Sunday, August 4, 2019

විනිසුරුතුමනි.

අද ගෙනඑන්නේ ශ්‍රී ලංකාවේ ගද්‍ය සාහිත්‍යය පොත් ගණනාවකින් පොහොසත් කරන්නට සමත්වූ පෙරදිනෙක සදහටම අප අතහැර ගිය අධිනීතීඥ පී.ඇම් ජයතිලක මහතා ලියු විනිසුරුතුමනි නම් පොතෙන් කොටසකි.  මේ පොතට අමතරව මල් මාවත, බමරසර, හන්තානේ ගීතයක් වැනි රසාලිප්ත කෘතීන් කීපයක්ම ඔහු අතින් ලියැවී ඇත.

එහෙත් යුක්තිය සෑම විටම අධිකරණයකින් ඉටුවේද?

නුදුරු අතීතයේ සිද්ධියක් මගේ සිහියට නැගේ.  කුරුණෑගල නගරයට සැතපුම් තිහක් පමණ දුරින් පිහිටි මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා මා විශේෂයෙන් එහි කැඳවාගෙන යන ලදී.

එකල එම අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ගැන නොයෙකුත් කටකතා පැතිරී තිබිණ.  ඔහු සවස සුදු සරමකින් සැරසී සූදු තිප්පොළවල් සොයමින් යන්නේය!  තමාගේ රිය පසුකරගෙන වෙනත් රියකට යාමට ඉඩ නොදේ!  වේගයෙන් රිය පදවන්නවුන් එවේලේම පොලිස් ස්ථානය කරා ගෙන යාමට කටයුතු කරයි!  සෑම විටම රිවෝල්වරයක් තබාගෙන සිටී.

ඔහු ඉදිරියේ චූදිතයෝ බියෙන් තැතිගෙන සැලෙති!  නඩුවල පාර්ශවකරුවන් පමණක් නොව නීතීඥවරුද වැඩි කතා නොකරති!  ඔහු සිතූ මනාපයේ දඩ ගසයි!  ඔහුගෙන් සමාවක් ලබාගැනීම බෙහෙවින් අසීරුය!

මා රැගෙන යාමට එක් චුදිතයෙක් කාරයක් ගෙන ආවේය.  ඔහු ඇතුලු තවත් සිව් දෙනෙකුට තිබූ චෝදනාව වූයේ සුරාබදු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට තම රාජකාරිය ඉෂ්ට කිරීමට ඉඩ නොදීමය.

චුදිතයන් කී අන්දමට සුරාබදු පරීක්ෂකවරු බීමත්ව පැමිණ තරුණියකට හිරිහැර කිරීමට උත්සාහ ගත් අවස්ථාවේදී ඇගේ විලාප හඬට පැමිණි කීප දෙනෙකු සමග අරගලයක් ඇතිවී තිබේ.  චුදිතයන් ඒ ගැන පැමිණිල්ලක් කිරීමට පොලිස් ස්ථානය කරා ගියත්, ඔවුනට පෙර සුරාබදු පරීක්ෂකවරු පොලිස් ස්ථානයට ගොස් ඉඳුරාම වෙනස් සිද්ධියක් මවා පෙන්වා පැමිණිල්ලක් කළෝය.

එකී මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් වාඩිවී සිටි මම එතෙක් මා අසා තිබු කටකතා බොහොමයක් සත්‍ය බව පෙනිණ.

සෑම නීතීඥයෙක්ම පාහේ සැමවිටම කීයේ වචන දෙක තුනකි.

" වැරදිකාරයා ස්වාමීනි"

ඉන්පසු මහේස්ත්‍රාත්වරයා දඩය කියයි.

" පන්සීයයි"

" හත්සිය පණහයි...! අවුරුදු පහයි...බරපතල වැඩ ඇතුව..."

නීතීඥවරු නැගිටින පමාවෙන් වාඩිවෙති.  අධිකරණයේ කිසිවෙක්, ඇත්ත වශයෙන්ම, නඩුකාරයාත් භාෂා පරිවර්තක සහ වචන දෙක තුනක් බයාදුව තෙපලන නීතීඥවරුනුත් හැරෙන්නට, කතා කරනවා තබා ඇසිපිය හෙලුවේවත් නැතැයි මට සිතේ.  මඳ වේලාවකින්ම මට එම අධිකරණය කෙරෙහි මහත් කළකිරීමක් ඇතිවිය.

විනිසුරු අසුනෙහි මේ වැඩ සිටින්නේ කලක් අප මෙන්ම නීතීඥවරයෙකු ලෙස වැඩකළ පුද්ගලයෙක් නොවේද?  ඔහු ප්‍රථමයෙන්ම 'මහත්මයෙකු' ලෙස හැසිරිය යුතු නොවේද?  අනෙකුත් හැම දෙනම නිවටයන් ලෙස තබාගෙන, තමාගේ අණසක, සැරවැර, බලය, තේජස පෙන්වන්නට වෑයම් ගැනීම එවැන්නෙකුට කෙතරම් පහත්, කොතරම් නිහීන, කෙතරම් නිර්ලජ්ජිත ක්‍රියාවක්ද?

අධිකරණයේ ගෞරවය රැක ගැනීම එකකි.  ඔලුව ඉදිමුණු අඥානයෙකු මෙන් සැර වැර පෑම හාත්පසින්ම වෙනස් ක්‍රියාවකි.

මගේ නඩුවද අඬ ගැසින.

" වැරදි කාරයද...නිවැරදි කාරයද? "

" නිවැරදිකාරයා "

" යූ වෝන්ට් ටු ගෝ ටු ට්‍රයල් ( ඔබට නඩුව සම්පුර්ණයෙන් විභාග කිරීම අවශ්‍යද) ? "

ඒ විනිසුරු අසුනේ සිටි පුද්ගලයාගේ හඬය.  ඔහු හැඩිදැඩිය.  උපැස් යුවලක් පැළඳ ඇත.  නඩුව විභාග වෙනු දැකීමට මා කැමති බව මම කීවෙමි.  නොසැළකිල්ලෙන් නොව හැකි තාක් ගරුසරු ඇතිවය.

නඩු විභාගය ආරම්භවී මිනිත්තු තුන හතරක් යන විට අවසානය මට පැහැදිලි විය.

නඩුව මෙහෙයවුයේ පොලිසිය නොව මහේස්ත්‍රාත්වරයාය.  පොලිස් නිලධාරියාට මෙහෙයවීමට අමතක වූ තැන් මහේස්ත්‍රාත්වරයා ඇසීය.

හරස් ප්‍රශ්න වාරයේදී ඔහු මට ඉඩක් දුන්නේම නැත.  සාක්ෂිකරු දිය යුතු පිළිතුරු ඔහු දුන්නේය.

විත්තිය වෙනුවෙන් සාක්ෂි කැඳවීමට මා අදහස් කරන බව මම ගෞරව පූර්වකව දැනුම් දුන්නෙමි.

" වෙයා...වෙයාරාද විට්නසස්...( කෝ...කෝ සාක්ෂිකාරයො )? "  මහේස්ත්‍රාත්වරයා ගුගුලේය.

ඔහු ගෙරවුයේ මා හා වෛරයකින් මෙනි.

සාක්ෂිකාරියක හැර අන් සියලු දෙනාම අධිකරණ ශාලාවෙන් පිට සිට ආහ.  එක් තරුණියක් ආයේ අධිකරණ ශාලාව තුළ සිටය.

" මෙයා හිටියෙ ඇතුළෙද ?"

මහේස්ත්‍රාත්වරයාගේ ගෙරවීමට බියවූ තරුණිය මහත් භීතියකින් යුතුව ඒ බව පිළිගත්තාය.

" එහෙනන් කොහොමද සාක්කි දෙන්නෙ...? "  මහේස්ත්‍රාත්වරයා රකුසු වෙස් ගෙන මගේ ඇඟට කඩා පැන්නේය.

" එයා ඇතුලෙ හිටිය කියල නඩුපොතේ සටහන් කරලා..." මම ඉල්ලීමක් කිරීම ආරම්භ කළෙමි.

කුමන ඉල්ලීම්ද ? විනිසුරු අසුන දෙදරන්නාක් මෙන් හඬක් නැගිණ.

" යූ ආ ට්‍රයින් ටු ටීච් මී වට් ටු ඩු...( තමුසෙ හදන්නෙ මොනවද කරන්න ඕනෑ කියල මට උගන්නන්නද )...? නෑ...විත්තියෙ සාක්කි නෑ...ඔව්... දේශනයක් කරනවද? "

මා දන්නා හැම යටහත් වචනයක්ම යොදා ඉතා බැගෑපත්ව දේශනයට දිනයක් ඉල්ලීමි.  පිටි අල්ලෙන් මදුරුවෙකු එලවන්නාක් සේ ඔහු මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මගේ සේවාදායකයෝ වැරදිකරුවන් කරනු ලැබ දඬුවම් නියම කරන තෙක් රක්ෂිත බන්ධනාගාරයට නියම කරනු ලැබුහ.

මම චුදිතයන්ට ඇප ඉල්ලා සිටියෙමි.

ඇප දිය නොහැකි බව මහේස්ත්‍රාත්වරයා තරයේම කියා සිටියේය.  චුදිතයෝ බන්ධනාගාර නිලධාරීන්ට භාර කරනු ලැබුහ.

මම ශෝකයෙන් සහ කලකිරීමෙන් යුතුව අසුනෙහි ඇද වැටුනෙමි.  මගේ අදක්ෂතාවක් නිසා ඔවුන් වැරදිකරුවන් වී නම් මම දුක් නොවෙමි.  සාධාරණ විභාගයකින් පසුව ඔවුන් වැරදිකරුවන් වී නම් මම සතුටුවෙමි.  අඩුම වශයෙන් ඔවුනට ඇප දුන්නේ නම් ! එහෙත් කුමන නීතියක්ද? කුමන යුක්තියක්ද?

අධිකරණයේ වැඩ කටයුතු සියල්ල අවසාන වනතෙක් මම එලෙසම වාඩිගෙන සිටියෙමි.  මම කෙසේනම් මගේ චුදිතයන් තනිකොට යන්නෙම්ද?

අධිකරණයේ වැඩ කටයුතු අවසාන වූ බව මට දැනුණේ සිහිනෙන් මෙනි.  නීතීඥවරු එකිනෙකා අධිකරණයෙන් පිටවී ගියහ.

එහෙත් එකම නීතීඥවරයෙක් පමණක් අධිකරණයෙහි ඉතිරිවී සිටියේය.  ඔහු සේවාදායකයන් කිහිප දෙනෙකු සමග කතාබස් කරනු මට පෙනිණ.

මේ අවස්ථාවේදී කාර්යාලයේ ලිපිකරුවෙක් මා කරා පැමිණියේය.

" ඇප ගන්නද ඕනෑ ? "

" දෙන්න බෑ කීවනේ..." මම ලිපිකරුවාට කීවෙමි.

ලිපිකරුවා වඩාත් මට සමීප විය.  ඔහු මට කතා කළේ රහසක් කියන්නාක් මෙනි.

" අර මහත්තයට කියන්න. ටක් ගාල ඇප අරන් දෙයි..."

ලිපිකරුවා මට පෙන්වුයේ එතෙක් අධිකරණ ශාලාවේ ඉතිරිව සිටි නීතීඥවරයාය.

මම එම නීතීඥවරයා දැන සිටියෙමි.  ලිපිකරුවා කී දෙයෙහි සත්‍යතාවක් තිබේදැයි දැනගනු වස් මම ඔහු කරා ගියෙමි.

" සෝමෙ ! බැරිද මගෙ මිනිස්සුන්ට ඇප ගන්න..."

" ආස්ක් ද බගර්ස් ටු ගිව් මී හන්ඩ්‍රඩ් බක්ස්  ( උන්ට කියන්න මට රුපියල් සීයක් දෙන්න කියලා ) "

ඔහු එය කී සැහැල්ලු විලාසය මා විශ්මයට පත් කළේය.

සාමාන්‍යයෙන් අධිකරණයේ වැඩ කටයුතු අවසාන වුවාට පසුව ඇප ලබා ගත නොහැකිය.  අවශ්‍ය නම් ඒ සඳහා විවෘත අධිකරණයෙහි මෝසමක් ඉදිරිපත් කොට ඇප අයැදීම කළ යුතුය.  මෝසමක් ඉදිරිපත් කළ යුතු වන්නේද අධිකරණයක වැඩ කටයුතු ආරම්භකිරීම ආරම්භයේදීම හෝ ඊට පෙරය.  අධිකරණයෙහි වැඩ කටයුතු අවසාන වුවාට පසු එය කෙසේවත් කළ හැකි නොවේ.

මේ වනවිට වෙලාව හතර හමාරට පහට පමණ ඇත.  මහේස්ත්‍රාත්වරයා තවම නිල කාමරයේය.

මගේ සේවාදායකයා වෙනුවෙන් රුපියල් සියයක මුදල මම මගේ මිත්‍ර නීතීඥවරයා අත තැබීමි.

ඔහු වහාම ක්‍රියාත්මක වුයේය.

ඔහු මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයට යනු මම දුටුවෙමි.

ස්වල්ප වේලාවකට පසු මා ද කැඳවන ලදී.  මා තවමත් උසාවි සීමාවේ රැඳී සිටී දැයි සොයා බලාය මා කැඳවන ලද්දේ.  ඒ බව මම පසුව දැන ගතිමි.

" ඉට් වෝස් අ බෑඩ් කේස්...දේ ෂුඩ් හෑව් රීටේන්ඩ් සම්වන් ලයික්...පෙරේරා...සොයිසා...නොට් දැට් යූ ඩිඩ් අ බෑඩ් ජොබ්...( ඒක අමාරු නඩුවක්...ඒ අයට තිබුණේ...පෙරේරා සොයිසා...වගේ එක්කෙනෙක් අල්ලන්න. ඔබ අදක්ෂ ලෙස නඩුව කතා කෙරුව නෙවෙයි...) "

මෙහි අවසාන කොටස ඔහු කීයේ මගේ සිත සතුටු කිරීමට විය යුතුය.  එහෙත් සුළු වේලාවකට පෙරදී අඥානයකු ලෙස, මැරවරයකු ලෙස, කෲර දුෂ්ට පාලකයකු ලෙස හැසිරුණ ඔහු ගැන මා තුළ කෙසේනම් පැහැදීමක් ඇතිවේද?

අහා! නඩුපොත ඔහුගේ මේසය මතට ආවේය.  එහි අවසාන වශයෙන් යමක් ලියා තිබු පිටුව ඔහු ඉරා දැම්මේය.  චුදිතයන්ට ශරීර ඇප නියම කරන ලදී.

යුක්තිය !

( මෙම කතාව මවිසින් මුලින්ම සටහන් කර තබන ලද්දේ 1977 වර්ෂය මුලදීය.  එනිසා විනිසුරු නිල ඇඳුම, මුදලෙහි වටිනාකම, අධිකරණවල ක්‍රියා මාර්ග යනාදිය එම කාලයෙහි පැවති ආකාරයට මෙහි සඳහන් වේ.

අධිනීතීඥවරයෙකු ලෙසම වෘත්තීමය කටයුතු කළ හෙයින් මගේ සේවය එක අධිකරණයකට සීමා නොවීය.  එනිසා දිවයිනේ විවිධ නගරවල ප්‍රාථමික, මහේස්ත්‍රාත්, දිසා අධිකරණවල මෙන්ම මහාධිකරණවලද විනිසුරුතුමන්ලා දෙසියයකට අධික සංඛ්‍යාවක් ඉදිරියේ පෙනී සිටීමේ වරම මම ලැබුවෙමි.  ඊට අමතරව ගෙවල් කුලී මණ්ඩල, කෘෂි විනිශ්චය සභා, කම්කරු විනිශ්චය අධිකාරී යනාදියෙහි සභාපතිතුමන්ලා ප්‍රධාන සාමාජික මහත්වරුන් හමුවේද පෙනී සිටීමේ අවස්ථා ලැබිණ.

ඒ සා අත්දැකීම් රාශියෙන් බින්දු මාත්‍රයක් පමණක් හුදී ජන දැනුම උදෙසා 'පසු වදන' ලෙස සකස්කොට මෙහි ඇතුළත් කොට ඇත.)

විනිසුරුතුමනි.  කර්තෘ :පී.ඇම්. ජයතිලක. දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.

Thursday, February 28, 2019

ඉන්දියානු වන සරණිය.

අද ජිම් කෝබට් විසින් රචිත "Jim Corbett's India" නම් රසවත් කෘතියේ සිංහල පරිවර්තනය වන ඉන්දියානු වන සරණිය පොතේ එන "කුන්වාර් සිං" නම් කතාව කියවමු.

                                                                කුන්වාර් සිං 
නාකූර් පෙළපතකින් පැවත ආ කුන්වාර් සිං, චාන්දනී චවුක් ගම්මානයේ ගම් මුලාදෑනියා විය.  ඔහු හොඳ ගම් මුලාදෑනියෙක් ද නැති නම් නරක ගම් මුලාදෑනියෙක් ද යන්න මම දැන නොසිටියෙමි.  එහෙත් කල්දුන්ගි වල සිටි ප්‍රසිද්ධ හොර දඩයක්කාරයා ඔහු බව කවුරුත් දැන සිටියහ.

කුන්වාර් සිං මගේ සිත දිනා සිටියේ ඔහු හොඳ දඩයක්කාරයෙක් වූ නිසාය.  තව ද, ළමා කාලයේ දී මගේ වීරයා වූ, මගේ වැඩිමල් සොහොවුරු ටොම්, ඔහුගේ හොඳම හිතවතෙකු විය.  ටොම් දඩයමේ ගිය බොහෝ අවස්ථාවල දී කුන්වාර් සිං ද ඔහු සමග ගිය නිසා හෙතෙම ටොම් ගැන බොහෝ රසකතා දැන සිටියේය.

කුන්වාර් සිං ටොම් ගැන කී බොහෝ කතා අතරින් මා වඩාත්ම ආසා කළේ එලිස් නැමැති සුදු ජාතිකයකු හා ටොම් අතර පැවති ඉලක්කයට වෙඩි තැබීමේ තරඟය පිලිබඳ සිද්දියටය.  එම තරඟයේ දී ටොම්, හොඳම ඉන්දියානු රයිපල් වෙඩික්කාරයා වශයෙන් රන් පදක්කම දිනා ගෙන ඇත්තේ ප්‍රතිවාදියා එක් ලකුණකින් පරාජයට පත් කරමිනි.

එකිනෙකා හඳුනාගෙන නොසිටි ටොම් සහ එලිස් සමහර දිනෙක ගරුප්පා ගම්මානයට නුදුරු එකම කැලයක දඩයම් කළහ.  ගස් මුදුන්වලට ඉහළින් මීදුම පැතිර යමින් තිබූ එක්තරා උදෑසනක කැලෑව මැද වූ පුංචි උස් බිමක් නගිමින් සිටි ඔව්හු දෙදෙනා හදිසියේම එකිනෙකා මුණ ගැසුණාහ.  ටොම් සිටියේ කුන්වාර් සිං ද සමගිනි.  නයිනිතාල් හි සිටි දඩයක්කාරයකු වූ බුදූ නැමැත්තා එලිස් සමග පැමිණ සිටියේය.  බුදු වනාන්තරය පිලිබඳ මෙලෝ හසරක් නොදත්තෙකි.  පහත් කුලයකට අයත් බුදූ කෙරෙහි කුන්වාර් සිංගේ සිතෙහි වුයේ දැඩි අමනාපයකි.  ටොම් සහ එලිස් චාරිත්‍රානුකුල ලෙස එකිනෙකාට සුබ පතා ගත්හ.  ඉක්බිති එලිස් පවසා ඇත්තේ වෙඩි තැබීමේ තරඟයෙන් එක ලකුණකින් පැරදුණ මුත් තමාද දක්ෂ වෙඩික්කාරයකු බව ඔප්පු කර පෙන්විය හැකි බවය.ඉලක්කයක් තෝරා ගෙන, දෙදෙනාම වෙඩි දෙක බැගින් තැබිය යුතු බව අනතුරුව හෙතෙම යෝජනා කළේය.

තුන්ඩු ඇදීමෙන් ජයගත් එලිස් ප්‍රථමයෙන් වෙඩි තැබීමේ අවස්ථාව උදාකර ගත්තේය.  ඉක්බිති ඔව්හු ඒ අසල වූ පහත් බිමක් වෙත ගියහ.

එලිස් අත තිබුණේ ඔහු රන් පදක්කම් තරඟය සඳහා පාවිච්චි කළ .450 වර්ගයේ මාටිනි ඩී. බී. වර්ගයේ රයිපලයයි.  ටොම් තම සුපුරුදු .400 ඩී. බී. වර්ගයේ වෙස්ලි රිචඩ්ස් රයිපලය රැගෙන විත් තිබුණි.

ඒ වේලාවෙහි පහත් බිමෙහි කිසිම සතෙක් පෙනෙන්නට නොසිටියේය.  පහත් බිමෙහි මෙහා කෙළවරෙහි වුයේ වියළි තණ තීරුවකි.  ඉන් ඔබ්බෙහි තණ පුළුස්සා දමා තිබූ අතර මේ වන විට පුංචි තණ පඳුරු ලියලමින් ඒ පෙදෙස නිල්ල වැටී තිබුණි.

උදා කාලයේ හෝ සවස් කාලයේ වැඩිපුරම සතුන් ගැවසුණේ මෙම භූමිභාගය තුළය.  කුන්වාර් සිංගේ අදහස වුයේ වියළි තණ සහිත කොටසේ සතුන් සැඟවී සිටිය හැකි බවය.  ඒ නිසා හෙතෙම බුදු සමග එක්ව ඒ කොටස ගිනි තැබුවේය.

ගින්න තදින් ඇවිලෙන්නට විය.  පලා යමින් සිටි පුංචි කෘමි සතුන් ගොදුරු කර ගැනීම සඳහා කුරුල්ලෝ එහේ මෙහේ ඉගිල ගියහ.

හදිසියේම තණ පිටියේ ඈත කෙළවරෙහි දක්නට ලැබුණේ කිසියම් සෙලවීමකි.  මොහොතකින් එහි සිට එළියට පැන ගත් විශාල වල් ඌරන් දෙදෙනෙකු පිළිස්සී තිබූ බිම හරහා වේගයෙන් දිව ගියේ ඈත කැලෑව තුළට රිංගා ගැනීමටය.  විශාල සිරුරකින් හෙබි එලිස්, බිම දණ ගසා රයිපලය මානා පිටුපසින් දිවූ ඌරාට වෙඩි තැබුවේය.  ඌරාගේ පිටුපස දෙපා අතරින් දූලි වලාවක් මතුවනු පෙනිණ.  රයිපලය පහත හෙලු එලිස් හිස් කොපුව ඉවත් කොට අලුත් පතරොමක් දැමුවේය.  ඔහුගේ දෙවැනි උණ්ඩය පෙරටුව දිවූ ඌරා ඉදිරියේ දූලි වළාවක් මතු කළේය.

දෙවන වෙඩිල්ල නිසා ගමන් මග වෙනස් කළ සත්තු, දකුණු පසට හැරී වඩාත් වේගයෙන් දුවන්නට වූහ.  දැන් ටොම්ගේ වාරයයි.  ඔහු ඉක්මනින් වෙඩි තැබිය යුතු විය.  වේගයෙන් කැලෑව වෙත දුව යමින් සිටි ඌරන්, ඉලක්කයෙන් දුරස් විය හැකිව තිබුණි.  නොසැලී සිටගත් ටොම් රයිපලය එසවුවේය.  වෙඩි දෙකම අපූරුවට ඌරන්ගේ හිසටම වැදුණි.  උන් බිම පෙරළී ගියේ හාවුන් මෙනි.

මෙම සිදුවීම විස්තර කරන කුන්වාර් සිං හැමවිටම එය මෙසේ අවසන් කළේය.

" මම බුදු දිහා බැලුවා...නගරේ හැදුණු වැඩුණු අඩු කුලේ එකා නොවැ...උගේ ඔළුවේ තෙල් ගඳ මට ඉවසන්න බෑ... මම කිව්වා දැන්වත් උඹ දැක්කද? උඹ නිතරම කයිවාරු ගැහැව්වා නොවැ උඹේ මහත්තයා අපේ මහත්තයාට වෙඩි තියන හැටි උගන්වයි කියලා...ඒත් අපේ මහත්තයාට උඹේ මහත්තයා සවුත්තු කරලා දමන්ඩ ඕනෑ වුණේ නෑ...නැත්නම් එක වෙඩිල්ලෙන් ඔය ඌරො දෙන්නම මරනවා."

මෙම වීර ක්‍රියාව ගැන ටොම් කිසි දිනක මා සමග කතා නොකළ අතර මමද ඒ ගැන ඔහුගෙන් නොඇසුවෙමි.  ඔහුට වුවමනා කළා නම් ඌරන් දෙදෙනාම වුවද එක වෙඩිල්ලකින් මරා දැමීමට හැකි බව මමද දැන සිටියෙමි.

තුවක්කුවක් මා අතට මුලින්ම ලැබුණු ඒ දිනවල පළමුවෙන්ම මා හමුවීමට පැමිණියේ කුන්වාර් සිංය.  එදින මම එම පරණ කානු දෙකේ තුවක්කුව ආඩම්බරයෙන් ඔහු අත තැබුවෙමි.  එහි වූ පළුදු ආදිය ගැන කතා නොකළ හෙතෙම එහි හොඳ ගැන පමණක් වර්ණනා කළේය.  අනතුරුව තුවක්කුව පසෙක තබා මා දෙසට හැරුණු හෙතෙම මෙසේ පැවසුවේය.

" ඔයා දැන් පුංචි ළමයෙක් නොවෙයි.  ලොකු කෙනෙක්...මේ තුවක්කුව අතේ තියනවා නම් අපේ කැලෑවල ඕන තැනක යන්න ඔයාට පුළුවනි.  බයවෙන්න දෙයක් නෑ...ඒත් ගස් නගින හැටිනම් ඉගෙන ගන්න වෙනවා..."

මෙසේ පරණ තුවක්කුව පාවිච්චි කළ මුල් අවුරුදු කීපය තුළ මම කුන්වාර් සිංගෙන් බොහෝ දේ ඉගෙන ගතිමි.

දඩයම් කිරීම සඳහා අප ගිය වනාන්තර ඉතා විශාල ඒවා විය.  සමහර විට වනය මැදින් යාම සඳහා තිබුණේ එක් පාරක් පමණි.  මේ නිසා වනාන්තරයේ පිහිටීම ගැන පැහැදිලි සිතියමක් අපේ මනසේ සටහන් වී තිබීම වැදගත් විය.  මෙය මා කුන්වාර් සිංගෙන් ඉගෙනගත් එක්තරා වැදගත් පාඩමකි.

විටෙක අපි එක්වද, තවත් විටෙක තනිවද දඩයමේ ගියෙමු.  මංපහරන්නන් ගැන කුන්වාර් සිංගේ සිතෙහි වුයේ විශාල බියකි.  එම නිසා විටෙක හෙතෙම සති ගණනාවක් යන තෙක් ගමෙන් පිටතට නොගොස් ගෙදරට වී සිටියේය.

දඩයමකින් පසු ආපසු පැමිණෙන බොහෝ දිනෙක, මම කුන්වාර් සිං හමුවීමට ඔහුගේ නිවෙසට යාමට පුරුදුවී සිටියෙමි.  වනාන්තරයට කිට්ටුව පිහිටි ඔහුගේ ගමට, මා සිටි ගමේ සිට සැතපුම් තුනක දුරක් තිබුණි.  මුවකු, ගෝනකු හෝ විශාල වල් ඌරකු වෙඩි තැබූ බව ඔහුට පවසන මා, දඩයම සොයා රැගෙන ඒමට කුන්වාර් සිංට පැවරූ අවස්ථා බොහෝය.  උස් තණ පඳුරුවලින් ගන අකුල් හා මහ ගස්වලින් හෙබි කැලෑව තුළ, ගිජුළිහිණින් වැනි සතුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා මා සඟවා එන දඩයම සොයා ගැනීම ඔහුට අපහසු කාරියක් නොවීය.

හැම විශේෂ ගසක් සඳහාද, දිය පාරක් හෝ දඩමගක් සඳහාද, අපි නම් තැබුවෙමු.  අපේ තුවක්කුවකින් වදින දුර ප්‍රමාණය ගණනය කළ අපි, ඒ අනුව වනාන්තරය තුළ දුර ප්‍රමාණයන් සොයා ගතිමු.  දිසා දර්ශකය අනුව දිසාවන් සොයාගැනීම අපට පහසු විය.

ගසක ලැග සිටින ගිජුළිහිණින් මාර්ගයෙන්, කොටියකු හෝ දිවියකු විසින් මරා දමන ලද සතෙක් පිලිබඳ හෝඩුවාවක් සොයා දැන ගැනීම කුන්වාර් සිංට ඉතා පහසු කාරියකි.   එවන් විටෙක ඔහු මා ද කැටුව එම ස්ථානය බලා පිටත්ව යන්නේ දැඩි විශ්වාසයකින් යුතුවය.  ඒ සඳහා දවසෙහි දිවා කාලය හෝ රාත්‍රී කාලය කියා කිසියම් වෙනසක් අපට නොවීය.

පාසල හැර යාමෙන් පසු බෙංගාලයේ රැකියාවක් සඳහා ගිය මා කල්දුන්ගි වෙත ආපසු ගියේ අවුරුද්දකට වරක් පමණි.  එවිට සති දෙකක හෝ තුනක පමණ කාලයක් මම එහි ගත කළෙමි.  මෙවන් එක් නිවාඩු කාලයක දී දැනගත් ආරංචියකින් මම දැඩි කම්පනයට පත් වුණෙමි.  මගේ පැරණි මිතුරා වූ කුන්වාර් සිං, කඳුකරයේ සාපය නමින් හඳුන්වනු ලබන 'ඕපියම්' නමැති මත්ද්‍රව්‍ය ගැනීමේ පුරුද්දට ඇබ්බැහි වී සිටියේය.  මැලේරියාව වැළඳීම නිසා ශරීර ශක්තිය හීන වී සිටි ඔහු මෙම විනාශකාරී පුරුද්දට ඇබ්බැහි වුයේ කෙසේ දැයි මට සිතාගත නොහැකි විය.  මට බොහෝ පොරොන්දු දී තිබුණද, ඒවා ඉටුකිරීමට තරම් සදාචාරමය ධෛර්යයක් ඔහු තුළ නොවීම ගැන මම කණගාටුවට පත්වීමි.

එක් පෙබරවාරි නිවාඩුවකදී කල්දුන්ගි බලා ගිය මට, කුන්වාර් සිං තදබල ලෙස අසනීපයෙන් පෙළෙන බව ගමේ අය පැවසු විට මම පුදුමයට පත් නොවීමි.  මා කල්දුන්ගි වෙත පැමිණ සිටින බව, මුළු ගම්මානයම එදා රාත්‍රියේම දැනගෙන සිටියේය.

පසුදින උදෑසන, කුන්වාර් සිංගේ තරුණ පුතා මා හමුවීමට පැමිණියේය.  ඔහු පැවසුවේ තම පියා මරණාසන්නව සිටින බවත්, මරණයට කලින් මා දැක ගැනීමේ ආසාවෙන් සිටින බවත්ය.

චාන්දනී චවුක්හි ගම්මුලාදෑනිවරයා වූ කුන්වාර් සිං ගමෙහි සිටි වැදගත්ම පුද්ගලයෙකි.  ඔහු ජීවත්වූ, ගලින් බඳින ලද විශාල නිවසට මින් පෙර බොහෝ අවස්ථාවල දී මම ගියෙමි.  කුන්වාර් සිංගේ පුතාද සමග එහි ළඟාවත්ම ගැහැනුන් නගන විලාප හඬක් මට ඇසුණි.  එහෙත් ඒ හඬ ඇසුණේ කුන්වාර් සිංගේ නිවස තුළින් නොව, ඔහු විසින් ,මෙහෙකරුවකු සඳහා තනා දී තිබූ තනි කාමරයකින් යුතු පුංචි ගෙයක් තුළිනි.  මා එහි කැටුව ගිය කුන්වාර් සිංගේ පුතා පැවසුවේ ලෙඩාගේ නින්දට මුණුබුරු මිණිබිරියන්ගෙන් බාධා වන නිසා මෙම ගෙට රැගෙන ආ බවය.  මා දුටු කුන්වාර් සිංගේ වැඩිමල් පුතා එම ගෙයි සිට එළියට පැමිණියේය.  ඔහු පැවසුවේ තම පියා සිහිසුන්ව පසුවන බවත් ජීවත්වීමට ඇත්තේ තව සුළු කාලයක් පමණක් බවත්ය.

මම ගෙයි දොරකඩ නතර වුණෙමි.  සිහින් දුමාරයකින් වඩාත් අඳුරු ව ගිය කාමරයෙහි අඳුරට දෑස හුරුවූ ඉක්බිති මා දුටුවේ ගෙබිම මත අඩ නිරුවතින් වැතිර සිටින කුන්වාර් සිංය.  ඒ අසල බිම ඉඳගෙන සිටි මහලු මිනිසෙක් ලෙඩාගේ අප්‍රාණික දකුණු අත අල්ලාගෙන සිටියේය.  එම අතෙහි ඇඟිලි අතර රැඳී තිබුණේ අසල සිටි එළදෙනකගේ වල්ගයයි.

මරණාසන්න මිනිසකු ලවා එළදෙනකගේ වල්ගය අල්ලා ගැනීමට සැලැස්වීම පුරාණ ඉන්දියානු චාරිත්‍රයකි.  වඩාත් සුදුසු චාරිත්‍රය වුයේ කළු වැස්සියකගේ වල්ගය අල්ලා සිටීමට සැලැස්වීමයි.  මෙය පුරාණ හින්දු චාරිත්‍ර විධියකි.  ලෞකික ශරීරය අත් හැර දමා යන ආත්මය රුධිර ගංගාවක් ඉදිරියට පැමිණෙන බව ඔව්හු විශ්වාස කළහ.  එහි එතෙර ඉවුරෙහි විනිශ්චය දෙන්නා ඉඳගෙන සිටින අතර, තමා කළ පව්වලට උත්තර දීම සඳහා ආත්මය ඔහු ඉදිරියේ පෙනී සිටී.  ගංගාව තරණය කිරීම සඳහා ආත්මයට ඇති එකම මාර්ගය නම් එළදෙනගේ වල්ගයයි.  මියගිය තැනැත්තා ගේ ආත්මයට මෙම මාර්ගය සලසා නොදුන හොත්, එම ආත්මයට පොළොව මත ම රැඳී සිටීමට සිදිවෙයි.  එවිට එම ආත්මය ජීවත්ව සිටින්නවුන් හට සාප කොට දඬුවම් පමුණුවයි.

කුන්වාර් සිංගේ හිස අසල තබා තිබූ ගිණි කබලෙහි වියළි ගොම රිටි ඇවිළෙමින් තිබිණි.  ඒ අසල වාඩිවී සිටි පූජකයෙක් පුංචි සීනුවක් නාද කරමින් ස්තෝත්‍ර ගායනා කරමින් සිටියේය.  මුළු කාමරයම අතුරු සිදුරු නොමැතිව මිනිසුන්ගෙන්, ගැහැනුන් ගෙන් හා ළමුන් ගෙන් පිරී ගොසිනි.  ගැහැනුන් වැළපෙන හඬ විටින් විට පිටතට ද ඇසුණි.

ඉන්දියානුන් මේ ආකාරයට මියයන බව මම දැන සිටියෙමි.  එහෙත් මගේ මිත්‍රයා එවන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොකිරීමට මම තීරණය කළෙමි.  ඇත්තෙන්ම මා උදව් කරන්නේ නම් ඔහු තවත් බොහෝ කාලයක් ජීවත් වනු ඇත.  අඩු වශයෙන් මේ මොහොතේ මෙවන් අවාසනාවන්ත මරණයකට ගොදුරු නොවනු ඇත.

කාමරයට ගිය මම යකඩ ගිණි කබල අතට ගෙන එය දොරෙන් එළියට වීසි කළෙමි.  ඉන්පසු තෙත ගෙබිම මත සවි කළ කූඤ්ඤයක ගැට ගසා සිටි එළදෙනගේ කඹය කපා ඇය එළියට පන්නා දැමුවෙමි.  මා විසින් නිහඬව කරන ලද මෙම ක්‍රියාවන් පිළිබඳ අවබෝධයක් ඇතිවත්ම රැස්ව සිටියවුන් අතර වූ මුණුමුනුව ක්‍රමයෙන් තුනී වන බවක් පෙනුණි.  පූජකයාගේ අතින් අල්ලා ගත් මා ඔහු එළියට කැඳවා ගෙන යන විට හැම දෙනෙක්ම මා දෙස බලා සිටියහ.  ඔවුන් සියලු දෙනාටම කාමරයෙන් ඉවත්ව යන ලෙස ඉක්බිති මම කීවෙමි.  ඔව්හු වචනයක් හෝ නොදොඩා මගේ අණ පිළිපැද්දෝය.  ගැහැණු,පිරිමි, ළමා ආදී වශයෙන් ගෙතුළ පිරී සිටි සංඛ්‍යාව විශ්වාස කිරීමට බැරි තරම් විය.  අන්තිමයාද දොරින් එළියට ගිය පසු කුන්වාර් සිංගේ වැඩිමල් පුතාට කතා කළ මම අළුත් කිරි කෝප්ප කීපයක් උණුකර වහාම ගෙන එන ලෙස දන්වා සිටියෙමි.  ඔහු මා දෙස බැලුවේ අන්ද මන්ද වූවකු ලෙසිනි.  මා කී දෙය නැවතත් අවධාරණය කළ විට ඔහු වහා පිටත්ව ගියේ එය ඉටුකර ගෙන ඒම සඳහාය.

නැවතත් ගෙතුළට ගිය මම බිත්තියට හේත්තු කර තිබූ ලණු ඇඳක් ඉවතට ගෙන, කුන්වාර් සිං ඔසවා ඒ මත දිගා කළෙමි.

නැවුම් පිරිසිදු වාතය ඉතා ඉක්මනට අවශ්‍ය ය.  වට පිට බැලු මම වසා දමා ඇති පුංචි කවුළුවක් දුටුවෙමි.  එහි ගසා තිබූ ලෑලි ගලවා ඉවත් කිරීමට එතරම් කාලයක් ගත නොවුණි.  මෙතෙක් මිනිස් දහදිය ගඳින් ද, ගොම මැටි ගඳින් මෙන්ම දල්වන ලද ගිතෙල් ගඳින් ද පිරී තිබූ කාමරයට, නැවුම් හා පිරිසිදු වාතය වනාන්තරය දෙසින් ගලා ආවේය.

කුන්වාර් සිංගේ දුබල සිරුර ඔසවා ගනිද්දී එහි තවමත් පණ නල රැඳී ඇති බව මම දැන ගතිමි.  එහෙත් ඒ බිඳක් පමණි.  යට ගිලී ගිය දෙඇස් පියවී තිබූ අතර, දෙතොල් නිල් පැහැ ගැනී තිබුණි.  ඔහු හුස්ම ගත්තේ ආයාසයෙනි.කෙසේ වුවද නැවුම් පිරිසිදු වාතය ඉතා ඉක්මනින් ම ඔහු ප්‍රාණවත් කොට ඇති බවක් මට පෙනුණි.  හුස්ම ගැනීම පහසු හා ක්‍රමවත් විය.  මම කුන්වාර් සිංගේ ඇඳ මත වාඩි වෙද්දී ඉවතට යවන ලද ශෝකවන්නන් අතර වූ කැළඹිලි ස්වභාවය දොර අතරින් දුටුවෙමි.  කුන්වාර් සිං දෙනෙත් ඇර මා දෙස බලා සිටින බව මට දැනුණි.  හිස නොහරවා ම මම කතා කිරීමට පටන් ගතිමි.

" කාලය වෙනස් වෙලා කුන්වාර් සිං...ඔයාත් ඒ එක්කම වෙනස් වෙලා...වැඩකාරයකුගේ ගෙදර නිකම්ම බිම දමලා.  හිඟන්නෙක් වගේ ඔයාට මැරෙන්න ඉඩ අරින්න ඒ කාලේ කවුරුත් බය වුණා.  ඔයා මගේ අවවාද වලට කන් නොදෙනවා වෙන්න පුළුවන්...මේ කාලකන්නි මත්ද්‍රව්‍ය තමයි ඔයා මේ තත්වෙට ඇදල දැම්මේ...ඉන්න තත්වෙ අහපු මම මිනිත්තුවක් හරි එන්න පරක්කු වුණා නං, ඔයා මෙලහකටත් මළවුන් අතර...

" ඔයා චාන්දනී චවුක් ගමේ ගම් මුලාදෑනියා.  කල්දුන්ගිවල හොඳම දඩයක්කාරයා...ඒ කාලේ මිනිස්සු කවුරුත් ඔයාට ගරු කළා... දැන් ඒ ගෞරවය නැති කරගෙන...ඒ කාලේ ඔයා හොඳම කෑම තමයි කෑවේ...යෝධයකුගේ ශක්තිය තිබුණා... ඒත් දැන් ඔයා දුර්වල වෙලා...බඩ ඇකිලිලා...දවස් දහයකින් කිසිම කෑමක් කෑවේ නැහැ කියලා ඔයාගේ පුත්තු මා එක්ක කිව්වා...

ඒත් යාළුවේ, ඔයා මැරෙන්නේ නෑ...ඒ අය හිතන විදියට ඔයා මැරෙන්නේ නෑ...තව අවුරුදු ගාණක් ජීවත් වෙන වග මම දන්නවා...අපට ආයෙත් එකතුවෙලා ගරුප්පා කැලේ දඩයමේ යන්න බැරිවෙන්න පුළුවන්...ඔයා දඩයමේ යන්න වුවමනා නෑ...හැමදාම කළා වගේ මම දඩයමේ ගිහින් ඔයාගේ කොටස දෙන්නම්...

දැන්, අද මේ ගෙදරදී, පූජා නූල ඇඟිල්ල වටේ ඔතා ගෙන, පයිපාල් කොළයක් අත් දෙකේ තියාගෙන, ඔයාගේ වැඩිමල් පුතාගේ ඔළුවෙ අත ගහලා දිවුරන්න ඕනෑ ආයෙ කවදාවත් ඔය ජරා මත්ද්‍රව්‍ය අල්ලන්නෙවත් නෑ කියලා...ඒ වගේම ඔයා මේ සැරේ පොරොන්දුව රකින්න ඕනෑ...දැන් ඔයාගේ පුතා බොන්න කිරි අරගෙන එයි...එතකල් අපි සිගරැට් එකක් බොමු..."

මා කතා කරමින් සිටි අතරතුර කුන්වාර් සිං තම දෙනෙත් මා වෙතින් ඉවතට නොගත්තේය.  බොහෝ කලකට පසු මුල් වතාවට හෙතෙම දෙතොල් විවෘත කළේය.

" මැරෙන මිනිහෙකුට...සිගරැට්...බොන්න පුලුවන්ද?..." ඒ කුන්වාර් සිංගේ දුබල කටහඬ ය.

මම යළිත් කතා කිරීමට පටන් ගත්තෙමි.

" මැරෙනවා කියන එක ගැන අපි ආයෙත් කතා නොකර ඉම්මු...මම ටිකකට කලින් කිව්ව වගේ ඔයා මැරෙන්නේ නෑ...සිගරැට් එකක් බොන්නෙ කොහොමද කියලා මම ඔයාට පෙන්නන්නම්."

ඉක්බිති පැකට්ටුවෙන් සිගරැට් දෙකක් ගත මම ඉන් එකක් දල්වා ඔහුගේ දෙතොල් අතර රැඳවීමි.  ඉන් උගුරක් ගත් හෙතෙම කැස්සේය.  දුර්වල ඇඟිලි තුඩුවලින් අල්ලා සිගරැට්ටුව ඉවතට ගත්තේය.  කැස්ස තරමක් සමනය වූ විට යළිත් එය දෙතොල් අතර රැඳවු හෙතෙම හිමිහිට උරන්නට විය.

ඒ සමගම කිරි පිරවූ විශාල පිත්තල බඳුනක් රැගත් කුන්වාර් සිංගේ වැඩිමල් පුතා අප සිටි තැනට පැමිණියේය.  මා වහා ගොස් භාජනය ඔහුගේ අතින් නොගත්තේ නම්, එය දොර අසලදී ගිලිහී යාමට ඉඩ තිබුණි.

කුන්වාර් සිංගේ පුතාගේ මුහුණෙහි ඇතිවූ විස්මය තේරුම් ගැනීමට අපහසු නොවීය.  මොහොතකට පෙර ගෙබිම වැතිරී පණ අදිමින් සිටි පියා දැන් ඇඳක් මත වැතිරී සිගරට්ටුවක් ද උරමින් සිටී.

කිරි බීම සඳහා භාජනයක් එම ගෙතුළ නොවූ නිසා, ආපසු ගිය පුතා කෝප්පයක් ද රැගෙන ආවේය.  මම උණු කිරි කෝප්පයක් පුරවා කුන්වාර් සිංට දුනිමි.

රාත්‍රී කාලයේ බොහෝ වේලාවක් යන තෙක්, මම කුන්වාර් සිං සමග එම ගෙපැලෙහි රැඳී සිටියෙමි.  මා ආපසු යාමට සුදානම් වන විට ඔහු සෑහෙන කිරි ප්‍රමාණයක් බී අවසන් කර තිබූ අතර සුවපහසු ඇඳක නිදාගෙන සිටියේය.

පිටත්ව යාමට පෙර කුන්වාර් සිංගේ පුතාට කතා කළ මම කිසිම හේතුවක් නිසා කිසිවකුට හෝ ගෙතුළට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස දන්වා සිටියෙමි.  එමෙන්ම, තම පියා ලඟම රැඳී සිටිමින්, අවදිවන හැම අවස්ථාවකම බීමට කිරි ටිකක් දිය යුතු බවද අවධාරණය කර සිටියෙමි.

හෙට උදෑසන මා කුන්වාර් සිං බැලීමට පැමිණෙන විට යම් හෙයකින් ඔහු මියගොස් සිටියහොත්, මුළු ගමටම ගිනි තබන බවට මම ඔහුට අනතුරු ඇඟවීමක් ද කළෙමි.

පසු දින උදෑසන මා චාන්දනී චවුක් වෙත පැමිණියේ හිරු උදාවත් සමගමය.  කුන්වාර් සිං සහ ඔහුගේ පුතා සැප නින්දක පසුවූ අතර මුළු කිරි බඳුනම හිස්වී තිබුණි.

මෙවර කුන්වාර් සිං ඔහු දුන් පොරොන්දුව අකුරටම ඉටු කළේය.  මා සමග එක්ව යළිත් දඩයමේ යාමට ශක්තියක් නොලද මුත්, හෙතෙම මා මුණගැසීමට නිතර පැමිණියේය.

තවත් සිව් වසරක් සුවසේ ජීවත්වූ කුන්වාර් සිං, තම නිවසෙහි, තම ඇඳ මතම, සුවදායක හා ගෞරවනීය මරණයක් වැළඳ ගත්තේය෴

(ඉන්දියානු වන සරණිය, ජිම් කෝබට්. පරිවර්තනය: ජේ. කේ. කුමාරදාස. ප්‍රකාශනය: සූරිය ප්‍රකාශකයෝ. 2004)