මම මග පෙන්වන්නා ගෙන් විමසීමි.   ඒ සැඟවී සිටිමින් දුනුවලින් විදිනු සඳහා තබා ඇති සිදුරු බව ඔහු කීවේය.   කෝර්සිකාවේ පළි ගැනීම තුවක්කු නිෂ්පාදනයට පෙර සිටම පැවති බව එයින් මට පැහැදිලි වුයේය.

වීථි දිගේ අප ගමන් ගනිත්ම, එහිවූ දොම්නස් සහගත අඳුරු පෙනුම වඩාත් දැඩිවී, පාළු ශෝකාකූල ස්වභාවයක් ඇතිවන බව මට හැඟි ගියේය.   ගෙවල් බොහොමයක් වටලෑම්වලට භාජනය වී ඇති බවත් වෙඩි පහරවලින් ඒවා සිදුරුවී ඇති බවත් මට පෙනිණ.

දොර උළුවහුවලටත් ජනේල වලටත් ඉහලින් තිබුණු කපොලු අස්සෙන් දීප්තිමත් පරීක්ෂ්‍යාකාරී දෙනෙත් අප වෙත යොමුවී තිබෙනු වරින්වර අපි දිටිමු.   ඒ දෙනෙත් පිරිමියෙකුගේද නැතිනම් ගැහැණියකගේද යන්න තීරණය කිරීමට පුළුවන් කමක් අප වෙත නොතිබිණ.

මා ඇඟිල්ල දිගුකර මග පෙන්වන්නාට පෙන්වූ ගෙය වෙතට අනුක්‍රමයෙන් අපි පැමිණියෙමු.   එය ගමේ වූ ගෙවලින් ඉතාම වැදගත් ගෙය විය.

මෙහිදී එක් කරුණක් මගේ සිතට තදින් වැදී ගියේය.   එනම්,මෙහි තිබු ආරක්ෂක ඉදිකිරීම්, කොටු පවුරු හා වෙඩි තැබීමට සකස්කළ කපොලු ඇත්ත ඒවා නොව බොරු ඒවා වීමය.    වෙනින් වචනවලින් කියතහොත් ජනේලවලට දැව කඳන් හරස්කොට තිබුණේ නැත.  දුනුවායන්ට හෝ තුවක්කු කාරයන්ට සැඟවී සිට විදීමට හෝ වෙඩි තැබීමට ගඩොලින් කපොලු බැඳ තිබුණේද නැත.   ඒවායේ තිබුණේ වීදුරු ජනේල පමණකි.   රාත්‍රී කාලයේදී මේවා ආරක්ෂා කිරීම සඳහා දැව පියන්පත් සාදා තිබිණි.    එය එසේ වුවද, පරීක්ෂාකාරී ඇසකට, යටත් පිරිසෙයින් අවුරුදු දහයකටවත් කලින් සිදුවූ වෙඩි තැබීමක සලකුණු මේ දැව පියන්පත්වල තිබෙනු නොපෙනී නොගියේය.

මග පෙන්වන්නා දොරට තට්ටු කළ සැණින් දොර ඇරුණේය.   බියසුලු අන්දමින් පැකිලෙමින් සෙමෙන් සෙමෙන් නොව,එක්වරම මුළුමනින්ම ඇරුණේය.   එකෙණෙහිම බොටලේරුවෙක් එහි පෙනී සිටියේය.

බොටලේරුවෙක් යැයි කීමෙන් මා කළේ වරදකි.   මා කිව යුතු වුයේ මිනිසෙකු එහි පෙනී සිටි බවය.

බොටලේරුවෙකු වන්නේ ඇඳ ගෙන සිටින නිල ඇඳුම නිසාය.   දොර විවෘත කළ තැනැත්තා විල්ලුද ජැකට්ටුවක් ද දණහිස දක්වාවූ විල්ලුද කලිසමක්ද කෙණ්ඩා දක්වාවූ සම් සපත්තු දෙකක්ද ඇඳ පැළඳ ගෙන සිටියේය.

ඉරි වැටුණ සේද පටියකින් කලිසම ඉඟට බැදී තිබුණ අතර ඉඟට ඉහලින් ස්පාඤ්ඤ කිනිස්සක මිට මෑත්වී තිබිණ.

"මගේ මිත්‍රයා,"යි මම ඔහු ඇමතීමි.  " දන්නා හඳුනන කිසි කෙනෙක් සුලකාරෝවේ නැති ආගන්තුකයෙක් ඔබේ ස්වාමි දුවගෙන් නවාතැන් ඉල්ලීම නුසුදුසු වැඩක්ද?"

"නෑ,ඇත්ත වශයෙන්ම නෑ"යි ඔහු පිළිතුරු දුන්නේය.   "ආගන්තුකයා නවාතැන් ගන්නා ගෙදරට කරන්නේ ගෞරවයක්." ඉක්බිතිව, "මාරියා," යි තමා පිටුපසින් පෙනී සිටි මෙහෙකාරියක ඇමතූ ඔහු,"සවීලියා මැතිනියට කියපන් ප්‍රංශ සංචාරකයෙක් නවාතැන් ඉල්ලනවා කියලා." යි පැවසීය.

ඒ මොහොතෙහිම ඉනි මගක පෙති මෙන් තද බෑවුමකින් යුත් පඩි පෙළෙහි පඩි අටක් පහළට බැස දොර ලඟට ආ ඔහු මගේ අශ්වයාගේ කටකලියාවෙන් අල්ලා ගත්තේය.

මම අසු පිටින් බිමට බැස්සෙමි.

"තමුන්නාන්සෙ කරදර වෙන්න ඕන කමක් නෑ." යි ඔහු කීය.   "තමුන්නාන්සෙගෙ බඩු බාහිර ඔක්කොම කාමරයටම ගෙනල්ලා දේවි."

මගේ අලසකම නිසා - සංචාරකයෙකුට ඇසිය හැකි ඉතා ප්‍රසන්න ආරාධනා වලින් එකක් වන - එම ආරාධනාවට මම අතිශයින්ම සන්තෝෂ වීමි......

කලින් සඳහන් කළ පරිදි ඉනි මගක් මෙන් කෙළින්ම ඉහළට නැගී ගිය එම පඩි පෙළ දිගේ සෙමෙන් සෙමෙන් උඩට නැගුණු මම, නිවෙසට ඇතුළු වීමි.

කොරිඩෝරය කෙළවරදී කාල වර්ණ ඇඳුමින් සැරසී ගත් උස් කාන්තාවක් මට මුණ ගැසුණාය.

වයස අවුරුදු තිස් අටක හෝ හතලිහක හෝ පෙනුමෙන් යුතු වුවද රූමත්කම රැකගෙන සිටි මේ කාන්තාව ගෙදර ස්වාමි දුව වන්නට ඇතැයි සිතු මම, ඇය ඉදිරියේ නතර වීමි.

"මැතිනිය," යි හිස නමා ආචාර කරමින් මම පැවසුයෙමි.  "මම නොසිරිත් ගති ඇත්තෙක් ය කියලා ඔබ තුමී සමහර විට හිතනවා ඇති. ඒ ගැන නිදහසට මට කියන්න තියෙන්නෙ මේ රටේ සිරිතුත් විරිතුත් ඔබ තුමීගේ සේවකයාගේ ආරාධනාවත් ඒකට හේතු වුණාය කියලා."

"ඔබ පිළිගන්න ලැබීම ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා." ෆ්‍රන්චි මැතිනිය පිළිතුරු වශයෙන් කීවාය.   "මගේ පුතාත් ඔබව පිළිගන්න ලැබීම ගැන සන්තෝෂ වේවි. මේ මොහොතේ ඉඳන් ඔබට ඕනෑ අන්දමකට මේ ගෙදර ජීවත් වෙන්න පුළුවන්.  මේ ගෙදර ඔබේ ගෙදර හැටියට සලකන්න."

"මම ආවෙ මැතිනිය,එක රාත්‍රියකට විතරක් නවාතැන් ඉල්ලා ගන්න.හෙට උදේ පාන්දරින් ම මම ආපහු යන්න ඕන."

"ඔබට පහසුයි කියල හිතෙන දෙයක් කරන්න ඔබට නිදහස තියෙනවා.  කොහොම වුනත්, ඔබ ඔබේ අදහස වෙනස් කරලා දීර්ඝ කාලයක් අප සමග ඉඳීමෙන් අපට ගෞරව කරාවි යි කියල මම හිතනවා."

මම යළිත් වරක් හිස නමා ආචාර කළෙමි.

"මාරියා,"යි මෙහිදී ෆ්‍රන්චි මැතිනිය හඬ නගා සේවිකාවකට කතා කළාය.   " මේ මහත්මයාව ලුවී ගේ කාමරයට එක්ක ගෙන පලයන්, ඉක්මන් කරලා ලිප මොළවලා වතුර ටිකක් රත් කරලා දීපන්." ඉක්බිතිව සේවිකාව මේ නියෝග පිළිපදින්නට යත්ම,මා වෙත හැරුණු ඈ,   "මට සමාවෙන්න මහත්මයා,මම දන්නවා වෙහෙසින් ඉන්න සංචාරකයෙකුට මුලින්ම වුවමනා කරන්නෙ වතුරයි ගින්දරයි කියලා,කරුණාකරලා ඒ සේවිකාව එක්ක යන්න, ගිහිල්ලා ඔබට වුවමනා කරන දෙයක් ඇගෙන් ඉල්ලා ගන්න. තව පැයකින් අපි කෑම කමු.  එතකොට මගෙ පුතාත් ඇවිල්ල ඉඳීවි. ඔබව දැක ගන්න ලැබීම ගැන ඔහු හුඟාක් සන්තෝෂ වේවි,"යි වැඩි දුරටත් පැවසුවාය.

"මගේ මේ සංචාරක ඇඳුම ගැන ඔබ තුමී මට සමාවෙන්න ඕන."

"ඔව් මහත්මයා,"යි ඈ මදහසක් පාමින් පිළිතුරු දුන්නාය.  "ඔබට මම සමාව දෙන්නෙ එක කොන්දේසියක් උඩ,ඔබත් අපේ මේ පිටිසර ගති සිරිත් වලට සමාව දෙන්න ඕන."

සේවිකාව උඩුමහලට නැගුනාය.  යළිත් වරක් සවීලියා මැතිනියට ආචාර කළ මම,සේවිකාව පසු පස්සෙන් ගමන් කරන්නට වීමි.

කාමරය තිබුණේ පළමුවන මහලේය. නිවසෙහි පස්සා පැත්තට එය මුහුන ලා තිබිණ.  ඔලියන්ඩර් මලින් හා මර්ට්ල් මලින් ගැවසී ගත් සුන්දර උද්‍යානයකට එහි කවුළුව විවෘත වී තිබුණේය. සිත් ගන්නා සුළු කුඩා දොළ පාරක් උද්‍යානය හරහා තවාරෝව බලා ගලා බැස්සේය.

මේ දර්ශනය, වැටක් මෙන් ගන සැරේට හෙවි  වැවී ගිය දේවදාර ගස් පෙළකින් සීමාවී තිබුණේය.   ඉතාලි නිවෙස් බොහොමයක දක්නට ලැබෙන අන්දමින් මෙහිද කාමර සියල්ල සුදු හුණු ගා, ඒ මත දේශ දර්ශන සිත්තම් කිරීමෙන් අලංකාර කර තිබිණ.

මේ කාමරය - ගෙදර නොසිටි පුත්‍රයාගේ මේ කාමරය - ඔවුන් මට නතරවීම සඳහා සුදානම් කර දුන්නේ, එය නිවසෙහි වූ ඉතාම සුව පහසු දනවන කාමරය නිසාවූ බව මම එක්වරම වටහා ගතිමි.   එහෙයින්, මාරියා උදුන දල්වා උණුවතුර මට සුදානම් කරද්දී, මම කාමරය හා එහිවූ දැව භාණ්ඩාදිය පිරික්සමින් එය අයිතිකරුගේ ගති සිරිත් දැන ගන්නට උත්සාහ දැරීමි.

වමේ සිට දකුණට පිරික්සුම් බැලුම් හෙළත්දී මට නා නා විධ දේවල් දක්නට ලැබිණ.

ගෘහ භාණ්ඩ සියල්ල නුතන පන්නයේ වුයේය. ශිෂ්ටාචාරය වැද්ද නුදුන් දිවයිනේ මේ ප්‍රදේශයට,අලුත් විලාසිතාවන් පැමිණීම ධනවත් බවේත් ශ්‍රී සමෘද්ධියේත් අසාමාන්‍ය ලක්ෂණ විය.   ගුදිරි තුනක් හා කොට්ටයක් සහිත යකඩ ඇඳක්ද දිවානයක්ද මට දක්නට ලැබිණ. එයට අමතරව අත්පුටු හතරක් ද පොත් අල්මාරියක්ද ලියන මෙසයක්ද එහි වුයේය.  මැහෝගනි දැවයෙන් තනන ලද මේ සියල්ලම,අජසියෝවේ ප්‍රධාන පෙළේ ගෘහ භාණ්ඩ වෙළෙන්දෙකුගෙන් මිලයට ගන්නා ලද ඒවා විය හැකිය.

දිවානයටත්,අත් පුටුවලටත්,සාමාන්‍ය පුටුවලටත් මල් වැටුණ චීත්ත කවර දමා තිබිණ.   ජනේලවලටද ඇඳ තිර වලටද යොදා තිබුණේත් එම රෙදිමය.

මේ සියල්ල සිතේ තැන්පත් කර ගනිත්ම මාරියා කාමරයෙන් පිටවී ගියෙන් මට මගේ පරීක්ෂණ තව දුරටත් පවත්වා ගෙන යෑමට ඉඩ කඩ ලැබිණ.    පොත් අල්මාරිය ඇර බැලූ මට, පොත් පත් රාශියක් දකින්නට ලැබුණේය.  ඒ සියල්ලම මහා කවීන්ගේ කෘති විය.   කෝර්නෙයි, මොලියේර්, ල ෆොන්තේන්, රොනාද්, වික්ටර් හියුගෝ, ලමාර්තින්, යන කවීහු එහි වුහ.   මොන්තේඤ්, පැස්කල්, ල බ්‍රැයේර් යන දාර්ශනිකයෝද මෙසෙරේ,ශාතොබ්‍රියෝං, ඔගස්තින් තියරි යන අපේ ඉතිහාසඥයෝ ද කියුවියේර්, බෙන්දන්, එලික් ද බෝමෝන් යන අපේ විද්‍යාඥයෝ ද එහි දක්නට සිටියහ.   ඉක්බිතිව නවකථා කීපයක්ද මගේ ඇස ගැසිණ.  එම නවකථා අතර මගේ "සංචාරක සටහන්" නමැති කෘතිය තිබෙනු දැකීම මගේ ආඩම්බරයට හේතුවිය.    

එහි පෙට්ටගමක ලාච්චුවල යතුරු තිබුණෙන් මම එක් ලාච්චුවක් ඇර බැලීමි.   එහි කෝර්සිකාවේ ඉතිහාසය පිළිබඳව ලියන ලද කොළ කීපයක්ද පළි ගැනීම් නතර කරන ලෙස ඉල්ලමින් ලියන ලද අවවාදාත්මක නිබන්ධනයක්ද ප්‍රංශ කවි කීපයක් හා ඉතාලි තුදුස් පද සැහැලි කීපයක් ද වුයේය.    මේ සියල්ලම තිබුණේ අත් පිටපත් වශයෙනි.   මීට වඩා යමක් මට අවශ්‍ය නොවූයේය.   ලුවීද ෆ්‍රන්චි මහතා ගැන අදහසක් ඇති කර ගැනීමට ඒවා මට ප්‍රමාණවත් වූ හෙයිනි.

ඔහු ඉගෙනීමට ආශා ඇති ප්‍රසන්න තරුණයෙකු මෙන්ම, ප්‍රංශ ප්‍රතිසංස්කරණවාදී අදහස් අගයන්නෙකු ද විය යුතුය.  නීතිය හැදෑරීම සඳහා ඔහු ප්‍රංශයට යන්නට ඇත්තේ කුමක් නිසාදැයි මට තේරුම් ගත හැකි විය.    ශිෂ්ටාචාරයේ යහපත් ප්‍රතිපල ගැන ආශාවක් ඔහු තුළ තිබෙන්නට ඇති බව නිසැකය.    මෙසේ සිතමින් මම ඇඳුම් මාරු කරගන්නට වීමි.    

මා ඇඳගෙන සිටි ඇඳුම, ෆ්‍රන්චි මැතිනියට මා කලින් ද පැවසුවා සේ, කෙබඳු මිනුමකින් වුවද විචිත්‍ර නුවුවකැයි කිව නොහැකි වුවද, එය වඩාත් ප්‍රසන්න කර ගැනීමට ඕනෑ තරම් ඉඩ තිබිණ.   එම නිසා මම, ස්පාඤ්ඤ වියමන් අනුව, යටින් ඇඳි ඉරි වැටුණ සේද කමිසය පෙනෙන්නා වුත් දිනයේ උණුසුම් කාල වෙලාවලදී වාතාශ්‍රය ලැබෙනසේ අත් කෙළවර විවෘත කරන ලද්දාවූත්, විල්ලුද ජැකට්ටුවක් ද එයට ගැලපෙන කලිසමක්ද වර්ණවත් සේද රෙද්දෙන් එම්බ්‍රොයිඩර් කරන ලද්දාවූත් එක් පසෙකින් විවෘත කරන ලද්දාවූත් ස්පාඤ්ඤ කෙණ්ඩා ආවරණ යුවළක්ද  ඕනෑම විලාසිතාවකට හැඩ ගසා ගත හැකි පුළුල් වාටියක් සහිත මෘදු ෆෙල්ට් තොප්පියක්ද ඇඳ පැළඳ ගතිමි.

සංචාරකයාට ඉතා සුවපහසු ඇඳුමක් යැයි රෙකමදාරු කළ හැකි මේ ඇඳුම ඇඳ නිම වත්ම, කාමරයේ දොර ඇරිණ.  ඉක්බිතිව කලින් මා හා කථා කළ සේවකයා ම , මා ඉදිරියේ පෙනී සිටියේය.

ඔහු පැමිණ සිටියේ තම තරුණ ස්වාමි පුත්‍රයා වන ලුෂියෙන් ද ෆ්‍රන්චි මහතා පෙරළා නිවෙසට පැමිණ සිටින බවත් මා වෙත අවුත් මා පිළිගැනීමට ඔහු සුදානම්ව සිටින බවත් ඒ සඳහා මගේ අවසරය ලබා ගැනීමට බවත් මට දන්වා සිටීමටය.

ලුෂියෙන් ද ෆ්‍රන්චි මහතා හමුවීමට මා ඉතා ආශාවෙන් සිටින බව දැන්වූ මම, ඔහු මා හමුවීමට එතොත් එය මට පිරිනමන ලොකු ගෞරවයක් බවද පළ කළෙමි.

මොහොතකින්, ඉක්මනින් එන්නෙකුගේ අඩි ශබ්දයක් මට ඇසිණ.   ඒ එක්කම වාගේ මගේ සංග්‍රාහකයා මුහුණට මුහුණ දී මා ඉදිරියේ පෙනී සිටියේය."

( ඇලෙක්සන්දර දියුමා (The Corsican Brothers by Alexandre Dumas) ගේ  කෝර්සිකානු සහෝදරයෝ, පරිවර්තනය, කේ.ජී.කරුණාතිලක. ප්‍රකාශනය, දයාවංශ ජයකොඩි සහ සමාගම 1998.)


මා ඉහතින් දක්වා තිබෙන්නේ කෝර්සිකානු සහෝදරයෝ නවකථාවෙහි හැඳින්වීම සහ පළමුවෙනි සහ දෙවෙනි පරිච්ඡේද දෙකය.   හැඳින්වීමෙහි ඉතා නිවැරදිව සඳහන් කර ඇත්තාක් මෙන් අද්භූත ජනක සිද්ධීන් ගෙන් ගහණ මෙම නවකථාව අවසානය දක්වා මහත් කුතුහලයකින් යුක්තව කියවිය හැක්කකි.   ඩූමා මෙහි සඳහන් කොට ඇති කෝර්සිකානු සංචාරය ඔහුගේ පුද්ගලික අත්දැකීමක් විය හැකි යැයි මට සිතේ.  ඉතිරිය? කෙසේවත් සැබෑ ජීවිතයේ සිදු විය නොහැක්කකැයි මට සිතෙන ඉතිරි කොටස ගැන මා තුළ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි෴

10 comments:

  1. https://americanliterature.com/author/alexandre-dumas/book/the-corsican-brothers/chapter-i

    ReplyDelete
  2. Asterix in Corsica සිහි වුනා . :-D

    ReplyDelete
    Replies
    1. druid is having a nap under a tree until missletoe falls down itself

      Delete
  3. පොඩි කාලෙ කියෙවුවට පස්සෙ මේ පොත් සෙට් එකම ආයෙ කියවන්ට ලැබුනෙ නැහැ.. ආයෙමත් අරන් කියවන්ට කාලෙ හරි වගේ..

    ReplyDelete
  4. හැලපෙ, නාට්‍ය ලියුවෙ දියුමා පුතා නේ ද? තාත්තා තමා නවකතා ලියුවෙ...

    ReplyDelete
  5. ඇලෙක්සැන්දර දියුමාගේ කෘති අතරින් කුමාර සිරිවර්ධන පරිවර්තනය කරපු "කළු දල මල" පොත තමයි මට මතක පොත.

    "කෝර්සිකානු සහෝදරයෝ" හොයා ගන්න බලන්න ඕන.

    ReplyDelete
  6. මතකේ හැටියට 9 වසරේදී කියෙව්වේ. ශේර්ලොක් හෝම්ස්, මොන්ත ක්‍රිස්තෝ, ඇලන් ක්වාටමන් කතන්දර වලට පස්සේ ආසම එකක් මේක

    ReplyDelete