Wednesday, May 6, 2026

මකර කට මැදින් ගිය මුහුදු චාරිකාව

අද තවත් ලෙනාර්ඩ් වුල්ෆ්ගේ කතාවක් කියවමු. ලෙනාඩ් වුල්ෆ්ගේ කතාවක් කීවත් ඇත්ත වශයෙන්ම මෙය විජේසිංහ බෙලිගල්ල විසින් රචිත ලෙනාඩ් වුල්ෆ් ගැන කතාවකි.

මකරා යනුවෙන් හැඳින්වෙන කිසියම් සත්වයෙකු විශ්වයේ යම් තැනක සිටීද යන්න අපට ප්‍රශ්නයක් නොවේ. මහ මුහුදෙහි එක්තරා මකර කටක් ඇති බව සඳහන් ළමා කතන්දර අපි කවුරුත් අසා ඇත්තෙමු.යි නෝනිස් මහතා කීය.  මේ මකර කට දකුණු වෙරළට ඉතා සමීපව කුඩාවැල්ලට නොදුරින් ඇතැයි ගැටමාන්නේ වත්තෙහේනේ ගතකළ එක් දිනෙක ලෙනාර්ඩ් වුල්ෆ් සමග කීවේ ඩී.ඒ.ඇස් විජේසිංහ මහ රාළහාමිය.  මෙහි එක්තරා සත්‍ය සිද්ධාන්තයක් ඇති බව වුල්ෆ්ට තේරුම් ගියේය.

කිසිම දිනෙක කෙබඳු ඉඩෝරයකදී වුවද නොසිඳී උතුරා ගලන ජල බුබුළු පනහක් හැටක් පමණ ගිරිවා පත්තුවෙහි ඇති බවත් මේ ජල බුබුළුවලට මේ තරම් මහා ජලස්කන්ධයක් කොතැනින් ලැබෙන්නේද යන බවත්, සාකච්ඡාවට යොමු වූ ගැටමාන්නේ ද, මහා ජල බුබුළු දුසිමක් පමණ ඇති බව උපදිසාපති දුටුවේය.

අවුරුද්දේ වැඩි කලක් දැඩි නියඟින් වියැළෙන ගිරිකුළු හා උසැති කඳුවැටි ගහන ගිරිවායෙහි නොසිඳෙන ජල බුබුළුවල කිසියම් අද්භූත බලයක් තිබෙනවා යයි දැනගත් පසුව, ඒ හාස්කම කුමක්දැයි වුල්ෆ් ගැටමාන්නේ මහ රාළහාමිගෙන් ඇසුවේය. මහ මුහුදේ මකර කට තිබෙන්නේ මේ ළඟපාත යයි එවිට ඔහු කීවේය. `මකරකට` යි විමතියෙන් මෙන් කටහැර කියූ උපදිසාපති මකරකට නිසා ජල බුබුළුවලට ජලය ලැබෙනවා දැයි විමසීය.

ගිරිවා පත්තුවේ ඈත කඳු ගම්වල ඇති බුබුළුවලින් පවා මුහුදු වැලි හා බෙලිකටු වරින් වර මතුවෙන අතර ජලයෙහි ද කිවුල් රසක් ඇති බැව් ද සියල්ලෝම දනිති.  සදා නොසිඳෙන මහසයුරෙන් මිහිගැබ තුලට ගලා බස්නා මහා ජල ප්‍රවාහයක් උමංදෝණි දිගේ බෙදී විසිරී ගොස් තැනින් තැනින් මතුවෙන බැව් ලෙනාර්ඩ් වුල්ෆ්ට අලුත් ආරංචියක් විය.

නුඹලාගේ විහාර මන්දිරවල අලංකාර ලෙස ඇඳ තිබෙන මකරා මෙන්ම මුහුදු මකරාත් විචිත්‍ර වෛවර්ණ කටවල් දෙකක් ඇති එකෙක්දැයි ගැටමාන්නේ රාළහාමිගෙන් උපදිසාපති ඇසීය. විහාර මන්දිරවල මකර මූර්තියෙන් `කාලය`සංකේතවත් වන බැව් ඔහු කීය.

කුඩාවැල්ලට නොදුරින් මහ මුහුදේ ඇතැයි කියන මකරකට බලන්නට යාමට ලෙනාර්ඩ් වුල්ෆ් තීරණය කළේය.කීප දෙනෙකුට ආරක්ෂාකාරී ලෙස ගමන් කළ හැකි හොඳ රුවල් ඔරු දෙක තුනක් සූදානම් කරවන මෙන් කුඩාවැල්ලේ උපන් අයෙක් වූ වලස්මුල්ලේ ජයවික්‍රම පත්තුවේ රාලහාමිට දැන්වීය.

නාකුළුගමුවේ වෙද මුහන්දිරම් ඩී.ඩී අතපත්තු රාලහාමිගේ නිවසට රැස්වී මුහුදු ගමනට අවශ්‍ය සියලු කළමනා ලක ලෑස්ති කර ගත්හ. කුඩාවැල්ල ධීවර තොටුපොළින් රුවල් ඔරුවලට නැග, කළමැටියේ ඔපිසර ගෙදරට මුහුදින් යාම ගමනෙහි පළමු පියවර විය. එතැනින් නැවත මුහුදුබත් වී හම්බන්තොට තොටුපොළට සේන්දු වීම, ගමනෙහි දෙවන පියවර මෙන් උපදිසාපති විසින්ම චාරිකා සැලසුම සම්පාදනය කරන ලදී.

දැවැන්ත බල ඔරු හතරක් අලුත්ම රුවල් යොදා, කොල්ලෑවල් සහිතව කුඩාවැල්ල ධීවර තොටුපොළෙහි වැල්ලෙහි සූදානම්ව තිබිණි.

පළපුරුදු ඔරු නායකයන් හෙවත් `මහමරක්කලහෙලා`සමග හොඳ ඔරු පදින්නෝ අලුත්ම හබල්ද සූදානම් කොට ගමනට පේවී උන්හ. මුහුදෙහි කිමිදුම් ඇඳුම් කට්ටලයක් හැඳ සිටි ලෙනාර්ඩ් වුල්ෆ් සමග ඔහුගේ කණ්ඩායම නියමිත වෙලාවට පැමිණියහ.

මිනින්දෝරු කොක්, නීතීඥ පෝලියර්, සහ එකල තංගල්ල සහකාර පොලිස් අධිකාරී ඩී.ඩී හඩ්සන්, මුදලිඳු අමරසේකර, බබුන් රාළහාමි සහ නෝනිස් ද ඔරු තොටුපොළෙහි වූහ.  

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුහුදු වෙරළබඩ ධීවර කලාපය පටන්ගන්නේ කුඩාවැල්ල ගම්මානයෙනි.  මාදැල් දැමීමත් ඔරුවලින් පන්නෙ කිරීමත් ගම්වැසියන්ගේ ජීවන මාර්ගයයි. මුහුද ඔවුන්ට සම්පතකි.  පොල් අතු වහලට සෙවිළි කල කුඩා නිවාස පේලියක් වෙරළෙහි සිටින විට පෙනේ. ගැහැණු පොල් ලෙලි තලා ලණු ඇඹරීමේද යෙදෙති.  කුඩා ළමයින්ද ගම් වැසියෝද වෙරළට පැමිණි මේ සුදු අමුත්තන් දෙස ආශාවෙන්ද ගරුබුහුමනින් ද යුතුව බලා සිටියහ.  මේ යන්නට පෙළ ගැසී සිටින්නේ මකර කටේ මුව විටටය.  එය යළි නොඑන ගමනක්ද විය හැකිය.  හැම ඔරුවකටම ජලය පිරවූ ලොකු බෝතල්, විස්කෝතු ටින්, චීස් ටින්, බටර් මුසු කළ පාන්, ඉදුණු කෙසෙල් ගෙඩි,ගස්ලබු ගෙඩි , සිගරැට් ද පැටවූහ.

ගම්වැසියෝද ඇඹුල්තියලට හැදූ මාළු කුණ්ඩහට්ටි හත අටක්ද තෑගි වශයෙන් ගෙනවිත් ඔරුවලට දුන්හ.  කුඩාවැල්ල ජනාකීර්ණ ධීවර ගම්මානයකි.  හාර පන්සියයක් තරම්වූ ගමෙහි බාල, තරුණ, වැඩිහිටි වයස්ගත පිරිසක්ද තොටුපොළට රොක්වී බලා සිටියහ.

පෙරවරු නමයට පමණ සියල්ලෝම එක්වී ඔරු හතර මුහුදට තල්ලු කළහ.  දීප්තිමත් හිරු පායා ඇති දවසකි. පොල්තුරු සෙවනැලි පුරා බබළන හිරු රැස් දිගාවී ඇත. බිඳෙන මුහුදු රළ දෙපා දෝවනය කරමින් පෙණකැටි හලා මඳහසින් යුතුව විසිරේ.  එය දෙවඟනක් දෙපා සිප ගත්තා වැනිය.

ඔරු පදින්නන් සමග විසි දෙනෙක් ඔරු හතරෙහි වූහ.  තමා ද වුල්ෆ් නැගි ඔරුවටම ගොඩ වූ බැව් නෝනිස් මහතා කීය.  පොලිස් අධිකාරී හඩ්සන් ද එහි සිටියේ තුවක්කුවද අල්ලා ගෙනය.

වෙරළෙහි රැස්ව සිටි ගම්මු දෙඅත් ඔසවා වනමින් ඔල්වර හඬ නගමින් මකර කටට යන මේ පිරිසට ආචාර කළහ.  හෙමි හෙමිහිට උස්ව යළි බිඳ බිඳ යන රළ තරඟ මතින් ඔරු පාවේ.

ගමනේ ආරම්භය සතුටුදායකය.

ඉඳි කොළ හිස් වැසුම් පැළඳ කළු අත් දිගු කබාවලින් උඩුකය වසාගත්, හැඩි දැඩි මස් පිඬු ඇති ශක්තිමත් පළපුරුදු ඔරුකාරයෝ රුවල් දිගඇර හබල් ගසා ඔරු දියඹ දෙසට පදවති.

මුහුදට පෙනෙන ගොඩබිම සැබැවින්ම අපට නිතර පෙනෙන පරිසරයට වඩා සුන්දරය.  වෙරළෙහි නතර කර ඇති රුවල් ඔරු, මාදැල්, ධීවර වාඩි හා ගමෙහි ගෙවල් ද උසැති පොල් තුරුද අදහා ගත නොහැකි විචිත්‍රවත් සිතුවම් පටක් දිග හරින්නාසේ දැක්වේ.

කුඩාවැල්ලේ මකර කට ඇති ඉසව්ව හඳුනාගත හැකිය. රට මැදට ගලා යන ජල කඳ ගල් කුළු මැදින් ගැලීමේදී අහසට විහිදෙන දිය වැනි හුම්මානයක් එහි මුහුදු වෙරළෙහි වෙයි.  

මුහුදු රළ වේගයෙන් බිඳෙන කාලවලදී හුම්මානයෙහි දියදළුව, අඩි හාර පන්සියයක් ඉහළට නැගී විහිදෙන බැව් අපේ ඔරුවේ නායකයා කීවේය.

උපදිසාපති කළ නියමයෙන් ඔරුව හුම්මානයට මුහුණ ලා වෙරළ දෙසට පැදවීය.  ගොඩබිමට ජලය ගලා යන කපොල්ල ඇත්තේද හුම්මානයට හරි කෙළින් මුහුද මැදය.  රළ ගොඩ බිම දෙසට ඇදී යනු දැනේ.  හුම්මානයට ජලය ගලා යන මුවවිට මකර කට ලෙස ගම්මු හඳුන්වති.

ඔරු හතරම එක පෙළට මුව විට කරා ළඟාවී යළි ඉවතට පැදවිණ.  මෙතැනින් මුහුදු ජලය ගොඩබිම තුළට ගලා යන බව සත්‍ය කතාවකැයි උපදිසාපතිතුමා සමග සිටි පොලිස් අධිකාරී වරයාට කීය.  එය සොබාදහම දුන් දායාදයකි.

ඔරු ගොඩබිමට ආසන්නව පදවන මෙන් වුල්ෆ් නියම කළේය.  දුරබලනයෙන් වෙරළබඩ තීරය දැක බලා ගැනීමට ඔහුට අවශ්‍ය විය.  කුඩාවැල්ල, මාවැල්ල, සීනිමෝදර, උනාකුරාව, ගොයම් බොක්ක, පල්ලියක්කුඩාව, තංගල්ල දක්වාවූ ධීවර මධ්‍යස්තාන මුහුදින් ගම්න් කරන විට චිත්‍රපට දර්ශනයක් දිගහැරෙන්නාක් මෙන් කදිමට පෙනේ. සියල්ලෝම සතුටින් සිරි නරඹති.

හිරු මුදුනෙහි දිලිසෙන මද්දහනේ දී තංගල්ල තානායම ඉදිරිපිට වූ ධීවර තොටුපොළෙහි ඔරු නතර කොට ගෙනෙන ලද දේ දහවල් ආහාරයට ගත්තෙමු.  තංගල්ල උසාවිය, තානායම හා චාම් පැරණි පෙනීමක් ඇති මාර්කට් ගොඩනැගිලිද ගරා වැටී යන ශිෂ්ටාචාරයකින් ශේෂවූ සුන්බුන් ලෙස පෙනුණි.

කිරම ඔයෙහි බොර දියෙන් මුහුදු ජලයද, දුඹූරු පැහැ ගැන්වී ඇත. හිරු රැස් සැඩය. අව්ව ද බැවින්සියල්ලන්ගේම මුහුණු කළු පැහැ ගැන්වී ඇත.    

දහවල් කෑමෙන් පසු යළි ඔරු ගමන් ඇරඹීය. ඔරු කඳ මත හරි බරි ගැහී රුවල් කණුවට පිටදී වාඩිවූ ලෙනාර්ඩ් වුල්ෆ් දුරබලනයෙන් ගොඩබිම දෙස බලන්නට විය.  මුදලිඳු අමරසේකර කරුණු විස්තර කළේය.

හේනකඩුව දාගැබ, සුදු බුබුලක් සේ මහ මුහුදට දිස් වෙයි.  රැකව කලපුවත්, වෙරළබඩ වූ කඩොලාන කැලයත්, කඩොල් ඇතා මුණගැසුණු තැන ලෙස හැඳින්විණි.  රැකව, කහදාව, වැල්ලඕඩය හා ගිරිවා ගඟ මුහුදට ගලා යන කහඳා මෝදර ද වුල්ෆ්ගේ සිත් ගත් තැන්ය.

කුඩා නිවාසවලින් ද පොල්රුප්පා වලින් ද ගැවසීගත් වෙරළබඩ ගම්මාන අතරින් හිරිගල් පෝරණුවල දුම් රැළි ගුවනට පාවෙයි. තිල්ල වටවන, ගරුපොකුණ ගම්මාන බද වෙරළ ඔස්සේ සවස හතර පමණ වන විට කලමැටියේ ධීවර තොටුපොළට අපේ රුවල් ඔරු සැපත් වූයෙන් සියල්ලෝම වැල්ලෙහි වාඩිවී ගිමන් හරින්නට වූහ.  හරියටම විජය කුමාරයා තම්මැන්නාවට පැමිණියා මෙනි.

කළමැටියේ ගම්පතිවරයා ප්‍රධාන ගම්මු පැමිණ ඉමහත් හරසරින් උපදිසාපතිගේ චාරිකා නඩය පිළිගත්හ.  කළමැටිය කලපුවට යාබද ගම්මානය ලංකාවේ ඉතා කුඩාම ධීවර ගම්මානයයි. එහි පවුල් පහක් පමණ සිටියහ. 

රාත්‍රී නවාතැන සඳහා සම්භාවනීය පිරිස ඔපිසර ගෙදරට ගියහ.  කළමැටිය ලංකාවේ පළමු කුරුළු අභය භූමිය ලෙස ප්‍රකාශයට පත්කළ සොබා දහමේ සම්පතක් බඳු තැනකි.  රාවණ රජදහන ඉතා නොදුරින්ම පෙනේ.

ඕලන්දයන් ප්‍රකාශයට පත් කර වූ ලංකාවේ ප්‍රතම කුරුළු අභයභූමිය වන කලමැටිය (ක්‍රි.ව.1773 දී) ආරක්ෂිත කුරුලු කලාපයක් මෙන් නීතිගත කර ඇත.  ගුරුපොකුණ ධීවර ගම්මානයත්, බටඅත මූකලානත් කලමැටියට යාබදවම පිහිටා ඇත

නාලාගිරි හස්තියා මෙන්, මහ පොලොව පහුරු ගා ගුගුරවමින් හොඬය ඔසවා හඹා එන වල් අලින්, අතට මතුරා අප්පුඩි ගසා පලවා හරින ගොවියන් දැක ලෙනාර්ඩ් වුල්ෆ් පුදුමයෙන් බලා සිටියේය. 

දැලි කොටේ චිහ් යයි මතුරා අසුර ගසා වලසුන් ද වැලහින්නියන් ද පන්නා දමන ගොවියන්ගෙන් උඹලාගේ මන්තරවල ඇති බලය කුමක්දැයි ඔහු ඇසුවේය.  පෙණය පුප්පා ඇදෙන නයින්ට වැලි මතුරා ගසා බෙල්ලෙන් අල්ලා ගත් අහිකුන්ඨිකයින් ඔහු දුටුවේය.  මේ නම් කෙබඳු ආශ්චර්‍යවත් ගුප්ත බල මහිමයක් ද යන්න ගැන වුල්ෆ් කල්පනා කළේය.  ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සොබාදහමෙහි සිව් මහ ගුණයෙන් වැඩ ගන්නා අද්භූත බලයක් මන්තරවල ඇතැයි ඔහුගේ මිතුරෝ ඔහුට පැවසූහ.  වස් කවිය හා සෙත් කවිය ද බීජ අක්ෂර මත ගොඩ නැංවූ ප්‍රබල ගැලපීමක් බව ඔහුට දැන ගන්නට ලැබිණි.

යන්ත්‍ර මන්ත්‍ර සෙත් කවි හා වස් කවිද සූනියම් බලි බිලි අවතාර හා යක්ෂයන් ගැනද සියුම් පරීක්ෂණයක ලෙනාර්ඩ් වුල්ෆ් යෙදී සිටියේය.  ඔහුට සමීපවූ මුදලිවරු කීප දෙනෙක් සිටියහ.  එක් අයෙකුගේ මිතුරෙකු වූ මහා මන්ත්‍ර සාස්ත්‍රඥ තිලෝරිස් උපදිසාපති වරයාට මුණගැස්වූයේද එක්තරා මුදලි කෙනෙකු විසිනි.

අණවින විජ්ජාපාළු වතුපාළු අංගම් පිල්ලු යැවීම් යනාදී මන්ත්‍ර ගුරුකම් දැනසිටි තිලෝරිස් දළගිරි ජීවමෙන් මළ කඳන් නැගිට වීමටද දැන සිටි අයෙකි.

දුටුවන්ගේ නෙත් සිත් වශී කරවීමට තරම් හැඩකාර පෙනීමක් ඇති තිලෝරිස් එකල රුහුණේ සිටි දක්ෂම සූනියම් නැට්ටුවෙක් විය.  මුදලි වලව්වකදී කතාබහට වැටුණු තිලෝරිස්ගෙන් මළ කඳන් නැගිට වීමට හැකි දැයි වුල්ෆ් ඇසීය.

මියගොස් දහ පැයක් පසු නොවූ ඕනෑම මළ කඳක් මන්ත්‍ර බලයෙන් නැගිට වීමට තමාට හැකි බැව් තිලෝරිස් කීය. ලෙනාර්ඩ් වුල්ෆ් පුටුවෙන් නැගිට ඔහුට අතට අතදී එසේ නම් අපි එය කරලා බලමු යයි කීවේ සිනහසෙමිනි.

සුදුසු මළකඳක් සොයා දීමට මුදලිවරයෙක් ඉදිරිපත් විය.  ඔහු රෝහලක මිනී කාමරයක මුරකරුවෙකු වලව්වට ගෙන්වා තරුණ හැඩකාර ළමිස්සියෙකුගේ හොඳ මළ කඳක් මිනී කාමරයට ගෙන ආවිට දී වහාම පැමිණ ඒ බැව් මට කියපන් යයි නියම කළේය.

මිනී කාමරය වූයේ මුහුදු වෙරළට යාබද ජන ශූන්‍ය පාළු මූසල පෙනීමක් ඇති තැනකය.  හිරු බැස ගිය පසු කිසිවෙක් වැරදීමකින් හෝ එහි නොයති.  නොදුරු ගමකට කැන්දා ගෙන පැමිණි මනමාලියක් මධු සමයෙන් දෙදිනකට පසු කිසියම් සිද්ධියක් නිසා ඔත්පළව රෝහල් ගතකළද, මිය ගියෙන් ඇගේ මළ සිරුර මිනී කාමරයට ලැබිණි.  මුරකරු වලව්ව්ට ගොස් මුදලිඳු බැහැ දැක වැඳ එකත්පස්ව සිටියේය. මොකද බොල වැඩේ හරිදැයි ඔටුනු නොපළන් රජෙක් මෙන් වැජඹුනු මුදලි මුරකරුගෙන් ඇසීය.

එහෙමයි හාමුදුරුවනේ,  අවුරුදු විස්සක තරමේ හොඳ හැඩ ළමිස්සි, පෙළවහට ගිහින් තියෙන්නෙත් මේ ළඟදිමයි. නමුත් හදිසි ඇබැද්දියකින් ඔත්පළ වෙන්න වුණාලු.  දැන් මළකඳ මා බාරෙ.  අන්න කාමරේ යතුර මා බාරෙ මා ළඟ, දොර වහලයි මේ ආවෙ.

හොඳයි, බත්ගෙට ගිහින් මොකුත් කාහං.  මුරකරු කුස්සියට ගියේය.  මුදලිගෙන් පණිවුඩයක් ලද වුල්ෆ් සහ ඔහුගේ හිතවතුන් ද සැන්දෑවේ වලව්වට පැමිණියහ.  මන්ත්‍ර ශාස්ත්‍රඥ තිලෝරිස් ද ගෝලයා සමග ලඟා විය.

දළගිරි ජීවමට අවශ්‍ය දෑ ලහිලහියේ රැස් කෙරිණි.  මිනී ඔළු කටුවක්, නොමළ කුකුළන්, කැවුම්, දිය ගොඩ මස්, පන්දම්, හීන් විලක්කු, අඟුරු, දුම්මල, කංසා, අබිං, ලදපස්මල්, දොළ පිදේනි තටු මුදලිගේ ගෝලබාලයෝ විසින් වලව්වට ගෙන ආහ.

හිත හොඳ හැඩි දැඩි ආවතේව කාරයෝ හත් දෙනෙක් වලව්වේ උන්හ.  හිරු බැස ගනඳුර ගලා පරිසරය නිහඬවත්ම කිහිප දෙනෙක් මිනී කාමරයට ගොස් මළකඳ කර තබාගෙන පාළු මුහුදු වෙරළ ඔස්සේ වලව්වේ පිතක්කනට ගෙන ආහ.

අශ්වයා එළියට ගෙන ඉස්තාලය මැද තැනූ ලී දඬු මැස්සක් මත මළකඳ තැබූහ.  කුදිරකාරයාගේ මඩුව අස්පස් කොට සම්භාවනීයයන්ට සැප පුටු මේස එහි තැබිණි.  තිලෝරිස් අඳුරේ තැනකට වී හඳුන් කිරිපැන් වලඳ ජීවම් කරමින් සිටී,

හරියටම නැකැත් වේලාවට කටයුතු ඇරැඹිණි.  දැල්වූ ලන්තෑරුමක් හා පන්දමක් අවට තැනක රැඳවිණි.  දැල්වෙන පන්දමෙහි මලානික මඳ එළියෙන් මැස්ස මත තැබුණු මළ සිරුර පෙනේ.  විසි වියෙහි තරම් වූ රූබර ළඳකි.  සුදු රෙදි කඩක් එමත විය.  මුහුණ පැහැපත්ය.

ආවතේවකාර කණ්ඩායම සමග නියමිත මොහොතෙහි තිලෝරිස් පැමිණියේය.  ඔහු මළකඳ මතවූ රෙදිකඩ ඉවතට දැමීය.  එය හරියටම හොත් පිළිරුවක් බඳුය.  පාමුලට කුකුළු බිල්ලක් තැබිණි.  ලිප බැඳ මිනී ඔළු කටුවේ බිත්තර බැදීම ඇරැඹිණි.  ජීවම් කළ දුම්මල අඟුරු කබලට වැටේ.  සුවඳ දුම් රැළි මළසිරුර වෙලාගනිමින් ඉහළට නගී.

තිලෝරිස් යක්ෂයෙකුට සමානය.  තුන් පැයකට පසු අවට අඳුරු පටලය මැදින් මහා කලබැගෑනියක් ඇසිණි.  ගස් ගල් පෙරළෙන්නා වැනිය.  අතු ඇඹරී නැමී සලිතව බිඳෙනවා බඳුය.  බයවෙන්න එපා, එකෙක්වත් දුවන්න එපා, හිටපියව් යයි තිලෝරිස් ගුගුලේය.  ඔහු දැන් යක්ෂාවේශයෙන් රුදුරු වෙස් ගෙන ජීවම් කරයි.  මුදලිවරු රාළහාමිලා සමග ලෙනාර්ඩ් වුල්ෆ් ද ගල් ගැසුණාක් මෙන් නිහඬව තුෂ්නීම්භූතව බලා සිටිති.  නාග පිල්ලුව, වලස් පිල්ලුව, කාලසුනඛ පිල්ලුව, මහසෝන් පිල්ලුව එන එන විට බිලි දිය යුතු විය.  මන්තර කියන තිලෝරිස්ගේ හඬ විනා සෙසු සියල්ලෝම, මේ මොන නස්පැත්තියක් වෙන්න යනවාදැයි විස්මිතව සිටිති.

මරු අවතාර පිල්ලු පැමිණෙන විට බිත්තර, කැවුම්, කුකුළන් බිලි සඳහා වහා දිය යුතුය.  නැත්නම් ඇදුරා ගෙන්වූ පිල්ලුව ඇදුරාගේම ගෙල බිඳ යන කතාවක්ද ඇති බැව් ඔප්පු වෙනු ඇත.  තිලෝරිස්ගේ ගෝලයා හඳුන් කිරිපැන් වළඳ අතෙහිම තබාගෙන සිටියේය.  අකරතැබ්බයක් අත්වැරැද්දක් වූයේ නම් වහාම හඳුන් කිරි පැන් ඉසිය යුතුය. වටපිටාව ගිගුම් දෙමින් විවිධ ගෝසාවල් ඇසිණි.

ලෙනාර්ඩ් වුල්ෆ් අතින් මුහුණ වසාගෙන අතැඟිලිතරින් බලා සිටී.  මුදලි කෙනෙක් තුවක්කුව වඩා ගෙනය.  සියල්ලෝම විස්මිත වූ පරිදි බලා සිටියදී තිලෝරිස් ගිරය හා දෙහි ගැට ගෙන මළකඳෙහි නළල, ළමැද, නාභිය, දෙදණ හා පාදාන්තයට දෙහි කැපුවේය.

ඕං විසිබිල්ලා වාඩා,යි හඬ නගමින් අඟුරු දුම්මල ජීවම් කළ තිලෝරිස් මළකඳ ළඟ දුම් ගසද්දී මළානික වූ දෑතේ ඇඟිලි තුඩුවලත්, මුහුණෙහි නාසය යට, උඩු තොල මතත් ළමැද අසලත්, සිහින් දා බිඳු මතුවී, අප්‍රාණික මළකඳ කෙඳිරි ගාන්නට විය.

එකෙක්වත් හෙල්ලෙන්න එපා, දුවන්න එපා, හිටපියව් කියමින් පුටුවෙන් නැගිටගත් මුදලි තැන තුවක්කුව දෙස බැලීය.  වුල්ෆ් ද පන්දම් කාරයෝ ද ප්‍රභූ ජනයා ද බ්‍රාන්තව සිටියදී මළකඳ කෙඳිරිලි හඬ නගමින් කෙලින්වී කට ඇරියාය.  ඌරෙකුගේ ගොරොද්දය වැනි හඬක් ඉන් පිටවිණි.

කණමැදිරියන් තණ තැන්න පුරා එළිය විහිදුවමින් හැසිරෙන සීතල කළු කපා එළියේදී රළ බිඳෙන මුහුදු වෙරළ ඔස්සේ නැවත මළකඳ මිනී කාමරයට ගෙන ගියහ.

ලෙනාර්ඩ් වුල්ෆ් පසුදා උදෑසනම මුදලි වලව්වේදී තිරෝලිස්ට ලියුමක් දුන්නේය.  ඉඩ ලද වහාම ගම්මුලාදෑනි කමක් ඔහුට දෙන බැව් එහි ලියා තිබුන බවත්, පසුකලෙක ඔහුට ගම්පති පදවිය විදානාරච්චි තනතුරක් ද ලැබුණු බවත් නෝනිස් මහතාගෙන් පැවසිණි.

වුල්ෆ් ලංකාව හැර යන විට සර්ව ලෝක වශීයක් වූ වෙසමුනි අඳුන ජීවම් කර රන් සුරයක දමා දුන්නේද මේ තිලෝරිස් විසිනි.  1960 දී නැවත පැමිණි ලෙනාර්ඩ් වුල්ෆ්ට තංගල්ලේදී තිලෝරිස් මුණගැසිණි.

මා ලෝකයේ ප්‍රසිද්ධ වුණා,  සල්ලිත් හම්බුකරා, යයි එහිදී වුල්ෆ් ඔහුට කීවේය.  1963 දී තිලෝරිස් මිය ගියේය.

(වුල්ෆ් දුටු රුහුණ,  විජේසිංහ බෙලිගල්ල. ප්‍රකාශනය,තාරක ප්‍රකාශකයෝ. 2000)  

Friday, March 27, 2026

වුල්ෆ් දුටු රුහුණ.

 

මා මෙම බ්ලොගයට කතාවක් ලීවේ දැනට අවුරුදු දෙකකට පමණ පෙර එනම් 2024 දීය. හරියටම කිව්වොත් 2024 ඔක්තෝබර් මාසයේය.  අවුරුදු දෙකකට මාස ගණනක් අඩුය.  යමක් ලියන්නට දිගින් දිගටම සිතුවත් ලියවුනේම නැත. එය මගේ වරදක් නොවේ වගේම ඔබේ වරදක්ද නොවේ. කොහොම වුණත් නැවත ලියන්නට හැකිවීම මට සතුටකි.  කියවන ඔබත් ඒ සතුට මා සමග බෙදා ගනු ඇතැයි සිතමි. දැන් කතාවට යමු.

ලෙනාර්ඩ් සිඩ්නි වුල්ෆ් හෙවත් ලෙනාර්ඩ් වුල්ෆ් යන නම අප කාටත් නුහුරු නුපුරුදු නමක් නොවේ. ලෙනාර්ඩ් වුල්ෆ්(1880 -1969 ) ලංකාව හෙවත් සිලෝන් දූපතට 1904 දී පැමිණියේ යටත් විජිත සිවිල් සේවයේ ආධුනිකයෙකු වශයෙනි. ඔහු යාපනයේ සහ මහනුවර කච්චේරිවලද අවසාන වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප දිසාපති වශයෙන්ද සේවය කළේය.  1911 දී වසරක නිවාඩුවකට එංගලන්තයට ගිය වුල්ෆ් ලංඩන් හි යටත් විජිත කාර්‍යාලය සමග එහිදී කෙරුණු ලිපි ගණුදෙනුවක ප්‍රතිපලයක් වශයෙන්  1912 දී  යටත් විජිත සිවිල් සේවයෙන් ඉල්ලා අස්විය. එම වර්ෂයේදීම කිවිඳියක සහ ලේඛිකාවක වූ වර්ජිනියා ස්ටීවන් සමග විවාහ වූ වුල්ෆ් ලේඛකයෙකු වශයෙන් ජීවිතය ආරම්භ කළේය. වුල්ෆ් ඔහුගේ සුප්‍රකට විලේජ් ඉන් ද ජංගල් කෘතිය පළකලේ 1913 වර්ෂයේදීය. 

ආදරය වෙනුවෙන් රැකියාවද අතහැර වර්ජිනියා විවාහ කර ගත්තද වුල්ෆ්ගේ විවාහ ජීවිතය එතරම් සුමට එකක් නොවූ බව පෙනී යයි.  මානසික රෝගයකින් විවාහ ජීවිතය පුරාවටම පීඩා විඳි වර්ජිනියාගේ රෝගය හේතුවෙන්ම වුල්ෆ් මානසික ආතතියකින් පෙලෙන්නට විය. සිය මානසික රෝගය උපරිම වීමෙන් වර්ජිනියා දියේ ගිලීමෙන් සිය දිවි තොර කර ගත්තේ 1941 දීය. පසුකාලීනව වුල්ෆ් විවාහක කලාකාරියක සමග සම්බන්ධයක් ඇතිකර ගත් බව කියැවෙන මුත් ඒ ගැන වැඩි විස්තර දැනගන්නට නැත.

25 ක් පමණ වන ඔහු ලියූ කෘතීන් අතර ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානය වෙලුම් 5 කින් සමන්විතය.  

සෝවිං - 1880- 1904

ග්‍රෝවිං - 1904 -1911

බිගිනිං අගේන් - 1911- 1918

ඩවුන්හිල් ඕල් ද වේ -1919 -1939

ද ජර්නි නොට් ද අරයිවල් මැටර්ස් - 1939 - 1969

මෙම කෘතිවලින් ග්‍රෝවිං ලංකාවේ සත් වසක් යනුවෙන් සිංහලට පරිවර්තනය කොට ඇත.

ලංකාවේ වුල්ෆ් ගතකල රාජකාරි දිවිය ගැන ග්‍රෝවිං කෘතියේ ඔහු විස්තර කොට ඇත. එහිදී වුල්ෆ් ඔහු හම්බන්තොට ගතකල දිවිය ගැන මහත් අභිරුචියෙන් විස්තර කරයි.

"ලංකාවේ කර්කශ දේශගුණයක් ඇති, වනගත නොදියුණු පෙදෙසක් ලෙස බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වන ලද හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි උප දිසාපති තනතුර ලැබූ ලෙනාර්ඩ් වුල්ෆ්, එහි සේවයට පැමිණීමේදී වේදනා සහගත හැඟීම්වලින් බරවූ සිතින් යුතුව කළකිරුණු බවක් පෙන්වා තිබේ. එකල යටත්විජිත ලේකම්වරයා වූ හියු ක්ලිෆර්ඩ් මුණගැසී මේ දුෂ්කර ප්‍රදේශයට පැමිණීමට පළමු සමුගන්නා විටත් වුල්ෆ්ගේ දිගටි නාසයෙන් යුත් පැහැපත් තරුණ මුහුණුවර ප්‍රසන්න අඳුරු ඡායාවක සෙවණැල්ලකින් වැසී තිබුණේ යැයි පසු කලෙකදී හියු ක්ලිෆඩ්ම සටහන් කර ඇත.  සැඩ ඉඩෝරයට මැදිවුණු වියළි මුඩු බිමක ළදලු පත් දැවී දිරාගිය රිකිලි සහිත කුණාටු, තුරු වන තලා මැද කටුක දුක් විඳි අහිංසක ගැමි ගොවියන්ගේ ජීවන වේදනාවන් දැක ඉන් ලබාගත් අත්දැකීම් ගොනු කොට විශ්ව සාහිත්‍ය අඹරෙහි දිදුළ තාරකාවක් බඳු ඒ "පොත" ලිවීමෙන්, තමා ගොස් සිටියේ යායුතු වූ නියම තැනට බැව් වුල්ෆ් තම මිතුරන්ට කියා ඇත"

(උපුටා ගැනීම: ලෙනාර්ඩ් වුල්ෆ් දුටු රුහුණ, විජේසිංහ බෙලිගල්ල )

1911 දී ලංකාව හැර යාමෙන් පසු වුල්ෆ් නැවතත් ලංකාවට ආවේ 1960 දීය. ඒ අවුරුදු 89 ක වයෝවෘද්ධයෙක් ලෙසය. හම්බන්තොට දිස්‍ත්‍රික්කයේ ඔහු සිටි තැන්, ආගිය තැන්, දැන හඳුනන්නන් ආදිය දැක බලාගෙන යාමට පැමිණි වුල්ෆ්ට හම්බන්තොටදී ලැබුණු උණුසුම් පිළිගැනීම ඔහුට පුදුම සහගත විය. 

වුල්ෆ්ගේ දෙවැනිවර පැමිණීම ගැනද පොත් දෙකක් මා දන්නා පරිදි ලියැවී ඇත. තවත් පොත් ඒ ගැන ලියා ඇද්දැයි නොදනිමි.  මේ මා සතුව පවතින පොත් දෙකය. ලියා ඇත්තේ විජේසිංහ බෙලිගල්ල ලේඛකයාය.

ලෙනාර්ඩ් වුල්ෆ් සමග ගමනක් - 1995 (ගොඩගේ ප්‍රකාශනයකි)

වුල්ෆ් දුටු රුහුණ  -2000(තාරක ප්‍රකාශනයකි)

මීට අමතරව වුල්ෆ් විසින් පවතවාගෙන ගිය දිනපොත් වලින් තෝරාගත් කොටස් කිහිපයක් එල්.එම් ආරියපාල විසින් පරිවර්තනය කරන ලදුව "ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොත් සටහන්" නමින් හම්බන්තොට කාන්තා සංවර්ධන මහ සංගමයේ ප්‍රකාශනයක් ලෙස 1994 වර්ෂයේදී ප්‍රකාශයට පත්වී ඇත. එම පොතෙන් නොහොත් ග්‍රෝවිං නම් වුල්ෆ්ගේ ජීවිත කතාවෙන් උපුටාගත් උද්ධෘතයක් මා මෙහි ගෙනහැර දක්වමි. 


"ස්තානයන් පිළිබඳ කෙනෙකුගේ මතකය අපූරු අන්දමට අස්තිරය. හම්බන්තොට මගේ නිවස ගැන පැහැදිලිව මගේ මතකයේ රැඳුන කරුණු දෙකක් ඇත.

ඔබ මිදුල හරහා මුහුද දෙසට ගමන් කරයි නම් ඔබට සිනිඳු සුදු වැලි සහිත කුඩා කඳු ගැටයක් හමුවේ. ඒ තුඩුවේ කෙළවරයි. දකුණු දෙසට කෙලින්ම විහිදී යන සැතපුම් දෙකක් දිග මුහුදු වෙරළයි.

වසර දෙකක් පුරා දිවා රාත්‍රී සැතපුම් දෙකක් දිග ඒ මුහුදු වැලි තීරය දෙස ඔබ බැලුවහොත් මුහුද ඉතා රලු නොවේනම්, නිරන්තරයෙන්ම නියමිත වේලාවක් ඇතුලත එතරම් උස් නොවූ, නොබිඳුන, සැතපුම් දෙකක් දිග දිය රැල්ලක්,වෙහෙසට පත්වූවා සේ, ඉතා සෙමෙන් ඉහළට නැග, දැඩි නිහඬතාවයකින්, මොහොතක්, ක්ෂණිකව එක තැන රැඳී සිට මහා ශබ්දයක් නගමින් වැල්ල මත වැටෙයි.

ඒ දැඩි නිහඬ මොහොත හා ඒ පසුපස එන මහා ශබ්දය- රැල්ල වෙරළේ හැපෙන මහ හඬ - මගේ ජීවිතයේ රිද්මයේ කොටසක් බවට පත්විය.

රාත්‍රියේ මා නින්දට යන විට මට ඇසෙන අවසාන දෙය එයයි. උදෑසන මා පිබිදෙන විට මට ඇසෙන පළමුවන දෙය එයයි.  නිහඬ මොහොත- මහා ශබ්දය- මුහුදේ රිද්මය, හම්බන්තොට, රිද්මය.

දෙවන මතකය ශබ්දයක් නොව දර්ශනයකි.

උදෙන්ම මා ආලින්දයේ තේ පානය කරමින් සිටින විට, නොකඩවා සෑම දිනයකම, නිවැරදිව එකම පැයකදී, 30 - 40 පමණ මුහුදු ළිහිණියන් පෙළක් බටහිර සිට නැගෙනහිරට සැතපුම් දෙකක් දිග මුහුදු වෙරළ ඉහලින් පියාඹා එයි.   

එය පියකරු දර්ශනයකි. සෑම උදෑසනකම මා මිදුල වෙත ගොස් ඒ ආශ්චර්‍යජනක අභ්‍යාසය දෙස බලා සිටිමි.

පක්ෂින් පියාසර කළේ මනාව සැදුම්ලත් තනි පෙළකිනි. නිල නිවස පිහිටි තුඩුවට ලඟාවූ පසු උන් සෘජු කෝණාකාරව වමට හැරී මගේ නිවසට කෙලින්ම ඉහළින් ගොඩබිම දෙසට පියාඹා නගරයේ උතුරින් පිහිටි සුවිසල් ලේවාය වෙත යති. මුහුදට ඉහළින් පියඹා එන විට පක්ෂීන් පෙළ සුදු හා කළු පැහැයෙන් වර්ණවත් වෙයි. නිවසට ඉහළින් ඈත අහසේ එක් පක්ෂියා බැගින් වමට හැරෙන විට බබලන හිරු රැසින් සුදු සහ කළු වර්ණය ක්ෂණිකව කාන්තිමත් රෝස පැහැයකට හැරෙයි"

(ග්‍රෝවිං නමැති සිය ජීවිත කතාවේ 11 වන කොටසින් ගත් උද්ධෘතයකි) 

මෙම කුඩා ඡේදය ලෙනාඩ් වුල්ෆ් සිය හම්බන්තොට ජීවිතය කෙතරම් වින්දාද යන්න ගැන සහ ඔහු හම්බන්තොටට කෙලෙසක ආසක්ත වී සිටියේද යන්න ගැන අපට පැහැදිලි ඉඟියක් දෙයි. 

විජේසිංහ බෙලිගල්ලයන්ගේ පොත්වල ඇති රසවත් කතා කීපයක් ඉදිරියේදී මෙම පිටුවේ ලියැවෙනු ඇත.