Friday, March 27, 2026

වුල්ෆ් දුටු රුහුණ.

 

මා මෙම බ්ලොගයට කතාවක් ලීවේ දැනට අවුරුදු දෙකකට පමණ පෙර එනම් 2024 දීය. හරියටම කිව්වොත් 2024 ඔක්තෝබර් මාසයේය.  අවුරුදු දෙකකට මාස ගණනක් අඩුය.  යමක් ලියන්නට දිගින් දිගටම සිතුවත් ලියවුනේම නැත. එය මගේ වරදක් නොවේ වගේම ඔබේ වරදක්ද නොවේ. කොහොම වුණත් නැවත ලියන්නට හැකිවීම මට සතුටකි.  කියවන ඔබත් ඒ සතුට මා සමග බෙදා ගනු ඇතැයි සිතමි. දැන් කතාවට යමු.

ලෙනාර්ඩ් සිඩ්නි වුල්ෆ් හෙවත් ලෙනාර්ඩ් වුල්ෆ් යන නම අප කාටත් නුහුරු නුපුරුදු නමක් නොවේ. ලෙනාර්ඩ් වුල්ෆ්(1880 -1969 ) ලංකාව හෙවත් සිලෝන් දූපතට 1904 දී පැමිණියේ යටත් විජිත සිවිල් සේවයේ ආධුනිකයෙකු වශයෙනි. ඔහු යාපනයේ සහ මහනුවර කච්චේරිවලද අවසාන වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප දිසාපති වශයෙන්ද සේවය කළේය.  1911 දී වසරක නිවාඩුවකට එංගලන්තයට ගිය වුල්ෆ් ලංඩන් හි යටත් විජිත කාර්‍යාලය සමග එහිදී කෙරුණු ලිපි ගණුදෙනුවක ප්‍රතිපලයක් වශයෙන්  1912 දී  යටත් විජිත සිවිල් සේවයෙන් ඉල්ලා අස්විය. එම වර්ෂයේදීම කිවිඳියක සහ ලේඛිකාවක වූ වර්ජිනියා ස්ටීවන් සමග විවාහ වූ වුල්ෆ් ලේඛකයෙකු වශයෙන් ජීවිතය ආරම්භ කළේය. වුල්ෆ් ඔහුගේ සුප්‍රකට විලේජ් ඉන් ද ජංගල් කෘතිය පළකලේ 1913 වර්ෂයේදීය. 

ආදරය වෙනුවෙන් රැකියාවද අතහැර වර්ජිනියා විවාහ කර ගත්තද වුල්ෆ්ගේ විවාහ ජීවිතය එතරම් සුමට එකක් නොවූ බව පෙනී යයි.  මානසික රෝගයකින් විවාහ ජීවිතය පුරාවටම පීඩා විඳි වර්ජිනියාගේ රෝගය හේතුවෙන්ම වුල්ෆ් මානසික ආතතියකින් පෙලෙන්නට විය. සිය මානසික රෝගය උපරිම වීමෙන් වර්ජිනියා දියේ ගිලීමෙන් සිය දිවි තොර කර ගත්තේ 1941 දීය. පසුකාලීනව වුල්ෆ් විවාහක කලාකාරියක සමග සම්බන්ධයක් ඇතිකර ගත් බව කියැවෙන මුත් ඒ ගැන වැඩි විස්තර දැනගන්නට නැත.

25 ක් පමණ වන ඔහු ලියූ කෘතීන් අතර ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානය වෙලුම් 5 කින් සමන්විතය.  

සෝවිං - 1880- 1904

ග්‍රෝවිං - 1904 -1911

බිගිනිං අගේන් - 1911- 1918

ඩවුන්හිල් ඕල් ද වේ -1919 -1939

ද ජර්නි නොට් ද අරයිවල් මැටර්ස් - 1939 - 1969

මෙම කෘතිවලින් ග්‍රෝවිං ලංකාවේ සත් වසක් යනුවෙන් සිංහලට පරිවර්තනය කොට ඇත.

ලංකාවේ වුල්ෆ් ගතකල රාජකාරි දිවිය ගැන ග්‍රෝවිං කෘතියේ ඔහු විස්තර කොට ඇත. එහිදී වුල්ෆ් ඔහු හම්බන්තොට ගතකල දිවිය ගැන මහත් අභිරුචියෙන් විස්තර කරයි.

"ලංකාවේ කර්කශ දේශගුණයක් ඇති, වනගත නොදියුණු පෙදෙසක් ලෙස බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වන ලද හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි උප දිසාපති තනතුර ලැබූ ලෙනාර්ඩ් වුල්ෆ්, එහි සේවයට පැමිණීමේදී වේදනා සහගත හැඟීම්වලින් බරවූ සිතින් යුතුව කළකිරුණු බවක් පෙන්වා තිබේ. එකල යටත්විජිත ලේකම්වරයා වූ හියු ක්ලිෆර්ඩ් මුණගැසී මේ දුෂ්කර ප්‍රදේශයට පැමිණීමට පළමු සමුගන්නා විටත් වුල්ෆ්ගේ දිගටි නාසයෙන් යුත් පැහැපත් තරුණ මුහුණුවර ප්‍රසන්න අඳුරු ඡායාවක සෙවණැල්ලකින් වැසී තිබුණේ යැයි පසු කලෙකදී හියු ක්ලිෆඩ්ම සටහන් කර ඇත.  සැඩ ඉඩෝරයට මැදිවුණු වියළි මුඩු බිමක ළදලු පත් දැවී දිරාගිය රිකිලි සහිත කුණාටු, තුරු වන තලා මැද කටුක දුක් විඳි අහිංසක ගැමි ගොවියන්ගේ ජීවන වේදනාවන් දැක ඉන් ලබාගත් අත්දැකීම් ගොනු කොට විශ්ව සාහිත්‍ය අඹරෙහි දිදුළ තාරකාවක් බඳු ඒ "පොත" ලිවීමෙන්, තමා ගොස් සිටියේ යායුතු වූ නියම තැනට බැව් වුල්ෆ් තම මිතුරන්ට කියා ඇත"

(උපුටා ගැනීම: ලෙනාර්ඩ් වුල්ෆ් දුටු රුහුණ, විජේසිංහ බෙලිගල්ල )

1911 දී ලංකාව හැර යාමෙන් පසු වුල්ෆ් නැවතත් ලංකාවට ආවේ 1960 දීය. ඒ අවුරුදු 89 ක වයෝවෘද්ධයෙක් ලෙසය. හම්බන්තොට දිස්‍ත්‍රික්කයේ ඔහු සිටි තැන්, ආගිය තැන්, දැන හඳුනන්නන් ආදිය දැක බලාගෙන යාමට පැමිණි වුල්ෆ්ට හම්බන්තොටදී ලැබුණු උණුසුම් පිළිගැනීම ඔහුට පුදුම සහගත විය. 

වුල්ෆ්ගේ දෙවැනිවර පැමිණීම ගැනද පොත් දෙකක් මා දන්නා පරිදි ලියැවී ඇත. තවත් පොත් ඒ ගැන ලියා ඇද්දැයි නොදනිමි.  මේ මා සතුව පවතින පොත් දෙකය. ලියා ඇත්තේ විජේසිංහ බෙලිගල්ල ලේඛකයාය.

ලෙනාර්ඩ් වුල්ෆ් සමග ගමනක් - 1995 (ගොඩගේ ප්‍රකාශනයකි)

වුල්ෆ් දුටු රුහුණ  -2000(තාරක ප්‍රකාශනයකි)

මීට අමතරව වුල්ෆ් විසින් පවතවාගෙන ගිය දිනපොත් වලින් තෝරාගත් කොටස් කිහිපයක් එල්.එම් ආරියපාල විසින් පරිවර්තනය කරන ලදුව "ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොත් සටහන්" නමින් හම්බන්තොට කාන්තා සංවර්ධන මහ සංගමයේ ප්‍රකාශනයක් ලෙස 1994 වර්ෂයේදී ප්‍රකාශයට පත්වී ඇත. එම පොතෙන් නොහොත් ග්‍රෝවිං නම් වුල්ෆ්ගේ ජීවිත කතාවෙන් උපුටාගත් උද්ධෘතයක් මා මෙහි ගෙනහැර දක්වමි. 


"ස්තානයන් පිළිබඳ කෙනෙකුගේ මතකය අපූරු අන්දමට අස්තිරය. හම්බන්තොට මගේ නිවස ගැන පැහැදිලිව මගේ මතකයේ රැඳුන කරුණු දෙකක් ඇත.

ඔබ මිදුල හරහා මුහුද දෙසට ගමන් කරයි නම් ඔබට සිනිඳු සුදු වැලි සහිත කුඩා කඳු ගැටයක් හමුවේ. ඒ තුඩුවේ කෙළවරයි. දකුණු දෙසට කෙලින්ම විහිදී යන සැතපුම් දෙකක් දිග මුහුදු වෙරළයි.

වසර දෙකක් පුරා දිවා රාත්‍රී සැතපුම් දෙකක් දිග ඒ මුහුදු වැලි තීරය දෙස ඔබ බැලුවහොත් මුහුද ඉතා රලු නොවේනම්, නිරන්තරයෙන්ම නියමිත වේලාවක් ඇතුලත එතරම් උස් නොවූ, නොබිඳුන, සැතපුම් දෙකක් දිග දිය රැල්ලක්,වෙහෙසට පත්වූවා සේ, ඉතා සෙමෙන් ඉහළට නැග, දැඩි නිහඬතාවයකින්, මොහොතක්, ක්ෂණිකව එක තැන රැඳී සිට මහා ශබ්දයක් නගමින් වැල්ල මත වැටෙයි.

ඒ දැඩි නිහඬ මොහොත හා ඒ පසුපස එන මහා ශබ්දය- රැල්ල වෙරළේ හැපෙන මහ හඬ - මගේ ජීවිතයේ රිද්මයේ කොටසක් බවට පත්විය.

රාත්‍රියේ මා නින්දට යන විට මට ඇසෙන අවසාන දෙය එයයි. උදෑසන මා පිබිදෙන විට මට ඇසෙන පළමුවන දෙය එයයි.  නිහඬ මොහොත- මහා ශබ්දය- මුහුදේ රිද්මය, හම්බන්තොට, රිද්මය.

දෙවන මතකය ශබ්දයක් නොව දර්ශනයකි.

උදෙන්ම මා ආලින්දයේ තේ පානය කරමින් සිටින විට, නොකඩවා සෑම දිනයකම, නිවැරදිව එකම පැයකදී, 30 - 40 පමණ මුහුදු ළිහිණියන් පෙළක් බටහිර සිට නැගෙනහිරට සැතපුම් දෙකක් දිග මුහුදු වෙරළ ඉහලින් පියාඹා එයි.   

එය පියකරු දර්ශනයකි. සෑම උදෑසනකම මා මිදුල වෙත ගොස් ඒ ආශ්චර්‍යජනක අභ්‍යාසය දෙස බලා සිටිමි.

පක්ෂින් පියාසර කළේ මනාව සැදුම්ලත් තනි පෙළකිනි. නිල නිවස පිහිටි තුඩුවට ලඟාවූ පසු උන් සෘජු කෝණාකාරව වමට හැරී මගේ නිවසට කෙලින්ම ඉහළින් ගොඩබිම දෙසට පියාඹා නගරයේ උතුරින් පිහිටි සුවිසල් ලේවාය වෙත යති. මුහුදට ඉහළින් පියඹා එන විට පක්ෂීන් පෙළ සුදු හා කළු පැහැයෙන් වර්ණවත් වෙයි. නිවසට ඉහළින් ඈත අහසේ එක් පක්ෂියා බැගින් වමට හැරෙන විට බබලන හිරු රැසින් සුදු සහ කළු වර්ණය ක්ෂණිකව කාන්තිමත් රෝස පැහැයකට හැරෙයි"

(ග්‍රෝවිං නමැති සිය ජීවිත කතාවේ 11 වන කොටසින් ගත් උද්ධෘතයකි) 

මෙම කුඩා ඡේදය ලෙනාඩ් වුල්ෆ් සිය හම්බන්තොට ජීවිතය කෙතරම් වින්දාද යන්න ගැන සහ ඔහු හම්බන්තොටට කෙලෙසක ආසක්ත වී සිටියේද යන්න ගැන අපට පැහැදිලි ඉඟියක් දෙයි. 

විජේසිංහ බෙලිගල්ලයන්ගේ පොත්වල ඇති රසවත් කතා කීපයක් ඉදිරියේදී මෙම පිටුවේ ලියැවෙනු ඇත.