Sunday, July 24, 2016

මාතර යුගයේ කවි රස.


මාතර සාහිත්‍ය අවධිය ලෙස වියතුන් විසින් සලකනු ලබන්නේ ශතවර්ෂයක පමණ කාලයකි.   එම කාලසීමාව සාමාන්‍යයෙන් ක්‍රි.ව. 1750 සිට ක්‍රි. ව. 1850 දක්වාවූ අවධියට ගැනේ.   සිංහල ගද්‍යයට වඩා පද්‍යය ඉස්මතුවී ආ මෙම කාලයේ පද්‍යය විවිධ පරමාර්ථ ඔස්සේ ගමන්කළ බව පෙනීයයි.   

නිඝණ්ඩුකරණය සඳහා පද්‍යය උපයෝගී කොට ගෙන ඇත්තේ කෝට්ටේ අවධියේ කවියන් විසිනි.    කලාකාරියක් සඳහාම නොව කලාවෙන් උත්තම කාව්‍යයෙන් පරිබාහිරවූ වෙනත් අවශ්‍යතා ඉටුකොට ගැන්මට ද සිංහලයාට කවිය පිහිටවී ඇතිබව මෙයින් මනාව පැහැදිලි වෙයි.

සිංහල කවියේ විෂයක්ෂේත්‍රය වෙනත් සමාජ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම මල්පල ගැනුණේ මාතර කවිය තුළිනි.   හුදකලා නිර්මාණ කාරියක් කිරීමේ පරමාර්ථයෙන් තොරව බණකීම,  නිඝණ්ඩුකරණය,  පණිවිඩ යැවීම,  එදිනෙදා තොරතුරු දැන්වීම,  ඖෂධයක් හෝ ව්‍යාකරණ සුත්‍රයක් හෝ සිහි තබා ගැනීමේ පහසුව ඇතිකර ගැනීම යනාදී දේ සඳහා කවිය උපයෝගී කරගන්නා විට, එහි විෂයක්ෂේත්‍රය පළල් වෙයි.   එය පොදු ජනයාට වඩාත් ලං වෙයි.  බස සරල වෙයි.   ඒ අතරම කවියේ කලාත්මක අගයද පිරිහෙයි.

මාතර අවධිය සිංහල කවියේ වස්තු විෂය කොයි අන්දමින් පෘථුල වී ගියේ දැයි හඳුනා ගන්නට නම් මාතර කවියේ විවිධ කව් කවරේදැයි විමසා බැලිය යුතුය.  

පරිසරය,  ඇසුර,  වාසය,  සෘතුව,  දේශය ආදී නොයෙක් දේ මිනිස් සිත වෙනස්වීමට, හැඩ ගැසීමට,  සකස් වීමට,  අමුතුවීමට,  පෙරළීමට,  දැඩිවීමට හේතු වෙයි.  එකම රටේ වුවද ප්‍රාදේශීය බලපෑම් ද මෙහිලා ඉවහල් වේ.  මාතර කවියේ විවිධත්වය ඇතිවීමට එහි පෙදෙසි ලකුණු ද හේතුවක් වුවාට සැක නැත.   

උගතුන්ට විෂය වන මහා කාව්‍යයේ සිට පෞද්ගලික තොරතුරක් දන්වා යැවූ ලිපියක ලිපියොමුව ලියු පද්‍ය දක්වා වූ සෑම තරාතිරමකම කවි මාතර යුගයේදී ලියැවී ඇත.   ඒ අනුව උගතුන්ට විෂය වන කරුණු පමණක් නොව එදිනෙදා ජීවිතයේ අල්පමාත්‍ර සිදුවීම් පවා මාතර කවියට විෂයවූ බව පෙනී යයි.

මාතර අවධියේ පණ්ඩිත ප්‍රිය කවි ලියු කවියන් බොහෝ දෙනෙක් ජනකවියට බෙහෙවින් ලංවන ඉතා සරල කවිද ලියුහ.   මේ කවියන් අතර මිහිරිපැන්නේ ධම්මරතන හිමි,  ගජමන් නෝනා ආදීහු වැදගත් තැනක් උසුලති. 

වරෙක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කියවිය හැකි දුෂ්කර බන්ධනයක් කරන ධම්මරතන හිමියෝ තවත් විටෙක බෙහෙවින් සරල පද්‍යයක් රචනා කරති.   අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කියවිය හැකි මේ පද්‍යය ඒ හිමියන්ගේ "මම් වඳිම් ඒ මුනින්දා" යන පද්‍ය රචනාවෙන් උපුටා ගැනින.

"සිබහන  සතනතම  මතනත  සනහබ            සි
 සිදන ල සසෙනි තතනතිසෙසල  නද             සි
 සිසිවන ලලතවනනවනලල නව  සි               සි 
 සිරිගන අරද නමමනදර අනගරි                     සි "

මේ පද්‍යයට වඩා හාත්පසින්ම වෙනස් ආරක සරල රචනාවකි පහත දැක්වෙන්නේ.   එය ධම්මරතන හිමියන්ගේ සුරාපානය නමැති ප්‍රබන්ධයෙහි එන්නකි.

" ගරුකමක සිතා බී මත්වෙලා රා අරක්කු
  නිරිවතිනි කටත් දල්වා වැටීලා නිදද්දී
  බලුකැල අවුදින් එක් පාදයක් උස් කිරීමෙන් 
  සුළුදිය මුව තුල්හී වත් කෙරෙත් මැයි ඔවුන්ගේ" 

පැරණි සිංහල ගී කවි සංදේශ හා වෙනත් කාව්‍යයන්හි ආ ස්වභාව සෞන්දර්යය පිලිබඳ බොහෝ වර්ණනා යථා ස්වරූපයෙන් ඉවත්වූ ඒවා බව පැහැදිලිව පෙනී යන්නකි.    එහෙත් මාතර යුගයේ ඇතැම් කවියෙක් මේ දුබලතාව මගහැර විශ්වසනීයත්වයෙන් යුතු ස්වභාව සෞන්දර්ය වර්ණනාවට ඇති සමත්කම පෙන්වා සිටියි.  ගජමන් නෝනා කිවිඳිය විසින් රචිත දෙනිපිටියේ නුගරුක පද්‍ය රචනාව මීට නිදසුන් කළහැකිය.

" පිනවන දුටු දන සෑම -  ගඟ ළඟ පිහිටි කදීම 
  තුරු පෙළ අවට සැදීම - යුත් සෙවනැල්
  ගන මේ කුලෙව් දිලීම - ඇති හැම කල්

 යන එන අය සැපසේම - එහි ඉඳ ගිම් සැනසීම 
 දසදිග අතු විහිදීම - ගිමෙන විසල්
 දෙනිපිටියටම ඉතාම - වටිනා මහ නුග දූම 
 බල සකි එහි සිත් සේම - නිලඹර දුල්"

 සැමවර දන මනනන්ද  -  පලබර පලපු උයන්ද 
 නෙක වතු කුඹුරුවලින්ද - සැදි දෙපසේ 
 පෙම කරවන නිතියෙන්ද - සල්පිල් සහ ගෙවලින්ද
 එහි සරනා මැතිසෙන්ද -  සැණකෙළි සේ 

කිවියර වඩු සිතියන්ද - දැනගත් සිපි ඇදුරන්ද 
සැදි දෙණිපිටිය නමින්ද - යුත් පියසේ 
නුගතුර තුනු රුසිරෙන්ද - පළකර සක් දෙවියන්ද 
පරසතු රුක විලසින්ද - නිබඳ දිසේ"

මෙයින් සහෘදයා තුළ දැවැන්ත නුග ගසක් හා අවට පරිසරයක් චිත්‍රණය වනුයේ අපූරු චමත්කාරයකිනි.   මේ සඳහා කිවිඳිය යොදාගත් විරිතද උචිත වුවකි.

ස්වභාව සෞන්දර්යයේ අපූරු තැන් පමණක් නොව එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිද්ධිද මාතර කවියා කවියට ගොනු කිරීමට අමතක කළේ නැත.  අසල්වැසියෙකුගේ වංගෙඩියක් සොරකම් කරගෙන යෑම නිසා කම්පාවූ බරණගණිතයා මේ වස්කවිය කීවේය.

" මා මෙතෙක් කලක් වැඩගත්  වංගෙඩිය 
 මානයක් බලා හොරු අරගෙන     වැඩිය 
 දී හෙනත් නොපැළුවේ උගෙ ඔළුගෙඩිය 
 නෑකමක් වත්ද දෙවියනි තෙද      වැඩිය"

පත්තායමේ ලේකම් කවියා අතරමගදී සුනඛයන් දෙදෙනෙකු සංවාසයෙහි යෙදී සිටිනු දුටුවේය.   ඒ බව ලියන අප්පු නැමැත්තාට ඔහු වාර්තා කළේ මෙසේය.

"යුවලද බඳ යුවල බඳ යුවලකි     වලග
 සතරද නෙත් සතර සවනත මුකර යුග
ගහනද දෙපය පදටින් යුත්   අතර  මග 
දුටුවද ලියන අප්පු එන        අතර  මග"

ලියන අප්පු ඊට පිළිතුරු දුන්නේ මෙසේය.

" දෙදෙනා සුනක රති පහසට    එලෙන්දුව 
 ලොබිනා නිතින් හැර රති කෙළි අලන්දුව 
වටිනා කවි හසර දත් අප           මැතින්දුව 
දකිනා විට මෙමම සිටියෙමි       තුරන්දුව "

මාතර කවීහු ශබ්ද විෂයක මෙන්ම අර්ථ විෂයක ගුඪතාව ද ප්‍රියකළහ.   සරල සිද්ධීන් වස්තු කොට ගත් පහත දැක්වෙන පද්‍යය ඊට කදිම නිදසුනෙකි.

"පෙර රැස නගා පළහා අන්තිම         රාසී 
 නොව රැස එක් ගහන් දස එක වන  රාසී 
 යුගරැස වන දනෝ සිව්රැස ගෙන     පෑසී 
පස රැස ලෙසින් විකුමෙන් බස් දෙති වාසී"

මෙහි ඇතුළත් වී ඇත්තේ රා බොමින් පැලහු මස් කමින් සිංහ වෙස් ගෙන වහසි බස් දොඩවන පිරිසක් පිලිබඳ චිත්‍රයකි.   කවියා ඒ සඳහා ග්‍රහරාසි ප්‍රහේළිකා ස්වරූපයෙන් උපයෝගී කරගනී.   මෙය පත්තායමේ ලේකම් කවියාගේ රචනාවකි.

මිහිරිපැන්නේ ධම්මරතන හිමියන්ගේ ලිපි ගෙනයාමෙහි නියුක්තව සිටියේ "බහිතා" නැමැත්තෙකි.   ඔහුට අටදහිවත්තේ වලව්වෙන් කෑම නොලැබෙන බව දැනගන්නට ලැබීමෙන් පසු ධම්මරතන හිමියෝ ඊට පිළියම් යෙදුවේ කවියෙනි.   ඒ සඳහා උන් වහන්සේ එම වලව්වට යැවූ ලිපියේ කවරයේ මේ කවිය ලියා යැවුහ. 

" සාලාවේ ඉන්න සඳ මුදලි මැති                    වරා
 ලාලා අත් මුදුන පද යුවල වැඳ                      සරා 
දීලා මෙපත යළි යළි නැමද තියු                    කරා 
කාලා එනු "බහිතෙ" නුඹෙ බඩ පැලෙන        තුරා"

තෙරනමකගේ අසංවර හැසිරීමක් දුටු ඊශ්වර මුත්තා නැමැති කවියා ඒ හිමියන් උපහාසයට ලක් කරමින් මේ පද්‍යය රචනා කළේය. 

"හර ගිරිඳුන් පෙර රතියෙන්      වරද්දා 
සැර කුසුමන් සහ විසුවේ     නොමද්දා 
වර මුනිඳුන් අණ සිකපද           වරද්දා 
තෙර පැටියන් බෝවෙයි හෙට අනිද්දා"

රංචාගොඩ පුංචි මහත්තයා නැමැති කවියා රදා ස්ත්‍රියක හා දැඩි පෙමින් බැඳිණි.   මේ සම්බන්ධය වළකාලීමට වගකිවයුත්තන් විසින් බලියාගයක්ද කරවන ලදී.   එහෙත් ඔහු ඒ සම්බන්ධතාව නොනැවත්වීය.  රදාලිය හා වාසය කිරීමට විළිලැජ්ජා නැතිදැයි හිතවතෙකු විසින් විමසන ලදුව රංචාගොඩ පුංචි මහත්තයා ඔහුට මෙසේ පිළිතුරු දී ඇත.

"උවනත් සපිරි සඳ වරලස නීල          කුළ 
කොඳ දත් කැකුළු තුඟු පියයුරු හේම  කළ 
ලොබ සිත් වඩන දුටු සළු ලිය නාග     දුල 
සිඹිතත් කිළුටු නැත සුසිනිඳු නාබි       මුල"  

රති සැපත වනමින් ලියූ රතිරත්නාලංකාරය,දුනුවිල හටන, කොන්ඩමාලය වැනි කාව්‍ය ග්‍රන්ථ ද ලියැවී ඇති අතර,ඒ පිලිබඳ කෙටි පද්‍ය ද රාශියෙකි.  එම පද්‍ය අතර ඇතැම් ඒවා පෞද්ගලික අත්දැකීම්ය.  පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධව ලියැවී ඇති කවි දෙකකි.   පළමුවැන්න පරණාතල හිමිට ස්ත්‍රියක විසින් ලියා එවන ලද පද්‍යයකි.

" පැවිදි කළේ රුති සිල් ටික නොම   දන්නා
  මෙමට කළේ තද නපුරකි ගෙට   ගෙන්නා 
   පරණතලේ නැත වානේ නැව්       යන්නා 
   උඹට බොලේ බෑ කැටයම් හිමි      දන්නා"

මේ පද්‍යය සබේ විදානේ දෙවන වරට කැන්දාගෙන ආ බිරියගේ දොස් දක්වා ඇගේ මෑණියන්ට සබේ විදානේ විසින් ලියා යවන ලද කවියකි.

" මා පුතෙක් සමග නුඹේ දුව වෙලා හිත 
 පාපයක් කළෙය වන ලෙස      අපාගත 
කීපයක් වරද දුටුවෙමි ඇගේ         කැත 
මා ලඟත් හිටින හැඩයක් වගේ     නැත"

සෙත්කවි හා වස්කවි රචනය ද මෙම අවධියේ බහුල විය.   පහත දැක්වෙනුයේ බරණ ගණිතයා සිය බිරිය පලා යෑමෙන් කුපිතව ලියු වස් කවියකි.

"වීරිය කර බාල කාලේ ලබපු       ළමා 
 නෑරිය එක්වන්ඩ නෑසිය දුජන     සැමා 
 සූරිය දෙවියන්ඩ වැඳ කියමි අත   නමා 
 බාරිය මගේ එවන් දෙවියනි කතරගමා "

වස් කවියක් නුවූවද රංචාගොඩ ළමයාගේ මෙම පද්‍යය ද වස් කවියක් වැන්න.

" දරු සදෙනෙක් වෙනකන් කාපු දීගේ 
 වැලිගමියෙක් ඇවිදින් කරපු    හදියේ 
 පරුමානයක් සේ අරගෙන ගහ  උඩට 
රීරී යකෝ කාපිය කැවුතු ඇද        ඇද"

මේ ආදී මාතර යුගයේ දහසක් පද්‍ය අතරට තත්කාලීන ගොයම් කවි, වැපුරුම් කවි,  නෙළුම් කවි,  කමත් කවි,  කුරහන් කවි,  පැල් කවි,  කරත්ත කවි,  පතල් කවි,  පාරු කවි,  රබන් පද,  ඔන්චිලි,  ලීකෙළි,  ඔලිඳ කෙළි,  ආදී කෙළි කව් රැසක් එක්වෙයි.  මසුන් මරන්නන් අතර භාවිතවූ ජනකවි ද මේ අතර දක්නට ලැබේ.   

" කතරගමයි දේවාලය    දෙවියන්ගේ 
අතරමගයි අද අපි දිය නෑවෙ      ගඟේ 
සතර දෙනයි ගෑවේ රත් හඳුන්   ඇඟේ 
වතුර හොඳයි කවදත් නිල්වලා   ගඟේ 

අම්බලමේ මුතු කෙළලා     තිබෙන්නා 
පාළු ලිඳක දිය කෙළලා      තිබෙන්නා 
ඕලු ගසක මල සුළඟට      වැනෙන්නා 
අපෙ අම්මා දුර එනවා      පෙනෙන්නා"

මාතර කවියේ වස්තු විෂය කොතරම් පළල් දැයි මෙතෙක් දැක්වූ කවි අනුව කෙනෙකුට සිතා ගැනීම අපහසු නොවේ.   මුලින්ම කියා ඇතිසේ මහා කාව්‍යයේ සිට පෞද්ගලික පණිවිඩයක් යැවූ හසුනක යොමුව සඳහන් සරල කවිය  දක්වාවූ හැම තරාතිරමකම විවිධ කවි මේ අවධියේ ලියැවී ඇත.   ඒවා එකවර ගෙන දැක්වීමත් වර්ගීකරණයකින් විශ්ලේෂණයට යොමුකිරීමත් අසීරු මෙන්ම භාරදුර කාර්යයක්ද වන්නේය෴

"මාතර කවිය" (1990) ඇසුරෙනි.

8 comments:

  1. මේක බොහොම වටින සටහනක්. තව කීප පාරක් කියවන්න ඕනි කවි ටික රස විදින්න.

    ReplyDelete
  2. වටිනා කියන පෝස්ට් එකක් හැලප අයියෙ. නමුත් නිවැරදි විය යුතු තැනක් තියෙනව. මං හිතන්නෙ ප්‍රින්ටින් මිස්ටේක් එකක් තියෙන්නෙ..
    මෙන්න මෙතන
    //උගතුන්ට විෂය වන මහා කාව්‍යයේ සිට පෞද්ගලික තොරතුරක් දන්වා යැවූ ලිපියක ලිපියොමුව ලියු පද්‍ය දක්වා වූ සෑම තරාතිරමකම කවි මාතර යුගයේදී ලියැවී ඇත.//

    මහා කාව්‍යයක් මාතර යුගයේදී රචනා වුනේ නෑ නේද. ප්‍රමාණයෙන් විශාල වුණාට මහා කාව්‍ය ගණයට අයත් වෙන්නෙ නෑ නෙව. දන්න තරමින් ශ්‍රී ලාංකේය මහා කාව්‍ය හතරයි තියෙන්නෙ. ඉනුත් සිංහල මහා කාව්‍ය තුනයි.
    කව් සිළුමිණ - පණ්ඩිත පරාක්‍රමභාහු රජු
    කාව්‍ය ශේඛරය - තොටගමුවේ රාහුල හිමි

    සහ නූතනයේ ලියැවුන එකම මහා කාවය
    නැණ සිළුමිණ හෙවත් උමංදා මහා කාව්‍ය - මහාචාර්ය දර්ශන රත්නායක

    අනෙක් එක කුමාරදාස රජු ගෙ ජානකීහරණය.. එය සංස්කෘත නිසා සිංහල මහා කාව්‍යක් ලෙස ගැනේනෙ නෑ නෙව.

    වැරදි නම් නිවැරදි කරන්න. අපි තාම ඉගෙන ගන්නා අයවලුන් නෙව

    ReplyDelete
    Replies
    1. ප්‍රින්ටින් මිස්ටේක් එකක් හෝ වැරද්දක් විය හැකියි. මෙලෙස ලියා ඇත්තේ පණ්ඩිත කොත්මලේ කේ.බී.ඒ.එඩ්මන්ඩ් මහතා විසින්.

      Delete
  3. මාතර යුගය කියන්නේ කවියන් ඔක්කොම මාතර නිසාද? මාතරින් අභාෂය ලැබූ නිසාද? මාතර ස්ටයිල් එකක් නිසාද?

    ReplyDelete
    Replies
    1. බහුතරයක් කවියන් දකුනට නෑකමු කියූ අය. මාතරට වඩාත් සමීපත්වයක් නිසා
      මාතර කේන්ද්‍ර කරගත් නිසා තමා මාතර කවිය වෙන්නෙ

      හරියට කොළඹ යුගය වගේ. නමුත් විහේෂත්වයක් තියෙනව කොළඹ යුගයේ කවීන් සියළුම දෙනා කොළඹ කේන්ද්‍ර කරගත්තත් ඔවුන් කොළඹ අයම නොවීම
      ඒ අතිං මාතර සුවිශේෂයි

      Delete
  4. බරණ ගණිතයා කියූ වස් කවියේ තව කොටසක් තියෙනවා නේද?

    රට කදිරා පුර නායක දෙවි කතරා
    මට නිතරා පැමුණුන දුකකී අතරා
    මට උදුරා නොදුන් නම් මගෙ සොඳුරා
    තගෙ මයුරා වාහන ගන්නෙමි උදුරා


    නරකින් ජීවත් වූ හෙන්දා නමැති දාමරිකයකු ගේ මරණය ආදෘශකරගෙන මිහිරිපැන්නේ හිමියන් විසින් ලියූ අවවාදාත්මක කවියක් මේ..

    හෙන්දාලා ජඩකම් කලා නපුරුව - ඌරන්ද කැස්බන් ගෙරින්
    තම්බාලා බුදිමින් අරක්කුද බොමින් - බැන්නා දෙඩුවා බොහෝ
    නින්දා ඒ ගැන පත් වෙලා කල මහත් - පව්කම් බෙලෙන් දුක් රැසක්
    වින්දා වූ සැටියක් අනේ නුදුටුවේ - මන්දැයි බොලව් කොල්ලනේ


    මේ නිතර රා බී වෙරිමතින් අඬදබර කරන කොලු රැළක් ගැන මිහිරිපැන්නේ හිමියන් විසින් කෝරළේ මුදලිට කල පැමිණිල්ලක්..

    වැඩ නැති ජඩ කොල්ලෝ එක්වෙලා මේ ගමේ හී
    බඩ පැලෙන තුරා බී මත් වෙලා රා අරක්කූ
    අඬදබර කිරීමෙන් රෑ දවල්හී බොහෝ සේ
    ඉඩ නැතුව සරප් නුවූ ලෙසින් කල් යවත්මැයි

    නිලරඹ අහසේ එල්ලෙන්ට වෑයම් කරත්මැයි
    ඉරසඳ උදුරා ගන්ටත් අහස්හී පනිත්මැයි
    වරපල කියමින් නිත්තෙන් කරච්චල් කෙරෙත්මැයි
    ජරගඳ කුණු රා බී මෙලෙසින් කල් යවත්මැයි

    මෙයින් මතු මෙබන්දක් තෝ කලෝතින් කීවොතින්
    එයින් තට කරන්නාවූ දෙයත් මම දනිම්මැයි
    තද ලෙස බිය ගන්නාලා හලොත් පින්වතුන්ගේ
    කිතුසිරි පැතිරේවී බෝ උසස් වූ ලෙසින් දැන්


    මේ ජනප්‍රිය කවියත් මිහිරිපැන්නේ හිමියන්ගේ..

    බැකිසි බකු සානේ
    කරවැල් මහ කොකානේ
    දිය ගැරඬියානේ
    රකිව් දුම්බර මහ විදානේ

    ReplyDelete
  5. මාතර යුගයේ කවිත් රුහුණේ කිරිපැණි වගේ රසයි.

    ReplyDelete
  6. මාතර යුගයේ ගිහි පැවිදි පඬිවරුන්

    සිටිනාමලුවේ ඉන්ද්‍රජෝති හිමිපාණෝ

    වලපනේ සිද්ධාර්ථ හිමිපාණෝ

    හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණෝ

    රත්මලානේ ධම්මාලෝක හිමිපාණෝ

    රත්මලානේ ධර්මරාම හිමිපාණෝ

    වේහැල්ලේ ධම්මදින්න හිමිපාණෝ

    කඹුරුපිටියේ ගුණරතන හිමිපාණෝ

    කරතොට ධර්මාරාම හිමිපාණෝ

    දෙහිගස්‌පෙ අත්ථදස්‌සි හිමිපාණෝ

    වටරක්‌ගොඩ ධම්මපාල හිමිපාණෝ

    දික්‌වැල්ලේ බුද්ධරක්‌ත හිමිපාණෝ

    සාලිඇලේ මනිරතන හිමිපාණෝ

    කිරම ධම්මානන්ද හිමිපාණෝ

    තල්අරඹේ ධම්මක්‌ඛJධ හිමිපාණෝ

    කටුවානේ දිසානායක මුහන්දිරම්

    බරණ ගණිතාචාර්ය

    පත්තායමේ ලේකම්

    ඌරගමුවේ රාජගුරු

    අබයවීර සිරිවර්ධන මුදලි

    මාතර සරම්මුදලි

    රත්නපුරේ ඇලපාත මුදලි

    ගාලු කෝරළයේ අබේසිංහ මුදලි

    දොන් ජුවන් අබේසිරිවර්ධන ඉලංගකෝන් මුදලි

    දෝන ඉසබෙලා කොර්නේලියා හෙවත් ගජමන් නෝනා

    ReplyDelete