Tuesday, May 8, 2018

ගිනි සිසිල.


අද ලියන්නට යන්නේ බොහොම පැරණි පොතක් ගැනයි.  පොත කොච්චර පරණ ද කිව්වොත් පොතේ මුල හරිය හෙවත් හැඳින්වීම, කර්තෘ ගේ සටහන මුද්‍රණය කළ වර්ෂය ආදී කිසිම දෙයක් නැත.  කතා ටික පමණක් ඉතිරිවෙලා ඇත.  මේ පොත නම් ලංකාවේ සිටි ශූර කතා කියන්නෙකු මෙන්ම පත්‍ර කර්තෘ වරයෙක්ද වූ පියසේන නිශ්ශංක මහතා විසින් ලියන ලද "ගිනි සිසිල" නම් පොතයි.  මේ පොතේ බොහොම රසවත් කතා විසිඅටක් අඩංගු වී ඇත.  මේ කතාවලින් මීට ශතවර්ෂයකට පමණ පෙර ලංකාවේ ජන ජීවිතය කෙසේ වීදැයි කියවන්නාට පැහැදිලි වෙ.  එකල ලංකාවේ ගැමි හා නාගරික ජීවිතය, මිනිසුන්ගේ ගති පැවතුම්, කතා බහ, ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත්, කෑම බීම ආදිය බොහොම රහට විස්තර කැරෙන කතා ටිකකි.  1889 වර්ෂයේ දී  ගණේමුල්ල, කැන්දලියැද්දපාළුවේ උපත ලද පියසේන නිශ්ශංකයන් පත්තරකාරයෙක් වුයේ අහම්බෙනි.  භාෂා පරිවර්තකයකු ලෙස ලේක්හවුස් ආයතනයට බැඳුණු නිශ්ශංකයන් සිළුමිණ පත්‍රයේ ආරම්භක කතුවරයා විය.  පසුව දිනමිණ පත්‍රයේ කර්තෘ ධුරය දැරූ එතුමා බුදුසරණ, සුබසෙත යන පුවත්පත් වලද ආරම්භක කතුවරයා විය.   එතුමාගේ වෙනත් පොත්වල නැවත මුද්‍රණ තිබුණත් මේ පොත නැවත මුද්‍රණය වී ඇති බවක් දැනගන්නට නැත.  පොත මට බොහොම වටින්නේ ඒ හින්දාය.  දැන් අපි මේ පොතේ එන 12 වෙනි කථාව කියවමු.

අනේ ! වෙච්ච දෙයක්.

ස්වකීය මව රැකබලාගැනීමට සිටියේ ජුවන් පමණය.  පියා ජීවත්ව සිටියදී මොන වැඩක් හරි කරලා පවුලට කන්ට දුන්නමුත් බරපතල රෝගයක් සැදී ඔහු මියගිය තැන් පටන් අම්මා රැකබලා ගන්ට සිදුවුණේ ජුවන්ටය.

මව රකින මේ ව්‍යාපාරයේදී ජුවන්ට හොරකම් කරන්ටද සිදුවිය.  නොවළල්ලෙන් පොල්ගස් යන්ට සමතෙකු වූ ඔහු වැඩියක් කළේ පොල් හොරකමය.  ජුවන් පමණක් නොව තවත් පොල් හොරු එකල ගමේ සිටියාහ.  නමුත් නියර මිටි තැනින් වතුර යන්නාක් මෙන් ගමේ ප්‍රධානයෙකුගේ වත්තක පොල් හොරකමක් ජුවන් පිටින් ගියේය.  ඒ පොල් හොරකම ගැන ජුවන්ට විරුද්ධව ගම්සභා උසාවියේ නඩු වැටුණි.  නඩුවට භයවූ ජුවන් ගමෙන් පැනගියේය.  ටික දවසකින් ඔහුගේ අම්මාත් නැතිවිය.  ඔවුන් ආගිය අතක් ගමේ කිසිවෙකුටවත් දැනගන්ට නොලැබිණ.  නමුත් අවුරුදු කීපයකට පසු ජුවන් මට හමුවිය.

එකල ඔහු හැදුණු වැඩුණු වයසේ ගැටයෙකි.  මට හමුවුණ දා ඔහු ටවුන් එකේ තාලෙට සරමක් ඇඳ මේස් බැනියමක් ඇඟලා කර වටා පට ලේන්සුවක් බැඳ කොණ්ඩේ කපා ජැක් පීරලා කයිමන් දොරකඩ ගැටයෙකු වගේ සිටියේය.

මා ජුවන් ඇඳිනගත්තේ මට කථාකොට වංහුං කීමෙන් පසුය.  ඒ මා හෙනරත්ගොඩ( දැන් ගම්පහ)අපේ මාමා කෙනෙකුගේ ගෙදර නැවතී ඉගෙන ගන්ට ඉස්කෝලේ යන කාලයයි.  අපේ මාමා ගුරුවරයකු නිසා වැඩිය හොඳින් ඉගෙන ගන්ට තාත්තා මා ඒ ගෙදර නැවැත්වීය.  ජුවන් මට හමුවුණේ එහිදී ඉස්කෝලේ ගිහින් එන අතර මගදීය.

" කොහොමද? පොඩි උන්නැහේ " යි ජුවන් මට කතා කළේය.

ඒ කාලේ මට ගෙදරට කියන්නේ පොඩි උන්නැහේ කියලාය.  එක පාරටම අඳුනාගන්ට බැරිව මම ජුවන්ගේ මුහුණ දෙස බැලුවෙමි.  " ඇයි අඳුනන්ට බැරිදැ "යි ඔහු වංහුං කියා තෙමේම මට හඳුන්වා දුන්නේය.

ජුවන් හොඳහිත ඇති කොළුවකු බව මම ගමේදීත් දැන සිටියෙමි.  ජුවන්ගෙ තාත්තාත් හොඳ හිතඇති මිනිහෙකැයි ඒ කාලයේ දී අපේ තාත්තා කියනවා මට ඇසී තිබේ.

නමුත් දැන් ජුවන් ඒ පරණ ජුවන්ට වඩා බොහෝ වෙනස්ය.  මම ඔහුගෙන් ඉන්න තැන විචාළෙමි.

" පොලීසියෙ ලොකු මහත්තයගෙ බෝයි " යි ඔහු කීය.

" කෝ අම්මා "

" ඒ බංගලාවේම කුස්සි අම්මා "

" එහෙනම් දැන් ජුවන්ලට සරු ඇති " යි මම කීමි.

" ඔව්, අපිත් ඔහෙ ඉන්නවා " යි කී ඔහු පොඩි උන්නැහේ දැන් කීයෙදැයි මගෙන් ඇසීය.

" හයේ " මම කීවෙමි.

" අපොයි, තවම හයේදැ" යි ජුවන් මට කවටකම් කරන්ට විය.

" ඔච්චර කල් ඉස්කෝලෙ ගියානම් මම නම් මෙලහකට අද්වකත් විභාගයත් පාස් කරලා "

කිව්වාම මොකද, ජුවන්ගේ ඒ කථාවට මට ලජ්ජා සිතී නිහඬව ඉන්නා විට ඔහු මා ඉන්න තැන ඇසීය.  මම ඉන්න තැන කීවෙමි.

" යමු, මාත් එනවා ඉන්න තැන බලා ගන්ට " යි කියමින් මා සමග ජුවන්ද ගියේය.  යන ගමන් ඔහු කඩයකට ගොඩවී සිගරැට් එකක් පත්තුකරගෙන මට සීනිබෝල ගෙනත් දුන්නේය.

ඉස්කෝලේ සිට අපේ මාමා තවමත් ගෙදර ඇවිත් නැත.  නාන්ටද කොහෙද ගිහින් නැන්දත් ගෙදර සිටියේ නැත.  සිටියේ ජේන් පමණයි.  මම ජුවන් සමග ගෙට ගොඩවීමි.  වෙනදා ඉස්කෝලේ ගිහින් ආ හැටියේම මම දුවන්නේ බත් පංගුව ළඟටයි.  නමුත් මෙදින ජුවන් නිසා මට ටිකක් බලා ඉන්ට සිදුවිය.  ජුවන් සිටින බවක් ජේන් දන්නේ නැත.  මගේ ප්‍රමාදය දැක " පොඩි උන්නැහේට අද බත් එපා වෙලාදැ" යි කුස්සිය පැත්තේ සිටි ඈ එළියට ආවාය.

ජේන් හොඳ හැඩහුරුකම් ඇති ගෙදරක ඉන්ට හොඳ සිරියාවන්ත ලමිස්සියකි.  ඈ බොහෝ කරුණාවන්තය.  කෙනෙකුට කතා කරපුවාම බඩ පිරෙනවාය.  ගෙදර සියලුම වැඩ කෙරෙන්නේ ඈ අතින් වුවත් ගෙදර නැන්ද මාමා ඇතුළු අප සියලු දෙනාම ඈට සලකන්නේ වැඩ කාරියක හැටියට නොවෙයි.  ගෙදරම කෙනෙකු හැටියටය.

ඉහත කී ලෙස එළියට ආ ජේන් ජුවන් දැක දොර ළඟ නැවතුණේ මොන කාරණයක් නිසාදැයි මම නොදනිමි.  ඒ ගැන විවරණ කිරීම චින්තකයන්ට භාරය.  නමුත් ඈ අසාගෙන ආ ප්‍රශ්නයට " ජුවන් ගියාම මම කනවා " යි මම උත්තර දුනිමි.

" ගිහින් කාල එන්ඩ, මම එතකල් ඉඤ්ඤම් " යි ජුවන් කීය.

" ජුවන්ට බඩගිනි නැද්ද? " මම ඇසුවෙමි.

" මෙච්චර වෙලා අපි ඉන්නෙ නෑ, දැන් අපි කාල හුඟක් වෙලා " යි ඔහු කීය.

" ඔයා ගිහින් කෑම කන්ඩ, මම එයාට තේවතුර කෝප්පයක් දෙන්නම් " යි ජේන් කීය.

මම බත් කෑමට ගියෙමි.  ජේන් තේවතුර වක්කරන්ඩ ගියාය.  තේවතුර කෝප්පයක් වක්කර ගත් ජේන් ඒකට සීනි දමන්ට මා කෑම කකා සිටි මේසය ලඟට ඇවිත් " කවුද ඒ යාළුවා " යි ඇසීය.

" ජුවන් " මම කීවෙමි.

" මහ අමාරු කාරයෙක් වගෙයි " ජේන් කීවාය.

" නැහැ, ජුවන් හොඳ මිනිහා " යි මම කීවෙමි.

ජේන් තේ කෝප්පෙට දැම්මේ සීනි විතරක් නොවෙයි.  වැනිලා ස්ප්‍රීතු බින්දුවකුත් දමා රස බලා ඈ එය ගෙනගියේ කොණ්ඩය හේමත් හදාගෙන ටිකක් සැරසිලාය.  ඈ තේ කෝප්පය ජුවන් අතට දී මා සිටි තැනට ඇවිත් තව වරක් ඒ කවුදැයි ඇසුවාය.

" ඇයි සැරයක් කිව්වා ඇහුණේ නැද්ද? එයා ජුවන් ! යි මම තරහෙන් මෙසේ කීමී.

අපේ මාමා හා නැන්දා එනතුරුත් බලා සිට ජුවන් උන්දලා එක්කත් කතා කර කර ඉඳලා යන්ට ගියේය.

පසුදා ඉස්කෝලේ ගොස් එනවිටද ජුවන් මට සම්බවිය.  ඒ ජුවන් මා සම්බවන්ටම ආ ගමනකි.  ඔහු ජේන් ගැන මතක් කළේය.

" ජේන් බොහොම හොඳ කෙනෙක් " මම කීවෙමි.

" ඔව්, මටත් තේරෙනවා" යි කී ජුවන් " මෙන්න මේක ජේන්ඩ දෙන්ට " යි මට පොතක් දුන්නේය.

"පොත මොකක්දැ "යි මම ඇසුවෙමි.

"ඕක මගේ සේවින්ස් බැංකු පොත, ඒක මම ජේන්ඩ දෙනවා" යි ඔහු කීය.

" ඒ මොකටදැ" යි මම ඇසුවෙමි.

" ජේන් හොඳ එක්කෙනා, එයාට මම කැමතියි.  ඒක නිසා මම එයාට ඒක දෙනවා, ඕකෙ පවුන් දෙසියයක් තියෙනවා"

මට කාරණය ටිකක් තේරී " ජේන් මහ වසයි" කීවෙමි.

" ඒකට කමක් නැහැ, ඕක දෙන්ඩ"

" උඹට අම්ම බනින්නේ නැද්ද?"

" ඒක මම බලාගන්නම්, ඕක ජේන්ඩ දෙන්ඩ"

" කොයින්ද උඹට මේතරම් සල්ලි" යි ඊළඟට මම ඇසුවෙමි.

" මට එහෙන් මෙහෙන් සම්බ වෙන ඒවා " යි ඔහු කීය.

" ඊයේත් මට රුපියල් විසිපහක් සම්බ වුණා.  ඊයේ පොලිසියෙන් ගියා කුකුල් කෙළියක් අල්ලන්ඩ.  ගිහින් එනකොට කුකුළන් පස්දෙනෙකුත් අහුවෙලා ගෙනාවා.  තිස් පොරක් දිනාපු අලගිරියගෙ හොඳ නම් දරාපු පුල්ලියත් එකෙක්.  වෙන කුකුලෙක් ගෙනත් දීල ඌ අරන් දුන්නොත් රුපියල් විසිපහක් දෙනවායි මට කෙනෙක් කිවුවා.  මම ඒ කුකුළ තියල අර කුකුළ අරන් දීල රුපියල් විසිපහ ගත්තා."

" මහ හොර වැඩක් නේද කරලා තියෙන්නෙ" යි මම කීවෙමි.

" කොහොමද? හොර වැඩක් වෙන්නෙ, කුකුළට කුකුළ ඉන්නෙ" යි ඔහු කීය.

" ජේන් අක්කා නම් ඕවාට කැමති වෙන්නේ නැහැ.  එයා හරි කෙළින් ගෑනි" යි කී මම ජුවන් දුන් පොත ගෙදර ගෙනගොස් " ජුවන් දුන්නා" යි මම ජේන්ට දුනිමි.

ජේන් එය ගත්තේ " හොඳයිකෝ? මේවායි කරන වැඩ. මම මහත්තයට කියල ඉල්ලල දෙන්නම්කො" කියමිනි.  නොකැමැත්තෙන් මෙන් වුවත් පසුව ජුවන් ගැන ඇසු තොරතුරු වලත් ඇගේ යටි හිතේ අකැමැත්තක් නැතිබව මට තේරිණ.

මේ පටන් ගැන්මයි.  පසුව මට ජුවන්ගේ පණිවුඩ ජේන්ටත් ජේන්ගේ පණිවුඩ ජුවන්ටත් ගෙන එන්ට සිදුවිය.  පසුව ඒ පණිවුඩ ලියුම් විය.  ඊළඟට ලියුම් සමග තෑගීබෝගත් විය.

අන්තිමට මේ හාදකම හොඳින්ම වැඩි දියුණුවී විවාහ යෝජනාවද කාගේත් කැමැත්තෙන් ස්ථිරවී තිබෙන අතරතුර ජේන්ට උණසන්නිපාත රෝගය වැළඳුණේය.

පුළුවන් තරම් දඟ දමා එවකට සිටි දක්ෂම වෙදවරුන් ලවා වෙදකම් කරවූ නමුත් රෝගය තදින්ම උත්සන්න විය.  ගෙදර වෙදකම් කර බැරිතැන අන්තිමට ජුවන්ගේ ඕනෑකම පිට කොළඹ මහ ස්ප්‍රිතාලයටද ගෙනගිය නමුත් එයින්ද කිසි පිළිසරණක් නොලැබ ඇගේ අන්තිම මොහොත ලඟාවිය.

එදා රෑ මමත් ජුවනුත් ඇඳ ළඟය.  ඈ මා ලඟට කැඳවා සෙමින් අත ඔසවා මගේ ඔලුව අතගෑවාය.  ඊළඟට ඈ ජුවන් ළඟට කැඳවා කනට කර සිහින් හඬින් මොනවාදෝ කීවාය.  ඒ කීදේ මට ඇසුණේ නැත.  ජුවන්ගෙන් ඇසු නමුත් ඔහු මටවත් ඒ කීදේ කීවේ නැත.

ඈ අන්තිම හුස්ම හෙළුවේ ජුවන් ඇගේ අතින් අල්ලාගෙන ඔහුගේ කඳුලෙන් ඇගේ මුහුණ තෙමමින් සිටින විට හා මා ඇගේ කකුල් අතගාමින් සිටින විටය.

හේවිසි බෑන්ඩ් තූර්යනාදාදිය ඇතිව ජුවන් බැංකු පොතේ සල්ලි වලින් බාගෙකටත් වඩා වියදම් කර ඇගේ භූමදානය මහත් ගරු බුහුමනින් කරවා ඉතිරි මුදල් අම්මාට දී හිසත් බුගාවා ගෙන එදිනම පිටවී කොහේදෝ ගිය ගමන් හැරී ආවේ නැත.

වැඩු මහල් සොහොයුරියක්වත් නොකරන තරමට මට ආදරයෙන් සංග්‍රහ කළ ජේන් අක්කා නැතිව මාමාගේ ගෙදර ඉන්ට බැරි නිසා මමද අඬ අඬා ගෙදර යන්ට ගියෙමි.  අනේ! අපට වෙච්ච දෙයක්

( ගිනි සිසිල, පියසේන නිශ්ශංක. 1965 /ප්‍රකාශනය. ඇම්.ඩී ගුණසේන සහ සමාගම.)

7 comments:

  1. සංවේග උපදවන අවසානයක් උනත් මගේ හිතේ නම් ඒ තරම් සංවේගයක් ජනිත උනේ නැහැ මේ කතාව කියවීමෙන්.සමහරවිට ඊට හේතු වෙන්න ඇත්තේ මේ මුල් යුගයේ ලේඛන හැඩහුරුකම් නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති, මේ පොතේ ඔක්කොම කතා ඔය ලේඛන ක්‍රමයටමයි.

      Delete
  2. හැලපෙට කියන්න බැරිද සූරිය හෝ ජයකොඩිලට රීප්‍රින්ට් එකක් කරන්න කියලා?

    ReplyDelete
    Replies
    1. සුරිය එකට කියන්න පුළුවනි. ගිය වෙලාවක බලන්නම්.

      Delete
  3. බොහොම කාලෙකට ඉස්සර කියවලා හෝ අඩුම ගණනේ අතපත ගාලා තියනවා මතකයි. බෙදාගත්තාට තුති. අනිත් කතාත් දාන්ඩ හැකි වෙලාවක.

    ReplyDelete
    Replies
    1. රසවිඳීම ගැන ස්තුතියි.

      Delete
  4. ස්තූතියි මේ කතාව බෙදා ගත්තාට.. තවම මුද්‍රණයක් නැති එක තමයි පාඩුව.. හැලපයාට ඒක ගැන මොකුත් කරගන්න බැරි උනාද දන්නෑ?

    ReplyDelete