Wednesday, October 31, 2018

ෆ්‍රාන්ස් කෆ්කා, රූප විපර්යාසය සහ ස්වරූප.


අද ලියන්නට සැරසෙන ෆ්‍රාන්ස් කෆ්කා ගේ රූප 'විපර්යාසය' නමැති කතාව මට මතක් වුණේ ටික දිනකට පෙර නැරඹු ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ 'ස්වරූප' නම් චිත්‍රපටය හේතුවෙනි.  එය ආචාර්ය ධර්මසේන පතිරාජයන් ගේ අවසන් චිත්‍රපටය ද වේ.  මුලින්ම කෆ්කාගේ රූප විපර්යාසය කතාව සිංහලයට පරිවර්තනය කළ කේ.ජී කරුණාතිලක සූරීන් කෆ්කා ගැන ලියා ඇති දේ කියැවීම ඔහු ගැන අදහසක් ඇති කරගන්නට වැදගත් බව සිතමි.

'කෆ්කා මේ ශත වර්ෂයේ පහළ වූ අතිශ්‍රේෂ්ඨ යුරෝපීය ලේඛකයන් සතර පස් දෙනාගෙන් කෙනෙකි.  බටහිර ලෝකයේ සමකාලීන සාහිත්‍යයෙහි ඔහු කේන්ද්‍ර ගතවී සිටින ලේඛකයෙකි.  එම නිසා ඔහුගේ කථා කලාව, ලෝක සාහිත්‍යය අධ්‍යයනය කරන ඡාත්‍රයා, අවශ්‍යයෙන්ම හදාළ යුතුය.  මේ කථා හත් අට වතාවක් හෝ දස දොළොස් වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් හෝ කියවමින්, අධ්‍යයනය කරමින්, බුද්ධිමත්ව තේරුම් ගැනීමට ඡාත්‍රයා වෑයම් කළ යුතුය. 

මෙහි එන මේ කථා මේ ග්‍රන්ථ මාලාවේ එන අනෙක් සාහිත්‍ය ධරයන් ගේ කථාවලට බොහෝ සෙයින් වෙනස්ය.  මේවා වරක් කියවා හුදු ප්‍රලාප යැයි ඉවත දැමීම නොකළ මනාය.  මනා අවධානයකින් යුතුව, පේළි අතරින් පවා නැගී එන අර්ථයන්ට සිහිය එළවමින්, බුද්ධිමත්ව හත් අට වරක් කියවීමේදී, මුලින් නුදුටු ගම්භීරාර්ථ මතු වන බව ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය.  වැඩි වැඩියෙන් කියවන තරමට විවිධාර්ථ වැඩි වැඩියෙන් මතු වී එයි.  අධිතාත්ත්වික වාදියකු හා භව සත්තා වාදියකු වන කෆ්කා, සිහිනයේ ආවේග බහුල වාතාවරණය ප්‍රතිනිර්මාණය කිරීමෙහි ලා අති දක්ෂය.  නූතන මිනිසා දුඃස්වප්න ලෝකයේ කෙතරම් අතරමං වී සිටීද යන්න මේ කතාවලින් හෙළිවෙයි.  හසු නොවන දෙවියන් වහන්සේ කෙනෙකු ගැන සොයමින්ද, අභ්‍යන්තර දෝෂවලින් හා හීන මාන සංකීර්ණතාවලින් පෙළෙමින් ද සිටින නුතන මිනිසා ගේ චිත්ත චෛතසික කෆ්කා ගේ කථාවල තේමා වෙයි.

මේ ශත වර්ෂයේ යුරෝපයේ පහළ වූ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ධරයන් හතර පස් දෙනා අතුරෙන්, ඉතාම ප්‍රහේලිකාත්මක වන්නාවූ ද ඉතාම ගූඨත්මක වන්නාවූ ද ඉතාම සංකීර්ණ වන්නාවූ ද විවිධ දෘෂ්ඨි කෝණයන් අනුව බැලුව විවිධාර්ථ කථනයන්ට සැම විට තුඩු දෙන හෙයිනුත් ගම්‍ය වන විවිධ තලයන් අනුව බැලුව විවිධාකාර තලයන් දෘශ්‍යමාන වන හෙයිනුත් වර්තමාන සාහිත්‍ය විචාරකයන් බොහෝසේ ආකූල ව්‍යාකූල කර අන්ද මන්ද කර වික්ෂිප්ත කර දමන්නාවූ ද ආගම දහම මගින් හෝ සර්ව බල ධාරී දෙවියන් වහන්සේ මගින් හෝ අන් කිසි නොදන්නා බල මහිමයක් මගින් හෝ කිසිම පිළිසරණක් නො ලැබ, අසරණව අනාථව හව්හරණක් නොමැතිව, තමා කළ පාප කර්මයක් නැති වුවද, තමා ගෙන් සිදුවූ දෝෂයක් නැති වුව ද, භංගාපේක්ෂාවෙන්, අනාගත නිරපේක්ෂකතාවෙන්, අනාරක්ෂිතතාවෙන්, විස්මයෙන් කුහුලින් දුකින් දොම්නසින් හා බියෙන් සන්තාපයෙන් කල් ගෙවන නූතන මිනිසා ගේ සිහින ලෝකය, එතෙක් නොවූ විරූ ආරකින් හා රටාවකින් ද ශෛලියකින් හා සන්දර්භයකින් ද අභූත හා අද්භූත සිද්ධිවලින් ද අචින්ත්‍ය හා කල්පිත මායා සහගත අවස්ථාවලින් ද භීෂණත්මක හා හාස්‍යාත්මක උත්පාදනවලින් ද මෙතෙක් නොකියූ විරූ උපමාවලින් හා රූපකවලින් ද අන්‍යාලාපවලින් හා විරෝධාභාසවලින් ද අන් කවර ලේඛකයකුට ද වඩා ගැඹුරින් හා සිත් සසල වන අයුරින් විවරණය කරන්නාවූ ද දුඃස්වප්න ලෝකයක ගිලී, යන එන මං නොදැන, අඳුරේ අත පත ගාන නියායෙන්, කරුණාවෙන් පිරුණු බලාපොරොත්තු තැබිය හැකි දෙවියන් වහන්සේ කෙනෙකු නිශ්ඵල හා නිරර්ථක අන්දමින් සොයමින් හීන මාන සංකීර්ණතාවලින් පෙළෙමින් සිටින අබල දුබල නූතන මිනිසා ස්වකීය තේමාව කොට ගත්තාවූ ද ගාම්භීර්යය නිසාම අනවබෝධයට හා සංශයට කෙනෙකු පත් කරන්නාවූ ද අධිතාත්ත්වික හා භව සත්තාවාදී මහා ලේඛකයා ෆ්‍රාන්ස් කෆ්කා ය.'

කේ. ජී කරුණාතිලක සූරීන් රූප විපර්යාසය හා වෙනත් කතා යනුවෙන් 1997 දී පළකළ පොතේ මුල්ම කෙටිකතාව වන්නේ කෆ්කා ගේ 'The Metamorphosis' හෙවත් රූප විපර්යාසය කතාවයි.  මේ කතාව මුද්‍රිත පිටු 58 ක් පුරා ලියැවෙන දිගු කෙටිකතාවක් බැවින් මුළු කතාවම මෙහි උපුටා දැක්වීමට අවකාශයක් නොමැත.  කෙසේ වුවද කතාව ඇරඹෙන්නේ මේ ආකාරයෙනි.

' ග්‍රිගෝර් සම්සා එක් උදෑසනක අසුබ සිහිනවලින් අවදි වුයේ, තමා දැවැන්ත කැරපොත්තෙකු බවට පත්වී සිටිනු දුටුවේය.  ඔහු සන්නාහයක් සේ දැඩි වූ පිටකටුව මත උඩුබැලිව වැතිර ගෙන සිටියේය.  හිස මඳක් එසවූ විට, ඔහුට කවාකාර කොටස්වලට බෙදුණු අර්ධ ගෝලාකාර වූ දුඹුරු වන් සිය උදරය දැකිය හැකි විය.  එය මතුපිට වූ ඇඳ ඇතිරිල්ල නිසියාකාරව නොතිබුණෙන් ඇඳෙන් මුළුමනින්ම ඇද වැටෙන්නට ළංවී තිබිණ.  ඔහුගේ දැවැන්ත ශරීරය හා සසඳන විට දුක් බර අන්දමින් සිහින්වූ කකුල් රාශිය ඔහුගේ දෙනෙත ඉදිරියෙහි අසරණව නලියමින් තිබිණ.'

මෙසේ ආරම්භ වන කතාව ඉදිරියට කියැවෙන්නේ ග්‍රිගෝර් සම්සාගේ පියාවූ හර්මන් සම්සා, මව වන මාර්තා සම්සා සහ සොහොයුරිය වන ග්‍රේටා සම්සා ත් නිවසේ මෙහෙකාරිය වන මේරිත් සිදුවූ දෙයින් භීතියට හා පශ්චාත්තාපයට පත්වී කළයුතු දෙයක් සිතා ගැනීමට නොහැකිව සිටින ආකාරය මුල් කරගෙනය.

ග්‍රිගෝර් සම්සා වෘත්තියෙන් සංචාරක වෙළෙන්දෙක් හෙවත් සේල්ස් රෙෆ් කෙනෙක් හැටියට කතාවේ කියැවෙයි.   පියා වන හර්මන් සම්සා නියමිත කාලයට කලින් විශ්‍රාම ලද හමුදා ලුතිනන් වරයෙකි.  මව මාර්තා සම්සා ගෘහිණියක් වන අතර සොහොයුරිය ග්‍රෙටී සිය සොයුරාගේ උදව්වෙන් සංගීත විද්‍යාලයට ඇතුල්වීමට බලාසිටින තරුණියකි.  ග්‍රිගෝර් සම්සාට වූ අකරතැබ්බය හේතුවෙන් මේ පවුලේ සියලුම බලාපොරොත්තු බිඳවැටේ.  රැකියාවට නොගිය ග්‍රිගෝර් සොයාගෙන ඔහුගේ ආයතනයේ ප්‍රධාන ලිපිකරු පැමිණෙන අතර කැරපොත්තෙකු වී සිටින ග්‍රිගෝර් දකින ඔහු භීතියට පත්ව පලා යයි.

පවුලේ වියදම සඳහා මුදල් සොයාගැනීමට නිවසේ කාමරයක් නවාතැන් කරුවන් තිදෙනෙකුට කුලියට දීමට මේ පවුලට සිදුවේ.  දිනක් ගෙදර අය හා නවාතැන් කරුවන් ඉදිරියේ ග්‍රෙටී වයලීන වාදනයක් කරද්දී සංගීතයට ප්‍රිය ග්‍රිගෝර් (කැරපොත්තා) කාමරයෙන් එළියට පැමිණ බලා සිටිනු දකින නවාතැන් කරුවන් භීතියට පත්වේ.

පවුලේ ආර්ථිකය බලාසිටියදී බිඳවැටීම හේතුවෙන් හර්මන් සම්සා බැංකු පණිවුඩ කරුවකු සේ රැකියාවක් සොයාගන්නා අතර මාර්තා කාන්තා යට ඇඳුම් මසා වෙළඳ පොළට දමා මුදලක් සොයාගනී. ග්‍රෙටී සංගීත විද්‍යාලයට ඇතුල්වීමේ සිහිනය අතහැර දමා වෙළඳ සේවිකාවක් ලෙස රැකියාව කරන්නට පටන් ගනී.  කෙසේ වුවද සිය සොහොයුරා වන කැරපොත්තා ගේ කෑම වේල දිනපතාම ග්‍රෙටී විසින් ඔහුගේ කාමරයේ තබන අතර කැරපොත්තා කා අවසන් කොට ඇති කෑම සොයා බලා ඔහු ප්‍රියකරන කෑම ලබා දීමට ග්‍රෙටී කටයුතු කරයි.

දිනක් සේවිකාව දකින්නේ කැරපොත්තා මියගොස් ඇති අන්දමයි.  ඇය කැරපොත්තා කුනුගොඩට දමන අතර හර්මන් සම්සා විසින් නවාතැන් කරුවන්ට ගෙදරින් ඉවත්වන ලෙස දැනුම් දෙයි.  ගෘහ සේවිකාවද පිටත් කර යවන ඔවුන් තිදෙනා ගෙදරින්ද ඉවත්වන බව දැනුම්දී වෙන පළාතකට යාමේ අදහසින් ගෙදරින් පිටත්වෙති.  ඒ වඩාත්ම ග්‍රෙටීට විවාහයකට සුදුසු තරුණයෙක් සොයාගැනීමේ අදහසිනි.

මෙම කතාවද ෆ්‍රාන්ස් කෆ්කාගේ වෙනත් කතා මෙන්ම අධි තාත්ත්වික වාදය මුල් කරගෙන ලියැවුණු කතාවක් ලෙස හැඳින්විය හැක.

ආචාර්ය ධර්මසේන පතිරාජ සිය අවසන් චිත්‍රපටය වන 'ස්වරූප' නිපදවන්නේ මේ කතාව ඇසුරෙනි.  බොහෝ දුරට කෆ්කාගේ මුල් කතාවට අනුරූපව චිත්‍රපටය ගලායයි.  ප්‍රධාන චරිතයන් හි  ග්‍රෙගරි සැම්සන්( තුසිත ලක්නාත්) හර්මන් සැම්සන්( ඩබ්ලිව්. ජයසිරි) මාර්තා සැම්සන්( නීටා ප්‍රනාන්දු) ග්‍රේටා( රීනි ද සිල්වා) ප්‍රධාන ලිපිකරු(ලක්ෂ්මන් මෙන්ඩිස්) මෙහෙකාරිය( නිලන්ති විජේසිංහ) රඟපාති.  චිත්‍රපටයට අනුව මෙහෙකාරිය කැරපොත්තා දැක රැකියාවෙන් ඉවත්වී යන් අතර ටික දිනෙකින් අලුත් මෙහෙකාරියක්( චමිලා පීරිස්) බඳවා ගානේ ලැබේ.  නවාතැන් කරුවන් ද කාමරය හැරයන්නේ කැරපොත්තා දැකීම හේතුවෙනි.  මියගොස් ඇති කැරපොත්තා දකින්නේ නව මෙහෙකාරියයි.  සැම්සන් පවුල කාරයකට නැග ගෙදරින් පිටත්ව යති.  කාරය අයිතිකරුවා වන්නේ ග්‍රේටා විවාහ වන්නට සිටින තරුණයා ය.  ඔවුන් කඳුකර පළාතකට යති.  චිත්‍රපටය අවසන් වන්නේ ග්‍රෙගරි සැම්සන් ගේ සොහොන් කොතේ දර්ශනයකිනි෴

( රූප විපර්යාසය, ෆ්‍රාන්ස් කෆ්කා.  පරිවර්තනය කේ.ජී කරුණාතිලක. ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම 1997)

4 comments:

  1. // මේ ශත වර්ෂයේ යුරෝපයේ පහළ වූ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය........අධිතාත්ත්වික හා භව සත්තාවාදී මහා ලේඛකයා ෆ්‍රාන්ස් කෆ්කා ය.'//
    ෆ්‍රාන්ස් කෆ්කා පිළිබඳව කේ. ජී කරුණාතිලක සූරීන් විසින් ලියා තිබෙන ඉහත දක්වා ඇති වචන දෙසියයක් පමණ ඇති තනි වාක්‍යයම සිත් ගන්නා සුලුය. මට 'The Metamorphosis' හෙවත් රූප විපර්යාසය පොත කියවීමට අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ වුවත් ඔබ උපුටා දක්වා අති කොටස නිසාම පොත කෙසේ හෝ සොයාගෙන කියවීමට සිතුනා.

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් නොකියවන එහෙත් කියවිය යුතු පොතක් හැටියට හඳුන්වන්න පුළුවනි.

      Delete