Sunday, April 30, 2017

සපත්නී.


බන්ධනාගාරයෙන් ලියුමක්- සුචිත්‍රා පුදුම කුහුලකින් එය අතට ගත්තේ එහි මුද්‍රාව දුටු කල්හිය.    ඈ එතැනම වූ පහසු පුටුවෙහි වාඩිවී ලිපිය විවර කරනු ආවේ කවුදැයි බලන්ට එළියට ආ මාලිනී දුටුවාය.   සාමාන්‍ය චාරිත්‍රය නම් ලියුම් මිටිය රැගෙන ගොස් මේසය උඩ තබා ඇඟපත සෝදා ගෙන පැමිණ තේ කෝප්පය තොලගාමින් නිවිහැනියේ ලියුම් කියවීමය.   සමහර ආරාධනා පත්‍ර ආදිය අතේම ගුලිකර කුණු කුඩයට හෙළනු ලැබේ,

-මොන දේකටද? සුචිත්‍රා තමාටම කියාගනිමින් ලිපිය දිගහරී.

-බන්ධනාගාරෙත් එක්ක මගේ මොනම සම්බන්ධයක්වත් තියෙනවයැ.

සැකහැර දැනගැනීම සඳහා ඈ නැවතත් ලිපිය ශීර්ෂය හා යොමුව කියවා ගත්තාය.

රැඳවි කාන්තාවක් සුචිත්‍රා මහත්මිය මුණගැසීමට කැමැත්තෙන් සිටී.   පැමිණිය හැකි වේලාවක් යොදාගනු පිණිස භාවිතයට ගතහැකි දුරකථන අංක කිහිපයකි.  ගම්භීර ලිපි කොපුවක් හා මැදපු ලියන පතක් වූ නමුත් ලිපිය ඉතා කෙටිය.   පණිවුඩය සරලය.   අනෙක් ලිපිවලට අත තැබීමක් වත් නැතිව ඈ කල්පනා කරන හැටි බලාසිටි මාලිනී කතාවක් නැතිව ඇතුළට ගියේ තේ කෝප්පයක් පිණිස වතුර රත් කරන්ටත් තමා එනතුරු බලාසිටින නැන්දම්මාට පණිවුඩය දෙන්ටත්ය.

බොහෝ දුරක් අවුරුදු දෙක තුනක් ඈතට කල්පනා කළ සුචිත්‍රා අසුනෙන් නැගී සිටියේ තමා හඳුනන කිසිදු ස්ත්‍රියක බන්ධනාගාරයෙහි නැති බවට ස්ථිර සහතිකයක් සිතට දෙමිනි.    විදේශ ගතවීමට පෙර තමා වැඩ කරමින් සිටි පුවත්පත විසින් නඩුවක් වාර්තා කරන්නට යැවිණි.    එය කාන්තා පුවත්පතකි.  කාන්තාවන් පිළිබඳව තමා කළ ව්‍යාපෘති විමර්ශන රැසක්ම පුවත්පත්වල පළවිණි.    මේ ඒ දෙයකට සම්බන්ධ වුවක් විය හැකිය.   එහෙත් මේ අවස්ථාව ගත මැනවැයි ඈ සිතන්නීය.   කලකින් නුවර යාමේ අවස්ථාවද නොලැබිණි.
දුරකථනයෙන් දැනුම් දුන් පරිදි සතියේ දිනෙක පෙරවරුවේ බන්ධනාගාර කාර්යාලයට යාමට ඈ ගමන් අරඹන්නට වුයේ අරුණෝදයෙහිය.   කාර්යාලය විසින් දොරටුව දැනුවත් කර තිබුණෙන් පිවිසුම පහසු විය.   සියල්ල සැලසුම් කර තිබුණෙන් සුචිත්‍රාට තිබුණේ හැඳිනීම් පත්‍රය ඉදිරිපත් කිරීම පමණි.   දසක ගණනාවක් ගෙවූ සුවිසල් අරලිය ගස් මලින් බරවී සිටි හෙයින්ද පිහිටි උස් බිම නිසාද කිසි කිසියේ ඇදී එන සුළඟ සිහිලය සුවඳය.   ගමන් වෙහෙස හා යන්තම් පැවති ආතතිය ද ලිහි ලිහී ගොස් ඒ වෙනුවට සිත සැහැල්ලුවෙන් පිරේ.

-මේ ඔක්කොම ලෝයර් ජයමහ පිළියෙල කරලයි තිබුණේ-  ඈ පිළිගෙන වාඩිවෙන්ට සන් කළ නිලධාරියා කීවේය.   ඔහු සිවිල් ඇඳුමෙන් සැරසුණ නමුත් බුද්ධි අංශයේ නිලධරයෙක් බව හැඟවෙන කුඩා පුවරුවක් මේසය මත ඇත.

-ජයමහ තමයි මේ සිරකාරියගේ නීතිඥයා.  ඔබ ආපහු පිටත් වෙන්ට පෙර ඔහු මුණගැහේවි.   මේ තමයි ඔබේ අමුත්තගේ ජීවදත්ත-   නිලධාරියා ඊළඟට ලිපි ගොනුවක් පිරිනැමීය.   ඡායාරූපය දුටු කෙණෙහි ඇගේ සිත මුළුමනින්ම සැහැල්ලු වී ගියේය.   තමා දන්නා කිසිවෙකුම නොවේ.   සිතෙහි කලබලයද පහවී ගියා සේ විය.   මුණගැසෙන්ට ඇත්තේ පිරිහීමට පත් තමා දන්නා කවර හෝ කාන්තාවක විය යුතු යැයි තම යටිසිත බියෙන් සිටි බව සුචිත්‍රාට පැහැදිලි වන්නේ දැන්ය.   ඈ ඡායාරුපය දෙස බැලූ කෙණෙහි පරිගණක තිරය දෙසට හැරුණු නිලධාරියා එහි සමීප රූපයක් ප්‍රදර්ශනය කළේය.    කොල්ලෙකුගේ මෙන් කොටට නළලටද රොදක් වැටෙනසේ කපන ලද කෙසින් යුතු මුහුණ පළ කරන්නේ ජීවදත්තවලින් කියැවෙන හතරවන දසකයේ ස්ත්‍රියක නොවේ.   ඊට වඩා බෙහෙවින් ළාබාල මුහුණකි.   එවැනි ළාබාල බවක් එක්වී ඇත්තේ මුහුණෙහි බෝකොළ හැඩය නිසාද?

-මේ නඩුව අවුරුදු ගණනකට ඉස්සර ඇහුණු එකක් නේ- අවදිවුණු මතකයෙන් සුචිත්‍රා නිලධාරියා දෙසට හැරුණාය.  - මාත් දවස් දෙකක් හරි තුනක් හරි ආවා පත්තරෙන්.  නමුත් මට ඊට පස්සෙ එන්න බැරි වුණා.
- ඒක ඉවරවෙලා මරණීය දණ්ඩනය නියම උණා- තමා කරමින් සිටි කාර්යයෙන් හිස නොනැගු නිලධාරියා කීය.  - ඒ ගොල්ලො නඩුව ඇපීල් කළානෙ.  ඒකෙන් පස්සෙ තමයි දැන් ඔය රඳවල තියෙන්නෙ.

-ඇපීල් එකේදී මොකද උණේ?

-තීන්දුව ඉස්තිර උණා.

-එතකොට මම මුණගැහෙන්නට යන්නේ මරණීය දණ්ඩනයට නියම උණ කාන්තාවක්ද?- යළිත් හදගැස්ම වේගවත් වෙමින් පැවතිණ.

-ඔව් එහෙම තමයි. සමහර විට ඇය කැමති ඇති මැඩම් එයාගෙ කතාව ලියනවට.   ඇය ඒකට විශේෂ අවසරයක් උසාවියෙන් ඉල්ලා ගත්තා-

-මාව හම්බවෙන්න!

-නෑ නෑ උසාවියෙන් ඉල්ලා තියෙන්නෙ නම් පුවත්පත් කලාවේදිනියක් සීමිත වාර ගණනකට මුණගැසෙන්ටයි.  අවසර ලැබුණැයින් පස්සෙ තමයි ඔබව හම්බුවෙන්ට ඕන බව කියල තියෙන්නෙ.

-මං වෙන්න ඇති දවසකට දෙකකට හරි නඩුව වාර්තා කරන්න ආපු එකම කාන්තාව.

-සමහර විට.  කොයිහැටි උණත් එයා ගැන දැනගත යුතු අවම පුද්ගලික තොරතුරු දැනගෙන මුණගැහෙන එක නේද වඩා හොඳ- නිලධාරියා කීවේ මේසය මතවු ලිපිගොනු ශීර්ෂ බලමිනි.

-මමත් ඒ ගැන අහන්නයි හිටියේ අඩුම තරමින් මම කාවද හම්බවෙන්නෙ කියන එකවත් දැනගෙන ඉන්න එපායැ.  මට ඒ නඩුවේ විස්තර ඒ හැටි මතකයකුත් නෑ.   අවුරුදු ගණනකට ඉස්සරල නෙ.   මම ආවෙත් දවස් දෙකක් නැත්නම් තුනක්.

-මේ තමයි ෆයිල් එක- ලිපිගොනුවක් තෝරා අතට ගත් නිලධාරියා කීය.   ඔබ එන බව අපි ඈට දන්වලයි තියෙන්නෙ.   කොහොම උණත් මේක ඇතුළේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර ඉවර වෙන්න තව විනාඩි විස්සක් වත් යාවි.   ඔහු කීවේ බිත්තියේ රැඳවුම් ඔරලෝසුව දෙස බලමිනි.   -එතකල් ඔබට පුළුවන් මේ ෆයිල් එකෙන් විස්තර බලාගන්න.  නැත්නම් මේ පරිගණකයෙන්.

-මං මේකෙන්ම බලාගන්නම්- ලිපිගොනුව අතටගත් සුචිත්‍රා කීවාය -කොහොමත් මාත් ටිකක් කැළඹිලයි ඉන්නෙ.    මගෙත් පළමු අත්දැකීම.  ටිකක් සන්සුන් වෙලා ටිකක් දැනගෙන ඈව මුණගැහෙන එක තමයි හොඳ.

-හොඳයි එහෙනම්-  නිලධාරියා නැගිට අත දිගු කරමින් කීය.   -තව ටිකකින් ජේලර්වරියක් ඒවි ඔබව අරන් යන්න.   කොයිකටත් ඈව හමුවෙන්ට දීල තියෙන මේ අවසර පත්‍රය අතේ තියාගන්න.  ඈට උනත් පෙන්වන්න වේවි.   හැමදෙයක් දිහාම සැකෙන් බලන උදවියනෙ.

ඔහු ඉන්ටකොම් එකකින් තේ කෝප්පයකට ඇණවුම් කළේය.

-කහට තේ - එය අසා උන් සුචිත්‍රා සිනාසෙමින් කීවාය.   තේ කෝප්පයක් පානයෙන් තම ආතතියද පහව යනු ඇත.

වැනේසා ෂෙරින් තිසේරා- මෙවැනි නමක් ඇත්තියක, මෙවැනි රුවක් ඇත්තියක දුටු පුරුදු හුරු බවක් මතක නැත.  අවුරුදු ගණනක අතීතයට ගියත්.   අනෙකක් තබා නඩුව වාර්තා කරන්ට ආ දෙදින දුටු රූපකායද සිහියට නොනගී.   පුවත්පත ඈ හඳුන්වන ලද්දේ වැනේසා නමිනි.   මේ ඡායාරූපයේ සිටින කොල්ලෙකු මෙන් කෙස් කපා ඇති වයහ්කල්‍යාණයෙන් යුතු ගැහැණිය තමා විසින් ඇමතිය යුත්තේ ඒ ජනප්‍රිය නමින් නොවේ.   ප්‍රේම ත්‍රිකෝණයක ගින්නට හසුව දැවෙන ඇය තමාට වලිගයක්වූ ඒ නමට ද්වේෂ කරනු ඇත.   ඉතිරිව ඇති නම ෂෙරින්.  ඈ එයට කැමති වේද?   ස්වකීයයන් විසින් ඈ ඇමතෙන ආදරණීය නමක් හෝ සුරතල් නමක් ඇතුවා විය හැකිය.   ඒ දැනගත හැක්කේ සීරුවට කතා කිරීමෙන් පසුවය.   මුලින් කළ ඇමතුම වෙනස් කළ නොහැකිය.   එහෙයින් කුලුපග යෙහෙළියකට ලෙසින් ඈ ඇමතිය යුතු යැයි සුචිත්‍රාට සිතේ.    

මතක තබා ගත නොහැකි තරම් පාළු වරණ්ඩ හා කොරිඩෝර ගණනාවක් පසුකොට කකුල් රිදෙන තරම් දුරක් ඇවිද ආපසු දැල් ගසන ලද කාමරයක් ඉදිරියේ ජේලර්වරිය සුචිත්‍රා නතර කළාය.  බැංකුවක වැනි මුත් අතක ඇඟිලිවත් පෙවිය නොහැකි කවුන්ටරය ඉදිරියේ ලී බංකුව එහා මෙහා කොට ඇඳි පුටුවක් පනවා ඇත්තේ සුචිත්‍රා වෙනුවෙනි.   කවුන්ටරයෙන් දර්ශනය වන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ උසින් නම් ඉන දක්වා පමණි.  එහෙත් සිරකාරිය කුඩා ප්‍රමාණයේ කාන්තාවක වුයෙන් ඇගේ උරහිසෙන් උඩ කොටස දර්ශනය වේ.   මරණීය දණ්ඩනය නියම වුවන් වෙනම මැදිරියක රඳවන බව සුචිත්‍රා කැටුව ආ නියාමකවරිය කීවාය.   එල්ලා මරන දිනය නියම කරන ලද නම් ඊට දින හතකට කලින් රැඳවුම් මැදිරියෙන් දිනපතා මැදිරි මාරු කරමින් අවසාන දිනෙහි එල්ලුම් ගස සමීපයෙහි ඇති මැදිරියට මාරු කරනු ලැබේ.    සුචිත්‍රා වහා සිහිඑළවා ගත්තී දයාවෙන් ඇගේ දෑස් පිරෙන්ට ඔන්න මෙන්න කියා තිබියදීය.

තෙල් නොගා පීරන ලද කෙටි කොණ්ඩය හා රළු ජම්පර ඇඳුම නිසා හෝ ඇය පින්තුරයේ පෙනෙන සේ සුකුමාර නැත.   ඊට වඩා මේරූ පෙනුමක් ඇති මුහුණේ දෑස් දුඹුරු පැහැයෙන් වර්ණ ගන්වන ලද අයිස් කැට දෙකක් මෙන් හැඟීමෙන් තොරය.   

-අපි දැකලා පුරුදුයිනෙ- කවුන්ටරයට අඩියක් තරම් දුරට පුටුව ඇද වාඩිවුණු සුචිත්‍රා කීවාය.   මග දිගට පළමු වැකිය ගැන සිත සිතා පැමිණියේ නමුත් සාමාන්‍ය සාකච්ඡාවකදී මෙන් ඇයද තමා ඉදිරියේ අසුන් ගන්වනු ඇතැයි සිතාය.   එහෙත් සිරකාරියට හැකි වුයේ දැල් කොටු අතරින් ඇඟිලි දෙක තුනක් පෙවීමට පමණි.

-ඔයා ඒවි කියල මම හිතුවා- එවේලෙහි නම් ඇගේ ඇස්වල අයිස් දියවී ගියාසේ විය.   කටහඬ නම් පෙනුමට වඩා සුකුමාර යැයි සුචිත්‍රා සිතුවාය.

-මට විදේශ ගත වෙන්න උණා නෙ- ඇත්ත වශයෙන්ම හේතුව එයම නොවීය.   ප්‍රසන්න නාඳුනන තුවක්කුකරුගේ උණ්ඩයට අසුවී වැඩි කලක් ගත නුවුයෙන් සුචිත්‍රා ඒ දවස්වල සිටියේ වික්ෂිප්තවය.   පත්තරයේ ඇණවුම පරිදි නඩු විභාගයට පැමිණි නමුත් එයට අනුගත වීමට සුදුසු මානසිකත්වයක් නොවීය.   නඩු විභාගයෙන් පමණක් නොව පත්තරයෙන් ද ඉවත්වී විදේශයකට යන්ට සිදු වුයේ එහෙයිනි.    එහෙත් මේ සියලු තතු දැල් කුඩුවක කොටුවී සිටින ඇයට කුමටදැයි සුචිත්‍රාට සිතිණි.

-ඒකයි මට පස්සෙදී නඩුවට එන්න බැරි උණේ.

පස්සෙදී- ඇයට මිතුරියකට සේ කතා කරන්ට සුචිත්‍රා සිතා තිබිණි.

පස්සෙදී- නඩුවෙන් පස්සෙදී - මරණ දඬුවමෙන් පස්සෙදී ඈ එය ඕනෑ විදියකට අරුත් ගන්වනු ඇත.

-මම දන්නවා. පත්තරේ තිබුණා.

එහෙනම් ඈ තමාගේ රසිකයෙක්.  තමාගේ තොරතුරු පිළිබඳව විමසිල්ලෙන් සිටින.

නියාමකවරිය හැම වචනයකටම සීරුවෙන් ඇහුම්කන් දෙයි.   ඒ නීතියේ අවශ්‍යතාවකට නොවේ.   මේ හමුව සඳහා සිරකාරිය උසාවියෙන් විශේෂ අවසරයක් ගෙන ඇත.    නිදහස් මාධ්‍යවේදිනියක් මුණගැසීමටයි, ඈ අවසර ඉල්ලා ඇත්තේ.   අනුන්ගේ වං හුං දැනගැනීමේ සන්තෝෂය භුක්ති විඳීමට සිටින නිලධාරිනිය දෙස ඇස් කොනින් බලමින්.

-මම ඔබව හමුවෙන්න විශේෂ අවසරයක් ගත්තා- ඉංගිරිසියෙන් කීවාය.   ඇගේ භාෂා පෙරළියේ හේතුව සුචිත්‍රාට වැටහිණි.

-මං ගැන ඔයා දන්නවනේ- මට ඕන උණේ නොදන්න දෙය කියන්නයි.   ඒවා කියන්න ඕන ඔයාටමයි කියල හිතුණා-  වැඩිය නාස්ති කරන්න කාලයකුත් නෑ.  මට උසාවියෙන් දුන්නේ පැය හතරයි.   හැබැයි ඒ වෙනුවෙන් මෙහෙ නීති වෙනස් වෙන්නෙත් නෑ.

-ඒ කියන්නේ- සම්මුඛ පරීක්ෂණයෙදී මෙන් තමා ප්‍රශ්න කරන පුද්ගලයාගේ භූමිකාවට නොවැටී සිදුවුණු ආරම්භය ගැන තුටුවුණු සුචිත්‍රා ඇසුවාය.

-ඒ කියන්නේ දැන් මට නාන්න දෙන දවසෙ නම් ඔයා එන්නෙ- මගේ නෑම තියලා තමයි හම්බවෙන්නෙ.සුමානෙකට එක දවසයි නම් නාන්න දෙන්නෙ ඒක කැප කරන්න වෙනවා.

-ලියුම් ලියන්න පුළුවන් නෙ.

-මං ඒකට කැමති නෑ - ඈ කීවේ දෑත් බැඳ දෑස් පියා ගනිමිනි.   - එහාට මෙහාට යන සෑම අකුරක්ම කියවනව නෙ- නැතත් ලියුම් හරි භාවාෂිතයි නේ - මං ඒකට කැමති නෑ. ඇගේ දෙවුර ඉබේ හැකිලිණ.

- ඉතින් එහෙනම් මම මොනවද කරන්න ඕන.  සමාවෙන්න මං මොනව කියල අමතනවටද ඔයා කැමති. මොන නමින්ද?-

විමතියෙන් මෙන් ඇගේ දෑස් එක්වරම පුළුල්වී කුඩාවූ අතර සාවඥ සිනාවකින් කට කොනක් ඇද වුයේ නිකටෙහි කුඩා සුලියක් නංවමිනි.  නළල වසාගනිමින් දෑස් මට්ටමට වැසී තිබුණු රළු කොණ්ඩය සීරුවෙන් දෑතින් උඩට පීරමින් ඕ සුචිත්‍රා දෙසට එබී බැලුවාය.   කොටු දැල් කවුළුවේ හැපෙන්නට මෙන් මුණ ලං කළ ඈ, තම නළලත් දෑසත් පාමින්- පුළුවන් නම් හඳුනාගන්න- කියන්නාක් මෙන් තොල් තරයේ පියාගෙන කය සෘජු කොට ගත්තීය.

මේ නළල මේ මුණ - දෑස- අවඥාවෙන් එළිය වුණු විට තව ටිකක් දකුණු පසට ගෙන, දෑසෙන් එබෙන සිහින් නැහැතුඩක් සහ නළලෙහි උපන් ලපයක් ඇති මැය- එකෙණෙහි තප්පර විසිපහක් තිහක් පමණ තුළ රූපරාමු දහස් ගණනක් උත්පාදවී අතීතයට දිවයන්ට විය.   ලියුම ලැබුණු වේලේ තමා දන්නා හඳුනන කෙනෙකු යැයි අන්තර්ඥානය විසින් කරන ලද දැනුම් දීම ස්ථිරවම ප්‍රතික්ෂේප වුයේ කාර්යාලයේ ජීවදත්ත ගොනුව අතපත් වීමෙනි.   එසේ නම් අන්තර්ඥානය නිවැරදිද?

ඇටම් - උඩට අල්ලපු හුස්ම පහතට හෙළා ගත නොහැකිවූ සුචිත්‍රාට කියවුණේ ඉබේමය.   උඩට ගත් හුස්ම අල්ලා ඈ නැවත හෙළුවේ දෙවියනේ ඇටම් යයි සුරතින් නළල් තලය පොඩි කරමිනි.

- ඇටම්. එහෙනම් ඒ ඔයා ෂෙරිල්.

දෑත් බැඳගෙන හුන් ඉරියව්වෙන්ම සිටි ඈ, එය තහවුරු කළේ දෑස තරයේ පියා ගනිමිනි.   ඈ එසේ දෑස් පියාගෙන තත්පර කිහිපයක් නිහඬව උන්නාය.  

-අන්තිමේදී - ඔයා මාව අඳුන ගත්තා. කොහොම හරි ඔයාට මාව අඳුන ගන්න පුළුවන් වේවි කියා මට හිතුණා-

ඈ තුළ කිසිදු කලබලයක් නැත්තා සේය. සිතු දේ සිතු පරිදි ඉටු වූවාක් මෙනි.   එහෙත් සුචිත්‍රා කවදාටත් වඩා කැළඹී හුන්නාය.   ගුවන් ගමනකදී ගුවන් යානය කුණාටුවකට හසුවී ඇති බව පාලක මැදිරියෙන් දැනුම් දුන් මොහොතේ තරමට.   එවැනි අවස්ථාවල පුරුදු ලෙස ඈ හතේ සිට බිංදුව දක්වා සීරුවට හෙමිහිට එකින් එක පහළට ගැන්නාය.   දෙකයි එකයි බිංදුවයි.

- අඳුනාගත්තේ නැත්නම් - හිස එසවූ ඈ ඇසු පළමුවැනි ප්‍රශ්නයයි.

- නැත්නම් මේ එකම හමුව, නමුත් මට විශ්වාසයක් තිබුණා ඔයා මාව හඳුනාගනීවි කියලා.

- දැන්?

- මම හිතුවාටත් වඩා ඔයාට මාව මතකයි.   සුචිත්‍රා ඔයාට ඉස්සෙල්ලම කියවුණේ මගේ පෙට් නේම් එකනේ.

- මටත් ඒ ටිකම මේ දැන් හිතුණා.  මම ඔයා එක්ක එක පංතියේ හිටියෙ ටික කාලයයිනෙ.   මං තෝරගත්තු සබ්ජෙක්ට් නැති නිසා මට බාලිකාවට යන්න උනානෙ එන්ට්‍රන්ස්වලට.    මං දන්න කාලෙ ඔයාට දිගට කොණ්ඩයක් තිබුණා.   ලොකු කොණ්ඩ කරල් දෙකක් ගොතලා අන්තිම හරිය ගුලි කරලා ගවුම් වාටිය ලඟින් රිබන් ගැට ගහලා බැඳලා තිබුණා.

- ඔව්.  ලොකු කොණ්ඩයක්  තිබුණා- ඈ සිනාසෙන්නට තැත් කරමින් හිස ගස්සා යළිත් වරක් කොණ්ඩය නළල මතින් පස්සට පීරා හැරියාය.

- මට සමාවෙන්න. එකපාරටම මට අඳුන ගන්න බැරිවුණා.   ඇරත් මං උසාවියට ආවේ තුන් දවසයිද කොහේද?

- හඳුනාගන්න ලකුණු - අතීත ලකුණු ඒ වෙනකොට ඔක්කොම වෙනස් කරලා තිබුණනෙ . ඒකට කමක් නෑ. අපි එක පන්තියේ හිට්යෙත් එකම වාරයයි.

- ඔව්. ඊට පස්සෙ අපි මුණ ගැහිලම නෑ-

- නමුත් ඒ දවස්වලත් ඔයා ලිව්වනෙ. මං ඒව හැමදාම කියෙව්ව.  එකතු කරලත් ඇති මහ ගොඩක්.

- මුලදී නම් මටත් ආරංචි ආවා.   මට ඉඳලා හිටලා ඔයාව මතක් උණා- කලාතුරකින් පෙට් නේම් එක නිසා . ඇටම්.

- මං ගැන මොකුත්ම තොරතුරක් ලැබිල නැද්ද.

- නන් කෙනෙක් වෙන්න පුහුණුවෙනවා කියල ආරංචි උණා.

-එතනින් එහාට නෑ? -

- ඉතින් ෂෙරිල් දැන් මොනවද මං ඔයා වෙනුවෙන් කරන්න පුළුවන්? - සුචිත්‍රා කීවේ කුඩා ස්ටූලය මත තබන ලද ඔරලෝසුව දෙස බලා සිටින ජේලර්වරිය දෑස් ගැටුණු විටය.

- නොස්ටැල්ජියාවට විනාඩි පහළවක් ගිහින් ඈ සිතින් මුමුණා ගත්තාය.

-ඔයාට බැරිද මං වෙනුවෙන් කොන්වන්ට් එක ළඟ තිබුණ මර්ලින් මම්මලයි ගෙදර යන්න.  ඔයාව දන්නවා මර්ලින් මම්මා.

- ඇයි නැත්තේ - සමහර හොස්ටල් ළමයින්ට පියානෝ ලෙසන්ස් දුන්නනෙ එයා.  හොස්ටල් ළමයි ඕනකම්වලට නාට්‍යවලට සාරි එහෙම ඉල්ලගන්න ආවෙ-

- අන්න හරි මං මර්ලින් මම්මට ඔයා ගැන කියල තියෙන්නෙ.  එහේ ඉන්නෙ මම්මයි ඉස්සර ඉඳලාම හිටපු සීබලුයි විතරයි.   ඕන තරම් දවසක් ඔයාට එහේ නතර වෙන්න පුළුවන් -

- එහේ නතර වෙලා මොනවද මම කරන්නෙ. සුචිත්‍රා ඇසුවේ විස්මයෙනි.

- ලෝයර් ජයමහ එක්ක කතා කරන්න. එයා විස්තර කරාවි -

ඈ කිව්වේ වටපිට බලමිනි. 

- ඈට කතා කරන්ට නිදහස ඇත්තේ සීමිත පරාසයක බව සුචිත්‍රා වටහා ගත්තාය.   හමුවීමට නිදහස දී ඇතිමුත් කතා කිරීමේ නිදහස පාලනය කර ඇත්තාසේය.  සමහරවිට එය උසාවියෙන් සිදුවූවක් නොව බන්ධනාගාර පරිපාලනාධිකාරය පිලිබඳ විවේචන පිටවීම වැලැක්වීම සඳහා විය හැකිය.  

- ඔයා නඩුවට ආව මුල් දවසෙම මං ඔයාව අඳුන ගත්තා.  ඔයා දැකීම මට දැනුණේ ගුඩ්ඕමන් එකක් වගේ-

- මං ආවෙ දවස් දෙකක් හරි තුනක් හරිනේ.   ඒත් මට පණිවිඩයක් තියන්න තිබුණනේ.   ඇයි මට පණිවිඩයක් නොඑවුවෙ.

- නෑ සුචී එතකොට හරි උණුසුම් නෙ- පත්තරකාරයො මගේ යමපල්ලො වගේ- මට ඕන උණේ ඔයාගෙනුත් වහං වෙන්න.   ඔයා මාව හඳුනගත්තෙ නැති බව මට දැනුණා.   ඔයා නෑවිල්ල ඇරියම මම හරියට සන්තෝස උණා.   ඒත් පස්සෙදී පස්සෙදී මට ඔයාව දකින්න ඕන උණා.  මාව අඳුනගන්න දවසක් එයි කියලා හිතුණා.  එතකල් බලාගෙන හිටිය -

- ඔක්කොම ප්ලෑන් කරලා -

- ඔව් ප්ලෑන් කරලා ඈ කීවේ සිය හිස නවා පිටිඅත්ලවල ඇඟිලි දෙසට යොමු කරමිනි.

මම ඇගේ හිත රිදෙව්වාද? සුචිත්‍රාට සිතිණි.   ඒකත් ඇනුම්පදයක් වගේ නේන්නම්.  ඈ හිස නැගුවේ සුසුමක් නගමිනි.

- ප්ලෑන් කරලා. කොන්වන්ට් ජීවිතේ තමයි මට ප්ලෑන් කරන්න ඉගැන්නුවේ.

- මට හුඟක්ම කණගාටුයි ෂෙරිල්, මං ඔයාගෙ හිත රිද්දුවා. හිතල කී දෙයක් නෙමේ.

- මට එහෙම හිතුණේ නෑ.   ඇත්තම කියනව නම් මට මේ ප්ලෑන් වලින් අදත් ගොඩඑන්න බෑ.   පස්සෙදී තමයි මට වැටහෙන්න පටන් ගත්තේ ප්ලෑන් කිරීම ගැන.   ඔයා මර්ලින් මම්මව බලන්න යනවානම් මම කැමතියි.   ඔයාට එහෙ යන්න හිත හදාගන්න පුළුවන් නම් එහේ ගිය පස්සෙදී අපි ආයෙ හමුවෙමු.

- එහේ නොගියොත් නැවත හමුවක් නැත- කියාද ඈ කීවේ.කතා කළ යුත්තේ ඇගේ හැඟීම් නොරිදවන පරිද්දෙනි.

- අපේ මේ හමුවේ ප්‍රතිපල බලන්න පුළුවන් වෙන්නෙ මර්ලින් මම්ම බලන්න ගියොත් විතරයි-

- ඈ මාව බාරගනීද? -

- අවුරුදු ගාණක් ඔයා එනතුරු බලාගෙන ඉන්නවා.  හැබැයි එයා ටිකක් අමුතුයි.   නොබැඳපු කෙනෙක්නෙ.  සංගීතයට හරිම ලැදි.  ඒ වගෙම තමයි ආගමට. ඔයාට ආගමක් තියෙනවද?-

- ඔව් මම බෞද්ධයෙක් නෙ.  එයා මට කැමති වේවිද දන්නෙ නෑ-

- එයා නොදන්න දේ දැනගන්න කැමති කෙනෙක්.  සීබල් ඔයාව බලාගනීවි.  මේ විස්තර ඔක්කොම ජයමහ අංකල් ඔයාට කියාවි. මගේ ලෝයර් - ඈ කීවේ ජේලර්වරිය දෙස බලමිනි.  

- මං ගිහිං බලන්නම් ප්‍රොමිස්.  සුචිත්‍රා පොරොන්දු වුවාය. ඔයා වෙනුවෙන් ගෙනියන්න දෙයක්  හරි ගේන්න දෙයක්  හරි තියෙනවද? -

- ස්තුතියි. නෑ මුකුත්ම නෑ. ඈ කල්පනාකාරීව හිස හිමින් සීරුවේ දෙපසට වැනුවාය.   

- කිසි දෙයක් නෑ- ඒත් ඈ කල් බැලුවාය.

- මට පිරිත් නූලක් ගෙනත් දෙන්න පුලුවන්ද ඔයාට? -

- අපොයි මොකද බැරි. ඒක හරි ලේසි වැඩක්නෙ.

- එච්චරම ලේසි නෑ? සිරකාරිය සිනාවෙන්නට උත්සාහ කළාය.  සිනාව ඈට ආගන්තුක වුවක් බව සුචිත්‍රා සංවේගයෙන් වටහා ගත්තේ සිනහව ප්‍රතික්ෂේප කළ ඇගේ තොල් ඇඹරුණ හෙයිනි.

- කේමිස්සර හාමුදුරුවන්ගෙන් තමයි මට පිරිත් නුලක් ඕන.

- හදිස්සි නෑ. පුළුවන් නම් පුළුවන් දාක ගෙනත් දෙන්න.

- ඔයා වෙනුවෙන් මර්ලින් මම්මට ගෙනියන්න දෙයක් තියෙනවද?

- පලතුරු ටිකක්. ඈ හරි ආසයි සුදු චොකලට්වලට.

(මා ඉහතින් උපුටා දැක්වුයේ අනුලා විජයරත්න මැණිකේ විසින් ලියා 2008 දී සරසවි ප්‍රකාශකයෝ විසින් පළ කරන්නට යෙදුනු සපත්නි නවකතාවේ පළමුවන පරිච්ඡේදයයි.)

Monday, April 17, 2017

හෙණේ පාත් වෙනකොට මිනිහ උඩ.


ඊයෙ රෑ වැස්සට අදිරියන්ලගෙ ගෙදරට අකුණු සැරක් පාත් වුණා කියන්නෙ හැබෑද එංගො නැන්දෙ?" දාවිත් අයියා තේ කඩයට ගොඩවෙමින් ඇසීය.

"ගෙදරට නෙවෙයි බං...ඕවිට අයිනෙ තිබුණ කිතුලට. ඒ වුණාට අදිරියන්ලගෙ ගෙදර එවුන් නම් හෙණ ගෙඩියෙ හඬට බය වෙලා"  එංගො නැන්දා කීවාය.

"වත්ත පහළ කිතුලට ගහපු හෙණ ගෙඩියට බයවෙන්න තරම් අදිරියලයි ගෙදර වුන් බයගුල්ලොද දාවිතෝ?" රොමයියා කතාවට හවුල් වුයේය.

" අනේ මං දන්නෙ නෑ රොමයියෙ...හෙණ ගෙඩියක් පාත් වෙනකොට මහා ලොකු හඬක් එනවා තමා. ඒ හෙණ ගෙඩිය පුපුරණ සද්දෙ නොවැ" දාවිත් අයියා අදිරියන්ලගෙ පැත්තට කතා කළේය.

" හෙණ ගෙඩියක් පුපුරන කොට ඔහොම මෙහෙම කියල අනුනමයෙන් බේරිච්ච මිනිහෙක් මං...මම නං මොහොතකටවත් බය වුණේ නැහැ." රොමයියා උගුර පාදමින් වහසි දොඩන ස්වරයෙන් පැවසුවේය.

" ඒ කොහෙදිද රොමයියෙ?" දාවිත් අයියා ප්‍රශ්නයක් නැගීය.

ඒක දිග කතාවක් බං...ඒක කියන්න කලින් කෝපි උගුරක් තොලගාන්න ඕන.,,බං එංගො මට තව කෝපි පොදක් දීපංකො මෙහාට"

" එංගො  නැන්ද කෝපි තනනකම් කතාව පටන් ගනින්කෝ" දාවිත් අයියා ඉල්ලීමක් කළේය.

මේ සිද්දිය වෙලා අවුරුදු විස්සක් විතර ඇති.   මරක්කල කෝලාහලෙටත් කලින් මං හිතන්නෙ...ඒ කාලෙ අපේ අම්මත් ඉන්නවා...දැන්වගේ නෙවෙයි ඒ කාලෙ...හොඳ හයිය තියෙන නාඹරයෙක් මං...ඔය පන්සල් දෙණියෙ කුඹුර මම තනියෙන් හාල වපුරනව."

" ඒ කාලෙ මීහරක්ට බැන්දෙත් රොමයියව වෙන්න ඇති? ඒ අවස්ථාවේ කෝපි කඩයට ගොඩ වදිමින් සිටි සුද්දයියා ප්‍රශ්නය අසමින් බංකු ලෑල්ලේ වාඩිගත්තේය.

" උඹ හිතන්නෙ බොරුයි කියලද? ඕං එක දවසක් පන්සල් දෙණියේ කුඹුර හාන්න බානයි. දවල් වෙනකොට එක මීමෙක් ගොඩට අදිනව.   ඒ බාන මම කටුවාවල රුවිනිස් ගෙන් ගෙන්න ගත්ත බානක්.  මට රිස්සුවෙ නෑ ගොඩ අදින මීමව.  මම ඌව ලෙහල දාල පොඩි එකාට නගුල දීල මම අනෙක් මීමත් එක්ක නගුල ඇද්ද.  වෙනදටත් වඩා වේලාසනින් මං හීය අහවර කළා." රොමයිය සුද්දප්පුගේ වාචාල ප්‍රශ්නයට මතක හිටින උත්තරයක් දුන්නේය.

" සුද්දයියෙ නිකා හිටිං...මේ හෙණේ කතාව අහගන්න ඉඩ දීල" එංගො නැන්දා දෙදෙනා අතරට පැන්නාය.

" ඒක තමයි සුද්දප්පු...තාම නිකටෙ බූව වැඩිලත් නැති හුරිජ්ජ කොල්ලො...ඌ මාව හෑල්ලුවට ගනං අරගෙන..." රොමයියා කෝපයෙන් දෙඩුවේය.

" ඔන්න ඔය කොල්ලන්ගෙ කතා අතහැරල දැන් කතා කියපන්කො රොමයියේ" දාවිත් අයියාද මැදිහත් විය.

" ඉතින් ඔන්න මට මඟුලක් කතා කළා වැල්ලෙන්. එක දවසක් මනමාලිගෙ තාත්ත දුවගෙන එනව...මම දැක්ක නා ගහ යටදි.  ඒ දවස්වල මාත් හරිම ලජ්ජකාරය. හවහ ගෙදර ගියාට මං අහැව්වෙ නැහැ මනමාලිගෙ තාත්ත ආපු එක ගැන.  රෑ මං අහගෙන, අපේ අම්ම ගබිරියෙල් මාම එක්ක කියෝනව...මගෙ කේන්දරේ මහා මාරක අපලයක් තියෙනවලු. ..ගෙවෙන්නෙ සෙනසුරු ඒරාෂ්ටකයලු...ඒ නිසා මංගල්ලෙ කෙරෙන්නෙ නැතැයි කියල මනමාලිගෙ තාත්ත කියනවලු. ඒත් අම්ම ඒ සියල්ල මට වහං කොළා.  ඔහොම පෝයක් විතර ගෙවුණා.  මමත් කිසිවක් නොදන්නව වගේ ලාගෙන හිටිය.

" ඔන්න දවසක් අම්ම ම කාරණේ කිව්ව.  මගේ ලග්නෙ වෘෂභ.  දශාධිපතිය සනිට ත්‍රිකෝණ වෙනදාට පන්නගන්න බැරි මාරකයක් තියෙනවලු.   මාරක අපලයක් වගේයැ නිශ්චිත මාරකයක් තියෙනවයි කීවහම. මගේ හිතත් අහපු වෙලාවෙ ටකස් ගාල ගැස්සුණා."

"මමනම් මැරෙන්න බය මිනිහෙක් නෙවි.  ඒ වුණත් කේන්දරේ හැටියට මැරෙන්න වෙන්නෙ කොහොමද දන්නෙ නැහැ නොවැ. ඕං ඉතින් කියාපු මාරක අපල දිනෙත් ආව.  අපේ අම්ම නම් කීවෙ ලණු ඇඳෙන් බහින්නෙ නැතිව ඉඳින් කියල. උදේ පාන්දර කහට කෝප්පෙ බීල මිදුලට ආව. ඕන්න අම්ම බනින්න පටන් ගත්තෙ නැතැයි.  " පොල් ගහේ අතු වේලිල...නරක දවසෙ ගහයට ඉන්නෙ... ගෙටවර ගෙටවර කීව.  ඒ පාර හීන් පොදේකුත් එනව.  මාත් ගෙට ඇවිත් ලණු ඇඳට බර දුන්න.  දවස පුරා ඇඳේ දිග ඇදිල හිටිය හැකිද?  මං කුස්සිය පැත්තට එබිල බැලුව.  අම්ම පේන තෙක් මානෙක නැහැ.  වෙන දෙයක් උනාවෙ කියල උදලු කෙටියත් අරගෙන ගෙයින් පිට වුණා.  ඉබාගාතෙ වගේ පන්සල් දෙණිය පැත්තට ඇදෙන කොටයි මතක් වුණේ දවල්ට ගෙදර මාළුවකට මොකවත් නැති වග.  දෙපාව ළඟට ආව. වෙන කරන්න දෙයක් නෑ.  කෝකටත් කෙමනක් අටවල උදැල්ල අතට ගත්ත වල් ටිකක් ගහල දාන්න.  හීන් පොදෙත් තියෙනව. ඒ පාර උදැල්ල වෙලේම තියෙද්දි හූනියන් බෝක්කුවෙන් පාරට ගොඩ වුණා.

" ඒ දවස්වල තැබෑරුම තිබුණේ බෝකුන්දර.  පයින්ම ඇවිදන් ගියා බෝකුන්දර තැබෑරුමට.  ගත්ත අරක්කු බාගයක්ම.  බීව එක හුස්මට. ඊළඟට ගත්ත තවත් බාගයක්.  ඒක ගහගත්ත ඉණේ. පොද වැස්සෙ ආපහු හුනියන් බෝක්කුව ළඟට එනකොට බීපු බාගෙ සුර් හිඳිල.  ඒ පාර ඉණේ තිබුණු බාගෙන් උගුරක් කටේ හලාගෙනම බැස්ස වෙලට. අහසත් මහ අන්දකාරයි.  පොදෙත් එන්න එන්නම වැඩි වෙනව.  වල් කෙටිල්ල පැත්තකට දාල ගෙදර යන්න හිතාගෙන ගියා කෙමන ගාවට."

"මෙන්න බොලේ කෙමනට අහුවෙලා ඉන්නව. පොඩ්ඩක් ලංවෙලා බැලුව. ඉන්නෙ නැතැයි ඉස්සෙකුයි,ඉබ්බෙකුයි,ආඳෙකුයි,ගෙම්බෙකුයි. ටිකක් බලාගෙන හිටිය. හතර දෙනාම මොනවදෝ කියනව වගෙ ඇහෙනව."

"සතුන්ට කතා කරන්න පුළුවන්ද රොමයියේ?" දාවිත් අයියා ප්‍රශ්නයක් නැගීය.

" සතුන්ට කතා කරන්න බැරි මොකද? ඒ කාලෙ මට ඕනෑම සතෙක් එක්ක කතා කළ හැකියි. සත්තු එක්ක කතා කරනව කියන එක සාත්තරයක්.  හොඳ ඉවසීමකින් හදාරන්න ඕනෑ සාත්තරයක්.  හොඳට ඇස් පෙනීමට වඩා ඕනෑ කොරන්නෙ ඕනෑම සියුම් හඬක් ඇහෙන කන් දෙකක්.  මම ටිකක් වෙලා කන් දීගෙන හිටිය උන් කතාවෙන්නෙ මොනවද කියල දැනගන්න."

"ගෙම්බ අහනව බොලේ අපි දැන් කෙමනකට අහුවෙලා...මොකද කරන්නෙ කියල. ඒ පාර ගෙම්බ කියනව "හොඳයි මේ කෙමනෙන් ගැලවිලා යන්න අපි ඔක්කොම එකතු වෙලා මොකක් හරි කරමු. මේකෙන් ගැලවෙන්න එක එක්කෙනා දන්න නුවණ කීවොත් අපට පුළුවන්නෙ හොඳ නුවණක් තෝරගන්න."

"කවුරුත් ගෙම්බගේ කීම අනුමත කළා.  ඒ පාර ගෙම්බ අහනව ඉස්සගෙන් කෙමනෙන් බේරෙන්න නුවණ කීයක් දන්නවද කියල. ඉස්ස කියනව මමනං නුවණ විස්සක් දන්නව කියල. ඒ පාර ගෙම්බ අහනව ආඳාගෙන්. ආඳා කියාපි ඌ නුවණ දහයක් දන්නව කියල.තුන් දෙනාම ඒ පාර ඇහැව්ව ගෙම්බගෙන් උඹ මේකෙන් ගැලවෙන්න නුවණ කීයක් දන්නවද කියල. ගෙම්බ කීව මා දන්නෙ එකම එක නුවණයි කියල.
ඒ කතාව ඇහුණහම...තවත් බලබලා ඉන්න එක නරකයි කියල තේරුණා...උන්ගෙ නුවණ තිස්හයට මේ රොමානිස් යට වෙනවද? ගෙම්බගේ කතාව ඉවර වෙන කොටම කෙමන පිටින්ම උස්සල ගත්ත නියරට."

" නුවණ විස්සක් දන්නවයි කියාපු ඉස්සව මුලින් අරගත්ත. අඬුටික අඹරල නියරෙ අත ඇරිය.

" ඒ පාර ගෙම්බ පැත්තක ඉඳගෙන කියනව " විසි බුධිං මිරිකී මිරිකී තඃ" කියල.

"මම ඉණේ තිබුණ පිහිය අරගෙන කෝටුවක් උල්කර ගත්ත.  ආඳව දිගෑදී කළා නියර දිගේ...ඇන්න උල් කෝටුව කන් දෙක හරහ යන්න."

" ගෙම්බ ඒ පාර කියනව දස බුධිං කන් පිට කොටු තඃ" කියල.

" මං ඒ පාර අල්ලගත්ත ඉබ්බව. කට්ටෙන් අල්ලල පෙරලුව ඉබ්බව අනෙක් අතට.  ඒ පාර ගෙම්බ කියනව " පස බුධිං බඩ පිට පෙරලි පෙරලි තඃ" කියල.

අන්තිමට අල්ල ගත්ත පණ්ඩිත ගෙම්බව.  ඌට මොනව කරන්නද? අසරණ සතා නොවැ.  අල්ලල විසිකලා පිට ඇළට.  ඌ වතුරට වැටිල කියනව " ඒක බුධිං දිය යට කිචි කිචඃ, කිචි කිචඃ" කියල.

" බැලුව නියර දිහා. ඉබ්බ උඩුබැලි අතට ඉන්නව. මට පව් කියල හිතුණා.  පෙරලල දැම්ම ඇළට. ඉස්සත් වැදගැම්මකට තරම් නෑ. අනෙක තනි ඉස්සෙක්නෙ. ඌට පයින් ගැහැව්ව නියරෙන් එහාට වීසිවෙන්න. ඌත් වැටුනෙ නැතෑ ඇළට. පොදේ ටිකින් ටික වැඩිවෙනව.  කෝටුව පිටින්ම ගත්ත ආඳව අතට.  ආඳ දඟලනව.කෝටුව කෙලින් කරල ඇල්ලුව. මෙන්න බඹරයක් වගේ ආඳා දැලේ කැරකෙනවා.  මොකද කියල බැලින්නම් වැහි බිංදු ආඳගෙ ඇඟට වැටෙනකොට ගැස්සි ගැස්සි පණ ගහනව.

"ගෙදර යන්න පය උස්සන කොටයි මතක් වුණේ ඉණේ ගහගෙන තිබුණු අරක්කු බාගෙ. බෝතලේ අතට ගන්න කොටම විදුලියක් කෙටුව.  බෝතල් කට කටේ තියාගෙනම ඔලුව උස්සල බැලුව.  බැලින්නම් මේ එන්නෙ...කැරකි කැරකි... රතට රතේ... දිලිසි දිලිසි... ඉදිච්ච හේන් මිරිස් කරලක් වගේ..."

"මොකක්ද රොමයියෙ."

"මොකක්ද?"... ඇයි බං අකුණු සැරක්නෙ. බෝතලේ කටේ තියාගෙනම බැලුව හොඳට ඒ දිහා. දිගට හරහට විදුලි කොටනව. ආකාසෙ පුපුරු ගහගෙන ගොරවනවයි...විදුලි කොටනවයි.  හරියට කොළ හැලිච්ච කොට්ටම්බ ගහ වගේ ආකාසෙ පුරාම එළිය දුවනව."

"එන පොට හොඳ නැහැ...රතු මිරිස් කරලක් වගේ ගිනිගෙන...කැරකි කැරකි...අකුණ එන්නෙ මගේ දිහාවට. කේන්දරේ කතාවත් මතක් වුණා. මාරකය ලෙහෙසි එකක් නොවෙයි කියල ඇරැව්වල අප්පුහාමිත් කියල තිබුණ නෙ.  මොහොතක් කල්පනා කළා...ටකස් ගාල හිතුනෙ නැතෑ කරන්න ඕන දේ...අකුණු සැරේ ඔහොම මෙහෙම පේන මානෙ ඇදී එත්දී...හිටු පිම්මෙන්ම ගැහැව්ව උඩ පිනුමක්.

"රොමයියට පිනුම් ගහන්නත් පුළුවන් බව අපි දැන හිටියෙ නෑනෙ?"

" හැබෑටම උඹල දන්නෙම නැද්ද...? ඇත්ත තමයි මම පිනුම් ගහන කාලෙ බොලාගෙ අප්ප බොලා ගැන හිතලත් නෑ නොවැ. අහල බලපන් බොලාගෙ මැරිච්ච අප්පොච්චගෙන්.  ඒ කාලෙ වැල්ලෙ හිටියෙත් නැහැ මාත් එක්ක තරක් වෙන්න තරම් පිනුම් කාරයෙක් ඉතින්...මමත් ගැහැව්වෙ එසේ මෙසේ පිනුමක් නෙවෙයි. අට ඉස්ඹක් උඩ පිනුමක්...දැන් ඔය පිනුම් මනින සාත්තරේ දන්න ඈයො නැහැ."

මම උඩ ඉඳගෙන බැලුව අකුණ දිහා. මගෙ පස්ස පැත්ත පිච්චීගෙන ගියා වගේ දැනුණ.  එතකොටම අකුණ පිපිරුව.  හම්මේ එහෙම හඬක්...මගෙ ජීවිතේට අහල නැහැ. මම බිමට පාත්වෙනකන්ම කන් අගුල් වැටිල.  බිමට පාත්වුණ හැටියෙම කටේ තිබිච්ච අරක්කු බාග බෝතලේ විසි කෙරුව."

" රොමයිය අට ඉස්ඹක් උඩ පිනුම් ගහල තියෙන්නෙ අරක්කු බෝතලේ කටේ තියෙද්දිමද ?"

" නැතිව...ඒ විතරක්යැ...ටිකක් කලබල නැතිව හිටින්කො කතාව අහවර කරනකම්...දැන් මම දන්නව...අපේ අම්ම යමරෙට කලබොල වෙලා ඇතියි කියල. බඩ ගින්නකුත් දැනෙනව.  ඕං මං ගෙදර එන්න ආව. මඟදී දැනෙනව පුලුටු සුවඳක්.  එහෙ බැලුව.මෙහෙ බැලුව. පේන මානෙ ගෙයක්වත් නෑ.  මේන්... පුලුටු ගඳ එන තැන. ඒ පොඩ්ඩට මට අමතක වෙච්ච තරම.  මොකද වෙලා තියෙන්නෙ.ඔය කලබොල මැද්දෙ උඩ පිනුම ගහල තියෙන්නෙ ආඳත් එක්ක කෝට්ට ඉණේ ගහගෙන.   අකුණු සැරේ මා ගාවින්ම නෙ ගිහින් තියෙන්නෙ.  ඒකෙ උණුහුමට ඉනේ කෝට්ටෙ හිටිය ආඳ පිලිස්සිල. මම අරක්කුත් බීල හිටපු වෙලාවනෙ. ආඳව වික විකම ගෙදර ආව."

" ආඳව විතරද පිච්චුණේ...රොමයිය පිච්චුණේ නැද්ද?"

"මාව පිච්චුණේ නැද්ද කියලත් අහනවනෙ.  මගෙ ඔලුවෙ පැත්තක්ම කොණ්ඩේ සුදු වුණේ ඔය පලහිලව්වෙදී තමයි."

" ඒ වුණාට දැන් රොමයියගෙ මුළු කොණ්ඩෙම ඉදිලනෙ"

" ඒ දැන් වයසට නෙ!"

" වයසට නෙවෙයි බං...ඔහොම ඒව කියනකොට දතුත් ඉදෙනව.  ඒකනෙ රොමයියගෙ දත් සුදු පාට වුණේ" සුද්දයියා පැවසීය.

" බොට හැම එකම බොරු... ඒ පිලිස්සිච්ච ආඳා මාළු තොගෙ අප්පොච්චිත් කාල තියෙනව බොලං." රොමයියා කේන්තියෙන් මොර දුන්නේය.

" ඇත්තටම, එහෙම නම් මම අප්පච්චිගෙන්ම අහගන්නම්කො...උඹ කේන්ති ගන්න ඕන නැහැ.  මේ මං ගියා"  එසේ කියමින් සුද්දයියා පිටව ගියේය.

"ඈ රොමයියෙ, පිනුමෙන් මාරක අපලෙ ගෙවුණා නේද?  ඊට පස්සෙවත් මනමාලිගෙ තාත්තල එහෙම ආවෙ නැද්ද?" දාවිත් අයියා තවත් දෝනාවකට මග පාදමින් විමසුවේය.

" අර සුද්දප්පුවගෙ හරුපෙ නිසා ඒ ඩිංගිත්ති ගැන කියන්න අමතක වුණා නෙ."

" මොකක්ද බං ඒ ඩිංගිත්ති?" එංගො නැන්දා හූ මිටි තිබ්බාය.

" හෙණේ පාත්වෙනකොට මං අට ඉස්ඹක පිනුමක් ගහල බේරුණ සංසිද්ධිය ගැන ඒ දවස්වල නාගස් හන්දියෙ හැමෝම කතාකළා.  මේ කතාව කටින් කට ගිහින් මනමාලිගෙ ගෙදරටත් කාන්දු වුණා. ඕං බොලං දවසක් මනමාලිගෙ තාත්තයි මාම කෙනෙකුයි කද බැඳගෙන අපේ ගෙදර ආව.  අපේ අම්මත් මහ ආඩම්බරකාරී.  එකවරම වචනෙ දුන්නෙ නැහැ." රොමයියා කෝපි උගුරක් තොල ගෑවේය.

" ඈ රොමයියෙ මඟුල හබක් වුනාද?" දාවිත් අයියා ඇසුවේය.

" හබක් වෙන්නෙ කොහොමද? ඒ කාලෙ මෙහේ කට්ටිය වැල්ලෙ බාරොන් අයියගෙ ගොයම් කයියට යනව.  ගොයම් කපල අහකවෙල ටී සයිඩර් කට්ටක් කටේ හලාගෙන දවාලේ ඇඹුලට වාඩිවුණා.  ඇඹුල බෙදන්න ආපු ඩිංගිති එකියක් ඇඹුල බෙදන ගමන් මං දිහාව අමුතු විදියකින් බැලුව.

" ඔහේද රොමානිස් අයිය කියන්නෙ. හරිම හපනෙක්ලු නේද?" ඒකි මගෙන් අහපි.  බැලින්නම් මට ජෝඩුකරපු එකී.  අපේ අම්ම වචනයක් නොදුන් නිසා ඒකි හිටියෙත් සංකාවෙන් වගේ.  මං ඇහැව්ව මාත් එක්ක යන්න එනවද කියල.  එච්චරයි.  හවස කයිය අහවර වෙලා එනගමන් මං ඒකිව ඩැහැගෙන ආව."

" හැබෑටම රොමයියෙ මගුලක් නොකාම කැන්දගෙන ආවද?" එංගො නැන්දා විමසුවාය.

" මොකෝ මඟුල් නොකෑවයැ? පහුවෙනිදා ඒකිගෙ නෑයෝ ආව.  මුළු ගමටම කියල රජ මගුලක් කෑව. එහෙම මගුල් කෑමක් මේ ගමේ තාම සිද්ද වෙලා නෑ බොලං." රොමයියා ඉතිරි කෝපි උගුරත් කටේ හලා ගත්තේය.

" ඈ රොමයියෙ දැන් උඹ දීගකන සොපා නැන්ද කැන්දගෙන ආවෙ එහෙමද?" දාවිත් ගොයියා ප්‍රශ්නයක් මතු කළේය.

" අපොයි නැහැ.  දැන් ඉන්න එකී සොපිය, මේ ගමේ එකියක්නෙ.  ඩිංගිත්ති වැල්ලෙ එකියක්.  ඒකිගෙ බඩට තුන් මාසෙදි සන්නි ලෙඩේ හැදිල ඒකිගෙ අම්මලගෙ ගෙදරදීම මියැදුනා නෙ.  මොනව කරන්නද? ඒකිගෙ ආවිස අහවර වෙන්න ඇති.  රොමානිස් අයියා පපුව පුරෝල හුස්මක් ඉහළට ඇද්දේය෴

(නිව්ටන් සෙනෙවිරත්න විසින් සුද්දයියගෙන් අසා 1972 වර්ෂයේදී ඇත්ත පත්‍රයට ලියන ලද 'රොමයියගෙ කතා' පෙළ 2003 වර්ෂයේදී ඔහු විසින් " රොමයියගෙ කයිය" යනුවෙන් ග්‍රන්ථයක් වශයෙන් සංස්කරණය කරන ලදී. මේ ඒ පොතෙහි එන එක් කතාවක් ඔබේ රසාස්වාදය සඳහා ඉදිරිපත් කිරීමකි)

Tuesday, April 4, 2017

කැකිරි දුපතේ දරු ප්‍රසුතය II


ඔහුට සුපුරුදු පරිදි තව පොඩ්ඩෙන් ඔහු මෙසේ අසනු ඇත.  "ඉතින් බඩදරු අම්මේ දුක් සැප කොහොමද?"  එහෙත් ඔහු ඉදිරියේ කිසිදු රෝගියෙකු නොමැති බව ඔහුට මතක් විය.   හිස්බවකි.  ගුවන් විදුලි සංඥා පණිවුඩ යවන යන්ත්‍රය පමණකි.    එක්තරා විදියකින් එය අවකාශයෙකි.

දොස්තර මුහුණපා සිටියේ ඔහුට පුරුදු තත්ත්වයට හා පරිසරයට නොවේ.   අවශ්‍ය සන්සුන්තාවය ඇතිකරන වෘත්තීය වාතාවරණයක් එතැන නොවීය.  ප්‍රසව වේදනාවෙන් සිටින ස්ත්‍රිය ඔහු දැකිය යුතුය.   ඇගේ කෙඳිරි ගෑම්,කන්නලව් කිරීම්, ඔහු ඇසිය යුතුය.   ඇගේ ප්‍රසව වේදනාවට සුපුරුදු අනුකම්පාව ඔහු වින්දනය කල යුතුය.  බේසමෙහි බහාලු රුධිරය දැකිය යුතුය.  ගර්භාෂය තුල සිටින බිළිඳාගේ සිඟිති, ලිස්සන සුළු දේහය තම අත්වලින් ඇල්ලිය යුතුය.

දැන් ඒවා කිසිවක් නැත.   වෙඩිහඬ ඇසෙනවිට සන්සුන්වැ සිටින, එනමුදු වටලෑමකදී ඇතිවන කුරිරු, මුසල නිහඬතාවය නිසා බියවන මහලු සෙබළෙකු ලෙසද, රෝදවල හඬ නිසා සාමකාමී ලෙස නිදාවැටෙන, එනමුදු නිහඬතාවය නිසා අවදිවන පිටිමෝල් කරුවෙකු ලෙසද ඔහුට දැනිණි.

මෙතැන විදුලි පණිවුඩ යන්ත්‍රය ඉදිරියෙහි දොස්තරට දැනුණේ තමා මුහුදෙන් ගොඩගත් මාළුවකු ලෙසිනි.   ගුවන් විදුලි යන්ත්‍රයේ විදුලි බුබුළු බැබලිණි.   යන්ත්‍රයේ ශබ්ද විකාශන උපකරණයෙන් චිරි-චිරි ශබ්දයක් ඇසිණි.   යළි නිහඬතාවයකි.   ඔහු ඉදිරියේ ප්‍රසව වේදනාවෙන් පෙළෙන මාතාව නොසිටියාය.   ඇගේ සුසුම් ලෑම් හෝ වේදනාව හෝ ඔහුට නෑසිණි.

වේදනාවක් නැතිද? එහෙත් ඈ වේදනා වීඳී.   එහෙ අන්න අර අවකාශයේ.... බොහොම වේදනා වීඳී .ආධාර බලාපොරොත්තුවෙන් ඕ පසුවන්නීය.  අවට හැම කෙනෙක්ම බලාපොරොත්තුවෙන් සිටිති.   ඉතින් සෙර්ගේයි මත්වේවිව් දොස්තර තැන කුමක් කරතිද?

ඔහු සංඥා පණිවිඩ ශිල්පියා වෙත නැඹුරුවී මෙසේ පැවසීය.

"ආ ...බාතෙන්කා...එහෙ ඉන්න දොස්තරගෙන් අහන්න ගර්භාෂය තුල බිළිඳාගේ තත්ත්වය කොහොමද කියලා?"

ඔහු දුන් පණිවිඩය, සංඥා අක්ෂර භාෂාවට පරිවර්තනය වී, තිත් සහ කෙටි ඉරි වලට මාරු වන අයුරු ඔහු බලා සිටියේ මවිතයෙනි.   විනාඩි කීපයක් ගතවත්ම පිළිතුරු ලැබිණි.

සෙර්ගේයි මත්වේයිව් එය කියවා දෙතොල් හකුළුවා ගත්තේය.  මේ අයුරින් අදිසි රෝගියෙකුට වෛද්‍ය උපදෙස් දීමේ අසාමාන්‍ය කාර්යය ඇරඹිණි.

" ගර්භාෂය තුළ බිලිඳා හරහට හිටලාය" දොස්තර හඬනගා සිතන්නට විය.  
"ඔවු...ඔවු... විරල තත්ත්වයක්.  අහන්න, ගර්භාෂය තුල සිටින බිලිඳා නිසි ලෙස හරවා ගන්නා බ්‍රැක්ස්ටන්- හික්ස්ටන් ක්‍රමය ගැන මගේ සගයා දන්නවාද, නැතිනම් අහලාවත් තියෙනවද කියල" ඔහු සංඥා පණිවිඩ යවන්නාට පැවසීය.

" අනේ ඒ ක්‍රමය ඔහු දන්නේ කොහොමද? තරුණ දොස්තර. ඒ විතරක්ද, මිනිහා චිකිත්සක වෛද්‍ය වරයෙක් නොවැ" ඔහු තමාටම කියාගත්තේය.

චිකිත්සක වෛද්‍යවරයෙක්! සියලු ශල්‍ය දොස්තරුන් මෙන්ම ඔහුද කැකිරි දුපතේ ප්‍රසව වේදනාවෙන් පෙළෙන මවු අසල සිටින තරුණ දොස්තර වරයා ගැන සැක ඇති කැරැ ගත්තේය.

සෙර්ගේයි මත්වේයිව් බලාපොරොත්තු වූ පිළිතුරම ලැබිණි.  "අහල තියෙනවා. නමුත් ලජ්ජාවෙන් තොරව සියලු උපදෙස් දී මට මග පෙන්වන්න.''

"ඉස්සෙල්ලාම අත් දෙක ස්ප්‍රීතු සහ අයඩින් වලින් සෝදා ගන්න. සියලුම ඇඟිලිවල හොඳහැටි අයඩින් ගාන්න.  විනාඩි දහයක් විතර හොඳට අත් සෝදා ගත යුතුයි, බාතෙන්කා." ඔහු සංඥා පණිවිඩ කරුවාට කියුවේය.

පණිවිඩ කරුවාද ඔහු කී හැම වචනයක්මත් 'බාතෙන්කා' නැමැති වචනයත් ඒ සැටියෙන්ම සංඥා ක්‍රමය මගින් යැවීය.  කවුද දන්නේ, දොස්තරගේ කටින් පිටවූ 'බාතෙන්කා' නැමැති වචනය තුළ වෛද්‍යමය ගුප්තාර්ථයක් ගැබ්වී තිබිය හැකිය.

කැකිරි දුපතේ තරුණ දොස්තර ඒ උපදෙස් අනුව දෑත් සෝදාගත් බව වාර්තා කළේය.

"යසයි!" තෘප්තියකින් හිස වැනු සෙර්ගේයි මත්වේයිව් මෙසේ පැවසීය.  " දැන් බඩදරු අම්මා විෂබීජ වලින් ආරක්ෂා කිරීමේ වැඩ ගැන." ඔහු කළයුතු කටයුතු ගැන සවිස්තරාත්මකව ලියා එය සංඥා පණිවිඩ ශිල්පියාට භාර දුන්නේය.  මීට විනාඩියකට පෙර ඔහුගේ මොළයෙහි තිබුණු එම අදහස් දැන් හාස්කමකින් කිලෝමීටර දහසක් දුර සිටින කෙනෙකුට දෙන හැටි ඔහු බලාසිටියේ කුතුහලය මුසු මවිතයකිනි.  ප්‍රථම වරට හේ විදුලි පණිවිඩ ශිල්පියා දෙස ගෞරවයකින් බැලීය.

මොහොතේ වැදගත්කම අවබෝධ කැරැ ගත් ශිල්පියා කොතෙක් නොසන්සුන් වුයේද යත්, ඔහුගේ මුහුණ රත් පැහැ ගති.  ඔහු හැම අකුරක්ම සංඥා පණිවිඩ ක්‍රමයට පරිවර්තනය කලේ යන්තමින් හෝ වරදිතියි යන බියෙනි.   කැකිරි දුපතෙන් ලැබෙන පණිවිඩය ඔහු ලියාගත්තේ සාමාන්‍යයෙන් හැමදාම විදුලි සංඥා පණිවුඩ භාරගන්නන් දක්වන පුරසාරම් බවෙන් තොරවය.   ඔහු දොස්තරට මෙසේ කීවේය.

"හෙමින් කියන්න. එක අකුරක් වෙනස් කළොත් දරුවාටයි අම්මාටයි හානි වීමට ඉඩ තියෙනව."

"හොඳා" මෙසේ කී දොස්තර උපදෙස් දුන්නේය.   දැන් ඉතින් ගර්භාෂය තුළ පරීක්ෂණය පටන් ගන්න.  වම් අත ඇතුළට යවන්න..."

තීරණාත්මක මොහොත එළැඹ ඇත.

"ගර්භාෂයේ ග්‍රීවය විවෘත වෙලා නැතිනම්?" දොස්තර කල්පනා කළේ කැළඹීමෙකිනි.   "අනේ මා එහි නැත්තේ මන්ද?  මට එය...එය මට නොපෙනෙන පවා දෙයකට මට වගකිව නොහැකිය."

පිළිතුර බලාපොරොත්තුවෙන් සහ නොපුරුදු ලෙස කැළඹීමට පත්වුයෙන් සන්සුන්තාවය ලබා ගැනීම සඳහා ඔහු කවුළුව වෙත ගොස් පිටත පිහිටි වීදිය දෙස බැලීය.  වීදියක්ද? මෙතැන වීදියක් තිබුනේද? කවුළුව යට විශාල හිම කණ්ඩියකි.  ඈත විශාල ගබඩාවකි,වරායකි. ඊටත් එහා ඈත හිම ගොඩැලිය. හිම පමණකි.

ගබඩාවේ වහලත්, වරායේ ගොඩනැගිලි වල වහලත් හිමෙන් වැසිලාය.  තුන්ද්‍රා මහා කතර හිමෙන් පිරී ඇත.  හිම යන්තමින් කොළ පැහැයක් ගෙන ඇත. හඳ එළිය නිසා වෙන්ට ඕන.

" ආහ්, නුඹ ඇවිත් තියෙන දුරෙක මහත, සෙර්ගේයි මත්වේයිව්!" ඔහු තමාටම කියාගත් අතර මෙතරම් දුර පැමිණීම නිසා මවිතයට පවා පත්විය.  එම අදහස ඔහුට ප්‍රථම වරට පැමිණියාක් මෙනි.  හරියට ඔහු මෙහි දෙවැනි වසර ගත නොකරන්නාක් මෙනි. ඔහු මෙහි ප්‍රථම වරට පැමිණියාක් මෙනි.

"සෙර්ගේයි මත්වේයිව්!" කිසිවෙක් ඔහු පහත් හඬින් ඇමතුහ.

හේ හැරී බැලීය.  ඔහු ඉදිරියේ ස්ත්‍රීන් දෙදෙනෙකි. එකියක් ගුවන් විදුලි පණිවුඩ සංඥා ශිල්පියාගේ බිරිඳය.  අනික් ස්ත්‍රිය භූ විද්‍යා ශිල්පියාගේ බිරිඳය.

"හිතවත් සෙර්ගේයි මත්වේයිව්, ඉතින් කොහොමද?" වඩාත් ධෛර්යවත් සංඥා ශිල්පියාගේ බිරිඳ ඇසුවාය.

" ඉතින් කොහොමද තමයි" දොස්තර තැන කෝපවිය.  "මරියා ඉල්යිනිෂ්නා, ඔයාගෙ ගෙදර එක්කෙනාගෙන් අහන්ට. එයා තමයි රේඩියෝ සිග්නල් ජප කරන්නෙ. එයා මට වැඩිය හොඳට දන්නවා.  මට පෙනෙන්නේ නැහැ නොවැ. කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ.හිම මිසක්"

ඊළඟට ලජ්ජාවෙන් කතාකළේ භූ විද්‍යා ශිල්පියාගේ බිරිඳය. " අපි දැනගන්ට කැමතියි... ඔන්න මටත් හිටියා මිතුරියක්. එයාගෙත් දරුවා ඔහොම ඉඳලා, පස්සෙ එයා දරුවාව වැදුවා. මම ඒ ගැන සියලු විස්තර දන්නවා.  ඔබට එයින් ප්‍රයෝජනයක් විය හැකියි නේද? මම විස්තර කරන්නම්."

"අනේ, හිතවත් නෝනා!" දොස්තර මුහුණ ඇඹුල් කැරැ ගත්තේය.  "ඔයාට ඇති උවමනාව? දැන් වදන්නේ ඔයාගේ මිතුරිය නොවෙයි.  ඉතින් ඔයගොල්ලන්ට ඇති රුදාව කුමක්ද?"

"මොකක්ද?  ඒ කතාව අපේ සිත් පවා අමනාප කරනවා සෙර්ගේයි මත්වේයිව්"

එහෙත් ඒ වෙලාවේ ගුවන් විදුලි සංඥා ශිල්පියා කැකිරි දුපතේ සිට එවූ පිළිතුරු ඉදිරිපත් කළේය.   එය යහපත්, නැතිනම් අයහපත් පිළිතුරුද යන්න ඔහු නොදත්තේය.  ඔහු වෛද්‍ය භාෂා ශබ්ද මාලාව නොදත්තෙකි.   එහෙත් ඔහු කැළඹීමට පත්වුණේ ලැබුණු පිළිතුරු අසතුටුදායක බව සිතමිනි.

" අහා!" දොස්තර තැන පිළිතුර කියවා මඳ සිනා පෑවේය.  "ග්‍රීවය ඇඟිලි දෙක හමාරක් විවෘත වෙලා. ඉතින් එහෙනම් මගෙ හොඳ බඩදරු අම්මේ, බ්‍රැක්ස්ටන්- හික්ස්ටන්ගේ ක්‍රමය අනුව අපි ගර්භාෂය තුළ සිටින බිලිඳාව පෙරළා ගනිමු."

දොස්තර වහාම යන්ත්‍රය ලඟට ආවේය. ඔහුට පුටුවක් දෙන ලදී.   අවසාන තීරණාත්මක මොහොත පැමිණි බව හැම දෙනාටම අවබෝධ විය.  සංඥා ශිල්පියා සුදුමැලි විය.  පක්ෂ සංවිධායකයා බැරෑඬි හඬින් අණ කළේය.   "නිහඬ වෙයව්!" ඔහු එසේ නොකීවද, නිහඬතාවය පැවතිණි.  මිනිසුන් මහ ගොඩක් රැස්වූ එම කාමරයෙහි රජකළේ මවිතය දනවන නිහඬතාවයකි.  හැම කෙනෙක්ම නිහඬවූහ.  ඔවුන් දොස්තර දෙස බැලුවේ බලාපොරොත්තුව,අවදානම සහ නොසන්සුන්තාවයකිනි.

ඔහුට මෙවැනි අදහසක් පහළ විය.  "මට මෙතරම් නිර්භයත්වයක් කොයින්ද? එමෙන්ම මෙවැනි බලයක්, දැන් මා මෙහිදී කියන දේ ඔහු අනික් කෙළවරේ සිට ඉටුකරයි.  සමහර විට, හැම දෙයක්ම ඉතා යහපත් ලෙස සම්පූර්ණ වේවි.  ඉතින් ඒ මම... මම... "

හේ මෙසේ පැවසීය.

"දකුණු අතේ ඇඟිලි දෙකක් යවා ගර්භාෂය තුළ සිටින බිළිඳාගේ පයක් අල්ලා ගැනීමට උත්සාහ කරන්න."

ඔහුගේ නියමය සංඥා බසට පෙරළී තිත,කෙටි ඉර, තිත ආදිය බවට පත්විය.  දැන් ඉතින් දොස්තරගේ සිතට වෙන අදහස් පහළ නොවීය.  ඔහුගේ මනැස ඉදිරියෙහි දරුවෙකු ප්‍රසුත කරන මාතාවකි.   ඔහු ඔහුගේම ඇඟිලි දෙකක් ඇගේ ගර්භාෂ මුඛයට යැවූ බව ඔහුට දැනෙයි.  ඇගේ සුසුම් ලෑම් ඔහුට ඇසෙයි.  මොළකැටි බිලිඳාගේ ඉතා සිනිඳු පය ඔහුට දැනෙයි.  එතරම් අසරණ සිඟිති...

" වරද්දන්ට එපා!" ඔහු කෑගැසීය.(සංඥා ශිල්පියා එලෙසින්ම එය යැවීය) 

 " පය වෙනුවට වරදවා අත අල්ලා නොගන්න! යටිපතුල හොයා ගන්න.  සිඟිති යටිපතුල,බාතෙන්කා.  හොඳ හැටි දැනගන්න.  නැතිනම් අතින් අල්ලා අදින්න ඉඩ තියෙනවා... එහෙමත් වෙනවා..."

කැකිරි දුපතේ සංඥා ශිල්පියා ලඟද එවැනිම ගොඩක් සෙනග පිරී සිටිති.  ඔවුන් කැළඹිලාය.  ප්‍රසව වේදනාවෙන් පසුවන ස්ත්‍රියගේ සැමියා ඩහදිය පෙරාගෙන සංඥා යන්ත්‍රයේ සිට ඇගේ ඇඳ වෙතටත්,යළි යන්ත්‍රය වෙතටත් දුවයි.   ලැබෙන ගුවන් විදුලි පණිවුඩය තරුණ දොස්තරට භාර දෙන ඔහු,දොස්තරගේ පණිවිඩය ගෙනැවිත් සංඥාකරුට භාර දෙයි.  ඔහු දොස්තරගේ පණිවිඩය කුසු කුසු ගාමින් කට පාඩම් කළේ වරදිතියි හෝ අමතක වෙතියි යන බියෙනි.

තරුණ දොස්තර කැළඹී සිටියද, සෙර්ගේයි මත්වේයිව්ගේ උපදෙස් හා ආධාර ඔහුට විශාල දිරියක් විය.  ප්‍රසව වේදනාවෙන් පසුවන මාතාවගේ කඳුළු පිරුණු දෙනෙත් තමා වෙත එල්ලවී ඇති සැටි ඔහුට පෙනෙයි.

"උහුලා ගෙන ඉන්ට, සෙර්ගේයි මත්වේයිව් සමග එකතුවී ඔබට උදව් කරන්නම් යැ" යි ඔහු මුමුනන්ට විය.  " ඔන්න ඉතින්...පතුළ අල්ලා ගත්තා. හරිම සිනිඳුයි..."

"පය අල්ලා ගතිමි" යන පණිවිඩය සෙර්ගේයි මත්වෙයිව්ට ලැබිණි.

" අහා.එයා පය අල්ලාගෙන, දක්ෂ තරුණයා."

කාමරයෙහි රැස්ව සිටියහු ප්‍රීතිමත් පහත් හඬින් මුමුණන්නට වුහ.  " පය අල්ලාගෙන,පය අල්ලාගෙන"හැම දෙනෙක්ම පෙරට ගියහ. මඳ සිනා පෑවෝය.  එහෙත් සෙර්ගේයි මත්වේයිව් යළිත් බැරෑරුම් විලාසයක් ආරූඪ කැරැ ගත්තෙන් සියලු දෙන නිහඬ වුහ.

" දැන් ඉතින් බිලිඳා හැරවීම පටන් ගන්න. පිටත තියෙන අතින්..."

යළිත් ඔහු රෝගියාගෙන් වෙන් කැරෙන අවකාශය ඔහුට අමතක විය.  සැබැවින්ම ඔහු දරුවා ප්‍රසුත කරන මවගේ ඇඳ අසල සිටගෙනැ,තම දෙවැනියාට ඉඳහිට උපදෙස් දෙන විටෙක මෙනි.  "දක්ෂයා" ඔහු තම සහකරුවා ගැන සිතීය.   " චිකිත්සකයෙකු වුවත් අපරාදෙ කියන්ට බැහැ, මිනිහා දක්ෂයා." සෙර්ගේයි මත්වේයිව් තුළ ආත්ම ශක්තිය වැඩි වුයේ,හැම දෙයක්ම යහපත් ලෙස අවසන් වෙතියි යන හැඟීම විසිනි.  පෙර සිටම ඔහු හැම දෙයක්ම ඉතා යසට සිදුවෙතියි යන හැඟීමෙන් සිටි බවක් ඔහුට දැනිණි.  ඔහු ලෙඩුනට ප්‍රතිකාර කරන විට ඔහු තුළ ඇතිවන ශාන්ත බව යළිත් ඇතිවිය.  යළිත් ඔහු සුපුරුදු පරිසරයට පිවිස ඇත.

ගෙවීගිය විනාඩි කීපය සදාකාලිකත්වයට සමාන විය.  සෙර්ගේයි මත්වේයිව් පැයක් තිස්සේම සංඥා යන්ත්‍රය අසලය.

"මම හැම දෙයක්ම කල්වේලා තබා දුටුවෙම්ද? මුහුණ පෑ යුතු බලාපොරොත්තු රහිත දේ මොනවාද? චිකිත්සක තරුණයාට හැම දෙයක්ම කරන්ට පුලුවන්ද? අනේ, මා එහි නැත්තේ මන්ද! හැම දෙයක්ම මා අසා දැනගත්තාද?"

ඔහු සංඥා යන්ත්‍රය දෙස බැලුවේ ඔහුගේ ප්‍රශ්න වලට එයින් පිළිතුරු ලබාගත හැකි විටෙක මෙනි.   තිත, කෙටි ඉර, තිත, කෙටි ඉර සංඥා ඔහුට ඇසේ.   එය ඔහුට නොතේරෙන අපභ්‍රංශයකි.  ඔහු සංඥා ශිල්පියා ලියන හැටි ඔහුගේ උරහිසට උඩින් බැලීය.

"හැ-ර-වී-ම හො-ඳී-න් ක-ළා-" සංඥා ශිල්පියාගේ කුරුමිණි අකුරු හේ කියැවීය.

"හොඳින් කළා!" සංඥා ශිල්පියා උහුලා ගත නොහී සතුටකින් කෑගැසීය.

"හොඳින් කළා, හොඳින් කළා" කාමරය තුළ රැස්ව සිටියහු අනුකරණය කළහ. " දොස්තර සෙර්ගේයි මත්වේයිව්, හොඳ මනුස්සයා!"

"බිලිඳාගේ හෘද ස්පන්දනය ගැන සෙවිල්ලෙන් ඉන්න!'' ඔහු කෑ ගැසුවේ කෝපයෙනි.

ලැබුණු විදුලි පණිවුඩය නිසා ඔහු වෛද්‍ය විද්‍යාලයේ ප්‍රථම වර්ෂයේ ශිෂ්‍යයෙකු සේ, ප්‍රථම ශල්‍ය කර්මයට උදව් කළ කෝඩුකාර දොස්තරකු සේ සතුටට පත්වීම ගැන ඔහු තමා කෙරෙහිම කෝපවූ සැටිය ඒ.

"ලජ්ජයි,ලජ්ජයි! දොස්තර කෙනෙක්ලු,කැළලකි!" ඔහු සිතීය.

"බිලිඳාගේ හෘද ස්පන්දනය සොයා බලන්න!" ඔහු සංඥා ශිල්පියා දෙස බලා කෑ ගැසීය. ඔහු තිගැස්සී දොස්තර කී දේ සංඥා ක්‍රමයට නැංවීය.

"තවම ඉපදිලා නැහැ.ඔවු. කල් වැඩියි, බාතෙන්කා.කල් වැඩියි." සෙර්ගේයි මත්වේයිච් ඉතා ස්ථිර ලෙස රැස්ව සිටි පිරිසට පැවසීය.  යළිත් කාමරයෙහි නිහඬතාවය රජ කළේය.  "කල් වැඩියි" ඔහු යළිත් මුමුණා සංඥා පණිවුඩ යන්ත්‍රය දෙසට නෙත් යොමු කළේය.

හිටි හැටියේම ඔහුට ඇතිවූ ඉතා ප්‍රබල, වේදනාවක් දැනවීමෙහි තරම් සමත්, ඉතා දැඩි අභිලාෂය වුයේ දරුවා පණපිටින් උපත ලැබිය යුතුය යන්නය.  පණ පිටින්,පණ පිටින්, පිරිමි දරුවෙකු විය යුතුය! දුණු මෙන් පොකුරු කෙස් ඇති කොල්ලකු විය යුතුය!... ඔහු ඒ සිඟිත්තා ගැන සිහින මැවුයේ ඔහු බිලිඳාගේ පියා මෙනි...මාතාව මාර මුඛයෙන් බේරා ගෙනය. එහෙත් බිලිඳා, බිලිඳා...

" බිලිඳාගේ හෘද ස්පන්දනය ගැන පිරික්සා බලන්න.  හෘද ස්පන්දනය ගැන ඉතා සැලකිල්ලෙන් බලන්න!"

"හෘද ස්පන්දනය හොඳින් පැහැදිලිව ඇසෙයි." විදුලි සංඥා ශිල්පියාගේ වාර්තාව ඔහුට ඇසිණි.

නැත,නැත, එය ගුවන් විදුලි ශිල්පියාගේ වචන නොවේ.  මාතාවගේ ගර්භාෂයේ තවමත් සිටින බිළිඳාගේ හෘද ස්පන්දනයයි,ඔහුට එලෙස ඇසුණේ.  තවමත් මෙලොව එළිය නුදුටු බිළිඳාගේ හෘද ස්පන්දනයයි  ඔහුගේ කන්හි වැකුණේ.  දැන් දැන් ඔහු මෙලොවට බිහිවී තම අයිතිය තහවුරු කරමින් ප්‍රීතිමත් ලෙස කෑ ගසනු ඇත.  ඔහුගේ හදවත කෙබඳු එකක් වනු ඇතිද!  මිනිසෙකු තමාගේ උපතින්ම ඔහුගේ හදවත, මවු බිමට අයත්වේ.   එය මේ විදුලි පණිවිඩ සංඥා ශිල්පීන්ට, දුම් කෝවයක් උරමින් සිටින මේ පක්ෂ සංවිධායකයාට, අර තරුණ චිකිත්සක දොස්තරට(ඔහු නම් සැබෑ දක්ෂයෙකි) තවත්, තවත් ඔහුට,එනම් සෙර්ගේයි මත්වෙයිච්ට අයත්ය.  ඔහු දසන් පෙන්වා සිනාසුණේය.  මින්පෙර කිසිකලෙක සිනා නොවූ පරිදි සිනාසුණේය.  උත්සව ප්‍රීතියෙක්, ප්‍රෞඨත්වයෙක්, තෘප්තියෙක් එහි නොවීය.  ඔහුට වටහාගත නොහැකි යමක් එහි විය.  

ප්‍රසව වේදනාව ආරම්භ විය. කැකිරි දුපතේ සිට විදුලි සංඥා පණිවිඩ එක පිට එක ගලා එන්නට පටන් ගති.  මාතාවගේ තත්ත්වය, ගර්භාෂයේ ක්‍රියාකාරිත්වය, සහ විලි රුදාව ගැන කෙටි වාර්තා තරුණ දොස්තර ඉදිරිපත් කළ අතර ගැහැණියගේ පුරුෂයා මෙසේද දැන්වීය. 

" ඉතා භයානක ලෙස වේදනා විඳිනවා. එය කොතරම් බියජනකද! ලවක්-දෙවක් නැතිව කෑ ගසයි.  එය මානුෂික කෑ ගැසීමක් නොවේ. ඒ අසරණ මාතාව විඳින දුකක හැටි! දොස්තර මහතාණෙනි මොනවා කළ යුතුද? ඒ කෑ ගැසීම් මට නම් උහුලා ගත නොහැකිය."

ප්‍රසව වේදනාව ඉවසාගත නොහී කෑගසන ඇගේ හඬ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් පවා ඇසෙන බවකි.  
දුම්කොළ පයිප්පය දත් දෙපළට හිර කැරැගෙන සිටින පක්ෂ සංවිධායක තැනගේ සුදුමැලි මුහුණ සෙර්ගේයි මත්වේයිච්ගේ නෙතට හසුවිය.

 " ඔබට මක් වෙලාද? බාතෙන්කා, ඔබට මක් වෙලාද? මොනවා වෙලාද? විලි රුදාවෙන් කෑගසන්නේ ඔබගේ පවුල නොවෙයි නොවැ."

" ඒක ඇත්ත" පක්ෂ සංවිධායක තැන මඳ සිනාවක් පෑවේ දුබල ලෙසිනි." මගේ පවුල නොවන බව ඇත්ත,නමුත් මේ අම්මයි මේ බිලිඳයි, කොහොමද ඔබට ඒ ගැන කියන්නෙ...ඔවුන් අපේ."

ලජ්ජාවට පත් සෙර්ගේයි මත්වවේයිච් කෝපවුයේ ඔහුගේම මෝඩ ප්‍රශ්නය නිසාය.පක්ෂ සංවිධායකයාගේ හැඟීම් ඔහුට වටහා ගැනීමට බැරිවූ නිසාය.  සමහර විට පහු පක්ෂ සංවිධායක තැන අමනාපයට පත් කළ නිසාය.  එහෙත් ඔහුට ඒවා ගැන සිතීමට දැන් වෙලාවක් නැත. 

" බිළිඳාගේ හෘද ස්පන්දනය පරීක්ෂා කර බලනු!"

තෙපැයක් ගත විය.  සෙර්ගේයි මත්වේයිච් විදුලි පණිවුඩ උපකරණය අසල වාඩිවුණේ මීට පැය තුනකට උඩදීය.  දැන් ඔහුට අධික මහන්සියක්, වේදනාවක් සහ හෙම්බත් වීමක් දැනෙයි.  මේ දරු ප්‍රසුතය, ගුවන් විදුලි සංඥා පණිවුඩ මගින් මෙහෙයැවෙන දරු ප්‍රසුතය ඉක්මණින් අවසන් වෙතිද?

හිටි හැටියේම ගුවන් විදුලි සංඥා ශිල්පියාගේ ප්‍රීතිමත් ප්‍රමෝදමත් කෑ ගැසීම ඔහුට ඇසිණි.

"ඔන්න පුතෙක්! පුතෙක් ලැබිලා!" ගුවන් විදුලි පණිවුඩය හේ සෙර්ගේයි මත්වවේයිච්ට දුන්නේය. හේ කියවීය.

" දොස්තර සහෝදරය,සහෝදරවරුනි! මට පුතෙක් ඉපදිලා. ඔවු,පුතෙක්.කොලු පැංචෙක්. ඔබ හැමට ස්තුතියි. සෙර්ගේයි මත්වේයිච්, ස්තුතියි! සෙර්ගේයි මත්වේයිච්,ඔබට අප හැමගේ සදාදර ස්තුතිය පුදකරමි. ඔබ ඉතාම යහගුණ ඇති කෙනෙකි. ඔබට ස්තුතියි!"

හැම අතින්ම මිනිස්සු තමන්ගේ හස්තයන් සෙර්ගේයි මත්වේයිච් වෙත දිගු කරන්නට වුහ.  ඔවුහු උණුසුමෙන් මිත්‍රත්වයෙන් කැළඹී සිටියෝය.  හැම අතින්ම ඔහුට සුබ පැතුම්ය. ඔහු නිසා උද්දාමය ලැබූ රැස්වැ සිටියහු ඔහුට කෘතඥතාවය පළ කළහ. ඔහුගේ අතක් ගෙන බොහෝ වේලාවක් සොළවමින් සිටි පක්ෂ සංවිධායක තැන,මඳ සිනා පාන්නේ මෙසේ පැවසීය.

"අහා! සෙර්ගේයි මත්වේයිච්!... ඔබ උසස් මිනිහෙක් නොවැ! ඉතාම අපූරුයි! මගේ සුබ පැතුම් බාර ගන්න.ඔබ ක්‍රියාකළේ හැබෑටම...හැබෑටම...හැබෑටම බොල්ෂෙවිකයකු වගෙයි.  සෙර්ගේයි මත්වේයිච්!"

ඔහු අන්දමන්ද වී, එමෙන්ම මුදු බවකින් යුතුව වාඩිවී සිටියේය.  කිසිවක් වටහා ගත නොහී, ඔහු බැලීය.  ගුවන් විදුලි වාර්තා කියවුවද ඔහුට ඒවා නොතේරිණ.  ඔහු වෙත ඉදිරිපත් වෙන සුබ පැතුම් ඔහුට ඇසුණද, ඒවා ඔහුට අවබෝධ නොවීය.  ඔහු අන්දමන්ද විය.  ශල්‍ය වෛද්‍ය වරයෙකු වූ ඔහු නොසන්සුන් විය.  

හිටි හැටියේම ඔහුගේ ජීවිතයද, ඔහුද, ඔහුගේ වෘත්තියද, ශිෂ්‍ය සමයේ සිහිනද, ඔහු කළ හැම දෙයක්ම,කරන සහ, සමහර විට, කළ හැකි හැම දෙයක්මද බලාපොරොත්තු රහිත නව තාවයකින් පෙනිණි.

නස්තුර්සියන් සහ කවුළු පඩිය මත රාත්‍රී වයලට් මල් සහිත කුඩා ගෙයක් ගැනද, තමාගේ වයෝවෘද්ධ සන්සුන් ජීවිතය ගැනද ඊයේ වන තුරුත් සිතුවේ ඔහු නොවේද?

බරීස් ගොර්බාතව්.

1937

1983 වර්ෂයේ සෝවියට් සංගමයේ මොස්කව්හි දේදුන්න ප්‍රකාශකයෝ විසින් මුද්‍රණය කර ප්‍රකාශයට පත්කරන ලද 'සෝවියට් රුසියන් කෙටිකතා' නම් අපූරු ග්‍රන්ථයෙහි එන කෙටිකතා අතුරින් මා සිත තදින් බැඳගත් කෙටිකතාවක් ඔබගේ රස වින්දනය උදෙසා උපුටා දක්වන්නට සිතුවෙමි෴

Sunday, April 2, 2017

කැකිරි දුපතේ දරු ප්‍රසුතය



කැකිරි නැමැති සිඟිති දුපතෙහි අවාසනාවන්ත තත්ත්වයක් උදාවිය.  උත්තර මහා සාගරයේ ධ්‍රැව වෘත්තයට එහා පිහිටි කැකිරි දුපත එනමින් ඔබ සිතියමෙහි සොයා ගැනීමට තැත් කරති නම්, එය නිෂ්ඵල ක්‍රියාවක් බව කලින්මැ කියනු කැමැත්තෙමු.   සිතියම් වල මෙම දුපත හැඳින්වෙන්නේ සම්පූර්ණයෙන්ම සංගතික හා කාව්‍යමය යැයි පවා කිව හැකි නමකිනි.   එහෙත් ධ්‍රැව ප්‍රදේශයේ ගුවන් විදුලි සංඥා ශිල්පියෝ මුරණ්ඩු ලෙසමැ මෙම දුපත් සිඟිත්ත කැකිරි දුපත ලෙස හඳුන්වාලුහ.  ඔවුන් වැරදි බව ඒත්තු ගැන්වීමට උත්සාහ කැරැ බලන්න! ගුවන් විදුලි සංඥා ශිල්පීහු වූකලී අපූරු ජන කොටසකි.  ඔවුහු උපහාසයෙහි දක්ෂයෝය.  සමහර විට ඔවුන් කුඩා කුටි වලටවී ලැග සිටින නිසා ඔවුනට පාළු ගතියක් දැනෙනවා විය යුතුය.

කෙසේවතුදු මෙම පුදුම නමට ස්වකීය ඉතිහාසයක් ඇත.  මෙම දුපත් සිඟිත්ත සොයාගත්තේ මෑතකදීය.  ඉතාමත්ම මෑතකදීය.  ඉමහත් ප්‍රබෝධයකින් හා කලබලයකින්, අලුත සොයාගත් මෙම සිඟිති දුපත සිතියමෙහි සටහන් කළ කණ්ඩායම් ප්‍රධානියා (ඔහු සිටි අයිස් කඩන නෞකාව වටා අයිස් ඝනවීමට පටන් ගත් නිසා ඔහුට කලබලකාරී ලෙස ඉක්මන් වීමට සිදුවිය) ක්‍ෂණික වාර්තාවක් ඉදිරිපත් කළේය.  "අලුතින් සොයාගත් දුපත කැකිරි ගෙඩියකට සමානය"  ගුවන් විදුලි සංඥා පණිවිඩ කරුවෝ (හැම දෙයක්ම අනිවාර්යයෙන් යැවෙන්නේ ඔවුන් අතිනි) ධ්‍රැව වෘත්තයේ දුපත් පවුලේ උපන් මේ නව දුපත් පොඩිත්තට කැකිරි දුපත යනුවෙන් නම් තැබුහ.

මේ සිඟිති දුපත ඉක්මනින්ම අල්පමය නොවන වැදගත්කමක් ලබාගත්තේ එය ඉතා ඈත පිහිටීම විසිනි.  පර්යේෂකයෝ දෑත් පිරිමදිමින් උදම් ඇනුහ.  දැන් ඉතින් අපි ආක්ටික් සාගරයේ බොහෝ රහස් සොයා ගන්නෙමු.  කාලගුණය ගැන පේන කියන්නෝ සැනසුම් සුසුම් හෙළූහ.  කාලගුණය ගැන ස්ථිර පුවත් දීමට තවත් පහසුවක් මතුවී තිබේ.  මනාලියක් ගැන සිහින දකින පරිදි තරුණ ධ්‍රැව සාගර විද්‍යාඥයෝ කැකිරි දුපත ගැන සිහින මවාගත්හ.  එහි ඇති නොදුටු විරූ සුන්දරත්වය ගැන ඔවුනට සිහින පෙනිණි.  එය ලබා ගැනීම සඳහා ඕනෑම වික්‍රමයක් පෑමට වුව ඔවුහු සුදානම් වුහ.  ඔවුහු අනුකම්පා සහගතවැ මෙසේ කියුවෝය.  " ඩික්සන්,ටික්සි, චෙල්යුස්කින් මොනවාද? ඒවා දැන් ඉතින් මෙල්ල කරලා ඉවරයි නොවැ.  ඒවා සේරම දැන් අපේ ගෙදර වගෙයි.  එහෙත් අර දුපත...." ඔවුන් කොඳුරන්නට වුයේ කැළඹුණු සිතිනි.  "විහිළු වැඩක් නොවෙයි. කැකිරි දුපත පිහිටා තියෙන්නෙ අංශක 78 ටේ...."

ඉදින් කැකිරි ගෙඩියක හැඩයක් ඇති මෙම දුපතෙහි මිනිස්සු පදිංචියට ආවෝය.  මෙම දුපතේ නැවුම් හිම මත විසාල කෝප්පයක් මෙන් කවාකාර හැඩැති වලස් පා සටහන් ළඟින්ම තියුණු ප්‍රබෝධමත් මිනිස් පා සටහන් ද දක්නට තිබිණි.  ගොඩනැගිලි සාදන ලදී.  අයිස් ගොඩැලි සහිත බිමෙහි මිනිස් ජීවය බිහිවිය.   මිනිසුන්ට එහි වැඩ කටයුතු ඇතිවිය.  පිරිසිදු තඹවන් භාජනවල කෝපි උතුරන්නට විය.  ඔවුනට ඔවුන්ගේ ප්‍රීතිය උදාවිය.  සවස් වරුවේ විවේක කාලවලදී චෙස්දාම් අදිති.  ඔවුනට කරදරද කැළඹීම්ද තිබිණි.  ඔවුනට ඔවුන්ගේ අවාසනාවද නැතිනම් ඉක්මනින්ම ඔවුන්ගේ වාසනාවද ඇතිවිය.  ඔව් සත්තකින්ම එය වාසනාවෙකි! කොයි හැටි වෙතත් තවම ඒ ගැන පැහැදිලි ලෙස දැන ගැනීමට නොහැකි විය.  මෙවැන්නකට හේතුව මෙසේ විය.  ස්ත්‍රියක් බියජනක ලෙසත්, අමනුස්ස ලෙස මර හඬ දී කෑ ගැසීමය.  ඇය අසල සිටගෙන සිටින සුදුමැලි තරබාරු පුරුෂයාගේ දෑත් පිලිසරණයෙහි අසමත් වැ වෙවුලයි.  ඔහුගේ නළලෙන් ලොකු ඩාදිය කැට රූරා වැටේ.

සෝවියට් ආක්ටික් ප්‍රදේශයෙහි බොහෝ ඈත දුපත්වල වාසය කරන්නෝ, තම ළඟ අසල්වැසියන් ගැන කිසිත් නොදැන හුදකලාව වාසය කරතියි ඔබ සිතති නම් එය ලොකු වරදකි.  එක් අසල්වැසියෙකුගේ සිට තවත් අසල්වැසියකු දක්වා, එක් දුපතක සිට තවත් දුපතක් දක්වා ඇති දුර ප්‍රමාණය සමහරවිට කිලෝමීටර දහස් ගණනකි.  ඒවා කොතරම් අසීරු අමාරු කිලෝමීටරද! එහෙත් ගුවන් විදුලි සංඥා ශිල්පියෝ! ඔවුනට පින්සිදු වන්නට කැකිරි දුපතේ ස්ත්‍රියක් අභිනව රට වැසියෙකු ප්‍රසුත කිරීමේදී ඇතිවූ ප්‍රසව වේදනාව උහුලා ගත නොහී,කෑගසන බව මුළු මහත් ආක්ටික් ප්‍රදේශයම දැන ගන්නා ලදී.  එම දරු ප්‍රසුතයේ ප්‍රතිඵල දැන ගැනීමට මුළු මහත් ආක්ටික් ප්‍රදේශයේම වසන්නෝ හුස්ම නොගෙන බලා උන්හ.  නෝඩ්වික් ආකාරවල සැර පරුස, බිය සැක නැති ආකර කරුවෝද, චෙල්යුස්කින්හි විද්‍යාඥයෝ ද,  ඩික්සන්හි ගුවන් විදුලි සංඥා ශිල්පියෝද ,    ටික්සි වරාය ඉදිකරන්නෝද, බේලි දුපතේ හිම කාලය ගත කරන්නෝද, ප්‍රසව වේදනාවෙන් පෙළෙන්නියගේ ඇඳ ලඟටවී හැරෙන්නේවත් පෙරළෙන්නේවත් නැතිව බලා සිටියෝය.  අලුත උපත ලබන බිළිඳාගේ ප්‍රථම දැඩි කෑගැසීම අසා ඔහු වෙත පීතෘ සෙනෙහසින් මඳ සිනා පා සුබ පැතීමට බලා සිට්යෝය.

"ඉතින් ඇයට කොහොමද? ඇගේ තත්ත්වය කොහොමද?  ආක්ටික් සාගර වාසීහු උදේ, දවල්, රෑ විමසුහ.
එහෙත් ස්ත්‍රිය කෑගසයි.  ඇගේ සුසුම් ලෑම මුළු මහත් ආක්ටික් ප්‍රදේශයටම ඇසෙන්නාක් මෙනි.   ඇගේ ස්වාමි පුරුෂයා, අනික් හැම පුරුෂයන්ම එවැනි අවස්ථා වලදී හැසිරෙන පරිදි ඇගේ ඇඳ අසලටවී හඬන්නට විය.   දොස්තර කිසිවක් කර කියාගත නොහී, කලබල වී ස්නායු දුර්වලත්වයෙන් පෙළුණේය.  අනේ පව්, දුප්පතා. ඔහු ප්‍රසව විද්‍යාව නොදත්තෙකි.  ඇරත් මෙය අති විශේෂ අවස්ථාවක් විය.  එනම් නූපන් බිලිඳා ගර්භාෂය තුල හරහට සිටීමය. 

එදින කැකිරි දුපතේ සිට ධ්‍රැව සාගරයේ සියලු දුපත් හා පෙදෙස් වලට මෙවන් ගුවන් විදුලි පණිවිඩයක් ලැබිණි.
"බේරා ගන්න! බේරා ගන්න! කළ හැකි හැම දෙයක්ම කරන්න (නැවතීමේ ලකුණ) අම්මාත්(කොමාව) බිලිඳාත් බේරාගැනීම සඳහා හැම දෙයක්ම කරන්න" ප්‍රසව වේදනාවෙන් පෙළෙන්නියගේ පුරුෂයා ඉල්ලා සිටියේය. 

කළ හැක්කේ මොනවාද? විදුලි පණිවුඩය භාරගත් සංඥා ශිල්පියාගේ මුහුණ වේදනාව නිසා හැකිලිණි.  ඔහු ශ්‍රවණ පෙති පසෙක තබා ප්‍රධානියා වෙත ගියේය.  කළ හැක්කේ මොනවාද? ස්ත්‍රිය, එපමණක්ද බිලිඳා...
ප්‍රධානියා සහ පක්ෂ සංවිධායකයා කල්පනා කරන්නට වුහ.  එම සිඟිති දුපතට යාමට අහස් යානා නැතිය.  ගුවන් තොටුපොළෙහි එකද ගුවන් යානාවක්වත් නැත.  ශීත කාලය රජකරයි.  උත්තර ධ්‍රැවයේ මහා රාත්‍රිය ආරම්භ වී ඇත.  මෙවැනි කාල ගුණයකදී අහස් යානාවකින් පියාසර කළ හැකිද? පක්ෂ සංවිධානයේ ලේකම් වරයා බැම රැළි නංවාගෙනය රෝහලේ දොස්තර හමුවීමට ගියේ.

දොස්තරගේ නම සෙර්ගේයි මත්වේයිව්ය. ඔහු ගැන කිව හැක්කේ මොනවාද? ඔහු සාමාන්‍ය දොස්තර වරයෙකි.  කිසිවක් නිසා මවිතයට පත් නොවන්නන් ගෙන් එකෙකි ඔහු. හේ කිසිවක් ගැන දුක් නොවන්නෙකි.  බිය නොවන්නෙකි.  සෙර්ගේයි මත්වේයිව්ගේ බාහිර පෙනුමද ඉතාමත්ම සාමාන්‍ය යැයි කිව හැකිය.  ඔහුගේ උදරය විශාල නොවේ. අත් විශාලය.  රත් පැහැතිය.  ඔහු රෝගීන් කපන සැබෑ ශල්‍ය වෛද්‍ය වරයෙකි.  ඔහුගේ කටහඬ බැරෑඬිය.  දයාන්විතය, හිසෙහි තට්ටයද යහගුණයක් පෙන්වාලයි.  හිසකේ රොද අතරින් පතර වැඩී ඇත.  ඔහුගේ අත්වලින්ද,සිරුරෙන් සහ ඇඳුම් වලින්ද රෝහල් ගඳ නමින් හැඳින්වෙන කාබොලික් සහ අනිකුත් බෙහෙත් සුවඳ වහනය වෙයි. එක් වචනයකින් කිවහොත් ඔහු දොස්තර වරයෙකුගේ විශේෂ බාහිර පෙනුමෙකින් යුක්තය.  මේ හේතුව නිසා නැංගුරම් වල සටහන් සහිත පිත්තල බොත්තම් ඇති නාවික ඇඳුමින් සෙර්ගේයි මත්වේයිව් සැරසී සිටින විට, කෙනෙක් ඉබේටම මෙසේ සිතනු ඇත.  " ඔහු දොස්තර ලෝගුව ඇඟලා නැත්තේ මන්ද?

මේ දොස්තරට එක් අසාමාන්‍ය ගතියක් තිබිණි.  ආක්ටික් ප්‍රදේශයේ දොස්තර වරයෙකුගේ ලක්ෂණ රහිත ඔහු බොහෝසෙයින්ම සාමාන්‍ය වීමය.  කෙසේ වුවද ඔහු ආක්ටික් ප්‍රදේශයේ දොස්තර වරයෙකි.  එවැන්නෙකුට චමත්කාර ජනකත්වයක්තිබිය යුතුය. සිතියම් දෙස බලන්න.  ධ්‍රැව ප්‍රදේශය ගවේෂණය කරන්නන්ගේ නම් අතර සම්භාවනීය දොස්තර වරුන්ගේ නම්ද ඒ සිතියම ඔබට පෙන්වයි.  දොස්තර ස්තාරොකදොම්ස්කිගේ දුපත, දොස්තර ඉමාචෙන්කෝගේ තුඩුව, දික්සන් දුපතෙහි ඔබට උත්තර ප්‍රදේශයේ චාම් වීරයෙකු වන ඇපෝතිකරි  ව්ලදිමිරොව්ගේ සොහොන පෙන්වනු ඇත.  අළු පැහැති ලීයෙන් කළ ඒ සොහොන් කොතට ඔබ හිස නමා ආචාර කරනු ඇත්තේ ගෞරවයෙනි.  ව්රාන්ගල්ගේ දුපතට ඔබ ගියහොත් කරන ප්‍රථම දෙය වනුයේ, ආක්ටික් ප්‍රදේශයට පැමිණි ජනතා සතුරන්ට විරුද්ධව සටන්කොට නිර්භය ලෙස ජීවිත පූජා කළ වීරයෙකු වන දොස්තර වොල්ප්සොන්ගේ සොහොන සෙවීමය.

එහෙත් කෙනෙකුගේ සිත අමනාප විය හැකි තරමටම සෙර්ගේයි මත්වේයිව් තුළ චමත්කාරජනක කිසිවක්ම නොවීය.  ඔහු නිකම්මැ නිකම් සාමාන්‍ය දොස්තරෙකි. අයිස් කඳුවලට, මුහුදු කුණාටු වලට,වැනෙන නැව් ඩෙක් තට්ටුවට, සාගරයේ කරදිය සුවඳට, ටින් කෑම සලාකයට පුරුදුවූ නාවික වීර දොස්තර කෙනෙක් නොවේ.  ඔහු එසේ වතුදු ඔහු සමහර විට, පරීක්ෂණ පවත්වන දොස්තරෙකු නැත්නම් දොස්තර විද්‍යාඥයෙකු වුයේද?

මෑතක සිට ආක්ටික් ප්‍රදේශයට වෛද්‍ය විද්‍යාඥයෝ ඉතා කැමැත්තෙන් යති.   ඔවුහු වූකලී ජෛව විද්‍යාඥයෝය, සත්ව විද්‍යාඥයෝය, අල්ප වශයෙන් පැළෑටි විද්‍යාඥයෝය.   ඔවුහු විවිධ බෙල්ලන් වර්ග, කුතුහලය දනවන උභයජීවීන්, උරගයින් එකතු කොටැ ඒවා ස්ප්‍රීතුවල බහා ඒ තිලිණ මවු බිමට ගෙනයති.  අන් සමහරු අල්ලක් තරම් කුඩා, කුරු විලෝගස් මුල් සහ 'කිරීට' සමග කඩදාසි කොළවල අලවති.  වෙනත් අය ආක්ටික් තත්ත්වයන් යටතේ සෑදෙන ලෙඩ රෝග හදාරති.  මිනිසුන්ගේ හැසිරීම, මනෝ ච්කිත්සාව, බෝවන රෝග සෑදීමේ ඉඩකඩ, මිනිසා මත ධ්‍රැව මහා රාත්‍රිය සහ ධ්‍රැව මහා දිවා කාලය බලපාන සැටි ආදිය උගනිති.

එහෙත් සෙර්ගේයි මත්වේයිව් බෙල්ලන් ස්ප්‍රීතු වල දැමීම හෝ ශාක වර්ග වේලීම හෝ නොකළේය.  " ව්‍යවහාරික වෛද්‍ය සේවයේදී ඇතිවූ කුතුහලය සහිත සාධක" ලිවීමේ දිනපොතක්ද පවා ඔහු නොතැබීය. එසේවතුදු ඔහු යම් යම් දේ පිරික්සා බැලීමට ඉදිරිපත් වුණද, වෙලාව...ඔව්. කාල වෙලාවක් නොතිබිණි.  රෝගීහු, වැඩ කටයුතු, රෝහල, සදාකාලික හිමෙන් වැසී ඇති මේ ප්‍රදේශයේ වාසය කිරීමේදී ඔහු නව දේ සොයා ගැනීමෙන් විද්‍යාව පොහොසත් නොකරන බව නම් පැහැදිලිවම පෙනෙන්ට තිබිණි.  

ධ්‍රැව ප්‍රදේශයේ වැඩ කිරීමේදී විශේෂ පැහැදිලි තාවයකින් විද්‍යාවට සේවය කිරීමට ඉදිරිපත් වන විදිහේ කෙනෙක් ලෙස ගැනෙන චුම්බක විද්‍යා ශිල්පී තරුණ මදෝරව්, නැවේ ගමන් කරද්දීම දොස්තර වෙත පැමිණ සතුටු සිතින් මඳ සිනා පාමින්,ඔහු අමතා මෙසේ පැවසීය.

"ඔබව තේරුම් ගැනීමට මට පුළුවනි.  සදාකාලික හිමෙන් වැසී ඇති පෙදෙසේ වැඩ කිරීමට යන අප දෙස ඔබ බලන හැටි මට තේරුම් ගත හැකියි.  ඔබ අප දිහා බලන්නේ හාවුන් දෙස බලන හැටියට නොවැ.  ඔබ අපව පිරික්සුමට භාජනය කරනව. එහෙම නේද?  වැඩ මුරයට ඉස්සෙල්ලාත්, පසුවත් අපේ නාඩි බලනවා.  ධ්‍රැවගත මහා රාත්‍රියේදීත් ඉන් පසුවත් අපේ හෘද වස්තු පරීක්ෂා කරලා බලනවා.  ඔන්න ඉන්පසුව සත්තකින්ම විද්‍යා කෘතියක් ලියනව නේද? එහෙම නොවේද? ඇත්තටම එහෙම නේද? දොස්තර මහතාණෙනි, ඔබේ හාවකු ලෙස සේවය කිරීමට මා සතුටුයි. 

සෙර්ගේයි මත්වේයිව් ඔහු දෙස බිය මුසු ලෙස බලා තරමක නොසන්සුන් කමක් සහිත ලැජ්ජාවට පත්වී, කිසියම් දෙයක් ලුණු ඇඹුල් සහිතව විස්තර කරන්ට වුයේ, අස්ථිර ලෙස ඇඟිලි දෙකකින් අසුරුසන් ගසමිනි.  එතැන් සිට මදෝරව් සහ අනිකුත් හාවෝ සෙර්ගේයි මත්වේයිව් දොස්තර තැනගේ විද්‍යාත්මක කෘති අරභයා විස්තර විමසීමට ඉදිරිපත් නොවුහ.  ඔහු මෙහි පැමිණියේ එකම එක අරමුණක් අනුව බව පෙනෙන්ට තිබිණි.  එනම් රෝගීන් සුවකිරීමටය.  දරු ප්‍රසුත වලදී සහාය වීමටය, රෝගී දත් ගලවා දැමීමටය,ඇපැන්ඩිසයිටිස් නැමැති රෝගය ඇතිවූ විට උණ්ඩුක පුච්ඡය කපා දැමීමටය.  

මේ සියලු දේ සඳහා ඔහුට රෝහලක් අවශ්‍ය විය.  මන්දයත්, රෝහලක් නැති දොස්තර " අනේ මහත්තයෝ ඒක හරියට නැවක් නැති කොලොම්බස් කෙනෙකුට සමාන බැවිනි" එපමණක් නොව ඔහුට අවශ්‍ය වුයේ ආවාට ගියාට නිකම් රෝහලක් නොවේ.  ඉතා හොඳ වර්ගයේ රෝහලකි.  මෙය ආක්ටික් ප්‍රදේශය වුනත් නැතත්, මිනිහෙකුට රෝගයක් සැදුනහොත් එයට නියම ලෙස ප්‍රතිකාර කළ යුතු බැවිනි.  පාරුවල සිට ගොඩබාන ලද පෙට්ටි ඔහු ඔහුගේම කරෙන් ගෙනගියේද මේ හේතුව නිසාය.  කිසිවෙක් ඔහුට ආධාර පිණිස ඉදිරිපත් වුවොත් ඔහු රෝහලට අවශ්‍ය උපකරණ සහිත පෙට්ටි කරින් ගෙනයන්නාට සැරවී, කෑගසනු ඇත.

"පරිස්සමින්,පරිස්සමින්! බිඳින්ට එපා!"

කිසියම් උපකරණ වලට අවශ්‍ය ලී ඔහුම යතුගා කපා පිළියෙල කැරැ ගත්තේය.  වඩු රාළලා අසලටවී ඔහු ඔවුන් දිරිගැන්වීය.  රෝහල් බිත්තිවලට සුදු තීන්ත ගෑවේද ඔහුය.  රෝහල් බිම ලිනෝලියම් කවරවලින් වසා පිළියෙල කලේද ඔහු විසිනි.  වැඩ බහුල විය.  මිනිසුන් අල්ප විය.  ගුවන් විදුලි මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා එක් කොටසක පිපිරැවීම් ඇති කරන ලදී.   බිම අඟුරු පතලක් කණින ලදී.  එය ආක්ටික් ප්‍රදේශයට ඵෙතිහාසික වූ එක්දහස් නවසිය තිස්හතර විය.   ඩයබාස් කඳු වැටි මධ්‍යයේ සදාකාලික අයිස්වලින් පිරී ඇති මහා සාගරයේ හිම කතර බඳු වෙරළෙහි ගොඩනැගිලි, වරාය,වැඩ ශාලා සහ පතල් සෑදුවේ එම වසරේදීය.

රෝහලක් ද ඉදිකරනු ලැබීය.  එය ඇඳන් පහක් සහිත කුඩා රෝහලකි.   එසේවුවද එය සම්පූර්ණයෙන්ම සෑහිනි.  නියම රෝහල්වල තිබෙන හැම දෙයක්ම මේ රෝහලෙහිද ඇත.  සෙර්ගේයි මත්වේවිව් දොස්තර තැනගේ හිසකේ පැසුණේත්, ඔහුගේ හිසකේ වැටී තට්ටය පෑදුණේත් ඔහුගේ සිරුරට අයඩින් හා කාබොලික් සුවඳ කැවුණේත් මෙවැනි නියම රෝහල්වල ඔහු වැඩකළ බැවිනි.  රෝහල් බිත්ති දිලිසෙන්නට විය.  නිකල්වන් උපකරණ මත කණ්නාඩි අල්මාරියේ තිබෙන ලේබල සහිත වීදුරු උපකරණ හා භාජන මත වැටෙන හිරු රැස් නටන්නට විය.  පවිත්‍රය,නිහඬතාවය රජකළේය.  කාබලික් බෙහෙත්වල සුවඳ පැතිරිණි.  රෝගියෝ පැමිණියෝය.  වැඩියෙන්ම ආවේ කාන්තාවන්ය.  ඈත පිහිටි ධීවර ජනවසම් වලැ සිට, බල්ලන් විසින් ඇදගෙන යනු ලබන හිම යානා වලින් ගැබිණි මවුවරුන් මෙහි පැමිණියේ දරු ප්‍රසුතයට  නියමිත කාලයට වඩා මාසයකට හෝ දෙකකට කලිනි.    පුරුෂයින් මෙහි ආවේ හර්නියා අණ්ඩවාතයට, ඇපැන්ඩිසයිටිස් රෝගයට, ඉතා දැඩි හිමට අසුවී ඇඟිලි දරදඬු වූ විට, කැඩුම් බිඳුම් ඇතිවූ විට සහ දත්වලට ප්‍රතිකාර ගැනීම සඳහාය.  දොස්තර දත්වලට ප්‍රතිකාර කළා පමණක් නොව දත් පිරවීමද පවා කළේය.  තම මවුබිමේදී දත්වලට ප්‍රතිකාර නොකළ බොහෝ දෙනෙක් සෙර්ගේයි මත්වේයිව්ගෙන් ප්‍රතිකාර ලබාගත්හ.  එහෙත් ඔහු තම රෝගීන්ට නිතරම පාහේ මෙසේ පැවසීය. 

"අනේ බාතෙන්කා,මේ දිරාපත් වෙච්ච දත තමුසෙට මොකටද? අපි ඒකට වැඩක් දෙමු."

දත් ගළවා දැමීමට පෙර මිනිහෙකුට ඔහු ස්ප්‍රීතු ග්‍රෑම් තිහක් දුන්නේ රෝගියාගේ ධෛර්යය වැඩීමටය. එය සම්ප්‍රදායක් බවට පත්විය.  රෝගීන් පසුව තමා රවටන හැටි සෙර්ගේයි මත්වේයිව් දැනගත්තේය.  මත්පැන් ටික බොන ඔවුහු දත ගළවා දැමීමට ඉඩ නොදෙති.  " අනේ දොස්තර මහත්තයෝ දත කැක්කුම නතරවෙලා. අපි අනික් පාර එය ගළවා දමමු" යි ඔවුහු කියුවෝය.  එදා සිට ඔහු රෝගීන්ට ස්ප්‍රීතු දුන්නේ දත ගැලවීමෙන් ඉක්බිතිවය.  

 වෘත්තියෙන් ශල්‍ය වෛද්‍යවරයෙකුවූ ඔහු නිතර ශල්‍ය කර්මයට ප්‍රධාන තැනක් දුන්නේය.  කිසිවෙකු කපා දැමීමට අවස්ථාවක් ලැබුණොත් ඔහු ප්‍රබෝධයට පත්වන බව හිම වාඩියේ මිනිසුන් කියමින් සිනාසුනේ මේ නිසා විය යුතුය. 

" ඔන්න බාතෙන්කා අපි මෙතැන පොඩ්ඩක් කපල දාමු, ඔන්න ඔහොම! ඉතින්  කපල ඉවරයි.ලෙඩෙත් සනීපයි.

අභ්‍යන්තරික චිකිත්සක රෝග ඔහු බැලුවේ සැක සිතිනි.  

" ඔය චිකිත්සක වෙදකම,නොකැරෙන වෙදකමට කෝඳුරු තෙල් හොයනවා වගේ වැඩක්. බාතෙන්කා ඔය ලෙඩේ තේරුම කුමක්ද? තේරුමක් නැති ලෙඩ!" මෙසේ කියා ඔහු රෝගියා සනසාලයි.  "ඔය රෝගය සුවකිරීම එහෙම පිටින්ම ස්වභාව ධර්මයට බාර දෙන්න.  සොබාදහම අප ඔක්කොටොම වැඩිය බුද්ධිමත් ....ඉබේටම හොඳවේවි.  මෙහෙ දේශගුණය බොහොම අපුරුයි....බොහොම සනීපදායක දේශගුණයක් ඔව්!"
දහවල් ආහාරය ගන්නා විට, යම්කිසිවෙක් දිනපතාම පාහේ දොස්තර අමතා මහ හඬින් ප්‍රශ්න කිරීම සිරිතක් බවට පත්වී තිබිණි. 

" දොස්තර මහත්තයො, මට නිකම් හිසේ ඇම්මක් වගෙයි, මොකද කියන්නෙ ඒක ඉබේටම ඇරිලා යාවිද?"

"ඇරිලා යාවි,බාතෙන්කා,ඇරිලා යාවි" දොස්තර පිළිතුරු දුන්නේ දැඩි විශ්වාසයකිනි.

අපේ සාමාන්‍ය දොස්තරකු වන සෙර්ගේයි මත්වේයිව් එවැනි කෙනෙක් විය.  ඔහු ගැන බලා තේරුම් ගත නොහැකි යම් කිසිවක් තිබුණේ නම්,එය අන් කිසිවක් නොව ඔහු ආක්ටික් ප්‍රදේශයට ආවේ මන්ද? යන්නය.
ඇත්ත වශයෙන් නම්, ඔහු ආක්ටික් පෙදෙස දුටුවේ නැත. රෝහල, එකට වාඩිවී ආහාර ගැනීම, මෙහි නැවතී සිටින්නන්ගේ ගෙවල්වලට යෑම, රෝහල....දඩයම් සඳහා යාමට සුදානම් වුවද දඩයමට නොගියේය. ධීවරයින්ගේ ජනවසම් වලට යාමට ආශා කලද, රෝහලේ තමා වෙනුවට කිසිවකු නැවත්වීමට නොහැකිවීම නිසා එයද ඉටු නොවීය.  දරු ප්‍රසුත වලදී සෙර්ගේයි මත්වේයිව්ට වෙදකම් කිරීමට සිදුවූ බැවින් (ආක්ටික් ප්‍රදේශයේ බොහෝ ස්ත්‍රීහු දරුවන් ප්‍රසුත කළහ) ධීවර ජනවසම් වලට ගියේ ඇපොතිකරි තැනය.  එක් වරක් ශරත් සමයේදී දොස්තර තැන තරුණ ධීවරයින් සමග එකතුව බෙලුහා නැමැති මුහුදු සත්ව වර්ගය ඇල්ලීමට ගියේය.  ඔහු එහිදී සියලු ධීවරයන්ට බාධා කළා පමණක් නොව, තව පොඩ්ඩෙන් මාළු දැල පවා මුහුදට අතහරිනු ඇත.  තෙත බරියන් වුවද, ඉමහත් සතුටකින් ඔහු වෙරළට ආවේය.  අනතුරුව ඔහු සියලු දුපත්වාසීන් පිරිවරා ගෙන බෙලුහාව දොස්තර පිහියෙන් කපන්නට වුයේය.( බෙලුහාට ඇපැන්ඩිසයිටිස් තියෙනවාද කියා බලනවා යැයි තරුණයෝ සිනාසුනහ) සුපුරුදු අතින් ඔහු සතාගේ පපුව හා බඩ පලා අභ්‍යන්තරික ඉන්ද්‍රියයන් ගෙනැ පෙන්වමින් මෙසේ පැවසීය.  මේවා හැම දෙයක්ම මිනිහාගේ අභ්‍යන්තරික ඉන්ද්‍රියයන් වගේමයි."
එක් දවසක හවස් කාලයේදී, කෝපි පානයෙන් ඉක්බිතිව, භෝජනාගාරයේ උණුසුමක් සහ පහසුවක් පවතින විටෙක, චුම්බක විද්‍යා ශිල්පී මදෝරව් දොස්තර ලඟට වී මෙසේ ඇසීය.

" සෙර්ගේයි මත්වේයිව්,ඔබ අමනාප වෙන්න එපා. ඔබ ආක්ටික් වලට ආවෙ මොකටද? 

සෙර්ගේයි මත්වේයිව් තරමක ලැජ්ජාවකට පත්වී දෑත් වැනීය. 

" බාතෙන්කා,ඔබට ඒ ගැන කියන්නේ කොහොමද. හැම තැනම කියන්ට පටන් ගත්තා,ආක්ටික්,ආක්ටික් කියලා... ඉතින් මාත් කල්පනා කළා මෙහි එන්ට ඕනෑ කියලා.  මම මහලු නැහැ. ඔබ සිතන්නේ කොහොමද? දොස්තර තැන තරුණයෙකු සේ උඩුරැවුල කරකැවිය." ඔන්න ඊට පස්සේ,උතුරුකරේ ඉඳල දොස්තර කෙනෙක් අපේ රෝහලට ආවා.  බොහොම ප්‍රබෝධමත් වෙලා. ඔහු කියනවා ක්ෂේත්‍රය බොහොම ලොකුයි,බොහොම වැදගත් අවස්ථාවන්...ඉතින් මාත් එහි ගියාම මොකද වෙන්නේ? මම යුද්ධ හමුදාවට බැඳිලා යුද පෙරමුණටත් ගියා.  ඔව් හැම දෙයක්ම සිදුවුනා...ඉතින් ඊට පස්සෙ..." දොස්තර තම අවංක සුනිල්වන් නුවන්, තරුණයා දෙස එල්ල කොටැ මෙසේද පැවසීය. " ඉතින් මෙහි පඩි ගෙවීමත් ඉතාම හොඳයි නොවැ.  මම මෙහි අවුරුදු දෙකක් වැඩ කරනවා.  එතකොට බාතෙන්කා, එය සෑහෙන ප්‍රාග්ධනයක්.  මොස්කව් නගරය අසලින් පුංචි ගෙයක් සල්ලිවලට ගැනීමටයි මගේ කල්පනාව.  දන්නවද, පොඩි ගෙවත්තක්... එල්ලෙන ලණු ඇඳක්...මල්පාත්ති, නස්තුර්සිය මල්වලට මම බොහොම කැමතියි.  ජනෙල් පඩිය උඩ වයලට් මල් පාත්තියක් තියෙනව නම් හරි අගෙයි. "

එම සාකච්ඡාවෙන් ඉක්බිතිව දොස්තර තැන වඩාත් පාළු ගතියක් ඇති කැරවෙන අවිශිෂ්ට මිනිසෙකු ලෙස පෙනිණි. 

එහෙත් ඔහු සාමාන්‍ය සහ අවිශිෂ්ට කෙනෙකු වුවද, ඔහුගේ සැටි එසේ විය. ඔහුගේ අත් රත් පැහැතිය,විශාලය,දොස්තර ලෝගුවට යටින් ඇති බඩගෙඩිය මඳක් නැඹුලුය.  ඔහු වෙතින් කාර්බොලික් සහ අයඩින් සුවඳ වහනය විය.  කැකිරි දුපතෙහි ප්‍රසව වේදනාවෙන් පසුවන ස්ත්‍රියට ආධාර කළ හැකි පුද්ගලයා ඔහු පමණක් වුයේ, ඔහුට එය කෙසේ කළ හැකිද යන්න අරබයා වූ අපැහැදිලි තාවයද පවා නොතකමිනි.
ධ්‍රැව සාගර ජනවසමේ පක්ෂ සංවිධායක, වාස්යා මාමා දොස්තර හමුවීමට රෝහලට ඇවිත්, ඔහුගේ කාර්යාල කාමරයට වැදුණේය. 

වෙහෙසට පත් දෙනෙතින් දොස්තර දෙස බලා ඔහු මෙසේ පැවසීය. " උදව් වෙන්ට ඕනෑ" 

එහෙම කොහොමද බාතෙන්කා!" සෙර්ගේයි මත්වේයිව් දොස්තර තැන මවිතය ප්‍රකාශ කළේය.  " ඔබ කියන්නේ උදවු කරන්ට ඕනයි කියලද? එහෙමනම් ඔහේගෙ රෝගියාව මෙහාට ගේන්න.  කරුණාකරලා ගේන්න, සමාවන්න, අවකාශයේ පවතින දරු ප්‍රසුතයකට ආධාර දීමට මට පුළුවන්කමක් නෑ නොවැ.

" ඒ උනත් දොස්තර, ඔබ උදව් කළ යුතුයි."

" මේක මහා පුදුමයක්,ඇත්තටම!" දොස්තර තැන දසන් පෙන්වා සිනාසී දෑත් විදහා පෑවේය.  "ස්ත්‍රියගේ ඇඳ ලඟට මගේ අත යැවිය හැකි,කිලෝමීටර දහසක් දිගැති යාන්ත්‍රික අතක් දෙන්න.  බාතෙන්කා,මට දෙන්නකො දුර දක්න ඇස් දෙකක්. ආ...ආ... කිලෝමීටර් දාහක් දුර බලන්න පුළුවන් ඇස් දෙකක් "

" දොස්තර මහතාණෙනි, අපි ඔබට එවැනි ඇස් දෙකක් සහ අත් දෙකක් ලබා දෙන්නම්."

" මට ඔබව තේරුම් ගන්න බෑ බාතෙන්කා, මොන අත්ද? මොන ඇස්ද? 

" රේඩියෝව, අම්මාගේ සහ ඇගේ කුසෙහි ඉන්න බිළිඳාගේ තත්ත්වය ගැන ඔබට රේඩියෝව මගින් වාර්තා කරාවි.  ඔබ දිය යුතු වෛද්‍යාධාරය ගැන කියන්න.

අන්දමන්ද වූ දොස්තර තැන බොහෝ වෙලාවක් නිහඬව සිට පක්ෂ සංවිධායකයා දෙස බැලීය.

" ඔය යෝජනාව...ඇත්තටම බැරෑරුම් එකක්ද? දොස්තර තම නිහඬතාවය බින්දේය.

"සම්පූර්ණයෙන්ම බැරෑරුම්, වෙනත් ක්‍රමයක් නැහැ."

සෙර්ගේයි මත්වේයිව් දොස්තර තැන නැගිට දොස්තර ලෝගුව ඇඟ ලා ගෙනැ තීරණාත්මක ලෙස දොර දෙසට පා තැබීය.

" අපි ලෙඩා ලඟට යමු" ඔහු මෙසේ පැවසුවද අනතුරුව නැවතුණේය.   " මොකටද මේ ලෝගුව? කොහොම වුනත් මේ ලෝකේ මේවා මහා පුදුම දේවල්.ඇහැට නොපෙනෙන ගෑනු එක්කෙනෙකුගේ දරු ප්‍රසුතයට වෙදකම් කිරීම.  මගේ සගයින් දැන ගත්තම කොහොම මවිත වේවිද? කොහොම වුනත් අපි යමු.

කැකිරි දුපත සමග ගුවන් විදුලි සංඥා පණිවුඩ සබඳකම් පටන් ගැනිණි.  ගුවන් විදුලි සංඥා යවන්නා ධ්‍රැව ප්‍රදේශයේ අනිකුත් සියලු ස්ථාන වලට මෙවන් දැන්වීමක් නිකුත් කළේය. " කැකිරි දුපතේ දරු ප්‍රසුතය අවසන් වන තුරු ධ්‍රැව ප්‍රදේශයේ අනිකුත් සියලු ස්ථාන සමග පණිවුඩ හුවමාරු කැරැ ගැනීම තාවකාලිකව නවත්වනු ඇත."

හැම දෙයක්ම අප්‍රාණික වූ කලෙක මෙනි.  ගුවන් විදුලි සංඥා යන්ත්‍රද නිහඬ විය.  මුළු මහත් ආක්ටික් ප්‍රදේශයම ඉහළට අදින ලද හුස්ම පහළට පවා නොදමමින් ඈත කැකිරි දුපතේ දරු ප්‍රසුතය විමසන්නට විය.  සෙර්ගේයි මත්වේයිව් ගුවන් විදුලි උපකරණය වෙත පැමිණ " හොඳයි ඉතින්" කියමින් බඳ පටියෙහි දෑත් තබාගෙන පටන්ගත් නමුදු,  අන්දමන්ද විය෴
මතු සබැඳේ.....