Thursday, March 15, 2018

අවුරුදු විභාගය සහ ඉස්කෝල ඉන්ස්පැක්ටර.


එවකට මේ පෙදෙසේ පාඨශාලා පරීක්ෂක ධුරය දැරුයේ වර්ණසුරිය මහතාය.   දැන් මෙන් නොව ඒ කාලයේ පාඨශාලා පරීක්ෂකවරයකු අවුරුදු විභාගයට පාඨශාලාවට පැමිණීම දැන් නම් ආණ්ඩුකාර උතුමාණන් වහන්සේ ගේ පැමිණීම තරම් උත්සවයක් විය.   විභාග දිනයට සතියකට කලින් සිට පාසලේ කිසිම ඉගැන්වීමක් නොකෙරේ.   ඒ සතිය තුළ ළමයින්ට වත්,ගුරුවරුන්ට වත් ඉගෙනීමක් ඉගැන්වීමක් ගැන ව්‍යාවෘත වීමට නිවාඩුවක් නොලැබේ.   ඉන්ස්පැක්ටර් මහතා පිළිගැනීමට තොරණක් බැඳීමත්, පාඨශාලා ගෘහය සැරසීමත් නිසි පරිදි කිරීමට සතියකුත් ප්‍රමාණ නොවේ.   ගුරුවරුනුත් ශිෂ්‍ය ගුරුවරුන් හා ලොකු ළමයිනුත් මේ සතියේ රෑ දවල් දෙකම ගත කරන්නේ ඉස්කෝලයේය.

තොරණටත්, ආරුක්කුවලටත් අනික් සැරසිලි වලටත් වුවමනා පුවක්ගස්, උණ ගස්, ගොක් අතු, පඹ, බඩල් වනස්ස, මඩු අතු, පොල් වලු, කුරුම්බා වලු, තැඹිලි වලු, දොඩම්, ජම්බල ආදිය ඇති තරම් සොයා ගැනීම එතරම් පහසු කරුණක් නොවේ.   පුවක් ගස් සැපයීමට පුළුවන් ළමයි පුවක් ගස් හා උණ ගස් සැපයීමට පුළුවන් ළමයි උණ ගස් ද ගොක් අතු, පොල් වලු, කුරුම්බා, තැඹිලි ආදිය දීමට පුළුවන් ළමයි ඒවාද සැපයීමට පොරොන්දු වෙති.   ළමයින්ගේ වත් පොහොසත් කම් බස්තියන් ගුරුන්නාන්සේ හොඳින් දන්නා බැවින් පාසල සැරසීමට වුවමනා දේ නොදී පැහැර හැරීමට කිසිවෙකුට පුළුවන් නොවේ.

බඩල් වනස්ස, පඹ, මඩු අතු ආදිය සපයා ගෙන ඒමට ලොකු ළමයින්ට අසල ගම්වලට යෑමට ද සිදුවේ.   මේවා එකතු කිරීම වෙහෙසක් ලෙස කිසිම ළමයෙක් කල්පනා නොකරයි.   ගම් වැසියන්ගේ කරත්ත කීපයක් ඉල්ලා ගෙන ඒවායේ නැගී ගොස් මුළු දවස වෙල්වලත් මඩ වගුරුවලත් ගතකොට දවල්ට ආහාරයක් ද නැතිව ගැල් පුරා වුවමනා දෑ රැගෙන සවස ආපසු පාසල කරා පැමිණීම ළමයින්ට මහත් ප්‍රීතියකි.   තොරණට තල් වලු දෙකක් එල්ලීම විශේෂ අලංකාරයකි.   යාපනේ අර්ධද්වීපයේ මෙන් කොළඹ අසල පෙදෙස්හි තල් ගස් දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි.   එහෙයින් පාසලේ තොරණේ එල්ලා තිබෙන තල් වලු දැකීම පාරේ යන එන්නන්ගේ කුතුහලයට හේතුවේ.   ඇතැම් කෙනෙක් ඒවා මොනවාදැයි නොහඳුනත්.   තල් වලු ගෙනෙන්නට පොරොන්දු වන්නේ කඩුවෙලෙන් පැමිණෙන ලොකු ළමයින් දෙදෙනෙකි.   කඩුවෙලේ තොටුපොළෙන් එගොඩවී බියගම අසරප්පා මහතාට අයත් බණ්ඩාර වත්තට ගිය විට එහි වවන ලද තල් ගස් කීපයක් දකින්නට ලැබේ.   අඩි හැටක් හැත්තෑවක් පමණ උසට වැඩුණු මේ ගසකට නැගී තල් වල්ලක් කපා බිමට බා ගැනීම පහසු වැඩක් නොවන නමුත් මේ ළමයි කොහොම හරි තොරණට තල් වලු දෙකක් සපයති.

වුවමනා සියලු දේ සපයා ගත් පසු සැරසිල්ල ආරම්භ කරනු ලැබේ.   බස්තියන් ගුරුන්නාන්සේගේ විධිවිධාන පිට සියලු වැඩ කරනු ලබන්නේ ශිෂ්‍ය ගුරුවරුන් සහ ලොකු ශිෂ්‍යයන් විසිනි.සැරසිලි වැඩ නිමවන තුරු කුඩාම ළමයින් පාසලට පැමිණීමෙන් පලක් නැති බැවින් ඔවුන්ට මේ දවස් කීපයද නිවාඩු කාලයක් වන්නේය.   පස් වැනි ප්‍රමාණයේ පටන් අට වැනි ප්‍රමාණය දක්වා පන්තිවල ශිෂ්‍යයෝ මහත් උනන්දුවකින් සැරසිලි කර්මාන්තයට සහභාගී වෙත්.   පස් වැනි ප්‍රමාණයේ බාලම ළමයා පියසිරි බව ඔහු පාසලට ඇතුළුවූ හැටියෙනුත් ඉහළ ගිය අන්දමෙනුත් අපට පැහැදිලිය.   ඒ කාලයේ බොහෝ ළමයි පාසලට ඇතුළත් කරන ලද්දේ වයස අට නවය ගතවූ පසුය.   එසේම ඉගෙනීමෙහි උනන්දුවක් නැති ළමයින්ට එකම පන්තියේ අවුරුදු දෙක, තුන බැගින්ද ගතකිරීමට සිදුවන බැවින් පස් වැනි පන්තියේ අවුරුදු පහළොව තරම් වයසැති ළමයි ද වුහ.   වයසින් බාලවූ නමුත් ධෛර්යයෙන් තම පන්තියේ කිසිවෙකුට දෙවැනි නොවූ පියසිරි සැරසිලි කර්මාන්තයෙහි තමාට අයිති කොටස මැනවින් ඉටු කළේය.

තොරණ බැඳීමට හවුල් වන්නේ ලොකු ළමයි සහ ශිෂ්‍ය ගුරුවරුන්ය.   ගණනට පුවක් ගස් කපා සිටවීම, පුවක් ගස් පළා හරස් පොලු බැඳීම, පඹ එතීම, වලු එල්ලීම ආදිය කුඩා ළමයින්ට කළ නොහැකිය.   තොරණ ළඟ සිට පාසල දක්වා උණ ගස් සිටුවා ආරුක්කු නැමීම, අවුල් හරය සිටිනසේ ගොක් අතු ඉරා ආරුක්කුවල තබා බැඳීම ආදියට කුඩා ළමයි ද උදව් වෙත්.   ගොක් අත්තකින් සාදනු ලබන අවුල් හරය විසිතුරු කර්මාන්තයකි.   කලින් නුපුරුදු කෙනෙකුට නිසි පරිදි අවුල් හරයක් තැනීම අමාරුය.   පියසිරි පළමු වන වරට අවුල් හරයක් සාදනු දුටුයේත් මෙහිදීය.   එසේ වුවත් පුරුදු ළමයින් ඒවා කරනු බලා සිටීමෙන් පියසිරිට ගොක් අත්තක් අවුල් හරය සිටින සේ ඉරා ගැනීම අපහසු නොවීය.

අවුල් හරය සෑදීම සඳහා පළමු කොටම ගොක් අත්ත දෙකට ඉරා ගත යුතුය.   ඊට පසු ඉරටා සියල්ල ගලවා දමා, මඳක් පමණක් ඉතිරිවන සේ නාරටිය ගා දමනු ලැබේ.   පසුව පෑන පිහියක් ගෙන නාරටිය සම්පූර්ණයෙනුත් පුළුක් කොළ අඟල් බාගයක් පමණක් කැපෙන ලෙස ගොක් අතු පළුව තුනට ඉරනු ලැබේ.   ඉන් පසු එක් කොනක මැද නාරටි ඉරුව එක් ළමයෙක්ද අනික් කොනේ අයිනේ නාරටි ඉරු දෙක තව ළමයෙක්ද අල්ලා ගෙන අඩියක් පමණ දෙපැත්තට ඇද්ද විට අවුල් හරය සෑදේ.   ගොක් අතු පළුව තුනට නොව දෙකට ඉරීමෙන්ද අවුල් හරය සාදා ගත හැකි වුවත් එය තුනට ඉරූ තරම් ශෝභන නොවන්නේය.   මෙසේ සාදා ගන්නා ලද අවුල් හරය එල්ලනු ලබන්නේ තොරණ ළඟ සිට පාසල දක්වා සිටවන ලද ආරුක්කු වල පමණක් නොවේ.  ඉස්කෝලය ඇතුලේ කුළුණු කණු අතර උණ පතුරු වලින් නමන ලද ආරුක්කුවලද ඒවා එල්ලත්.   ඉස්කෝලය වටේ තිබෙන කුඩා කුළුණු කණු පඹ එතීමෙන්ද මැද තිබෙන ලොකු කණු මඩු අතු වලින් සැරසිලි කිරීමෙන්ද අලංකාර කරනු ලැබේ.

ප්‍රධාන බිත්තියෙහි, ඉංගිරිසි ඔටුන්න සෑදීමටත්, ඒ දෙපස ඉංගිරිසියෙන් හා සිංහලෙන් ":ආයුබෝවන්" යන අදහස ඇති වචන ගැලපීමටත් පාවිච්චි කරනු ලබන්නේ බඩල් වනස්ස ය.   ළමයින් විසින් ගෙනෙන ලද තැඹිලි වලු, පොල් වලු සහ ඉඳි වලු තොරණෙහි එල්ලන අතර දොඩම්, ජම්බල සහ වැටකේ ගෙඩි ආදිය පාසල හතර වටේ යටලී වල එල්ලනු ලැබේ.   සැරසිලි කර්මාන්තය ඉවරවූ විට මුළු ගමේම සිරියාව එක්තැන් වූ ලෙස සැලකිය හැකිය.   ඒ හැර විභාගය දවසේ ළමයින් සියලු දෙනා සුදු ඇඳුමෙන් සැරසී පාසල කරා පැමිණි විට ඇතිවන සිරියාව වර්ණසුරිය මහතා වැනි රෞද්‍ර ස්වභාවයෙන් යුත් පාඨශාලා පරීක්ෂකයකුගේ වුවත් සිත පහන් කිරීමට හේතුවනු නො අනුමානය.

ඉන්ස්පැක්ටර් මහතාගේ අශ්ව කරත්තය ඈත එනු ඇසෙන විට ම පාසලේ නිශ්ශබ්දතාව පැතිරෙන්නේ ළමයි ඝෝෂා නොකර සිටිය යුතුය යි බස්තියන් ගුරුන්නාන්සේ උස් හඬින් දුන් ආඥාවෙන් පසු, ළමයි තුන් සියයකින් පමණ යුත් මුළු පාසලෙහි මීයකුගේ තරම් ශබ්දයක් නොපවතියි.   ශිෂ්‍ය ගුරුවරු තම තමන්ගේ පන්ති අරක් ගෙනද ගුරුවරු තම තමන්ගේ මේස ලඟද සිටිත්.   බස්තියන් ගුරුන්නාන්සේ සහ එක මොනිටර් කෙනෙක් අශ්ව රථය බලාපොරොත්තුවෙන් තොරණ ළඟ නැවතී සිටිත්.   රථය නැවතුණු වහාම පිටි පසින් සිටගෙන ආ කුදිරකාරයා ඉක්මණින් ඉදිරිපසට අවුත් අශ්වයාගේ කටකලියාවෙන් අල්ලා ගත් විට කුදිරකාරයාගේ ආසනයේ ඉඳ ගෙන අසු දැක්කා ගෙන ආ වර්ණසුරිය මහතා බිමට බසින්නේය.

බස්තියන් ගුරුන්නාන්සේ ඉදිරියට ගොස් සිංහල පිළිවෙළට ආචාර කරයි.

" හා! ගුරුන්නාන්සේ කොහොමද? ලෑස්ති ද? "

" එහෙයි හාමුදුරුවනේ, දවල් උණේ? "

" මග දී ඉස්කෝලෙකට ගොඩ වැදුණා, ඒකෙ නම් ලකුණු කරලාවත් නැහැ. අරගනින් මේ බෑගය, ලොකු එක දීපන් මොනිටරට."

බස්තියන් ගුරුන්නාන්සේ කුඩා බෑගයත්, මොනිටර ලොකු බෑගයත් අතට ගනිත්.   කුදිරකාරයා අශ්වකරත්තය මිදුලට ගෙන අශ්වයා ලිහා ඌට සාත්තු කරන අතර ඉන්ස්පැක්ටර මහතා බස්තියන් ගුරුන්නාන්සේ සහ මොනිටර පිටි පසින් ඇතිව පාසල කරා ගමන් කරයි.   දැන් බස්තියන් ගුරුන්නාන්සේගේ කල්පනාව ඉස්කෝලේ විභාගයටත් වඩා, නම් ලකුණු කර නොතිබුණු ඉස්කෝලේ ගුරුවරිය ගැනයි.   ඉන්ස්පැක්ටර මහතා පඩි පේළියෙන් ගොඩ නැඟුණු හැටියේ ප්‍රධානාචාර්යවරයා සහ අනික් ගුරුවරයාද සිංහල පිළිවෙළට ඔහුට ආචාර කරන්නෝය.   මුළු පාසලේම ළමයි සහ ශිෂ්‍ය ගුරුවරු ද එක වරම නැගිට යුගත් එක් කොට ආයුබෝවන් කියා ආචාර කරන්නෝය.   ඉන්ස්පැක්ටර ඔවුන්ට ආපසු ඉඳ ගැනීමට අතින් සංඥා කිරීමෙන් ආචාරය පිළිගත් බව අඟවා තමා උදෙසා සුදු පිළියක් එළා සකස් කර තිබුණු ආසනයෙහි වාඩි වෙයි.

වාඩි වීමෙන් පසු විභාගය ආරම්භ කිරීමට පළමු කොට තමා සකස්වීමට ඉන්ස්පැක්ටර මහතාට ස්වල්ප වේලාවක් අවශ්‍යය.   පළමු කොටම කටේ හප හපා තිබුණු සුරුට්ටු කොටය, කොට බිත්තියෙන් පිටතට විසිකොට හිසෙහි තිබුණු කළු උස තොප්පිය ගලවා මේසය මත තබයි.   පුංචි තල ගුළියක් පමණවූ කොණ්ඩය ළමයින්ට දකින්නට පුළුවන් වෙන්නේ ඉන් පසුය.   කොණ්ඩය අවුල් වීම වැළක්වීමට හෝ ඒ කාලයේ සිරිත ලෙස පැළඳි අඟල් බාගයකට වඩා ගණකම් නොවූ නියපොතු පනාව මීළඟට ගලවා මේසය මත තොප්පියට යටකොට තබන්නේය.   ඉක්බිති ගුරුවරුන්ට කතාකොට දවසේ විභාගයට තරම් පන්ති නවත්වා ගෙන අනික් ළමයින්ට පසුව දා එන ලෙස ගෙදර යැවීමට නියම කරන්නේය.   

පස්වන ප්‍රමාණයෙන් ඉහළ පන්තිවල ළමයින්ට ගණිතය, භූමි ශාස්ත්‍රය, ඉතිහාසය, ව්‍යාකරණය, සනීපාරක්ෂාව ආදී පාඩම් සඳහා විභාග පත්‍ර ලැබේ.   ඒ කාලයේ අනික් පාඩම් ඉගැන්වීමට ඒ ඒ පන්තියට සෑහෙන පොත් තිබුණ නමුත් සනීපාරක්ෂාව ඉගැන්වීමට තිබුණේ ඇලන්පැරි දොස්තර මහතාගේ සනීපාරක්ෂාව පිලිබඳ කථෝපකථනය පමණකි.   හතර වන ප්‍රමාණයේ සිට අට වන ප්‍රමාණය දක්වාම විභාගය පැවැත්වුයේ මේ කුඩා පොතෙන් ප්‍රශ්න කීපයක් ඇසීමෙනි.   ගිරවුන්ට මෙන් මේ ප්‍රශ්න උත්තර කට පාඩම් කරවීමෙන් ශිෂ්‍යයන්ට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව සැලකීමෙන් සෞඛ්‍යය හා ශාරීරික විද්‍යාව පිලිබඳ ග්‍රන්ථ නිෂ්පාදනය කරන ලද්දේ ඊට බොහෝ කලකට පසුය.

භූමි ශාස්ත්‍රය හා ඉතිහාසයද උගන්වන ලද්දේ දැනට වෙනස් අන්දමෙනි.   මේ පාඩම්වලින් මනුෂ්‍යයා හා ජීවිතය පිළිබඳ දැනගත යුතු කරුණු නොව, නම් වට්ටෝරු කට පාඩම් කරවීම වැදගත් ලෙස සලකන ලදී.   ඒ කාලයේ ඉන්ස්පැක්ටර මහතුන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමට එ වැනි නම් වට්ටෝරු කට පාඩම් කර නොගෙන නුපුළුවන් විය.   එ හෙයින් ළමයින්ට කට පාඩම් කර ගැනීම පහසු වනු සඳහා භූමි ශාස්ත්‍රය සහ ඉතිහාසය කවියට ද නඟා තිබුණේය.

ප්‍රශ්න පත්‍ර දීමෙන් පසු ඉහළ ප්‍රමාණවල ළමයි සම දුරින් ලියන මේස වෙත හිඳුවනු ලැබුහ.   ඔවුන් කොපි කිරීම වැළක්වීමට ගුරුවරු සහ ශිෂ්‍ය ගුරුවරු ද තැන් තැන්වල සිටවනු ලැබුහ.   එසේ කිරීම නරියාට බොක්ක සේදීමට බාරදීමට වැඩි වෙනසක් නොවුවත් ඉන්ස්පැක්ටර මහතා ගුරුවරුන් කෙරෙහි සැක නොකරන බව එයින් ප්‍රකාශ විය.   එසේ නැතහොත් ළමයින්ට ටිකක් කියා නොදී ඒ ප්‍රශ්නවලට උත්තර ලිවීම අපහසු බව ඉන්ස්පැක්ටර මහතාද ඒත්තු ගන්නා බව පැහැදිලි විය.   මීළඟට ඉන්ස්පැක්ටර මහතා සුදානම් වුයේ කියවීම සහ කවි පාඩම විභාග කිරීමටය.   ඒ සඳහා කාමරයේ තිබුණු හාන්සි පුටුව එළියට ගෙන ඊට ද ඇතිරිල්ලක් එලන ලදී.   ඉන්ස්පැක්ටර මහතා තමා හුන් පුටුවෙන් නැගිට කෝට් එක ගලවා හාන්සි පුටුවේ හිස් කොනක එල්වීය.   ටයි එක සහ කොලර් එකද ගලවා කෝට් එකට උඩින් තැබීය.   ඊට පසු වාඩිවී ලොකු ළමයකුට කථා කොට සපත්තු දෙකද ගැලවීමට නියම කළේය.

මීළඟට කලිසමට උඩින් ඇඳ තිබුණු රෙද්ද ගලවා තබනු ඇතැයි ගුරුවරුන් සහ ළමයින් කල්පනා කළ නමුත් එසේ නොකළ බැවින් ඒ කලිසම ඇම්. සී. ඇෆ් පෙරේරා මහතාගේ කලිසම මෙන් දෙ මෝස්තරයක රෙදිවලින් මසන ලද්දක් දැයි කිසිවෙකුට බලා ගත නොහැකි විය.   සනීප පුටුවේ හාන්සි වී එහි අත් දෙක දිග හැර මේස් සහිත කකුල් ඒ මත දිග හැර තබා ගෙන කියවීම සහ කවි පාඩම සඳහා අට වැනි ප්‍රමාණයේ ළමයින් කැඳවීය.

වර්ණසුරිය ඉන්ස්පැක්ටර මහතා පෙනීමෙන් රෞද්‍ර ස්වභාවයෙන් යුත් බව කලින් ද කියන ලදී.   ළමයින් තබා ගුරුවරුන් ද ඔහුට කිට්ටු වන්නේ මහත් බියෙනි. ආමන්ත්‍රණය කරන්නේ භික්ෂුන් වහන්සේ නමකට මෙනි.   පිළිතුරු දෙන්නේද එසේම ය.   එසේ වුවත් කවි පාඩම සඳහා කුස ජාතකය හෝ ගුත්තිලය අතට ගත් විට වර්ණසුරිය මහතාගේ රෞද්‍ර ස්වභාවය සම්පූර්ණයෙන් දුරු වන්නේය.   ළමයින් සමග කවි කියන විට ඔහුද ළමයකුගේ ස්වභාවයට පත් වන බව පෙනේ.   උම්මග්ග ජාතකයේ හාස්‍ය රසයෙන් යුත් කොටසක් තෝරාගෙන ළමයින් ලවා එය කියවා ඒ පිලිබඳ ප්‍රශ්න අසන විට ඒ මහතාට තමාගේ නියම ස්වභාවය ඉබේම මතක නැති වන්නේය.   නොහොත් ආරූඨ කරගත් රෞද්‍ර ස්වභාවය අමතකව නියම ස්වභාවය ඉස්මතු වන්නේය.   වැඩි වශයෙන්ම වර්ණසුරිය මහතාගේ නියම ස්වභාවය ගෙන හැර පාන්නේ කාලගෝල ප්‍රශ්නය විසඳීමේ දීය.

පාසලේ විභාගය සිව් දිනකින් නිම වන්නේය.   අන්තිම දවස ගතවන්නේ ගුරුවරුන්ගේ සහතික පත්‍ර පිටපත්වල ඒ අවුරුද්දේ ඔවුන්ගේ ඉගැන්වීමේ ප්‍රතිපල සටහන් කිරීම, ලොග් පොතෙහි විභාගය පිළිබඳ කරුණු අන්තර්ගත කිරීම ආදිය සඳහාය.   ශිෂ්‍ය ගුරුවරුන්ගේ අත් පොත්වල අස්සන් කිරීමද සිදු වන්නේය.   පාසල ඉතා හොඳින් සරසා තිබුණු බවත්, පාසලෙහි විනය ඉතා යහපත් බවත්, බංකු, පුටු , මේස ආදිය තව අවශ්‍ය බවත්, තව ශිෂ්‍ය ගුරුවරුන් කෙනෙකු හෝ දෙදෙනෙකු හෝ පත් කළ යුතු බවත් ලොග් පොතෙහි ඇතුළත් වූ කරුණුවලින් සමහරකි.

ප්‍රධානාචාර්ය මහතාට ලැබෙන වැටුප් මුදල හැර විභාගයේ ප්‍රතිඵල අනුව අවුරුදු පතා ලැබෙන තෑගී මුදලක් වන්නේය.   මේ අවුරුද්දේ විභාගය පැවැත්වුණු අන්දමින් තෑගී මුදල සම්පූර්ණයෙන් ම ලැබෙන බව ප්‍රධානාචාර්ය මහතාට නිසැකය.   එසේ ලැබෙන මුදල සම්පූර්ණයෙන් ප්‍රධාන මහතාට හිමි වන නමුත් විභාගය සාර්ථක කර ගැනීමට බොහෝ මහන්සි වූ අනික් ගුරුවරුන් දෙදෙනාටද එයින් කොටසක් බෙදා දීම මුල් ගුරුවරයාගේ සිරිතයි.

විභාගය පැවැත්වූ සන්තෝෂයට ඊළඟ සතිය සම්පූර්ණයෙන් ම ළමයින්ට නිවාඩු දීමට නියම කළ බවද ඉන්ස්පැක්ටර මහතා ලොග් පොතේ සටහන් කළේය.   වර්ණසුරිය මහතා ගුරුවරුන් පිරිවරා ගෙන ලොග් පොත ලියන අතර කුදිරකාරයා අශ්වයා බැඳ රථය පිළියෙළ කරන්නේය.   තොරණේ තිබුණු තැඹිලි වලු කීපයක් හා එල්ලා තිබුණු ලොකු දොඩම් ආදිය ද තවත් කෝලිකුට්ටු කෙසෙල්කැනක්, පතෝල, පිපිඤ්ඤ ආදී එළවළු කුඩයක්, මල්වානෙන් ලැබුණු මස් ගැලවෙන ඉස්තරම් රඹුටන් කුඩයක් ආදිය අශ්ව රථයට ඇතුළු වන්නේය.   සියලු කටයුතු නිමවූ පසු ගුරුවරුන්ගේ හා ශිෂ්‍ය ගුරුවරයන්ගේ ආචාර විඳිමින් වර්ණසුරිය මහතා අශ්ව රථයේ කුදිරකාරයාගේ ආසනයෙහි හිඳ ගෙන රේන්ස් පටි දෙක අතට ගන්නේය.   කුදිරකාරයා පිටි පස පා පුවරුවට නැඟෙනවාත් සමගම අශ්ව රථය වේගයෙන් නික්මෙන්නේය෴ 

(පියසිරිගේ පාසල් සමය. වී.ඩී. ද ලැනරෝල්, සූරිය ප්‍රකාශකයෝ, 2006)

8 comments:

  1. "අවුරුදු හතලිහකට පමණ පෙර දක්නට ලැබුණු ප්‍රත්‍යන්තයක් ලක් දිව කොයි පෙදෙසකවත් යලිත් ඇති වන්නේයැයි මම නොසිතමි.
    කුඩා කල කියවු ටොම් බ්‍රවුන්ගේ පාසල් සමය මේ කටයුත්තට මා පෙලඹවීය"

    වික්ටර් දුකී ද ලැනරෝල් 1953/05/19

    ReplyDelete
    Replies
    1. දැනට නාගරික භාවයෙන් කිලිටි නොවූ පිටිසරක් සොයා ගැනීම මඩ නැති පොකුණක් සොයා ගැනීම තරම් අමාරුය.
      එහෙමත් කියල තියනවා නේද?

      Delete
  2. මං කැමතිම පොතක්.
    ද ලැනරෝල් ලියල තියනවා කඩුවෙලත් (බියගම ද? ) ඩෙල්ෆ්ට් වගේම ලංකාවෙ කැලෑ පෝනි හිටපු තැනක් කියල. ඒ මොන පොතේද කියල හැලපෙට මතකද?

    ReplyDelete
    Replies
    1. මතකයක් තියෙනවා. මොන පොතේද කියල සොයාගෙන කියන්නම්.

      Delete
  3. මේ කතාවේ කියවෙන කාලය දැනට දශක අටකට පමණ ඉහතදී විය හැකියි. වර්ණසුරිය ඉන්ස්පැක්ටර් මහත්මයා වගේ අය කලිසම හැඳ, එයට උඩින් රෙද්දක්ද ඔතා ගන්නා නිසා ඔවුන් ගැමියා විසින් හඳුන්වා ඇත්තේ 'රෙද්ද අස්සේ මහත්තයා' කියා බව මා අසා තිබෙනවා. ශිෂ්‍ය ගුරුවරුන්ට කියන්නේ 'මොනිටර් ගුරුන්නාන්සේලා' කියලා. සමහර ඉන්ස්පැක්ටර් මහත්වරු ඒ දින කිහිපය ගුරු නිවාසයේම නතර වෙනවාලු.

    ReplyDelete
    Replies
    1. ඊළඟට ගුරුන්නානසේලා වෙන්නෙ මොනිටර් වරු නේද?

      Delete